මම සාමාන්‍යයෙන් ලංකාවේ සින්දු ෂෝ වලට යනවා අඩුයි. විශේෂ හේතුවක් නැහැ. යු ටියුබ් එකෙන් අහන නිසා එක හේතුවක් වෙන්න . මගේ ජර්මන් බිරින්දෑ ඉනෙස් වඩා කැමති ජෝති ගේ සහ ජිප්සීස් ලගේ සින්දු වලට වීම අනික වෙන්න ඕනේ. ඒත් ඉතින් යාලුවෝ සෙට් එකක් බල කළා 'ආදරණිය රෝහණ " කියල නියම ප්‍රසංගයක් ලන්ඩන් එනවා. ආචාර්ය රෝහණ වීරසිංහ ගේ තනු තමං ඔක්කොම. ටී එම් එනවා. යමු යමු කියල. ටී එම් ඉතින් අපි ගැටවර වියේ ඉන්න කොට දෙගොඩ තලා ගඟ ගලාගෙන " ගිහින් "වලා තීරයෙන් එහා සකුරා ඉවුරට පැනලා , පියුම් නීල විල උපන් ලිය ගාව " හද නතර කරපු ගායකයනේ. නොගිහින් කොහොමද කියල, ටිකට් එකක් ගත්ත.
ඒ අතරේ අපේ ඉවාන් කාරයත් බිරියානි එකක් හදල දෙනව කියල ඇවිත්, එයත් එක්ක කඩේ ගිහින් එයාට ඕන අඩුම කුඩුම ටිකත් අරන් දුන්න. ඒ දැකලා ඉනෙස් බනිනවා යාළුවන්ට කතා කරලා මියුසික් ෂෝ වලට යනව කියල. කිත්මත් ආව ඇවිදින්න යන්න කියල. දැන් අපි ගාඩ්න් එකට වෙලා කෝපි බොනවා, මමත් හීන් සීරුවේ සුරුට්ටුවක් පත්තු කරගත්ත. වෙලාවට හතරට විතර ඇති. මෙන්න බොලේ අර 'ආදරණිය රෝහණ " සංවිධානය කරන කට්ටියගෙන් මේල් එකක් එනවා.
/Please take note of the following general notice. The show will start promptly at 6:00pm and doors will open at 4:30pm.//
හරියට හයට ෂෝ එක පටන් ගන්නව. හතරාහමාරට දොරටු අරිනවා, කියලයි කියන්නේ.. මම දැන් දනි පනි ගාල යන්න ලැහැස්තිය, ඒත් ඉතින් ඉනෙස් අහනව "ඔයාට හොඳටම ෂුවර් ද දහයට පටන් ගනී කියල. ලංකාවේ ඒව පැයක් දෙකක් පරක්කු වෙනවනේ" කියල. මම කීව , නැහැ මේ පාර නම් එහෙම වෙන එකක් නැහැ. මේ ඊමේල් එකකකුත් එවල තියෙන්නේ කියල.
ඔන්න ඉතින් ඒ ගමන එයා මාව ස්ටේෂන් එකට ගිහින් ඇරලුව. මේක වුඩ්ග්‍රීන් කියන ටිකක් ලන්ඩන් ඇතුලට වෙන්න තියෙන තැනක නිසා මම කාරෙකේ ගියේ නැහැ, ට්‍රැෆික් අස්සේ යන්න කැමති නැති නිසා. ඔන්න ඉතින් පහයි කාලට විතර එතනට ගියා. මගේ යාළුවෙක් වෙන ජයන්තත් එතන හිටිය. විනාඩි හතලිස් පහකට කලින් නේ ගියේ . මෙන්න හෙන පෝලිමක් ඇතුලට යන්න. යාළුවෝ සෙට් එකක්ම එතන. කට්ටියක් පෝලිමේ මගින් ජොයින් වෙන්න කතා කළා. අපේ එවුන්මනේ ඉන්නේ ඔන්න ඔය පෝලිම විගහයට යයි කියල කෙලවරට සෙට් වුනා. ඔන්න මුල්ම ගේට්ටුවේ සද්දන්ත සෙකියුරිටි මහත්මයෙක් ටිකට් චෙක් කරලා ඇති අය දකුණට, නැති අය වමට දානවා පොඩි ප්‍රේමදාස ගේ උසනම් සිකුරිටි මිටි නම් කම්කරු ශෛලියට.
නැති අය වමෙන් ගීහින් ටිකට් ගන්න ඕනේ. ඇති අය මැදට ගියහම බැල්කනි එකට යන තැන ආයේ චෙක් කරල ස්කෑන් කරනවා, උඩට ගියහම ආයේ අහනවා ටිකට් තියනවද කියල. එතැනින් පාස් වෙලා පුටුවට ගියාට සුළු දිය පහ කිරීමේ අවශ්‍යතවයකුත් ආව කියහන්කෝ. යට තට්ටුවේ බිම්ත මහලේ මා ටොයිලට් තියෙන්නේ. උඩ නැහැ. අපි ඉතින් දැන් වයස අනුව බ්ලඩර් එක හිස් කරගෙන ඉන්න එක ගුණයි නේ කියල ටොයිලට් හොයාන ගියා. පහලට බැහැල වංක ගිරියක ගිහින් තූත්තුකුඩිය ගාවින් පහලට බැස්සම පට්ට පෝලිමක් තියන ටොයිලට් එකක් අහු වෙනා. ඒකට යන ගමනේදී ටිකට් චෙක් කළා දෙතුන් පාරක්. අර සෝවියට් රුසියාවේ ඉඳන් එනකොට නැගෙනහිර ජර්මනිය හරියේදී දාන බෝඩර් චෙකින් එක වගේ. . අනේ මන්ද ලන්ඩන් වල ඉන්න ලංකාවේ එවුන් හොරට ටිකට් ගහගෙන මේවට එනවද මන්ද ?
හයට පටන් ගන්න නිසා හරි බරි ගැහිලා ඉඳ ගත්ත. හයයි කාල වුනා. හයාමාර වුනා. මමත් ඉතින් වටේ පිටේ ඉන්න යාළුවන්ට කෝල් දෙන්න පටන් ගත්ත. සුමුදුව ඉස්සරහ ඉඳන් අත වැනුවා. නීල් දැකල කතා කලා. දර්ශනී ඉස්සරහ පේලියේ. මධු , රාජිත සෙට් එක ඉස්සරහම. ලුමුම්බා ඩොක් අතුල පල්ලහා. බලාගෙන ගියහම මගේ යාලුවෝ මෙච්චර රෝහණ වීරසිංහ ෆෑන්ස් කියල දැනන් හිටියෙත් නැහැ. පැයක ට වඩා ටිකක් පරක්කු වෙලා ආදරණිය ලෙස හතයි පහට විතර පටන් ගත්ත ෂෝ එක.
ලස්සන සින්දු දෙක තුනක් කීව. ටී එම් , "මුළු ලොවම නැති වුනත් " , නොබලන් කුමරිය වගේ සිංදු කොහොමත් ආසාවෙන් අහපු සින්දුනේ. ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී ගේ ආදරණිය සින්දු දෙක තුනක් කියවුනා. නිරෝෂා විරාජිනී ගේ "පුන්සඳ රෑට " හෙම පට්ට සින්දුවක්. දිවුල්ගනේ ගේ "මගේ දුවේ" හෙම කියන්නේ ඉතින් හද බැඳගත් ගී තමයි. හැබැයි ඒ කිහිපය ඇරුනහම අනිත්වා වැඩිය අහපු සින්දු නෙමේ.
ලොකුම ප්‍රශ්නේ වුනේ "සුපිරි" වාදක මඩුල්ලක් වුනත් කියන සින්දු දුන්න මියුසික් එක්ක වැඩිය සමමුහුර්ත (synchonise) නොවීම. හැම තැනදීම නොවේ. ඒත් ගොඩක් තැන්වල ඒක වුනා කියල මට හිතුන, මම වැඩිය සංගීතය උගත් කෙනෙක් නෙමේ. ගීත රස විඳින කෙනෙක් විතරයි. නමුත් මට එහෙම ඇහුනේ බැල්කනියේ හිටපු නිසාද දන්නෙත් නැහැ.
කොහොම හරි ෂෝ එක ඇදගෙන ගියා රෑ දහයමාර වෙනකන් වගේ., ටි එම් ඇවිල්ල පොඩ්ඩක් නැගල යන සින්දු තුනක් කීව අන්තිමට. වැඩේ සංවිධානය කරපු කපිල සහ එයාගේ බිරිඳ රෝහණට සම්මානයක් දුන්න. එයාගේ කම්පැනි එකෙන්. හෙන ස්පීච් එකකුත් ගියා. ඒක එපමණම වැඩක් ඇති දෙයක්ද කියලා නම් දන්නේ නැහැ, මොකද ටිකට් විකුණලා කරන ෂෝ එකක එහෙම විච්චුර්ණ ටෝක් අවශ්‍යයි කියලා මට හිතුනේ නැහැ, කපිල ලාභයක් එන්නේ නැත්නම් මේව සංවිධනය කරන්නේ නැහැනේ. ඒ වුනාට එහෙම හරි කරන එක හොඳයි හැබැයි.
අපි බලන්න යන මේ වගේ ඉංග්‍රීසි සින්දු කියන ෂෝ වල ප්‍රධාන ගායකයෝ එනකන් අතුරු ලෝකල් ගායකයෝ සහ වාදක මණ්ඩල එනවා. සමහර විට සංවිධායකයන්ට එහෙම කරන්න තිබ්බ.
මට ප්‍රශ්නයක් තියනවා ප්‍රේක්ෂකයන් ගෙන් අහන්න. ෂෝ එකේ ගීත ගැන විස්තර කරපු වත්සල නමැති නිවේදකයා හැම වෙලේම රෝහණ සර්, ටි එම් සර් දිවුල්ගනේ සර් කියල කිව්වා. එහෙමද ආමන්ත්‍රණය කරන්න ඕනේ, නැත්නම් ආචාර්ය රෝහණ වීරසිංහ හෝ රෝහණ වීරසිංහයන්, ජයරත්නයන්, දිවුල්ගනේ කියල කිව්වම මදිද? මොකද, බිල් ක්ලින්ටන් , රිෂි සුනාක්, එඩ් ශිරාන් එහෙම කියල ප්‍රසිද්ධ අයට කියන්න පුළුවන්නේ. නිරෝෂා විරෝජිනි ට වත්සල, මැඩම් කියනවා ඇහුනේ නම් නැහැ.
අකුදී ඇවිල්ලවත්, මේ ජනාධිපතිනි චන්ද්‍රිකා අනුමත කරල දුන්න මේ පරක්කු වෙලා එන එක, පරක්කු වෙලා වැඩ කරන එක නතර කරයිද දන්නේ නැහැ. මම නම් කොහොමත් තව අවුරුදු කිහිපකට හෝ සිංහල සින්දු කියන ෂෝ එකකට යන එකක් නැහැ.
20/05/2024 -කොළඹ ගමයා
ප.ලි. ඉනෙස් කියනවා පවුම් 36 ට ඔයාට තව මොනවාද ඕනේ කියල? (රුපියල් 14000 විතර) සින්දු ටිකක් අහලා පරක්කු වෙලා ගෙදර ආවනේ. අප දැන් තියටර් ගියත් පවුම් 60-70 ගෙවනවානේ කියල. කතාව ඇත්ත. ඒත් ඇයි අපි හැම වෙලේම ලෝ ක්වොලිටි දේවලින් සතුටු වෙන්න යන්නේ. අපි වැඩ කරන විට බාගෙට වැඩකරන්නේ නැහැනේ. ඉතින් එහෙම උපයන මුදලට සරිලන සේවාවක් ලැබෙන්න ඕනේ නැත්ද?