Thursday, 22 August 2013

ද්‍රෝහියාගේ දියණිය මතු කරන ප්‍රශ්න - විචාරයක්

බොහෝ කලකට පෙර මා   කියවූ පොත් කීපයක් පිළිබඳව සිහියට නැගුනේ "ද්‍රෝහියාගේ දියණිය " පොත අතට ගත් පසුවයි.  ඇලෙක්සැන්ඩර් සොල්ෂේනිට්සින්  ගේ "පිළිකා   වාට්ටුව - cancer ward " හා "The Gulag Archipelago " යන විශිෂ්ට නවකතා  දෙක සලකා  බලන විට ඒ පොත් වල කියවෙන්නේ ස්ටාලින් ගේ සමයේදී සෝවියට් දේශයේ බුද්ධිමතුන්, පක්ෂ සාමාජිකයන් බුරුතු පිටින් අත්  අඩංගුවට ගෙන සයිබීරියාවේ  ගුලාග් නමැති වහල් කඳවුරු වල තබා ගැනීමත් , මරා දැමීමත් පිළිබඳව අපකීර්තිමත් සිද්ධීන් දාමයයි. තවත් පොත් දෙකක් නම් ඔරුවල බන්දු නම් ප්‍රවීන ලේඛකයාණන්  ගේ "සෝවියට් සිර මැදිරියේ සිට " හා  "බිරියෝසා  ගස්" නම් කෘතිනුයි. අනිත් පොත නම්  සෝවියට් දේශයේ ස්ටාලින් පාලන සමය අළලා  ඇමෙරිකා එක්සත් ජනපදයට පලා  ගිය ස්ටාලින්ගේ බාල දියණිය ස්වේත්ලානා අලියේවා ගේ "යහලුවෙකුට ලිපි විස්සක්” යන්නයි. ඔරුවල බන්දු  සිංහලෙන් ලියු පොත් ඇරෙන්න අනිත් පොත් සිංහලට පෙරලා ඇත්ද යන්න මා  නොදනිමි . නමුත් සෝවියට් ජන ජිවිතයේ හොඳ තැන්, සෝවියට් දේශය වර්ණනා කරන පොත් සහ එහි විප්ලවිය සමය ගැන සහ  දෙවන ලෝක යුද්ධය පිලිබඳ කතා බොහොමයක් දැදිගම වී රුද්‍රිගු පියසේන, පියසේන මහනිල්ගම වැනි  ලේඛකයන් හරහා පරිවර්තනය වී තිබෙනවා. ඒවා අපිත් මහත් රුචියකින් කියවූ පොත්. ප්‍රගති ප්‍රකාශකයන් ගේ පොත් සහ අනිකුත් සමාජවාදය ගැන ලියු පොත් හැත්තෑව අසූව දශකයේ ඉමහත් ලෙස ජනප්‍රියව තිබුණා   මට මතකයි.

මෙයින් සරෝජ් පතිරණ පරිවර්තනය කල "ද්‍රෝහියාගේ දියණිය " මා  මුලින්ම  සඳහන් කළ  ගණයේ  පොතක්. සෝවියට් ජන ජිවිතයේ සෝවියට් සමාජයේ අප නුදුටු පැත්ත හෙවත් අපි කතා නොකළ, නමුත් දැන සිටි නියම යථාර්තය හෙළි කරණ පොතක්.  මේ නිසා මේ පොත වැදගත් පරිවර්තනයක්. ඒ වගේම සෝවියට් දේශයේ වැඩිදුර අධ්‍යාපනය හදාල  අයෙකු හැටියට මටත් සෝවියට් දේශය පිලිබඳ අපේ අත්දැකීම ගැන කතා කරන්න දැඩි අවශ්‍යතාවයක් හා ආශාවක් තිබෙනවා. සරෝජ්ටත් එම කැමැත්ත එසේම තිබෙන බව මම දන්නවා.

මෙම අනුවර්තනය තුලින් ඔහු සෑහෙන දුරකට එම සාක්ෂාත් කරගෙන තිබීම ගැන මට ඇත්තේ දැඩි සතුටක්. ඇයි  අපට ඒ අවශ්‍යතාවය දැනෙන්නේ?  මට හිතෙන විධිහට සෝවියට් දේශයේ සමාජවාදී ක්‍රමය  බිඳ වැටුන පසු සමාජවාදී සමාජය හා එහි වැරදි ගැන හෝ ඒ එය බිඳ වැටීමේ හේතු ගැනවත් හරියට කවුරුත් පුළුල්ව සාකච්චා කර නැහැ. සෝවියට් දේශය බිඳ වැටී දැනට අවුරුදු 24ක් ගත වෙලා. සමාජවාදී පක්ෂ බිහිවෙලා නැතිවෙලා . කොමියුනිස්ට් පක්ෂ බිහිවෙලා තවම ජනතා සහය නැතුව හෝ ඇතුව ඇදන් යනවා. යුරෝපයේ ට්‍රොට්ස්කීවාදී පක්ෂ  සාමාජිකයෝ හතර පස් දෙනෙක් තියාගෙන මදුරුවෝ තලමින් ඉන්නවා. මේ නිසා මෙවැනි පොතකින්වත් එහෙම සංවාදයක් ඇති කරන්න පුළුවන් නම් හොඳයි.

මාධ්‍යවේදියෙකු වන සරෝජ් පතිරණ හුඟක් සංවේදී පුද්ගලයෙක්. ඒ වගේම හමුවුණු ඕනෑම කෙනෙකුට කතා කරන, මට හමුවුණු හොඳ මනුෂ්‍යත්වය අගයන සහෝදරයෙක්. ඉතින් ඊන්නා ප්‍රෝහොරෝවා ගේ අනුවේදනීය කථාව චෙක් රටේ නිවාඩු නිකේතනයේදී ඇයගෙන්ම අසා දැන, තම සහෘදයන් සඳහා මේ පොත පරිවර්තනය කිරීම අපි අගය කල යුතු යයි සිතනවා.

ඊන්නා ප්‍රෝහොරෝවා ගේ පියතුමා සෝවියට් දේශයේ පශු වෛද්‍ය වරයෙක් වගේම ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්.  එවැනි බොහෝ අයට ස්ටාලින් ගේ පාලන සමයේදී වුනාක් මෙන් ඔහුවත් ද්‍රෝහී හංවඩුව ගහල සයිබීරියාවට පිටු වහල් කරනවා. එතැන් පටන්  ඊන්නා ප්‍රෝහොරෝවා ඇගේ  මව හා සොයුරිය සමග දැඩි දුකක් විඳිනවා. පොතේ ඒ ගැන මනාව විස්තර කරන නිසා මා ඒ ගැන කියන්න යන්නේ නැහැ.  මේ විද්වතුන්ට , සෝවියට් දේශය ගොඩ නගන්න ඇප  කැපවූ  අයට ද්‍රෝහී ලේබලය ගහන්න පටන් ගත්තේ ට්‍රොට්ස්කි එලවපු කාලයේ සිට. ලෙනින් සමග සිටි රුසියානු විප්ලවය කල කාමෙනෙව් , සිනොවියෙව්  වැනි විප්ලවයේ නායකයන්   මරා දැමු පසු එය වඩාත් දැඩි ලෙස සිදුවුණා.  ඔවුන් මරණ විට හඬ නොනැගු සෝවියට් බුද්ධිමතුනට පසුවදී තමන් කරාත්  nkvd  (සෝවියට් රහස් පොලිසිය) එනවිට, ඔවුන්ටත් මරණයේ හෙවණැල්ල වැටෙන විට ඔවුන් වෙනුවෙන් කතා කරන්න කවුරුත් හිටියේ නැහැ.  (අර මාර්ටින් නීමොලර් කිවා  වගේ) .

ප්‍රෝහොරෝවා මහාමාරියට බෙහෙතක් හොයාගන්න දායක වුන දක්ෂ විද්‍යාඥවරියක්. නමුත් ඇය අහනවා ඇයි මට මෙහෙම වුනේ? මට  මගේ රටේ  ආණ්ඩුව මෙහෙම සැලකුවේ  ඇයි ? මගේ තාත්ත නිදහස් වුනාට පසුව වුනත් මගේ කරදර ඉවර නොවුනේ ඇයි ? මා ඇමෙරිකා එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ හිටියානම් මිට වඩා  පොහොසත්, මහලු වියේදී හොඳ විශ්‍රාම වැටුපක් සහිතව හොඳින් ජිවත් වෙනවා නොවේද ? කොටින්ම කියනවනම් ඇය අහන්නේ "ධනවාදී සමාජය තිබ්බනම් මට මේ විධිහට අසාධාරණයක් සිඳු  වෙයිද" කියයි. ඇත්තටම ප්‍රෝහොරෝවා එහෙම අහනවද ? එහෙම නැත්නම් අප දැන් ජිවත් වන ධනවාදී සමාජයේ මිට වැඩි ශෝක ජනක කතා , දුප්පත් වුන නිසාම  මිනිස්සු දුක් වින්ද හැටි, නුවණැති විද්‍යාධරයන් ආණ්ඩු විරෝධී වීම නිසාම නොයෙකුත් ආණ්ඩු ඔවුන්ගෙන් පලි ගත්ත හැටි අපි අසා නැත්ද ?

තව වැදගත් ප්‍රශ්නයක් ප්‍රෝහොරෝවා අහනවා ? ඇයි මගේම නංගි , මම මෙච්චර හොඳට සලකපු සහෝදරිය මෙහෙම සැළකුවේ ?සරෝජ් පතිරණ Beyond  Boston රේඩියෝව සමග සම්මුඛ සකච්ච්වේදී ඒ ගැන පවසනවා. (යොමුවට මෙතනින්  යන්න. http://www.youtube.com/watch?feature=player_embedded&v=pC7IbDzUzDQ) .

කාලයකට ප්‍රථම ත්‍රිමාණ (www .thrimana .com ) නම් වෙබ් අබවියේ "නංගියාගේ සංකල්පය " කියල ලිපියක් තිබ්බා . ඒකෙ  සරලව කතා කලේ ලංකාවේ තරුණියන් අද ධනවාදී සමාජයේ වෙනස්කම් වලට භාජනය වෙලා ඒ සම්බන්ධතා පාවිච්චි කරලා  සුක්ෂම විධිහට සමාජ තලයේ ඉදිරියට යන්නේ කොහොමද කියලා . ඉතා ආත්මාර්ථකාමී ලෙස තම අභිප්‍රායන් මේ තරුණියන් ඉටු කර ගන්න අන්දම. මම මේ ලිපියට අන්වර්ථ නාමයකින් කොමෙන්ටුවක් ඉදිරිපත් කල පසුව වෙබ් අඩවියේ ලිපියට අදාලව එයත් පළවී තිබුණා. එම ලිපියේ කොටසක් මෙතන පල කිරීමට මට හිතුනේ ප්‍රෝහොරෝවා ගේ නංගිට තම සොහොයුරියට සැලකූ  අන්දම අපට විශ්මය දනවන්නක් නොවන නිසා.

 සෝවියෙට් දේශයේ සිටි කාලයේ සෝවියෙට් තරුණියන් ගැන මෙවැනිම නංගියා  සංකල්පය වැනිම මතයක් අප සාකච්චා  කලා. (රුසියාවේදී). මේ පිළිබඳව වටහා ගැනීමට   "ඉන්ටර් දෙවුෂ්කා " හෙවත් "Inter girl" නම්   චිත්‍රපටිය http://www.imdb.com/title/tt0097584/   නරඹන්න. 

සෝවිය ට් ආණ්ඩුව විසින් නිදහස සිමා කිරීම, කොමියුනිස්ට් පක්ෂයේ අයට පමණක් තිබු සුඛෝපභෝගී පහසුකම් තමන්ට නැති වීම,  බටහිර සුඛෝපභෝගී  භාණ්ඩ හිඟ කම ආදී දේ නිසා බොහෝ සෝවියෙට් තරුණියන්  පිටරට මිනිසුන් ඇසුරු කිරීමට  පටන් ගත්තා. බොහොමයක් අය විදේශ ශිෂ්‍යයන් සමගත්  සමහරු විදේශ වලින් පැමිණෙන වෙළෙඳ සේවකයන් සමගත් ලිංගික සම්බන්ධතා ඇති කර ගැනීමට හෝ අඹු සැමියන් වශයෙන් එකට ජිවත් වීමටත් පෙළඹුනා. මේ බොහෝ සෝවියට් නංගිලා තමන් සමග සම්බන්ධ වී සිටි පිරිමින් සමග ආදරයෙන් වෙලුනේ නැහැ. එසේ  වුනානම් එසේ කලේ කීප දෙනෙක් පමණි. බොහෝ අයට  අවශ්‍ය වුයේ මේ සම්බන්ධතා තුලින් අවශ්‍ය හොඳ සපත්තු , ලේවයිස් ඩෙනිම්, සංගීතය අසන්නට කැසට් ප්ලේයර්ස් ආදී බටහිර භාණ්ඩ ලබා ගැනීමත් (Denim Jeans, Walkmans  etc) එසේ නැති නම් සෝවියට් ග්‍රහණයෙන් මිදී බටහිර හෝ අඩු තරමේ ශ්‍රී ලංකාව වැනි බටහිර ට ගැති රටකට හෝ පැන  ගැනිමටත්ය. 
 (මා සිටින්නේත් බටහිර රටක නිසාත් අපේ රටෙනුත් යුරෝපයට , ඔස්ට්‍රලියාවට තවමත්  යන නිසාත් මා  මෙය විවේචනය  කරනවා නොවේ. ඔවුන්ට තමන් සිටි අගාධයෙන් එලියට ඒමට තිබු අවශ්‍යතාවයට අපට සමච්චල් කල නොහැක. )   සමහර නංගිලා රස්සාවල් හොයා  ගෙන සශ්‍රික වුනු අතර අනිත් අය පිම්පියන්ට අසුවී නොවිඳිනා දුක් විඳ රුසියාවට ආපහු පැන ගත්හ.  සෝවියෙට් දේශය බිඳ වැටුණු පසු මේ ක්‍රියාවලිය වෙන  විදිහකට මංගල දැන්වීම දමන ඒජන්සි Dating Agencies  හරහා දැනටත් ක්‍රියාත්මක වේ.
(පුටින් ගේ ආගමනයෙන් පසු රුසියාවේ ගිලිහි යමින් පවතී ගෞරවය නැවත නගා  සිටවීමෙන් මේ තත්වය ධනාත්මක ලෙස වෙනස් වුන අතර ඔවුනට වෙන රටකට යාමට වඩා තම රටේ රැකියාවක් කරගෙන හොඳින්  ජිවත් වීමට හැකියාව ලැබුණි.).

අසුව දශකය අග භාගයේ සිට සෝවියෙට් සමාජයේ පිරිහීම වේගවත් වීම හා අවසානයේ බිඳ වැටීම පිටුපස ඇති අඳුරු කතාන්තරය පටන් ගන්නේ ද්‍රෝහී ලේබලය අලවා මරා දැමුණු හා  පිටු වහල් කෙරුණු බුද්ධිමතුන්ගේ ශෝචනීය ඉරණමින්. එය අවසන් වන්නේ ඉච්චා  භංගත්වයට වැටුණු  ජනකායක්, සමාජවාදී මිනිසා නිර්මාණය කිරීමක් වෙනුවට ධනවාදී සමාජය පතන මිනිසෙක්  නිර්මාණය කිරීමෙන්.

ප්‍රෝහොරෝවා ගේ නංගි සොවියෙට් නිලධාරීන්ගේ හා තම සැමියාගේ උදව්වෙන් සුඛෝපභෝගී නිවසක් හා රැකියාවේ උසස්වීම් ලබා ගන්නවා. ඇය  එසේ කරන්නේ තම සහෝදරිය පවා පාවා දීලා . එය ඇයට දැනෙන්නේවත්  නැහැ. එතකොට ප්‍රෝහොරෝවා ගේ පුතාගේ බිරිඳ - අමෙරිකාවේ  කොපමණ  මුදල් තිබුනත්, ප්‍රෝහොරෝවා ගේ පුතා  හොඳ රස්සාවක් කලත් ප්‍රෝහොරෝවා ගේ මුදල් සොරකම් කරනවා බැංකුවෙන්. එතකොට 1977 අග භාගයේ "බල්ලෝ මරා  හරි සල්ලි හොයන" ආර්ථිකය හඳුන්වා දුන් පසු එහි දිගුවක් වශයන්  ඇදෙමින් යන ලාංකික  සමාජය , සමාජ සාර  ධර්ම පිරිහෙමින් අගතියට ඇද  වැටුන  අසූව  දශකයේ සොවියෙට් සමාජයට සමාන නොවේද? එහෙම නම් ප්‍රෝහොරෝවා කියන්නාක්  මෙන් දියුණු ලිබරල්  ධනවාදය මීට වඩා හොඳද? "ඇයට නම් නිදහසේ මැරෙන්න තිබ්බ" - ප්‍රෝහොරෝවා කියන්නේ එහෙමයි.

සරෝජ් පතිරණ Boston  රේඩියෝව සමග සාකච්චාවේදී ද්‍රෝහීන් ලේබලය  ඇලවීම  ගැන ලංකාව අරගෙන කිසියම් සංසන්දනයක් කරනවා. හැබැයි මෙය ලංකාවට සමාන කරන්නම බැහැ . හේතුව ඔය ලේබලයම ආගමික අන්තවාදිනුත් අලවනවා අනිත් රටවල්වල. අරාබියේ, ඊශ්රයලයේ   , ඇමෙරිකාවේ, එංගලන්තයේ පවා තමන් ඉන්න කණ්ඩායමට සාපේක්ෂව අනික් අයට ද්‍රෝහීන් කියා  කියනවා. මේ පොතේ ප්‍රෝහොරෝවා කියන්නේ ඒකම නෙමේ.

මෙහි අටවන පිටුවේ මේ පොතේ ප්‍රෝහොරෝවා ගේ පවුලේ පසුබිම ගැන ලියා ඇති හරියට තේරුම් මදි. ප්‍රෝහොරෝවා තම නිවසක් සාදා  ගත්ත කියා එක තැනක කියන ගමන් පහලින් කියනවා සොවියෙට් දේශයේ පොදු දේපල ක්‍රමය නැහැ කියා . තරමක ප්‍රතිවිරුද්ධතා  තියන තැන් කිහිපයක්ම තියෙනවා.

ඒ කෙසේ වෙතත්  අද තත්වය බලපුවහම - සම්ප්‍රදායික වම සෝවියට් දේශයේ සමාජවාදය බිඳ වැටීම මගහැර පැන යාම, පරණ වම (ජවිපෙ) අසාර්ථක කැරලි දෙකක් කර , පසුව ජාතික චින්තනයට කරදී, ඉන් පසු දෙකට, තුනට කැඩී  තවමත් මාර්ක්ස්  එංගල්ස් කර ගහගෙන පෙළපාලි වල යාම (මොන න්‍යාය යටතේද එහෙම කරන්නේ කියල මට ප්‍රශ්නයක් ),  එසේ ජවිපෙ කැඩීමෙන් බිහිවූ  පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමාජවාදය බිහි කිරීම ගැන කතා කෙරුවත් ඔවුන්ගේ භාවිතාව වඩා උසස් ලෙස සලකමින් පරණ සමාජවාදී ලෝකයම ආදර්ශය ලෙස ගැනීමත් , ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය හේගල් කර පින්නා ගෙන, ලිබරල් අන්දමේ  සමාජවාදයක්  ගැන කතා කිරීමත (මෙය වරදක් හැටියට මා  දකින්නේ නැත. මිනිසුන්ට අවබෝධය ලබාදීම හොඳ දෙයකි ), කතා කරන්න දෙයක් නැති පොතේගුරු වාදී  ට්‍රොට්ස්කි වාදී  පක්ෂ , මාර්ක්ස් නොකී ස්වයං තිරණ අයිතිය කියන ලිට්මස් ටෙස්ට් එක නැති පක්ෂ මාක්ස්වාදී නොවේ යයි කියා එන කුමන හෝ එකමුතුවකට කකුලෙන් ඇදීම - මේ සියල්ල  මෙසේ වෙන අතර තුර අපට නැවත සමාජවාදයේ බිඳ වැටීම ගැන කතා කරන්න නිමිත්තක් ගෙන එම ගැන සරෝජ්ටත් ප්‍රෝහොරෝවාටත් ස්තුතියි.

අජිත් ධර්මකීර්ති

පසුවදන :

සරෝජ් ගේ පොත රුපියල් 480කට ලංකාවේදී  මිලදී ගත හැකියි.

2 comments:

  1. මට නම් මාක්ස්වාදය පෙන්නන්නම බැරි මේ සමාජ පීඩනය නිසයි. මනුස්සකම නැති නිසයි. ක්‍රියාවෙදි එහෙම වුනාට පොතේ එහෙම නෑ කියන කතා විකාර. පොත ක්‍රියාවට නගපු හැම තැනම මිනිස් නිදහස නැත්තටම නැතිකරල පක්ෂය කියල අටමගලක් වෙනුවෙන් ජීවත් වෙන කාලකන්නි පිරිසක් බවට මානව සංහතිය පත් කළා. මනුෂ්‍යයා කියන්නෙ පක්ෂ නිළධාරියගෙ වහලෙක් නොවෙයි.
    සාධාරණ සමාජයක් අවශ්‍යයි.ඒත් හැම සාධාරණ නිදර්ශකයක්ම මාක්ස්වාදයට වඩා නම් හොඳයි.පරණ වම,ජවිපෙ තම මතවාදී සතුරන් කෙරෙහි දක්වන ආකල්පය බලන්න. මෙහෙම වෛරී ආකෘතියකින් වැඩක් වෙයිද?
    අපට ඕන අන්‍ය මත ඉවසන මතවාදයක්. මෙහෙම අයට පොලිස් හමුදා අධිකරණ බලතල තිබුනොත් මොන වගෙ මර්ධනයක් ඇතිවෙයිද?
    මාක්ස්වාදී රාජ්‍ය කියන්නෙ ත්‍රස්තවාදී රාජ්‍යයක්ම තමයි.

    ReplyDelete
  2. මන් හිතන්නේ මෙහෙමයි. සෝවියට් දේශයේ හෝ වෙනත් සමාජවාදී රටවල් මාක්ස්වාදී රජයක් තිබ්බේ නැහැ. ස්ටලින්වාදී මර්දනකාරී රජයන් තම තිබ්බේ, නමුත් අග කාලයේ ස්ටලින්වාදී strcucture එක තියාගෙනම නිදහස වැඩි කලා සෝවියට් දේශයේ. නමුත් මාක්ස් එංගල්ස් කියන සාධාරණ සමාජය බිහිවන්නේ ධනවාදයෙන් පස්සේ හෝ ඒ අතරතුරයි. ඔබේ කෝපය යොමු කල යුත්තේ මේ වැරැද්ද කල අය වෙතටයි. ලංකාවේදී වමට සම්බන්ධවී, රුසියාවේදී සමාජවාදය එපාවී අවුරුදු 20ක් දියුණු ධනවාදී රටක ඉඳීමෙන් පසු , ලංකාවේ අහිංසකයන් තවත් විප්ලවයකට දක්කවා ජිවිත නැති කිරීමට නොමේ මම හදන්නේ. පන්න පන්නා එකම වැරැද්ද කර ගන්නේ නැතුව කියවන මාක්ස්වාදය වත් හරියට කියවන්න කියන එකයි. මේ සමාජ පීඩනය දුන්නේ ස්ටලින්වාදී නිලධාරී පද්ධතිය හා එහි වහලුන් විසින්. නමුත් සාමාන්‍ය රුසියානුවන් හුඟක් හොඳයි. තමන්ට තියෙන එක බෙදා හදාගෙන කල බිල හිටි මිනිස්සු.

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.