Friday, 22 October 2021

දුයිෂෙන් පන්නයේ ගුරුතුමෙක් සහ දරුවන් සමූහයක් , නාථගනේ විදුහලින්


මේ ලිපියෙන් සමහර අයට මහියංගන ඉස්කෝලෙට වතුර දීපු එක මතක් වෙයිද දන්නේ නැහැ. සුමිත් කලණසිරි ප්‍රධාන පිරිස ඒ දිනවල බ්ලොග් සින්ඩිය වන නෙලුම් යාය එකතුව සමග කළ  ඒ සත්කාරයට විශාල පිරිසක් සම්මාදම් වුනා. ඒ ගැන සුමිත් ලියපු සුන්දර ලියමන  මෙතන. "වහින්නට හැකිනම් ගිගුම් දී". ඔය වැඩේ සහ ඊට කලින් අපි කරපු එවැනි වැඩ ගැන කතාවකට අයිටිවී එකේ  මමත්, නාලක ගුණවර්ධන, අජිත් පැරකුම් හා අනුරාධා කෝදාගොඩ ,  තරුරසී විසින් සංවිධානය  කරපු  රුපවාහිනී  වැඩ සටහනකට අපි සහභාගී වුනා. එහි අසන්නන්ගේ ප්‍රශ්නයක් වශයෙන්  නන්දන ගුණතිලක මහත්මයා  ඇහුවා "ඇයි මේ ආණ්ඩුව කරන්න ඕනේ වැඩ ඔය ගොල්ල කරන්නේ" කියල. මම හිතන්නේ මම උත්තර දුන්නේ අපේ කැමැත්තෙන්  කරන දෙයක් වශයෙන් සහ ආණ්ඩුව කරනකන් බලන්න ඉන්න බැරි බව වගේ දෙයක්.  හැබැයි ඒ ප්‍රශ්නය අද ඇහුව නම් පිළිතුරක් ලෙස අහන්න  තියෙන්නේ 
"අවුරුදු 73ක් ලංකාව පාලනය කළ  ආණ්ඩු සහ දේශපාලනඥයෝ පොල් ගෑවද කියල තවම මේ වගේ තත්වයේ පාසැල් තියනවා කියන්න. " 
හොඳ ආණ්ඩු ගැන සිහින කෙසේ වෙතත් උදව්  කරන්න ලැදි ජනතාවක්  ශ්‍රී ලංකාවේ සහ පිටරට සිටීම ඇත්තටම  භාග්‍යයක්. 😀

මම මේ නාථගනේ විදුහල ගැන දැක්කේ ෆේස්බුක් එකෙන්.  "සුරකිමු නාථගනේ විදු මව්" තමාගේ පිටුවේ නම.   විදුහලේ උගන්වන ගුරුතුමෙක්  ළමයි ලව්වා පාසැල් වත්තේ වගා කරනවා. සමහර වෙලාවට දෙමව්පියනුත්  උදව් කරනවා පෙනෙන පින්තූර වගයක් තිබ්බ.  විදුහලේ මුලින් ඉඳල තියෙන්නේ ළමුන් 11 ක වගේ පිරිසක්. මේ ගුරුතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා දැන් ඒ ගාන තිහකට විතර වැඩි වෙලාලු. වහන්න ගිය පාසැලක්  තමයි මේ අමාරුවෙන් ගෙනියන්නේ.   ඒක නිසාම මම ගුරුතුමා වන ඉන්දික අතපත්තුට පණිවිඩයක් යැව්වා පුස්තකාලයක් හදන්න උදව් කරන්න කැමැතියි කියල . ඊට කලින් තරංගනී රෙෂිකා (තරුරසී) නංගි එක්කත් ඒ වගේම පොඩි ප්‍රොජෙක්ට් එකක් කළ නිසා. 

එයා කිව්වා දැනට නම් පොත් වගයක් ලැබිලා  තිබෙනවා කියල. ඒ නිසා වෙන  විධිහේ උදව්වක්  කරන්න කැමතිද කියල ස්වයං රැකියා වැඩ පිළිවෙලකට.  ළමයි පාසැල් එන්නේ නැත්තේ පවුල්  වල තිබෙන අගහිඟ කම් නිසානේ. කෝවිඩ් තර්ජනය  නිසා රට වරින් වර වසා දමන නිසා  ඒ තත්වය තවත් උග්‍ර වෙලා තියෙන්නේ.  ඉන්දිකගේ අදහස තමයි පවුල් වලට උදව් කළොත් දෙපයින් හිට ගන්න ළමයින්ට ඒක උදව්වක් වේවි කියන එක. 
 
එනිසා අපි කට්ටියක් එකතුවෙලා එක පවුලකට උදව් කරන්න කටයයුතු කළා.

ඒ පවුලට අවශ්‍යවුනේ රබර්  සෙරෙප්පු හදන කටර් එකක්, මැෂිමක් ඇතුළු උපකරණ ගන්නට. ඉතින් ඒ කොටසට ආධාරයක් දෙන්න අපි කැමති වුනා. එතන ගිහිල්ල විමසලා  බලන්න නිශාන්ත රෝහණ, දිනෙත් පබසර, නිපුන ප්‍රනාන්දු හෙම  ගියා.  ඊට පස්සේ ජනක ලක්මාල් ඉදිරි සම්බන්ධිකරණ වැඩ කරන්න භාර ගත්ත.

මොනිකා ශාෆෙර් ෆෙහ්ර, ශාන්ත පෙරේරා, නිකි කින්ච්, කීත් නොට්ලී,  සුමුදු වික්‍රමාරච්චි, කොලින් සහ ආශා  සූරියබණ්ඩාර ඇතුළු අපි කට්ටිය  ආධාර ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ මැෂිම හෙම ලැබෙයි ලබන සතියේ විතර.

මැෂිම ගෙනාවම තබන  වැඩපළ තමයි මේ පින්තූරයේ තිබෙන්නේ.



විදුහලට මේ දක්වා  උදව් උපකාර කරපු අයගේ විස්තර ඉන්දික ගුරු මහතා ඒවා තිබෙනවා.



ඇත්තම කියනවානම් ඉන්දික අතපත්තු ගුරු මහතාට මේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. ගුරුවරයෙක් හැටියට උගන්වන ටික කරලා ගෙදර ගිහින් තමන්ගේ වැඩක් බලා ගන්න පුළුවන්. දුයිෂෙන්  කතාව නම් ටිකක් පරණ  කතාවක් නේ . ඒක සමහර වෙලාවට වර්තමානයට අදාළ නොවෙන්නත් පුළුවන්. ඒත් ඒ කතාවේ පොඩි කෑලි ටිකක් අපට නිතරම වගේ හමුවුනා පහුගිය කාලවල. මම හිතන්නේ මේ එයින් එකක්.  ඇති හැකි අයට ආධාර කරන්න පුළුවන් මේ පාසලටත්. මම හිතන්නේ ළිඳ තියන හරියත් එලි පෙහෙළි කරලා දෙන්න පුළුවන්. 

මේ ස්වයං රැකියා වැඩේ අමුද්‍රව්‍ය  මිලදී ගැනීම  සඳහා උදව් කරන්න කැමති අයට ඉන්දික  අතපත්තු ගුරු මහතාට කතා කරලා ආධාර කරන්න  පුළුවන්. 
  






- අජිත් ධර්මකීර්ති 

Sunday, 17 October 2021

පාටියේ අඩු දේ


අද උදේ කීර්ති  පැස්කුවල් කියන සංගීතඥයා මෙහෙයවන සංගීත පන්තියකට යන්න හිටියේ. සින්දු කියන්න ඉගෙන ගන්න. නැත්නම් ගෙම්බා වගේ බක බක ගාන්න බැහැනේ පාටියකට ගියහම. බිරින්දෑ නම් කිව්වේ, අනේ මේ අවුරුදු පනස් හයක් වෙන්න යනව. මොන සිංදුද ඔයාට කියල. ලොකු දුව නම් කීව තාත්තා ඔන්නොහෙ යන්න ඒකට , වයස ප්‍රශ්නයක් නෙමේ තමන්ගේ හීන වලට. ප්‍රශ්නේ කියන්නේ මට එහෙම හීනයක් තිබුනෙම නැහැනේ. මේක මේ  කෝවිඩ් කාලේ ඔළුවට වැටිච්ච මරාලයක්.

 ඉතින් ඊයේ ටෙක්ලා ගේ ගෙදර ගිහින් එනකොට රෑ තුනයි. ඉතින් මොන සින්දු පුහුණු වීම්ද . ඒක පටන් ගන්නෙත්  හෙන  උදේ පාන්දරම අරුණළු වැටෙන්නත් කලින් දහයට විතර. එකොළහමාර වෙනකන්ම නිදා ගත්ත.  ඒකනම් තනිකර චම්පක ගේ වැරැද්ද. ගිටාර් එක අරන් එන්න කිව්වා සින්දු කියන්න. සින්දු වලට ගිටාර් එක ගහන කොට තමයි මතක් වුනේ සිංහල සින්දුවල මැද හරිය මතක නැහැ කියල. ගිටාර් එක විසි කරලා දැම්ම චම්පිකය  කැරෝකේ කියන්න  ගිය නිසා.

දැන් ඔය චම්පිකය කියන්නෙත් මාර චරිතයක්. දන්නා විධිහට විමල් විරවංශ යි (අර සීගිරී නොගිය කෙනා)  චම්පිකයි තමයි කළුතර තිස්ස විද්‍යාලයේ  ක්‍රිකට් ටීම් එකේ ඕපනින් බැට්ස්මන් ල දෙන්නා. වීරවංශ සීගිරි නොගියට ක්‍රිකට්  ගහල තියෙනවා. ඕක මොකක්ද ඉතින් කළු රන්ජිතුත් ගහල තියෙන එකේ. 
 ඉතින් බලන්න දෛවයේ හැටි පින්වත්නි.  විරවංශ ප්‍රබල අමාත්‍ය දුරයක , මෙයා  මෙහේ පාටි වල සින්දු කියනවා. ඕගොල්ලොත් හොඳ කල්‍යාණ මිත්‍රයෝ සෙට් එකක් හදා ගන්න විරවංශ ඇමතිතුමා  වගේ. 

ඉතින්   ටෙක්ලා කරේජස්ෆ්ලෑග් ගේ ආරාධනයෙන් එතන තියෙන අර finger ෆූඩ් කියල කියන්නේ , සොසේජස් කෑලි , කුකුළු අඬු , චීස් කෑලි, අමු කැරට්, අමු පෙපර්ස්  කන්න ගත්ත.  බිරින්දෑ කිව්වා ඔයා හොඳට කන්න  වෙන නම් කෑම නැහැ ඕව තමයි තියෙන්නේ කියල.  රෂියන් සැලඩ්, කල්බසා කෑලි ටිකක්, ඔලිව් ගෙඩි ටිකක්, කේක් ම ගෙඩි පිටින්  දෙකක්ම  හෙමත් තිබුන. මාත් ඉතින් කෑම ටිකක් බෙදා ගෙන සෙට් වුනා. 

එතනම නුවරින් ආපු  ග**යි , කුරුණෑගලින් ආපු  ආශා යි, රත්මලානෙන්  ආපු  ජීවනී යි බර ඕපා දූපයක. මම ඉඳ ගත්ත විතරයි කතාව වෙනස් කළා. දැන් කතා කරන්නේ හඳයි  ඉරයී අතරේ දුර කොපමණද? ඔයා  ක්වන්ටම් අංශු ගැන අර තිබ්බ ලිපියේ කියෙව්වද ? ආදී වශයෙන්. මට පොඩ්ඩක් හොල්මන් වුනාම ආශා කියනව 
"ඔයා මේ පාටි වල කතා කරන ඒවා බ්ලොග් වල ලියන නිසා අපි දැන් කතා කරන්නත් බයයි. " කියල.   ඒත් ඒ එක්කම කියනව "මම තමයි ඉස්සෙල්ලම ඔයාගේ  වයිෆ් හදන පරිප්පු හොඳයි කීවේ. හැබයි ඔයා ලියල තියෙන්නේ ටෙක්ලා ගැන විතරයිලු. " 

ඉතින් මේ ගැහැණු මනස ගැන විශ්ලේෂණය  කරන්න ඕනේ කොහොමද?" ලැකාන් ද බුදු හාමුදුරුවෝද ඕෂෝ ද ගන්න  ඕනේ?   බ්ලොග් එකේ ලියන්නත් එපාලු. ඒ වුනාට ලීවේ නැතුවහමත්  බනිනවා. ඒ වුනාට ඊළඟ පැයේ කට්ටිය කතා කලේ කිතුල් පිටි උයන හැටි,  තල් පිටි කැඳ හදන හැටි. ආනා කියල හොද්දක් හදන හැටි. මම දැනගෙන හිටියේ මිස්ටර් ආනා ගැන විතරයි.  වැඩේ නරක අතට හැරුන නිසා මං  අනිත් පැත්තට හැරුනා. 

මෙන්න එතනට සරෝජ්  පතිරණ එකතු වුනා නේ කන්න. සාමාන්‍යයෙන් බීබීසී එකේ වැඩ කරනවා කියන්නේ අපිට වෙන බයිට් ඕනේ නැහැ. සරෝජ් තමා බයිට් එක. හැබයි ඉතින් බයිට්  වශයෙන් එතැන  කියැවුණු දේවල් බ්ලොග් එකක  ලියන්න බැරි නිසා නිකන් ඉන්නවා.

සරෝජ් දඩ බත් පිඟානක් බෙදා ගෙන කනවා දැකල මම ඇහුවා "මචන් බතුත් තියෙනවද? නැත්නම් උඹට විතරද?" කියල. කියන්න බෑනේ ජ'නලිස්ට් ලට වෙනම  සලකනවද කියල.  සරෝ  කිව්වා " බත් නම් දැක්ක මචං ගිහිල්ල  බලපන් කියල කුස්සිය පැත්තේ. කියල.  " ඩබල් එකේ  ගියා කුස්සියට. මෙන්න ටෙක්ලාගෙන් ඇහුවම කියනව "ඔයාගේ වැරැද්දනේ. මම හැමදාම බත් හදනවා. එක පාරක් කුමාරට රෑ දෙකට බත් ඕනේ වුනා . එදා ඉඳන් ඕන පාටියක බත් ෂුවර් කියල. " 
"ඉතින් දෙයියනේ  ඔයාමනේ කීවේ ෂෝට්ඊට්ස්  කන්න කියල" කීවම ටෙක්ලා කියනව. "මම ඔයාට කීවේ නැහැනේ එතැන තියෙන ඔක්කොම කන්න කියල"
කිරි අප්පට බල්ලෝ පැනපි කීවලු. 

ඒ වුනාට හැබැයි  බත් නොකා යන්න පුලුවන්ද? ටෙක්ලාගේ කෑම කොහොමත් රහයි.
ඇපල් උයල, පරිප්පු වලට තම්පල දාල , ලීක්ස් , කුකුල් මස්,  ඇදේට කපපු තෙල් දාපු බෝංචි, අල බැදුම , මාළු බැදලා , මාළු ඇඹුල් තියල හොඳට තිබ්බ. ඉතින් මාත්   පොඩ්ඩක් බඩට දාගත්ත. (හොඳ පොඩ්ඩ). ගිය සැරෙත් ටෙක්ලා ගේ ගෙදර දානයකි වෑන්ජන් දාසයක් විතර තිබ්බ. ඒ තියෙන ටික කන්නේ නැතිව මම ඇහුවනේ "කෝ පරිප්පු" කියල.  බලන කොට ඒක ළිපේ අමතක වෙලා. . ටෙක්ලට ගන්න අමතක වෙලා ආශා ගෙනත් තිබ්බ. 

ලුණුගලගොඩ ගමයානන්ද හාමුදුරුවෝ පවා කියල තියනවා "මිනිසුන්ට නැති දේම පෙනෙන එක ලොකු වැරැද්දක්" කියල.  ගෑස් නැහැ , පොල් නෑ , ගුරුවරු නෑ, දර නෑ, පෙට්‍රල් නෑ, කිරි පිටි නෑ.
ඔය කොච්චර ගොටුකොළ, තම්පලා  හෙම තියෙනවද? ඒවා පේන්නේ නෑ.
 
මගේ වැරැද්දත්  ඉතින්  නැති දෙයක්ම තමයි පේන්නේ. කවුන්සලින් වත් යන්න ඕනේ. හදා ගන්න. 

ඒ මදිවට ලොකු දුවට දෙන්න  කියල ටෙක්ලා  බත් පාර්සල් දෙකක්ම දීල.
ඉන් එකක් අද දවල්ට කෑවා .

වෑන්ජන අටක් තිබ්බට මොනවා හරි  අඩුයි වගේ.
ඔලුවේ අත ගහගෙන කල්පනා කළා.

මතක් වුනා.

කෝ යකෝ සම්බෝල?

- කොළඹ ගමයා (අජිත් ) 

Tuesday, 12 October 2021

අපි දෙදෙනා අද ...............




අද දෙවෙනියත්  ගියා 
විශ්ව විද්‍යාලෙට 
විදු පියසේ නතර වුනා 
අපි දෙන්න ඉතින්  
ආව ගෙදර 

දූවරු දෙන්නම 
දැන් නිවහනේ නැහැ 
පොඩි කාලේ දඟකාර හිනාවන් 
කෙල්ලන්ගේ කිංකිණි හිනාවල් 
වලින් පිරිලා තිබ්බ නිවස නිහඬයි 

තාත්ත කෙනෙකුට දුවල කියන්නේ 
ඇස් දෙක වගේ 
ලෝකේ බලන්නෙත් සමහර වෙලාවට 
ඒ දෙන්නා ගැන හිතල 
ඒ ඇහින්මයි 

ඉතින්, කාලෙකට   පස්සේ 
අපි දෙන්න විතරයි 
එයා ෆිල්ම් එකක එල්ලිලා
මම බ්ලොග් එකක එල්ලිලා 
ජිවිතේ ආයිත් අළුත් 
අවධියක 

තුන්වෙනි බ්ලොග් රැල්ල 
තෙවෙනි යාමය 
නැත්නම් 
ජිවිතේ සැඳෑ  සමයට 
කලින් එකද 
මොකද තවම වැඩනේ 
විශ්‍රාම ගිහින් නැහැනේ 

ඒකට 
මොකද්ද කියන්නේ 

නමක් තියනවද 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
දෙවෙනි වසන්තය 

කියල  යාළුවෙක්  කියනවා 
ඒකත් ඇත්ත 
වේදනාබර දෙවන වසන්තයක්  

Wednesday, 6 October 2021

කුහුඹිය ගේ කතාව හෙවත් කුහුඹු කළමනාකරණය


සෑම දිනකම කුඩා කුහුඹිය  තම කාර්යාලයට (හෝ වැඩපළට ) හිමිදිරියේම පැමිණ එසැණින්ම වැඩ පටන් ගත්තාය. සෑම දිනකම නිෂ්පාදන බොහෝමයක්  කළ ඇය ඒ ගැන ඉතා සතුටු වූවාය.  ඇගේ බොසා හෙවත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තැන වන සිංහයා  කුහුඹිය කිසිදු සුපවයිසර් කෙනෙකු නොමැතිව, කාගේවත් සොයා බැලීමකින් තොරව වැඩ කරන ආකාරය  හොඳින් නිරීක්ෂණය කළේය.  ඔහුට හදිසි යුරේකා මොහොතක් පහල වුනේ එවිටය. මැනේජර් කෙනෙකුගේ, සුපවයිසර් කෙනෙකුගේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඇය මෙතරම් නිෂ්පාදනය කරනවා නම් සුපර්වයිසර් කෙනෙකු යටතේ ඇය වඩා පලදායී ලෙස   නිෂ්පාදනයේ යෙදෙනු ඇතැයි සිංහයාට  සිතුනි.  

සිංහයා කලේ ඉතා හොඳ වාර්තා (රිපෝට්) ලිවීමේ කෙළ පැමිණියෙකු වූද සුපවයිසර් කෙනෙක් ලෙස ඉතා දීර්ඝ පළපුරුද්දක් ඇත්තා වූද කැරපොත්තා, කුහුඹිය ගේ සුපර්වයිසර් හැටියට බඳවා ගැනීමයි. කැරපොත්තා මහතාගේ මුල්ම  කාර්යය වූයේ පැමිණීමේ ලේඛනයක් හා පමාවී පැමිණීම් සලකුණු කිරීමට  රතු පෑනක් ද ලස්ස්ති කිරීමයි. කුහුඹිය හැමදාම වැඩට පැමිණෙන්නේ කාටත් කලින් වුවද ඔහු එය ගණන් ගත්තේ නැත. ඔහු පෑන ද  කොම්පැනි වියදම් හැටියට ඇතුළත් කළේය. එසේම ඉදිරි පියවර ලෙස පන්ච් කාඩ් සිස්ටම් එකක්ද ඊටත් පසුව ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට යාමටද ඔහු කල්පනාකාරී ලෙස සැලසුම් කළේය.

එසේම මේ සියල්ල පිලිබඳ වාර්තා ලිවිම සඳහා ලේකම්වරියක ගේ (සෙක්‍රටරි ගේ ) අවශ්‍යතාවය  ඔහුට හොඳින් දැනුනි. කැරපොත්තා ෆයිල් ගොනු කිරීමට  සහ සියලුම දුරකථන ඇමතුම් නිරීක්ෂණයට සුරූපී මකුළු ළඳක  බඳවා ගත්තේය. 

සිංහයා , කැරපොත්තා ගෙන් ලැබෙන වාර්තා වලින් ඉතා සතුටට පත්විය. කුහුඹිය  කවදාවත් නොකැඳවුණු,  සිංහයාගේ මහේශාක්‍ය ඔෆිස් ලෙනට කැරපොත්තා කැඳවූ සිංහයා වාර්තා ඉදිරිපත් කිරීමේදී ප්‍රස්තාර ආදිය උපයෝගී කර නිෂ්පාදන අනුපාත මෙන්ම ප්‍රවණතාවයන් විශ්ලේෂණය කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය. එසේම එවැනි ප්‍රස්ථාර සහිත වාර්තාවක් සිංහයාට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලට පවර්  පොයින්ට් ප්‍රසන්ටේෂන් එක සමග ඉදිරිපත් කිරීමට හැකි බවද පැවසීය. මෙවැනි සුපිරි වාර්තා වලින් බෝඩ්  මිටින් වලදී සිංහයා වැඩයා වන බවද සිංහයාට දැනුනේය. 

එවැනි සුපිරි වාර්තා හැදීමට නව කොම්පියුටර දෙකක් තමන්ට සහ මකුළුවාට අවශ්‍ය බවද නිවසේදී හෝ ගමනේදී වැඩ කිරීමට ලැප්ටොප් එකක් ද හොඳ ලේසර් ප්‍රින්ටරයක්ද අවශ්‍ය බවද කැරපොත්තා දැන්වීය. මේ නිසාම තොරතුරු තාක්ෂණ (IT) දෙපාර්තමේන්තුවක්  ද පිහිටවූ ඔහු එහි කළමනාකරු වශයෙන් බුරා නම් පළතුරු  මැස්සා පත් කළේය.

 මෙතුවක් කල් ඉතා සැහැල්ලුවෙන් තම  නිෂ්පාදන ධාරිතාව ඉක්මවමින්  වැඩ කළ කුහුඹිය මේ අතිමහත්  ලිපිගොනු පිරුණු  අමතර වැඩ වලින්ද   කැරපොත්තා, මකුළුවා මෙන්ම මැස්සා විසින් සංවිධානය කරන, ඇගේ කාලය වැයවන  මීටින් වලින්ද ශාරීරිකව මෙන්ම  මානසිකවද  වෙහෙසට පත් වූවාය.  

සිංහයාට  කල්පනා වුනේ කුහුඹිය වැඩ කරන දෙපාර්තමේන්තුවට ඔෆිසර් ඉන් චාර්ජ් කෙනෙකු හෙවත් ලොක්කෙකු නොපමාව පත් කල යුතු බවට කාලය එළඹ ඇති බවය.  ඔහු මේ සඳහා හොඳ සැර බලු නාම්බෙකු වූ ටොමියා පත් කළේය.  ටොමියා ගේ ප්‍රථම වැදගත් තීරණය වූයේ ඔහුගේ ඔෆිස් කාමරයේ පරණ බුමුතුරුණ ඉවත් කර පර්සියාවෙන් විශේෂයෙන් ගෙන්වූ බුමුතුරුණක් මිලදී ගැනීමය. එසේම සෞඛ්‍ය  සම්පන්න ලෙස විද්‍යානුකුලව හිඳ ගැනීමට හොඳ ලෙදර් වලින් නිමැවූ  පුටුවක් ද ෆිනෑන්ස් දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කර ලබා ගත්තේය. නව දෙපාර්තමේන්තු අධිපති ටොමියාට ද පරිගණයක්, ලැප්ටොප් එකක් සහ පෞද්ගලික සහකාරවරයෙකුද වහාම අවශ්‍ය විය. ඔහු තමන්ගේ කලින් දෙපාර්තමේන්තුවේ සිටි සුරූපී ටොමියානි  ගෙන්වා ගත්තේ, ඔහුගේ  අයවැය වියදම් සීමා කිරීමේ උපාය මාර්ගික සැලසුමක්  සකස් කිරීමේ කාර්යයට සහය ගැනීමටය. එයට අනිවාර්යයයෙන්ම රාත්‍රී වනතුරු කාර්යාලයේ වැඩ කළ යුතු නිසා විස්කි ඩිකන්ටරයක්  ද  ටොමියානි ට ෂැම්පේන් සහ වයින් බෝතල්  කිහිපයක්ද මිලට ගත්තේ කාර්යාල  ක්‍රෙඩිට්  කාඩ් පතිනි.

කුහුඹිය රැකියාව කළ දෙපාර්තමේන්තුව දැන් අඳුරු ගුහාවක් වැනිය. කවුරුත් සිටින්නේ අසහනයකිනි. එහි වෙනදා සිනහවෙන් විහිළු තහළුවෙන් වැඩ කරන අය නැත. මුළු ගැන්වුණු මළානික කුහුඹු කුහුඹියන්  වෙලාව අවසන් වී අළුතින් පිහිටවූ පන්ච් කාඩ් මැෂිමේ කාඩ් එක  ගසා  ගෙදර  දුවන තෙක් ඔරලෝසුව වෙත හොරෙන් බැල්ම හෙළති.

හරියටම මෙන්න මේ අවස්ථාවේ දී ටොමියා සිංහ බොස්ට පැවසුවේ කාර්යාල පරිසරය හා වාතාවරණය  පිලිබඳව ප්‍රාමාණික වියතුන් යොදවා  කාර්යාල-කාළගුණික අධ්‍යනයයක් කළ යුතු බවය.    ටොමියාගේ ද සහය ඇතිව මුළු දෙපාර්තමේන්තුවම දැඩි විමර්ශනයකට බඳුන් කළ සිංහයා ට පැහැදිලි වූයේ නිෂ්පාදන ධාරිතාවයන් පෙරට වඩා බොහෝ සෙයින්  අඩු වී ඇති බවය.

කැරපොත්තා, ටොමියා ඇතුළු සියළු නුවණැති සේවක නයුවන්ගේ අදහස වූයේ   ප්‍රධාන පෙලේ උපදේශන සමාගමක් හොබවන බකමූණා ගේ සේවාවන් මිල අධික වුවත් ලබාගෙන විගණනයක් කර මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න ලෙසටය. සිංහයාගේ කොලේජ් එකේ උගත් හොඳ පවුලකින් පැවත  එන බස්සා ප්‍රමුඛ උපදේශන සමාගම පුරා තෙමසක් වැය කොට වෙළුම් කිහිපයකින් සමන්විත වාර්තාවක් අධක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.


ඔවුන්ගේ අතිශයින් වැදගත්, උගත්, වියත් වාර්තාවේ සඳහන් වුයේ දෙපාර්තමේන්තුවේ සේවක ප්‍රමාණය අනවශ්‍ය ලෙස සීමාව ඉක්මවා  ගොස් ඇති  බවයි.    

සිංහයා පළමුවෙන්ම රැකියා විරහිත කළේ කවුරුන්දැයි ඔබ සිතන්නේද?

ඔබ සිතුවා හරිය. කුහුඹිය ට රැකියාව අහිමි විය.

කුහුඹිය ගේ වැඩ අවසන් කරන ලිපියේ මෙසේ සඳහන්ව තිබුණි.

"කුහුඹිය  කාර්යාලයේ දියුණුව උදෙසා කරන සෑම  ක්‍රියාවක් දෙසම  සෘණාත්මකව බලන අතර රැකියාව කෙරෙහි කිසිදු උද්යෝගයක්  පෙන්නුම් නොකරයි.   "

-මෙම ලිපිය ලින්ක්ඩ්ඉන් හි ඉංග්‍රීසියෙන් පළවූ ලිපියක ඡායානුවාදයකි. මුල් කතෘ අඥාතය.

නරක ක්‍රමයක් හොඳ පුද්ගලයෙකු සැම විටම පරාජය කරයි. - එඩ්වර්ඩ් ඩෙමින් (ඇමෙරිකන් ඉංජිනේරුවකු හා කළමනාකරණය පිලිබඳ උපදේශකවරයෙකි)
A bad system will beat a good person every time.' - W. Edwards Deming

අනුවර්තනය - අජිත් ධර්මකීර්ති   

ප.ලි 
වසරක ඇවෑමෙන් යොහානි නමැති ප්‍රසිද්ධ ගායිකාවකගේ තනුවකට ඉන්දියාවේ විදී කොනක නටමින් මුදල් යදින සිංහයෙකු සිටින බව බීබීසී පුවතක සඳහන් ව තිබුණි. 

Sunday, 3 October 2021

දෙමළ පරිවර්තිකාව අමතක වෙනවද


අපේ පරිවර්තන සාහිත්‍යය සෑහෙන්න ප්‍රබල එකක්. අපි පොඩි කාලේ ඉඳන්ම අපේ ස්වතන්ත්‍ර නිර්මාණ වගේම පරිවර්තන පොතුත් සෑහෙන්න කියෙව්වනේ. 

මම පරිවර්තනය කරපු පොත් වලට ඒ කාලේ ඉඳන්ම කැමතියි. මම හිතන්නේ ලංකාවේ ගොඩක් පාඨකයන්ට ඒක පොදුයි.

ඒ නිසාම කේ ජී කරුණාතිලක ගේ ඉඳන් දැදිගම වී රුද්‍රිගු දක්වාත් පද්ම  හර්ෂ කුරණගේ , සිරිල් සි පෙරේරා ගේ සිට චින්තා ලක්ෂ්මි දක්වාත් මතක් වෙනවනේ.  අවශ්‍ය නම් අපට  පරිවර්තනය කරපු පොත්  වල නම් පවා ලියන්න පුළුවන්.

මේ නාමාවලියට  පස්සේ කාලේ තමා චූලානන්ද සමරනායක ගේ නම එන්නේ පරිවර්තන නිසාම. ඔහු ලියූ කවී පොත්  වලට වඩා පරිවර්තන ජනප්‍රියයි කියල මම හිතන්නේ. ඊට පස්සේ බ්ලොග් වලින් දැනගත්ත නිලූක කදුරුගමුව හා චන්දන ගුණසේකරත් මුහුණුපොත හරහාම දැනගත්තු රශ්මික මණ්ඩාවල වල වගේ නව පරපුරේ ප්‍රසිද්ධ පරිවර්තකයනුත් ඉන්නවා.    

ළඟදි දවසක "අසිපතක සෙවන යට" සිංහල පරිවර්තනය කියවල මේ දවස් වල තවත් දෙමල පොතක් වන සිවනාදන් ගේ "මතක මිය ඇදෙන සඳ" කියවන්න පටන් ගත්ත. ඒක පරිවර්තනය කරලා තියෙන්නේ හෂිත අබේවර්ධන .
මම මුහුණු පොතේ සටහනකුත් දැක්ක හෂිතගේ කැමතිම පරිවර්තන පොත් නාමාවලියක් ගැන - පරිවර්තක ගේ නමත් එක්ක.
  
මම මේ පරිවර්තන ගැන කියන්න ගත්තේ මේ ලඟදි දැනගන්න ලැබුන අමුතු කතාවක්. මම දන්නා පුවත්පත් කලාවේදිනියක් තමා ප්‍රියදර්ශනී සිවරාජා. එයා සිංහල පොත් කිහිපයක්ම දෙමළ භාෂාවට පරිවර්තනය කරපු කෙනෙක්.

එයා මට කියනවා ලඟදි කරපු සිංහලෙන් දෙමළට කවි වගයක් පරිවර්තනය කළාලු. නමුත්ඒ ගැන සඟරාවේ සංස්කාරක සහ කවිවල මුල් අයිතිකාරිය ඒ ගැන කරපු පෝස්ට් එකක් සහ සංවාදයක දී ඇයව ව අමතක කළාලු.   දැන් අදහසක් තියනවා තමයි,  නම් දාන එක වැදගත් නැහැ , වැඩෙයි කෙරෙන්න ඕනේ, මුළු ලෝකයටම දැනුම අයිතියි වගේ එකක් . හැබැයි එහෙනම් ඉතින්  මුළු ලෝකෙම අය අඥාත ව ලියන්න ඕනේ. එහෙම පරිවර්තනය කරන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නේ  නැහැනේ. මම බුකියේ කිහිප වතාවක්ම දැකල තිබෙනවා වෙනත් අය (මා  දන්නා අඳුනන අයගෙම) පරිවර්තන/අනුවර්තන කරපු කතා තමන් ලීවා /කළා වගේ  පළ කරලා ලයික්  ගන්නවා, ඒක  ලියුව වගේ හැසිරෙනවා. සමහරු තමන්ගේ නමත් යටින් දානවා. බුකියේ ඉතින් ඒවා එහමයි වෙන්නේ. 
 
  මේ කියන කවි ටික ප්‍රියදර්ශනී කරලා දීලා තියෙන්නේ නොමිලේ කියල කියනව. කොහොමත් හැබැයි සඟරා වලට කරන ඒවාට දැන්නම් කවුරුත් සල්ලි ගෙවන්නේ නැහැ. සඟරා වලට ඕන තරම් බුකියෙන් සහ බ්ලොග් වලින් උස්ස ගන්න පුළුවන් කවි සහ කතා. ඒවාට ගෙවන්න ඕනේ කියල ඉතින් නීතියකුත් නැහැ.

සඟරාවේ කවි පෙළ ගැන  කරපු ඒ ෆේස්බුක්  සංවාදයේ   ඒ ගැන මතක් කලේ නැති නිසා  ප්‍රියදර්ශනීට කිසියම් සිත් වේදනාවක් ඇතිව තිබෙනවා. මේ නිසා ඇයගේ යෙහෙළියක වන පද්මිණි මාතරගේ ඒ බව පෙන්වා දී තිබෙනවා.

ඒ සංවාදය තමා ඔය තියෙන්නේ යට.








මගේ ප්‍රශ්නය ප්‍රියදර්ශනී එසේ සිතීම සාධාරණද? නොමිළයේම  කල පරිවර්තනයක් හා එය සඟරාවකට කල නිසා  පරිවර්තිකාව ගේ නම සඳහන්  කල යුතුමද කියන ප්‍රශ්නය මම ඇහුවා?  ඊටත් අමතරව මම කිවේ මෙතැන කිසියම් සදාචාරාත්මක ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ කියල. මුල් කතුවරිය තමන්ගේ කවි වල පරිවර්තනයක් ප්‍රියදර්ශනී කළා කියල මතක් කළා නම් හොඳයි. එපමණයි.

ඊයේ මම ලියපු එක නිවැරදි කරලා අද තොරතුරක් ආව. සංවාදය කරපු කෙනා හෝ වෙනත් අයෙක් විසින් ප්‍රියදර්ශනී එම පරිවර්තනය කළ බවට සටහනක් දමල තිබෙනවා ඊයේ . ඒක මෙතැන.



නමුත් කවිවල මුල් කතුවරිය ප්‍රියදර්ශනිව නොසළකා හැරිමක්  කරලා තියනවා කියල හිතන ඇයගේ  මූලික ප්‍රශ්නය විසඳුනත් හිත රිදීමේ ප්‍රශ්නය විසඳිලා නැති වගේ  පෙනෙනවා. ඇය නැවත සිංහලෙන් දෙමළට හෝ දෙමලෙන් සින්හලට පරි වර්තනය කරන්නේ ගෙවීමක් කළොත් පමණයි කියන අදහසේ ඉන්නවා.. 
ඕක ඉතින් මම ඒ දවස් වල ඉඳන් කියන එකක් ලංකාවේ පුවත්පත් කලාවේදීන්ට සහ කලාවේදිනියන්ට. නිකම් ලියන්න එපා, නිකන් පරිවර්තනය කරන්න එපා.  පස්සේ දුක් වෙන්නත් එපා.