Friday, 3 September 2021

මගේ පළමු ඔරලෝසුව - 2


මේ කතාව ලියන්නේ "නිදහස් සිතුවිලි" බ්ලොගයේ රවි ලීව එකක් මතක් වෙලා.  ඒ ලිපියේ නම මගේ පළමු ඔරලෝසුව. ඉතින් මගේ ලිපියේ මාතෘකාව හැටියට  පළමු ඔර්ලොසුව  -2 කියල දැම්මේ ඒකයි.

මම ඕලෙවල් කරන කාලේ අපට බොහොම අමාරු කාලයක්. කොළඹ ජිවන වියදම වැඩියි. රාජකීය, විශාඛා , සෙන්ට් ඇන්තනිස්, සහ සෙන්ට් මයිකල් ගිය වැඩෙන ළමයි හතර දෙනෙක් ඉන්න පවුලක්. නිදහස් අධ්‍යාපනය කියල කොපමණ කීවත් ඔය පාසල් වලින් එන අමතර වියදම් තියෙනවා. ඉතින් අපට ලැබෙන දෙයින් සතුටු වෙලා ඉගෙන ගන්නවා මිසක් දැන් ළමයින්ට තියෙන පාරිභෝගික  වස්තූන් ගන්න "සිහින" අපට තිබුනේ නැහැ.



මම අපොස සාමාන්‍ය පෙළ ව්භාගය සමත් වුනේ විශිෂ්ඨ සම්මාන හයයි සම්මාන දෙකක් එක්ක.  ඉතින් අම්ම මට අරන් දුන්න ඔරලෝසුවක්. ඒක තමයි මගේ පළමු ඔරලෝසුව. ඒක මොන්ඩියා එකක්. ඉතින් ඒ දවස් වල රියල්
මොන්ඩියා ගන්න අපට සල්ලි නැති නිසා මම හිතන්නේ ඕක කොපියක්. හැබැයි හැබෑ මොන්ඩියා එකේ වගේ ක්වාර්ට්ස් වගේ ගල් ජාතියක්  අල්ලල තිබෙනවා ලස්සනට ඩයලය වටේට.  මමත්  ඕක බොහොම උජාරුවෙන් දාගෙන එහෙ මෙහෙ ගියේ.

 අපේ ඒ ලෙවල් පන්ති වල බංකු මේස තියෙන්නේ පේලියට උඩට යන්න. ඔය  උඩ පේලියක ඉන්න පන්තියේ බ්‍රයිටෙක් ගෙන් යමක් අහගන්න මම උඩ පේලියට ගියා. එයා ගාව ඉඳගන්න එක ඩයල් එකක්  මම දන්න විධිහට අමාත්‍යංශ ලේකම් කෙනෙක් ගේ පුතෙක්. ප්‍රශ්නේ අහලා යනකොට මෑන්ස්  මගේ ඔරලෝසුව දැකලා  ඒක ඉල්ලාගත්ත බලන්න.  පොර කියනවා දැන්.

"ශා මේක මර ඔරලෝසුවක් නේ. මොන්ඩියා නේද? ක්වාර්ට්ස් ද ඩයමන්ඩ් ද  ඔබ්බලා  තියෙන්නේ? "

දැන් මට අවුල්. මට හොඳටම ෂුවර් මූ මට හිනා වෙනවා කියල.  

මම කිව්වා "නෑ නිකන් වීදුරු ගල් වෙන්න ඕනේ ." කියල.

දැන් මෙයා ඔරලෝසුව අල්ලනවා ඉර එළියට.
"පිස්සුද මේ ඉර එළියට දිළිසෙන්නේ. මාර ගානක් ඇති නේද මේක. කොහෙන්ද  ගත්තේ"  දැන් මට මාර ජුවල්. මට දාන සවුත්තුවට.

"මම දන්නේ නැහැ . අපේ අම්ම ගෙනත් දුන්නේ "

මට යන්තමට වගේ මතකයි  මෑන්ස් ඇහුවා කියල. "අම්ම ස්විට්සර්ලන්තේ ගියාද කියලත්." 

මම මුකුත් නොකියා ඔරලෝසුවත් අරගෙන පල්ලන් බැස්ස මගේ පේළියට.
ඊට පසේ මම ඔය ඔරලෝසුව පන්තියේ වැඩිය පෙන්නන්න ගියේ නැහැ. එක්කෝ සාක්කුවේ. නැත්නම් අතින් වහ ගන්නවා. 

හැබැයි මට දැන් ෂුවර් නැත්තේ මේ මනුස්සයා මට ඔලොක්කුවට කීවද ඇත්තටම විශ්වාස කලාද කියල මේක රියල් මොන්ඩියා එකක් කියල.

සෝවියට් දේශයේදී නම් මම මේ ඔරලෝසුව පැළඳගෙන හිටිය. රුස්සන්ට ඒ කාලේ වෙනසක් තේරෙන්නේ විධිහක් නැහැනේ.
පස්සේ ඉතින් ලන්ඩන් ගිය ගිය වෙලාවට කැසියෝ ආදී ඒ කාලෙට ජනප්‍රිය වෙන  ඔරලෝසු එක එක ජාතියේ ඒවා ගත්ත. සමහර ඒවා රුස්සෝ ඉල්ලන කොට වික්ක. ඒවල එච්චර වටිනාකමක් මට තිබ්බේ නැහැ අර අම්ම දීපු ඔරලෝසුවට  වඩා ගණන් වැඩි වුනත්.


ඊට පස්සේ කාලෙක මම යාළු  වෙලා හිටිය රුසියානු පෙම්වතිය අරන් දුන්න ඔය පල්යොට් කියන ඔරලෝසුව. ඒ කාලේ හැටියට ලොකු ගාණක්. එයා වැඩ කරලා හොයපු සල්ලි වලින්.     ඒකත් දැන් රුස්සෝම ඉල්ලනවා ලොකු ගණන් වළට. පවුම් 200ට එහා . සෝවියට් දේශයේ ගහපු හොඳම ඔරලෝසු වලින් එකක් කියල. වෙනම ඇන්ටික් වටිනාකමක් තියෙනවලු. දැන් ඔය වෙන පටියක් දාල තියෙන්නේ. ඔරිජිනල් එක කැඩුන මගේ අතින්.
 
 ඔරලෝසු දෙකම දැන් හැඟීම්බර වෙන වස්තූන් දෙකක්. සෙන්ටිමෙන්ටල් අයිටම්ස්.

පලවෙනි ඔරලෝසුව ගිය සැරේ ලංකාවට ආපු වෙලේ මල්ලිගේ ලාච්චුවේ තිබිල ඉස්සුවා. 

"අඩෝ මේක මගේ ඩෝ" කියල. ඒ මනුස්සය ඒක මෙපමණ  කල් තියන් හිටිය එකටවත් ස්තුති කළේවත්  නැහැ.

දෙවෙනි එක දුන් කෙනා ජිවතුන් අතර නැහැ කියල තමා දන්නේ.
 

 

38 comments:

  1. මොන්ඩියා කියන්නෙ පට්ට බ්‍රෑන්ඩ් එකක්. මට මතකයි රෙඩ් හීට් එකේ ආනෝල්ඩ් ට ඇමරිකන් පොලිස් කාරය ඔය වගේම වටිනා ඔරලෝසුවක් දෙනව හිතවත් කමට. ආනෝල්ඩ් දෙනව එයාගෙ ඔරලෝසුව. රුසියන් නමුත් ලාබ ඔරලෝසුවක් කියල මතක. මේ තියෙන්නෙ.

    මගෙත් පළවෙනි ඔරලෝසුව ඔමේගා සීමාස්ටර් එකක්. තාත්ත දුන්නෙ. මම කඩාගත්ත. අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි නැහැ ඇමෙරිකානු පොලිස් නිලධාරියා දුන්නේ මොකක්ද කියල.ඒ දවස් වල අමෙරිකන් චිත්‍රපටි වල රුසියානුවෝ හැටියට රඟපාන නළුවෝ ඔක්කොම අසාර්ථකයි. බැලුවහම හෙන ගොන්. ඔය චිත්‍රපටය දැන් බලන්කොටත් හිනා යනවා. , දැන් රුස්සෝම ගන්න නිසා සෑහෙන්න හොඳයි.

      Delete
    2. නළුවන්ගෙ අසාර්ථකකම වගේම, ඇමරිකාවට රුසියාව නිරූපණය කරන්න ඕනෙ වුණූ විදිහත් ඕකට බලපානව.

      Delete
    3. ඔව් ඇමෙරිකන් සිනමාවට කවුරු හරි හතුරෙක් ඕනේ . දැන් ඉනන්ව අල කයිඩා වගේ ඒවා හේ හේ

      Delete
  2. නැගෙනහිර ජර්මන් ඔරලෝසුවක් ආනෝල්ඩ් දෙන්නෙ... (නිවැරදි කිරීමකි)

    ReplyDelete
    Replies
    1. ගණන් අඩු වුනාට නැගෙනහිර ජරම්න් බඩු හොඳයි. මම ගත්ත ප්‍රක්ටිකා කැමරාව තවම තියනවා.

      Delete
  3. මගේ පලවෙනි ඔරලෝසුවත් මොන්ඩියා එකක්. අනිවාර්යයෙන්ම කොපියක් තමයි.75 විතර ගත්තෙ. තාත්තා ලඟ තිබුන Oris එකක්. එක නම් කොපි නෙමෙයි. අම්මා Romer එකක් පාවිච්චි කලා ජනතාවට වේලාව දක්වන අයගෙන් ගත්ත.ඉලෙක්ට්‍රොනික් ඒවට මගේ කැමැත්ත අඩු නිසා ඊට පස්සේ ගත් දෙකම Automatic ඒවා. ඔය ඔරලෝසුව අරං දීපු ලමයා එක්ක මිතුරියක් හැටියට වත් සම්බන්ධ කමක් තිබුනෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම එලෙක්ට්‍රොනික් හා මෙකනිකල් දෙකටම කම්හි. රේඩියෝ කොන්ට්‍රෝල්ඩ් එකකුත් තියනව.අ දැන්නම් දිගටම ඇපල් වොච් එක තමා. රුසියානු පෙම්වතිය කියල ලියල තියෙන්නේ. තේරුනේ නැහැ ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. //පලවෙනි ඔරලෝසුව .. තිබිල ඉස්සුවා. දෙවෙනි එක දුන් කෙනා ජිවතුන් අතර නැහැ කියල තමා දන්නේ//

    හ්ම්...පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ.

    ReplyDelete
    Replies
    1. කලින් පෝස්ට් එකේ ඔය වකියම ලීවා , සමන් සර් ගැන

      Delete
  5. ඔරලෝසු කියන්නේ අපට මතක තිබෙන කාලයේ තාක්ෂණයේ දියුණුව නිසා මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් වූ ආකාරය හොඳින් පිළිබිඹු කරන දෙයක්. අපි කුඩා කාලයේ ඔරලෝසු ගණන් ගැනුණේ ගෙදරක තිබුණු වටිනාම භාණ්ඩ වලින් එකක් විදිහටයි. අත් ඔරලෝසුවක් මිල දී ගැනීම ටිකක් ලොකු බලාපොරොත්තුවක් වගේම ලොකු achievement එකක්. මගේත් ඔරලෝසු කතා කීපයක් තිබෙනවා. බ්ලොග් එකේ ලියන්න අමාරු තරමට පෞද්ගලිකයි. මගේ පළමු ඔරලෝසුව මිල දී ගත්තේ මාසයකට වඩා කාලයක් එක දිගට වැඩ කරලා උපයා ගත් මුදලකින් පහළ පංතියකදී. සැලකිය යුතු තරම් විශාල මුදලක් මේ වෙනුවෙන් වැය වුනා. වර්ගය ගැන එතරම් මතකයක් නැහැ. ඒ දවස් වල ඔරලෝසුවක් තියෙනවා කියන එකම ලොකු දෙයක් නිසා බ්‍රෑන්ඩ් එක ගැන එතරම් සැලකිල්ලක් තිබුනේ නැහැ. ඊට අවුරුදු හතර පහකට පස්සේ රුපියල් පණහට කැසියෝ ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු (හෝ එනමින් ආ ව්‍යාජ ඒවා) ආවා.

    ඒ දවස් වල තිබුණු සෝවියට් අත් ඔරලෝසු ගැන විහිළු කතාවක් සමහර විට අජිත් අහල ඇති. (බැටරියේ කතාව)

    ReplyDelete
    Replies
    1. මේකද A Polish tourist comes back home after visiting the USSR. He carries two very large and heavy suitcases. On his wrist is a new Soviet-made watch. He tells the customs man: "This is a new Soviet watch. It's a wonder unknown in the capitalist countries. You see, it shows time, the rate of your pulse beats, the phases of the Moon, the weather in Warsaw, Moscow, and New York, and more and more!"

      "Yes, it's a wonder," the customs man agrees. "And what is it you have in these big suitcases?"

      "Oh, it's just the batteries for that watch."

      Delete
    2. සෝවියට් වරුන්ට අති විශාල දේ නිර්මාණය කිරීමේ හැකියාවක් තිබුනත් පොඩි භාණ්ඩයක් හරියට නිර්මාණය කර ගන්න බැරිවුනා . ඒ දවස් වල තිබ්බ කැල්කියුලේටර් හෙන විශාලයි.මම ලන්ඩන් ඇවිත් කැසියෝ එකක් අරන් ගියා. තවම තියනවා. ඒක.

      Delete
    3. ඔය ඔරලෝසුව හොඳ වෙලාවට බැටරි එකක් නෙමේ . හේ හේ

      Delete
    4. ඔව්. ඔය කතාවේම ලංකාවේ වර්ෂන් එකක් තමයි මම අහල තිබුණේ.

      ඔය පොඩියට හදන එක මම හිතන්නේ ජපානය මුල් වී සිදු වුනු දෙයක්. පොදුවේ යුරෝපීයයන්ට (රුසියන් හා ඇමරිකන්ද ඇතුළුව) බඩුවක ප්‍රමාණය විශාල වීම ලොකු ගැටලුවක් වුනේ නැහැ. ශරීර ප්‍රමාණය ලොකු නිසා වෙන්න ඇති. ඔය ගොඩක් බඩු ලොකු වැඩි වුනේ ශරීර ප්‍රමාණයෙන් කුඩා ජපනුන්ට. ඒ නිසා ඒ වෙළඳපොළට හරියන විදිහට සුරුවමට බඩු සැලසුම් වුනා.

      Delete
    5. ඒකත් ඇත්ත. ඒ දවස් වල රුසියානුවෝ ලොකු කැසට් රෙකෝඩර් කරේ තියාගෙන සින්දු අහ අහ යනව. අපි වෝක්මන් පාවිච්චි කළා. හැබැයි දැන් ඔය කරේ තියන් යන එක ලන්ඩන් වල ආයෙත් විලාසිතාවක් වෙලා.

      Delete
  6. සල්ලි කාරයෙක්.

    මං පොදු සහතික පත්‍ර විභාගය පාස් වුණාම (ප්‍රතිපල ඔහෙගේ තරමටම හොඳයි, හරිය) අම්මා ගෙනැවිත් දුන්නා තේ බොන්න මග් එකක්. තාත්තා දුන්නේ ඉංග්ලිෂ් පාඩම් පොතක්.

    මට ඕනේ කළේ පා පැදියක්.

    ReplyDelete
    Replies
    1. මොන සල්ලි කාරයෝද ඒ කාලේ පොල් සම්බෝලයි පානුයි ගෙනි යන්නේ උදේට. කැන්ටිමෙන් කන්න සල්ලි දෙන්නේ නැහැ. හතර දෙනෙකුට කියක් දෙන්නද ජෑම් එක ඉවර වුනොත් ඒ මාසෙට ආයේ ජෑම් නෑ, බටර් නෑ දැන්නම් මාර ආසයි පොල් සම්බෝලයි පානුයි කන්න. මම ඕලෙවල් වලින් පස්සේ ටියුෂන් දෙන්න පටන් ගත්තම තමයි කැන්ටිමෙන් කන්නවත් සල්ලි අතේ තිබ්බේ. ඒත් එතකොට ඒ සල්ලි වලින් පොත් ගන්නවා

      Delete
  7. උඩින් තියෙන comments දකිද්දී ඔයාලා කොච්චර වාසනාවන්තයිද කියල හිතෙනවා.

    මගේ පළමු ඔරලෝසුව කොයි කාලේ ගත්තාද කියලවත් මතක නෑ. තෑගී විදිහට හම්බ නොවුණු එකක්නෙ. කිව්වම හිනා යයි, මගේ පළමු දිගු කලිසම තමා මට ලැබුණු ලොකුම (මුල්ම) තෑග්ගක් විදිහට මතක තියෙන්නේ. ඒකත් මට අවුරුදු 19 ක් වෙලාත් කොට කලිසම් අඳිමින් හිටිද්දී, සරත් රංචාගොඩ කියලා යහළුවෙකු එයාගේ වියදමෙන් මස්සල දුන්නේ!
    විස්තර පස්සේ පොස්ට් එහෙකම ලියනවා!





    ReplyDelete
    Replies
    1. නිදි අනේ සොරි මචෝ. දිග කලිසම මම හතේ පන්තියේ ඉඳන්ම අඳින්න ගත්ත මට මතක විධිහට . අනිත් එවුනුත් අඳින නිසා. ඔය තෑග්ග තමා තෑග්ග. තාත්ත මුල් කාලේ ඔය සෝවියට් ළමා කතන්දර ගෙනත් දෙනවා තැගී විධිහට. පස්සේ පස්සේ නැවත්වුන ඒවත්

      Delete
    2. ඒ කාලේ මට ලැබීම තිබුණේ අඩුවෙන් වෙන්නැති, අජිත් මහත්තයෝ.

      අපේ තාත්තා මට වයස හත- අටක් විතර කාලේ පොත් තුනක් ගෙනත් දුන්නා. දෙකක් මට. ගුණසේන එකෙන් ගහපු 'රත්තරං මාළුවා' හා 'කොණ්ඩ කිරිල්ල' මට. සුනිල් මල්ලිට 'මිනිසා හඳට යයි'. ඒවා නං එච්චරම තමා....

      Delete
    3. ඒකට දැන් ලොකු පුස්තකාලයක්ම තියෙන්නේ ගෙදර. වෙලාවක ඇවිත් ඔය ගෙදර සතියක් පදිංචි වෙලා පොත් ටික කියවල යන්න ඕනේ. හේ හේ

      Delete
    4. අම්මට සිරි! කවුද ඔත්තුව දුන්නේ?

      Delete
    5. ඇයි යකෝ මම එදා ආව මතක නැත්ද? ජයතුංග සහ සමාගම එක්ක

      Delete
  8. පළමු ඔරලෝසුව කියල එකක් ලියන්න පුලුවන් වුණත් ඒකට සතුටුදායක අවසානයක් නෑ. 😔

    මොන්ඩියා අහලවත් නෑ. 😃 අපි දන්නෙ සිටිසන් නෙව. ඒවැත් හොර කොපිිවෙන්ඩෝනලංකාවට එන්නෙ .
    G-Shock S-Shock වගේ ඒව වුණත් එන්නෙ කොපි. හොඳ ඒව ගන්න අපිට වත්කමක් නෑකියල හිතනවද දන්නෑ

    ReplyDelete
    Replies
    1. ලංකාවට කොපි එනව කියල කොහොම හරි මම ඒ දවස් වල දන්නවා. නැත්නම් ඔය මොන්ඩියා එක හම්බ වෙන්නේ නැහැ. හැබැයි දැන් ඔය ඔරලෝසුව තවමත් වැඩ කරන නිසාත් ඔය වගේම ඔරිජිනල් මොන්ඩියා මම දැකල තියෙන නිසාත් ඒ කොපි හොඳ ඒවා කියලයි මට හිතෙන්නේ.

      Delete
  9. පළමු ඔරලෝසුව කියල එකක් ලියන්න පුලුවන් වුණත් ඒකට සතුටුදායක අවසානයක් නෑ. 😔

    මොන්ඩියා අහලවත් නෑ. 😃 අපි දන්නෙ සිටිසන් නෙව. ඒවැත් හොර කොපිිවෙන්ඩෝනලංකාවට එන්නෙ .
    G-Shock S-Shock වගේ ඒව වුණත් එන්නෙ කොපි. හොඳ ඒව ගන්න අපිට වත්කමක් නෑකියල හිතනවද දන්නෑ

    ReplyDelete
    Replies
    1. ඒ කොමෙන්ට් එකම ආපහු ලීවද

      Delete
  10. පළමු ඔරලෝසුව කියල එකක් ලියන්න පුලුවන් වුණත් ඒකට සතුටුදායක අවසානයක් නෑ. 😔

    මොන්ඩියා අහලවත් නෑ. 😃 අපි දන්නෙ සිටිසන් නෙව. ඒවැත් හොර කොපිිවෙන්ඩෝනලංකාවට එන්නෙ .
    G-Shock S-Shock වගේ ඒව වුණත් එන්නෙ කොපි. හොඳ ඒව ගන්න අපිට වත්කමක් නෑකියල හිතනවද දන්නෑ

    ReplyDelete
    Replies
    1. // හොඳ ඒව ගන්න අපිට වත්කමක් නෑකියල හිතනවද දන්නෑ// මයික්රෝස්සොෆ්ට් වගේ කම්පැනි ටිකක් වෙනස් වර්ෂන් විකුණනවා නේද ලංකාවේ. අනික මම බලල තියෙන දෙයක් තමයි ලංකාවේ චීන බඩු එංගලන්තේ ට එවන ඒ චීන බඩුවටම වඩා කොලිටි එක අඩු බව. මේ රටවල තිබෙන නීති නිසා වෙන්න ඇති. අපි සමහර විට ජර්මනියෙන් අරන් එනවා විදුලි ලාම්පු සහ අනිකුත් ගෙදර දොරේ බඩු. කොලිටිය එංගලන්තේ ඒවාට වඩා හොඳයි. ජර්මනියේ නීති මෙහෙටත් වැඩිය තදයි ඒ පැත්තෙන්. ලංකාවේ නීතියක් නැහැ . ඕන මළ ජරාවක් විකුණලා ගැලවෙන්න පුළුවන්

      Delete
    2. මම හිතුවෙ මේ කමෙන්ට් වැටිල නෑ කියල. ෆෝන් එකෙන් කියවල දැම්මෙ. යට තියන එකත් අයිං කරන්න.
      තුන් හතර පාරක් ට්‍රයි කරලත් කමෙන්ටුව නොපෙන්නපු නිසා දමල ගහල නිකා හිටිය. බලං ගියාම ඔක්කම පබ්ලිස් වෙලා

      Delete
    3. අර ඒ කාලේ තිබබ් ඇනෝ ප්‍රශ්නයක් නිසා කොමෙන්ට් මොඩරේට් කරනවනේ. ඉතින් ම්ම් බලනකන් ඒක පබ්ලිෂ් වෙන්නේ නැහැ. ඔයා කොමෙන්ට් එක දාල තියෙන්නේ උදේ, මම නිදි. මම නැගිටින වෙලාව උදේ 8.00 - 8.30 වගේ, ලංකාවේ වේලාවෙන් දවල් 12.30 ට විතර.අර පරක්කුව එන්නේ ඒකයි.

      Delete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. /Ajith Dharma.June 30, 2021 at 3:52 AM
    මටත් තියනව ඔරලෝසු කතාවක්. වහාම ලියන්න ඕනේ/

    මගේ ඔරලෝසු කතාවට අජිත්ගෙ කමෙන්ට් එක... :)

    ReplyDelete
    Replies
    1. ජූනි අග ඉඳන් සැප්තැම්බර් වලට වැඩි කාලයක් නැහැ :)

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .