|
සයිටම් විරෝධතාවය - ලන්ඩන් |
ආයෙත් සයිටමේ ගැන ලියන්න වුණා. මේකේ මේ දානේ ගෙදරකදී වෙච්ච කතා බහක්. පාත්‍ර වර්ගයා - මම, සුවා , රොහා හා ටෙකා කියල හිතමු. මම ඇරෙන්න අනිත් නම් ගම් මනඃකල්පිතයි.
කතාව පටන් ගත්තේ මෙහෙම.
නිමිත්ත: සයිටම් එකට විරුද්ධ මාපියන් හා ශිෂ්‍යයන්ගේ සංවිධානයේ ලන්ඩන් ශාඛාව කියල එකක් විරෝධතාවයක් පැවැත්වුවා ලන්ඩන් වල ශ්‍රී ලන්කන් හයි කොමිෂන් එක ඉදිරිපිට ගිය සිකුරාද. අපිට නම් වැඩ. නිවාඩු දාල යන්න තරම් වැඩි ඇම්මකුත් නැහැ. ඉතින් එතැන හිටිය (දානේ ගෙදර) අය කවුරුත් ගිහිල්ලත් නැහැ. දානේ ගෙදර හිටිය මේ මම ඇතුලු හැමෝම නිදහස් අධ්‍යපනයෙන් ප්‍රථිපල ගත් අය. (සෝවියට් දේශයේ නොමිලේ උගෙන අවසන් කළ ඉංජිනේරු උපාධියද ඇතුළුව) . මම ඊට පස්සේ ගත් උපාධි නම් ගෙවල කරපුව.
විරෝධතාවයේ හිටිය සමහර අයගේ දුවා දරුවෝ ටියුෂන් ගොස් අමාරුවෙන් හතේ පන්තියට තියන තරඟ විභාගයක් (
11 ප්ලස්) පාස් කරලා හොඳ
ග්‍රමර් පාසැල් වලට යන අය. සමහරුන් ගේ ළමයි ඉතින් මෙහෙ තියන මුදල් දෙන විශ්ව විද්‍යාල වලට යන අය. ඔය දෙකේම වරදක් නැහැ.
මම කිව්වා තමන්ගේ ළමයි ඔහොම අමාරුවෙන් ඒ වගේ හොඳ පාසැලකට දානවා නම් සයිටම් වගේ විශ්ව විද්‍යාලයකට සල්ලි දීල දාන එකේ වැරැද්ද මොකක්ද කියල? හැම දෙමාපියෙකුටම ඕනේ තමන්ගේ දරුවට උගන්වන්න. සමහර විට අර තමන්ට යන්න බැරිවුන ඉහල මධ්‍යම පන්තියට ඇතුලත් වෙන්න, නැත්නම් ඉන්ටෙලිජෙන්සිය එකට ඇතුලත් වෙන්න. නැත්නම් තමන්ගේ තත්වය, ධනය එහෙමම තියා ගන්න (විශේෂන්ඥ වෛද්‍යවරු , ඇමතිලා වගේ) . ඉතින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ හා ජවිපෙට සම්බන්ධ අය ඔය ගෙනියන විරෝධය සාධාරණද?
"ටෙකා " කියනවා ග්‍රමර් ස්කූල් (මේවා රෝයල් ආනන්ද විශාඛා වගේ පාසල්) රජයේ ඒවා. ඒවා පෞද්ගලික නොවේ. එනිසා ඒවාට ගියාට කමක් නැහැ. එයා තමන්ගේ ළමයින්ට ටියුෂන් නොදී තමන් උගන්වල තමයි එයාලා විභාගේ සමත් වුනේ කියල. අගමැතිනි "තෙරේසා මේ" කියනව වගේ ග්‍රමර් විදුහල් තව අරින්න ඕනේ කියල. නමුත් එයාට (තෙරේසට) දැන් ඒක කරන්න කොහොමත් විධිහක් නැහැ. එයා අ ප්‍රතිපත්තිය අත හැරලා. මගේ සහ "සුවා" ගේ තර්කය උනේ
"නැහැ අර ලේබර් පක්ෂයේ කෝබින් කියනවා වගේ රජයේ අනිකුත් පාසල් වලට ආධාර (funding) වැඩි කරලා ගුරුවරු වැඩි කරලා ඔය හොඳ ළමයි විතරක් තෝරලා ගන්න පසු ගාමී අධිරාජ්‍යවාදී ක්‍රමය නැත්තටම නැති කරන්න ඕනේ කියල. එතැනදී "සුවා" මා සමග එකඟයි.
මම කිව්වේ නමුත් ඔයා නැති වුනත් අනිත් අය ටියුෂන් යවනවා කියල. අනවශ්‍ය තරඟයක් ඇති කරලා තියෙනවා මේ රටේ, ලංකාවේ , ඉන්දියාවේ චීනේ වගේ. විශේෂයෙන්ම කළු ජාතික ළමයි වැඩිපුර ඉන්න රජයේ විදුහල් වලට තමන්ගේ ළමයි යවන්න කවුරුත් කැමති නැහැ. ඉගෙනීම බාලයි කියල.
මම කිව්වා ඔය ප්‍රශ්නයේ විරෝධතා කරන වාමාංශික සහෝදරයෙක් ගෙන් ඇහුව මෙහෙම කියල. "
ලහිරු වීරසේකර ගේ අක්කා ස්ලිට් එකට යන එක සාධාරණද මල්ලි පෞද්ගලික අධ්‍යපන ක්‍රමයට එරෙහිව සටන් කරන කොට " එයාගේ පිළිතුර වුනේ ගෙදර අය කරන දේ ගැන ලහිරු ට වගකීමක් පවරන එක අසාධාරණයි කියල. ලහිරු ප්‍රතිපත්තියකට සටන් කරන්නේ කියල. නිදහස් අධ්‍යාපනය බේරා ගන්න.
හරි අපි ඒක මොහොතකට පිලි ගමු. නමුත් එයා නායකත්වය දෙන්නේ වෙනත් කොටසක් , සල්ලි තිබෙන දෙමාපියන් කොටසක් තමන්ගේ ළමයි පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යවනවට? එතනත් පෞද්ගලික පවුල් සම්බන්ධකම් නැතිද? එතකොට ඒ ගොල්ල සටන් කරන්නේ ඒ අයිතිය බේරා ගන්න නෙමෙයිද. අනුර කුමාර දිසානායක මහත්මයාගේ ඥාතියෙක් ගැනත් ඒ වගේම තර්කයක් දැක්ක පසුගිය දවස් වල. එතකොට අර සයිටම් එකේ ඉන්නේ ඇමැතිලාගේ දුවල , ගැමුණු ගේ පුතාලා කියන කොට - තම තමන්ගේ ළමයි, සහෝදරියොත් ඒ වගේ ඉගෙන ගන්නවා කියන එක ඔළුවට එන්නේ නැතිද?
සුවා කිව්ව මෙහෙම කතාවක්. ශ්‍රී ලංකා ජනතාවට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය එක්ක ලොකු බැඳීමක් තියෙනවා. ඒ බැඳීම නැති කරන්න ලෙහෙසියෙන් බැහැ. ජේ ආර් ටත් බැරි වුණා. ප්‍රේමදාස අන්තිමට දණ නැමුව. කාටවත් ඒකට අත ගහන්න මිනිස්සු දෙන්නේ නැහැ.
මගේ ප්‍රශ්නය: ඒක හරි. සාධාරණයි . කන්නන්ගර මහත්මයා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයෙන් අපි හැමෝම පල ප්‍රයෝජන ගත්ත. නමුත් මෙතන ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා. නිදහස් අධ්‍යාපනය තිබ්බට විශ්ව විද්‍යාලය දක්වා යන ඒ ගමන බොහෝ දෙනෙක් පෞද්ගලික ටියුෂන් මත, ශිෂ්‍යත්ව විභාග, සමහරුන්ගේ ජාත්‍යන්තර පාසැල් වල ඉගෙනීම හරහා තමා වෙන්නේ. එතකොට වෛද්‍ය වෘත්තීය හැරෙන්න අනිකුත් වෘත්තීන් වලට යොමු වීම සඳහා උගන්වන්න පෞද්ගලික විශ්ව විද්‍යාල සහ නොයෙකුත් පෞද්ගලික ආයතන තිබෙනවා. එතකොට ඇයි වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවිමෙන් පමණක් නිදහස් අධ්‍යාපනය නැති වෙනවයි කියන්නේ?
සු ගේ පිළිතුර වුනේ මේක. අපි පරිගණක ඉංජිනේරුවෝ වශයෙන් අපේ අතින් වැරැද්දක් වුනොත් අපිට කෝඩ් එක හදන්න පුළුවන්. පරිගණක හදන ඉංජිනේරුවෝ අතින් වරදක් වුනොත් පරිගණකය කැඩිලා යයි ආයි හදන්න පුළුවන්, අනිත් වෘත්තීන් වුනත් එහෙමයි. නමුත් වෙදැදුරු කෙනෙක් වරදක් කලොත් නැති වෙන්නේ ජිවිතයක්. ඒ නිසා වෛද්‍ය වෘත්තීය හැමෝටම කරන්න බැහැ. හොඳ ලකුණු තියන, ප්‍රමිතියක් ඇති මුදලට නොවිකිණෙන තැනකින් වෛද්‍ය උපාධිය දෙන්න ඕනේ.
බැලූ බැල්මට ඒ තර්කයත් හරි. නමුත් දුර්වල තර්කයක්. සිවිල් ඉංජිනේරුවෙක් බිල්ඩිමක් හෝ පාලමක් වරදවා හැදුවොත් මැරෙන්නේ සිය ගණනින්. යාන්ත්‍රික ඉන්ජිනේරුවෙක් වරදක් ඇති මෝටරයක් නිරීක්ෂණය නොකළොත් සේවකයෝ කි දෙනෙක් මැරෙයිද? විදුලි ඉංජිනේරුවෝ අතින් වැරැද්දක් වෙලා විදුලිය නැති වුනොත් ඒකත බරපතල ප්‍රශ්නයක්නේ. එහෙම බැලුවොත් මිනිසුන් 200-300 අරන් යන ගුවන් නියමුවන් ව පෞද්ගලික ආයතන වලින් පුරුදු කරලා හරියන්නේ නැහැ දැන් තියනවා වගේ. ආණ්ඩුවෙන් ඉහල ලකුණු මට්ටමකට බඳවා ගෙන පුහුණු කරන්න වෙනවා.
හැම රස්සාවකම වැදගත් කමක් තියනව. කුණු ගෙනියන නාගරික කම්කරුවාගේ පවා.
වඩා හොඳ ලකුණු තර්කය ගැන කතා කළොත් - එහම නම් දිස්ත්‍රික් පදනම ඇතිව අඩු ලකුණු වලින් විශ්ව විද්‍යාල වලට එන ළමයින්ට ඔය කියන උසස් ලකුණු නැහැ නේද? ඒ අයත් කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඒ කාලෙත් ආව . දැන් රටේ තියන අනිකුත් වෛද්‍ය විද්‍යාල වලට එහෙම ඇතුලත් වෙනවා. කොළඹ, යාපනය, නුවර වගේ පැති වල සිසුන් තමයි ඉහල ලකුණු වලින් එන්නේ. එතකොට අර ලකුණු අඩු ළමයි නිසා ප්‍රමිතිය අඩු වෙන්නේ නැත්ද? සත්‍යය නම් උසස් පෙළ සමත් නම් බොහෝ අයට වෛද්‍ය විද්‍යාව හදාරන්න බාධකයක් නැහැ. ඒ දැනුම ඇති විශ්ව විද්‍යාලය ක වෛද්‍ය විද්‍යාව හදාරන්න. ජර්මනිය වගේ රටවල ලකුණු සීමාව වැඩි කරලා තියෙන්නේ ස්ථාන වලට ඇති ඉල්ලුම වැඩි නිසා.
දෙවෙනි කාරණය ඔය කියන විද්‍යාලයේ ප්‍රමිතිය අඩු නම් ඒක ලෙහෙසියෙන්ම විසඳිය හැකි ප්‍රශ්නයක්. එතැන ඉන්න අයට ඒක කරන්න බැරි නම් වෛද්‍ය සංගමයට පුළුවන් බල කරලා ප්‍රමිතිය හදා ගන්න.
හැබැයි ලාභ ලබන කතාවට නම් කියන්න තියෙන්නේ ව්‍යාපාරිකයෙක් එවැනි දෙයක් කරන්නෙම ඉන් කිසියම් ලාභයක් උපාය ගැනීමේ අරමුණින්. එතකොට අධ්‍යාපනය විකුණන එක හරිද? වැරදියි කියල හිතමු. මොකද බලපෑමක් එන්න පුළුවන් ප්‍රතිපල වලට. (විභාග) බ්‍රිතාන්‍යය වගේ රටවල වුනත් ලාභ ලබන විශ්ව විද්‍යාලයක්
නීතිය හැදෑරීම සඳහා ඇති කලේ 2012 දී වගේ මෑතකදී. අනිත් හුඟක් පෞද්ගලික විශ්ව විද්‍යාල ලාභ ලබන ආයතන නොව චැරිටි (පුණ්‍යායතන) ආයතන.
හරි එහෙම නම් ජනතා මුදලින් නිදහස් අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල් වල ට තම සේවය විකිණීම හරිද? පෞද්ගලික රෝහල් කියන්නෙම ලාභ ලබන ආයතන? එතකොට ජනතා මුදලින් ඉගෙන ගෙන ලාභ ලබන ආයතනයකට සේවය විකිණීමේදී එතිකල් (ethical) ප්‍රශ්නයක් නැත්ද? ඒ එක්කම කියන්න ඕනේ හැම වෛද්‍යවරයෙක්ම පෞද්ගලික සේවයේ යෙදෙන්නේ නැති බවත්. නොකරන අයත් හුගක් ඉන්නවා.
පහුගිය මාස කිහිපය තුල මගේ ළඟම ඥාතීන් දෙතුන් දෙනෙකුම අසනීප වුණා. එක අයෙකුව මුලදී පෞද්ගලික රෝහලට ගෙන ගියත් අන්තිමේදී ශල්‍යකර්මය කළේ රජයේ රෝහලක. ලැබුණු අවධානය ඉතා හොඳයි. හැබැයි හඳුනන කරුණාවන්ත වෛද්‍යවරුන් දෙතුන් දෙනෙකුත් ලොකු උදව් දෙක තුනක් කලා. දෙවෙනි අවස්ථාවේ පෞද්ගලික වෛද්‍ය ආයතනය වැරදියට එක්ස් රේ එක කියවල වැරදියට ඩයග්නොස් කරල රෝගියා ට හොඳටම අමාරු වුණා . අන්තිමේදී ළඟම තියෙන රජයේ රෝහලකටත් ඉන්පසු ඒ සඳහා විශේෂිත රජයේ රෝහලකටත් අරන් ගිහින් පසුව ශල්‍ය කර්මයකුත් කලා. නැවතත් රජයේ වෛද්‍යවරුන් හා හෙදියන් ඉතා හොඳට සැළකුවා. ඒවා අගය කරන්න එපැයි. ඒ කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවය තිබිය යුතු අවශ්‍යම දෙයක්.
ඔය අතරේ තවත් ඥාතියෙකුටත් හදිසි අසනීපයක් වෙලා. ඉන්නේ කොළඹින් පැය දෙකක දෙකහමාරක විතර දුර (රථයකින් යනවා නම්). හදිසි වෙලා ඇමතුවම ඇවිත් තියෙන්නේ හැමෝම බැනපු ඉන්දියාවෙන් ගෙන්නපු හදිසි අනතුරු සේවා රථයක්. ඔය මගේ ඥාතියා ඕවට පලු යන්න බැනපු කෙනෙක්. ඉන්දියාවෙන් කසි කබල් ගෙන්නනවා. ඕව බොරු. ගෙවන්න ඕනේ වගේ දේ. සත පහක් ගන්නේ නැතිව ළඟම තිබෙන රජයේ රෝහලට ගෙනිහින් දාල. මේ දවස් වල සනීප වෙලා ගෙදරත් ඇවිත්. මම නිකමට ඇහුව ඒ ඉන්දියන් හදිසි අනතුරු වාහන හොඳද කියල. ඔව් කිව්වා.
ඉතින් ආපහු දානේ ගෙදර යමුකෝ.
"රොහා" නම් වැඩිය මුකුත් කිව්වේ නැහැ. "අනේ මම නම් සයිටමයට විරුද්ධයි. අපට නිදහස් අධ්‍යාපනේ ඕනේ " කියල. ඊට පස්සේ එයා ආපහු නිදි කිරන්න ගත්ත.
හැබැයි මට හොඳටම තේරුණ දෙයක් තමයි ටෙකා හිතනවා කියල මම ළමයි ග්‍රමර් විදුහල් වලට දානවට විරුද්ධයි, ටියුෂන් යවනවට විරුද්ධයි කියල. මොකද මම සු වා ට කිව්වා. මචන් ඕක හරි දෙබිඩි වැඩක් නේ. තමන් ගේ ළමයිව ටියුෂන් යවන ගමන්, හොඳ ඉස්කෝල හොයන ගමන් සයිටමයට විරුද්ධ වෙන්නේ කියල.
එතකොට සුවා කියනවා " මට ඕකට අදහසක් නැහැ. දෙපැත්තටම කතා කරන්න බැහැ කියල."
මම කිව්වා, ඉතින් මමත් කියන්නේ ඕකම තමයි. මම විරුද්ධ නැහැ ඔයාල කවුරුවත් ළමයි ටියුෂන් යවනවට , ග්‍රමර් විදුහල් වලට දානවට, පෞද්ගලික විදුහල් වලට යවනවට. මොකද මටත් අවශ්‍ය වුනොත් එහෙම කරන්න ඕනේ නිසා. මම කල්පනා කරන්නේ මගේ දරුවන් ගේ සුභ සිද්ධිය ගැන නිසා.
එතකොට සුවා කියනවා, ඔයා කෝබින් ගේ විශ්ව විද්‍යාල ටියුෂන් ෆීස් නැති කරනවයි කියන ප්‍රතිපත්තියට සහයෝගය දෙනවනේ. ඒ කියන්නේ ඒකත් දෙබිඩි කමක් නේ කියල.
ඔන්න ඔතන තමයි ප්‍රශ්නය. ඕක ගැන ඉතා
සවිස්තරාත්මකව මෙතන ලියල තිබෙනවා. ඒ වගේම
මේ ඉංග්‍රීසි ලිපියෙත් තිබෙනවා. කෝපරේෂන් ටැක්ස් හෙවත් විශාල සමාගම් සඳහා අය කරන බද්ද අඩුම රටක් තමයි බ්‍රිතාන්‍යය. ඇමෙරිකාවේ හා ප්‍රංශයේ මේ බද්ද වැඩිම. මින් ජර්මනියේ හා ස්වීඩනයේ අධ්‍යාපනය නොමිලයේ දෙන්නේ (පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක් තිබේ). දැනට තිබෙන බද්ද 26% දක්වා වැඩි කිරීමන් බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට දැඩි හානියක් වෙන්න නැහැ කියල තමයි මේ ලිපි දෙකේම කියන්නේ. එනිසා කෝබින්ට විශ්ව විද්‍යාල වල ටියුෂන් ගාස්තුව නැති කළ හැකියි ආර්ථිකයට හානි නොවන විදහට.
මේ පින්තුරය ගත්තේ ෆිනන්ෂල් ටයිම්ස් පුවත් පතේ ලිපියකින්.
තවත් දෙයක් තමයි පහුගිය කාලවල සිසු ණය වලින් ඉගෙන ගෙන ගෙවන්න තියන ණය
පවුම් බිලියන් සීයක් විතර. ඉගෙන ගෙන
ණය නොගෙවපු නිසා බොල් වෙච්චි ණය හුඟක් තියනවා. බැංකු අමාරුවේ වැටිලා. ඒවා බේරා ගන්න ගෙවන්නෙත් ආණ්ඩුව.
කෝබින් මේ ණයත් අහෝසි කරනවලු. ඒකෙන් වෙන්නේ අර මිලියනයකට වැඩි සිසු ණය ගෙවන රැකියා සහිත උපාධිධාරීන්ට අතට මුදලක් ඉතිරි වෙනවා ණය නොගෙවන නිසා. ඔවුන් ඒ මුදල නැවත යොදන්නේ , වියදම් කරන්නේ, භාණ්ඩ හා සේවා ලබා ගැනීමට නම් එමගින් ආර්ථිකයට තව තල්ලුවක් එනවා. ඒ කියන්නේ එයත් ආර්ථිකයට හොඳ බවයි .
තව ටිකක් ඒ ගැන පැහැදිලි කෙරුවොත් මෙන්න මෙහමයි. මම ආත්මාර්ථකාමියි. මගේ දරුවෝ ගැන තමයි හිතන්නේ. ඒ නිසා ටියුෂන් ෆීස් නැති කෙරුවොත් උන් විශ්ව විද්‍යාලේ යන දවසක ණය නොවී ඉගෙන ගනියි. සාධාරණයි නේ. නමුත් මම විරුද්ධ වෙන්නේ නැහැ මෙහෙ කාගේවත් ළමයි පෞද්ගලික විද්‍යාල වලට යවනවට වත් (කම්කරු පක්ෂයේ ඩයන් ඇබට් වගේ), පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවට වත්. මොකද මගේ ළමයින්ව අවශ්‍ය නම් එහෙම ටෝයිෂන් යවන්න මම ලෑස්ති නිසා. සයිටම් වහපන්, නිදහස් අධ්‍යාපනේ බේරා ගනිව් කියල කියන ගමන් තමන්ගේ ළමයි ට සලකන්නේ වෙනස් විධිහක ට නම් ඕක හරි වන්නේ කොහොමද/ අපිද ආත්මාර්ථකාමී, පෙරටුගාමී සමාජවාදීන් ලා ලහිරු ලාද? ඔය ලන්ඩන් උද්ඝෝෂණයට ගිය අපේ හිතවතුන්ද?
ලන්ඩන් නගරයේ පමණක් ආර්ථිකය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩා කිහිප ගුණයක් විශාලයි. බ්‍රිතාන්‍ය ආර්ථිකය ගැන සිත ගත හැකිනේ එතකොට. සිසු ණය අහෝසි කිරීම හා විශ්ව විද්‍යාලය දක්වා නොමිලයේ අධ්‍යාපනය ලබා දීම ඔවුන්ට කරන්න පුළුවන්. නමුත් විශ්ව විද්‍යාල සේවා සඳහා පවුම් 1000 වගේ මුදලක් ය කරනවා නම් නම් හොඳයි කියලයි මම හිතන්නේ. දැන් වගේ පවුම් 9000 ට ඉහලින් යන ගණනක් නම් අසාධාරණයි.
ආ දානේ ගෙදර හිටියා ශ්‍රී ලංකාවේ උගත්, පුහුණුව ලැබූ වෛද්‍යවරියකුත්. එයා කිව්ව දෙයක් තමයි "ලංකාවේ ඉඳන් ළමයි එනවනේ පවුම් 40000 වසරකට ගෙවල (දැන් තියෙන පවුමට රුපියල් 198 රේට් එකට කූල් ලක්ෂ 79ක් -
79,35813) විතර ) ඉම්පීරියල්, කේම්බ්‍රිජ් වගේ විශ්ව විද්‍යාල ඉගෙන ගන්න. එහෙම පොහොසතුන් තමා ලංකාවේ ඉන්නේ කියල."
ධනයෙන් අඩු පොහොසතුන් (මධ්‍යම පන්තිකයන්) සහ කීර්තිමත් වාමාංශිකයන්, වැඩි ප්‍රසිද්ධියක් නැති සයිටම් විරුද්ධ වාදී වාමාංශිකයන් ගේ ළමයි (පෞද්ගලිකව දනිමි) එහම චීනය, චෙක්, රුසියාව, ජෝර්ජියාව, ලැට්වියාව , ලිතුවේනියාව , මැලේසියාව, ඉන්දියාව වගේ රටවල ඊට වැඩ අඩු ගණන් වලට වෛද්‍යවරු වන්න ඉගෙන ගන්නවා. ඔය හැම එකේම ප්‍රමිතිය තියනවද කියල නම් මම දන්නේ නැහැ.
ශ්‍රී ලංකා වේ රජයකට පුලුවන්ද අලුත් විශ්ව විද්‍යාල හදන්න. තියෙන විශ්ව විද්‍යාල වලටත් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයටත්, කාර්මික විදුහල් වලටත් සමස්තයක් වශයෙන් වියදම් කරන්නේ ඉතා අඩුවෙන්. ලක්ෂයකට වැඩියෙන් අපොස උසස් පෙළ සමත් සිසුන් සඳහා වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. ඉංජිනේරු හා ගණකාධිකාරී වෘත්තීන් සඳහා පෞද්ගලික ආයතන තියනවා නම් වෛද්‍ය විද්‍යාව සඳහා එසේ ආයතන පිහිටුවීම වරදක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. ඒකෙන් නිදහස් අධ්‍යානය නැති වෙනවා කියන්නේ අසත්‍යයක්. ලංකවේ ඔය කියන නිදහස් අධ්‍යාපනය නැති කරන්න අමාරුයි. මිනිස්සු තමයි බලෙන් ළමයින්ට ටියුෂන් දීල උගන්වන්න යන්නේ.
රාගම පිඑම්සී එක හදපු කාලේ අපි හැමෝම ඒකට විරුද්ධ වුනානේ නිදහස් අධ්‍යාපනේ නැති කරනවා කියල. නමුත් විජේවීර මහතාගේ හා ජවිපෙ අදහස වුනේ එම අරගලය වඩාත් තීව්‍ර කරලා, ඒ අරගලය රජය පෙරලීමේ අරගලයක් දක්වා ව්‍යාප්ත කරන්න. නමුත් වුනේ වෙන දෙයක්. තහනම් දේශපාළන පක්ෂයක් අවි අතට ගත්තේ මර්දනයට විරුද්ධව කියල. ඇත්ත, දරුණු මර්දනයක් තිබ්බා. ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධ අරගලය රජය පෙරලීමක් දක්වා ගෙනියන්න ජනතාවක් හිටියේ නැහැ. ඒ අරගලයට එකතු වුනේ ඉන්දියන් විරෝධී අරගලය විතරයි. ඒ වගේ පටු ඉල්ලීමක් දෙකක් කවදාවත් පළල් විරෝධත්වයක් වෙන්නේ නැහැ. ආණ්ඩුව කලේ පින්සර් ඇටෑක් එකකදී වගේ ඉස්සෙල්ල කඩාගෙන මැදින් එන්න දීලා ඊට පස්සේ දෙපැත්තකින් තුන් පැත්තකින් වට කරලා ගහපු එක. කී දෙනෙක් මැරුනද දෙපැත්තේම ?
|
සයිටම් විරෝධී සටන තවත් එහාට? |
පෙරටුගාමී සමාජවාදීන් අවුරුදු 28 කට 29 කට පස්සේ ආපහු එහෙම කරන්න පුළුවන් කියල හිතනවා වෙන්න පුළුවන්. නමුත් දැන් එකට ඉන්න අය තව ඉස්සරහදි කැඩී වෙන්වීමේ අවදානම වැඩි. මේක ලංකාවනේ. . වෛද්‍ය සංගමය ආණ්ඩුව පෙරළීමේ ව්‍යාපෘතියකට එන එකක් නැහැ. පළල් ජනතා සහභාගිත්වයක් නැති වුනොත් එවැනි අරගලයකට ආණ්ඩුව මුළු වැර යොදා පහර දෙයි.සිසුන්ට පහරදීම් මගින් ඔවුන් මර්දනයකට පොළඹවා ගන්න එක ලේසියි. දයලෙක්තිකව අනුව වෙන වැඩක් නේ.
අනිත් පැත්තෙන් තම දරුවන් එම විද්‍යාල වලට දාගෙන ගිය ආණ්ඩුවෙනුත් ආධාර අරගෙන සයිටමේ පැත්තේ ඉන්න ඇමැති ලගේ පැත්ත ගන්නත් බැහැ. එස් බී, රාජිත වැනි නම් කිහිපයක් මතකයට එනවා. ඒ අය පිලිබඳ නොයෙකුත් අපවාද , චෝදනා තියනවා. හුඟක් අයට පෙන්නන්න බැහැ වගේ. නමුත් ප්‍රශ්නේ කියන්නේ මේ ගොල්ල ඔය හැම ආණ්ඩුවේම ඉන්න එකනේ. ඔපමණ අප්‍රියජනක, අපකීර්තිමත් අයනම් හැම ආණ්ඩුවකම ඇමතිකම් දරන්නේ කොහොමද? පුදුම ආණ්ඩුව සහ පුදුම ජනතාවක්.
ඇත්තටම කියනවා නම් දානේ ගෙදරින් එලියට බහින කොට මට හිතුනේ සුවා වගේම මටත් පැත්තක් ගන්න බැහැ නේද කියල. "ගෙදර ගියොත් අඹු නහී. මග හිටියොත් තෝ නහී" වගේ වැඩක්.
ජනමත විචාරණයක් තිබ්බොත් නරකද?
1. ඔබ සයිටම් ආයතනය ප්‍රමිතියකින් යුතුව පවත්වා ගෙන යන්න කැමතිද?
2. සයිටම් ආයතනය හා තවත් එවැනි ආයතන පිහිටුවීමෙන් නිදහස් අධ්‍යාපනය නැතිවේද?
3. නිදහස් අධ්‍යාපන නැති නොකරන් බවට රජය ගිවිසුමකට එළඹිය යුතුද?
වගේ ප්‍රශ්න ටිකක් දාල?
ජනතා පරමාධිපත්‍යය කියල ජනතව දෙන තීරණය හැමෝටම පිළි ගන්න බැරිද?
මේ ගැන ලියූ අනිකුත් ලිපි:
3.
නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 1 - වැස්සට තෙමෙන උන්
4.
නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 2 - සයිටම් යනු රෝග ලක්ෂණයකි.
5.
නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 3 කෝබින් සහ යුරෝපය
6.
පෞද්ගලික අධ්‍යාපනය
7.
වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි
8.
සෝවියට් ශිෂ්‍යත්ව ගැන තව දුරටත්
9.
සයිටම් පිලිබඳ මධස්ථ සිතින්
10.
නිර්මාල් එන්න ෆොන්සේකා සමග මල් නෙලන්න
කෙළින්ම සම්බන්ධයක් නැති ලිපි:
මුලාශ්‍ර:
1.
The party's over - how tuition fees ruined university life
2.
The 11 plus
3.
ග්‍රමර් පාසැල්
4.
Britain's first profit making university
5.
ජෙරෙමි කෝබින් මාක්ස්වාදියෙක්ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් ද?
6.
Why Corbyn is right to increase corporation tax
7.
UK student loan debt soars to more than £100bn