Tuesday, 5 November 2019

දැති කියත - එච් ඒ අයි ගුණතිලක

දැති කියත - එච් ඒ අයි ගුණතිලක (විචාරයක්)
විජිත ගුණරත්න ගේ "දැති කියත " ගැන ලියු මේ අපූරු විචාරය ක්‍රිස්ටියන් වර්කර් (ක්‍රිස්තියානු කම්කරු සහෝදරත්වය ) නමැති සඟරාවේ 1981 පලවූවක්. එහි ඇති  භාෂා ශෛලිය ඉතාමත් බැරෑරුම් එහෙත් රසවත් එකක් . ඒ කාලයේ කොළඹ ඉංග්‍රීසි කතා කරන මැද පන්තිය හැර වෙන අයෙකු මේ ලිපිය කියෙව්වාද යන්න සැක සහිතයි. එනිසා මම ඒ ලිපිය පරිවර්තනය කළෙමි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සම්ප්‍රදායික නාට්‍ය කලාවේදී අව්‍යාජ මිනිස් හඬක් ඇසීමත් අපහසු දෙයකි. නාට්‍යය නරඹා නික්මෙන අයෙකු ගේ දැක්ම වනුයේ නාට්‍යය ජීවිතයේ පිළිඹිබුවක් නොව ජීවිතය නාට්‍යයයේ පිළිඹිබුවක් යන්නය. බෙර්ටෝල්ට් බ්‍රෙෂ්ට් තමන්ගේ මුළු ජිවිත කාලය පුරාවටම යත්න දැරුවේ   තත්සම්‍ය නාට්‍යකලාව යථාර්තවාදී මායාව නැමැති  ව්‍යාජ කලා  භාවිතාවෙන් මුදවාගෙන විකල්ප මාදිලියක් හඳුන්වා දීමටය. ප්‍රේක්ෂකයන් නාට්‍යාගාරයේ හිඳගෙන සිටිති. නළු නිලි සමූහයක් ලෙස  එකතු වී කළකට පෙර වූ සිදුවීමක් කථාවක් ලෙස  ගොඩ නගති. වේදිකාව යථාර්තය අප ඉදිරියේ  ප්‍රක්ෂේපණය කරද්දී  ප්‍රේක්ෂකාගාරයේ අප, කතාවෙන් වියුක්තව ඔහේ බලා සිටින්නන් පමණක් වෙමු.  කථා සාරයට නොව කථනයට, අවධාරණය දී ඇති අතර,  වේදිකාවේ ගොඩ නගා ඇති අංග, නාට්‍යමය ඇඳුම් ආයිත්තම්, වේදිකා සැලසුම   සහ ආලෝක සැපයුම ආදිය යොදා ඇත්තේ සැරසිලිකාර මායාවකට නම් නොවේ.  හැම දසුනක්ම. අදහසක්ම, කොටසක්ම එකිනෙකට වියුක්තවම  වැදගත් වන'තර අපේ අවධානය  දිනා ගන්නා පරිදි සාමූහික පන්නයකට ගොනුකර ඇත. ශෘන්ගාර උද්වේගාත්මක හැඟීම් වලින් අප වියවුලට පත් නොකරන අතරම පරමෝත්කර්ෂයන් දුර්භික්ෂයන්  සේ ඉවත් කර ඇත.   ප්‍රසිද්ධ "පරාරෝපණයේ විපාකය" (අත්හැර දැමීමේ ප්‍රතිඵලය ) නම් සිද්ධාන්තයේ එල්ලය නම් සංවේදී සංඥානනය (තදාත්මීකරණය ) වැළැක්වීම හෝ නිෂ්ප්‍රභා කිරීමයි. අපගේ උදාසීන සංවේදනයන්ට බ්‍රෙෂ්ට් ඉතා සරල හා අව්‍යාජ යථාර්තයක් ඉදිරිපත් කරයි. තරු පහේ අවන්හලක තෙආකාර භෝජන පටිපාටිය වෙනුවට ඔහු  පාන් සහ කැඳ ප්‍රදානය කරයි.

විජිත  ගුණරත්නගේ ගේ "දැති කියත" සම්භාව්‍ය බ්‍රෙෂ්ටියානු  සමීකරණයක් වූ   මෙම සම්ප්‍රදායික මෙන්ම  න්‍යායික නාට්‍යය  නිර්භය සහ උත්කර්ෂවත් උත්සාහයකින් අපට ප්‍රති නිෂ්පාදනය කර   ප්‍රදානය කරයි. මධ්‍යතන යුගයේ ස්වීඩනයේ  නගරයක පංති විරෝධතාවය සහ  කාර්මික සටන් මධ්‍යයේ   ධනපති ආරක්ෂක යාන්ත්‍රනය සහ රාජ්‍ය යන්ත්‍රය  දුෂිත ව්‍යාපාර සමග වන සන්ධානයේ  සිදුවීම් (නාට්‍යයේ)  පෙළ ගස්වයි. වෙස් මුහුණු, සංගීතය, විචිත්‍ර වෙස් ගැන්වීම්, නිවේදක නිවේදිකාවන්  වේදිකාවේ තීක්ෂණ සැකසුම්   වල සංයෝජනයෙන් සංතෘප්ත වන මොහොතක  නළුවේ  සෑම සාමාජිකයෙක්ම  තම උපරිමයෙන් ප්‍රබල රංගනයන් ඉදිරිපත් කරති. රටා මිශ්‍රණය අපූර්ව ව ඇති රංගනයේ වදන් හසුරුවනුයේ සැහැල්ලු එහෙත් ක්‍ෂණික හා සවිමත්ව පැටලිමකින් තොරවය.  ඉතාමත් සුළු අංග චලනයක් පවා තද විනයකින් හසුරුවනුයේ වැඩි අතිශයෝක්තියකින් තොරවය. මෘදු  මුඛරියේ සිට රළු කවටකම් දක්වා භාෂාව ගලා යනුයේ නාට්‍යකරුගේ අභිලාෂයන් එපරිද්දෙන්ම ඉටු කරමිනි. සංගීතය සහ ගීත ගායනාවන් නාට්‍යයේ සන්ඝටනීය  අංගයන් වනවා  සේම බුද්ධිමත් ලෙස සංවාදයට අනුකූල ප්‍රතිචාරයද සපයයි. එසේ වන අතරතුර සැඟවුණු චරිත සහ නොසැඟවුණු චරිත, හුවමාරු වන අනවරත දයලෙක්තිකය හා   සමාජ සම්බන්ධතාවයන්ගේ හා මානුෂික තත්වයන්ගේ ප්‍රතිවිරෝධය ද තුල උත්සවකාරී ලෙස හැසිරෙනුයේ අපගේ කාලය සිහිකරවමිනි. කුඩා හා විසල් කණ්ඩායම් ලෙස  හැඩ ගැස්වූ චරිතයන්හි චලනයන්  සහ නාට්‍යය තුල සංස්ථාපනයන්  විචිත්‍රවත් සංවේදීතාවයක් මනෝහර භාවයක්   දනවන අතර   බාහිර ආයිත්තම් වල ස්වභාවය වේශ නිරූපණයන්  ගෙන් හෙළිදරව් වේ.

මේ සියල්ල සලකා බැලූ කළ අප විජිත  ගුණරත්නට  සුභ පැතිය  යුත්තේ ශෝකාන්තය හා ප්‍රහසනය අද්දර  දෝලනය වෙමින්, එහෙත්  සියලු අර්ථයන්ගෙන් සමන්විත කාලෝචිත නළුවක්  කාලයට අනුකූල ලෙස අපට පිරි නැමීම නිමිත්තෙනි.  සංවේදී ප්‍රේක්ෂකයන් අගය කළ යුත්තේ, නාට්‍යය විසින්  ප්‍රහසනයට ලක් කරන ලද වර්තමාන  ප්‍රශ්නය සහ සම්පුර්ණ නාටකය ලෙසට ගත්  කල අපට  වඩාත් හුරු පුරුදු සංවේදිතාවන් හා සංකීර්ණයන් වලින් නැවුම් ලෙස වියුක්ත වීමත්ය.
සෘජු දේශපාලන ප්‍රචාරයන් ගෙන් තොරවුවත් නරඹන්නාට  සිද්ධීන් අවලෝකනය කරන්නට හා ඉන් ඉදිරියට සිතන්නට පෙළඹවීමක් තිබේ. සුළුවෙන් හෝ   විනයානුකූල චින්තනමය එක්සත්කමක් සහ ක්‍රියාකාරිත්වයක්  ප්‍රේක්ෂකයන් සහ නාට්‍යයට  සහභාගිවන්නන් ගෙන්   හදිසි අයැදුමක් ලෙස ඉදිරිපත් වේ. මේ නරඹන්නාට ඔහුගේ නාට්‍යමය අත්දැකීමේ ප්‍රමුඛ  සුරතාන්තය වූයේ  බ්‍රෙෂ්ට් ගේ මරණය  සිදුවූ 1956 වසරේ බර්ලින් වෘන්දය ලන්ඩනයේ ඉදිරිපත් කල අපූර්ව සංදර්ශනයයි.

 තරුණ  ශ්‍රී ලංකික නාට්‍ය කරුගේ උපදින දක්ෂතාවයන් තුලින් හෙළි දැක්වූ  අන්තර්ගතය,  රංගන සම්ප්‍රදාය සහ භාවතිශමය චෛතසිකය මේ මූලික බලවත්  ශෛලිය ට ඇති මගේ අතීතකාමයට (නොස්ටල්ජාවට )   අවුරුදු 25 කට පසු නව පණක් දුනි.
එච් ඒ අයි ගුණතිලක  - ක්‍රිස්ටියන් කම්කරුව සහෝදරත්වය  සඟරාව 1981 (christian worker 1981)

පරිවර්තනය - අජිත් ධර්මකීර්ති
අවශ්‍යනම්   කියවීම සඳහා ඉංග්‍රීසි ලිපිය

8 comments:

  1. බලන්න බැරිවුණු නාට්‍යයක්!

    ReplyDelete
    Replies
    1. සමහර විට ආපහු නිර්මාණයක් එයි

      Delete
  2. ඒ ඉංග්‍රීසි සෝක්.. :)

    ReplyDelete
  3. කවරදාකවත් පැරණි නොවන, නැවත නැවතත් වේදිකා ගත විය යුතු ම නාට්‍යයක්.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .