Sunday 8 November 2020

සුභාෂ් ජයවර්ධන සහ කොපිය ගැන

අර කොපි කිරීමේ කතාවක් බුකියේ දිගටම යනවනේ. ඒකට ඇදීලා  තියෙන දේශපාලන පක්ෂය මේ කතාවට ගාව ගන්න එක වැරදියි. පක්ෂයකට හැමෝවම පාලනය කරන්න බැහැ . ලියන කියන ඒවා එහෙම. හැබැයි පක්ෂයේ අය  නිශ්ශබ්දව ඉන්නව නම් හොඳයි මොකද අදාල නැති නිසා. සුභාෂ් වීරතුංග ජයවර්ධන පුවත්පත් කලාවේදියෙක්. මා වරක් දෙවරක් හමුවී තිබෙන හොඳ මහත්මයෙක්. (හොඳ කොල්ලෙක්  කියමුකෝ). මේ එයාගේ අදහස මම බුකියේ දැක්කේ. ඒක සුන්දර හොඳ අදහසක් . ලෝකයේ හැම බුද්ධිමය නිර්මාණයක්ම අපි හැමෝටම අයිතියි කියන එක. තමන්ට අයිතිවාසිකම් නැහැ කියන. නමුත් මගේ තර්කය වුනේ ඒකෙන් කොපි කිරීම සාධාරණය කරන්න බැහැ  කියන එක. නිර්මාණය ට නම තියන්නේ නිර්මාණය කරපු තැනැත්තා ගේ නමින්. එහෙම අවශ්‍ය නැතිනම් බැන්ක්සි වගේ නිර්නාමිකව හැසිරෙන්න පුළුවන්. මමත් එහෙම ඕන තරම් ලියල තියනවා. ඒවා වෙන තැන්වල සංසරණය වෙනවා දැකලත් තියනවා. නමුත් අපි නමක් යොදන්නේ අපේ නිර්මාණයකට ඒක අවශ්‍ය නිසා. ලෝකයේ තිබෙන  බොහොමයක් නිර්මාණ නමකට ඇඳිලා තියෙන්නේ ඒකයි . නම අවශ්‍ය නැහැ කියල ක්වන්ටම්  බෞතිකයෙන් නැත්නම් බුද්ධාගම  ආශ්‍රයෙන් තර්ක කරන්න පුළුවන්.   නමුත් මට අත්දැකීම්  තියනවා මිනිස්සු අපිව පාවිච්චි  කරනවා කියල. එනිසා ලියන්නේ කවුද කියන එක වැදගත්, වෙන නමකින් හරි. එහෙම  අය ඉන්නව. කට්ටකඩුවේ ලොකු මල්ලි, විනිවිද ශ්‍රී ලංකා, එකොනොමට්ට වගේ අය . ඒ අයගේ දේවල් ගත්තත් ඒ නම සඳහන් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස. 

 *******************************************************************

සුභාෂ් වීරතුංග ජයවර්ධන: කොපි කිරීම ගැන මට විවේචනය කරන්න බෑ හෘද සාක්ෂියට එකඟව..මොකද මාත් මොනවා හරි ලියනවා කියලා ලියන්න පටන් ගත්තේ අනුන්ගෙ ඒවා කොපි කරලා.. මුළු පාසල් ජීවිත කාලේටම මං සිංහල රචනා 10 ක්වත් ලියා නැති බව මට සහතික කරලා කියන්න පුලුවන්. මම සාපෙ පංතියේ පාවිච්චි කරපු සිංහල එක්සයිස් පොත අපෙ මාමා කෙනෙක් ගාව මේ මෑතක් වෙනකම් තිබුණා. මිනිහා එක අරන් තියාගෙන. තාම තියෙනවද දන්නෙ නෑ. ඒක ලස්සනට කවරේදාලා වැඩ දාලා තිබ්බ පොතක්. සිංහල මිස් රචනාවලට, ව්‍යාකරණවලට, සාහිත්‍යට ආදි වශයෙන් පොත් බර ගානක් වෙන වෙනම තියාගන්න කිව්වට මං ගාව ඒ ඔක්කොටම තිබ්බේ පි‍ටු 120 පොතක්. පි‍ටු 30න් 30 වගේ වෙන් කරගෙන සියල්ලටම.. අපරාදෙ කියන්න බෑ සපෙ විභාගෙ වෙන කොට ඒ පොතේ පි‍ටු 10 කවත් දෙයක් ලියැවිලා තිබුණේ නෑ.. එකම එක රචනාවක් විතරයි රචනා කොටසේ තිබ්බේ. ඒකත් මගේ නෙවෙයි කොපියක්.
මගේ මිත්‍රයා සුමිත් පෙරේරා (මපට්) ලස්සනටම රචනා ලියන්න පුලුවන් එකා. මිනිහ වචන ගොඩාක් දැනගෙන හිටියා.. ඒවා ලස්සනට ගලපන්නත් දැනගෙන හිටියා...දේවල් පරිකල්පනය කරනවා හරි ලස්සනට. මට ලියන්න දන්නෙ නෑ..තාමත් එහෙම බෑ.. පොතේ පිටුවක් පිරෙන්න ලියා ගන්න බෑ.. මංම හිතලා ලියපු රචනා දෙක තුනක් ඇති ගූ හතයි.. මං කරන්නේ යාලුවාගෙ රචනාව කියවලා ඒක උඩ යට මැද ඔක්කොම කලවම් කරලා මොක හරි ගලපලා අමුතු රචනාවක් ලියන එක.. සමහර මෝඩ ගෝතයොත් හිටියා කෙලින්ම ගෙඩි පිටින් රචනා කොපි කරන් උන්. උන් ඉතින් මිස්ගෙන් ගු‍ටි කනවා.. මං නෑ එහෙම..වෙන කේස් වලට ගුටිකාපුවා..පංතියෙන් එළපුවා තමයි තියෙන්නේ.. ඒ කාලේ මං මගේ කොපි කිරීමේ නිර්මාණාත්මක හැකියාව ගැන සතුටෙන් හිටියේ..කොහොම හරි සිංහලවලට ඩී සමර්ථයක් ලැබුණා.. යාළුවාට නෑ...වැඩේ කියන්නෙ ජීවිතේට රචනා ලියල පුරුද්දක් නැති මං විභාගෙදි ලිව්ව ලිවිල්ලක්.. කොළ 18 ක් පිරෙන්න පත රචනාවක්. මතක විදිහට මාතෘකාව වුණේ 'රූපවාහිනිය ළමා මනස විකෘති කරයි' වගේ එකක්. කොහොම මොනවා ලිව්වද මංදා..
ඉතිං ඔය නිර්මාණ ගෙඩි පිටින් කොපි කරලා ඒකට අයිතිවාසිකම් කියන එක පිළිගන්නේ තක්කඩි වැඩක් විදිහට.. අහුනොවෙන්න කරන එක වෙන වැඩක්. ඒක නිර්මාණාත්මක තක්කඩි වැඩක්.. ඔය බුද්ධිමය දේපොල අයිතිය වගේ ඒවා තියෙන්නේ ඒ තක්කඩිකම් වලක්වන්න. නමුත් ඒක පදනම් වෙන්නේ නිර්මාණයක මුල්‍යමය අගය, ලාබය පදනම් කරගෙන.. එහෙම නැතිව මිනිස් නිර්මාණයක් කාටවත් අයිති බුද්ධිමය දේපලක් වෙන්න බෑ. මොකද එහෙම ඒවා මේ ලෝකේ කාටවත් තියෙන්න විදිහක් නෑ.. ඒක තියෙන පුලුවන් ලෝකය මැව්ව කියන දෙවියන් වහන්සේට විතරයි. මිනිහෙකුගේ බුද්ධිය කියන්නේ එයා තනිව නිර්මාණය කරගත්ත දෙයක් නෙවෙයි. ඒක සාමුහික ශ්‍රමයක්. ඒ මං හිතන විදිහ.
තව ලංකාවේ සුප්‍රකට සම්මානනීය කලාකාරයෝ ඉන්නවා අනුන්ගේ නිර්මාණ ගෙඩිපිටින් කොපිකරපු. ගොඩක් වෙලාවට ආධුනිකයන්ගේ ඒවා.
මට මතකයි චන්ද්‍රකුමාර වික්‍රමරත්න ජීවත්ව සිටියදී එයාගේ කවි, ගීත එකතුකරලා පොතක් ගහන්න සූදානම් කරලා අත්පිටපතේ ගුණදොස් අහගන්න සුප්‍රසිද්ධ කලාකාරයෙකුට දුන්නා... ටික කාලෙකින් එයාගේ අතින් අත්පිටපත නැතිවුණා කියවෙනවා..චන්ද්‍රකුමාරත් අතුරුදන් වෙනවා. හැබැයි මේ කලාකාරයාගේ නමින් අලුත් ගීත ගනනාවක් ඒ දවස්වලම ලියැවෙනවා.. ඔව් ඒ චන්දරේ ගලපලා ගත්තු වචන සහ අදහස්.. ඒ ගැන දන්න කවුරුවත් මොනවත් කිව්වෙත් නෑ..මං මොකුත් කිව්වෙත් නෑ.. අලුත් සිංදු රස වින්දා..
කොපියක් වුණත් රසයක් විඳින්න පුලුවන් විදියට තියෙන්න ඕන කියන එකයි ඒකේ තේරුම.
------------

මගේ පිළිතුර: මේක එකඟ වෙන්න  පුළුවන් කතාවක් නෙමේ සුභාෂ්. කාගෙන් හරි කොපි කලොත් දෙයක් එයාගෙන් ගත්ත කියල ලියන්න ඕනේ. නැත්නම් ඒක නිර්මාණ මංකොල්ලයක්. ඔය ඔයා කියන මුළු කොටසම //බුද්ධිමය දේපොල අයිතිය වගේ ඒවා තියෙන්නේ ඒ තක්කඩිකම් වලක්වන්න. නමුත් ඒක පදනම් වෙන්නේ නිර්මාණයක මුල්‍යමය අගය, ලාබය පදනම් කරගෙන.. එහෙම නැතිව මිනිස් නිර්මාණයක් කාටවත් අයිති බුද්ධිමය දේපලක් වෙන්න බෑ. මොකද එහෙම ඒවා මේ ලෝකේ කාටවත් තියෙන්න විදිහක් නෑ.. ඒක තියෙන පුලුවන් ලෝකය මැව්ව කියන දෙවියන් වහන්සේට විතරයි. මිනිහෙකුගේ බුද්ධිය කියන්නේ එයා තනිව නිර්මාණය කරගත්ත දෙයක් නෙවෙයි. ඒක සාමුහික ශ්‍රමයක්.// වාමාංශික දේශපාලන පක්ෂ අනුන්ගේ දේවල් අරගෙන තමන්ගේ ප්‍රකාශන වල පල කරගන්න කරන කියන තක්කඩි කමක් ඕක . ඊට පස්සේ උඩ යන්නේ ඒවා උස්සල දාපු එකා. ලියපු එකා ගැන කවුරුත් දන්නේ නැහැ. පක්ෂේ එකෙක් දන්නෙත් නැහැ. ඔය තක්කඩි කම වෙබ් සයිට් වලත් කරනවා. එහෙම නම් ඔයා හම්බ කරන කිසිම සත පහක් (ලියල හම්බ කරන දේ) ඔයාට අයිති නැහැ. ඒවා අයිති ඔයාට උගන්වපු ගුරුවරුන්ට. එනිසා ඒගොල්ලන්ට ඒවා දෙන්න. අපට බුද්දිය හම්බ වෙන්නේ අපි ඒ පිලිබඳ ශ්‍රමය වැය කරන නිසා මිසක් ඉබේ සමාජයෙන් වත් ඉබේ ගුරුවරුන්ගෙන් වත් නෙමේ.ඔයා , මම ඒකට ශ්‍රමයක් වැය කරනවා. ඒ ශ්‍රමයට සාධාරණ වටිනාකමක් තියනවා. ඔයා සින්දුවක් හොරකම් කලොත් ඒකෙ පාඩුව සින්දු කියන්නට විතරක් නෙමේ. සින්දුවෙන් යැපෙන තව දාහක් ඉන්නවා. සින්දුවට වාදනය දෙන එවුන්, ඒකට ලයිට් දෙන එවුන්. තේ හදන , වේදිකා හදන දහසක් මනුෂ්‍යයන්ගේ ශ්‍රමය එතන තියනවා. ඊට බැ****පුතෙක් ඇවිත් ඒක  හොරකම් කරහම ඒක සාධාරණ නැහැ. මමත් සින්දු හොරෙන් බාගෙන තියනව. චිත්‍රපට බාගෙන තියනවා. ඔය විධිහට තමා හිතුවේ. දැන් දෙකම කරන්නේ නැහැ. සල්ලි තියනවනම් ගෙවල බලනවා. ගෙවල අහනවා එපමණයි. මගේ පොත් තුනක් තියනවා. මට හමුවුනා  කොපි ගහපුව. මම කාගෙන් හරි ගත්ත නම් අනිවාර්යයෙන් ගත්ත තැන ලියනවා. බ්ලොග් එකේ ලින්ක් දානවා. නැත්නම් ඒක  කැත වැඩක්. ශ්‍රම කොල්ල කෑමක්. නිර්මාණ කොල්ල කන්න හා කම්කරුවාගේ ශ්‍රමය කොල්ල කන්න අතර වෙනසක් නැහැ. දෙකම එකයි. දෙන්නම කරන්නේ කාගෙහරි අවංක ශ්‍රමයක් කොල්ල කන එක.

--------------

සුභාෂ් වීරතුංග ජයවර්ධන: මං ලියපු ඇඳපු දේවල් වලට මං අයිතිවාසිකම් කියන එක හිරිකිත වැඩක් විදිහට මට දැනෙන දෙයක්..ඒ හිරිකිත වැඩේ මං කරලත් තියෙනවා. ලිපියක් ලියල නම දාන එක චිත්‍රයක් ඇඳලා නම දාන එක..ඊයා...එහෙම නැතිව හෝ ඇතිව මං කරපු වැඩ වෙන අය අයිතිකරගෙනත් තියෙනවා.ඒවා පාවිච්චි කරලා වෙන ලාභ ,මුදල්, රස්සාවල්, තනතුරු ගත්තු අයත් ඉන්නවා.... මගේ ඒ වැඩ වලට මාත් මුදල් අරගෙන තියෙනවා.මගේ මුලික අවශ්‍යතාවයන්ගේ ප්‍රමාණයට. ඒ ඒක කරන්න වෙච්ච මහන්සියට සහ ඒ කාලයට. නැත්නම් මටයි මගේ යැපෙන්නනටයි බඩගින්නෙ මැරෙන්න වෙන්නේ. ලබන සතියේ වැඩක් නැති වුණොත් වෙන්න නියමිතත් ඒකයි.. ඒත් ඒ මහන්සිය මගේ ශරීරය දැරුවට ඒ දැනුම මට අයිති නෑ මගේ ගුරුවරුන්ට අයිතිත් නෑ. මං කොහෙ හරි තිබ්බ දේවල් එකතුකර ගත්තේ. ඒවාට තනි අයිතිකාරයෝ ඉන්න විදිහක් නෑ.ඒවා තුල තියෙන මිනිස් ශ්‍රමය, මේ ලෝකය මිනිසාට වඩා යහපත් තැනක් කිරීම වෙනුවෙන් අවුරුදු ලක්ෂ ගානක් තිස්සේ වගුරවපු දෙයක්...ඒවා අපි නැවත පාවිච්චි කරනවා නම් ඒවා අයිති විය යුත්තේ මිනිස් සංහතියටමයි. හොයල බලන්න බුද්ධ දේශනාව. ඒක තනිකරම කොපියක්.ඒ කාලේ තිබ්බ දැනුම එයා පාවිච්චි කළේ ගෙඩි පිටින්ම කොපි කරලා. බෝහෝ වෙලාවට ඒවා අහවලාගෙන් ගත්තේ කියලවත් එයා කිව්වෙ නෑ..ඒ එහෙම කියන්න ඕන නෑ..එයා අලුත් නිර්මාණයක් කළේ. ඒත් ඒකට කොපිරයිට් ඉල්ලුවෙ නෑ. අඩු ගානෙ ඒක රකින්න කිව්වෙත් නෑ..ඒ අලුත් නිර්මාණය හැමෝම එක්ක රස විඳිමු කියලා එයා යෝජනා කළේ.
මිනිස් නිර්මාණයක් කාගේ හරි පෞද්ගලික බුද්ධිමය දේපොළ අයිතිවාසිකමක් කියලා පිළිගන්නේ ඇයි? ඇයි අපි ඒවාට මිළක් නියම කරන්නේ.? ඒවාට ගෙවනේ ඇයි.? ඇයි ඒ වටිනාකම් සහිත දේපොළ හොරකම් කරන්නේ?
ඕනෑම දෙයකට මුල්‍යමය අගයක් තීරණය කිරීම මේ දේශපාලන ආර්ථික ක්‍රමයේ නියමයක් නිසා. ඒක පිළිගන්නවා නම් අජිත් ඔයා හරි. මටත් මන් ලියන කරන දෙයකට කීයක් හම්බු වෙන්නෙ ඒ නිසා..නැත්නම් බඩ ගින්නෙ මැරෙන්න වෙන්නේ. මොකද අපි හම්බ කොළොත් අපි කෑවා තියරි එක තමයි හැම තැනම ප්‍රයෝගික ඇත්ත.
ඒ අනුව නිර්මාණයකට අයිතිවාසිකම් කියන, හැම නිර්මාණකරුවෙක්ම අමු තක්කඩියෙක් බවට මේ දේශපාලන ආර්ථික ක්‍රමය විසින් පත්කර තිබේ. කොපි කිරීම (නිර්මාණ මංකොල්ලය) වැරදියි කියන එකේ පදනම තියෙන්නේ එතන.
--------------




මගේ පිළිතුර: මම හිතන්නේ මේක පෞද්ගලික අදහසක්. ඔයා ලියපු දේවල් ඔයාගේ නෙමේ කියල හැඟෙනවා නම් ඒක එහෙමයි. නමුත් ඔයාට ඒක අනිත් අයට ආදේශ කරන්න බැහැ. ඔය අප්‍රසන්න බොරුව මාත් කාලයක් ඇදහුවා.  ඒවා තුල මිනිස් ශ්‍රමය මිනිස්සු අවුරුදු ගානක් තුල වැවපිරුවේ නැත්නම් ඔය දැනුම ඔයාට ලැබෙන්නෙත්  නැහැ  මට ලැබෙන්නත් නැහැ. නමුත් ඒ දුන්න අයව අපි දන්නවා . ඒවාට නමක් තියනවා.  එකයි අදත් අපි ඔවුන්ව ආදරයෙන් මතක් කරන්නේ. බුදුන් හොයා ගත්ත අලුතින් කියපු දේවල් නැතිව ඇති. ඒ දවස් වල කොපි රයිට් තිබ්බේ නැහැ. නමුත් එයාගේ නම කියනවා. එයා උද්දක රාම පුත්‍ර ගාවට , පස්වග මහනුන් ගාවට ගියා කියල අපි කියනව. ඔවුන්ගේ අදහස්  වලට අපි නමක් දෙනවා. මාක්ස් ගේ නම කියනවා. අනිත් එවුන්ගේ නම්  කියනවා. බුදුන්ට කොපි රයිට් ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් සටන් කරන්න එවුන් ඉන්දෙද්දී. තමන් ලියපු  දේ නිසා තමා  ගෝර්කි, ඇරිස්ටෝටල් , ශේක්ස්පියර් නම් වෙලා තියෙන්නේ. ශේක්ස්පියර් ගේ නාට්‍ය "එයා හරියට ලිව්වේ නැහැ" කියල ඔයා කෑලි  දාල ලියල ඔයාගේ නමින් ඒක  පල කරලා සම්මානයක්  ගත්තොත් ඒක  සදාචාරාත්මක නැහැ. තර්කය ඒකයි . ඔයා කියන්න ඕනේ මේක ශේක්ස්පියර් ගේ නාට්‍යයක්, මම වෙනම මගේ විධිහට හැදුව. එහෙම කරන්න පුළුවන්. ඔයා මූලාශ්‍රය නම් කරල තියෙන්නේ.  අයිතිකාරයා මතක් කරලා. තව එකක් මතක් වුනා. මූලාශ්‍ර  හොරු වැඩිපුරම  ඉන්නේ ලංකාවේ . ඒ ගොල්ල දාන තර්කයත් ඒක . අරය මෙයා ලිව්වට ඕව අයිති ලෝකෙට. මිත්තනියගේ වස්ත්‍රය තමයි. . ඔය අප්‍රසන්න තර්කය  නිසා අනුන්ගේ පහනෙන් එලිය බලල දියුණු වෙච්ච  අය සමාජයේ වැඩියි. . අදත් එහෙමයි ලේඛකයන්ට. දියුණු වෙන්නේ වෙන එකෙක්. ඒ අස්සේ උන් ලියපු දේවල්  බොරු තර්ක ගෙනල්ල උස්සනවා. . 
//ඕනෑම දෙයකට මුල්‍යමය අගයක් තීරණය කිරීම මේ දේශපාලන ආර්ථික ක්‍රමයේ නියමයක් නිසා// සෝවියට් දේශයේදී ලියන්නන්  හැමෝටම පඩියක් ගෙව්වා. එනිසා සමහර ලියන දේවල් වලට නමක් අවශ්‍ය වුනේ නැහැ. ඒ වගේම පඩිය ගන්න ලියපු එව්වොත්  හිටිය.  නමුත් නිර්මාණ වලට නම් දුන්න. මොකද ඒක වික්කත් නැතත් බුද්දිමය අයිතියක් නිසා.  ඔහොම වෙන දේවල් වලටත් නැහැ කියල කියපු සමාජවාදී රංචුවක් හිටිය. තවමත් ඉන්නවා. හැබැයි හොයල බැලුවහම උන්ට අර අනිත් එවුන්ට අත අරින්න  කියපු ඔක්කොම තියනවා. හාමුදුරුවරුත්  එහෙමයි. අනිත් එවුන්ට අත හරින්න  කියන දේවල් උන් පාවිච්චි  කරනවා. මම දන්නවා  ඔයා පෞද්ගලිකව එහෙම කෙනෙක් නෙමේ කියල. නමුත් ඔය තර්කය රකින්න එපා ඒක  සදාචාරාත්මක නැහැ. අමන තක්කඩි කම තමයි නිර්මාණකරුවෙක්  ගේ දෙයක් කොපි කරන එකයි , ඒවා අරගෙන විකුණලා ජිවත් වෙන එකයි.බොහොමයක්  නිර්මාණ කරුවන් ,ගත්  කතුවරුන් හිඟා කාලා මැරිලා තියෙන්නේ ඒ නිසා. කතුවරයා මිය ගිහින් අවුරුද 150 කට පස්සේ අවසර ගන්නේ නැතිව පරිවර්තන අයිතිය හෙම දෙනවා. ඒවා ලෝක සංස්කෘතියට අයත් දේ වශයෙන්. එහෙම උනත් ඒ කතුවරයාගේ නම් පල කල යුතුයි. තමන් ගේ නමින් පල කරන්න බැහැ . ලෝකය පිස්සු ගුහාවක් වෙනවා නැත්නම්. 

26 comments:

  1. ඔබගේ අදහස් සමග එකග වෙමි....හැබැයි මොකද්දෝ හේතුවකට තාම සල්ලි දීලා සිංදු අහලා නෑ...

    ReplyDelete
    Replies
    1. මේවට දුන්න පිළිතුරු වලට මොකද වුනේ කියල මම මේ කල්පනා කරන්නේ . මම දැන් සල්ලි දීල හරි යූ බටයේ තියෙන නොමිලේ සින්දු හරි තමා අහන්නේ.

      Delete
  2. ඇත්තටම කියනවනම් විවාද කරන්න තරම්වත් කෙලින්ම තියන plagiarism සංකීර්ණ නෑ. ලියවිලි දෙකක් සංසන්දනය කලාම හොරකම් පේනව. හැබැයි සමහර අවස්ථාවල තමන් කියවපු විස්තරකිරීම්, වාක්‍ය , expressions, phrases නොහිතාම තමන්ගේ ලියවලිවල අඩංගු වෙනවා. පැරග්‍රාෆ් එකක්ම එනවනම් ඉතින් කෙලින්ම හොරකම්.
    ඉන්ෆ්ලුවන්ස් එක පිලිගන්නෙ නැතුව ලියන අවස්තානම් තියනව . අජිත් අහල ඇති W A සිල්වාගෙ පොත් සමහරක් ගැන. ඒවා හොරකම් නෙමෙයි අවංකබවේ අඩුවක් හෝ ඇත්තටම ඉන්ෆ්ලුවන්ස් එක ගැන නොහිතා ලියපු ඒවා.
    අජිත් ශේක්ස්පියර්ගෙ විවාදාත්මක දේවලුත් අහල ඇති https://www.theguardian.com/books/2018/feb/09/shakespeare-plagiarism-software-george-north

    අලුත් අය

    https://m.timesofindia.com/life-style/books/features/5-authors-who-have-been-accused-of-plagiarism/amp_articleshow/58593060.cms

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා කොපිකිරීම්ද, ඉන්ෆ්ලුවන්ස්ද, නොදැනම හිතේ හිටිය දෙයක් ලියවුනාද කියන එක විවාදාත්මකයි. ඒත් කෙලින්ම plagiarism / කොපිකිරීම් හොරකම්. මානව නිර්මාණ ලෝක නිර්මාණ හෝ මොනවා ලෙස හැදින්වුනත් අනුන් ලියපු එකක් එහෙමම acknowledgement නැතුව ලියා පලකිරීම හොරකමක්

      Delete
    2. මම කියන්නෙත් ඒකමයි . අභ්ශය අරන් ලිව්වට කමක් නැහැ. වචන ගත්තට කමක් නැහැ. ඒවා කාගෙවත් අයිතීන් නෙමේනේ. ඔය ගොඩක් පුවත් පත් කලාවේදියෝ කරන්නෙත් ඕකමයි. එක්කෙනෙක් මගේ බ්ලොග් එකේ ලිපිනයඇහුවා . ඔයාගේ එකෙන් කරුණු අරන් ලිව්ව හැකි කියල මටම කීව. මිනිහට මතක් වුනේ වත් නැහැ මගේලින්ක් එකක් වත් දෙන්න. මම ඇහුවෙත් නැහැ. ඒ ලංකාවේ හැටි. නමුත් මෙතන ගෙඩි පොටින් කොපියක් ගහල ඒක තව සාධාරණිකරණය කරන්නත් එනවා .

      Delete
  3. ඇමරිකන් ධනවාදය මේ මොහොතේ බිඳ වැටෙමින් පවතී. ඇමරිකන් ධනවාදී සමාගම් කිහිපයකගේ උවමනාව මත අන්ත දුෂිත මැතිවරණ ක්‍රමයක් පවත්වාගෙන යන ඇමරිකන් ධනවාදය පරදවමු. රිපබ්ලිකන්වරුන්ගේ විමුක්ති සන්නද්ධ අරගලයට අපගේ කොන්දේසි විරහිත සහය ලබා දෙමු. හිරු නැගෙනා විට සන්නද්ධ අරගලයකින් ඇමරිකාවේ සමාජවාදය ගොඩනගමු.

    ReplyDelete
  4. අද්මිරාල් සඳගිරි, බත් ජූන්ඩිත්තක් වත් කමු බඩගිනි.

    ReplyDelete
  5. http://economatta.blogspot.com/2020/11/blog-post_8.html

    ReplyDelete
    Replies
    1. මම දුන්න පිළිතුර: මෙතන ප්‍රශ්නය වී තිබෙන්නේ එකොනොමැට් විසින් තම අදහස සාධනීය කිරීම සංධා යොදා ගන්න තර්ක සමහරවිට ඔහු කලින් ලියපු දෙවලම ප්‍රති විරෝධයන් වීමයි. මම කියා තිබෙන්නේ එකොනොමැට් හා කට්ටකාඩුවේ වැනි අන්වර්ථ නම වලින් ලියන විට ඒවා කොපි කිරීමේ ප්‍රශ්නයක් නැහැ. මෙහි මුලික් අදහසම බෙදා හැරීම නිසයි. නමුත් තමන්ගේ නම පල කරනවා නම් හෝ කොපි රයිට් අයිතිය ලියනවා නම් එයට ගරු කල යුතුයි. සෝවියට් දේශයේ කල හැම දෙයක්ම මම අනුමත කල කෙනෙක් නොවන බව සමහර විට එකොනමැට් ට වැටහී ඇති. එහි ජිවත් වූ නිසා බොහෝ දේට කැමති වුනත් අකමැති දේ තිබෙනවා. ලේඛකයන්ට පඩියක් ගෙවීමත් මම කැමති නැති දෙයක්. ඒකෙන් වුනේ නිර්මාණකරණයට වඩා පක්ෂය හා දේශපලන මතවාදය සඳහා ප්‍රචාරණයට ඔවුන් යොමු වීමත් ඒවා කල අය ලේඛක සංගමයට බැඳීමත් අනිකුන් ඉවත් කිරීමත්. (පස්ටර්නක්, සොල්ස්හෙනිට්සින් වගේ) මගේ දේශපාලන ලිපි වෙනත් ලේඛකයන් (පුවත්පත් ලේඛකයන් හෙම) අරගෙන කපල කොටලා තමන් ගේ වගේ ලියල තියෙනවා මම දැකල තියනවා. ඒකෙ අවුලක්. එතන මගේ අදහස කියන දෙය පාඨකයාට යාම. එකොනොමට්ස් වගේ එක මම හොයන්නේ නැහැ. නමුත් නවකතාව මගේ නිර්මාණයක්. ඒක කාගෙවත් නෙමේ. වෙන කාටවත් ඒක අයිති නැහැ. ශෛලිය අරගෙන වෙන දෙතුන් දෙනෙක්ම ඒවගේ කතා ලියල තියනවා දැක්ක. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. නමුත් මුළුමනින් කොපි කරන්නේ නැතිව. එතන මට මුල්‍ය වටිනාකම් නෙමේ තියන්නේ. නිර්මාණයේ වටිනාකම. එය රැකියා යුතුයි. අර්තාපල් නිපදන ගොවියා නොර්ම්නයක් නේම් කරන්නේ. කම්කරුවා නිර්මාණයක් නෙමේ කරන්නේ. ගොවියා ගේ හා කම්කරුවාගේ ශ්‍රමය තමයි ඔහුගේ නිර්මාණය,. ඒ දෙකම අයිති ඔවුන්ට . ඒක තමා මාක්ස් කිව්වේ හා එකොනොමට්ස් එකඟ නැති දේ ඔබගේ පැරණ ලිපි වල . එනිස ඔබල දෙදෙනාම සුභාෂ් සහ ඔබ ඔබ දෙදෙනාවම contradict කර ගන්නවා. ඔහු සමාජවාදියෙක්. ඔබ එක්තරා ප්‍රමනයකට ධනවාදියෙක්.

      Delete
    2. //මෙතන ප්‍රශ්නය වී තිබෙන්නේ එකොනොමැට් විසින් තම අදහස සාධනීය කිරීම සංධා යොදා ගන්න තර්ක සමහරවිට ඔහු කලින් ලියපු දෙවලම ප්‍රති විරෝධයන් වීමයි.//

      මේ ප්‍රතිවිරෝධයන් මොනවාද කියා නිශ්චිතව කිවුවොත් පිළිතුරු දිය හැකියි.

      //මම කියා තිබෙන්නේ එකොනොමැට් හා කට්ටකාඩුවේ වැනි අන්වර්ථ නම වලින් ලියන විට ඒවා කොපි කිරීමේ ප්‍රශ්නයක් නැහැ. මෙහි මුලික් අදහසම බෙදා හැරීම නිසයි. නමුත් තමන්ගේ නම පල කරනවා නම් හෝ කොපි රයිට් අයිතිය ලියනවා නම් එයට ගරු කල යුතුයි.//

      අජිත් කියා තිබෙන දේ පැහැදිලියි වගේම පෞද්ගලිකව මමත් මේ කරුණ සම්බන්ධව හිතන්නේ මේ ආකාරයටයි.

      //සෝවියට් දේශයේ කල හැම දෙයක්ම මම අනුමත කල කෙනෙක් නොවන බව සමහර විට එකොනමැට් ට වැටහී ඇති. එහි ජිවත් වූ නිසා බොහෝ දේට කැමති වුනත් අකමැති දේ තිබෙනවා.//

      මෙය වැටහී තිබෙනවා. මට පොදුවේ අජිත් සම්බන්ධව තිබෙන ප්‍රශ්නයත්, යම් දුරකට දැන් මම මතු කරන ප්‍රශ්නයත් මෙයයි. මට සාපේක්ෂව අජිත් කියන්නේ මතවාදී ලෙස දෙලොවක් අතර අතර මං වූ කෙනෙක්. මෙය දරුණු විවෙච්නයක්නම් සමා වෙන්න. පෞද්ගලික විවේචනයක් මෙන් පෙනෙන දෙයක් වුවත් පෞද්ගලික සේ ගන්න එපා. මම ඕනෑම අයෙකු මේ ආකාරයට විවේචනය කරන්නේ නැහැ. අජිත් සංවාදයට විවෘත කෙනෙක් නිසයි ලියන්නේ.

      අජිත්ට සෝවියට් දේශයේ අවුල් පේනවා. ඒවා විවේචනය කරනවා. නමුත්, ඒ අවුල් වලට හේතුව සමාජවාදයේ මූලධාර්මික ප්‍රශ්නයක් කියන එක පිළිගන්න අජිත්ගේ සමාජවාදය පිළිබඳ දැඩි භක්තිය බාධා කරනවා. අජිත් හදන්නේ පැහැදිලිව පෙනෙන අවුල් පැත්තකට කරලා සමාජවාදය බේරාගන්නයි. ඒ වැඩේට අජිත් ධනවාදයේ අජිත්ට හොඳයි කියලා හිතෙන දේවල් එකතු කර ගන්නවා. නමුත්, ඒ හොඳ දේවල් වල මූලධාර්මික පදනම පිළිගන්න අජිත්ට ධෛර්යයක් නැහැ.

      අජිත්ට සාපේක්ෂව සුභාෂ් ජයවර්ධන නිරවුල් මතයක ඉන්නවා. ඔහු දෙලොවක් අතර අතරමං වී නැහැ. මම ඔහුගේ මූලධාර්මික පදනම පිළිගන්නේ නැතත්, ඔහු පිළිගන්නා මූලධාර්මික පදනමට සාපේක්ෂව ඔහු කියන කතාව සංගතයි. මම මෙහි සුභාෂ් ජයවර්ධන සමඟ එකඟ වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ එයයි.

      මම මාක්ස්වාදය සමඟ එකඟ නැහැ. එය ඉතාම පැහැදිලිව මම හැම විටම කියල තියෙනවනේ. යම් හෙයකින් මම මාක්ස්වාදයේ පදනම පිළිගන්නවානම් මට සුභාෂ් ජයවර්ධනගේ පහත අදහසත් පිළිගන්න වෙනවා.

      "මිනිස් නිර්මාණයක් කාටවත් අයිති බුද්ධිමය දේපලක් වෙන්න බෑ. මොකද එහෙම ඒවා මේ ලෝකේ කාටවත් තියෙන්න විදිහක් නෑ.. ඒක තියෙන පුලුවන් ලෝකය මැව්ව කියන දෙවියන් වහන්සේට විතරයි. මිනිහෙකුගේ බුද්ධිය කියන්නේ එයා තනිව නිර්මාණය කරගත්ත දෙයක් නෙවෙයි. ඒක සාමුහික ශ්‍රමයක්."

      ඔහු කියන මේ කරුණත් නිවැරදියි.

      "ඔය බුද්ධිමය දේපොල අයිතිය වගේ ඒවා තියෙන්නේ ... නිර්මාණයක මුල්‍යමය අගය, ලාබය පදනම් කරගෙන"

      නමුත්, මේ කරුණ නිවැරදි වෙන්නේ ධනවාදය අනුව. ඒ නිසා, ලාබය ප්‍රතික්ෂේප කරන, පුද්ගලික දේපොළ අයිතිය පිළි නොගන්නා (මට පෙනෙන ආකාරයට- මම මේ නම ඇහුවෙත් අදයි) සුභාෂ් ජයවර්ධන වැනි කෙනෙකු බුද්ධිමය දේපොළ අයිතිය පිළි නොගැනීම ඉතාම තර්කානුකූලයි. මම ඔහු සමඟ එකඟ වෙන්නේ මේ කරුණ සම්බන්ධව මිසක් බුද්ධිමය දේපොළ අයිතියක් තිබිය යුතු නැහැ කියන එක සම්බන්ධව නෙමෙයි. බුද්ධිමය දේපොළ අයිතිය පිළිගන්නා කෙනෙක්නම් පළමුව නිදහස් ගනුදෙනුවකදී ලාබ එකතු කර ගැනීමේ හා එමගින් ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමේ අයිතිය පිළිගන්න වෙනවා.

      //එතන මගේ අදහස කියන දෙය පාඨකයාට යාම. එකොනොමට්ස් වගේ එක මම හොයන්නේ නැහැ.//

      මම හොයන්නෙත් නැහැ. සමහර වෙලාවට වෙනත් අය මගේ අවධානයට ලක් කරනවා. සමහර වෙලාවට මම ලියපු දේවල් වෙනත් අයගේ නම් වලින් මගේම වත්පොතේ ශෙයා වී තිබෙනු හමු වී තිබෙනවා. කොහොම වුනත් මෙය සංවාදයේ හරයට අදාළ නැති අවශේෂ කරුණක්.

      //කම්කරුවා නිර්මාණයක් නෙමේ කරන්නේ.//

      මේක තමයි අජිත් වගේ අයගේ "හොරය". අජිත් හා අජිත් වැනි අදහස් දරන තවත් බොහෝ අය මාක්ස්වාදයේ පදනම කඩා වැටී තිබෙන බව වහගන්න ගහන මුක්කුවක් තමයි මේ කතාව. ලේඛකයෙක් විසින් ලියන පොතක හා සමාගමකින් වෙළඳපොළට දමන කොකා කෝලා බෝතලයක තිබෙන මූලධාර්මික වෙනස කුමක්ද? දෙකම ශ්‍රමය හා තවත් දේ යොදවා කරන නිෂ්පාදන. ශ්‍රමයේ ස්වභාවය පමණයි වෙනස්. ධනවාදය අනුව බැලුවොත් මේ දෙකේම වටිනාකම් තීරණය වෙන්නේ අදාළ නිෂ්පාදන පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ තක්සේරු මත. මාක්ස්වාදී පදනමකින් බැලුවොත් යෙදවූ ශ්‍රමය මත. ඔය පිළිතුරු දෙකෙන් එකක් මිසක් අතරමැද පිළිතුරක් තියෙන්න විදිහක් නැහැ.

      ධනවාදී පදනමකින් බැලුවහම මාක්ස්වාදී ආර්ථික විද්‍යාව කියා කියන්නේම අනුන්ට අයිති දෙයක් බලහත්කාරයෙන් පැහැර ගැනීම සඳහා සපයන දාර්ශනික පදනමක්. ඒ දාර්ශනික පදනම පිළිගත්තට පස්සේ නිර්මාණ කියා ලේබල් කරන එක නිෂ්පාදන වර්ගයකට පමණක් වෙනම රීතියක් බලපාන්න විශේෂ හේතුවක් නැහැ. කෙනෙකුට ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමට හා එම ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලබන්න තිබෙන අයිතියේත්, ලේඛකයෙකුට තමන් ලියූ දේ වෙනුවෙන් ප්‍රතිලාභ ලබන්න තිබෙන අයිතියේත් සංකල්පීය වෙනසක් නැහැ.

      Delete
    3. //මට සාපේක්ෂව අජිත් කියන්නේ මතවාදී ලෙස දෙලොවක් අතර අතර මං වූ කෙනෙක්.//මම හිතන්නේ මේක වර්තමානයේ හුඟක් දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් විය හැකියි. එකොනෝ මැට්ට ඇතුව. ඇමෙරිකාවේ සිටි නිසා ට්‍රම්ප් සාධාරණිය කරන බවක් දක්නට ලැබුනේ එනිසයි කියා මට හිතුන පහුගිය ලිපිවල. අපට දෘස්ටිවාදිමය ප්‍රශ්නයක් තිබෙන බව ඇත්ත. නමුත් දෙලොවක් අතර නොවේ.
      // අජිත්ගේ සමාජවාදය පිළිබඳ දැඩි භක්තිය බාධා කරනවා// මේක නම් වැරදියි. එහෙම එකක් නැහැ. කවදාවත් තිබ්බේ නැහැ කියන්න බැහැ. යනකාලේ තිබ්බ වෙන්න ඇති. ඒ නිසානේ ගියේ. නමුත් ගියාට පස්සේ නැති වුනා. ධනවාදයේ හොඳයි කියන දේවල් එකතු කර ගන්නවා නෙමේ වැරදි වැටහීමක්. ධනවාදය හොඳයි. ඒක තමා වැඩවසම් රදල සමාජයෙන් පස්සේ ආපු ප්‍රගති ශීලිම සමාජය. මම පිලි ගන්නේ ඉන්පසු කොමියුනිස්ට් වාදය එනවා කියලා. ධනවාදයේහොඳ හා නරක කෑලි කොමියුනිස්ට් වාදයේ ඉතුරු වෙනවා. එකොනොමට් ඕක අහල නැතිව ඇති එහෙනම්. දැනට ඇති ධනවාදයේ සමහර රටවල රදලවැඩවසම් යුගයේ නෂ්ටාවශේස ඉතිරි වෙනවා. බ්‍රිතාන්‍ය වගේ. .
      //අජිත්ට සාපේක්ෂව සුභාෂ් ජයවර්ධන නිරවුල් මතයක ඉන්නවා// මෙතැන් ප්‍රශ්නය ඔය දෙන්නම හරි ඉන්න සමාජය වෙනස් නම්. සුභාෂ් ගේ මතය නිවැරදි වෙන්නේ ඔහු කොමියුනිස්ට් සමාජයක හිටියනම් . අන්ධභූත ලංකාවේ නෙමෙයි . (සුභාෂ් කියන්නේ සත්හඬ පුවත්පතේ හිටි මාධ්‍යවේදියෙක්. දැන් මොන පත්තරේද දන්නේ නැහැ., ඔහු හොඳසුන්දර මනුෂ්‍යයෙක්. නමුත් ඒක මෙතනට අදාළ නැහැ)
      //මේක තමයි අජිත් වගේ අයගේ "හොරය". අජිත් හා අජිත් වැනි අදහස් දරන තවත් බොහෝ අය මාක්ස්වාදයේ පදනම කඩා වැටී තිබෙන බව වහගන්න ගහන මුක්කුවක් තමයි මේ කතාව.// නැහැ මේක හොරයක් නෙමේ. හොරය කරන්නේ එකොනොමට්ට මෙතැනදී රකින අය. සහ තමන්ගේ මාක්ස්වාදී දැක්ම හෝ මොකක් හරි නිසා ඒකට අහුවෙලා ඉන්න සුභාෂ් වගේ අය. මේක සුබෂ්ම පිලි ගන්නවා ඔහුගේ දෙවැනි පිළිතුරේ.
      /මං ලියපු ඇඳපු දේවල් වලට මං අයිතිවාසිකම් කියන එක හිරිකිත වැඩක් විදිහට මට දැනෙන දෙයක්..ඒ හිරිකිත වැඩේ මං කරලත් තියෙනවා. ලිපියක් ලියල නම දාන එක චිත්‍රයක් ඇඳලා නම දාන එක..ඊයා...එහෙම නැතිව හෝ ඇතිව මං කරපු වැඩ වෙන අය අයිතිකරගෙනත් තියෙනවා.ඒවා පාවිච්චි කරලා වෙන ලාභ ,මුදල්, රස්සාවල්, තනතුරු ගත්තු අයත් ඉන්නවා...// ඔන්න ඔතන තමයි මට තියෙන ප්‍රශ්නය. දිග වැඩිවෙන නිසා ඊළඟ ප්‍රතිචාරයට යනවා.

      Delete
    4. දෙවන කොටස මම ජිජැක් ගෙන් ගන්නම් එකොන් මතක් කරලා තියෙන නිසා. ලංකාවේ මුල් කාලයේ සමාජවාදී පක්ෂ දෙකේම අය ජිජක්ව විවේචනය කළා. එකොන් හෝ අරුණි වගේ අයත් කොහොමත් විවේචනය කරනවනේ. ගොඩක් අයගේ ප්‍රශ්නය ජිජක් සල්ලි හොයන එක ඔහුගේ පොත් වලින්. මොකද සමාජවාදී නම් එහෙම වෙන්න බැහැනේ.ගෝර්කිගේ පොතක් අජිත් ධර්මා නමින් පළ කලොත් විකිනෙන එකක් නැහැ. පරිවර්තනය කරලා ගෝර්කිගේ නමින් විකුනන්න ඕනේ. මම මුල ඉඳන්ම කියන්නේ ධනවාදී සමාජයේ ජිවත් වන ජිජැක් හරි.දේශනා ටිකට් එක පවුම් 15-50 දක්වා විකුණන පොත් විකිනෙන ඔහු මිලියනර් ර් කෙනෙක් කියල ස්වීඩන් වල සමාජවාදී මල්ලි කෙනක් දිගින් දිගට මගේ මෙසේන්ජර් එකට ඇවිත් විවේචනය කළා . ඔහුට තේරුනේ නැත්තේ මම ඒකට පක්ෂ බව. සමාජවාදී අය ලංකාවේ අයට සමාජවාදී විධිහට ජිවත් වෙන්න කියන ගමන් පිටරවල තියෙන සෑම සැප සම්පතක්ම භාවිතා කරන එකට මම විරුද්ධයි. මම සුභාශ්ට කියන්නේ ඔය හොරුන්ට තක්කඩින්ට අහුවෙන්න එපා කියල.
      //මටත් මන් ලියන කරන දෙයකට කීයක් හම්බු වෙන්නෙ ඒ නිසා..නැත්නම් බඩ ගින්නෙ මැරෙන්න වෙන්නේ// සුභාෂ් කියනවා නේ මෙහෙම. මම කියන්නේ උඹ මචන් ජිවත් වෙන්නේ ධනවාදී සමාජයක. උඹ උඹේ නිර්මාණයට මිලක් නියම කලේ නැත්නම් වවුල්ලු ඇවිත් ඒවා හූරගෙන කාල පෝසත් වෙනවා. සුභාෂ් ට ළමයට කන්න දෙන්න සල්ලි නැහැ. මම කියන්නේ එතනට් යන්න එපා කියල. එකොනොමට්ට කියන්නේ සමාජවදී සමාජයක ඒක හරි නිසා සුභාෂ් කියන දේ හරිය සන්ගතය කියල., සුභාෂ් ඉන්නේ එහම් සමාජයක නෙමේ. ඊට වැඩිය කුණු වෙච්ච සමාජයක්. ඒකයි ප්‍රශ්නය.
      //මාක්ස්වාදී ආර්ථික විද්‍යාව කියා කියන්නේම අනුන්ට අයිති දෙයක් බලහත්කාරයෙන් පැහැර ගැනීම// මේක අමුම අමු බොරුවක්. ඔය සරදියෙල් ගේ කතාව ලංකාවේ පිස්සු මාක්ස්වාදීන් කියන කතාවක් වෙන්න ඇති . මාක්ස් සහ බ්‍රිතාන්‍ය සමාජවාදීන් කියන්නේ කම්කරුවාගේ හෝ (කාගේ හෝ) ශ්‍රමය අයිති ඒ ඒ තැනැත්තාට. විකුණන විධිහ ධනවාදයේ සහ කොමියුනිට් වාදයේ වෙනස්. එකොනොමට්ට ගේ ශ්‍රමය අයිති ඔබට මිසක් ඔබ වැඩ කරන විශ්ව විද්‍යාලයට නොවේ. මගේ ශ්‍රමය අයිති මට. ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියන අයිතිය තියෙන්නෙත් මට. ඒකෙන් නිර්මාණය කරපු පොත හෝ වෙනත් කළා නිර්මාණයක් මේ ධනවාදී සමාජයේදී අයිති මට. ප්‍රකාශකට හෝ වෙන තක්කඩියෙකුට නෙමේ ඒකයි මම සුභාෂ්ට කිවේ පෞද්ගලිකව එහෙම කරන්න. ළමයින්ට කන්න නොදී ඉන්න එහෙම කරලා. ඊට පස්සේ සුනිල් මාධව ප්‍රේමතිලක ක් වගේ අඬන්න පත්තර පිටුවල මට කැමරාවක් අරන් දෙන්න කෙනක් නැහැ කියල . ඒ අතර ඩලස් අලහප්පෙරුම (එයාල එක්ක හිටිය) හා විමල් විරවංශ ලොකු කාර් වල යනකොට තරහ ගන්න . මොකද සුනිල්ල ලියපුව පාව්චි කලේ අන්න ඒ වගේ අමු තක්කඩි. බ්‍රිතාන්‍ය වගේ රටවල් මිනිසුන්වෙනුවෙන් නිර්මාණ කරන බන්ක්සි වගේ අය ඉන්නව. ඒවා විකිනෙන කොට ඔහු ඒවායින් තමන්ගේ චැරිටි වැඩ කරනවා, නමුත් ඔහුගේ පොත් විකුණා ලබන මුදල් ඔහු ගන්නවා . ඒවා ලෝකයට අයිය කියා කියන්නේ නැහැ. ඔහුගේ සමහර කළා නිර්මාණ කාටවත් අයිති වෙන්නේ නොදී විනාශ කරනවා සල්ලි වලට ගත්තොත් . නිර්නාමිකව ජිවත් වෙනවා. ඒ එක විධිහක් .සුභාෂ් හා එකොනොමට්ට දෙන්නම පටල ගෙන තමන් සිටින වාස්තවික තත්වයන් .

      Delete
    5. හොඳ පිලිතුරක්. මට පේන්නම බැරි දෙයක් තමා, ඔය දෙලොවක් අතර කතාව. දෙලොවක් අතර තමා- ඇයි අවුල්ද?

      Delete
  6. //මම හිතන්නේ මේක වර්තමානයේ හුඟක් දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් විය හැකියි. එකොනෝ මැට්ට ඇතුව.//

    සාධාරණ වශයෙන් (generally) ගත්තහම මේ ප්‍රකාශයට විරුද්ධ නැහැ. ඇතැම් දේවල් හා අදාළව මම ඉන්නෙත් දෙලොවක් අතර තමයි. විශේෂයෙන්ම සංක්‍රමණිකයින් මුහුණ දෙන පොදු ප්‍රශ්න වැනි දේවල් හා අදාළව. නමුත්, පෞද්ගලික දේපොළ අයිතිය, ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබීමේ අයිතිය වැනි කාරණා වලදී මම ඉන්නේ පැහැදිලි නිශ්චිත තැනක.

    //ධනවාදය හොඳයි. ඒක තමා වැඩවසම් රදල සමාජයෙන් පස්සේ ආපු ප්‍රගති ශීලිම සමාජය.//
    මේක කෙළින්ම මේ විදිහට ප්‍රකාශ කිරීම පහසුවක්. අජිත් එහෙම හිතනවානම් ඊළඟට කළ යුත්තේ (මගේ මිත්‍රශීලී යෝජනාවක් පමණයි) ධනවාදයේ මූලධර්ම අනුව ලෝකය දකින්න පුරුදු වෙන එක. මම මෙය අජිත්ට විශේෂයෙන්ම කියන්නේ මම දැන් ඉන්න තැනට ආවේත් අජිත් දැන් ඉන්න තැන ඉඳලා නිසා. ඊට පෙර මටත් ඔය දෙලොවක් අතර ප්‍රශ්නය තිබුණා (මේ කාරණය හා අදාළව). නමුත් මට වඩා කාලයක් සමාජවාදය එක්ක ජීවත් වූ හා මට වඩා සමාජවාදය හදාරා තිබෙන අජිත්ට ඒ පියවර මට වඩා අමාරු වෙයි. මම වැරදි වෙන්න පුළුවන් වුනත්, මට හිතෙන හැටියට අජිත් තවමත් ධනවාදය දකින්නේ සමාජවාදී න්‍යායික රාමුවක් ඇතුළේ ඉඳලා. හොඳම එකට පසුව තිබෙන දෙවෙනියට හොඳම එක වගේ අදහසකින්.

    //මම පිලි ගන්නේ ඉන්පසු කොමියුනිස්ට් වාදය එනවා කියලා. ධනවාදයේහොඳ හා නරක කෑලි කොමියුනිස්ට් වාදයේ ඉතුරු වෙනවා. එකොනොමට් ඕක අහල නැතිව ඇති එහෙනම්.//
    අජිත් පිළිගන්න කොමියුනිස්ට් වාදය මොන වගේ එකක්ද, අජිත්ට අනුව ධනවාදයේ සිට එම කොමියුනිස්ට්වාදයට මාරුවෙන යාන්ත්‍රනය කුමක්ද කියන එක නොදැන නිශ්චිත පිළිතුරක් දෙන්න බැහැ.

    //සුභාෂ් ගේ මතය නිවැරදි වෙන්නේ ඔහු කොමියුනිස්ට් සමාජයක හිටියනම් . අන්ධභූත ලංකාවේ නෙමෙයි . //
    එකඟ නැහැ. ලංකාවේ ඉන්න සමාජවාදීන් පෙනී සිටින අනෙක් බොහෝ දේවල් නිවැරදිනම් මේක විතරක් වැරදි වෙන්න විශේෂ හේතුවක් නැහැ. ලංකාවට අදාළව වුනත් සමාජවාදී පැකේජ් එකේම ප්‍රශ්නයක් මෙතැන තිබෙන්නේ.

    //හොරය කරන්නේ එකොනොමට්ට මෙතැනදී රකින අය.//
    නිශ්චිතව කිවුවොත් පිළිතුරක් දෙන්න පුළුවන්.

    //එකොන් හෝ අරුණි වගේ අයත් කොහොමත් විවේචනය කරනවනේ. ගොඩක් අයගේ ප්‍රශ්නය ජිජක් සල්ලි හොයන එක ඔහුගේ පොත් වලින්. මොකද සමාජවාදී නම් එහෙම වෙන්න බැහැනේ.//

    මම විවේචනය කරලා නැහැ. සමාජවාදියෙක් වුවත් පොත් විකුණලා සල්ලි හොයන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ජිජැක් පොත් විකුණා එකතු කර ගන්න ප්‍රාග්ධනය ඉතාම සාධාරණයි. ඔහු කාටවත් බලෙන් පොත් විකුණන්නේ නැහැනේ. ඊට සාපේක්ෂව සෝවියට් දේශය ලංකාව වගේ රටවල අඩු මිලට පොත් විකුණපු එකයි වැරදියි. [පෞද්ගලිකව මට එයින් වාසියක් වීම නිසා පුද්ගලයෙක් විදිහට මම එයට කැමතියි. නමුත් එය සෝවියට් දේශයේ ශ්‍රමිකයින්ට කරපු අසාධාරණයක්.]

    //දේශනා ටිකට් එක පවුම් 15-50 දක්වා විකුණන පොත් විකිනෙන ඔහු මිලියනර් ර් කෙනෙක් කියල ස්වීඩන් වල සමාජවාදී මල්ලි කෙනක් දිගින් දිගට මගේ මෙසේන්ජර් එකට ඇවිත් විවේචනය කළා . ඔහුට තේරුනේ නැත්තේ මම ඒකට පක්ෂ බව.//

    ඉතා පැහැදිලිවම මම එයට පක්ෂයි.

    ReplyDelete
  7. //සමාජවාදී අය ලංකාවේ අයට සමාජවාදී විධිහට ජිවත් වෙන්න කියන ගමන් පිටරවල තියෙන සෑම සැප සම්පතක්ම භාවිතා කරන එකට මම විරුද්ධයි.//

    මම මිනිස්සුන්ගේ වැරදි දකිනවාට වඩා මිනිස්සු මේ වගේ හැසිරෙන්නේ ඇයි කියන එක න්‍යායිකව විග්‍රහ කරගන්න කැමති කෙනෙක්. මේ සම්බන්ධ මගේ විග්‍රහය කලක සිටම බ්ලොග් පෝස්ට් එකක් සේ ලියන්න සිතා සිටි, තවමත් ඉඩක් නොලැබුණු එකක්. අවස්ථාවක් ලැබුණු විට ලියන්නම්.

    //සුභාෂ් ඉන්නේ එහම් සමාජයක නෙමේ. ඊට වැඩිය කුණු වෙච්ච සමාජයක්. ඒකයි ප්‍රශ්නය.//

    යාලුවෙකුට දෙන පෞද්ගලික අවවාදයක් විදිහට එහෙම කියන එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත්, මේ කියන සුභාෂ් තමන්ගේ සමාජවාදී රාමුව කරේ තියාගෙන යන ගමන් ළමයින්ට කන්න දෙන්න සල්ලි නැති වෙන එක ගැන හිතලා තමන්ගේ අදහස වෙනස් කර ගන්නවා කියන්නේ ඔහුට හැමදාම වරදකාරී හැඟීමක් එක්ක ජීවත් වෙන්න වෙනවා කියන එකයි. ඔය වරදකාරී හැඟීමයි අයින් කළ යුත්තේ. ඒක එන්නේ සමාජවාදී පැකේජ් එකත් එක්ක.

    //මේක අමුම අමු බොරුවක්. ඔය සරදියෙල් ගේ කතාව ලංකාවේ පිස්සු මාක්ස්වාදීන් කියන කතාවක් වෙන්න ඇති///

    සමහර අය සරදියෙල් කතාව වචනයේ අර්ථයෙන්ම අදහස් කරනවා ඇති. නමුත්, මෙයින් ගොඩක් අය අදහස් කරන්නේ සංකීර්ණ කරුණක්. එහෙම නැතුව තුවක්කු පෙන්වා ධනවතුන්ගේ සල්ලි අරගෙන දුප්පතුන්ට බෙදන එක නෙමෙයි.

    //මාක්ස් සහ බ්‍රිතාන්‍ය සමාජවාදීන් කියන්නේ කම්කරුවාගේ හෝ (කාගේ හෝ) ශ්‍රමය අයිති ඒ ඒ තැනැත්තාට. විකුණන විධිහ ධනවාදයේ සහ කොමියුනිට් වාදයේ වෙනස්. එකොනොමට්ට ගේ ශ්‍රමය අයිති ඔබට මිසක් ඔබ වැඩ කරන විශ්ව විද්‍යාලයට නොවේ. මගේ ශ්‍රමය අයිති මට. ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියන අයිතිය තියෙන්නෙත් මට. //

    ශ්‍රමයේ පෞද්ගලික අයිතිය කොහොමටත් ධනවාදයේදී වගේම සමාජවාදයේදීත් පිළිගන්නවනේ. ඒ සම්බන්ධ කිසිදු විවාදයක් නැහැ. සමාජවාදයේ වෙනස වන්නේ ශ්‍රමයේ පෞද්ගලික අයිතිය පිළිගත්තත් ප්‍රාග්ධනයේ පෞද්ගලික අයිතිය පිළි නොගැනීමයි. ඒ නිසා ප්‍රාග්ධනය එක්රැස් කරන්න තිබෙන අවස්ථාවන් වගේම ශ්‍රමයේ නියම වටිනාකම ලබා ගන්න තිබෙන විකල්ප අවස්ථාවන්ද මිනිස්සුන්ට අහිමි වෙනවා. මිනිස්සුන්ට තමන්ගේ ශ්‍රමයේ වටිනාකම වහාම පරිභෝජනය කරලා ඉවර කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. මොකද ඉතුරු කරන්න අවස්ථාවක් නැහැ. ප්‍රාග්ධනයේ පරම හිමිකරු වන රජයට සම්බන්ධ හා රජය වටා ඉන්න ගජ මිතුරෝ ටික දෙනෙක් පමණක් අන්තිමට ප්‍රතිලාභ ලබනවා. ශ්‍රමයේ ප්‍රතිලාභ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ අතර තිබෙන සහසම්බන්ධය නිසා අවසාන වශයෙන් ශ්‍රමිකයින්ට ශ්‍රමයේ ප්‍රතිලාභත් හරියට ලැබෙන්නේ නැහැ. රජය විසින් බලහත්කාරයෙන් එකතු කර ගන්නා අතිරික්තයෙන් කොටසක් සුබසාධනය හරහා කිසියම් පිරිසකට ලැබෙනවා. බලහත්කාරයෙන් කියන එක ඕනෑනම් ප්‍රාග්ධනයේ අයිතිය පිළිබඳව බලහත්කාරයෙන් රාජ්‍ය ඒකාධිකාරයක් පවත්වා ගැනීම හරහා කියා කියමු. රාජ්‍ය බලහත්කාරය ක්‍රියාත්මක වන ආකාරය සෝවියට් දේශය, චීනය, ලංකාව වගේ රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. කොයි විදිහට වුනත් අවසාන වශයෙන් වෙන්නේ බොහෝ දෙනෙකුට රාජ්‍ය ඒකාධිකාරයක් නැති වාතාවරණයක් යටතේ තමන්ට හිමි කර ගත හැකිව තිබුණු දෙයක් අහිමි වෙන එක. සරදියෙල් උපමාවෙන් අදහස් කෙරෙන්නේ මේ නැති වන කොටසයි.

    ReplyDelete
    Replies
    1. ඒ බ්ලොග් ලිපිය ලියන්න. හොඳ අදහසක්. මම ආර්ථික විද්‍යාව දුර දිගට ඉගෙනගත් කෙනෙක් නෙමේ. ඕලෙවල් වලට කරාට පස්සේ. නිවාඩු වෙලාවට කියවන්න කැමති භෞතික විද්‍යාව හෝ තාරකා විද්‍යාව ගැන පොත් . හැබැයි මම ප්‍රාග්ධනය කියෙව්වා. මම එකොන් ගේ බ්ලොගයට කැමති මට හොයන්න වෙලාවක් නැති දේ ලියන නිසා. මම දැනගත්ත එක දෙයක් තමයි කණගාටුවට වගේ ලංකාවේ කෑ ගහන ගොඩක් සමාජවාදීන් ප්‍රාග්ධනය වත් කොමියුනිස්ට්ප්‍ රකාශනය වත් කියවලා නැති බව. ඔය ලියන පුවත්පත් කලාවේදීන් සහ තවත් ලියන අයට දැන් ප්‍රශ්නයක් තිබෙනවා. මේ බ්ලොග් සහ ෆේස්බුක් ආදිය නිසා මුදල් නොගෙන ආසාවට ලියන අය වැඩිවෙලා. ඒ කියන්නේ නිර්මාණ අයිතිය නැතිව බෙදා හදා ගන්න එක. සමාජවාදයේදී එන්න තියෙන දේ දැන් ධනවාදය තුල නිකම්ම ඇවිල්ල. කට්ටිය එකෙන්ම කොන්ෆියුස්. එකොන් මේ කතාව දන්නවද දන්නේ නැහැ. අපේ දර්ශනවාදය උගන්වපු ගුරුතුමා කීව දෙයක්. "ලෙනින් අන්තිම කාලේදී තනි රටක සමාජවාදය පිහිටුවන්න බැහැ" කියල පිළිගත් බව. එයා බලය ඇල්ලුවේ කෙරෙන්ස්කි ට කරන්න බැරි බව තේරුණා නිසා කියල. නව ආර්ථික පිළිවෙත (නෙප් ) හරහා ආපහු සුළු ධනේෂ්වර (සිමිත පෞද්ගලික අයිතිය සහිත ) ක්‍රමයකට යන්න ලෙනින් ප්ලෑන් කරපු එක නැවත්තුවේ ස්ටාලින් කියල. ස්ටාලින් ලෙනින් සහ කෘප්ස්කයා නිවාස අඩස්සියේ වගේ තියන් හිටිය කියල දන්නවනේ. ස්ටාලින් එහෙම කලේ ඇයි කියන එක මට පස්සෙයි තේරුනේ. අපි ඉගෙනගත් දයලේක්තික භෞතික වාදයේ කොටසක් ස්ටාලින් ගේ. ජිජැක් හේගල් ගෙන් පටන් ගත්තෙත් ඒකයි මම හිතන්නේ.
      සමාජවාදයක් හෝ කොමියුනිස්ට් වාදයක් නැති තැනක සමාජවාදී පොදු දේපල ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒක විහිළුවක්. අපි බොහෝ අයට තියෙන්නේ සෝවියට් දේශය සමග සෞන්දර්යාත්මක හෝ වෙනත් සාමාජිය බැඳීමක්. මම දුප්පත් කොල්ලෙක් වශයෙන් සෝවියට් දේශයට ට ගිහින් අත්දැකීම් වලින් පොහොසත් මේරුණු මිනිසකු වශයෙන් එලියට ආව . ඒක අපට කවදාවත් අමතක වෙන්නේ නැති දෙයක්. නමුත් ඒ ක්‍රමය පවත්වා ගෙන යන්න අමාරු බව අපට එහි හිටිද්දීම තේරුනා. නමුත් ගිරව් වගේ අපට උගන්නපු ගුරුවරුන් සහ අනිත් අය අපි වගේ අවංකව ඇත්ත කියන උන් කියන දේට වඩා විශ්වාස කලේ ඔවුන්ට ප්‍රසංශා කරන අයට. මම හිතන්නේ පසන් කොඩිකාර වගේ අයටත් ඔය ප්‍රශ්නයම තිබුනා රුසියාවේදී. තද කොමියුනිස්ට් වාදියෙක් වෙලා හිටි චන්ද්‍රගුප්ත තේනුවර අද ඉන්න තැන බලන්නකෝ. ස්තූතියි හොඳ සංවාදයක් හැදුවට.

      Delete
    2. //ඔය ලියන පුවත්පත් කලාවේදීන් සහ තවත් ලියන අයට දැන් ප්‍රශ්නයක් තිබෙනවා. මේ බ්ලොග් සහ ෆේස්බුක් ආදිය නිසා මුදල් නොගෙන ආසාවට ලියන අය වැඩිවෙලා. ඒ කියන්නේ නිර්මාණ අයිතිය නැතිව බෙදා හදා ගන්න එක. සමාජවාදයේදී එන්න තියෙන දේ දැන් ධනවාදය තුල නිකම්ම ඇවිල්ල.//

      වැදගත්ම කොටස මේ ටික. අජිත්ගේ අපේක්ෂාව වන සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය තුළ තිබෙන ධනවාදයේ නැති දේවල් මොනවාද කියලා මම ඇහුවේ ඒකයි. ඒ දේවල් ලැයිස්තුගත කළොත් ධනවාදය ඇතුළේ ඒ දේවල් ස්වභාවිකවම එන්නේ කොහොමද කියන එක මට පැහැදිලි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමාජයේ හැම කෙනෙක්ගේම මූලික අවශ්‍යතා (ආහාර, ඇඳුම්, නිවාස වැනි දේ) බාධාවක් නැතිව ලැබීම, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය වගේ දේවල් ධනවාදය ඇතුළේ ස්වභාවික සමතුලිතතාවයක් විදිහට ලැබෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වෙන්නේ කොහොමද කියන එක විස්තර කරන්න පොතක් හෝ පොත් කිහිපයක් ලියන්න වෙනවා. ඒ වගේ එකක් සිංහලෙන් පමණක් ලියලා වැඩක් නැහැ. ඒ සඳහා පෞද්ගලික දේපොළ ක්‍රමය අහෝසි වෙන්න හෝ විප්ලව කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මම කියන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ලැබෙන දේවල් ගැනත් නෙමෙයි. ඒ දේවල් තාවකාලිකයි. දේශපාලන වෙනස්කම් එක්ක ඕනෑම වෙලාවක ආපසු හැරෙවෙන්න පුළුවන්. ස්ථිර වෙනසක් වෙන්නනම් වෙළඳපොළ යාන්ත්‍රනය තව දියුණු වෙන්න ඕනෑ. එයට සමාන්තරව නිෂ්පාදන ක්‍රමවේද දියුණු වෙන්න ඕනෑ. පවතින තත්ත්වය වෙනස් නොවන ස්වභාවික සමතුලිතතාවයක් වෙන්න ඕනෑ. හදිසියෙන් වෙන දෙයක් නෙමෙයි. දැන් පවතින ආර්ථික දේශපාලන ව්‍යුහයන් එලෙසම තිබුණොත් මේ දේවල් මුලින්ම විය යුත්තේ ඇමරිකාවේ. නමුත්, ඇමරිකාවේ වුනත් ධනවාදී වෙළඳපොල යාන්ත්‍රනය තව දියුණු විය යුතුයි. සමාජවාදී ඉලක්ක කොහොම වුනත් කොමියුනිස්ට්වාදී ඉලක්කනම් ගොඩක්ම දුරස්ථයි. (මම කියන්නේ සමාජවාදී ඉලක්ක හා කොමියුනිස්ට්වාදී ඉලක්ක ගැන මිසක් සමාජවාදය හා කොමියුනිස්ට්වාදය ගැන නෙමෙයි.) මොකද දැන් තිබෙන ජාතිකවාදී ප්‍රවණතා එක්ක ලෝකයටම පොදු තනි සමතුලිතතාවයක් ඉක්මණින් හැදෙන්නේ නැහැ. නමුත්, ජාතිකවාදී ප්‍රවණතා එක්ක වුනත් වෙනත් ආකාරයකින් එය අන්තිමට සිදු විය යුතුයි. ජාත්‍යන්තරවාදී මාර්ගයේ ගියොත් දිගුකාලීනව ජාතීන් නැති වෙලා තනි මිනිස් ජාතියක් හැදෙයි. ජාතිකවාදී මාර්ගයේ ගියොත් අකාර්යක්ෂම ජාතීන් එකින් එක විනාශ වෙලා ගිහින් වඩාත්ම කාර්යක්ෂම එක් ජාතියක් පමණක් ඉතුරු වෙයි.

      පුවත්පත් කලාවේදීන් සහ තවත් මුදලට ලියන අය ගැන කියන්න තියෙන්නේ පෞද්ගලිකව ඔවුන් ගැන කණගාටුයි. චීන ආනයන එන කොට ඇමරිකාවේ නිෂ්පාදකයාට වෙන්නෙත්, හාල් ආනයනය කළාම ලංකාවේ වී ගොවියාට වෙන්නේත් ඔය ටිකම තමයි. නමුත්, මේ තමයි ධනවාදයේ ස්වරූපය. ධනවාදය ස්වභාවයෙන්ම විනාශකාරීයි. හැම මොහොතකම අකාර්යක්ෂමතාවය මරාගෙන කාර්යක්ෂමතාවය උඩට එනවා. එවිට අකාර්යක්ෂම ශ්‍රමිකයින්ට පෞද්ගලිකව ප්‍රශ්නයක් වෙනවා. අකාර්යක්ෂමතාවය කියන එක සාපේක්ෂ නිසා යම් මොහොතක කාර්යක්ෂම කෙනෙක් කලක් යද්දී අකාර්යක්ෂම වෙන්න පුළුවන්. මේක ස්වභාවික සමාජ පරිණාමය තුළ සිදුවන, සිදු විය යුතු දෙයක්. මේ දේ වෙන්නේ නැත්නම් ලෝකය දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා, තනි පුද්ගලයින්ට හෝ කණ්ඩායම් අනුකම්පා කරන්න යාමේදී සමාජ ප්‍රගතියට බාධා කරන්න වෙනවා. බටහිර රටවල ධනවාදය තුළ අසාර්ථක වන අයට උපකාර කිරීම හා කාර්යක්ෂමතාවය පවත්වා ගෙන යාම අතර සමතුලනය පවත්වාගෙන යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විසින්. ඇමරිකාව ගත්තොත් රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ අතර වරින් වර බලය මාරු වීම කියන්නේ මේ සමතුලනය සිදු වන ආකාරයයි.

      Delete
    3. මේක සාධාරණ පිළිතුරක්. මම මේ කියන බොහෝ දේට එකඟයි.//අජිත්ගේ අපේක්ෂාව වන සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය තුළ තිබෙන ධනවාදයේ නැති දේවල් මොනවාද කියලා මම ඇහුවේ ඒකයි. ඒ දේවල් ලැයිස්තුගත කළොත් ධනවාදය ඇතුළේ ඒ දේවල් ස්වභාවිකවම එන්නේ කොහොමද කියන එක මට පැහැදිලි කරන්න පුළුවන්// බොහෝ දේවල් දැනට ඇතිවෙමින් යනවා. ඔය කතාව මම ස්වීඩනය හා ස්කන්දිනේවියානු රටවල් ගැන කියන්න ගිහිල්ල කෙනෙක් මට හිනා වුනා. සමාජවාදය රකින්න ගිහිල්ල දැන් ඒවා ගැන කතා කරනවා. ඒ වගේ වෙලාවට මම ව=විවාද කරන්න අකැමැතියි. ධනවාදය දියුණු වෙන්නේ වෙන්නේ අපි කොමියුනිස්ට් වාදී කියල හිත දේවල් ඉබේම ඇතිවෙනවා කියලා මතයක් සෝවියට් දේශයේ අග භාගයේදී සමහර ගුරුවරු අපට කීව . ඒ මතය මමත් පිලි ගන්නවා . ධනවාදය දැනට තියෙන ප්‍රගතිශීලි ම ක්‍රමය කියල මම කිව්වේ ඒකයි. හැබැයි මේකට පිළිතුරු ලියන්න වෙන්නේ දිග ලිපියකින්. පසුවට තබන්න වෙනවා.

      Delete
  8. හිත හිස් වුණාද- නැත්තං හිතන්නවත් බැරි තරමට කරුණු උතුරලා හිර වුණාද?

    ReplyDelete
    Replies
    1. කොටසින් කොටස කියෙව්වම හරි

      Delete
  9. ඕනම දෙයක් කොපි කරනවා. ආභාෂය ගන්නවා. ඒකයි මනුෂ්‍ය ස්වභාවය. එහෙනං හඳෙත් මාතර රතු කැකැලු බත් කඩ තියෙන්න විදියක් නෑනේ.

    ඒක නෙමෙයි අවුල. ලේඛකයෙන් ඕනම කෙනෙක්ගේ ඕනම අදහසක් ගන්න එක සාධාරණයි. සාමාන්‍යයි. නමුත් ඒක ගන්නා කෙනා ඒ ගන්න අදහස හෝ දෙය තව වඩාත් හිතල තමන්ට සුදුසු පරිදි වෙනස් කරගන්න ඕන. ඕනම කවියක, කතාවක අපි පොත් සිය ගණන් වල දැකපු එකම වචනේ තියෙනවා ඒක කොපියක් නෙමෙයි නේ. ඒත් සම්මානන්‍යි නව කතාවක් ඇතුලේ ඡේද පිටින් අනුන්ගේ පොතක ඡේද පිටින් පරිකල්පනයට යටත්ව ලිව්ව කිව්වම ඒක ඔඩ් නේද? මට නං ඔඩ්.

    මම අලහකොන් උනා නං විසික් කරනවා අර සම්මානේ.

    ReplyDelete
    Replies
    1. එයා විසි කරලා. //. ලේඛකයෙන් ඕනම කෙනෙක්ගේ ඕනම අදහසක් ගන්න එක සාධාරණයි. සාමාන්‍යයි. නමුත් ඒක ගන්නා කෙනා ඒ ගන්න අදහස හෝ දෙය තව වඩාත් හිතල තමන්ට සුදුසු පරිදි වෙනස් කරගන්න ඕන. ඕනම කවියක, කතාවක අපි පො// මුලාශ්‍ර කියල එකක් තියෙනවා දේශකය. ඒවා දාන්න ඕනේ.

      Delete
  10. යමෙකු ලියන, අඳින, නිමවන දේ අයිතිය ඇත්තේ ඒ අයටයි. අර කියා කියන්නේ විචාරය සම්බන්ධයෙන් පමණයි. නිර්මාණයත් ශ්‍රමයේ ඵලයක්. එයට වටිනාකමක් තිබිය යුතුයි. කැමති නම් නොමිලේ දීම වෙන කතාවක්.

    (Can you change the default font of your blog to Iskolapotha or something similar please? I cannot read this blog, and a few other blogs, easily and have to copy and paste into notepad or word to read properly. I will send you a screenshot).

    ReplyDelete
    Replies
    1. එකඟයි. මම බලන්නම් වෙනස් කරන්න

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .