Monday, 6 April 2026

1971 කැරැල්ලේ අරමුණ සහ ජවිපෙ , ජාතික ජන බලවේගයේ උපකාරයෙන් බලයට පත්වීම


1971 කැරැල්ලේ අරමුණ සහ  ජවිපෙ , ජාතික ජන බලවේගයේ උපකාරයෙන් බලයට පත්වීම **************************************************************

1971 කැරැල්ල සහ ජනතා විමුක්ති පෙරමුණේ පරිණාමය, ජවිපෙ මූලික වුනු රජයක් පිහිටුවීම දක්වා ගමන් කිරීම ප්‍රාතිහාර්යයක් තරමට විස්මය දන්වන සුළුය .  නමුත් අප ප්‍රාතිහාර්ය  විශ්වාස කරන්නේ නැත .  සැබවින්ම සිදු වුයේ කුමක්ද?

ජනතා විමුක්ති පෙරමුණ ෆිටුවන ලද්දේ 1965 දීය. අද වනවිට එයට වසර හැට දෙකකි. එය පිහිටුවීමට මුලික වූ  පටබැඳි දොන් ජිනදාස නන්දසිරි විජේවීරනොහොත් රෝහණ විජේවීර යනු සෝවියට් සංගමයේ ලුමුම්බා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරූ ප්‍රබල දේශපාලන පෞරුෂයකින් හෙබි විප්ලවවාදියෙකි. මාක්ස්-ලෙනින්වාදී සහ මාඕවාදී චින්තනයෙන් ආභාසය ලැබූ ඔහුපසුව එවකට පැවති සාම්ප්‍රදායික කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී ගියේය. මුලදී එන ශන්මුගදාසන් ගේ කොමියුනිස්ට් පක්ෂය (චීන පිල )  ට එක්වූ ඔහු එයින් තමන් අපේක්ෂා කරන් වෙනස් වීම සිදු නොවන බව දැක ඉන් ඉවත් විය .  කොමියුනිස්ට් පක්ෂ චීන පිල කොළඹ කම්කරුවන් මුලික කරගත් පක්ෂයකි .  ජවිපෙ ආරම්භයේ සිටම ග්‍රාමීය තරුණ පෙළ ආකර්ෂණය කරගත් ව්‍යාපාරයක් විය. 

රෝහණ විජේවීර මහතා විසින් 1960 දශකයේ අගභාගයේදී ජනතා විමුක්ති පෙරමුණ (JVP) ගොඩනැගීම සඳහා පදනම් කරගත් දෘෂ්ටිවාදාත්මක දේශන මාලාව "පන්ති පහ" ලෙස හැඳින්වේ. මෙය එවකට සිටි රැකියා විරහිත සහ පීඩිත ග්‍රාමීය තරුණයින් සන්නද්ධ විප්ලවයකට පොළඹවා ගැනීම සඳහා භාවිතා කළ ප්‍රධාන මෙවලම විය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන වශයෙන් සමන්විත වූයේ උගත් නමුත් රැකියා විරහිතසාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූන් විසින් නොසලකා හරින ලද ග්‍රාමීය තරුණයින්ගෙනි.

පන්ති පහ කෙටියෙන්: 

1. ධනේශ්වර ක්‍රමයේ අර්බුදය 
මෙහිදී සාකච්ඡා කෙරුණේ ලෝකයේ සහ ලංකාවේ පවතින ආර්ථික ක්‍රමය පිළිබඳවයි. ධනවාදය යනු මිනිසුන් සූරාකන ක්‍රමයක් බවත්, එම ක්‍රමය තුළ සාමාන්‍ය ජනතාවට සහ තරුණයින්ට උරුම වන්නේ විරැකියාව සහ දුප්පත්කම පමණක් බවත් මෙහිදී පැහැදිලි කරන ලදී. පවතින ක්‍රමය වෙනස් නොකර ජනතාවට සහනයක් නොලැබෙන බව මෙයින් අවධාරණය විය.

2. නිදහස - අතේ මිටේ තබාගත් බොරුවක් 
1948 දී ශ්‍රී ලංකාවට ලැබුණු නිදහස සැබෑ නිදහසක් නොවන බව මෙම පන්තියෙන් ඉගැන්වීය. ලංකාව තවමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ වක්‍ර ග්‍රහණයට (Neo-colonialism) නතු වී ඇති බවත්, අපේ රටේ පාලකයින් බ්‍රිතාන්‍යයන්ගේ ඒජන්තයින් ලෙස කටයුතු කරන බවත් මෙයින් තර්ක කෙරිණි. සැබෑ නිදහස ලැබිය හැක්කේ අධිරාජ්‍යවාදී ගැති පාලනය පෙරළා දැමීමෙන් පමණක් බව කියැවිණි.

3. ඉන්දියානු ව්‍යාප්තවාදය 
මෙය එකල ඉතා ආන්දෝලනාත්මක පන්තියක් විය. ඉන්දියාව ලංකාව කෙරෙහි ආර්ථික හා දේශපාලන ආධිපත්‍යයක් පතුරුවා හැරීමට උත්සාහ කරන බවත්, වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත ජනතාව ඒ සඳහා "පස්වන බලකායක්"  ලෙස යොදාගත හැකි බවත් මෙයින් කියැවිණි. මේ නිසා එම කාලයේ ජවිපෙ තුළ යම් ජාතිවාදී ප්‍රවණතාවක් ද දැකගත හැකි විය.

4. වම්මුන්ගේ ද්‍රෝහීකම 
එකල පැවති ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය වැනි "පැරණි වම" විවේචනය කිරීම මෙහි අරමුණ විය. ඔවුන් විප්ලවීය මාවත අතහැර පාර්ලිමේන්තු දේශපාලනයට සහ ධනේශ්වර රජයන් සමඟ සභාග ආණ්ඩු පිහිටුවීමට එකඟ වීම මගින් කම්කරු පන්තිය පාවා දුන් බව ජවිපෙ තර්ක කළේය.

5. ලංකාවේ විප්ලවය ගත යුතු මාවත 
මෙය අවසාන සහ වැදගත්ම පන්තියයි. පාර්ලිමේන්තු ක්‍රමය හරහා කිසිදා සමාජවාදය ඇති කළ නොහැකි බවත්, එකම මාවත "සන්නද්ධ අරගලයක්" බවත් මෙයින් තීරණය කරන ලදී. මෙහිදී ලංකාවේ භූගෝලීය පිහිටීමට අනුව ගරිල්ලා සටන් ක්‍රම හෝ ක්ෂණික ප්‍රහාර මගින් රාජ්‍ය බලය අල්ලා ගන්නා ආකාරය පිළිබඳ මූලික උපදෙස් ලබා දෙන ලදී.

මෙම දේශන මාලාව රහසිගතව පවත්වාගෙන ගිය අතර, එය පක්ෂ සාමාජිකයින් අතර දැඩි විනයක් සහ පොදු අරමුණක් ඇති කිරීමට සමත් විය. සරල සිංහල භාෂාවෙන් සහ ග්‍රාමීය උදාහරණ යොදා ගනිමින් පැවැත්වූ නිසා මෙය උගත් ග්‍රාමීය තරුණයින් අතර ඉතා ජනප්‍රිය විය. මහා රැජින ගේ රජයට එරෙහිව ඇතිවු  1971 කැරැල්ලට සහභාගී වූ දහස් සංඛ්‍යාත තරුණයින්ගේ මතවාදී ශක්තිය වූයේ මෙම පන්ති පහයි.

1971 කැරැල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයකි. නිදහසින් පසු මෙරට රජයක් තම ප්‍රධාන ප්‍රජාව (සිංහල) තුළින්ම මතු වූ ප්‍රබල සන්නද්ධ අභියෝගයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය වූ අතරඑය දිවයිනේ දේශපාලන ගමන්මග මූලික වශයෙන් වෙනස් කළේය. 

 එවකට ශ්‍රී ලංකා හමුදාව කුඩා මෙන්ම අවි ආයුධ අතින් දුර්වල මට්ටමක පැවතිණි. රජය ජාත්‍යන්තර සහාය පැතූ අතර සීතල යුද්ධය පැවති සමයක වුවද බ්‍රිතාන්‍යයඇමරිකාවසෝවියට් සංගමයඉන්දියාව සහ පකිස්ථානය යන සියලු රටවල් කැරැල්ල මර්දනය කිරීමට රජයට සහාය දුන්හ. සමාජවාදී රටක් වූ සෝවියට් දේශය ඒ දිනවල සහයෝගය දුන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්  පක්ෂය සමග සභාග රජයක් පිහිටුවාගෙන  සිටි වාමාංශික ස්වරූපයක් ගත් සමගි පෙරමුණු රජයටය . 

කැරැල්ල මාස දෙකක් වැනි කෙටි කාලයකින් මර්දනය කළද එය ඉතා දරුණු විය. නිල වාර්තා අනුව මරණ 1,200ක් පමණ සිදු වූ බව පැවසුණදස්වාධීන වාර්තා පෙන්වා දෙන්නේ තරුණයින් 5,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් කැරැල්ල හා සමාජවාදය වෙනුවෙන් දිවි පූජා කළ බවයි.

විජේවීරට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර (පසුව එය වසර 20 දක්වා අඩු විය)නඩු විභාගය අතරතුර ඔහු කළ "අපව මරා දැමිය හැකියනමුත් අපේ හඬ කිසිදා මිය නොයනු ඇත" යන ප්‍රකාශය කැරැල්ල පිළිබඳව වාමාංශික තරුණ පරපුරක් තුල කිසියම් උද්දාමයක් ඇති කිරීමට සමත් විය.   

 කැරැල්ල ආරම්භ වීමට කලින් එහි නායක රෝහණ විජේවීර අත් අඩංගුවට පත්වී රජය මගින් යාපන සිර ගෙදර රඳවා තබන ලදී. ඔහු බේරා ගැනීමට යැවූ කණ්ඩායමේ සිටි දෙදෙනෙකු වූයේ එච් බි ගුණරත්න සහරන්ජිත හේනායක ආරච්චිය .  ඔවුන් දෙදෙනාගේ සංස්කාරකත්වයෙන් පල කල '71 කැරැල්ල යාපනය' පොතේ මෙවැනි සටහනක් තිබේ.

"අප විසින්ම ඇති කරගත් ස්වයං මෝහනයකට අපි  පත්ව සිටියෙමු . ළාබාල තරුණයන් වූ අප තුල එම මනෝභාවය සංවිධනය විසින් ජනිත කරවනු ලැබිය .  අපි පිඩිත ජනතාවගේ විප්ලවය සඳහා ඇප කැපවී සිටින අය වෙමු . ඉදින් ජනතාවගේ ගැලවුම්කරුවෝ වන්නෙමු .  අප අපේ අධ්‍යාපනය , රැකියා ,  මධ්‍යම පන්තික ජීවන පුරුදු අත හැර කැප වී සිටිනුයේ ජනතාව වෙනුවෙනි .  ජනතවට හෙට අනිද්දා සර්ව  සම්පූර්ණ සමාජවාදී ජීවන ක්‍රමයක් ලබා දෙන අප අද ඔවුන්ගේ කුකුළු කොටුවකින් කුකුළකු දෙදෙනෙකු මරාගෙන කෑවාට වරදක් නැත .  මන්ද  යත් අප මේ සියල්ල කරනුයේ ඔවුන් වෙනුවෙනි . "    (*උපුටා ගැනීම පි 123) 

මා මෙය උපුටා ගත්තේ '71 කැරැල්ලට සහභාගී වූවන් ගැන යම් හැඟවීමක් ලබා දීමටය .  

එදා 1971 සහ අද NPP රජය අතර සංසන්දනය

කෙසේ වෙතත්, වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ මූලිකව පිහිටුවාගෙන ඇති  ජාතික ජන බලවේගය මෙම මුල්කාලීන "පන්ති පහ" මතවාදයෙන් බොහෝ දුරට බැහැර වී, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ ක්‍රියාත්මක වේ.

රෝහණ විජේවීර සහ මධ්‍යම කාරක සභාව පන්ති පහ වෙනස් කරන ලද්දේ 1977 නිදහස ලැබීමෙන් පසුවය . 

ඒ පන්ති පහට ඇතුලත් වූයේ 

1. ආර්ථික අර්බුදය 

2. මෙන්ෂවික් ව්‍යාපාරය( පැරණි වමේ පාවාදීම සහ ජවිපෙ බිහිවීමට හේතුව රුසියානු විප්ලවයට ප්‍රථම බොල්ෂෙවික් - මෙන්ෂේවික් බෙදීම ඇසුරෙන්)

3. රුසියානු, චීන, කියුබානු සහ වියට්නාම් විප්ලවයන් හි අත්දැකීම්

4. මාක්ස්වාදී දර්ශනයේ මූලිකාංග සහ ලෙනින්වාදී  බොල්ෂෙවික්  පක්ෂයක අවශ්‍යතාවය සහ එහි හැඩරුව

5. ජවිපෙ පක්ෂ ඉතිහාසය (මෙය තරමක් දුරට අපි සෝවියට් දේශයේ උගත් සෝවියට් කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසයට සමානය)

මෙහි ප්‍රධාන වෙනස් කමක් වනුයේ විජේවීර විසින්ම ඉන්දියානු ව්‍යාප්තවාදය පිලිබඳ අදහස අත හැරීමය .   

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) රජය සහ 1971 කැරැල්ල අතර සංසන්දනය කිරීමේදී, සන්නද්ධ තරුණ ව්‍යාපාරයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන බලයක් දක්වා පැමිණි ආකාරය දැකගත හැකිය.

'71 කැරැල්ලේ ප්‍රධාන අරමුණ වුයේ රාජ්‍ය බලය බලහත්කාරයෙන්  අල්ලාගෙන පූර්ණ  සමාජවාදී රාජ්‍යයක් පිහිටුවීමය.  

ජාතික ජනබලවේගය පවතින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුලින්  පාලන බලය ලබාගත් අතර ප්‍රධාන අරමුණු වන්නේ  දූෂණය පිටු දැකීම සහ නීතියේ ආධිපත්‍ය පිහිටුවීම සහ සැමට හොඳ ජිවන තත්වයක් ලබාදීමයි

කැරලිකරුවන්ගේ ප්‍රධාන දෘෂ්ටිවාදය වූයේ මාක්ස් - ලෙනින්වාදයයි .  මෙහිදී ප්‍රශ්නයක් මතු වන්නේ එය එසේනම් කැරැල්ලට සෝවියට් දේශයේ ,  චීනයේ හෝ කියුබාවේ සහයක් නොලැබුනේ මන්ද?  ඊට හේතුව වන්නේ ජවිපෙ යට ඒ දිනවල  කිසිදු ජාත්‍යන්තර සබඳතවක් නොතිබීමයි .  එසේම  සෝවියට් සංගමයේ කොමියුනිස්ට්  පක්ෂය මේ තරුණ  කැරැල්ල හැඳින්ඔවූයේ අති වාමාංශික ළඳරු වලිප්පුවක් ලෙසය . 

කැරලිකරුවන්  වාමාංශික දැඩි මතධාරීන් වූ අතර ඉන්දියානු විරෝධය ඔවුන්ගේ යම් විදේශ ප්‍රතිපත්තියක් තිබුනා නම් එය එහි පදනම විය .  ඔවුන් ඉන්දියා සහ බටහිර රටවල්  දෙස බැලුවේ සැකයෙනි . 

ජාතික ජන බලවේගය රජය ප්‍රයෝගික  සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අගයන අතර වෙළඳපල ආර්ථිකයක් තුල ජනතා සුභ සාධනයට කැප වෙමින් කුසලතාවට මුල් තැන දෙමින් වඩාත් සාධාරණ හා නීති ගරුක සමාජයක්  බිහි කිරීමට මුල් තැන දෙයි .  ඉන්දියාවචීනය සහ බටහිර සමඟ සමබර සම්බන්ධතා පවත්වාගෙන යන ජාජබ රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

1971 පරපුරේ තරුණයන් ඉංග්‍රීසි කතා කරන ප්‍රභූ පන්තියෙන් කොන් වූ, ප්‍රචණ්ඩත්වයෙන් පමණක් පද්ධතිය වෙනස් කළ හැකි යැයි විශ්වාස කළ බොහෝ විට ග්‍රාමීය තරුණයින් බහුතරයකගෙන් සැදුම් ලත් පිරිසකි.

වර්තමානයේදී ජාතික ජන බලවේගය වටා ග්‍රාමීය තරුණයින් පමණක් නොව, නාගරික මධ්‍යම පන්තිය, වෘත්තිකයන් සහ විශ්වවිද්‍යාල සිසුන් ද එක්  රොක් වී සිටිති. ඔවුන් බලය ලබාගත්තේ තුවක්කුවෙන් නොව 2022 සිදුවූ  'අරගලය' සහ ඡන්ද පෙට්ටිය හරහාය. නමුත් තවමත් අර කී පැලැන්තියට යන්තමින් සම්බන්ධ වූවන් පවා  ඉංග්‍රීසි භාෂාවේ හැකියාව හෝ නොහැකියාව  යොදා ගනිමින්  වර්තමාන නායකයන්ටද උසුළු විසිළු කරනු  දැකිය හැකිය . 

 1971 තරුණ බලාපොරොත්තු වත්මන් ජාතික ජන බලවේගය රජය මගින් ඉටුවෙන්නේද යන ප්‍රශ්නය ට දිය හැකි පිළිතුර කුමක්ද ? 

මෙය සෑහෙන දුරට සංකීර්ණ ප්‍රශ්නයකි . 

එක පසෙකින් පවුල් කිහිපයකට සීමා වී තිබූ දේශපාලන බලය බිඳ දැමීමට 1971 තරුණයින්ට අවශ්‍ය විය. 2024 දී ජාතික ජන බලවේගය ලබාගත් දැවැන්ත ජයග්‍රහණය හරහා එම බලාපොරොත්තුව ඉටු වී ඇත. ඒ පවුල් නැවත බලය ලබා ගැනීමට දඟලන දැඟලිල්ල දෙස බලන විට '71 කැරැල්ලේ  දැනට ජිවත් වෙන සොහොයුරන්ට උද්දාමයක් ඇති වන්නේ නැත්ද ?   

නමුත්  1971 කාලයේ සිටි  ජවිපෙ සාමාජිකයෙකු වර්තමාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම ගැන පුදුම වනු ඇත. වර්තමාන රජය ගමන් කරන්නේ "විප්ලවවාදී" මාවතක නොව "ප්‍රායෝගික" ආර්ථික මාවතකය.  එය ඔවුන්ට තේරුම් ගැනීමට අපහසු කාරණයක් වනු ඇත .  එසේම  එදා තිබූ දැඩි ඉන්දියානු විරෝධය වෙනුවට අද රජය ඉන්දියාව සමඟ ඉතා නිවැරදිව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සමීපව කටයුතු කරයි. ඉන්දියානු ආධාර සහ ජාත්‍යන්තර සහයෝගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය . 

1971 තරුණයින් දිවි දුන්නේ "පූර්ණ සමාජවාදී රජයක්" වෙනුවෙනි. නමුත් වර්තමාන ජවිපෙ එම මතවාදයෙන් ඔබ්බට ගොස් "සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්" කරා පරිණාමය වී ඇත. 1971 කැරැල්ලෙන් දිවි බේරාගත් අයට මෙය තම අරගලයේ ජයග්‍රහණයක් ලෙස පෙනිය හැකි වුවද, දැඩි මතධාරී වාමාංශිකයන් මෙය තම මුල් දෘෂ්ටිවාදයෙන් බැහැර වීමක් ලෙස දැකිය හැකිය.

ජනතා විමුක්ති පෙරමුණ '71 කැරැල්ල මෙන්ම 88-89 කාලයේ ඇතිවූ තරුණ නැගිටීම් වලින්ද දරුණු ලෙස බැට කෑ පක්ෂයකි .  දෙවරක්ම සම්පූර්ණයෙන් විනාශ කර දමන ලද බවට එහි සතුරන් විසින් සලකන ලද  පක්ෂයකි .  එහි ජාතිවාදී කොටසක්ද වඩා වාමවාදී දැඩි මතධාරී කොටසක්ද වෙන්වී ගිය පසු වර්තමාන සමාජ දේශපාලන වාතාවරණය අනුව නැවත මධ්‍යස්ත වඩා  ප්‍රයෝගික ලෙස රි-බ්‍රෑන්ඩ් කෙරුණු පක්ෂයකි . 

අද පුර්ණ සමාජවාදී රාජ්‍යයක් ගොඩ නගන්නට හැකි ලොව එකම රාජ්‍යයකට පමණි .  ඒ රුසියාවයි .  එයට හේතුව ඔවුන් තනි රටක් වශයෙන් පැවැත්වීමට අවශ්‍ය බලශක්ති ප්‍රභව අතින් ස්වයං පෝෂිත රටක් වීමයි .  එසේම තෙල්, ගෑස් පමණක් නොව අනිකුත් මුල ද්‍රව්‍ය රට තුලම ඇති අතර දියමන්ති,  රත්රන් ආදී විකිණීමට හැකි වටිනා  සම්පත් වලින් අඩුවක්ද නැත.එසේම  ඔවුන් ආහාර නිපදවීම අතින් ස්වයං පෝෂිතය . නමුත් පූටින් ට සමාජවාදී රජයක් පිහිටුවීමට අවශ්‍ය නැත. හැබැයි අපි එය ඒ  ආකාරයෙන්ම  බලාපරොත්තු විය යුතුද නැත .  වෙනත් රටවලින්  අමුද්‍රව්‍ය හා බලශක්තිය මිලදී ගන්නා ඉන්  යැපෙන චීනයටද පුර්ණ සමාජවාදී රජයක් පිහිටුවීමට නොහැකිය .  මේ අනුව '71 කැරැල්ලේ සහභාගී වුවන්ගේ ඒ අදහස අද කිසිසේත් සාක්ෂාත් කර ගත නොහැකි හුදු  බලාපොරොත්තුවක් පමණකි.

සමහරවිට පාඨකයාට නව පන්ති පහ ගැන අදහසක් දැන  ගැනීමට කැමති නම්  මා දන්නා පරිදි ඒ මෙසේය . 

මෙම නව පන්ති මාලාව සකස් කර ඇත්තේ වර්තමාන ලෝක දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයන්ට විසඳුම් ඉදිරිපත් කළ හැකි වන ආකාරයටයි. මෙම නව පන්ති මාලාව 1971 හෝ 1980 දශකවල තිබූ සන්නද්ධ අරගලයකට මඟ පෙන්වන දෘෂ්ටිවාදයකින් තොර වන අතර, එය සම්පූර්ණයෙන්ම පාහේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන මතය ඔස්සේ රට පාලනය කිරීම සඳහා සකස් කරන ලද "ප්‍රතිපත්ති ප්‍රකාශනයක" ස්වරූපයක් ගනී. අවශ්‍ය  නම් මේ සංශෝධනාත්මක පන්ති පහ හා ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනය සසඳා බලන්න . 

1. පවතින ආර්ථික අර්බුදය සහ විසඳුම

මෙහිදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ණය උගුල, නිෂ්පාදන ආර්ථිකය බිඳවැටීම සහ පවතින ධනවාදී ආර්ථික ආකෘතියේ අසාර්ථකත්වය ගැන සාකච්ඡා කෙරේ. මෙයට විකල්ප ලෙස "මානුෂීය" සහ "නිෂ්පාදන" මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්තියක් ඔවුන් යෝජනා කරයි.

2. රාජ්‍ය පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය

දූෂණය, වංචාව සහ නාස්තිය පිටුදැකීම මෙහි ප්‍රධාන මාතෘකාවයි. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කර, නීතියේ ආධිපත්‍යය තහවුරු කරන, ජනතාවට වගකියන පාලන පද්ධතියක් ගොඩනැගීම ගැන මෙහිදී අවධාරණය කෙරේ.

3. ජාතික සමගිය සහ සංහිඳියාව

ලංකාවේ අතීතයේ පැවති ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරමින්, සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාවය මෙහිදී පැහැදිලි කෙරේ.

4. අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජ සුභසාධනය

අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි මූලික මානුෂීය අවශ්‍යතා වෙළඳ භාණ්ඩ බවට පත් නොකර, රජය මැදිහත් වී ගුණාත්මක නිදහස් අධ්‍යාපනයක් සහ සෞඛ්‍ය සේවාවක් තහවුරු කරන ආකාරයත්, සමාජයේ අසරණ වන පිරිස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීමත් මෙයට ඇතුළත් වේ.

5. විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා

ලෝක දේශපාලනය තුළ කිසිදු පිලකට ගැති නොවන, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරන "නොබැඳි" විදේශ ප්‍රතිපත්තියක වැදගත්කම සහ ජාත්‍යන්තරය සමඟ ගෞරවනීය ලෙස ගනුදෙනු කරන ආකාරය මෙහිදී සාකච්ඡා කෙරේ.

මේ ලිපිය අවසන් කිරීමේදී '71 කැරැල්ල යනු ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ඇතිවුණු,  රැජිනගේ රජයට විරුද්ධව සිදුවුණු  අවසන් කැරැල්ල ලෙස සනිටුහන් කිරීම නිවැරදි යයි සිතමි. ඒ අනුව කැරැල්ලේ මුලික අභිමතාර්ථය වර්තමාන ජාතික ජන බලවේගය රජය මගින් සපුරා තිබේ .  ඔවුන්ට සාධාරණ නීති ගරුක සමාජයක් ගොඩ නැගිය  හැකිනම්  කැරැල්ල හා කැරලි කරුවන් ජයග්‍රාහී බව කිව හැකිය . 

-05/04/2026 අජිත් ධර්මකීර්ති