Tuesday 10 September 2024

පදක්කම් දෙකක කතාවක්

                                                    


මගේ ෆේස්බුක් ගිණුමේ ඉන්න යාළුවෝ යෙහෙළියෝ බොහෝ දුරට දකින්න ඇති අපි පහුගිය සුමනේ උස්බෙකිස්ථානයේ සංචාරයක දීල  හිටිය කියල. අපි එහි අගනුවර වන  ටෂ්කෙන්ට් නගරයෙන් පටන් අරගෙන උග්‍රේන්ජ් , ඛිවා , බුඛරා සහ සමර්කන්ඩ් යන පුරාතන චීනය සහ යුරෝපයත් මධ්‍යම ආසියාවත් සම්බන්ධ කරන සුප්‍රසිද්ධ  සිල්ක් ගෙනගිය ගමන් මගේ තිබුන පෞරාණික නගර බලන්න ගියා .  ඒ වගේම හැමෝම දන්නවත් ඇති උස්බෙකිස්ථානය කියන්නේ පරණ සෝවියට් දේශයේ කොටසක් ව තිබුණු සමුහාණ්ඩුවක් කියල .  


මේ පදක්කම් දෙක මම ගත්තේ බුඛාරා නගරය බසාර් එකෙක් එහෙම නැත්නම් පුරාතන ඔටු කැරවන් කරුවන් නතරවුණු වෙළඳම් පොළක ඇන්ටික් කඩේක තිබිල .   ඒවායේ පෞරාණික වටිනාකමටත් වඩා මට දුක හිතුන නිසා කීවොත් නිවැරදියි. මුල් පදක්කමේ ඉන්නේ ලෙනින් .  ලෙනින් ගේ අවුරුදු 100 ජන්ම දිනය වෙනුවෙන් කිසියම් වෘත්තිකකුට ප්‍රදානය කරපු පදක්කමක් .  1870-1970 කියල ගහල තියනවා .   දෙවෙඉ පින්තූරේ පදක්කමේ අනිත් පැත්ත . උඩ කොටසේ  ලියල තියෙන්නේ රුසියානු භාෂාවෙන් " සා දොබ්ලෙස්ත්නි තෘඩ් " -අධිෂ්ඨානශීලී (හෝ නිර්භීත) ශ්‍රමය වෙනුවෙන් . " කියල .   යට තියෙන්නේ ලෙනින් ගේ සිය වැනි ජන්ම දිනය වෙනුවෙන් කියල .  මේ ජුබිලි පදක්කම සාමාන්‍යයෙන් දීල තියෙන්නේ  ජේෂ්ඨ කම්කරුවෙකුට ,  විද්‍යාඥයෙකුට, ප්‍රසිද්ධ කලාකරුවෙකුට, ආර්ථිකය පිළිබඳ  ඔස්තාර් කෙනෙකුට, හොඳ  ගොවියෙකුට වගේ. උද රතු පාට රිබන් එකත් වැදගත් .  විකිපෙඩිය එකේ විස්තරේ වැඩිදුර බලන්න පුළුවන් .   මේ පදක්කම ලැබූ අය අතර රාවුල් කැස්ත්‍රෝ, සංගීතඥ විචිස්ලාව් රස්ටොපොවිච්, නොබෙල් ත්‍යාගලාභී භෞතික  විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ප්‍රොහරෝව් හෙම ඉන්නවා.

උඩ  ස්ටාලින් ගේ මුහුණ තියෙන පදක්කම සෝවියට් උස්බෙක් ජෙනරල් කෙනෙක් ගේ. එයාගේ ඇඳුම කියල මේ පහල තියෙන තරු හතරේ ජෙනරාල් කෙනෙක් ගේ ඇඳුමත් මට විකුණන්න හැදුව .  නමුත් ඒක ගේන්න බැරි නිසා ගත්තේ නැහැ . පදක්කමේ මුහුණ  පැත්තේ ලියල  තියෙන්නේ රුසියානු භාෂාවෙන් " නාශ දියෙලා ප්‍රාවොයේ මී පබ්යෙදිලි - අපේ කාර්යය නිරවද්‍යයි, අපි ජයග්‍රහණය කළෙමු ".  එතකොට අනිත් පැත්තේ තියෙන්නේ "ශ්‍රේෂ්ඨ පිතෘ භුමිය මුදා ගැනීමේ සටන 1941-1945 , ජයග්‍රහණය වෙනුවෙන් ජර්මනිය පරදා " කියල.  මේ පදක්කම් දෙක තවම සුද්ධ කලේ නැහැ. ගත්ත විතරනේ .  මේ පදක්කම ලබපු ප්‍රසිද්ධ කෙනෙක් තමා ඇමරිකානු ජෝසප් බේර්ල් කියන යුධ භටය .  ඔහු ඇමෙරිකන් පැරචුට් රෙජිමේන්තුවක සටන් කරද්දී ජර්මන් හමුදාවට අහු වෙනවා 1944 දී .යුධ  හිරගෙදරින්  පැනල ගිහින් සෝවියට් යුධ ටැංකි කණ්ඩායමකට එකතු වෙලා රතු හමුදාව එක්ක සටන් කරනවා .  හමුදා  දෙකටම සටන් කරපු එකම යුධ භටයා වීමේ ගෞරවයත් ඔහුට අයිතියි .  අනිත් ප්‍රසිද්ධ කෙනා ප්‍රංශ ජෙනරාල් කෙනෙකු වන පියෙර්  පූජා (Pierre Pouyade) ගේ . ඔහුත් 1943 සෝවියට් දේශයේ සටන් කල කෙනෙක් ජර්මන් හමුදා වලට විරුද්ධව .  



  
මේ පදක්කම් ඕන තරම් තියනව එංගලන්තේ ඊබේ එකේ විකුනන්න දාල. නමුත් මම මේක උස්බෙකිස්තානයේ බුඛාර නගරයෙන්ම  ගත්තේ නියම පදක්කම් දෙකක්ම  වෙන්න පුළුවන් නිසා .  හොර ඒවා ලංකාවේ රුපියල් දෙකක් වගේ - නිකන් පෙත්තක් වගේ බර අඩුයි .  මේ පදක්කම් දෙක මිලිමීටර 3-4ක් විතර ඝනකම තියන ග්‍රෑම් තිහක් විතර බර ඒවා .  ඒ නිසා ඔරිජිනල් කියල කිව්ව හැකි . 
ලෙනින් ල ස්ටාලින් ගේ මුණවලට වඩා දුක හිතෙන දේ තමයි මේවා විකුණපු අය ගැන .  සෝවියට් දේශය වෙනුවෙන් දහඩිය හෙලපු අය ගේ හෝ දෙවන ලෝක යුද්ධයේ මරණය පෙනි පෙනී සටන් කල අයගේ හෝ වටිනාකමක් දැන් නැහැ. එක එක්තරා විධිහක ඛේදවාචකයක්.නමුත් ඒක තමයි ඉතිහාසයේ හැටි . 
   ඔවුන්ගේ දරු මුණුපුරන් මේ පදක්කම් කුණු කොල්ලෙට විකුණලා දානවා . පවුලේ ගෞරවය සඳහාවත් ටිය ගැනීමේ පලක් නැහැ. ඉතිං  අන්තිමට මේ පෞරාණික දේ  බ්‍රිතාන්‍යයේ හෝ බටහිර රටක නතර වෙන්නේ අපි වගේ ඒවා එකතු කරන අය ගාව. නැතිනම් බටහිර කෞතුකාගාරයක .  

බොහෝ විට හුඟක් අය කොල්ල කාගෙන ගියා , හොරකම් කළා කියල කෑ ගැහුවත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ  තියෙන බොහොමයක් දේ මේ වගේ විකුණපු ඒවා.  යුධ අවස්ථාවක මිත්‍ර පාර්ශව විසින් භාර කරන පෞරාණික වස්තූන් නුත් තිබෙනවා .   බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඒවා සුරැකිව තිබෙනවා .  හමුදාවෙන් උස්සගෙන ආපුව විතරක් එයාල ආපහු දෙනවා බොහෝ විට.  කොහේ හරි රැකිලා තියනවා කියන්නේ ඒ ඉතිහාසය මැකෙන්නේ නැහැ කියන එකයි .  

මේ පදක්කම් ගැන නෙමේ මගේ ප්‍රශ්නය  , තමන් දහඩිය හෙලපු ශ්‍රමය වැය කරලා ගොඩ නගපු රට , ෆැසිස්ට් වාදයෙන් බේරා  ගැනීමට දිවි පරදුවට තබා සටන් කල රට අනාගතයේ කඩා වැටෙන්නට නියමිත බව දැන සිටියේ  නම් ඔවුන් එසේ කරයිද ?  

- අජිත් 11/09/2024   







68 comments:

  1. කෞතුක භාණ්ඩ රටින් පිට යන එක නවතන නීතිරීති මේ රටවල නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. මේවා කෞතුක භාණ්ඩ වත් නෙමේ දැන් මම හිතන්නේ . අනික මේ වගේ රටවල තවම සමහර ඒවා රැගෙන පන්නන්න පුළුවන් . මට අවුරුදු 800 විතර පරණ කාසි වගයක් හම්බ වුනා ඩොලර් 120. හොරෙන් විකුනන්න හැදුවේ ගත්තේ නැහැ . එඅ අයිති ඒ රටේ මිනිසුන්ට නිසා

      Delete
  2. ඔය පදක්කම් ගැන අභිමානයක් තියෙන්නෙ ඒක ගත්ත එක්කෙනාට, ඊට පස්සෙ දරුවන්ට. එතනින් එහා, මුණුපුරන්ට ඒකෙ අගයක් දැනෙන්නෙ නෑ. ඉතින් සල්ලි ඕනෙ වුණාම ඒ අය කීයකට හරි ඕවා විකුණලා දානවා ඇති. දැන් සෝවියට් දේශයකුත් නැති එකේ, සෝවියට් පදක්කම් ගැන කුමන කතාද? සියලුදේ අනිත්‍ය එකේ, ඕවා ගැන දුක්වෙලා වැඩක් නෑ අජිත් මහත්තයො.

    ReplyDelete
    Replies

    1. මේ පදක්කම් ගැන නෙමේ මගේ ප්‍රශ්නය , තමන් දහඩිය හෙලපු ශ්‍රමය වැය කරලා ගොඩ නගපු රට , ෆැසිස්ට් වාදයෙන් බේරා ගැනීමට දිවි පරදුවට තබා සටන් කල රට අනාගතයේ කඩා වැටෙන්නට නියමිත බව දැන සිටියේ නම් ඔවුන් එසේ කරයිද ?

      Delete
    2. ෆැසිස්ට් වාදයට විරුද්ධව දිවි පරදුවට තබා සටන් කරල ගෙනාවෙ සමාජවාදයෙ වගේ වෙස්වලා ගත්ත ඒකාධිපතිවාදය නෙමෙයිද? වැඩවසම් ක්‍රමයේ පීඩනයට විසඳුම ලෙස මතුවුන සමාජවාදයෙ බොහෝ දේවල් මම අගය කරන නමුත්, ටෙක්ස්ට් බුක් සමාජවාදය ප්‍රායෝගික නැති නිසා, ලෝකෙ කිසිම තැනක එය පැවතුනේ නැහැ කියන එකයි මගේ මතය.

      මම ධනවාදයට ඒ හැටි කැමැත්තකුත් නැහැ. ඒත් චීනෙ, රුසියාවෙ, කියුබාවෙ සහ උතුරු කොරියාවෙ ක්‍රියාත්මක වන්නේ "ප්‍රායෝගික සමාජවාදය" නම්, ධනවාදය+ප්‍රජාතන්ත්‍රවාදයට මගේ අකමැත්තක් නෑ. සමහර විට පස්චාත් ධනවාදී යුගයකදී යම් සුභවාදී වෙනසක් වෙයි (විද්‍යාවේ දියුණුවත් සමඟ) .

      Delete
    3. රන් ගොන්ජා කියන්නෙත් එයාටද / ඒ වීඩියෝ එක මාලිමාවෙන් ගහපු එකක්ද

      Delete
    4. //ෆැසිස්ට් වාදයට විරුද්ධව දිවි පරදුවට තබා සටන් කරල ගෙනාවෙ සමාජවාදයෙ වගේ වෙස්වලා ගත්ත ඒකාධිපතිවාදය නෙමෙයිද?// පොඩි ඉතිහාස ලෙසන් එකක් කරමුද ) සෝවියට් දේශයේ සමාජවාදය පිහිටෙව්වේ 1917-1918. ෆැසිස්ට් වාදය ආවේ 1934 පස්සේ ජර්මනියේ . ඒකට ජාතික සමාජවාදය කියලත් කියනව . වෙළඳම් කරන්න පුළුවන් ආණ්ඩුව කියන විධිහට . නාසි පක්ෂයට සල්ලි දුන්නේ නැත්නම් වෙළඳම් බැහැ . හැබැයි රට දියුණුයි , තමන්ගේ ජාතියට හොඳයි . අනිත් ජාතින් නරකයි . රටේම මෝටර් වේ හෙවත් අධිවේගී මාර්ග පද්ධතිය හැදුවේ ඔවුන් . 1940-45 යුද්දේ සටන් කලේ රට වෙනුවෙන් , ජීවිතය වෙනුවෙන් . ඊට පස්සේ තිබ්බ ඒකාධිපතිවාදය කියල සටන් කරපු එකා දන්නවද නැත්ද කියන්න අමාරුයි . වෙන පාලන ක්‍රමයක් නොදැන හිටි නිසා . හැබැයි ස්ටාලින් ගේ පාලනය 1952 ඉවර වුනා . ස්ටාලින් ට වස දුන්න .

      Delete
    5. දෙක - චිනේ තියෙන්නේ කොමියුනිස්ට් පක්ෂය කියන විධිහට වෙලන්දම් කලේ නැත්නම් වෙලන්දම් කරන්න බැහැ කියන සමාජවාදය . හැබැයි චිනේ දියුණුයි . ජාතික සමාජවාදය මතක් වෙනවද / එහනම් ඔයා හරි . නමුත් ඔවුන් අනිත් ජාතින් මරන්නේ නැහැ . අර උර්ගු මුස්ලිම් වරුන්ට කොනහනවා ඇරෙන්න . රුසියාව - සමාජවාදය අවසන් වුනේ 1991 කියල ඔබ නොදැන සිටීම පුදුමයක් . රුසියාව ඔටෝක්‍රටික් හෙවත් තනි පුද්ගලයෙකු පාලනය කරන අර්ධ ධනවාදී රටක් . උතුරු කොරියාව ඒකාධිපති වැඩි රටක් . නමික් සමාජවාදී .

      Delete
    6. හොඳ සමරියක්. වැඩි හරියක් දේවල් අඩු-වැඩි වශයෙන් දැනගෙන හිටියත්,ස්තූතියි. මගේ තර්කය, අටවගත්ත හැම තැනකම සමාජවාදය අසාර්ථක වුනා කියන එකයි. වැඩ වසම් ක්‍රමය-->ධනවාදය-->සමාජවාදය-->පූර්ණ සමාජවාදය චක්‍රය කාල් මාර්ක්ස්ගේ "පයිප් ඩ්‍රීම්" එකක් විතරයි.
      ජර්මනිය සහ කොරියාව, සමාජ පර්‍යේෂනය විදිහට ගත්තත් ඒබව ඔප්පු වෙනවා.

      ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ, සමාජවාදයෙන් ඉටු වෙච්ච ඉතිහාසගත් මෙහෙවර - වැඩවසම් ක්‍රමය සහ අතීත ධනවාදය වැඩි දියුණුව අවතක්සේරු කිරීමක්. යුගයේ අවශ්‍යතාවයක් විදිහට සමාජවාදය ආවා, කෙරෙන්න ඕනෙ ටික කලා, පස්සෙ කඩාගෙන වැටුනා, එච්චරයි.

      Delete
    7. මාක්ස් ගොයියාගේ ප්‍රාග්ධනය පොතේ සහ ලියපු ලිපි වල උදාහරණ සහිතව දක්වල තියෙන්නේ මෙහෙමයි ලොක්ක .
      ගෝත්‍රික සමාජය (ආදී කොමියුනිස්ට්වාදී සමාජය ) -ගෝත්‍රික යුද්ධ තුලින් , වහල් සමාජය බිහිවීම - ස්පාටකස් කාලේ වගේ වහල් විප්ලව හා වෙළඳාම වැඩි දියුණු වීම නිසා - වැඩ වසම් සමාජය - රජුන් හා රදළයන් - ධනේෂ්වර විප්ලව හා වෙළඳාම වැඩි දියුණු වීම හා ශ්‍රමය අවශ්‍ය නිසා - වහල් , වැඩ වසම් සේවයන් වලට එරෙහිව ධනවාදය නැගී සිටීම - ධනවාදය බිහි වීම - ධනවාදය නිර්ධන පන්තිය සූරා කෑම නිසා ඔවුන් විප්ලව කිරීම . - කොමියුනිස්ට් වාදය බිහිවීම . ඕක තමා මාක්ස් කිව්වේ කෙටියෙන් . - අන්තිම එක වුනේ නැහැ . ධනවාදය ඊට වැඩිය නුවණැති නිසා . උන් මාක්ස් කියෙව්වා . වෙනස් කරන්නේ කොහොමඩ් අකියල් හොයා ගත්ත .

      Delete
    8. ඒකට ලෙනින් අලුත් තියරියක් ගේනවා - ධනවාදය - එහි දියුණුව ආධිරජ්‍යවාදය - බ්‍රිතාන්‍ය , රුසියාව වගේ . එයට එරෙහිව සමාජවාදී විප්ලවය . සමාජවාදය පිහිටුවීම - සමාජවාදය තුලින් කොමියුනිස්ට්වාදය . - ලෙනින් ගේ තියරියට අනුව තමා කියන්නේ තවම කොමියුනිස්ට් වාදී සමාජ බිහි වෙලා නැහැ කියල .

      Delete
    9. ඊට පස්සේ ලෙනින් මැරුණට පස්සේ - ස්ටාලින් අලුත් තියරියක් ගේනවා . තනි රටක සමාජවාදය පිහිටුවන්න පුළුවන් කියල . ට්‍රොට්ස්කි කියනව බැහැ කියා . ලෝක සමාජවාදී විප්ලවය සිදුවිය යුතුයි . ලෝකයේ දියුණු රටවල් සියල්ලේ එකවර සමාජවාදී විපල්ව සිදුවිය යුතුයි කියල . ඒක තමා ට්‍රොට්ස්කි වාදය . ස්ටාලින් තමන්ගේ මතයට විරුද්ධ සියල්ලම මරනවා . ට්‍රොට්ස්කි ඇතුළු . ඒ කාලේ සුද්දය ගියේ එහෙම . ඊට පස්සේ ආපු සෝවියට් කට්ටිය හිතනවා හැට ගණන්වල සෝවියට් දේශයේ කොමියුනිස්ට්වාදී සමාජය ආව කියල . විජේවීර සහ (දැන් ටිල්වින් අයියා ) විශ්වාස කලේ කරන්නේ ඒක .

      Delete
    10. නියමයි. වටිනා විච්චේදනයක්. එකඟයි👌💐
      පෝස්ට් කැපිටලිසම් ගැන ඔබේ අදහස දැණගන්න කැමතියි. හරවත්, සාමකාමී සාකච්චාවට ගැන සතුටුයි ( ඔහේ ඉස්සර නං පොර කුකුලා 🤣😋)

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. ඉතින් ඊට පස්සේ එනවා මාඕ ලොක්ක . එයා කියනව නැහැ . වැඩ වසම් සමාජයෙන් කෙලින්ම සමාජවාදයටඑන්න පුළුවන් කියල . ඒ කියන්නේ පොර අර මහා පා ගමන එනකොට දකිනවා වැඩ වසම් (පනස් ගණන් වල) චීනය . උන් අර පොඩි ෆාමසි එකකට ගහල දාන්නේ ධනවාදී කියල . හේ හේ . ඒ තියරියට අනුව තමා ලංකාවේ කොප දෙකට බෙදෙන්නේ . විජේවීර යන්නේ මාඕ තියරිය පැත්තට . මොකද පොර හිතනව සිරිමවෝ වගේ රදලයෝ පාලනය කරන්නේ වැඩ වසම් රටක් කියල . (චන්දෙන් ආවේ කියන එක අමතක වෙලා ) . ඔන්න ඔය අස්සේ පොල්පොට් කියල ගොබ්බයෙකුට හිතෙනවා මම මාඕ ටත් එහා යනව . ගෝත්‍රික මූලික කොමියුනිස්ට් සමාජය පිහිටුවලා එතැන ඉඳන් කෙලින්ම සමාජවාදයටයනවා කියල . පොර අර උගත්තු ඔක්කොම මරාගෙන හදන්න යන්නේ ඒ සමාජය . මුළු රට වැසියෝ ඔක්කොම ගමට දක්කල. ඔන්න තියරි විස්තරේ .
      අපි ඇවිල්ල එංගලන්තේ මනෝරාජික සමාජවාදීන් හැටියට මාක්ස් ගේ මුලික තියරිය විශ්වාස කරනවා . ඒ කියන්නේ ආර්ථිකය පරිණාමය වුනු විධිහ . හැබැයි ප්‍රචණ්ඩ විප්ලවයකින් ධනවාදය වෙනස් කරන්න පුළුවන් කියල විශ්වාස කරන්නේ නැහැ . ධනවාදයේ දියුණුවෙන් ඉබේම කොමියුනිස්ට් වාදී සමාජයක් හැදෙනවා කියල තමා විශ්වාස කරන්නේ . ඒ අතර මාර්ගයක් හැටියට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ (ස්වීඩනයේ වගේ ) බිහි වෙනවා කියල තමා හිතන්නේ . ලංකාවේ ධනවාදය නිවැරදිව පිහිටුවන්න ඕනේ කියලත් විශ්වාස කරනවා මම ඇතුළු කිහිප දෙනෙක් . නැත්නම් අවම වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස .

      Delete
    13. ඔහේ ඉස්සර නං පොර කුකුලා - ඒ දවස් වල සරසා ඇතුළු පිරිසක් (ගෝඨා කට්ටිය ) සහ අනුර , මංජුල සමරසේකර වැනි ජවිපෙ සෙට් එකකුත් කල අසාධාරණ විවේචන නිසා තමා එහෙම හැසිරුනේ . දැන් හැමෝම දන්නවා මොකද වුනේ කියල . ඒ නිසා අවුලක් නැහැ .

      Delete
    14. මේ සමරි එක සිරා .. ඔය කෑ ගහන කීදෙනෙක් මේ මට්ටමෙන් වත් මේ තියරි දන්නවා ඇතිද

      Delete
    15. හුඟක් අය එක්කෝ දන්නේ නැහැ . නැත්නම් පිළිගන්න කැමති නැහැ . තියරි මතම නොව ඉතා සුළු කරුණු නිසා වාමාංශික පක්ෂ භේද වෙනවනේ . කොපමණ කීවත් වැඩක් නැහැ . දැන් ඔය අනුර ඉල්ලද්දී එකට හිටපු පෙසපේ වෙනම ඉල්ලන්නේ . ඒ ගොල්ල අරගල මාර්ගය හරියි කියන්නේ . ඒ කියන්නේ කෙළ වෙනකම් බලා ඉන්න කට්ටිය .

      Delete
  3. /sarcasm
    බලාගෙන ගියාම, ඔබතුමාත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වගේ නෙව? උරුමක්කාරයොන්ට අගේ නැති, අනුන්ගෙ පුරාවස්තු, ගෙනත් ආරක්සා කරල දෙන එක, එසේ-මෙසේ සමාජ සත්කාරයක්ද? මට නිකං මැවිලා පේනවා ඔබතුමා, අර කෝට් බෑය ඇඳලා තොප්පිය දාගෙන හැලොවීන් පාටියකට යන හැටි.😮😋
    sarcasm/

    මට තේරෙනවා අජිත්ගෙ කනගාටුව. ඒත් ඔතන කතාවෙ දෙපැත්තක් තියනවා. මේ සාවියෙ ඉන්නවා, අනුන්ගෙ ක්ලේම් නොකරපු ස්ටෝරේජ් යුනිට් තුට්ටු දෙකට අරගෙන, ඒවා ආඩම්බරෙන් යූටියුබ් එකෙත් පෙන්නන අය. සමහර ඒව දැක්කම, බලන අපෙත් බඩ-පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා. ජීවිත කාලෙම කවුරු හරි ආදරෙන් එකතු කරපු, ලස්සනට පැක් කරපු කලෙක්ෂන්. මිනිස්සු ජීවිතෙන් බාගයක් එක, එක දේවල් එකකු කරනවා. ඉතුරු බාගෙදි, ඒ එකතුවට තියන බැඳීම අත්හරින්න මහන්සි ගන්නවා. එක් කෙනෙක් කිව්වා, මම අපේ අම්ම "ඇසිස්ටඩ් ලිවින්" ගියාම, එයාගෙ ගෙදර “Swedish death cleaning” කරන්න මාසයක් ගියා කියලා. මගේ දරුවෙකුට නං, මම එහෙම කරදරයක් ඉතුරු කරන්නෙ නෑ කියලත්.

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙම ලංඅයිඋ . මගේ ඒවා වලට බැඳීමක් නැහැ . ළමයින්ට ඕනේ නැතිනම් ඒවා ඔය පුස්තකාලයකට හෝ කෞතුකාගාරයකට දෙනවා . මහා ලොකු දේවල් නැහැ . නැගෙනහිර ජර්මනියේ ( තවම වැඩ කරන ) ප්‍රක්‌ටිකා කැමරාවක් හෙම තියනවා . හැබැයි ළමයි ඒවා දැනටම ඉල්ලලා තියෙන්නේ . කාසිත් එක්කම . අවශ්‍ය නැතිනම් මැරෙන්න කලින් දීලා තමයි මැරෙන්නේ . හදිසියේ මැරුණේ නැත්නම් . //බතුමාත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වගේ නෙව? උරුමක්කාරයොන්ට අගේ නැති, අනුන්ගෙ පුරාවස්තු, ගෙනත් ආරක්සා කරල දෙන එක// sarcasm එක කොහොම වෙතත් ඔය දැන් බැන්නට ගොඩක් රටවලින් විකුනපුව තියෙනවා . අපේ රටේ මේ පාර ඡන්දෙට ඉල්ලන කෙනෙක් ගේ ඥාතියෙක් රටට අයිති සිතුවමක් මෙහෙ ගෙනල්ල වික්කනේ . දැන් ඉතින් බනී සුද්ද සල්ලි දීල ඇයි ගත්තේ කියල . තමන්ගේ දේශපාලකයාගේ වරද නෙමේ පේන්නේ . එහෙමනේ

      Delete
    2. //....දැන් ඉතින් බනී සුද්ද සල්ලි දීල...//
      හෙහ්, හෙහ් මම හරි තැනෙන් නිලේ අල්ලලා තියනවා. ප්‍රීතියි,ප්‍රීතියි මහරජ.🤣😁😋
      ඔහෙට ඇත්තම කියන්න ගමරාළාමි, පොඩි ආතල් එකක් ගත්තට, මම ඇත්තටම කැමතියි ඔහෙගෙ ඔය සමබර ගතියට. මෙහේ ඉන්නවා කස්ටියක් රටේ තියන සිස්ටම් එක උලා කනවා, ඒත් කට ඇරියොත් බනින එකමයි කරන්නෙ.

      Delete
    3. @ Ajit

      ලංකාවේ පුරාවස්තුවක් මහා බ්‍රිතාන්‍යයට ගෙනත් විකුණුවේ කවුද? මම නිව්ස් වල එහෙම එකක් දැක්කේ නෑනේ, ඒ පිළිබඳව තියෙන නිව්ස් එකක ලින්ක් එකක් දාන්න පුළුවන්ද?

      හැබැයි තව දෙයක් කියන්න ඕන ඔය ලංකාවේ දේශපාලනය කරන සමහරක් ඔය දූෂණය ගැන මැරෙන්න හැදුවට ලෝකයේ වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවලට කියන තරම් දූශණයක් ලංකාවෙ නෑ, විශේෂයෙන්ම මේ දවස්වල එක මැරෙන්න හදන්නෙ හරියට ලංකාව corruption Index එකේ මුල් දහයෙ ඉන්නව වගේනෙ...🙄

      Delete
    4. https://gulfnews.com/uae/premadasa-son-in-law-indicted-for-art-theft-1.416143

      Delete
  4. ඔය පැසිස්ට්වාදය සමාජවාදය ජාතිවාදය සේරම බොරු මනස්ගාත විතරයි හිට්ලර් උනත් කියන තරම් නරක කෙනෙක් නෙවෙයි නේද

    අනික ලංකාවේ උනත් දැන් අලුත් පරම්පරාවට යුද්ධය කියන එක නිකම් ජෝක් එකක්, මේ පාර ජනාධිපතිවරණයට ඉල්ලන සරත් ෆොන්සේකා ලංකාවේ ප්‍රථම සහ එකම ෆීල්ඩ් මාෂල් උනත් ඔහු ගැන කාටවත් කිසිම කැමැත්තක් වත් ගෞරවයක් වත් නෑ ඔහුගේ රැස්වීම් වලට ඉන්නේ තුන් හතර දෙනෙක් ඒ අයත් සවුන්ඩ් බඩු සහ ස්ටේජ් එක හදන අයයි රැස්වීම ඉවර වෙනකන් ඉන්නවා බඩු ටික අරගෙන යන්න

    ෆොන්සේකා ලංකාවේ යුද වීරයෙක් කියලා අවුරුදු පහලොවක් ගියාම ජනතාවට ඔහු තනිකරම ජෝක් එකක් වෙලා මේ වතාවේ ඡන්ද දෙදාහක් විතර ගනී ඕනෑනම් රටෙන්ම ඊට වඩා සීලරතන හිමිට ඡන්ද තියේවි උන්වහන්සේ රස කතා කියන නිසා
    ඇත්තටම අජිත් අයියේ ඔයා කියන ඒක ඇත්ත අයියේ. දකුණු ආසියාවේම ඉන්දීය විරෝදය එන්නේ නේපාලයට වුනු සීන් එක එක්ක…
    ඉන්දියාවෙ අංඊවී වැඩසටහන් කීපයකදී මම දැක්කා කියනවා.. ඉන්දියාව එක්ක සහ ඉන්දීය අය එක්ක වටේම රටවල් තරහයිලු..ඉන්දියාවට ඉන්නේ ශ්‍රී ලංකාව විතරයිලු..ඉතින් අයියේ තව ටික ඕවසකින් ඉන්දියාව ලංකාවටත් 🦩 පෙන්නන්න ගියොත් ලංකාවත් අයින් වෙයි..ඒ ඵෙතිහාසික බැදීම තියා ගන්න ඉන්දියාව සහ ඉන්දීය අය දැනගත යුතුයි.. ඒත් එහෙම වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි නේද?

    ReplyDelete
    Replies
    1. හිට්ලර් නරකයි . හිට්ලර් ට කීයටවත් හොඳයි කියන්න මම කැමති නැහැ . සරත් ෆොන්සේකා ව ඇන්දුවා නේද රනිල් , ජවිපෙ , චම්පික එකතු වෙලා . පව් ඉතින් . දේශපාලනයට ආධුනිකයෙක් . විශේෂයෙන් ලංකාවේ . ගොතා වගේම තමා. ඉන්දීය විරෝධය තේරුමක් නැති දෙයක් . තමන්ගේ අසල්වැසියා එක්ක හොඳට ඉන්න එක නුවණැති කමක් . සෙලෙන්ස්කි ගේ සීන් එක බලන්නකෝ .

      Delete
  5. සමහර කෞතුක භාන්ඩ දේවල් පිටරටවල හරි රැකිල තියෙන එකටනං මම මනාපයි. මතක නෙව අර රාජසභා මන්ඩප කැඩීම හෙම.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තමා හිතන්නේ .

      Delete
  6. පෝස්ටුව කියවද්දි මතක් උනේ ලගදි දැකපු වීඩියෝවක්. සුහානා කාන්ගෙන් අහනව රියැලිටි වැඩසටහනක.. ෂාරැක් ලබා නොගත් සම්මානය මොකක්ද කියල. ඇය කියනව පද්මශ්‍රි කියල. ප්‍රසන්ටර්ට හිටියෙ බච්චන් උන්නැහෙ. උන්ද සමච්චලයක් දැම්ම ඇයට, මොකද ෂාරැක්ට පද්ම ශ්‍රි හම්බුවෙලා තිව්න නිසා!

    ReplyDelete
    Replies
    1. තේරුනේ නැහැ ලොක්කා

      Delete
    2. මේකනෙ අජීතුමා කතන්දරේ. සුහානා කියන්නෙ ෂාරැක්ගෙ දුව නෙ. එහෙම වෙලත් ඇය දැනන් හිටියෙ නෑ තාත්තා පද්මශ්‍රි සම්මානය ගත්ත කියල.
      පෝස්ට් එකට අදාලව ගත්තම හිටං, රටේ ගෞරවය තියා පවුලෙ ගෞරවය වගේ දේවල් වත් මුණබුරැ මිණිබිරයන්ට යන්න කලින්ම දියවී යනව. එහෙව් එකෙ මේ කාලෙ පදක්කම් ගැන මොන කතාද.


      යකඩ ගෝනියටත් ගුල්ලො ගැහුවනම්, හාල් ගෝනිය ගැන කවර කතාද.

      Delete
    3. ඒත් අනාගත පරපුර දැනගත යුතුයි අතීත මුතුන්මිත්තන් තම භූමිය වෙනුවෙන් හෙලු දහඩිය හා කඳුලු ගැන

      Delete
    4. අන්න එහෙම කියන්න එපැයි නමියො. දැන් තේරුනා. ඒත් ෂාරුක් හිටිය නං බොගෙ හොම්බට අනිනවා, "සුහානා කියන්නෙ ෂාරැක්ගෙ දුව නෙ" කිව්වට.
      බොගෙ කීබෝඩ් එකේ "රු" යන්න මීයො කෑවද? 😋

      Delete
    5. හප්පා අගේට තේරුණා . ඉතිහාස කෑල්ල දැනන් හිටියේ නැහැ

      Delete
    6. පස්වාන් තව්සාන් සොරි. පෝං එකෙන් කොටන්නෙ. "රැ" විතරයි මහත්තයො දැනට මා සතුව තියෙන්නෙ 🙈

      Delete
  7. //තමන් දහඩිය හෙලපු ශ්‍රමය වැය කරලා ගොඩ නගපු රට , ෆැසිස්ට් වාදයෙන් බේරා ගැනීමට දිවි පරදුවට තබා සටන් කල රට අනාගතයේ කඩා වැටෙන්නට නියමිත බව දැන සිටියේ නම් ඔවුන් එසේ කරයිද ?//
    මම නම් එහෙම කරයි. මොකද, මම ජීවත් වෙන මොහොතේ කළ යුතු යුතුකම ඉටු කළ යුතුයි කියා විශ්වාස කරන නිසා. මම හිතන්නේ හෘදය සාක්ෂියක් තියෙන වැඩි දෙනෙකුත් එහෙමයි කියලයි.

    ReplyDelete
    Replies
    1. හොඳ කමේන්තුව නිදි . හැට්ස් ඔෆ්ෆ් ටු යූ

      Delete
    2. "මම ලමයෝ මින් අඹයක් නොපතමි, යුතුකම පමණක් ඉටුකොට තබනෙමි"

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඕව ඔක්කොම සාපේක්ෂයි, අපෙ සීලරතන හාංදුන්නේ. හෘද සාක්ෂියත් සාපේක්ෂයි. ඔය සහෝදරවරු යස අගේට කියන්නෙ, ගම්වල වැලිගම්පිටි යවපු ග්‍රාමසේවක/ගුරුවරු හොරු, ස්ත්‍රී දූෂකයො කියලා.

      Delete
    5. නලින් හේවගේ - පිස්සු නැත්නම් හොඳයි . මේ දවස් වල , පොඩ්ඩක් අහක් කරලා වගේ . මම හිතන්නේ ඒ ගොල්ලට තේරෙන්න ඇති කතා අක්රන්න් දුන්නොත් තව ලක්ෂයක් දෙකක් ඡන්ද කැඩෙයි කියල .

      Delete
  8. ලංකාවේ අද සමහරු හියූ නෙවිල් වැනි අයට බැන්නට පුස්කොළ පොත් හොරකම් කරගෙන එංගලන්තෙට ගියා කියලා, හියූ නෙවිල් ලා ලංකාවේ ඉන්න කාලේ පුස්කොළ පොත් හොයනවා කියලා ආරංචි වුණාම, අපේ මිනිස්සු පොළිමේ ගිහින් පොත් විකුණන්න ඇති.

    (ඒ සම්බන්ධ තවත් කාරණයක් නම්, සමහරු හිතන් ඉන්නේ පුස්කොළ පොත්වල තියෙන්නේ එක පිටපතයි ය කියායි. ඉතිං ඒක හියූ නෙවිල් ගෙනිච්චා, ලංකාවට ඒ දැනුම අහිමිවුණා!!!)

    ReplyDelete
    Replies
    1. //මේ අතර තවත් දෙයක් ආරංචි වුනා. මේ පුස්කොල පොත් දෙක ලංකාවේ සමහර ප්‍රධාන පන්සල් වල තියනවලු. පර්යේෂණ තියා කියවන්න වත් අල්ලන්න දෙන්නේ නැතිලු ඒවා. බ්‍රිතාන්‍ය පුස්තකාලයේ නම් අල්ලන්න දෙනවා, කියවන්න දෙනවා, ෆොටෝ ගහන්න දෙන්නේ නැහැ. එයාලා ගහල දෙනවා අපි ගෙව්වහම.
      ඔන්න ඕකයි තත්වය.

      Delete
  9. මට තාම ඔහොම කිසිවක් එකතු කරන උණක් හැදිලා නැහැ .. පොත් නම් දැක්කොත් ගන්නවා .. නමුත් දැන් හිතෙනවා එකත් තේරුමක් නැති වැඩක් කියල ..

    කොහොම උනත් අර සමාජවාදේ පැහැදිලි කරපු ටික නම් නියමයි .. තව පොඩ්ඩක් ඕනනම් විස්තර කරලා තනි පෝස්ට් එකක් ලියල තිබ්බත් හොඳයි .. ඉස්සරහට ලංකාවේ අයට වැදගත් වෙයි .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. සරල ජීවිතයක් ගත කරන ගමන්, ජීවිතේ පොඩි දේවල් වලින් සතුටු වෙන්න කියලා කව්දෝ කිව්වා. ඉතිං මම රුපියලට, දෙකට තියෙන චීන ගැජමැටික් ඔන්-ලයින් ඕඩර් කරනවා. හෝතම්බුවා ඒවට කියන්නෙ "යකඩ කෑලි" කියලයි. පාර්සල් අරං තැපලා. බාප්ප එන්නැහෙ එනවා දකින කොට දැනෙන සනීපෙ ඌ දන්න එකක් යෑ?

      ග්‍රොසරි සොපින් ගියාමත් එහෙමයි - සේල දාලා නං පටස් ගාලා කොටනවා. හෝතම්බුවා ඒකට කියන්නෙ "ඔන්න අදත් යනවා පෝර ගේන්න" කියලයි. ඌ ඒකට කියන්නෙ" අපි නං හොඳට කන-බොන මිනිස්සු" කියලයි. හොඳට කනවා නං තමයි, ඒත් හතර වටේටම ණයයි. බංකොලොත් වුනාම, උගේ රෙන්ට් එකත් ගෙවන්න වෙන්නෙ මට.

      මම නං කියන්නෙ, "ෆයිනෑන්ෂල් ඩිසිප්ලින්" තියාගෙන කැමති දෙයක් ගත්තට කමක් නෑ කියලයි. අපි මේ ඔඅක්කොම කරන්න ඉන්න ටිකේ නෙව? හැකි තරම් සාධාරණව, නීති ගරුකව ජීවත් වෙනවා නං එච්චරයි.

      හා, මං යනවා කළුවට උයපු චිකන් එක්කන් පරාටා කන්න. අපිට කොහෙද පොල් රොටි සහ හවානා සුරුට්ටු?

      Delete
    2. මෙන්න කළුවට බොරට උයන චිකන් රෙසිපිය. සියඹලා වුනත් දාන්න ඇහැකි. චිකන්/පෝක් දෙකට ගැලපෙනවා. සුවඳ වගේම රසයි.

      හාල් කිව්වාම ආයෙ බත්ද කියල අහන්න එන්න එපා!

      Delete
    3. මම ළඟ වයිෆුයි මැයි කොල්ල කෙල්ල කාලේ ගිය හැම නගරෙකින්ම එකතු කරපු 'නගර විසිතුරු හැඳි ' තියනවා . අපි බැඳලා අවුරුදු දෙකකට පස්සේ වැඩේ නතර කළා . විදුරු අල්මාරියේ ඉඩ නැහැ . කාසි එකතු කළා . එන්න එන්නම ගණන් වැඩියි. ඒ නිසා නතර කළා . ගල් කෑලි එකතු කළා . තවම තියනව . විසි කලේ නැත්තේ ළමයි ඕන කියන නිසා . ක්ලැසික් පරණ කාර් සෙට් එකක් තියනව . ප්‍රතිමා දෙක තුනක් තියනව . ආ ෂොට් ග්ලාසස් එකතු කළා . විස්කි ඉස්කාගාර වලට ගියහම හෙම . දැන් ඒකත් නතර කළා . ඉඩ නැහැ . පොත් තුන්දාහක් විතර තියනවා යකට වගේ කියවන ගමන් මේ දවස් වල . චිකන් පෝක් හදන්නම් සෙනසුරාදට . තැන්ක් යූ

      Delete
    4. සමාජවාදී කතාව ගැන ලියන්න පුළුවන් . චන්දෙන් පස්සේ . දැන් ලීවොත් බලපෑමක් කරා වෙනවා නේද

      Delete
    5. අජිත් මහත්මයා ගල් කෑලි එකතුකරපු එකෙන් තේරෙනවා හොඳ ගල්කාරයෙක් බව. අපිත් එහෙමයි.

      Delete
    6. මම නං කියන්නෙ එහෙම එකතු කලත් කමක් නෑ කියලයි. විශේෂයෙන්ම, ඒ හැමදෙයක් එක්කම බැඳිච්ච, සොඳුරු අතීත මතකයක් තියේ නං. ජීවිතේ විඳිනවා මිසක් නීතී දාගෙන විඳවන්න ඕන නෑ. එකම දේ නිසි කාලෙ ආවම අත්හරින්න, බැඳීම අඩු කරගන්න පුලුවන් නම් එච්චරයි.

      Delete
    7. බස්සා මමත් hot wheels වල මම ආස මොඩ්ල් දැක්කොත් ගන්නවා , ගැජට් ගන්නවා , ඔය එක එක ජාති කරනවා තමා .. නමුත් මම අදහස් කලේ පුරුද්දක් වශයෙන් දේවල් එකතු කරන එකට , මගේ යාලුවෙක් ඉන්නවා ඌ ගන්නේ ටූල්ස් .. කරන මගුලක් නෑ කවද හරි ඕනේ වෙයි කියල ගන්නවා .. හෙහ් හෙහ් ..

      කතාව ඇත්ත ජිවිතේ ආස දේවල් කරලා මැරිලා යන එක වරදක් නැහැ .. නමුත් මට එහෙම සෙට් වෙන දෙයක් තාම නැහැ ..

      Delete
    8. පුරුද්දක් වශයෙන් ගැජට් එකතු කරන්නේ නැහැ . මගේ ට්‍රැවල් වලට සමානුපාතිකව එකතු කරන දේවල් තමා

      Delete
  10. මිනිස්සු දැනගන නොහිටියට ඕක හදපු උන් දැන ගෙන ඉන්න ඇති ඕක කවදා හරි කඩන් වැටෙනවා කියලා...සමාජවාදය හොඳයි සියලු ජනතාව සෝවන් වෙච්ච රටකට. පෘතග්ජනයො ඉන්න තැන්වල ඕක විකුර්තියක්...

    ReplyDelete
    Replies
    1. සෙන්නා හරි කියල මටත් හිතෙනවා. ඕකත් විධායක ජනාධිපතිකම වගේ ඇති, ඇවිත් රහ බලපු එකෙක්වත් අත් අරින්නෙ නෑ. බාගදා මුලදි පටන් ගන්නකොට සමාජවාදීන්ගෙ චේතනාව අවංක ඇති. ඒත් බලය ඇබුනාම, පෘතක්ජන ගතිය ඉස්මතු වෙනවා. පාලක-පාලිත පන්ති දෙකක් බිහි වෙනවා. විප්ලව කරන්න/තුවක්කුවෙන් බලය අල්ලන්න ඕනෙයි කියන්නෙත් ඒක වෙන්ටෑ?

      ඒත් අද ලංකාවෙ තියෙන මජර දේසපාලනේ හැටියට, තියෙන එකම විකල්පය අනුර-හරිනි වගේ මධ්‍යස්ථ මතධාරීන්ගෙන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (ස්වීඩනයේ වගේ)සමාජයක් වෙන්නත් ඇහැකි. ඒත් ඉදිරියේදී ඇතුලෙ ඉන්න පැරණි දැඩි මතධාරියො ගේම ඉල්ලාවි.

      Delete
    2. ලෙනින් දැනගත්ත 1924 ම . ඒක නිසානේ ආර්ථික පිළිවෙත වෙනස් කලේ . මුලින් හැම දෙයක්ම ආණ්ඩුවට ගත්තට 1923 වෙනකොට ආපහු සුළු වෙළඳම් කරන්න ඉඩ දුන්න . පෞද්ගලික ගොවිපල වලට ඉඩ දුන්න . නමුත් ස්ටාලින් ආපු ගමන් ඔක්කොම වෙනස් කලා.
      //සමාජවාදය හොඳයි සියලු ජනතාව සෝවන් වෙච්ච රටකට. පෘතග්ජනයො ඉන්න තැන්වල ඕක විකුර්තියක්...// ටිකක් ඇත්තකුත් තියනව . ඒකනේ අපි කියන්නේ මාක්ස් හරි එක තැනකට එනකම් කියල . ධනවාදී සමාජය සම්පුර්ණ වෙනකොට කොමියුනිස්ට් සමාජයක් හැදෙනවා කියල . හැමෝටම අවශ්‍ය තරමට , හැමෝටම හැකියාවේ තරමට . මම හිතන්නෙත් ධනවාදය උඩටම යනකොට ඒක වෙනවා කියල ඇත්තටම බැලුවොත් එංගලන්තේ , ස්වීඩනයේ , ෆින්ලන්තයේ , ජර්මනියේ වගේ රටවල මිනිස්සු චැරිටි වලට කොපමණ උදව් කරනවද , ඒ අය හුඟක් වෙලාවට අර වගේ සමාජයක් හදන්න උදව් වෙයි

      Delete
  11. මචං අජිත් අයියේ ඕක තමා සුද්දන් පිලිබදව තියෙන තරහා, ලංකාවත් 1948 ඉදං ඔස්ට්‍රේලියාවේ වගේ ඡන්දෙන් පත්වන අගමැති සහිතව ආණ්ඩුව තියෙද්දිම එංගලන්තයේ ආණ්ඩුකාරවරයා යටතේ ලංකාව පාලනය කරමින් හිටියානම් කාර්මික යුහයෙන් පසු ආර්ථික සංස්කෘතික දේශපාලන අධිකරණ පොලිස් දෙපාර්තුමේන්තු වගේ ඒවා ස්වාධීන වී ලංකාවේ සංවර්ධනයක් දකින්න ලැබෙයි, හේතුව බැරිවෙලාවත් ලංකාවේ පොලීසිය පිස්සු කෙලිද්දී ස්කොට්ලන්‍ඩ්යාඩ් පොලීසියෙ අධීක්ෂණය අධිකරණය පිස්සු කෙලිද්ද්දී ප්රිවි කවුන්ෂිල් ජාත්‍යන්තර අධිකරණට යාමට ඉඩකඩ එහෙනම් රාජකීය නාවුක රාජකීය ගුවන් විනයක් සහිත හමුදා ඇමරිකා යුරෝප් කැනඩා ඕස්ට්‍රලේෂියා ජපානය වගේ රටවලට පසු දියුණුම සංවර්ධනයට පත්වූ රටවල් අතර Ceylon රටත් සංචාරක කෘෂිකර්මාන්ත සහ සුලු අපනයන සහ ජාත්‍යන්තර වරායවල් ගුවන් තොටුපොලවල් වලින් නූගත් පී චං වාමාංශික කොමියුනිස්ට් සහ බොරු පච දේශප්‍රේමින් කියාගත් දුපත් හිවලුන් නිසා ලංකාව සදාකාලික සංවර්ධනයට පත්වන රටක් ලු අපරාදේ ජපානය දකුණු කොරියාවට වඩා අපට ඇමරිකාව එංගලන්තය ඕස්ට්‍රේලියාව සමග ආර්ථික සංස්කෘතික දේශපාලන බලවත් රාජ්‍යක් වෙන්න තිබුනා 🥲 දැනුත් ආයේ බොරු පච දේශප්‍රේමියෙක්නේ ලංකාවේ උන් මේ දවස්වල කර උඩ තියාගෙන යන්නේ කවදාවත්ම හැදෙන රටක් නෙවෙයි ඕක නම්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලය කණගාටුවකට වගේ ඉවරයි . අඩුම ගන්නේ මලිමාවට කට්ටිය ඒ ටික හරි තේරුම් අරන් ඉන්නේ . නමුහ් ජවිපෙ පරණ එක්දරය හා පෙසප තවම ඉන්නේ වෙනත් මතයක

      Delete
  12. ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර උපදේශක කමින් අජිත් ධර්මා මහතා ඉවත් කොට ස්කොට්ලන්තයේ වෙසෙනා අති දක්ෂ ලේඛකයෙකු වන චතුෂ කුමාර මැතිතුමා ඒ සදහා පත්කොට ඇති බවට පලවන ආරංචි ඇත්තද?

    දනුෂ්ක රාමනායක නෙමේ කිව්වේ

    ReplyDelete
    Replies
    1. හම්මේ ඇති යන්තම් , මාරයා තමයි ඕවට හොඳ

      Delete
  13. අජිත් ඔබ උග්‍ර කොමියුනිස්ට්වාදියකු සහ දැඩි මතධාරී වාමාංශික දේශපාලනය කරන කෙනෙක් විදිහට ඔබ මේ තරමින් හෝ සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය පිළිබඳව වැඩිදුර සංවාදයට විවුර්ත වීම ගැන බොහාම ස්තුතියි. මීට අවුරුදු 2, 3 කලින් මගේ වීරයෝ වුනේ ලොව පුරාම ක්‍රියාත්මක වන වාමාංශික දේශපාලන ව්‍යාපාර සහ ලංකාවේ නම් ජවිපෙ ජාතික ජන බලවේගය, පෙරටුගාමී ඇතුළු වමට බර කඳවුරක් තමයි.

    ලංකාවේ රනිල් වික්‍රමසිංහ යනු අසාර්ථක නිවට කෙනෙක් ලෙසයි දැක්කේ. ඒත් රට බංකොලොත් වීමත් එක්ක ඒ ගැන වැඩිපුර කියවන්න යොමු වුණා. Ecinomics පොඩ්ඩක් ඉගෙන ගත්තේත් ඒකයි ඒ වගේම මේ ටික ලීවේ ඔබත් මමත් දරන දේශපාලන දර්ශන අතර ලොකු වෙනසක් ඇති බව කීමටයි. දැන් කාරණයට ගියොත්,

    1. ලංකාව රටක් විදියට fail බව ඇත්ත. හැබෙයි කොච්චර fail ද? දකුණු ආසියාවේ රටවල් වලින් අපිට වඩා ඒක පුද්ගල අදායමක් තියෙන්නේ මාලදිවයිනේ විතරය්. ඉන්දියාව පවා තවමත් අපිට පිටු පසින්. ඒක නිකන් 40 ඉන්න පන්තියක 30 වෙනියා වුණා වගේ. අපි හොඳ නෑ තමා. හැබෙයි පට්ටම අවුල් නෑ.

    2. අපි දුගී රටක් නොවේ. දුගී රටවල් ගොඩක් ලෝකයේ තියනව. අපි මද්යම පහල අදායම් රටක්. මේ විදියට ගියොත් ඉක්මනින් මද්යම ඉහල කණ්ඩායට upgrade වෙන්න පුළුවන්. මේ වර්ගීකරනය ලෝක බැංකු වෙබ් ඒකට ගියානම් බලා ගන්න පුළුවන්.

    3. අවුරුදු 76 ගිහිල්ලත් දියුණුම රටක් වෙන්න බැරි වුනේ අපි හරියට වෙළඳ පොළ ආර්ථික ක්‍රමය (වාහනය ) පාවිච්චි නොකිරීම නිසයි. Fiscal and monetary policy අවුල් ගැන ඉකොනොමැට්ටා තමයි හරියට කියලා දෙන්න දන්නේ. සමාජවාදී ක්‍රමය අතහැරිය ගමන් දියුණු වෙන ඉන්දියාව, වියට්නාමය ගැන බැලුවත් දියුණු වෙච්ච ජපානය, ඇමරිකාව ගැන බැලුවත් දියුණු නොවිච්ච කියුබාව, උතුරු කොරියාව දිහා බැලුවත් මේ සරල කාරණය ඒ කියන්නේ සමාජවාදයට වඩා ධනවාදය හොඳයි කියන එක තේරුම් ගන්න අමාරු නෑ.

    4. ජවිපෙ ජාතික ජන බලවේගය දූෂිත නොවුනත් දුෂණය වැලැක්වීමට පියවර ගන්නට ඉඩ තියෙනවා වුනත් තාම එහි අරටුව තුල පරණ වමේ හොල්මන් මුල් බැසගෙන තියනවා. මාකස්වාදය තාම අදහන අය එහි ප්‍රධානම ක්‍රියාකාරීන් අතර ඉන්නවා. ඒ නිසයි ජවිපෙ ජාතික ජන බලවේගය ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා නිවැරදි තේරීම නොවෙන්නේ. ඔබේ විග්‍රහය මා අනුමත කළොත් ලංකාවේ දේශපාලන ව්‍යාපාර අතරින් මා තෝරාගතයුතු කවුද කියල උපදෙසක් දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. //අජිත් ඔබ උග්‍ර කොමියුනිස්ට්වාදියකු සහ දැඩි මතධාරී වාමාංශික දේශපාලනය කරන කෙනෙක් විදිහට// හේ හේ කවදාවත් වෙලා ඉඳල නැහැ . 1983 වුනත්

      Delete
    2. ඔබේ විග්‍රහය මා අනුමත කළොත් ලංකාවේ දේශපාලන ව්‍යාපාර අතරින් මා තෝරාගතයුතු කවුද කියල උපදෙසක් දෙන්න පුලුවන්ද?- මම කැමති නැහැ කාටවත් උපදෙස් දෙන්න . ඒක තමන්ගේ තේරීමක්

      Delete
    3. මේ ඇනොගේ විග්‍රහය තමා මටත් හරියටම දැනෙන දේ

      Delete
  14. සමාජ වාදය ගැන මගේ ප්‍රධාන ආකල්පය තමා ඒක කෘතිමව සමාජය මත පටවන්න යෑම නිසා සාර්ථක නොවන බව. මානවයා දියුණු වෙන්නේම පෞද්ගලික දේපල කියන දේ නිසා කියලයි මම හිතන්නේ. සමාජයක ඉන්න සියළු මිනිසුන්ට පෞද්ගලික දේපල ක්‍රමය අහෝසි කිරීමක් ගැන බලෙන් පැටෙව්වොත් ඒක පිළිගන්න වගේම පිළිනොගන්න පිරිසකුත් ඒ සමාජෙම ඉන්නවා. පිළිගන්න පිරිසට වඩා පිළිනොගන්න පිරිස වැඩි උන ගමන් ක්‍රමේ ආයි කණපිට පෙරලෙනවා. සමාජවාදි විප්ලවේ වගේම තමා. හැබැයි ඔය ඩාවින් කියලා තියෙනවා වගේ පරිණාමයේ ප්‍රතිඵලයක් විදියට පෞද්ගලික දේපල ක්‍රමය ඉබේම අහෝසි වෙලා ගියොත් නම් සමාජවාදය ඉතිරි වේවී. සමාජවාදය ඉතුරු වෙලා පෞද්ගලික දේපල නැති උනොත් පරිණාමය අවසන් වේවී.

    ""මේ ගැන මගේ අදහස නම් ඉතින් ඒ ඒ කාලෙට මිණිස්සු වැළඳ ගන්නා අදහස අනුව තමා ඒ ඒ කාලවල මිණිස්සු කටයුතු කරන්නේ. අනික එකම මණුස්සයා උනත් කාලෙත් එක්ක තමන් බැදෙන දේවල් සහා විශ්වාස කරන දේවල් වෙනස් කරනවා. එදා සටන් කරපු මිණිස්සු විශ්වාස කලා තමුන් තෝරා ගත්තු ක්‍රමේ හරි කියලා. පදක්කමුත් ලැබුනා. පස්සේ හිතුනා වෙන්න පුළුවන් තමන් කරපු සටන හරි උනත් සටන් කරපු දේවල් වැරදියි කියලා.

    ReplyDelete
    Replies
    1. මූලික සමාජවාදී සමාජයක පෞද්ගලික දේපල අහෝසි කරන්නේ නැහැ. විශාල වැඩිනම් බෙදා ගන්න කියනවා නැති මිනිස්සු එක්ක . ටිකක් අමාරු වැඩක් . ඩාවින් සත්ව සමාජය ගැන කීව වගේ තමා මාක්ස් මනුෂ්‍ය සමාජය ගැන ලීවේ. ඔව් . ඒ මිනිස්සු එහෙම හිතන්නත් ඇති .

      Delete
    2. ඔය විශාල වැඩි නම් බෙදා ගන්න කියලා කිව්වට ඒක වෙන්නේ නෑනේ. උදාහරණෙකට ලක්ෂ 20ක් පඩි ගන්න කෙනෙක්ට කිව්වොත් "ඔයාගේ පඩිය වැඩියි තව දහදෙනෙක් එක්ක බෙදා ගන්න" කියලා කරයිද?

      ඒකට තමා රජය කියලා එකක් ඇවිල්ලා බදු ගහන්නේ. එතකොට ලක්ශ විස්සක් පඩි ගන්න කෙනාට ලක්ෂ විස්සම ගෙදර ගෙනියන්න වෙන් නෑ. ඒ වගේම ඒ ගන්න බදු වලින් සෞඛ්‍ය පහසුකම් එහෙම දියුණු කරන්න, යටිතල පහසුකම් දියුණු කරන්න වගේ යොදවනකොට අන්න ඒ පහසුකම් වලින් පනස්දාහක් පඩි ගන්න කෙනාටත් යම්කිසි සහනයක් ලැබිලා. නැත්තන් කොටසක් ලැබිලා.

      හැබැයි මං කියවලා තියෙන මාක්ස්වාදයේ නම් රාජ්‍යය කියන්නේ පාලකයාට පාලිතයා දිගටම පාලනය කරන්න තබා ගෙන ඉන්න උපකරණයක් විතරයි. පූර්ණ කොමියුනිස්ට් ක්‍රමයේදී රාජ්‍යයක් පවතින්න බෑ.

      මට හිතෙන විදියට රාජ්‍යය කියන දේත් පරිණාමය එක්ක බිහි වුණු දෙයක්. ඒක පාලකයන් විසින් වැරදියට භාවිතා කරන අවස්ථා තිබුනත් ඒකෙන් ප්‍රායෝගිකව යම්තාක් දුරකට කොමියුනිස්ට් ක්‍රමයක් හැදෙනවා.

      ගොඩක් මිණිස්සු බලන්නේ ඍජුවම තමන්ගේ ගොඩ වැඩි කරගන්න විතරයි. වක්‍රව තමන්ට ලැබෙන දේ ගැන හිතන්නේ සුළුතරයක්. ඒකනේ ලංකාවේ මිණිස්සු හැමදාම වැඩි පඩි ඉල්ලන්නේ. මොකද සත්වයා හැඩ ගැහිලා තියෙන්නේ පෞද්ගලික දේපලක් ලබා ගන්න සහ ආරක්ෂා කරගන්න.

      Delete
  15. සමාජ වාදය ගැන මගේ ප්‍රධාන ආකල්පය තමා ඒක කෘතිමව සමාජය මත පටවන්න යෑම නිසා සාර්ථක නොවන බව. මානවයා දියුණු වෙන්නේම පෞද්ගලික දේපල කියන දේ නිසා කියලයි මම හිතන්නේ. සමාජයක ඉන්න සියළු මිනිසුන්ට පෞද්ගලික දේපල ක්‍රමය අහෝසි කිරීමක් ගැන බලෙන් පැටෙව්වොත් ඒක පිළිගන්න වගේම පිළිනොගන්න පිරිසකුත් ඒ සමාජෙම ඉන්නවා. පිළිගන්න පිරිසට වඩා පිළිනොගන්න පිරිස වැඩි උන ගමන් ක්‍රමේ ආයි කණපිට පෙරලෙනවා. සමාජවාදි විප්ලවේ වගේම තමා. හැබැයි ඔය ඩාවින් කියලා තියෙනවා වගේ පරිණාමයේ ප්‍රතිඵලයක් විදියට පෞද්ගලික දේපල ක්‍රමය ඉබේම අහෝසි වෙලා ගියොත් නම් සමාජවාදය ඉතිරි වේවී. සමාජවාදය ඉතුරු වෙලා පෞද්ගලික දේපල නැති උනොත් පරිණාමය අවසන් වේවී.

    "ප්‍රශ්නය , තමන් දහඩිය හෙලපු ශ්‍රමය වැය කරලා ගොඩ නගපු රට , ෆැසිස්ට් වාදයෙන් බේරා ගැනීමට දිවි පරදුවට තබා සටන් කල රට අනාගතයේ කඩා වැටෙන්නට නියමිත බව දැන සිටියේ නම් ඔවුන් එසේ කරයිද ?"

    මේ ගැන මගේ අදහස නම් ඉතින් ඒ ඒ කාලෙට මිණිස්සු වැළඳ ගන්නා අදහස අනුව තමා ඒ ඒ කාලවල මිණිස්සු කටයුතු කරන්නේ. අනික එකම මණුස්සයා උනත් කාලෙත් එක්ක තමන් බැදෙන දේවල් සහා විශ්වාස කරන දේවල් වෙනස් කරනවා. එදා සටන් කරපු මිණිස්සු විශ්වාස කලා තමුන් තෝරා ගත්තු ක්‍රමේ හරි කියලා. පදක්කමුත් ලැබුනා. පස්සේ හිතුනා වෙන්න පුළුවන් තමන් කරපු සටන හරි උනත් සටන් කරපු දේවල් වැරදියි කියලා.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .