Tuesday 24 August 2021

කළු රන්ජිත් සුදු බවට පත්වූ අරුමැසිය


මෙයට කලින් දිනයෙක උපහාසාත්මක රචනයක් ලියා තිබුනා මතකද? "අරක්කු බෝතලයෙන් ශේප් වුනු කළු රන්ජි ගේ සුදු පොත" නම්වූ  ඒ ලිපිය අවශ්‍ය නම් ඉහත යොමුවෙන් කියැවිය  හැකියි.  සෑහෙන පාඨකයන් ප්‍රමාණයක්  ලිපිය කියවා  තිබුණු බව නම් දුටුවෙමි.   උපහාස රචනයක් යනු කුමක්දැයි නොතේරෙන අයද සිටින බව මම එම ලිපිය නිසාම දැන  ගත්තෙමි. ඇත්තම මට ඒ පොතේ මාතෘකාව ගැන ප්‍රශ්නයක් නැත.  රචකයා හෝ ප්‍රකාශකයා  නම දමා ඇත්තේ ශ්‍රී ලංකාව යන රටේ ඇති යථාර්තය පිලි ගෙනය. එය ඇත්තක්  නොවේද? දැන් අසිරිමත් ලංකාවේඉන්නා  බයියන්, ටොයියන් ,  ජෙප්පන්, පෙරෙට්ටන්  , දාර්ශනිකයන්  ආදී මෙකි නොකී අය   පිටරට ඉන්නා උන් එහෙ නිදි වදින්නේ නැතිව අප හදන්නට එන්නේ යයි වැළපෙනු නිසැකය. ලංකාවේ වැඩි හරියක් සිතන්නේ එසේ නම් පොතකට එවැනි නමක් දැමීමේ වරදක් ඇත්ද? සුදු යන්නෙන් ලංකාවේ  බොහෝ විට අදහස් කරන්නේ හොඳ යන අරුතිනි? ලංකාවේ ඉන්නේ සුදු පුතා , සුදු දුව, සුදු පැටියා, සුදු මහත්තයා , සුදු අම්මි ආදීන්ය. තමන්ගේ එවුන්ට එසේ කියන ගමන් අර සුද්ද , අර සුද්දී යනුවෙන් පහත ආකාරයෙන් බැන වදින්නෝ ද සිටිති. තමන්ගේ ළමයාට සුදු මහත්තයා යයි  කියන ගමන් සුදු අධිරාජ්‍යවාදීන්ට බනින උන්ද සිටිති. එනිසා මේ පොතේ නම ඉතාමත් ගැලපේ.  

ලන්ඩනයේ  සිටින සහෘදයකු වන සරද සමරසිංහ ලියු නවතම කෙටිකථා  පොත වන "සුදු පාටේ සුරතාන්තය" පොතේ "කළු සුදු කර ගැනීමේ " ප්‍රවණතාවය   ගැන අපූරු  කෙටි කතාවක්  කියෙව්වෙමි. 

 කළු යනු ගතිගුණින් නරක හා සුදු යනු ගතිගුණින් හොඳ අය නිසා හමින් කළු වුනත් රන්ජි හදින් සුදු මිනිහෙකි. ඒ නිසා පොත ලියා  ඇත්තේ  මේ අපූරු ජනතාවට  ගැලපෙන භාෂාවෙනි. 

ඉතින් මම ලියු පොතට සුදු රුසියන් කෙල්ලෙකුගේ මුහුණක් දැම්මාට කම් නැත. තරුණ  කෙල්ලන්ගේ මුහුණු පොත් වල දමා ලියන පෙම්කතා බොහෝවිට විකිණෙන බව මම දැනගත්තේ 2019 දී ලංකාවේ දීය. මමත් ඒ කාලයේ මගේ සොයුරියන් කියවන නිසා හෝ කුමාරි පත්තරේ කියැවූ කෙනෙකි. ඒ "කුමරි" පන්නයේ පෙම්කතා කොපමණ දුක් කම්කටොලු තිබුනද අවසානයේ දී "සැබෑ පෙම " ජය ගන්නා ඒවාය.  ඒවායේ වැඩි  හරියක සුදු උස කොණ්ඩය දිගැති උගත්,  සමහර විට ඉංග්‍රීසි කතා කළ හැකි, කෙල්ල, සමහර විට විශ්ව විද්‍යාලයට යන ඩෙනිම් අඳින නංගි  , පෙමින් වෙලෙන්නේ තරුණ පොලිස් පරීක්ෂකවරයෙකු, වෛද්‍යවරයෙකු, රණවිරු හමුදාවේ කැප්ටන් කෙනෙකු, ගුවන් හමුදා ගෘප් කැප්ටන් කෙනෙකු,   අමෙරිකාවෙන් හදිසියේ පැමිණෙන පොහොසත් එහෙත්  හරිම නිහතමානි විද්‍යාඥයෙකු හෝ  ඉඳහිට ඉංජිනේරුවෙකු ආදී වශයෙනි.  එවැනි පොත් මිලදී ගන්නා පාඨක ප්‍රජාවක් සිටිති.

මම ප්‍රකාශක මහතා සමග කතා කල පසු පොතේ පළමු පිටුව ඇඳ දුන්  දියණියද අමනාප කරගෙන ගත් තීරණය වූයේ "සම්භාව්‍ය පොත්" කියවන්නාට  නොව , ඔවුන්ට කොහොමත් සම්භාව්‍ය ග්‍රන්ථ  ලියන කතුවරුන් සිටින නිසා , මේ අලුතින්  හඳුනාගත් ජන කොටස  මගේ පොත කියවිය යුතු බවටය. මා සිතූ පරිදිම පොත මිලදී ගත් සමහරුන් "පෙම්වතුන්" ගේ පෙම අවසානයේ ජය නොගත් බවට ප්‍රකාශක  තුමාට මැසිවිලි නගා තිබුණි.   

"මම ඔයාට කීවේ මේ වගේ පිටකවර  තියෙන පොත් කියවන කට්ටියට අවසානය හොඳ වෙන්න ඕනේ කියලා" ඔහු මට කීවේ ලංකාවේ දීමය. නමුත් පොතේ පිටපත් හත්සීයක් පමණ විකිණී ඇති බව දැනගතිමි. ඒ කියන්නේ අඩුම ගණනේ ඉංජිනේරුවෙකු හා රුසියානු දත් දොස්තරවරියක ගේ නොදිනූ  පෙම ගැන ඔවුන් කියවා ඇත. 

ජයසිරි අලවත්ත ගේ "කළු රන්ජිත් සුදු මිනිහෙකි" පොත ගැන මම බලන්නේ ඒ දෘෂ්ටි කෝණයෙනි. කළු රන්ජිත් "පළමු වරට " හමුවුනා යයි මා සිතුවේ මගේ පළමු පොත "පොල්කට්ටෙන් එපිටට " ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ත්‍රිකොන් හිදී එලි දැක්වූ දවසේය. එහිදී "හිතුවක්කාරී" නමැති පොත රැගෙන එලියට එන අයට බෙදමින් සිටියේ ඔහු බව පසුව දැන ගතිමි.  මා පොතට මුදල් දෙන්නට හැදුවද ඔහු එය භාර ගත්තේ නැත. ඔහු මටද එදා උදව්වක් හෝ දෙකක් කළේය. 1975 ලුණුගලින් ආ පසු එහි නැවත  නොගියද  " හිතුවක්කාරී" පොතේ තිබූ ලිපිනයකින් ගුණරත්න නමැති කතුවරයා නැවත හඳුනා ගන්නට ලැබීමයි. එක පරිච්චේදයක ලුණුගලද සම්බන්ධ  ඔය ඉහත ලියන ලද "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කතාව ලියන්නට සිතට අදහසක් ආවේද ලුණුගල මතක් වීමෙනි.  එනිසා රන්ජි මට නොදැනුවත්වම උදව් දෙකක් කර ඇත. මංජුල වෙඩිවර්ධන කියන්නාක් මෙන් "නොදැනුවත්ව" උදව් කළ හැක්කේ ශාන්තුවරයෙකුට පමණක් විය හැකිය.   

ඉන්පසු මට "කළු රන්ජි" හමු වුනේ පොත් ප්‍රදර්ශනයක දී විය යුතුය. එහිදී මගේ පොත්  කිහිපයක් ඔහුට දුන් බවට මතකයක් තිබේ.  
ජයසිරි අලවත්තගේ පොත  කියවද්දී මට මතකයට ආවේ මා ඊට කලින්ද කළු රන්ජි හමුවී ඇති බවය. එවකට සෝවියට් දේශයේ ශිෂ්‍යයෙකු වූ මා කොල්ලුපිටියේ හෝ කොටුවේ  පිහිටි  ඔහුගේ "ඩියුටි ෆ්‍රී එකෙන් භාණ්ඩ රැගෙන විකුණන " ව්‍යාපාරික ස්ථානයට මගේ ගමන් බලපත්‍රයේ අවසරය විකිණූ බව මතක් වීමෙනි.

මේ පොතේ මට ඉතාමත් වැදගත්ම කොටස් වන්නේ නන්දන මාරසිංග ගැන ලියා ඇති  කොටසයි. (පිටුව 183)  මීට කලින් නන්දන මාරසිංහ ගේ මරණය  මැයින් මා ලිපියක් ලියා තිබේ.   ඒ  චරිතය මා  බලවත් උනන්දුවක් දැක්වූ  එකක් වන්නේ ඉදිරියේදී ලියවෙන ලිපි කිහිපයක් සඳහාද එය වැදගත් නිසාය.  ඒ ගැන මතක් කර ලියූ තවත් ලිපියක මා  මෙසේ සඳහන් කර තිබුණි..

//මේ කාලයේ  සිදුවූ එවැනි තවත් ඝාතනයක් නම්  නන්දන මාරසිංහය. (යොමුව)මේ ඒ ගැන මා ලියු ලිපියකිනි.  "කාලයේ රාවය " ගීත සමුච්චය කළ නන්දන ජවිපෙ බැංකු කොල්ලයක් කළ අය  ගැන පොලිසියට දැනුම් දුන්නා යයි චෝදනාවක් කැන්ගරූ උසාවියක ඉදිරිපත්  කර මරා දැමුණි. (පොලිස් ඔත්තු කරුවෙකු ලෙස නම් කර ) එම ඝාතනයට දෙදිනකට පෙර ඔහු සමග සිටි, එසේම ඝාතන තර්ජනයකට ලක්ව සිටි සුනිලා  අබේසේකර මහත්මිය සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නන්දන ගෙන් ඉල්ලා සිට ඇත්තේ ඔවුන් සමග කොළඹ පැමිණ සැඟවෙන ලෙසයි. නමුත් විජේවීර බේරා ගැනීමට යාපනය සිර ගෙයට පවා ගිය නන්දන, විජේවීර එවැන්නකට නියෝග කරනු ඇතැයි නොසිතන්නට ඇත// (උපුටා ගැනීම අවසන්)

ඒ ගැන නැවතත් මා ලීයූ තවත්  ලිපියක් වන  "සදා සමරමු සොහොයුරෝ - ගිනිගත් දෙරණක සීතලක් කොයින්ද නම් ලිපියේ  හි පෙසප හා ජවිපෙ සාමාජිකයන් නන්දන මාරසිංහ ඝාතනය පිලිබඳව තවමත්  දරන්නේ පරණ ජවිපෙ නිදොස් කීරීමේ ක්‍රියා පිලිවතක් බව පැවසුවෙමි.  රෝහණ විජේවීර තරම් ප්‍රබල ස්ටාලින්වාදියෙක් හැත්තෑව  අසූව දශකයේ සිටියේ නැත. මේ ඝාතන දෙස බැලිය යුත්තේ එම දෘෂ්ටි කෝණයෙනි. එබැවින් මේවා  සියල්ල දේශපාලන මරණ වේ.  ඒවා සාධාරණීකරණය කළ හැක්කේ ස්ටලින්වාදී න්‍යායයෙන් වාම දේශපාලනයේ නිරත වෙන අයට  පමණකි. නන්දන මාරසිංහ විමුක්ති ගී ප්‍රසංගය හා "කාලයේ රාවය" ප්‍රසංගයන් සඳහා කළ කැපවීම් ගැනද පොතේ සටහනක් තිබේ. එසේම ඔහු පක්ෂයෙන් ඉවත් කළ දිනයේ හඬා වැළපුන බව මෙන්ම ඔහු ගේ ඉවත් කිරීමට  නියම හේතුව සහෝදර නමින් පෙනී සිටි  ඊර්ෂ්‍යා කාරයන් බවට නගන චෝදනාවට මමද  එකඟ වෙමි.  

ස්ටලින්වාදී  ක්‍රම පිළිවෙත් අනුගමනය කළද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,  ට්‍රොට්ස්කි පිලේ ලංකා සමසමාජ පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කළා විනා මරා දමන්නට ගියේ නැත. ඒ එවකට සෝවියට් දේශයේ (නිකිතා කෘෂෙව් ගෙන් පසු) නායකත්වයේ ආශීර්වාදය හිමි වූයේද එවැනි සහයෝගිතා  ප්‍රතිපත්තියකට හා සභාග ආණ්ඩුවලට  බැවිනි. සෝවියට් දේශය ඒ වනවිට  ප්‍රචණ්ඩකාරී ස්ටලින්වාදයෙන් ඉවත්ව න්‍යායික කොටස පමණක් අනුගමනය කරන ලද රටකි. අසූ අට - අසූ නමය කාලයේ රන්ජිත් ව ඉවත් කිරීමට  ජවිපෙ නායකත්වය අණක් දුන්නාය  යන්න මම විශ්වාස කරන්නේද එබැවිනි. පක්ෂයේ පැරණි  සාමාජිකයන් සතුරන් ලෙස සැළකීම ස්ටලින්වාදය තුල කිඳා බැස ඇති ප්‍රතිපත්තියකි. මාඕ සේතුං මෙන්ම  පොල්පොට් ද එය එලෙසම ක්‍රියාත්මක කරන ලදී.   

ඒ අනුව කළු රන්ජිත්  හා ජයසිරි අලවත්ත, නන්දන මාරසිංහ මරණය ගැන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ට පසුව වඩාත් හොඳින් පැහැදිලි කළ දෙදෙනාය. ඒ මේ පොත හරහාය.  ඒ මරණයත් ඒ හා සම්බන්ධ  සිද්ධි මාලාවත් පිළිබඳ  වඩා නිවැරදි සත්‍ය විස්තරයක් ඉදිරිපත් කිරීම ගැන ඔවුන් දෙදෙනාට අප උදක්ම ස්තුතිවන්ත විය යුතුය.

පොත හරිහැටි ඇරඹෙන්නේ දෙවෙනි කැරැල්ල කොටසිනි. කළු රන්ජිත්ට  ජවිපෙට  සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් මෙන්ම ආරක්ෂක අංශ වලින්ද  තර්ජන එල්ල වූ  සමය ගැන ඇති ලියවිල්ලෙනි.  එසේම ඔහුගේ උතුම්ම ගුණය ලෙස මා  දකින්නේ තමන්ගේ ව්‍යාපාරයට  රාජ්‍ය මර්දන කණ්ඩායම් රැගෙන පැමිණ හතර දෙනෙකුට මරු කැඳවූ හිටපු  ජවිපෙ සාමාජිකයාට සමාව දීමෙනි. 

අප වැන්නන්  අය මාක්ස් අසාධාරණ ලෙස නම්කරන ලද යුතෝපියානු හෙවත් මනෝරාජික සමාජවාදීන් වන්නේ ප්‍රචණ්ඩ ක්‍රමයකින් බලය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරති. එසේම ධනවාදය එහි  ඉහලම දියුණුවක්  තවමත් ලබා  නැති බවත්,  ලෙනින් ලියන ලද  "අධිරාජ්‍යවාදය ධනවාදයේ උසස්ම අවධිය නමැති පොතේ න්‍යායාත්මක වැරැද්දක් ඇති බවත්" විශ්වාස කරන්නෙමු. . (Imperialism, the Highest Stage of Capitalism (1917), by Vladimir Lenin -  අධිරාජ්‍යවාදය මගීන් මූල්‍ය ධනවාදය වැඩිම ලාභයක් ඉපයීම ධනවාදයේ උසස්ම අවධිය බව ලෙනින් මෙහි කියා ඇත) . 

 එනිසා "කළු රන්ජි  මහා  සමාජ ව්‍යාපාරයක් තරම් බර මිනිසෙකිය" කියා වෙඩිවර්ධන සහෝදරයා කියන විට මට හිතෙන්නේ  ප්‍රචණ්ඩ ක්‍රමයකින් තොරව සමාජ සාධාරණත්වය ඉටු කිරීමට  නම් කළු රන්ජිලා වැඩි වැඩියෙන් සිටිය යුතු බවය. නොපෙරෙලෙන ධනවාදය රූපාන්තරණය කිරමට සමහරවිට අනාගතයේදී  අවශ්‍ය වන්නේ එවැන්නන් විය හැකිය. නමුත් දේශපාලන පක්ෂයකින් හෝ ව්‍යාපාරයකින් තොරව එවැන්නක් කළ හැකිද යන්න තදබල න්‍යායාත්මක ප්‍රශ්නයකි.

කළු රන්ජි   නොදැනුවත්ව හෝ මිනිසුන්ට උපකාර කිරීමට පෙළඹෙන්නේ හැත්තෑ එක කැරැල්ලේ  අසාර්ථකත්වය නිසා විය හැකිය. නමුත් ආදරය තුලින් මිනිසුන් දිනීමට ඔහු උත්සාහ  කරන්නේද ඒ නිසා විය හැකිය. තමන්ගේ වැඩ පසෙක ලා අනුන්ගේ වැඩට දිවයන්නේ ද එබැවින් විය හැකිය. මා "විය හැකිය" යන වදන් නැවත නැවත භාවිතා කරන්නේ මෙහි ඇත්තේ සම්භාවිතාවක් පමණක් බැවිනි. හැත්තෑ එක කැරැල්ලෙන් පසු  අපට හමුවන පියසිරි කුලරත්න  ගේ චරිතය කැරළි ගැසීමේ මගින් ඉවත්ව යෝගී මගක් ගැනීමත් එක්තරා විධිකට මේ හා සමාන නොවේද? අජිත් පැරකුම් ජයසිංහ අසූ අටේ භීෂණයට හසුව එළියකන්ද වධ කඳවුරේ සිටි වින්දිතයෙකි. එලියට පැමිණි ඔහු ලිවූ "ශාස්තෘ" නමැති පොත මම කියවා ඇත්තෙමි. ඒ පොතේ චරිතයද ඉහත  දෙදෙනාට සමාන එහෙත් වෙනත් දාර්ශනික පසුතලයක සිටින අයෙක් ගැන ලියවුණකි. 

 අපි හැමෝමත්  බොහෝවිට "මේ අනුනට උදව් කිරීම්" කර ඇත්තෙමු. බොහෝවිට ඒ සඳහා  අපි කිසිවක් බලාපොරොත්තු වන්නේද නැත. ඒ ගැන කියන්නට අවශ්‍ය වන්නේද නැත. නමුත් මා ද ඇතුළුව අප බොහෝ  දෙනෙක්  තමන්ට පාඩු සිදු කරගෙන හැම විටම උදව් කරන්න යන්නේද නැත. මම වැය  කරන්නේ මට උපරිමයෙන් වැය කළ හැකි කාලයත්, ශ්‍රමයත්  මගේ පසුම්බියට සරිලන පරිදි ආධාරත් පමණකි. කළු රන්ජිත් අපෙන් වෙනස් වන්නේ එතැනදීය.

නමුත් කතුවරයා හෝ කළු රන්ජිත්  ඇතැම් තැන්වලදී  මේ ක්‍රියාවන් වාමාංශික  දේශපාලනයට ආදේශකයක් ලෙස කරන බවට පෙන්වීමට තැත් කරන බවක් මට පෙනේ. සාමූහික දේශපාලන ක්‍රියාදාමයකින් තොරව  තනි මිනිසුන්ගේ පුණ්‍ය ක්‍රියාවලින් සමාජයට  ලොකු බලපෑමක් ලැබෙන්නේ යයි මට සිතෙන්නේ නැත.

 එනිසා මේ පොත ලිවීමේ අදහස කළු රන්ජිගෙන්ම පැන නැගුනා නම් ඒ සඳහා  ප්‍රබල දේශපාලනමය හේතුවක් හෝ සමාජ ප්‍රගමනයට බලපාන හේතුවක්  දැක්වීමට ඔහු අපොහොසත් වී ඇත. කතුවරයා කියන අන්දමට ප්‍රකාශිකාව හා රන්ජිගේ උදව් උපකාර ලැබූ සගයන්ට එය අවශ්‍ය වී නම් ඔවුන්ගේ වදනින් කළු රන්ජිගේ ක්‍රියාවන් පිළීබඳව කියා පාන්නට ඉඩ තිබුණි. එසේනම් පුණ්‍යක්‍රියාවක් හෝ උදව්වක් ඇගැයීමට ලිවූ පොතක් වශයෙන් අපට එය සැලකිය හැකිය. එසේ නැතිව අපේ සමාජයේ කරන ලද උදව්  ගැන කියවීම එක්තරා අන්දමකින් නොකරන දෙයකි. මගේ පෞද්ගලික මතය නම් එය උදව්ව කරන්නා හා ලබන්නා අතර ඇති සම්බන්ධයකි. සමහර අවස්ථාවල ඒ ගැන ඇගැයීමක් ලැබෙන්නේ නැත්නම් අපට උදව් කරන්නට නොසිතෙන්නට පුළුවන. බ්‍රිතාන්‍යය වැනි රටවල පුණ්‍යායතන තමන්ට ආධාර කරන අයට විශේෂ සැලකිල්ලක් දක්වයි. ඔවුන්ගේ කැමැත්තද ඇති ,  උපකාර ලබා ගත්බවට සමරු පොත්වල සටහන් කෙරෙයි. එනිසා මේ  පොත ඒ අනුසාරයෙන් ලීවුවක් යයි සිතිය හැකිය.

එසේම   ජයසිරි අලවත්ත කතුවරයා මේ පොත දඩිබිඩියේ ලියූවක් බවටනම් මට හැඟීමක් ඇතිවී තිබේ.ඒ ජයසිරි අලවත්ත අප කවුරුත් දන්නා පරිදි සිහල බස පිලිබඳ සුවිශේෂ හැකියාවක් ඇත්තෙකු නිසාය. ඔහුගේ සිහල බස  හැසිරවීම  "සාහිත්‍ය ශානර විමංසා" වැනි පොත් වලින්  හා ඔහුගේ  කාව්‍ය විචාර ආදියෙන් පෙනේ. ඔහු තමන්ගේ ඒ සුවිශේෂී හැකියාව මේ පොත සඳහා උපයෝගී කරගත් බවක් මට නොපෙනේ. 

නමුත් පොත කියවා  අවසන් වූ පසු "කළු රන්ජි " යනු සැබෑ මානව හිතවාදියෙකු බව මගේ හිතේ සටහන් වී ඇත.  මේ කෝවිඩ් සමයේ රජය රුපියල් 2000 අඩු ආදායම් ලාභීන්ට දීමට තැත්  කරයි. මේ මුදල ඉතාමත් අඩු බව ඔබත් මමත් දනිමු. රැකියා අහිමි වී සිටින අඩු අදායම් ලාභීන්,  දෙමාපියන් කොවිඩ් රෝගයෙන් මියගොස් අනාථ වෙන දරුවන් ඉදිරියේදී හමුවිය හැකිය.පාසැල් සිසුන්ට හැකි අන්දමින් මොබයිල් දුරකථන රැගෙන දීමේ පුණ්‍ය ව්‍යාපාරයක් මේ දිනවල ෆේස්බුක් මගින් ප්‍රචාරය වෙනු දැකිය හැකිය. කළු රන්ජි වැනි සහෝදරයනට මේ අසරණ වෙන මිනිසුන් සඳහා විශාල සමාජ සුභ සාධන ව්‍යාපාරයක දේශපාලනයෙන් තොරව සංවිධානය  කළ හැකි යයි ද සිතමි. සමහරවිට මේ එවැන්නක්ද  අවශ්‍යම මොහොතකි.  පසු කලෙක  රාජ්‍යයන්  , පාලන ක්‍රම වෙනස් කරන දේශපාලන ව්‍යාපාර වන්නේද මේවාය. 

  
පරණ ලිපි:






22 comments:

  1. \\....උපහාස රචනයක් යනු කුමක්දැයි නොතේරෙන අයද සිටින බව....\\

    මේ, ආවයි කියලා එක මාක් කරගන්න, ඈ?

    සුරුස්....(ලිස්සපු හඞ)

    ReplyDelete
    Replies
    1. හේ හේ , ලිඳ ගාවට ගියාද

      Delete
    2. https://www.graphicproducts.com/flammable-chemical-signs/

      Delete
  2. ප්‍රා ජේ කියල තිබුණා, කමෙන්ට් කරන්න කියවන්න ඔ්නෙ නෑ කියල. ඒකත් ඇත්ත. පස්සෙ කියවල කමෙන්ට් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. පැත්ත පළාතේ එන එකක් නැහැ. මොකද්ද මේ ප්‍රශ්නේ පොඩ්ඩක් දෙෂප්ලානේ කියෙව්වහම මක්කා වෙනවද

      Delete
    2. හෙහ්, කොහොමද ඒ ලිස්සිල්ල?

      Delete
    3. ළිඳ ළඟ සෙට් එක

      Delete
    4. කියෙව්වොත් කමෙන්ට් එකේ තියන ඔරිජිනල්බව නැතිවීමේ අවදානම මෙන්ම ලිස්සීමේ ඉඩකඩ ඇහිරීමේ අවදානමකටද පත්විය හැක.

      Delete
    5. තණකොළ නැහැ ගහ මුදුනේ
      ඒකයි බිමට බහින්නේ

      Delete
    6. නෑ නෑ... මම කියෙව්වා. ලිස්සීමට පදනම් වන ආයතන සංග්‍රහයේ වගන්තියක් තිබෙනවා. ඒ අනුව ලිස්සුවා. මම විශ්‍රාම ගිය පසු දෙඤ්ඤං ඇට්ටි හැලෙන්න.

      Delete
    7. අඃ මගේ යාළුවෙක් ඉන්නවා BBC එකේ. එයා කියන්නෙත් ඕකම තමයි. ආයතන සංග්‍රහයට පටහැනියි ලු මට ලයික් එකක් දාන එක. හේ හේ

      Delete
  3. අජිත් සොයුර....
    මෙහි ‘‘පියසිරි ගුණරත්ත‘‘ යන්න ‘‘පියසිරි කුලරත්න‘‘ වෙනස් කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙනස් කලා.

      Delete
  4. හොඳ ලිපියක්. පරණ ලිපි ටිකකුත් කියෙව්වා.

    විප්ලවවාදීන් ලඟ නැති එකම දේ "මනුස්සකම" කියලා කව්දෝ කිව්ව කියල මතකයි. කළු රන්ජි වගේ සැබෑ මිනිස්සු තමා නියම මානව හිතවාදියො. ඔවුන්ට "විප්ලවයෙ" පැවැත්මක් නෑ. විප්ලවීය නායකයො ගැන පැරාගෙ දැක්ම එක්ක මම එකඟයි. ශාස්තෘ සහ කුරානය.

    ReplyDelete
    Replies
    1. //විප්ලවීය නායකයො ගැන පැරාගෙ දැක්ම එක්ක මම එකඟයි// මට ටිකක් අමතකයි. ශාස්තෘ එකේ කියන්නේ විප්ලවීය ප්‍රචණ්ඩත්වය අත හැරීම ගැන නේද . මනුස්සකම නෑ , පක්ෂය විතරයි

      Delete
  5. මං වයසට ගිහිංද කොහෙද.. අකුරු හද්ද චූටියි.. ස්ක්‍රීන් එකේ ඇස් අලවං කියව්වෙ..
    ඔය පොත මම ගන්නත් හදල ගත්තෙ නෑ...
    අපරාදෙ..

    ලංකාවෙ අයට සාකැස්ම් තේරෙනව අඩුයි..
    රවි අය්ය ෆේස්බුක් දාල තිබ්බ වේල්ලෙ සීන් එක දැක්කද

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා. හා හා වේල්ලේ සීන් එක මරු. මමත් එකක් ලියන්න හිටියේ. පොස්ට් එක මිසින්

      Delete
  6. වමේ කියමින්, පෙරළි කරමින් රට හදන්නට පෙරට එන්නෝ
    රතට කැමතිව රැවුල වවලා විප්ලවයකට මං සොයන්නෝ
    අනේ මට නම් හමුවෙලා ඇති වැඩි හරිය වල්වැදී ඉන්නෝ
    මිනිස්සුන්ගෙ නාඩි ගැහෙනා රිද්මෙවත් හරි හැටි නොදන්නෝ

    ReplyDelete
    Replies
    1. නිදි ලංකාවේ හැම දේශපාලන පක්ෂයකම අය ජෙනූඉන් නැහැ. මම ඉගෙන ගත්ත ඒක

      Delete
    2. දේශපාලනයට වැට බැඳීම ??

      Delete
    3. අජිත්ගෙ රිප්ලයි එකට එකඟතාවය ක්‍රොස්වලින් පෙන්නීම.
      මේ ඩිප්‍රෙස්ඩ් කාලෙ තව අප්‍රසන්න මාතෘකා කතා නොකර පොත් කවර ගැන නිමල්ගේ අදහස් දැනගන්න කැමතියි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .