එක අම්මණ්ඩි කෙනෙක් හිටිය අපේ පළාත් වල ඇලිස් කියල. හුඟක් මිනිස්සු අත්තටාම බොහොම කැමති වුනා මෙය රැහේ නායිකාව වගේ ඉන්න එකට. හැම දෙනාම කීවේ ඇලිස් අම්මණ්ඩි හරිම නිහතමානී කියල. ඇයට ඉඩකඩම් අති විශාල ප්‍රමාණයක් තිබුණ. ඒ වගේම පළාතේ යාන වාහන, ලොකු ගොඩ නැගිලි, කර්මාන්ත ශාලා පවා එයාට අයිතියි. හැබැයි එයාට ඒවා අයිති වුනේ එයාගේ තාත්ත ගෙන්. එයා හම්බ කරපුව නෙමේ. ඒ මදිවට එයා බදුත් ගැහුවා පළාතේ මිනිසුන් ගෙන්. එයාගේ වතුවල , කම්හල් වල වැඩ කරාට විතරක් නෙමේ. එයාලව බලා ගන්නවටත් එක්ක.
ඇත්තටම කියනවා නම් එයට උරුම වෙච්ච ධන නිධාන එයාගේ තාත්ත ගෙත් නෙමයි. තාත්තට හිටිය සහෝදරයෙක්. සහෝදරයාට තමා ඇත්තටම අයිතිය තිබ්බේ. මිනිහගේ නම එඩී උන්නැහේ වගේ මගේ මතකේ. එඩිලම හැටහුටාමාරක් ඒ පවුලේ හිටියනේ. මිනිහට පළාතේ මිනිස්සු කීවේ අටවන එඩී කියල. (අටවන ජනපති සමග පටලා නොගන්න) ඔය එඩි ටත් ඒවා අයිති වුනේ නිකම්ම නොවේ. පවුලේ පරම්පරාව දන්නා බබා සිංඤෝ කියන විධිහට (බබා සිංඤෝ ට ගමේ කොල්ලෝ කුරුට්ටෝ විහිළුවට කිවේ බීබීසී කියල) විට්ටෝරියා මැණිකේ කියල පරම්පරා දෙක තුනකට කලින් හිටිය තැනැත්ති ලු වැඩියෙන්ම ධනය ගොඩ ගැහුවේ. ඉඩම් බලෙන් අල්ල ගත්තේ. කොටින්ම උන්ගේ ඉඩම් ගාවින් බෝට්ටුවක් , නැවක් ගියත් ගහල අල්ල ගන්න මාෆියාවක් හිටියලු. ඒවල වස්තුත් විට්ටෝරියා මැණිකේ අම්මණ්ඩි ගේ පෙට්ටගමටම ලු ගියේ.
හැබැයි එඩී කියන්නේ පවුලේ චාරිත්‍ර වාරිත්‍ර සත පහකට ගණන් ගත්තේ නැති එකෙක් නිසා කෝමාරිකා ජනපදෙන් රොඩී කෙල්ලක් සහේට ගත්ත. පවුලේ එවුන්ට මේකට මළ පැනල ඌව රටෙනුත් එලෙව්ව. අනේ ඉතින් එඩි අර ජනපදේම රොඩී කෙල්ලගේ තුරුලේ මැරුණා. එඩි ට පවුලේ වස්තුවයි රැහේ නායක කමයි ලැබෙන නිසා අනිත් උන් අපේ ඇලිස් ගේ තාත්ත ජෝර්ජි පොර්ජි ට ස්පෙයාර් වීල් කියලත් ඒ කාලේ කීවයි කියල අපේ බබා සිංඤෝ කියනව. .ඒ කීවේ අමතරයා කියන එක. හැබැයි එඩියට වෙච්ච වැඩේ නිසා ඇලිස් ගේ තාත්ත රැහේ නායකයා වුනා නිකම්ම් වගේ . හැබැයි යි මිනිහත් කලින්ම අනිත් ලෝකෙට ගමනක් ගිය නිසා අපේ ඇලිස් අම්මණ්ඩි තමා රැහේ නායිකාව වුනේ. ඒ මනුස්සය ඒ කාලේ හරි හැඩකාර කෙල්ල.
පොඩි වයසින් නායිකාව වුනාට ඇලිස් බැඳලා හිටියේ සද්දන්ත පවුලක කොල්ලේ වෙච්චි පිළිපන්හාමි. මේ දෙන්නට ළමයි හතර දෙනක් ඉන්නවා. ලොකුම එකා ඊළඟට රැහේ නායක කම ගන්න බලාගෙන ඉන්න චාලි. දෙවෙනියා උන්දරේ, දුව ආනා හාමිනේ. එඩී ගේ නම තියෙන පොඩි එඩි තමා හතරවෙනිය. පොඩි එඩිගේ මොළේ නම් එච්චරම නැහැලු. හැම විභාගේම ෆේල්. සල්ලි ඕන තරම් තියෙන එකේ ඒක වැදගත් නැහැ ඉතින්. ඒ නිසා බන්දල දුන්නේ ටිකක් මොලේ ඇති සොෆි නෝනා කියල නංගි කෙනෙකුට. ඒක කලෙත් ඇලිස් මහා අම්මණ්ඩි.
ඇලිස් ට හිසරදේ උනේ ලොකු කොල්ල චාලියි, කෙල්ල අනා හාමිනෙයි, දෙවෙනි පුතා උන්දරේ කොල්ලයි තමා. උන්දරය එලියට ගියහම අහල පහල ජිවත් වෙන පොඩි කෙළි පැටික්කියෝ ගේ ඇතුළට ගන්න වෙනවාලු ඒ කාලෙත් උන්නැහැට මේ දවස් වල නඩුවකුත් තියනවද කොහෙද උමාරිකාවේ පිංචි කෙල්ලක් අනාථ කොරන්ට ගිහිල්ල.
චාලියා ඊට එහා. උන්දැට බැඳපු ගෑණු පෙන්නන්න බැහැ. උන්දැ ඒකට නිදහසට කියන්නේ එයාගේ අම්මණ්ඩි හරියට ආදරේ කලේ නැති නිසා කියාලු. බදා ගත්තේ වත් නැතිලු ආදරෙන්. එයාව හරියට බදා ගන්නේ බැඳපු ඇන්ටිලා විතරළු. අම්මණ්ඩි ට වෙන වැඩක් නැතිය මේ ලොකු කොල්ලව බලා ගන්න අර ඉඩ කඩම් බලන අතරේ නේද? ඒ මදිවට අහල පහල පළාත් වල ලොකු ලොකු නායකයෝ ඉඳන් එනව අම්මණ්ඩි බලල යන්න. ඉතින් චාලි කලේ කමිලියා නෝනේ කියල අහල වත්තක හිටි හමුදාවේ එකෙක් ගේ බිරිඳ කමීලියා නෝනේව, ඌ හමුදාවේ වැඩට රට ගොහින් ඉන්න අස්සේ දැලේ දා ගැනීම. හැමෝම කියන්නේ දහ අට සන්නියම නටල හිටපු කමීලියා නෝනේ චාලිව පටල ගත්ත කියල.
ඔහොම තියෙද්දී අම්මණ්ඩියි පිළිපන් හාමියි චාලිට බන්දල දුන්නේ ඉටි කිරිස් පැටික්කියක්. පුංචි ළමයින්ට උගන්න උගන්න හිටි කන්‍යාවියක්. මොකද පුරාණ පුස්තක වල ලියල තියෙනවලු දික්කසාද ගැහැණු හෙම රැහට ගන්න බැරිය කන්‍යාවියක් මිසක්ක කියල. ඒ ආපු පැටික්කිගේ නම දියන්නා නෝනා. හොඳ පරණ වැදගත් පවුලක හැදුන උනාට මේ ලස්සන පැටික්කි ලෝකේ ගැන මෙලෝ අලබෝලයක් දැන ගෙන හිටි එකියක් නෙමෙයි. චාලිය පරණ පුරුදු චාරිත්තර අත ඇරියේ නැහැ. ඒ අතරේ චාලි ගේ මල්ලි උන්දරයටත් මගුලක් සෙට් කරලා දුන්න සේරා හාමිනේ කියල. ඔය අතරේ තමා අම්මණ්ඩි ගේ පවුලට ජිවත් වෙන්න බදු ගෙවන්න බැහැ කියල පළාතේ වැසියෝ සටනක් පටන් ගත්තේ. ඒකෙ කොටසක් හැටියට චාලි ගේ අවලමේ යන කතා, උන්දරේ මල්ලි ගේ දඩයම් චාරිකා ගැන, දුව අනා හාමිනේ හස්බන්ඩ් ල මාරු කරන ඒවා පොත් වල , පත්තර වල, රේඩියෝ එකේ , රූප පෙට්ටියේ වැටෙන්න ගත්ත. සේරා හාමිනේ උමෙරිකාවෙන් එක්ක ආපු හාදයෙක් එක්ක සෙට් වුනා. අර මගුලයි මේ මගුලයි ඔක්කොම කැඩුන.
චාලිය කමිලියා නෝනා අල්ලන් ඉන්න එක දියන්නා නෝනට තේරුනා. හැබයි උන් දෙන්නට දැන් පුතාල දෙන්නෙකුත් ඉන්නව. ලොක්ක විලිසොන්. පොඩි එකා හැරිසොන්. විලිසොන් , හැරිසෝන් දියන්නා එක්ක තමා හැම තැනම ගියේ. මොකද ඉතින් අර වන්සක්කාර චාලිට වෙන වැඩනේ. අම්මණ්ඩිටත් දැන් මළ පැනල ඉන්නේ. ඇයි වැඩේ වෙළඳම් බලන්නයි,ගෙවල් දොරවල් වලව් ගිනි අරන් ඒවා බලන්නයි, මේ ලොකු වෙච්ච පුත්තුන්ගේ වැඩ බලන්නයි ඔක්කොම උන්දැ නොව කරන්නේ. වැඩේ අමාරු වෙච්ච් ගමන් පිළිපන් උන්නැහ තුවක්කුවත් අරන් කඳු පැත්තට යනවා ගෝන්නු තැරි ගහන්න.
ඕන් ඉතින් දියන්නා කෙල්ලත් රිටන් එක දෙන්න ගත්ත චාලිට. ඉස්සෙල්ලම අස්සයෝ බලන කඩවසම් ඉලන්දාරියෙක් එක්ක. හුඟක් පළාතේ මිනිස්සු කීවේ හැරිසොන් උගේ පුතා මිසක් චාලි ගේ නෙවේ කියල. ඒ වුනාට බබා සිංඤෝ නම් දැනන් හිටිය ඉලන්දාරියා එක්ක රෝන්දේ යන්න කලින් හැරිසොන් හම්බ වුනේ කියල. වැඩේ වණ වෙන්න ගත්තේ මේකේ කෙළවරක් නැති වුණාමල පෝලිමේ එන්න ගත්ත ඉලන්දාරි. කෙලි පැටික්කිත් කොච්චර වුනත් සෑහෙන ජනප්‍රියයි. මොන වැරැද්ද තිබ්බත් මිනිස්සු කැමති එයාට. චාලි , කමිලියා නෝනේ විතරක් නීම් අර මහා ගෙදර උන්ටත් ඒක ඇල්ලුවේ නැහැ. අන්තිමේ අම්මණ්ඩි කට්ටියව දික්කසාද කරලා දැම්මෙව්වා. ලොකු පුතා, පොඩි පුතා, දුව ඔක්කොම පෝලිමේ. මෝඩ එඩී විතරක් මෝඩ හින්දම ද කොහෙද ශේප් එකේ හිටිය.
කෙලි පැටික්කි ගේ රෝන්දේ යන වැඩේ වර්චස් උනේ වෙන ආගමක එකෙක් එක්ක යන්න පටන් ගත්තට පස්සේ. යෝනක කුලේ වෙළෙන්දෙක් ගේ ඩොදියන් කියල චූන් පාන් කොල්ලෙක් එක්ක සෙට් වුනානේ මේකි. අනාගතේ රැහේ පාලනේ බාර ගන්න ඉන්න චාලි ගේ හිටපු බිරිඳ වුනත් මේ ගෑනි අනාගත රැහේ නායකයෙකු ගේ අම්ම කෙනෙක් නොව. මොනව කරන්නද, චාලි ඉහල පෙලේ කට්ටියක් එක්ක මොනවා ඇටෙව්වා ද දන්නේ නැහැ, කන්ද උඩරට පැත්තේ ගිය වෙලාවක, ඔය දෙමෝදර ද කොහෙද ගුහාවක් අස්සෙන් යනකොට දියන්නා ගේ කාරෙක හැප්පිලා. ගෑනි යි අර ඩොදියන් නුයි එතනමලු. ඒක හොයන්න ගියොත් පැරිස්සියා කියන පොලිස් කාරයත් මෙලෝ මගුලක් හෙව්වේ නැහැලු මොනවාද උනේ කියන්නවත්.
මේ වැඩේ වෙනකොට හැරිසොන් කොලූ ට යන්තං දහයයි. විලිසොන් අයිය තමයි එයත්කො පොඩි වුනත්ල්ල ව බලා ගත්තේ . ළමයි බලන්න ඈත පළාතකින් ගෙනාපු ටිගි නෝනා ත් කොල්ලෝ දෙන්න බලා ගත්ත. ඔය අස්සේ චාලි බය නැතිව කමිලියා නෝනේ එක්ක ගමන් යන්න ගත්ත. මිනිස්සුන් අම්මණ්ඩි ට කියන්න ගත්ත චාලිව උන්ට එපා කියල කෙලින්ම විලිසොන් මුණුපුරා ට රැහේ නායක කම දෙන්න කියල. විලිසොන් කොලුවත් වැඩේ ලස්සනට බාර ගත්තේ කතිනා කියල කෙල්ලක් බැඳගෙන. හැබැයි ඒ වෙනකොට අර කන්‍යාවියක් බඳින කතාව හිමින්ම අයින් කරලා තිබ්බේ. විලිසොන් යන්තන් බේරුනා. නැතිනම් කතිනා බඳිනවා බොරු.
හැරිසොන් නම් කෙලින්ම යකා වුනා. චාලිට, ටිගි නෝනා ට තියා විලිසොන් අයියට වත් ආම්බන් කරන්න බැරිවුනා. අම්ම නැති වෙච්ච එකේ වාඩුව ගත්තෙම අහල පහල කොල්ලෝ කෙල්ලෝ එක්ක නටන්න ගිහින්. අඩව් කීපයක්ම ඇල්ලුවා. හැබැයි ඕකෙ වාසිය ගත්තේ අපේ කමිලියා නෝනා. චාලි ඒ වෙනකොට ලිඳ ළඟ ඕපා දුප සංගමේ, බබා සිංඤෝ ගේ බිබී සී කට්ටිය, අහල පහල වතුවල ලවුඩ්ස්පිකර් විතරක් නෙමේ මේල් ගෙනියන අයියල ටිකත්, රේඩියෝ රූප පෙට්ටි ටිකත් සෙට් කරගෙන. චාලි යි කමිලියා නෝනයි රැහේ නායක කමට කොච්චර සුදුසුද කියල අම්මණ්ඩි ටයි පිලිපන්ටයි විතරක් නෙමේ පුරෝහිතයෝ වගේ ඉන්න එවුන්ටත් කියල දෙන්න ලස්සනට බෝලේ බැස්සුවා. ඒ තාරේ හීන් සීරුවේ දික්කසාද නෝනලා බඳින්න බැරිය කියල තිබ්බ නීතියත් හිමිට වෙනස් කර ගත්ත. මේක අවුරුදු ගානක් හෙමිහිට හිමිහිට අරන් ගිය ප්ලෑනක් කියල හරියට බලා හිටිය එකෙකුට දෙන්නෙකුට තේරුනා. ඒ උනාට උනුත් සද්ද නැතිව හිටිය.
හැබැයි විලිසොන් ට කොහොම වෙතත් හැරිසොන් ට වැඩේ ඇල්ලුවේ නැහැ, ඌ කැරලි ගහන්න ගත්ත, අර කොහේදෝ රටක ගාමිණී කියල රජෙක් ගේ සාලි කියල පුතෙක් සැඩොල් කෙල්ලක් එක්ක ගියා වගේ අපේ එකත් සැඩොල් කෙල්ලක් හොයා ගත්ත කියහන්කෝ මේඝනා කියල. අම්මණ්ඩි අම්මත් නැති හැරිසොන් මුණුපුරාට ඇත්තටම ආදරෙයි. ගෑණි ඒ නිසා ඕන වලියකින් කොල්ලව බේරුවා. උගේ තාත්ත චාලි ට වැඩිය කොල්ල බලා ගත්තේ ආච්චියි පිළිපන් සීයයි. ඉතින් විලිසොන් කොල්ලට වගේම ලොකුවට මගුලක් තියල හැරිසොන් ට සැඩොල් කෙල්ල මේඝනා බන්දල දුන්න.
ඒ වුනාට වැඩේ නිකන් ඔට්ටේලියා පළාතේ අබෝරි කාරයන්ගේ බුමැරන්ගේ වගේ කැරකිලා ආව කියහන්කෝ. සැඩොල් කෙල්ලක් වුනාට ඒකිට හැරිසොන් ට වැඩිය සල්ලි තියනව. අර අම්මණ්ඩි ගේ මහා වලව්වේ කකුල් හෝදන එවුඑවුන් ටයි, පුටු අල්ලන එවුන්ටයි , සට්ටඹි රාල ළාටයි ඔළුව නමන්න මේකි කැමති වුනේම නැහැනේ. ඔන්න ලිඳ ළඟ සංගමේ වැඩේ පටන් ගත්ත. දැන් විලිසොන් කොලුවා, එයාගේ ගෑනි කතිනාගේ පටන් ඒ පවුලත් හැරිසොන් ට විරුද්ධව පවුලේ උන්ගේ පැත්ත ගත්ත. පවුලේ හැරිසොන් ට පස්සේ පේලි වල හිටපු නෑදෑයෝ රොත්තත් අම්මණ්ඩි ගේ සල්ලි වලින් ජිවත් වුනාට උන් කැමති වුනේ නැහැ සැඩොල් කෙල්ලට ඔලුව නමන්න. වැඩේ දෙල් වේගෙන ඇවිල්ල කුණු කොස් වුනා. විලිසොන් කෙල්ලව අරගෙන මුදෙන් එහා පැත්තේ කෝමාරිකා ජනපදේට පැන්න. පිළිපන් හාමි කලින්ම ගියා අනිත් ලෝකෙට. මහ අම්මණ්ඩි ටත් කර ගන්න දෙයක් නැතිව ගියා. උන්දැත් නොඑන ගමන් ගියා.
ඕන් ඊයේ පෙරේද චාලි මහ අම්මණ්ඩි දාල ගිය මහා පුටුව භාර ගත්ත. හැරිසොන් කොල්ලත් තාත්ත පුටුවට පනිනවා බලන්න ආව . මොකද ඒක ලෙහෙසි පහසු වැඩක් නෙමේ. තට්ටු හතකකින් විතර පනින්න ඕනේ මිලියන් විස්සක් විතර පළාතේ මිනිස්සු බලන් ඉන්දැද්දී. ඒ මදිවට රූප පෙට්ටි වලිනුත් ගොඩක් අය බලනවලු.
හැරිසොන් කොලුවත් පලවෙනි පේලියේ ඉන්න ඉපදුනු එකා වුනත් තුන්වෙනි පේලියට දාල තිබිල හිටියලු ඔන්න මහා ගෙදර ගාව තියන පන්සලේ ලොකු සාලාවේ දාපු පුටු පේලියේ.
මට හිතුනේ අම්මප ඌට මොනවා හිතුනද කියල උගේ අම්ම වෙනුවට කුඩම්ම පුටුවේ වාඩි වෙනකොට තාත්ත ලඟින්.
ඔන්න ඔහොමයි කතාව ඉවර වුනේ, මම මේ ටීවී එකේ සෝප් ඔපෙරා එකක් බැලුව. ඒකෙ කතාව කීවේ. වෙන මුකුත් හිතන්න එපා ඉතින්.
සියලු නම්ගම් මනඃකල්පිතය
(අපහාසයට නොව උපහාසයට පමණි)
- අජිත් ධර්මකීර්ති -07/05/2023