Sunday, 14 August 2016

සාන්ත පිතර්බුර්ගයේ දීය - 2 - ලෙනින් මැතිඳු අද තනියම වෙල මැද්දේ

පළමු ලිපිය 

මා  දන්නා පරිදි ස්ටාලින් ගේ බොහොමයක් ප්‍රතිමා  සෝවියට් දේශය බිඳ වැටුණු පසු ඉවත් කරන ලදී. නැතහොත් ඔහුගේ පාලන සමයේ  භීෂණයට අසුවුණු අයගේ නෑදෑයින් විසින් කඩා  දමන ලදී. ලෙනින් ගේ ප්‍රතිමා  බොහෝ විට බලයට පැමිණි යෙල්ට්සින්ගේ පක්ෂයේ  නාගරික සභා මගින් ඉවත් කරන ලදී.  ලෙනින්ගේ පිළිමයක් තිබේ දැයි සොයා බැලූ මට ඉලිචා චතුරශ්‍රයේ පිළිරුව ඉවත් කර නොමැති බවට ආරංචි විය. ඉලිචා හෙවත් ඉලිච් යනු ලෙනින් ගේ දෙවැනි නමයි.

සාන්ත පිතර්බුර්ගයේ ඉතා පියකරු පෙදෙසක පිහිටි මේ චතුරශ්‍රයේ ලෙනින් බලා සිටින්නේ නේවා  ගඟ දෙසය.

ඉලිචා  චතුරශ්‍රය 

ලෙනින් සිටි හරියේ නේවා  ගඟේ සිට අප නැවතී සිටි නෙව්ස්කි විදියේ නිවෙස බලා  විනාඩි 25 පමණ පයින්ම ඇවිද්දෙමි. ඒ අතර නේවා ගඟේ පින්තුර කිහිපයක් ගන්නා  අතරතුර මට කල්පනා වුනේ අනිකුත් සෝවියට් කාලයේ තිබූ  පිළිම බොහොමයක් අතුරුදහන්ව ඇති බවයි.
එසේම ව්ලදිමීර් පුටින් ඉතා දක්ෂ ලෙස රාජාණ්ඩුවාදීන් හා කොමියුනිස්ට් පාක්ෂිකයන් අතර එකිනෙකා  කෙරෙහි ප්‍රතිවිරෝධතාවයන් අවුළුවා  තමන්ට එරෙහි විරෝධතා අවම කරගෙන ඇති බවයි.
අප මහා පීටර් රජුගේ සොහොන මෙන්ම සාන්ත ඉසාක්  දෙව්මැදුරු  ආදිය බලන්නට ගිය ගමන් වලදී බෝල්ෂෙවික් වරුන් විසින් මරා දැමුණු  රජ පවුලේ සාමාජිකයන් මෙන්ම බොහෝ සිටුවරුන්, කුමාරයන් , කුමරියන් ගේ හා සෝවියට් දේශයෙන් පළාගොස් 1991 න් පසු නැවත පැමිණි රදළයන්ගේ සොහොන්  පිහිටුවීමට පුටින් ඉඩ දී තිබේ. 
එනිසා රාජාණ්ඩුවාදීන් ඔහුගේ ගුණ ගයන අතර ලෙනින් ගේ පිළිම ඉවත් කිරීම නතර කිරීමෙන් ඔහු කොමියුනිස්ට් වාදීන්ගේ හොඳ හිත තබාගෙන තිබේ. මේ මිනිසා මැකියාවෙලි වැනිම කපටියෙක් (දක්ෂයෙක්?) යැයි මට සිතේ.


පහත ඇත්තේ කාලතුවක්කු (artillery) සඳහා පිහිටුවා ඇති හමුදා ඇකඩමියයි. මෙහි කාලතුවක්කු වර්ග, යුධ ටැංකිවල කාලතුවක්කු පිහිටුවන ආකාරය, ෂෙල් වැටෙන දුර නිර්ණය කිරීම ආදිය සියල්ල උගන්වන අතර කාලතුවක්කු පිලිබඳ විශේෂඥයන් බිහි කිරීම මෙහි පරමාර්ථයයි. මෙහි ඉගෙනුම පිලිබඳ වියදම දරන්නේ යුධ හමුදාවයි.





මේ මගේ හෙවනැලි සෙල්ෆියකි.



නේවා ගඟ අසල  හිරු බැසයන අන්දම

 ගඟ අසබඩින් ඇවිද ඉන්පසු අලෙක්සන්ද්රෝව්කි සද් නමැති ගිම්හාන සෘතුවේ  ඇවිදීමට සාදා ඇති උද්‍යානයට පිවිසුනෙමි. මේ එහි ඇති රෝම හා ග්‍රීක ප්‍රතිමා කිහිපයකි.







මේ රුසියාවේ ජනවර්ග ගැන හදාරන කෞතුකාගාරයකි.

 ශාන්ත පිතර්බුර්ග් නගර මධ්‍යයේ සුන්දර ශීත මාලිගාව ඉදිරිපිට චතුරශ්‍රයේ පිහිට ඇති මෙම කුළුණ 1917 විප්ලවයෙන් පසුව ඉවත් නොකරන ලද්දකි. එය පිහිටුවා ඇත්තේ රුසියානු ජෙනරාල් කුතුසොව්  ගේ හමුදා 1812 දී නැපෝලියන් බොනපාට් ප්‍රංශ හමුදා පරාජය කිරීම සිහි කිරීමටය. මේ කුලුනේ විශේෂත්වය වන්නේ එය එහි පිහිටා  ඇත්තේ එහි බරින් පමණක් වීමයි.  එනම් පදනමක් (foundation) නැතිවය.
 මේ එම චතුරශ්‍රයේ ඡායාරූප  කිහිපයකි.















Friday, 5 August 2016

මොස්කව් නගරයේ වසර 22 කට පසු

ඊයේ අප සාන්ත පිතර්බුර්ගයේ සිටි අවසන් දිනයයි. ලිවීමට බොහෝ දේ තබාගෙන සිටියත් අද ලැබුණු ප්‍රවෘතියකින් ඒ සියල්ල වෙනස් කිරීමට සිදු විය. කොමාවක සිටි මගේ මිතුරකු ඔහු සිහි තබාගෙන ගෙන සිටි යන්ත්‍රයෙන් ඉවත් කරන ලදී. අද උදයේ ඔහු සාමකාමිව සියල්ල හැර නික්ම ගියේය.

රාජකීය විදුහලේ රගර් කණ්ඩායමේ ක්‍රීඩා කළ  සංජය සිගේරා  රුසියාවේ හා ස්කොට්ලන්තයේ අධ්‍යාපනය ලබා වෛද්‍යවරයෙකු  සේ සේවය කළේය. නිතර සිනහ මුසු මුහුණින් සිටි ඔහු ජිවිතයෙන් අකාලයේ සමු ගන්න විට  ජිවත්ව සිටියේ නවසිලන්තයේය. තරුණ දියණියන් දෙදෙනෙකු ගේ හා කුඩා පුතෙකුගේ සෙනෙහෙබර පියෙකි. මා  කිසිදු පින්තුරයක් හෝ ගමන් විස්තරයක් වත්පොතේ මේ දිනවල පළ  නොකරන්නේ එහෙයිනි.  අද සවස මොස්කව් නුවරට නැවත පැමිණීමේ ප්‍රීතිය, පරණ මතකයන් මෙන්ම මොස්කව් හි සිටි පසුව ලන්ඩනයේදී ඇසුරු කළ  මිතුරෙකුගේ වියෝවද එකිනෙක වෙනස් හැඟීම් සමුදායක් පමුණුවයි.

අප නතර වී සිටින්නේ මොස්කව් නගර මධ්‍යයේ ත්වෙර්ස්කයා නමැති මාවතේය . මෙය මුලින් හැඳින්වූයේ  ගෝර්කව්ස්කයා  නමිනි. (සෝවියට් සමයේ). මේ පින්තුරය ගත්තේ දැන් සිටින තැනින් කවුළුවෙන් එපිට බලාය .


සිටි තැනින් ඉවතට පැමිණ ත්වෙර්ස්කයා මාවතේ මෙත්රෝපොල් නමැති හෝටලය තිබෙන තැන දක්වා ගියෙමි. සෝවියට් සමයේ පිහිටි තැපැල් හලේ මෙහෙයුම් මධ්‍යස්ථානය අද මොබයිල් සමාගමකි. 







ඉහත ඇත්තේ ක්‍රෙම්ලිනයයි. ප්‍රසිද්ධ නාට්‍ය රඟහලක පින්තුරය පහත දැක්වේ. 
ඊළඟට මා  ආපසු පැමිණ ත්වෙර්ස්කයා මාවතේ උඩහට පැමිණියෙමි. "ඇය  අතගෙන ගිය විදියේ ඔබ හා යනවා " මොහොතක් හමුවන්නේ මෙතැනය . මොස්කව් වල පළමු මැක්ඩොනල්ඩ් එක විවෘත කළේද  මෙතැනය . මෙතැනදී අමතක නොවෙන හමුවීම් සිදුවන 

මට බ්ලොගයේ ලියන්නට දේවල් කප්පරක් තිබේ. මේ සියල්ල පොතකට දෙකකට සිමා කළ  නොහැකිය. කවියකට කෙටිකතාවකට ගුලි කල නොහැකි හැඟුම් සමුදායක් ලිය තබන්නට බ්ලොගයම මිස වෙනත් තැනක් නැතැයි  හැඟේ. දැන් රාත්‍රිය පසුවී විනාඩි හා අටකි.
සංජේ  ඔබට සුභ ගමන් මිත්‍රයා . හෙට මම උඹ වෙනුවෙන් වොඩ්කා  වීදුරුවක් වෙන් කරන්නෙමි.

අතීත මතකයන් වැළලීමට හොඳම තැන මතකයන් ඇතිවූ තැන්මය . අතීතය නැත්නම් වර්තමානයක් නැත. වර්තමානයක් නැත්නම් අනාගතයක් නැත. තවෙකෙකුගේ අනාගතය  අවසන් වූ දවසේ අතීතය මෙනෙහි කරමි.   ගේ කාලයේ සිට, ලෙනින් ගේ කාලයේ සිට, ස්ටාලින් ගේ කාලයේ සිට මිනිසුන් ගමන් කල  මේ මාවතේ ගොර්බචෝව් කාලයේ ගමන් කලෙමි.

අද දයාබර බිරිද හා දරු දෙදෙනා සමග නැවත ගමන් කලෙමි.

හෙට තවත් දවසකි. 




Wednesday, 3 August 2016

සාන්ත පිතර්බුර්ගයේ දීය - 1

මේ දිනවල මා  සිටින්නේ රුසියාවේය. අපි මුලින්ම පැමිණියේ සාන්ත පිතර්බුර්ගයටයි. සෑම දිනම රාත්‍රියේ නවාතැනට පැමිණෙන්නේ විඩාවෙන් බැවින් බ්ලොගය ලියන්නට සිත එක්තැන් කර ගැන්ම මදක් අපහසුය. දැන් දවස් අටක් පමණ ගතවී ඇති බැවින් කෙසේ හෝ ලියන්නට සිතුවෙමි. සහෘදයන්ගේ බ්ලොග් අඩවි වලට පැමිණීමට කාලයක් සොයා ගැන්ම මදක් අපහසු නිසා ඒ ගැන සමාව අයදිමි.
 සමහර විට චාරිකාවේ මැදින් පටන් ගැන්ම සුදුසු යයි සිතමි. අප මෙහි පැමිණියේ ජූලි  27ය. ජූලි  31 යනු මෙහි නාවික භටයන්ගේ දිනයයි. මේ නිසා නේවා ගඟේ යුධ නෞකා  කිහිපයක් තිබේ. අද නාවික හමුදා භටයන් තමන් ගේ දරු පවුල්, දෙමාපියන් හෝ පෙම්වතියන් කටුව නගරයේ සැරි  සරති . එකිනෙකාට  සුභ පතා ගනිති. බොහෝ අය  මත්පැන් ද පානය කරමින් තැන තැන සිටිති.

පහත ඇත්තේ නෞකා  කිහිපයකි.





නේවා  ගඟේ පළල අඩි  1200 සිට 1500 පමණ වේ. මෙහි නැව්   ගල්ෆ් ඔෆ් ෆින්ලන්ඩ් හෙවත් පින්ලන්ත මුහුදට යාත්‍රා කරති. නේවා  ගඟ දිගේ පාලම් කිහිපයක් තිබෙන අතර ඒවා විවෘත කරන තුරු නැව්  නවතා තිබේ. ගඟේ නැව්  විවෘත කරන්නේ රාත්‍රී 1.30 ටය.

ජුලි 31 දා  රැයේ  නැවියන් සඳහා ගිණි  කෙලි සංදර්ශනයක් රාත්‍රී දහයට පමණ පැවැත්වේ. අප එය නරඹා  නවාතැනට පැමිණියෙමු. නමුත් මම දියණියන්ට කියා සිටියේ නොනිද සිටින ලෙසත් අප නැවත පාලම් විවෘත කිරීම බලන්නට යන බවත්ය. ඔවුන් එයට කැමති වූයේ  නැත. මහන්සි බව කියමින් මැසිවිලි නැගුහ. එවිට ම කීවේ  මගේ පියා  සහ මව වෙසක් බලන්නට, හින්දු කෝවිලේ රදම් බලන්නට අප රැගෙන ගිය බවත් මා  දැන් එය ඉතා අගයන බවත්ය, කවද හෝ බිරිඳ හෝ මම නැති දිනයක් එළඹෙන බවත් එදිනට සමහරවිට අප සතර දෙනා  එකට නැරඹු මෙවන් සිදුවීමක් ඔවුන් අගය කරනු ඇති බවත්ය. මද නිහැඬියාවකින් පසු දෙදෙනාම ඇඳ පැළඳගත්හා. අපි රාත්‍රී එකට පමණ පිටත් වුනෙමු. අප යන විටත් බොහෝ අය  එහි රැඳී සිටියහ.

පාලම් විහිදුවීම මෙහි සටහන්ව ඇත.





අද සවස අගෝස්තු තුන් වැනිදා නේවා  ගඟේ ඉර බැස යන අන්දම මෙහි සටහන්ව ඇත.



Tuesday, 26 July 2016

නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 3 කෝබින් සහ යුරෝපය



නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 1 - වැස්සට තෙමෙන උන්

නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 2 - සයිටම් යනු රෝග ලක්ෂණයකි.

බ්ලොගය කියවන මගේ යහළුවකු පසුගියදා අපූරු පැනයක් ඇසුවේය.

 "ඔයා මහා පුදුම මනුස්සයෙක්නේ. මෙහෙ කෝබින් ට සපෝර්ට් කරන ගමන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය එපා කියනවා "

මේ ප්‍රශ්නය ඇසුණු විට මට හැඟුණු එක දෙයක් නම් මේ මිනිසුන්  තමන්ගේ පොල්කට්ට අස්සේ කොපමණ සිරවී සිටින්නේද යන්නය. මගේ ඉහත ලිපි දෙකේම නිදහස් අධ්‍යාපනය එපා කියා ලියා නැත. ඔහුගේ අදහස මා පෞද්ගලික අධ්‍යාපනයට සම්පුර්ණයෙන්ම සහයෝගය දෙන බවයි. එවැනි අයද සිටිති. ඒ ඔවුන්ගේ අදහසයි. මගේ අදහස නම් කිසියම් ලක්ෂ 120 වැනි අති  විශාල මුදලක් නොව අඩු ගණනක (වසරකට රුපියල් ලක්ෂ 6-7 වැනි) අයකර  රජයේ ද සහයෙන් පීඨ ඇති කිරීමට හා අපොස උ.පෙ.   සමත් එහෙත් මුල් කොටසට  හසු නොවන සිසුන්ට  ණය ක්‍රමයට ඉගෙනීම ලබා  දීමට ය. නිදහස් අධ්‍යාපනය එසේම පවත්වා ගෙන යන්නටය. බොහෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.

ජර්මනියේ උසස් අධ්‍යාපනය  නොමිලේය. නාමික යුරෝ 500 ක මුදලක් ගන්නා  නමුදු සියලු පහසුකම් හා දේශන නොමිලේය. එවැනි රාජ්‍ය  විශ්ව විද්‍යාල ගණන 380කි. මේ 380න්  25 පමණ විදේශ සිසුන්ටද නොමිලේ අධ්‍යාපනය දෙයි. නමුත් ජර්මනියේ පෞද්ගලික විශ්ව විද්‍යාල 86 තිබේ. කැමති අයට මුදල් ගෙවා ඒවායේ ඉගෙනීම කල හැකිය.  ඊට අමතරව රජය විසින් ණය  ලබා දෙන පුහුණු තාක්ෂණික පාඨමාලා තිබේ. ස්වීඩනයේ ද කොලේජ් අධ්‍යාපනය හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේය. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල 3 ක් හා කොලේජ කිහිපයක් තිබේ.

සම්පුර්යෙණන්ම නිදහස් අධ්‍යාපනය ඇත්තේ ෆින්ලන්තයේය. එහි ජනතාව  මිලියන 5 වන අතර සම්පුර්ණ අධ්‍යාපනය පමණක් නොව නොමිලේ දහවල් ආහාරයද රජයෙනි. ඔවුන් පවසන්නේ තමන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී බවය.   මේවා නඩත්තුවට 6% සිට 31% දක්වා අදායම අනුව බදු අය කරනු ලැබේ. වංචා දුෂණ නොමැතිව ඒ බදු මුදල් නැවත අධ්‍යාපනය, සෞඛ්‍ය  සේවා ආදියට  යෙදවෙයි.

දැන් අපි කෝබින්  ව සාකච්චා කරමු. ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකි. ඔහු වරක් තමන්ව හැඳින්වුයේ පශ්චාත් මාක්ස්වාදියෙකු ලෙසය.  බ්ලෙයාර් මුදල් අය කර ගැනීමේ  (tuition fees) ක්‍රමය රැගෙන ආ විට ඔහු ඊට විරුද්ධ වුනු අතර ඒ පිරිසේ මම ද සිටියෙමි. හේතුව
අප හැමෝම අදායමෙන් ඉතා විශාල ප්‍රමාණයක් බදු ගෙවන අතර අධ්‍යාපනය නොමිලයේ ලබා දීමට බ්‍රිතාන්‍ය රජයට හැකියාව තිබීමයි. කෝබින්ගේ තර්කය වුනේ ඉරාකයේ යුද කිරීමට මුදල් තිබේ නම් අධ්‍යාපනය දීමටද මුදල් තිබිය යුතු බවයි. පෞද්ගලික විශ්ව විද්‍යාල කොහොමත් තිබෙන නිසා මෙන්ම සුදු ජාතික වැඩ කරන ජනතාවගේ පිරිමි ළමුන් ඉතා අඩු වශයෙන් විශ්ව විද්‍යාලයට යන   නිසාත්  ඔහු මෙවැනි යෝජනාවක් ගෙනාවේය. එසේම ඔහු ජර්මන් ක්‍රමයට අධ්‍යාපනය සැකසීමට යෝජනා කරයි. එය සාධාරණ තර්කයකි.  එසේම අවශ්‍ය අයට පෞද්ගලික ව ඉගෙනිමටද හැකි අතර ඒ සඳහා ණය පහසුකම්ද පවතී.

ඊළඟ වැදගත්ම කරණය නම් මේ මිනිසා අවංක, ප්‍රතිපත්ති ගරුක නායකයෙකු වීමයි.

බ්‍රිතාන්‍යයේ ග්‍රැමර් විදුහල් කියා වර්ගයක් තිබේ. (රාජකීය, ආනන්ද, නාලන්ද, විශාඛා, දේවී බාලිකා වැනි). මේ විදුහල් හැම දිස්ත්‍රික්කයකමපාහේ  තිබේ. වැඩිපුරම තිබෙන්නේ ලන්ඩනයේය. එසේම   ඊටන් වැනි පුද්ගලික විදුහල් ද තිබේ. (මේවා ලංකාවේ  සෙන්ට් තෝමස් වැනි  හා ජාත්‍යන්තර පාසල් වැනිය). මේවායේ ඉගැන්වීම ද  හොඳය . කතෝලික පාසල් හා ඇන්ග්ලිකන් පල්ලියේ පාසල් තිබේ. එසේම  කොම්ප්‍රහෙන්සිව්
කියා පාසැල්  ජාතියක් තිබේ.  ඒවා මධ්‍ය  මහා විද්‍යාල වැනිය. හැම ජාතියේම ළමයි සිටී. ඊළඟට ඇත්තේ කුඩා රජයේ පාසැල්ය.  කතෝලික හා ඇන්ග්ලිකන් පල්ලියේ පාසල් වලට රජයෙන් ආධාර දෙනු ලබන අතර ඉගෙනිමද හොඳය.

ග්‍රැමර් විදුහල් වලට යාමට තරඟ විභාගයක් තිබේ.  එවකට කම්කරු පක්ෂ නායක ටෝනි බ්ලෙයාර් තම දරුවන් යැව්වේ ඒවාටය. දැන් කෝබින්ට විරුද්ධ හැරියට් හාමන් නමැත්තිය තම දරුවන්  යැව්වේද ඒවාටය.  කොබින් මේවා ට තදින් විරුද්ධය. ළමුන්ට මිශ්‍ර අධ්‍යාපනයක් දීම වැදගත් යයි ඔහු සිතයි. ඔහුගේ පුතා ග්‍රැමර් විදුහලේ තරඟ  විභාගයට යැවීමට ඔහු විරුද්ධ විය.  එනිසා ඔහුත් පළමු බිරිඳත් අතර විවාහය 1999 දී බිඳ  වැටිණි. විවාහය බිඳ වැටෙන්නට හැරියා මිස ඔහු තම ප්‍රතිපත්තිය පාවා දුන්නේ නැත.  ඒ විස්තරය මෙහි ඇත.

දැන් මෙහි ඉන්න ලාංකික  දෙමළ ජනතාව  ගැන බලමු,  ඔවුන් මේ රටේ පදිංචියට පැමිණි පසු ග්‍රැමර් විදුහල් වල තරඟ වලට ළමයින් ටියුෂන් යවා සුදානම් කළහ. යුදෙව් ජාතිකයන්ද තරමක් දුරට මේ ක්‍රමය අනුගමනය කරති. වැඩිදුර අධ්‍යාපනයක් නැති අය බොහොමයක් කඩවල ආදියේ වැඩ කරමින් දුකසේ උපයන මුදල් දරුවන්ගේ ටියුෂන් වලටත් කොටි සංවිධානයටත් වැය කලෝය. සිංහල උදවියද මේ ක්‍රමයම අල්ලා ගත්තේය. මේ දුටු ඉන්දියානුන් , බංග්ලාදේශ,  පකිස්තානු , අප්‍රිකන් වැසියන් සියල්ල ටියුෂන්  සරණ යාම පටන් ගති. අලුතින්ම එකතු වී ඇත්තේ චින්නුය. චීන්නුන් අන්තිම තරඟකාරීය. සමහරු ළමයින්ව නැගිට්ටවන්නේ උදේ 3.00 ටය.

මුලදී සුදු ජාතිකයන් මේ විකාරය ප්‍රතික්ෂේප කළහ.  ඔවුන්  විශ්වාස කරන්නේ ස්වභාවික දක්ෂතාවයටය. (natural talent) නමුත් තමන්ගේ ළමයි ටියුෂන් නිසා පසුබෑමට ලක්වෙන බව දුටු ඔවුන් ද ටියුෂන් දෙන්නට පටන් ගති. මෙතෙක්  කල් නොමිළයේ හොඳින් ඉගැන්වෙන පාසල් වල දැන් තරඟයකි. මේ විකාරයට එකඟ නොවන අය සිටිති. එහෙත් ටියුෂන් කාරයන් බාර් එක උස්සන නිසා දැන් ප්‍රශ්නය ඔඩු දුවා ඇත. සමර පාසල් වල තරඟ   විභාග දැන් ඉංග්‍රීසි හොඳින් දන්නා  සුදු ජාතික ළමුන්ට වාසි වනසේ සකස් කරති.

මගේ බිරිඳ ජර්මන් උගන්වන්නේ ලැටිමර් නම් ග්‍රැමර් විදුහලේය.  එහි දෙමළ  ළමයින් බොහොමයක් සිටිති. මෙහි එක ගැහැණු ළමුන්ට පමණක් ඇති ග්‍රැමර් විදුහලක ඉහළ  පන්ති කිහිපයකම බහුතරය සිටින්නේ දෙමල ළමුන් පමණය.  සිංහල ළමුන් කිහිප දෙනෙක්ද චීන ළමයින්ද අනිත් ජාතීන් අතර වෙති. ලංකාවේ  ප්‍රභාකරන්ට මුදල් යවා දිළිඳු අයගේ දරුවන් යුදයට යවන අතරේ මෙහේ තමන්ගේ දරුවාගේ අනාගතය ටියුෂන් ද යවා හදා  දෙති. ඒවා ඇහුවොත් පොස්පරස් ගැන කීවේ නැත  කියා සමහරු උඩ පනිති.

සෙන්චෝලේ  ළමයි රජයේ හමුදා  බෝම්බ දමා මැරූ වෙලේ මම එක දෙමළ මහතෙකු ගෙන් ඇසුවේ, ඔය සංවිධානයට යවන සල්ලි නවතා  රජය සමග ගිවිසුමකට එන්න බල කරන්න උඹලාට බැරිද කියාය.  ඔහු කීවේ එවැනි ප්‍රහාර වලින් සංවිධානයට ලැබෙන මුදල් වැඩි වෙන බවයි. සමහර විට සංවිධානය මගින්ම  රජයේ හමුදාවට ඔත්තු සපයන බවට ඔහු සැ ක කරන බවද පැවසුවේය. එයට හේතුව මෙහි ආධාර ඉල්ලන උත්සව ළංවෙන  කාලයට හමුදාවේ ප්‍රහාර වලින් හදිසියේ මිය යන ගණනද  ද වැඩි වූ බැවිනි .

මේ දෙමළ ජාතිකයන් මෙහි ආවේ ලංකාවේ  ලැබුන හිරිහැර නිසාය. ඒ කියන්නේ ඔවුන් සරණාගතයන්ය. එහෙත් යුරෝපයෙන් ඉවතට යාමට චන්ද විමසු වෙලේ පිටින් එන සංක්‍රමණිකයන්  රැකියා පැහැර  ගනිතියි කියා බහුතරයක් එංගලන්තයේ දෙමළ  ජනතාව  බ්රෙක්සිට් එකට චන්දය දුන්හ. (සිංහලයන්ද සමගම). ඔබලා  ආ කාලයේ සුදු ජාතිකයා එසේ හැසිරුනා නම් ඔබට සිතන්නේ මොනවාද යැයි  මම සමහරක ගෙන් ඇසුවෙමි.

ග්‍රමර් විදුහල් වල  වල වැඩිපුරම ඉන්නේ ආසියාතිකළමයිය. එකාට එකා  නැත. උන් අතර ඇත්තේ ද පුදුම තරඟයකි.  යන්තම් පහලට ගියොත් දෙමාපියන්ගේ දෝස්මුරය ලැබේ. ඒ මදිවට ටියුෂන් ද යවති.

අපේ  දරුවන් දෙදෙනාටම ඉංග්‍රීසි ටියුෂන් යවා ළටිමර් ග්‍රැමර් විදුහල මෙන්ම තවත්  විදුහල් කිහිපයක විභාග සමත් කෙරුවෙමි.  එසේ කලේ මම මෙවැනි අදහස් පළ කරන්නේ දරුවනට යාමට නොහැකි වූ නිසාය යන චෝදනාව නොඇසිමටය. මගේ බිරිඳගේ පාසැලට  දෙදෙනාම තේරුණ මුත් අපි දරුවන් දෙදෙනාම දැමුවේ රජයේ කොම්ප්‍රහෙන්සිව් එකටය. අපි දෙදෙනාටම කිවේ හොඳට ඉගෙන ගන්න පමණකි. ටියුෂන් යවන්නේ නැත. දෙදෙනාම ඉන්නේ ටොප් සෙට් එකේයය. එසේම ඉගෙනීමෙන් අදක්ෂ ළමයින්ට ඔවුන් උදව් කරති.  විදුහලේ නොයෙකුත් ක්‍රියාකාරකම් වල ඉහළින් සිටිති.

ලඟදි අපේ ආයතනයේ තාක්ෂණික අධ්‍යක්ෂක මා ලඟට  පැමිණ මෙසේ කිවේය.
ඔහුගේ පුතුන් දෙදෙනාම ඉගෙනුම ලබන්නේ මගේ දියණියන් යන පාසලේය. ඔහු කීවේ "අජිත් අද ඉස්කෝලේ පොත් කියවීම අඩු ළමයින්ට දෙමාපියන් එක්ක ඇවිත් කියවන්න පුරුදු වෙන්න වැඩ සටහනක් තිබ්බනේ, මම ගියා  ජේම්ස් අරගෙන (ඔහුගේ පුතා) . කවුද දන්නවද වැඩ සටහන් මෙහෙයවූයේ. ඔයාගේ ලොකු දුව. " මට ඒ ඇතිය.

දැන්  ඔය හැමෝගෙම ළමයි මේ රටේ ග්‍රැමර් විදුහල් තියා පෞද්ගලික පාසැල්  වලට ගෙවා  ඉගෙන ගත්තද මට ප්‍රශ්නයක් නැත. හැමෝම දරුවන්ය. තම දරුවන්ට හොඳක් කරන්නට හැමෝම ක්‍රියා කරති. මම ටියුෂන් නොයෑව්වා කියා ඔවුන්ගේ දරුවන් යවන්නට එපා යයි මා  කියන්නේ නැත.

නමුත්  මේ බොහොමයකගේ ලොකුම අමාරුව  ලංකාවේ එකෙක් ගෙවා මොකක්දෝ විදුහලකට යාමය.  ඒ විදුහලේ ප්‍රමිති හොඳ නැත්නම්, ගාණ  වැඩි නම් එය ඒවාට ගෙවන අයගේ ප්‍රශ්නයකි. රජය ඔවුන්ට රැකියා දෙන්නට බැඳී නැත. ජර්මනියේ  පෞද්ගලික විදුහල් වලින් එලියට එන අයට නොව රජයේ විශ්ව විද්‍යාල වලින් එන අයට ඇති තැන වැඩිය. ලංකාවේ ද එය එසේමය.

එංගලන්තයේ දොස්තර කෙනෙකුගේ පඩිය පවුම්  පනස්දහසක් පමණ වේ. කොන්සල්ටන්ට්  කෙනෙක් නම් එය පවුම් ලක්ෂය දක්වා  වැඩිවේ.  මේ රටට දොස්තරවරු මදිය.  හෙදියන් මදිය. ලංකාවේ ණය දී හෝ උගන්වා ගිවිසුමක් ගසා  මේ රටට එවීමෙන් රජයටද  ආදායමක් ලැබිය කිය.  ජර්මනියේ තත්වයද මෙයමය. තාක්ෂණික හැකියාව ඇති අය ගේ හිඟයක් තිබේ.

එසේම  නර්සරියේ සිටම  ටියුෂන් ගිය  එවුන් තමන් විශ්ව විද්‍යාලයට ගිය පසු, දිගටම
ටියුෂන් ගෙවා ගෙන පෞද්ගලිකව වැඩිදුර ඉගෙන ගන්නා එකාට විරුද්ධ වෙති. ජාත්‍යන්තර පාසල් වලට  ඉඩ දෙන එවුන් නිදහස් අධ්‍යාපනය රැක  ගන්න යයි මොර දෙති.  ග්‍රැමර් විදුහල් වල‍ට ළමයි යවමින් ඔවුන්ට පෞද්ගලික ටියුෂන් දෙමින් ළමුන් ලවා සමාජයේ ඊලඟ ස්ථරයට  පැන  ගැනීමට තැත්  කරන උන්  මම රනිල්ගේ ගැත්තෙකි යයිද  එජාපයෙන් සල්ලි ගන්නා  එකෙක් යයිද  කියති.


ඔය හැම එකාටම  වඩා කෝබින්ට ප්‍රතිපත්තියක් තිබේ. මම ඔහුට කැමතිද ඒ නිසාමය.



මුලාශ්‍ර - http://www.theguardian.com/politics/1999/may/13/uk.politicalnews2