මේ මාතෘකාව පිළිබඳව මැදිහත් නොවී සිටීමට සිතා සිටියත් දිනෙන් දින ශ්‍රී ලංකාවේ මතුවන අරගල හා සාකච්ඡා සංවාද තුල එය ඉතාමත් අපහසු බව දැනේ. මුහුණු පොතේ (facebook) පලවූ පින්තුර දෙකකින් තවදුරත් මෞන වෘත්තය රැකීම නොකළ හැක්කක් බව මට පසක් විය. මින් එකක් වුයේ කෙලින්ම සයිටම් ආයතනයේ පැත්ත ගන්නා අපේ බ්ලොග් මිත්‍ර මාතලන් පළ කල පින්තුරයකි. ඔහුගේ බ්ලොගයේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පක්ෂාපාතීව ලිපි කිහිපයක්ද පලවිය. ඔහුගේ මේ පින්තුරයට බුකියේ සුපතල ලයික් එකක් දැමුවෙමි.
මේ තර්කයට මටද එකඟ විය හැකිය. ගණිතයෙන් අපොස උසස් පෙළ සමත් වන සිසුන්ට මොරටුව, පේරාදෙණිය ය ආදී විශ්ව විද්‍යාල වලට අමතරව තවත් විශ්ව විද්‍යාල ගණනාවක් තිබේ. එසේම විශ්ව විද්‍යාලයකට යාමට නොහැකි නම් වෙනත් තාක්ෂණික පාඨමාලා ද තිබේ. එසේත් නොමැති නම් SLIIT වැනි ආයතන තිබේ. ගණකාධිකාරී විභාගයකට වුවද උගත හැකිය. මේ සමහර ආයතන වලට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත යුතු වුවත් ඒවාට විරුද්ධව ශිෂ්‍ය උද්ඝෝෂණ ඇති වන්නේ නැත.
කිසියම් ශිෂයෙකුට මේ අවස්ථා තිබියදීත් වෛද්‍යවරයෙකු වීමටම ආශාවන් ඇති විය හැකිය. එකළ මගේ මිතුරෙකු තෙවරක්ම අපොස උසස් පෙළ කළේය. පළමු වර දන්ත වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය ලකුණු තිබුණි. දෙවන හා තෙවන වර විශ්ව විද්‍යාලයට යා හැකිව තිබුණු මුත් වෛද්‍ය පීඨයට යාමට නොහැකි විනි. බයෝ සයන්ස් කල ඔහු ජපානයේ ආචාර්ය උපාධිය කළේය.
එවැන්නෙකුට ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුණි නම් තමන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව තිබුණි. ඔහු සාමාන්‍ය මැද පන්තියේ පවුලක සිසුවකු මිස ධනතියෙකුගේ දරුවෙකු නොවිය.
එකල බොහෝ දෙනා පිටරටවල අධ්‍යාපනය සඳහා ගිය බව මම දනිමි. අප වැනි අයට රජයේ ශිෂ්‍යත්ව ලැබුණු අතර තවත් අය මුදල් ගෙවා ඉගෙනීමට ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලට ගියහ. එසේ ඇමෙරිකාවේ උසස් විශ්ව විද්‍යාලවල උගත් ඇතැමුන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික විද්‍යාල ඇරඹීමට විරුද්ධ වෙති. "අපි ඇමෙරිකාවේ ගිහින් සල්ලි දීල ඉගෙන ගත්තට මුන්ට එහෙම ඉඩ දෙන්න පුලුවන්ද" යන තර්කය එතන ඇති යයි සිතමි.
අපේම සහෝදර සිසුන්ට අවශ්‍ය නම් මුදල් ගෙවා ඉගෙන ගැනීමට ඉඩ දීමට අපට නොහැකි ඇයි? මෙය කුහක කමක් නොවේද? ඔවුන්ද අපොස උසස් පෙළ සමත්ය. සමහරුන්ගේ දෙමාපියන්ට මුදල් තිබේ. සමහරු ණය රැගෙන හෝ ඉඩම් විකුණා හෝ දරුවන්ට අධ්‍යාපනය දෙති. ජර්මනියේ හා ස්වීඩනයේ නිදහස් අධ්‍යාපනය තිබෙන අතර පෞද්ගලිකව අධ්‍යාපනය ලැබීම සඳහාද ඉඩ තිබේ.
දෙවැනි පින්තුරය කවියක් ද සහිතවම පළ කර ඇත්තේ ඇත්තේ මගේ තවත් හිතවතකු වන පෙරේරා හිල්මි සුපුන් සහෝදරයාය. වාමාංශික අදහස් ඇති ඔහු ඉතාලියේ වෙසෙන්නෙකි. ඔහුගේ කවි බොහොමයක් වෙබ් අඩි වල පළවේ.
මේ ඔහුගේ කවියයි.
මේ ඔහුගේ කවියයි.
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය
අද රෑ නිදි වරන්නේ
හෙට උදේ අවදිවෙන
ඔබේ දරුවන්ගේ
අධ්‍යාපනයේ නිදහසත්
නිදහස් අධ්‍යාපනයත්
රැකගැනීම වෙනුවෙනි
නිදහස් අධ්‍යාපනයත්
රැකගැනීම වෙනුවෙනි
හිල්මි සුපුන්
13072016
පින්තුරයේ දැක්වෙන්නේ පසුගියදා පිටකොටුවේ සයිටම් එකට විරුද්ධව හා නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට අරගලයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. ඔවුන් සියල්ලෝම පාහේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල නිදහස් අධ්‍යාපනය ප්‍රතිඵල ලබන්නන්ය.
දොළොස්වන ශ්‍රේණිය දක්වා ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබූ මා ප්‍රථම උපාධිය ලැබුවේ සෝවියට් දේශයේ විශ්ව විද්‍යාලයකිනි. එනම් සෝවියට් රජය අපගේ ඉගෙනුම සඳහා වියදම් කලේ සෝවියට් වැසියන් ගේ බදු මුදල්ය. සෝවියට් දේශය තම වැසියන් සියල්ලන්ටම නිදහස් අධ්‍යාපනය දුන් රටකි. මේ පින්තුරයට ද මම බුකියේ සුපතල ලයික් එකක් දැමුවෙමි. ඒ මා නිදහස් අධ්‍යාපනයෙන් පල ලබා ගත් අයෙකු බැවිනි.
මා උගත් විශ්ව විද්‍යාලය රුසියානු රජයට අයත් වුවත් දැන් ඕනෑම අයෙකුට මුදල් ගෙවා එහි උගත හැකිය. එනම් ශිෂ්‍යත්ව වලින් පැමිණ නොමිලයේ ඉගෙනුම ලබන රුසියානු සිසුන්ට අමතරව ඉතිරි අයට හා විදේශික සිසුන්ට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකිය. මෙසේ වුයේ සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු අවම වශයෙන් ගුරු වැටුප ගෙවීමට පවා විශ්ව විද්‍යාල වලට මුදල් හිඟවූ හෙයිනි. රටේ ආර්ථිකයද බිඳ වැටී තිබුණි.
ජනාධිපති පුටින් විසින් රට ගොඩ නගන විට විශ්ව විද්‍යාල වලට මුදල් අයකර සිසුන් ඇතුලත් කර ගත හැකි ලෙස නීති වෙනස් කළේය.
බ්‍රිතාන්‍යයේ රජයේ විශ්ව විද්‍යාල වලට විදේශික සිසුන්ට පැමිණ මුදල් ගෙවා උගත හැකිව තිබුණි. දේශීය සිසුන්ට ඉතාම අවම මුදලකට ඉගෙනීමේ හැකියාව තිබුණි.
හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විශ්ව විද්‍යාල වලට නොමිලේ අධ්‍යාපනය දීමට නොහැකි යයි පවසා වසරකට පවුම් 3000 දක්වා ගාස්තු වැඩි කළේය. කැමරන් ගේ රජය එය පවුම් 9000 දක්වා වැඩි කළේ ය. බැංකු ණය ලැබෙන මුත් සිසුවෙකුගේ වසර හතරක සාමාන්‍ය උපාධිය අවසන් වන විට පවුම් 36000 ක ණයකාරයෙකු වී හමාරය.
මේ නිසා මම එයට එරෙහිව කටයුතු කරන සංවිධාන වලට හා ජෙරෙමි කෝබින් නමැති කම්කරු පක්ෂයේ නායකයා ට සහයෝගය දෙමි. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසු කම් ලැබුවන්ට නැවත වරක් නිදහස් අධ්‍යාපනය දීමට යෝජනා කරයි. නමුත් බ්‍රිතාන්‍යයේ කිසිදු පුද්ගලික අධ්‍යාපන ආයතනයක් වසා දැමෙන්නේ නැත. මුදල් ගෙවා ඉගෙනීමට අවශ්‍ය අයට ඒ පහසුකම නැති කරන්නේ නැත.
බ්‍රිතාන්‍යය වැනි රටක අධ්‍යාපනය නොමිලයේ ලබා දිය හැකිය. අප සියලු දෙනාම අපේ බදු නොවැරදීම ගෙවන හෙයිනි. නිදහස් සෞඛ්‍ය සේවාවට යන්නේ අප ගෙවන බදු මුදල් වලින් කොටසක්ය. ඇතැම් අති විශාල බහු ජාතික සමාගම් බදු ගෙවීම අඩු කිරීමට නොයෙක් උපක්‍රම යොදන නමුත් බොහෝ සුළු වෙළඳම් හා මධ්‍යම ප්‍රමණයේ ව්‍යවසායකයන් නිවැරදි ලෙස බදු ගෙවති.
එසේම ජර්මනියේ හා ස්වීඩනයේ තත්වයද මෙසේමය. ඒ රටවල ජනතාව තම ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් බදු ගෙවති. එම රටවල නිදහස් අධ්‍යාපනයට, නගර ගොඩ නැගීමට, සඛ්‍ය සේවයට යෙදවෙන්නේ එම බදු මුදල්ය.
ඉහත වැකි ලියන ඉතාලියේ වෙසෙන හිල්මි සහෝදරයාගේ යහළුවන් ගේ දරුවන් සමහරක් එංගලන්තය වැනි රටවල ගෙවා උගෙනීම ලබන බව ඔහු දන්නවා ඇති යයි මම සිතමි. එයට මගේ විරුද්ධත්වයක් නොමැත. නමුත් තමුන්ගේ ළමුන්ට එය අනුමත කරනවා නම් ලංකාවේ ළමයෙකුට එසේ අධ්‍යාපන ලැබීමේ අයිතියක් නැත්ද යන ප්‍රශ්නයට ඔහු ගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. මා දන්නා වාමාංශිකයන් බොහොමයකගේ දරුවන් එසේ මුදල් ගෙවා ඉගෙනීම ලබති.
ලංකාවේ සිටින්නේ බදු ගෙවන ජනතාවක් නොවේ. ඉතා ටිකක් බදු ගෙවන රජයේ සේවකයන් හා ව්‍යාපාර කිහිපයක බදු මුදලින් සහනාධාර ලබන ජනතාවකි. කන්නට මුදල් ලැබෙන්නේ ණයටය. කන්න හා ජිවත් වෙන්න මෙන්ම අති විශාල දේශපාලන නළුවන් රැසක් නඩත්තු කරන්නේ ණයෙනි. ණය වාරික ගෙවන්නේ පිටරටවල වැඩ කරන අය එවන මුදලින්, තේ අපනයනයෙන් (තේ නෙලන කම්කරුවන් ගෙන්), නිමි ඇඳුම අපනයනයෙන් හා අනිකුත් සුළු අපනයන ද්‍රව්‍ය වලිනි. යුරෝපා සංගමයට නැවත මාළු අපනයනය කිරීම පටන් ගෙන තිබේ.. (තහනම් ව තිබුණි) වැඩි විස්තර සඳහා මේ වෙබ් අඩවියට යන්න.
ඉතින් මෙවැනි රටකට නිදහස් අධ්‍යාපනය සඳහා මුදල් වියදම් කිරීමට මුදල් නැත. එසේ වුවද රජය විශ්ව විද්‍යාල අටක් පමණ නඩත්තු කරයි. විශ්ව විද්‍යාලයට යා නොහැකිව අතරමන් වෙන සිසුන්ගෙන් සුළු කොටසක් සයිටම් එකේ උගනිති. . කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියේද කොටසක් මුදල් ගෙවා උගනිති. ඔවුන්ට විරුද්ධව උද්ඝෝෂණ නොකරන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී ඇතිවේ. සයිටම් එකට පමණක් විරුද්ධ වන්නේ ප්‍රමිතිය නිසා නම් ප්‍රමිතිය ගැන කතා කරන්න. එසේනම් එයට නිදහස් අධ්‍යාපනය අදාල නැත. නිදහස් අධ්‍යාපනය අවසන් කරන්නට කවුරුත් සැරසෙන්නේ නැත. එවැන්නක් මහින්ද රජය කිරීමට සරසි සිටියේ නැත. එදා අධ්‍යාපනයට 6% ඉල්ලා පෙළපාලි ගිය සිසුන් දෙදෙනෙකු හදිසි අනතුරකින් මිය ගියහ. එය හදිසි අනතුරක් නොවේ යයිද කියති. මේ රජය නිදහස් අධ්‍යාපනය එහෙම පිටින්ම පෞද්ගලික අංශයට දෙන කතාවක් ද නැත. එසේනම් මේ හිල්මි සහෝදරයා කියන "ඔබේ දරුවන්ගේ අධ්‍යාපනයේ නිදහසත් නිදහස් අධ්‍යාපනයත් රැකගැනීම වෙනුවෙනි " යන අදහස මතභේදයට තුඩු දෙන එකකි.
මේ දේශපාලන ක්‍රමයේ දුර්වලකම් බොහෝ තිබේ. දේශපාලකයන් ගේ වරප්‍රසාද හා පඩි නඩි අඩු කර ඒවා අධ්‍යාපනයට යොදවන්නැයි කියා අරගල කළ හැකිය. එසේ නැතිනම් සිසුනට කල හැකි අනිත් දෙය නම් සමජවාදී සමාජයක් හා රටක් සඳහා සටන් කිරීමය. නමුත් ශිෂ්‍ය සටන් ව්‍යාපාරයකට පමණක් එවැන්නක් සාක්ෂාත් කල නොහැකි බව අප අත්දැකීමෙන් දන්නෙමු. එවැනි අරගල දෙකකින් එකක් කැරැල්ලට ජනතා සහයෝගයක් නොතිබූ නිසා නිසා අවසන් වූ අතර අනෙක දේශපාලන ත්‍රස්තවාදයකට පෙරලි දරුණු ලෙස මුදා හළ රාජ්‍ය භිෂණයකින් කෙළවර විය.
කෙසේ හෝ වේවා එසේ රජයක් පිහිටෙව්වා යයි සිතමු. එසේ පිහිටුවන රජයකට කියුබාවේ මෙන් නිදහස් අධ්‍යාපනය දිය හැකිය. කියුබාවේ නිදහස් සෞඛ්‍ය සේවය ලෝකයේ ප්‍රසංශාවට පාත්‍ර වුනු එකකි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෙදවරු, හෙදියන් වූ කියුබානුවන් ආරෝග්‍යශාලා වල තමන්ගේ සේවා මුරය අවසන් වූ පසු සංචාරකයන්ට මාර්ගෝපදේශකයන් හෝ ටැක්සි රියදුරන් ලෙස වැඩ කරමින් අමතර මුදලක් උපයති. ඒ ලැබෙන පඩිය ප්‍රමාණවත් නොවන නිසාය. කියුබාවේ අනිකුත් ජනතාවට ජිවත් වීමට එතරම් මුදල් නැත. රජයෙන් සලාකයට දෙන දේ කා ජිවත් වෙති. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් බදු ගෙවන්නේ තමන්ට වඩා හොඳින් ජිවත් වීමට තිබෙන හැකියාව උකස් කරමිනි. නමුත් කියුබාවේ ඒ තත්වය දැන් වෙනස් වෙමින් යයි. එසේ වෙනස් වන්නේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය විසින් රාජ්‍ය ධනවාදය මූලික කොටගත් ආර්ථික ක්‍රමය තව දුරත් පවත්වා ගෙන යා නොහැකි බව වටහාගෙන සිටින නිසාය.
ස්වීඩනයේ හෝ ජර්මනියේ ජනතාව දිළින්දන් නොකර මෙම නිදහස් අධ්‍යාපන අයිතිය ලබා දී තිබේ.
ශිෂ්‍ය අරගලයකින් පමණක් සමාජවාදී ආණ්ඩුවක් පිහිටවිය නොහැකිය. ඒ සඳහා අනිකුත් වැඩකරනජනතාව ගේ උදව් අවශ්‍යය. නමුත් අවම වශයෙන් ගාමන්ට් වල වැඩ කරන සේවකයන් පවා තම සුළු බදු මුදලින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වියදම් කිරීමට කැමති නැත. රටේ අනිකුත් ජන කොටස් වල මතයද එසේමය.
ලංකාවේ මිනුසුන් එවැන්නකට කැමති කර ගන්නට ඔබට ඇති හැකියාව ගැන මගේ විශ්වාසයක් දැනට නැත.
සයිටම් එකේ ඉගෙන ගන්නේ ඇමැති දු පුතුන් නම් ඔවුන් එතනට ගීයේ අදාල අපොස උසස් පෙළ ප්‍රතිඵල නොමැතිව නම් එයට විරෝධය පල කරමු. නමුත් අනිකුත් සිසුන්ට ඇති ඉගෙනීමේ අයිතියට ගරු කරමු.
(නිදහස් අධ්‍යාපනය සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය ගෙන යන අරගලය ගැන මගේ මතය ඉදිරියේදී වෙනස් කරන බව වාමාංශික පක්ෂයකට සහය දෙන මගේ ඉතා සුහද මිත්‍රයෙකුට පැවසුවෙමි. මේ ලිපිය එහි ප්‍රතිඵලයකි.මේ ලිපිය මෙතනින් අවසන් වන්නේ නැත. මේ ලිපි පෙළ මා ලියන්නේ තවත් අත්දැකීම් කිහිපයක් අදාළ කරගෙනය. ඒවා ඉදිරි ලිපිවල පළවනු ඇත)