Wednesday, 22 January 2020

ලංකා ඉතිහාසය - ජාන විද්‍යාවේ ද්‍රවිඩ සිංහල තියරිය හා බුදුන් උපන් ලංකාව

මේ ඉතිහාස කතාවේ පුර්විකාව මෙසේය  . පෙමස් ගුණසිංහ මහත්මයා තම බ්ලොගයේ ලියන උග්ගල් අලුත් නුවර දේවාලය හා ඒ අවට විස්තර කියවීම හේතුවෙන් මිට දෙවසරකට පමණ පෙර ලංකාවට ගිය විටෙක  මම ඒ ප්‍රදේශයට ගියෙමි. රත්නපුර ප්‍රදේශයේ සුන්දර පෙදෙසක පිහිටි දේවාලය සහ විහාරස්ථානය නරඹා කපු මහතා සමගද කතා බහ කර ඡායාරූප කිහිපයක් ද ගෙන පැමිණියෙමි. ඒ දේවාලය ගොඩනැගූ  ප්‍රාදේශීය රජු කවරෙක්ද යන්න පිළිබඳව ගුණසිංහ මහතා හා මා අතර  දීර්ඝ සංවාදයන් විටින් විට පැවති අතර  දේවාලයෙන් විමසුවද ඔවුන්ට ඒ පිළිබඳව අදහසක් නොතිබිණි. 

 මම ලංකාවේ ජීවත්වූ කාලයේ ලංකා ඉතිහාසය පිලිබඳ පොත් හැදෑරීම ඉතා උනන්දුවෙන් කළ අයෙක්මි. සිංහල මෙන්ම ද්‍රවිඩ ප්‍රදේශ වලද රජකම් කල රජවරුන් පිළිබඳ විස්තර ගැන වැඩි උනන්දුවක් තිබුනේ ඒ තොරතුරු රසවත් නිසා පමණක් නොව ඒ කාලය පිලිබඳ යම් අදහසක් ඇතිකර ගැනීමටද එය වැදගත් වූ බැවිනි. ඉහත කී දේවාලය සාදන ලද  රජු සීතාවක රාජසිංහ විය නොහැකිය යන මතයට මා  එළඹුණේ ඒ කාලයේ එම ප්‍රදේශයේම රජකම් කල තවත් ප්‍රාදේශීය රජෙක් ගැන විස්තරයක් මගේ මතකයේ තිබූ හෙයිනි. 






මගේ මතකයේ තිබූ පරිදි පරණවිතාන මහතා ද එකතුව සංස්කරණය කර එවකට ලංකා  විශ්ව විද්‍යාලය මගින් පළ කරන ලද  "ලංකා ඉතිහාසය" නම් ග්‍රන්ථයේ මෙවැනි ප්‍රාදේශීය රජෙකු ගැන විස්තරයක් තිබුණි. එම ග්‍රන්ථයේ  කාණ්ඩ  දෙකක් කොළඹ මහජන පුස්තකාලයට සම්බන්ධ ආශ්‍රේය පුස්තකාලයේ (reference library) තිබුණි.  නමුත් මට අවශ්‍ය  අවශ්‍ය දෙවන කාණ්ඩය අතුරුදහන් වී ඇත. මේ පොතේ ඉංග්‍රීසි මුද්‍රණයක් ලන්ඩනයේ පිහිටා  ඇති "බ්‍රිතාන්‍ය පුස්තකාලයේ" ඇති බවට ඉඟියක් ලැබුණි. ඒ පිළිබඳව පසුව සොයා බැලිය යුතුය.


පළමුවම මේ හදිසියේ ලංකා ඉතිහාසය සෙවීමට උත්සාහ කරන්නේ ඇයිදැයි කාට  හෝ පැනයක් මතුවිය හැක . මේ දිනවල සාකච්ඡා වෙන  ප්‍රශ්න දෙකක් පිළිබඳව සැකෙවින් සඳහන් කරමි.


පළමුවැන්න නම් ලංකාවේ සිංහල, දෙමළ මුස්ලිම් ජනතාව ගෙන් බහුතරය දකුණු ඉන්දියානු දෙමළ හෝ  ද්‍රවිඩ ජනතාවෙන්  (Dravidian) පැවත එන්නන් යයි මතවාදයක් සිඝ්‍රයෙන් පැතිරී යාමයි. මේ මතය මිට ප්‍රථම  ඊලම් යුද්ධය පැවති  කාලයේ සිට  තිබූ එකකි. ඊළාමය යනු ලංකාවට කියූ තවත් නාමයක් බව මෙන්ම ලංකාවේ මුල් පදිංචිකරුවන් සිංහලයන් නොව මහාවංශයේ  යක්ෂ, නාග ගෝත්‍රිකයන් ලෙසින් වරදවා හැඳින්වූ දකුණු ඉන්දීය ද්‍රවිඩයන් බව ඊලාම් යුද්ධය කාලයේ දෙමල ජනතාව  අතර බහුලව ප්‍රචලිත වූ මතයක් විය. වර්තමානයේ සිංහල විද්වතුන්ගෙන් සමහරක්ද ඒ මතයට සහය දක්වති. එයට අවශ්‍ය සාක්ෂි සපයනුයේ මේ මේ බ්ලොග් අඩවියේ සඳහන්  DNA පර්යේෂණයක් පිළිබඳව වන සටහනයි. 

මෙය සැබවින්ම වටිනා පර්යේෂණයකි.මහාචාර්ය  කමනි තෙන්නකෝන් පවසන්නේ සිංහල, දෙමළ සහ වැදි  ජනගහනය  අතර ජානමය සමානකම් පවතින බවයි. එනිසා ශ්‍රී ලංකාවේ  මුල් ජනගහනය ද්‍රවිඩ විය හැකි බවටත් සිංහලයන්ට ඇත්තේ ඔවුන් සමග භාෂා වෙනස් කමක් පමණක් බවත් ඇය සඳහන් කරයි. ඔවුන් මේ සඳහා  දෙසියයක  පමණ පිරිසක් නියැදියක් ලෙස ගෙන   DNA පරීක්ෂාවක් කරති.   මේ අධ්‍යයනයෙන් සිංහලයන්ට දකුණු ඉන්දියානු දෙමල ජනතාව සමග ජාන සමානකම්  69.86% තිබෙන බවත්  ශ්‍රී ලංකාවේ දෙමළ  ජනතාවට  සිංහලයන්  හා ජාන  සමානකම 55.2% බවත් තහවුරු වන බව පර්යේෂකයන් පවසති. මේ නිසා සමහර දෙමළ සහෝදරවරු තර්ක කරන්නේ සියලුම සිංහලයන් පැවත එන්නේ ඔවුන්ගෙන් බවත් සිංහල යනු පස්වන හෝ හයවන සියවසේ සිට  පරිණාමය වූ  භාෂාවක් බවත්ය. ලංකාවේ මුල් බෞද්ධයන් වූයේ දමිළ  ජනතාව බවද උතුරු ප්‍රදේශයේ ඇති බෞද්ධ නටබුන් වලින් එය තහවුරු වන බව ද ඔවුහු තව දුරටත් පවසති.  ෆේස්බුක් සමාජජාලයේ ලෙනිටා ඩීන් මේ ගැන කල සාකච්ඡාවට මමද සහභාගී වුනෙමි. (යොමුව මෙතැන ෆේස්බුක්)මේ හේතුව අනුව ඔවුන් තර්ක කරන්නේ ද්‍රවිඩ ජනතාව ලංකාවේ මුල් පදිංචි කරුවන්  බවත් සිංහලයන් (විජයගෙන් පසු) පසුව පැමිණ ඔවුන් හා මිශ්‍ර වූ බවත්ය. 


මම ඇගේ තර්කයට මූලික වශයෙන් විරුද්ධ වුනෙමි. එක හේතුවක් නම්  DNA පරික්ෂණයට සහභාගී වූ නියැදිය ප්‍රමාණවත් නොමැති වීමයි. අසූ කොටියක් පමණ  දෙමළ ජනතාවක් තමිල්නාඩුවේ වෙසෙති. ද්‍රවිඩ හෙවත් Dravidian සම්භවයක් ඇති ජනතාව කේරලය, අන්ද්‍රා ප්‍රදේශය හා  කර්ණාටකයේද  ජිවත් වන හෙයින් ද්‍රවිඩ ජනතාව ලෙස   ගතහොත් එය අති විශාල සංඛ්‍යාවකි.  ලංකාවේ ජනගහනය ලක්ෂ විසි හතරක් පමණ වේ. එනිසා ද්‍රවිඩ සම්භවය  ඇති දෙසීයක්  සොයා ගැනීම අතිශයින් මිශ්‍ර ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ සුළු දෙයකි. 

මේ පර්යේෂණය මග හරින කරුණු බොහොමයක් තිබේ. කාලිංඝ මාඝගේ ආක්‍රමණයෙන් හා ඉන්පසු පැමිණි සොළී ආක්‍රමණ වලින් ඉතිරි වූ ජනතාව, ඉන්පසු අවධියක කේරළයෙන්  හා  මලබාරයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූවන්ද , නායක්කර් වන්ශිකයන්ද ඉංග්‍රීසින් විසින් ගෙන් වූවන්ද ඔවුහු අමතක කරති.   


දෙවැනි හේතුව හෙවත් මගේ තර්කණය හෙවත්  උපකල්පනය (hypothesis) වන්නේ මෙයයි. වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් හෝ හෝමෝ සේපියන් පුර්වජ  මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (ලෙනිටා ඩින් එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරන්නීය.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා හා වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා හා උපකරණ අනුව  ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය. එනම්  ලංකාව ඉන්දියාවට භූගෝලීය වශයෙන් සම්බන්ධව තිබු  කාලයේ සිට ලංකා භුමිය ජනාවාසව  පැවතුන බවත් ලංකාවේ මුල් පදිංචි කරුවන් ඉන්දියාවේ තමිල්නාඩුවට, කර්ණාටක ආදී ප්‍රදේශ වලටද   පොලිනිසියාවට, ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට මෙන්ම ඉන්දියන් අන්දමන් දුපත්වලටත් විසිරි ගිය බවත්ය. ඔවුන් ලංකාවට සංක්‍රමණය වූයේ අප්‍රිකානු ප්‍රදේශ වලින් විය හැකිය.  ඒ කියන්නේ මේ සිංහලයන්ගේ හෝ ලංකාවාසී ජනතාවගේ  මුල් පදිංචිකරුවන්ය.

 මෙම ලාංකිකයන්ට පසුව විජයගෙන් පැමිණි හත් සියයක පමණ සුළු පිරිස සම්බන්ධ වන්නට ඇත. ප්‍රක්‍රිට් භාෂාව මෙන්ම තවත් වහරයන්ද දියුණුවී එකතුවී සිංහලය නම් භාෂාව විකාශනය වන්නට ඇත. සොළි ආක්‍රමණයන්ගෙන හා පසුව පැමිණි යුරෝපීයයන් ගේ ආක්‍රමණයෙන් මේ ආදී සිංහලයන්/ලාංකිකයන්  පසුව  බහුල වශයෙන් ඌව වෙල්ලස්සට  සහ උඩරටට සංක්‍රමණය වූහ. වෙල්ලස්සේ දී ඉංග්‍රීසින් විසින්  ගම්  බිම් ගිනි තබමින් මරා දැමූ බහුතරයක් මේ මුල් ලංකාවාසීන් යයි මම සිතමි. ඉංග්‍රීසින් හා ස්පාඤඤ වරුන්ද ඔවුන් යටත් කරගත් රටවල මුල් පදිංචිකරුවන් සෑහෙන ප්‍රමාණයක් විනාශ කිරීමට වග බලාගත්හ. ඔවුන්ගේ පාලනයන්ට මූලික ප්‍රතිවිරෝධය එන්නේ ඔවුන්ගෙන් බව මේ අධිරාජ්‍යවාදීන් දත්හ.


මේ  ආදි  ලාංකිකයන් හෝ සිංහලයන් ගෙන්   පැවතෙන ජනතාව අදටත් බදුල්ල , වැලිමඩ සිට නැගෙනහිර දක්වා ම ජිවත් වෙති. ඔවුන්ගෙන් සමහරක් සුද්දන් ගෙන් ජීවිතය බේරා ගැනීමට නැගෙනහිරට පලා  විත්  නැගෙනහිර පදිංචිව සිටි අරාබි වෙළෙඳුන් ගෙන් මුස්ලිම් ආගම වැළඳ ගෙන වෙස් වලා ගන්නට ඇති බවටද මතයක් තිබේ. (සාක්ෂි සොයා ගත යුතුය). මේ ආදී ලාංකිකයන් වඩා සමාන වන්නේ ඉහත කී  පොලිනිසියාවේ, අන්දමන් දුපත් , නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ මුල් පදින්චිකරුවන්ටය.  


මේ ඇවිලෙන වාදයට තවත් ගින්නක් එකතු වී තිබේ. ඒ බුදුන් හෙවත් සිද්ධාර්ථ කුමරු උපන්නේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ  යන්නයි.  ඒ සඳහා බොහෝ යු ටියුබ් වීඩියෝ තිබුනද ප්‍රධාන සාක්ෂිය වැන්නක්  තිබෙන්නේ  බ්‍රිතාන්‍ය පුස්තකාලයේ බව පිරිසක් පවසති.


 ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ ඉන්දියානු රජය යටත් විජිත පාලන සමයේදී සේවයෙන් පහකළ ජර්මන් පුරාවිද්‍යාඥයා සම්බන්ධවය. අලොයිස් ඇන්ටන් ෆියුරර් වන මොහු ගෞතම බුදුන් උපන්නේ ලුම්බිණි නගරයේ යයි සොයා ගත්  තැනැත්තායි. ඉන්දියානු රජය වෙනුවෙන් මදුරා පුරයේ කැණීම් කළේ ඔහුය. ඔහු වංචනිකයෙක් බවට (වෙනත් ශීලා ලිපි සම්බන්ධව) ඔප්පු වීම නිසා ඉන්දියානු යටත් විජිත රජය ඔහුව ඉවත් කරන ලදී. ඔහු සමහර ශිලා ලිපි වලට තමන්ම අකුරු එක්කර ඇති බවට චෝදනා පවතී. මේ චෝදනාවම මහාචර්ය  සෙනරත් පරණවිතාන මහතා කෙරෙහිද පවතී. 


මේ කතාවේ තවත් සාධකයක් නම් ජොහැන්නස් ජෝර්ජ් බුලර් ගේ ඉරණමයි. බුලර් ඇන්ටන් ගේ ගුරුවරයා වන අතර ඔහු  පුරාතන ප්‍රකිත් භාෂාව ට අදාළ (ද්‍රවිඩ මිතුරන් කියන භාෂාවමය)  ශබ්ද කෝෂයක් පරිවර්තන කල අයෙකි. ඔහු අභිරහස්  ලෙස වැවකට වැටී මිය ගියේය. 


මම  මේ සිදුහත් කුමරු  ශ්‍රී ලංකාවේ උපන්නේය යන  අදහසට විරුද්ධ අයෙක්මි. මගේ ඉන්දීය සංචාරයේදී බුදුන්වහන්සේ  වැඩ සිටි බොහෝ තැන්වලට යාමට මට හැකිවුණි. මා සිතන්නේ ඉතා ලෙහෙසි කාබන් පරීක්ෂණ වලින් ඒ නටබුන් කොයි කාලයේද කියා ඔප්පු කල හැකි බවයි. එවැනි නටබුන් ශ්‍රී ලංකාවේ නැත.


එසේම එසේ සිද්ධාර්ථ කුමරුන් ලංකාවේ උපන්නේ  නම් ඔහු උපදින්නට  ඇත්තේ ඉහත කී  ආදි  ලාංකිකයන්ගේ පවුලකය. එසේ නම් සිද්ධාර්ථ උත්පත්ති කතාව  ගැන මෙන්ම බුදුන්  වහන්සේ ගැනද ජනකතා පැතිරෙනු ඇත්තේ එහි හෝ දකුණු ඉන්දියාවේ මිස දැන් පවතින බිහාරයේ නොවේ. එසේ නම් අපගේ ද්‍රවිඩ මිතුරන් කියන ඔවුන් බෞද්ධයන් යයි පවසන කතාවේ සත්‍යතාවයක් තිබිය හැකිය. එනම් බුදුන් උපන්නේ ලංකාවේ ද්‍රවිඩ පවුලක හෝ ආදිවාසී සින්හල ලාංකික පවුලකය. 

එසේම මේ පිරිස මේ මස 26 වනදා සාකච්ඡාවක් සංවිධානය කර තිබේ.  ඔවුන්ගේ නීතිඥ මහතා වන වජිර ධනපාල මහත් ඒ සඳහා සහභාගී වන ලෙස ආරාධනයක්ද එවා තිබේ. ඔවුන් බ්‍රිතාන්‍ය පුස්තකාලය පුස්කොල පොත් ලංකාවෙන් ගෙන ඒම  ගැන නඩු පවරන බවද පවසති.  මේ සංවාදයට එක්වන ලෙස ආරාධනය කරමි. 


එයට මගේ අදහස් හා  හිටපු ගුරු විදුහල්පති වරයෙකුද වන පෙමස් ගුණසිංහ මහතාගේ අදහස පහත පල කරමි. (ෆේස්බුක් සංවාදයකි ).


// අජිත් - මට හිතෙන්නේ මේ පුස්කොළ පොත් ඔවුන් ගෙනාවේ නැත්නම්, ලංකාවේ තිබ්බ නම් ඒවා එක්කෝ ගිනි තියල. නැත්නම් කාට හරි විකුනලා. මෙහෙ (ලන්ඩනයේ) තිබුන නිසා බේරුනා කියන එකයි මගේ අදහස.




පෙමාස්  ගුණසිංහ: මාත් එකගයි. වර්තමානයේත් ලංකාවේ පුස්කොල පොත් විකිණීයමින් තිබෙන බව ගමේ තිබුණ පැරණි පුස්තකාල වලට සිදුවූ දෑ ගැන සිතන විට පෙනී යනවා. මගේ මුත්තකු සතුව  තිබූ පැරණි පුස්කොල පොත් වලට කුමක් සිදුව ඇත්ිද යන්නවත් නොදනිමි. මා සරසවියේ සිට එන විට ඒ සියල්ල නොතිබිණි. උග්ගල් අලුත්නුවර විවේකාරාම විහාරයේ ඉනිදරතන හිමිපාණන් වහන්සේ ගේ අපවත් වීමෙන් අනතුරුව කාමරයක් පුරාවා තිබූ පුස්කොල පොත් ගොනුවම පන්සලේ භාරකාරත්වය පැවරී තුබූ පොඩිහාමුදුරුවන් රවටා කිසියම් වෙළෙන්දකු විසින් ගෙන ගොස් තිබුණා. (ඒවා වෙනුවට හාමුදුරුවන්ට බල්බ තොගයක් දී තිබුණා) ගමේ පැරණි වෙදමහතකු සතුව තිබූ පුස්කොල පොත් වෛද්‍යවරයාගේ අභාවයත් සමගම අතුරුදහන් වී ගොසින් තිබුණා. එම පොත් එකක් රුපියල් 10000 ගණනේ ඉල්ලා  තිබුණ බව සාකච්ඡා අවස්ථාවක අපට පැහැදිලි කළා. මේ වෙදපොත් ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධව මාවෙත ඉදිරිපත් කළ විස්තරයේ කොටසක් යූටියුබ් චැනලයේ තිබෙනවා. පසු දින කීපයකට පසුව හදිසියේම වෙදමහතා අභාවප්‍රප්ත වුන බව ආරංචි වුනා. අර පොත් කොහේ තියන්න ඇතිදැයි විමසමින් වෙද බිරින්දෑ අපේ නිවසට පැමීණ මා විමසුවා. තවත් අවස්ථාවක වෙනත් පැරණි වෙදමහතකු සතුව තිබූ පුස්තකාලයක පුස්කොල පොත් වරින් වර විකිණි යමින් ඇති බව අසන්නට ලැබුණත් ඒවා බේරා ගන්නට හැකිවුනේ නෑ. මේ උදාහරණ සලකන විට යටත්විජිත සමයේ ගෙන ගිය ඒවා ලොව කොහේ හෝ පුස්තකාලයකවත් සුරක්ෂීතව පැවතීම වාසනාවක් බව මට ද හැගියනවා. ඓතිහාසික ග්‍රන්ථ හා වස්තු කාලය දේශය නොසලකා රැකිය හැකි තැනක රැකියයතු මානව උරුමයන් නොවේද යන කල්පනාව මට ද ඇතිව තිබෙනවා. මා ඉහතින් කියන ලද ගමේ තිබී අවතැන්ව ගිය පුස්කොල පොත් ද ලොව කොතැනක හෝ සුරක්ෂිතව තිබෙවි. කිසියම් දිනක විද්‍යාර්ථීන්ට හමුවේවියි සැනසෙමි.

 ඔබ පවසන පොත් ගැන මගේද මතකයේ යාන්තමට තිබෙනවා. බළන්ගොඩ පන්සල් පුස්තකාලයක තිබූන බවට ද මතකයේ පවතිනවා. මෙවර ලංකාවට ගිය පසුව  ඒ ගැන සොයන්න දැඩි පෙළඹිමක් ඔබේ ලිපිය නිසා ඇති වුනා. මා පැවසූ ඇතැම් විස්තර අඩංගු, ගමේ දැනමුත්තන් සතුව තිබූ පුස්කොල පොත් ඇතුළු ලේඛන සියල්ලම පාහේ ඒ පැරැන්නන්ගේ අභාවයන් සමගම අවතැන්ව ගිහින් පැවතීම ලොකු විපතක්. හටන්පල "ආචාරිපංගුවේ" පැවති "වෛජයන්තය" මෙන්ම ලේකම් මහතා ළඟ පැවති "මෛමතය" වැනි බොහොමයක් පැරණි පුස්කොල ග්‍රන්ථ ද සොයන්නම බැරිව ගිහින්. මේ පොත් දෙකේ තවත් පිටපත් කොහෙන් හෝ හමු වී තෙන්නකෝන් විමලානන්දයන් සහ ආනන්ද කුමාරස්වාමි වැනි වියතුන් කියවා ඇති බව ඔවුන්ගේ පොත් කියවන විට හමු වෙනවා. එහෙත් ඒවායේ උපුටා දක්වා ඇති විස්තර ප්‍රමාණවත් නැති බව පෙනී යනවා. ඔබට අලුත්නුවරට තදාසන්න හටන්පල ගමට යන්නට අවස්ථාව ලැබී නැති බව සිතන්නට හැකියි. හමුවී ඇත්තේ ද මෑත දී රාජකාරි පැවරී ඇති තරුණයන් බවද පෙනී යනවා. රාජසිංහයන් සම්බන්ධව මෙන්ම යකඩ වානේ කර්මාන්තය, විශේෂයෙන් විවිධ වානේ ආයුධ පණ පවීම සම්බන්ධව තොරුතුරුද හටන්පල පැරණියන් වෙතින් සොයන්නට ඉඩ තිබුණා. කාලය විසින් බොහෝ මූලාශ්‍ර අපට අහමිව ගිහින් උත්තරවිහාර වංශය(උත්තර විහාරට්ඨ කතාව) ගැන මහාවංශයේ සටහන් තිබුණත් අදාල ග්‍රන්ථය සොයන්නට බැරිවම ගිහින්. එහි මේ ප්‍රදේශයට අදාලව සැඟව ඇති බොහෝ දේ තිබෙනු නිසැක බව පෙනීයනවා. ඒවා සැඟව ගිය විස්තර පමණක් වීම කණස්සල්ලට හේතුවක්, ඔබට හැකිනම් අදාල ග්‍රන්ථ පිටපතක් බ්‍රිතාන්‍යයේ පවතී දැයි සොයා බලන ලෙස ඉල්ලා සිටිමි.

- පෙමාස් ගුණසිංහ

Thursday, 16 January 2020

කාම්බෝජ සංචාරය 1 - සංචාරක විධායක මාර්ගෝපදේශක නිලධාරී

අහස්  ගව්වෙන් එහා ලෝකය බ්ලොගය කරන සහෘදයා අනුරුද්ධ වැලිගමගේ නිතර කියන කතාවක් තමයි කාම්බෝජ සංචාරය ගැන ලියන්න කියල. මීට  කලින් ලංකාවේ  ගිය වෙලාවක දඹුල්ලේ ගයිඩ් මහතෙකු ගැන මෙතැන ලීවා. මේ දවස් වල බුකියේ සඳහන් වෙන සංචාරක  ක්ෂේත්‍රයේ නව තනතුරු කිහිපයක් නිසා සංචාරක මාර්ගෝපදේශකයන් ගෙන්ම කතාව පටන් ගන්න හිතුව. හැබැයි නිකම්ම ටුවරිස්ට් ගයිඩ් හරි සංචාරක මාර්ගෝපදේශකයෙක් කිව්වහම තරහ යයිද දන්නේ නැහැ.. ප්‍රතිචාර දක්වන්නෙක් වගේ  ලියන්න බෑ බෑ වගේ. හිත රිදෙයි ද දන්නේ නැහැනේ. ඒ නිසා මම ඒ අයව හඳුන්වන්නම් සංචාරක විධායක මාර්ගෝපදේශක නිලධාරීන්  කියල.

පින්තූරයේ ඉන්නේ මම කාම්බෝජයේ දී හයර් කරපු එහෙම නැත්නම් වෙන් කරගත් සංචාරක මාර්ගෝපදේශක මහතා. මෙයා ගේ දවසේ මිල ඇමෙරිකන් ඩොලර් 35 විතර. ඒ ගානේ වරදක් නැහැ මොකද මෙයා සෑහෙන්න උගත් කෙනෙක්. ඉතාමත් හොඳට ඉංග්‍රීසි භාෂාවෙන් ඉතිහාසය ඇතුළු වෙනත් අවශ්‍ය  දේවල් විස්තර කරල දෙන්න ඔහුට හැකියාව  තිබෙනවා.


මම දුටුව දේ තමයි හැමෝටම මේ මාර්ගෝපදේශක  කාර්යය කරන්න කාම්බෝජ රජය ඉඩ දෙන්නේ නැතිබව. මේ මාර්ගෝපදේශකයන් ට   දීල තිබෙනවා යුනිෆෝර්ම් එකක්. ඇත්තටම ඒක කහ කමිසයක්. මාර්ගෝපදේශකයන  හැමෝම අඳින්න ඕනේ ඒක . ඒ සමගම ඔවුන්ට බලපත්‍රයකුත්   නිකුත් කරනවා. සංචාරක මාර්ගෝපදේශක  හැඳුනුම් පතකුත් එල්ල ගන්න ඕනේ. ඒක  තියෙන අය ට තමයි නිත්‍යානුකූල ලෙස ඒ කාර්යයේ  යෙදෙන්න පුළුවන්. සංචාරකයන්ටත් ඔවුන්ව දැක්ක ගමන් හඳුනා ගන්න ලෙහෙසියි. 

ලංකාවේ මෙහෙම තියනවද දන්නේ නැහැ. අපිට එක පාරක් මාතර  වෙහෙරෙහේන  විහාරයේදී බලෙන් ගයිඩ් මහත්මයෙක් ඇඟට ගොඩ වුනා. අපේ පස්සෙන්ම  ඇවිත් බැරි බැරියා ජර්මන් සහ ඉංග්‍රීසියෙන් විස්තර කියල (අපි අයින් වෙලා එපා කියල  ගියත්) අන්තිමට විශාල මුදලකුත් ඉල්ලුව. ඒ වගේ දේවල් වැළකෙනවා බලපත්‍ර නිකුත් කලොත් අයි ඩී එකක් එක්ක.



කාම්බෝජයේ  සංචාරක ත්‍රී වීල කියන්නේ විශාල ඉඩ කඩක් තිබෙන ඒවා. මෝටර් සයිකලයකට  කරත්ත කෑල්ලක්  ගහල හදල තියෙන්නේ. සුව පහසුයි. හතර වටේම හොඳට බලාගෙන ගිය හැකියි . කාම්බෝජ ගයිඩ් මහත්මයයි මේ අපූරු ත්‍රී වීලයේ රියදුරු මහත්මයයි එක්ක කෑමට ගිය වෙලේ මට දැන ගන්න ලැබුනේ සංචාරකයෙක් අරන් එනවා නම් ඔවුන්ට නොමිලේ කෑම දෙන බව.  නමුත් මම ගයිඩ් මහත්මයට අරාධනා කලා මාත් එක්කම කෑම ගන්න කියල මම ගෙවන නිසා. එක ආපනශාලාවකදී පමණක් ඔවුන් ඒකට ඉඩ දෙන්න බැහැ  කිව. (පින්තුරයේ තියෙන්නේ ඒක). හේතුව ජපාන සංචාරකයන් කණ්ඩායමක් ඉන්නවා කියල. අනික මාර්ගෝපදේශකයන්ට වෙනම  තැනක් සූදානම් කරලා තියනවා කියල කෑමට . මම කිව්වා බැහැ ,  එහෙම නම් මම යනවා කියල. ඒ ගමන ඔවුන් කැමති වුනා ගයිඩ් මහත්මයටත් මාත් එක්කම කෑම ගන්න දෙන්න.

මේ ගයිඩ් මහතා ටිම්, පොල්පොට් ගේ පාලන කාලයේදී ගමකට යවල තියනවා අනිත් අය වගේම. පොල්පොට් ට අනුව නව අධ්‍යාපනය දෙන්න හෙවත් ගොවිතැන්  කරන්න. එහෙදි  බඩගින්නේ ඉඳල සෑහෙන්න දුකක් විඳලා  තිබෙනවා කන්න නැතිව. ළමයි හුඟක් එක ගොන්නට පොඩි ගම ගෙවල් හා ශාලාවල ගොනු කරලා. කැඳ කෝප්ප දෙකයි දවසටම. වැඩ කලේ නැත්නම් ගහනවා කෙවිටකින්. සමහරු  මීයෝ , හූනෝ පවා බඩගින්නට කාල. ගුරුතුමෙක් වන ඔහුගේ පියා මරා දමා  තිබෙනවා  ඒ කාලෙම. මව සහ සොයුරිය  බඩ ගින්නෙම මිය ගිහින්. ඉතින් ඔහුට කෑම වේලයන්   කිහිපයක් අරන් දෙන්නට හැකිවීම  සහ එකට හිඳගෙන  කතා බහ කරමින්  කෑම ගන්නට හැකිවීම මට ගෞරවයක් කියල මම ඔහුට කිව්වේ.

ඊළඟ  කතාව මම නිතර කියන එකක්. ලංකාවේ  පින්නවල බලන්න  රුපියල් 5000 පමණ, සීගිරියට 6000 , අනුරාධපුරයට 15000 වගේම  අලි හැම වෙලේම නැති වස්ගමුවටත් 5000 වගේ ගෙවන්න ඕනේ. ලංකාවේ  සංචරක ව්‍යාපාරය ඒ මුදල් වලින් නගාසිටවීමට හැකි  නම් ඒ ගණන් වල අවුලක් නැහැ. නමුත්  එහෙම දෙයක් පෙනෙන්න නැහැ.  සංචාරක පහසුකම් හොඳ තත්වයේ නැහැ.

දැන් කාම්බෝජයේ  අංකර්  වත්  (Angkor Wat ) විහාර හා දේවාල සංකීර්ණය පුරාණ  ලෝකයේ පුදුම හතෙන් එකක්.  අති විශාල ඉඩ ප්‍රමාණයක් තුල  පැතිරිලා තිබෙන නිසා එක දවසකින් බලල ඉවර කරන්න අපහසුයි. එය නැරඹීමට  දවසකට ඩොලර් 37 ගන්නවා. ඒ කියන්නේ රුපියල් 6700ක්   විතර.  දවස් දෙකක් නම් ඩොලර් 60, තුනක්  නම් 72යි.. ගාන අඩුවෙනවා. ඒ ගානෙ  ඇත්තටම වරදක් නැහැ. එපමණට බලන්න පුළුවන් දේවල් තිබෙනවා. අතීත ගෘහ  නිර්මාණ ශිල්පයෙහි විස්මිත  සමත්කම්,  ඉතිහාසය සම්බන්ධව උගත හැකි රසවත් සහ  වැදගත් කරුණු රාශියක් තිබෙනවා. ඒ වගේම පරිසරයේ සුන්දරත්වය ගත්තමත් ඒ  මිලේ වරදක් නැහැ. ඒ වගේම සංචාරකයන්ට සැලකීම සහ පහසුකම් අතිනුත් හොඳයි.



අනිත් කරුණ තමයි රා නිෂ්පාදනයට ඉඩ දීම . කාම්බෝජයේ රා පෙරලා කෝප්ප වල දාල ඩොලර් එකකට සංචාරකයන්ට විකුනනවා. එතනින් අදායම් මාර්ගයකුත් හැදිලා තිබෙනවා. නන්දන වීරරත්න සහෝදරයා කියල තිබෙනවා දැක්ක  ආචාර්ය ඇන් ඇම් පෙරේරා රා මදින්න බලපත්‍ර දෙන්න හැදුවය, නමුත් යූ ඇන් පී සිරි ලංකා මන්ත්‍රී රොත්ත   විරුද්ධ වුනාය කියල ආගමික, ශිලාචාර හේතූන් මත . වයින් විකුනන්න පුලුවන්නම්, ඔවුන්ට  විස්කි බොන්න පුලුවන්නම්  රා මැදලා  විකුනන්න දුන්නම හෙණ ගහනවද ? නව ආණ්ඩුව ඒ වගේ දෙයක් ඇති කලොත් නව අදායම්  මාර්ගයකුත් හැදෙයි.

භාතිය හා සන්තුෂ් කියන්නේ මම කැමති ගායක කණ්ඩායමක්. ඔවුන් අසර්බයිජාන් ද කොහෙද ගිහින් දිනුව  කාලේ ඉඳන්ම තමයි  මම ඔවුන් ගේ  ගීත අහන්නේ. , සිරි සඟබෝ මාලිගාවේ වගේ  නව පර්යේෂණාත්මක ගීත වගේම උමාරියා එක්ක කියන ගීතත් නියමයි.  ඔවුන් නවතම දේ අත්හදා බැලීමට අමුත්තන්  නොවෙයි . එනිසා ඔවුන් සංචාරක  ප්‍රවර්ධන අධ්‍යක්ෂකවරු වරු වීම ගැන සතුටුයි. .

එසේම "අහංකාර නගරේ " කියන ගීතය රස වින්ද එයට  සාද වලදී නටපු කෙනෙක් ලෙස  ප්‍රසිද්ධ ගායකයෙකු හා සමාජ ජලා ක්‍රියාකාරික ඉරාජ් සම්බන්ධව නොයෙකුත් කතා කීවත් ඔහුත්  දක්ෂතාවන් ඇති අයෙක්  බව පිලි ගන්න ඕනේ.

ඔවුන්ට ලංකා සංචාරක කර්මාන්තයේ  ඇති ප්‍රශ්න දෙස නව මානයකින් බලා දේශීය සහ විදේශීය සංචාරක ව්‍යාපාරය තව නගා  සිටුවීමට  හැකිවේය  කියන සුභවාදී  ආකල්පයකින්  බලන්න කැමතියි.
යොමු (ලින්ක්ස් ) බලන්න නම්  බ්ලොගයට යන්න වෙයි.
දඹුල්ලේ ගයිඩ් 


Monday, 13 January 2020

පැරිස් වලාකුළු - මංජුල වෙඩිවර්ධන


මිලාන් කුන්දේරා ගේ The unbearable lightness of being කියන පොත මම සෑහෙන කාලෙකට කලින් කියවපු පොතක්. ධම්මිකා ඒ පොත ගැන කතා කරන්නේ මොකද කියල බැලුව. මංජුල වෙඩිවර්ධන ගේ අලුත්ම පොත පැරිස් වලාකුළු කියවල. තවම මට පොත ලැබුනේ නැහැ. ලැබුන ගමන් මමත් මොකක් හරි ලියන්නම්. මේ ධම්මිකා  චාන්දනී ගේ අදහස.

***************************************************************
පැරිස් වලාකුළු දෝත දරා සිටි මා වලාකුළු ගොන්නක පැටලුනේ මටත් නොදැනිමය. ඒ වලාකුළු මාවන් රැගෙන ඒ ඉරි තැලුණු අහස දිගේ පැරිස් නුවරට පාව ගිය අයුරු අපූරු අත්දැකීම කි. ඒ නුවර බැලූ බැලූ  හැම තැනම සබන් බෝල සිහින පාවෙමින් තිබුන අයුරු චමත්කාර ජනකය.

ඒ සබන් බෝල ඇගේ වැදී, හිතත් හොදටෝම චප්ප වී මා ඇදන් වැටුණේ උදම් වූ රල නැගෙන, බිදෙන සාරත්‍ර ගේ හිත දිගේ දිවයන ලා ෂපෙල් වීදියටය. කෝපි බොමින් එහි සැරි සැරීම ආශ්වාදජනක විය.

ඒ අවට තිබූ එක් සබන් බෝලයකට එබිකම් කල මා දුටුවේ  කනකපුරම් ය. එතනින් ඔබ්බට තිබුණේ සිහිනයක් නොව, හද පාරවන යතාර්ථයකි.

ඒ ඔස්සේ ඇදුනු මගේ හිත උතුරුකරයේ අතරමං විය. කිසි දිනෙක ඒ පිලිබඳව මින් පෙර හිතන්නට ඉඩ නොලද අවකාශයක, හිත කීරි ගැසී පැරිස් නුවර අහස මෙන්ම ඉරි තැලී ගිය සෙයකි. බොහෝ වේලාවක් A-9 පාර දිගේ ගිය මගේ හිත අතරමං වී නන්නත්තාර ම වී ගියේ, ඉතිහාසයේ දරාගත නොහෙන බර හිස මතට පාත් වූ නිසා විය හැක.

ජීවිතේ කිසිම දිනෙක ජාතිය, ආගම  ප්‍රශ්නයක් නොවූ මට සාන්දිලන් ලා ගැන ගැඹුරට සිතීමට අවකාශ ජීවිතයෙන් ලැබුණේ නැත. ඒ ගැන අධ්‍යයනය  මගෙන්  බැහැර වූයේ  මගේ වෘත්තීය මිනිසුන් උදෙසා නොවන නිසා විය හැක.

මෙතෙක් කල් මා සිතා සිටියේ සිහින යනු  සිහින පමණක් ම වන බවය. එහෙත් ඒ අතර අනවසර සිහිනත් තිබෙන බව සාරත්‍ර කියන විට, එය එසේම බවට තර්ක අවශ්‍ය නොවීය .

දේදුන්නකින් වර්ණ පැහැර ගනිමින් අවකාශයේ පාව යන සබන් බුබුළු සිහිනම බව තේරුම් ගැනීමට මා පොලඹවන ලද්දේ සාරත්‍ර විසිනි .

අතර මග බිදී යන සබන් බෝල ගැන මා මහත් සේ සංවේදී  වූ සෙයකි. මගේ හිත දුකින් පිරී ඇත. ඒ සමගම බොහීමියානු හීන වලට යටි හිතේ කැමත්තකි.

ජීවිතයේ දරාගත නොහෙන සැහැල්ලුව සමග පිහාටුවක් වන් ජීවිතය ගැන සාරත්‍ර  කොතරම් කතා කරාද කියතොත් , ඔහු මාව කුන්දේරා ගේ හිත ඇතුලට තල්ලු කර දෑමීය.

මිලාන් කුන්දේරා නම් වූ ඒ අපූරු  චෙකෝස්ලෝවැකියානු ජාතික , ප්‍රංශ පුරවැසියකු වූ ලේඛකයා ගේ  මනසට ආදරය කරන්නට සහා ඔහුගේ නෙතින් ලෝකය දකින අයුරු අධ්‍යයනය කරන්නට මට වුවමනා වීමත් අපූරු සිද්ධියක් ම වේ.

සාරත්‍ර කොතරම් කුන්දේරා ගැන වර්නනා කලේද කියතොත් , පැරිස් වලාකුලේන් බිමට පාත් වුනු මගේ ඊලඟ පියවර වූයේ ජීවිතයේ දරාගත නොහෙන සැහැල්ලුව කියවීමට පටන් ගැනීමයි. ( downloaded the English translation  - The unbearable lightness of being ).

ඉංග්‍රීසි බස නොදන්නා කෙනෙකු මෙම පැරිස් වලාකුළු මත එල්ලී එහා මෙහා පාවෙන මෙලැන්කොලිය හා එනිග්මාව අස්සේ අතරමං නොවේදැයි මට නැගුණු පැනයකි.

අපට හුරු පුරුදු වැහි වලාකුළු වලට වඩා වෙනස් වූ පැරිස් වලාකුළු අතිවිශිෂ්ඨ යැයි  කිව යුතුය .

යහළුවකු මාර්ගයෙන් හදුනා ගත් මංජුල වෙඩිවර්ධන නම් වූ ලේඛකයා ගේ ලෝලියකු බවට මේ වන විට මා පත්වී ඇති  බවද සතුටින් කියමි.


- ධම්මිකා චාන්දනී .

Friday, 10 January 2020

මේ හඬ පටය හැර තවත් හඬ පට තිබේද ස්වාමීනි

හඬපට පිළිබඳව සැලකිල්ලක් නොදක්වා සිටියේ ඒවායේ ඇත්තේ ජුගුප්සාජනක කතා යයි සිතාය . එක අතකට අනුන්ගේ ඕපදූප අසා පලක් නැති අතර අනිත් අතට රන්ජන් වැනි අයෙකු මෙය හිතාමතාම කර ඇති දෙයකි යයි ද සිතෙන නිසාය. එජාපයේ සිටියදී ඔහුට වුනු කෙනෙහිලිකම් මැද  පසුගිය  යහපාලන රජයේ වැදගත් ආයතන වන අධිකරණය සහ පොලිසිය මෙහෙයවූ සැඟවුණු නායකයා මොහුද යයි සිතෙන තරමට ඔහු ගේ ක්‍රියා කලාපය විශ්මය ජනක ලෙස දූෂිත බවට අදහස් පළවේ. මට නම්  පෙනෙන්නේ මුළු මහත් සමාජය පුරාම ඉහ වහා  ඇති වංචා, දූෂණ, පාවා දීම්  සහ දේශපාලන බලවතුන් ඇතුළු රටේ ඉහල යයි සම්මත පිරිසකගේ පිරිහීම මේවායින් පෙන්නුම් කරන බවයි.

දැනට හෙළිවී ඇති බොහෝ හඬපට යුඇන්පී නායකයන්ගේ සහ අධිකරණ විනිසුරන් ගේද නළු නිලියන් ගේද වස්ත්‍ර ගලවා දමන ඒවාය. ඇත්තම් පවසනවානම් මේ හඬ පටවලින් මතු වන්නේ  ශ්‍රී ලාංකික සමාජයේම එක්තරා  පැතිකඩකි. එකිනෙකාට මඩ ගසා  ගැනීම වෙනුවට මේවායින් එළිවන කරුණු ගැන පියවරක්  පසුපසට ගෙන විමසා  බැලිය යුතුය. රන්ජන් හා හිරුණිකා අතර හඬ පටයේ ඔවුන් එක්තරා ආර්යාවක් ගැන කතා කරති.

එම ආර්යා ප්‍රකාශය ගැන අපි බුකියේ සරදම් පෝස්ටු හුවමාරු කර ගත්තේ නැත්ද?  මම නම් ඒවාට ඇති තරම් සිනා සුනෙමි. යුඇන්පීයට සාමාන්‍යයෙන් පක්ෂ මිතුරන් පවා ඒවා හුවමාරු කරගනු දුටිමි.

ශිරන්ති රාජපක්ෂ, මෛත්‍රී වික්‍රමසිංහ එසේ අනවශ්‍ය කතා නොකියන බවට රන්ජන්  හා හිරුණිකා දෙදෙනාම එකඟ වෙති. මට මෙතනට හිටපු ජනාධිපති සිරිසේන ආර්යාවද එක් කළ හැකිය. ජේ ආර් ජයවර්ධන ආර්යාවද එක් කළ හැකිය. වර්තමාන ජනාධිපතිවරයාගේ ආර්යාව වතුර වීදුරුවක් ගෙන සාමාන්‍ය ගෘහණියක් හා මවක් මෙන් "තාත්තී දැන් එන්න " යයි කියන වීඩියෝවක් දුටිමි. ඇත්තටම එය දැක මටද යම් සුහදාත්මක හැඟීමක් පහල වුනි. මේ ආර්යාවන් සියල්ලන්ම පටි බේරාගෙන කට වරද්දානොගෙන සිටීම ගැන අපද අගය කළෙමු. පුතාණෝ ට වස්ත්‍රයක් ඇඳගෙන කඩේ යාමට හැකිදැයි ඇතැම් එජාපයට හිතවත් යහළුවන් කතා බහ කළ බව මම දනිමි. මේ සැබෑ තත්වය ම රන්ජන් හා හිරුණිකා ගේ  මුවින් පිට නොවූයේද?

මට ගෝටන් කෙනකු විසින් පහත රන්ජන් - ශෂී විරවංශ හඬපටය ඉන්බොක්ස් කර තිබුණි. ගෝටන් ලා යනුවෙන් මා අදහස් කරන්නේ වර්තමාන ජනාධිපති තුමාට  චන්දය දුන් සහ ඔවුන් පවසන පරිදි ඔහුට පමණක් සහය පල කරන අයටය . ඔවුන්ගේ විශ්වාසය නම් ගෝඨාභය මේ දූෂිත ක්‍රමයන් පිටු දකින ඒවා නිවැරදි කිරීමට යත්න දරන බවයි. එනිසා  ඇතැම් විට අගමැති මහින්ද මහතා හා ඔහුගේ ඇතැම් චක්ගෝල ඇමැතියන් පවා විවේචන කිරීමට ඔවුන් කැමැත්තක් දක්වති.

මේ හඬ පටය මා තෝරා ගත්තේ මෙන්න මේ නෙළුම් යාය සම්මාන උළෙල පිලිබඳ කතාවටය.  හෙන්රි වර්ණකුලසුරිය, ජවිපෙ වී රූපවාහිනිය මෙහෙයවූ  හිටපු ජවිපෙ සාමාජිකයෙකු හා නාවික හමුදා නිලධරයකු මෙන්ම කතුවරයෙකුද බ්ලොග් ලියන්නෙකුද වේ.  ඔහු රාජිත ඇමැති ට විරෝධය පෑමට එදා  උළෙලේදී නැගිට ගිය අයෙකි. ජවිපෙ ට ඒ කාලයේ සහය දුන් මංජුල සමරසේකර ද මේ විරෝධය ට එක්වූ අයෙකි.  මම කලේ ප්‍රධාන  බ්ලොග් සංවිධායක වශයෙන්  ත්‍යාග ප්‍රදානය කළ අමුත්තාට එනම් එදා මේ කියන  රාජිතට සහය වීමයි. මැතිවරණ කොමසාරිස් මහින්ද  දේශප්‍රිය මහතාද, උපුල් සන්නස්ගල මහතාද තවත් වියතුන්ද  සහභාගී වූ මුත් ප්‍රධාන විවේචනය එල්ල වූයේ මෙතනටය.එසේම  ලඟ දී  බ්ලොග් වලට ප්‍රතිචාර දක්වන්නෙකු ශුද්ධ සිංහලෙන් මට බැන වැදුනේ සම්මාන උළෙලට දේශපාලනය ගෙනාවා  යයි පවසමිනි.
ප්‍රශ්නය  වන්නේ ඒ මහතා බුකියේදී සම්පුර්ණයෙන් ම  එජාප විරෝධී කෙනෙකු ලෙස බොහෝ විට අන්තවාදීව හැසිරීම මා දැක තිබීමයි. 
 මා රාජිත පන පිටින් දැක්කේද එදා පමණි.

අද බ්ලොග් සම්මාන උළෙලක්  ක් පවත්වන්නේ නම් හා ගෝඨාභය ජනාධිපති තුමා හෝ වෙනයම් ඇමතිවරයෙක් සහභාගී වන්නේ නම් හා මා  එය සංවිධානය කරන්නේ නම් සහතික පත් දීමට උදව් වීමට වේදිකාවට යාම මට ප්‍රශ්නයක් නොවේ. පැමිණි කාර්යය එය මිස දේශපාලනය නොවන බැවිනි. කිසියම් පිරිසකට උදව් කිරීම සඳහා එංගලන්තයේදී කොන්සර්වටිව් හා කම්කරු පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් හමුවී පුරුදු මට මගේ  දේශපාලනයට අදාල නොවන අය සමග කටයුතු කිරීම කවදාවත් ප්‍රශ්නයක්  කරගත්තේ නැත. එය ප්‍රශ්නයක්  කර ගැනීම මට පෙනෙන්නේ අන්තවාදී ක්‍රියාවක් ලෙසය.


ශෂී වීරසිංහ මෙහි කරන්නේද එයයි.  තම ස්වාමියාගේ ප්‍රශ්නයක් ඇය යහපාලන ඇමතිවරයෙකු සමග සුහදව විසඳා ගන්නවා  විය හැක. නමුත් ඇය කතා කරන්නේ "ප්‍රා " රාජිත සහ ඔහුගේ බිරිඳ සුජාතා ගැනය. ඒ කියන්නේ ඔවුන් ඇගේ හොඳ මිතුරන් විය හැකි බවය. විමල් විරවංශ මහතා පොහොට්ටුවේ මන්ම  ගෝඨාභය මහතා ජනාධිපතිකරවීමේ ව්‍යාපාරයේ ඉහල නයුවෙකි. එසේ නමුදු යම් කාර්යයන් කර ගැනීම සඳහා ඔහු ගේ එම සහජීවනය ප්‍රා රාජිත සමග තිබු බව පෙනේ.

එවිට අපේ දයාබර හෙන්රි මහතාට  මෙන්ම රාජිත  එදා පැමිණි හෙයින් සමහර අයටද  සිදුවූ අර මොකද්ද  මෙව්වා එකට ද,  ඒ  සිදුවූ "කැළලට" ද  අප සමග මරාගෙන මැරෙන වලියට පැමිණි මහත්වරුන්ට අපට කිව හැක්කේ කුමක්ද? ඔබලාගේ නායකයන් නටන්නේ හැංගි හොරා කියලාය.  මමනම් ඒ වැරැද්ද  නිහතමානීව පිළිගෙන සම්මාන උළෙල පැවැත්වීමෙන් ඉවත් වූයෙමි.

බුකියේදී මෙන්ම වෙනත් තැන්වලදීද අපේ ජවිපෙ මිතුරන්ගෙන් මා ඇසූ ප්‍රශ්නයක් වුයේ දයා පතිරණ ඝාතනයෙන් පසු ඝාතන රැල්ල  පටන් ගත්තා  නොවේද යනුවෙනි. ඒ වෙනුවට ඔවුන් ප්‍රා සංවිධානයෙන් කල බිහිසුනු ක්‍රියා  ගැන වමාරති . ඒවා සිදුවුයේ පසුවය. ඒ සඳහා කිසිවෙකුත් ප්‍රා කාරයන්ට සමාව දෙන්නට යයි කියන්නේ ද නැත. සමාව දෙන්නට ඔවුන් කිසිවෙකු සුදුසුද නැත. එතරම් තිරශ්චින ලෙස කටයුතු කල බවද ඇසින් දුටු සාක්ෂි තිබේ. එනමුදු ඒ ක්‍රියාදාමය පටන් ගත් අයට වගකීමෙන් මිදිය නොහැකිය.

මේ හඬ පටවල ඇතැම් සමාජවාදී වාමවාදී සගයන්ද  සිටින්නේ නම් මැනව යයි සිතේ. හේතුව නම්  ඔවුන්ගෙන් සමහරුද නටන්නේ දෙබිඩි නාටක බැවිනි.බොහෝ විට දේශනයකදී, තමන් ලියන කියන දෙයකදී අති ප්‍රගතිශීලි , අති මිත්‍රශීලි , අධි සුභාවික, පරිභෝජනවාදී නොවුන මොවුහු සැබෑ ජීවිතයේදී එයට හාත්  පසින්ම වෙනස් අය බව මට අත්දැකීමෙන් ම අවබෝධව ඇති නිසාය .


එනිසා තව තවත් එවැනි  හඬ පට එලියට ඒ නම් එය  හොඳය. මේ යන්නේ සාමාජිය මනෝ විශ්ලේෂණයකි.  මුළු දේශපාලන සංස්ථාවම කිසියම්  සෝදා  පළුවකට ලක්වන්නේ නම් වඩා හොඳය.

අවසාන වශයෙන් මුස්ලිම් තරුණයන් පිරිසක් "මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ " ගීතයේ වචන කුකුලන්ට ගීයක් ගයන මේ හඬ පටය අසා විනෝද වන්න.

මට තවම සැකයි මේ හඬ පට ආ වෙලාවේ      

       

යොමු:
රන්ජන් හිරුනිකා 
රන්ජන් ශෂී 

සම්මාන උළෙල - රාජිත - ප්‍රාජිත , හෙන්රිගේ දිව දෙකේ කතා සමග මංජුලගේ අපස්මාරය

Sunday, 5 January 2020

ළමුන්ට දෙන දඬුවම් වලට එරෙහිවන්න - සුමිර ගුණසේකර

මෙය ලියා ඇත්තේ සුමිර ගුණසේකර නම් මහත්මයෙකි. මේ එන සිදුවීම් වල  සත්‍ය අසත්‍ය භාවය  නොදනිමි. නමුත් මේ ළමා නිවාසයට එරෙහිව නඩු දැමිය යුතුය.

“Say No to Physical Punishment”

" මේ දින වල ප්‍රසිද්ද අවුරුදු 15 ළමයට පෙරළගෙන ගහන වීඩියෝ දුටු මට එය ඉතාමත් සරල දෙයක් උනේ මං පුංචි කාලේ ඉඳන්ම මා ඇසුරු කරපු පරිසරය මට එය සරල දෙයක් බවට පත් කර හමාර කර තිබූ නිසා....ඉපදිලා මාස ගණනකින් ළමා නිවාස ගතවුණු මට..එම දරදඬු පරිසරය විසින් එම ක්‍රියාවන් මාගේ ඇසට හුරු කරා...පුංචි කාලේ මගේ අම්මා මාව දාලා ගියාට පස්සේ මම ළමා නිවාසයක තනි උනා...එතැන් පටන් මට ඔය ගුටිකෑම් බෙලි මිරිකීම් කෙල ගැසීම් වැනි කාරණා සරල දේවල් වුණා..
මේ මගේ ඒ අඳුරු මතකයේ පුංචි දිග හැරීමක්...මගේ අම්ම මාව පුංචි කාලේ දාල යන්නේ මං කිරි බොන ළදරු අවදියවත් පසු නොකරපු කාලයක...එතැන් පටන් විසි වසරක් පුරාවට මා විඳි අඳුර මතකය ඒ ප්‍රසිද්ධ වුණු වීඩියෝව දුටු විට නැවත නැවත මට මතක් වුණා...
ඇත්තම කාරණය එම video එක බලල අවසන් වන මට මං කියාගත්ත එකම දේ ඔය කෙල්ලට වඩා මං අම්බානකට ගුටි කාලා තියෙනවා කියල විතරයි ....
මාගෙ විසි වසරක ජීවිතය පුරාවටම ළමා නිවාස කිහිපයක ජීවත් වීමට සිදුවූ නිසා..මා විඳි කෲරතම දඩුවම් විදි ස්ථානයේ නම මෙහි සදගන් කරමි...(කුරුණෑගල ගේබ්‍රියල් trust ළමා නිවාසය)
මම ගුටි කාලා තියන සමහර හේතු ඇහුවොත් ඕවට ළමයෙක්ට ගහන්න ඕනද කියලත් හිතෙයි..

එක්තරා සැන්දෑ යාමෙක...දිනපතා සිදු වන මල් පැල වලට වතුර දැමීම කර්තව්‍ය සදහා මම සහා මගේ අතිජාත මිත්‍ර කසුන් (kasun perera) සවස හතර හමාරට පමණ වත්තට යන්නේ දිනපතා සිදුකරන වතුර දැමීම සදහා..

කසුන්÷ සුමියා අද වතුර නොදා ඉමු අහස අහින පාටයි..
මං÷ බෑ බෑ බං ලොකු සර් ආවොත් එහෙම ගුටි කන්න වෙයි
කසුන්÷අනේ බං අනික මට අද උන වගේ..
මං÷හරි එහෙනම් අද නොදා ඉමු..ලොකු සර් ඇහුවොත් කියමු වතුර දැම්මා කියලා..

වෙලාව සවස 7 ත් 8 ත් අතර..
ලොකු සර්÷ මෙහෙ වරෙන් යන්න වතුර දැම්මා ද කියලා බලන්න..
( කකුලෙන් මල් පැල අවට අල්ලමින්...තොපි එකෙක්වත් වතුර දැම්මේ නෑ නේද ආව මෙතන බොරු කියන්න මෙහෙ වරෙල්ලා...ගලවපියෝ ඔය ඇඳුම්..අල්ලගනින් ඔය කණුව )
ඔහු අපිට ගැසීමට යොදා ගන්නේ ඔහුගේ කලිසම වටා එතුණු ලෙදර් බෙල්ට එක...අදටටත් මගේ පිට හරියට බලන කෙනෙක්ට දැකගන්ඩ පුළුවන් බෙල්ට් පාරවල්...

සමහර විට මං නම් හිතන්නේ නාසරෙත් තරුනයා කාපු කස පහරවල් වලට වඩා දරුණු පාරවල් මං කුඩා කාලයේ කා ඇත..තවමත් ඒ රිදුම් මගෙ මනසට වද දේ...

පුංචි කාලයේ ඉඳන් මං ඉගෙන ගන්න අදක්ෂයෙක් උනාට විශය බාහිර ක්‍රියාකාරකම්වල දී පාසලේ ඉදිරියෙන්ම හිටියා..

*කථික තරඟ වලින් පිට පිට පස් වතාවක් ම ප්‍රථමයා වීමේ වරමත්
*සිංහල සාහිත්‍ය සමිතියේ වසර දෙකක් පුරාවට එක දිගට ම සභාපති තනතුර ලැබීම.
*ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමේ අවස්ථාව..
*විවාද කණ්ඩායමේ නායකයා වීමේ අවස්ථාව

ඒ නිසාම ගෑනු ළමයිගෙ ආකර්ශනය ලැබුණ... සාමාන්‍යයෙන් පාසලේ පැවැත්වෙන සෑම උත්සවයකටම මගේ කතාවක් අනිවාර්ය වීම සාමාන්ය දෙයක් වුන..එම හේතුව නිසා ම..ප්‍රේම පලහිලව් කීපයක වරදකරු වීමට සිදු වූ නිසා...ළමා නිවාසය තුළින් මා හට දුන් දඩුවම වන්නේ ඇදුම් සියල්ලම කළ ගලවා නිරුවත් වී හැම කෙනා ලගටම ගොස්.."මං ආයෙ ගෑනු ළමයි එක්ක යාලු වෙන්නේ නෑ" යන වාක්‍ය කීමටයි...එවිට ඊට ප්‍රතිචාර ලෙස ඔවුන්ට කිරීමට අණ ලැබී තිබුනේ මා හට කෙල ගැසීමයි...අදටත් මට පාරේ යන යමෙක් බිමට කෙල ගසන්නේ නම් මට ඒඅඳුරු මතකය මතක් වෙයි...

තවත් එක්තරා දිනයක උදෑසන අවදිවීමට විනාඩි කීපයක් පරක්කු වූ නිසා දඩුවම වශයෙන් ලැබුණේ..එදා රාත්‍රියේ මටත් නොකියා කහඹිලියා කොල මගේ බෙට් ශීට් වල ඇතිල්වීමයි..එදා රාත්‍රිය මට කිසිදා අමතක නොවන රාත්‍රියකි..මුළු රාත්‍රියම නිදිවර්ජිතව එක අතකින් ඇග කැසීම කොතරම් අපහසුද...?
මා පෙර පැවසූ පරිදි පාසලේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තට යෑමට මට ගත වූයේ ඉතාමත් කෙටි කාලයකි..එයට අකමැති වූ ළමා නිවාස පාලනාධිකාරය මට දුන් දඩුවම වන්නේ..පෙරදින රාත්‍රියේ කාල සටහනකට අනුකූලව සෑදූ මාගේ බෑගය වතුරට දැමීමයි..ඒ වතුර පිරුනු ඒ පොත් බෑගය මා එල්ලාගෙන යන විට සමහරු මට සිනාසුනේ කොක් හඬලාය අදටත් මට එම අදුරු මතක අමතක නොවේ..එම අතීතයේ හැමදාම මට සිදුවූයේ ගුටි කෑමට පමණය..පසුව මට ගුටි කනවා කියන එක හරිම සරල දෙයක් වූයේ ඔබ එදා නරඹපු වීඩියෝ එකේ ඉන්න දරුවා ගුටි කනකොට කිසිවක් නොකර ඉන්නා ආකාරයටමය.. සමහර දවස් තිබුණා කොච්චර වේදනාවක් ආවත් එය නොපෙන්වා සිටීමට තරම් මා දරදඩු වුනු...

සමහර දවස්වලට මට මේ වේදනාව කීමට කෙනෙක් නැති තැන...අම්මා නෑ කිය කිය දැන දැනත් මං අම්මට ලියුම් ලීවා..සහ ලියන්න උත්සහ කරලා තියනවා.. ඒත් කාට හරි හමුවෙලා කි‍යෙව්වොත් මට පිස්සු කියල හිතයි කියන බයට ලියපු ගමන්ම අනිත් පැත්තට පොඩි කර කටට ඔබ ගන්නේ ගන්නේ කටේ දත් වල බලයට ශේශ වන කොල කාටවත් එකතු කර හෝ කියවීමට නොහැකි වන පරිදි ය..

ඔව් එහෙම ළමයි ලොකු වෙන්නෙ සමාජෙත් එක්ක ඇරියස් තියාගෙන.. මාත් එහෙමයි, මට මේ පවතින සමාජ තත්වයන් එක්ක ලොකු ඇරියස් එකක් තියනවා.. ටිකක් ලොකු වෙනකොට සමාජය අපට කියලා දෙනවා වැඩිහිටියන් අපට ගහන්නේ අපිට තියෙන ආදරේට ගියල.. එතකොට මම ඒක කියවගන්නෙ ඔයාලා ඒක කියවගන්න තැනින් නෙමෙයි..හරි අමුතු ම තැනකින්.මම ඒක කියවගන්නෙ අනිත් පැත්තට, "යකෝ ඒ කියන්නෙ මං වගේ ළමයි මේ ලංකාවෙ තව කොච්චර ඇත්ද..?" ඒ තමයි මගේ කියවාගැනීම.. ඇත්තට ම මං වගේ ළමයි දහස් ගාණක් මේ ලංකාවෙ.ලමා නිවාස වල,පිරිවෙන් වල ඉන්නවා.. මට ඒක අත තියලා කියන්න පුළුවන් ෂුවර් එකකුත් තියනවා..

ලොකු වෙද්දි මම හිතාගෙන හිටියෙ ළමයි හොඳට හැදෙන්නෙ උන්ට ගැහුවොත් කියලා.. මොකද මම හැදුණෙ එහෙම නිසා.. මට කාලයකට පස්සේ කසුනගෙන් මැසේජ් එකක්..ඌ එක්ක ඒ කතා කරන දේවල් අතර නොවරදින මාතෘකාව වන්නේ කුරුණෑගල ළමා නිවාසය තුල අප විදී වේදනාවයි..
, “ළමයින්ට හොඳින් ඉගැන්නුවම උන් ඒක හරියට ඉගෙනගන්නවා, ගහනකොට තවත් මුරණ්ඩු වෙනවා..” ඒ උගෙ මතය යි
මං දන්නවා ටික වෙලාවක් යද්දි මගේ මෝඩ මොළේට ඒක තේරුණත් එවෙලෙ බොරුවට තර්ක කරලා කටවහන් හිටියා.. ඒත් පස්සෙ කල්පනා කරලා බලද්දි මට ඌ හරි කියලා තේරුණා..

#සමහර #විට #මේ #ඔබේ #කතා #විය #හැකියි #සමහරවිටමීට #වඩා #ඔබේ #කතාව #වෙනස් #විය #හැකියි #මීට #වඩා #ඔබේ #කතාව #දුක්බර #විය #හැකියි

😣මං හිතන් හිටියට ළමා නිවාසේ තමයි දරුණුම ජීවිතේ තියෙන්නෙ කියලා සමාජයට අවාම තේරෙනවා සමාජයත් කොයිතරම් නම් දරුණුද,කෘරතර,තුච්චද කියල..අපිට ජීවත් වෙන්ඩ කියල ගරියට බැලුවොත් තැනක් නැහැ..ඒ තරම් මේ පවතින තත්ත්වය හරිම අප්‍රසන්නයි ගඳ ගහන සුළුයි...කුණු වලින් පිරිලා😣

ප.ලි : කවදාවත් ළමයින්ව ගහලා හදන්නෙපා, ගේ අතුගානකොට කොතනහරි දූවිලි තිබුණා කියලා මරාගෙන කන්න හදන්නෙපා.. උන් ලොකු වෙලා ෆේස්බුක් ඇවිත්, විනාඩියට වචන 1000ක් විතර ටයිප් කරගන්න පුළුවන් තරම් හෙළකුරු ප්‍රැක්ටිස් උනාම මේ විදියට ලියලා දානවා..

“මොකද උන් කැමති නෑ තව එක ළමයෙක්වත්,
එක එකාගෙන් පොඩි ම පාරක්වත් කනවට..”

@ශෙයා කරන්නද කියලා අහන්න එපා,
මට ඕනෙ මේක පුළුවන් තරම් ශෙයා වෙන්න තමයි..🤚

පසුවට ලියමි÷Hiru Dias අක්කිගෙ පෝස්ට් එකේ ශක්තියෙන් ලීවෙමි..අන්තිම වචන පේලි කිහිපය ඇයගෙන් උදුරාගෙන ලීවෙමි..සමාව අයදිමි..

මං එදා ලෙදර් බෙල්ට් එකෙන් ගුටි කාපු..අදටත් මනසින් විදවන
😥සුම්ර ගුනසේකර😥

Wednesday, 1 January 2020

බ්ලොග් ලෝකයේ අලුත්ම අඩවිය - වසන්ති

වසන්තිව මට හම්බ වුනේ පද්මිණි මාතරගේ නිසා. පද්මිණී මුණ ගැහුනේ සියාමා පොත පල කරන්න යද්දී දැනට අවුරුදු දෙක තුනකට කලින් ලන්ඩන් වල ඉන්න  විපුලි පලිහක්කාර  නිසා.  පද්මිණි "සියාමා" පොත ගැන හැඳින්වීමක් දුන්නා එයා  වැඩ කළ පුවත් පතේ. "සියාමා " පොත ගැන කතා කරන්න වසන්ති එන්න කිව්වා එයාගේ "ටෝකින් බුක්ස් " වැඩ සටහනට. මම ගියේ නැහැ. මම හිතන්නේ ඇය වැඩ කල රූපවාහිනී ආයතනයට යන්න එපා යයි ලැබුණු අවවාද අරව මේවා නිසා වැඩියෙන්මත් . හැබැයි මම පස්සේ දැන ගත්ත සුපුරුදු ලංකාවේ විධිහටම ඒ අවවාද දෙන අයත් එතනට ගිහිල්ල ඒ වැඩ සටහනේ හිටිය කියා.

පද්මිණි   යි වසන්තියි දෙන්න ටිකක් සුවිශේෂියි. දැන් මගේ බ්ලොග් මිතුරු කැලේ ඉන්නවා සැහෙන පිරිසක් මගේ පොත් එලි දැක්වීම වලට එන. ජීවන, තරුරසී, ඉයන්, ප්‍රා ජේ, සුමිත්, බුද්ධිකා,  ඉවාන්, බෝධිනී, තරිඳු, ධම්මිකා, කොලොම් පුරේ, නිදි, නලින් ඇතුළු නම කිවූ නොකිවූ පිරිසක් හිතේ කහටක් නැතිව සුභ පතන්න එන අය. ඔවුන් එන්නේ හිතවත්කමට. මම දැන  ගත්තේ  පද්මිණි සහ වසන්තිත් ඒ වගේ කියල. ඔවුන් මගේ පොත් ගැන කතා කරන්න එන්න කීවෙත් එහෙමයි.

දෙවන වර ලංකාවට ගියහම ගිය අවුරුද්දේ අපි වඩාත් හොඳින් හඳුනාගෙන හිටියේ. ඒ හැඳිනීම මත මගේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොත ගැන කතා කරන්න මම පද්මිවයි වසන්තිවයි හමු වෙන්න ගියා. ඊට පස්සේ සරුවත් කතා, වෙල් මාළු කතා අතරේ  මම
" ටෝකින්ග් බුක්ස් " වැඩ සටහනටත් සහභාගී වුනා.

මම පස්සේ ඒ දෙන්න සමග නැගුනු හිතවත්කම අනුව තේරුණා අපේ දේශපාලන අදහස්  ප්‍රති විරෝධී විය හැකි වුනත් හෝ අපේ වෙනත් අදහස්  කෙසේ වුවත් ඔවුන් නිරහංකාර අය බව.  අපට සංවාද කරන්න පුළුවන් බව. මට තේරුණා අනිත් අයගේ පොත් ගැන කතා කරන්න එන්න කීවත් වසන්තිටත් ගොඩක් දේ තමන්ගේම දේ කියන්න ආසාවක් තිබෙන බව. එනිසා මම වසන්තිට ආරාධනා කළා බ්ලොග් එකක් පටන් ගන්න කියල.

හුඟක් බ්ලොග් ලියන්නෝ දැන් ඉන්නේ ෆේස්බුක් එකේ. ෆේස්බුක් එකට වැය වන කාලය ඇත්තටම මැනවින් කළමණාකර ගත යුතු දෙයක්. නැතනම් ඇබ්බැහි වුනොත් ගොඩක් දේවල් මග හැරෙන්න  පුළුවන්.  මම වසන්තිට බ්ලොග් ලියන්න එන්න කීව එක හේතුවක් ඒක .

සමහර විට එයා රැකියාව කරණ ආයතනයේ "ටෝකින්ග් බුක්ස් " වලට අමතරව "ටෝකින්ග් බ්ලොග්ස් "  වැඩ සටහනක් ගේන්න පුලුවන්නම් හොඳයි. බ්ලොග් ලිපි, කවි , නිසඳැස් , කතා , හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ මොනවා නැතත් සංවාදයක් නැවත අරඹන්න  පුළුවන් වීම විශේෂයි .

අපි 2020 අලුත් ගමනක් යමු. බ්ලොග් ලෝකයට සාදරයෙන් පිළි ගන්නවා, ඔයාව. ඔන්න මගේ බ්ලොග් වැලේත් එල්ලුව ඔයාගේ නවතම බ්ලොග් එක.

**********************************************

වසන්ති ගේ හඳුන්වා දීම 

මට හිතුණා බ්ලොග් සටහන් පෙළක් අරඹන්න. කාලෙකට කලින් මම එහෙම සටහන් පෙළක් ලියන්න පටන් ගත්තා, බ්ලොග් එකක. ඒත් අතර මග නැවතුණා. ආයෙමත් ඒ ආසාව ඇතිවුණේ අජිත් නිසා.

අජිත් හෙවත් "කොළඹ ගමයා" පහුගිය දවසක ලංකාවට ආවම මුහුණු පොතට මම ලියන සටහන් දැකලා කිව්වා "බ්ලොග් එකක් හදාගෙන ලියන එක දිගටම කළොත් නරකද?" කියලා.

අජිත් ධර්ම ගේ "කොළඹ ගමයා" ප්‍රකට බ්ලොග් එකක්. ඒත් ඒකේ සටහන්වෙන හැම කාරණාවකටම මම එකඟ නැහැ. ඒක වෙනම කතාවක්.

කොහොම වුණත් අජිත් සහ මම බ්ලොග් එක ගැන දීර්ඝව කතා කළා.

අපිට ලිවීම තුළ දවසින් දවස අළුත් නිර්මාණවලට හිත ඇදී යනවා. හිතේ ඇති සිතුවිලි නිදහසේ මුදාහරින්නට අවස්ථාව ලැබෙනවා. ඇතැම් විට අපි ලියන දේ කියවන පිරිසට අපේ අත්දැකීම් බෙදා හදා ගන්නටත්, එකිනෙකාගේ අදහස් හුවමාරු කර කරගන්නටත් අවස්ථාව හිමිවෙනවා.

"මට ඕනේ මහා බරපතල කාරණා ගැන මේ සටහන්වල සාකච්ඡා කරන්න නෙමෙයි." අජිත්ගේ බ්ලොග් යෝජනාවේදී මම කිව්වා. “ඉතින්" අජිත් ඇහුවා.
"මට ඕනේ මගේ අත්දැකීම්, මගේ සිතුවිලි එකිනෙකා අතරෙ හුවමාරු කරගන්න විතරයි“.
“ඉතින්" ඔන්න අජිත් ආයෙම අහනවා.
"මට ඕනේ හොඳ මිත්‍ර සමාගමක් හදාගන්න“ මම ආයෙම කිව්වා.

“මගේ ලෝකේ හරිම පොඩියි. ඒ පොඩි ලෝකේ ඇතුළේ මගේ අදහස් කියා ගන්න විතරයි මට ඕනේ" සාකච්ඡාව අවසානේ මම කිව්වා.
“ඉතින් ඒකට බ්ලොග් එක හදා ගන්න. ඔයාට උත්තර දෙන්න කැමති අය උත්තර දෙයි. අදහස් හුවමාරු කර ගන්න අය එහෙම කරයි. මිතුදම් ඇති කර ගන්න අය මිතුරු සමාගම් ඇති කර ගනියි.මේ මොකකටවත් කැමති නැති අය නිකන් ඉඳියි“. අන්තිමට අජිත් කිව්වා.

ඉතින් අවසානයේ මම තීරණය කළා අළුත් බ්ලොග් එකක් නිර්මාණය කරන්න.

මගේ පුංචි ලෝකේ ඇතුළේ ඉඳන් "මට හිතෙන හැටි" ලියන්න, මගේ "සංචාර සටහන්" ලියන්න, "පුංචි කාලේ මං" මගේ ජීවිතේ ගැන ලියන්න මට පුළුවන්.

පුලින්ද මල්ලී මගේ තාක්ෂණික ප්‍රධානියා. මම නොදන්න සියලු පරිඝනක වැඩ නිහතමානීව ඉටු කර දෙන්නේ ඔහු. වැරැද්දකදී මගෙන් පලු යන්න බැනුම් ඇහුවත් මීක් සද්ද නැතුව ඉන්නවා. පුලින්ද ට මගේ අදහස කිව්වම හෙමින් හෙමින්, ටිකෙන් ටික මගේ බිලොග් එක හැදුවා. පුලින්ද මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි.

මගේ වැඩවලදී උපදෙස් දෙමින් අඩු වැඩිය හදමින් දුකට සැපට ළඟ ඉන්න, හිත කඩා වැටෙන හැම මොහො⁣තෙම හයිය දෙන මිතුරිය පද්මිත්, සම්පත්, චංචලා නංගී ඇතුළු හැමෝගෙම අදහසුත් මේ බ්ලොග් එකට අයිතියි. ඔබ සියලු දෙනාටත් ස්තුතියි.

ආදරණීය අජිත්, ඔබ නිසයි මේ බ්ලොග් එක පරිස්සමින් ප්‍රතිනිර්මාණය වු‍ණේ. ලන්ඩනයේ හිටියත් මගේ නිර්මාණවලට අදහස් එක් කරන ඔබටත් ස්තුතියි.

ඉතින් අද පළවෙනිදා. 2020 අලුත් වසරක්. අද ඉඳන් ඔයාලා හැමෝටම මගේ බ්ලොග් එකෙන් මම ලියන දේවල් කියවන්න පුළුවන්. ඔබේ අදහස්, යෝජනා විතරක් නෙවෙයි චෝදනා වලටත් මේ බ්ලොග් එක විවෘතයි.

ඒ වගේම මුහුණු පොතේ කලක් තිස්සේ මා සමඟ සිටි මගේ මිත්‍රයිටත් අදහස් හුවමාරු කර ගැනීමට මේ බ්ලොග් එක හරහා මා ආරාධනා කරනවා.

ඒ සියල්ල සඳහා මෙන්න මගේ බ්ලොග් ලිපිනය: වසන්ති නානායක්කාර