Saturday 30 January 2021

එකිබස්තුස් ගමන

මම "පොල්කට්ටෙන් එපිටට"  පොතේ අගටම ඇති  ලිපියේ ලිවූ අදහසක් වූයේ කිසියම් අහඹු සිද්ධියකින් මුළු ජීවිතයේම ගමන්මග වෙනස් විය හැකි බවය. එය එක වරක් නොව කිහිප වතාවක්ම සිදු විය හැක්කේ  අපේ ජිවිත,  කොතරම් අපට අවශ්‍ය ආකාරයට රේඛීය දිශානතියකට ගෙනයාමට තැත් කළත් සැමවිටම එය එසේ වීම අනිවාර්ය නොවන නිසාය.  හැබැයි ඒවා එසේ සිදුවන්නේ කිසියම් අමුතු බලවේගයක් නිසා නොව අපගේ අතපසුවීමක් නිසාවෙන් හෝ අපට පාලනය කළ නොහැකි නීති රීති හෝ සිද්ධි සමුදායන් නිසාය.

මගේ එකිබස්තුස් ගමන ගැන දැනට සිටින යහළුවන් හෝ සෝවියට් දේශයේ සිටි යහළුවන් කිසිවෙකුත් දන්නේ නැත. මා කීවේ මගේ පියාට පමණි. ඒ හා සම්බන්ධ රැකියාව ලැබේද  නැත්ද යන්න  පිළිබඳව හරි ඇගයුමක් නොතිබීම නිසා විය හැක. 
 
සෝවියට් දේශය 1991 අවසානයේ බිඳ වැටුණු පසු සමුහාණ්ඩු පහලවම නිදහස ලබා වෙන්ව ගියහ. ඊට අනුරූපව යටපත් කර තිබූ මේ රටවල ජාතිවාදය ඉස්මුදුන් වලටම ගලා ආයේය. බහුතරයක්  මුස්ලිම්වරුන් වෙසෙන කසාක්ස්තානය (බොහෝ අය වැරදියට හඳුන්වන කසකස්ථානය ) ටද එයින් මිදෙන්නට නොහැකි විය. ස්ටාලින් ගේ කාලයේ පිටුවහල් කරන ලද බොහෝ ජර්මන් වරු එහි සිටියහ. මින් සමහරෙක්  දෙවන ලෝක යුද්ධය නිසා හසුවූ යුධ සිරකරුවන්ය. මොවුන් හැඳින්වුනේ සෝවියට් ජර්මන්වරු ලෙසය. කසාකයන් මුලින්ම රටින් එළවා දැමුවේ ඔවුන්වය. ජර්මන් රජය මේ සියල්ලන්ම භාර ගැනීමට කැමති විය. ඊළඟට පැමිණියේ සෝවියට් කාලයේ පදිංචි කරනලද  රුසියානුවන් හා අනිකුත් ජාතීන් ගේ වාරයයි. මෙසේ රුසියාවට ආපසු පිටමන් කරන ලද  රුසියානුන්ට හරි හමන් ඉන්නට හිටින්නට තැනක් තිබුනේද නැත. බොහෝ අය තම තමන්ගේ නෑදෑයන් ගේ යහළුවන් ගේ ගෙවල අමාරුවෙන් ජීවත් වූහ. 

මෙසේ එළවන ලද අය බොහොමයක් වෘත්තිකයන් විය. එනම් ඉංජිනේරු, වෛද්‍ය, කාර්මික ශිල්පින් , ගුරු වෘත්තියේ යෙදුනවුන් හෝ  කිසියම් ශිල්පයක් උගත් අය විය. කසාක් වරු හිතුවේ ඔවුන්ට ඇති ශ්‍රම ශක්තිය ප්‍රමාණවත් යැයි කියාය. නමුත් එසේ වූයේ නැත.      
ඒ දිනවල අයැදුම්පත් දැමූ  රැකියා දෙකක් මට මතකය.  එකක්  රදර්ෆර්ඩ් ඇපල්ටන් පර්යේෂණාගාරයේ කනිෂ්ඨ ඉංජිනේරු තනතුරකි. මේ අර එර්නස්ට් රද්ර්ෆර්ඩ් ගේ සිසුන් දෙදෙනෙකු වන ගෛගර් හා මාර්ස්ඩන් පරමාණුක න්‍යෂ්ටිය සොයාගත් රන් වළල්ලට ඇල්ෆා අංශුන් යැවූ පරීක්ෂණය කල තැනමය.  මට ඒ රැකියාව ලැබුනේ නැත. සම්මුඛ පරීක්ෂණයේදී මගේ ඉංග්‍රීසි හොඳ නැති බව මටම වැටහුණි. මට දැනුත්  සිතෙන්නේ  මා ඒ තැනට ගියේ එහි නමට ඇති ගෞරවය  හා ස්ථානය දැක ගැනීමට මිස රැකියාවක් ලැබේ යයි බලාපොරොත්තුවෙන් නොවන බවය. එකල මම රෝයල් ඊගල් නමැති හෝටලයක මොස්කව්  ස්ටේට් යුනියේ ලොමොනොසව් මණ්ඩපයේ උගත් බුද්ධි හිත්තැටිය සමග  කළමනාකාර තනතුරක් දැරුවෙමි. සම්මුඛ පරීක්ෂණ මඩුල්ල  මට ආපසු එම රැකියාවටම යන්නට කීහ.   

ඇමෙරිකානු  AES ආයතනයට  කෙන්ට් වල මෙඩ්වේ හි තාප (ගෑස්)  විදුලිබලාගාරය අයත්ව තිබුණි. පුවත්පත් දැන්වීමක ඔවුන් කසාක්ස්තාන්  එකිබස්තුස් බලාගාරයේ සේවයට ඉන්ජිනේරුවන් කැඳවන බව දැක අයදුම්පතක් දැමුවෙමි. ඔවුන් එයට ඒ වනවිට ආයෝජනය කර නොතිබූ  අතර දත්ත සෙවීමේ චාරිකාවක් සංවිධානය කර තිබුණි. (fact finding mission). මෙඩ්වේ බලාගාරයේ ප්‍රධාන විධායක ඉංජිනේරුවරුන් දෙදෙනා සහ අයර්ලන්ත අධි වෝල්ටීයතා ඉන්ජිනේරුවෙකුද ඊශ්‍රායල සම්භවයක් ඇති AES ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ගෙන්ද සමන්විතවූ  ගමනට මා බඳවා ගනු ලැබුවේ තාක්ෂණික පරිවර්තකයෙකු  ලෙසිනි. (technical translator). නමුත් ඔවුන්ට ඇත්තටම අවශ්‍ය වූයේ කසාක්ස්වරුන් ප්‍රධාන සාකච්ඡා වලදී සඟවන දේ ඔවුන් සමග කතාබස් කොට දැනගැනීමයි.  ඇමෙරිකානු සමාගමට බලාගාරයේ ඇත්ත වටිනාකම දැනගැනීමට අවශ්‍යව තිබුණි. අධ්‍යක්ෂවරුන් හා වෙළඳ නියෝජිතයන් ගිය මුල් සංචාර වලදී කසාක්ස්වරුන් බොහෝ දේ සඟවන බව ඔවුන්ට වැටහී තිබුණි. ඉංජිනේරුවන් යැව්වේ ඒ නිසාය.  
 
මේ ගමනේදී මට පැහැදිලිවූ එක දෙයක් විය. ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකා  එක්සත් ජනපදය වැනි රටවල රැකියාවන්ට ගිය සමහරු සෝවියට් අධ්‍යාපනය හා තාක්ෂණික, විද්‍යාත්මක ක්ෂේත්‍රයන් හි ජයග්‍රහණ බොහෝ විට අවතක්සේරු කරනු මම දිටිමි. ශ්‍රී ලංකාවේ  විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලද ඇතැමුන් අතරද මේ අදහස් ම තිබෙනු මා  දැක තිබේ. නමුත් අපේ කණ්ඩායමේ  ඇමෙරිකන් ප්‍රධාන ඉංජිනේරුවන් හෝ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවා සෝවියට් තාක්ෂණික හපන්කම් ගැන කතා කළේ ප්‍රශංසා මුඛයෙනි. සෝවියට්  ඉංජිනේරුවන්ට බටහිර තරම් පහසුකම් තිබුනේ වඩාත් දියුණු දේ නිපදවීමට හැකියාවක් තිබු බව ඔවුහු පිළිගත්හ.
  
ඒ දිනවල ලෝකයේ උසම චිම්නි දෙක  (මීටර 330) සහිත ගල් අඟුරු වලින් ක්‍රියා කරන තාප  විදුලි බලාගාරය තිබුනේ   එකිබස්තුස් වලය. මෙගාවොට් 500 ටර්බයින් හතරක් තිබූ එහි මුළු ධාරිතාවය මෙගාවොට් 4000කි. සෝවියට් වරු එය සාදා නිම කලේ 1980 දීය.  සෝවියට් දේශයේ අභාවයෙන් පසු කසාක්ස්වරුන්  අතට ගිය විදුලි බලාගාරයේ  නිසි අලුත්වැඩියා කිරීම් පැහැර හැර තිබුණි.    අලුත්වැඩියා කිරීමට ද්‍රව්‍ය, උපකරණ හා පුහුණු ශ්‍රමයද ඔවුන්ට නොතිබුණි. ඔවුන් ඉහත කි පරිදි  රුසියානු සහ ජර්මන් පුහුණු ශ්‍රමිකයන් රටින් එලවිමද තත්වය තවත් අල වීමට හේතුවක් විය.  මේ කාලයේදී එක  මෙගාවොට් පන්සීයක ටර්බයිනයක් පුපුරා ගොස් ටර්බයිනයේ කෑල්ලක් උස වහලය පසාරු කරගෙන ගොස් තිබුණි. එනිසා අප එහි යනවිට ඉතිරිව  තිබුනේ  ටර්බයින් තුනක් පමණි.  බලාගාරයේ  ධාරිතාවය මෙගාවොට් 650 කට පමණ අඩුවී තිබුණි. (මේ විනාශවුණු කොටස ඡායාරූප  ගත කරන්නට ඔවුන් මට අවසර දුන්නේ නැත). ඔවුන් බලාගාරයේ මුළු ධාරිතාවය පිලිබඳව  කලින් ලබාදුන් දත්ත වැරදි බව මේ ගමනේදී සොයා ගැනුනි. 
බලාගාරය 



අප  එකිබස්තුස් වලට ගමන් කලේ සැහැල්ලු ගුවන් යානයකිනි. එහිදී නැවතී සිටියේ අල්මාති නගරයේ රකත් මාළිගය නමින් හඳුන්වන විශාලතම  හෝටලයේය.   හෝටලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පිරිස් මෙන්ම බටහිර සමාගම් වල සේවකයන් බොහොමයක්ද රැඳී සිටියහ. සෝවියට් දේශයෙන් වෙන්වූ පසු මේ රටවල බටහිරයන්ගේ ආගමනය හා ආයෝජනය ගලා ඒම ප්‍රබලව සිදුවුණි. එකිබස්තුවලදී මට හමුවුණු පිරිස අතරේ නූර් නම් භාෂා පරිවර්තිකාවද වූවාය. කසාක්ස් නියෝජිතනයන්  හා බලාගාරයේ අධ්‍යක්ෂක වරුන් අපට ඉතා හොඳින් සැලකූහ.  
රකත් පැලස්  හෝටලය 
පැලස් හෝටලය  ඉදිරිපස 


අපේ කණ්ඩායම 


එකිබස්තුස් හි කුඩා ගුවන් තොටුපල 

එකිබස්තුස් පිලිබඳ කතා  කරන විට මතකයට එන  තවත් වැදගත් කාරනා දෙකක් තිබේ. එකක් නම් ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින් නමැති මහා ලේඛකයා පිටුවහල් කෙරුණේද මේ නගරයට වීමයි. එසේ නම් එයට සම්බන්ධ දෙවන කරුණ කුප්‍රකට ගුලාග් නමැති කම්කරු කඳවුරද තිබුනේ මෙහි වීමයි. සොල්ෂෙනිට්සින් "ඉවාන් දෙනිසෝවිච් ගේ දවසක් පොත" ලියන්නේ  ද මේ ගුලාගය ගැනය. 

මේ ගමනේදී මට අමුතුම සිදුවීමකට මුහුණ පෑමට සිදුවුණි. අපගේ  ගුවන් ටිකට් පත තිබුනේ ලන්ඩනයෙන් ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆට් වලටත් (ට්‍රාන්සිට්)   එතනින් අල්මාති (අල්මා අටා ) නගරයටත්ය.  ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆට් ගුවන් තොටුපළේදී යානයට පැමිණි ජර්මන් පොලිසිය මට  ඔවුන් සමග එන්න යැයි කියා මුළු ට්‍රාන්සිට් කාලය පුරාවට මා  ඔවුන් සමග තබා ගත්තේය. ඉන්පසු දෙවන යානයට ඇරලවද්දී කණ්ඩායමේ අනිකුත් හතර දෙනා කලබලයට පත්ව සිටියහ. මා පසුව දැනගත් පරිදි හේතුව වූයේ මගේ ශ්‍රී  ලංකා ගුවන් ගමන් බලපත්‍රයයි. මොස්කව් හා කසාක්ස්තාන්වල සිට වෙනත් රටකට ගුවන් ගමන් බලපත්‍ර ගෙන පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ෆ්‍රෑන්ක්ෆට් හි නතර වී දේශපාලන රැකවරණ ඉල්ලන  නිසා ඔවුන්  ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමි ට්‍රාන්සිට් මගීන් මෙලෙස තබා ගන්නා බව ඊශ්‍රායල සාමාජිකයා  දැන ගත්තේය. (ඔහුට හොඳින් ජර්මන් බස කතා කිරීමට හැකි අයෙකි )  ජර්මන් රජය මෙය පසුව ඉවත් කරගත්තේ ලන්ඩන් හා මොස්කව් වල නිලධාරීන් රඳවා තැබීමෙනි.

කෙසේ හෝ මේ සිද්ධිය නිසා මට කසාක්ස්ථානයේ බලාපොරොත්තු වූ ඉංජිනේරු රැකියාව නොලැබුණි. සමහරවිට ඔවුන්ට අවශ්‍යව තිබුනේ  රටවල් දෙක තුනක් අතර පහසුවෙන් සංචාරය කළ හැකි අයෙක් බව පසුව ප්‍රධාන විධායක ඉංජිනේරුවා හා කතා කිරීමේදී පැහැදිලි විය. ඔවුන් වසර දෙකකට පසු එම බලාගාරය මිලදී ගත් අතර (ආයෝජනය කළ අතර)  දැන් නැවතත්  එය කසාක්ස්තාන සමාගමකට භාර දී ඇත.
    
 පරිගණක ක්ෂේත්‍රය ඉදිරියේදී වඩා දියුණුවන බවට ප්‍රධාන ඉංජිනේරුවා මා රැකියාවට ගැනීම සඳහා කළ මූලික  සම්මුඛ පරීක්ෂණයේදී පැහැදිලි කළේය . ඔහු මා විසින් මොස්කව් වීදුලි බල හා බලශක්ති විශ්ව විද්‍යාලයේදී  උගත් ෆොර්ට්‍රන් නමැති පරිගණක භාෂාව  පිලිබඳ ප්‍රශ්න කිහිපයක්ම ඇසීය. මා ළඟ මමත් මගේ පාඨමාලාවේම සිටි යහලු  එන්ග් වෙන් සමග  එකතුව (නාඋච්න ඉස්ලෙදවතෙල්ස්කය රබෝතා හෙවත්) විද්‍යා පර්යේෂණ නමැති විෂයට ඉදිරිපත් කල  ප්‍රෝග්‍රෑම් එකද තිබුණි. එහි පිටපත  මා  රුසියාවෙන් එද්දී රැගෙන ආ එකකි. 



 මේ අනූවේ දශකයයි.  ඒ දිනවල මා ළඟ තිබුනේ ඉන්ටෙල් 80486 හා අම්ස්ට්‍රාඩ් නමැති පරණ පරිගණක දෙකකි.
 
නමුත්ඒ ඉංජිනේරුවා කී අදහස බලපැවැත්වූ නිසා  පරිගණක විෂයයන් හැදෑරීම සඳහා එංගලන්තයේ සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනෙමි. 

ඒ දිනවල සෝවියට් දේශයේ සිට පැමිණ ලන්ඩනයේ  ජීවත්වූ න්‍යෂ්ටික බලය පිලිබඳ විද්‍යාඥයෙකු ගෙන් වින්ඩෝව්ස් 95 තිබෙන කොම්පියුටරයක් මිලදී ගතිමි. ඔහු මට කොම්පියුටරය විකිණුවේ නැගෙනහිර ලන්ඩනයේ  උද්‍යානයකය. ඔහු එහි කීබෝඩ් එකට රුසියන් භාෂාවේ අකුරු අමුණා තිබුණු බව මට මතකය. ඒ දිනවල සෝවියට් දේශයේ හිටි න්‍යෂ්ටික බලය  සම්බන්ධ විද්‍යාඥයන්   බොහෝමයකට අමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ , ජර්මනියේ ජිවත්වීමට අවසර සලසා තිබුණි.  මෙසේ කර ඇත්තේ එම රහස් වෙනත් ත්‍රස්තවාදී සංවිධානයකට හෝ ඉරානය වැනි රටකට  ලැබේ යයි සිතාය . ඔවුන්ට නිවසක්ද පඩියක්ද ලබා දී තිබු අතර  ඔහුගේ  දියණියටද බ්‍රිතාන්‍යයට පැමිණීමට වරම් දී තිබුණි. ඔහු මට පරිගණකය උද්‍යානය ට පැමිණ  විකුණුවේ නිවස නිරීක්ෂණයට භාජනය වී තිබෙන නිසා යයි මට කිවේය. ඔහු ලන්ඩනයේ සිටියේ අකමැත්තෙන් වන අතර නැවත  රුසියාවට යන්නට ඇතැයි සිතමි.
  
සවුත්බෑන්ක් හි  උපාධි පාඨමාලාව අවසානයේ උපාධි නිබන්ධනය සුපර්වයිස් කල ලරිසා ෆ්රද්කින් මහාචාර්යවරිය සෝවියට් දේශයේ ලෙනින්ග්‍රාද් නගරයේ පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේ උගත් අයෙකි. ඇගේ සැමියාද  කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ රුසියානු මහාචාර්යවරයෙකි.  දෙදෙනාම දැනටත් කේම්බ්‍රිජ් වලට ආසන්න නගරයක ජීවත්වෙයි.  මගේ ලින්ක්ඩ්ඉන් ජාලයේ සිටින ඇය, මිට වසර කිහිපයකට පෙර  ඒ  හරහා මගේ විස්තර විමසුවාය.  අපට ඒ දිනවල සිටි  සෝවියට් ගුරුවරුන් සේම  ඇයද තමන්ගේ සිසුන් ගැන ඉඳහිට හෝ සොයා බලන බව වටහා ගතිමි.

මේ කතාවේ ඉතිරිය මේ බ්ලොගයේ  බොහෝවිට කියා ඇති නිසා කතාව මෙතනින් නවත්වමි. 





57 comments:

  1. මේ කතාව ඇත්ත ද?
    උඹ කියන විදියට සූත්තර තියෙනව ඕසෙට,,,සභාවේ තදින් සිනා.

    ReplyDelete
    Replies
    1. මේ කතාව ලියන්න එක හේතුවක් තමා "ප්‍රථම ප්‍රේමය ඔඅබ් නොවේ " පොත ගැන කෝල් කරලා අහන අය සහ අන්තර්ගතය උස්සන්න හදන සමූහයක් සිටින නිසා .
      /උඹ කියන විදියට සූත්තර තියෙනව ඕසෙට// මේ මොකක් ගැනද කියන්නේ කියල අදහසක් නැහැ මහත්මයා . හිනා වුනාට කමක් නැහැ . නිරෝගී වී තර වේවා කියා පතනවා

      Delete
  2. දැනුනත් හදවත රිදි
    ආපසු යන්නට බැරි
    ජිවිත ගමනට හැරි

    ReplyDelete
    Replies
    1. රිදෙන්නේ නම් නෑ
      හැරී යන්නට අවශ්‍යද නෑ
      එක කාලයක් ඉවරවී
      දිවිය වෙනස් වූ නිසා

      Delete
  3. //සෝවියට් දේශයේ අභාවයෙන් පසු කසාක්ස්වරුන් අතට ගිය විදුලි බලාගාරයේ නිසි අලුත්වැඩියා කිරීම් පැහැර හැර තිබුණි. අලුත්වැඩියා කිරීමට ද්‍රව්‍ය, උපකරණ හා පුහුණු ශ්‍රමයද ඔවුන්ට නොතිබුණි. ඔවුන් ඉහත කි පරිදි රුසියානු සහ ජර්මන් පුහුණු ශ්‍රමිකයන් රටින් එලවිමද තත්වය තවත් අල වීමට හේතුවක් විය. //

    ඉහත පරිඡේදය කියෙව්වාම මට මතක් උනේ 70 දශකයේ මුල, Land Reform Commission එක පිහිටුවා, නියම ශ්‍රී ලාංකික ජාති මාමකත්වය පල කරමින් සියලුම රන් පවුම් වතු ජනසතු කර, ඒවා අයිතිකරගෙන සිටි අධිරාජ්‍යවාදී සුද්දන් රටින් එලවා දමා ඒවායේ පාලනයට උසවසම , ජනවසම වැනි ආයතන පිහිටුවා, වැවිලි ආර්ථිකය සම්පුර්ණයෙන්ම විනාශ කර දැමීමේ සිද්ධි මාලාවයි.

    ReplyDelete
    Replies
    1. ටිකක් ඒ වගේ තමයි. ඒක ඔය ලීවම මට මතක් වුනේ රොබට් මුගාබේ ගේ සිම්බාබ්වේ වලට වෙච්ච දේ

      Delete
  4. කියවනව නම් මෙය නූතන තරුණ පෙළ
    පාඩමකට ගනිත හැකි දේ ඇත හසල
    යන්නං වාලෙ නොදුවා දැක දිග-පළල
    හදං 'එල්ල', ජය ගත යුතු දිවි ගඟුල!

    ReplyDelete
    Replies
    1. යන්නං වාලේ හිටිය , කෙලවෙලා හිටි කාලයක් තිබුන නිදී . නැතිවෙලා මට්ටම් වෙලා හිටි කාලයක්. මේක දැක්කම ඒකත් ලියන්න හිතුන

      Delete
    2. //මේක දැක්කම ඒකත් ලියන්න හිතුන//

      ආන්න ජංසන්, ලියනවා නං බොහොම පිං. දන්නව නේද? ආන්න ජංසන් කතාව, අර සුද්දට පාර කියපු කතාව. නෙක්ස් නෝ ජංසන්, ඊලඟ ජංසන්, ඒත් නෝ ජංසන්. නෙක්ස් ජංසන්, ආන්න ජංසන්.

      මේ කතාව මට නං ප්‍රයිඩ් රයිස් එකක් වගේ. බතත් රහයි, අතරින් පතර ඉස්සො, දැල්ලො එහෙමත් හැපෙනවා, එව්වා බෝනස්. ඔබේ විස්තර, මා අසා ඇති පස්චාත් සෝවියට් වකවානුව සමඟ ගැලපෙනවා.

      කනගාටුදාය ලෙස, ප්‍රබල දේශපාලනක් කඩාවැටිච්ච හැමවිටම, රටවල් නන්නත්තාර වෙනවා. ඊළඟට පාතාලය හිස ඔසවනවා. ඒක මර්ධනය කරන්න හැකි, ඒකාධිපතියට අකමැත්තෙන් වුනත් කැමති වෙන්න වෙනවා.

      Delete
    3. අන්තිම කොටස එකේනම් හරි . ඒක තමා වුනේ. මේ සොවියට්කත හෙම ලියනවට සමහර ඒ කාලේ හිටි අය අකමැතියි. මේ ලඟදි එක්කෙනක් කෝල් කරලම ඇහුව ඇයි ලියන්නේ කියල. ඔයා අර කළු කොට එක්කෙනා නේද කියලත් ඇහුව. ඒ කියන්නේ කළු නම් කොට නම් ගැහැණු ළමයෙක් වත් යාලුවෙන්නේ නැහැ නේද වගේ හැඟීමක් මට ආවේ . හේ හේ

      Delete
    4. 'කළු කොට' කතාව නිසයි මේ කමෙන්ට් එක දාන්න හිතුවෙ. අපේ ආයතයනයට කෙටි කාලීන වැඩකට ආපු ලන්කාවෙ කෙනෙක් එක්ක පලවෙනි දවසෙ කතාබහ කරලා මම එයාට කිව්ව තව section එකක ලන්කාවෙ කෙනෙක් ඉන්නවා, ඔයාට මම වෙලාවක අඳුන්වා දෙන්නම් කියලා. පස්සෙ දවසක එයා කියනවා 'අර ඔයා කියපු එක්කෙනා මම දැක්කා, එයා අර කලුම, කලු, කැත එක්කෙනා නේද කියලා'. ඒ වෙලාවෙ මට ඇත්තටම තත්පර ගානක් කතා කරගන්න බැරිවුනා මේ උගත් කාන්තාවක් තවත් කාන්තාවක් ගැන කතා කරන විදිහද කියලා. අනිත් අය ගැන ඔහොම කතාකරන එක හරිද කියලා ඇහුවෙ නැති එක ගැන මම පසුතැවෙනවා. මම දැක්කා කෙනෙක් ලියලා තියෙනවා සෙනග ගැවසෙන තැනක ඉන්න වෙලාවක, වැඩිය ලස්සන නැති, ටිකක් මහත ශරීරයක් තියෙන කෙනෙක් පෙන්නලා ඒගොල්ලන්ගෙ බබා හය්යෙන්ම ඇහුවලු ඇයි මෙයා මෙච්චර කැත කියලා. ඒකට අනිත් අය ප්‍රතිචාර දක්වලා තිබුනෙ ඒ බබා හරිම හපන්කමක් කරා වගේ. ශරීර ස්වභාවය හෝ ශරිර ප්‍රමානය අනුව මිනිසුන් වර්ග කරන්න අපේ දරුවන්ටත් අනුබල දෙන අපි කොයි තරම් ලැජ්ජ වෙන්න ඕනෙද. අපේ හුඟ දෙනෙකුට කරනීය මෙත්ත සූත්‍රය කට පාඩමින් කියන්න පුලුවන්. එහි තියෙන මධ්‍යම, කොට, උස හැමෝටම එක ලෙස මයිත්‍රී කරන්න කියන එක අපි තේරුම් අරන්වත් තියෙනවද. (වෙනත් ලින්ගික චර්යාවන් තියෙන අයට, බබාල නැති අයට අපේ අය කතාකරන විදිහත් මේ හා සමානයි, විස්තර අවශ්ය නැහැනේ)

      Delete
    5. කියන්න දෙයක් නැහැ ලෝටස්. ඒ තැනැත්තා උස කෙනෙක්. ඉගෙන ගත්තේ කොහෙද කියලත් මම දන්නවා. අරක ඇහුවේ මොන හේතුවෙන්ද කියලත් මට තේරුනා. නමුත් එයා මව දන්නේ නැහැ. එපමණයි මම දැන ගත්තේ

      Delete
  5. එක හුස්මට, බොහොම කැමැත්තෙන් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බකුසු රාළහාමි

      Delete
  6. සෝවියට් දේශය කැඩී ගිය පසු බටහිර රටවල් මෙම රටවලට පැමිණ සංවර්ධනය කරන ගමන් සෝවියට් තාක්ෂනය ගැන සොයා බැලුවා නේද? ඔබට හිතුනේ නැද්ද ඔබත් එම අවස්ථාවේදී සෝවියට් සංගමයට ද්‍රෝහී වෙන දෙයක් කරන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය ගමනට මම ගියත් නැතත් වෙන කෙනෙක් හොයා ගන්නවා. ඒක පළමුවෙනි කාරණය. දෙක සෝවියට් සංගමයට ද්‍රෝහී වෙන්න එහෙම එකක් තියෙන්න එපාය. ඔය වෙනකොට සෝවියට් සංගමයක් නැහැ. යෙල්ට්සින් ගේ රුසියාව බොහොම අමාරුවෙන් ඇද්දේ. කොමියුනිස්ට් පක්ෂේ එවුන් වික්ක මුළු රටම. බටහිරට කොහොමත් ඔය බලාගාර තාක්ෂනය තිබ්බ. සෝවියට් බලාගාරවල වෙනස ඒවා ඉතා විශාලයි. අනික ඒ වෙනකොට කසාක්ස්ථානය වෙනස් වෙලා ඉවරයි. (රුස්සෝ එලවද්දී)

      Delete
  7. ඉහත... නූර් ගේ යැයි සැක කළ හැකි ඡායාරූපය මත මෝටර් රථ දෙකක ඡායාවන් අතිපිහිත වීම පිළිබද ඔබගේ විශ්ලේෂණය කුමක්ද?

    (මගෙ සිංහල භාෂාව හොඳයි නේ?)

    ReplyDelete
    Replies
    1. තවුසෙගෙ සිංහල භාෂාව නං හොඳයි. අර ඡායාවෙන් අත පිහින කොටස තමා හරි නැත්තෙ. හැක්

      මීට
      බඩගාගෙන යන සතෙක්

      Delete
    2. අතිපිහිත නැමැති සැබෑවටම රසනාව උළුක්කු වූ වදන සොයා බැලුයෙමී සබඳ. ඔබ නිවැරදියි. පින්තූර එක ගොඩේ තැබීම නිසා මගේ බිරින්දෑ ගේ පින්තූරය හා එවකට අප සතුව තිබූ ෆියෙස්ටා කාරය මේ පින්තුරය උඩට වැටී ඇත. එවැනි ඒවා කිහිපයකි. සොල්දරයේ උණුසුම නිසා විය හැකිය යන්න මගේ අනුමානය වේ.

      Delete
    3. මදැයි... මං හිතුවෙ නූර් කියල. අපේ ආදරබර ඉනෙස් නෝන කියල දන්නවනං විහිළු කරන්නෑ.

      Delete
    4. බකුස් නයා...

      මෙන්න ඔබට විදුලි පන්දම් පහරක්.

      Delete
    5. බකුස්ස්ස දැනුයි මට තේරුනේ හා හා , ඩ්‍රකී ඉනෙස් නඟා ඒ දවස් වල යාළුවෙක් විතරයි. ඔය පස්සේ ප්‍රින්ට් කරපු ෆොටෝ එකට තියල වෙච්ච දෙයක්. මේවා දැන් වගේ කෙලින්ම ඩිගිටල් යන ඒවා නෙමේනේ.

      Delete
    6. ආාා හරි නෙ. නූර් ගෙ ෆොටෝ එක උඩ හරහට වැටිල තියෙන්නෙ ඉනෙස් නෑනගෙ ෆොටෝ එක නේ?

      Delete
  8. කසාක් වරු මොන විදිහකින් හරි අපි කියවලා තියෙන කොසාක් වරු එක්ක සමපාත වෙනවද?

    ReplyDelete
    Replies
    1. කසාක් වරු හා කොසැක් ජාතින් දෙවර්ගයකි. කසක් වරු තුර්කින්ට සමානජාතියකි. හැබැයි එක කෙළවරක මොන්ගෝලියන් හා චීනුන්, තව කෙළවරක රුසියානුන් තබා ඔවුන්ගේ අංග ලක්ෂණ එකට එකතු කරන්නට බලන්න. ඔබට කසාක් වරු ලැබේ.

      Delete
  9. මගෙත් මුල්ම පරිගණකය 80486. හැබැයි ලොකු අයියෙ මං ඒකට වින්ඩෝස් 95 දැම්මා. හාඩ් එක 100MB, රැම් 12MB, ප්‍රොසෙසර් ස්පීඩ් 100 - අප්ග්‍රේඩ් කළා 133MHz ට.

    ReplyDelete
    Replies
    1. 80386 ට වින්ඩොව්ස් දාන්න පුළුවන්. මට හිතෙන්නේ මට තියෙන්නේ ඇත්තේ 386ක් හරි කොම්පැක් එකක් වෙන්න ඕනේ. මතක නැහැ හරියටම . DOS තිබ්බේ ඒකෙ 5 1/4" ඩිස්ක් එක නේද . ඊට පස්සේ තමා 95 එක ගත්තේ

      Delete
    2. හ්ම්ම්... 5 1/4" තිබුණා. ඒක ගළෝලා 3 1/2" එකක් හයි කළා. මං ගන්නකොට 486 එකේ තිබුණෙ වින්ඩෝස් 3.11 පස්සෙ ඒකට 95 දාලා, විෂුවල් ෆොක්ස් ප්‍රෝ දැම්මා.

      Delete
    3. හප්පේ ඇත්තනේ , මට වින්ඩොව්ස් 3.11 අමතකම වුනා. එහෙම පියුටරේ කුත් තිබුනනේ මං ළඟ

      Delete
  10. ෆෝට්‍රන් කියන්නෙ දෙවන පරම්පරාවෙ භාෂාවක් නේද? අපේ කාලෙ, ඒ කියන්නෙ 95 - 97 විතර, ඒක භාවිතය අභාවයට යමින් තිබුණා. ඒ කාලෙ හිට් වුණේ පැස්කල් සහ C++

    ReplyDelete
    Replies
    1. හනේ අප්පේ, කොච්චර නං බාසාවල් ආව ගියාද? එනකොට නං එන්නෙ " මේක තමා අනාගතය" කියාගෙන, ඒත් ටික කාලෙකින් එහෙම්මම දියවෙලා යනවා. එදා ඉඳන් අද වෙනකන් ඉන්නෙ තනි අකුරෙ හාදයා විතරයි. කොහොමත් ඔය තනි අකුරට මං මනාපයි. හැබැයි වැඩිය හොඳ කිතුල් තමා.

      Delete
    2. තනි අකුර රහයි. හැබැයි බඩ බුරුල් කරන ප්‍රවණතාවක් තියෙනව...

      Delete
    3. ෆොර්ට්‍රන් 77 නේ අපි පවිච්හි කලේ ෆොර්ට්‍රන් IV ඇවිල්ල 66 වෙලා නේ 77ට ආවේ. ඔන්න මම පින්තුරයක් දැම්ම ඒ ප්‍රෝග්‍රෑම් එකේ . ඕක ගිහිල්ල වෙන නැගනහිර ජර්මන් රොබට්‍රෝන් එකේ තමයි ටයිප් කලේ

      Delete
    4. මං ළඟ පැස්කල් පොතක් තිබුන. ටර්බෝ පැස්කල් , මෙලෝ දෙයක් මතක නැහැ.

      Delete
    5. ඒ කාලෙ අපි ටෙක් ශ්‍රී ලංකා එකේ පැස්කල් ඉගෙන ගත්තා. පංතියෙදි ලියන්ඩ දෙන ප්‍රෝග්‍රෑම් ටික පොතේ දි ම අපි කම්පයිල් කරනව...

      Delete
    6. ඔය කොයි කාලේද , ඔයාගේ වයසේ හැටියට මොන ශත වර්ෂයේද

      Delete
    7. එකදාස් නමසිය අනූ ගණංවල... වැඩි ඈතක නෙමෙයි... :) පැස්කල් නෙව. ඔන්න ඩෙල්ෆිවත් නං කියන්න තිබුණ එකොළොස්වෙනි ශතවර්ෂයෙ කියල.

      Delete
    8. //පංතියෙදි ලියන්ඩ දෙන ප්‍රෝග්‍රෑම් ටික පොතේ දි ම අපි කම්පයිල් කරනව...//අම්මප ඒක , delphi මේ ඊයේ පෙරේද වෙනකන් තිබුන , ෆොර්ට්‍රන් එක්කම වගේ ආපු එකක් නේද

      Delete
    9. ඒකනෙ. අනූ නවය විතර වෙද්දි විෂුවල් ඩෙල්ෆිත් ආව වගේ මතකයි

      Delete
  11. "කලු" "කොට" විශේෂණ නං මටත් ඇවිත් තියෙනව. එත් මම එහෙම කියාපු හැම එකෙක්ටම වඩා ඉහළ තැනක සමාජමය අතින් දැන් ඉන්නව. ඒ උදවිය ගොඩක් වෙලාවට මා ළඟට එනව යම් යම් උපදෙස් සහ උපකාර සඳහා...

    එහෙම උදවිය ගැන අනුකම්පා කිරීම තමයි වඩාම සුදුසු.

    ReplyDelete
    Replies
    1. අනුකම්පාවක් නම් නැහැ. මම හොඳට කතා කළා, තරහා ගත්තේ නැහැ.. ඒ විශේෂණය තුන් පාරකට වඩා ඒ තැනැත්තා යෙදුව. මට මීටර් වුනා ඊට පස්සේ.

      Delete
  12. මං මේ කල්පනා කරේ අච්චර රසවත් කතාවක් ලියල තියෙද්දි කොහෙවත් නැති උස හා පාට ගැන අපි කමෙන්ට් කරන්නෙ ඇයි කියල??? රසවත් කතාවක්. ස්තූතියි. මං කවදහරි කසාක්ස්ථානෙ යන්ඩ හිතං ඉන්නෙ...රුසියානු පරිවර්තන වල හිටපු කසාක් වරු නිසා....වරක් යන්ඩ ලැබුනා ඒත් අම්මා හොදටම අසනීපවෙලා හිටපු හිංදා මට යන්ඩ හිත හදාගන්ඩ බැරි උනා....

    ReplyDelete
    Replies
    1. කසාක් වරු ඉන්නේ අයිත්මාතව් පොත් වල. කොසැක් වරු ඉන්නේ ෂෝලහොව් ගේ පොත් වල. ආයේ යන්න අවස්ථාවක් ලැබුන. කොවිඩ් නිසා කෙලවුනා

      Delete
    2. ආන්න... අයිත්මාතව් කිව්වම තමයි මීටර් වුනේ, අල්තීනායි ට ඒ තරම් ගැහැට විඳින්න සිද්ධ වෙන්නෙ ඇයි කියල. කසාක් වරුන්ගෙ මුස්ලිම් මුල් නිසා...

      Delete
    3. කසාක්වරු කියන්නෙයි කොසැක් වරු කියන්නෙයි දෙගොල්ලක්ද?

      Delete
    4. කට්ටකඩුව ඇතුළු අපි සෙට් එකකට ඔය වගේ ගමනක් යන්න තියනව නම් මරු

      Delete
    5. සොරි කට්ටකඩුවේ, ඔව් දෙගොල්ලක් කොසැක්වරු රුසියාවේ සහ උක්රයිනයේ ඉන්නේ

      Delete
  13. මේ ලිපියත් කලින් ලිපියත් ආසාවෙන් කියෙව්වා . ඔබේ ජීවන ගමන ගැනත් , චාරිකා ගැනත් තව ලියන්න .රොහාන් ඩිරෙක්ස් සහ ඔබේ සටහන් වලින් රුසියාවට ගිහින් එන්න හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ , රොහාන් ඩිරෙක්ස් මම දැනන් හිටියේ ඊයේ පෙරේද ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යැව්වා. ඔහුගේ හොඳ වෙබ් අඩවියක් තිබෙනවා

      Delete
  14. අපි අවුරුද්දක්ම ටෙක් ශ්‍රී ලංකා එකේ ඉගෙනගත්තෙ 80286 වලින්. අපේ කෝස් එක ඉවරවෙන්න කිට්ටුව තමයි ඒකට 95 දාපු මැසිමක් ගෙනාවෙ. හැබැයි අර 286 වල කලින් තිබ්බ මොනොක්‍රොම් මොනිටර වෙනුවට ටික කාලෙකදි කලර් මොනිටර් හම්බඋනා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අපි වින්ඩෝස් 95 ඉගෙන ගෙන ඒ සුදුසුකමිං රස්සා හොයද්දි වින්ඩෝස් 2000 නුත් ඇවිත්... අපේ දැනුම බොහොම ඉක්මනට අවුට් ඩේටඩ් උනා.

      Delete
    2. මේ කොයි කාලේද , දැන් මටම සුවර් නැහැ මොකද්ද මං ළඟ තිබබ් ඔරිගීනල් පියුටරේ කියල. 20 විතර තිබුන මේ කාලය තුල . මම හදපුවත් තිබුන මදර්බෝඩ් අරගෙන.

      Delete
    3. ඒක දිග කතාවක්. අපේ ඉස්කෝලෙ තිබුණා, ඔ්ලෙවල් ඒලෙවල් ඉවර කරපු අයට මාස තුනක විතර කෝස් දෙකක්. බේසික් ලෙවල් (ඩොස්, ලෝටස් 123, ඩීබේස්3+, වර්ඩ් පර්ෆෙක්ට්) , ඉන්ටමීඩියට් ලෙවල් (වින්ඩෝස් 3.1, ඔෆිස්, පැස්කල්) කියල. මං කළේ 95 දි බේසික්, 97 දි ඉන්ටමීඩියට්. අනූ නවය විතර වෙද්දි ඒ කෝස් දෙකේ උගන්නපුව අවුට් ඩේටඩ්.!

      අපිත් බොහොම ඉක්මනට කම්පියුටර් එසෙම්බල් කරන්න ගත්තා... 99 විතර වෙද්දි

      Delete
  15. එකිබස්තුස් පිලිබඳ කතා කරන විට මතකයට එන තවත් වැදගත් කාරනා දෙකක් තිබේ. එකක් නම් ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින් නමැති මහා ලේඛකයා පිටුවහල් කෙරුණේද මේ නගරයට වීමයි. එසේ නම් එයට සම්බන්ධ දෙවන කරුණ කුප්‍රකට ගුලාග් නමැති කම්කරු කඳවුරද තිබුනේ මෙහි වීමයි. සොල්ෂෙනිට්සින් ඉවාන් දෙනිසෝවිච් ගේ දවසක් පොත් ලියන්නේ ද මේ ගුලාගය ගැනය.

    ReplyDelete
  16. මේවා ලියන්න අජිත්... මේ කතා ඇතුලේ තව කතා මහා ගොඩක් තියෙනවා... ලංකාවේ අයට විසා නැතිව යන්න පුළුවන් රටක් නේද කසාක්ස්තානය ..?

    ReplyDelete
    Replies
    1. වීසා අනුමත කරපු ලියුමක් ඕනේ මම හිතන්නේ. ඒක ගන්න ලේසියි. හැබැයි ඒකනේ ජර්මනියේදී මාව පොලිස් යුනිට් එකේ තියන් ඉඳල ඊළඟ ෆ්ලයිට් එකට ගෙනිච්චේ. කසාක්ස්තාන් වලට යන නිසා සහ එහෙන් එන නිසා

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .