ඩී එස් - චඡායාරුප තුප්පහි බ්ලොග් අඩවියෙනි |
එදා සිට ශ්‍රී ලංකාව පාලනය කරන ලද නායකයන් ගෙන් බොහොමයක් ඉතිහාසගත වී තිබෙන්නේ නොයෙකුත් හේතූන් වලටය.
ඩී ඇස් සේනානායක (1883-1952) මහතා ගල්ඔය ජනපද ව්‍යාපාරය ආරම්භ කළේය. ඔහුට "ජාතියේ පියා " යයි නමක් ද පට බැඳී තිබේ. බ්‍රිතාන්‍යයන් මගින් සිංහල ඉඩම් බලහත්කාරයෙන් අයත් කරගෙන සිංහලයාට කඳුරට හා නැගෙනහිර කරන ලද දැඩි අසාධාරණයන්ට පිළිතුරක් ලෙස නව ජනාවාස පිහිටුවා, ඉඩම් ලබාදී කුඩා විදුලි බලාගාරයක් ද සාදා රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම ට හොඳ පදනමක් දැමීමට මේ ව්‍යාපාරය සමත් විය. යාපනයේ දෙමළ දේශපාලකයන් සිංහල කොලනිස්ට් නමින් හැඳින්වූයේ මේ සිංහල ජනතාවය. මෙම තුප්පහි නමැති බ්ලොග් අඩවියේ මේ පිලිබඳ ඉතා හොඳ විස්තරයක් (ඉංග්‍රීසියෙන්) තිබේ.
(මෙම බ්ලොග් අඩවිය හොඳම ඉංග්‍රීසි බ්ලොග් අඩවිය ලෙස සම්මානයක් සඳහාද නිර්දේශ කළෙමි .)
එම බ්ලොග් අඩවියේ සඳහන් අන්දමට කිසිම රටකින් ණයක් නොගෙන දේශීය ඉංජිනේරුවන් යොදවා දේශීය දැනුමින් මුළු වාරිමාර්ග ව්‍යාපාරයම නිමවන ලදී. එසේම සිංහලවාදී නායකයකු වුවත් කිසිම දෙමළ ජාතිකයකුට අසාධාරණයක් වීමටද ඩී එස් ඉඩ නොතැබුවේය.
ලංකාවට ඩොමිනියන් තත්වය ලබා ගැනීමටද මුලික වුනු ඔහු ඉඩම් සංවර්ධන පනත ද ගෙන ආවේය. බොහෝ දෙනා ඔහුගේ වරදකට දකින්නේ ඉංග්‍රීසින් විසින් වතුකරයට අලුතින් ගෙනා මිලියන භාගයක් පමණ වූ දෙමළ කම්කරුවන්ගේ පුරවැසි භාවය අහෝසි කිරීමය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔහුගේ නම ලියා තැබීමට ඔහු සමත් විය.
යටත් විජිත සමයේ හමුදාවේ සේවය කල සර් ජෝන් කොතලාවල (1895-1980) එවකට පැවති 1953 හර්තාලයේදී ඩඩ්ලි සේනානායක මහතාගේ ඉල්ලා අස්වීම නිසා හදිසියේ අගමැති පදවියට පත්විය. ජනාධිපති ජේ අර ජයවර්ධන මහතා විසින් ඔහු ලංකා හමුදාවේ ප්‍රථම ජෙනරාල් වරයා ලෙස අභාවප්ප්‍රාප්ත වීමට සුළු කලකට පෙර පත් කරන ලදී. කොතලාවල මහතා ඔහුගේ කඳවල වලව්ව රජයට (හමුදාවට) පරිත්‍යාග කළේය.
ඩී ඇස් ගේ වැඩිමහල් පුතා ඩඩ්ලි සේනානායක (1911-1973) මුලින් 1952 හා 1960 වසර වල අගමැති පදවියේ සුළු කලක් සිටි අතර 1965-70 දක්වා අගමැති වරයා ලෙස රට පාලනය කළේය. ඔහු ආර්ථිකය සමබරව තබා ගැනීමට කටයුතු කලා මිස ඉතිහාසයට යාමට තරම් වැදගත් දෙයක් කලා යයි කොහේවත් ලියවී නැත. මුල් අගමැති පදවිය හිමි වුයේද "තාත්තාගෙන් පුතාට" ගිය උරුමයක් වශයෙනි.
"සිංහල පමණක් " රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රධාන සටන් පාඨයද සහිතව බලයට පත්වූ එස් ඩබ්. ආර් ඩී බණ්ඩාරනායක මහතා (1899 -1959) ඒ පොරොන්දු වූ ලෙසටම සිංහලය රාජ්‍ය භාෂාව කළේය. එතෙක් සිංහලයාට වැසි තිබුණු රාජ්‍ය පරිපාලන සේවයේ දොරවල් මෙනිසා ඔවුනට විවෘත වුන අතර සිංහල සිසුන් ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ට ඉන් තල්ලුවක් ලැබුණි. විද්‍යෝදය හා විද්‍යා;ලංකාරය පිරිවෙන් විශ්ව විද්‍යාල බවට පත්වුනි. එසේම එතෙක් සුළු වශයෙන් ඉදිරියට එමින් තිබූ ජන වාර්ගික ප්රශ්නය "භාෂා ප්රශ්නය " මත වඩාත් දරුණු වීමද සිදු වුයේ මේ සමයේය. දෙමළ ජනතාවට විරුද්ධ ප්‍රථම ජන සංහාරය සිදු වුයේ ඔහුගේ පාලන සමය තුළදීය (1958). මෙහිදී යාපනය දෙමළ ජාතිවාදීන් විසින් දකුණේ සිංහලයන්ට ප්‍රථමවරට පහර දෙන ලදී.
බ්‍රිතාන්‍යයන් යටතේ තිබූ කටුනායක හා ත්‍රිකුණාමල කඳවුරු ලංකා රජයට යටතට පවරා ගත් බණ්ඩාරනායක මහතා කිසිඳු බල කඳවුරකට නොබැඳි කටයුතු කිරීමේ විදේශ ප්රතිපත්තියෙහි පුරෝගාමියා විය. එසේම සෝවියට් දේශය හා චීනය සමග ප්‍රථම වතාවට තානාපති සබඳතා ඇරඹුණේද මේ සමයේය. බණ්ඩාරනායක මහතාගේ සමයේ කම්කරුවන්ට බලපාන නීති සමුහයක්ද ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාවේ බහුතර සිංහල ජනතාව අතර සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේග ප්‍රථම වරට එක් කල බැවින්ද ඔහු ඉතිහාසගත වෙයි.
ලෝකයේ ප්‍රථම අගමැතිනිය ගේ දිවුරුම් දීම |
බණ්ඩාරනායක මහතා ගෙන් පසු ඔහුගේ වැන්දඹු බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක(1916-2000) මැතිනිය බලයට පත් වූයේ බණ්ඩාරනායක මහතා මෙන්ම වාමාංශික පක්ෂ වල පිහිටෙනි. බණ්ඩාරනායක මහතාට කළ නොහැකිව තිබු තෙල් කොම්පැනි ජනසතු කළේ බණ්ඩාරනායක මැතිනියයි. 1960 සිට 1965 දක්වා හා 1970 සිට 1977 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ ඇයගේ කාලයතුල තේ වතු ජනසතු කිරීම හා විශාල වතු හිමියන්ගේ වතු ජනසතු කිරීමද (පසුව ඒවා නෑදෑයින් හා හෙන්චයියන්ට දී විනාශ කිරීම ද ඇතුළුව) සිදු කෙරුණි.
තරුණයන්ගේ කැරැල්ලක් 1971 දී මැඩ පැවැත්වීමටද බණ්ඩාරනායක මහත්මියට සිදු විය.
ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම 1972 වූ නව ව්‍යවස්ථාවෙන් සිදු වූ අතර විශ්ව විද්‍යාල සිසුන් ඇතුලත් කර ගැනීම සඳහාවූ මතභේදාත්මක "දිස්ත්‍රික් පදනම් ක්‍රමය" ඇරඹුණේ ද ඇගේ පාලන සමය තුලය. හාල් පොලු, මිරිස් පොලු ආදිය දමා ආහාර සලාකයට දී ලාභ ඉන්දීය සාරි ලංකාවට ගෙන්වමින් වාමාංශික මුදල් ඇමති ඇන් ඇම් පෙරේරා මහතා ලංකාවේ බාහිර විදේශ ණය සෑහෙන ප්‍රමාණයකින් අඩු කළේය. රාජ්‍ය මැණික් සංස්ථාව , දැව සංස්ථාව ආදී සංස්ථා බොහොමයක් පිහිටවූයේද මේ කාලයේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1976 දී නොබැඳි සමුළුවේ සභාපතිනිය වශයෙන් ශ්‍ර ලංකාවේ නොබැඳි සමුළුවද පැවැත්වූවාය. එහෙත් අසාර්ථක වූ ආර්ථික ප්‍රතිපත්ති නිසා විවෘත ආර්ථිකයක් ගෙන ඒමට පොරොන්දු වූ ජේ ආර් ජයවර්ධන මහතා ගේ පක්ෂයට පරාජය වුවද සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ ප්‍රථම අගමැතිනිය වශයෙන්ද ඉතිහාසයට එක් වූවාය.
ජේ ආර් ජයවර්ධන (1906-1996) මහතා 1965 එජාප රජයේ රාජ්‍ය ඇමති පදවිය දැරූ සමයේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අඩිතාලම දැමුවේය. හයෙන් පහක ආසන සංඛ්‍යාවක් සහිතව 1977 දී බලයට පත්වූ ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ එවකට පැවති ව්‍යවස්ථාව සහමුලින්ම වෙනස් කරමින් නව ව්‍යවස්ථාවක් සම්මත කරගෙන ප්‍රථම අධි බලැති විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්විය. එයට ප්‍රථම 1977 මැතිවරණයෙන් පසු තවත් වතාවක් දෙමළ ජනතාවට මෙන්ම ශ්‍රී ලනිප පාක්ෂික යන්ටද ප්රහාරයන් ට මුහුණු දීමට සිදු වුනි.
වික්ටෝරියා වේල්ල |
එතෙක් පැවති අර්ධ සමාජවාදී සංවෘත ආර්ථිකය මුලුමනින්ම විවෘත කරමින්, එම රජයේ ආර්ථික ප්රතිපත්තීන් සහමුලින්ම වෙනස් කරමින් ලිබරල් ධනවාදී ආර්ථිකයක් ස්ථාපිත කිරීමට ජේ ආර් කටයුතු කළේය. එසේම ඔහුගේ පාලනයේ මුල් වසර කිහිපය තුල ශ්‍රී ලංකාව විශාල වෙනස් කමකට භාජනය විය. එසේම තමා යටතේ සිටි ඇමතිවරුන් ගෙන් දක්ෂයන් හඳුනා කටයුතු කිරීමට ඔහුට හැකි විය. 1964 වැනි ඈත කාලයක යෝජනා වුවද 1978 දී ගාමිණී දිසානායක මහවැලි ඇමතිව සිටියදී දියත් කල මහවැලි යෝජනා ක්‍රමය , ලලිත් ඇතුලත් මුදලි ගේ මහපොළ ශිෂ්‍යත්ව (බුද්ධිමය දේපළ පනතේ නිර්මාතෘ ඔහුය) ,හා ප්‍රේමදාස මහතාගේ ගම්උදාව ව්‍යාපාරය මගින් නිවාස තනා දීමද මේ කාලයේදී ඇරඹිණි.
ජාතික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් දිස්ත්‍රික් සංවර්ධන සභා 1979 දී පිහිටවුවත් යාපනය මහජන පුස්තකාලය වටිනා පොත් පත් සමගින් ගිනි තබා විනාශ කරන ලදී.
එසේම නිදහස් වෙළඳ කලාප පිහිටුවා සම්ප්‍රදායික අපනයන භාණ්ඩ වන තේ, පොල්, රබර් වලට අමතරව නිමි ඇඳුම් අපනයනය ආරම්භ කළේ ජයවර්ධන සමයේය. එම වෙළඳ කලාප ශ්‍රමිකයන් මෙන්ම මැද පෙරදිගට ශ්‍රමිකයන් යැවීමද මගින් ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයට ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට ඔහුට හැකි විය. සම්ප්‍රදායික වම සංවිධානය කළ 1980 වැඩ වර්ජනයට සහභාගී වූ සියල්ල ගෙදර යැවූ ජයවර්ධන මහතා 1982 ජනමත විචාරණයක් පවත්වා එතරම් ප්රජාතන්ත්රවාදී නොවන ලෙසකින් නැවත බලයට පත් වුනි.
ඇමෙරිකානු හිතවාදියකු වන ජයවර්ධන මහතා ලලිත් ඇතුලත්මුදලි විසින් ඊශ්‍රායලය සමග සම්බන්ධතා ඇරඹීම ගැන විරෝධයක් පළ නොකළේය. මේ තත්වය සෝවියට් හිතවාදී ඉන්දීය රජය රිස්සුවේ නැත. තමිල්නාඩුව හරහා ඉන්දියාව දෙමළ කැරලිකරුවන්ට ආධාර සැපයූ ඉන්දීය රජය ලංකාව අස්ථාවර කිරීමට මාන බැලීය. දෙමළ කැරලිකරුවන් හමුදා භටයින් පිරිසක් මරා දැමීම හරහා ඇවිලුණු 1983 ජාතිවාදී ප්‍රහාරය දරුණුම දෙමළ ජන සංහාරය ලෙස ඉතිහාස ගතවුණු අතර බොහෝ දෙමළ ජාතිකයින් බටහිරට පලා යාම සමග ප්‍රබල දෙමළ ඩයස්පෝරාවක් බිහි වීමේ අඩිතාලම වැටුණි. එසේම ජනතා විමුක්ති පෙරමුණ හේතු විරහිතව තහනම් කිරම මගින් දකුණේ කැරැල්ලක් නිර්මාණය වීමේ වටපිටාව ද ජයවර්ධන මහතා නිර්මාණය කර දුනි.
ජේ ආර් - රජීව් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම |
කොටි සංවිධානය වඩමාරච්චි යේදී සහමුලින් පරාජය කිරීමට ඔන්න මෙන්න තිබියදී ඉන්දීය මැදිහත්වීමක් සිදුවුණු අතර 1987 දී ඉන්දු ලංකා ගිවිසුම ජේ ආර් සහ රජීව් ගාන්ධි අත්සන් කළහ. ශ්‍රී ලංකාවේ බලය විමධ්‍ය ගත කිරීමට ප්‍රාදේශීය සභා පිහිට වුනේ මේ ගිවිසුමට අනුවය.
එසේ වුවත් උතුරේ කැරලිකාරී තත්වය වර්ධනය වුනු අතර ප්රජාතන්ත්රවාදය ට පිටුපෑමේ ප්‍රතිපලයක් ලෙස දකුණේ කැරැල්ලක්ද වර්ධනය විය. පක්ෂ නායකත්වය ප්‍රේමදාස මහතාට පවරා ජයවර්ධන මහතා පාලනයෙන් සමු ගති. නමුත් ඉතිහාසයේ ලියවෙන ප්‍රබල වෙනස් කම් රාශියක් ඔහුගේ පාලන සමය තුල සිදු වුනි.
උතුරේ හා දකුණේ කැරලි දෙකක් සමග රටේ පාලනය භාර ගත් ආර් ර ප්‍රේමදාස මහතා දකුණේ කැරැල්ල දරුණු ලෙස මර්දනය කළේය. එසේ කලේ තාවකාලිකව උතුර සමග මායාකාරී සාමයක ට එළඹෙමින් ය. මේ බව වටහා ගත් දෙමළ ත්රස්තවාදීන් දකුණේ කැරැල්ලේ මර්දනය නිම වීමත් සමග1991 දී ප්‍රේමදාස මහතා ඝාතනය කළහ. ගම් උදාව වැඩ පිළිවෙළ ( හා රේඩියෝ සිලෝන් ආයතනය 1967 සංස්ථාවක් කිරීම) මගින් ප්‍රේමදාස ජනාධිපති වරයාද ඉතිහාසයට එක් වෙයි.
ඉන්පසු බලයට පත්වූයේ සංකාන්ත්රී ජනාධිපති වූ ඩී බී විජේතුන්ගය.
ජනාධිපති විජේතුංග ගෙන් පසු 1994 දී බලයට පත්වූයේ චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංගය. සාමයේ නායිකාව ලෙස බලයට පත් වුවද නැවත කොටි සංවිධානය සමග වූ යාපනය බේරා ගැනීමේ යුද්ධයට මුහුණ දීමට ඇයට සිදු වුනි. ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඇසක් ද අහිමි වුනු ඇයගේ පාලන සමය තුල රටේ දකුණු පළාතට මද විරාමයක් ලැබුනද ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට ජනධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අසමත් වූවාය.
චන්ද්‍රිකා ගේ පාලනයෙන් පසු ශ්‍රී ලංකාව පාලනය කළේ ජනාධිපති බවට 2005 දී පත්වූ මහින්ද රාජපක්ෂ මහතාය. උතුරේ චන්ද වර්ජනයක කිරීම ට ත්රස්තවාදීන් ට අල්ලස් දී තම ප්‍රතිවාදියා පරදු බවට චෝදනා ඇති ඒ මහතා ජනාධිපති බවට පත් වූ පසු, රටේ කොටසක සිවිල් පාලනයක්ද නීති විරෝධිව පවත්වා ගෙන ගිය එම කැරලි කරුවන්ම දරුණු සිවිල් යුද්ධයක් දියත් කොට පරාජය කළේය. එම යුද්ධයේදී බොහෝ සිවිල් ජනතාව හමුදා අතින් මිය ගිය බවටද, මානව හිමිකම් උල්ලංඝනය කළ බවටද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ මාර්ග පද්ධතියට අධිවේගී මාර්ගයක් එක් වූයේද මාර්ග හොඳින් පිළිසකර වූයේද ඔහුගේ පාලන සමය තුලය. පුර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවන වරායක් හා නව ගුවන් තොටුපලක් ද හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට ඔහු මූලික වුනි. චීනය විසින් නොයෙකුත් ව්‍යපෘති සඳහා ණය මුදල් ලබා දුන් අතර ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක්ද විය. නමුත් නොයෙකුත් අල්ලස් හා දුෂණ චෝදනා වලට මෙන්ම මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලටද මුහුණ දුන් ද ඔහුගේ රජය ඊළඟ මැතිවරණයෙන් පරාජයට පත් විය. එසේ වුවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ තම නම් ප්රබලව සනිටුහන් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි විය.
මේ අනුව නිදහසින් පසු ලංකා ඉතිහාසයේ රාජ්‍ය පාලනයේ ප්‍රබල වෙනස් කම් කල නායකයන් හැටියට හඳුනා ගත හැක්කේ ඩී ඇස් සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක , ජේ ආර් ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂය.
මෛත්‍රී - රනිල් සභාග ආණ්ඩුව පත්වී වසර දෙකහමාරක් ගත වී තිබේ. ඉන්දියාවෙන් ගෙන්වූ රථ යොදා දියත් කළ හදිසි අනතුරු සේවය හැරෙන්නට මේ රජය මගින් කළ ප්‍රබල වෙනස් කම් කිසිවක් මම නොදනිමි. අපක්ෂපාතිව කටයුතු කිරීම සඳහා ස්වාධීන කොමිසම් පත් කිරීමත්, තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කිරීමත් මහා ජනතාවට දැනෙන වෙනස් කම් නොවේ.
පසුගිය වසර දෙකක කාලය තුල දෙවරක් ගංවතුරෙන් දකුණ පීඩා විඳි අතර, අග නගරයේ කුණු කන්දක් කඩා වැටී බොහෝ දෙනෙකු මිය ගියහ. කොළඹ නගරය හා අවට ප්‍රදේශ කැලි කසළ වලින් ගහණ වී තිබේ. ඩෙංගු උවදුර රට පුරා පැතිර යයි. විශ්ව විද්‍යාල සිසුන් අධ්‍යාපනය බේරා ගැනීමේ සටනකය. රට සැබවින්ම පාලනය වන්නේද යන්න ගැන ජනතාව තුල ඇත්තේ කුකුසකි.
රජයට ගං වතුර උවදුර වළක්වා ලීම සඳහා දිගු කාලීන පියවරක් ගත හැකිය. කැළණි ගඟ හැරවීම වැනි යෝජනා ක්‍රමයක් පටන් ගත හැකිය. එය තවත් උමා ඔය ව්‍යාපෘතියකට වඩා සියලු පාරසරික දත්ත පිරික්සා බලා නිරවද්‍ය ලෙස ආරම්භ කළ යුතු ව්‍යාපෘතියකි.
කුණු කසල බැහැර කිරීම සඳහා දීර්ඝ හා ඵලදායි ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකිය.
ඩෙංගු මර්දනය සඳහා මුළු රටම මධ්‍යගත කර ජාතික වැඩ පිළිවෙලක් මගින් ජනතාව ඩෙංගු උවදුරින් බේරා ගැනීම සඳහා කටයුතු කළ හැකිය.
අවම වශයෙන් සුද්දා විසින් ඉදි කර ගිය දුම්රිය මාර්ග පද්ධතිය ත්‍රිකුණාමලයට හෝ මාතරින් එහාට ඉදි කර දියුණු කළ හැකිය.
නැතිනම් මුකුත් නොකර ඔහේ රට යන්නට ඉඩ දී 2020 දී එන ඕනෑම රූකඩයකට රට භාරදී ඉතිහාසයේ කුණු බක්කියට යා හැකිය.
මුලාශ්‍ර:
තුප්පහි බ්ලොග් අඩවිය