Sunday, 5 January 2020

ළමුන්ට දෙන දඬුවම් වලට එරෙහිවන්න - සුමිර ගුණසේකර

මෙය ලියා ඇත්තේ සුමිර ගුණසේකර නම් මහත්මයෙකි. මේ එන සිදුවීම් වල  සත්‍ය අසත්‍ය භාවය  නොදනිමි. නමුත් මේ ළමා නිවාසයට එරෙහිව නඩු දැමිය යුතුය.

“Say No to Physical Punishment”

" මේ දින වල ප්‍රසිද්ද අවුරුදු 15 ළමයට පෙරළගෙන ගහන වීඩියෝ දුටු මට එය ඉතාමත් සරල දෙයක් උනේ මං පුංචි කාලේ ඉඳන්ම මා ඇසුරු කරපු පරිසරය මට එය සරල දෙයක් බවට පත් කර හමාර කර තිබූ නිසා....ඉපදිලා මාස ගණනකින් ළමා නිවාස ගතවුණු මට..එම දරදඬු පරිසරය විසින් එම ක්‍රියාවන් මාගේ ඇසට හුරු කරා...පුංචි කාලේ මගේ අම්මා මාව දාලා ගියාට පස්සේ මම ළමා නිවාසයක තනි උනා...එතැන් පටන් මට ඔය ගුටිකෑම් බෙලි මිරිකීම් කෙල ගැසීම් වැනි කාරණා සරල දේවල් වුණා..
මේ මගේ ඒ අඳුරු මතකයේ පුංචි දිග හැරීමක්...මගේ අම්ම මාව පුංචි කාලේ දාල යන්නේ මං කිරි බොන ළදරු අවදියවත් පසු නොකරපු කාලයක...එතැන් පටන් විසි වසරක් පුරාවට මා විඳි අඳුර මතකය ඒ ප්‍රසිද්ධ වුණු වීඩියෝව දුටු විට නැවත නැවත මට මතක් වුණා...
ඇත්තම කාරණය එම video එක බලල අවසන් වන මට මං කියාගත්ත එකම දේ ඔය කෙල්ලට වඩා මං අම්බානකට ගුටි කාලා තියෙනවා කියල විතරයි ....
මාගෙ විසි වසරක ජීවිතය පුරාවටම ළමා නිවාස කිහිපයක ජීවත් වීමට සිදුවූ නිසා..මා විඳි කෲරතම දඩුවම් විදි ස්ථානයේ නම මෙහි සදගන් කරමි...(කුරුණෑගල ගේබ්‍රියල් trust ළමා නිවාසය)
මම ගුටි කාලා තියන සමහර හේතු ඇහුවොත් ඕවට ළමයෙක්ට ගහන්න ඕනද කියලත් හිතෙයි..

එක්තරා සැන්දෑ යාමෙක...දිනපතා සිදු වන මල් පැල වලට වතුර දැමීම කර්තව්‍ය සදහා මම සහා මගේ අතිජාත මිත්‍ර කසුන් (kasun perera) සවස හතර හමාරට පමණ වත්තට යන්නේ දිනපතා සිදුකරන වතුර දැමීම සදහා..

කසුන්÷ සුමියා අද වතුර නොදා ඉමු අහස අහින පාටයි..
මං÷ බෑ බෑ බං ලොකු සර් ආවොත් එහෙම ගුටි කන්න වෙයි
කසුන්÷අනේ බං අනික මට අද උන වගේ..
මං÷හරි එහෙනම් අද නොදා ඉමු..ලොකු සර් ඇහුවොත් කියමු වතුර දැම්මා කියලා..

වෙලාව සවස 7 ත් 8 ත් අතර..
ලොකු සර්÷ මෙහෙ වරෙන් යන්න වතුර දැම්මා ද කියලා බලන්න..
( කකුලෙන් මල් පැල අවට අල්ලමින්...තොපි එකෙක්වත් වතුර දැම්මේ නෑ නේද ආව මෙතන බොරු කියන්න මෙහෙ වරෙල්ලා...ගලවපියෝ ඔය ඇඳුම්..අල්ලගනින් ඔය කණුව )
ඔහු අපිට ගැසීමට යොදා ගන්නේ ඔහුගේ කලිසම වටා එතුණු ලෙදර් බෙල්ට එක...අදටටත් මගේ පිට හරියට බලන කෙනෙක්ට දැකගන්ඩ පුළුවන් බෙල්ට් පාරවල්...

සමහර විට මං නම් හිතන්නේ නාසරෙත් තරුනයා කාපු කස පහරවල් වලට වඩා දරුණු පාරවල් මං කුඩා කාලයේ කා ඇත..තවමත් ඒ රිදුම් මගෙ මනසට වද දේ...

පුංචි කාලයේ ඉඳන් මං ඉගෙන ගන්න අදක්ෂයෙක් උනාට විශය බාහිර ක්‍රියාකාරකම්වල දී පාසලේ ඉදිරියෙන්ම හිටියා..

*කථික තරඟ වලින් පිට පිට පස් වතාවක් ම ප්‍රථමයා වීමේ වරමත්
*සිංහල සාහිත්‍ය සමිතියේ වසර දෙකක් පුරාවට එක දිගට ම සභාපති තනතුර ලැබීම.
*ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමේ අවස්ථාව..
*විවාද කණ්ඩායමේ නායකයා වීමේ අවස්ථාව

ඒ නිසාම ගෑනු ළමයිගෙ ආකර්ශනය ලැබුණ... සාමාන්‍යයෙන් පාසලේ පැවැත්වෙන සෑම උත්සවයකටම මගේ කතාවක් අනිවාර්ය වීම සාමාන්ය දෙයක් වුන..එම හේතුව නිසා ම..ප්‍රේම පලහිලව් කීපයක වරදකරු වීමට සිදු වූ නිසා...ළමා නිවාසය තුළින් මා හට දුන් දඩුවම වන්නේ ඇදුම් සියල්ලම කළ ගලවා නිරුවත් වී හැම කෙනා ලගටම ගොස්.."මං ආයෙ ගෑනු ළමයි එක්ක යාලු වෙන්නේ නෑ" යන වාක්‍ය කීමටයි...එවිට ඊට ප්‍රතිචාර ලෙස ඔවුන්ට කිරීමට අණ ලැබී තිබුනේ මා හට කෙල ගැසීමයි...අදටත් මට පාරේ යන යමෙක් බිමට කෙල ගසන්නේ නම් මට ඒඅඳුරු මතකය මතක් වෙයි...

තවත් එක්තරා දිනයක උදෑසන අවදිවීමට විනාඩි කීපයක් පරක්කු වූ නිසා දඩුවම වශයෙන් ලැබුණේ..එදා රාත්‍රියේ මටත් නොකියා කහඹිලියා කොල මගේ බෙට් ශීට් වල ඇතිල්වීමයි..එදා රාත්‍රිය මට කිසිදා අමතක නොවන රාත්‍රියකි..මුළු රාත්‍රියම නිදිවර්ජිතව එක අතකින් ඇග කැසීම කොතරම් අපහසුද...?
මා පෙර පැවසූ පරිදි පාසලේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තට යෑමට මට ගත වූයේ ඉතාමත් කෙටි කාලයකි..එයට අකමැති වූ ළමා නිවාස පාලනාධිකාරය මට දුන් දඩුවම වන්නේ..පෙරදින රාත්‍රියේ කාල සටහනකට අනුකූලව සෑදූ මාගේ බෑගය වතුරට දැමීමයි..ඒ වතුර පිරුනු ඒ පොත් බෑගය මා එල්ලාගෙන යන විට සමහරු මට සිනාසුනේ කොක් හඬලාය අදටත් මට එම අදුරු මතක අමතක නොවේ..එම අතීතයේ හැමදාම මට සිදුවූයේ ගුටි කෑමට පමණය..පසුව මට ගුටි කනවා කියන එක හරිම සරල දෙයක් වූයේ ඔබ එදා නරඹපු වීඩියෝ එකේ ඉන්න දරුවා ගුටි කනකොට කිසිවක් නොකර ඉන්නා ආකාරයටමය.. සමහර දවස් තිබුණා කොච්චර වේදනාවක් ආවත් එය නොපෙන්වා සිටීමට තරම් මා දරදඩු වුනු...

සමහර දවස්වලට මට මේ වේදනාව කීමට කෙනෙක් නැති තැන...අම්මා නෑ කිය කිය දැන දැනත් මං අම්මට ලියුම් ලීවා..සහ ලියන්න උත්සහ කරලා තියනවා.. ඒත් කාට හරි හමුවෙලා කි‍යෙව්වොත් මට පිස්සු කියල හිතයි කියන බයට ලියපු ගමන්ම අනිත් පැත්තට පොඩි කර කටට ඔබ ගන්නේ ගන්නේ කටේ දත් වල බලයට ශේශ වන කොල කාටවත් එකතු කර හෝ කියවීමට නොහැකි වන පරිදි ය..

ඔව් එහෙම ළමයි ලොකු වෙන්නෙ සමාජෙත් එක්ක ඇරියස් තියාගෙන.. මාත් එහෙමයි, මට මේ පවතින සමාජ තත්වයන් එක්ක ලොකු ඇරියස් එකක් තියනවා.. ටිකක් ලොකු වෙනකොට සමාජය අපට කියලා දෙනවා වැඩිහිටියන් අපට ගහන්නේ අපිට තියෙන ආදරේට ගියල.. එතකොට මම ඒක කියවගන්නෙ ඔයාලා ඒක කියවගන්න තැනින් නෙමෙයි..හරි අමුතු ම තැනකින්.මම ඒක කියවගන්නෙ අනිත් පැත්තට, "යකෝ ඒ කියන්නෙ මං වගේ ළමයි මේ ලංකාවෙ තව කොච්චර ඇත්ද..?" ඒ තමයි මගේ කියවාගැනීම.. ඇත්තට ම මං වගේ ළමයි දහස් ගාණක් මේ ලංකාවෙ.ලමා නිවාස වල,පිරිවෙන් වල ඉන්නවා.. මට ඒක අත තියලා කියන්න පුළුවන් ෂුවර් එකකුත් තියනවා..

ලොකු වෙද්දි මම හිතාගෙන හිටියෙ ළමයි හොඳට හැදෙන්නෙ උන්ට ගැහුවොත් කියලා.. මොකද මම හැදුණෙ එහෙම නිසා.. මට කාලයකට පස්සේ කසුනගෙන් මැසේජ් එකක්..ඌ එක්ක ඒ කතා කරන දේවල් අතර නොවරදින මාතෘකාව වන්නේ කුරුණෑගල ළමා නිවාසය තුල අප විදී වේදනාවයි..
, “ළමයින්ට හොඳින් ඉගැන්නුවම උන් ඒක හරියට ඉගෙනගන්නවා, ගහනකොට තවත් මුරණ්ඩු වෙනවා..” ඒ උගෙ මතය යි
මං දන්නවා ටික වෙලාවක් යද්දි මගේ මෝඩ මොළේට ඒක තේරුණත් එවෙලෙ බොරුවට තර්ක කරලා කටවහන් හිටියා.. ඒත් පස්සෙ කල්පනා කරලා බලද්දි මට ඌ හරි කියලා තේරුණා..

#සමහර #විට #මේ #ඔබේ #කතා #විය #හැකියි #සමහරවිටමීට #වඩා #ඔබේ #කතාව #වෙනස් #විය #හැකියි #මීට #වඩා #ඔබේ #කතාව #දුක්බර #විය #හැකියි

😣මං හිතන් හිටියට ළමා නිවාසේ තමයි දරුණුම ජීවිතේ තියෙන්නෙ කියලා සමාජයට අවාම තේරෙනවා සමාජයත් කොයිතරම් නම් දරුණුද,කෘරතර,තුච්චද කියල..අපිට ජීවත් වෙන්ඩ කියල ගරියට බැලුවොත් තැනක් නැහැ..ඒ තරම් මේ පවතින තත්ත්වය හරිම අප්‍රසන්නයි ගඳ ගහන සුළුයි...කුණු වලින් පිරිලා😣

ප.ලි : කවදාවත් ළමයින්ව ගහලා හදන්නෙපා, ගේ අතුගානකොට කොතනහරි දූවිලි තිබුණා කියලා මරාගෙන කන්න හදන්නෙපා.. උන් ලොකු වෙලා ෆේස්බුක් ඇවිත්, විනාඩියට වචන 1000ක් විතර ටයිප් කරගන්න පුළුවන් තරම් හෙළකුරු ප්‍රැක්ටිස් උනාම මේ විදියට ලියලා දානවා..

“මොකද උන් කැමති නෑ තව එක ළමයෙක්වත්,
එක එකාගෙන් පොඩි ම පාරක්වත් කනවට..”

@ශෙයා කරන්නද කියලා අහන්න එපා,
මට ඕනෙ මේක පුළුවන් තරම් ශෙයා වෙන්න තමයි..🤚

පසුවට ලියමි÷Hiru Dias අක්කිගෙ පෝස්ට් එකේ ශක්තියෙන් ලීවෙමි..අන්තිම වචන පේලි කිහිපය ඇයගෙන් උදුරාගෙන ලීවෙමි..සමාව අයදිමි..

මං එදා ලෙදර් බෙල්ට් එකෙන් ගුටි කාපු..අදටත් මනසින් විදවන
😥සුම්ර ගුනසේකර😥

Wednesday, 1 January 2020

බ්ලොග් ලෝකයේ අලුත්ම අඩවිය - වසන්ති

වසන්තිව මට හම්බ වුනේ පද්මිණි මාතරගේ නිසා. පද්මිණී මුණ ගැහුනේ සියාමා පොත පල කරන්න යද්දී දැනට අවුරුදු දෙක තුනකට කලින් ලන්ඩන් වල ඉන්න  විපුලි පලිහක්කාර  නිසා.  පද්මිණි "සියාමා" පොත ගැන හැඳින්වීමක් දුන්නා එයා  වැඩ කළ පුවත් පතේ. "සියාමා " පොත ගැන කතා කරන්න වසන්ති එන්න කිව්වා එයාගේ "ටෝකින් බුක්ස් " වැඩ සටහනට. මම ගියේ නැහැ. මම හිතන්නේ ඇය වැඩ කල රූපවාහිනී ආයතනයට යන්න එපා යයි ලැබුණු අවවාද අරව මේවා නිසා වැඩියෙන්මත් . හැබැයි මම පස්සේ දැන ගත්ත සුපුරුදු ලංකාවේ විධිහටම ඒ අවවාද දෙන අයත් එතනට ගිහිල්ල ඒ වැඩ සටහනේ හිටිය කියා.

පද්මිණි   යි වසන්තියි දෙන්න ටිකක් සුවිශේෂියි. දැන් මගේ බ්ලොග් මිතුරු කැලේ ඉන්නවා සැහෙන පිරිසක් මගේ පොත් එලි දැක්වීම වලට එන. ජීවන, තරුරසී, ඉයන්, ප්‍රා ජේ, සුමිත්, බුද්ධිකා,  ඉවාන්, බෝධිනී, තරිඳු, ධම්මිකා, කොලොම් පුරේ, නිදි, නලින් ඇතුළු නම කිවූ නොකිවූ පිරිසක් හිතේ කහටක් නැතිව සුභ පතන්න එන අය. ඔවුන් එන්නේ හිතවත්කමට. මම දැන  ගත්තේ  පද්මිණි සහ වසන්තිත් ඒ වගේ කියල. ඔවුන් මගේ පොත් ගැන කතා කරන්න එන්න කීවෙත් එහෙමයි.

දෙවන වර ලංකාවට ගියහම ගිය අවුරුද්දේ අපි වඩාත් හොඳින් හඳුනාගෙන හිටියේ. ඒ හැඳිනීම මත මගේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොත ගැන කතා කරන්න මම පද්මිවයි වසන්තිවයි හමු වෙන්න ගියා. ඊට පස්සේ සරුවත් කතා, වෙල් මාළු කතා අතරේ  මම
" ටෝකින්ග් බුක්ස් " වැඩ සටහනටත් සහභාගී වුනා.

මම පස්සේ ඒ දෙන්න සමග නැගුනු හිතවත්කම අනුව තේරුණා අපේ දේශපාලන අදහස්  ප්‍රති විරෝධී විය හැකි වුනත් හෝ අපේ වෙනත් අදහස්  කෙසේ වුවත් ඔවුන් නිරහංකාර අය බව.  අපට සංවාද කරන්න පුළුවන් බව. මට තේරුණා අනිත් අයගේ පොත් ගැන කතා කරන්න එන්න කීවත් වසන්තිටත් ගොඩක් දේ තමන්ගේම දේ කියන්න ආසාවක් තිබෙන බව. එනිසා මම වසන්තිට ආරාධනා කළා බ්ලොග් එකක් පටන් ගන්න කියල.

හුඟක් බ්ලොග් ලියන්නෝ දැන් ඉන්නේ ෆේස්බුක් එකේ. ෆේස්බුක් එකට වැය වන කාලය ඇත්තටම මැනවින් කළමණාකර ගත යුතු දෙයක්. නැතනම් ඇබ්බැහි වුනොත් ගොඩක් දේවල් මග හැරෙන්න  පුළුවන්.  මම වසන්තිට බ්ලොග් ලියන්න එන්න කීව එක හේතුවක් ඒක .

සමහර විට එයා රැකියාව කරණ ආයතනයේ "ටෝකින්ග් බුක්ස් " වලට අමතරව "ටෝකින්ග් බ්ලොග්ස් "  වැඩ සටහනක් ගේන්න පුලුවන්නම් හොඳයි. බ්ලොග් ලිපි, කවි , නිසඳැස් , කතා , හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ මොනවා නැතත් සංවාදයක් නැවත අරඹන්න  පුළුවන් වීම විශේෂයි .

අපි 2020 අලුත් ගමනක් යමු. බ්ලොග් ලෝකයට සාදරයෙන් පිළි ගන්නවා, ඔයාව. ඔන්න මගේ බ්ලොග් වැලේත් එල්ලුව ඔයාගේ නවතම බ්ලොග් එක.

**********************************************

වසන්ති ගේ හඳුන්වා දීම 

මට හිතුණා බ්ලොග් සටහන් පෙළක් අරඹන්න. කාලෙකට කලින් මම එහෙම සටහන් පෙළක් ලියන්න පටන් ගත්තා, බ්ලොග් එකක. ඒත් අතර මග නැවතුණා. ආයෙමත් ඒ ආසාව ඇතිවුණේ අජිත් නිසා.

අජිත් හෙවත් "කොළඹ ගමයා" පහුගිය දවසක ලංකාවට ආවම මුහුණු පොතට මම ලියන සටහන් දැකලා කිව්වා "බ්ලොග් එකක් හදාගෙන ලියන එක දිගටම කළොත් නරකද?" කියලා.

අජිත් ධර්ම ගේ "කොළඹ ගමයා" ප්‍රකට බ්ලොග් එකක්. ඒත් ඒකේ සටහන්වෙන හැම කාරණාවකටම මම එකඟ නැහැ. ඒක වෙනම කතාවක්.

කොහොම වුණත් අජිත් සහ මම බ්ලොග් එක ගැන දීර්ඝව කතා කළා.

අපිට ලිවීම තුළ දවසින් දවස අළුත් නිර්මාණවලට හිත ඇදී යනවා. හිතේ ඇති සිතුවිලි නිදහසේ මුදාහරින්නට අවස්ථාව ලැබෙනවා. ඇතැම් විට අපි ලියන දේ කියවන පිරිසට අපේ අත්දැකීම් බෙදා හදා ගන්නටත්, එකිනෙකාගේ අදහස් හුවමාරු කර කරගන්නටත් අවස්ථාව හිමිවෙනවා.

"මට ඕනේ මහා බරපතල කාරණා ගැන මේ සටහන්වල සාකච්ඡා කරන්න නෙමෙයි." අජිත්ගේ බ්ලොග් යෝජනාවේදී මම කිව්වා. “ඉතින්" අජිත් ඇහුවා.
"මට ඕනේ මගේ අත්දැකීම්, මගේ සිතුවිලි එකිනෙකා අතරෙ හුවමාරු කරගන්න විතරයි“.
“ඉතින්" ඔන්න අජිත් ආයෙම අහනවා.
"මට ඕනේ හොඳ මිත්‍ර සමාගමක් හදාගන්න“ මම ආයෙම කිව්වා.

“මගේ ලෝකේ හරිම පොඩියි. ඒ පොඩි ලෝකේ ඇතුළේ මගේ අදහස් කියා ගන්න විතරයි මට ඕනේ" සාකච්ඡාව අවසානේ මම කිව්වා.
“ඉතින් ඒකට බ්ලොග් එක හදා ගන්න. ඔයාට උත්තර දෙන්න කැමති අය උත්තර දෙයි. අදහස් හුවමාරු කර ගන්න අය එහෙම කරයි. මිතුදම් ඇති කර ගන්න අය මිතුරු සමාගම් ඇති කර ගනියි.මේ මොකකටවත් කැමති නැති අය නිකන් ඉඳියි“. අන්තිමට අජිත් කිව්වා.

ඉතින් අවසානයේ මම තීරණය කළා අළුත් බ්ලොග් එකක් නිර්මාණය කරන්න.

මගේ පුංචි ලෝකේ ඇතුළේ ඉඳන් "මට හිතෙන හැටි" ලියන්න, මගේ "සංචාර සටහන්" ලියන්න, "පුංචි කාලේ මං" මගේ ජීවිතේ ගැන ලියන්න මට පුළුවන්.

පුලින්ද මල්ලී මගේ තාක්ෂණික ප්‍රධානියා. මම නොදන්න සියලු පරිඝනක වැඩ නිහතමානීව ඉටු කර දෙන්නේ ඔහු. වැරැද්දකදී මගෙන් පලු යන්න බැනුම් ඇහුවත් මීක් සද්ද නැතුව ඉන්නවා. පුලින්ද ට මගේ අදහස කිව්වම හෙමින් හෙමින්, ටිකෙන් ටික මගේ බිලොග් එක හැදුවා. පුලින්ද මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි.

මගේ වැඩවලදී උපදෙස් දෙමින් අඩු වැඩිය හදමින් දුකට සැපට ළඟ ඉන්න, හිත කඩා වැටෙන හැම මොහො⁣තෙම හයිය දෙන මිතුරිය පද්මිත්, සම්පත්, චංචලා නංගී ඇතුළු හැමෝගෙම අදහසුත් මේ බ්ලොග් එකට අයිතියි. ඔබ සියලු දෙනාටත් ස්තුතියි.

ආදරණීය අජිත්, ඔබ නිසයි මේ බ්ලොග් එක පරිස්සමින් ප්‍රතිනිර්මාණය වු‍ණේ. ලන්ඩනයේ හිටියත් මගේ නිර්මාණවලට අදහස් එක් කරන ඔබටත් ස්තුතියි.

ඉතින් අද පළවෙනිදා. 2020 අලුත් වසරක්. අද ඉඳන් ඔයාලා හැමෝටම මගේ බ්ලොග් එකෙන් මම ලියන දේවල් කියවන්න පුළුවන්. ඔබේ අදහස්, යෝජනා විතරක් නෙවෙයි චෝදනා වලටත් මේ බ්ලොග් එක විවෘතයි.

ඒ වගේම මුහුණු පොතේ කලක් තිස්සේ මා සමඟ සිටි මගේ මිත්‍රයිටත් අදහස් හුවමාරු කර ගැනීමට මේ බ්ලොග් එක හරහා මා ආරාධනා කරනවා.

ඒ සියල්ල සඳහා මෙන්න මගේ බ්ලොග් ලිපිනය: වසන්ති නානායක්කාර 


Tuesday, 31 December 2019

පළමු ගල ගහන්නට කළියෙන්

ජර්මන් ක්‍රිස්මස් මාකට් එකේදී 
අම්පිටියේ සුමන හිමි මීට කලිනුත් ප්‍රවෘත්ති වල හිටිය කෙනෙක්. නැගෙනහිර "ජාතික ප්‍රශ්න වලදී ක්‍රියා කල ආකාරය ගැන". මා ඒ ගැන අද හිතමින් සිටියා. ඒ අතරේ මගේ ඥාති දියණියක් මෙහෙම ප්‍රශ්නයක් නැගුවා. ෆේස්බුක් එකේ   මාත් බිරිඳත් දරු  දෙදෙනාත් අපේ නිවසේ නත්තල් ගස ළඟ ගත් ඡායා රූපයක් දැකල.

ඇය ඇහුවේ "මාමා දැන් ක්‍රිස්තියානිද කියා? "
මං ඇහුවා ඇයි එහෙම අහන්නේ කියල.
"නැහැ, ඔයා ආගම් අදහන්නේ නැහැ කියල අපේ අම්ම කියල තියෙන්නේ. ඒත් ක්‍රිස්මස් එක සමරනවා. අපට නැහැ අපි බෞද්ධ නිසා. ඉතින්  ඒකයි ඇහුවේ. " කියල ඇය පිළිතුරු දුන්න.  ඉතින් ඇයට දුන් මගේ පිළිතුරත් අඩංගු කරලා තමයි මේ ලිපිය ලියන්නේ.

සෝවියට් දේශයේ ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිය ඇදහීමට අවසර තිබුනත් එය උනන්දු කලේ නැහැ. ආගම අදහන අයට හුඟක් වෙලාවට රැකියාවේ උසස් වීම් නොලැබුණාලු. නමුත් මම දන්න සිසුවෙක් ඕනෑ කමින් ආගම ඇදහුවා. ඔහු දැන් මොස්කව් එකෙයා (ස්වීඩන සමාගමක් වන මෙහි නම අයිකියා කියාද  එංගලන්තයේ පුනරුච්චාරණ කරති )  එකේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක්. ඔහුට  සෝවියට් දේශයේ දී  බාධාවක් වුනා යයි මා දුටුවේ නැහැ. ඔහු හා තවත් යෙහෙලියක් නිසා මම  ඔර්තොඩොක්ස් පල්ලි වලට සෝවියට් දේශයේ සිටියදී ගිහින් තිබෙනවා.


වෙස්ට කාස්ට්ල්හි (මාළිගාව) පල්ලිය 



මගේ ජර්මානු බිරිඳ විවාහ කරගත් පසු මෑතක් වන තුරුම හැම නත්තලටම අපි ගියේ ජර්මනියට.
ජර්මනියේ නත්තල් මාකට් හෙම තිබෙන නිසා  නත්තල සරුයි. හිම ක්‍රීඩා වල යෙදීම, මල්ඩ් වයින් (කුළුබඩු දමා රස ගන්වන ලද  වයින්) හා බීර බිබී රසවත් කඩචෝරු, ජර්මන් සොසේජස් ආදිය  කමින් ඇවිදීම  ආදිය මගේ ප්‍රියතම ක්‍රියාකාරකම් නත්තල්  කාලෙට ජර්මනියේ දී. නත්තල් දවසේ අපි පල්ලියට යනවා වෙස්ට කියන කොබර්ග් වල තිබෙන මාළිගාවේ. මම කරන්නේ අත් දෙක බැඳගෙන ගීතිකා අහන ඉන්න එක. (එහෙ පල්ලි යන්න වැඩි කැමැත්තක් නැත්තේ ගොඩක් වෙලා - පැය  දෙකක් වත් -  එක දිගට ඉන්න ඕනේ නිසා)
ඒ වගේම හැම නත්තලකටම අපේ නිවසේ නත්තල් ගහක් හැදෙනවා. නත්තල් සීයා ගෙදරට හෝ ජර්මනියේ බිරිඳගේ දෙමව්පියන්ගේ නිවසට   ආපු කාලෙකුත් තිබුන දූරු දෙන්න පොඩි කාලේ.

හැබැයි ඒ වගේම තමයි දුවල දෙන්න නැගෙනහිර  ලන්ඩන් වල භාවනා මධ්‍යස්ථානයේ බෞද්ධ පන්ති වලටත් බිරිඳ එක්කන් ගියා. ඔවුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක්ද යන්න දැන  ගැනීම දක්වා උගත්තා, බුද්ධ චරිතයද ඇතුළුව. හැබැයි පල්ලියේ  විදුහල හොඳ නිසා ප්‍රාථමික පාසැල වුනේ ඇන්ග්ලිකන් පල්ලියේ පාසැලක් . එහි දේව ධර්මයට  අමතරව, බුදු දහම , හින්දු ආගම  හා මුස්ලිම් දහමද ඉගැන්වූවා.

ඉතින් මගේ ඥාති දියණියට මම කිවේ මම ක්‍රිස්තියානි කියල කියන්න අපහසුයි මට, මොකද  මම අදේවවාදියෙක් නිසා කියල. නමුත් මම පල්ලියට යනව බිරිඳත් සමග නත්තලට පමණක්. සමාදානයෙන් ජිවත් වෙනවා. මේ රටේ.  මම පන්සලටත් ඉඳ හිට යනවා කියල.

මේ අපේ නිවසේ මේ අවුරුද්දේ නත්තල් ගහ සහ නේටිවිටි හෙවත් ක්‍රිස්තුස් ඉපදුනු ලෙන අසල දර්ශනය. බිරිඳ තමයි මේවා සකස් කරන්නේ.




වසර අවසානය ලං වූ බැවින් අපි එඩ්මන්ටන් (ලන්ඩන්) සමාධි භාවනා මධ්‍යස්ථානයේ ගරු  ගුන්නෑපානේ සුමනාරාම හිමියන්ට නිවසට වඩින්ට අරාධනා කළා. මගේ බිරිඳ එම මධ්‍යස්ථානයේ ට්‍රස්ට් එකෙත් ඉන්නවා.  ඇය තමයි දානය පිළියෙළ කළේ. මගෙන් තමයි පිරිකර.


සමාධි භාවනා මධ්‍යස්ථානයේ සුමනාරාම හිමි (අවසරය ඇතිව පළ කරන ලදී) 
 දැන් අපි මේ ස්වාමින් වහන්සේට කතා කරලා සතියේ දවසක දානේ පිළි ගැන්වූයේ බොහෝ විට සතියේ දවස් වල හුඟක් අය වැඩ කරන නිසා හාමුදුරුවන්ට  දානේ ලැබෙනවා අඩුයි.  අපට නිවාඩු අද.  එනිසා අපට දානයක් දෙන්න පුලුවන්.
අනිත් කාරණය තමා  අපි දානේ දුන්නේ නැත්නම් කවුද දෙන්නේ කියන කාරණය . හාමුදුරුවන් ඉන්න නිවස හෙවත් කුඩා මධ්‍යස්ථානයේ මොර්ගේජ් එක ගෙවන්න ඕනේ. තව ඕනෑ එපාකම් තිබෙනවා. එනිසා කැමැත්තෙන් උදව් කරන එකේ වරදක් මම දකින්නේ නැහැ.  බුදු දහමේ අනිවාර්ය නැහැනේ උදව් කරන එක. පන්සලට යන එකත් අනිවාර්ය නැහැනේ. මේක නිදහස්  දහමක්.

අනික අදේවවාදියෙක් වශයෙන් මේ හාමුදුරුවෝ එක්ක ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ මධ්‍යස්ථානේ තියෙන්නේ බුදු පිළිම විතරයි දේව පිළිම නැහැ. එනිසා මට හාමුදුරුවෝ එක්ක ඉඳහිට සාකච්ඡා කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. මම පල්ලියට යන්නේ බිරිඳගේ දෙමාපියන් නිසා (ජර්මනියේදී) . ලන්ඩනයේදී බිරිඳට මගේ යාම අවශ්‍යනම් මමත් යනවා. දූ වරු දෙන්න මුලදී පල්ලි ගියත් දැන් යන්නේ නැහැ. ඔවුනුත් මං වගේම අදේවවාදී වෙලා. නමුත් පොඩි දුව විද්‍යාලයේ කැරොල් ගීතිකා ගයනාව. ඇය එයට කැමති නිසා. ආගමට ඇති කැමැත්ත හෝ අකැමැත්ත ඒ තීරණයට  බල පාන්නෙ නැහැ.

අම්පිටියේ සුමන හිමිගේ ප්‍රශ්නෙට එමු. දෙපැත්තටම ඉන්නවා කට්ටිය. හාමුදුරුවෝ කනට ගහපු එක හරි කියන, දේවගැති තුමාට තර්ජනය කරන එක හරි කියන අය සහ ඒ ක්‍රියා දෙකම විවේචනය කරන අය. දෙවැනි කොටසට අනුව හාමුදුරුවෝ  බුද්ධාගමේ නොව නගරන් කාරයෙක් සහ චන්ඩියෙක්.  සිවුර ගලවා  එලව දැමිය යුතු තගෙක් . මුල් අයට අනුව නම් ඔහු බුද්ධාගම ආරක්ෂා කරන්නෙක්.


ඔය තර්කයේ ඇත්තක් තිබෙනවා මෙහෙම. ආදි කාලයේ බෞද්ධ රටවල් වුනු ඇෆ්ඝනිස්තානය , මැලේසියාව , ඉන්දුනීසියාව , බංගලා දේශය , පකිස්ථානයේ සමහර ප්‍රදේශ වෙනත් ආගම් වලට හැරුනේ  කොහොමද කියන එක හිතල. අරාබි හෝ මෝගල් කඩුව මතට ගෙල යාම නිසා හෝ බයිබලය එක අතකින්  සහ තුවක්කුව තව අතකින් රැගෙන ආ යුරෝපීයයන් නිසා නෙමෙයිද. කනට ගහන සයිස් අය නොව කඩු භාවිතා කරන අය හිටියත් ඔවුන් පැරදුනා. මේක ජන විඥානයේ රැඳී තිබෙන මනෝ භාවයක්. අම්පිටියේ හාමුදුරුවෝ  තුලින් ඉදිරියට එන්නේ ඒ භය විය හැකියි. දැන් කිතුණු කල්ලි දහමකට (කුඩා දේවාගමික ට්‍රස්ට්ස්)  හරවාගන්න  එන්නේ මුදල් වලින් අල්ලස් දීල . ඉතින් කනට ගහනවට වඩා මුදල් තිබෙන පන්සල් ඉදිරිපත් වෙලා ඒ මිනිසුන්ට උදව් කරන්න ක්‍රමයක් හාමුදුරුවෝ හැදුව නම් මිට වඩා හොඳයි. එහෙම පන්සල් තියේද?

ඉතා පැහැදිලිව කිව යුත්තේ මම මේ හාමුදුරුවන්  කළ දේ අනුමත කරන්නේ නැහැ. ඊයේ හෝ පෙරේදා ටෙක්සාස් වල සුදු ජාතික තුවක්කු කරුවෙක් පල්ලියක දෙදෙනෙක් මරා දමා තිබුන. දෙවියන් ගේ පල්ලියේ තුවක්කු රැගෙන වතාවත් කිරීමට අවසර දීල තියෙන්නේ. මේ රටේ (එංගලන්තයේ ) සහ යුරෝපයේ  යුදෙව් පල්ලි වලට ක්‍රිස්තියානි හා මුස්ලිම් අය පහර දෙනවා ඉඳ හිට.

ලංකාවේ පාස්කු ප්‍රහාරය කලේ මුස්ලිම්  ත්‍රස්තවාදීන්. නමුත් ඒ ජනතාවගේ සමහර අය කියනව ඒ අපි අදහන මුස්ලිම් ආගම නෙමේ කියල. හැබැයි රෝහින්ගියාවේ හෝ අම්පිටිය හාමුදුරුවන් ගේ ක්‍රියා අප අදහන ආගමක් නොවේ කියල කීවට පිලි ගන්න කෙනෙක් නැහැ. අද මෙහෙ රේඩියෝ එකේ කතෝලික ජනයට බුද්ධාගමේ අය පහර දෙනවා කියා කියවුනා. අර අම්පිටියේ හාමුදුරුවන් ගේ ක්‍රියාව නිසා. නමුත් අපි දන්නවා හැම තැනම එහෙම වෙන්නේ නැහැ කියල.

මේ රටේ සහ කතෝලික අයර්ලන්තයේ පුජකවරුන් ළමා අපචාර කළා කියල නඩු වැටිලා තියෙන්නේ. එක 19 වියැති අයෙක් ඊයේ පෙරේද තුවක්කුවක් අරන් තමන්ගේ පියත් තමාවත් අපයෝජනය කළ දේව ගති තැන මරා දැමුවා. හිංසනය එන්නේ කොහෙන්දැයි සිතා ගත හැකිද? මගේ මුස්ලිම් යාලුවෝ ඉන්නවා හුඟක් හොඳ මිනිස්සු. අදත් දෙන්නෙක් එනවා අවුරුද්දද සමරන්න. ඒත් ඊශ්‍රායලය බෝම දම විනාස කල යුතුය කියන අය ඒ අතර ඉන්නව. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ එහෙම කියන මුස්ලිම් අය මුණ ගැහිලා තිබෙනවා. එසේම අවුරුදු දොළහේ දහ තුය්නේ දුෂණය වුනු ළමයි එහෙම වුනේ ඒ ගොල්ලන්ගේ වැරැද්දෙන් කියන මුස්ලිම් ජාතිකයෝ දෙතුන් දෙනෙකුත් හමු වෙලා තිබෙනවා. එහෙම අය අපේ රටෙත් ඉන්නවා. අපි මේවා සමස්තයක් ලෙස ගන්නවද?

අනිත් පැත්තෙන් බැලුවහම අම්පිටියේ හාමුදුරුවන්  කුඩා දරුවා කාලයේ මොන කරදර වලට මුහුණ දුන්නද කියන්න අපි දන්නේ නැහැ.  කුඩා කාලයේදී කුසගින්නේ හිරිහැර වින්ද වෙන්න ත් පුළුවන්. ඔහුගේ හැසිරීමට එයත් සාධකයක් විය හැකියි. නැගෙනහිර ජීවත්වූ ඔහුට කිසිම සහයක් ලැබෙන්න නැතිව ඇති අවට බුදු දහම නොඅදහන ජනයා ගෙන්. සමහරවිට අපිනම් එහම තනියම සිටින දේවගැති කෙනෙක් හෝ පුජකයෙක් හිටියොත් උදව් කරන්න ඉඩ තිබෙනවා. ඔහු මුහුණ දුන් තත්වය කෙබඳු දැයි අප දන්නේ නැහැ.  ඔහුට ඒ පිලිබඳ කෝපයක් තිබෙනවා ඇති.

බුදුන් වහන්සේ මිනී මැරූ අංගුලිමාල කෙරෙහි අනුකම්පාවෙන් ක්‍රියා කළානම් මෙත්ත මුදිතා කරුණා උපේක්ඛා කියන සතර කරුණු පිළිපදින බෞද්ධයන්ට අම්පිටියේ හාමුදුරුවන් වෙනුවෙන් මෙන්ම කනේ පැහැර කෑ තැනැත්තාට ද බයිසිකලයේ ගමන් ගත්  දේවගැති තුමන් ටද මයිත්‍රී කරන්නට පුළුවන් නොවේද?

ඒ හාමුදුරුවන්ට  ගල් ගහනවට වඩා හෝ ඔහු බේරා ගන්න වාද කරනවට වඩා ඒක හොඳ නැත්ද.  හැමෝම අඩියක් පස්සට අරන් මැදහත් සිතින් කල්පනා කලොත් නරකද?
එහෙම කල්පනා කරනකොට බොහෝ දේ මතක් වෙන්න ගන්නවා.

කියන්න අමතක වෙනව  තව ටිකෙන්. මම අදේවවාදියෙක් විතරක් නෙමේ නිරාගමිකයෙක්. ඒ කියෙන්නේ කිසිම ආගමක ඇලෙන්නේ නැතිව ඉන්න උත්සාහ කරන එකට. නැතිව මගේ නිරාගමික මතය කාගේ හරි උගුරු දණ්ඩෙන්  පහලට තල්ලු කරන්න යන එක  නෙමේ.

ඉතින් මිත්‍රවරුනි පහුගිය 2019 මට නම් සාර්ථක වසරක් මගේ තුන්වැනි පොත අමාරුවෙන් හරි මුද්‍රණය කර ගත් නිසා.. ඔබටත් එසේ වන්නට ඇත. එසේම නොවන්නටද ඇත. එනිසා ඒ දිහා උපේක්ෂාවෙන් බලන්න. නව වසරේ අදිටන් අලුත් කර ගන්න.

ඔබ සැමට සාමය සතුට පිරි නව 2020 වසරක් වේවා.   






Saturday, 28 December 2019

දැදිගම වී රුද්‍රිගු සංවාදය පිලිබඳ අදහසක්

ප්‍රසිද්ධ බ්ලොගර් කෙනෙකු වන සුජීව කොකාවල ෆේස් බුක්  ගෘප් එකක ලියපු සටහනක්  දැක්ක දැදිගම වී රුද්‍රිගු මුදලට ලීවා කියල.  දැදිගම වී රුද්‍රිගු පිළිබඳව කවුරුහරි පොත් පරිවර්තනය කලාට ස්තුති කරලා තිබුන. ලංකාවේ දැන් ස්වතන්ත්‍ර නිර්මාණ වලට වඩා පරිවර්තන වලට ලැබෙන තැන නිසා එහෙම කරනවා ඇති . නමුත් සුජීව කොකාවල එතන නිවැරදියි.
මේ පිළිබඳව පිළිතුරක් සපයන රුවන් ජයතුංග මෙසේ දැදිගම වී රුද්‍රිගු නම් අසහාය පරිවර්තකයා තමන් දත් ප්‍රමාණය ලියා තිබෙනවා.

සමහර විට ඉහත පින්තුරය කිසියම් අතිශයෝක්තියක් විය හැකියි. ඉංජිනේරුවකු වන මමත් ඒ කාලයේ ඔහුගේ පරිවර්තන කියෙව්වා. ඒ වගේම වෙනත් පරිවර්තනත් කියෙව්වා මතකයි. ඉතින් දැදිගම වී රුද්‍රිගු පමණක් එවැනි මග පෙන්වීමක් කළා කිවොත් අනිකුත් ලේඛකයන්ට ඒක  අසාධාරණයක්.

දැදිගම වි රුද්‍රිගු සෝවියට් දේශයට ඇවිත් ඉගෙන ගනිද්දී ඇතිවුණු ප්‍රේම සම්බන්ධයක් මත සෝවියට් දේශයේ නැවතුනා කියලයි මම දන්නේ.
දැදිගම ගැන දැන සිටි බිබීසී සේවයේ උපාලි ගජනායක සමග කතාකර මම මේ තොරතුරු තවත් තහවුරු කරගත්ත. දැදිගම කලින් කොමියුනිස්ට් පක්ෂයේ යොවුන් සමුළුවකට ආපු වෙලේ දැන හඳුනාගත් රුසියානු යුවතියම තමා පසුව ඉගෙනීමට පැමිණියාට පසු විවාහ වුනෙත්. විවාහය නිසා සෝවියට් නිත්‍ය විසා ලැබුනට පස්සේ ප්‍රගති ප්‍රකාශක මන්දිරයේ රැකියාව මිත්‍ර සංගමය (හෝ ශ්‍රී  ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සම්බන්ධතා හරහා ) හරහා ලබා ගත් බවක් මම අහල තිබෙන්නේ. ඔහුගේ රැකියාව තමයි පරිවර්තන කීරීම. පරිවර්තන කරනවා කියන්නේ එංගලන්තයේ එහෙම තවමත් රැකියාවක්. ප්‍රකාශකයන් විසින් නොයෙකුත් පරිවර්තකයන්ට පරිවර්තන කිරීම භාර දෙනවා. දැදිගම වී රුද්රිගුත් එහමයි. ඔහුගේ මුල්ම පරිවර්තන එපමණ හොඳ නැහැ. වැඩියෙන් කරන්න කරන්න  ඔහු දක්ෂයෙකු වුනා.  ඔහු ලබා ගත්තේ මාසික වැටුපක් ඒ සඳහා.

නමුත් සෝවියට් දේශපාලන ප්‍රචාරක පොත් (හා දේශපාලන පොත්) පරිවර්තනය කරපු වෙන කෙනෙක් හිටිය. ඔහුගේ නම පියසේන මානිල්ගම.  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් එවපු කෙනෙක්. ඔහුගේ නිවසට නිතර ගිය නිසා මම ඔහුව හොඳට දැනගෙන හිටියා. අෆනාසියෙව් ගේ දයලෙක්තික භෞතිකවාදය පොත පරිවර්තනය කලේ මනිල්ගම මහත්මයා තමයි.

 රසික සුරියාරච්චි තවත් ෆේස්බුක් ගෘප් එකක මෙහෙම අදහසක් පල කර තිබුනා.
//අපි කුඩා කාලයේ කියවූ රුසියන් නවකතා බොහොමයක් ප්‍රචාරකවාදී ඒවා බව නිසැකවම කිව හැක. ඇත්තටම අපට ඒවා සිංහලෙන් කියවන්නට ලැබුණේද එනිසා ම ය.

ප්‍රචාරකවාදී සිංහල නවකතා තිබේද? ලංකාවේ ආණ්ඩුවක් හෝ දේශපාලන ව්‍යාපාරයක් විසින් තමන්ගේ මතයක් ජතාව අතරට ගෙනයෑම සඳහා හිතාමතාම රචනා කර ප්‍රකාශයට පත්කළ සිංහල නවකතා වේද?

මට මුලින්ම මකතකයට එන්නේ පියදාස සිරිසේන ගේ ජයතිස්ස සහ රොසලින් නොහොත් වාසනාවන්ත විවාහය ක්‍යතියයි. මෙය අමද්‍යප ව්‍යාපාරයේ පොලිටිකල් ඇජේනඩාව ප්‍රචාරය කිරීමට ලියන ලද්දක් යැයි මට සිතේ.

කරුණාසේන ජයලත් ගේ ඇතැම් පොත්වල ද දේශපාලන මතවාද ඇතුළත් කර තිබුණි.

මේ හැර, ප්‍රචාරකවාදී නවකතා යැයි නිකමට හෝ කිව හැකි වෙනත් සිංහල නවකතා තියේද?//

ඉතින් මම රසිකගෙන් ඇහුව ඔයා දන්නා ඔය කියන සෝවියට් ප්‍රචාරක නවකතා කොපමණ තිබෙනවද කියල. එයා කිව්වේ ඉතින් හැම තැනම පට්ට ගහන දෙක තුනක් වන ගුරු ගීතය, අම්මා , වානේ පන්නරය ලැබූ හැටි වගේ කතා.

මම ඉහත ලිව්වා දේට ඊට පස්සේ සුජීව කොකවල මේ පිළිතුර දීල තිබ්බ.

//මන් ලියු ටෝන් එක සහ ඒ සන්වාදය ගිය දිහාව නිසා සමහර කාරණා හයිලයිට් වුනා මදි. රසික මන් හිතන්නෙ දන්නව මගෙ එ ටෝන් එකේ අරමුන මොකද්ද කියලත්, ඒකෙ පර්පස් එක සර්ව් වෙලා තියෙනවා. 

- මම එල්ල කලේ චෝදනාව්ක් නෙවි ඒක ඇනලයිසිස් එකක් පමනයි. කතාවෙ මූලය එන්නෙ පින්තුරෙකින්. ඒකෙ කියන්නෙ විවිද ක්ශෙත්‍ර ගානක විද්වතුන් කුඩා අවදියේ ලොකු මහත් කලෙ රුද්‍රිගු කියල. කතාවෙ බේස් එක ඒක.

- මම කිව්වෙ ඔව් ඒක වෙන්න පුලුවන් හැබැයි ඒ බහුතරයකගෙ මොළ රුද්‍රිගු ගේ දර්ශනයෙන් ශෝධනය වුනා . ඒ අනුව අපිට ලැබුනෙ සෝවියට් පන්නයේ [ඒකත් ඔබේ පෝස්ට් පරිදි රියල් සෝවියට් නෙවි මවාගත් මනෝරාජික] චින්තනයක් සහිත විද්වතුන්. ලන්කාව සාමාන්‍යයෙන් අසාමාන්‍ය තැනක් වෙන්න ඒක බලපෑව්. පවතින ක්‍රමය දිගටම ප්‍රතික්ශෙප කරමින් අප හා සම මට්ටමේ හුන් රටවල් සන්වර්ධිත ලෝකය කරා යන ගමන දිගටම ප්‍රතික්ශේප වන්නට දේශපාලක්‍යින්ට වඩා මේ බුද්ධිමය පිලිල රෝපනය බලපෑව කියන එක.

- ඒකෙ අතුරු කතාවක් ලෙස 88-89 ජීවිත බිලිදෙන්න පසුතලයක් හැදුව කිව්වෙ. මේක එයාට වඩා නන්දා සුනිල් දෙන්න සහ අම්‍රසේකර කලා, මන් ඒක වෙනම කතා කල එකක්නෙ. එතන සන්වාදයෙ ප්‍රතියෝජකයන්ගෙ වැඩි ශ්‍රමයක් වැයවුනේ මෙන්න මේ බිලිදීම පූජනීය උත්තරීතර එකක් කියන්න [අවුට් ඔෆ් ටොපික්].

- රුසියානු ප්‍රචාරකවාදි කතා කිව්වාම, සෝවියට්ස් ලා ඒ වෙනුවෙන්ම ලියු කතා මෙන්ම විවිධ ලේඛකයින් තම ජීවිත අත්දැකිම් අලලා විප්ලවය උත්කර්ශ කරමි ලිව්ව "ද ලිට්ල් එන්ජින් දැට් කුඩ්" පන්නයේ දර්ශනයක් සහිත [එනම් කිසි රියලිටියක් නැති පරමාදර්ශි] කතාත් ඇතුලත්. ගුරු ගීතය වානේ පන්නරය ලද හැටි සහ පෙරලු නැවුම් පස කියන තුනේම ඒ ගතිය තියෙනවා කියන එකට ඔබ එකගද? ඔය තුන ජවිපෙ පෙළපොත් තුනක්.

- රුද්‍රිගු ගේ අනෙක් පොත් ඉන්ට්‍රොඩක්ටරි ඩ්‍රග්ස් වූ බවත් ඔහුගෙ මූලික අරමුන වුනේ කොමිනිස්ට් වාදි අන්තය දක්වා කියවන්නා ගෙන යාම බවත් මන් කිව්වෙ. මේ කොමිනිස්ට් සෝවියට් රුසියන් ආලය නිසා ලන්කාව පවතින ක්‍රමයේ අත්පත් කරගන්න තිබ්බ ග්ලෝරි එක අහිමි කරගත් බව මගෙ හොලිස්ටික් පොයින්ට් එක, ඒක මම කාලයක් ලියන එකක්, රුද්‍රිගු ඒ කතාවලියේ එක එපිසෝඩ් එකක් පමනයි.

- මගෙ විවේචනයේ එක කොටසක් පමනක් වන 88-89 ජවිපෙ සැලකුවොත් ගන් වල අයිඩි එකතු කල කොල්ලො මෙව කියෙව්ව නැතුවා වෙන පුලුවන්. ඒත් ඒ දනිස් ගැස්මට ආපු උන්. ජව්පෙ විව් මට්ටමින් මුල් ඇදපු මතවාදි නායකත්වය හෙවත් ජවිපෙ කැරැල්ලෙ ඔලුව පෙර කී සාහිත්‍යයෙන් පෝශනය් වුනා කියා මම හිතනවා.

- උන් මැරුවෙ වාම ක්‍රියාකාරින්ම තමා. ඒත් ඒ සියල්ලට චින්තනය සකස් කරන්න ඒ තින්කින් පැටර්න් එක බලපෑවා. මේක පෙර සන්වාදයේ Ravisha Thilakawardana විසින් ඉස්මතු කලා

- මේක හොද වම සහ නරක වම ගැන කතාවක් නෙවි. පවතින ලෝකයෙන් ඩීවියෙට් වෙන සෝවියට් පන්නයේ වමක් සුන්දර කතානුසාරයෙන් රටක ජන මනසට පොවල ඒ රට සන්වර්ධන ක්‍රියාවලියේ සමාන්තර රටවල් වලින් වෙනපාරකට දාල අතරමන් කිරීම ගැන කතාවක්. ඒ නිසා මේකට හොද නරක සියලු සෝවියට් පන්නයේ වම ලන්කාවට ගෙනා සියලු දෙනා සම්බන්දයි.

- අරමුන දැදිගමට බනින එක හෝ පොතෙන් පොත ඔහුගේ සහිත්‍ය ක්‍රියා ඇනලයිස් කිරීම නොවේ. අරමුන ලන්කාවෙ බුද්දිමය සන්වර්ධනයට දැදිගම කල දායකත්වය කතා කරන එක [ෆොටෝ එකේ තිබ්බෙ ඒකනෙ]

පෙර සන්වාදයේ පාර්ශ්ව වගේ ආවේගශිලි නොවී සන්වාදයක් කල එකට ස්තුතියි.//


මම නැවත සුජීවට හා රසිකට පිළිතුරක් දුන්න එතන. ඒ දෙදෙනාට අවශ්‍ය නම් බ්ලොගයේ පිළිතුරු සැපයීම කළ හැකියි. (ෆේස්බුක් එකේ කොටන්න් අකමැති කෙනෙක් මම)
****************************************************සුජීව  එතන  දැදිගම වී රුද්‍රිගු ට ගෙව්ව නිසා ලිව්වා කියල ටිකක පහතට දාපු නිසා ගොඩක් අයට තරහ යන්න ඇති. මම මගේ ප්‍රතිචාරයේ දී  ඒක පිලි ගත්ත. නමුත් සුජීව , ඉන්දික කොඩිතුවක්කු, උදිත මීගහතැන්න  වගේ ගෝටන්ස්  ල (චෝදනාවක් නොවේ) ගත්තම ඔය ගොල්ලෝ අනිවාර්යයයෙන්ම  විරුද්ධ ඇතිනේ රණවිරුවෝ පඩියට සටන් බිමට ගියා කියල කියනවට. පඩියට ගියත් ජිවිතය  දෙනවනේ. මෙතනත් ඒ වගේ තමා. රුද්‍රිගු වැටුපට පරිවර්තනය කලේ . නමුත් ඒක කලේ පසු කාලෙක ගොඩක් කැමැත්තෙන් කියල මම හිතන්නේ  ජනප්‍රියත්වය එනකොට. මට මතකයි ප්‍රගති එකට යන වෙලාවට දැදිගම ගේ අලුත් පොතක් ඇවිත් තියනවද කියල හොයනවා. දැදිගමත් පරිවර්තනය කරපු ටෝල්ස්ටෝයි ගේ "අන්නා කරෙනිනා" ," යුද්ධය හා සාමය" වගේ පොත් දොස්ටයෙව්ස්කි ගේ පොත් ප්‍රචාරක පොත් ද? රවිෂලා වගේ අය ඒවා කියවල තියනවද දන්නේ නැහැ නේද? අනික ලෙනින් කියන මනුස්සය විප්ලවයේ කැඩපත කියල කීවේ ටොල්ස්ටෝයි ට. මොන ප්‍රචාරක පොත් ද ඒවා. දාර්ශනික නම් වෙන්න පුළුවන්.  

අනික ඔච්චර  තටමලත් රසිකත් ඔයාත් පොත තුනක් හතරක් ගැනනේ කියන්නේ. ඒවා වලින්  අම්මා, වානේ පන්නරය, ෂෝලහොව් ගේ පොත් හෙම එංගලන්තය වගේ රටවලත් ජනප්‍රියයි. මගේ බ්ලොග් ලිපි වල මම සෝවියට් පොත් වලින් තරුණ තරුණයන්ට තරමක බලපෑමක්  තිබුන බව පිලි ගත්තත්  71 කැරැල්ලේ වත් 88-89 වත් ඒ අය හිටියේ නැහැ කියන එකයි මම කියන්නේ .  රවිෂ තිලකවර්ධන කියන්නෙම ජවිපෙ වැරදියට කියවන කෙනක්. (ෆේස්බුක් කොමෙන්ට් අනුව තීරණය කල දෙයක්) මොකක් හරි තරහක්  තියාගෙන ලියනවා කියලත් වෙලාවකට හිතෙනවා ඒ ගොල්ලට අයිති ව්‍යාපාරයක්වත් ගිනි තියලද දන්නේ නැහැ . 

ඔය කතාවෙම අනිත්  කොන තමා  අරුණි ශපිරෝ ගේ ලිපිවල තිබෙන අයින් රෑන්ඩ් ගේ අදහස්. අයින් රෑන්ඩ් රුසියන් කාන්තාවක් නේ විප්ලවයේ  මුල් කාලයේදීම ඇමෙරිකාවට පිටුවහල්  උන.  එයා ලියල තිබෙන්නේ  රුසියානු විප්ලවයේ මුල අවධිය. සමහර ඒවා ඇත්ත තමා. විශේෂයෙන් ස්ටාලින් කල වැරදි. නමුත් 45න් පස්සේ සෝවියට් දේශයට ඒ කතා අදාල වෙන්නේ නැහැ.

ඒ වගේම ලංකවේ ඇතැම් වමේ අය ඉන්නෙත් (ජවිපෙ විශේෂයෙන්) ඒ පූර්ව  විප්ලවීය අතීතයේ. එතැන  නොහිටියේ එජාප, ශ්‍රීලනිප, කොප (ශ්‍රී ලංකා  කොමියුනිස්ට් පක්ෂය) පක්ෂ වල අය.  සිරිමාවෝ, ජේ ආර්, පේමදාස, මහින්ද මේ අය සෝවියට් දේශය ගැන දැන  හිටියේ සෝවියට් දේශය කියන්නේ   කොමියුනිස්ට් රටකට, ලංකාවට  ආධාර ගන්න පුලුවන් රටක් හැටියට. ශිෂ්‍යත්ව පවා ආධාර තමයි.

විජේවීර සහෝදරයා කියන්නේ  මුල ඉඳන්ම සෝවියට් දේශයට විරුද්ධව හිටි කෙනෙක්. 88-89 අරගලය  පවා මාඕ/ පොල්පොට් පන්නයට සකස් කරපු නැගිටීමක්.  එකට ඇත්තටම අරගලයක් ලෙස හඳුන්වන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. මේ ලඟදි ටිල්වින් අයියා කිව්වා ඒ ගොල්ලෝ සෝවියට් දේශයේ ස්වර්ණමය අවධිය හැටියට සලකන්නේ හැටේ දශකය කියල. 

අපි උගත්  සෝවියට් දේශය ජවිපෙ පන්නයේ අරගල වලට විරුද්ධ රටක් දේශපාලන  වශයෙන්ම . අනික ඔවුන් ප්‍රචාරක කටයුතු කලේ ඇමෙරිකන් ප්‍රචාරය මැඩ පවත්වන්න. ඔය රැම්බෝ වගේ හොලිවුඩ් චිත්‍රපට තනිකර  ප්‍රචාරක චිත්‍රපටි.  ඒ වගේ කතා බලන්නකෝ.  ඇමෙරිකන්  කාරයෙක් තමයි හැමදාම ලෝකේ බේරාගෙන විරයා  වෙන්නේ. නැත්නම් බ්‍රිතාන්‍යයේ  බොන්ඩ්.  සෝවියට් රුසියානුන් පවා ඒ ප්‍රචාරක යන්ත්‍රයට රැවටිලා හිටියේ හොඳට හෝ නරකට හරි. සාහිත්‍යය පැත්තෙන් බැලුවත්,  චිත්‍රපට, හෝ  ගීත පැත්තෙන් ප්‍රචාරය තමයි වුනේ සෝවියට් ක්‍රමයට විරුද්ධව. ඔය මිසස් ආයතනය හෙම ගත්තම කොපමණ ප්‍රචාරක සාහිත්‍යයක් ද එතන තියෙන්නේ.  
ගිය අවුරුද්දේ ගහපු  රෙඩ් sparrow කියන චිත්‍රපටය බැලුවද?. බලල කියන්න ඒකෙ  රුසියානු රහස් ඔත්තු  සේවය ගණිකාවෝ පුරුදු කරන තැනක් කියල පෙන්වන්නේ නැත්ද කියල. ඇමෙරිකාව වඩා මානුෂිකයි කියල තමා  පෙන්වන්නේ. මම මේ  රුසියාවේ පැත්ත ගන්නවා නෙමේ. මෙවැනි ප්‍රචාරක වැඩ  හඳුන්වා දෙනවා පමණයි. ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය හොඳ වෙන තැන්  බොහොමයක් තියනවා. නමුත් හැමතැනම  නෙමේ. ඉරාකයේ හා සිරියාවේ වුනේ බොරුව. 

 මම පොල්පොට් ගැන අවුරුදු දෙකකට කලින් වැරදි දෙයක් ලියල තියනවා. වියට්නාම සහය ලැබුනේ පොල්පොට් ට කියල මුලදී. ඒක  වැරදියි. පොල්පොට් සෝවියට් ක්‍රමයට හා වියට්නාමයට විරුද්ධයි. මිනිහ ටිකක් අනාගමික ජාතික  චින්තන කාරයෙක්. පොල්පොට් ගේ කාම්බෝජ කොමියුනිට්ස් පක්ෂයට උදව් කලේ ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය. තැචර්ගේ බ්‍රිතාන්‍යයත් උදව් කලා . ඒ  මිනිස්සු මරනවා කියල දැන දැන. ඒ පොල්පොට් වියට්නාමයටත් ඒ මගින් සෝවියට් දේශයටත් විරුද්ධ වූ නිසා. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් වරයා කිව්වේ ඒ දවස් වල "පොල්පොට් අනුගාමිකයන් අශීලාචාර තග්ස් ලා බව අපි දනනවා. නමුත් ප්‍රධාන දේ ඔවුන් කොමියුනිස්ට් විටනාමයට විරුද්දයි. අපට  ඒ ඇති " යනුවෙන්.

එතකොට ලංකාවෙත් ජවිපෙ පොල්පොට් පන්නයේ අරගලයක් අරන් ගියේ කොහොමද? සෝවියට් පොත් නිසාද ?
ඒ පොල්පොට්  පන්නය නිසා තමා ඔයා කියන විධිහේ // උන් මැරුවෙ වාම ක්‍රියාකාරින්ම තමා// දේ වුනේ. ඒ කියන්නේ වාම ක්‍රියාකාරීන් මැරුවේ. හොයල බලන්න චීනයේ සංස්කෘතික විප්ලවය හා පොල්පොට්  පාලනය ගැන. කාම්බෝජය ගැන ලිපි දෙකක් ලියන්න ඉන්න නිසා තව දුරටත් ඒ ගැන ලියන්න ඉන්නේ. 

අනික දැදිගම රුද්‍රිගු ට අමතරව පද්ම හර්ෂ කුරනගේ, රන්ජන් ලමාහේවා  ඒ පි කරුණාරත්න ආදීන් පවා පොත් පරිවර්තනය කළා. වර්තමානයේ චූලානන්ද සමරනායක ඒක කරනවා.  බොහොමයක් රුසියානු පොත් ප්‍රචාරක ඒවා නොවේ. චුලානන්ද පරිවර්තනය කල "සුට්කේසය" ඇතුළු කෘති කිහිපයක්ම සෝවියට් දේශයේ පාලනය විවේචනය කරමින් ලියු ඒවා. 

1917 රුසියානු විප්ලවය ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීමක්. පළමුවන ලෝක යුද්ධය අවසන්  වුනෙත් එතනින්. නව සමාජ ක්‍රමයක් ලෝකයට ලැබුන. එය පාදක කරගෙන ලියවුනු කෘති වල , නාට්‍ය වල එයට ප්‍රශස්ති කරමින් ලියැවීම සාමාන්‍ය දෙයක්.   

ඉතින් මම හිතන්නේ මේ සෝවියට් පොත් වල බලපෑම නිසා බිහිවුණු ජවිපෙ ප්‍රමුඛ නායකකාරකාදීන් ලංකාවේ ආර්ථිකය යන මග නැවැත්වුවා හා දියුවනට යන මග වෙනස් කළා කියන කෙඅ  ඔයගොල්ලෝ වරද්ද  ගන්න තැනක් . ගෝටන්ස් ලා වන ඉන්දික සහ ඔයාත් අනිත් පැත්තේ ටොයි සමුහයේ බව පෙනෙන රවිෂ වගේ අයත් කල්පනා කරන්නේ නැහැ ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප ගැන, ආගම්වාදය ජාතිවාදය ගැන. එසේම සිරිමවෝගේ කාලේ ඉඳන් තිබ්බ මිශ්‍ර ආර්ථිකය ගෙනාවේ විජේවිරටත් කලින් ඉඳන් කියන එක. සෝවියට් සහ චීන බලපෑම තිබෙන්න ඇති ඒවාට ( කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ ඒ ආණ්ඩුවල හිටි නිසා). 

රෝහණ විජේවීරත් ජාතිවාදය උපයෝගී කරගත්ත. මගේ මේ ලිපිවල ඒ ගැන ලියා තිබෙන නිසා නැවත ලියන්නේ නැහැ. කැමති නම් කියවන්න. 

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 2 - පැරැණි වම තුළින් නව වම බිහිවීම


එම ජාතිවාදී ස්වභාවය හා උපක්‍රම  සෝවියට් පොත් වල තිබ්බ කෙහෙල්මල් නෙමේ. යුඇන්පිය හා ශ්‍රී ලනිපය අඩු වැඩි වශයෙන් වැපිරුවා ජාතිවාදය ලංකාවේ . 71 අරගලය ට සෝවියට් දේශය බලපෑවේ නැහැ වගේම තමයි 30 අවුරුදු යුද්ධයටත් සෝවියට් පොත් වලින් කරපු දෙයක් නැහැ. ඒවා තම තමන්ගේ වැරදි.අනික  ආගම් දෙක තුනකම ආකල්ප නුතනත්වයට විරුද්ධ ඒවා. ඒ වගේම  පිටරටකට  ගියත් ගෝත්‍රික වෙන මිනිසුන්ගෙන් කොහොමද දියුණුවක් බලාපොරොත්තු වෙන්නේ. ඊයේ පෙරේදා   අර හතේ පන්තියේ පොත තහනම් කරන්න කිව්වේ. 

ඉන්දික කොඩිතුවක්කු අනිත් අයට උදව් කරන හොඳ මනුස්සයෙක්. එයාගේ බ්ලොගයටත් මම ඉස්සර නිතර ගිය කෙනෙක්. එයා අහල තිබ්බ කෝ දැන් රුසියාවේ පොත් ලියවෙනවද කියල. ඔව්  ලියවෙනවා. එයා  රුසියන් භාෂාව ඉගෙන ගත්තනම් කියවන්න තිබ්බ. මම රුසියාවට ගිය වෙලේ පොත් දෙක තුනක් ගෙනාව . තවම කියවන්න බැරිවුනා වෙලාව මදිකම නිසා. මෙන්න ලිස්ට් එකක්. පුලුවන්නම් ගන්න බලන්න. ඉවාන් තුර්ගේනිව් ගේ නෑදෑයෙක් වෙන ටත්යනා ටෝල්ස්ටයා හොඳ පොත් ලියනවා, හොයාගෙන කියවන්න. 

The 8 Most Compelling Contemporary Russian Novels  

Saturday, 21 December 2019

එළවලු ගණන්ද


යහපාලනේ කරනවා කියල ඇවිල්ල කරපු මගඩි වලටයි විකාර වලටයි උන්ට ඔහොම වෙලා මදි කියන හැඟීම තවම තියනවා. ඒත් ඉතින් අළුත් කට්ටියට දීපු හනිමූන් කාලේ ඉවර වීගෙන යනව වගේ ඈ .

පොහොට්ටුවට සාඩම්බරයෙන් චන්දෙ දීපු මල්ලිගෙන් ඇහුවා දැන් මොකද එළවලු ගණන් නේද කියල?  එයා කියනවා
" ඔව් ගණන් නම් තමයි. ඒ මේ ගංවතුර යි දිගටම වහින එකයි  වගේ දේ නිසානේ ". කියල.
"එතකොට ආණ්ඩුවේ වැරැද්දක් නැහැ. ඉස්සර ඔයා යහ පාලනේට බනින්නේ එළවලුයි ඇතුළු හැමදේම  ගණන් කියල." මම ඇහුවා.

"අපෝ උන්නම් කිසි දෙයක් කෙරුවේ නැහැ. දැන් මේ ආණ්ඩුව තවම ආව විතරයි නේ.ප්ලෑන් එකට වැඩ."

එවෙලේ තමා  මට කල්පනා වුනේ ප්ලෑන් එක.

  මේ එළවලු ගණන් යවන්නේ නිකන් නෙමේ කියල. කල්පනාකාරීව කරපු සැලසුමකට. දැන් බලන්න. ලංකාවේ එළවලු  කියන්නේ රසායනික පොහොර භාවිතා කරලා, අවශ්‍ය පමණට වඩා  කෘමි නාශක අර නාශක මේ  නාශක ගහල හදපුව. ඕව කාල පිළිකා හැදිලා නොයෙකුත් ලෙඩ රෝග හැදිලා මැරෙන්නේ. ඉතින් ඔය එළවලු කන්න දීලා මිනිසුන්ට ලෙඩ හැදුනම නිදහස් සෞඛ්‍ය සේවයටමයි පාඩු. එනිසා ඉස්සෙල්ලම් කරන්න ඕන දේ තමයි එළවලු ගණන් යවන එක.

අර 3% අනුර කුමාර දිසානායක කිව්වා වගේ දඹුල්ල වගේ ආර්ථික මධ්‍යස්ථාන වල නාස්තිය අඩු කරන්න වගේ වැඩ කරන්න හොඳ නැහැ.    බෙදා හැරීම  වගේ දේවල්  හරියට කරන්න  ඕනෙත් නැහැ. ප්ලෑන් එක අඩාල වේලාවන් අනුරය ඕව දන්නා  එකක්ය.
දැන් එළවලු ගණන් ගියාම මොකද  වෙන්නේ. ආර්ථික ඔස්තාද් මහත්තය කිව්වා වගේ එළවලු මිල බහිනවා. ඇයි මිනිස්සු ගන්නේ නැහැනේ.  දැන් පොහොට්ටුවේ ලක්ෂ හැට නමය දන්නා නිසා ඒ දේශප්‍රේමී ජනතාව ඔය එළවලු කොහොමත් ගන්නේ නැහැ. ඒවා අරගෙන කන්නේ කවුද ? දේශ ද්‍රෝහී ටොයියෝ ටිකයි අර 3% දේශ ද්‍රෝහී කණාටු ජෙප්පෝ ටිකයි. ඒවා කාල  උන්ට එක එක ලෙඩ හැදෙනවා. හැදිලා උන් ඔක්කොම මේ දෙරණ තලෙං නැති වෙලාම යනවා.

ඊට පස්සේ ඉතුරු වෙන්නේ කවුද? මේ රටට ආදරය කරන පොහොට්ටුවේ ජනතාව.
ඊට පස්සේ ඕන විධිහට කෘමි නාශක ඉහින්නේ නැති එළවලු වගා කරලා සුවඳල් හාලෙන් බත් උයල කෑව හැකි අපේ දේශ ප්‍රේමි ජනතාවට.

පොඩ්ඩක් ඉවසන්න විතරයි තියෙන්නේ.

Saturday, 23 November 2019

තර්කොව්ස්කි ගේ ස්ටෝකර්

ස්ටෝකර් 
මලින්ත විතානගේ නමැති මහත්මයෙකු විසින් තර්කොව්ස්කි ගේ ස්ටෝකර් නමැති චිත්‍රපටය පිලිබඳ විචාරයක් ලියා තිබුණි. ඕනෑම කෙනකුට තමන් ගේ දැක්ම පරිදි විචාරයක් ලිවිය හැකි බව සැබෑය. එහෙත් මේ විචාරයේ කියන කරුණු පිළිබඳව බරපතල කුකුසක් මගේ සිතේ පැන  නැගුණි.
ඒ මෙසේය.
එය සුවිශේෂී චිත්‍රපටයක්  බව සැබෑ නමුත් ඔහුගේ විචාරය චිත්‍රපටය තර්කොව්ස්කි නිපදවූයේ ඇයිද යන්න හෝ තර්කොව්ස්කි ගේ පසුබිම වටහා නොගෙන ලියන ලද්දකි.
ඔහු මෙසේ ලියයි.
//තර්කොව්ස්කිගෙ යුගය කියන්නෙ ඒ වෙන කොට රුසියාවේ තිබුණු සමාජවාදී රාජ්‍ය බිඳවැටිලා ඒ අය ගොඩනගපු නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම විතැන්වෙන්න ගත්තා. .//
මෙය නිවැරදි නොවේ. මලින්ත බිඳක් හොයා බැලුවා නම් තර්කොව්ස්කි උපන්නේ 1932 අප්‍රේල් 4 වනදා බවත් ඔහු මිය ගියේ 1986 දෙසැම්බර් 26 බවත් පැහැදිලි වනු ඇත. මා ශිෂ්‍යත්වයකින් සෝවියට් දේශයට ඉගෙනීමට ගියේ 1984 දීය. එවිටත් සමාජවාදී ක්‍රමය පැවතුනු අතර එහි ජනාධිපතිව සිටියේ කොන්ස්ටන්ටින් චෙර්නෙන්කෝ ය. එනිසා රුසියාවේ සමාජවාදී ක්‍රමය තර්කොව්ස්කි ගේ යුගයේදී බිඳ වැටී තිබුනා යන්න මුසාවකි. සෝවියට් දේශය බිඳ වැටෙන්නේ 1991 දීය. ඒ ගැන වෙනම  මගේ බ්ලොගයේ කතිකාවක් යන නිසා හා  ලිපි ලියවෙන නිසා ඒ ගැන මෙහි සඳහන් නොකරමි.

ඉන්පසු  ඔහු පවසන්නේ රුසියාවට පශ්චාත් කාර්මික  යුගයක් එළඹී බවයි.
//අපි ඒකට කියනවා පශ්චාත් කාර්මීකරණ යුගය කියලා. ඒ රටවල තිබ්බ විශාල කර්මාන්ත ශාලා ඊට වඩා ශ‍්‍රමය මිල අඩු රටවලට විතැන් වෙන්න ගන්නවා// එවැන්නක් සිදුවූයේ නැත. අඩු ධාරිතාවයකින් හා අඩු කාර්යක්ෂමතාවයකින් පවා 1991 දක්වා සෝවියට් දේශයේ කර්මාන්තශාලා පැවතුනි. පුටින් බලයට පත්වූ පසු මුදල් නොමැතිව වසා දැමුණු බොහොමයක් නැවත අරඹා තිබේ.

 පශ්චාත් කාර්මීකරණ යුගය ඇරඹුණේ බ්‍රිතාන්‍ය වන ධනවාදී රටවලය. බ්‍රිතාන්‍ය ය ඇමෙරිකා  එක්සත්ජනපදය වැනි  රටවල //තිබ්බ විශාල කර්මාන්ත ශාලා ඊට වඩා ශ‍්‍රමය මිල අඩු රටවලට විතැන් වෙන්න ගන්නවා//තිබු විශාල කරමාන්ත ශාලා විතැන් වුයේ දකුණු කොරියාව චීනය වැනි රටවලටය. සර්විස් (සේවා සපයන ) ආර්ථිකයේ කෝල් සෙන්ටර් හෙවත් දුරකථන යෙන් උදව් කරන ඔපරේටර් ලා ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බිහි වුනි. ඒවා විතැන් වූයේද ධනවාදී රටවලිනි. එසේම  මේ රටවල ඇඟලුම් කර්මාන්ත ශ්‍රමයේ මිල අඩු ශ්‍රී ලංකාව , බංගලා දේශය වැනි රටවලට විතැන් වුනි. දැන් එංගලන්තයේ නිෂ්පාදන ආර්ථිකයක් ඇත්තේම  නැත. කම්කරු පක්ෂයේ කෝබින්  කියන්නේ මේවා නැවත ගොඩ නැගිය යුතු  බවය. රුසියාවේ මෙවැන්නක්  සිදු වූයෙම නැත.
ඉන්පසු මලින්ත විතානගේ ලියන්නේ මෙසේය.
// නමුත් මේ වන විට පරම්පරා කීපයක් මේ නිෂ්පාදන ආර්ථිකයත් එක්ක බැඳිලා තිබුණෙ. එකපාරටම ක්ෂිතිමය අත්දැකීමක් වෙනවා මහා අනෙකාගේ අහිමිවීම. තමන් මෙච්චර වෙලා ජීවත් වෙමින් හිටපු මහා සමාජායේ අර්ථ සමුදාය එකපාරටම නැතිවෙලා යනවා. ඇත්තටමත් තර්කොව්ස්කි හිටපු සමාජයේ සුවිශාල ගොඩනැගිලි තිබිලා තියෙනවා. මේවා මොකට තිබුණද කියලා ඊළඟ පරම්පරාවේ අය දන්නෙත් නැහැ. එතකොට ඒ අයට වඩා විශාල සමාජයක් තිබිලා ඒක අහිමි වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඔය අර්ථයෙන් තමයි තර්කොව්ස්කි මේ රූපික ගන්නෙ.//


 මලින්ත මහතා නොදැන සිට ඇත්තේ තර්කොස්කි මේ චිත්‍රපටය කරන ලද්දේ පොතක් ඇසුරින් බවයි. මේ පොතේ නම රුසියානු භාෂාවෙන් පික්නික්  නා අබෝචින්යේ Пикник на обочине එනම් මාවත  අද්දර විනෝද ගමන (Roadside Picnic) වන අතර එය ලියා ඇත්තේ අර්කාදී හා බොරිස් ස්ත්රුගත්ස්කි විසිනි. 

ඉනිමන්කඩ මහතාට ඔහුගේ කර්තෘ පරිවර්තකයෙකු ලවා  මෙම පොත පරිවර්තනය කර මුද්‍රණය කල හැකිය.  එම පොතේ ඇත්තේ දිස්ටෝපියානු කතාවකි. (එනම් සමාජවාදී යුතෝපියාවට විරුද්ධ - වඩා හොඳ වඩා සාධාරණ හැමෝටම අවශ්‍ය ලෙස හැමදේම ඇති සමාජය ට විරුද්ධ ව ) . දිස්ටෝපියානු නවකතා බොහෝ විට බිහි වන්නේ න්‍යෂ්ටික යුද්ධයකින් පසු ඇතිවන දිළිඳු හා සමාජීය සම්බන්ධතා, නිෂ්පාදන ක්‍රියාවලිය  බිඳ  වැටුන සමාජයක් ගැන නැතිනම් හෑන්ඩ් මේඩ්'ස්   ටේල් වැනි පොතක සඳහන්  සමාජයක් ගැන කීමටය.   
හෑන්ඩ් මේඩ්'ස්   ටේල්

තරකොව්ස්කි ස්ටෝකර් නම් යොදා ගන්නේ එහි ඇති ඉංග්‍රීසි තේරුමටම  නොවේ. තමන් ව ප්‍රතික්ෂේප කරන ගැහැණියක් පසුපස රාගයෙන් හා ආශාවෙන් මත්ව යන පිරිමියෙකු හෝ  කිසියම් දෙයක් පිළිබඳව ආශාවෙන් මත්ව එය හඹා යන්නෙකුට වඩා වෙනත් තේරුමක් මෙහි තිබේ. රුසියානුවන් පසුව මෙම වචනය තම වහරට යොදා ගනිති. එනම් සෝවියට් දේශයේ දී  බටහිර භාණ්ඩ සොයා දෙන්නාද විසුළු ලෙස  මෙම නමින් හැඳින්වුණි.
අන්ද්‍රේ තර්කොව්ස්කි 

බොහෝ බටහිර ඉතිහාසඥයන් සඟවන කරුණක් වන්නේ සෝවියට් දේශය හිට්ලර් ගේ හමුදා විසින් බොහෝ දරුණු ලෙස විනාශ කර දැමුණු බවයි. ලෙනින් ලා ගොඩ නැගු සෝවියට් දේශය බෝම්බ හා යුද්ධය  විනාශ කල පසු ස්ටාලින් ගොඩ නැගුවේ ඉතිරිව තිබූ රටයි. ස්ටාලින් මිය යාමෙන් පසුව කොමියුනිස්ට් පක්ෂය විසින් පොතේ ගුරු වාදී ලෙස ගොඩ නගන (ඔවුන්ට වෙන ක්‍රමයක් තිබුනේ නැත)  සෝවියට් දේශය තරකෝව්ස්කි දුටුවේ දිස්ටෝපියාවක් ලෙසටය. ඔහු මෙම නවකතාවෙන් චිත්‍රපටය සරල ලෙස ගොඩ නගන්නේ එම හේතුවෙනි.  එසේම තරමක් දුරට දොස්ටෝයෙව්ස්කි ගේ ඉඩියට් නවකතාවද උපයෝගී කර ගත් බවක්  විචාරකයන් පවසති.

මෙය තර්කොව්ස්කි ගේ චිත්‍රපටය පිළිබඳ පරිපුර්ණ විචාරයක් නොව යම් කරුණු කිහිපයක් නිවැරදි නොවේ යයි සිතුනු බැවින් ඒ බව සටහන් කිරීමකි. එම චිත්‍රපටය ගැන මිට වඩා යමක් ලිවිය හැකිය.

මින් පසු තවත් එක චිත්‍රපටයක් හෝ සෝවියට් දේශයේ නොකරන  තරකොව්ස්කි සිය කැමැත්තෙන්ම  සෝවියට් දේශයෙන් පිටුවහල්ව පැරිසියේ හා ඉතාලියේ ජිවත් වෙයි.

ෆේස්බුක් හි පල කරන ලද කොටසට සමිත් රත්නායක මෙවැනි ප්‍රශ්නයක් නගා තිබුන. එයට මගේ පිළිතුර යටින් සඳහන් වෙනවා.

Samith Rathnayake Ajith Dharmakeerthi //ලෙනින් ලා ගොඩ නැගු සෝවියට් දේශය බෝම්බ හා යුද්ධය විනාශ කල පසු ස්ටාලින් ගොඩ නැගුවේ ඉතිරිව තිබූ රටයි. // මේකට එකග වෙන්න බෑ... හිට්ලර් බෝම්බ දාලා විනාස කලේ ස්ටාලින්ගෙම ස්ටාලින් ඔහුගේ ක්රමයට ගොඩනගපු රට... මම හිතන්නේ ලෙනින් නිර්මාණය කරපු (initiate කරපු) රට වගේ එකක් තමා ගැලපෙන්නේ... 27 වගේ ඉදලම සෝවියට් දේශය ගොඩනැගෙන්නේ ස්ටාලින්ගේ ක්රමයට (ලෙනින්ගේ ක්රමයේ හා ස්ටාලින්ගේ ක්රමයේ ක්ලියර් කට් එකක් තියෙනවානේ ඒක මේ වාක්යෙන් වියැකෙනවා වගේ ගතියක් තියෙනවා ),,කොටින්ම හිට්ලර් බොම්බ දාලා විනාස කලේ ලෙනින් විසින් කිසිවිටෙක බිහිකිරීමට බලාපොරොත්තු නොවූ සෝවියට් දේශකට....

මගේ පිළිතුර:

Ajith Dharmakeerthi සමිත් ලෙනින් මැරුණේ 1924. ඊට කලින් ඔහු දැමූ පදනම , සෝවියට් දේශයේ electrification (මුළු රටටම විදුලිය දීම) නිවාස  ප්‍රතිපත්ති  හෙම ලෙනින් ඇතුළු මුල් මධ්‍යම  කාරක සබාවේ යෝජනා . ඔහුගේ මරණයෙන් පස්සේ ස්ටාලින් වැඩිපුරම වෙනස් කලේ ගොවීන් සහ සමූහ ගොවිපලවල් පිලිබඳ  ප්‍රතිපත්ති . යුක්රේනයේ සාගතයට ස්ටාලින් වග කියන්න ඕනේ කියන්නේ පවා ඒ නිසා. නමුත් කාර්මිකකරණය ආදියේදී ලෙනින් ගේ ප්‍රතිපත්ති  වලින් ස්ටාලින් පිට ගියේ නැහැ. ලෙනින් සහ ට්රොට්ස්කි එකපාරටම හොඳ කරලා ස්ටාලින් පිට මුළු වරද පටවන්න (එහෙම වරදක් ගැන කතා වෙනවා නම්) හදා ගත් කතාවක්  නේ ඕක. ලෙනිනුත්  ආඥාදායකයෙක් තමයි. හිට්ලර් බෝම්බ  දැම්මේ ස්ටාලින් ගේ ක්‍රමයට  හදපු රටක. එහෙනම් ඒක කමක් නැහැ වගේ කතාවක් මේ. නැහැ ඒ කතාව වැරදියි. ස්ටාලින් ගේ සමුහ ගොවිපල ක්‍රමය  ලෙනින් ගෙන් පිට පැනපු එකක්. අනිත් හුඟක් දේවල් වලදී ලෙනිනුත්   අනුගමනය  කරපු දේම තමා ස්ටාලින් කලේ. ඔහු පසු කාලෙක මිනිසුන්ව ගුලාග් යවපුව ගැන නෙමේ මේ කතා කරන්නේ. කාර්මීකරණය ආදිය ගැන. ඊට පස්සේ ඉතිරි අවුරුදු  තිහේ සෝවියට් සමාජවාදය (ස්ටාලි න්ගෙන් පසු) ගොඩ නැගෙනවා ඇමෙරිකාව සමග අභ්‍යවකාශ  තරඟයට යාම දක්වා. ඇමෙරිකාව එතනට ආවේ අවුරුදු 200 විතර අනවරත දියුණුවකින්. සෝවියට් දේශයේ ඒ දියුණුව ආවේ කාර්මීකරණය  තුලින් . මලින්ත වැරදියි කියල මම කියන්නේ ඒකයි .

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මලින්ත ගේ ලිපිය:
ආන්ද්‍රේ තර්කීව්ස්කි අධ්‍යක්ෂණය කළ "Stalker" චිත්‍රපටය මා මෙතෙක් නැරඹූ සිනමා නිර්මාණ අතරෙහි වූ සුවිශේෂිම චිත්‍රපටයක් ලෙසින් නම් කරන්න පුළුවන්.අපි කොහොමද චිත්‍රපට හදන්නේ කියන දේට හොඳ වැඩබිමක් තමයි "Stalker" චිත්‍රපටය. ආන්ද්‍රේ තර්කෝව්ස්කි එහිදී ජීවිතයේ අඩංගු බොහෝ දේ හරිම අපූරු ආකාරයෙන් ඇතුළත් කර තිබෙනවා.නිදහස සොයා යන තිදෙනෙකුගේ කතා පුවතක් ඇතුළත් මෙහිදී ඒ අතරතුර එම එකිනෙකාගේ හිත් තුළ ඇති වූ හැඟීම් අපට කියන්නට අධ්‍යක්ෂවරයා භාවිත කළ ක්‍රම මගේ හිතට තදින්ම දැනුනා.
ඒ වගේම මේ නිර්මාණයේදී උපේක්ෂා සහගත බව වගේම තදින්ම හිතට කා වදින දේ ද ඇතුළත් කරන්න තර්කෝව්ස්කි වග බලාගෙන තියෙනවා.

තැන තැන විසිරි ඇති වාහනවල සුන්බුන්,ලයිටි කණුවල ශේෂ වු නටබුන්,මීදුම පිරී පරිසරය,කැඬි බිඳි ගිය ගොඩනැගිලි සමඟ සෑමවිටම රඳවා තබා ඇත්තේ භීතියයි. යුද්ධය විසින් උරැම කරදුන් ලෝකාවසානයක් බව තැන තැන දමා ඇති යුධ ටැංකි දර්ශනය එක්තරා දර්ශනයක් තුළ දී මුලික කොට පෙන්වනවා.
අනෙක් අත⁣ට මඩ පිරී භුගත උමං මාර්ග,වැලි ගොඩවල් හරහා තර්කෝවිස්කි උත්සාහ දරා ඇත්තේ ඔවුන්ගේ චාරිකාව ස්වභාව ධර්මය විනාශ මුඛයට පත්ව ඇති මොහොතක නිෂ්ළුල ගමනාන්තයක් බවයි.

"Stalker" චිත‍්‍රපටියේ චරිත තුනක් ස්ථානගත කිරීම මඟින් ඔවුන්ගේ තිදෙනාගේ මංමුළා වු හැසිරීම විශාල ගැටලුකාරි තත්ත්වක් නිර්මාණය කරනවා.නමුත් මෙි හිස් අවකාශය තුළ අැති හුදෙකලා පරිසරය නමුත් බලා ඉන්න අයට තේරෙන්නෙ නැහැ මොන කෙහෙල් මලකටද මේක ඉදිරිපක් කරන්නෙ කියලා. ඒකෙ තියෙන ප‍්‍රධාන ගැටළුව තමයි ව්‍යාජත්වය.මේ චිත‍්‍රපටිය බලන අයට හිතෙන්නෙ මට මේක තේරෙන්නෙ නැහැ කියලා. මේකද කලාවේ භාවිතය කියලා කියන්නෙ? තර්කොව්ස්කි කැඩුණු බිඳුනු ගොඩනැගිලි හරහා ගේන රූපිකය මොකක්ද? තර්කොව්ස්කිගෙ යුගය කියන්නෙ ඒ වෙන කොට රුසියාවේ තිබුණු සමාජවාදී රාජ්‍ය බිඳවැටිලා ඒ අය ගොඩනගපු නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම විතැන්වෙන්න ගත්තා. අපි ඒකට කියනවා පශ්චාත් කාර්මීකරණ යුගය කියලා. ඒ රටවල තිබ්බ විශාල කර්මාන්ත ශාලා ඊට වඩා ශ‍්‍රමය මිල අඩු රටවලට විතැන් වෙන්න ගන්නවා. නමුත් මේ වන විට පරම්පරා කීපයක් මේ නිෂ්පාදන ආර්ථිකයත් එක්ක බැඳිලා තිබුණෙ. එකපාරටම ක්ෂිතිමය අත්දැකීමක් වෙනවා මහා අනෙකාගේ අහිමිවීම. තමන් මෙච්චර වෙලා ජීවත් වෙමින් හිටපු මහා සමාජායේ අර්ථ සමුදාය එකපාරටම නැතිවෙලා යනවා. ඇත්තටමත් තර්කොව්ස්කි හිටපු සමාජයේ සුවිශාල ගොඩනැගිලි තිබිලා තියෙනවා. මේවා මොකට තිබුණද කියලා ඊළඟ පරම්පරාවේ අය දන්නෙත් නැහැ. එතකොට ඒ අයට වඩා විශාල සමාජයක් තිබිලා ඒක අහිමි වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඔය අර්ථයෙන් තමයි තර්කොව්ස්කි මේ රූපික ගන්නෙ.
සංකීර්ණ කලාපය තුළ ඇති ගූඨබවත්,භීතිකාව සැඟව අැති බව නිරතුරුවම චිත්‍රපටය තුළ දෘශ්‍යමය අවකාශය පුරා ව්සිරී පවතිනවා.මේක යථාර්තය සහ ෆැන්ටසිය අතර යා කෙරැණු කොලාජ් චිත්‍රයක් වගේ.චිත්‍රපටය තුළ දුටු බල්ලා සහ ම්නිසා,කටු ඔටුන්නක් තම හිසෙහි පටලවාගත් මිනිසා,තැන තැන වැලි කඳු මෙිවා පිළිබඳව ඒක්තරා අන්දමකට මානව ඉතිහාසය,ක්‍රිස්තියානි ආගමික සංකේත,ලෝකයේ කලියුගය වැනි කාරණා ගැඹුරින් දක්වලා තියෙනවා.
StaLker චිත්‍රපටය සම්පුර්ණයෙන්ම පාහේ චිත්‍රපටයක් නිපදවන්නකුට වැඩබිමක්. දිගු රෑප(Long Shot),මධ්‍යම රෑප(Mid Shot) භාවිතාවන්,ආලෝකකරණය,සංස්කරණය,වර්ණ සංයෝජනයන් ආදීන් කදිමව,බලසම්පන්නව සේම අනර්ඝ මටිටමින් යෙදී තිබීම සහ "stalker" නිපැයුම තර්වෝස්කිගේ විශිෂ්ටවුත්,අවබෝධ කර ගැනීමට අතිශය වෙහෙසක් දැරිය යුතු සිනමාකෘතියක් බව කිව යුතුමයි.


-මලින්ත විතානගේ-

Thursday, 21 November 2019

අපේ රජ්ජුරුවෝ

අපේ රජ්ජුරුවෝ අද නැවත  දිවුරුම්  දුන්නේය. ඒ අගමැතිතුමන් වශයෙනි.
මම  යහපාලන ආණ්ඩුව පත්වුණු 2015 මාසයේ ඒ ආණ්ඩුවේ පිළිවෙත  දෙස බලා මෙම ලිපිය ලීවෙමි.

අද නැවතත් විපස්සයා විපස්සයාම  වී ඇත.

ඒ ප්‍රීතිය නිමිත්තෙන් 2015 පෙබරවාරි 19 ලියූ ලිපිය නැවත  පළ කරමි.
කියවා  සැනසෙන්න.
( දැන්වීමයි- මේවා ලිවීමට ජ්‍යොතිෂය උපයෝගී කර නොගත්තෙමි.)

(ලංකාදීප පුවත්පතින් )

එදා ලිපිය:
මේ ලිපියේ අනාවැකියේ පොඩි වරදක් තිබේ. එහි කියවෙන්නේ  ලේකම් කොලූ නැවත  ජනාධිපති වන බවයි. ඒ වෙනුවට ජනාධිපති වූයේ බාල සොහොයුරාය. ඉතිහාසය වෙනස් වනු ඇත.

පුටින් ගේ අපේ ටිකිරි මොළේ (හෙවත් රජ්ජුරුවන්ගේ ප්ලෑන)

ඔන්න ඉතින් අපේ පුටින් උන්නැහේ දන්නවනේ රුසියාවේ. සෝවියට්  දේශය කාලේ  කේජිබී  ලෙෆ්ටිනන්ට් කෙනෙක්. පස්සේ ලෙනින්ග්‍රාද් (සාන්ත පිතර්බුර්ගය) පැත්තේ දේශපාලනේ කරලා යෙල්ට්සින් හරහා ඇවිත් ජනාධිපති වුණා. ඇස්වහක් කටවහක් නැහැ මන් මනාපය දෙන පොරක්. වෙන හේතුවකට නෙමේ වැටිලා තිබුන රුසියාව නැගිට්ටේවට. රුසියාව දියුණු රටක් වශයෙන් රුස්සට ජාතියේ ආඩම්බරය ඇතුව ජීවත් වෙන්න යලි ඉඩ සලසා දුන්නට. හැබැයි පොර මෙහෙමත් කලා. හොරකම් කර කර හිටි මදාවියෝ ටික තමන්ගේ යටතට අරගෙන ඒක  පිළිවෙලක් ඇතුව ගානට කරන්න හදල දුන්න, තමන්ට ගානක් එන විධිහට. දෙන්නේ නැති නහර කාරයන්ව එංගලන්තෙට පිටුවහල් කලා.  නාකි මිනිසුන්ව මරල උන්ගේ දේපල උස්සන එවුන්ව  අල්ලල හිරේ දාල ඒක  නවත්තල, උන්ට පැන්ෂන් වැඩි කරලා පාරවල් ටික අලුත් වැඩියා කලා රුසියාවේ, බෙදුම් වාදී චෙචේනියාවට කෙලින්ම බෝම්බ  දාල  හමුදා යවල මට්ටම් කරලා සාමය හැදුව,   අමෙරිකාවට කෝචෝක් එකක් එහෙම දාල  දැහැමෙන් සෙමෙන් වාර  දෙකක් හිටිය. පස්සේ ජනාධිපතිවරණේ  එනකොට පොර දැනගත්ත ආයි ඉල්ලන්න බැරි නීතියක් මේ යෙල්ට්සින් කියන වසවර්තිය දාල තියෙනවා කියල.
ඉතින් මොකද කරන්නේ. ටක් ගාල පක්ෂයක් ගත්ත සල්ලි වලට. මෙද්වෙදෙව් මලයට කිව්වා ජනාධිපති කමට ඉල්ලන්න කියල.  පූටින්  අය්යා  අගමැති කමට ඉල්ලුව. ඉතින්  අපේ නාමික ජනාධිපති ඉන්නවා මඟුල් ගෙවල් වලට යනවා එහෙම, කම්හල් අරිනවා පීත්ත  පටිය කපල හෙම වැඩ ගොඩයි.. පුටින් අගමැති රට පාලනය කළා. ඇමෙරිකන් කාරයා නම් වැඩිය කැමති වුනේ නැහැ. ඒත් ඔය අධිරාජ්‍යවාදියෝ කවුද ගණන් ගන්නේ. මෙන්න අවුරුදු 4 ගියා. ජනාධිපති හැටියට අවු 8 , අගමැති හැටියට 4 යි. 12 යි.  මෙන්න ව්‍යවස්ථාව වෙනස් කරලා ජනාධිපතිට අවුරුදු 6 ක් ඉන්න පනතක් ගේනවා. 2012 අගමැති පුටින් ආයේ  චන්දෙ ඉල්ලල ජනධිපති වුණා . අර කලින් කොමියුනිස්ට්  නායකයෝ මැරෙන  කන් හිටියේ එල්ලිලා.  15හක් ඉවරයි තව අවුරුදු 3 ක්  තියෙනව. ඊට පස්සේ හතරවැනි වතාවට ඉල්ලුවම (ඇයි දෙපාරක් පුළුවන්නේ ) ආයේ ඉතින් යාවජිව ජනාධිපති කිව්වත් කමක් නැහැ.

ඉතින් ඔන්න රුසියවට එහා ඈතම ඈත ඩිස්නිලන්තෙක හරිත වර්ණ කට්ටියක් අවුරුදු 17ක්  රට කාල  බීල  අහවර වුණාම, නීල  වර්ණ කට්ටියක් 1994 ඉඳන් රට පාලනේ කලා. ඒගොල්ල ගත්තෙත් කන බොන ගමන් රට වැසියටත්  පොඩ්ඩක්  දෙන්නම්  කියල පොරොන්දු වෙලා . හරිතවර්ණ එවුන් රක්ත වර්ණ උන්ගේ කැරැල්ලක් මැඩ  පැවත්වුවට උතුරු පැත්තේ චෙචෙන් කාරයන්ට වැඩක් දීගන්න බැරි වුන.  නීල වර්ණ එකීටත් බැරි වුනා . අවුරුදු දහයක් ඔහේ අද්ද අද්ද ගියාට පස්සේ රජතුමෙක් ජනපති වුනා. වණයක්  වෙලා හිටිය චෙචෙන් වගේ කට්ටියට විතරක් නෙමේ උන්ගේ අඹු දරුවන් ගේ ගෙවල් දොරවල් වලටත් බෝම්බ දාල මට්ටම් කරලා කොහොම හරි සාමය ගෙනාව. ඉතින් මිනිසුනුත් කැමැත්තෙන් පලවෙනි අවුරුදු පහ දුන්න . දෙවෙනි අවුරුදු පහ යනකොට  හරිත වර්ණ කට්ටියකුත් සෙට් වෙලා කාගෙන කාගෙන ගියා. සුදු අස්ස කරත්ත හෙම හිටි හැටියේ මතු වෙන්න ගත්ත. මිනිසුන්ට එපා වෙන්න ගත්ත. රජතුමා ව්‍යවස්ථාව වෙනස් කළා තුන්වෙනි පාර ඉල්ලන්න. මිනිස්සු කීව  දැන් කෑව ඇති කියල. රජතුමාගේ උපදේශකයන්ට තේරුණා වැඩේ වල්  වේගෙන එන බව. රජතුමා මේ පාරනම් සෙට් කියල උපදෙස් දුන්න. පිස්සුද බොල මන් වගේ එකෙකුට හේමත් වෙනවද කියල උදහස් වෙලා හැච් කළා ප්ලෑනක්.

රජතුමා කතා කලා සාස්තර කියන පුරෝහිතයට. " මම තුන්වෙනි පාර ඉල්ලනවා. මම දිනනවයි  කියල මුසාවක් කියපිය රට වටේ " කියල උපදෙස් දුන්න . පුරෝහිතය කීව ග්‍රහ බලපෑම  අනුව විතරක් නෙමේ  මිනිස්සු කියන කතා අනුවත් ඔබතුමා මේ පාරනම් පරදිනවා කියල. රජතුමා උදහස් වෙලා කිව්වා "යකෝ තෝ මාව දිනනවා කියල කිව්වේ නැත්නම් තෝව  දඬු කඳේ ගහල රජ අලියට කියල පාගවනවා" කියල. අරූ භයවෙලා අඬ බෙර ගහල යැව්වා  රජා  දිනනවා කියල. ඔය අව්වස්සේ මේ රටේම හිටිය විපස්සයෙක් . හරිම ආසයි විපස්සේට වෙලා ඉන්න.  විපස්සේ එවුන් කොච්චර තල්ලු කලත් ම්හු හොලවන්නම බැහැ. රජතුමා කතා කලා විපස්සයාට. කිව්වා විපස්සයෝ දන්නවනේ මම උඹට හැමදාම සලකනවා තේ බොන්න කෝපි  බොන්න කතා කරනවා.  මේක තියාගන්න ඕනේ නම් මට උදව් කරපිය කියල. විපස්සයත් කියන ඕන ලබ්බකට කැමති පොරක්. ඉතින් හැදුව ප්ලෑන. ඔහේ අර පරණ නෝනවයි ඉන්දියන් ඇමෙරිකන් කාරයෝ ටිකයි අන්ද ගන්නවා. වමාල ටිකත් සෝසෝ හරහා උඹ බලා ගනින්. සෝමේ ටිල්විල අනූ ලා මගේ පරණ කොල්ලෝ සැට් එක මාව 2005දී උස්සපු එවුන් ටිකනේ.  උන්වත් උඹ ගාවට එවන්නම්. ඉන් පස්සේ මම මගේ විශ්වාසවන්තම  ලේකම් කාරයා එවනවා උඹේ පැත්තට. ඕන වෙලාවක මම කියන එක අහන එකෙක්.  මාව යුද්දෙට තල්ලු කරපු අර කිව්වා නාහන පිංචක රතන සෙට් එකත් එවන්නම් ජාජිත් කොලූ එක්ක. මිනිස්සු ටික අන්ද ගන්න ඒ ඇති.  ඊළඟට උඹ  එවපන් උඹේ එකා මගේ පැත්තට. ඊට පස්සේ උඹ අගමැති  වෙලා මගේ එකාව  ජනාධිපති කරපන්. විපස්සයත් බොහොම අකමැත්තෙන් විපස්ස කම දාල යන්න බෑ කියල බෑඟිරි ගහල හෙම කැමති වුණා.  පොර අහනවා.

"ඉතින් ඊට පස්සේ මට විපස්ස කම හම්බ වෙන්නෙම නැත්ද ?"
"ඔය ඉතින් සරත්මධු වෙන්න යනවනේ. ඉඳපන් කියනකන්.  ඔන්න උඹ අගමැති වුනාට පස්සේ අර මාත් එක්ක ටුවර්  ගිය ජිල්ජෝනට භාර දීපන් පොලෝසිය. ඔය පෙළපාලි ගිය නීතිඥ උන්ට හොඳ සභාපති කමක් දෙකක් දීපන්. ජනරාලයත් පව්නේ ආපහු ඔක්කොම දීලා තියන් ඉඳපන්. නැත්නම් මිනිස්සු  බලයි මොකද කියල. වැඩිය දෙන්න එපා ගන්න අමාරු වෙයි. "
"ඉතින් ඊට පස්සේ "..
"ඔය ආයි ඉතින් මට ඔය දේදුනු කැලුම් පෙන්නන්න බැහැ". මොන් ගලයව පුළුවන් තරම් එලියෙම්ම  තියා  ගනින්. ගල් ආඳා. අපේ වැඩේ මාට්ටු වෙයි. යවපන් ලෝකේ වටේ. මම බයිලලනිපේ ලේකම් ටම දෙන්නම් සභාපති කොමත් . එතකොට ඒකත් හරි. උඹේ හිටිය ලේකන්ව මිනිස්සුන්ට පේන්න දවසක් දෙකක් ඇතුලට දාල ගනින් එලියට. හැබැයි ඔන්න මගේ කොල්ලෝ ටික  හෙම ඇතුලට දාන්නේ නැහැ විහිළුවටවත්. බිසෝ තුමී මගේ ඔලුව පලයි. ඕන් ඔහොම යනකොට මිනිසුන්ට උඹව නිකම්ම එපා වෙනවනේ.
ආ කියන්න අමතක වුනා. දන්නවනේ මගේ පුරෝහිත වංශ, නානලා සෙට් එක. උන් උගේගොඩ හෙම රැස්වීමක් දෙකක් තියල  මාව ආපහු ඉල්ලයි. උඹට තියෙන්නේ ආපහු චන්දෙ තියන්න.
එතකොට මං අගමැති , මගේ ලේකම් කොලූ ජනාධිපති උඹ ආයිත් විපස්සේ. ඊට පස්සේ මම ව්‍යවස්ථාව වෙනස් කොරනවා මට අවුරුදු දහය ගානේ ඉන්න. උඹ අවුරුදු 20ක් විපස්සේ ආයි. කොහොමද මගේ ටිකිරි මොලේ." විපස්සයට කොච්චර ජොලියක්  ගියා ද කියනවනම් රජතුමාව ඉඹින්නත්  හැදුව. හොඳ වෙලාවට රජතුමා සාටකෙන් මුණ වහ ගත්ත.
ඔය වෙලාවේ සුදු අස්ස කරත්තයක් හය්යෙන් ඇවිල්ල අස්ස කකුල් හතරම තද කරලා බ්රේක් ගැහුවා.
"ඒ සද්දෙට මට ඇහැරුණා."

2015 පෙබරවාරි 19 ලියන ලද්දකි.

Saturday, 16 November 2019

කවුරු දිනුවත්

"ප්‍රථම  ප්‍රේමය ඔබ නොවේ " පොතේ දොරට වැඩුම  මෙන්ම ඊට කලින් පොතේ දොරට වැඩුමට ද බ්ලොග් උළෙල වලටද ආ යහළුවන් ගෙන සමහරක් යු ඇන් පී හිතවාදීන්ය . සමහරක් ශ්‍රීලනිප ය. සමහරු ගෝඨා වාදීන්ය. තවත් සමහරු ජේවීපී  හෙවත් ජෙප්පන්ය. මේ සියල්ලන්ම මිතුරු කම සලකා පැමිණියවුන් වෙති. ඒ නිසාම  මම ෆේස් බුක් දේශපාලනයේ යෙදෙන්නේ නැත. කාට ඡන්දය දෙන්නට දැයි කීමට මට නොහැකිය. එය මගේ වැඩක් නොවේ. එනිසාම එසේ කලේ නැත.

නමුත් මගේ සරල තර්කයක්ද තිබේ. පෞද්ගලිකව නම් ඕලෙවල් අසමත් අයෙකුට චන්දය දෙනවට වඩා  ලෙෆ්ටිනන්ට් කර්නල් කෙනෙකුට ඡන්දය දෙන්නට මම කැමතිය. ලෙෆ්ටිනන්ට් කර්නල් කෙනෙකුට වඩා ජෙනරාල් වරයෙකුට චන්දය දෙන්නට කැමතිය. ජෙනරාල් කෙනෙකුට වඩා විශ්ව විද්‍යාල උපාධි ලත් ඉන්ජිනේරුවෙකුට, වෛද්‍ය වරයෙකුට, දර්ශනවාදියෙකුට ගුරුතුමෙකුට, හෙදියකට ඡන්දය දෙන්නට කැමතිය. මේ හැමටම වඩා අසීරුවෙන් ඉගෙන රැකියාවක් කර  දරු මල්ලන් හදා වඩා සමාජයට දායාද කල ජීවිතය දත් පියෙකුට හෝ මවකට ඡන්දය දීමට කැමතිය.

පියානෝ ගහන ගිටාර් ගහන සොමියේ සිටින කලාකාමියෙකු සමග සින්දුවක් කියා හවසක් ගත කිරීමට කැමතිය. එහෙම කලාට  ඔහුට ඡන්දය දෙන්නට යන්නේ නැත.

මේ සරල තර්කය අතර වඩා අසීරු තර්ක තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීම,  සිස්ටම්  චේන්ජ් කිරීම (සිස්ටම් චේන්ජ් කරන්නට කතා කරන බොහෝ අයගේ මතය එය වාහනයක ඔයිල් චේන්ජ් කිරම වැනි ලෙහෙසි වැඩකි යයි මට සිතේ. ගැරේජ් බාස් හොඳ නැත්නම්  ඔයිල් චේන්ජ් එක වුව හරියට කෙරෙන්නේ නැත),   නිවැරදි තැන සිට ගැනීම, ලංකාව ශ්‍රේෂ්ඨ රටක් කිරීම, ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ සිටිමින් අධිරාජ්‍යයන් පැරදවීම මේවා අතරින් මුල් තනක් ගැනී. බුකියේ අසීරු තර්ක කතා කරන්නේ නැත. ඒවා බ්ලොගයට සීමා කරමි.

කවුරු දිනුවත් ඔබලා  උපන් හා ජිවත් වන රට තව තවත් දියුණු කර ගන්න. ඒ සඳහා කටයුතු කිරීමට   දිනන්නා ට බල කරන්න.  

Thursday, 14 November 2019

සන්නාගේ පොට් එකට ගිය දෙවෙනි ගමන හා සන්නාගේ "අම්මා"

මේ ලිපියේ පළමුවන කොටස:
 සන්නාගේ  පොට් එක දක්වා ගිය ත්‍රාසජනක ත්‍රීවිල් ගමන සහ අතුරු කතා -

හිතුවටත් වඩා හොඳට පොත දොරට වැඩුම කෙරුණා. ඉතුරු දවස් දෙක තුන දාගත්තේ  පොත් ප්‍රදර්ශනයට යන්න, තව යාළුවෝ කිහිප දෙනෙක් හමුවන එක, රෝයල් තැප්‍රෝබේන් ගිහින් පොත් ගන්න එක ආදිය  ලන්ඩන් යන්න කලින් කරන්න කියල. ආ  බ්ලොගාල හමුවෙලා පොඩි ඩිනර් එකකට සෙට් වෙන්නත් ඔය අතරේ හිතුව.
මේ නිදි ලියල තියෙන්නේ ඒ දවස ගැන.

එදා නා කපන වැස්ස. වහිනවත් වෙලා මෙහෙමත් වහිනවද ? දෙරණ ට ගියා අර මගේ සාකච්චාව කවදද යූටියුබ්  එන්නේ කියල හෙම දැනගන්න. වැස්සේ කිසිම ටැක්සියක් හොයා ගන්න බැරි තැන දෙරණේ බොහොම නිහතමානී නිවේදිකා වසන්ති නානායක්කාර එතනින් ඒ ගොල්ලගෙ වෑන් එක  ලබා දුන්න ඊළඟ සාකච්චාවට යන්න. වැස්ස ඉවර නැහැ.  අර සාකච්චාව හබක් වෙලා මහජන පුස්තකාලෙට ගියේ හොඳටම තෙමිලා. ඒ ගියේ පොතක් හොයන්න. ඒකෙ විස්තර පස්සේ  කියන්නම්. එලියට ඇවිල්ල ත්‍රි වීලක් හොයන්න ට්‍රයි කළා. මොකද  මගේ මොබයිල් එකේ පික් මී ඇප් හෙම නැහැ. ත්‍රී වීල්  එකක් වත් නවත්වන්නේ නැහැ. අර කොණ්ඩේ  කැරලි ගැහිලා තියෙන මහාචාර්ය මිත්‍රයා (දිවයිනට අනුව) රුසියානු පිල්මේනියා  කන්න එන්න කිව්වා හවස . මාත් එක්කම යන්න හිටිය  දඬු අජිත් කියල අපි ආදරයෙන් කියන සෝවියට් දේශයේ ඉගෙනගත් යාළුවට කතා කළේ බැරිම තැන. යාලුව කලේ මාව ගිහින්  රෝයල් තැප්‍රෝබේන් එකට ඇරලපු එක. ඒ හන්දියේ පුදුම ට්‍රැෆික් එකක්. යාළුව තැප්‍රෝබේන්  ළඟින්ම  දැම්මත් ඒ ටිකටත් හොඳටම  තෙමුනා. හැබැයි ඉතින්  ඇතුලට ගිහින් වටේ ඇවිදලා  බැලුවා පොත් ගොන්න දිහා . හොඳට දැකල පුරුදු කෙනෙක් සිය පවුල එක්ක හිටිය. හැබැයි කවුද  කියල මතකයට ආවේ නැහැ. මමත් බැලුව  නිසා ඒ තරුණ මනුස්සයත්  මං දිහා  බැලුව. සිරියාවන්ත මූණක්. එයා  සිය පවුලත් සමග හිටි නිසා මම අහන්න ගියේ නැහැ කවුද කියල.

 ඉරිදා පොලේ අර ලාභයි ලාභයි කියල හොඳ එළවලු ,නරක එළවලු කවලමේ ගොඩ ගහල විකුනනවා නේද? ලන්ඩන් වලත් වෙළෙන්දෝ එහෙම කරනවා. ප්ලාස්ටික්  භාජනේකට කෙහෙල් 8 විතර දාල නැත්නම් ඇපල් පහ හයක් , තක්කාලි,  ඉඟුරු, ලොකු ලූනු වගේ ඒවා  දාල මුළු භාජනේම පවුමට දෙනවා. ඔය අතරේ නරක හෝ හොඳ නැති එකක් දෙකක් තියෙන්න පුළුවන්. සන්නගේ පොත් කඩේ පොත් තිබ්බේ ඒ වගේ. රුපියල් 2000 ගොඩවල්, හොඳ අගනා පොත් අතරට විකිණෙන්නේ නැති ඒවා ඒවා දෙක තුනකුත්   එකට උණ්ඩි කරලා පොත්  මිටියක් ගන්න පුළුවන්. මමත් දෙකක් තුනක් නෝට්  කර ගත්ත. දැන් මේවා ගෙනියන්නේ කොහොමද? සල්ලි ගෙවල මෙතැනම  තියල යන්න හිතාගෙන සන්නව  හෙව්වා. මල්ලි කෙනෙක් කීව සර් ඇඟ  හෝදන්න  ගිහින් කියල.  මල්ලිගේ වැඩි භජනයක් නැහැ. වට පිට බැලුවම කවුරුත් තමන්ගේ වැඩ වගේ නැත්නම් තම තමන්ගේ කාණ්ඩ  එක්ක කතාවේ.
මම පොඩ්ඩක් කැරකිලා හොයල හොයල  පොතක් ගත්ත සන්නගෙන් අත්සනක් ගහ ගන්න. ඉතින් මම දැන් බලන් ඉන්නවා එදා බැරි වුනාට අද කතා කරලා පොත්  මිටි දෙක තුනකුත් අරන් ඒවා ගෙනියන්න ඊළඟ දවසේ එන බලාපොරොත්තුව පිට.

සන්න ඔන්න ඇඟපත හෝදගෙන ඇවිත් අර ලන්ඩන් පබ් වල  ඩ්‍රින්ක්  දෙන කෑල්ල වගේ තියන කවුන්ටරේ ඇතුලට ගියා .මම ලංවුනා හිමින් සීරුවේ පොත අතේ තියන්.
මොන, මෙන්න ඉටිකිරිස් සුන්දර රූ සපුවක්  ඇති නංගියෙක් කඩන්  වැටුනේ නැතැයි එතනට ? අර නා කපන වැස්සේ හොඳට නාල සුවඳ විලවුන් ගාල ඇවිත්. ඒ කියන්නේ මං වගේ තෙමි තෙමී  ඇවිත් නැහැ. සන්නගේ මූණ ආඩම්බරෙන් දිලිසුන වගේ පෙනුනේ. අර මගේ පොත ට සල්ලි ගත්ත ගැටවරයගෙත් කකුල් වෙව්ලුවද කොහෙද ? පොර නිකන් ඇලවෙලා හිටියේ. ඉතින් පෝලිම පැනල  "සර්" ගැන මොනවදෝ කිංකිණි සුකොමල හඬින්  කියල ප්‍රශ්න  ගොඩක් අහගෙන අහගෙන ගිහිල්ල වටේටම සුවඳ පතුරවලා එයා පාවෙලා පාවෙලා  ගියා වෙන තැනකට.
මට මතක් වුනේ අර සෝවියට් "කතාව "  ලියපුවහම ඒවා හීන කියල කියපු කතාව ගැන. සමහරවිට අපි ඒ දවස් වල ජීවත්වුණ සෝවියට්  හීනේ සන්නල දැන්  ක්‍රියාත්මක කරන්න හදනවද මන්දා?

මම හීන් සීරුවේ බයෙන් බයෙන් මම ගත්ත පොත දික්  කළා.
"මොන නම කියලද  ලියන්න ඕනේ  " සන්න ගාම්භීර හඬින්  ඇහුව.
මම ඇහෙන නෑහෙන ගානට "අජිත්ට " කියල කිව්වා.  අජිත්ට කියල ලියපු සන්න එයාගේ අත්සන ගැහුවා.
මම සන්නගෙන්  ඇහුව මගේ පොතක් එයාගේ එතැන  තියෙන පුස්තකාලෙට දෙන්නද  කියල?  . සන්න ඕනෑවට එපාවට කිව්වා." ඔන්න ඔහෙන් තියල  යන්න".   "මොන ප****ද " මම මටම කියා ගත්ත. ඇහුව මෝඩකම.   සන්නගේ මහාර්ඝ අත්සන සහිත පොතත් තුරුළු කරගෙන අර නා කපන වැස්සේ එලියට බැස්ස.  පොත් මිටි ගන්න ගියේ  නැහැ.

කොණ්ඩේ කැරලි තේනු ගේ නිවසේ පිල්මේනියා සැඳෑව  
තේනුවරගේ ගෙදර (ඔව් අර කොන්ඩේ  කැරලි මහාචාර්ය තේනුවර , අර එපා කියද්දී නඩුව දාපු එක්කෙනා )" පිල්මේනියා කන්න  යන්න පොත් මිටි  උස්සන් කොහොම යන්නද ? අනික වැස්සට තෙමනව එලියට අරන් ගියොත්. තේනුව  කියන්නේ සන්නස්ගල "භික්ෂු පරිච්චේදය " පොතේ  සඳහන් කරන පසන් ගේ සෝවියට් දේශයේ හිටපු මිත්‍රයා.
තේනුයි කුමියි අපට ආදරයෙන්  හොඳට සැලකුව. කළා  නිකේතනයක් වගේ එතන. රසවත්ම රසවත් පිල්මේනියා  එක්ක  ඩ්‍රින්ක්  දෙක තුනක් කුසට  වැටෙනකොට දවසේ අමිහිරි භාවය හිරු දුටු  පිනි බිඳුව  වාෂ්ප වෙලා ගියා. පරණ මතකයන් අලුත් කරගෙන සුන්දර වෙලාවක් ගත කරලා අපි විසිරිලා ගියා.

 මට හදිසියේම කල්පනා වුනා ඒ වැස්සේම. සන්නගේ ඔය තැප්‍රෝබේන් එකට  හදිසියේ ගිහින් වැඩක් නැහැ. දුමක් පත්තු කරගෙන ආතල් එකේ වොඩ්කා ෂොට් එකක්  හරි රා වඩියක් හරි හලාගෙන ඉන්න ඕන තැනක්  එතන කියල. ඔන්න එතකොට තමයි මතක් වුනේ අර දැකල පුරුදු මූණ කාගේද කියල. අර  "කුඹියෝ" එකේ හිටපු ප්‍රියන්ත මහඋල්පතගම ගේ . අපරාදේ සෙල්ෆියක් ගහගන්න තිබ්බ  චාන්ස් එක අත ඇරුන.
~~~~~~~~~~~~~~~~~~********************~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
දැන් අර "අම්මා" ගැන කතාව.

 මට දැඩි ෂොක් එකක් දැනුන මුල්ම  තැන 83 පිටුවය. මඤ්ඤොක්කා මැල්ලුම් සමග බත් කා හැටි කියවා  ඇතිවූ පුදුම සහගත බව ඇරුනේ නැත. යහලබැද්දේ කොස් තිබුනේ නැත්ද? හැමදාම කොස් කන්නට නොහැකි බව ඇත්තය. ඒත් ඔවුනට ඉඩම් තිබුණු බව සන්නස්ගල මහතාම පසුව ලියා තිබේ. ඒවා ඔහුගේ පියා ඔහුට ලියා දී තිබේ.  ඒවායේ බතල දමන්නට බැරි වුනාද? එළවලු දමන්නට බැරිද? පළතුරු ගස් සිටුවන්නට බැරිද? මගේ පියා මට කියා තිබුනේ ලංකාවේ කිසිවකු බඩ  ගින්නේ නොසිටින්නේ ඕනෑම  දෙයක් පැළවෙන පසක් ඇති නිසා බවයි? ඒ නැතිනම් අවම වශයෙන්  කොස් දෙල් හෝ තිබේ. ආතර්  වී දියෙස් මහතා කොස් මාමා ලෙස ප්‍රසිද්ධ වන්නේ කොස් නිසාය.

මම ලුණුගල ගැන ලියූ කාලයේ අප දුප්පත් යයි සිතුවත් මයියොක්කා මැල්ලුම් කන්නට තරම්ම දුප්පත් බවක් මතකයේ තිබුනේ නැත. මගේ මව කොස් ඇට අව්වේ දමා වේලා ඒවා කුඩු කර පාන් පිටි ස්වල්පයක් සමග මිශ්‍ර කළාය. එසේ කර කොස් ඇට පිටි වැඩි ප්‍රතිශතයක් තිබු එම මිශ්‍රණයෙන්  ඉඳි ආප්ප සැදුවාය. මේ කොස් ඇට ඉඳි ආප්ප සාදා ගන්නා ආකාරය තරුණි පත්‍රයට ලියා තිබී එය පලවූ පත්‍රය අපේ නිවසේ සෑහෙන කාලයක් තිබුණි. මේ 1973 හෝ 1974 වසරේ දීය. සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගේ දේශීය දේ අගයන ආණ්ඩුව හාල් සේරු දෙකට සීමා පනවා තිබු කාලයේ ලියූ නිසා එය පළවන්නට ඇත.  ඒ කාලයේ අවුරුද හයක් හෝ හතක්  වූ මම බත් කෑවේ නැත්නම් අම්මා මට කීවේ  අර ලැයිමේ ළමයින්ට වගේ  මඤ්ඤොක්කා කොළ එක්ක බත් දෙනවා කියාය. එනිසා මා  දැන  සිටියේ වත්තේ ළමයි මයියොක්කා කොළ මැල්ලුම් කන බව පමණි. ඔවුන්ගේ දිළිඳු භාවය මග හැරී ගොස් ඇති බව ගිය අවුරුද්දේ ලුණුගල ගිය මට දැක ගන්නට ලැබුණි. ඔවුන්ට දැන් ජරා සහගත ලැයින් කාමර  වෙනුවට ඇත්තේ කුඩා නිවෙස්ය.

දුප්පත් වුවත් කන්නට තිබෙනවා යයි මා සිතා  සිටි සිංහල බෞද්ධ ගමක ඉඩම් තිබුනත් මයියොක්ක මැල්ලුම් සමග බත් කන ගැමියන් සිටියා යි කීම මට ඇදහිය නොහැකි  කරුණකි. සම්පූර්ණ  වැරැද්ද වැටෙන්නේ  සන්නා ගේ අප්පච්චි මතය. මට ඔහුව පෙනෙන්නේ දරුවන් හා බිරිඳ  වෙනුවෙන් කරන්නට තිබූ  කිසි දෙයක් හරියට නොකළ අසාර්ථක මිනිසෙක් ලෙසිනි. (මියගිය ඔහු විවේචනය කිරීම  ගැන සමා  වන්න)
මම දිළිඳු බව දුටුවේ කොම්පඤ්ඤවිදියේ සිට කොටහේන, කොල්ලුපිටියේ බේරේ  වැව  ආදී පැතිවල තිබූ මුඩුක්කු තුලය. ඔවුන්ට  කෑමට යමක් මෙන්ම  රූපවාහිනී හා කැසට් රෙකොර්ඩර් ගන්නට මුදල් ලැබුනේ ජේ ආර් ආර්ථිකය "විවෘත" කර  මැද  පෙරදිග ගෘහ සේවයට රැකියා අවස්ථා ලබා දුන් පසුය. ඉන් වෙනත් ප්‍රශ්න මතුවූ බව ද සත්‍යයකි.

අර පහේ  පන්තියේ කතාවේදී නිකන් දෙන  ඇමරිකන්  විස්කෝතු ගෙදර අරන් ගියේ මේ කුසගින්නේ සිටි කොරියාවේ දරුවන්ය. මැද  පෙරදිග සේවයට ගිය බොහෝ ගැහැණු එසේ කලේ දරුවන්ගේ කුස ගින්න නිවා දමන්නටය. ඔවුන් එවූ  වැඩි සල්ලි වලින් ගෙදර මිනිහාට බොන්නද ගෙදර නිකරුනේ ඉන්නට රූපවාහිනී ගන්නටද හැකි වුනි. ගෑණි නිවසේ  නැති නිසා බිමත්ව දියණියන් දුෂණය කල තාත්තලා  කොළඹ  බිහි වූයේ ද එහෙමය. ලංකාවේ එහෙම වෙන්නේ  නැති බව කියූ බොහෝ සිංහළුන් මෙන්ම දෙමළුන් ද මට සම්මුඛ වුනි. මුස්ලිමුන් තාර්කිකව කලේ නිහඬ වීමය.

මිනිසුන්ගේ නූගත්කම මග හැරවීමට ක්‍රමයක් තිබුනා නම් මේ දේවල් සිදු වන්නේ වෙනස් විධිහකටය. සමාජවාදී සෝවියට් දේශයේ ඉගෙනීමට මුල්ම  තැන දුන්නේ එබැවිනි. සෝවියට් නිදහස් අධ්‍යාපනය නිසා  කොණ්ඩය කපන  ලස්සන නංගිලා ටද ඩිප්ලෝමාවක් දෙකක් තිබුණි.  නමුත් එය වැරදී  ගියේ කොතනද යන්න මම නංගිලා ගැන ලියු ප්‍රතිචාරය  තුලත් ඉන් අනතුරව මේ බ්ලොගයේ ඉන්පසු ලියූ  බොහෝ ලිපි තුලත් පැහැදිලි කර ගන්නට යත්න දැරුවෙමි.

මැක්සිම් ගෝර්කිගේ අම්මා මෙන් විප්ලවයක් කිරීමට  පුතුට සහයෝගය නොදුන්නද, ඔස්ත්‍රොව්ස්කි ගේ චරිතය වන  පාවෙල් කොර්චාගින් ගේ මව තායා මෙන් සන්නාගේ මව ඔහුව රැක්කාය. පියා  පිස්සු කෙලන අතරේ දරුවනට කන්න දෙන්නට ඇය ගත්  වීර්යය නිසාම එවන්  පුර්ව  විප්ලවීය සෝවියට් අම්මා  කෙනෙකු මෙන් වීරවරියක් වූවාය.

මගේ අම්මා තරමක ධනවත් පවුලක ඉපිද හදිසි අනතුරු දෙකකින් මව හා පියා අකාලේ මිය යාමෙන් බාල වියේදීම  අනාථ වූ දැරියකි. ඉන්පසු තමන්ගේ පියාගේම සහෝදරයා විසින් උපන් ගෙයින ඇනෙක්සියකට  පන්නා දැමීම නිසා නව යොවුන්  වියේ දීම රැකියාවක් කරන්නට වූ කෙනෙකි.   එනිසා හැකි සෑම  විටම මව  ගැන සොයා බැලීම මගේ සිරිතය. පියා  මග හැරුනාට මම මගේ මව ඉන්දියාවට රැගෙන වන්දනාවේ  ගියෙමි. ලංකාවට යන හැම විටම කොහේ හෝ ඈත විනෝද  චාරිකාවක යමි.

මගේ අම්මාද බල සහෝදරයා ට අවුරුදු පහ හය වෙන තෙක්ම වාගේ මව් කිරි දුන්නාය.  මගේ මව මට මෙන්ම   සහෝදරියන්ටද  මුණුපුරු මිණිපිරියන්ටද  දාම් අදින්නට කියා දුන්නාය. නොයෙකුත් ගෙදර දොරේ සෙල්ලම්, ප්‍රහේලිකා  පුරවන්නට පංචි දමන්නට  කියා දුන්නාය. ලුණුගල දී කොස් ඇට ඉඳි ආප්ප මෙන්ම නිවසේ  පාන් ද පිච්චුවාය. පොත් කියවීමට අනුබල දුන්නේ පියාය. අපට කෙළවුණේ කොළඹ ට ආ පසුය. එක සොයුරියක් විශාඛා ගිය අතරමා  ගියේ රාජකීය විද්‍යාලයටය. අනිත් දෙන්නා ද සාමාන්‍ය තරමේ පාසල් වලට ගියහ.තාත්තාට  වියදම වැඩි විය. අම්මා අප එක්කරන  අපට ධෛර්යය දෙන මහා පොදු සාධකය විය. කාගෙවත් උදව් නැතිව වුවද ඉරිසියාවන් මැද වුවද අපි ජිවත් වුනෙමු.
 මේ මව්වරු සියල්ලන්ම එකසේ දිරිය මව්වරු වෙති.

මට සිතා  ගත නොහැක්කේ එවන් අම්මා කෙනෙකු බලන්නට සතියට වතාවක්වත් යන්නට  මේ සල්ලිකාර  ටියුෂන් ගුරාට නොහැකි වූයේ මන්ද යන්නය ? මේ මනුස්සයා මවගේ ගමින් මා මෙන් ලන්ඩනයේ කිලෝමීටර නම දහසක් ඈත නොව කිලෝමීටර එකසිය පනහත් දෙසීයත් අතර දුරක අතර ජීවත්වූ අයෙකි. ටියුෂන් දෙන්නට නුවර යන ගමන් බල්ලා  බලන්නට ගියා නම් අම්මා  බලන්නට යන්නට බැරි කමක් නැත.

   මට ඉන් පසු හිතුනේ අර ගිය වෙලාවේ සන්නා මහත්මයා ට හොඳටම බැණ වදින්නට තිබුනා නම් හොඳ බවය.

හැබැයි පොත කියවා අවසන් වන විට මම ඒ අදහසද බැහැර කලෙමි. ගහන්නට හිතෙන්නේ   සන්නා ගේ මවට  අර මාරක විහිළුව කල සහෝදර දෙපලටය. මුන් කුඩා  කාලයේදී ඒ අම්මාට වධ දුන්නා මදිවා ට තම බාල සහෝදරයා හා තමන් ගේම එකම මව  පිලිබඳ මහා ඉරිසියාවකින් පෙලී කළ නොමනා  විහිළුව නිසා ඒ මවට හෘදයාබාධයක් වැළඳෙන්නට  ඇත.

සන්නාගේ තැප්‍රෝබේන් එක තුල ඔහුගේ හැසිරීම මට පසක් වන්නට පටන් ගත්තේ අම්මා කියවීමෙන් පසුවය. එතරම් දුක් කන්දරාවක් දරාගත් මවක් සමග හැදුනු පුතෙක් සමාජයට වෛර කළ යුතුද ආදරය කල යුතුද යන ද්විත්ව චෛතසිකයන්  අතර නිතර දෝලනය වනවා ඇත. එනිසා දකින හැම දෙනා දෙසම බොහෝ විට  විචිකිච්චාවෙන් මිස වෙනත් විධිහකට බැලීමට සමහරවිට ඔහුට අපහසු වනවා ඇත.


~මතු සම්බන්ධයි
ප. ලි.  සන්නස්ගල  මහතාගේ "අම්මා" පොතේ තවත් තැන්  දෙක තුනක් ගැන කතා කල යුතු  නිසා තව ලිපියක් ලියවෙනු ඇත.