බ්‍රිතාන්‍යයේ පැවති යුරෝපීය සංගමයෙන් වෙන්වීම සඳහා පැවති ජනමත විචාරණයේදී මා චන්දය දුන්නේ බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමය තුල සිටිය යුතුය යන මතයටය. මගේ බිරිඳ ජර්මානු නිසාත් අප බොහෝ දුරට වසරකට දෙවතාවක් වත් ජර්මනියට යන නිසාත් ඒ පැත්තට වැඩි නැඹුරුවක් තිබුණි. මා සමාජ ජාලා අඩවි වලද පෙනී සිටියේ එම මතයට පක්ෂයවය. ඒ මතය වැඩි චන්දයෙන් පැරදුණි.
කාර්යාලයේ බොහොමයක් ඉංග්‍රීසි ජාතිකයන් හා ආසියාතිකයන් චන්දය දුන්නේ බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් ඉවත් විය යුතුය යන මතයටය. මම පහුවදා ඔවුන්ට ජයග්‍රහණයට සුභ පැතුවෙමි. බොහෝ අය නිහතමානිව එය පිළිගත් අතර උඩපැන උදම් අනන කිසිවෙකු නොසිටියහ. පැරදුනු පැත්තේ සිටීම ගැන සමහර මට පොඩි විහිළුවක් කලද එය එතනින් නිම විය.
මේ දිනවල ජර්මනිය කෝවිඩ් 19 වසංගතය වඩා හොඳින් කළමනාකරණය කරන බව මින් සමහරෙක් නිරීක්ෂණය කර තිබුණි. ඒ අතර බ්‍රිතාන්‍යය යුරෝපයෙන් ඉවත්විය යුතුය යන මතයේ දැඩිව එල්බ සිටි ඉංග්‍රීසි ජාතිකයෙකු මා අමතා කීවේ "අප යුරෝපා සංගමයේ සිටිය යුතු බවට" ඔහු දැන් විශ්වාස කරන බවයි. ඔහු අදහස වෙනස් කරගෙන තිබේ. මේ චන්දවල හැටි එහෙමය.
පසුගිය වසරේ පැවති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේදී මා සහයෝගය දුන්නේ ජෙරෙමි කෝබින් නායකත්වයෙන් සිටි බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයටය. ඔහුගේ සමාජවාදී ප්‍රතිපත්ති වලට තිබුණු කැමැත්ත නිසා විය හැකිය. අසාධාරණ ලෙස අධික ලාභ ලබන එහෙත් පහසුකම් අඩු බ්‍රිතාන්‍ය දුම්රිය කොම්පැනි ජනසතු කිරීමට යෝජනා කිරීම , එසේම අධික ලාභ ලබන ගෑස් කම්පැනි ජනසතු කිරීමට සහ විශ්ව විවිද්‍යාල ගාස්තු ඉවත් කිරීමට යෝජනා කරන ප්‍රතිපත්ති වලට ඇති කැමැත්තද විය හැක.
අපේ කාර්යාලයේ ඉන්දියානු සම්භවයක් ඇත්තෙකු මා සමග නිතර වාද කළේ කෝබින්ට බිලියන් ගණනක් වියදම් වන මෙම ප්‍රතිසංස්කරණ වලට මුදල් නොමැති බවටත් ඔහු අපෙන් බදු වැඩියෙන් අය කරනු ඇති බවත්ය. බ්‍රිතාන්‍යය පොහොසත් රටක් බවත් එසේම ස්වීඩනයේ මෙන් බදු වැඩි කර ජනතාවට වඩා හොඳ ලාභ ප්‍රවාහන පද්ධතියක් සහ අනිකුත් සහන ලැබෙන්නේ නම් එය හොඳ බවත් ඔහුට පැවසුවෙමි.
නමුත් කෝබින්ට මම ෆේස්බුක් වැනි සමාජ ජාලා ආදියේ සහය දුන්නේ නැත. හේතුව විරුද්ධ මතවාදී මිතුරන් බොහොමයක් ඒවායේ සිටින අතරම ඔහුගේ යුදෙව්වන් සම්බන්ධ ප්‍රතිපත්තියත් අගතිගාමී යයි සිතුනු බැවිනි. මා කොහොමත් ඊශ්‍රායලයරටක් වශයෙන් පැවතිය යුතු යයි සිතන අයෙක්මි.
කෝබින් ගේ පක්ෂය පරාජය වුනු අතර මම බොරිස් ජොන්සන් ට සහය දුන කාර්යාලයේ මිතුරන්ට සහ අසල්වාසීන් ට සුභ පැතුවෙමි.
කවුරු චන්දයෙන් දිනුවත් මම පබ් එකට බියරයක් බොන්නට යන්නේ, දහවල් කෑම වේලේ කතා කරන්නේ මේ සගයන් සමගය. බාබෙකිව් දාන්නේ අසල්වාසින් සමගය. මම පසු දිනයේද සාමයෙන් විහිළුවෙන් ජිවත් වන්නේ ඔවුන් සමගය. ඔවුන් මෝඩ යයි කියා අපහාස කිරීමට හෝ ජීවිතය නැති වුනාක් මෙන් දැඟලීමට නොයමි. චන්ද වලින් සිස්ටම් වෙනස් කල නොහැකියි කියා ආයුධ ගැනීමටද නොයමි. ඒ කාලය ලෝකයෙන් තුරන් වී හමාරය. දැන් ලෝකය වෙනස් ය. මිනිසුන්ට දැනුම දීම වඩා වැදගත්ය. හොඳ මිනිසුන් කොයි කණ්ඩායමේ ත් සිටී . නරක මිනිසුන්ද එසේමය.
ශ්‍රී ලංකාවේ ඊයේ හා පෙරේදා පවතී මැතිවරණයෙන් පොදු පෙරමුණ ජයග්‍රහණය කිරීම ගැන මා සුභ පැතුවේ එනිසාය. මගේ මිතුරු ලයිස්තුවේ පොදු පෙරමුණට සහයෝගය දුන් බොහෝ අය සිටිති. යුඇන්පී අයද සිටිති. ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදීන් ද සිටිති. මේ පරාජය නිසා ඔවුන්ට දුක හා කණගාටුව ඇතිවිය හැකිය. නමුත් පරාජයේදී නිහතමානීව ජයග්‍රාහකයන්ට සුභ පතන්න. අදත් හෙටත් ඔබ ජිවත් විය යුත්තේ ඔවුන් සමගය. මොන පක්ෂයකින් හෝ උපන් රටට හොඳක් වෙන්නේ නම් එය හොඳ දෙයකි.
අනික මගේ සුභ පැතීම තුල දින අයගෙන් කිසියම් දෙයක් ගැනීමේ බලාපොරොත්තුවක් ඇත්තේද නැත. බ්‍රිතාන්‍යයේ ජිවත්වන මට එහෙම දෙයක් අවශ්‍යද නැත. මේ චන්දයේදී චන්දය ඉල්ලන ලංකාවේ කිසිම දේශපලන පක්ෂකට සමජා ජාලා තුල සහයෝගයක් ප්‍රසිද්දියේ හෝ අප්‍රසිද්දියේ නොදුන්නෙමි.
පැරදුනාට බොරිස් ජොන්සන්ගේ රජයට විවේචනය කිරීම මම හැර දමා නැත. එහෙත් ඔවුන් කොවිඩ් 19 වසංගතයේදී රැකියා වලින් අයින්වුවන්ට හිඟ වැටුප් ගෙවීම වැනි හොඳ වැඩද කළහ. රිෂි සුනාක් චාන්සලර් 9මුදල් ඇමැති ) ගේ ඇතැම් මහජනතාවට සෙත සලසන වැඩ ද අගය කළ හැකිය. ඔහු පවුම් බිලියන් ගණනක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහන සැලසීමට වෙන් කර තිබේ.
අර ඉන්දියානු සම්භවයක් ඇති සගයා පසුගිය සතියේ ඔහු කෝබින් බිලියන් ගණන් හොයන්නේ කෙසේදැයි ඇසීම ගැන කණගාටුව පල කළේය. රිෂි සුනාක් දැන් ඊට වඩා පවුම් බිලියන් ගණනක සහන සැලසීමට වියදම් කරන බව ඔහ දැනගත් නිසා හා අපට බදු වැඩියෙන් ගෙවන්නට වන බවද ඔහු දැනගත් නිසාය. චන්දවල හැටි එහෙමය. මම අර සගයා සමග අමනාපයෙන් සිටියේ නම් ඔහු කතා කර කෝබින් ගේ එම ප්‍රතිපත්ති වලට මුදල් සෙවීම ගැන ඔහුගේ වැරදි වැටහීම ගැන කියන්නේ නැත.
එසේම ශ්‍රී ලංකා චන්දයේ මගේ සිතගත් එක ප්‍රතිඵලයක් සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒ අන්ගජන් රාමනාදන් ගැනය . 1975 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
අල්ෆ්රෙඩ් දුරේ අප්පා ඝාතනය විය. "ඊලාම් වාදීන් " පසුව එය කලබව පිළිගත්හ. 1982 අපකීර්තිමත් ලාම්පු කළගෙඩි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලනිපයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට වැඩිම චන්ද ලැබුනේද යාපනය දිස්ත්‍රික්කයෙනි.
මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අන්ගජන් රාමනාදන් මහතාට වැඩිම මනාප ප්‍රමාණයක් ලැබී ඇත. යාපනය ජනතාවට ප්‍රණාමය පිරි නමන අතරම අන්ගජන් මහතාට සුභ පතමි.