Saturday, 5 September 2015

කියුබාව සමාජවාදීද 2 ?

මම සෝවියට් දේශයේ උගත් අවධියේ කියුබානු සිසුන් කිහිප දෙනෙක්ම යහළුවන් වශයෙන් ඇසුරු කලෙමි. මගේ වසරේ විදුලි බලාගාර උපාධි පාඨමාලාව සඳහා සිටි සිසුන් ගෙන් බහුතරය කියුබානුවන් විය. මීට  හේතුව වූයේ කියුබාවේ මුල්ම න්‍යෂ්ටික විදුලි බලාගාරය වන ජුරගුවා න්‍යෂ්ටික විදුලි බලාගාරය  සහ තාප විදුලි බලාගාර කීපයකට අවශ්‍ය ඉංජිනේරුවන් පුහුණු කරන්නට කියුබාව විසින් එකවර සිසුන් 35 ක් පමණ එවීම නිසාවෙනි. (1992 දී සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව සෝවියට් ආර්ථික ආධාර නැවතුණි.මේ නිසා ජුරගුවා න්‍යෂ්ටික විදුලි බලාගාරය ඉදි කිරීමේ කටයුතු ද නැවතුණි. )

මේ යහළු සිසුන් අතරින් කස්තීයෝ, එචිවාරියා, අලිහන්ද්‍රෝ, ඔස්වල්දෝ ආදීන් ප්‍රමුඛ විය.  ඔවුන් මට ඇමතුවේ කේපී කියායි. එයට හේතුව මම දුඹුරු පාට කැප්  තොප්පියක් නිතර පැළඳ සිටීමයි. (කැපයට කියුබානු භාෂාවෙන් කේප් හෝ කේපී යනුවෙන් කියවේ. )  කියුබානුවන් පිරිසක් කතා කරමින් කොරිඩෝරයේ යන විට අපි  නිතර දොර ඇර බලන්නෙමු. ඒ ඔවුන් බොහෝ විට එක දිගට සීග්‍රයෙන් කතා කරන විට සිංහල පිරිසක් කතා  කරන්නාක් මෙන් හැඟෙන නිසාය.

කස්තීයෝ ඉතා කඩවසම් තරුණයෙකි. බොහෝ කියුබානුවන් කඩවසම් තරුණ තරුණියන් වූ අතර ඔවුන් කුඩා  කාලයේ සිටම නොයෙකුත් ක්‍රීඩා වල යෙදී  සිටියහ. මා සීත සෘතුවේ සතියේ දිනවල හවස හෝ සෙනසුරදා උදේ දිනවල බාස්කට් බෝල් ගසන්නට ඇති පොඩි කෝට් වල මිනි ෆුට්බෝල් ගැසුවේ එම කියුබන් වරු රොත්ත සමගය. සමහර පලස්තීන, ජෝර්දාන්  හා සිරියන් ජාතික සිසුන් ද ඉඳහිට එක්  වෙති. අවට උෂ්ණත්වය  0 සිට සෘණ දහය දක්වා බැස්සද  සෙල්ලම් කරන විට මෙය එතරම් දැනුනේ නැත.

අපේ  දෙවන අවුරුද්දේ දී, කස්තීයෝ පළමු අවුරුද්දටපැමිණි ඉතා සුරූපී කියුබන් සිසුවියක වන ඉසබෙල්  හා යහළු වුනේය. යහළු වුනු ගමන් ම වාගේ එක කාමරයක ජිවත් වීම හෙවත්  සන්නිවාසය හෝ අඹු සැමියන ලෙස හැසිරීම  අපේ ශිෂ්‍ය නේවාසිකාගාර වල අමුතු දෙයක් නොවේ. සිසුන් හා සිසුවියන් සිටියේ එකම නේවාසිකාගාර වලය.  මාස කීපයකට පසු ඉසබෙල් ගැබ් ගත්තාය.  ඉසබෙල් ට තව දුරටත් ඉගෙන ගැනීමට ආශාවක් නොතිබුණු  නිසා ඇය කියුබාව බලා  ගියාය.

තමන්ගේ දරුවා දකින්නට අවශ්‍ය නැත් දැයි  මම කස්තීයෝ ගෙන් ඇසුවෙමි. කේපී මට සල්ලි නැහැනේ ටිකට් එකක් අරන් යන්න. අනික අවුලක් නැහැ ඉසබෙල් නුයි මගේ අම්මයි බලා ගනියි.  ඉසබෙල් ළමයා  බලා ගැනීමට මුදල් කෙසේ සොයා ගනී දැයි ඇසුවෙමි. ඇයට මුළු දවසම ළමයා නර්සරියේ තැබිය හැකි බවත් මවට හෝ ඉසබෙල්ට ළමයා හවසට ගත හැකි බවත් ඔහු කිවේය. ළමයා වෙනුවෙන් කියුබන් රජය මුදලක් ද වෙන් කරනු ඇත. ඔහු එය කීවේ ඉතා සැහැල්ලුවෙනි.

මේ ඩේ කෙයාර් සෙන්ටර් වැනි ඒවා එංගලන්තයේ  හැම තැනම තිබෙන මුත් හොඳ ඒවා සොයා ගැනීම ලෙහෙසි නැත. මේ ගැන හොඳ බ්ලොග් ලිපියක් නුවර කුමාරි  මෙහි ලියා තිබේ.  එයට මා දැමු කොමෙන්ටුවක අපේ අත්දැකීම ලියා  තැබුවෙමි. නැගෙනහිර හා බටහිර ජර්මනිය 1989 පසු එක්සත් වුනු විට  නැගෙනහිර ජර්මන් ඩේ කෙයාර් සෙන්ටර් එලෙසම තබා ගැනීමට ජර්මන් බලධාරීන් උපදෙස් දුන්හ.  හේතුව ඒවා තත්වයෙන් ඉතා උසස් විධිමත් පාලනයක් ඇතුව පවත්වා ගෙන ගිය ස්ථාන වීමත් දරුවන් ඉතා හොඳින් රැක බලා ගැනීමත්  නිසාත්ය. ඒවායේ රැකියා කලේ ද (කරන්නේද) දරුවන් බලා ගැනීම පිළිබඳ  උපාධියක් හෝ ඩිප්ලෝමාවක් මෙන්ම අත්දැකීම් ලැබෙන පාඨමාලාද හැදෑරු අය ද විය.   (එංගලන්තයේ මාස 3ක නගර සභාව කරන පාඨමාලාවෙන් පසු ළමයි බලා ගත හැකිය. )

ඉසබෙල් ගොස් මාස කිහිපයකට පසු අපේ මේ හැන්ඩි කස්තීයෝ තවත් පියකරු තරුණියක හා පෙමින් වෙලුනි. පාපන්දු ගසන අතර තුර අනිකුත් සිසුන් කස්තීයෝට විහිළු කළේ තව කොපමණ කලක් මේ සම්බන්ධය පවතීද,  නැත්නම් කස්තීයෝ ඉදිරියේදී ගැබ්බර වන ලිලියානා කියුබාවට පටවන දවස කුමක් ද යන්නයි.  විහිළු කල ලෙසම ලිලී ගැබ්බර වූවාය. නමුත් ඇය කියුබාවට යාම ප්‍රතික්ෂේප කලාය.

ළමයා සමග සෝවියට් දේශයේ සිටිය හැකි මුත් එය දුෂ්කරය. කියුබානු රජය නැවත යාමට ගුවන් ටිකට් පත නොමිලේ දෙන මුත් නැවත   එන්නට දෙන්නේ නැත. මේ නිසා කියුබන් වරු මුදල් එකතු කළහ. මමද කිසියම් මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කලෙමි.  ලිලියානා කියුබාවට ගොස් දරුවා බිහි කර නැවත පැමිණියාය.  ඩේ කෙයාර් සෙන්ටර් එකේ දවල්ට දරුවා හිටියත් ඉන්පසු  දරුවා බලා ගන්නේ කව්දැයි මම කස්තීයෝ ගෙන් ඇසුවෙමි. මා පුදුම කල කරුණක් කස්තීයෝ හෙළි කළේය. ඉසබෙල් විවාහ වී ඇත්තේ කස්තීයෝ ගේ හොඳ මිතුරෙකු සමගය. කස්තීයෝ ගේ හා ඇගේ  මුල් දරුවා ඔවුන් සමග කස්තීයෝ ගේ මවගේ ආධාරයද ඇතුව හැදෙයි. ලිලියානා තම දරුවා භාරදී
ඇත්තේ ද ඔවුන්ටය. කස්තීයෝ ගේ දරුවන් දෙදෙනාම දැන් එක තැන හැදේ. එක නර්සරියට යති. ඔහුගේ මිතුරාත්,  පරණ පෙම්වතියත්, අලුත් නැන්දම්මලා  දෙදෙනාත් දරුවන් හොඳින් රැක බලා ගනිති.  ඉගෙන ගෙන ඉවරවී පැමිණෙන්නැයි ඔවුන් ලිලියානා  අතේ කස්තීයෝ ට දන්වා ඒවා ඇත. රජයෙන් ලැබෙන මුදල දරුවන් දෙදෙනාට ප්‍රමාණවත් බව ඉසබෙල් කස්තියෝට දන්වා එව්වාය. (මේ ලොකු මුදලක් නොවේ. යන්තම් ජිවත් වීමට ප්‍රමාණවත්ය)

මේ කතාව මම ලීවේ කැස්ත්‍රෝ ගේ සමාජවාදී කියුබාවේ සමාජ සම්බන්ධතා ගැන ලිවීමටය. කියුබන් වරු අතර මේ අපුරු මිත්‍රත්වයන්  හා සහජිවනයන් විප්ලවයෙන් පසු බිහිවූ කියුබාවේ දක්නට ලැබේ. ඔවුන් අතර ප්‍රශ්න බොහෝ විට ඇති වූයේ අනිකුත් සිසුන් නිසාය. මේ විධිහේ සමාජ සම්බන්ධතා අනිකුත් රටවල තිබුනද ඒ කියුබාවේ මෙන් වඩා පැතිරුණු  ආකාරයෙන් නොවේ.

අලිහන්ද්‍රෝ, ඔස්වල්දෝ ආදීන්ගේ කාමරවල චේ ගෙවේරා ගේ පින්තුරයක්  අලවා  තිබුන මුත් කස්ත්‍රෝ ගේ පින්තුර තිබුනේ නැත. මම වරක් මේ ගැන ප්‍රශ්න කලෙමි.  එචිවාරියා කල පැහැදිලි කිරීමේදී මා කියුබාව ගැන නොදත් තොරතුරු ටිකක්  දැන  ගතිමි. ඒ බැටිස්ටා ගෙන්  පාලන බලය අල්ලා ගත්  පසු ඇමෙරිකා  එක්සත් ජනපදය සමග විරෝධතාවයක් ඇති කර ගැනීමට  චේ ගේ හෝ කැස්ත්‍රෝ  ගේ අදහසක් නොතිබුනේය  යන්නයි. ඔවුන්ට අවශ්‍ය වුයේ ඇමෙරිකාවේ සහයෝගයද ඇතුව වඩා  ප්‍රජාතන්ත්‍රවාදී රජයක් කියුබාවේ පිහිටුවීමටය. පුවත් පත් කතුවරුන්ගේ ආරාධනයෙන් 1959 අප්‍රේල් 15 දා කැස්ත්‍රෝ  ඇමෙරිකාවේ සංචාරයක් කල අතර පසුව චේ ද ඇමෙරිකාවේ සංචාරය කළේය. (වීඩියෝ ව බලන්න).

කැස්ත්‍රෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය මෙන්ම (ඒකාධිපතියන්ට සහයෝගය දීම) එහි කොම්පැනි හා දේපල අයිති අය  දුප්පත් වැසියන් හට පීඩාකාරී ලෙස සැළකීමට  විරුද්ධවද  හඬ නැගීය. ජනාධිපති අයිසන්හවර් කස්ත්‍රෝ මුණ නොගැසී  ගොල්ෆ් ක්‍රීඩා කිරීමට  ගිය අතර උප ජනාධිපති නික්සන් කස්ත්‍රෝ මුණ ගැසිනි.  ඒ හමුවෙන් පසු නික්සන් කිවේ කස්ත්‍රෝ බොළඳ බවත් ඔහු සිතා  සිටින දේවල් ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත්ය.

විප්ලවය අතරතුර හා පසුව ඇමෙරිකාවට  පලා  ගිය ධනවත් කියුබානුවන්ගේ බල කිරීම මත මෙන්ම  කියුබාවේ ජනසතු කරණයෙන් තමන්ගේ ව්‍යාපාර හා වතු අහිමි වුන ඇමෙරිකානු ධනවතුන් ගේ ඉල්ලීම මත ඇඑජ කියුබාවට එරෙහිව ආර්ථික බාධක පනවන්නේ ඉන් පසුවය. ඉනික්බිති අතරමන් වුන  කැස්ත්‍රෝ  හා චේ සෝවියට් දේශය පැත්තට හැරුනහ.

විප්ලවය සිදු කිරීමෙන් අනතුරුව පැවති ඉඩම් ප්‍රතිසන්ස්කරණයේදී චේ කලේ අක්කර දහසක් දක්වා ඒවා අයිති අයටම තබා ගැනීමට ඉඩ දීමත් අනිකුත් ගොවියන්ට වැඩිපුර තිබු  අක්කර ප්‍රමාණයෙන් අක්කර 67 බැගින් වගා  කරන්නට බෙදා දීමත්ය.  හදිසියේම කස්ත්‍රෝ චේ ව ශ්‍රී ලංකාව බුරුමය ජපානය ආදී රටවල සංචාරයකට යැවීය . එහිදී චේ මේ රටවල් සමග  කියුබාව වෙනුවෙන් වෙළඳ සම්බන්ධතා ඇති කර ගත්තේය.  ආපසු පැමිණි චේට  කැස්ත්‍රෝගේ  ඉල්ලීම මත ඉඩම් ඇමති පදවිය භාර ගැනීමට සිදු විය. (කියුබානුන්ගේ අකුරු හැකියාව වැඩි කිරීමේ ව්‍යාපාරයේ නියමු ධුරයට අමතරව) . මෙහිදී කැස්ත්‍රෝගේ අණින් වඩා වේගවත් ලෙසින් ප්‍රතිසංස්කරණ සිදු කෙරුණු අතර සියලුම ඉඩම් පවරා ගෙන සමුහ ගොවිපලවල් ඇති කෙරුණි.  ඇමෙරිකානු කර්මාන්ත  ශාලා, ව්‍යාපාර හා වතු ජනසතු කෙරුණි. ඇමෙරිකාව සියලුම වෙළඳ  සම්බන්ධතා අත්  හරින ලද අතර සීනි  මිලදී ගැනීමද තදින්ම සිමා කරන ලදී. මුදල් නැති කස්ත්‍රෝ සම්බන්ධතා  ගොඩ නංවා  ගැනීමට චේ ව නැගෙනහිර යුරෝපිය රටවලට යැව්වේය. චේ 1960 සෝවියට් දේශයට පැමිණි අතර ඒ වසරේදීම නැගෙනහිර ජර්මනිය සමගද ගිවිසුම් අත්සන් කළේය.

 මුලදී බොහෝ දාර්ශනිකයන් ගැන කියවූ චේ ගේ දින පොත්  තුල බුදුන් වහන්සේ සහ ඇරිස්ටෝටල් ගේ දර්ශන ගැන හදාරා ආදරය, කරුණාව සහ සහජීවනය  ගැන ඔවුන් දැක්වූ අදහස් උපුටා සටහන් කර ගෙන තිබෙන බව ඔවුහු මට පැවසුහ. පසුව ඔහු මාක්ස්වාදය කියවා දැඩි මාක්ස්වාදියෙකු විය.

ලෙනින් 1921 දී කොන්ස්ත්‍රාඩ් නැවියන්ගේ කැරැල්ලේදී තත්වය වටහා ගෙන නෙප් පිළිවෙත ගෙන ආ ආකාරයටම ඇමෙරිකානු සම්බාධක හමුවේ නිදහස් සමාජවාදී ජිවිතයක් ගොඩ නැගීමට  අනිකුත් රටවල විප්ලව සිදුවිය යුතු බවට චේ වටහා ගත්තේ 1960 ගණන් වල මැද  හරියේදීය. මේ පිළිබඳව ෆිදෙල් කස්ත්‍රෝ හා චේ අතර බොහෝ වාද  විවාද ඇති වුනි. රාවුල්  බොහෝ විට ගත්තේ චේ ගේ පැත්තය.

අන්තිමේදී කැස්ත්‍රෝගේ  ද ආශීර්වාදය ඇතිව ලතින් ඇමෙරිකානු විප්ලවය සඳහා චේ පිටත් විය. තමන් මරා දමන්නට ප්‍රථම බොලීවියානු ගුවන් භට ගුස්මාන්  සමග කතා කරද්දී කස්ත්‍රෝ ඔහු පාවාදුන් බව කියා තිබේ. ඒ පේරු, ආර්ජන්ටිනා හා නිකරගුවා වල විප්ලවීය ව්‍යාපාර දියත් කිරීමට චේ ට අවශ්‍යව තිබු නමුත් සෝවියට් දේශයේ අනුග්‍රහය ලැබෙන්නේ බොලීවියා වල විප්ලවයට යයි කියා ඔහුට බොලීවියා යන්නට කස්ත්‍රෝ බල කල නිසා යයි ගුස්මාන්  කියයි. මේ කථාව සනාථ කිරීමට මට නොහැකිය.

එසේම කියුබානුවන් මට පැවසූ කරුණක් වූයේ චේ දැඩි නිදහස් කාමියෙකු බවයි. ගිනි මැලයක් ගසා කියුබන් රම්  ටිකක් පානය කර කියුබන් සුරුට්ටුවක් පත්තු කර ගෙන ගිටාරයකින් සින්දුවක් ගැයීමට හෝ සින්දු ඇසීමට ඔහු ප්‍රිය කළේය. චේ ගේ ව්‍යාපාරය තුල ඇතැම් ආසියානු නායකයන් කළාක් මෙන් ප්‍රේම සම්බන්ධතා තහනම් කර තිබුනේ ද නැත. කියුබානුවන් අදත් ඔහුට ආදරය කරන්නේ ඒ නිදහස් කාමී සුන්දර බව නිසාය .

කස්ත්‍රෝ නරකද, ඔහුට මිනිසුන් සහයෝගය දක්වන්නේ නැත්ද යන්න මම විමසුවෙමි. කියුබානුවන්  කිවේ ඔවුන් කැස්ත්‍රෝ ට  ගරු කරන බවයි. ඔහු ඔවුන්ට අසත්‍ය නොපවසා  සත්‍යය පැවසූ බවත් තමන්ට සමාජවාදය ඒ ආකාරයෙන් ගොඩ නැගිය නොහැකි බවත් නමුත් හැකි තරම් සමානාත්මතාවයෙන් යුතු රටක් ගොඩ නගන බවටත් ඔහු ඔවුන්ට පොරොන්දු විනි. එසේම කස්ත්‍රෝ ස්ටාලින් හෝ මාඕ මෙන් අකැමති මිනිසුන් දහස් ගණනින් මරා දමන්නට ගියේද නැත.

ලෝකයේ ඉහළතම සෞඛ්‍ය සේවාවක් ඇති, නිදහස් අධ්‍යාපනයක් ඇති රටක් බිහි වුනේ එලෙසය. නමුත් ගොඩ නැගිල්ලක් නවීකරණය කර ගැනීමට මුදල් නැත. මේ තත්වය කියුබනුවන් පිළිගනිති.
 "ඇමෙරිකානු සම්බාධක අයින් කරන දාක අපි අපේ රට මීට  වඩා  හොඳින් ගොඩ නගනවා. මේක කස්ත්‍රෝගේ වැරැද්ද නෙමෙයි. " ඔවුන් එදා මට කිවේ එලෙසය.

ලෝකය ඉන්පසු බොහෝ වෙනස් වී තිබේ. යුරෝපියානු  සංගමය ඇමෙරිකානු විරෝධය ඉවත ලා කියුබාවට සංචාරකයන් යැවීමටත් සිමිත වෙළඳ සම්බන්ධතා ඇති කර ගැනීමටත් ක්‍රියා කළහ. දැන් රවුල් යටතේ ඇමෙරිකානු සම්බන්ධතා ගොඩ නැගී තිබේ. කියුබානුවන්ට නිවසක් විකිනීමට, මිලදී ගැනීමට, ඉඩමක් ගැනීමට මෙන්ම ආපන ශාලා, කුඩා කර්මාන්ත ඇති කර ගැනීමට රවුල් විසින් ඉඩ දී තිබේ. කියුබානුවන් කියුබාවට මග හැරී  ගිය ආර්ථික දියුණුවේ හිඩැස  නිදහස රැක ගනිමින් ම පුරවා ගනීද?


පින්තුර උපුටා ගත්තේ : https://iconicphotos.wordpress.com/2013/12/24/first-look-at-cuban-revolution/




24 comments:

  1. මේකට කොතරම් අදාළ වෙයිද දන්නේ නැහැ. මා කියුබන් මිසයිල අර්බුදය ගැන නරඹපු වාර්තා වැඩසටහනක මෙය තිබුණේ.

    මේ අර්බුදය නැගල යත්දී, තීරණය ගැනීම ජනාධිපතිවරුන්ගෙන් ඉවතට යමින්, එනම් මිලිටරි නායකයන් වෙතට යත්දී (දෙපැත්තේම) එය නතර වීමට මුලිකවම බලපෑමේ නිකිතා හා කෙනඩි ගේ මැදිහත්වීම කියන දෙය. එහිදී නිකිතගේ පුතත් කතා කළා.

    මෙතැනදී කස්ත්‍රෝ නිකිතට ලිපියක් යවමින්, ලෝක සමාජවාදය වෙනුවෙන් කියුබන් ජනතාව කැප කරන්න වුවත් සුදානම් කියා ලියා යවල තිබුණා. එනම් ඇමෙරිකාවට කෙලලා අරින්න අවස්ථාවක් එනවා නම්, නියුක්ලියර් වලින්ම දෙන්න කියන එක. මේක නැවතුනේ කෙනඩි අර ඒ වෙලාවේ කොහොමත් වැඩකට නැති තුර්කියේ තිබුණ මිසයිල ඉවත්කර ගැනීමත්, ඒ ඉවත්කර ගැනීම ප්රෝපගන්ඩ වලට භාවිතා නොකරන්නට නිකිතා එකඟ වීමත් කියන කරුණත්,

    රටක නායකත්වය කොතරම් තිරනාත්මකද කියන දෙය තමා ඒ වැඩසටහන ඉදිරිපත් කෙරුවේ. මා හිතන්නේ බිබිසිම වෙන්න ඇති. හැබැයි රුසියානු පාර්ශවයේ කතාවත් එහි තිබුණා. කස්ත්‍රෝ ඒ කාලේ කොතරම් බොළඳ කෙනෙක් ද කියන එක, එනම් න්‍යෂ්ටික යුද්දයකින් කොතරම් විනාශයක් වෙන්න තිබුනද කියන එක ගැන කිසි අවබෝධයකින් නොසිටිය වගයි ඒ කතාව ඇත්ත නම් පෙනෙන්නේ. මිනිසුන් නොමැති සමාජවාදී ලොවක් වැඩක් නැහැනේ.

    හැබැයි එක දෙයක් ඇත්ත. මිනිහා දහස් ගණන් මිනිසුන් මැරුවේ නැහැ. එයටත් වෙන හේතුත් තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. නික්සන් 11997722 දී චීනයට ගියා . මාඕ හමුවුනා . ඊට පස්සේ ආපු ඩෙන් ෂියා වෝ පෙන් ඇමෙරිකාවේ කර්මාන්ත ඇති කරන්න ඉඩ දුන්නා .. මේ දෙකෙන් ඩෙන් ගේ චීනය හා කස්ත්‍රෝගේ කියුබාව දෙනාද අද තියෙන තත්වය අපි සංසන්දනය කරන්නේ කොහොමද?

      Delete
    2. මචෝ ඉලක්කම් ගණන නම් පමණට වඩා වැඩි. දැන් ඔහේ වෙලාව කීයද? :)

      දැන් තව දුරට ඉදිරියට යන්න බැරි වග පෙනෙනවා නේද බන්? මේක එක පාරටම වැටුණොත්, එය සෝවියට් ඛේදවාචකය වගේම (සමහරවිට එයිටත් නරක) වේවි. ඔන්න බලපන් CIA එකට කරන්න බැරි වුණ "දේ" KFC එක කරන්නේ නැත්ද කියල.

      Delete
    3. මන් හිතන්නේ නැහැ එහෙම වේවි කියල. .කියන්න බැහැ ඉතින්.. ඊයේ වෙලාව උදේ 2 ට විතර ඇති ලියන කොට.

      Delete
  2. රාහුල් යටතේ වක්‍රාකාරයෙන් කෙරෙමින් පවතින්නේ ඒ හිඩැස හිමි හිමින් පුරවාගන්න වෙර දැරිම නේද?

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙමයි.

      Delete
  3. මා කිවුබාව ගැන එතරම් තොරතුරු නොදන්නා බැවින් ඒ පිලිබඳව කතා නොකරමි. නමුත් ලාංකිකයන් වන අපට මින් ගතහැකි මනා ආදර්ශයක් ඇති බව මගේ අදහසයි. ඔබ කී කිවුබානුවන්ගේ සහජීවන ක්‍රියාවලිය මෙරට ජනතාවට ද හුරු කල යුතු යැයි මට සිතේ. ඉන් අදහස් කරනුයේ එක් කෙල්ලක සමග සිට ඇයව වහන් කර තවත් කෙල්ලෙකු සමග සිටිය යුතු බව නොවේ. ඒ තුල ඇති සාමකාමී බව අප උකහා ගත යුතු ය.

    ReplyDelete
    Replies
    1. .උන්ගේ අමුතු ආදරයක් සම්බන්ධයක් තියනවා යාලුවෝ එක්ක.. විවාහයේදී උනත් වෙන් වුනාට ලොකු වලියක් නැහැ..

      Delete
    2. අහසෙන් එන්න මම කොමෙන්ට් එකක් දැම්ම ඔයාගේ බ්ලොගයේ අපි අගෝස්තු මාසයේ පොත් ත්‍යාගය ඔබට දෙනවා .. ඔබේ බ්ලොග් බ්ලොග් ලිපියට හා ඒ ප්‍රශ්නයට ප්‍රසිද්ධියක් දීම සඳහා. කරුණාකර භාර ගන්නවද නැත්ද කියා දන්වන්න ..

      Delete
  4. ෂේප් එකේ සේරම සිද්ධ වෙනවානම් මොකද? කොහොමත් ගොඩක් රටවල අපේ වගේ යක්ස කුඩම්මා/බාප්පා තියරිය නෑනෙ.
    (ඉතා සුරූපී කියලා තනියම නොබලා පින්තූරයක් දැම්මානං අපිත් රස විඳිනවානෙ අප්පා)

    ReplyDelete
    Replies
    1. පින්තූර නැහැ කොහෙද කියලා .. ඒ දවස් වල ගත්තේ සෙනිත් කැමරාවෙන් නේ.

      Delete
  5. නොදන්නා දේ කතා කරල වරිගෙ නහගන්න කැමැත්තක් නෑ..
    ඒත් ලිපිය කියවල යමක් දැනගත්ත කියන සතුට තියෙනව...
    ජයවේවා

    ReplyDelete
  6. සමාජවාදී වුනත් නැතත් මොකද අජිත් අරවගේ සැලියුට් ගහන ඒ වගේ කොම්රේඩ්ස්ල ඉන්නවනම්.

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයි නම් බොහොම ලස්සනයි.

      Delete
  7. අජිත් ඔයා ලියන දේවල් මාර ගැඹුරුයිනේ.....

    ReplyDelete
    Replies
    1. හා හා හා හා හා හා හා ......චෙෆාකි මම අර කොමෙන්ටුව දැම්මේ කින්ඩියට නෙමේ. ඔයා සාමාන්‍යයෙන් ඩ්‍රින්ක්ස් ගැන ලියන්නේ. නැත්නම් හුඟක් සැහැල්ලු දේවල් නේ ලියන්නේ. මම අර වගේ සීරියස් පෝස්ට් එකක් දැක්කමයි ගොඩ දවසකින් . ((.රෝද පුටු කතාව ඇරෙන්න )ඔය.. මන් ලියන දේවල් දේවල් නම් ගැඹුරු නැහැ.. උඩින් අතගාල මතකයක් ලියනවා .විතරයි.

      Delete
    2. අනික ඔය ලියපු දේ අත්දැකීමක් වුනාට කවුරුත් කතා නොකරන .දෙයක්. ඒක නිසා තමා නෙලුම් යායේ සහ ලංකානිව්ස්වෙබ් එකේ .දැම්මේ. හැබැයි .ඔයා ඔයා අකමැතිනම් ඔය බ්ලොග් එකට එනවට එහෙම කියන්න.. අවුලක් නැහැ. නෑවිත් ඉන්නම්.

      Delete
    3. අයි අයියෝ..විහිලුවක් වත් තේරෙන්නේ නෑනේ මේ ගම මහත්තයට....
      කාපු බීපු වේලාවට පුංචි විහිලුවක් කලේ....
      මේකෙත් තියෙන්නේ අර මරාගේ වගේ සැලූන් දොරක්....!

      Delete
    4. චෙෆාකි කනවා බොනවා වැඩියි මට පේන විධිහට . මාතලන්ට කියන්න ඔඑන් ඇහැ ගහගෙන ඉන්න කියලා.
      ඔහොම සිංදුවකුත් තියෙනවා නේද. සින්දුව ගෙන් වත් අහන්න ඕනේ.
      /මේකෙත් තියෙන්නේ අර මරාගේ වගේ සැලූන් දොරක්....!// මොකක්ද මේකේ තේරුමඅඅ ?

      Delete
    5. ගම මත්තයාට තාම මේ ශෙෆා හම්බුවෙලා නෑනේ.....මෙයා කන බොනවට වඩා කන්න බොන්න දෙන එකයි කරන්නේ....ඒකත් වැඩියෙන් කරනව කියල තමයි දන්නෝ දන්නේ...ගම මහත්තය අපේ වයසට ඇවිත්බලන්නකෝ සරල විදියට හිතන පතන ඕනිම නම් ලියන එකේ අගේ....
      සැලුන් දොර ගැන ඉතින් හිටපු රජාගෙන්ම තමා අහන්න වෙන්නේ...

      Delete
    6. පින්තුරේ හැටියට නම් එච්චර වයසක් පේන්න නැහැ ..

      Delete
  8. කියුබාවේ මිනිස්සු "සමාජවාදය"ඇතුලෙත් ධනවාදී රටවල තියෙනවයි කියන නිදහස භුක්ති විඳලා තියෙනවානේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ?? කියුබාව තුල ව්‍යාපාර කිරීම හැර අනිත් දේවලට නිදහස තිබුන කියල මම හිතන්නේ..

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.