අප ගිය වසරේ ඉතාලියට ගිය අවස්ථාවේ පළමු දින කිහිපය ගත කළේ රෝමයේය. ප්‍රෞඩ වතිකානය මෙන්ම පෞරාණික කොලෝසියම ද අපගේ ඉතාමත් සිත් ගත් ස්ථානයන් විය.
මේ කතාව සම්බන්ධ වන්නේ අප නැවතී සිටි හෝටලයටය. එය රෝමයේ ඖරෙලියා පෙදෙසේ පිහිටා තිබු හොලිඩේ ඉන් ජාලයේ එකකි. ග්‍රීෂ්ම උණුසුම නිසා එහි ඇති පිහිනුම් තටාකය ද අපගේ සිත් ගති. අපි වැඩියෙන්ම කල්පනා කලේ එහි දෙන උදය ආහාරය ගැනය. එතරම් වැඩි නැති මුදලකට ඉංග්‍රීසි උදය ආහාරය (English Breakfast - බදින ලද බිත්තරය, බේකන්, සොසේජස්, බෝංචි ඇට සහ පාන් ) මහාද්වීපික උදය (continental breakfast) ආහාරය (ජෑම්, ක්‍රොසන්ට් -Croissant, සීරියල් සහ කිරි) මෙන්ම යුරෝපීය උදය ආහාරයට එන හැම් වර්ග, සැල්මන් මාළු ආදියෙන් ද සමන්විත මෙහි උදෑසන බුෆේ එක සංචාරකයන් අතර ප්‍රසිද්ධියක් උසුලයි.
මගේ බැංකු කාඩ් පතින් හෝටලයට මුදල් ගෙව්වද කාමර ලියා පදිංචිය මෙන්ම උදය ආහාරයද වෙන් කරවා (booking) ගත්තේද බිරිඳගේ නමිනි. ඒ මගේ නම සෑහෙන වෙලාවක් අමාරුවෙන් කියවනවාට වඩා බිරිඳගේ නම දීම ලෙහෙසි හෙයිනි.
බිරිඳ හා දරු දෙදෙනා උදයේම නැගිට ආහාර ගැනීමට ගොස්ය. ඉතින් රැය හොඳින් නිදාගත් මා උදයේ ආහාරය ගැනීමට ලංකාවේ වේලාවෙන් ගියේ මදක් පමා වීය. ප්‍රධාන වේටර්වරයා වැන්නෙකු හෝටලයේ භෝජනාගාරය ඉදිරිපස ඇතුළුවන තැන සිටියේය. ඔහු සමග උදව්වට තවත් පියකරු ඉතාලියානු වේටර්වරියක්ද සිටියාය.
වේටර්වරයා මදක් මහළු තැනැත්තෙකු බවද නිරීක්ෂණය කළෙමි. ඔහු මගේ කාමරයේ අංකය ඇසුවේය. මම කාමරයේ අංකය කීවෙමි. ඔහු සමග තිබූ ලැයිස්තුවක් බැලූ ඔහු වෙන්න බැහැ යයි කීවේය. මම නැවතත් මගේ කාමරයට ඇතුළුවන කාඩ් පත පෙන්වා එම අංකයම පැවසුවේය. ඔහු මදක් උස ස්වරයකින් මෙන් "නෝ බුකින් නෝ බුකින්" යැයි කීවේය.
මට ටිකක් වෙන්න මල පැන්න බව වටහා ගත් වේටර්වරිය කැඩුණු ඉංග්‍රීසියෙන් ඔබේ නම නැහැ කීවාය. මම බිරිඳගේ වාසගම පැවසුවෙමි . වේටරයා මෙවර උස් හඬින් වේටර්වරියට මොනවදෝ කියාගෙන ගියේය. ඇය මට කැඩුණු ඉංග්‍රීසියෙන් පැවසුවේ මගේ නම එම ලයිස්තුවේ නැති බවත් මට වැරදීමක් වී ඇති බවත්ය.
එවර නම් මට යක්ෂයා ආරූඪ වුනේය. මගේ බැංකු කාඩ් පත ඇද මම එයින් ගෙවූ බව කියා පිළිගැනීමේ කාර්යාලයට ගොස් බලන ලෙස කී මම ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කරන බවද ඉතා උස් හඬකින් පවසා කළමනාකරුට (front office manager) කතා කරන ලෙස වෙටර්වරියට ඉතා තදින් පැවසුවෙමි.
මේ කාලගෝට්ටිය ඇසී කිහිප දෙනෙකු එබී බැලූ අතර මගේ බිරිඳ ද වහා එලියට පැමිණියාය. ඇය වහා "මේ මගේ සැමියා my husband "යැයි ඉංග්‍රීසියෙන් හා ඉතාලි භාෂාවෙන් "මියෝ මරිටෝ" කියමින් ලයිස්තුවේ ඇගේ නම පෙන්වූවාය.
මෙහිදී වේටර්වරිය වහ වහා ප්‍රධාන වේටර් වරයා ට යමක් ඉතාලි භාෂාවෙන් කී අතර මි දිස්පෙචේ වැනි යමක් කිහිප වතාවක් ද එක්ස්කුසීමි යයි කියමින් ද කලබලවූ
ප්‍රධානවේටර්වරයා මා භෝජනාගාරය තුලට කැඳවා ගෙන ගියේය.
සාමන්‍යයෙන් බුෆේ එකක් තමන් ගොස් කෑම බෙදා ගත යුතු වුවත් වේටර්වරයා මා අසලම රැඳී සිටිමින් කෝපි තේ ගෙන එමින්ද ද, බැදපු බිත්තර ඇතුළු අනිකුත් අහර ඔහුම සාදන තැන රැඳී සිටිමින් මට ගෙන එමින් දුක සැප විමසමින් ළඟම කැරකුනේය . මා සිතුවේ මට ඇතුලට යන්නට නොදීම ගැන ඔහු කණගාටු වන බවයි. එහෙත් ටිකකින් පිළිගැනීමේ කවුන්ටරයේ කළමණාකරුද එබී බැලූ අතර "සියල්ල හොඳ ද everything ok sir " යැයි ඔහු මගෙන් විමසීය. එය එසේ යයි මා පැවැසූ පසු මෙතෙක් ළඟ සිටි ප්‍රධාන වේටර්වරයා අතුරුදන් විය. නමුත් අප නැවති සිටි දිනයන්හි උදයේ මට නැවත හොඳින් සලකන්නට ඔහු වග බලා ගත්තේය.
මගේ බිරිඳ නම් කීවේ මට ජර්මන් නමක් තිබිය නොහැකි යයි ඔහු සිතු බවයි. මගේ දියණියන් ගේ මතය වූයේ බිරිඳ මට වඩා උස වැඩි නිසා අප දෙදෙනා විවාහක යයි ඔහු නොසිතු බවයි. මගේ අදහස නම් ඔහු ජාතිවාදී (රැසිස්ට් )අයෙකු බවයි. ඉතාලියේ ඕනෑ තරම් මිශ්‍ර විවාහ කරගත් යුවලවල් සිටිති. මිශ්‍ර විවාහයක් කරගත් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රී ලාංකිකයෙකුද සිටි. එසේම මේ කාලයේ උස එතරම් ප්‍රශ්නයක්ද නොවේ. එවැනි යුවලවල් ඕනෑ තරම් සිටිති.
මා පෙන්වා දුන්නේ එම හෝටලයේ රැකියාව කරන වෙනත් කිසිම කළු හෝ ආසියානු ජාතිකයකු අපි නොදුටු බවයි. පිහිනුම් තටාකය අසල බාර් එකේ මෙන්ම, පිළි ගැනීමේ කවුන්ටරයේද, භෝජනාගාර වලද සිටියේ ඉතාලියානුන් හෝ සුදු ජාතිකයන්ය.
මෙය මා ප්‍රංශයේද නිරීක්ෂණය කළ දෙයකි. ප්‍රංශ ජාතිකයන්ද ලෙහෙසියෙන් වෙනත් රටක අයෙකුට රැකියාවක් නොදෙතැයි හැඟීමක් මට ඇති වුනේ දෙවරක් පමණ ප්‍රංශයට ගිය පසුය.
එංගලන්තයේ එසේ නොවේ. වෙනත් ඕනෑම ජාතියක ගෙන් රැකියා ස්ථාන පිරි පවතී. බොහෝ හොටල කළමණාකරුවන් ආසියාතිකයන්ය.
හෝටලයේදී එසේ වුවත් අප වතිකානුව අසල කුඩා කෝපි විකුණන ආපන ශාලාවකට ගිය විට ඉහල පිළිගැනීමක් ලැබුණි. අප එංගලන්තයෙන් පැමිණියත් දෙදෙනා රටවල් දෙකක යයි කියූ පසු එය අයිති ඉතාලියානු කාන්තාව හා සැමියා අප සමග සතුටු සාමිචියේ යෙදුනහ. ජර්මනිය, ලන්ඩනය ගැන මෙන්ම ශ්‍රී ලංකාව ගැනත් අසමින් ඔවුහු
අපට ඔවුන්ගේ ආපන ශාලාවේ ඇති ඉතාලියානු කෑම නොමිලයේ රස බලන්නට දුන්හ. ඉහත පින්තුරයේ ඇත්තේ ඉන් එකකි. නම දන්නේ නැත. මුදල් ගත්තේ අප ගත් කෝපි දෙකට පමණි. දියණියන් ට ද රසවත් ඉතාලියානු අයිස්ක්‍රීම් නොමිලයේම දුන්හ.
මේ නිසා ඉතාලියනුන් පිලිබඳ මගේ අදහස තරමක් වෙනස් වුනි. නමුත් මට නවතැහැ වරක් සිතුනේ අප සංචාරකයන් නිසා ඔවුන් එසේ සැලකූ බවකි. වෙනිසියට හා වෙරෝනාවට ගිය පසු මේ අදහස මදක් තහවුරු වුනි. ඒ ගැන ඊළඟ ලිපියෙන් කියමි.