Monday, 24 August 2015

අවුල් වුනු ලිබරල් හන්දිය , දොන් කොර්ලියෝනේ සහ ලිබරල් ජවිපෙ

"දවස් කීපයක් බැලුවත් හරියන්නේ නැතිය. මේකාට නම් හොඳටම අවුල් වගේය. නෙලුම් යාය දාල බ්ලොග් පල කරහම බ්ලොග් නැති වෙනවා කියා දහ අතේ දිවුරුවේය. මයියා කියන කතාව හරි කිව්වේය. පලු පැලෙන්න ළඟ නැති නෙළුන් අජියාට බැන වැදෙනවාය. ඇත්තටම තමුන්නැහේ ට මොකද වෙලා   තියෙන්නේ කියල ඇහැව්වාම, "මාව තේරුම් ගන්නේ නැහැනේ උඹල" කියල අඬනවාය.  තෑගී දුන්නහම බ්ලොග් ලියවෙන්නේ නැතය, නිර්මාණ ශක්තියටද  මොකක්ද එකට කෙල වෙනවා ය කියා හතර හන්දියක් ගානේ දෙස් දෙවොල් තියනවාය. ක්ලස්සික් බොනපාර්ට් කැරැස්ටරිස්ටික්ය "

ඒත් මේ සොඳුරු අවුල් වූ හංදියා ට මම කීවේ කාලය එළඹෙන විට සියල්ල හරියන බවත් වැටහෙන බවත්ය. සම්මාන දීමෙන් බ්ලොග් වලට කෙළ නොවෙන බවත්ය.  හන්දියා අන්තිමට එයට එකඟ වුවත් අපි දෙදෙනාගේම පහන් සංවේගයට හා ආදරයට කාලයක් පාත්‍රවූ "පස්සයට" මගේ ඇති නිර්පාක්ෂික භාවය මගේ කුහක කමක් හා දේශපාලන අවස්ථාවාදයක් ලෙස විස්තර කිරීම ගැන නම් මට මල පැන්නේය. කොටින්ම කිවහොත් අහවල් "පස්සයට" මගේ අකමැත්තක් නැත. දුෂණයට, භීෂණයට විරුද්ධව පසුගිය පාර්ලිමේන්තුව තුලත් පිටත් ඔවුහු සෑහෙන හඬක් නැගූහ. ඒකාධිපතිවාදී බලයන්ට විරුද්ධව හඬ  නැගූහ, ඒ නිසාම මර්දනයට ද ලක්වුහ. නමුත් දෙමුහුන් න්‍යායක් හදමින් නරෝද්නික්වාදී නැගිටීම්  දෙකක් කරමින්  ජන අරගලයන් අවුරුදු ගණනක්  පස්සට තල්ලු කලේද ඔවුහුමය. ඒ නිසා විවේචනයක් තිබේ. ඒ ආදරණිය විවේචනයකි. කණ ආදරයෙන් අතගා ඔළුවට සැරෙන් ටොක්කක් ඇන්නේ නැත්නම් මුන් අවදි වෙන්නේ නැතිය.  ඒ විවේචනය කුහකකමක් හෝ අවස්ථාවාදයක් වන්නේ නැත.

බ්ලොග් ගැන කතා කරනවා නම් සිංහල බ්ලොග් කලාවක් දියුණු කිරීමට කවුරුවත් නෙලුම් යාය  පටන් ගත්තේ නැත. අවශ්‍ය වුයේ බ්ලොග් කරුවන් වැඩි කිරීමට, බ්ලොග් හැම තැනටම ගෙන යාමට සහ ප්‍රචලිත කිරීමට කියා කියන්න පුළුවන් හැම තැනම කියා තිබේ. බ්ලොග් කරුවන් උනන්දු කිරිමටත් සංවාදයක් ඇති කිරීමටත් කැප වෙනවාය කියා දිවුරා පොරොන්දු වී නැතත් එහෙම දැනටමත් වෙනවාය.  මේ සිංහල, දෙමල , ඉංග්‍රීසි යන භාෂා තුනෙන්මය. සිංහල බ්ලොග් කලාව සඳහාම සින්ඩි ත් ගහක් ගලක් ගානේ තිබේ.
 සිංහල බ්ලොග් කියවනය, ඉන්දි .කා , මාතලන්ගේ සින්ඩිය, අජිත් කුමාරගේ සින්ඩිය ලඟදි පිටියට බඩ ගෑ කුරුටු ගෑ ගී පවුරේ සින්ඩිය ද තිබේ. අටමාද තරහට වගේ එකක් අටමාගෙන තිබේ. හන්දියාට මේක ඔළුවට වක්කරලා දෙන්නට බැරිය.

හැබැයි හන්දියෝ මෙහෙම ප්‍රශ්නයක් තිබේ. අපේ දොන් කොර්ලියෝනේ බොහොම දක්ෂයෙකි. තමන් ට විරුද්ධ අය පවා හරවා ගෙන තමන් ගේ අදහස් සුක්ෂමව ප්‍රතිවාදියාගේ  මොළයේ කරකැවීම ට දක්ෂයෙකි. හංදියා  නිතර කතා කරන භාෂාවෙන් කියනවා  නම් "හුලයට මොකන්නෙකි. "  මෙහි අවසන් ප්‍රතිඵලය වුයේ බ්ලොග් ලෝකය පැත්තකට දමා  හංදියා, හන්දියක් ගැන ලිවීමට පටන් ගැනීමය. මට කුණු හබ්බයෙන් බැන වැදුනේ අහවල් පස්සය  ගැන නොලිවීම ගැන නිසා නම් හංදියා ගේ අදහස මට තේරුම් ගත හැකිය. ඒත් හංදියා බ්ලොගය නොලිවීම ගැන කොල්ලන් සහ බල්ලන් බනින්නේ මටය. බ්ලොග් ලෝකයම පාවා  දුන්නේ හංදියාය. මට මාර ජොලිය.
හංදියා  තීරු රචකයෙකු වීම මගේ අමන්දානන්දයට හේතු වුනත් මූ  ඒක කලේ මට බැන වදිමිනි. මට දැන් හේතුව තේරී තිබේ.  තීරු රචකයෙකු  හා පස්සයට ජන මාධ්‍යවේදියෙකු වීමේ උණෙන් පෙළුණු අවුල් වූ හන්දියා ට හිත හදා  ගැනීමට බැනීමට එකෙක් සිටිය යුතුය. (හික්ස්)

හැබැයි පස්සයට සපෝර්ට් කරන්නට පටන්ගත් හන්දියා චන්දෙ දවසට කලින් දවසේ පස්සය සමුලඝාතනය කළේය. කොටින් මමූ  පස්සය ලිබරල් කළේය.

හන්දියා කීවේ න්‍යාය අවශ්‍ය නැති බවය. සෝවියට් දේශය වැනි රටවල් ලෝකයේ තිබ්බත් නැතත් ඒවා ගැන කතා කිරීම හන්දියාට අනුව කාටවත් අවශ්‍ය නැතිය. කතාව ඇත්තය. පන්ති පහක් කලහම දැනුම ඇති යයි සිතූ කාලයක් ද විය. න්‍යාය පොඩ්ඩක් හා භාවිතාව ගොඩක් තිබ්බාම වැඩේ ගොඩය. වැඩේ ගොඩ වීම හෙවත් ඇන ගැනීම නම් හැමදාම කෙරුණි. බලාගෙන යනවිට හන්දියාගේ භාවිතාවද  දෝරේ  ගලාගෙන යයි.  හන්දියාගේ ලොකුම ප්‍රශ්නය දීප්ති කුමාර ගුණරත්නගේ න්‍යායවාදයයි. දීප්ති කරන්නේ හෝ කරන්නට තැත් කරන්නේ  හඩු ගැහුණු පරණ පුස් බැඳුනු ලංකාවේ මාක්ස්වාදයට ජිජැක්  ලැකාන් ලා ඇසුරෙන් වත් නව ජීව වායුවක් පිඹීමට මිස හන්දියා වැනි ලොං හැලුණු ජෙප්පන්ට න්‍යාය කියා දීමට නොවේ. කුමාර් ගුණරත්නලා  හදන්නේ ජවිපෙ මාක්ස්වාදී කොටස තමන් ගේ කරට  ගැනීමට නිසා ඒ ගොල්ලන් බලන්නෙත් ජවිපෙ කෑල්ල දිහමය. ඒ ගැන උන්ට වරදක් කීමට බැරිය. උන් වුනත් පොඩ්ඩක් වෙන්නට සුමිත් චාමින්දගේ "භාව සත්තා නිමේෂයේ " රිංගන්නේත්  ඒකය.  විජේවීර ෂන්මුගදාසෙන් ගෙන් අයින් වෙච්ච් දවසේ ඉඳන් කලෙත් ඕකමය. මේ දෙගොල්ල ගේම මහා අනෙකා ජවිපෙ වී ඇත්තේ ඒ නිසාය. නමුත් මේ පක්ෂ චන්දෙ ඉල්ලුවාය කියා ජවිපෙ චන්ද වලට වෙන කෙහෙල්මලක් නැත. ඒ පක්ෂවලට ගිය ඈයෝ එහෙම ගියේ ආයි ජවිපෙ පැත්ත බලන්න නෙමේය. එතනින් කැඩෙන චන්දයක් නැත. දැන් චන්දෙන් පස්සේ වත් ඒ බව තේරිය යුතුය.

හන්දියා ඒ වෙනුවට  කිවේ ජවිපෙ වඩ වඩාත් ලිබරල් විය යුතු බවය. හන්දියාට පෙනුන විධිහට අනුර කුමාර, බිමල්, විජිත හේරත් ගේ සිට ලාල්කාන්ත දක්වා ඔක්කොම පට්ට ලිබරල්ය. හඳුන්නෙත්ති මාර ලිබරල්ය. කොච්චර ලිබරල්ද කියනවා නම් ආසනයද  පැරදුනේය. ඇයි හන්දියෝ, නව ලිබරල් ධනවාදය හොඳටම ක්‍රියාත්මක කරන්න යුඇන්පී කියා එකකුත් තියෙන එකේ, ඒකෙ අනුර වගේම කැරිස්මටික් අගමැති වුනු නායකයෙකුත් ඉන්න එකේ මිනිස්සු ලිබරල් ජෙප්පන්ට චන්දෙ දෙන්නේ මොකටද කියා හිතුනේ නැත්ද?   මේක තනිකරම දොන් කොර්ලියෝනගේ සීනි තැවරු ගුලියක් එහෙම පිටින්ම ගිලල ලියපු එකක් වත් දෝ කියා හිතුනත් මට පස්සේ හිතුනේ බෝතලේ මාරු වෙන්න ඇති කියලාය.

හපුට්ටන්ට කුරුට්ටන්ට බනින්ට කලින් න්‍යායක්  දන්නෙත් නැත්නම් කියන්නට තිබ්බේ අඩුම ගානේ විජේවීර ගේ දෙමුහුන් න්‍යාය වත් අනුගමනය කරන්න කියලා ය. යුඇන්පී එකට චන්දෙ දෙන එවුන් ජෙප්පන්ට චන්දෙ දෙන්නේ නැත. පාවෙන චන්දය දෙන එවුන්  වඩා ලිබරල් පාටියට චන්දය දෙනු ඇත. කියන්නට තිබ්බේ "මෙන්න ඇස්ටි හැලෙන සමාජවාදය අලුත් මුහුණුවරකින් ", "රතු වෙනුවට ඊස්ට්මන්  වර්ණයෙන් " "අයිස්චාර්යා රායි රංගනයෙන් ජිප්සීස් මි විතෙන්, කපුගේ බයිට් කරමු " වගේ දේවල්ය. ශ්‍රී ලංකා එකේ චන්ද කියක් හරි කඩා ගන්නට තිබුනේය. මොකද අර කවුද කීවා වගේ කවන්ධය නැති වෙන ශ්‍රීලනිපයේ ඔලුව ජෙප්පන් ගේ විය යුතුය. මේ ඇවිල්ලා  56න්  පස්සේ අනාථ  වුනු ජාතිවාදී දරු කැලය. 2005 දී රාජපක්ෂ මහත්තයා  එක්ක  සෙට් වෙච්ච සෙට් විල්ල  නැගලා ගියේ ඒකය . දැන් රට බේරා ගෙන ඉවර නිසා හන්දියාට ඕන වුන පලියට ලිබරල් යන්නට බැරිය.  ලංකාවේ උන් එක්ක අවංක වී බැරිය. ලිබරල් යනවා වුනත් කියන්න  ඕනේ ජනසතු කරනවා කියලාය. ඔය එක එක ධනපති ව්‍යාපාරික උන් එක්ක ගිවිසුම් ගැහුවේ ඇන ගන්නමය. අඩුම ගානේ "අපි චීන ක්‍රමය ගෙනෙනවාය" කියා කිව්වා නම් අර බිල්ඩින් වැඩ නතරවී වැලේ  වැල් නැතුව ඉන්න උන් ටිකගේ චන්ද ටික හරි ගන්නට තිබුනේය.

අඩුම ගානේ ජේ ආර් ගෙන් ඉගෙන ගත්තේ නැත්ද කියා හිතෙන්නේ මේ වෙලාවටය. විවෘත ආර්ථිකය ගෙනත් ලංකාව නම් කලේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා ය. කොහෙද සමාජවාදය කියා කවුරුවත්ම ඇහුවේ නැතිය.

දැන් කෙළවී  හමාරය. හපුට්ටෝ හා කුරුට්ටෝ ද සිනාසෙති. අවුල්  වුණාම ඔහොම වෙනවාය. දැන්වත්  පොඩි න්‍යායක් හරි ඉගෙන ගන්නවා  නම් හොඳය. එන්ෆිල්ඩ් පැත්තේ අවොත්  නොමිලයේ ටියුෂන් පාරක් වත් දෙන්න පුළුවන්ය.

උදාහරණයකට කියනවා නම්,

බීලා  නැති වෙලාවට තනිකරම අවුල්  වුනු හන්දි ගැන ලිවිය හැකිය. බීර බෝතල් දෙකකින් ශේප් වෙන වෙලාවට එකම හන්දියක් ගැන රිපීට් කල හැකිය. වොඩ්කා  එකකට සෙට් වෙන කොට කාගේ හරි හතර හන්දි ගැන ලිවිය හැකිය. බැරි වෙලාවත් විස්කි වඩියකට සෙට් වුනොත් කොම්පඤඤ වීදියේ හන්දියටම යා හැකිය.

ලිබරල් හන්දියට උඹට දැන්ම යන්ට බැරිය. ඒක තවම කොළ පාටය.

පස්සයේ සමුළුවට ආ අසහාය ගායක තුමාගේ වදනකින්ම කෙළවර කොරනවාය. මාත් අඩියකට සෙට් වුණාම කියන්නේ දැන් මේවා ය. කපුගේව ඕනේ කාටද බන් දැන් ?

"නුඹ නාඩන් නුඹ නාඩන් උඹට ඕව හොඳ පාඩම්."


හන්දියට මෙතැනින්  ගිය හැකිය.





Saturday, 22 August 2015

දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ ) විරුද්ධ පක්ෂය නොවිය යුත්තේ ඇයි

අසුව දශකයේ දී ජවිපෙන්  ඉවත්වූ (මට මතක විධිහට 1982 දී)  බෝපගේ සහෝදරයා ගේ මතවාදය  මෙන්ම සුචරිත් ගම්ලත් මහතා ගේ මතයද අනුගමනය කරමින් වාමාංශික විප්ලවවාදීන් වශයෙන් මා සැලකූ උමා  මහේෂ්වරන්, පද්මනාභ ආදීන්ට ඊළම්  සමාජවාදී රජයක් උතුරේ පිහිටවීමට දකුණේ වාමාංශිකයන් වශයෙන් අප සහයෝගය දිය යුතුය යන ස්ථාවරයේ සිටියෙමි. එසේම උතුරේ ස්වයං නිර්ණන අයිතිය ටද  මගේ සහයෝගයක් ද විය. මට හැම විටම ප්‍රශ්නය වුයේ නැගෙනහිරය.  මගේ අදහස වුයේ පෘතුගීසින් එනවිට නැගෙනහිර අයත්ව තිබුනේ කන්ද උඩරට රාජධානියට හෙයින් නැගෙනහිර කවම දාක වත් උතුරේ පාලනයට යටත් නොවිය යුතු බවයි. උතුරේ   රජතුමාට අයත් වුයේ වන්නි දිස්ත්‍රික්කය හා යාපනය දිස්ත්‍රික්කයයි.

කෝට්ටේ පාලනයට කප්පම් ගෙවුවද යාපනයේ රජු ස්වාධීනව  උතුර පාලනය  කළේය. රටේ රජයන් කීපයක් (උතුර, කන්ද උඩරට, කෝට්ටේ, සීතාවක ආදී වශයෙන්) . ඒකීය රාජ්‍ය පාලනය හයවන පරාක්‍රමභාහු රජුගෙන් පසු අවසන් විනි. ඉන්පසු රට ඒකීය රජයක් බවට පත් කර පාලනය කලේ ඉංග්‍රීසින් ය. ඒ 1815න්  පසුවය.

මේ අනුව ඉංග්‍රීසින් රට එක්සත් කිරීමට කලින් තිබූ පාලනය ස්ථාපිත කිරීමට නම් උතුරේ සමාජවාදී පාලනයකුත් දකුණු පළාතේ සමාජවාදී පාලනයකුත් අවශ්‍ය යයි කල්පනා කලෙමි. ඉන්පසු උතුරේ මහේෂ්වරන් ලා සමාජවාදී පාලනයක් පිහිටවූ පසු එහි ආධාරයෙන් දකුණේ හම්බන්තොට තංගල්ල සිට ගාල්ල දක්වා සමාජවාදී රජයක් පිහිටු වීමටත් ඒ ආධාරයෙන් පසුව කොළඹ හා කන්ද උඩරට සමාජවාදී රජයන්ද පිහිටවිය හැකි වෙතැ යි සිතුවෙමි. ඉන්පසු සෝවියට් සමුහාණ්ඩුව මෙන් ශ්‍රී ලංකා සමාජවාදී සමුහාණ්ඩුවක් පිහිටවිය හැකි යයි සිතුවෙමි.  මේ සෝවියට් දේශයට ඉගෙනීමට යාමට ප්‍රථම යන්තම් අවුරදු 18 ඉක්මවූ තරුණයකුගේ අදහස් විය.

ඒ වනවිට ජෝන් රීඩ් ගේ "ලොව හෙල්ලූ දස දවස " මෙන්ම ගෝර්කි ගේ අම්මා වැනි පොත්, එසේම "වානේ පන්නරය ලැබූ හැටි" ආදී පොත් ද කියවා ඔක්තෝබර විප්ලවය ගැන යම් අදහසක් ද ඇති කරගෙන සිටියෙමි.

සෝවියට් දේශයේ පළමු වසර අවසන් කරමින් දෙවන වසරට යනවිට මේ ස්‌වයං  නිර්ණය අයිතිය පිලිබඳ අදහස  තදබල ප්‍රශ්න කිරීමකට භාජනය කලෙමි. ස්වයං නිර්ණයට පක්ෂපාත ලංකාවේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ තිබුනද 1917 විප්ලවයෙන් පසුව ලෙනින් හා ට්‍රොට්ස්කි ස්වයං නිර්ණය අයිතිය පිළිගත්තේ  ළඳරු සෝවියට් දේශයට වඩා දියුණු ආර්ථිකයක් තිබු පින්ලන්තයට අදාලව පමණක් බව වැටහිණි. එයපිළිගත්තේත් පින්ලන්තය ස්වාධීන රටක්  වශයෙන් පැවතීමේ ඉතිහාසයක් තිබු නිසා මෙන්ම රුසියන් අධිරාජ්‍යයෙන් පීඩා විඳි  නිසා යන්න බවද මගේ වැටහීම විය.

පෝලන්ත ස්වයං නිර්ණනයට ලෙනින් ගේ සහය පල කල ලිපියක් ද තිබෙන නමුත් සත්‍ය වශයෙන් ම සිදුවුයේ වෙනත් දෙයකි. සෝවියට් රතු හමුදා ට්‍රොට්ස්කි (war commissar) ගේ නායකත්වයෙන් සෝවියට් උක්රයිනයේ දෙනිකින්ගේ සුදු හමුදා සමග සටන් වැදුණු අතර පෝලන්තයේ කොටස් (ල්වොව් වැනි නගර) අල්ලා ගන්නා  ලදී.  කොල්චාක් ගේ හමුදා පරාජය කර සයිබීරියාව හා ඈත පෙරදිග පෙදෙස් ද යටත් කර ගත්හ. මෙහිදී තමන්ගේම  හමුදා පිහිටුවා ගත් රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ ලත්වියාව, ලිතුවේනියාව හා එස්තෝනියාව තමන්ගේ ස්වාධීන  රාජ්‍ය පිහිටුවා ගත්හ. සිය ප්‍රදේශ රතු හමුදාවට අහිමි වූ  වර්තමාන පෝලන්තය නිදහස් වුයේ එංගලන්ත හා  ප්‍රංශ රාජ්‍යයන්ගේ මිලිටරි උදව්වෙනි. රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ යුරෝපිය හා ආසියානු රාජ්‍යයන් (ආර්මේනියාව, ජෝර්ජියාව, අසර්බයිජානය, කසාක්ස්ථානය, තුර්ක්මෙනිස්ථානය  ආදිය) සියල්ල රතු හමුදා විසින් යටත් කර ගන්නා  ලදී. මේ අනුව පැහැදිලිවම පෙනී යන්නේ ලෙනින් සහ ට්‍රොට්ස්කි ස්වයං නිර්ණන තියරිය, සෝවියට් සමාජවාදී රුසියාව පිහිටවූ පසු පෙට්‍රොග්‍රාඩ් හි (පසුව ලෙනින්ග්‍රාද් හා සාන්ත පිතර්බුර්ග් ) පක්ෂ කාර්යාලයේ ජනේලයෙන් එලියට විසි  කල බවය.

රුසියාවේ අවුරුදු තුනකට වැඩි කාලයක් සිටි විජේවීරද මෙය දැන නොසිටීමට විධිහක් නැත. බෝපගේ ගේ තීරණය කුමක් වුවත් විජේවීර ශ්‍රී ලංකාවේදී 1982 දී ගත් තීරණය මේ අනුව නිවැරදිද? විජේවීර තමන්ගේ ස්වයං නිර්ණන අයිතිය පිලිබඳ ලියවිල්ලේ මේ කිසිවක් සඳහන් නොකළේ ඇයි?

1940 අගෝස්තු 20 ස්ටාලින් එවූ අපරාධකරුවෙකු ගෙන් හිසට වැදුණු පහරකින් අගෝස්තු 22 ට්‍රොට්ස්කි මිය ගියේය."රතු සහ සුදු අතර " නමැති පොතේ  හයවන පරිච්චේදය ට්‍රොට්ස්කි වෙන් කරන්නේ ස්වයං නිර්ණය අයිතිය සඳහායි. ළඳරු සෝවියට් රාජ්‍යයට එරෙහිව බ්‍රිතාන්‍ය ප්‍රංශ ආක්‍රමණය, සුළු ජාතීන් ගේ ධනපති ස්වයංනිර්ණන අයිතිය පිලිබඳ තර්කය අනිසි ලෙස උපයෝගී කරගන්නා  බව බ්‍රිතාන්‍ය සෙන්පති වෝකර් ගේ වදන් උපුටා දක්වමින් පවසන ඔහු ජාතීන් එක්ව සටන් කරන රතු හමුදාවක් තුල ජෝර්ජියන්, උක්රේනියන්, මුස්ලිම් එකතුවක්, සහජීවනයක් තිබෙන  බව අවධාරණය කරයි.

1977  තිබු මැතිවරණයෙන් රටේ චන්ද වලින් මිලියන  එකහමාරක් (1,855,331) ලබා ගත්  ශ්‍රී ලනිපය ආසන 8ක් ලබා තුන්වන තැන ගත් අතර  චන්ද 421,488 (ලක්ෂ 4ක් පමණ) ලැබූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන  18ක් ලබා විපක්ෂය විය. මෙහි අවාසනාවන්ත කරුණ වන්නේ එජාප හා ශ්‍රීලනිප ජාතික පක්ෂ වන අතර ද්‍ර.එ.වි. පෙරමුණ දෙමල ජනතාවට පමණක් සීමා වුන වාර්ගික පක්ෂයක් වීමය. එංගලන්තයට 1983 න් පසු පැමිණි බොහෝ දෙමළ  ජනතාව දේශපාලන අනාථයන් ය. 1977 හා 1983 එල්ලවූ සිංහල වර්ගවාදී ප්‍රහාර වලට පසු පැමිණි මේ ජනතාව ගෙන් බොහෝ දෙනෙක් සාමකාමී වුවද ඔවුන් අතුරෙන් සිංහල වර්ගවාදීන් තරමටම අන්තවාදී වූ පිරිස පැතිරවූ කාරණය වන්නේ 1977 දෙමල ජාතිකයන් පක්ෂය ප්‍රධාන විපක්ෂය වීමයි. දෙමල ජාතිය දෙවන විශාලතම ජාතිය වන අතර ඊළඟට බලය ලබා ගැනීමට නියමිත ප්‍රධාන විපක්ෂයට රට දෙකඩ කර බලය ලබා දිය යුතුය යන්න ඉතා සාධාරණ ඉල්ලීමක් සේ යුරෝපිය ප්‍රජාවට පෙනුනේද මේ නිසාය.

වෙන  ඕනෑම රටක ප්‍රධාන විපක්ෂය වන්නේ එම රටේම ප්‍රධාන ජාතියේ හා සුළු ජාතීන්ගෙන් ලැබුණු චන්ද වලින් පාර්ලිමේන්තුවට පත්වන ජාතික  පක්ෂයි. (ජර්මනියේ ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්,  එංගලන්තයේ ලේබර් වැනි). ලංකාවේ සිදුවූ සුවිශේෂී තත්වය පිරටවලට පැමිණි දෙමල ජාතිකයන් අතරින් වාමාංශික නොවූ, වඩා  අන්තවාදී කොටස් භාවිතා කලේ දෙමල ජනගහනය අති  විශාල බව පෙන්වමිනි. බොහෝ විට ඉතාමත් තදින් සොයා බලන්නෙකු හැර අනිකුත් උදවිය නිසි සංඛ්‍යා ලේඛන දන්නේ නැත. එංගලන්තයේ සමහර  වාමාංශික සගයින්ට වුව මට මෙය පැහැදිලි කිරීම ඉතා අසීරු විය.

උතුරේ ස්වයං නිර්ණය යනු තමන්ගේ පාලනයට ඉඩ දීම පමණක් වන බවත් එය වෙනම රටක් ලෙස වෙන්වීම නොවන බවත් මට පැහැදිලි  වුයේ මෙහිදීය.  එසේම සමහරක් දෙමල මිතුරන් නැගෙනහිර උතුරේ පාලනයකට යටත් නොවිය යුතුය යන අදහස දැරුහ. ප්‍රභාකරන් හා විමුක්ති කොටි සංවිධානය  බොහෝ ලෙස 1977 ද්‍රවිඩ පක්ෂය විපක්ෂය වීම තමන්ගේ කරුණු දැක්වීම් වලට යොදා ගත්හ. ඔවුන් සිංහල ජාතිවාදීන් තරමටම ජාතිවාදී බව මට වැටහී ගියේ එංගලන්තයේදීය.  ( සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව නොවේ.) ඔවුන් චෝල මහා රාජයා ගැන,  දෙමල අධිරාජ්‍ය ගැනද කතා කරන බව මට වැටහින. කොටින්ම  සිංහල ජාතිවාදීන් අතීතය භාවිතා කර මිනිසුන් අවුස්සන ආකාරයටම ඔවුන්ද අතීත විභූතිය උපයෝගී කර ගත්හ.

ප්‍රභාකරන් ප්‍රමුඛ විමුක්ති කොටි සංවිධානය කිසිම විසඳුමකට අකමැති වීම පිටුපස සිටියේ ද මේ තමන් මෙතරම් බලවත් යයි අධි තක්සේරුවෙන් සිටි කණ්ඩායමයි. මේ බව පවසමින් දැඩි ලෙස කළකිරුණු එරික් සොල්හෙයිම් ඇන්ටන් බාලසිංහම් ට (අවසන් සාකච්චා බිඳ වැටුණු අවස්ථාවේ )  බැන වැදුන බවට එතන සිටි ජනමාධ්‍යවේදී මිතුරක් පැවසුවේය.

මෙවර මැතිවරණයේදී ජවිපෙ 4.86% චන්ද ලබා අසන 6 ගනිද්දී ද්‍රවිඩ සන්ධානය 4.62% ආසන  16 ලබා ගෙන තිබේ,. ශ්‍රීලනිප , එජාප හවුල් ආණ්ඩුවක් තුල ඔවුන්ට විපක්ෂ නායක කම දීමට හෝ ප්‍රධාන විපක්ෂය කිරීමට යෝජනාවක් පවතී.

ද්‍රවිඩ සන්ධානය වාමාංශික සන්ධානයක් නොවේ.  එය එක ජාතියකට  පමණක් සිමා වන වර්ග වාදී පක්ෂයකි. ඔවුන් පෙනී සිටින්නේ එක ජාතියක් සඳහා පමණකි. පොදු ප්‍රශ්න පිරි රටක විපක්ෂයේ කාර්යය ලැබිය යුත්තේ ජාතික පක්ෂයකට මිස වාර්ගික පක්ෂයකට නොවේ.

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂද තමන්ට හැකි බොහෝ අවස්ථා වල අන්ත ජාතිවාදී හා වර්ගවාදී ලෙස හැසිරෙයි. පසුගිය චන්දයේ දීද එය දක්නට ලැබුණි. මෙයට සැමවිටම දැඩි ලෙස විරුද්ධව පෙනී සිටියෙමි.

කෙසේ හෝ වේවා 1977 කල වැරැද්ද නැවත කිරීම නොකළ යුත්තකි.

ස්වයං නිර්ණය මට නම් ජිවත් වීමේ නිදහස තහවුරු කිරීමයි. ඉගෙනීමට, දරුවන්ට යහපත් ජිවිතයක් දීමට , රැකියාවකට ඇති අයිතිය, නිදහසේ ජිවත් වීමට ඇති අයිතිය සෑම ජනතාවකටම තිබිය යුතුය.

ඉතිහාසය නැවතත් පුනරාවර්තනය වන්නේ පළමු වර ඛේදවාචකයක් ලෙසින් හා දෙවන වර විකාරයක් ලෙසින් යයි මාක්ස්  කියා තිබේ.



Thursday, 20 August 2015

විජේවීර නුදුටු ජැප්පා දුටු සෝවියට් දේශය

මා  සෝවියට් දේශයට ගිය මුල් අවුරුද්දේ රුසියානු භාෂාව, සහ උසස්  පෙළ ගණිත විෂයන් නැවත රුසියන් භාෂාවෙන් හැදෑරීමට සඳහා වන පළමු වසර අවසන් කළේ මොස්කව් හි එයාරෝෆ්ලොට් නමැති ප්‍රදේශයේ පිහිටි මාදි (මොස්කව් වල මහා මාර්ග පිලිබඳ විශ්ව විද්‍යාලය ) නමැති රාජ්‍ය විශ්ව විද්‍යාලයට  අනුබද්ධිත විශ්ව විද්‍යාලයකටය.  එහි ඉගෙනීමට ජපනෙකුද පසුව පැමිණියේය. ඔහු සිටියේ මා  උගත් පංතියේය.  ගණිතය ටිකක් අමාරු නිසා ජැප්පා මගේ උදව් පැතුවේය. ජැප්පා ගේ රුසියන්  භාෂා දැනුම හොඳ නිසා ඒ පැත්තෙන් මට ද උදව්වක් ලැබුණි. අප මිතුරන් වූයේ  එලෙසය.  තවත් පන්තියක මරියා  නමින් පුංචි පිලිපීන කෙල්ලක සිටියාය. මේ කෙල්ලත් මා හොස්ටල් එකට එන විට පාර පැත්තේ තිබූ  ඇගේ  කාමරයේ සිට "අජී " කියා අත වැනීමට පුරුදුව සිටියාය. ඒ නිසා මම  ඇය සමගත් මිතුරු වීමි. මරියා ගේ පන්තියේ සිටි කාර්ලොස් ද ඇගේ හිතවතෙකු වුයෙන් කාර්ලොස්ද අපටම එකතු වුනි.

පළමු වන වසරේ මුල් වාරය  අවසානයේ දෙසැම්බර් නිවාඩුව එළඹෙයි. මුළු පරිසරයම සුදෝ සුදු හිමෙන් වැසී  ගොස්ය. මම මේ කාලයේ රාත්‍රියේ ඇවිදීම ප්‍රිය කරමි. රාත්‍රිය කළුවර නැත. මුළු ප්‍රදේශයම සුදු හිම නිසා අමුතුම සිත සනහන ළා එළියකින් ආලෝකවත් වී ඇත. මෙසේ ඇවිදින දෙතුන්  වරකදී මට ජැප්පා ද මුණ ගැසුණි. භාවනා කරන්නාක් මෙන් ජපනා ඇවිදිමින් සිටිනු කීප වරක්ම දුටිමි.

අපේ සීත  සෘතුවේ නිවාඩුවට විශ්ව විද්‍යාලය මගින් සියලුම විදේශික සිසුන්  මොස්කව් අසල නිවාඩු නිකේතනයකට රැගෙන යනු ලබයි. මේවාට කියන්නේ පැන්සියෝනත් කියායි. විශාල ප්‍රදේශයක පැතිරී ඇති මෙහි සිසුන් පන්සීයකට පමණ එකවර නිවාඩුව ගත කල හැකි ලෙස නිර්මාණය කර තිබේ. ස්කී කිරීමට මෙන්ම වෙනත් හිම ක්‍රීඩා සඳහාද, ගෘහස්ථ ක්‍රීඩා සඳහාද පහසුකම් සපයා තිබේ.  මා  සමග තවත්  ලාංකික සිසුවකු  ද සිටි අතර ස්කි කිරීමට සහ රාත්‍රියේ පවත්වන ඩිස්කෝ එකටද අපි ගියෙමු.  එහි සංගීතය ඇසීමට හා නැටීමට අසල ගම් වල තරුණ තරුණියන්ට ද ආරාධනා කර තිබුණි. වඩා සමාජශීලි අරාබි කරයේ සිටි පැමිණි සිසුන්  හා ලතින් ඇමෙරිකානු සිසුන් පියකරු රුසියානු තරුණියන් හා හාදවනු අපි දුටුවෙමු. වඩා ලැජ්ජාශීලි වූ අපේ පිරිස ඩිස්කෝ ශාලාවේ අයිනට වී නටන බවක් පෙන්වමින්  පියකරු තරුණියන් නටන දෙස බලමින් සිටියෙමු.

ජැප්පා ට මෙය දිරවුයේ නැත. තෙවන දිනයේ ජැප්පා මරියා  සමග පැමිණ මට එලියට යාමට කතා කළේය. මගක් යනවිට කාර්ලොස් ද එකතු වුනි. අප නැවතී සිටි ගොඩනැගිල්ලේ එළියේ හිම පිරී  තිබුණි. ජැප්පා බෑගයෙන් බියර් බෝතල්  හතරක්  ගත්තේය. එදා දවල් නිවාඩු නිකේතනයෙන් පිට එළියේ ඇවිද්ද ජැප්පා බියර් ආදිය විකුණන කඩයක් සොයාගෙන තිබුණි. සෝවියට් දේශයේ බියර් ඉතා ලාභය. කොපෙක්  20ක් පමණ වේ. අපි  සුදු හිම පිරුණු  පඩිපෙලේ ගොනුවී කතා කරමින්  බියර් බීවෙමු. අපට සීතලක් නොදැනුණි.

ඉන්පසු  අප කලේ උදේ ආහාරයෙන් පසු ක්‍රීඩා කිරීමත් දවල් ආහාරයෙන් පසු අර කඩයට ගොස් බියර රැගෙන විත් බීමත්ය. බෝතල් විසි නොකර නැවත කඩයට භාර දුන් විට ඒවාටද මුදලක් ලැබේ. එයින් ද බියරම මිලදී ගතිමු.

ජැප්පා ට සෝවියට් දේශයේ ජීවිතය ක්‍රමයන් එපාවී යමින් තිබුණි. ඔහු කැමති එකම දෙය කෑමය. ඔහු කීවේ ජපන් සුෂී වලට වඩා  ඔහු රුසියානු කෑම ප්‍රිය කරන බවයි. මාත් රුසියානු අහර වලට ඉතා ප්‍රිය කරමි. දැනුදු එසේය. අපට උදයේ කිරෙන් ඉවු බත් (මේ කිරි බත් නොව කැඳ විශේෂයකි) හෝ බ්ලිනි නමින් මී පැණි සමග කෑමට තෝසේ වැනි  කෑමද තම්බාපු බිත්තර හා සොසේජස් ද තිබුණි. දහවලට හරක් මස් වලින් සෑදු  ගුල්යාෂ් සමග පොඩි කරන ලද අල හෝ රෝස්ට් කරන ලද කුකුළු පළුවක්  සමග සලාද වැනි දේ හා සුප් එකක්ද හවසටත් ඒ ආහාරමද ලැබුණි. කේක් වර්ගද හවසට ලැබුණි.  මේ සෑම විටම බිමට යුෂ වර්ගයක් හෝ කකාඕ හෙවත් උණු කිරි වලට චොකලට් කුඩු දැමූ  පානයක් ද විය. (හොට් චොකලට්) මේ සියල්ලම නොමිලයේ රජයෙන් සැපයිනි.

කාර්ලොස් සහ මම මරියාගේ සිත ගන්නට උත්සාහ කල අතර ඇය අප දෙදෙනා සමගම උකුළු මුකුළු කළාය. ජැප්පා ඔහේ සිනා වෙමින් බලා සිටියේය. මෙහිදී මට දැන ගන්නට ලැබුනේ උන් තිදෙනාම එම රටවල කොමියුනිස්ට් පක්ෂ හරහා පැමිණි බවය. ජපානයට කොමියුනිස්ට් පක්ෂයක් තිබෙන බව දැන ගත්තේත් ජැප්පා නිසාය.

 කාර්ලොස් ලතින් ඇමෙරිකාවේ ගරිල්ලා ව්‍යාපාර වලට සමච්චලයෙන් සැලකුවේය. සමහරක් ඒවා මත්  ද්‍රව්‍ය ප්‍රවාහනයද කරන බවද ඔහු පැවසීය.දයාන් ජයතිලක ගේ දේශනා වලින්  හා ලංකා ගාර්ඩියන් එකෙන් උගත්  විමුක්ති කාමී ලතින් ඇමෙරිකානු ගරිල්ලා ව්‍යාපාර පිලිබඳ මගේ අදහස් අවඥාවෙන් බැහැර කල ඔහු ඒවා විමුක්තිය උදෙසා සටන් කරනු වෙනුවට ජනතාවට කරදර කරන ව්‍යාපාර ලෙස සැලකීය.

මරියා එතරම් දේශපාලනය කතා නොකළ මුත් පිලිපීනයේ වාමාංශික ව්‍යාපාරය සෝවියට් දේශය අනුගමනය කිරීම,  පිලිපීනයේ වැඩි පිරිසක් දුප්පතුන් වුනත් අනුගමනය නොකරන බවත් ඔවුන් ඇමෙරිකන් ක්‍රමයට වඩා කැමැති බවත් පැවසුවාය. සෝවියට් දේශය සිතූ තරම් හොඳ  නොවන බවද  ඇගේ අදහස විය.

රජයේ ශිෂ්‍යත්වයකින් රුසියාවට පැමිණි මට කොමියුනිස්ට් පක්ෂ හරහා පැමිණි මොවුන්ගේ සෝවියට් විරෝධය සිනහවට කාරණයක් විය. රුසියන් භෂාවෙන් මට හැකි පරිදි අදහස් දක්වමින් විජේවීර නමැති ලංකාවේ වාමාංශික නායකයා  චීන ක්‍රමයට කැමැති වූ බවත් එනිසා සෝවියට් දේශයෙන් පිටු වහල් කල බවත්, නමුත් සෝවියට් දේශයේ ලොකු වැරැද්දක් (පක්ෂයේ අධිපත්‍යය හැර ) දැනට නොපෙනෙන බවත් කීවෙමි. මා රුසියාවට ඒමට ප්‍රථම දිවයින පත්‍රයට ලිපි පෙළක් ලිවූ ආචාර්ය නලින්ද සිල්වා ඉදිරිපත් කළ  "සෝවියට් දේශය පාලනය කරන සමාජවාදී පන්තිය " ගැන ජැප්පා ට පැහැදිලි කලෙමි. සුචරිත ගම්ලත් ගේ ට්‍රොට්ස්කි වාදය හා ස්ටාලින්ගේ ක්‍රමයට ඇති විරෝධය ගැන කීවෙමි. ජැප්පා කලේ මේ විස්තර වලට මහා හඩින්  සිනා සීමය.

ජැප්පා ට සිනා සීමට හේතු තිබුණි. රුසියානු තරුණ තරුණියන් මෙන්ම  ගුරුවරුද ජැප්පා ට මහා භක්තියකින් සැළකූහ. ජැප්පා ළඟ තිබු ජපානයෙන් මිලදී ගත් පෑන් පැන්සල්, විදුලි උපකරණ අගය කළහ.  ඒ දිනවල සින්දු ඇසීමට තිබුණු කැසට් දමන  සෙට් අතර වෝක්මන් ද ඉතා ජනප්‍රියය. ජැප්පාට ද දෙකක් ම තිබුණි.   අපේ සිසුන්ද මේවා ලන්ඩනයෙන් හෝ ජර්මනියෙන් මිලදී ගෙන රුසියානුන්ට විකුණුහ. 1977 ලංකාවේ විවෘත ආර්ථිකයෙන් මෙවැනි පුංචි සුඛෝපභෝගී යයි නම් කරන ලද භාණ්ඩ ලංකාවට ද ගලාගෙන ආමුත් වැඩි දෙනෙකුට ඒවා ගැනීමට මුදල් තිබුනා ද යන්න සැක  සහිතය.  මට නම් මුදල් තිබුනේ නැත. ජැප්පා සතුව තිබූ මේ භාණ්ඩ නිසා ඔහුගේ  ජනප්‍රියත්වය වැඩි වුනු මුත් ජැප්පා මේ රුසියනුන් ගේ හා  අනිකුත් සමාජවාදී රටවල සිසුන් ගේ හැසිරීම සමච්චලයට භාජනය කළේය. ඔහුත් මමත් දෙදෙනාම සෝවියට් දේශයේ ජයග්‍රහණ ගැන බොහෝ වර කතා කෙරුවෙමු. ඇමෙරිකාවට වඩා  හොඳ රොකට්, අභ්‍යවකාශය ජය ගැනීම, විශාල කම්හල්, විදුලි බලාගාර, විශාල ගොඩ නැගිලි ආදී විශාල දේ ගොඩ නැගීමට, විශාල ට්‍රක් රථ, කල් පවතින ජීප් නිපදවීමට හැකි මුත් කුඩා සංගීත පටිගත යන්ත්‍රයක් නිපදවීමට හෝ කුඩා බැටරියක් නිපදවීමට ඔවුන්ට නොහැකි වන්නේ මන්ද යන්න අප නිතර කතා කල මාතෘකාවක් විය. සෝවියට් දේශයේ එවැනි භාණ්ඩ තිබුන මුත් ජපානයේ මෙන් උසස් තත්වයේ නිෂ්පාදන නොවීය. මේ තත්වය ගැන අපි නිතර කතා කළෙමු.

ඊට අමතරව ජැප්පා ගේ වටේ කේජිබි යයි කිව හැකි කිහිප දෙනෙක් සැරි සැරූහ. දෙතුන් වාරයක්ම නිවාඩු නිකෙතනයේදීත් පසුව විශ්ව විද්‍යාලයේ දීත්  ජැප්පා මට මොවුන් ව පෙන්වූවේය.  ජැප්පා භය නැතුව එළියේ ඇවිද අසල ගමේ බියර් කඩය සොයා ගියේ ඇයිදැයි මට පසක් වුනි. ඔහුට භය වීමට කාරණාවක් නැත. ඔහුගේ පිටු පස කේජිබි සෙවනැල්ල වැටී තිබුණි. කිසිවෙකු ඔහුට කරදර කිරීමට ආවොත් ඔහුගේ කේජීබී  මුර කරුවන් ඔහුව ආරක්ෂා කරනු ඇත. ජැප්පා එය මැනැවින්  පාවිචිචි කළේය.

රෝහණ විජේවීර චීනයට පක්ෂව සෝවියට් දේශය විවේචනය කරමින් සෝවියට් දේශය ධනවාදයට දෙසට ගමන් කරන බවට චෝදනා කළේය. 1963 ඔහු ලංකාවේ සිටියදී රුසියාවට යාමට වීසා නොලැබුණු කාලය චීනයේ සංස්කෘතික විප්ලවය පටන් ගත් කාලයයි. මිලියන ගණනක  චීනුන් නගරයෙන් ගම්  වලට දැක්කීම හා වධ දී මරා  දැමීම සිදු වුනි.  ජැප්පා මේ ගැන මැනවින් දැන  සිටියේය.  මේ සෝවියට් දේශයේ ස්ටාලින් ගේ කාලයේ තිබු මර්දනය හා සමාන කාලයකි. විජේවීර කැමති වුයේ මෙයටද?

1979 චීනය ඇමෙරිකා  එක්සත් ජනපදය සමග වෙළඳ සබඳතා පටන් ගත්  අතර,  රජය සතු දේපල පෞද්ගලික ප්‍රාග්ධනය බවට පත් කරමින් රාජ්‍ය ධනවාදය හා පෞද්ගලික දේපල අතර සම්බන්ධය ඇති කරමින් කොමියුනිස්ට් පක්ෂය යටතේ ක්‍රමයෙන් ධනවාදී ආර්ථිකයක් (චීනයේ) ගොඩ නංවන ලදී. සෝවියට් දේශයේ රාජ්‍ය ධනවාදය (දේපල රජය සතු)   ක්‍රියාත්මක වූ සමාජවාදී ක්‍රමය තව දුරටත් පැවති අතර එය කඩා වැටුනේ විජේවීර ගේ හදිසි මරණයෙනුත්  පසුවය. විජේවීර ගේ චීන නැඹුරුව හා පසු කාලීන ජවිපෙ හි චීන නැඹුරුව ප්‍රශ්නාර්ථයක් වන්නේ එහෙයිනි.

අපේ අධ්‍යයන කාලය 1985 අවසන් වුන අතර ඒ වන විට ජැප්පා නැවත ජපානයට යාමට තරයේ අදිටන් කර ගෙන සිටියේය. රුසියානුන් පවා දියුණු ජපානයට කැමති නම් මේ ක්‍රමයෙන් ගත හැකි දෙයක් නැත යන්න  ඔහුගේ නිගමනය විය.

නමුත් කොමියුනිස්ට්වාදය අත හැරීමට ඔහු සුදානම් ව සිටියේ නැත. ජපානයේ කුඩා කාමර වල හිරවී වැඩ කරන, සමාජ සම්බන්ධතා අඩු විශාල ශ්‍රමික පිරිසක් සිටින බවත් ඔවුන් සඳහා කුමක් හෝ කල යුතු බවටත් ඔහුගේ හැඟීමක් විය. නමුත් ඒ සෝවියට් පන්නයේ සමාජවාදය නොවන බව ඔහුට පසක් වී තිබුණි. මට එය වැටහුනේ තවත් කාලයකට පසුය. ඒ අප පැමිණි ශ්‍රී  ලංකාවට වඩා  සෝවියට් දේශය දියුණු රටක් වීම නිසා විය හැක.

ජැප්පා පළමු අවුරුද්ද අවසානයේ නැවත ජපානයට  ගියේය.මරියාද උසස් අධ්‍යාපනයට තමන්ට ලැබුන විශ්ව විද්‍යාලය අතහැර පිලිපීනයට ගියාය. කාර්ලොස් සිවිල් ඉංජිනේරු ආයතනයට ගිය අතර මම  සහ ශ්‍රී ලංකාවේ සහෝදර සිසුවා සමග මොස්කව් විදුලි බල ආයතනයට (බල ශක්ති පිලිබඳ තාක්ෂණික විශ්ව විද්‍යාලය) ඇතුලත් වීමු.

සුමාන  කීපයකට පසු මම නැවත භාෂාව ඉගෙන ගත් මාදි එකට යහළුවන් බැලීමට පැමිණියෙමි. මට කාර්ලොස් නැවත එහිදී හමු වුනි. කාර්ලොස් අතේ ජපානයෙන් පැමිණි කාඩ්පතක් විය. එය අප දෙදෙනාම නම් කර (මටත් කාර්ලොස්ටත්) එවන ලද්දකි. කාර්ලොස්  මට කලින් එය ලබාගෙන තිබුණි.  ජැප්පා, ජපානයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වී  තිබේ. ඔහු සතුටින් සිටින බවත් අප ගැන නිතරම මතක් වෙන බවත් ලියා එව්වේය. මටත් කාර්ලොස් ටත් දැඩි ලෙස සිනා පහල වුයේ එයට නොවේ. කාඩ්පතේ යටින් තිබු මරියාගේ සටහන දැකීමෙනි. ඇය ජපානයේ ඉගෙන ගන්නා බවත් ජැප්පා සමග අප ගැනත් සෝවියට් දේශය ගැනත් කතා කරන බවත්, ඇය  ජපානයට වඩා කැමති බවත් ලියා තිබුණි.  අපට සිනා ගියේ අපටත් නොදැනී හීන් සීරුවේ මරියා  සමග සම්බන්ධයක් හදා  ගෙන ජපානයට ගිය සැනින් ඇයවද  කැන්දා ගත්  ජැප්පා ගැනය. අප ඔවුන්ට සුභ පතා  කාඩ් පතක් යවිමු. ජැප්පා ළඟ  මගේ ලිපිනය නොමැති නිසා ඔහු ආපසු මට ලිව්වා ද යන්න නොදනිමි. ඉහත පින්තුරයේ සිටින්නේ ජැප්පා ය. අවාසනාවකට මට ඔහුගේ නම මතක් වන්නේ ම නැත. නමුත් පින්තුරය තවමත් තිබේ.

 ජැප්පා ගේ නම ඉසාමි බව සහසුද්දයෙන්ම කිවේ වෙනත් යහළුවෙකි. නමුත් මට මතක විධිහට ඔසාකි ය.

ජැප්පා ගේ නම ඉසාමි කොන්ඩෝ බවත් නිවාඩු නිකේතනයේ නම ඉගුමින්කා  බවත් එදා මාදි එකේ සිටි සීනියර් සිසුවකු ලියා  ඒවා තිබිණි.





Tuesday, 11 August 2015

දාහේ පටියේ මාසික තෑග්ග හා නෙළුම් යායෙන් පොත් බෙදිල්ල

තරාතිරම් වාදය ගැන මා මිට කලින් ලිපි කීපයක් ලියා  තිබේ.

පීචං අමෙරිකන්ලා හා තවත් කතා - 1
තරාතිරම්වාදය 1- සමාජ සුභ සාධකගේ කොමෙන්ටුවට තව කතාවක්
තරාතිරම්වාදය 2
අන්තිම ලිපියේ ලියුවේ ඉන්දියානු ගමන ගැනය. නෙළුම්  යායේ මාසික තෑග්ග වශයෙන් රුපියල් දාහක් දීමට කල යෝජනාවට එල්ලවූ විවේචනයක් දුටු මට මේ අත්දැකීම මතක් විනි. මා  ගිය ඉන්දියානු චාරිකාවේ  සංවිධායක වරයා එක තැනක එක රැයක් පමණක් මට වෙනම කාමරයක් දිය නොහැකි බව පැවසුවේය. එතන එහෙම කාමර නැති පන්සලකි. නිඝන්ටයන් අදහන අයගේ ආරාමයක දේශනා ශාලාවේ මුළු වන්දනා කණ්ඩායම ම නිදා ගත යුතුව තිබුණි. වෙන විසඳුමක් කොහොමත් නැති නිසා මා මෙයට විරුද්ධත්වයක්  නොපෑවෙමි.

එදා මදක් පමාවී ආරාමය වෙත බස් රථ පැමිණුනි. සාමාන්‍යයෙන් උදව් කරන ඉවීම කරන කණ්ඩායමේ දෙමළ තරුණ පිරිස ඉවුම් පිහුම් කිරීමට හා ශාලාව ශුද්ධ කිරීමට ගියහ. මම මගේත් මවගේත් ගමන් මාළු  රැගෙන ශාලාව තුල තැබීමි. ඉන්පසු මට පෙනී ගියේ වයසක උපාසක අම්මලා හා අබල දුබල අය ඉතා අමාරුවෙන් තමන්ගේ ගමන් මලු අදින බවය.එහිදී මා කළේ  වයසක අයගේ ගමන් මළු ශාලාවට ඇද ගැනීමට උදව් වීමයි. සමහර අය මෙහිදී තමන්ගේ සියලුම ගමන් මලු උස්සා ගෙන යාමට මට දුනි. මම මෙය එතරම් ගණන් නොගෙන දුන් සියලුම ගමන් මළු ටික ඇද දුනිමි. ටික වෙලාවකින් මම උදව් කල එක  උපාසක අම්මා කෙනෙකු  පැමිණ මට ඇපල් ගෙඩියක් දුන්නාය.  "ඇපල් කාල ඇති වෙලා. ඇඹරල්ලා  ගෙඩියක් වත් තිබ්බ නම්" කියා විහිළුවක් කර එය ප්‍රතික්ෂේප කලෙමි. "මගේ මුනුපුරොත් ඔය පිටකොටුවෙන් ගේන  ඇපල් කන්නේ නැහැ" කී  ඇය නැවත ගොස් ඇත්තටම ඇඹරල්ලා ගෙඩියක් ගෙනත් දුන්නාය. මම විමතියෙන් එය භාර ගතිමි. "ඕක විතරයි ඉවර නොවී  තිබ්බේ. පින් සිද්ද වෙච්චාවේ " කියා ඇය ආපසු ගියාය.

වැඩේ අවසන් කර ඇඟ  ටිකක් සෝදා ගෙන ඇලවී පොතක් බලමින් සිටියදී අර උපාසක අම්මා කලබලෙන් මා  දෙසට එන බව පෙනිණි. මගේ මවද  මා අසලම ඇලවී සිටියාය. "අනේ මහත්තයෝ සමාවෙන්න. මම හිතුවේ සංවිධායක මහත්තයාගේ කෙනෙක් කියල. ඔබතුමා  උදව් කරාට  ගොඩක් පින්. අනේ මම ඇඹරැල්ල ගෙඩියක් දුන්නට සමාවෙන්න." ඒ පිටිපසින් මා උදව් කළ තව කීප දෙනෙකුද සිටි අතර සියල්ලෝම "ඔබතුමාට" ස්තුති කරන්නට පෝලිමේ පැමිණි අයයි.  මදක් එහා මෙහා බැලු විට මට සියල්ල පැහැදිලි විය. මා එංගලන්තයෙන් පැමිණි බව ඉතිරි පිරිසටත් කියූ සංවිධායක වරයාගේ ලේකම් මෙන් සිටි තරුණිය සිනා වෙමින් සිටියාය. ඒ වේලේ  මගේ මවද මැදට පැන  "එයා  ඇඹරැල්ල කන්න ආසයි. එංගලන්තේ නැහැනේ " යයි මගේ රැවීම මැද කීවාය. ඒ මදිවාට  අර ශ්‍රංගයා  සිටි විශ්‍රාම  ශාලාවේ මෙන් පිටු පස සිටි අයද  මා වර්ණනා කලෝය. "ඔය පුතා  හා අම්මා  තමා  මෙතන පින් රැස්  කලේ. " (මගේ මවද මට ටිකක් මළු  ඇද  දීමට උදව් කලා ය.)  ඔවුන්ට අනුව මට පසුදාම නිවන් යා හැකිව තිබුණි.

මේ "ඔබතුමා" කතාව පසුව මට කරදරයක් විය. තවත් අයෙකුට කෑම පෝලිමේ සිටියදී කෑම බෙදා ගැනීමට පිඟානක් නොතිබුණු බව පෙනී මම මගේ පිඟාන දුනිමි. ඔහු  "ඔබතුමාට" හෙවත් මට සෑහෙන්න ස්තූති කළේය. මම මන්තිරි කෙනෙකු නොවන බවත් අජිත් කියා අමතන ලෙසත් කීවෙමි. නමුත් ඔහු කිවේ මන්ත්‍රී කෙනෙකුට වඩා  "එංගලන්තයෙන් ආවත් " තම කෑම පිඟාන අනිත් කෙනෙකුට අහර අනුභවය සඳහා දුන් මට ඔබතුමා  කියා මා  කැමති වුනත් නැතත් කියන බවයි. ඔහු මුළු චාරිකාව පුරාම එසේ ඇමතීය.

මෙම චාරිකාවේදී සාමාන්‍යයෙන් ලැගුම් ගන්නේ හෝටලයක නම් මම මව සමග  ආහාර ගත්තේ හෝටලයේ ආපන ශාලාවෙනි. නැත්නම් එලියට ගොස් වෙන තැනකිනි. වෙන විසඳුමක් නැති තැන පමණක් අර හැමෝටම උයන ආහාර ගතිමි. හේතුව ඒවා සැර වැඩි වීමය. නමුත් කෝකියා මෙයට ඇනුම්පද කීවේය. "ඒ මහත්තයට අපේ කෑම හොඳ නැහැනේ. එංගලන්තයේ ඉඳන් ඇවිත් නිසානේ. අර වෙනම කෑම  දෙන අනිත් චාරිකා තියෙන්නේ, ඇයි ගියේ නැත්තේ."

ප්‍රශ්නය ඇත්තේ මෙතනය. ලංකාවේ දැන් බොහෝ අයට  පිටරට යා හැකිය. එසේම බොහෝ පවුල් වලට කොහේ  හෝ පිටරටක නෑදෑයෙක් සිටී. මේ නිසා මේ පිටරට ඉන්න අය දෙස වෙන ඇසකින් බැලීම් අවශ්‍ය නැති අතර පිටරට සිටින අයද මම මෙහෙ අරහේ සිටිනවා කියා ඔලුව උදුම්මා ගත යුතු නැත.

මෙහිදී මට මතක් වන්නේ අපි මුලින්ම සෝවියට් දේශයේ සිට ලන්ඩනයට පැමිණි කාලයයි. 1985 හේ සිට බොහෝ වසර වල අපි පැමිණියෙමු. මට මිතුරකු වරක් පැවසුවේ දේශපාලන උදව් මත පැමිණි අය, බොහෝ ඈත කාලයේ සිට පැමිණි රදල අය මෙන්ම මුදල් වියදම් කර පැමිණෙන පොහොසත් දෙමාපියන්ගේ දූ  පුතුන්ද, ඇමති දූ පුතුන් ද  මේ රුසියාවේ සිට එන උදවියට කැමති නැති බවයි.  වරක් මම ලංකාවේ සිට ගෙනා   පාර්සලයක් දීමට ලන්ඩනයේ නිවසකට ගියෙමි.  ගෙදර මැදිවියේ ඇන්ටී (ආන්ටි) මට හොඳ කෑම වේලක්ද දී කතාවට  වැටුනාය. මා ද සෝවියට් රුසියාවේ සිට අවුරුදු පතා පැමිණෙන අයෙක් බව නොදැන ඇය මෙසේ කීවාය . "අනී බලාන්ඩකෝ මේ හැම තැනම රුසියාවේ හෙම ඉඳාන් එක එකා  එනවනේ දැන් මෙහෙ. අපේ ඩැඩි හෙම අපව එව්වේ කොච්චර අමාරුවෙන්ද? ස්කූල් වලට ගෙවල. අපටත් තැන නැහැනේ මේ විධිහට ගියොත්.  එංගලන්තේ ඉන්න දන්නා එවුන්ද".
මම සිනහව වළකා ගෙන සිටියෙමි.

මට තේරුම් ගියේ මෙයයි. ඒ ඇන්ටිද එංගලන්ත රජයෙන් සුභ සාධක මුදල් රැගෙන නැනී වැඩක් හොරෙන් කරගෙන ආණ්ඩුවේ ගෙයක් නොමිලේ රැගෙන ජිවත් වන්නියකි. හැබැයි ලංකාවේ ගෙවල් තියෙන්නේ කොළඹ  හත පැත්තේය.  සේවක සේවිකාවන්ද සිටි. ලංකාවට ගිය විට හැසිරෙන්නේ මහා රැජින සමග ලන්ච් එකට නිතර යන ගානටය. අපි වැනි එවුන් මෙහි පැමිණිය හොත්  මේවා මාට්ටුවී ලංකාවට ආරංචි වෙන බයට කියන කතා විය යුතුය.

මුලින් ම කිව යුතු වන්නේ තරුරසී ඇතුළු අනිත් අය යෝජනා කල පරිදි රුපියල් දහස වෙනුවට පොත් තෑගි වශයෙන් දීමට මම එකඟ බවය.  මුලදී එසේ යෝජනා නොකළේ මේවා කරන්නට ලංකාවේ පිරිස සොයා ගැනීම අපහසු බැවිනි.
මාතලන්ට සම්මානය ලැබුණු විට ඔහු මුදල් ත්‍යාගය ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔහු ඇතුළු තවත් කීප දෙනෙකුම පොත් වවුචර දෙන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රශ්නය වුයේ මේ හැම දෙයම කරන්නට හිටියේ අර හීනි හිමාශියා පමණය. උදේ සිට නොකා නොබී දුව පැන ඇවිදිමින් බ්ලොග් උළෙල සංවිධානය කරන්නට වෙහෙසෙන හිමාෂි වවුචර ගන්න යවන්ටත් බැරිය.  (කටුස්සා  කියන්නේ සම්පුර්ණ ඇත්තය. හිමාෂි හුලං කකා වතුර බිබී හැම තැනම  දුවන්නීය. ) වාහනයක් මගේ අතින් හැප්පීම නිසා එක් දිනක් හැම වැඩක්ම තවත් පරක්කු විය. ඒ අතරේ මාතලන් කතා කල විට වවුචර ගන්නට යවන්න  කෙනෙක් නැති බව කීවෙමි. මගේ වාසනාවට මාතලන් ඒ වෙලේ මුදල් ගන්නට කැමති වුනි. ඒ මගේ පහසුව පිණිසය.

මේවා සියල්ලත් සමග නෙළුම්  යායේ මාසික තෑග්ග වශයෙන් රුපියල් දහසක් දීමට ඇතිවුණු  විරෝධයේදී එක්තරා "බූරු  බේබ්  " (ගූගල් නම) කෙනෙක් එල්ල කල චෝදනා වලට මා දුන් පිළිතුරු දරුණු  වැඩි බවත් මා සීමාව පැන්න බවත් බ්ලොග් මිතුරන් කිහිප දෙනෙකු විවේචනද  කළහ.

මේ ඇගේ  මුල් විවේචනයයි.
//රුපියල් දාහකට මොනවද කරන්න පුළුවන් ඇත්තෙන්ම?
සම්මානයක් හරි ඕන බම්බුවක් හරි අගය කිරීමක් වෙන එක අතරයි, මේ රුපියල් ශත කාසියකට දෙකකට විකිණෙන මිනිස්සු ගැන මට දැනෙන්නේ අම්බානක දුකක්.
අපරාදේ ගූගල් ලා වර්ඩ්ප්‍රෙස් වගේ කට්ටිය බ්ලොග් ෆ්ලැට් ෆෝම් එකක් හැදුවේ. මේ වගේ රුපියලට දෙකට කොහෙවත් එවුන්ට කඩේ යන්නනේ ඕයි. නැත්නම් විස්කි බෝතලයකට සිගරට් පැකට් එකකටනේ.
ලැජ්ජයි-//බුරු බේබ් 
මේ මගේ පිළිතුරයි. 
//ඔයාට සල්ලි තියනවනම් තියන් ඉන්න. අපි කාටවත් කඩේ යන්න කියල නැහැ.
මේක ගන්න ඕනේ නැති කට්ටිය එපා කිව්වම ඉවරයි. අපි කාටවත් බල කරලා නැහැනේ. රුපියල් දාහ අපට දෙන්න පුළුවන් ගාන. ඔයාට ඊට වැඩිය දෙන්න ඕනේ නම් දෙන්න. රුපියල් දාහෙන් මුකුත් කර ගන්න බැරිය කියල ඔයා කියනවනම් ළමයෙකුට පැන්සල් පෙට්ටියක් කියාද කියල බලල කතා කරන්න. අපි දෙන්න හදන්නේ නැති කෙනෙකුට මිසක ඔයාල වගේ තියන අයට නෙමේ. දැන් මෙන්න මේ චැරිටියෙන් දෙන්නත් රුපියල් 2000 මාසෙට. www.shareandcare.org.uk
ගූගල් ල ඒවා හැදුවේ නැත්නම් බුරු දෙනවල් ඉන්නවා කියල අපි දැන ගන්නේ කොහොමෙයි? අපි කොහෙවත් යන එවුන් වෙන්නට ඔයා  යන තැන දන්නා මාර පොෂ් කෙනෙක්ද?//

මෙහිදී මගේ වැරැද්ද ලෙස මා  දකින්නේ "බුරු දෙනවල්" යන වචනය භාවිතා කිරීම යයි සිතමි.  බූරු  බබා හෝ බුරු බඩුව කියනවාට වඩා බුරු දෙන හොඳ වචනයක් ලෙස මා සිතුවෙමි. එසේ නම් එළදෙන ද නරක වචනයක් විය යුතුය.  කෙසේ හෝ වේවා එම වචනය පාවිච්චි කිරීම ගැන කණගාටු වෙමි.  විස්කි බෝතලයකට සිගරට් පැකට් එකකට මා  කවදාවත් කාටවත් කඩේ ගොස් නැත. මගේ මුදලින් ඒවා ගත හැකිය.

ඉන්පසු ඇය  මෙසේ ලීවාය.
//අජිත් සාමාන්‍යයෙන් මම මම ගැන මහ ලොකුවට කියන්න යන්නේ නෑ. 
මම කාන්තාවක්.  ඉන්නේ යුරෝපේ රටක පොඩි කාලේ ඉඳන්. අද තව වෙනකම් රුපියල් ශත හෝ ඊට එහා කිසිම දේකටවත් විකිණිලා නෑ. පොඩ්ඩක් අහල බලන්නකෝ ඔය වටේ පිටේ ඉන්න බ්ලොගර්ස් ලගෙන්. 
මම කොන්දක් තියෙන ගැහැණියක්... ඉන් එහාට ඔයාට මම උත්තර දෙන්නේ නෑ. මේක ඔයාගේ තැන. අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා එක්ක දේශපාලනය කතා කරන්න හරි වැරදි කියන්න මම එන්නේ නෑ. හැබැයි අපි හැමදාම වගේ කාටවත් කඩේ යන්නේ නෑ..... 
එච්චරයි. මනුස්සකමට, ආදරේට එකෙක් මරන්න හරි යයි. එන් එහාට රුපියල් ශත අපි ඩීල් කරන එක නතර කලේ ඉපදෙනකොටමයි-//බුරු බේබ් 

මෙය කියවන විටම මගේ මතකයට ආවේ අර ඉහත කි "පිටරටවල" ජිවත් වන ඔලුව ඉදිමුණු අය  ගැනයි. මේ නිසා පහත සඳහන් පිළිතුරු දුනිමි.

//ඔයා ඔයා ගැන මහා ලොකුවට හිතන් ඉන්නවා කියල මම වෙන කොමෙන්ට්ය් වලිනුත් දැකල තියනවා. මම ඉන්නෙත් අවුරුදු 32 විතර යුරෝපයේ. //
//අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා එක්ක දේශපාලනය කතා කරන්න හරි වැරදි කියන්න මම එන්නේ නෑ. // මේකට කියන්නේ prejudice කියල හැබැයි. අද ඊයේ ඉන්ටනෙට් ආපු කියල මට කියන්න ඔයා දන්නේ කොහොමොයි. මට ඉන්ටනෙට් ඉස්සෙල්ලම හම්බ වුනේ මින් අවුරුදු 16 කට විතර කලින්. එතකොට බ්ලොග් ගැන දන්නේ ඔයා විතරද? ඔයා දන්නවද මම වෙන නම් වලින් බ්ලොග් ලියල තියනවා කියල. දන්නේ නැති දේවල් ගැන කතා නොකර ඉන්න. ඔයාට කඩේ යන්න කවුරුත් කීවෙත් නැහැ. යන්නත් එපා.
අනික ඔයාගේ කොමෙන්ට් වලින් මම දැකල තියනව යුරෝපේ රටක පොඩි කාලේ ඉඳන් හිටියයි කියල ඔයාගේ මහා ඇම්මක් තියනවා කියල. ඔයට ඒ කොමෙන්ට් වලදී ඇනෝ මහත්වරු ඇති වෙන්න දීලා තියනවා මම දැකල තියෙන නිසා මම එතනට යන්නේ නැහැ. අපි අපේ වැඩේ කරන්නම්. ඔය ඔයාගේ වැඩේ කරගෙන යන්න. එංගලන්තේ කොම්පැනි හවුස් එකේ බලන්න චිප්ස් ඇන්ඩ් බයිට්ස් කියන කොම්පියුටර් කොම්පැනියේ ඩිරෙක්ටර කවුද කියල 1994. දැන් ඒක dissolve කරලා තියෙන්නේ

පත්තර මල්ලි මෙහිදී කී දෙයට එකඟ වෙමි.  නමුත් නෙළුම්  යාය  ලංකානිව්ස්වෙබ් අඩවිය හා සම්බන්ධ බව ඔහු දැන  නොසිටින්නට ඇත.
//අජිත් බොස්.. පුද්ගලිකත්වය මෙතනට අවශ්‍ය නෑ නේද . ඇයි එතනට වැටෙන්නෙ ??

පත්තර මල්ලිට දුන් පිළිතුර.
මෙන්න මේ කතා දෙක නිසා පත්තර මල්ලි. //
//අපරාදේ ගූගල් ලා වර්ඩ්ප්‍රෙස් වගේ කට්ටිය බ්ලොග් ෆ්ලැට් ෆෝම් එකක් හැදුවේ. මේ වගේ රුපියලට දෙකට කොහෙවත් එවුන්ට කඩේ යන්නනේ ඕයි//
//අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා එක්ක දේශපාලනය කතා කරන්න හරි වැරදි කියන්න මම එන්නේ නෑ. // ඔය යුරෝපේ රටක පොඩි කාලේ ඉඳන් හිටිය අය ඇමෙරිකා එක්සත් ජනපදයේ අවුරුදු දෙකක් විතර ඉඳන් ඉන්න අයගේ ටිකක් වෙන්න ඇම්මක් මම දැකල තියනවා. අනිත් අයට කලින් ඒ ගොල්ල කොම්පියුටර දිහා බලන්න ඇති කියල. බූරු බේබ් ගේ කොමෙන්ට් මම කියවා තියනවා සමහර බ්ලොග් වල. . මගේ පලවෙනි ඊමේල් එක මට ලැබුනේ අනූ ගණන් වල. මම හාර්ඩ් ඩිස්ක් එක 20MB තියන මැෂින් වල වැඩ කරලා තියෙනවා 88-91 විතර . මෙයාල තමා බ්ලොග් ඔස්තාර් ලා. මේ නෙලුම් යාය කියල පල කරලා බ්ලොග් කට්ටියට තැන දෙන්න හිතුනෙත් මේ ඔස්තාර් ලා නිසාම තමා . අනික මට ලොකු අමාරුවක් නැහැ අතේ තියන සල්ලි විසි කරන්න. මේකට ගොඩක් අය විරුද්ධ නම් නොකර ඉන්න වුනත් පුළුවන්. නමුත් මොකක් හරි පටන් ගන්නයි මම හදන්නේ.

මෙහිදී දේශකයා  මා පටු අදහස් ඇත්තෙක් යයිද බුරු බේබ්  ට සෘණාත්මක අදහසක් ඉදිරිපත්  කිරීමට අයිතියක් ඇතැයිද පැවසුවේය. මෙහිදී මා  කිවේ මේ අදහසට මාතලන්, කල්‍යාණ  මිත්‍ර, රූපේ ඇතුළු තවත්  කීප දෙනෙකු ද විරුද්ධ  වූ අතර එය මා  බල පොරොත්තු වූ දෙයක් බවයි. නමුත් මට කරන විවේචනයකදී එයට පිළිතුරු දීමට මට සාධාරණ අයිතියක් තිබේ. මෙය විවේචනය දරා  නොගැනීමක් වශයෙන් අර්ථ දැක්වීම වැරදිය. මෙහිදී රයිගමයා, රසික හා චෙෆාකි ගේ අදහස් වලට මගේ විරුද්ධත්වය ක්  නැත. ඔවුන් යහළුවෙකු ලෙස සලකන අයෙකුට  එල්ල වන විවේචනයකට  ඔවුන් ඉදිරිපත් වී කිසියම් චරිත සහතික ඉදිරිපත් කරන ලදී.  නමුත් මා  දුටු බූරු  බේබ් ගේ සමහර කොමෙන්ටු වල මේ පිටරට වල ජිවත් වීම අතිශෝක්තියෙන් උපුටා දමා  තිබෙනු නිරීක්ෂණය කලෙමි.

මම සෝවියට් දේශයේ අත්දැකීම් අලලා ලියන ඒවා අනවශ්‍ය තේරුමක් නැති දේ වශයෙන් අරූද වරක් නිර්දය විවේචනයක් මට කළේය.

අවසාන වශයෙන් චෙෆාකි කිවේ රුපියල් දහසකට ගත හැක්කේ රෝස්ට්  කුකුලෙක් බවයි.  ඔහුට පිළිතුරු වශයෙන් මා  කිවේ රුපියල් දහසකට මට පොත් දෙක තුනක් ගත හැකි බවයි.  උදාහරණ වශයෙන් වනචාරිනි රුපියල් 400, දියෝනිස් දෙවොල පාමුල රු 500, සොරොව්ව රු 350 බත්තලන් ගුණ්ඩුව , අටවක පුත්තු 450 ආදී වශයෙන් හෝ රොස්ට් කුකුලන් භාගයක්, කාලක්  වශයෙන් අර්ථ දැක්විය හැකිය.

වතු කම්කරුවන් ඊයේ පෙරේදා වර්ජන කරන්නට පටන් ගත්තේ දෛනික වැටුප රුපියල් දහස කරන්න කියාය. මහපොළ දෙන ගානේ සිට දාහක් වත් වැඩි කරන්නට සිසුහු ඉල්ලති. අපි කවදාවත් ලංකාවේ පාරේ ඇවිදින විට රුපියල් දාහක්‌  හිඟන්නෙකුට විසි කරන්නේ නැත. මම ලංකාවේ හෝටල් වල නතර වීමට යද්දී රුපියල් දාහක් දෙදාහක් අඩු කර ගැනීමට බලමි.  ඇඹරැල්ල  ගෙඩිය අර උපාසක අම්මා  දුන්නේ හිතේ කැමැත්තෙනි. මා  පහත්  කිරීමට නොවේ. මගේ මහන්සිය ඇඹරැල්ල ගෙඩියට සම කිරීම ගැන මම අමනාප වුයේ නැත. අප තෑග්ගක් යමෙකුට දෙන්නේ තෑග්ගේ වටිනාකමටත් වඩා  ක්‍රියාව හෝ අවස්ථාව අගය කිරීමටය.

හැබැයි මට අමතක වූ කාරණයක් තිබේ. ලංකාවේ චන්දයක් ලංව මෙවන් යෝජනාවක් ගෙන ඒමයි. මට එය ඒ වෙලාවේ මතක් වුයේ නැත. සමහරවිට බූරු බේබ්  ඇතුළු විවේචනය කරන අයගේ සිතේ එයත් රඟ  දෙන්නට ඇත.

මම මුල්ම රුපියල් දහස පොත් ගැනීමට කියා පිරි නැමීමට සිටියේ යාං හෑල්ල ලියන ශ්‍රන්ගයා ටය. නමුත් යෝජනාව කලා නම් ජුවා හා පුචාට වඩා  හොඳ රැකියාවක් හා තත්වයක් ඇති ශ්‍රන්ගයා මගේ ඔලුව පලන්නටද ඉඩ තිබිණි.  මේ නිසා මා  බේරා  ගැනීම ගැන බූරු බේබ් , දේශකයා , රූපේ , මාතා, රසික, රයිගමයා  හා චෙෆාකි ට ස්තුති වන්ත වෙමි. එසේම මේ යෝජනාවට  සහය පල කල, මගේ නිස්සරණාධ්‍යශය තේරුම් ගත්  කවිකාරි මං, කුරුටු, නොකී කතා, බුද්ධික කන්දෙපොල, රසික, මහේෂ් රත්නායක, ලොකු පුතා,  මධු මාධවී , මනොෂ් සඳරුවන්,  එල ද බ්‍රා , රොහාන් ධනංජය, රාජ් හා තරු රසී ටද මහත් සේ ස්තුති වන්ත වෙමි. චන්දය අවසාන වූ පසු පොත් කිහිපයක් සම්මාන ලෙස සෑම මසකම ලබා දීමට ලංකානිව්ස්වෙබ් කර්තෘ චන්දිම විතානාරච්චි මහතා සමග සාකච්චා කරමි.  වෙනත් සෑම  වතාවක මෙන්ම පොත් ගැනීමට උදව් කරන අයද සොයාගත යුතුය. මේ සැරේ හිමාශි නම් කීයට වත් බැනුම් අහන්නට නැවත එන්නේ නැත.

Saturday, 8 August 2015

නැවත ආවොත් පරණ රෙජීමයන්

"සිහසුනට තරඟ වැද" නමින් බ්ලොග් කරුවන් දෙදෙනෙකු විසින් සාර්ථක ලෙස සිංහලට පරිවර්තනය කරන ලද ජෝර්ජ් මාර්ටින්ගේ  ගේ කෘතිය, එච්බීඕ  හා ස්කයි ඇට්ලන්ටික් රුපවාහිනියේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones) නමින් ප්‍රදර්ශනය වෙයි.

මෙහි මුල් කොටසේ සේර්සෙයි ලැනිස්ටර් නමැති රැජින රජුගේ ප්‍රධාන සහායක වන (අගමැති වැනි තනතුරක්) නෙඩ්  ස්ටාර්ක් ට රජකම ගැනීමට අවුරුදු 14 කට කලින් තිබු අවස්ථාවේ එසේ කරන්නට තිබු බවත් එය නොකිරීමෙන් ඔහු විශාල වරදක් තමන්ට කරගත් බවත් පවසයි. එහිදී නෙඩ් එයට එකඟ  නොවෙයි. එහිදී ඇය යලිත්  මෙසේ පවසයි. "When you play the game of thrones, you win or you die. There is no middle ground." "ඔබ සිහසුනට තරඟ  කරන ක්‍රීඩාවේදී එක්කෝ ඔබ දිනනවා නැත්නම් මැරෙනවා. මැද මාවතක් නැහැ. "

මගේ යහළුවෙකු මම මේ දිනවල පවතින දේශපාලන උණුසුම ගැන නිහඬව සිටින්නේ මන්ද යයි විමසා ඒ පිළිබඳව අවම වශයෙන්  බ්ලොග් ලිපියක් වත්  නොලියන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.  කිසිම දේශපාලන පක්ෂයට කෙලින් ම සහය පල නොකිරීමේ හේතූන්  කිහිපයක් ඇති නිසා  එසේ නොකරන බව මම පැවසුවෙමි. ඉහත කී ලෙසින්ම මැද  මාවතක් ඇත්තටම තිබේද යන්න මට ඇති ප්‍රබල ප්‍රශ්නයකි.

එහෙත් අගෝස්තු 17 බලයට එන්නන් විසින් පොරොන්දු විය යුතු දෙයක් තිබේ.ඒ දැනට ඇතිවී තිබෙන මේ නිදහස සුරැකීමයි.

ගිය වසරේ අගෝස්තුවේ රාජපක්ෂ රජය තිබූ  කාලයේ මම පවුලේ අය  සමග ශ්‍රී ලංකාවට ගියෙමි. අපි පානදුර අසල හෝටලයක සතියක් පමණ නතරවී සිටි අතර ඒ අතර වාරයේ කොළඹට  පැමිණ, පසුව දුම්රියෙන් නැවත හෝටලයට යාමට කොටුව දුම්රිය පළට පැමිණියෙමු. එසේ කලේ මාත්  දරුවනුත් දුම්රියේ යාමට ඉතා කැමැත්තක් දැක්වීමත් දුම්රිය වල ඡායාරුප ගැනීම මගේ විනෝදාංශයක් වූ නිසාත්ය.

මම ඡායාරූප  ගනිද්දී ඒ දෙස අර දුම්රිය පලවල සුදු ඇඳගෙන මහන්තත්ත ලීලාවෙන් සිටි එකෙක් ඒ  දෙස බලා  සිටියේය.  වැඩ කරන පෝටර්ලා හා මගීන්ට ලොකු කම් පෙන්වමින් තමන් මහා ලොකු රස්සාවක් කරන බව දක්වමින් හැසිරෙන මේ සුදු ඇඳගත් නිලධාරීන්  දුම්රිය ස්ථානාධිපතිගේ සහායකයන් හෝ ටිකට්  විකුණන අය  විය යුතුය. මේ තැනැත්තා ඉන්පසු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ඇදගෙන එතනට පැමිණියේය.

එක පොලිස් නිලධාරියෙකු මගෙන් ප්‍රශ්න කළේය. ඔහු මගෙන් මා  ජන මාධ්‍යවේදියෙකු ද, දුම්රිය ස්ථානයේ ඡායාරුප ගන්නේ මන්ද? කුමන පත්‍රයකට මේවා යවන්නේද? සුදු කාන්තාව මොන එන්ජිඕ එකේද යනුවෙන් ප්‍රශ්න කීපයක්ම ඇසීය. සුදු ඇඳගත් උද්ධච්ච්යා සහ තවත් පොලිස් නිලධරයෙකු මදක් ඈතින් තර්ජනාකාරී ලෙස  අප දෙස බලා සිටියහ.  මම නිවාඩුවකට පැමිණි අයෙකු බවත් කාන්තාව මගේ බිරිඳ බවත් ඒ අසල සිටින්නේ දරු දෙදෙනා බවත් කීවෙමි. මම දුම්රිය එන්ජින් වල පින්තුර ගැනීම විනෝදාංශයක් වශයෙන් කරන බවද පැවසුවෙමි.  ඔහු ඉන්පසු කිවේ මෙවැනි කතාවකි. "අප හිතුවේ ඔයා මාධ්‍යවේදියෙක් කියල. ඕකුන්ට මේ මහත්තුරු පැත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ. ළඟදී  ආපු දෙතුන් දෙනෙකුට දුවන්න දුන්න." ඒ සිද්ධිය වෙබ් පුවතකින්  දුටු බව මට මතක් විනි. මගේ බිරිඳද ඔහුට හඳුන්වා දී මගේ ගමන් බලපත්‍රය පෙන්වීමට සැරසුනෙමි.
එය නැවත් වූ ඔහු ඉන්පසු සුහදශීලීව  කතා කර මට පරිස්සමින් හෝටලයට යන ලෙස දැන්වුවේය. අනිත් දෙදෙනා නික්ම ගියත් අප දුම්රියට නගින තුරු ඔහු ඒ අසල සිටියේය. "ලංකාවේ ජන මාධ්‍යවේදීන්ට ගිය කලක් " යයි මට සිතුනි. 
ඉන්පසු සිදුවුයේ තරමක් අදහා ගත නොහැකි දෙයකි.   එතනම සිටි අයෙකු දුම්රියට නැග මමත් බිරිඳත් අතරින් හිඳ ගත්තේය. දරු දෙදෙනා අනිත් කෙළවරේය. බිරිඳ එතනම ළඟ  සිටි තවත් ජර්මන් කාන්තාවක් හඳුනාගෙන සංවාදයක යෙදුනාය. අර තැනැත්තාද ප්‍රශ්න රාශියක් මගෙන් ඇසුවේය. මගේ වගතුග ඉන්නේ කොහෙද රැකියාව කුමක්ද වැනි ප්‍රශ්නයි. සිවිල් ඇඳුමින් සිටි කෙනෙක් මෙවැනි ප්‍රශ්න අසන්නේ මන්ද යයි සිතුනද මම ආචාරශීලිව පිළිතුරු දී ඔහු  සමග කතාවට වැටුනෙමි. ඒ අතර දුම්රිය පසු කර යන  ස්ථානයක පොලිසිය පෙන්වමින් එහි ඇති සම්බන්ධතාවය ගැනද ඔහුට පැවසුවෙමි. ඉන්පසු ඔහු වඩාත් මිත්‍රශීලිව මා  සමග කතා කළේය. ඔහු කිවේ ඔහු කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියේ වැඩ කරන බවයි.

 සුපුරුදු ලෙස දුම්රිය ගමනාන්තයට නොගිය අතර දෙහිවල හෝ රත්මලාන හරියෙන් එය නතර කෙරුණි. හේතුව මා දන්නේ නැත. මිනිස්සු රස්තියාදු වන්නේ එලෙසය. මිට කලින් නුවර ගිය ගමනකදී දුම්රිය පේරාදෙණියෙන් ඉවරවි අපට කාරයක් ගෙන්වාගෙන යාමට සිදුවුණි.  දුම්රිය නැවතුන තැනින් අපට ත්‍රීවිල්  හෝ බස් ගත හැකි තැනක් පෙන්වූ මේ තැනැත්තා නික්ම ගියේය. 

නැවත  හෝටලයට ගිය පසු මම මේ සිද්ධිය යහලුවෙකුට පැවසුවෙමි. ඔහු කිවේ ඒ ගෝඨා ගේ ඔත්තුකරුවෙකු බවයි. රටක ඔත්තු සේවාවන් තිබීම සාමාන්‍ය  දෙයකි. නමුත් සාමාන්‍ය මිනිසුන් පසුපසත් එවැනි අය යවන්නට තත්වයක් තිබෙනවා  නේදැයි ඇසූ  විට "උඹ සාමාන්‍ය  එකෙක්යැ. පිටරට ඉඳන් උඹල මොනවට එනවද කවුද දන්නේ " යයි සමච්චලයට මෙන් කිවූ ඔහු,  "දැන් ලංකාව සැහෙන්න දියුණුයි නේද?"  කියා ඇසීය. "උඹ දියුණුව මනින්නේ මිනිස්සු පසු පස යන  පොලිස් ඔත්තුකරුවන්ගේ ගානටද " කියා ඇසීමි. ඔහු කිවේ ලංකාවේත්  දැන් පිටරට වගේ හොඳ  ඔත්තු සේවයක් තිබෙන බවයි. මම ඔහුට කිවේ උඹලට නිදහස නැතිවී ඇති බව උඹලාටම  නොතේරෙන බවත් ඒ බව ලියන ජන මාධ්‍යවේදීන් ගුටි කන බවත්ය. ඊට කලින් කීප දෙනෙකු අතුරුදහන්විද තිබෙන බව ඔහුට මතක් කර දුනිමි.    

මේ මා අත්දුටු සිදුවීම්  මාලාවක එකක් පමණි. 

මම කිසිම දේශපාලන පක්ෂයකට චන්දය දෙන්නට හෝ දෙන්නට එපා යයි කාටවත් කියන්න යන්නේ නැත. නමුත් පරණ කට්ටිය නැවත එනවා නම් හෝ අලුත් කට්ටියක් එනවා නම් දෙගොල්ලම මිනිසුන්ගේ නිදහස රැකිය යුතු බව මගේ හැඟීමයි. එය වඩාත් හොඳට ඉටු කරන කොටසට චන්දය දීම වඩා  උචිත නොවේද?  එහෙම කොටසක් සිටිනවාද? 
++++++++++++++++
පහත පලවන්නේ එදා මා ගත්  දුම්රිය එන්ජින් වල ඡායාරූපයි.
 




Wednesday, 5 August 2015

කියුබාව ගැන කීමට ප්‍රථම - නැගෙනහිර ජර්මනියේ නිවෙස්

කියුබාව ගැන ප්‍රථම ලිපියෙන් මා  කීමට උත්සාහ  කලේ කියුබාවේ වෙනස්වීම සඳහා පදනම වැටුනේ මින් අවුරුදු ගණනකට  පෙර මිස දයාන් ජයතිලක හෝ වත්පොතේ (මෙය රසිකලොජි ගෙන් උපුටා ගත් වචනයකි,  ෆේස්බුක් යන්න මින් අදහස් වේ.) තිබූ  කළු ඇමෙරිකානු ජනපති කෙනකු හා ලතින් ඇමෙරිකානු පාප්  තුමෙකු හිටියාට නොවන බවයි.  වෙරෝනාහි දී හමුවූ යහළුවෙකු කිවේ කැස්ත්‍රෝ දැන් රාජකීය දෛවඥයා කර ඇති බවයි.
රාවුල්  කස්ත්‍රෝ වසරකට පමණ පෙර සිට කියුබානුවන්ට තමන්ගේ නිවෙස් මිලට ගැනීමට, විකිණිමට, බදු දීමට මෙන්ම කුලියට දීමටද අවස්ථාව උදා කර දුනි. මින් උදම් වැටුණු එක්තරා  බීබීසී  (සිංහල අංශය නොවේ.) වාර්තාකාරයෙකු ලීවේ කියුබාව ප්‍රාග්ධනය එකතු කිරීමට ඉඩදී ධනවාදයේ අඩිතාලම දමා ඇති  බවයි.  මේ අතර මගේ තවත් මිතුරෙකු  මම "සමාජවාදී ගම " ගැන ලීයූ  ලිපිය ගැන විමසමින් නැගෙනහිර ජර්මනියේ එවැනි නිවෙස් තිබුනා දැයි  විමසීය.  බොහෝ අය  සිතා  සිටින්නේ නැගෙනහිර ජර්මනිය සමාජවාදය යටතේ ෆ්ලැට් හෙවත් තට්ටු නිවාස  සමුහයක් පමණක් තිබූ  රටක්  ලෙසය. මෙය යම් පමණකට සත්‍ය මුත් එම තට්ටු නිවාස බොහොමයක් ඇත්තේ නගර බදවය. ඒවා  සමාජවාදී හෝ ධනවාදී ඕනෑම රටක ඇත.

පහත පින්තුර බෙන්ස්හවුසන් නමැති තුරින්ගියා ප්‍රදේශය ඇති ගමක නිවාසය. දැන් ජර්මනියේ වුවත් වසර 25 කට කලින් මෙය නැගෙනහිර ජර්මන් ගමකි. මේ නිවෙස්  අලුතින් තීන්ත ගා  පිළිසකර කර තිබෙන මුත් (ජර්මන්වරු මෙය නිතර කරති ) සාදා  තිබෙන්නේ බොහෝ කලකට පෙරය. මේවා සමාජවාදී (යයි කිවූ) නැගෙනහිර ජර්මනිය තිබූ  කාලයේ සිටම පැවත එයි. සමහර නිවෙස් ඊටත් වඩා  පරණය. සමාජවාදී ජර්මන් රජය ඒවා රජයට පවරා  ගත්තේ නැත.  ඒවායේ මුල් අයිතිකරුවන් හෝ ඔවුන්ගේ දරුවන් තවමත් මේ නිවෙස් වල  ජිවත් වෙති.
මා  පින්තූර  රාශියක් ගත්තේ මේ බොහෝ වැසියන්ට තමන්ගේ ම නිවෙස්  තිබූ  බව කියන්නටය. සමාජවාදී හංගේරියාවේ, යුගෝස්ලාවියාවේ (ස්ලවේනියා - ජිජැක්  , සර්බියා , බොස්නියා ආදී රටවල් ) චෝකොස්ලවේකියාවේ මේ තත්වයම පැවතුනි. අයිතිකරුවන් මියගිය හෝ සොයා ගත නොහැකි නිවෙස්  රජයට පවරා  ගැනුනි.
මේ අනුව කල්පනා කලයුතු වන්නේ කස්ත්‍රෝ මෙය නොකළේ මන්ද යන්න හා රවුල් කස්ත්‍රෝ තමන්ට බලය ලැබූ ගමන් මෙවන් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලේ ඇයිද යන්නත්ය.




















මෙය දෙවන ලෝක යුද්ධයට කලින් තිබු නිවසකි. (පැරණිතම නිවසක් )