Friday, 13 January 2017

නෙළුම් යාය 2016 බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත්

නෙළුම් යාය වෙබ් අඩවියේ පහත සඳහන් දැන්වීම පළ කර තිබේ.
නෙළුම් යාය 2016 වසර සඳහා වන බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත්  2017 මාර්තු 25 වනදා පැවැත්වේ.

ගිය වසර වලදී මෙන්ම මේ වසරේද පහත සඳහන් අංගයන් සඳහා සම්මාන, සහතික සහ ත්‍යාගයන් පිරි නමනු ලැබේ.

වසරේ හොඳම බ්ලොග් අඩවිය ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානය සඳහා පිළිවෙලින් මුදලින් රුපියල්  25.000, 15,000 හා 10,000 බැගින්  පිරි නමනු ලැබේ.

හතර  සහ පස්වන ස්ථාන වලට නෙළුම් යාය සම්මානයක් හිමිවනු ඇත. 
මුදලින් රුපියල්  5000 සහ නෙළුම් යාය සම්මානයක් පහත සඳහන් අංගයන් සඳහා පිරි නමනු ලැබේ.

1. අතීත කාමය 
2. අධ්‍යාපනික 
3.ඉතිහාසය 
4. කාලින සංවාද 
5. කෙටි කථා 
6. දේශපාලන 
7. පරිවර්තන 
8.ප්‍රහසන 
9. බ්ලොග් නවකතා 
10. විද්‍යා ප්‍රබන්ධ 
11. විද්‍යා හා තාක්ෂණ 
12. විවිධාංග 
13. සංගීතය 
14.  සංචාරක හා ඡායාරූප 
15. කාව්‍ය නිර්මාණ 
16. සාහිත්‍ය කලා  විචාර 

ඔබට ඔබේ බ්ලොග් අඩවියද මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. ඉහත සඳහන් අංගයන් ගෙන්  එකකට ඔබේ බ්ලොග් ලිපියක් සුදුසු යයි සිතේ නම් එය එවන්න. එසේම සහෝදර බ්ලොග්කරුවන්ට ද තමන් කැමති බ්ලොග් වල තේරීම් එවිය හැකිය. සියලුම බ්ලොග් ලිපි පලවී තිබිය යුත්තේ 2016 ජනවාරි 1 දා සිට 2016 දෙසැම්බර් 31 දා වන කාල පරාසය තුල පමණි.

ඔබගේ තේරීම් මේ ඊමේල් ලිපින වලට එවන්න.
editor@nelumyaya.com
deputyeditor@lankanewsweb.net
කල්‍යාණ මිත්‍ර - sumithyapa@gmail.com
අටම් පහුර - atampahura@gmail.com

එක්  එක් අංගයන් සදහා බ්ලොග් අඩවි 5 බැගින් නිර්දේශ කරනු ලැබේ. අවසන් තේරීම මාර්තු 25 දින ප්‍රකාශයට පත් වනු ඇත.   අපක්ෂපාති විනිශ්චය මණ්ඩලයක් මගින් බ්ලොග් තේරීම් සිදු කරනු ඇත. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණයයි.

නෙළුම් යාය බ්ලොග් අඩවි සඳහා පමණක් වන වෙබ් අඩවියකි. එය ලංකානිව්ස්වෙබ් අඩවියේ නෙළුම් යාය කොටසට සම්බන්ධ පෞද්ගලික මුදලින් නඩත්තු වන වෙබ් අඩවියකි. බ්ලොග්පවර් http://www.blogpower.info/ යනු එයට සම්බන්ධ සින්ඩිය වන අතර එය ද පෞද්ගලික මුදලින් නඩත්තු වන්නකි.

නෙළුම් යාය සම්මන උළෙල පවතින ශ්‍රී ලංකාවේ රජය සමග කිසිදු සම්බන්ධයක් නැත. මෙය රාජ්‍ය සම්මන උළෙලක් ද නොවේ. නමුත් රජයේ නිලධාරියෙකු හෝ රජයකට සම්බන්ධ දේශපාලනඥයෙකුගේ උදව් ලැබුනොත් ඒවා ප්‍රතික්ෂේප කරන්නේද  නැත. ඒවා විනිවිද භාවයෙන් අනිකුත් බ්ලොග් කරුවන්ගේ සහභාගිත්වයෙන් ලබා ගනු ඇත. (පසුගිය වසරේ ශාලාව ලබා ගැනීමට ගියේද අනිකුත් බ්ලොග් කරුවන් සමගය.) වෙනත් ඕනෑම අයෙකුටද මෙවැනි උළෙලවල් සංවිධානය කළහැකි  අතර ඉල්ලීමක් කරන්නේ නම් හැකි ඕනෑම උදව්වක් කරන්නෙමු.  නෙළුම් යාය පිළිබඳ අවසන් තීරණ ගන්නේ නෙළුම් යාය සංස්කාරක මඩුල්ලය.

මේ බ්ලොග් සම්මාන උළෙලේදී හැකි පමණ බ්ලොග් කරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ  දරන්නෙමු. සමහරු මග හැරී  යා හැකි අතර සැවොම සතුටු කිරීමද කල නොහැක. 

වෙනත් ඕනෑම නිර්මාණාත්මක ක්‍රියාවකදී මෙන් මෙයටද විවේචන එල්ල විය හැකි බවත් ඕනෑම දෙයක් 100% නිවැරදිව කිරීමට නොහැකි බවත් පිළි ගන්නෙමු.  අපේ ශක්ති ප්‍රමාණව හැකි තාක් සාධාරණව, නිවැරදිව, අපේ හෘදය සාක්ෂියට එකඟව  මේ උළෙල කිරීමට හැකි සෑම උත්සාහයක් ම දරන්නෙමු. 

නෙළුම් යාය ප්‍රධාන සංස්කාරක.

(කොළඹ  ගමයා බ්ලොග් අඩවිය මෙම සම්මාන උළෙලට (තරඟ සඳහා) ඉදිරිපත් වන්නේ නැත.)

Wednesday, 11 January 2017

හිතුවක්කාරී?

මගේ බ්ලොගයේ පළකළ ලිපි ඇතුලත් "පොල්කට්ටෙන් එලියට " පොත එළි දැක්වූදා ප්‍රකාශකයෙකු විසින් පැමිණ පොත් කිහිපයක් අප අතර බෙදා දුනි. මම එය උඩින් පල්ලෙන් බලා පසුව කියවන්නට තබා ගතිමි. පොත ඇත්තටම කියවන්නට ලැබුනේ පසුගිය උඳුවප් මසය. ඒ හදිසියේ සොහොයුරෙකුගේ අසනීපයට ශ්‍රී ලංකාවට ගිය බැවිනි. පොතද රැගෙන ගිය මම එය කියවා  අවසන් කලෙමි.

කතාව පටන් ගන්නේ ශාන්ති නමැති රුවැති ගුරිවරියක ට ලැබෙන ඉංග්‍රීසි ගුරු පත්වීමකිනි. ඉංග්‍රීසි ඉගැන්වීම වෙනුවට ඇයට පුංචි උන්ගේ පන්තියක් බලාගන්නට පැවරෙන්නේ විදුහල්පති බිරිඳගේ සටකපට කමකටය. නමුත් ඇය ඒ පුංචි උන්ගේ ලෝකයේ ගිලෙන්නීය. නිදි කුමාරි හා නිශ්ශබ්ද විලියම් ලා  සොයා පිය නගන්නීය.

ශාන්තිගේ රුව ගුරු නිවසේ නවාතැන් ගත්  අනිත් ගුරිවරියවූ ශර්මිලාගේ නෙතින් දන්වන්නේ අපුර්ව ලෙසය.

"මද විදුලි එළියෙන් දැල්වුණු, චාම් සැහැල්ලු දුහුල් කපු පිළියෙන් නිමැවුණු රෑ ඇඳුමෙන් වැසුනු නොවැසුනු, නූස් නොමිටි නිරූපිකා සිරුර හා සුලලිත් අංග පසඟද, නිදිබර දෙනෙත් හා සුනිසිත මුව මතින් ඇඳුනු සරල සිහින් සිනහවෙන් ඔප වැටුණු අනාලේපිත වත කමලද; දහවලෙහි ද රැයෙහිද එක සේ දිස්වන, ලාවණ්‍යාගාර පහස නොමුසු, ඡවි කල්‍යාණයෙහි ස්වභාවික ආකර්ෂණ පැහැයද; ඇය සිත තුල සටහන් වූයේ නොවැටහෙන මිශ්‍ර හැඟීමක්ද උපද්දමිනි.  "  මේ ස්වභාවයෙන්ම වූ රූමත් වූ ලිය ගැන පිරිමි ගැහැණු දෙපිරිසම ආකර්ශනය වන්නේ යයි මේ සොඳුරු වියමනෙන් හැඟවෙයි.

නවාතැනේ යෙහෙළිය මෙන්ම යෙහෙලියකද නොවූ නොගැලපෙන ශර්මිලාගේ ජීවිතය ගැන විවරණයක් මෙන්ම උපමා වලින් යුක්ත වූද කතාවක් ඉන්පසු ඉදිරිපත් වෙයි. තම පන්තියේ පුංචි දරුවන් දෙදෙනෙකුගේ ජිවිතයට එබී බැලීමට ශාන්ති තීරණය කරයි. ඉනික්බිතිව  එළඹෙන්නේ කතුවරයා විසින් ඒ පවුල් ගැන කරන විවරණයකි.

ඒ අතරේම ඔහුගේ හෙළ බස හැසිරවීමේ අප්‍රමාණ  හැකියාවද කියවන්නාට ආස්වාදයක් ගෙන දෙයි. පහත වදන් පෙලින් අපුර්ව චිත්‍රයක් සිතෙහි මැවෙන්නේ නැතිද? සුමටවූ සිනිඳු වූ සෞම්‍ය වූ භාෂාවකින් කියවෙන විස්තරය අමුතුම ආහ්ලාද්යක් සිත ජනිත නොකරන්නේද?

"දිය හිඟව සෙමෙන් ගලන කඩතොළු ඇළ නඟන සිහින් සරසරය, ඉඳහිට හමන මලානික කාෂ්ඨක සුළඟට  නතු ව වියළි තුරු හිමිගෙන් වියෝ ව තෙත  රහිත මිහි මත පතිත වන වියපත් කොළයක ශෝකී ස්වරය, හිරු හා උරණ ටකරම් තහඩු මවන උණුසුම් වාෂ්පී තාපය, පොඩීත්තියගේ නැවුම් සිරුරේ සජීවී සංවේදනය, සිය ඇලපතට වදින සිඟිති නැහැ පුඩු අගින් විහිදෙන කෙටි හුස්ම දනවන තෙත් රත් පහස, ශාන්තී සිතුවිලි නිදන, කාලය නිසල, හුදෙකලාවක් නොවන හුදෙකලාවක, ආස්වාදයක් නොවන ආස්වාදයක, හිස් බවක් නොවන හිස් බවක, දැහැන්ගත කළාය." (පිටුව 21)

ටකරම් තහඩුවක් යට තැනුණු කුඩා නිවසක් ගැන නොවේද මේ කියන්නේ.

ශාන්තී ගේ කතාවට පොඩිත්තියක හා ඇගේ මව කුමාරි ගේ අනුවේදනීය කතාවක් ද  එක්වෙයි. නව කතාවක් යැයි සිතුවක්  කෙටි කතාවක් ලෙස හදිසියේම අවසන් වෙයි. ඇත්තටම එය එසේද?

කතාවක් තුල කතාවක් ( story within a story) යනු සාහිත්‍ය ඉතිහාසයේ "මිසා න බිම්" (Mise en abyme) යන ප්‍රංශ නමින්ද  හඳුන්වන සාහිත්‍ය ලියවිලි ක්‍රමයකි. අන්ද්රේ  ගිඩ් ගේ කලාවේ විවිධ අංගයන් තුල ස්ව-නිරූපණය ලෙස හැඳින්වෙතත් පංච තන්ත්‍රයේ මෙන් කතාවක් තුල කතාවක් (හෙවත් කතාවේ එවැනිම වූ වෙනත් හා වෙනස්   කොපියක්) ගැන කීමටද මෙය යෙදවේ.  එසේම කෙටි කතා කවය (short story cycle) නමින් හඳුන්වන සාහිත්‍ය ක්‍රමයේ එකකට එකක් ඈඳුනු කෙටි කතා සමුහයකින්  ද එක කතාවක් නිමවෙයි.   මට පෙනෙන ලෙසට කතුවරයා ඉතා සාර්ථක ලෙස මේ ක්‍රම දෙක සම්මිශ්‍රණය කරයි. 

ගුරු නිවසෙන් නික්ම මාරුව ලැබුණු ශාන්ති නව විදුහලට යයි. ඉන්පසු ඇරඹෙන්නේ ශර්මිලාගේ කතාවයි . ශාන්ති සමග ගුරු නිවස්නයේ පදිංචිව සිටියේ ඈය. කතාව  නව මානයකින් ශාන්ති දෙස බැලීමට අපව යොමු කරයි. පසුව  එළඹෙන්නේ සිංහල ගුරුවරයාගේ, විදුහල්පතිගේ සහ විදුහල්පති  බිරියගේ වාරයයි. නැවත නැවතත් එකම කතාව එහි පාත්‍ර වර්ගයාගේ ඇසින් අපට විශ්ලේෂණය කරවයි. විදුහල්පතිගේ ක්‍රියා කලාපය ගැන හෝ සිංහල ගුරුවරයාගේ ක්‍රියා කලාපය ගැන ඇතිවන  පාඨක අමනාපය නිවෙයි. කසිප්පු  විල්සන් මුදලාලි ගැනද ශූර ලෙස පාඨක අනුකම්පාව ඉපිදවිමට කතුවරයා සමත් වෙයි .

 මේ අපුරු කතාව තුලින්  මවිසින් උපුටා ගෙන සටහන් කල වදන් පෙළක් මගේ මතකයට නංවයි. එනම් "ඔබ කෙනෙකු (ගේ ඇවිදීම) විවේචනය කිරීමට කලින්  ඔහු හෝ ඇයගේ සපත්තු පැළඳ ගව්වක් ඇවිදින්න" යනුවෙනි. විවිධ චරිත වල ඇසින් කතාව නැවත නැවත කීමේදී අප නෙත ගැටෙන සත්‍යය ද එයයි.

කුමාරිගේ පියා  හා මව වන ලලිතා ගේ කතාන්දරය ප්‍රධාන කතාව වෙන්නේ අපහසුවකින් තොරවය. කුමාරිගේ පියා  තරුණයන්ගේ අරගලය ට සහභාගිවුණු සටන්කාමියෙකි. අත් අඩංගුවට පත් සටන්කාමීන් ගෙන් දිවි බේරුණු කීප දෙනෙකුගෙන් අයෙකි.
"වැදිච්ච පහරවල් වල, කරන්ට් ඇල්ලිලිවල, ලාච්චුවට දැමිලි වල, වේදනාව විතරයි, ඒ දවස් වල දැනුනේ. "(පිටුව 103)

අපහසුවකින් තොරව කුමාරිගේ පියා නිමල් ගේ ගොරතර බියකරු යාමය ගැන කියන කතුවරයා  පියකරුව ලියවෙන ප්‍රේම කතාවකට කුමාරිගේ මව හරහා හීන් සීරුවේ එළැඹෙයි.
"අපි දෙන්න සිතල මහා රෑක, කරුවල ගෙදරක, නිවෙන ලිප විතරක් සීතලයි කරුවලයි පන්න ගන්න  බැරිමරගාතේ පොර බදද්දී තනිවුනා. වෙන්ඩ ඕන සියල්ල සිද්ධ වුණා. මට මතක තියෙන්නේ පෙරමුණ ගත්තේ මං කියන  එක විතරයි."
"ගමේ කෙනෙක් හරි පොලිසියෙන් හරි හමුදාවෙන් හරි කොයි වෙලේ එයිද කියල හිත හිතා ගිනි ගහන අව්වේ, ගස් හෙවනේ, වල ගොල්ලේදී කාම ගින්න නිවා ගත්ත."

මේ ගැහැණියම නිමල් හමුදාවේ අත් අඩංගුවෙන් බේරා ගන්නය  තම පතිවත යුධ හමුදා ප්‍රධානියාට දන්දෙයි. කුමාරි නම් දියණිය ඇගේ කයට පිවිසෙන්නේ ඒ හේතුවෙනි.

තමන් සමග එකට අත් අඩංගුවේ සිටි පක්ෂයේ සහෝදරයෙකුගෙන් ඒ අමිහිරි රහස, එනම් කුමාරිගේ පියා තමන් නොවන වග නිමල් දැනගනී. ඉන්පසු ඔහුගේ හැසිරීම තවත් ශෝචනීය  සිද්ධි දාමයක මුල වෙයි.

කුමාරි තම දියණිය සල්ලාලයෙකුගෙන් බේරා  ගන්නට කරන සටනත් ඉන් පැරදී පලා යන අයුරුත් පාඨකයා දැන  ගන්නේ ක්‍රීඩා ගුරුවරයා ගෙනි. කුමාරිගේ ගනුදෙනු කරුවකු වන ඔහු ගැන අපට සානුකම්පිතව හිතෙන්නේ කතාවේ මේ කොටසිනි.

මේ කතාවේ කුමාරි හා කුමාරිගේ දියණිය ගැන මම කිසිවක් නොලියමි. එය කියවිය යුත්තේ ඔබය. මෙය සත්‍ය කතාවක් නම් අප ජිවත්වන සමාජය කෙරෙහි කිසියම් වෛරයක්, අසහනයක්, නොපහන් හැඟීමක්  සිත තුල ජනිතවනු ඇත. කෙටිකතා කිහිපය අවසානයේ මේ සිද්ධීන් මාලාවේ අවසන් ප්‍රතිපලය  පව්කාර කුමාරි යයි තමන් ව හඳුන්වා ගන්නා කතගේ අවසන් ලියුමෙන් කියැවෙයි.

"මට සන්තෝසෙන් යන්න පුළුවන්, දෝණිට අම්මට වැඩිය හොඳ රත්තරන් පුංචි අම්මෙක් හම්බ වුන හින්ද. නෑදෑයෙක් නොහිටපු දෝණිට හොඳ ආච්චියෙක් සීයෙක් හම්බ වුණ හින්ද."

හිතුවක්කාරිගේ උණුසුම්  හදවත අපට ඉතිරි කරමින් කතුවරයා සමු ගනියි.

මේ ලියමන මෙතැනින් අවසන් කරන්නට සිතුවත් ලැබුණු ප්‍රතිචාරයක් නිසා මේ අදහස් සමුච්ඡය ද  එක් කරමි.

මේ පොත එතරම් ජනප්‍රිය නොවුණු බව ප්‍රතිචාරයක් මගින් කියැවුණි. මෙය යථාර්ථවාදී  රීතියට අනුව ලියන ලද්දක්ද? විජිත ගුණරත්නගේ වලාපටල චිත්‍රපටයේ එකිනෙකට සම්බන්ධ යයි කිව නොහැකි සිද්ධීන්  මාලාවක්  විකාශනය වේ. අවසානයේදී අපට ඒවා එකිනෙකට ඇමිණිය හැකිය. මේ ග්‍රන්ථයේ  හැම කථා නායකයෙකුගේම කතාව අවසානයේ ඒවා ඇමිණිය හැකිය.  අනික මේ  යථාර්තයට මුහුණ දීමට සමාජය අපොහොසත්ය.

ශාන්ති ගැන යමක් එකතු කල යුතු යයි නැවත  සිතුනි. ශාන්ති යනු සුන්දර සුකුමාල රුවැති ඔබේ සාමාන්‍යකරණය  කරනල ද සිංහල ගැමි යුවතියක් නොවේ.  ඇය ඉංග්‍රීසි ගුරුවරියක් සේම බොහෝ විට විරුද්ධ ලිංගික ඇසුර නොපතන, එනිසාම හෝ සමාජයෙන් කිසියම් විනිශ්චයකට ලක්වුණු රූමත් තරුණියක බවත් අසාධාරණයකට භාජනය වූ දියණියක් ලෙසත් මට හැඟේ.

දීප්ති කුමාර ගුණරත්න ගේ "ඇසිඩ් වැස්ස" පොතේ මිචෙල් ෆුකෝ ට අනුව ජීවිතය යනු ප්‍රතිනිර්මාණය කළ හැකි කලා කෘතියක් යයි කියවේ.  මේ පොතේ ඇත්තේද ජීවිතය පිළිබඳ එවන් ප්‍රති නිර්මාණයකි.

පොත කියවා  අවසන් වනවිට පොතෙහි ඇතැම් පාත්‍ර වර්ගයා ගැන ඇතිවන හැඟීම කුමක්ද? නැවතත් මා "ඇසිඩ් වැස්ස" තුලින් සටහනක් ණයට ගනිමි. (පිටුව 37)

"මොලීනා විසින්  වැලන්ටයින්ට කියන  චිත්‍රපට කතා සරිත් සාගරය තුළ එක්තරා දර්ශනයක් සුවිශේෂ කොට සැළකිය හැකිය. කතාවට අනුව ස්ථානය වන්නේ ජර්මානුවන් යටත් කරගත් ප්‍රංශයේ පැරිස් නුවරයි. දිනක් ගෙස්ටාපෝ හමුදාවේ නායකයෙක් විවේකයෙන් සිටින මොහොතක තමන් ගේ ප්‍රංශ ජාතික  සුරතලියට මෙසේ පවසයි. 'අපිට මේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉතාම භයානක අපරාධ සමුහයක්. සමහර විට ඔබ පවා මෙයින් තැති ගැන් වී සිටිනවා ඇති. නමුත් අපිව වටහා ගන්න! මේ භයානක ක්‍රියාවන්ට යටින් පිරිසිදු අධ්‍යාත්මයක් සහිත හොඳ අවංක අව්‍යාජ මිනිසෙක් ජිවත් වෙනවා. එයාව හඳුනා ගන්න.!"

සමහර විට මේ පොතේ සිදුවීම් තුල අපට හමුවන සමාජය ගැන කියන්නට ඇත්තේද එයයි.

පසු කතාවක්:


පොතක් කියවූ පසු එය සිත් ගත්තේ නම් පෙරවදන පසුවදන ආදිය කියවීම මගේ සිරිතකි.ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවියන් විසින් අපූරු පසු වදනක් එක කර තිබිණි. කතා කිහිපයක් චරිතයන් තුලින්  ලියැවුණු  අපුරු ආකාරය ගැන ඔහුද සඳහනක්  කර තිබිණි. පොත 2014 ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේ  විශිෂ්ටතම නවකතාව ලෙස සම්මාන ලබා තිබුණි.

මෙනිසාම දෝ පොත කියැවීමේදී කියැවෙන්නේ  ඌවේ පාසලක් විය හැකියි සිතුනි. ඌවේ ලුණුගල පාසලක් ගැන මෙහි ලියා ඇත. මා  විශ්මයට පත්වූයේ කතුවරයාගේ ලිපිනය දැකීමෙනි.  එම ලිපිනයත් මා මේ බ්ලොග් ලිපියේ සඳහන් කරන නිවසත් එකක්දැයි සිතුනු බැවිනි.  මම පොතේ තුබුණු දුරකථන අංකයට ඇමතුමක් දුනිමි.
එච් බී ගුණරත්න  මහතා ජිවත් වන්නේ එම නිවසේමය. ඉන්පසු මම ඒ නිවසේ සිටි අනිකුත් අක්කලා, අයියලා  හා මගේ සම වයසේ යහළුවාගේ නම් කීවෙමි. ඔහු ඒවා සනාථ කලේ වසර 32කට පසුත් මට ඒවා මතක තිබීම ගැන විශ්මය පළ කරමිනි.
හදිසියේම මේ ගුණරත්න යනු කවුද යන්න මට පසක් විය.

වරක් තවත් යහළුවෙකු සමග ලුණුගල කඩ විදියේ ඇවිදමින් ගියෙමි. මේ වසර 1974 විය යුතුය. මා  හතරේ පංතියේය. මේ රැවුල වවාගත් ගුණරත්න අයියා අප ඉදිරියෙන් ගියෙයේ. ඔහු පෙන්වමින් මගේ යහළුවාට මා ඔහු ගැන කිසියම් පෞද්ගලිකවූ දෙයක් කීවෙමි.  ඔහුට එය ඇසී මගේ දෙමාපියන්ට කියා තිබුණි. වැඩිහිටි කතා කියන්න එපා යයි මගේ පියා  තරවටුවක් ද කළේය.

ගුණරත්න අයියලාගේ නිවසේ නවයුගය පත්තරය මෙන්ම තවත් බොහෝ පුවත් පත් සඟරා තිබුණි. මා ඒවා කියැවූයේ මහත් අභිරුචියෙනි.

ඔහුගේ නවකතාවක්  කියවීමට ලැබීම භාග්‍යයකි.

මූලාශ්‍ර :
https://en.wikipedia.org/wiki/Short_story_cycle
https://en.wikipedia.org/wiki/Story_within_a_story

Friday, 6 January 2017

සෝවියට් ශිෂ්‍යත්ව ගැන තව දුරටත්

විතානගේ ගේ පියා 

පසුගිය ලිපියේ සඳහන් චන්ද්‍රජිත් විතානගේ සහෝ ගැනද  යමක් ලිවිය යුතුය.  නව සම සමාජ පක්ෂයේ සාමාජිකයකු වූ ඔහු 1984 සෝවියට් දේශයට ආ කණ්ඩායමේ විය. ඔහු පැමිණියේ මා දන්නා පරිදි මිත්‍රත්ව සංගමය හරහාය.  ඔහු උගත්තේ දනියෙත්ස්ක්  නගරයේය.

ඔහුගේ පියා හොරණ විදුහලක විදුහල්පතිවරයකුව සිටි වාමාංශික දේශපාලනය කල අයෙකි.  වසර 1980 දී කල වැඩ වර්ජනයේ දී රැකියාව අහිමි විය. 1988 දී පමණ ජනතා විමුක්ති පෙරමුණ ට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ යයි සැලකෙන දෙදෙනෙක් ඔහුට වෙඩි තබා මරා  දමන ලදී. ඔහුගේ මිනිය  දණිහින්  පහලට පමණක් ඔසවා ගෙන යා යුතුයි නීතියක් ද පැනවිණි.  විතානගේ ගුරුතුමා වනාහි නිර්භීත ශ්‍රේෂ්ඨ වාමාංශික ක්‍රියාධරයෙකි.

පියාගේඅවමඟුල් උළෙලට සහභාගී වීමට යන  විතානගේ සමග සෝවියට් දේශයේ මොස්කව් හි ශේරෙමිතෝවා ගුවන් තොටට ගිය අය අතර මමද වීමි. අවමඟුලෙන් පසුව නැවත රුසියාවට  පැමිණි විතානගේ මට කිවූ කරුණක් වන්නේ ඔවුන් දේ.ජ.ව්‍ය. අණ නොතකා පියාගේ දෙන කර මතින් තබා ගෙන ගිය බවයි. එසේම ඒ කාලයේ දී එම තරුණයන්ට විරුද්ධව රජය දුන් අවි ආයුධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කල නියම මානවවාදියකු වන වික්‍රමබහු කරුණාරත්න මහතාට ද මගේ ප්‍රසාදය හිමිවේ. (මෙය නිවැරදි නොවන බව පසුව දන ගතිමි .  එසේ ආයුධ ගැනීම ප්‍රතික්ෂේප කළේ සිරිතුංග ජයසුරිය මහතාය)
 01. මීගමු වෙරළේදී 1989 අගෝස්තු පුළුස්සා ඝාතනය කර තිබූ සරසවි සිසුවෙක්, 02. ආරක්ෂක අංශ මගින් දකුණේදී ඝාතනය කරන ලද සරසවි සිසුන් සහ තරුණයින් පිරිසක්, 03. ආරක්ෂක අංශවලට ඔත්තු සැපයූවේයැයි චෝදනා කොට ජවිපෙ කැරළිකරුවන් විසින් හක්මනදී සිව්දරු මවක් ඝාතනයකර ගසක බැද දමා තිබූ අන්දම, 04. ජවිපෙ කැරළිකරුවන් විසින් ගිනිතබා විනාශ කරන ලද බස්රථ කිහිපයක්. උපුටා ගත්තේ ධර්මන් වික්‍රමරත්න මහතාගේ ලිපියකිනි.

සෝවියට් දේශය ගැන යම් ප්‍රකාශයක් කළොත් "මං පොර" ලා හැටියට අපව සලකන පොල්කට්ටක් ඇතුලේ සිරවී සිටින ජවිපෙට  හිතවත් වජිර යාපා වැන්නවුන් මේවාට කියන්නේ මොනවාද යන්න ගැන දැන  ගැනීමට කැමැත්තෙමි. (මෙහිදී මවිසින් එවකට පැවති යුඑන්පී රජය මගින්  වධ බන්ධන පමුණුවා තරුණයන් මරා  දැමීම සාධාරණය කිරීමක් නොකෙරේ. අනුර කුමාර දිසානායක මහතා තම ශෝකය හා කම්පනය ඒ පිළිබඳව  ප්‍රකාශ කළ බව දනිමි. සමාව ඉල්ලනවාට වඩා කල යුතුව තිබුනේ පක්ෂය තුල ඒ ගැන අවංක සාකච්ඡාවක් ගෙන යාමය.  බාගෙට දන්නා යාපලා බිහිවන්නේ එසේ නොකළ බැවිනි.)  අවම වශයෙන් ජවිපෙ දේශපාලනය සහ සෝවියට් දේශපාලනය එකක් නොව දෙකක් බවත් විජේවීර මහතා සෝවියට් දේශය ධනවාදයට පා නගතියි කියා  එය හෙළා  දුටු බවත් ඔවුහු නොදනිති.

සෝවියට් ශිෂ්‍යත්ව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය 

පසුගිය අවුරුද්දේ මාර්තු මස මගේ "පොල්කට්ටෙන් එපිටට " පොත එලි දැක්වීමේදී මම කිසියම් කරුණක් සඳහන් කලෙමි. ඒ සෝවියට් ශිෂ්‍යත්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයට  රටකින් එම සංවිධානයට ගෙවිය  යුතු වූ සාමාජික මුදල්  හා බැඳී තිබුණු බවයි.

මා එය දැන ගත්තේ කෙසේද යන්න මෙහි පැහැදිලි කරමි.
මොස්කව් බලශක්තිය පිලිබඳ
 තාක්ෂණික විශ්ව විද්‍යාලය (පින්තුරය මගේය) 

කොළඹ  රාජකීය විදුහලේ උගත් සිසුවෙක් විදුලි ඉංජිනේරුවකු වීමට ට මා උගත් මොස්කව් බලශක්තිය පිලිබඳ තාක්ෂණික  විශ්ව විද්‍යාලයට පැමිණියේය. මෙය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය හා බැඳී තිබුණකි.   රාජකීය විදුහලේ සිටි කල නිතර දබර වලට පැටලී සිටි අයෙකු ලෙස මම ඔහු ගැන දැන  සිටියෙමි. ඔහු මගේ වසරේ  අයෙක් වුවත් රුසියාවට පැමිණියේ තෙවන වරත් උසස් පෙළ විභාගයට පෙනී සිටිය. එවිට මම තෙවන වසරේ උගනිමින් සිටියෙමි. සමස්ත සෝවියට් ශ්‍රී ලංකා  ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් වරයා ලෙස කටයුතු කලේද මේ අවධියේ බව මට මතකය. (මේ සිද්ධිය මිට පසුව වූවාද විය හැකිය.) එසේම මොස්කව් බලශක්ති විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා සිසුන් සංගමයේ ද ලේකම් වී සිටියෙමි. (සෝවියට් ක්‍රමයට අනුව සංගමයක බලවත් පුද්ගලයා ලේකම්ය. සභාපති පත් කරන්නේ දවසකට පමණි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් මෙනි).

ඔහු විදුහලේදී මෙන් නොව විශ්ව විද්‍යාලයේදී හොඳ තැනැත්තෙකු විය. මම ඔහු රැගෙන මගේ රුසියන් මිතුරු මිතුරියන් ගේ නිවෙස් වල පවා ගියෙමි. වරක් මට බීමත් රුසියන් ජාතිකයෙකු පහර දීමට එද්දී ඔහු වහා ඉදිරියට පැන මා බේරා ගත්තේය. ඔහුට කිසියම් මානසික ප්‍රශ්නයක් තිබුණි.  මෙය මානසික රෝගයක් දක්වා පසුව උත්සන්න වී විශ්ව විද්‍යාලයෙන් මානසික රෝහලක නතර කර ප්‍රතිකාර  (විදුලිය ඇල්ලීම වැනි) කරන ලදී. නමුත් පසුව සිදුවූ කිසියම් සිද්ධියකි මාලාවකින් පසුව ඔහු ගේ ශිෂ්‍ය භාවය තහනම් කර ඔහුට ශ්‍රී ලංකාවට නැවත යාමට අණ කෙරුණි.

මුලදී ඔහු එය නවත්වා ගැනීමට ඔහු හොඳින් හඳුනන විදේශික ශිෂ්‍යයන් සඳහා වන පීඨාධිපතිවරිය වන දෙනිසෝවා සමග තැත් කලමුත් එසේ කළ නොහැකි විය. ඉන්පසු මා කරා පැමිණි මුත් මුලදී මට එය කල නොහැකි යයි කීවෙමි. පසුව  ඔහු ශ්‍රී ලංකා කොපයට සම්බන්ධ සිසුන්ද පසුව හමුවී තිබුණි. පසන් කොඩිකාර, මහින්ද, රෝහණ ලක්ෂමන්, ටියුඩර් ද මේ පිරිස අතර වී යයි ඔහු කීවේය. ඔවුන් ඔහුට කියා තිබුනේ කෙසේ හෝ අජිත්ටම කරදර කර නැවත ශිෂ්‍ය භාවය පිහිටුවා ගන්නා ලෙසයි.   මේ නිසා ඔහු මගේ කාමරයටම වී කරදර කරන්නට විය. පසුව මා වී.වී. දේශන වල සිටියදී එහිද පැමිණ ඉවතට කැඳවා ගෙන පැය ගණන් කතා කරමින් තම දුක් ගැනවිල්ල කියන්නට විය.

අන්තිමේදී මා  කලේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්මාකොව් නමැති නිලධාරියා හමුවීමයි. ඒ නිලධරයා ලඟට යනවිට රොත්මන්, මාල්බරෝ වැනි සිගරට් 20-30 පෙට්ටියක්, හොඳ විස්කි හෝ වෙනත් විදේශික මත්පැන් බෝතලයක් වැනි දේ රැගෙන යා යුතුය. නැත්නම් පැත්ත බලන්නේ නැත. අර සිසුවාට මුදල් නැති හෙයින් මගේ වියදමින් එයද රැගෙන ගියෙමි. වැඩේ බලන්නම් කී  ශ්මාකොව් සතියකට පසු මා ගියවිට සිසුවාගේ ශිෂ්‍ය භාවය නැවත පිහිටවීම කළ නොහැකි බවයි. අපේ විශ්වවිද්‍යාලයටම යන ලෙස ඔහු මට දැන්වීය.

අපේ විශ්වවිද්‍යාලයට මොස්කව් වල ඉහළ පිළිගැනීමක් තිබුණු එකකි. එහි කොමියුනිස්ට් පක්ෂ බලධරයන් තරමක ස්වාධීනත්වයක් භුක්ති වින්දේය. මේ නිසා මා  කළේ විදේශික සිසුන් පිලිබඳ උප කුලපති හමුවීමට යාමයි. මේ උපකුලපති කේජිබී එක සමග කෙලින්ම සම්බන්ධකම් ඇති තැනැත්තා ලෙස හැමෝම දැන සිටියහ.   විදේශික ශිෂ්‍යයන්ගේ තොරතුරු සෙවීම ඔහුගේ එක කාර්යයයක් විය.

ඔහු මට පැවසුවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට යන ලෙසයි.යුනෙස්කෝව පිහිටා  තිබුනේ පාර්ක් කුල්තුරි යන ස්ථානයේය. UNDP එක තවත්  කොහෙද තැනකය. යූඑන් එකට යන්නේ කුමට ද යන්න මට මහා විමතියක් විය.  එහිදී ඔහු කීවේ සෝවියට් දේශය වසරකට අති විශාල මුදලක් ගාස්තු වශයෙන් ඩොලර් වලින් (hard currency හෙවත් රුසියානු භාෂාවෙන් "වැල්යුති" ) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු බවත් සිසුන්ට දෙන ශිෂ්‍යත්ව ඉන් කොටසක්  බවත්ය. එනිසා අවසන් කර යන සිසුන්, අස්වෙන සිසුන් ආදීන් ගේ සමස්ත සංඛ්‍යාව  ගැන රුසියන් අධ්‍යාපන අමාත්‍යංශය, ඔවුන්ටත් අදාළ රටේ තානාපති කාර්යාලයටත් දන්වන බවය. මේ අනුව සිසුවකු ගේ සුභ සාධනය ගැන අදාළ රටේ තානාපති කාර්යාලයට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ද  වගකීමක් තිබෙන බව ඔහු කීවේය. ලංකාවේ  තානාපති කාර්යාලයට ගොස්  වැඩක් නැති බව මම අත්දැකීමෙන්ම දන්නෙමි.

ඔහු කී කතාව  මට ඒත්තු යාමට හේතු දෙකක් විය. පළමුවැන්න නම්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු ගැන සෝවියට් දේශයේ එතරම් පැහැදීමක් තිබුනේ නැත. දැන් NGO ගැන කියන්නාක් මෙන් එක්සත් ජාතීන්ගේ  සංවිධානය යනු ඇමෙරිකන් හොරණෑවක් යයි පතුරු ගැසීම ප්‍රව්දා වැනි පුවත්පත් මගින් කරන ලදී.  එක්සත් ජාතීන්ගේ සංවිධානයට එදා මෙන්ම අදද වැඩිම මුදල් ප්‍රමාණයක් ගෙවන්නේ එක්සත් ජනපදයයි. එ.ජා. සංවිධානයේ නිලධරයන් මුදල් නාස්ති කරතියි යන්නද නිතර නැගුනු චෝදනාවක් විය.

දෙවන හේතුව වන්නේ සෝවියට් දේශයට වැලුති හෙවත් හාර්ඩ් කරන්සි (ඩොලර්, පවුම්, ජර්මන් මාක්) හිඟවීමයි. ඔවුන්ට ඒවා ලැබුනේ තෙල් විකිණීමෙන් හා අමුද්‍රව්‍ය, දියමන්ති ආදිය විකිණීමෙන් පමණි. රටට අවශ්‍ය  දේ මිලදී ගන්නට මිස  වෙනත් දෙයට එම මුදල් යෙදවීමට ඔවුහු  කැමති නොවූහ.

මේ නිසා සංවර්ධනය  වෙමින් පවතින රටවලට උදව්වක් ලෙසින් මුලදී පටන්ගත් ශිෂ්‍යත්ව දීම සාර්ථක ලෙස UNDP එක්සත් ජාතීන්ගේ සංවර්ධන  අරමුදල සමග සම්බන්ධ කිරීමට ඔවුන්ට හැකිවී තිබේ. මේ අනුව රටවල් වල අධ්‍යාපන අමාත්‍යංශ සමග ගිවිසුම් ඇතිකර නිත්‍යානුකූල ලෙස සෝවියට් ශිෂ්‍යත්ව දීම ඇරඹි තිබේ.

මින් සෝවියට් ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙන නොගත්තේ යයි කියන අදහස මතුවන්නේ නැත. මොන මුදල ගෙව්වත් ඒවායේ  සෝවියට් ජනතාවගේ දහදිය හා කඳුළු ගැබ්ව තිබේ.  එනිසා එසේ සිසුන් යැවු රටවල් මෙන්ම උගත්  සිසුන්ද සෝවියට් ජනතාවගේ කැප කිරීම නිදහස් අධ්‍යාපනය ලබාදීම ගැන ස්තුතිවන්ත විය යුතුය.

නමුත් මෙයත් සෝවියට් දේශපාලන ක්‍රමය ගැන කතා කිරීමත්  සමග පටලවා  ගත යුතු නැත.

කෙසේ හෝ කිසිවෙක් මේ ගැන දැන  සිටියේ නැති අතර අර සිසුවාගේ ප්‍රශ්නයේ සංවේදී බව නිසා මට මෙය කා හටවත් කිව නොහැකි විය.  ඔය කියන ස්ථාන ගැන සොයා ගැනීමට නොහැකි නිසා මම කේජිබි උප කුලපති හමුවීමට නැවත ගියෙමි. "ඔහේ කරදරයක් වුනානේ " යයි මැසිවිලි කී  ඔහු ෆයිල් එකක් දෙකානාත් නමැති සිසුන් පිලිබඳ කාර්යාලයෙන් ගෙන්වා ගති.

එහි විශ්ව විද්‍යාලයේ උගන්නා  සියලු ලාංකික සිසුන් ගේ නම් තිබු අතර නාමාවලිය බලමින් "ගොස්‌ - ගොස්" යයි කියාගෙන ගොස් අර කි සිසුවාගේ නම ඉදිරියේ  නතරවුනේය. ඔහු "ගොස්" යනුවෙන් කිවේ රුසියානු භාෂාවෙන් ගසුදාර්ස්ත්වා හෙවත් රජය  යන්න මට වැටහුණි. ඒ කියන්නේ රජය හරහා පැමිණි යන්න බවය. ඉන්පසු ඔහු කීවේ අස් කල සිසුවා පැමිණ  ඇත්තේ මිත්‍ර සංගමයෙන් බවය. (එහි නිත්‍යානුකූල නම  වොක්ස් හෙවත්  විදේශීය සංස්කෘතික සම්බන්ධකම් සඳහා වන සමස්ත සෝවියට් සංගමයයි)  තමන් මට වැරදි උපදෙසක් දුන් බව කී ඔහු සිසුවා  ගේ අස්කිරීම අවලංගු කර ගැනීමට මිත්‍ර සංගම් කාර්යාලයට යන ලෙස කිවේය. මේ නිලධාරියා බොරුවක් කර මා කඩේ යැව්වාදැයි කුකුසක් මගේ සිතේ පහල විය. ඉහත  කි සංස්කෘතික සංගමයට සංස්කෘතික මන්දිර පවත්වා ගෙන යාමට හා අවුරුද පතා විශාල මුදලක් සෝවියට් සංගමය විසින් වෙන් කරන ලදී. ශිෂ්‍යත්ව සුළු සංඛ්‍යාවක් දීමද එයට අයත්ව තිබුණි.

මා කලේ මේ බව වටින් ගොඩින් තහවුරු කරගෙන අර සිසුවා ගෙන්ද ඇසීමයි. මුලින් එය ප්‍රතික්ෂේප කල ඔහු පසුව එය සත්‍යයක්  බව පිළිගත්තේය. ඔහුගේ පියා  වාමාංශික වෘත්තීය සමිතියක සිටි නයුවෙකි. මේ නිසා මා කළේ මිත්‍ර සංගම් කාර්යාලයට යෑමයි. එහි සිසුන් බාරව සිටියේ ඉතා තඩි , මහත, නෙරා ඇති  බඩක් සහිත පුද්ගලයෙකි. ඔහු දුටු විගස මට මතකයට නැගුනේ  අර ඕර්වෙල් ගේ "සත්ව ගොවිපල" පොතේ ඌරන් සමූහයය. ඔහු මට පෙනෙන්නට මෙන් විදේශික හවානා වැනි සිගාර් එකක් උරමින් පැමිණියේය. මා  ඔහුට අල්ලස පිණිස කිසිවක් රැගෙන ගියේ නැති එකට අමනාපයෙන් මෙන් කතා කල ඔහු සිසුවාගේ විස්තර උඩින් පල්ලෙන් බලා  "මෙයී" (මෙය අපේ විශ්ව විද්‍යාලයට කියන කෙටි නමයි) එකේ වැඩට ඇඟිලි ගහන්නට බැහැ යයි කීවේය. ඉන්පසු ආ  ලෙසින්ම අහංකාර ලෙස ඇතුලට ගියේය.

මම ඉන්පසු නිහඬව  සිටියෙමි. අර සිසුවාද  ශ්‍රී ලංකාවට යැවුනි. ඔහු  ගියේ මා ඔහු වෙනුවෙන් කටයුතු නොකළැයි මා  සමග තබාගත් වෛරයකින් යුක්තව යයි ඔහුගේ යහළුවෙකු පසුව කීවේය.  මට කළ හැකි දෙයක් තිබුනේ නැත. අර කේජිබි උප කුලපතිට එය නැවැත්විය හැකිව තිබුනත් එය නොකළ ඔහු ඔහු මට පසුව කී පරිදි "සිසුවා " සුව කල නොහැකි අයෙකි. අද වෙන තුරුත් මා මෙය කිසිවකුට කීවේද නැත.

මගේ පොත එළි දක්වන දිනයේ මා සරදමකට මෙන් පැවසුවේ විජේවීර මහතා මේ බව දැන  සිටියානම් ශ්‍රී ලංකාවේ  එක්සත් ජාතීන් ගේ  කාර්යාලයට ගොස් පැමිණිලි කර තමන් ගේ වීසා අවලංගුව සාදා ගැනීමට තිබු බවයි. එසේ නම් සමහර විට ලංකාවේ ඉතිහාසයද වෙනස් වන්නට තිබූ  බවයි. ඇත්ත වශයෙන්ම විජේවීර මහතා  ගියේ කොපය හරහා නම් ඔහු මිත්‍ර සංගම් ආධාර යටතේ ගිය අයෙකු වන්නටද ඉඩ තිබිණි.

මා පසුව මේ ගැන විස්තර සෙවූ මුත් මේ කතාව සනාථ කරන කිසිදු රාජ්‍ය ලේඛනයක් මා සතුව නැති බවද කිව යුතුය. නමුත් ඉන්පසු මට හමුවූ සෝවියට් දේශයේ ගුරු භවතුන් කිහිප දෙනෙකුම මේ කතාව සනාථ කළහ.

ශ්‍රී ලංකාවේ ඇති අධ්‍යයන පොදු සහතික පෙළ උසස් පෙළ විභාගය යනු බොහෝ විට කට පාඩම් කර මෙන්ම ගණිත ගැටළු විසඳීම් ආදිය මතකයේ තබාගෙන පිළිතුරු දිය යුතු විභාගයකි. එය සමත් වන අය අනිවාර්යයෙන්ම දක්ෂය. නමුත් මේ විභාගයෙන් විශ්ව විද්‍යාලයට යාමට ඔන්න මෙන්න තියා අඩු ලකුණු ගත් ඕනෑම අයෙකු ඉන් ජිවිතයේ අනිත් කටයුතු වලදී අදක්ෂයෙකු වේ යයි ඉන් කියවෙන්නේද  නැත.  එසේම වෙනත් විභාග පසු කලෙක සමත් නොවන්නේ යයිද කිව නොහැක.

එසේම එම විභාගය අසමත් හා ඉතා අඩු ලකුණු ගත් අය අදක්ෂයන් යයි ඉන් කියවෙන්නේද නැත. රාජකීය විදුහලේ රගර් ක්‍රීඩකයෙකු පසු කලෙක එංගලන්තයේ අපොස උසස් පෙළ සමත්ව වෛද්‍යවරයෙකු වුනු බව මම දනිමි.  එනිසා කිසිවකු කොහෙන්ද ආවේද උසස් පෙළ සමත්ද යන ප්‍රශ්නය මා කිසි දිනක කාගෙන් වත් ඇසුවේ නැත. ඊට වඩා වැදගත් වන්නේ පිටරට සිටින අප සැවොම  සමග ගොඩ නගා ගන්නා යහපත් මානුෂික සම්බන්ධතාවයයි. මට නොයෙක් රටවලින් ඉතා හොඳ මිතුරු මිතුරියන් රැසක්  සිටි අතර සෝවියට් දේශයේ ඒ ගත කල කාලය ගැන අදත් ඉතා හෘදයන්ගමව සතුටින් සිහි කරමි.

මූලාශ්‍ර :
1. මේ නිව්යෝර්ක් ටයිම්ස් ලිපියේ සඳහන් වන්නේ සෝවියට් සංගමය ඩොලර් මිලියන් 197 පමන  එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතුව තිබුණු බවයි.

2. එක්සත් ජාතීන්ගේ සංවිධානයට රට රටවලින් ගෙවන මුදල්  (දැන්)
3. ඉහත පින්තුරය උපුටා ගත්තේ ලන්කාවෙබ් අඩවියට ධර්මන් වික්‍රමරත්න  මහතා ලියු ලිපියකිනි. 

Thursday, 5 January 2017

වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි

වජිර යාපා නමැති ජවිපෙට හිතවත් සහෝදරයෙකු දැන  හෝ නොදැන කොමෙන්ටුවකින් මට මඩ පහරක් ගසා  තිබුණි. ඒ දැක තවත් "මං තුමෙකුට" හා ඇනෝ කෙනෙකුට  ජොලියක් පහළවී තිබේ. "මං තුමාගේ" ජොලිය කඩන එක පවක් වුනත් පිළිතුරක් දීම යුතුකමක් යයි සිතමි.

("මං තුමා ලා " - යනු තමන්ට තුමා කියා ගන්නා හීනමානයෙන් පෙළෙන්නන්  රැසකි. මොවුන් බොහෝවිට තම තමන්ම  මංතුමා ඔබතුමා  යනුවෙන් පිට කසා  ගනිති. වෙන කවුරුත් නොකියන නිසා විය යුතුය. )

මා බුකියට දැම්මේ මේ කොමෙන්ටුවයි.

//සුනිල් මාධව ප්‍රේමතිලක. අද මළකඳක් වගෙයි. මමත් කාලයක් සත්‍යවාදියෙකුගේ දිනපොතින් මත වී හිටිය. හැබැයි හොඳ වෙලාවට 1984 කාලයේ සුචරිත ගම්ලත් වැනි අයගේ දේශන වලට යෑම පොත් කියවීම තුල ජවිපෙ දේශපාලනයේ වැරැද්ද මුලින්ම හඳුනා ගත්ත. පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි. // Ajith Dharma
වජිර යාපා ගේ පිළිතුර: මෙයත් වර්තමානයේ ඉදන් අතීතය ගලපන්න හදන එකයි කරන්නේ .යන එන මං නැතුව හිටපු ''නිකම්මු'' සෝවියට් ආධාර වලින් ජිවිතේ හදාගෙන ''සමහරු'' වුනා ,බරපතල ටෝක්ස් දෙන එක රුසියාවට ගිය බොහෝ අය කරනවා .කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා .ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි .ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්.හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .මෙතන රුසියන් භාෂාවෙන් කොටන අනිත් අයටත් මේ කතාව අදාලයි.අඩු ගානේ අවුරුද්දකට සැරයක් පැවති සෝවියට් දේශයට ස්තුතියි කියලා සමරන්න ,මං පොර සංකල්පේ පැත්තක තියලා .ලැජ්ජයි

මුලින්ම මම ලියුවේ මොකක්ද කියල පැහැදිලි කරන්නම්.

///සුනිල් මාධව ප්‍රේමතිලක. අද මළකඳක් වගෙයි. මමත් කාලයක් සත්‍යවාදියෙකුගේ දිනපොතින් මත්  වී හිටිය.// සත්‍යවාදියෙකුගේ දිනපොත ලිව්වේ පහු කාලෙක වගෙයි මට මතක. මම ඒකට  හුඟක් කැමැත්තෙන් හිටි කාලයක් තිබුන. හැබැයි ඔහු ටිකක් හැඟීම්බරයි කියලත් හිතිච්ච වාර අනන්තයි. "දිවයිනේ" ඔහු ගේ පිටුව ටත් මම කැමතියි. හැම දෙයක්ම කියවනවා. දවසක් ඔහු කැමරාවක් නැතිය කියලත්,  තියනවා නම් හොඳ පින්තුර ටිකක් දාන්න පුළුවන් කියලත් ලිව්වා. මම මගේ ඒ දිනවල තිබ්බ සෙනිත් කැමරාවත් අරන් ඒක  දෙන්න ගියා  මම හිතන්නේ  බ්ලූමැන්ඩල්  පාරේ කාර්යාලයට. එතන හිටි කවුරු හරි ඕනෑවට එපාවට වගේ කතා කලේ. එයා හිටියේ  නැහැ කීව. මම ආපහු  හැරිලා ආව. තවම දුකයි ඒ ගැන. හැබැයි මම අද මළකඳක් වගෙයි කියල ලීවේ, එයා ගැන බුකියේ මහා වාදයක්  ගියා මොකක්ද සමරුවක් ගැන. අපි දන්නා කතුවරයෙක් හා බ්ලොග් කරුවෙක් වුන හෙන්රි වර්ණකුලසූරිය මහතාත්  පැටලිලා හිටිය.  ඉතින් මට හිතුන මේ මනුස්සය දැන් මැරිලා වගේ ඉන්නේ කියල. අර ජීවය මුකුත් නැහැ. පහු කලෙක පොඩ්ඩක් ජාතිවාදය  පැත්තටත් ඇදිල හිටිය කියල සමහරු කියනවා. මට ඇත්තටම ආපු හැඟීම ඒක.

// හැබැයි හොඳ වෙලාවට 1984 කාලයේ සුචරිත ගම්ලත් වැනි අයගේ දේශන වලට යෑම පොත් කියවීම තුල ජවිපෙ දේශපලනයේ වැරැද්ද මුලින්ම හඳුනා ගත්ත. පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි//

මා අපොස උසස් පෙළ පළමු වරට කළේ 1983 දී  රාජකීය විදුහලේ 12MS1 පංතියේය. මා කලේ ගණිත විෂයන්ය.  මට මොරටුවට යාමට ලකුණු මදිවුනි. මේ නිසා නැවත දෙවන වර කරන ලෙස ගෙදරින් හා යහළුවන් ගෙන් බලපෑම් තිබුණි. නමුත් මම ඒ දිනවල දේශපාලනයට ආශා කලෙමි. මුලින්ම "මව්බිම සුරකිමු" කියා සිරිල් මැතිව් මහතා  සම්බන්ධ දෙමළු හෙළා  දැකීමේ ව්‍යපාරයකටත් පසුව ජවිපෙ හිතවාදී ව්‍යාපාරයකටත්  සහයෝගය දුනිමි.  රාත්‍රී කාලයේ ජවිපෙ පෝස්ටර්  වගයක්ද ඇලෙව්වා  මතකය. බොහෝ රුසියානු පොත්පත් හා සෝවියට් පොත් ද කියෙව්වෙමි. මා  කුඩා කාලයේ සෝවියට් ළමා පොත් බොහොමයක් තාත්තා අපට කියවීමට ගෙනත් දුනි. නන්දා  මාලිණි ගේ ජාතිවාදී ගීත ගැන සුචරිත ගම්ලත් මහතාගේ ලිපියක් කියෙව්වේද මේ කාලයේය. ඉන්පසු ඔහුගේ දේශනා අසන්නට ගියෙමි. 

අපගේ යහළුවා  වන නන්දන වීරරත්න සහෝදරයා මහජන පුස්තකාලයේ සංවිධානය කල" නිර්මාණ සංවාද කුලකයේ" චිත්‍රපට විචාර වලටද සහභාගී වුනෙමි.  දවසක මැයි පළවෙනිදා ජවිපෙ පෙළපාලිය නරඹමින් සිටියදී තාත්තාට මා හසුවිය. ඔහුගේ ප්‍රධානියෙකුට ආයාචනය කර එර්නස්ට් ඇන්ඩ්  යන්ග් සමාගමේ ප්‍රධානියකු හමුවීමට පියා මා රැගෙන ගියේය. ඔහු මට බ්‍රිස්ටල් විදියේ ගොඩ නැගිල්ලක පවත්වන එම ආයතනයට ගණකාධිවරුන් ගන්නා  විභාගයට පෙනී සිටීමට නියම කළේය. මම එය සමත් වීමි.  

අපොස උසස් පෙළ ප්‍රතිපල වලින් මොරටු යාමට මදි වුනත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව කිරීමට  අවස්‌ථාව ලැබුණි. ඒ අතරේ  මොරටුවේ  තාක්ෂණ විද්‍යා පාඨමාලාවටද (NDT) තේරුණි. 

මම නිතරම සෝවියට් සංස්කෘතික මන්දිරයේ  නොමිලේ පෙන්වන චිත්‍රපට  නැරඹීමට පුරුදුව සිටියෙමි.  නව සම සමාජ පක්ෂයේ "කම්කරු විත්ති" නිති පතා  කියවූ නිසා එහි සාමාජිකයෙකු වන චන්ද්‍රජිත් විතානගේ මා  සමග මිතුරු වුනි.  අප දෙදෙනා බොහෝ විට සෝවියට් සංස්කෘතික මන්දිරයේ චෙස් ඇදීමටත් රුසියානු පරිවර්තන පොත් රැගෙන ඒමටත් ගියෙමු. ඇමෙරිකානු සෙන්ටර් එකට වරක් දෙවරක් ගියමුත් එය මගේ හිතට ඇල්ලුවේ නැත. එහි සිටි ඔලුව උදුම්මා ගත්  "මන්තුමා" වැනි විසුළු කොල්ලෙකු නිසා බව නම් මතකය. 

සෝවියට් සංස්කෘතික මන්දිරයේද මෙවැනිම පිරිසක් සිටි අතර ඔවුන් අපට අකමැති බවත් වෙනත් අය එහි එනවාට  අකුල් හෙලන බවත් මට වැටහුණි. හේතුව සොයා ගත්තේ චන්දනය. ඔහු කිවේ මේ අය සෝවියට් ශිෂ්‍යත්ව බලා පොරොත්තුවෙන් එහි සිටින බවයි. අලුතින් අය එනවාට එතන කිසියම් ඉරිසියාවක් තිබුණි. මා  සෝවියට් ශිෂ්‍යත්ව ගැන දැන  ගත්තේ එදාය. වැඩිදුර විපරම් කිරීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමින් ඒවා ගැසට් කරන බව දැන  ගතිමි. පත්‍රයේ පලවූ පසු අයදුම් කළෙමි. කිසියම් හේතුවකට මමද සිලෙක්ට් වී තිබුණි.

දැන් ප්‍රශ්නය වුනේ තෝරා  ගන්නේ කුමක්ද යන්නය. අර ගණකාධිකාරී ආයතනයේ ප්‍රධානී මහතා කිවේ මට තිබෙන්නේ සෑම දිනකම වරුවක් ඉගෙන ගැනීමත් වරුවක් වැඩ කිරීමත්  බවය. මට රුපියල් 350 පඩියක් ද  ලැබේ, අවුරුදු තුනක ඉගෙනිමකින් පසු රුපියල් 15000 මාසික පඩියක් සමග රැකියාව ලැබෙන අතර සමහර විට රථයක්ද ලැබෙනු ඇතැයි කිවේය. (එය ඒ දවස් වල හොඳ පඩියකි)  මගේ ලකුණු  ඉතා හොඳ බවද තවත්  රාජකීයයන් එහි සිටින බවද කීවේය. මා  එයට නොගියේ අරුම පුදුම හේතුවකටය. එනම් එහි ටයි දමා ගෙන වැඩ කිරිල්ල මට ඇල්ලුවේ නැත.

ඉන්පසු යන්නේ කොහිද කියා කොලයක එක එක ඔප්ශන් එකේ  වාසි අවාසි   ලියුවෙමි. මා දන්නා පරිදි මගේ සහෝදරිය මේ කොලය සුරක්ෂිතව තබා ගෙන තිබේ. ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ ලිපි පෙළක් දිවයින පුවත් පතේ ගියේ මේ කාලයේය.  එහිදී සෝවියට් දේශය පාලනය කරන්නේ  නිලධාරීන් ගෙන් යුත් "සමාජවාදී පන්තියක් " බව ට අදහසක් ඔහු ගෙනාවේය. විජේවීර මහතාගේ පොත් හා ලිපි මෙන්ම ඔරුවල බන්දු  ගේ පොත් ("සෝවියට් සිර මැදිරියේ සිට" වැනි ) දෑ කියවා  සිටි මට මේ තර්කය ඉමහත් කුහුල දනවන්නක්  විය. අපනාසියෙව්  ගේ දයලේක්තික භෞතික විද්‍යාව ගැන වූ පොත්ද මා  සතුව තිබුණු අතර ඒවායේ ලියූ අදෝ සංසාරයක් මට තේරුනේ නැත.  අන්තිමේදී මා  කොලයේ ලියුවේ සෝවියට් දේශයේ "සමාජවාදී පන්තිය " පන්තියක්ද යන්න  සෙවීම වැදගත් බවයි. ලයනල් බෝපගේ මහතා ජවිපෙන් අයින් වුනේ මේ කාලයේ බවද මට මතකය.

 ආචාර්ය දයාන් ජයතිලක මහතා කල දේශනා වලටද ගියෙමි. ඔහුගේ දේශනා බොහෝ තිබුනේ ගර්ල් ගයිඩ් මුලස්ථානයේ වන අතර ඒවා වූයේ  "ලතින් ඇමෙරිකානු විප්ලවය" ගැනය. "ශ්‍රී ලංකා ගාඩියන්" ද නිතර කියවුයෙමි. 

ජවිපෙ දේශපාලනයට  සම්බන්ධ වීමට සිතා  සිටි මම එය ප්‍රතික්ෂේප කලේද මේ කාලයේය. ඒවාට බලපෑවේ එසේ කියවූ ප්‍රකාශන හා ගිය දේශන බව සිතමි. නමුත් ඒකාලේ ජවිපෙ  සිටි සමහරු තවම මිතුරන්ය.  

එනිසා මා තෝරා ගත්තේ සෝවියට් දේශයට යන්නටය. මෙය පොර කතාවක් නොව ඇත්තකි. 

//හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .//
සෝවියට් දේශයට යන්නට ටිකට් වියදම ලංකා රජය දෙන්නේ නැත. එනිසා ඒ වියදම් දැරුවේ  මගේ පියා ය. අනිත් ළමයින්ට ද එසේය.  ටිකට් එක රුපියල් 17000 බවද මට මතකය.  1984 දී එය අපට ලොකු මුදලකි.

//කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා.ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි//
 මෙයද වැරදි නොදන්නා  කතාවකි. හෙවත් බොරුවකි.  රුබල් 90න්  ඉතිරි කරගත් මුදලින් අපි ලන්ඩනයට ගියෙමු. එහේ තාවකාලික රැකියාවක්  කර හෝ ලන්ඩන් හෝ බර්ලින් වලින් රැගත් ඇඳුම් ආදිය  (ඩෙනිම් ) ගෙන රුසියාවට පැමිණ ඒවා විකුණා  ලබා ගත්  මුදලින් ටිකට් රැගෙන ලංකාවට ගියෙමු. වජිර මහතා ගේ සහෝදරයා කීව් නගරයේ උගත් අතර ඒ විස්තර ඔහු දන්නවා  ඇත. අමිහිරි වුවද  සත්‍යය එයයි. 

//ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.// 
ලංකාවට මා මුදලක් යැව්වා නම් යැව්වේ එංගලන්තයේ රැකියාව කර උපයා ගත් මුදල්ය. අනිත් අයද එසේය. නැත්නම් බිස්නස් කර උපයා ගත් මුදල්ය. මේවා සියල්ල ඔප්පු කල හැකි දේවල්ය.  

//අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්// 
ලෙනින් විප්ලවය නොකලා නම් මම කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනු ඇත. එය අවසන් කර පශ්චාත් උපාධියක් කර හෝ නැතිව ගුරුවරයෙක් වී කොහේ හරි උගන්වනු ඇත. නැත්නම් ගණකාධිකාරවරයෙක් වී සිටිනු ඇත. 1988-89 තබා 1971 ද ලංකාවේ සිදු නොවනු ඇත. දයා  පතිරණ, විජේවීර,  නන්දන මාරසිංහ, විජය කුමාරතුංග මෙන්ම 60000 වැසියන්ද   අද ජිවතුන් අතර වනු ඇත. වජිර යාපා 1994 කීව් නොයනු ඇත. "මං තුමා"ට අපට මඩ ගහන්නට ලිපියක් ලියන්නට බැරි වනු ඇත.

අපට ප්‍රශ්නය ඇත්තේ ලෙනින් කළ විප්ලවය ගැන නොව ස්ටාලින් කළ ප්‍රති-විප්ලවය ගැනය .

නමුත් සෝවියට් දේශයේ ගතකල සොඳුරු අතීතය කිසිදා අමතක නොවේ. මා  ඒ ගැන බ්ලොග් ලිපි ලියන්නේද එබැවිනි. අවුරුද්දකට සැරයක් ජවිපෙ හා අනිත් අය  කරන විරු  සමරු සෝවියට් දේශය ගැන කරන්නට  මට අවශ්‍යතාවයක් නැත. ඒ වෙනුවට ඒ රටේ තිබු සෞභාග්‍යය මෙන්ම කාලකන්නි කම ගැනද  ලියමි.


 ප.ලි. 
මං තුමාගේ බ්ලොගයේ අපොස උසස්  පෙළ ගැන ප්‍රශ්න කර ඇති  බැවින් මෙසේද ලියමි. සෝවියට් දේශයේදී විදුලි ඉංජිනේරු උපාධිය අවසන් කලෙමි.  මා  වරලත් (chartered) පරිගණක ඉංජිනේරුවෙක් වෙමි. වසර  තුනකට පෙර රසල් ගෘප් හි විශ්ව විද්‍යාලයක් වන  ක්වින් මේරි හි අභ්‍යවකාශ භෞතික විද්‍යාව (astrophysics) පිළිබඳ ශාස්ත්‍රපති  උපාධියක් මෙරිට් එකක් සහිතව නිම කලෙමි. 

Wednesday, 4 January 2017

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - අවසන් කොටස

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 1

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් -2

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් - 3

පූටින් විසින් සිරියානු ප්‍රශ්නයට අත  දැමුවේ  සෝවියට් දේශය කාලයේ සිට පවත්වාගෙන  පැමිණි  ටර්ටුස් වරාය ආශ්‍රිත යුධ මධ්‍යස්ථානය නිසා බව පෙර ලිපියෙන් පැහැදිලි කලෙමි.  අප පසුගිය වසරේ ජූලි මස රුසියාවේ කල සංචාරයේදී ශාන්ත පිතර්බුර්ගයේ සාර් වරුන්ගේ  ගම (ට්සාර්ස්කොයේ සෙලෝ) ට ගියෙමු. එහි මහා කැතරින් අධිරාජිනියගේ ගිම්හාන මාලිගාව ද වෙයි.  පහත පින්තුරයේ ඇති පරිදි රත්රන් ඔබ්බවා  සාදන ලද විශාල  ශාලාවක්  එතුළ ඇත. අපේ කුරාතර් හෙවත් මාලිගාවේ මග පෙන්වන්නිය පැවසුවේ  පුටින් "සිරියානු ප්‍රශ්නය " විසඳුවේ මෙහි බවයි. අප දන්නා පරිදි යුද්ධය අවසන් නැත.  එසේනම් පුටින් විසඳුවේ යයි රුසියානුන් කියන්නේ කුමක්ද?
මහා කැතරින්ගේ ගිම්හාන මාළිගාව 
පුටින් හා බෂාර් අසාද් මුණු ගැසුණු ශාලාව - පින්තුර මගේය.


සාමාන්‍යයෙන්  විදේශික රටවලින් එන නායකයන් විස්මයට  පත් කරවීමට හා තම රටේ විභූතිය පෙන්වීමට ඔවුන් පෞරාණික මාළිගා වලට රැගෙන යාම බ්‍රිතාන්‍යය, රුසියාව වැනි රටවල නායකයන්ගේ සිරිතකි. රුසියාවේ සාර් රජු මෙන් හැසිරෙන  පුටින් මෙහිදී අසාද්  ට කරන ලද බලපෑම නම් රජය අත් නොහරින ලෙසය. අසාද් හා රටේ ආරක්ෂාව රුසියානු හමුදාවලින් කෙලින්ම සලසන්නට ඔහු පොරොන්දු විය. ඔහු උපයෝගී කර ගත්තේ මා  සඳහන් කල 1971 අත්සන් කළ සෝවියට්-සිරියානු ගිවිසුමයි.

අසාද් දැන් පත්වුණේ "මග හිටියොත් තෝ නහී. ගෙදර ගියොත් අඹු නහී " තත්වයටය. ඔහුට සිදුවුනේ  එක්කෝ බටහිර බලපෑමට යටත්වී ඉවත්විමටය. නැත්නම් පූටින් ගේ පඹයෙකු වීමටය. ඔහු තෝරා ගත්තේ දෙවැන්නය.

මේ අවස්ථාව  වන විට  අයිසිස් නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානය ඉරාකයේ කොටසකුත් සිරියාවේ බොහොමයක් ප්‍රදේශත් අල්ලාගෙන තිබුණි. ඔවුන්ට ඇමෙරිකන් හමුදා ඉරාකයේ දමාගිය බොහෝ නවීන ආයුධ ද හිමිව තිබුණු අතර ඉරාක හමුදා මෙන්ම සිරියන් හමුදා ද ඔවුන්ගේ ප්‍රහාර හමුවේ පසුබැස ගියහ. ඔවුන්ට අවශ්‍ය වුයේ අතීතයේ තිබූ ඉස්ලාමික ලෙවන්ට් නමැති රාජ්‍යය නැවත පිහිටවිමටය.  මෙය ගෝලාන්  කඳුකරයේ සිට ග්‍රීසිය දක්වාත් ඊශ්‍රායලයේ, පලස්තීනයේ සිට තුර්කිය දක්වාත් ඉරාකයත් ඇතුළු අති  විශාල ප්‍රදේශයකි.

පූටින් ගේ රුසියානු ගුවන් හමුදාවල  උදව්වෙන් දමස්කස් නගරයට එල්ල වුනු ප්‍රහාර මැඩ පවත්වා ගැනීමට හැකිවුණු පසු අසාද් විසින් 2014 දී චන්දයක් පවත්වන  ලදී. මේ චන්දය ඇත්තටම පැවැත්වුනේ අසාද් පාලනය කරන ප්‍රදේශ එනම් ගොඩබිම් වශයෙන් 50% කට අඩු එහෙත් ජනතාව  වැඩියෙන් එක්රැස්  වුනු ප්‍රදේශයකය. ඔහු 80% පමණ චන්දයකින් නැවත තේරී පත් වුවද බටහිර රටවල් මෙම මැතිවරණය  පිලි ගත්තේ නැත.

නමුත් බෂාර් අල් - අසාද් ට  පුටින්ගේ සහයෝගය දිගටම ලැබුනේ පුටින්ට හා රුසියාවට, මධ්‍යධරණී මුහුදට ඇති එකම මාර්ගය සිරියාව හරහා වැටී තිබෙන නිසාය.
යාසිඩි කාන්තාවන් අයිසිස් ට එරෙහිව 

මෙහිදී තවත් යමක් සිදුවුණි. අයිසිස්  සංවිධානය ඉතා අන්තවාදී දරුණුම ගණයේ  එකක් වූ අතර ඔවුහු යාසිඩි නමැති වෙනත් ක්‍රමයක මුස්ලිම් දහමක් අදහන ජනතාව මිත්‍යාදෘෂ්ටික යයි හඳුන්වා ඔවුන් සංහාරය කරමින් ඔවුන්ගේ ගැහැණු දරුවන් (වයස 10 දරුවන් පවා ) ලිංගික වහල් භාවයට ගනිමින් කෘර ලෙස හැසිරුණහ. ඔවුන් කෙරෙහි දැඩි විරෝධයක් බටහිර යුරෝපීය  ජනතාව ගෙන්  එල්ල වුනි. එසේම ඔවුන් කුර්දි වරුද අනුකම්පා විරහිතව මරා දැමුහ. මෙයට තුර්කිය අනියමින් ආධාර කළේය. කුර්දි වරුන්ගේ කෝබේන්  නගරයට ප්‍රහාර එල්ල  කල අයිසිස් නගරය යටත් කර ගැනීමට තැත් කළේය.
ඒ ගැන මා 2014 දී ඉංග්‍රීසියෙන් ලියු ලිපියක් මෙහි ඇත.

කුර්දි කම්කරු පක්ෂය මාක්ස් ලෙනින්වාදී සංවිධානයකි. නෙටෝවට අයත් රටක් වූ තුර්කියට පහර දෙන නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ හමුදාව  ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබුණි. එනිසාම මේ සිරියන් යුද්ධයෙදි සිදුවූ අනිත් අපුර්වතම සිදුවීම නම් එක්සත් ජනපදය ප්‍රථමවරට මාක්ස්-ලෙනින්වාදී සංවිධානයකට යුධ ආධාර දීමයි. කෝබේන් නගරය  බේරා  ගැනීමට අයිසිස් ත්‍රස්තවාදීන්ට  නේටෝව විසින් ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී. ජනාධිපති  බැරැක් ඔබාමා ගත් එම ඉතා නිවැරදි තීරණය නිසා කෝබෙන් නගරය හා එහි වැසියන් සමුලඝාතනයෙන් බේරුනි.

නමුත් නේටෝව අයිසිස් වලට සම්පුර්ණයෙන්ම පහර එල්ල කලේද  නැත. එයට හේතුව ඔවුන් තවමත් සිරියාවට විරුද්ධව පහර දීමයි. මේ අතරතුර "ඉස්ලාමික සහෝදරත්වය සංවිධානය" තනිකරම විසිරී  ගිය අතර ඔවුන් බොහොමයක් "නිදහස සිරියන් හමුදාවටද " හා අයිසිස් වරුන්ට එක්විය. මේ අනුව ඊශ්‍රායලය කලේ හීන් සීරුවේ පූටින්ගේ පැත්ත ගැනීමය. ඔබමා  විසින් ජනාවාස පිහිටවීම නවත්වන්න යයි ඊශ්‍රායලය ට  හා නෙතන්යාහුට  බල කිරීම ද  තවත් හේතුවක් විය.

මේ අනුව සිරියන් හමුදා දිගින් දිගටම දිනන්නට විය.  එසේම මියයන සාමාන්‍ය පුරවැසි ගණන ද ඒ හා සමානව වැඩිවිය.  බ්‍රිතානයේ කැමරුන්  ට සහ ඇමෙරිකාවේ ඔබාමා ට හමුදාමය මැදිහත්වීමකට බල කෙරුණි. කැමරන් එම යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එය පරාජය විය. (බ්‍රිතාන්‍ය ජනතාව ද මැදිහත් වීමකට විරුද්ධ විය) ඒ අනුව ඔබාමාද හමුදාමය මැදිහත්වීමකට අකමැති විය. එහි එක ප්‍රතිඵලයක් වුයේ දෙපැත්තෙන්ම බැට  කන අති විශාල අනාථයන් සමුහයක් යුරෝපයට ගලා ඒමයි. යුරෝපයේ දේශපාලනය අවුල්වීමට ද එය හේතුවක් විය. මෙහිදී මට ලියන්නට අමතකවූ කරුණක් නම් ජනාධිපති ඔබාමාව  කිසිවකු පැසසුවේ නැතත්  ඇමෙරිකන් හා නේටෝ හමුදා යෙදවූයේ නම් පූටින්ට හෝ සිරියානු හමුදාවට කිසි ලෙසකවත් දිනීමට නොහැකි වන බවය. සිරියාව තව ඇෆ්ඝනිස්ථානයක් වී  ජනාධිපති පූටින්ට අකුලාගෙන යාමට සිදුවනු ඇත.

එපමණක් නොවේ. අයිසිස් සංවිධානය යුරෝපය ටද  ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන්නට පටන් ගති. මේනිසා අයිසිස් සංවිධානයට පහර දීමට නෙටෝවට සිදුවිය.  ඇමෙරිකාව කුර්දින්ට සහයෝගය දීම නිසා අමනාප වුනු තුර්කිය, රුසියාව හා ජනාධිපති පූටින් දෙසට හැරුණි. මෙය වැළැක්වීම සඳහා ඔත්තු සේවා මාර්ගයෙන් තුර්කියේ අසාර්ථක කැරැල්ලක් ඇති වුනි.  ඒ අතරම තුර්කිය රුසියන් යානයක් ද බිම හෙළීය. රුසියාව තුර්කියට විරුද්ධව සම්බාධක පැනවීය. බොහෝ තුර්කි ආයතන රුසියාවේ වෙළෙඳාම්  හා ඉදි කිරීම්  කල අතර රුසියානුවන් බොහොමයක් තුර්කියේ සංචාරකයන් ද විය. මේ අදායම් සියල්ල බිඳ වැටුණි.  මේ නිසා රුසියාව සමග සාමයකට ඒමට එර්ඩොගන් යත්න දැරීය.

ඇමෙරිකාව හමුදා මැදිහත්වීමක් නොකරන අතර සවුදී අරාබිය යේමනයේ යුද්ධයක පැටලී සිටි. පසුගියදා අලෙප්පෝ නගරය "සිරියානු නිදහස් හමුදාව" අතින් මුදා ගැනීමේ සටන බෂාර් අල් අසාඩ් දියත් කලේ මේ පසුබිම මතය. එයට කෙලින්ම රුසියන් හමුදා සහය ලැබුණි.  සිරියන් හමුදා ජන සංහාරයක් කරතියි බටහිර පුවත්පත් වාර්තා කෙරුවද එවැන්නක්  සිදු වුයේ නැත. රුසියානු හා සිරියන් හමුදා මිනිසුන්ට ඉවත්වීමට කඩින්කඩ සාම  විරාමයන් දියත් කළහ. එම සාම විරාමයට උදව් කලේ පුටින් හා තුර්කියේ එර්ඩොගන්ය. ඒවාට පහර දුන්නේ අනිත් පැත්තේ අල් කයිඩා වැනි සටන්කාමීන් පමණි. අලෙප්පෝ නගරය සිරියන් හමුදා අතින් සාර්ථක ලෙස "මුදා " ගැනුනි. සිරියන් සටන්කාමීන්ට අනුව නගරය නැවත  හිරභාරයට (අසාද් ගේ) පත්විය.  ඒ සඳහා වෙහෙසවුනු තුර්කියේ රුසියානු තානාපතිවරයා අන්තවාදීන් අතින් මරා දැමුණි.

නමුත් තුර්කිය හා ඊශ්‍රායලය පුටින් ගේ ගේ පැත්තේ සිටීමත්, ජනාධිපති පූටින් අසාද් ගේ පැත්තේ සිටීමත් හිලරි ක්ලින්ටන් පරාජය වී ට්‍රම්ප් ජය ගැනීමත්  බෂාර් අල් අසාඩ් ට වාසි සහගත වී තිබේ. බොහෝවිට ට්‍රුම්ප් ගේ එක්සත් ජනපදය අත නොගැසීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුනොත් බෂාර් අල් අසාඩ් සිරියන් සිවිල් යුද්ධය රුසියාවේ සහයෙන් අවසන් කරනු ඇත.

ඊශ්‍රායෙල් හමුදාවේ සෙබළියෝ 

අයිසිස්  ගරිල්ලන්ට පහර දෙන හිස්බුල්ලා සංවිධානයට ඉරානය ආධාර දෙයි. ඊශ්‍රායලය ට  දැන් මැද පෙරදිග ඇති එකම තර්ජනය ඉරානය පමණි. ඉරානය න්‍යෂ්ටික අවියක් සදහා පරීක්ෂණ කළහොත් ඊශ්‍රායලය පහර දෙනු නියතය. රුසියාව ඉරානයේ සහයට පැමිණීමේ ඉඩකඩ ඉතා අඩුය.  ඊශ්‍රායලයේ රුසියන් බස  කතා කරන සෝවියට් යුදෙව්වන් බොහොමයක් සිටි. ඔවුන් ගේ රුසියාව සමග ඇති සම්බන්ධය දැඩි අතර ඔවුන්ගේ දේශපාලන පක්ෂයට ක්නෙසට් හි බලයක්ද තිබේ.

සංක්‍රමණිකයන් පිලි ගන්නට බලා  සිටින ඊශ්‍රායල  සෙබළියෝ 
ඊශ්‍රායල කාන්තාවන් අරාබි කාන්තාවන්ට වඩා නිදහසක් භුක්ති විඳිති. ඔවුන්ගේ තරුණියන් ගේ හමුදා ඡායාරුප අන්තර්ජාලයේ ඉතා ජනප්‍රියය. මේවා ඊශ්‍රායල දේශපාලන ප්‍රචාරයන්ය. හමුදාවට බඳවා ගැනීමේ අඩුවක්ද නැත.

 ඒ පැත්තෙන්  යුද්ධයක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකිය.

මූලාශ්‍ර :

සිරියාවේ 2014 චන්දය 
යාසිඩි සංහාරය 
කුර්දි කම්කරු පක්ෂය 

Saturday, 31 December 2016

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 3

අරාබි වසන්තයේ ෆේස්බුක් බලපෑම 
සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 1

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් -2

අරාබි වසන්තය ගැන බොහෝ දේ කීමට මගේ අදහසක් නැතත් පටන්ගත්තේ කෙසේද යන්න  සඳහන් කල යුතුය.  එය පටන්ගත්තේ හදිසියේය. කිසිදු බාහිර බලවේගයකින් තොරවය. ටියුනිසියාවේ ප්‍රාදේශීය නුවරක් වන සිඩි බෞසිද් නගරයේ පදික වේදිකා වෙළෙන්දෙක් වන මොහමඩ් බෞසිසි රජයේ නිලධාරීන් අල්ලස් ඉල්ලා ඔහුගේ වෙළඳ කරත්තය අත් අඩංගුවට ගැනීමට විරුද්ධව තමාට ගිනි තබාගෙන මිය ගියේය.  දුප්පත් තරුණයෙකු වූ ඔහුට හා ඔහුගේ පවුලට ඉන් වූ අසාධාරණය දුටු අනිකුත් ටියුනිසියනුවෝ නැගී සිටි අතර මොබයිල් දුරකථන එස්එම් එස් පණිවුඩ, ට්විටර් හා ෆේස්බුක් වැනි සමාජ ජාල හරහා පැන නැගුනු විරෝධය  නගර ගම දනව්  වල වීථිවල මහා  විරෝධත්වයකට පරිවර්තනය විය.

ටියුනීසියාව  බටහිර හිතවාදී රටක් වන අතර එහි ඒකාධිපති නායකයා වූ බෙන් අසි ට බටහිරින් ප්‍රශ්නයක් තිබුනේ නැත. බටහිර සංචාරකයන් බොහොමයක් ටියුනිසියාවට ඇදී ආහ. නමුත් ඉස්ලාමික සහෝදරත්වය මෙන්ම වෙනත් රජයට එරෙහි සංවිධානද සටනට එළඹුණි. මෙහිදී ටියුනිසියානු හමුදා ඉතා වැදගත් තීරණයක් ගත්හ. ඒකාධිපති බෙන් අලි ට රටේ ජනතවගේ සහයෝගය නැති බවට තීරණය කල ඔවුන් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළහ. බෙන් අලි පලා ගියේය.

අවසානයේදී හමුදාව තාවකාලික ආණ්ඩුවකට රටේ පාලනය භාර දුන් අතර දශක දෙකකට පසු නිදහස් මැතිවරණයක් පැවැත්වුණි. වාසනාවකට අන්තවාදී මුස්ලිම් සංවිධාන පරාජය වුනි. ටියුනිසියාවේ විප්ලවය සුභ වාදීව අවසන් වුනි. බටහිර මැදිහත්වීමක් කියා දෙයක් මෙහි සිදුවූයේ නැත.

නමුත් butterfly effect හෙවත් එක සිදුවීමකින් හටගන්නා තවත් සිදුවීමක් වශයෙන් වන සිදුවීම් පෙළක් වැනිව මුළු මැද  පෙරදිගම ජනතාව  තම රජයන්ට එරෙහිව පාරට බැස්සහ.    ඕමානය , යේමනය, ඊජිප්තුව, සිරියාව හා මොරොක්කෝව  මුල් තැනක් ගති.

කලකට ඉහත ඇමෙරිකන් විදුලි බල සමාගමක් වූ ඒඊ එස්  (AES) එංගලන්තයේ කෙන්ට් හි මෙඩ්වේ විදුලි බලාගාරය කළමනාකරණය කළේය. (ඔවුන්ට 25% අයත්ය). ඔවුන්ට 1996 දී පමණ කසක්ස්ථානයේ එකිබස්තුස් බලාගාරය මිලදී ගැනීමට අවශ්‍ය විය. රුසියානු භාෂාව දන්නා නිසා විදුලි ඉංජිනේරු පරිවර්තකයෙකු ලෙස එංගලන්තයෙන් ගිය කණ්ඩායම සමග මටද යාමට අවස්ථාවක්   උදවිය. මේ කාර්යය facilitate හෙවත් අතර මැදි  වශයෙන් කටයුතු කළේ ඊශ්‍රායල  කොම්නිපැයකි. එහි අයිතිකරු එම දිගු  ගමන තුලදී   මා සමග මිතුරු වුනු අතර ඔහු කී කතාවක්  මට හොඳට මතකය. (ඊශ්‍රායල පලස්තීන ප්‍රශ්නය  ගැනද අපි සාකච්ඡා කළෙමු.)

ඔහු කීවේ ඊශ්‍රායල රජයේ හා සියොන්වාදී සංවිධානය තුල ප්‍රධාන අදහසක් වන්නේ මැද පෙරදිග කිසිම බලවත් රටකට පැවැත්මට ඉඩක්  නොතැබීමයි. ඔවුන් එකිනෙකා සමග සටන් කර ගන්නා තරමට වාසිය ඊශ්‍රායලයට බවයි. ඔවුන්ගේ යුද්ධ පවතින තුරු ඊශ්‍රායලයට නිදහසේ ජිවත් විය හැකි බවයි. ඒ සඳහා කටයුතු කලයුතු බවයි.

එය වැරදි අසාධාරණ නැත්දැයි මා  ඇසූ  විට අර මා  මුලින් කී  ප්‍රථම  හා දෙවන අරාබි ඊශ්‍රායල යුද්ධ මතක් කරමින් ඔහු පැවසුවේ ඔවුන් සමගි වුවහොත් මුලින්ම  පහර දෙන්නේ ඊශ්‍රායලයට නිසා අරාබින්  එකිනෙකා   මරා ගනිමින් සිටීමට මොසාඩ් සංවිධානය ඕනෑම උදව්වක් කරන බවයි. රුසියාවේ සිටියදී අරාබින් ගේ ආඩම්බරකම් නිසා ඔවුන් සමග එතරම් හොඳින් නොසිටි මා  මේ ගැන සතුටු වූ බව මතකය.

ඇල්ජීරියාවේ අරාබි වසන්තය එලියට ආවේ මුස්ලිම් සහෝදරත්වය (අන්තවාදී සංවිධානයකි) හරහාය. මුස්ලිම් අන්තවාදයට විරුද්ධ ඇල්ජිරියානු හමුදා ලක්ෂයක පමණ පිරිසක් මරා බලය රැක  ගත්හ. ඇල්ජීරියාවේ හමුදාවේ මානව හිමිකම්  කඩ කිරීම් වලට වැඩි විරුද්ධත්වයක් බටහිර පැන නැගුනේ නැත.

 ඊජිප්තුවේ මුබාරක් රජය ඊශ්‍රායලය සමග ඇයි හොඳයිකම් පැවැත්විය. නමුත් මුබාරක්ට විරුද්ධව පැන  නැගුනු විරෝධතා බලවත් වූ අතර ඔහුද බලයෙන් පහවිය.  බලයට පත්වූයේ ඉස්ලාමික සහෝදරත්වයේ ඉත්තෙකු වූ මොර්සිය.

වසරකට පසු මොර්සිට විරුද්ධව සමාජ ජාලා  ආශ්‍රයෙන් මෙන්ම පාරේද විරෝධතා ඇරඹුණු අතර ඔහු බලයෙන් පහ කර බලය පැහැර  ගත්තේ සිසිය.  අබ්දෙල් එල් සිසි හිටපු හමුදා නායකයාය. එංගලන්තයේ හා ඇමෙරිකාවේ යුද විදුහල්වලින් පුහුණුව ලැබූ ඔහු ඊජිප්තු රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂකය. ඊශ්‍රායලයේ හිතවතෙකි.

බහරේන් ආදී බටහිරට සහයෝගය දුන් රටවල විරෝධතා දරුණු ලෙස මැඩ පවත්වන අතර  ඒවායේ මානුෂික අයිතීන් කඩ කිරීම් ගැන හඬක් නැගුවේ බටහිර වාමාංශික පුවත්පත්  කිහිපයක් පමණි.

වසර 2011 දී බටහිර හා ඊශ්‍රායලයේ සහයෝගයද ඇතිව ලිබියාවේ ගඩාෆි බලයෙන් පහ කෙරිණි. මෙහිදී ඇමෙරිකන් හමුදා උපදේශක වරු හා බ්‍රිතාන්‍ය , ප්‍රංශ කොමාන්ඩෝ භටයන් ද සිටියහ. වෙනත් අරාබි මුදල් ක්‍රමයක් ආරම්භ කිරීමට උත්සහ කිරීම නිසා ඇමෙරිකාව සිටියේ ගඩාෆි ට විරුද්ධවය. චීනය විසින්  අප්‍රිකාවේ මිනිසුන් එහි ඔවුන්ගේ පෞද්ගලික ට්‍රාන්ස් නැෂනල් කොම්පැනි වලට වහල් වැඩට ගන්නේ යයිද අප්‍රිකාවේ ඉඩම් මිලදී ගැනීමද විවේචනය කිරීම නිසා ගඩාෆි ට චීනයේ සහයෝගය හිමිව නොතිබුණි. බ්ලෙයාර් හමුවීමට එංගලන්තයට යාම නිසා රුසියාවේ සහයෝගයද අහිමිව තිබුණි.

සිරියාවේ විරෝධතාද පටන් ගත්තේ මේ කාලයේය. සිරියාව ලෙබනනයේ කරන ක්‍රියාදාමයන් නිසා ඊශ්‍රායලයට  සතුරු රටක් වශයෙන් ඔවුන් විසින් සලකන ලදී.  මා පෙර ලිපියේ සඳහන් කල ගෝලාන්  ප්‍රශ්නයද බල පෑවේය. ගෝලාන්  ප්‍රශ්නයේදී බටහිර වැසියන්ගේ හොඳ හිතද තිබුනේ සිරියාව සමගය.  මේ කාලයේදී මට මතක් වුයේ අර ඊශ්‍රායල් ජාතිකයා කී  කරුණය. ඊශ්‍රායලය දිනමින් සිටි.

සිරියාවේ විරෝධතා එක්වරම වගේ කැරලි බවට පත් විය. මුල්ම කැරැල්ල ආවේ අසාද් ගේ පියා දශකයකට ඉහත සංහාරයක් කල හෝම්ස් නගරයේය. "නිදහස් සිරියන් හමුදාව" එහි මුලිකත්වය ගත්තේය.  අසාද් කළේ බෝම්බ දැමීමය. මින්  සිවිල් වැසියන් 250 කට අධික සංඛ්‍යාවක් මිය ගියහ. කාරිමික හා සශ්‍රික වූ අලෙප්පෝ නගරයේද සටන් පැන නැගුණි. "නිදහස් සිරියන් හමුදාව" ලංකාවේ  එල්ටීටීඊ  සංවිධානයේ මෙන් එක උපක්‍රමයක් ක්‍රියාත්මක කළේය. ඒ ජනගහනය රැස්  වී ඇති තැන්  වල සිට සිරියන් රජයේ හමුදා වලට පහර දීමයි.  අසාද් ගේ හමුදා ඒ තැන වලට බෝම්බ දැමීමෙන් වැඩි හරියක් මියගියේ  සිවිල් වැසියන්ය. මින් බටහිර ජන මතය අසාද් ට විරුද්ධව තදින් ඇවිස්සුනි. (ශ්‍රී ලංකාවට විරුද්ධව බටහිර ජන මතය ඇවිස්සුනේද මේවා නිසාය - උදා  යාපනය කෝවිල් සංහාරය )

අසාද් ට විරුද්ධව බටහිර මෙන්ම මැද පෙරදිගද ජනතාව ඇවිස්සුනේ  මින් පසුවය. අසාද් බලයෙන් ඉවත්ව යාම සාකච්චා කිරීමටද චන්ද පැවැත්වීමටද හදිසියේ එකඟ විය.  නිදහස් සිරියන් හමුදාව (Free Syrian Army ) මුලදී කැරලි කරුවන් කණ්ඩායම් කිහිපයක් ගේ එකමුතුවකි.  ඔවුන්ට ඇමෙරිකා  උප ජනාධිපති ජෝ බයිඩන් ගේ මුලිකත්වයෙන් ආධාර ලැබුණු බව විකිලීක්ස් හෙළි කළේය. එසේම මුලින් සිටි ඉස්ලාමික සහෝදරත්වයේ කණ්ඩායමට ඊශ්‍රයලය සහයෝගය දුන් අතර අල් කයිඩා , අයිසිස් කණ්ඩායම් වලට තුර්කිය හා සවුදි අරාබියාව උදව් කළේය. ඇමෙරිකන් හමුදා ඉරාකයේ තබා ගිය ආයුධ බොහොමයක් අල්ලා ගත්තේ අයිසිස් ය.

නමුත් මේ හැමෝම අමතක කල කරුණක් විය. ඒ 1971 සිට අසාද් ගේ පියාගේ බාත් සමාජවාදී පක්ෂ රජය සමග සෝවියට් දේශය අත්සන් කල ගිවිසුමයි. මේ අනුව සිරියාවට ආරක්ෂාව සැපයීමට සෝවියට්  යුධ මධ්‍යස්ථානයක් ටර්ටුස් නගරයේ ඉදි විනි. එම නගරයට සෝවියට් දේශයට ඇති වැදගත් කම නම් එහි ඇති වරායයි . සෝවියට් යුද නෞකා  එහි රැඳවුනි . මැද  පෙරදිගට හා එහි මධ්‍යධරණී මුහුදට සෝවියට් බලපෑම් එල්ල කිරීමට අවශ්‍ය තැනක් සකස් වුනි.

සෝවියට් දේශය 1991 බිඳ වැටෙන විට එහි ණය ගිවිසුම් , යුධ මධ්‍යස්ථාන  හා අනිකුත් ගිවිසුම් භාර ගත්තේ රුසියන් සමුහාණ්ඩුවයි. මෙනිසා නිත්‍යානුකුලව සිරියානු යුද්ධයට අත පෙවීමට තවත් රටක් හෙවත් - තවත් අයෙක් ඉදිරිපත් විය. ඒ රුසියාව හා රුසියන් ජනාධිපති ව්ලැඩිමීර්  පුටින්ය. ඇෆ්ඝනිස්ථානයේ සිදුවූ දෙයෙහිම   අනිත් පැත්ත වන්නට පටන් ගත්තේ ඉන්පසුවය.

 - මතු සම්බන්ධයි

BBC Investigation Exposes Western Aid To Syrian Rebels As ‘Wal-Mart’ For Extremists


ප.ලි.
බ්ලොගය කියවන්නට පැමිනෙණ  ඔබ සැමට සැපත සෞභාග්‍යයෙන් පිරි  සුභ 2017 නව වසරක් වේවා. 

Thursday, 29 December 2016

තවත් සොඳුරු හදවතක් නත්තල් දා අපෙන් සමු ගති

ජෝර්ජ් මයිකල් සහ ඇන්ඩ්රූ රිජ්ලි 
ජෝර්ජ් මයිකල් ගේ මුල්ම වැම් ගීත එළි  දුටු සමයේ මා  සිටියේ සෝවියට් දේශයේය. රොක් ගීත කණ්ඩායම්  බොහොමයක් තහනම් කර තිබුනද ඔහුගේ "Wake Me Up Before You Go-Go" අපේ නේවාසිකාගාර වල පැවැත්වූ ඩිස්කෝ සාදවල වාදනය කෙරුණි. 

නමුත් මගේ ප්‍රියතම ගීතය වූයේ ද  බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ගීතය වූ "කෙයාර්ලස් විස්පර් careless whisper " ගීතයයි. එහි මේ කොටස සැමවිටම මතකයේ රැදුණු ගීත ඛණ්ඩයකි. ජෝර්ජ්  ගීතය ලියුවේ වයස 17 දී වුවද ඔහුගේ මිතුරා වන ඇන්ඩ්රූ ට කර්තෘ භාගයක් හිමිවන පරිදි සම කර්තෘ ලෙස මිතුරා  නම් කළේය. එසේ කළේ මිතුරාට මුදල් ප්‍රශ්නයක් පසු කලෙක ඇති නොවනු පිණිසය.

"යහළුවකු (යෙහෙළියක) ට වංචා නොකර සිටින්නට තිබුනත් 
මට ලැබුණු අවස්ථාව මග හැරියෙමි 
නැවත  මම නර්තනයේ නොයෙදෙමි 
මා ඔබ සමග යෙදුනු ලෙසින් 
Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you 
පහත ඇත්තේ ඒ ගීතයයි. 

සෝවියට්   දේශයේ ඩිස්කෝ වල වාදනය කෙරුණු "Wake Me Up Before You Go-Go"  ගීතයේ වීඩියෝව මා  දුටුවේ ගොර්බචෝව් ගේ පාලනයේ අවසන් කාලයේදී 1988 පමණ දිය. වීඩියෝව සෝවියට් දේශයේ සංස්කෘතියට අනුකුල නොවුවක් ලෙස තහනම් කර තිබී යයි සිතමි.
සෝවියට් දේශයේ තහනම් කරන ලද සංගීත කණ්ඩායම් සමුහයේ wham කණ්ඩායම තිබුනේ නැත. 
සෝවියට් දේශයේ තහනම් කර තිබු සංගීත කණ්ඩායම් 
සමහර විට ජෝර්ජ් මයිකල් සහ ඔහුගේ වැම් සාමාජික ඇන්ඩ්රූ රිජ්ලි 1985 දී චීනයේ කරන ලද සාර්ථක සංචාරය ද හේතුවක් වන්නට ඇත.

ඔහු විසින් 1987 දී එලි දක්වන ලද ෆේත් (විශ්වාසය) නමැති ඇල්බමයේ බොහෝ ගීත සොඳුරු ඒවා විය.  ෆේත් නමැති ගීතය ම ඉතා ප්‍රිය කරන්නකි.

ඔහුගේ "පියෙකු මෙන් - father figure  " ගීතයද එවැනිම සොඳුරු ගීතයකි.

තවත් පිරිමියෙකු සමග කල අවිනීත  ක්‍රියාවක් සම්බන්ධයෙන් ජෝර්ජ් මයිකල් ඇමෙරිකන් පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නේ 1998 දීය. බෙවර්ලි  හිල්ස් පොලිසියට ඔහු නම දී තිබුනේ  ජෝර්ජියෝස් කිරියකොස් පනයෝටු නම් ග්‍රීක නමයි. (Georgios Kyriacos Panayiotou).  ඔහු සම ලිංගික යයි කට කථා තිබුනද ඒ බවක් බොහෝ අය මෙන්ම මාද දැන  නොසිටියෙමි.  ඔහු ළමා අපචාර කරුවෙකු යයිද එංගලන්තයේ කටකතා පැතිරුණි.  බෙවර්ලි හිල් පොලිසියට උපහාසයක් ලෙස "එලියට යමු" නම් මෙම ගීතය ඔහු ගායනා කළේ මේ සිද්ධියෙන් පසුවය.


ඔහු ඇත්ත වශයෙන්ම මුලදී  බොහෝ පෙම්වතියන් ගණනක්ම  ඇසුරු කළේය. නමුත් 1998 දී සීඑන්එන් නාලිකාවට දුන් සම්මුඛ සාකච්ඡාවකදී තරුණියන් ඇසුරු කලද තමන් සම ලිංගික බව ඔහු පිලි ගත්තේය. මුලදී ඇත්ත වශයෙන්ම තමන් සම ලිංගික යයි නොසිතු බවද ඔහු පිලි ගත්තේය.

මෙහිදී අනුකම්පා සහගත කරුණ නම් ඔහු තම පියා හා මව වෙනුවෙන් තම ලිංගිකත්වය සඟවා ගෙන බොහෝ කලක් ජිවත් වීමයි. දැඩි ග්‍රීක ඔර්තොඩොක්ස් නිකායික ව්‍යාපාරිකයකු වූ පියාද පිළිකාවෙන් පෙලෙන මවගේද හිත් පාරා ජිවත් වීමට ඔහු අකමැති විය.  
මෙවැන්නක් දෙමාපියන් ගෙන් පමණක් නොව ලෝකයෙන්ම සඟවා ගෙන සිටීම කොතරම් දුෂ්කර වන්නට ඇත්ද? 
ඔහුගේ මේ "වෙනත් කොනක සිට A Different Corner " ගීතය ගයන්නේ ඒ නිසාද?

ඔහුගේ ආදරවන්තයා  වුයේ බ්‍රසීලියානු ජාතික අන්සෙල්මෝ ෆිලිප්ප නමැති තරුණයෙකි. එම පෙම්වතාට ඒඩ්ස් රෝගය සෑදී තිබෙන බවට ජෝර්ජ් දැන ගත්තේද පසුවය.  ඒ ගැන සන් පුවත්පතේ පලවන්නේ මෙලෙසය.  අන්සෙල්මෝ මිය ගියේ 1993 දීය. ඒ වනවිට තම සමලිංගික භාවය වසන් කර සිටි හෙයින් ජෝර්ජ් එය විඳ දරා  ගත්තේ තමන්ගේ හොඳම යහළුවා සමග පමණි. මේ මානසික ආතතීන් මෙන්ම තම ජනප්‍රියත්වයද ඔහුට දර ගන්නට නොහැකි වන්නට ඇත. ඔහුගේ දැඩි මත්ද්‍රව්‍ය භාවිතය ගැනද පුවත් පත් වල පල විය.

"ජේසුස් ගෙන් දරුවකුට" Jesus to a child ගීතය ඔහු ගායනා  කලේ මේ පෙම්වතා වන අන්සෙල්මෝ වෙනුවෙනි.

ඔහු 1998 දී කළ  ඉහත අවිනීත ක්‍රියාව සමහර විට  ජිවිතයේ මේ ඛේදාන්තය මත  සිදු වුවක් විය හැකිය. 

 එසේම 1997 දී  පිළිකාවෙන් මිය ගිය තම මව වෙනුවෙන් ඔහු පිළිකා වැළැක්වීම සඳහා කටයුතු කරන සංවිධාන වලට විශාල මුදල් පරිත්‍යාගයන් කළේය. තමන් ගැන ප්‍රසිද්ධ නොකරන පොරොන්දුව පිට පිලිකා  සැදුනු දරුවන් හා රෝගීන් ට උපස්ථාන කිරීමට රෝහල් වලට  ගිය ඔහු හෙදියනට තම ප්‍රසංග වලට ටිකට් නොමිලේ දුන්නේය. 
"ලන්ඩනයේ  ළමයෙකුට උදව් කරමු- help  a London child " යන ප්‍රජා උපකාර පදනමට වසරකට පවුම් ලක්ෂය බැගින් ප්‍රදානය කළේය.  වරෙක අයි වී එෆ් ප්‍රතිකාරයක් සඳහා මුදල් සොයන ළමයි නැති කතකට  පවුම් 15000 ක්ද හෙද ශිෂ්‍යාවකට ණය ගෙවීමට පවුම් 5000ක් ද ප්‍රදානය කර තිබේ. රැකියා නැති පතල් කම්කරුවන්ට සහය පිණිස කිහිප වතාවක් නොමිලේ ප්‍රසංග වලට සහභාගී වී තිබේ.  නිහඬව කල මේ පරිත්‍යාග එලි වන්නේ දැන්ය.  

ලන්ඩනයේ හිසට වහලක් නැති (homeless ) අනාථයන් සඳහා පවත්වන  සුප් දන්සල් වල මෙන්ම ඔවුන්ට නිදා ගැනීමට ඉඩ සලසන සෙන්ටර් පොයින්ට් වැනි ආයතන වල ස්වේච්ඡාවෙන්  කටයුතු කලේ රහසේය. 

ඔහුගේ ගීත අතුරින් මා තවත් ප්‍රිය කරන ගීතයක් වන්නේ  "ඉක්මන්  ආදරය fast Love " නමැති ගීයයි.

ඔහුගේ තවත් ඉහල ලෙස විකිණී ගිය  ඇල්බමයක ගීතයක් වන්නේ "අවසන් නත්තල  - last christmas " යන්නය. ඕනෑම නත්තල් කාලයක  ඉංග්‍රීසි කතා කරන ලෝකයේ මෙන්ම ජර්මනිය හා අනිකුත් යුරෝපිය රටවල මේ ගීතය අනිවාර්යයෙන්ම වාදනය වේ. වසර 1984 එලි දුටු එම  ඇල්බමයේ සියලු ලාභය ඔහු බෑන්ඩ් ඒඩ් (band aid )  සංවිධානයට පරිත්‍යාග කළේය.

මේ පරිත්‍යාගශීලි සොඳුරු ගායකයා ලෝකයට සමු දුන්නේද 2016 දෙසැම්බර්  25 නත්තල් දිනයේදීය. 

ප.ලි.
ඉහත සඳහන් සෝවියට් දේශයේ සංගීත කාණ්ඩ තහනම් ලේඛනය උපුටා ගත්තේ මෙතැනිනි.  http://www.spin.com/2014/06/list-western-bands-music-russia-banned-soviet-union/

ෆේත් වදන් ;

I feel so unsure
As I take your hand and lead you to the dance floor
As the music dies, something in your eyes
Calls to mind the silver screen
And all its sad good-byes

I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know you're not a fool

Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you

Time can never mend
The careless whispers of a good friend
To the heart and mind
Ignorance is kind

There's no comfort in the truth
Pain is all you'll find
I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know you're not a fool

I should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you

Never without your love
Tonight the music seems so loud
I wish that we could lose this crowd
Maybe it's better this way

We'd hurt each other with the things we'd want to say
We could have been so good together
We could have lived this dance forever
But no one's gonna dance with me

Please stay
And I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know you're not a fool

Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you

(Now that you're gone) Now that you're gone
(Now that you're gone) What I did's so wrong, so wrong
That you had to leave me alone

Wednesday, 21 December 2016

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (12) - යුනනා සහ අවොස්

රොස්තොව් මයෝනේස් බෝතලයක් 
යහළුවන් සමග ආහාර ගනිද්දී තාන්යා අමාරුවෙන් අතින්ම  කෑවාය. ඇය එසේ කලේ අතින් බත් කන විට රස බව ගිහාන් කී හෙයිනි. ඇඟිලි පහම පිඟාන වටින්ම බත් එකතු කරමින් කන ඇය දුටු  නේවාසිකාගාරයේ අනික් ශ්‍රී ලාංකික දෙදෙනා එයට උසුළු විසුළු කළේ හෙට අනිද්දා සාරියකුත් අන්දපන් කියමිනි. තාන්යා ට කෑම සැර බව දැනුණු ගිහාන් මෙයෝනේස්  (mayonnaise) ස්වල්පයක් පිඟානට දැමුවේය. ඔහු මෙයෝනේස් සමග බත් කෑම ප්‍රිය කරයි. තාන්යා කළේ කඳුළු පෙරමින්ම කුකුළ්මස් හා මාළු මිරිස් වෑන්ජනය සමග අමාරුවෙන් බත් ටික ගිලීමයි. බත් කෑ වහාම ඈ කළේ ශීතකරණයේ තිබු ස්මිතානා (රුසියානු යෝගට් වර්ගයක්)  වලින් භාගයක්ම ගිල දැමීමයි. ඇය සිටින විට සැරට ඉවීම නුවුමනා යයි ගිහාන් ට සිතිනි.

යහළුවන් පිරිස බොහෝ වේලා කතා කරමින් හිඳ විසිර ගියේ කහට තේ ද පානය කරමිනි. රුසියාවේ වරේනියා නම් පළතුරු ජෑම් වර්ගයක් සමග තේ බිම රුසියානුවන් නිතර කරන දෙයකි. තේ වලට කිරි දමන්නේ නැත. ඉතිරි වී තිබූ කේක් හා වරේනියා සමග ඔවුන් සෑහෙන වෙලාවක් තේ පානය කළේ රුපවාහිනියේ කතාවක්  ද නරඹමිනි.

රුපවාහිනී නරඹන අතරේ තුරුළු කරගෙන සුරතල් වුවද තාන්යා සිටියේ හැඟීම් බරව බව ගිහාන්ට වැටහිණි. එනිසා ඔහු වෙනදා  මෙන් ලිංගිකව එක්වීමට උත්සහ කළේද නැත. තුරුළු වී බැලුවේ රොක් ඔපෙරාවකි. එය සෝවියට් දේශයේ රුපවාහිනියේ නිතර පෙන්වන "යුනනා සහ අවොස් " නම් සංවේදී ගීතයක්ද  ඇතුලත් සංගීතමය ඔපෙරාවකි.
ඔපෙරාවේ සඳහන් යාත්‍රාව 

ඔපෙරාවේ අපූරු ගීතයක්  තිබේ. එහි සිංහල තේරුම ගැන ගිහාන් මතක් කළේය. අදත් ඔහුගේ සිතේ එය ගීතමය කාව්‍යයක් ලෙස රැඳී තිබේ.

"ඔබ හිමිදිරියේ  මා නැගිට වන්න
පාවහන් නොමැතිව මා ඉවතට යනු දකින්න
නුඹ මා කිසි දිනක අමතක නොකරනු ඇත
නුඹ මා කිසි දිනක  නැවත නොම දකිනු ඇත

ශීතලෙන් ඔබව  රැක  ගන්න
යදිමි මා දෙවියන්ගෙන්
මා කිසි දිනක නුඹව අමතක නොකරමි
මා කිසි දිනක නුඹ නැවත නොම දකිමි 

සුළඟට හසුවී ඉරී තැලී හඬන
බලාපොරොත්තුවක්  නැති දුඹුරු වී ගිය චෙරි
දෙන්නේ අඳුරු සලකුණක්මය
මා නැවත නුඹ  දකින්නේ නැත

තේරුමක් නැති  වදන් පෙළක් මෙහි සිට
පැද්දි පැද්දී  ඉගිල යනු ඇත උඩට
මා කිසි දිනක නුඹව අමතක නොකරමි
මා කිසි දිනක නුඹ නැවත නොම දකිමි

මා දනිමි, නුඹ නික්ම යන බව ඉක්මනින්
ඒ ඉක්මනින්ම  අපි එක්වෙනු ඇත සදාකාලිකවම
මට නුඹ නික්ම යනු දැකිය නොහැකියි
මට උඹ ඉක්මනින් නික්ම යන්නටත් අවැසියි
මට දැනෙන්නේ මට නුඹ අහිමි  වෙනවා වගේ

මා කිසි දිනක නුඹ නැවත නොම දකිමි
මා කිසි දිනක නුඹව අමතක නොකරමි  "


තාන්යා ඔපෙරාව තදින්  හිතට ගත්  බවක් පෙනුනි. ඔපෙරාවේ කතාවද සත්‍ය කතාවක්  මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි.

ඇලස්කාව ඒ දිනවල අයත්ව තිබුනේ රුසියාවටය. එහි ජනකායට අවශ්‍ය ආහාර හා අනිකුත් ද්‍රව්‍ය ලබා ගැනීමට ගිය ගවේෂණ කණ්ඩායමේ සිටි රෙසානොව් නමැති ධනවත් සිටුවරයා කැලිෆෝර්නියාවට ගියේය. ඒ 1806 දී පමණය. එහිදී සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ හමුදා සේනාධිපති මුණ ගැසෙන අතරතුර ඔහුගේ දහසය හැවිරිදි දියණිය කොන්චිටා අර්ගුවේලෝ සමග පෙමින් බැඳෙයි. නමුත් රුසියානු ඔර්තොඩොක්ස් රේසානොව් ට කතෝලික කොන්චිටා සමග විවාහ වීමට තහනම් හෙයින් සාර් රජුගේ අවසරය ගැනීමට ඔහු නැවත රුසියාවට පැමිණෙයි.  ආපසු කැලිෆෝර්නියා  යන ගමනේ දී සයිබීරියාවේ ක්‍රස්නයර්ස්ක් නගරයේදී උණක් වැළඳුණු  ඔහු මියයයි. ඒ බව නොදත් කොන්චිටා ඔහු නැවත  එනතුරු බලා සිටී.

වසර 1842 දී ඉංග්‍රීසි ජාතික ජෝර්ජ් සිම්ප්සන් රෙසානොව් ගේ මරණය නිවැරදි ලෙස කොන්චිටා ට දන්වයි. වසර තිස් පහක්ම විවාහ නොවී රෙසානොව් ට බැඳී  ප්‍රේමය වෙනුවෙන්  දිවිය කැප කල කොන්චිටා ඩොමිනිකන් කන්‍යාරාමයක ට යයි. තවත්  වසර විස්සක් එහි ජිවත් වන ඇය මිය යන්නේ 1857 දීය.

රොක් සංගීතය තහනම්ව තිබු කාලයක සෑදු මෙම ඔපෙරාව තහනම් කරතියි බොහෝ අය බලාපොරොත්තු වුවත් එසේ වූයේ නැත.
 මේ සැබෑ කතාව  වුනත් ඔපෙරාවේ කතාව  මදක් වෙනස්ය. යුනනා සහ අවොස් යනු ඇමෙරිකා යන නැව් දෙකය. ඇමෙරිකාවේදී  කොන්චිටා විවාහ කර ගැනීමට එන සෙන්පති සමග රෙසානොව් ට සටන් කරන්නට වන සිදුවීමක් ද ඔපෙරාවට ඇතුළත්ය. ඔපෙරාව ගිය කාලයේ බටහිර ජන මාධ්‍යද එය වර්ණනා කළේ රොක් සංගීතය හා බැඳුනක් ලෙස හුවා දක්වමිනි.

තාන්යා ඇගේ නිල් පැහැ දෙනෙත් රවුම් කරමින් ඔහු දෙස බලා සිටියාය.
"ඔයත් මාව දාල යයි. කලින් මට ඒක කමක් නැහැ කියල හිතුනත් දැන් මට එහෙම හිතෙන්නේ නැහැ. " ඇය කීවාය.
ඇයට  කිනම් පිළිතුරක් දෙන්න දැයි ඔහුට සිතාගත නොහැකි විය.
"මට ඔයාව අමතක කරන්න බැරි වෙයි " සෙමින් ඔහුගේ ගෙලට ලං වෙමින් චුම්බනයක් දුන් ඈ ඔහු ගේ උරහිසට හිස හේත්තු කළාය.

"යා ලුබ්ලු තෙබ්යා. යා තක් ලුබ්ලූ තෙබ්යා" (මම නුඹට ආදරෙයි. මම නුඹට එපමණ ආදරෙයි) ඇය ඔහුගේ කණට කොඳුලාය.

ගිහාන් තුෂ්නිම්භූත වූවේය. වචනයක් පිට කර ගත නොහැකිව ඔහු ලත වුනේය.

එය ඇසිය යුත්තේ රුසියානු භාෂාවෙන් මය. පෙමින් වෙලුනු  තරුණියක් මුදු ලෙසින් ආදරය පවසන හඬ හදවතේ  නින්නාද වන්නේ භාෂා භේදයකින් තොරව බව ගිහාන්ට දැනුණේය.

"ඔයා මුකුත් නොකිව්වට කමක් නැහැ " තාන්යා සිහින් කෙඳිරියකින් මෙන්  මිමිණුවාය.

ඇගේ දෙනෙත් තෙත් වී ඇති බව ඔහුට පෙනුනි. ඒ ඔපෙරාවටද නැත්නම් දැන් ඇය කියූ දෙයටද යන්න ඔහුට සිතා ගත නොහැකිය.

ඇය දැඩිව වැළඳගත් ඔහු "මම ඔයාට ආදරය කරන්න  ගත්තේ මුල් දවසෙම වගේ. කියන්නේ කොහොමද කියන එක තමා හිත හිත හිටියේ" ඔහු මදක් නැවතී ඉස්පාසුවක් ගත්තේය.

"මම ඔයාට ආදරෙයි" ඔහු සිංහලෙන් කීවේය. "යා ලුබ්ලු තෙබ්යා සිංහලෙන්. ඔහු නැවතත් පැවසීය"
"මාම ඔආට ආඩරයි" ඇය සුරතල් ලෙස පැවසුවාය.

තුරුළු වී නොනිදා  ගත කළ රැයෙන් පසුව ඔවුන් වඩා දැඩි ලෙස එකිනෙකාට බැඳුනු බව ගිහාන් සිතුවේය.

මාස දින ගණන් ගෙවී ගියේ නොදැනුවත්වමය. ඊළඟ වසන්ත සමය  එළඹෙමින් තිබුණි.

~ මතු සම්බන්ධයි.  ප්‍රබන්ධයකි. නම්ගම් සියල්ල  මනඃකල්පිතය.

ප.ලි: බ්ලොගය කියවන ඔබ සැමට ප්‍රීතිමත් නිවාඩු කාලයක්, නත්තල සමරන ඔබට සුභ නත්තලක් සහ සැමටම සුභ හා වාසනාවන්ත නව  වසරක් පතමි.

-වසර 2000 දී කැලිෆෝර්නියාවේ බෙශ්නික් නගරයේ ෂෙරිෆ් විසින් කොන්චිටා ගේ අළු ස්වල්පයක් ක්‍රස්නයරස්ක්  වලට රැගෙන එන ලදී. එහි සොහොනේ "මා ඔබ අමතක නොකරමි", "මා  ඔබ නැවත නොදකිමි" යනුවෙන් සටහන් කර තිබේ.

ගීතය යුටියුබ් වල බලන්න


රුසියානු වදන් පෙළ :


Ты меня на рассвете разбудишь
Проводить необутая выйдешь
Ты меня никогда не забудешь
Ты меня никогда не увидишь

Заслонивши тебя от простуды
Я подумаю: "Боже, Всевышний"
Я тебя никогда не забуду
Я тебя никогда не увижу

Не мигают, слезятся от ветра
Безнадежные карие вишни
Возвращаться - плохая примета
Я тебя никогда не увижу

И качнутся бессмысленной высью
Пара фраз залетевших отсюда
Я тебя никогда не увижу
Я тебя никогда не забуду

И качнутся бессмысленной высью
Пара фраз залетевших отсюда
Я тебя никогда не увижу
Я тебя никогда не забуду

Я знаю, чем скорее уедешь
Тем мы скорее вечно будем вместе
Как не хочу, чтоб уезжал
Как я хочу, чтоб ты скорее уехал
Мне кажется, что я тебя теряю

И качнутся бессмысленной высью
Пара фраз залетевших отсюда
Я тебя никогда не увижу
Я тебя никогда не забуду

Я тебя никогда не увижу
Я тебя никогда не забуду