Saturday, 15 November 2025

පින්ලන්ත ගමන 3 - වයිල්ඩ් ලයිෆ් සෆාරිය





උදයේ අපි සුවොමන්ලිනා ගිය පසු මදක් සවස් වී වයිල්ඩ් ලයිෆ් සෆාරිය බිරින්දෑ විසින්  සංවිධානය කර තිබුණි .  මේ ගමන ගියේ සැප්තැම්බර්  අට වනදාය.   අපි ජර්මන් වෙලාවට හෙවත් නියමිත වෙලවට පැය භාගයකට  කලින් පරිදි කැෆේ එකක් අසල  නතර වී සිටියෙමු.  අපි තිදෙනා තවත් දෙදෙනෙක් ගමනට එක්විය .  ඔන්ලයින් බුක් කර තිබූ අය බැවින් අපි හඳුනා ගත්තේ ඒ අවස්ථාවේය.  කාන්තාව ස්විට්සර්ලන්තයේ සිට පැමිණ සිටියාය.  තරුණයා තවත් ජර්මන් ජාතිකයෙකි. අපේ සෆාරි මාර්ගෝපදේශිකාව ෆින්ලන්ත ජාතිකයෙකු ලෙස තමා හඳුන්වා දුන්නාය.  ඇගේ නම් පැට්‍රිෂියා විය .  මාත් පොඩි දුවත් ඉදිරි අසුනේද අනිත් තිදෙනා පසුපස අසුන්වල හිඳගත් පසු ඇගේ වෑන් රථයේ ගමන ආරම්භ කළෙමු .   

ගමන පටන් ගත්තේ හෙල්සින්කි වල නෙර්වන්දෙරින්කටු නම් පෙදෙසිනි .  විනාඩි හතලිස් පහක පමණ ගමනකින් පසු අප ලඟා වන්නේ පොර්ක්කලන්නියෙමි (පොර්ක්කලා) ප්‍රදේශයටය .  ගමන අතරමග දී දොඩමළු වූ පැට්‍රිෂියා ඇය ඊජිප්තු,  ජර්මන් ,  ෆින් සහ තවත් භාෂා කතා කරන  බව කීවාය . ශීතලට අකැමති නිසා ඇගේ මව,  පියා සහ සොයුරිය ජිවත් වන්නේ ඊජිප්තුවේ බවද  කීවාය. කුතුහලය නිසා ඒ ඇයිදැයි ඇසූ විට ඇගේ පියා ෆින්ලන්ත ගමන් බලපත්‍රය ඇති ඊජිප්තු වේ වාසය  කිරීමටද හැකි ජෝර්දාන් ගමන් බලපත්‍රය ඇත්තෙකැයි පැවසුවාය.  ඔහු පලස්තීන ජාතිකයෙක් දැයි මම  එකවරම ඇසුවෙමි .  පුදුමයට පත්වූ ඈ කීවේ එවැන්නක් පැවසූ  එකම තැනැත්තා මා  බවයි .  ඒ බව දැන ගත්තේ කෙසේද යයි ඇසුවාය. යුද්ධය නිසා බොහෝ පලස්තීන වැසියනට ජෝර්දානයේ ජිවත් වීමට සිදුවූ නිසා එහි ගමන් බලපත්‍රයද පසුව ඔවුන් ඊජිප්තුවේ සිටීමට අවසර ලැබීම ගැනද  දන්නා නිසා යයි කීවෙමි. ඉන්පසු ඇය අප සමග බොහෝ කුළුපග විය. ඔවුන්ගේ පවුලේ මුළු ජිවිත කතාවම ඒ යන අතරමග පැවසුවාය. ඇගේ  ෆින්ලන්ත ජාතික මව ඊජිප්තුවට වඩා කැමති බවත් ඇයද පසු කලෙක යාමට ඉඩ ඇති බවත් කීවාය.  පින්තූරයේ සිටින්නේ පැට්‍රීෂියාය .  
පොර්ක්කලා ප්‍රදේශයද ඓතිහාසික වශයෙන් වැදගත්ය. එය පිහිටා ඇති ප්‍රදේශ කිර්ක්කොනුමි නම් වේ .  රුසියාවේ මහා පීටර් (පීටර් I) රජු   ශාන්ත පිතර්බුර්ගය  ආරක්ෂා කිරීම සඳහා මෙහි හමුදා කඳවුරු පිහිටවීය. ගල්ෆ් ඔෆ් ෆින්ලන්ඩ් නැමති මුහුදු කොටසට පිවිසුම් ලක්ෂයක් වූ නිසා එසේ කලත් රුසියානු අධිරාජ්‍යයෙන් නිදහස ලැබූ පසු ඔවුන්ට (ෆින් වරුන්ට )  නැවතත් එම ප්‍රදේශය අයත්විය .  එහෙත් දෙවන ලෝක යුද්ධය අවසානයේ  1944-1956 දක්වා සෝවියට් දේශය තම නාවික හමුදා බලඝනයක් පිහිටවීම  සඳහා මෙම ප්‍රදේශය ෆින්ලන්තයෙන් කුලියට ගත්තේය .  එහි වැසියන් සියල්ලෝම  ඉවත් කෙරුණි .  සෝවියට් හමුදා ඉවත්වූ පසු එම ප්‍රදේශය වල් බිහිව ගිය අතර ඉන්පසු මිනිසුන් නැති නිසා මේ ප්‍රදේශයේ  දර්ශනීය වනාන්තර ප්‍රදේශයක් බිහි විය.  එහි මූස් නමැති ගෝනුන්ට සමාන විශාල සත්වයන්ද , පිණි මුවන් හා තිත් මුවන්ද විශාල වර්ගයක හාවුන්ද  නොයෙකුත් සංක්‍රමණික පක්ෂින්ද වෙසෙති. සමහර කාල වල දුඹුරු  වලසුන් හා වෘකයන් ද දැකිය හැකිය. බොහෝ ෆින්ලන්ත ජාතිකයන් හා සංචාරකයන්  මෙහි ඇවිදීමට පැමිණෙති .  එසේම කුඩාරම් ගසා වසන්ත කාලයේ රාත්‍රිය ගත කරන අයද බොහෝය .     හිම වැටෙන ශීත සමයේ මේ පෙදෙසේ වෙනස්ම අලංකාර බවක් දැකිය හැකි යයි පැට්‍රිෂියා කීවාය.














අපේ සෆාරියේ කෑම පිළියෙළ කිරීමට දර කපන්නට පැට්‍රීෂියා ආරාධනා කළාය. ෆින්ලන්තයේ මෙවැනි ඇවිදීමට තිබෙන කැලෑ හා සංචාරක අඩවි වල රජයෙන් බාබෙකිව් දැමීමට ස්ථාන සාදාතිබේ .  එසේම දර ගබඩා වක් දෙකක්ද තිබේ .  එහි දැල්වීමට දර ඕනෑ තරම් ඇති අතර දර කැපීමට පොරෝ ද කියත්ද තබා තිබේ .  දර කියතින් ඉක්මනින් කපා දර කොට ගිලටිනයක් වැනි මුවහත් තුඩක තබා තවත් දර පොල්ලකින් ගසා ඒවා කැබැලි කළ හැකිය. ඉතා ඉක්මනින්  දර කපා ගැනීමට පැට්‍රිෂියා ට උදව් කළෙමු.
  








මේ අවට ඇවිදීමට ඉතා සුන්දර පෙදෙසකි. පරිසරයේ සුන්දරත්වය ද  ඉඳහිට ඇසෙන කුරුල්ලෙකුගේ හෝ වෙනයම් සතෙකුගේ හඬද ඇරෙන්නට පරිසරය ඉතා නිශ්චලය. අප දුටුවේ තව එක වෑන් රථයක රාත්‍රියේ කුඩාරමක් තනාගෙන නැවතීමට යන යුවලක් පමණි .  තවත් දෙයක් දැන ගන්නට ලැබුණි. ෆින්ලන්තයේ වැසියෙකුට හෝ සංචාරකයෙකුට හෝ    ඕනෑම අයෙකුට පැය 24ක් එනම් දවසක් ඕනෑම පෞද්ගලික ඉඩමක නතරවීමට අවසර ඇත. සමහර තැන්වල නිවසේ ඉදිරිපස ලියා ඇතිනම් එහිද සිටිය හැකිය.  සමහරු කැබින් විවෘතව තබා ඇත. වසා  ඇති ඒවාට යමට අවසර නැති වුනත් එම ඉඩමේ නැවතී සිටිය හැකිය. බොහෝ  ශීතල කාලවල ,  සෘණ හතළිහකට යන අවස්ථාවක අතරමන් වුවහොත් කියා එම නීතිය පනවන්නට ඇතැයි සිතමි . 

මෙය හඳුන්වන්නේ එව්රිමැන්'ස් රයිට් හෙවත් හැම කෙනෙකුගේම අයිතියක් කියාය .  (Jokamiehenoikeudet)
ඒ පිළිබඳව පහල විස්තරයක් ඇත . 

අප පැට්‍රිෂියා ආහාර පිළියෙළ කරනතුරු ඇවිද්දෙමු .  ඒ අතර රතු පාට දම් (බෙරි)  වර්ගයක් කඩා කෑවෙමු. පැට්‍රිෂියා අපට මස් දමා හැදු බනිසක් කෑමට දුන් අතර නිවසේ අර බෙරි  වලින් සෑදු යුෂ බොන්නට දුනි. ලංකාවේ මෙවැනි සෆාරි එකකදී මිට වඩා හොඳ ආහාර සංග්‍රහයක් ලැබෙන බව නම් කිව යුතුය.      
නමුත් ලංකාවේ සහ කෙන්යාව  වැනි  රටවල සෆාරි වල ,  ජීප් එක විස්සක් තිහක් වනෝද්‍යාන වලට ගොස්  නැවතී බලා  සිටීමට මම කැමති නැත .  එහි ඇත්තේ එක්තරා විධිහක ඝෝෂාකාරී බවකි .  මෙවැනි  හුදෙකලා  තැන් වලට යාම අපි වඩාත් ප්‍රිය කරන්නෙමු. ඉතා ඉක්මනින් අඳුරු වැටුණු   අතර අපි සතුන් බැලීමට ගියෙමු .  





අපිට දුන් දුර දක්නා වලින් ගත මූස් ලා දෙන්නෙකුගේ ඡායාරුප මෙහි ඇත .  තිත් මුවන් දෙන්නෙකුද එතැනම  සිටියහ .  ඒ ඇරෙන්නට වෙන සතුන් නොදුටුවෙමු .  













රාත්‍රිය එළඹ ඇති නිසා එතනින් නික්ම ආවෙමු .  නැවත හෙල්සින්කි එනවිට රාත්‍රී අට පසුව තිබුණි . මේ තියෙන්නේ යුටියුබ් චැනලයට එක කල වීඩියෝ දෙක තුනකි .  
වාහනයේ යන අතරමග . 

පැට්‍රිෂියා දර පලන අයුරු . 

ලොකු හාවෙක් වහනය ඉදිරිපසින් දිව යයි . 


මූස් ලා දෙන්නෙකු දුටු අවස්ථාව . 
  

ස්ලයිඩ් ක්‍රමය මදකට නවතා දැමුවේ පින්තූර හරි හැටි පෙනෙන්නේ නැති බවට පැවසූ නිසාය . 

කොළඹ ගමයා 15/11/2025


ෆින්ලන්තයේ "සෑම මිනිසෙකුගේම අයිතිවාසිකම්" සංකල්පය (ජොකාමියේහෙණෝයිකේඋඩෙට් / Jokamiehenoikeudet)

නිදහස් හා විවෘත ප්‍රවේශය (Access is Free and Open): මූලික මූලධර්මය වන්නේ, ඕනෑම කෙනෙකුට (පදිංචිකරුවෙකුට හෝ සංචාරකයෙකුට) ඉඩම් හිමියාගේ අවසරයකින් හෝ ගාස්තුවකින් තොරව, පෞද්ගලික ඉඩම්වල වුවද, ස්වභාවික පරිසරයේ ගමන් කිරීමට, කඳු නැගීමට, හිම මත ලිස්සා යාමට, පාපැදි පැදීමට සහ තාවකාලිකව නැවතී කඳවුරු බැඳීමට හැකි වීමයි.

තාවකාලික කඳවුරු බැඳීම (Temporary Camping): නීති රීති අනුගමනය කරන තාක් කල්, ඔබට සාමාන්‍යයෙන් පෞද්ගලික ඉඩම්වල තාවකාලිකව (එක් රාත්‍රියක් හෝ සති අන්තයක් වැනි කෙටි කාලයක් සඳහා) කූඩාරමක් ගසා කඳවුරු බැඳීමට අවසර ඇත.

නිශ්ශබ්දතාවය සහ හුදකලාව (Silence and Isolation): පරිසරයට බාධාවක් නොවිය යුතුය. ඔබ පරිසරයට හෝ ඉඩම් හිමියාට හානි කිරීම, හානි සිදු කිරීම හෝ බාධා කිරීම නොකළ යුතුය.