Sunday 19 May 2024

"ආදරණිය රෝහණ" ඇහුවනේ


මම සාමාන්‍යයෙන් ලංකාවේ සින්දු ෂෝ වලට යනවා අඩුයි. විශේෂ හේතුවක් නැහැ. යු ටියුබ්  එකෙන් අහන නිසා එක හේතුවක් වෙන්න . මගේ ජර්මන් බිරින්දෑ ඉනෙස් වඩා  කැමති ජෝති ගේ සහ ජිප්සීස් ලගේ සින්දු වලට වීම අනික වෙන්න ඕනේ. ඒත් ඉතින් යාලුවෝ සෙට් එකක් බල කළා 'ආදරණිය රෝහණ " කියල නියම ප්‍රසංගයක් ලන්ඩන් එනවා. ආචාර්ය  රෝහණ වීරසිංහ ගේ තනු තමං ඔක්කොම. ටී එම් එනවා. යමු යමු කියල. ටී එම් ඉතින් අපි ගැටවර වියේ ඉන්න කොට දෙගොඩ තලා ගඟ ගලාගෙන " ගිහින් "වලා  තීරයෙන් එහා සකුරා ඉවුරට පැනලා , පියුම් නීල විල උපන් ලිය ගාව " හද නතර  කරපු ගායකයනේ. නොගිහින් කොහොමද  කියල, ටිකට් එකක් ගත්ත. 



ඒ අතරේ අපේ ඉවාන් කාරයත් බිරියානි එකක් හදල දෙනව කියල ඇවිත්, එයත් එක්ක  කඩේ ගිහින් එයාට ඕන අඩුම කුඩුම ටිකත්  අරන් දුන්න. ඒ දැකලා ඉනෙස්  බනිනවා යාළුවන්ට කතා කරලා මියුසික් ෂෝ වලට යනව කියල. කිත්මත් ආව ඇවිදින්න යන්න කියල. දැන් අපි ගාඩ්න් එකට වෙලා කෝපි  බොනවා,  මමත් හීන් සීරුවේ   සුරුට්ටුවක් පත්තු කරගත්ත. වෙලාවට හතරට විතර ඇති.  මෙන්න බොලේ අර 'ආදරණිය රෝහණ " සංවිධානය කරන කට්ටියගෙන් මේල් එකක් එනවා. 

/Please take note of the following general notice. The show will start promptly at 6:00pm and doors will open at 4:30pm.//  

හරියට හයට ෂෝ එක පටන් ගන්නව. හතරාහමාරට දොරටු අරිනවා, කියලයි කියන්නේ.. මම දැන් දනි  පනි ගාල යන්න ලැහැස්තිය, ඒත් ඉතින් ඉනෙස් අහනව "ඔයාට හොඳටම ෂුවර් ද දහයට පටන් ගනී කියල. ලංකාවේ ඒව පැයක්  දෙකක් පරක්කු   වෙනවනේ"  කියල. මම කීව , නැහැ මේ පාර  නම් එහෙම වෙන එකක් නැහැ. මේ ඊමේල් එකකකුත් එවල තියෙන්නේ කියල. 
ඔන්න ඉතින් ඒ ගමන එයා මාව ස්ටේෂන් එකට ගිහින් ඇරලුව. මේක වුඩ්ග්‍රීන් කියන ටිකක් ලන්ඩන් ඇතුලට වෙන්න තියෙන තැනක නිසා මම  කාරෙකේ ගියේ නැහැ, ට්‍රැෆික් අස්සේ යන්න කැමති නැති නිසා. ඔන්න ඉතින් පහයි කාලට විතර එතනට ගියා. මගේ යාළුවෙක් වෙන ජයන්තත් එතන හිටිය. විනාඩි හතලිස් පහකට කලින් නේ ගියේ . මෙන්න හෙන පෝලිමක් ඇතුලට යන්න. යාළුවෝ සෙට් එකක්ම එතන. කට්ටියක්  පෝලිමේ මගින් ජොයින්  වෙන්න කතා කළා. අපේ එවුන්මනේ ඉන්නේ ඔන්න ඔය පෝලිම  විගහයට යයි කියල කෙලවරට සෙට් වුනා.  ඔන්න මුල්ම ගේට්ටුවේ සද්දන්ත සෙකියුරිටි  මහත්මයෙක් ටිකට් චෙක්  කරලා ඇති අය දකුණට, නැති අය වමට දානවා පොඩි ප්‍රේමදාස ගේ  උසනම් සිකුරිටි මිටි නම් කම්කරු ශෛලියට.

නැති අය වමෙන් ගීහින් ටිකට් ගන්න ඕනේ. ඇති අය මැදට ගියහම බැල්කනි එකට යන තැන ආයේ චෙක්  කරල ස්කෑන් කරනවා, උඩට ගියහම ආයේ අහනවා ටිකට් තියනවද කියල. එතැනින් පාස් වෙලා පුටුවට ගියාට සුළු දිය පහ කිරීමේ අවශ්‍යතවයකුත්  ආව කියහන්කෝ. යට තට්ටුවේ බිම්ත මහලේ මා  ටොයිලට් තියෙන්නේ. උඩ නැහැ. අපි ඉතින් දැන් වයස අනුව බ්ලඩර් එක හිස් කරගෙන ඉන්න  එක ගුණයි නේ කියල ටොයිලට් හොයාන  ගියා. පහලට බැහැල වංක ගිරියක  ගිහින් තූත්තුකුඩිය   ගාවින් පහලට බැස්සම පට්ට පෝලිමක් තියන ටොයිලට් එකක් අහු වෙනා. ඒකට යන ගමනේදී ටිකට් චෙක්  කළා දෙතුන් පාරක්. අර සෝවියට් රුසියාවේ ඉඳන් එනකොට නැගෙනහිර ජර්මනිය හරියේදී දාන බෝඩර් චෙකින් එක වගේ. . අනේ මන්ද ලන්ඩන් වල ඉන්න  ලංකාවේ එවුන් හොරට  ටිකට් ගහගෙන මේවට එනවද  මන්ද ?

හයට පටන් ගන්න නිසා හරි බරි  ගැහිලා ඉඳ ගත්ත. හයයි කාල වුනා. හයාමාර වුනා. මමත් ඉතින් වටේ පිටේ ඉන්න යාළුවන්ට කෝල් දෙන්න පටන් ගත්ත. සුමුදුව ඉස්සරහ ඉඳන් අත වැනුවා. නීල් දැකල කතා කලා. දර්ශනී ඉස්සරහ පේලියේ. මධු , රාජිත සෙට් එක ඉස්සරහම. ලුමුම්බා ඩොක් අතුල පල්ලහා.  බලාගෙන ගියහම මගේ යාලුවෝ මෙච්චර රෝහණ වීරසිංහ ෆෑන්ස් කියල දැනන් හිටියෙත් නැහැ. පැයක ට වඩා ටිකක්  පරක්කු වෙලා ආදරණිය ලෙස හතයි  පහට විතර පටන් ගත්ත ෂෝ එක. 

ලස්සන සින්දු දෙක තුනක් කීව. ටී එම් , "මුළු ලොවම නැති වුනත් " , නොබලන් කුමරිය වගේ සිංදු කොහොමත් ආසාවෙන් අහපු සින්දුනේ. ප්‍රවීණ ගීත රචක  රත්න ශ්‍රී ගේ ආදරණිය සින්දු දෙක තුනක් කියවුනා. නිරෝෂා විරාජිනී ගේ  "පුන්සඳ රෑට " හෙම පට්ට සින්දුවක්. දිවුල්ගනේ ගේ "මගේ දුවේ" හෙම කියන්නේ ඉතින් හද බැඳගත් ගී තමයි. හැබැයි ඒ කිහිපය ඇරුනහම අනිත්වා වැඩිය අහපු සින්දු නෙමේ. 
ලොකුම ප්‍රශ්නේ වුනේ "සුපිරි" වාදක මඩුල්ලක් වුනත් කියන සින්දු දුන්න මියුසික් එක්ක වැඩිය සමමුහුර්ත (synchonise) නොවීම. හැම තැනදීම නොවේ. ඒත් ගොඩක් තැන්වල ඒක වුනා කියල මට හිතුන, මම වැඩිය සංගීතය උගත් කෙනෙක් නෙමේ. ගීත රස විඳින කෙනෙක් විතරයි. නමුත් මට එහෙම ඇහුනේ  බැල්කනියේ හිටපු  නිසාද දන්නෙත් නැහැ.

කොහොම හරි ෂෝ එක ඇදගෙන ගියා රෑ දහයමාර වෙනකන් වගේ., ටි එම් ඇවිල්ල පොඩ්ඩක් නැගල යන සින්දු තුනක් කීව අන්තිමට. වැඩේ සංවිධානය  කරපු කපිල සහ එයාගේ බිරිඳ රෝහණට සම්මානයක්  දුන්න. එයාගේ කම්පැනි එකෙන්. හෙන ස්පීච් එකකුත් ගියා.  ඒක එපමණම වැඩක් ඇති දෙයක්ද කියලා නම් දන්නේ නැහැ, මොකද ටිකට් විකුණලා කරන ෂෝ එකක එහෙම විච්චුර්ණ ටෝක් අවශ්‍යයි කියලා මට හිතුනේ  නැහැ, කපිල ලාභයක් එන්නේ නැත්නම් මේව සංවිධනය  කරන්නේ නැහැනේ. ඒ වුනාට එහෙම හරි කරන එක හොඳයි හැබැයි. 

අපි බලන්න යන මේ වගේ ඉංග්‍රීසි සින්දු කියන ෂෝ වල ප්‍රධාන ගායකයෝ එනකන් අතුරු ලෝකල් ගායකයෝ සහ වාදක මණ්ඩල එනවා. සමහර විට  සංවිධායකයන්ට එහෙම කරන්න තිබ්බ.
 
මට ප්‍රශ්නයක් තියනවා  ප්‍රේක්ෂකයන් ගෙන් අහන්න. ෂෝ එකේ ගීත ගැන විස්තර කරපු වත්සල නමැති නිවේදකයා හැම වෙලේම රෝහණ සර්, ටි එම්  සර් දිවුල්ගනේ සර් කියල කිව්වා.  එහෙමද ආමන්ත්‍රණය  කරන්න  ඕනේ, නැත්නම් ආචාර්ය රෝහණ වීරසිංහ හෝ රෝහණ වීරසිංහයන්, ජයරත්නයන්, දිවුල්ගනේ කියල කිව්වම මදිද? මොකද, බිල් ක්ලින්ටන් , රිෂි සුනාක්, එඩ් ශිරාන් එහෙම කියල ප්‍රසිද්ධ අයට කියන්න පුළුවන්නේ. නිරෝෂා විරෝජිනි ට වත්සල, මැඩම් කියනවා ඇහුනේ නම් නැහැ. 
 
අකුදී ඇවිල්ලවත්, මේ ජනාධිපතිනි   චන්ද්‍රිකා අනුමත  ක‍රල දුන්න මේ පරක්කු වෙලා එන එක, පරක්කු වෙලා  වැඩ කරන එක නතර කරයිද  දන්නේ නැහැ. මම නම් කොහොමත්  තව අවුරුදු කිහිපකට හෝ සිංහල සින්දු කියන ෂෝ  එකකට යන එකක් නැහැ. 

20/05/2024 -කොළඹ  ගමයා 

ප.ලි. ඉනෙස් කියනවා පවුම් 36 ට ඔයාට තව මොනවාද ඕනේ කියල? (රුපියල් 14000 විතර) සින්දු ටිකක් අහලා පරක්කු වෙලා ගෙදර ආවනේ. අප දැන් තියටර් ගියත් පවුම් 60-70 ගෙවනවානේ කියල. කතාව ඇත්ත. ඒත් ඇයි  අපි හැම වෙලේම  ලෝ ක්වොලිටි දේවලින් සතුටු වෙන්න යන්නේ. අපි වැඩ කරන විට බාගෙට වැඩකරන්නේ නැහැනේ. ඉතින් එහෙම  උපයන මුදලට සරිලන සේවාවක් ලැබෙන්න ඕනේ නැත්ද? 
 
      



25 comments:

  1. එක්කෙනෙකුගේ පරක්කුවක්
    කියමුකො අපි විතර පැයක්
    ආවා නං පන්සීයක්
    දින 21 නාස්තියක්!

    ඉස්සරහදි පුම්බනවා
    පිටුපසදී ගරහනවා
    අපේ ගතිය මතු වෙනවා
    අනේ ඒක දුරු වේවා!!

    ReplyDelete
    Replies
    1. අනේ මේ ගැරහුවා නෙමේ නිදියෝ
      පෙන්න දුන්නා පමණයි
      මම වෙලාවට වැඩ දෙනවනම්
      හරියට වැඩේ කරනව නම්
      ඇයි මට බැරි එහෙම
      යදින්න උන්ගෙන්

      Delete
    2. නෑ නෑ බොසා ගැරහීමක් නොව කෙරුවේ
      'මල පන්නවන සිරිතක්' ගණනිනි කීවේ
      අපේ දුබලකම් ටික ටිකවත් දුරුවේ-
      නං, අපටම හොඳයි- රටටම ජය අත්වේ!

      Delete
    3. ආන්න ඒකයි , අපි එහෙමෙ හැම දේම
      ඉවසන්න ඕන නැහැ
      ඉවසන්න ඉවසන්න
      එහෙම කරනවත් වැඩි වේවි

      Delete
  2. දැමුවත් හත් වසරක් උණ පුරුකේ
    සිංහ වලිගේ ඇද නොම යන්නේ

    ReplyDelete
    Replies
    1. අපායටත් පරක්කු වී යන්නේ
      යමයා දිවි නසා ගන්න යන්නේ

      Delete
  3. ලව්පූසාතුමා ඉන්ගලන්තෙදි මොන ජාතියෙ සුරුට්ටුද බොන්නෙ?

    ReplyDelete
    Replies
    1. සොරි, ලව්පූසා සර්

      Delete
    2. ඒ සර් තවම සුරුට්ටු බොන්නේ නැහැ. මං විතරයි. ඊයේ අරක්කු වඩි දෙක තුනක් නම් දා ගත්ත

      Delete
    3. @Pra - කොච්චර ඉල්ලුවත් සුරුට්ටුවක් දුන්නේ නෑනේ

      Delete
    4. අහා! වඩි දෙක ලඟ ලඟ නමන්න ඇති නේද?
      මේ පවුලූසෝ අර අන්තිම කතාව වගේ එකක් ලියහංකො, එංගලාන්තෙ පරිසරය මුහු කරලා. එතකොට තමා ලස්සන.

      Delete
    5. මම පලවෙනි වඩිය , යන්තම් දාන කොට බිරින්දෑ මෙන්න මෙයාගේ වීදුරුවට තව එක්ක දානවා. මගේ පලවෙනි ඉවර වෙනකොට මෙයා වඩි දෙකම හලාගෙන බඩට

      Delete
    6. සහකාර සාමාන්‍යාධිකාරි බස්තුමා, මේ අජ්ජා ලියන්න දෙන්නේ නෑ

      Delete
    7. තනි බොරු , පොර බෝතල් ටෙස්ට් කරනවා මේ දවස් වල

      Delete
  4. හොඳ වැඩේ, ගියා මහා ලොකුවට ඉඳපන් කියද්දීත්.. දැන් සැපද :-D

    ReplyDelete
    Replies
    1. දැන් ශැපයි , උඹේ කටවහ නිසා තමා ඕක වුනේ

      Delete
  5. මෙහෙත් සංගීත සංදර්ශන තියෙනවා. ඒවාට සහභාගීවෙන අය එන්නේ ඒ ගායකයගෙම සිංදු අහන්නම නෙමේ. ලංකාවේ කට්ටිය එකතු වෙන නිසා ගැදරින් එකක් වශයෙන් හිතලා, කට්ටිය අදුන ගන්නත්, ෆන් එකක් ගන්නත් හිතාගෙන තමයි කට්ටිය එන්නේ..ඒ වගේ කට්ටියට, අර ගායකයගේ ඔරිජිනල් සින්දු සමහර විට සෙට් නෑ...නටලා කාලා බිලා ෆන් එකක් ගන්න එනකොට, පට්ට සම්භාව්‍ය සින්දු ගැහුවම ෆුල් අවුල් යනවා...ඕවා ඔහොම තමයි ...ඩාම් වෙනව ඩූම් වෙනවා..

    ReplyDelete
    Replies
    1. මේක එහෙම එකක් නෙමේ. ඔක්කොම ඉඳගෙන නිවී සැනහිල්ලේ අහන සින්දු. ෆෝමැට් එකේ අවුලක් නැහැ. කාල දාපු වෙලාව හෙම අවුල්. සවුන්ඩ්ස් හොඳ නැහැ , වාදක මණ්ඩලය ෆේමස් අය වුනාට. අර වගේ යාලුවෝ හම්බ වෙන ගෙන හිටි අයත් අඤ්ඤ කොරොස් වෙලා හිටියේ රෑ එකොළහමාරට විතර ඉවර වෙන කොට

      Delete
  6. මටත් ඔය හෝල්වල තියෙන සැප අඩු පුටුවල වාඩිවෙලා අපි ළඟ තියෙන, ෂපාන් එකේ අහන්න පුළුවන් සින්දු අහන්න සල්ලි දීලා යන්න හිතෙන්නෙම නෑ. ඒක කාලේ නාස්තියක්, සල්ලි විතරක් නොවේ.

    කාර් එකේ දුර ගමන් යනකොට තමයි වැඩියෙන්ම සින්දු අහන්නේ. ඊළඟට සති අන්තයේ ගෙදර දොරේ වැඩ කරන කොට.

    නමුත් ඉතිං මෙහෙම අකරතැබබත් වෙනවා.
    https://rasikalogy.blogspot.com/2016/06/i-o-sirisena.html

    !

    ReplyDelete
    Replies
    1. අන්තිමට ඒක බලන්න ගිහින් ඇමටි ප්‍රසන්නට කාඩ් එකකුත් දීලනේ. මමත් ඔය ඉඳල ඉඳල ගිය එකක්. ඉතින් ආයේ කපේකට යැවෙන්නේ නැහැ

      Delete
  7. අර පව්ලූසයත් ඇදගෙනමනෙ යන්න තිබුනේ..

    ReplyDelete
    Replies
    1. එතකොට බ්රියානි හදන්නේ කවුද? කොහොමත් බෑ කිව්වා

      Delete
  8. හුම්! ඇත්ත. වියදමට සරිලන දෙයක් නොලැබෙනවනම් තවත් ඒ දෙවල් වෙනුවටන් කාලය මිඩංගු කරන්ට හිතෙන්නෙ නෑ තමා

    ReplyDelete
    Replies
    1. පැයකට වඩා ඉන්නවනං ඉතිම් වඩා සැපපහසු ස්ථානයක් ඕනමයි... මියුරැ සංගීතයක් උනත් රස විඳින්න

      Delete
  9. පරක්කුවනං ලංකාවට ආවේණික දෙයක් නේ. ඒක නොවෙනව නං ඒක ලංකාවෙ වැඩක් නෙවී. නැද්ද මං අහන්නෙ. මෙහෙ එකාල මැරිල අපායට ගියත් යන්නෙ පරක්කු වෙලාා😂😂😂

    ඔය සර් බෑර් කාන වැඩේ නං මටත් පේන්න බෑ. බුකියෙන් බෝ වෙච්ච වහන්තරාවක්. බුකියට බෝ වුණේ ඉන්දියන් කාරයන්ගෙන්. උං හැම පපයටම සෑර් සෑර් ගගා වැලලෙනව නෙග අපේ උං ඉන්දියන් ෆෑන්ලනේ ඒක ගෙඩි පිටිං කොපි කලා.

    ලංකාවෙයි ඉන්දියාවෙයි ඇරෙන්න ඔය වචනෙ වෙන කොහෙවත් ඔය තරං අවභාවිතා වෙන්නැතිව ඇති.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .