Saturday 8 August 2015

නැවත ආවොත් පරණ රෙජීමයන්

"සිහසුනට තරඟ වැද" නමින් බ්ලොග් කරුවන් දෙදෙනෙකු විසින් සාර්ථක ලෙස සිංහලට පරිවර්තනය කරන ලද ජෝර්ජ් මාර්ටින්ගේ  ගේ කෘතිය, එච්බීඕ  හා ස්කයි ඇට්ලන්ටික් රුපවාහිනියේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones) නමින් ප්‍රදර්ශනය වෙයි.

මෙහි මුල් කොටසේ සේර්සෙයි ලැනිස්ටර් නමැති රැජින රජුගේ ප්‍රධාන සහායක වන (අගමැති වැනි තනතුරක්) නෙඩ්  ස්ටාර්ක් ට රජකම ගැනීමට අවුරුදු 14 කට කලින් තිබු අවස්ථාවේ එසේ කරන්නට තිබු බවත් එය නොකිරීමෙන් ඔහු විශාල වරදක් තමන්ට කරගත් බවත් පවසයි. එහිදී නෙඩ් එයට එකඟ  නොවෙයි. එහිදී ඇය යලිත්  මෙසේ පවසයි. "When you play the game of thrones, you win or you die. There is no middle ground." "ඔබ සිහසුනට තරඟ  කරන ක්‍රීඩාවේදී එක්කෝ ඔබ දිනනවා නැත්නම් මැරෙනවා. මැද මාවතක් නැහැ. "

මගේ යහළුවෙකු මම මේ දිනවල පවතින දේශපාලන උණුසුම ගැන නිහඬව සිටින්නේ මන්ද යයි විමසා ඒ පිළිබඳව අවම වශයෙන්  බ්ලොග් ලිපියක් වත්  නොලියන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.  කිසිම දේශපාලන පක්ෂයට කෙලින් ම සහය පල නොකිරීමේ හේතූන්  කිහිපයක් ඇති නිසා  එසේ නොකරන බව මම පැවසුවෙමි. ඉහත කී ලෙසින්ම මැද  මාවතක් ඇත්තටම තිබේද යන්න මට ඇති ප්‍රබල ප්‍රශ්නයකි.

එහෙත් අගෝස්තු 17 බලයට එන්නන් විසින් පොරොන්දු විය යුතු දෙයක් තිබේ.ඒ දැනට ඇතිවී තිබෙන මේ නිදහස සුරැකීමයි.

ගිය වසරේ අගෝස්තුවේ රාජපක්ෂ රජය තිබූ  කාලයේ මම පවුලේ අය  සමග ශ්‍රී ලංකාවට ගියෙමි. අපි පානදුර අසල හෝටලයක සතියක් පමණ නතරවී සිටි අතර ඒ අතර වාරයේ කොළඹට  පැමිණ, පසුව දුම්රියෙන් නැවත හෝටලයට යාමට කොටුව දුම්රිය පළට පැමිණියෙමු. එසේ කලේ මාත්  දරුවනුත් දුම්රියේ යාමට ඉතා කැමැත්තක් දැක්වීමත් දුම්රිය වල ඡායාරුප ගැනීම මගේ විනෝදාංශයක් වූ නිසාත්ය.

මම ඡායාරූප  ගනිද්දී ඒ දෙස අර දුම්රිය පලවල සුදු ඇඳගෙන මහන්තත්ත ලීලාවෙන් සිටි එකෙක් ඒ  දෙස බලා  සිටියේය.  වැඩ කරන පෝටර්ලා හා මගීන්ට ලොකු කම් පෙන්වමින් තමන් මහා ලොකු රස්සාවක් කරන බව දක්වමින් හැසිරෙන මේ සුදු ඇඳගත් නිලධාරීන්  දුම්රිය ස්ථානාධිපතිගේ සහායකයන් හෝ ටිකට්  විකුණන අය  විය යුතුය. මේ තැනැත්තා ඉන්පසු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ඇදගෙන එතනට පැමිණියේය.

එක පොලිස් නිලධාරියෙකු මගෙන් ප්‍රශ්න කළේය. ඔහු මගෙන් මා  ජන මාධ්‍යවේදියෙකු ද, දුම්රිය ස්ථානයේ ඡායාරුප ගන්නේ මන්ද? කුමන පත්‍රයකට මේවා යවන්නේද? සුදු කාන්තාව මොන එන්ජිඕ එකේද යනුවෙන් ප්‍රශ්න කීපයක්ම ඇසීය. සුදු ඇඳගත් උද්ධච්ච්යා සහ තවත් පොලිස් නිලධරයෙකු මදක් ඈතින් තර්ජනාකාරී ලෙස  අප දෙස බලා සිටියහ.  මම නිවාඩුවකට පැමිණි අයෙකු බවත් කාන්තාව මගේ බිරිඳ බවත් ඒ අසල සිටින්නේ දරු දෙදෙනා බවත් කීවෙමි. මම දුම්රිය එන්ජින් වල පින්තුර ගැනීම විනෝදාංශයක් වශයෙන් කරන බවද පැවසුවෙමි.  ඔහු ඉන්පසු කිවේ මෙවැනි කතාවකි. "අප හිතුවේ ඔයා මාධ්‍යවේදියෙක් කියල. ඕකුන්ට මේ මහත්තුරු පැත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ. ළඟදී  ආපු දෙතුන් දෙනෙකුට දුවන්න දුන්න." ඒ සිද්ධිය වෙබ් පුවතකින්  දුටු බව මට මතක් විනි. මගේ බිරිඳද ඔහුට හඳුන්වා දී මගේ ගමන් බලපත්‍රය පෙන්වීමට සැරසුනෙමි.
එය නැවත් වූ ඔහු ඉන්පසු සුහදශීලීව  කතා කර මට පරිස්සමින් හෝටලයට යන ලෙස දැන්වුවේය. අනිත් දෙදෙනා නික්ම ගියත් අප දුම්රියට නගින තුරු ඔහු ඒ අසල සිටියේය. "ලංකාවේ ජන මාධ්‍යවේදීන්ට ගිය කලක් " යයි මට සිතුනි. 
ඉන්පසු සිදුවුයේ තරමක් අදහා ගත නොහැකි දෙයකි.   එතනම සිටි අයෙකු දුම්රියට නැග මමත් බිරිඳත් අතරින් හිඳ ගත්තේය. දරු දෙදෙනා අනිත් කෙළවරේය. බිරිඳ එතනම ළඟ  සිටි තවත් ජර්මන් කාන්තාවක් හඳුනාගෙන සංවාදයක යෙදුනාය. අර තැනැත්තාද ප්‍රශ්න රාශියක් මගෙන් ඇසුවේය. මගේ වගතුග ඉන්නේ කොහෙද රැකියාව කුමක්ද වැනි ප්‍රශ්නයි. සිවිල් ඇඳුමින් සිටි කෙනෙක් මෙවැනි ප්‍රශ්න අසන්නේ මන්ද යයි සිතුනද මම ආචාරශීලිව පිළිතුරු දී ඔහු  සමග කතාවට වැටුනෙමි. ඒ අතර දුම්රිය පසු කර යන  ස්ථානයක පොලිසිය පෙන්වමින් එහි ඇති සම්බන්ධතාවය ගැනද ඔහුට පැවසුවෙමි. ඉන්පසු ඔහු වඩාත් මිත්‍රශීලිව මා  සමග කතා කළේය. ඔහු කිවේ ඔහු කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියේ වැඩ කරන බවයි.

 සුපුරුදු ලෙස දුම්රිය ගමනාන්තයට නොගිය අතර දෙහිවල හෝ රත්මලාන හරියෙන් එය නතර කෙරුණි. හේතුව මා දන්නේ නැත. මිනිස්සු රස්තියාදු වන්නේ එලෙසය. මිට කලින් නුවර ගිය ගමනකදී දුම්රිය පේරාදෙණියෙන් ඉවරවි අපට කාරයක් ගෙන්වාගෙන යාමට සිදුවුණි.  දුම්රිය නැවතුන තැනින් අපට ත්‍රීවිල්  හෝ බස් ගත හැකි තැනක් පෙන්වූ මේ තැනැත්තා නික්ම ගියේය. 

නැවත  හෝටලයට ගිය පසු මම මේ සිද්ධිය යහලුවෙකුට පැවසුවෙමි. ඔහු කිවේ ඒ ගෝඨා ගේ ඔත්තුකරුවෙකු බවයි. රටක ඔත්තු සේවාවන් තිබීම සාමාන්‍ය  දෙයකි. නමුත් සාමාන්‍ය මිනිසුන් පසුපසත් එවැනි අය යවන්නට තත්වයක් තිබෙනවා  නේදැයි ඇසූ  විට "උඹ සාමාන්‍ය  එකෙක්යැ. පිටරට ඉඳන් උඹල මොනවට එනවද කවුද දන්නේ " යයි සමච්චලයට මෙන් කිවූ ඔහු,  "දැන් ලංකාව සැහෙන්න දියුණුයි නේද?"  කියා ඇසීය. "උඹ දියුණුව මනින්නේ මිනිස්සු පසු පස යන  පොලිස් ඔත්තුකරුවන්ගේ ගානටද " කියා ඇසීමි. ඔහු කිවේ ලංකාවේත්  දැන් පිටරට වගේ හොඳ  ඔත්තු සේවයක් තිබෙන බවයි. මම ඔහුට කිවේ උඹලට නිදහස නැතිවී ඇති බව උඹලාටම  නොතේරෙන බවත් ඒ බව ලියන ජන මාධ්‍යවේදීන් ගුටි කන බවත්ය. ඊට කලින් කීප දෙනෙකු අතුරුදහන්විද තිබෙන බව ඔහුට මතක් කර දුනිමි.    

මේ මා අත්දුටු සිදුවීම්  මාලාවක එකක් පමණි. 

මම කිසිම දේශපාලන පක්ෂයකට චන්දය දෙන්නට හෝ දෙන්නට එපා යයි කාටවත් කියන්න යන්නේ නැත. නමුත් පරණ කට්ටිය නැවත එනවා නම් හෝ අලුත් කට්ටියක් එනවා නම් දෙගොල්ලම මිනිසුන්ගේ නිදහස රැකිය යුතු බව මගේ හැඟීමයි. එය වඩාත් හොඳට ඉටු කරන කොටසට චන්දය දීම වඩා  උචිත නොවේද?  එහෙම කොටසක් සිටිනවාද? 
++++++++++++++++
පහත පලවන්නේ එදා මා ගත්  දුම්රිය එන්ජින් වල ඡායාරූපයි.
 




39 comments:

  1. අජිත් ගේ කලිසම නිසා පැන්ෂන් ගිය පොලිස්කාරයෙකු කියලා හිතලා යන්න දෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. මම සාමන්‍යයෙන් කාකි කලිසම් අඳින්න කැමතියි. අපේ වයිපරේ හිතල තියෙන්නේ පොලිස් නිලධාරියා ආවේ මම බාච්චුවක් වගේ "කැතට" ඇඳගෙන හිටි "ටී ෂර්ට් එක ඇතුලට දාගන්න කියන්න " ලු. මට කියනව අර ලංකාවේ ගොඩක් පිරිමි ෂර්ට් එක හෙම ඇතුලට ගෙන පිලිවෙලටලු ඉන්නේ.

      Delete
  2. අපේ තාත්තා ධුම්රිය නියාමකයෙක්.. දුම්රිය එන්ජින් ගැන කියද්දී මට මතක් වෙන්නේ පොඩි කාලේ ගෙදර ඔය දුම්රිය ගැන කතා වෙන විදිය..
    "අද 516 එකේ ගිහින් හෙට 592 එනවා.. නානුඔය රනින් බන්ග්ලෝ එකේ නවතින්නේ.. අප් ඇන්ඩ් ඩවුන් බටා එක ගත්තම හෙට හවස ඇවිත් ටවුන් එකෙන් බඩු ලිස්ට් අරගෙනම එන්නම්.."
    දුම්රිය ගැන මගේ තිබ්බේ සොඳුරු මතකයක්.. එත් මේක කියෙව්වම සුදු ඇඳගත්ත 'SM අංකල්ලා' ගැන නම් පොඩි නොක්කඩුවක් අවා.. හෙහ්..හෙහ්..

    ReplyDelete
    Replies
    1. අපොයි කල්‍යාණ මිත්තරයෝ බොහෝම කණගාටුයි හිත රිදුනනම්. දුම්රිය නියාමකයෝ හොඳ කට්ටිය. මට උත්තර දීල නැහැ සැරෙන්. මම කියන්නේ ඔෆිස් ඇතුලේ ඉන්න කට්ටිය අර නුවර ගමනේදී මිනිසුන්ට සත්තම් දාපුවා හෙම. හරියට කෝච්චිය නැවත්වුවේ අපේ වැරැද්දෙන් වගේ. බෝම්බයක් තිබුන කියලලු. හැබැයි පස්සේදැන ගන්න ලැබුන ඒකත් එගොල්ලම මවපු බොරුවක් කියල. අපි දොස්තරලට බැන්නට කොච්චර හොඳ මානුෂික දොස්තරලා ඉන්නවද. මහන ඕව ගැන ලියපන්. මම නම් මාර ආසයි දුම්රිය ගමන් ගැන කියවන්න.

      Delete
  3. මමත් එකඟයි ඔබේ අදහසට. රටක මොනවා තිබුනත් වැඩක් නෑ පුද්ගල නිදහස නැතුව.
    ඒ ගෙවුන යුගය ගැන ඔබ සදහන් කරලා තියෙන්නෙ එක පැත්තක්. මං දැකපු තව දෙයක් තමයි එයාලා සර්ව බලධාරී දෙවියන් වගේ ජනතාවට සියල්ල දෙන්නෙ එයාලා කියලා පෙන්නන්න උත්සහ කරපු එක. අපේ වෘත්තීය සමිති අරගලයකදි ඒකට අදාල නිළධාරින් සහ ඇමති එක්ක කතා බහ කරාට කවදාවත් අපේ ඉල්ලීම් වලට එකඟ වෙන්නෑ..........කාලයක් ඕක ඔහොම ඇදලා අන්තිමට බැසිල් එනවා. ඇවිත් එයා ඔන්න වැඩේ ඉවරයක් කරනවා....ඊට පස්සෙ ප්‍රවෘත්ති වලටත් දෙනවා මෙන්න මෙහෙම මෙයා මැදිහත් වෙලා අර අරගලය විසදුවා කියලා. එයාලට වැරදුනෙ අපිත් කන්නෙ එයාලා කන කෑමම කියලා හිතපු එකෙන්

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන් එකඟයි. ඇත්තටම මම රාජපක්ෂ රජයට පක්ෂව හිටපු කෙනෙක්. ඒ ගැනත් ලියන්න ඕනේ. දැකපු දේවල් නිසාම තමා එපා වුනේ.

      Delete
  4. අධිරාජ්‍යවාදී බටහිර ගැති කුමන්ත්‍රනකාරී දේශද්‍රෝහී ත්‍රස්තවාදී පරගැති අසිංහල ........(තව ඒවා මතක්වුනාහම ලියන්නම් ) දෙමළ ඩයස්පෝරාවෙන් ලැබෙන මුදලට මෙවන් ලිපි ලියන අජිත් අයියාට..

    මිනිසුන් කැමති වහළුන් වීමටනම් ඒකට ඉඩදෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?කැමති නැතිවුන් ඉන්නවානම් මේ රට අතැරදාලා යන්න තමයි ඉතුරුවෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙමනේ ඉන්නේ. ඔය දෙමල ඩයස් අයියලා දෙතුන් දෙනෙක් හොයල දියන්කෝ. නිවාඩු ගිහින් ඇවිත් අතේ සතේ නැතුව ඉන්නේ. කියක් හරි ඉල්ලා ගන්න. මෙහෙ ඉන්න එවුන් අම්බ ලෝභයි.

      Delete
  5. අසුනවයේ භීෂණයේ භයංකාරත්වය මගේ ඇසින් (භිෂණයේ අදුරු මතකය)උපුටා ගැනීම : http://chami4u.blogspot.com/2012/08/blog-post.html


    මේ කාලය ගැන 85න් පස්සේ ඉපදුන අයට හිතාගන්නවත් බැරි වෙයි

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට එකඟයි. එමනිසා මෙම ලිපියේ මාතෘකාව රෙජිමයන් යනුවෙන් වෙනස් කලා. මම එවකට පැවතී රජයේ ක්‍රියාදාමය ජවිපෙ ක්‍රියාදාමය හා ස්වාධින ශිෂ්‍ය සංගමයේ ක්‍රියාදාමයද 1987 සිටම හෙළා දැකි අයෙක්මි.ප්‍රභාකරන් සේම ජවිපෙ කලේද අරගලය තුවක්කු ගෙන පාවා දීමය. මගේ ජවිපෙ යාලුවන්ගේ කුණු බැනුම් මැද අදද මේ ස්ථාවරයේ සිටිමි.

      Delete
  6. නැවත ආවොත් නං බඩුම තමා... ලුණු පොල්කට්ටෙ ඉඳලම පටන්ගනී...

    ReplyDelete
    Replies
    1. සීරුවෙන් සිටින්.

      Delete
  7. තිබ්බ ඔත්තු සේවයේ තරමයි චරපුරුෂයෝයි ගැනයි නම් කතා කරලා වැඩක් නෑ.... නැත්නම් ඉතින් තව දෙකක් තියෙද්දි ඉල්ලගෙන කාලා සැට් එකටම කෙල ගනීය...

    ReplyDelete
    Replies
    1. ද්‍රෝහීන් අල්ලන්න දාල තිබ්බ දැලෙන් මිදී ද්‍රෝහීන් ටික චන්දය පාවිච්චි කලා වත්ද ? ලක්ෂ ගාණක් ම.

      Delete
  8. කොටුව ස්ටේශන් එකේ පස්වෙනි ප්ලැට්ෆෝම් එකේ ඉදන් වගේ අරන් තියෙන්නෙ ෆොටෝ ටික. කෝච්චියේ ගමන සහ එංජින් ගැන හොයන එක නම් මගෙත් ආසම දෙයක්.
    මිනිසුන්ගේ නිදහස රැකෙන එක සිහිනයක් විතරක් වෙයිද.....

    ReplyDelete
    Replies
    1. වෙන් ඇති . මතක නැහැ. දකුණ පැත්තට දුම්රිය යන වේදිකාව. මිනිසුන්ගේ නිදහස....

      Delete
  9. රාජපක්ෂ රෙජීමය ආයෙමත් බලයට එන්නේ නැහැ.හැබැයි වෙනත් ස්වරූප වලින් වෙනත් රෙජිමයන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්.උඩින් සඳමාලි කියලා තියෙනවා වගේ "පුද්ගල නිදහස"කියන දේ ඉතාමත් වැදගත්.ඒ නිසා දැන් තියෙන මේ නිදහස රැක ගැනීම අපේ තියෙන වගකීමක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ සඳහා ජවිපෙ ඇතුළු අනිත් පක්ෂ වලට ක්‍රියාත්මක විය හැකියි.

      Delete
  10. ඔහොම පොටෝ ගන්නවට ගහන්නයි තිබ්බේ. ඇයි වදේ තව ටිකක් ලං කරල ලස්සනට ගහනන් එපායැ..

    ReplyDelete
    Replies
    1. ලඟට යන්නත් බයේ හිටියේ.

      Delete
  11. රාජ්‍ය හස්තය මේ තරම්ම පහළට ආ බව මා දැන සිටියේ නැත. කෙසේ වුවද මෙවැනි බුද්ධි සේවයක් පවත්වා ගත්තත් ජනවාරි අට ප්‍රතිඵලය ගැන දැනගත හැකි නොවීම විමසිය යුතු කරුණකි.

    ReplyDelete
    Replies
    1. මට කිව්වාට මාත් විශ්වාස කලේ නැහැ.

      Delete
  12. රෙජීමය හිතාගෙන හිටියා එයාලගේ හොඳ බුද්ධි අංශයක් හිටියා කියලා, එත් අන්තිමට සිරිසේන ලොක්කා එලියට යනකං දන්ගන්න් බැරිවුනා. හෙන්චයියෝ පුරවාගෙන හිටියට එක විද්යානුකූල බුද්ධි අංශයක් වෙන්නේ නෑ. කාලකන්නි

    ReplyDelete
    Replies
    1. ඔහොම බනින්න හොඳ නෑ දරුවෝ. කට කට හැබැයි ඉතින් ඇත්ත තමා.

      Delete
  13. ඔය චරපුරුෂ සේවයත් ක්‍රියාත්මක කරන්න ඇත්තෙ සුමනෙගෙ නැකත් පත අනුව රාහුකාලය එහෙම පන්නල වෙන්න ඇති. ඒකනොවැ උවමනාම රහස් තොරතුරු ටික නොලැබුනේ.

    ReplyDelete
    Replies
    1. නැත්නම් උනුත් නැකත් බලන්න ඇති .

      Delete
  14. ඒ තරම් පහත් විදිහටද එතකොට ඒ කාලෙ පිට රටක ඉඳන් ලංකාවට එන ලාංකිකයෙක් දිහා බලල තියෙන්නෙ. මුං මාර යක්කු ටිකක්නෙ. ඉවාන් කීව වගේ බුද්ධි අංශයක් තිබ්බට විද්‍යාත්මක විදිහට නම් පවත්වාගෙන ගිහිං නෑ කියල මටත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දැනුත් අපේ ජාතිවාදී සෙට් එක බනින්නේ එහ්මනේ අපට

      Delete
  15. අජිත්,

    ඡේද වෙන් කරල ලියන්නකො බොස්..වයසක මිනිස්සු හින්දද මන්ද ඇහැට අමාරුයි....:)

    ReplyDelete
    Replies
    1. සොරි මයි ලෝර්ඩ් , වෙලා නැහැ හාඅ. ඔන්න ට්‍රයි එකක් දැම්මා .

      Delete
    2. හහ්...ඔය තියෙන්නෙ...Milk & Water...එළකිරි සහ ජලය...තෑන්ක්ස්!!! :)

      Delete
  16. ඒකතමයි අපිටත් තියෙන ප්‍රශ්ණය අජිත් අයියේ.......

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිස්සු කොහොම තීරණය කරයිද කියන එක?

      Delete
  17. http://uduwaage.blogspot.com/2015/08/blog-post_5.html

    මෙතන කියන විදියට තාමත් අපි ඉන්නෙ ඒ කාලෙද කියල සැකයි.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ස්තුතියි. රනිල් ඇවිල්ලත් මේක මෙහෙම් වෙනවානම් ඒක ප්‍රශ්නයක් නේද ?

      Delete
  18. මට අත්දකින්න වුණ අත්දැකීම කියන්නේ මේ තත්වයේ විශාල වෙනසක් තවම සිදුවී නැති බවයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපටම තමා මුන්ට කියල දෙන්න වෙන්නේ. මම තමන්ගේ නමින් බ්ලොගයක් පටන් ගත්තෙත් ඒකයි අවුරුදු දෙකකට කලින්. යුඇන්පී ශ්‍රී ලංකා කියල නැහැ සත්තම දාගෙන ආවොත් නිර්දය ලෙස විවේචනය කිරීම හා අපේ ස්ථාවරයේ නිර්භයව සිට ගැනීම.

      Delete
  19. අජිත්ට හිතෙන්නෙ නැද්ද ලංකාවෙ මිනිස්සු නිවැරදි වෙන්න හරි අකමැතියි කියලා.ඒකෙන් තමන්ගේ පෞරෂ්‍යට හානියක් වෙනව කියලා ඒ අය හිතනවා.ඒ නිසා එයාලා රනිල්ගෙනම් රනිල් කියන ඕනි දෙයක් වෙනුවෙන් පෙනී හිටිනවා.මහින්දගෙනම් මහින්ද කියන ඕනි දෙයක් වෙනුවෙන්.පෙළපත් නාමය වගේ දේශපාලන පක්ෂයත් පරම්පරාවෙන් එන එකක්.මෙතන තමයි අවුල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම එකකුත් තිබෙනවා නිස්මන්. ස්තුතියි ආවාට. ඔය පරම්පරාගත දේශපාලනය ඉවරකරන්න කාලේ .

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .