Saturday, 12 September 2015

කෝබින් ගේ ජයග්‍රහණය හා වමේ වම හා දකුණේ දකුණ.


බ්‍රිතානයේ මාධ්‍ය පණ්ඩිතයින් බොහොමයක් කිවේ ජෙරෙමි කෝබින් දිනුවොත් ලේබර් හෙවත් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය 2020 කෙසේ වෙතත්  තව අවුරුදු විස්සකටවත් දිනන්නේ නැත කියාය. ඩේවිඩ්  මිලිබෑන්ඩ් නම් බ්ලෙයාර් වාදී කම්කරු පක්ෂ රජයේ හිටපු  විදේශ ඇමති කම්කරු පක්ෂ නායකත්ව තරඟයෙන් ඔහු ගේ සහෝදරයාට පැරදීම ගැනද ඔවුන් කිවේ මෙයයි.

එඩ් මිලිබෑන්ඩ් බොහොමයක් දේශපාලන පණ්ඩිතයන් කියූ ආකාරයෙන්ම පරාජය වූ බව සත්‍යයකි. නමුත් ඔහු පැරදුනේ මාධ්‍ය පණ්ඩිතයන් කී බ්ලෙයාර් වාදී  නොවීම නිසා නොවේ.  ටෝනි  බ්ලෙයාර් යනු වාමාංශික පක්ෂයකින් බලයට පැමිණි  දක්ෂිණාංශික නායකයෙකි. (මේ වාමාංශයේ දක්ෂිනාංශය ලිපිය  බලන්න )  එඩ් පැරදුනේ ඔහුට ම අනන්‍ය වූ වැඩ පිළිවලක් නොතිබීම නිසාය. ඔහු කිවේ බැංකු කරන වරද වල් වලට දඬුවම් දී මේ තිබෙන ක්‍රමය දුෂණයෙන් තොරව හොඳට පවත්වා ගෙන යාමක් ගැනය. සුභසාධක කැපීමේ සිට අධ්‍යාපන පහසුකම් දක්වා ඔහුගේ මධ්‍ය වාමාංශික (centre left ) ස්ථාවරය හා දක්ෂිණාංශික ටෝරි ස්ථාවරය අතර වෙනසක් තිබුනේ නැත.

මෙය හරියට ජවිපෙ ලිබරල්වාදී ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට තැත්  කලාක් වැනිය. එවැනි දෙයක් හොඳට කල හැක්කේත් නැවත මහින්ද ආගමනය  වලක්වා ගත හැක්කේත් එජාපයට ඡන්දය දීමෙන් පමණක් බව "ජනවාරි 8 " චන්දදායකයා වටහා ගත්තේය.  ජවිපෙ චන්ද පසුබෑමකට ලක් වූයේ  ඒ නිසා බව මගේ මතයයි.

 එඩ් මිලිබෑන්ඩ් පරාජය වූයේ  මේ හා සමාන ආකාරයටයි. තැචර් ගේ අති  දක්ෂිණාංශික ප්‍රතිපත්ති සමග පෑහුණු බ්ලෙයාර් ගේ ප්‍රතිපත්ති අතර බලන විට ඩේවිඩ් කැමරන්  දක්ෂිනාංශයේ වාමවාදී ලිබරල්  මෘදු නායකයෙකි.  එම ප්‍රතිපත්ති වඩා හොඳට ක්‍රියාත්මක කල හැකි ඔහු වෙනුවට නොදන්නා මිලිබෑන්ඩ් පත් කර ගන්නේ කුමට ද? ඒ නිසා එංගලන්තයේ චන්දදායකයන්  පැහැදිලි ලෙසම එඩ්ව  ප්‍රතික්ෂේප කරන ලදී.

ජෙරෙමි කෝබින් සහමුලින් ම වෙනස් කෝවක  රත් වූ යකඩයකි.  කෝබින් නායකත්ව තරඟයට  ඉදිරිපත් වූ වහාම වගේ උණුසුම් උන්මාදයක් වාමවාදී පාක්ෂිකයන් අතර පැතිරුණි. මේ දේශපාලන රැල්ල කම්කරු පක්ෂයෙන් එහාටත් පැතිරුණු අතර මෙතක් කල් කුඩා වාමාංශික පක්ෂ, පරිසර රැකීමේ ව්‍යාපෘති මෙන්ම හරිත පක්ෂය ආදී ව්‍යාපාර වල සිටි බොහෝ අය කම්කරු පක්ෂය වටා එක්  රැස්  වුහ. මේ සියල්ලන් ගේම මූලික අභිප්‍රාය වුයේ කඩා වැටී ඇති වමේ වම රැක ගැනීමයි.

උදාහරණයක් වශයෙන් මේ සංඛ්‍යාවන් දෙස බලන්න. පසුගිය චන්දයේදී කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ලක්ෂ දෙකකි. කෝබින් තරඟයට නම් දුන් සතියේ මේ ගණන ලක්ෂ තුනකට දෙසීයක් පමණ අඩු ගණනක්  දක්වා වැඩි විය.  දැන් 189,703 වන පක්ෂයට බැඳුනු සහයෝගය දෙන්නන් හා සහයෝගය ඉදිරියේදී දෙන්නට ලියා  පදිංචි වූ ගණන 121,295කි. අන්තිම පැය  විසි හතරේදී 160,000 ලියා  පදිංචි විනි.

කෝබින්මේනියාව නමින් ප්‍රසිද්ධ වූ මේ අති  මහත් උද්යෝගය ජෙරෙමි කෝබින්  වටා එක්  රැස්  වූයේ  ඇයි? කෝබින් නියෝජනය  කරන්නේ පරණ වමද? කෝබින්  තනන්නට  තැත්  කරන්නේ අසමත් වුනු සමාජවාදී රාජ්‍යයක්ද? කිසිසේත්ම නැත.

බ්ලෙයාර් ගේ කම්කරු රජය මගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා මුදල් අය කිරීම ආරම්භ කරන ලදී. ඒ අවුරුද්දකට පවුම් දහසක් බැගිනි. එයට හේතුව ලෙස ඔහු දැක්වුයේ විශ්ව විද්‍යාල පවත්වා ගෙන යාමට මුදල් නොමැති බවයි. අද එම මුදල වසරකට පවුම් 8000 දක්වා වැඩිවී ඇත. මෙය සහන ණයක්  ලෙස සිසුන්ට ලබා දුන්නත්  විශ්ව විද්‍යාල ඉගෙනීම අවසානයේ ලැබෙන පඩියෙන් සිසු සිසුවියන් එම මුදල ගෙවිය යුතුය. නිවසක් මෝර්ගේජ් කර ගන්නේ නම්  බැංකු ණය ද එයට එක් වේ. බොහෝ විට සිසු ණය  තිබෙනවා නම් බැංකු නිවාස  සඳහා ණය  දෙන්නට මැලි  කමක් දක්වයි.  මේ නිසා බොහෝ පහල මධ්‍යම පන්තික සිසුන් විශ්ව විද්‍යාල වලට යාමට මැලි කමක් දක්වති. අමාරුවෙන් මධ්‍යම පන්තික දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යන අතර ඉහළ පන්තිවල අයට  මේ ප්‍රශ්නය නැත.  කම්කරු පක්ෂයේ සාමාජිකයන් බ්ලෙයාර් ගේ මේ කාර්යය සැලකුවේ මහා පවා දීමක් ලෙසිනි. වරප්‍රසාද නැත්තන්ට ඉගෙනීමට ඇති අයිතිය අහෝසි කිරීමක් ලෙස බොහෝ දෙනා  මෙය අර්ථකථනය කළහ.

ජෙරෙමි  කෝබින් පැවසුවේ ඔහු මේ විශ්ව  විද්‍යාල අධ්‍යාපනයට මුදල් අය කිරීම නතර කර නොමිලයේ සියල්ලන්ටම අධ්‍යාපනය  සපයන බවයි. අධ්‍යාපනය හා නිදහස්  සෞඛ්‍ය සේවය සැමගේ අයිතිවාසිකමක් ලෙස ඔහු සලකයි.

කම්කරු පක්ෂ සාමාජිකයන් අනුමත  නොකරන දෙවන කරුණ නම් ඉරාකය  කරා  ගෙන ගිය විනාශ කාරී යුද්ධයයි.  සැප්තැම්බර් 11 දා ඇමෙරිකාවට පහර දුන්නේ ඉරාකයේ අනුබලයකින් නොවේ. එනිසා ඒ යුදයේදී මැරුණු හා අදත්  බෝම්බ වලින් මියයන ඉරාක ජනතාව ගේ  හා  අද අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් අතින් මැරෙන පිරිස ගේ වගකීම ද ඔවුන් පවරන්නේ බ්ලෙයාර් හා ඔහුට සහයෝගය දුන් මන්ත්‍රීන් ගේ කර පිටයි. කෝබින්  එම යුද්ධය නීති විරෝධී ලෙස නම් කරමින් මුල සිටම විරුද්ධ වූ අයෙකි.

කෝබින් අයර්ලන්ත යුද්ධය නතර කිරීමටත් ස්වාධින අයර්ලන්තයක් උදෙසාත් මුල සිටම පෙනී සිටි කෙනෙකි. එසේම පලස්තීන ප්‍රශ්නයේ දීද හමාස් ආදී පලස්තීන කොටස් වල සහයෝගය ඇති සංවිධාන සමග සංවාදයක් ඇති කල යුතුය යන මතය දැරුවෙකි.

කෝබින්  එතරම් මුදල් වියදම් කරන්නෙකු නොවේ. ඔහුට වාහනයක් නැති අතර බයිසිකලයෙන් පාර්ලිමේන්තුවට පැමිණේ.  මධ්‍යම  පන්තික පවුලක ඉපදී හැදී වැදුණු ඔහුගේ  ළමා කාලය  ගත කල කාමර හතක් ඇති නිවස පිහිටියේ දැකුම් කළු විල්ට්ශයර්  ප්‍රදේශයේ ය. ඔහුගේ මව ගණිත ගුරුවරියකි. පියා  විදුලි ඉංජිනේරුවෙකි. පියා  සහ මව මුණ ගැසී ඇත්තේ හැට  ගණන් වල ජනරාල් ෆ්රන්කෝ ගේ ෆැසිස්ට් වාදී  පාලනයට එරෙහිව ස්පාඤ්ඤ සමුහාණ්ඩු වාදීන්ට පක්ෂව පැවැත්වුනු රැලියකදීය.  මව හා පියාගේ වාමවාදී මතයන් ඔහුට බල පෑ බව සිතිය හැකි වුවත් දෙමාපියන් ඔහුව  ඉගෙනුම සඳහා යැව්වේ  මුදල් අය  කරන පෞද්ගලික විදුහලකටය.  නමුත් ජෙරෙමි තමන්ගේ දෙවෙනි බිරිඳ ගෙන් වෙන් වුයේ ඔහුගේ පුතා රජයේ විදුහලට නොව ක්වීන් එලිසබෙත් ග්‍රමර්  විදුහලට යවන්නට ඇයට  අවශ්‍ය වූ නිසාය.  මින් පැහැදිලි වන්නේ වාමවාදීන් වූ තම දෙමාපියන්ට වඩා  ජෙරෙමි සමාජ සාධාරණත්වය  ගැන සිතු බවයි.

ඔබ යුරෝපයේ ජිවත් වන්නකු නම් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය ආදී රටවල් දුම්රිය සේවා පවත්වා ගෙන යන්නේ රජය සතු හා මගීන්ට කොටස් හිමි සමාගම් වල ආධාරයෙන් බව දන්නවා  ඇත. මිල ඉතා අඩු මේ දුම්රිය සේවා ඉතා හොඳින්  වෙලාවට ධාවනය වෙයි. හතර දෙනෙකු ගෙන් යුතු  පවුලකට දිනකට බල පාන යුරෝ 30 ක (රුපියල් 4700 පමණ) මුදලකට ජර්මනියේ විශාලම ප්‍රාන්තය වන  බැවේරියාවේ ඕනෑම තැනකට යන්නට හැකිය. එයත් හොඳ වේගවත් දුම්රිය වලිනි.

තැචර් විසින් 1994 දී  පෞද්ගලීකරණය කරන්නට කලින් බ්‍රිතාන්‍ය දුම්රිය සේවය  වෙලාවට ගමන් කිරීම සඳහා නම් තබා ගත් දුම්රිය සේවයක් විය. කොම්පැනි වලින් පාලනය වන දුම්රිය සේවා වල වෙලාවට ගමන් කිරීම සිහිනයක් වන අතර ඒවායේ ගමනද ඉතා මිල අධිකය.  බ්‍රිතාන්‍යයේ දෙවන පන්තියේ ටිකට් පතක මිල  යුරෝපයේ පළමු පන්තියේ ටිකට් පතක් මෙන් දෙගුණයකි.  ඒ මේ සමාගම්  වලට අවශ්‍ය ලාභය පමණක් නිසාය. ලාභය බලමින් රේල් පීලි අලුත්වැඩියා නොකරන ලද බැවින් දුම්රිය අනතුරු ද සිදු වුනි.  කෝබින් මේවා නැවත ජනසතු කරන බව කියයි. ඒ සිරිමාවෝ ගේ පන්නයේ වතු රැගෙන විනාශ කල ජනසතු කිරීම් වලින් නොවේ. ජර්මනියේ පන්නයට රජයේ සහභාගිත්වයෙන් දුම්රිය මගීන්  ගේ හා අනිත් ජනතාවටද   කොටස් ලැබෙන සමාගම් පිහිටුවීම මගිනි. ඒවා පාලනයට එවැනිම මණ්ඩලයක් පත් කිරීම මගිනි. මේ ක්‍රමය ජර්මනියේ සාර්ථකව ක්‍රියාත්මක වේ.

එසේම කෝබින් ඒකාධිපති වාදී  සමාජවාදී සමාජ ක්‍රමයක් එක එල්ලේම ප්‍රතික්ෂේප කරයි. මිනිසුන් ට නිදහස නැති සමාජ ක්‍රමයක් අනවශ්‍ය බව ඔහු ගේ අදහසයි.

ඔහු තමන්  සමානාත්මතාවය අගයන බවත් මේ සියවසේ වැදගත් වන්නේ මානව සම්පත සහ පරිසරය රැක  ගැනීම මිස බ්‍රිතාන්‍ය විසින් න්‍යෂ්ටික සබ්මැරීන් නිපදවීම නොවන බවත් පවසයි.

මස් මාළු අත් හැර එළවලු  පමණක් අනුභව කරන කෝබින් ඉතා සරල ලෙස ජිවත් වන මනුෂ්‍යයෙකු බව ඔහුගේ තෙවන බිරිඳ වන මෙක්සිකන් ජාතික  ලවුරා අල්වාරෙස් පවසන්නීය.  ලවුරා අල්වාරෙස්
යනු ලතින් ඇමෙරිකාවේ ඇති, සාධාරණ පඩියක් ගෙවා සාධාරණ ලෙස පරිසරයට හානි නොකර වගා කරන කෝපි  එංගලන්තයට ආනයනය කරන සමාගමක හිමි කාරියකි.
ලවුරා අල්වාරෙස් 

චන්ද දෙලක්ෂ පනස් දහසක් ලබා කම්කරු පක්ෂයේ නායකත්වයට අද පත් වුනු ජෙරෙමි කෝබින්  පසුගිය මාස  කීපය තුල එංගලන්තයේ වාමාංශය තුල නව බලා  පොරොත්තුවක් දල්වන්නට සමත් විනි. දශක ගණනක දේශපාලන දිශාව වෙනස් කරමින් වමේ වමට නායකයෙකු ලැබී ඇත. යුරෝපය පුරා  මේ රැල්ල පැතිර යයිද? දේශපාලන හා මාධ්‍ය පණ්ඩිතයන් බොරු කරමින් ජෙරෙමි  කෝබින්  ගේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය බලය  ලබා ගනීද?


බීබීසි යේ ඇන්ඩ්රූ මාර් ගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පශ්චාත් නූතන මාක්ස්වදියෙකු වන ජෙරෙමි  කෝබින් පැවසුවේ   කාල්  මාක්ස් යනු බොහොමයක් දේ ගැන ඉතා දීර්ඝ ලෙස නිරීක්ෂණය කළ  ඉතා ආකර්ශනීය පුද්ගලයෙකු බවත් ඔහු ගෙන් අපට  බොහෝ දේවල් ඉගෙනීමට ඇති බවත්ය.

එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ බැංකු අධිපත්‍යයේ කිසියම් සලිත වීමක් දක්නට ලැබෙන අතර මේ කෝබින් රැල්ල යුරෝපය හරහා පැතිර යාම වැළැක්වීමට ඔවුන් හැකි සෑම දෙයක් ම කරනු ඇත.

වමේ වම එංගලන්තයේ නැවත උපත ලබා ඇත.

පින්තූර : බිබීසී අනුග්‍රහයෙනි.

8 comments:

  1. ලිපිය කවතාවක් නෙවෙයි දෙවතාවක්ම බැලුවා.මට දේශපාලනය ගැන තියන දැනුමනමි අල්පයි.අනික අපේ රටවලතට වඩා යුරෝපා රටවල දේශපාලඥයන්ගේ ක්‍රියාකාරිත්වයයි ජන්ද දායකයන්ගේ ජන්දය භාවිතා කරන විදියෙයි වෙනසක් තිබෙනවා.මට ඒ ගැන වැඩි දැනුමක් නමි නැ.ජර්මන් කැමිපස් එක්ක ඉන්න මගේ මිතුරෙක් ලංකාවට ආවම ඔහුගේ අත්දැකිමි කියන කොට ඔහු කීවා ජර්මනියේ පාර්ලිමෙන්තු මන්ත්‍රිවරැ පා පැදි වලත් පාර්ලිමෙන්තුවට එන බව.ඔහු කීව කරැනක් තමයි ජනතාහිතවාදි රාජ්‍ය ප්‍රතිපත්තියක් එහි ක්‍රියාත්මක වන බව.

    ReplyDelete
    Replies
    1. ජනතාහිතවාදී නම් එකට ලේබල් එකක් ඕනේ නැහැ නේද. ක්‍රියාවයි අවශ්‍ය. අපි මේ සමාජවාදී ධනවාදී කියා කියා ඉන්නේ නැතුව ජනතාවාදී වෙනව නම් .....

      Delete
  2. අද ඕස්ට්‍රේලියාවේ abc සේවයේ වැඩසටනක දී කිඔබීන් ගේ ජය ගැන පවසමින් කීවේ දැන් ලොවේ සිටින එකම වමේ centre-right ප්‍රධාන පක්ෂ නායකයා මෙහේ කම්කරු පක්ෂයේ නායක බිල් ෂෝට්න් පමණක් බවයි.

    ReplyDelete
    Replies
    1. .බිල් කියන්නේ කම්කරු පක්ෂයේ දක්ෂිනංශය නියෝජනය කරන කෙනෙක් නේ. දැනට එම පක්ෂයේ පක්ෂයේ බලය තියෙන්නෙත් දකුණේ. .දක්ෂිනන්ශික ද ආණ්ඩුවක් බලයෙ තිබෙද් දී වම .දකුනට යන්නෙත් බලය බලය ලබා ගැනීමට පමණයි.

      Delete
  3. //එම ප්‍රතිපත්ති වඩා හොඳට ක්‍රියාත්මක කල හැකි ඔහු වෙනුවට නොදන්නා// මේක අප බොහෝ රටවල අත්දකින දෙයක් නේ මචන්? එනම් විකල්ප බලාපොරොත්තු වන පිරිස අකර්මන්ය වී ඇත්තේ, ඔවුන් බලාපොරොත්තු වන දෙයට වඩා ඉදිරිපත් වන්නේ එකම දේ කිරීම ගැන දෙපිරිසකගේ තරඟයක්. එනම් වඩා හොඳට (එනම් නරකට) කරන්න අපට පුළුවන් යයි කීම.

    ReplyDelete
    Replies
    1. .ඒකනේ. එකම දේ කරන්න නම් හැමෝම කියන්නේ කියන්නේ ඒගොල්ලෝ එකතු වුණාම ඉවරයිනේ.

      Delete
  4. අජිත් අයියේ ලිපිය වටිනවා.... මෙහි ජවිපෙ ගැන කතා කරපු දේ ගැන ටිකක් වෙනස් අදහසක් තමා අපිට තියෙන්නේ... අැත්තට ම ජවිපෙ පසුබෑම ගැන ලංකාව තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් අැති වුණේ නැහැ.. ජවිපෙ ඒක නැවැත්තුවා නෙමෙයි. ඒක වැදගත් දෙයක් වුණේ නැහැ... ඊට වඩා වැදගත් වෙනත් දේවල් මේ ඡන්දෙදි තිබුණා....

    මොනවා වුණත් ජවිපෙ විවෘතව කතා නොකලාට ඔවුන්ට මේ ලැබුණ ඡන්ද බහුතරය අලුත් ඒවා... ඒ ඉස්සර ජවිපෙ වටා හිටපු පිරිස නෙමෙයි... ඒ නිසා ඔවුන්ගේ පදනම කොහේ ගියාදැයි ඔවුන් වහාම සොයා ගත යුතුයි.... නැතිනම් මේ පාවෙන ඡන්ද නැවත ජවිපෙ හැර ගිය පසු ඔවුන්ට මීටත් වඩා දරුණු තත්වයක් අැති වීමට ඉඩ තියෙනවා... මේ ජවිපෙ කතන්දයට අපි මීට වඩා සාකච්ඡාවට ගත යුතුයි අජිත් අයියා...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ වෙනස් අදහස ලියන්න. එතකොට අපට සාකච්චා කරන්න පුළුවන් නේ.මම අරූට (අරුණ ට) කිව්වෙත් ඒකයි.. මම මගේ විවේචනය ලිව්වා ඒ ගැන සංවාදයක් හෝ පිළිතුරක් එයි කියල හිතා ගෙන.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.