Thursday, 2 September 2021

සමන් අමරසිංහ සර්


අද වේදනාත්මක පුවතක් ආරංචි වුනා පිටරට වෙසෙන ආදී රාජකීයයන් සඳහා වූ වට්ස්අප්‍ කණ්ඩායමක් හරහා. ඒ සමන් අමරසිංහ ගුරුතුමා කොවිඩ් 19 වැළඳී අසාධ්‍ය වීමෙන් පසු මෙලොව හැර ගිය වග. ඔහු අසනීප වී සිටි බව දැන  සිටියත් එතුමාට  මෙතරම් අසාධ්‍ය වේ යයි මා සිතුවේ නැහැ. ජීවිතය කියන්නේ තණ අග පිණි බින්දුවක් කියන්නේ ඇත්තක්.

මේ ලිපිය ලියන්න මම උදේම ඇහැරුණා. දැන් වෙලාව උදේ හයයි. කවදාවත් ඔය වෙලාවට නැගිටින කෙනෙක් නෙමේ මම. 

සමන් අමරසිංහ රාජකීය විද්‍යාලයේ ඉගැන්වූ ගුරු මහතෙක්. ඔහු ප්‍රාථමික විදුහලින් පැමිණියකු  නිසා රාජකීය විදුහලේදී ඔහු මට වැඩිපුර සම්මුඛ වූයේ නැහැ දෙතුන් වරකට  වඩා. නමුත් ඔහු මට වෙනත් තැනකදී හමුවෙලා මම ඔහුගෙන් ඉගෙන ගෙන තියනවා. ඒ ඡායාරූපකරණය පිළිබඳව.  
සමන් අමරසිංහ රාජකීය විදුහලේම ඉගෙන එහි ශිෂ්‍ය නායකයෙකුද වී පසුව ගුරුවරයකුද වුනා. අප සිටිය කාලයේ අන්තර්වි දුහල් ක්‍රිකට් ශුරතාවයන් සඳහා වූ සංවිධානයක  නිලතල දැරූ ඔහු පසුව ශ්‍රී ලංකා  ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයක සභාපති පදවියක් ද දරුවා.

ඒ කාලයේ නැවතී තිබු රාජකීය ආනන්ද අන්තර් පාසැල් ක්‍රිකට්  තරඟයද නැවත පටන් ගන්නට ඔහු හා රන්ජන් මඩුගල්ල මුල්වූ බවක් මා අසා තිබෙනවා. 

එසේම සභාපති, ජනාධිපති ක්‍රීඩා සම්මාන , හිටපු ප්‍රධාන ලේකම් ,ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා පාසැල් පැසිපන්දු සම්මේලනය යන තනතුරුත් දරා තිබෙනවා. ඔහුගේ වර්ණවත් ජීවිතය එවැනි සංගම් රාශියක නිලතල දරා රටවල් ගණනාවක සංචාරය කළ අයෙක්.

රාජකීය විද්‍යාලයේම උගැන්වූ ගුරුතුමියක් හා විවාහ වී සිටි ඔහුට දියණියක් හා පුතෙකු සිටිනවා. දරු දෙදෙනාගේ ජයග්‍රහණ ගැන ප්‍රීතියට පත්ව ඔහු ෆේස්බුක් සමාජ ජාලය හරහා අප සමග කිහිප වරක්ම ඒවා බෙදා හදාගෙන තිබුනා.

පාසල් වලින් සංවිධානය කෙරෙන එඩින්බරෝ ආදිපාදවරයාගේ පාගමන් සම්මාන සඳහා වූ අවස්ථාවකට ලන්ඩනයට පැමිණි ඔහු නැසීගිය එම ආදිපාදවරයාද හමුවී තිබුනා. මේ සියලු තනතුරු මැදත් ඔහු නිහතමානී අයෙක්. මා රාජකීය විද්‍යාලයේ උගත් බව දැනගෙන ෆේස්බුක් සමාජ ජාලයෙන් හමුවූ මොහොතක ඔහුගේ ඡායාරූපකරණය පිළිබඳ පාඨමාලාවකට සහභාගී වූ බව මම ඔහුට පැවසුවා. ඔහු ඉන් ඉතා ප්‍රීතියට පත්වූ බව මතකයි.

මට මතක විධිහට අසූව දශකයේ මුල මම උසස් පෙළ කරන කාලයේ ජාතික තරුණ සේවා සභාව (national youth council) මගින් පැවැත්වූ ජායාරූපකරණය පිලිබඳ පාඨමාලාවකට සහභාගී වුනා. ඒ මම අයත්ව සිටි බාලදක්ෂ කණ්ඩායම හරහා. එය බම්බලපිටියේ පිහිටි එම මූලස්ථානයක පැවතුන එකක්. ප්‍රධාන දේශකයා වූයේ සමන් සර්. ඔහු හැමවිටම සිනාමුසු මුහුණින් ඉගැන්වූ අයෙක්. පාඨමාලාවට මා රැගෙන ගියේ පරණ පෙට්ටි කැමරාවක් (box camera). එය මගේ මහප්පා දුන් එකක්. අසූව දශකයේ මුල හොඳ කැමරාවල මිල ඉතා අධිකයි. රට විවෘත ආර්ථිකයට යොමු කළ අලුත. ඒත් පාඨමාලාවට පැමිණි සමහරු හොඳ SLR කැමරා රැගෙන පැමිණි බව මතකයි. ඉතින් මට පරණ බොක්ස් කැමරාව පෙන්වීමට ලැජ්ජාවෙන් එය බෑගය තුල සඟවාගෙන සිටියේ. සමන් සර් ට මෙය තේරුනා විය හැකියි. ඔහු වරක් මා අමතා කීවේ ඔහුද එවැනි පෙට්ටි කැමරාවකින් මුල් කාලයේ ඡායාරූප ගත් බවයි. ඉන් මගේ ලැජ්ජාව මග හැරුනා.

ඔහු අපව මීගමුවේ වෙරළට ඡායාරුප ගැනීම සඳහා වරක් රැගෙන ගියා. එසේම ශ්‍රී ලංකා පොලිසියේ ඡායාරුප ශිල්පියෙකුද ප්‍රසිද්ධ කවියෙකුද වූ විල්සන් හෑගොඩ මහතාණන් ගේ නිවසටද රැගෙන ගොස් එතුමා (විල්සන් හෑගොඩ) ගත් සම්මාන දිනූ ඡායාරූප රාශියක් පෙන්වමින් ඒවා ගැන ඉගැන්වූ බවත් මතකයි.

එම පාඨමාලාවේ මුස්ලිම් සම්භවයක් ඇති ගැසෙලා නමින් යුවතියක් සිටියා. ඇය මගේ උස පමණ වූ සුන්දර කෙල්ලක්. මා ඇය දෙස නිතර නෙත් යොමනවා සමන් සර් දකින්න ඇති. ගුරුවරුන්ට ඒවා දේශනා වලදී පෙනෙනවා ඇති නේ. සමන් සර් වරෙක හිමින් සීරුවේ සිනාමුසුව උරහිසට අත තබා කීවේ ඒ ළමයාට යහළුවෙකු සිටින බවයි. ඒ ගැහැණු ළමයා පසුව මගේ සමරු පොතේ (ඒ දවස් වල ඒවත් තිබුනා) සටහනක් දැම්මා. සමන් සර් ගේත් අත්සනක් එහි තිබුනා. හැබැයි ඒ පොත් නම් දැන් නැහැ.
ඔහු ගුරුවරයකු නොව වැඩිමහල් යහළුවෙකු ලෙස පාඨමාලාව තුල හැසිරුනේ. තරුණ තරුණියන් එක්ව කරන කතා බස් වලට ඔහු තහංචි දමන්න ගියෙත් නැහැ. ඔහුත් තරුණ වියේ සිටි නිසා වෙන්න පුළුවන්. එසේම රාජකීය විදුහලේ දී උනත් ඔහු කිසියම් සිසුවෙකුට තර්ජනය කරනවා හෝ පහර දී තිබුනා කියා කවදාවත් අසා නැහැ. ඔහු එතරම්ම ප්‍රියමනාප ගුරුවරයෙක්.

පාඨමාලාව අවසානයේ සහතික දෙන්නට විභාගයක් පැවැත්වුනා. ලියන කොටසක් සහ ප්‍රයෝගික පරීක්ෂණයක් පැවැත්වුණා. මම ලියන විභාගයට ලකුණු සීයට අනූවකට වඩා ගෙන තිබුණත් ප්‍රයෝගික පරීක්ෂණයේදී අකරතැබ්බයක් සිදුවුනා. පරණ පෙට්ටි කැමරාව තුල ෆිල්ම් රෝල හිරවී අඳුරු කාමරය තුලදී එලියට ආවේ නැහැ. එනිසා කාමරයේ එය ඇතුලට දමා රෝල එලියට ගන්නට තිබෙන අඳුරු කළ පෙට්ටියෙන් ද ඉවතට රැගෙන විවෘත කල නිසා බොහෝ ඡායාරුප වැඩි එළියට නිරාවරණය (over exposed ) වී තිබුණා. ඉතින් පින්තූර හරියට ආවේ නැහැ.
මම ලෝකයම එපාවී පැත්තකට වී ඉඳගෙන හිටින විට සමන් සර් මගේ ළඟට පැමිණියා. "ගණන් ගන්න එපා. ප්‍රයෝගික පරීක්ෂණය හරියට කළ හුඟක් අය කලින් අත්දැකීම් තිබෙන අය. ඔයාගේ පළමුවෙනි වතාව නේ . ඔයා හරියට ෆිල්ම් රෝල සාන්ද්‍රණ වලට දැමු බව මම දන්නවා. එස්එල්ආර් කැමරාවක් ගත් දවසක ඔය ප්‍රශ්නය එන එකක් නැහැ." ඔහු මා විභාගයෙන් සමත් කර තිබුනා.
ඉන් පසු සෝවියට් දේශයට ඉගෙනීමට ගිය මම සෙනිත් කැමරාවක් මුලින්ම ගත්තේ. ඊට පස්සේ ජර්මන් ප්‍රැක්ටීකා එකක්. අවුරුදු විස්සක් පරණ ඒ 35mm කැමරාව නම් තවම නිවෙසේ තිබෙනවා. තවමත් පින්තූර ගනිද්දී සර් කියා දුන් සමහර දේවල් මතකයි. සමහර දර්ශන ගනිද්දී අපගන්නා වස්තුව (focusing object) හැම වෙලේම පින්තුරයේ මැද තබන්න එපා කියා ඔහු උපදෙසක් දුන්න වරක්. පින්තූර ගැනීම මගේ විනෝදාංශයක්. දැන් තිබෙන්නේ නිකොන් කැමරාවක්. ෆේස්බුක් එකේ මා දමන සමහර පින්තූර වලට සර්ගෙන් ප්‍රතිචාර ලැබි තිබුන මෑත කාලයේදීත්.

සමන් අමරසිංහ සර්, ඔබට පැතූ නිවනක් අත්වේවා.

ඔබට සුභ ගමන්.

11 comments:

  1. සුන්දර මිනිසුන් අමරණීය වන්නේ ඔවුන් ඉතිරි කර යන මතකයන් තුළින්...

    ReplyDelete
    Replies
    1. එයා ගොඩක් රෝයල් එක ගැනම පෝස්ට් දාපු නිසා ගොඩක් අයට ඇල්ලුවේ නැහැ. එක ඉතින් එයාගේ මුලු ජිවිතෙමේ උන නිසා තමා එහෙම කලේ. නැත්නම් නිහතමානී මනුස්සයෙක්

      Delete
  2. ඔක්කොම කියෙව්වා, අගේට ලියලා තියනවා. සුන්දර මිනිසෙක්, හොඳ ගුරුවරයෙක්. ඔහුට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. ලිස්සුවේ නැති එකට ස්තූතියි

      Delete
  3. කියවන විටදී හොඳ මිනිසුන් ගැන මෙහෙම
    හිතෙනව මිනිස් ලොව ඉපදීමේ අරුම
    උපදිනවා තමයි ගොයියොත් වස නරුම
    සසඳා බලන්නට මේ උතුමන් මහිම

    ReplyDelete
    Replies
    1. ලස්සනට කවියෙන් පිළිතුරු දීල නිදි

      Delete
  4. එතුමන්ට නිවන් සුව ලැබේවා!

    සමන් අමරසිංහ මහතාත්, මුද්‍රණ ශිල්පය උගන්වපු සී.සෙ. ප්‍රනාන්දු මහතාත් දෙදෙනා 1972 දී NCGE තොවිලය පටන් ගත් කාලේ ගුරු දෙගුරු සංගමයෙන් ගෙවීම් කර ගුරු මණ්ඩලයට එකතු කරගත් ගුරුවරුන් ලෙස මගේ මතකයේ තියනවා. ඒ මතකය කොතරම් දුරට නිවැරදිද කියන එක නම් කියන්න අමාරුයි.

    කොහොම උනත්, ඒ දෙදෙනාටම ගුරුවරයෙකු වීමට තරම් වයසක් (වයස තියෙන්න ඇති, නමුත් බොහොම ලාබාල පෙනුමක් තමයි තිබුනේ) එකල පෙනුනේ නැති බව නම් හොඳට මතකයි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔබ නිවැරදියි '72 මම දෙකේ පන්තියේ. දැනගෙන ඉන්න විධිහක් නැහැ. නමුත් යාළුවෙක් ඔය කතාව කියා තිබෙනවා.

      Delete
  5. ක්‍රිකට් විනිසුරු සංගමයේ සභාපති ලෙස මට ඔහුගෙ නම මතකයි...ඔහුට සුබ ගමන්!

    පලි - සමරු පොත් දෙකක් හෝ තුනක් මා ළඟත් තිබුනා..එකක් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අත්සන් ගැනීමට..ලෝක ප්‍රසිද්ධ බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අත්සන් එහි තිබුනා..අවාසනාවකට ඒකට වෙච්චි දෙයක් මතකවත් නෑ... 🙁

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් පැත්තෙන් ගොඩක් සම්බන්ධයි.
      සමරු පොත් නං කොහෙද කියල නැහැ. ඒවා "අතුරුදහන් සමරු පොත් " හේ හේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .