Saturday 28 September 2024

විදුලිබල සභාපති , ගල් අඟුරු බලාගාර හා පරිසරය රැකීම


වර්තමාන AKD ආණ්ඩුව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස  ආචාර්ය තිලක් සියඹලාපිටිය පත් කරපු එකට මම ෆේස් බුක්හි  සුභ පැතුවා. මම දැක්කා විරෝධතා කිහිපයක් ඇවිත් තියෙනවා ඒකට.  එකක් මේ සභාපතිතුමා ට  "විදුලි මාෆියා" කියා බොහෝ අය කියන පෞද්ගලික කම්පනියක් තියෙනවා කියන එක .  ඒක හොයන කොට දැනගත් දෙයක් තමා  ඔහු විදුලිබල මණ්ඩලයෙන් අයින් වෙලා ඒ සමාගම පිහිට වූ බව. ශ්‍රී ලංකාව  සම්පුර්ණ සමාජවාදී රජයක් තිබ්බ රටක් නෙමේ.  ඕන කෙනෙකුට පෞද්ගලික කම්පැනියක්  පිහිටුවන්න  පුලුවන්.   නමුත් එම ආයතනයේ වැඩ කරන  ගමන් පෞද්ගලික කම්පැනි පිහිටුවනවා නම් ඒක සදාචාර විරෝධියි (unethical).   එංගලන්තයේ වුනත් ඒක කරන්න දෙන්නේ නැහැ සබ්ජෙක්ට් එක එකම නම්.  ඒක හැබැයි අපි අත්සන් කරන ගිවිසුමේ ම එහෙම සඳහන් කරලා තියෙනවා . ලකේ එහෙම නැතිව ඇති. මොකද ලංකාවේ හුඟක් ඉංජිනේරුවෝ ඒක කරනවා .  දොස්තරලා පෞද්ගලික ව බෙහෙත් දෙනවා වගේ .  මම හිතනවා නව රජය මේක හොයල බලල පත්වීම දෙන්න ඇති කියල .  
  
මම මෙතන වඩාත් කතා කරන්න හදන්නේ පරිසර වේදීන් විරෝධය දක්වනවා කියල,  අතීතයේ දී ආචාර්ය සියඹලාපිටිය ගල්  අඟුරු බලාගාරයක් පිහිටුවන්න උනන්දු කළා කියන කාරණාව සමග .  එහෙම තාප බලාගාර හදන්න එපා කියන්නේ  දේශගුණ  විපර්යාස පිළිබඳව  සැලකිල්ලට අරන්. 

මේ අය දන්නවද දන්නේ නැහැ මහා බ්‍රිතාන්‍යයේ අවසාන ගල් අඟුරු තාප විදුලි බලාගාරය වැහුවේ කොයි අවුරුද්දේද කියල?   2024 දී .  මේ අවුරුද්දේ තමා,  ගල් අඟුරු වලින් විදුලිය නිපදවපු රැට්ක්ලිෆ් වල තිබ්බ  අවසාන විදුලි බලාගාරය වැහුවේ .  එතාකොට මේ ගොල්ලෝ මේ දේශගුණ ,  කාල ගුණ විපර්යාස වලට මුහුණ දෙන්න, කාබන් ෆුට්ප්රින්ට් එක අඩු කරන්න කටයුතු කරන්න නීති සම්මත කලේ මොන අවුරුද්දේද? 2008 දී .   කාබන් ෆුට්ප්රින්ට් කියන්නේ අප කරන දේ වලින් කොපමණ  ග්‍රීන්හවුස් ගෑස් (හරිතාගාර වායු) නැත්නම් කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් වගේ වායූන් නිපදවනවද   කියන එක. මේව වැඩි  වුණාම  , හානිකර දේශගුණ / කාලගුණ විපර්යස වෙන්න පුළුවන්.  කාබන් ෆුට්ප්රින්ට් වැඩිමඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයෙක් ගේ මේ ගාන  ටොන් 16. ලෝකයේ අනිකුත් සාමාන්‍ය   අගය ටොන් 4 ක් පමණයි .  ඒ කියන්නේ වැඩියෙන්ම බලශක්තිය  පරිභෝජනය කරන රටක් වන ඇමෙරිකා  එක්සත් ජනපදය තමා ඉස්සෙල්ලම ඔය සීමා කිරීම් කරන්න ඕනේ පරිසර දූෂණය අවම කරගන්න .   කරන්නේ  නැත්තෙත් එයාලමයි . ඇමෙරිකාවට පස්සේ ඉන්නේ චීනය,  රුසියාව,  බ්‍රිතාන්‍යය ,  යුරෝපිය රටවල්   හා ජපානය. ලෝකයේ දියුණුම රටවල් .   
 
වරක් ඇමෙරිකා  එක්සත් ජනපදය ලංකාවේ සිංහරාජ වනාන්තරය  මිලට ගන්න හැදුව. මොකද  අර මම කියපු ඒ ගොල්ලන්ගේ  කාබන් ෆුට් ප්‍රින්ට් එක හෙවත් කෙටියෙන් කියනවනම් පරිසර දුෂණය අඩු කර ගන්න. ඒ කියන්නේ සිංහරාජ ය කපන්න කොටන්න  නෙමේ .  ඒකේ ඉඩම්  ප්‍රමාණය වැඩි කරල ඇමෙරිකාවට කුලියට ගන්න ඩොලර් බිලියන් ගානකට. ඒකෙන් එයාලට පෙන්වනන පුළුවන් ඒ ගොල්ලන්ගේ පරිසර දූෂණය අඩුයි කියල (කියෝටෝ ගිවිසුමට අනුව) දැන් මේකට කියන්නේ එමිෂන් ට්‍රේඩින් කියල .  ලිපියේ අන්තිමට ඒක දාන්නම් අවශ්‍ය අයට බලන්න .  

ඒ කියන්නේ  ඉතින් තමන්ගේ රටේ සශ්‍රිකත්වය එහෙම්ම තියාගන්න  පුළුවන් . 

අනිකුත් දියුණු රටවල් මොකද්ද කරන්නේ .  ඒ ගොල්ල උත්සාහ  කරනවා  අප්‍රිකාවේ හා ආසියාවේ දුප්පත් රටවල් වලින් මේ තත්වය සමනය  කර ගන්න .  ඒ රටවල ෆොසිල ඉන්ධන භාවිතාව අඩු කරන්න  කියල උපදෙස් දෙනවා .  ගල් අඟුරු බලාගාර වගේ දේ හදල බල ශක්ති අවශ්‍යතා සපුරා ගන්න යනකොට ඒවා අවහිර කිරීම වගේ දේ කරනවා. කොහොමද   කරන්නේ?  එක්කෝ ඒ රටවලට යම් ආධාර සපයල අර ඉදි කිරීම්  නැවැත්වීමට බල කරනවා  අමතර කොන්දේසි  වශයෙන් දෙන ආධාර වලට.   නැත්නම් NGO හෙවත් විදේශ ආධාර ලබන සංවිධාන පිහිටුවල ඒවාට ආධාර දීලා දේශීය ඒජන්ත ලා  මගින් විරෝධය පෑම කරනවා .  ඒක කෙලින්ම පෙනෙන දෙයක් නෙමේ. අපට පේන්නේ මේ ඒජන්තල හෙන ප්‍රගතිශීලි වගේ තම තමන් ගේ රටේ වන සම්පත රැක  ගන්න ,  බලාගාර ඉදි කිරීම් ආදියට  විරුද්ධ වෙනකොට .   එතකොට මේ දියුණු රටවල් වලට ඔවුන්ගේ බලශක්ති විභවයන් තව දුරටත් පවත්වා ගෙන යන්න පුළුවන් වෙන්නේ . 

මෙතැන දැඩි අසාධාරණයක් වෙනවා  කියල පෙනෙන්නේ නැත්ද තෙවන ලෝකයෙ රටවල  ජනතාවට?  පෞද්ගලිකව ගත්තොත් මම ජිවත් වන්නේ එංගලන්තයේ නිසා ඒක මට හොඳයි. අපට හොඳයි. පෙට්‍රල් බොන 4x4  ලොකු වාහන තියාගෙන, පැය 24 විදුලිය තියාගෙන, වායු සමීකරණ දාගෙන  ආතල් එකේ ජිවත් වෙන්න පුළුවන් .  ඒ වෙනුවට අර කොහේ හරි දුප්පත් රටක එවුන් බලාගාර මුකුත් හදන්නේ නැතිව, ලයිට් කපාගෙන, වායු සමීකරණ දාන්නේ නැතිව, ෆෑන් දාන්නේ නැතිව තම්බි ගෙන,  ඉන්න පුළුවන්  දුක් විඳගෙන. මට අවුලක් නැහැ නේද ඒක.  මම  එංගලන්තේ ඉන්නේ. නමුත් සදාචාරාත්මක වශයෙන් ඒක හරිද?       

මේක හරියට අර එංගලන්තේ ගන්න පුළුවන් සැප ඔක්කොම අරගෙන, වසරකට නිවාඩුවක් දෙකක් ගිහින් ,  ළමයින්ට උගන්වාගෙන , ලංකාවට ගිහිල්ල අත දිග ඇරලා වියදම් කරල හෙම එන ගමන් කියුබන්,  උතුරු කොරියන් පන්නයේ රටක් හදන්න කියල උපදෙස් දෙනවා වගේ. මට ඔය දෙකේම  වෙනසක් පේන්නේ නැහැ.

එතකොට ගල් අඟුරු වලින් විදුලිය උපදවන තාප බලාගාර සාමාන්‍යයෙන් අවුරුදු 30 පමණයි ජිවිත කාලය දැනට.  මේක පස්සේ වැඩිවෙයි.   ඉතා උසට චිම්නිය හැදුවහම (අපි සෝවියට් දේශයේ ඉන්න කොට අසූ ගන්න වල , ඒ කාලෙම එහෙම කළා), හා හරිතාගාර වායු අඩු කිරීමේ ක්‍රම  භාවිතා කලහම පරිසර දුෂණය අවම කර ගත්ත හැකියි.  සම්පුර්ණයෙන් නවත්වා ගන්න බැහැ.  නමුත් ව්‍යාපාර සහ ජනතාවට අවශ්‍ය විදුලියෙන් කොටසක් හරි දෙන්න පුළුවන් විදුලි හිඟය මැඩ පවත්වා ගන්න . 

දැන් කාට හරි තර්ක කරන්න පුළුවන් නැහැ අපි සූර්ය පැනල පිහිටුවනවා කියල .  මගේ ගෙදරත් තියනව ගහල .  විදුලය නිපදවල එංගලන්තේ  ග්‍රිඩ් එකටත් දෙනවා. මේ ලිපියේ තියනව ලියල .     ඩීසල් බලාගාර මාෆියාවට   මුහුණ දීම හා සමාජවාදී නිවාස . මේ ලිපිය ලීවේ අවුරුදු දහයකට කලින් .  සියඹලාපිටිය මහත්මයව මතක් කරලා  තියෙනවා ඒ ලිපියේ .  ඒ කෑල්ලත්  පහලට අමුනන්නම්. අවුරුදු දහයකට පස්සේ  ඒ මහතාම CEB සභාපති වෙලා. ඉවාන් පව්ලුෂා බ්ලොගය ලියන ප්‍රගීත් මට කීවා මොරටුවේ MSc එක කරන කොට ලංකාවේ විදුලිය බෙදා හැරීම, අනාගත උත්පාදන අවශ්‍යතා ගැන දේශන ගොඩක් කළා .  ඔක්කොම වගේ තවම මතකයි කියල . 

දැන් සූර්ය පැනල වුනත් 100% ප්‍රශ්න නැති ඒවා නෙමේ .  අපේ නිවසේ සවිකළ පැනල් ජර්මන් ඒවා .  අවුරුදු 25 ගැරන්ටි තියනව 100% ධාරිතාවට .  අවුරුදු 40 වෙනකන් භාවිතා කරන්න පුළුවන්ලු 70%-90%. ඊට පස්සේ  කොහෙද ඒවා දාන්නේ අපි .  අර ව්‍යාපාරිකයෙක් අල්ලලා නැවකට පටවල තුන්වෙනි ලෝකේ  රටකට හොරෙන්  යවනවද? චිනේ හදන ලාභ පැනල සමහරක ගැරන්ටිය අවුරුදු10. මැලේ ඒවා 15. ඒවා කොහෙද රිසයිකල් කරන්නේ . අනික තමා ලස්සන ඉඩම් වල , ගොවි බිම් වල පවා ඉවක් බවක් නැතිව සුර්ය පැනෙල් බලාගාර පිහිටුවීම .  ජර්මනියේ පරිසරයේ සුන්දරත්වය , ජෛව විවිධත්වය , වගා  බිම් රැක ගැනීම වගේ දේ සලකල මුඩු  බිම් වල විතරයි දැන් හදන්න  දෙන්නේ.   ඇයි හැම වහලකම ,  උස බිල්ඩිමකම  හදන්නේ නැත්තේ. සුර්ය පැනෙල් බලගාරත්  අවශ්‍යයි තමා .  නමුත් පරිසරයට ප්‍රශ්න ඇති වෙන එක වලක්වා ගන්න බැහ .
නමුත් ගල් අඟුරු බාල නිසා දැනට හදල අවුරුද 30 කින් අයින් කලර දාන්න පුළුවන් ඒ එනකොට න්‍යෂ්ටික  බලාගාරයක්  හා වෙනත් පුනර්ජනිය බලශක්ති ප්‍රභවයන් හඳුන්වා දෙන්න පුළුවන්.  න්‍යෂ්ටික බලාගාර වල එන බල ශක්තිය පිරිසිදුයි .  පරිසර දූෂණය අවමයි .  නමුත් අනතුරු දායක තැන් තියනව. සලකා බලන්න පුළුවන් . 
 
තමන්ට  සීමා පනවා ගන්න තරම් ශක්තිමත් රටක් නෙමේ නේ තියෙන්නේ . 

මේ සඳහා මේ දත්ත ,  බලපෑම්, පරිසරය ඔක්කොම කල්පනා කරල තමා හොඳ බලශක්ති පොලිසි එකක් හදන්න වෙන්නේ .  ඒකට හුඟක් සුදුසු අය ඉන්නව .  ඔය එක්කෙනෙක් . 

හරි ලිපියේ ප්‍රධාන  කොටස ඉවරයි.   එංගලන්තේ ගල් අඟුරු භාවිතය   පටන් ගත්තේ 1760 ගණන් වල,  වොට් ගේ වාෂ්ප එන්ජිමත් එක්ක,  කාර්මික විප්ලවයෙන් තමා  රට දියුණු කර ගත්තේ. ඒ දියුණුවට ගල් අඟුරු ලොකු සාධකයක් .  අවුරුදු  කීයක් බ්‍රිතාන්‍යය ගල් අඟුරු පාවිච්චි කලාද රට හොඳටම දියුණු වෙනකම් .  දෙසීයක්  විතර.  2013 තමා බලශක්ති ඇක්ට් එක ගෙනාවේ . 

එතකොට අවුරුදු 142 ක් ගිහින් සම්පුරණයෙන් නවත්වන්න .  තැචර් 1980 වැඩ වර්ජනය කල ගල් අඟුරු ආකාර කම්කරුවන් සේවය අත හැර ගියා  සේ සලකල අස්  කල නිසා තමා ඕක වේගවත් වුනේ .  නැත්නම් තවමත් ගල් අඟුරු පාවිච්චිය තියෙයි .   
     

 
   අර තමන්ගේ හරිත වායු වැඩේ ට කරන වෙළඳාම - එමිෂන් ට්‍රේඩින්. ඒ ගැන පහල ලිපිය.


Greenhouse gas emissions a new commodity

Parties with commitments under the Kyoto Protocol (Annex B Parties) have accepted targets for limiting or reducing emissions. These targets are expressed as levels of allowed emissions, or assigned amounts,at over the 2008-2012 commitment period. The allowed emissions are divided into assigned amount units (AAUs).

Emissions trading, as set out in Article 17 of the Kyoto Protocol, allows countries that have emission units to spare - emissions permitted them but not "used" - to sell this excess capacity to countries that are over their targets.
Thus, a new commodity was created in the form of emission reductions or removals. Since carbon dioxide is the principal greenhouse gas, people speak simply of trading in carbon. Carbon is now tracked and traded like any other commodity. This is known as the "carbon market.

- අජිත් ධර්මකීර්ති 29/09/2024

මේ තියෙන්නේ 2015 ලිපියේ ලියූ සියඹලාපිටිය මහතා සම්බන්ධ කොටසයි .  සෝවියට් දේශයේ ඉගෙන ගන්න අපට CEB පුහුණුව සඳහා උදව් කලේ ආචාර්ය නිමල් විජයින්දු මහතාය . ඔහු දැන් වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේය.
//දැන් ඉතින් මාතෘකාවට යමු.  මම  විදුලි ඉංජිනේරු උපාධිය සෝවියට් ක්‍රමයට අනුව අවසන් අවුරුදු දෙකේ ස්පෙෂලයිස් (විශේෂ?) කලේ තාප විදුලි බලාගාර සම්බන්ධවය. මා උපාධිය ලබා ගත්තේ  1991 දීය. ලංකා විදුලි බල මණ්ඩලයේ ආචාර්ය සියඹලාපිටිය මහතා ඉතාමත් කරුණාවෙන් මා හට  ත්‍රිකුණාමලයේ සෑදීමට යන ගල් අඟුරු බලාගාරයේ විස්තර ලබා දුනි. මා සැලසුම් කල මෙගාවොට් 2 x 150 බලාගාරයක් සඳහා වන තීසිසය  හා ප්‍රොජෙක්ට් එක නිම කලේ ඒ අනුවය. එහිදී විදුලි බල මණ්ඩලයේ generation planning (විදුලි බල උත්පාදන සැලසුම් අංශය ) අංශයේ සැලසුම් එතුමා පැහැදිලි කර දුන් අතර මට පෙනී ගියේ ලංකාවේ විදුලි ඉංජිනේරුවන් රටේ අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය විදුලි බලය අනාගතයේ නිපදවීම සඳහා ඉතා හොඳින් සැලසුම් කර තිබු බවයි. ගල් අඟුරු යොදා ගන්නා තාප විදුලි බලාගාර පිහිටුවීම ත් එම සැලසුමටම අයත් විය. 

නමුත් යුද්ධය හා දේශපාලන ඇඟිලි ගැසීම් නිසා මේවා සාක්ෂාත් කර ගැනීමට ඉංජිනේරුවන්ට හැකියාවක් තිබුනේ නැත. යුද්ධය අවසානයේ මහින්ද රජය විසින් ගල් අඟුරු බලාගාරය සාදා නිම කලත් 1995-96 සද නිම කිරීමට තුබූ එය  අවුරුදු විස්සකට පසු (දැන් 2015)  පසුවී සෑදීමේ එතරම් තේරුමක්ද නැත. වෙනත් පරිසර හිතකාමී විදුලි ව්‍යපෘති 2015 වනවිට ඇති කිරීමට සැලසුම්  කල විදුලි ඉංජිනේරුවන්ගේ  සැලසුම් සියල්ල වතුරේය. ලංකාවේ සිදුවන්නේ සැලසුම් වලට වැඩ කිරීම නොව කොමිස්, චන්ද සහ ප්‍රශ්නයට පිළිතුර වෙනුවට මුක්කු ගැසීමට කරන වැඩ නිසා,  පාඩු පිට දුවන විදුලි බල මණ්ඩලයක් හා මිල අධික විදුලිය නිෂ්පාදනයක් රටට උරුම වී තිබේ.//  .   


No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .