Monday, 1 December 2025

ආණ්ඩුවට ලිට්මස් පරීක්ෂාවක්



ලංකාවට සුළි සුළඟක් කඩා වැදුණු බව දැන් හැමෝම දන්නවා .  1978 න් පස්සේ ආව වඩාත් දරුණු එක කියලයි කියන්නේ .  දැන් අති පණ්ඩිත යුටියුබ්, ෆේස්බුක්  සභාව කරන චෝදනා රාශියක් අපේ යහළුවොත් පිලි ගන්න සයිස් එකක් තියෙන නිසා මේ ටික ලියන්න හිතුව. වැඩියෙන්ම කියන්නේ හැන්ඩ්ල් කරපු විධිහ වැරදි කියල .  
මේ දන්නේ සංඛ්‍යා ලේඛන තමා .  පව් ඒ අහිංසක මිනිස්සු .  නමුත් සන්දර්භය කියන එක  වැදගත්.

පහුගිය සතියේ ඉන්දුසියාවේ ගං වතුරෙන් 442ක් මැරුන. ලක්ෂ තුනක් ජනතාව  අවතැන් වුනා .  ගෙවල් තුන්දාහක් විතර විනාශයි . ඉන්දුනීසියාවයි , ලංකාවයි ආර්ථිකය මෙන්න මෙතන සංසන්දනය කරනවා . ලංකාවට වැඩිය ගොඩක් ඉහලින් ඉන්න රටක් ඒ පැත්තෙන් .  එතකොට ඒ ආණ්ඩුවත් මේ යුටියුබ්, ෆේස්බුක් විශාරදයෝ කියන හැටියට 'හරියට හැන්ඩ්ල් ' කරලා නැහැ වගේ නේද ?  
   
එතකොට යන්තන් සුළි සුළන්, ගං  වතුර තත්වයක් ඇතිවුන දකුණු තායිලන්තයේ  (ඒත් ගිය සුමානේ  )  160-170 ක් පමණ මිය ගිහින් .  

දැන් මාස දෙක තුනකට කලින් ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් හෙවත් ඉතා ඉක්මනින් ඇතිවෙන ගංවතුරක් ආව ස්පාඤ්ඤයේ වලෙන්සියා ප්‍රදේශයේ   229ක් මිය ගිහින් ,  ගෙවල් හැට දහසක් විනාශ වෙලා. එතැනදී ස්පාඤ්ඤ රජයට මිනිස්සු බැන්නත් ඇත්ත තත්වය තමා වර්තමාන දේශගුණික විපර්යාස නිසා මේ  තත්වය ඇතිවුණු බව .  පිළිතුර වඩා  කොළ පාට, දේශගුණයට  සහ පරිසරයට හිතකර රටක් හදන්න කියන එක. ඒක ආපු වේගය ගැන කලින් දැන ගන්න එපා .  එහෙම ඒවා එන එකයි වලක්වගන්න ඕනේ .  

එතකොට මේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ විපත එන්න කලින් කිව්වාය කියන කතාව සහ ඉන්ටවිව්  නැවත  බැලුව. ඒකෙ කියනව මිලි මීටර් 250 (සෙන්ටි මීටර් 25) වඩා එන්න  පුළුවන්  . එහෙම නොවෙන්නත් පුළුවන් කියල .  ඒ කියන්නේ දෙපැත්තටම නැති කතාවක් කියල තියෙන්නේ .  යූ ටියුබ් අයියල ටික ඉතිරි ටික අතින් දාල වගේ . 



හැබැයි  එතකොට දැන් මන්න මේ වීඩියෝ එක තවම යුටියුබ් එකේ තියනව .  මේක නොවැම්බර් 23 තමා දාල තියෙන්නේ .  මේකේ මිලි මීටර් 196  ක වර්ශාපතනයක් ඇවිත් කියල පැහැදිලිව කියනවා .   අවශ්‍ය සියලුම අවවාද දීල තිබෙනවා .  ඊට අමතරව  ආණ්ඩුවේ නිලධාරීන් පොල්ගොල්ලේ මහවැලි ජලාශයේ වාන් දොරටු ඇර තිබෙනවා .  එක යුටියුබ් එක්ක අහනවා  ඇයි මේ හැම ජලාශයක් ම ඇරගෙන ඇරගෙන ගිය නැත්තේ කියල අහනව. ඒ අහපු කෙනා සංචාරක ව්‍යාපාරයේ ඉඳල ,  ඔරලෝසු කර්මාන්තය කරලා රත්නපුර පැත්තේ හෝටලයකුත්  රන් කරපු විශාරදයෙක් .  හිටපු යාළුවෙක් .  ප්‍රශ්නේ තමා හැම තැනම  එහෙම කරන්න බැහැ . හරියටම එන වර්ෂාපතනය බලල තමා ඒක කරන්න ඕනේ .  වීඩියෝ එකේ තිබෙනවා  ආනුරධපුර අංගමු ජලාශයේ සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු ඇරලා ,  දැදුරු  ඔය වාන් දොරටුත් ඇරලා .  මේ නොවැම්බර් 23.ආණ්ඩුවේ  මේවා කලේ නැහැ කියන අයට මේක ලිව්වේ. ඒ කියන්නේ ඒවා කරලා ,  අනතුරු ඇඟවීම් පවා කරලා නාය යෑම් ගැන.  

සම්පුර්ණයෙන් බැලුවනම් දිස්ත්‍රික්ක කිහිපයකටම නායයෑම් අනතුරු  හඟවා තිබෙනවා .  එතකොට ඒවා ඇහුවේ නැත්තේ කවුද?  ඔය බොරු කියන යූ ටියුබ් ප්‍රචාර කාරයෝ මේ එකක්වත්  බලල නෙමේ ඔය බොරු කියන්නේ නේද ? ඇයි එයාලටත් කියන්න තිබ්බනේ මේ විස්තර ජනතාවට , නැවත නැවතත් ?  ව්‍යසනයක් වෙලාවේදී රජය පෙරලන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන් වැඩ කරනවා කියන එකයි හැඟෙන්නේ .  එහෙම කියලත් තිබෙනවා . 

මිනිස්සු ඇහුවේ නැති එක පැත්තකට දාමු .  දැන් ඔය නාය යෑම් වලක්වන්න සුමාන   දෙකක් ඇතුලත ආණ්ඩුවකට පුලුවන්ද ?  පිළිතුර බැහැ . 1950 වගේ කාලෙක ඉඳන් උඩරට ගස් කපමින් ,  බිල්ඩින් හදමින් ,  ගම්මාන හදමින් කරපු ව්‍යසනය සුමාන  දෙකකින් නවත්වන්න බැහැ. එතකොට දුෂිත විධිහට (නඩුවකුත් යනවා ආ )  පහත්බිම් ,  ජල පෝෂක ප්‍රදේශ හෙම ගොඩ කරලා බිල්ඩින් ගහපුවා ගලවන්නද සුමාන  දෙකෙන් .  ඔන්න දැන් නම් පුළුවන්.   
 
ආණ්ඩුවට කියන්න තියෙන්නේ ආණ්ඩුවට ඇත්තටම වැඩ කරන්න පුලුවන්ද,   කොච්චර සාර්ථකද ඒ පැත්තෙන් කියන එක මනින්න හොඳ මිණුම් දණ්ඩක් මේක කියල  .  මේක මුළු රටටම බලපාන විනාශයක් .  හැම දිස්ත්‍රික්කයටම වගේ .  ඒ නිසා  ක්ෂණික ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් වලින්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය  බෙදා හැරීම ආදියෙන්  අනතරුව, රට  ගොඩ නැංවීමේ විශාල කාර්ය භාරයක් තිබෙනවා .  පැරණ විධිහට  අනවසර ලෙස කරන ඉදි කිරීම්  නවත්වල , කඳුකරය රැකෙන විධිහට, ජල පෝෂක  පහත්  බිම් ගොඩ නොකර ලෙසට නීති නැත්නම් ඒව පනවල හරියට කරන්න අවස්ථාවක් තිබෙනවා .  එම ලිට්මස්  පරීක්ෂණයෙන් ආණ්ඩුව ෆේල් වුනොත් ආයේ එනවා බොරු.

රතු තරුව ආවේ නැහැ ,  ආණ්ඩුව ආවේ නැහැ කියන අයට ඉතින් පිළිතුරු දීල වැඩක් නැහැ .  රවී සිරිවර්ධන  ෆේස්බුක්  එකේ පිළිතුරක් දීල තියනව .  ඒ අය තමා දැන් ආණ්ඩුවේ ඉන්නේ .  ත්‍රිවිධ හමුදාවට එන දෙන්නේ රතු තරුවේ නායකයාම තමයි .  එතකොට ඕනෑම රටක ත්‍රිවිධහමුදාව ,  පොලිසිය ,  ගිනි නිවන් හමුදාව ,අඩිය තමා අත්‍යවශ්‍ය සේවා හැටියට එලියට එන්නේ ආපදා අවස්ථාවල .  මොලේ අමාරු තියෙන මිනිසුන්ට මේවා කියල දීල වැඩකුත් නැහැ වෙලාවකට . 
  
මේ අවස්ථාවේ දී සජබ නායකත්වය , මඩ ප්‍රචාර, පටු දේශපාලන වාසි හෙවිම  අත හැරලා රට වෙනුවෙන් ඉදිරිපත් වීම අගය කල යුතුයි කියල මම හිතනවා .  විශේෂයෙන් සජිත් සහ හර්ෂ .    

මම මේ ආපදා තත්වය ගැන හොඳ ලිපි කිහිපයක්ම කියෙව්වා .  ඒ නිසා  අලුතින් මේ කාරණා ගැන ලියනවට වඩා ඒවා ගැන කියන එක වඩා  හොඳයි කියල හිතුව.

දොන් සුප්ස් ගේ ලිපියේ මහාචාර්ය ලක්ෂමන් ගලගෙදර මහතාගේ ලිපියක් ඇසුරින් ලැබුණු  වර්ෂාපතනය ගැන ලියල තිබෙනවා .  වෝල් එකේ ටිකක් පහලට යනකොට ලිපිය තිබෙනවා . https://www.facebook.com/don.supz

ෂේනු පෙරේරා හොඳ පිළිතුරක් දී තිබෙනවා මෙතන .  : https://www.facebook.com/share/p/17fAuv1uCm/

සුජීව කොකාවල ලිපියක් ලියල තියනව .  හැන්ඩ්ල් කිරීම ගැන එයාටත් ප්‍රශ්නයක් තිබෙන බව පේනවා .  ඒ දවස් වල ඉඳන් සුජීව ලියපු  දේශපාලන ස්ථාවරය  අනුව ඒ වගේ දෙයක් කිව්වේ නැත්නම් තමා පුදුම .  නමුත් ඒ ටික නොහිතුවොත්  මේ ලිපියත් හොඳයි . 

බොරු ලියන කියන ,  ජනතාව අවුස්සන ඕනෑම කෙනෙකුට එරෙහිව හදිසි නීතිය භාවිතා කරන්න පුළුවන් කියන එක ආණ්ඩුව දන්නවද දන්නේ නැහැ .  අනුර හුඟක් ප්‍රජාතන්ත්‍ර වාදී නායකයෙක් .  ඒත් ජනාධිපතිතුමෝ ඒ ප්‍රජාත්නත්‍රවාදය රැක ගන්නත් තද නීති රීති භාවිතා කරන්න වෙනවා .  විශේෂයෙන් මේ වගේ ආපාදා අවස්ථාවල. 

මේ ගාඩියන් ලිපිය : 

Country comparison Indonesia vs Sri Lanka

රටවල් කිහිපයක්ම ආධාර දීල තිබෙනවා .  රටේ මිනිස්සු ආධාර කරනවා දිවා රා නොබලා .  බ්‍රිතාන්‍යයේ කැනඩාවේ සහ වෙනත් රටවල ශ්‍රී ලාංකිකයන් ,  ඇත්තටම අඩම්බරයි කියන්න සිංහල, දෙමළ , මුස්ලිම්  ආදී හැම ජන කොටසක්ම එකතු වෙලා මේ ආධාර ක්‍රියාවලියට .  ඒ හැම දෙනාටම ස්තුති කරන්න වචන නැහැ ,  අර බනින මාපිලුන් දෙතුන් දෙනෙකු අතරේ ආදරණියයන් දස දහස් ගණනින් එකතු වෙලා .  

ඉතින් මේ මනුෂ්‍යන් ගැන ආදරය හිතෙන්නේ නැත්ද ?  මේ ඉන්නේ අඳුරට ශාප කරනවට වැඩ එක ඉටිපන්දමක් හෝ දල්වන මිනිස්සු . 

ශ්‍රී ලංකාව මේ විපතිනුත් නැගී හිටිනවා මිට වඩා දහස් වාරයක් හොඳට .  ඒක මට විශ්වාසයි .  

කොළඹ ගමයා 01/12/2025



Saturday, 15 November 2025

පින්ලන්ත ගමන 3 - වයිල්ඩ් ලයිෆ් සෆාරිය





උදයේ අපි සුවොමන්ලිනා ගිය පසු මදක් සවස් වී වයිල්ඩ් ලයිෆ් සෆාරිය බිරින්දෑ විසින්  සංවිධානය කර තිබුණි .  මේ ගමන ගියේ සැප්තැම්බර්  අට වනදාය.   අපි ජර්මන් වෙලාවට හෙවත් නියමිත වෙලවට පැය භාගයකට  කලින් පරිදි කැෆේ එකක් අසල  නතර වී සිටියෙමු.  අපි තිදෙනා තවත් දෙදෙනෙක් ගමනට එක්විය .  ඔන්ලයින් බුක් කර තිබූ අය බැවින් අපි හඳුනා ගත්තේ ඒ අවස්ථාවේය.  කාන්තාව ස්විට්සර්ලන්තයේ සිට පැමිණ සිටියාය.  තරුණයා තවත් ජර්මන් ජාතිකයෙකි. අපේ සෆාරි මාර්ගෝපදේශිකාව ෆින්ලන්ත ජාතිකයෙකු ලෙස තමා හඳුන්වා දුන්නාය.  ඇගේ නම් පැට්‍රිෂියා විය .  මාත් පොඩි දුවත් ඉදිරි අසුනේද අනිත් තිදෙනා පසුපස අසුන්වල හිඳගත් පසු ඇගේ වෑන් රථයේ ගමන ආරම්භ කළෙමු .   

ගමන පටන් ගත්තේ හෙල්සින්කි වල නෙර්වන්දෙරින්කටු නම් පෙදෙසිනි .  විනාඩි හතලිස් පහක පමණ ගමනකින් පසු අප ලඟා වන්නේ පොර්ක්කලන්නියෙමි (පොර්ක්කලා) ප්‍රදේශයටය .  ගමන අතරමග දී දොඩමළු වූ පැට්‍රිෂියා ඇය ඊජිප්තු,  ජර්මන් ,  ෆින් සහ තවත් භාෂා කතා කරන  බව කීවාය . ශීතලට අකැමති නිසා ඇගේ මව,  පියා සහ සොයුරිය ජිවත් වන්නේ ඊජිප්තුවේ බවද  කීවාය. කුතුහලය නිසා ඒ ඇයිදැයි ඇසූ විට ඇගේ පියා ෆින්ලන්ත ගමන් බලපත්‍රය ඇති ඊජිප්තු වේ වාසය  කිරීමටද හැකි ජෝර්දාන් ගමන් බලපත්‍රය ඇත්තෙකැයි පැවසුවාය.  ඔහු පලස්තීන ජාතිකයෙක් දැයි මම  එකවරම ඇසුවෙමි .  පුදුමයට පත්වූ ඈ කීවේ එවැන්නක් පැවසූ  එකම තැනැත්තා මා  බවයි .  ඒ බව දැන ගත්තේ කෙසේද යයි ඇසුවාය. යුද්ධය නිසා බොහෝ පලස්තීන වැසියනට ජෝර්දානයේ ජිවත් වීමට සිදුවූ නිසා එහි ගමන් බලපත්‍රයද පසුව ඔවුන් ඊජිප්තුවේ සිටීමට අවසර ලැබීම ගැනද  දන්නා නිසා යයි කීවෙමි. ඉන්පසු ඇය අප සමග බොහෝ කුළුපග විය. ඔවුන්ගේ පවුලේ මුළු ජිවිත කතාවම ඒ යන අතරමග පැවසුවාය. ඇගේ  ෆින්ලන්ත ජාතික මව ඊජිප්තුවට වඩා කැමති බවත් ඇයද පසු කලෙක යාමට ඉඩ ඇති බවත් කීවාය.  පින්තූරයේ සිටින්නේ පැට්‍රීෂියාය .  
පොර්ක්කලා ප්‍රදේශයද ඓතිහාසික වශයෙන් වැදගත්ය. එය පිහිටා ඇති ප්‍රදේශ කිර්ක්කොනුමි නම් වේ .  රුසියාවේ මහා පීටර් (පීටර් I) රජු   ශාන්ත පිතර්බුර්ගය  ආරක්ෂා කිරීම සඳහා මෙහි හමුදා කඳවුරු පිහිටවීය. ගල්ෆ් ඔෆ් ෆින්ලන්ඩ් නැමති මුහුදු කොටසට පිවිසුම් ලක්ෂයක් වූ නිසා එසේ කලත් රුසියානු අධිරාජ්‍යයෙන් නිදහස ලැබූ පසු ඔවුන්ට (ෆින් වරුන්ට )  නැවතත් එම ප්‍රදේශය අයත්විය .  එහෙත් දෙවන ලෝක යුද්ධය අවසානයේ  1944-1956 දක්වා සෝවියට් දේශය තම නාවික හමුදා බලඝනයක් පිහිටවීම  සඳහා මෙම ප්‍රදේශය ෆින්ලන්තයෙන් කුලියට ගත්තේය .  එහි වැසියන් සියල්ලෝම  ඉවත් කෙරුණි .  සෝවියට් හමුදා ඉවත්වූ පසු එම ප්‍රදේශය වල් බිහිව ගිය අතර ඉන්පසු මිනිසුන් නැති නිසා මේ ප්‍රදේශයේ  දර්ශනීය වනාන්තර ප්‍රදේශයක් බිහි විය.  එහි මූස් නමැති ගෝනුන්ට සමාන විශාල සත්වයන්ද , පිණි මුවන් හා තිත් මුවන්ද විශාල වර්ගයක හාවුන්ද  නොයෙකුත් සංක්‍රමණික පක්ෂින්ද වෙසෙති. සමහර කාල වල දුඹුරු  වලසුන් හා වෘකයන් ද දැකිය හැකිය. බොහෝ ෆින්ලන්ත ජාතිකයන් හා සංචාරකයන්  මෙහි ඇවිදීමට පැමිණෙති .  එසේම කුඩාරම් ගසා වසන්ත කාලයේ රාත්‍රිය ගත කරන අයද බොහෝය .     හිම වැටෙන ශීත සමයේ මේ පෙදෙසේ වෙනස්ම අලංකාර බවක් දැකිය හැකි යයි පැට්‍රිෂියා කීවාය.














අපේ සෆාරියේ කෑම පිළියෙළ කිරීමට දර කපන්නට පැට්‍රීෂියා ආරාධනා කළාය. ෆින්ලන්තයේ මෙවැනි ඇවිදීමට තිබෙන කැලෑ හා සංචාරක අඩවි වල රජයෙන් බාබෙකිව් දැමීමට ස්ථාන සාදාතිබේ .  එසේම දර ගබඩා වක් දෙකක්ද තිබේ .  එහි දැල්වීමට දර ඕනෑ තරම් ඇති අතර දර කැපීමට පොරෝ ද කියත්ද තබා තිබේ .  දර කියතින් ඉක්මනින් කපා දර කොට ගිලටිනයක් වැනි මුවහත් තුඩක තබා තවත් දර පොල්ලකින් ගසා ඒවා කැබැලි කළ හැකිය. ඉතා ඉක්මනින්  දර කපා ගැනීමට පැට්‍රිෂියා ට උදව් කළෙමු.
  








මේ අවට ඇවිදීමට ඉතා සුන්දර පෙදෙසකි. පරිසරයේ සුන්දරත්වය ද  ඉඳහිට ඇසෙන කුරුල්ලෙකුගේ හෝ වෙනයම් සතෙකුගේ හඬද ඇරෙන්නට පරිසරය ඉතා නිශ්චලය. අප දුටුවේ තව එක වෑන් රථයක රාත්‍රියේ කුඩාරමක් තනාගෙන නැවතීමට යන යුවලක් පමණි .  තවත් දෙයක් දැන ගන්නට ලැබුණි. ෆින්ලන්තයේ වැසියෙකුට හෝ සංචාරකයෙකුට හෝ    ඕනෑම අයෙකුට පැය 24ක් එනම් දවසක් ඕනෑම පෞද්ගලික ඉඩමක නතරවීමට අවසර ඇත. සමහර තැන්වල නිවසේ ඉදිරිපස ලියා ඇතිනම් එහිද සිටිය හැකිය.  සමහරු කැබින් විවෘතව තබා ඇත. වසා  ඇති ඒවාට යමට අවසර නැති වුනත් එම ඉඩමේ නැවතී සිටිය හැකිය. බොහෝ  ශීතල කාලවල ,  සෘණ හතළිහකට යන අවස්ථාවක අතරමන් වුවහොත් කියා එම නීතිය පනවන්නට ඇතැයි සිතමි . 

මෙය හඳුන්වන්නේ එව්රිමැන්'ස් රයිට් හෙවත් හැම කෙනෙකුගේම අයිතියක් කියාය .  (Jokamiehenoikeudet)
ඒ පිළිබඳව පහල විස්තරයක් ඇත . 

අප පැට්‍රිෂියා ආහාර පිළියෙළ කරනතුරු ඇවිද්දෙමු .  ඒ අතර රතු පාට දම් (බෙරි)  වර්ගයක් කඩා කෑවෙමු. පැට්‍රිෂියා අපට මස් දමා හැදු බනිසක් කෑමට දුන් අතර නිවසේ අර බෙරි  වලින් සෑදු යුෂ බොන්නට දුනි. ලංකාවේ මෙවැනි සෆාරි එකකදී මිට වඩා හොඳ ආහාර සංග්‍රහයක් ලැබෙන බව නම් කිව යුතුය.      
නමුත් ලංකාවේ සහ කෙන්යාව  වැනි  රටවල සෆාරි වල ,  ජීප් එක විස්සක් තිහක් වනෝද්‍යාන වලට ගොස්  නැවතී බලා  සිටීමට මම කැමති නැත .  එහි ඇත්තේ එක්තරා විධිහක ඝෝෂාකාරී බවකි .  මෙවැනි  හුදෙකලා  තැන් වලට යාම අපි වඩාත් ප්‍රිය කරන්නෙමු. ඉතා ඉක්මනින් අඳුරු වැටුණු   අතර අපි සතුන් බැලීමට ගියෙමු .  





අපිට දුන් දුර දක්නා වලින් ගත මූස් ලා දෙන්නෙකුගේ ඡායාරුප මෙහි ඇත .  තිත් මුවන් දෙන්නෙකුද එතැනම  සිටියහ .  ඒ ඇරෙන්නට වෙන සතුන් නොදුටුවෙමු .  













රාත්‍රිය එළඹ ඇති නිසා එතනින් නික්ම ආවෙමු .  නැවත හෙල්සින්කි එනවිට රාත්‍රී අට පසුව තිබුණි . මේ තියෙන්නේ යුටියුබ් චැනලයට එක කල වීඩියෝ දෙක තුනකි .  
වාහනයේ යන අතරමග . 

පැට්‍රිෂියා දර පලන අයුරු . 

ලොකු හාවෙක් වහනය ඉදිරිපසින් දිව යයි . 


මූස් ලා දෙන්නෙකු දුටු අවස්ථාව . 
  

ස්ලයිඩ් ක්‍රමය මදකට නවතා දැමුවේ පින්තූර හරි හැටි පෙනෙන්නේ නැති බවට පැවසූ නිසාය . 

කොළඹ ගමයා 15/11/2025


ෆින්ලන්තයේ "සෑම මිනිසෙකුගේම අයිතිවාසිකම්" සංකල්පය (ජොකාමියේහෙණෝයිකේඋඩෙට් / Jokamiehenoikeudet)

නිදහස් හා විවෘත ප්‍රවේශය (Access is Free and Open): මූලික මූලධර්මය වන්නේ, ඕනෑම කෙනෙකුට (පදිංචිකරුවෙකුට හෝ සංචාරකයෙකුට) ඉඩම් හිමියාගේ අවසරයකින් හෝ ගාස්තුවකින් තොරව, පෞද්ගලික ඉඩම්වල වුවද, ස්වභාවික පරිසරයේ ගමන් කිරීමට, කඳු නැගීමට, හිම මත ලිස්සා යාමට, පාපැදි පැදීමට සහ තාවකාලිකව නැවතී කඳවුරු බැඳීමට හැකි වීමයි.

තාවකාලික කඳවුරු බැඳීම (Temporary Camping): නීති රීති අනුගමනය කරන තාක් කල්, ඔබට සාමාන්‍යයෙන් පෞද්ගලික ඉඩම්වල තාවකාලිකව (එක් රාත්‍රියක් හෝ සති අන්තයක් වැනි කෙටි කාලයක් සඳහා) කූඩාරමක් ගසා කඳවුරු බැඳීමට අවසර ඇත.

නිශ්ශබ්දතාවය සහ හුදකලාව (Silence and Isolation): පරිසරයට බාධාවක් නොවිය යුතුය. ඔබ පරිසරයට හෝ ඉඩම් හිමියාට හානි කිරීම, හානි සිදු කිරීම හෝ බාධා කිරීම නොකළ යුතුය.

Friday, 31 October 2025

ෆින්ලන්ත ගමන 2 - සුවොමන්ලීනා



සුවොමන්ලීනා (Suomenlinna) යනු දහටවන ශතවර්ෂයේ ඉදි කරන ලද දූපත් බලකොටුවකි . අප එය නරඹන්න යයි කියා ෆින්ලන්තයේ වසන මගේ සොයුරියගේ දියණි මදාරා කීවාය. "ලොකු මාමා ඒක ලස්සන දුපතක් " ඒ අතරේ දසයා (සඳුන් දසනායක)  ට කතා  කල විටද ඔහුද  "අයියේ සුවොමන්ලීනා මරු යන්න" කියා කීවේය. මේ ලීනා හෝ ලින්නා කියා කියන්නේ මොකද්ද කියා ඔහුගෙන් විමසුවෙමි .  දසයා කිව්වේ ලින්නා කියන්නේ බලකොටුව බවත් , දූපතේ බලකොටුවක් ඇති බවත්ය. බලාගෙන යනවිට අප නතරවී සිටි පෙදෙසේ නමේ අගද  ලින්නා තිබීමෙන් ඒ අසලද බලකොටුවක් තිබුණු බව දැනගතිමි .   සුවොමන්ලීනා වචනයේ තේරුම "පින්ලන්තයේ බලකොටුව" බව ගුගල් අයියා ලියා තිබුණි .  

කලින් දිනයේ හෙල්සින්කි හිදී අපේ ටුවර් ගයිඩ් මහතා අපුරු කතාවක් කීවේය.   සුවොමන්ලීනා යනු මුහුදු බලකොටුවක් බවත් එය දූපත් අටකින් සමන්විත බවත්ය .  දහ අටවන ශත වර්ෂයේදී (1748) ස්වීඩනයේ රජු මේ බලකොටු සාදා ඇත්තේ රුසියානු  අධිරාජ්‍යයෙන් ආරක්ෂා වීමටය .  එක්දාස් අටසිය  ගණන් වල මුල රුසියානුවන් ෆින්ලන්තය ආක්‍රමණය කලද ඔවුන්ට එය යටත් කර ගැනීමට නොහැකි වූයේ සුවොමන්ලීනා බලකොටු නිසා  බව වටහා ගත්හ.  එනිසා 1808 පළමු ෆින්ලන්ත යුද්ධයේදී  ඔවුහු මේ දුපත් වට කර මාස දෙකක බ්ලොකේඩයකින් පසු අත්පත් කරගති.  ඉන්පසු හෙල්සින්කිය නිකම්ම් වගේ රුසියානුන් අතට ගියේය .  රුසියාවේ විසින් ෆින්ලන්තය ග්‍රහණය කර ගත්තේ 1809 දීය. එය ඔවුන් ග්‍රෑන්ඩ් ඩචි ඔෆ් ෆින්ලන්ඩ් යනුවෙන් නම් කර ස්වායත්ත රජයක් පිහිටුවිය.

පළමුවන ලෝක යුද්ධ සමයේ රුසියානුවන්ගේ බෝල්ටික් නාවික හමුදාවේ මුලස්ථානය වූයේ මේ බලකොටුවයි. ලෙනින් ෆින්ලන්ත ස්වයං නිර්ණන අයිතිය පිලි ගැනීමෙන් පසු 1917 දී රුසියානු හමුදා ඉවත් විය.    1991 දී සුවොමන්ලීනා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී . 

හෙල්සින්කි සිට පැය භාගයක  ගමනකින් සුවොමොන්ලිනා ප්‍රධාන දූපතට ගිය හැකිය. එයට විශේෂ ගෙවීමක් නැති අතර සාමාන්‍ය බසයකට හෝ ට්‍රෑම් එකකට ගෙවන ගෙවිමෙන් එහි ගිය හැකිය.   පළමුවෙනි ස්ලයිඩ් එකේ  පින්තුර ඇතුළත් කලෙමි.  නමුත් මේ පින්තුරය දමන්නේ මෙහි ඇති ගෙවල්  බොහොමයක් රුසියානු පන්නයේ ඒවා බව කීමටය.   රුසියාවේ දී මේ ආකාරයේම ලීයෙන් සෑදු නිවාස බොහොමයක් මොස්කව්  වලින් එපිටට වෙන්නට දැකිය හැකිය . 

මෙහි ඇති දහනව වන ශත වර්ෂයේ සාදන ලද රුසියානු ඔර්තොඩොක්ස් පල්ලියේ හැඩය මදක් වෙනස් කොට ෆින්ලන්ත වරුන් අදහන  ලුතරෙන් ආගමට අනුව වෙනස්  කර තිබේ . 

 මේ තිබෙන්නේ මගේ පින්තූර ගොන්නයි. පින්තූර බලා ප්‍රශ්න තිබේ නම් අසන්න .    

 INSERT HERE :****************  


මිට අමතරව එන ගමනේදී ගත් වීඩියෝ දෙකක් මගේ යුටියුබ් චැනලයේ ඇත . 


මේ දිනවල නොයෙකුත් වැඩ නිසා බ්ලොග් පෝස්ට් එක කෙටි කිරීම ගැන කණගාටුයි .  
කොළඹ ගමයා 31/10/2025

මේ ගුගල් වලින් සොයාගත් විස්තරයකි  :  

සුවොමන්ලීනා බලකොටුවේ ඉතිහාසය

(History of the Suomenlinna Fortress)

සුවොමන්ලීනා (Suomenlinna) යනු විශාල හා නාටකාකාර ඉතිහාසයක් ඇති, ජාතීන් තුනක් යටතේ සේවය කර ඇති, සුවිශේෂී ස්ථානයකි.

ස්වීඩන් යුගය (1748–1808): ආරක්ෂක ව්‍යූහයක් ගොඩනැගීම

මෙම බලකොටුව මුලින්ම ස්වීඩන් රාජධානිය විසින් ගොඩනඟන ලද්දේ ව්‍යාප්ත වෙමින් පැවති රුසියානු අධිරාජ්‍යයෙන් ආරක්ෂා වීම සඳහාය. ඉදිකිරීම් කටයුතු 1748 දී හෙල්සින්කි වෙරළට ඔබ්බෙන් වූ දූපත් සමූහයක් මත ආරම්භ විය. එය 18 වන සියවසේදී ස්වීඩන් රාජ්‍යයේ විශාලතම ඉදිකිරීම් ව්‍යාපෘතියක් විය.

 එය මුලින්ම ස්වීඩන් භාෂාවෙන් ස්වේබෝර්ග් (Sveaborg - "ස්වීඩනයේ බලකොටුව") ලෙස හෝ ෆින්ලන්ත භාෂාවෙන් වියාපෝරි (Viapori) ලෙස හැඳින්විණි. එහි සැලසුම ප්‍රංශ හමුදා ඉංජිනේරු වරයෙකු වූ වෝබන්ගේ (Vauban) බලපෑමට ලක් වූ අතර, පාෂාණමය දූපත් වලට අනුවර්තනය වෙමින් විශ්මිත බලකොටුවක් නිර්මාණය විය.

රුසියානු යුගය (1808–1918): යටත් කර ගැනීම සහ ශක්තිමත් කිරීම

 පළමු ෆින්ලන්ත යුද්ධය (1808–1809) අතරතුර, මෙම බලකොටුව රුසියානු හමුදා විසින් වටලනු ලැබූ අතර, මාස දෙකක අවහිරයකින් (blockade) පසුව 1808 දී යටත් විය. මෙම අලාභය නිසා, 1809 දී රුසියාව විසින් ෆින්ලන්තය ඈඳා ගෙන ෆින්ලන්තයේ මහා ආදිපාද ප්‍රදේශය (Grand Duchy of Finland) පිහිටුවන ලදී.

 රුසියානු පාලනය යටතේ, එය තීරණාත්මක හමුදා කඳවුරක් ලෙස පැවති අතර, බෝල්ටික් බලඇණියට මූලස්ථානයක් විය. ක්‍රිමියානු යුද්ධයේදී (1855) ඇංග්ලෝ-ප්‍රංශ බලඇණිවල බෝම්බ ප්‍රහාරයකින් එයට දැඩි හානි සිදුවිය. පසුව රුසියානුවන් බලකොටුව ප්‍රතිසංස්කරණය කර නවීන කාලතුවක්කු වලින් ශක්තිමත් කළහ.

 පළමු ලෝක යුද්ධය සමයේදී, එය රුසියානු අගනුවර වූ ශාන්ත පීටර්ස්බර්ග් ආරක්ෂා කිරීම සඳහා වූ "මහා පීටර්ගේ නාවික බලකොටුව" නම් විශාල ආරක්ෂක පද්ධතියක කොටසක් ලෙස ක්‍රියාත්මක විය.

ෆින්ලන්ත යුගය (1918–වර්තමානය): නිදහස සහ ලෝක උරුමය

 1917 දී ෆින්ලන්තය රුසියාවෙන් නිදහස ප්‍රකාශ කිරීමෙන් පසු, අලුතින් පිහිටුවන ලද ෆින්ලන්ත රාජ්‍යය 1918 දී බලකොටුව භාර ගත්තේය. රටේ නව නිදහස් තත්ත්වය පිළිබිඹු කරමින් එය නිල වශයෙන් සුවොමන්ලීනා ("ෆින්ලන්තයේ මාලිගාව/බලකොටුව") ලෙස නම් කරන ලදී.

දශක ගණනාවක් තිස්සේ ෆින්ලන්ත හමුදා කඳවුරක් ලෙස සේවය කළ මෙහි හමුදා භූමිකාව දෙවන ලෝක යුද්ධයෙන් පසු ක්‍රමයෙන් අඩු විය. 1973 දී, මෙම බලකොටුව සිවිල් පරිපාලනයට පවරා දෙන ලදී.

 හමුදා ගෘහනිර්මාණ ශිල්පයේ කැපී පෙනෙන උදාහරණයක් ලෙස සලකන සුවොමන්ලීනා 1991 දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරන ලදී. අද වන විට එය ෆින්ලන්තයේ ජනප්‍රියම සංචාරක ආකර්ෂණයක් මෙන්ම හෙල්සින්කි හි නේවාසික ප්‍රදේශයක් ද වේ.


Sunday, 19 October 2025

ලන්ඩන් නුවර වේදිකා ගත වුනු පටාචාරා ගීත නාට්‍යය


මට පටාචරා නමැති නාට්‍යයක් ගැන දැන ගන්නට ලැබුනේ හදිසියේය. නම ඇසූ සැනින්ම වාගේ මට එය දැක ගැනීමේ එපමණ  ආශාවක් ඇතිනොවුනේ  "තවත් ජාතක පන්නයේ කතාවක්" ලෙස  හිතේ කෙටුනු බැවිනි. නමුත් දර්ශන හෙට්ටි ආරච්චි සහෝදරයාත් සහ ගාමිණී මුතු කුමාරණ සහෝදරයාත් පැවසුවේ කතාව වෙනස් කර පවසන එකක් ලෙස දැනගන්නට ලැබුණු බවයි.  ඒ නිසා සුගත් සෙනෙවිරත්න සොයුරා අපට ප්‍රවේශ පත්‍ර ද ඇණවුම් කල හෙයින් නරඹන්නට ගියෙමි. සම්ප්‍රදායික  පොල්තෙල් පහන් දැල්වීමක් බෙර හඬ මධ්‍යයේ පැවැත්මට සූදානම් කර තිබුණි. නමුත් සිදුවුනේ ආරාධිතයන්  ඉටිපන්දම් වගයක්  පත්තු නොකර පහනේ තැබීමකි .   ඒ එංගලන්තයේ ශාලාවක පහන් දැල්වීම තහනම් හෙයිනි.  මේ නාට්‍යය  ප්‍රදර්ශනයට සහය දුන් අයට ගරු කිරීමක් ලෙස නාට්‍යය "ඇරඹීම" සඳහා ආරාධනයක් ලෙස යයි සිතුවෙමි. එනමුත්  වෙනුවට බැටරි බලයෙන් ක්‍රියා කරන පුංචි විදුලි ලාම්පුවක් ආරාධිතයන් ට දෙන්නට තිබුණි. දේසේ හැටියට බාසේ කියන්නේ නිකමට නොවේ.            

නාට්‍යය පටන් ගන්නේ  පටාචරා ගේ දෙමාපියන් ගේ විවාහය හා ඔවුන්ට දරුවන් ලැබීමත් අපට පෙන්වීමෙනි .  පටාචාරා ඉපදුනු අවස්ථාව, පිය සිටුවරයාගේ හා මව් දේවියගේ සතුටු කඳුළු ,  බ්‍රාහ්මණයෙකු විසින් හඳහන් බලා ඇගේ අනාගතය හොඳ  එනමුත් විවාහය අඳුරු යයි පැවසීම ආදිය  නාට්‍යානුසාරයෙන් නරඹන්නට ලැබුණි. මට හිතුනේ මෙහෙම ගියොත් ඉඳුල් කට ගෑමද පෙන්වා නාට්‍යය පසුද එළිවන යාමයේ ඉවර විය හැකි බවය.  

පටාචාරා ගේ මුල් නම රුපවතී යයි මා  අසා  ඇති මුත් නාට්‍ය යේ  ඇය හඳුන්වනුයේ චන්දා කුමරිය කියාය.  මා දන්නා පරිදි ඒ පටාචාරා භික්ෂුණිය සමග සිටි වෙනත් මෙහෙනියකි .  නමුත් රූපවතී ට වඩා චන්දා වත්මන් කාලයට උචිත යයි සිතමි. ඉන්පසු පෙන්වූයේ සිටු කුමාර සොහොයුරා හා කුමරියගේ ළමා කාලයයි .  මෙහිදී මට ඇත්තටම කම්මැලි කමක් දැනුනු අතර දර්ශනට හා ගාමිණීට හිතෙන්  දොස් පැවරුවෙමි . තත්වය වඩාත් උග්‍ර වූයේ "එළුවන් කන්නට මං ආවේ " යන පුංචි සමයේ සෙල්ලමක් නාට්‍යනුසාරයෙන් ඉදිරිපත් කිරීමයි. එළුවන් කෑමේ සෙල්ලම බුදුන් දවසේ භාරත දේශයේ තිබුනා දැයි නොදනිමි. බ්‍රහ්ම ජාල සුත්‍රයේ අස්තපාද, දසපාද (දාම් ), චතුරංග , කැට දැමීම ,  ඔලිඳ කෙලිය, ඛෝ-කෝ සහ කබඩි ඒ කාලේ තිබූ සෙල්ලම්ය .     මා පැමිණියේ ළමා නාට්‍යයක් නරඹන්නට දෝ යැයි සිතුනි .  එක අතකට එංගලන්තයේ ජිවත් වන අයට ලංකාවට ඇති නොස්ටල්ජීය සබඳතාවය නිසා එවැන්නක්  ඇතුලත් කරන්නට ඇතැයි සිතුවෙමි .       

හැබැයි ඒ දරුවන්ගේ උද්යෝගය හා හැකියාවන් දකින විට මගේ අදහස් වෙනස් වන්නට විය.  අපේ දරුවන් කුඩා  කාලයේ   පාසැලේ නොයෙක් උත්සව වලට පුරුදු පුහුණු වෙද්දී කෙතරම් ආඩම්බරයෙන් හා ආදරයෙන් ඒවා රූපගත කළේ දැයි සිතුවෙමි. මේ දරුවන්  උපන්නේ එංගලන්තයේය .  ඔවුන්ට හරි හැටි හෙළ බසද හැසිරවීමට නොහැකිය .  එසේම ඔවුන් ජීවත්වන්නේ එකිනෙකාට ඉතා ඈත නගර වලය .  ඒ සියලු බාධක මධ්‍යයේ දරුවන් ද ඔවුන්ගේ දෙමාපියන්ද කරන මේ කැපවීම අගය කල යුතුමය. 


ඉන්පසු නාට්‍යය ඇත්තටම ගීත නාට්‍යයක් (මියුසිකල් )  බවට රූපාන්තරණය වුනි .  ඒ චන්දා කුමරිය නව යොවුන් යුවතියක් බවට පරිවර්තනය වෙමින් පවතින කාලයයි .  ඇය සහ සොහොයුරා ද ,   සේවක සේවිකාවන්  සහ ඔවුන්ගේ ළමයින් සමග ගත කරණ ප්‍රීතිමත් කාලය නොයෙකුත් ගීත ජවනිකා මගින් රඟපෑවෝය. එහිදී ඒන්ජල්  මාරසිංහ ගේ රංගනය විශිෂ්ට යයි සිතමි .  ඇය රඟ  පෑවේ යොවුන් (ටීනේජ් ) චන්දා කුමරිය (පටාචාරා ) ගේ චරිතය බව සිතමි. ඇන්ජලා පමණක් නොව ඇය සමග අන්ර්තනයන් ඉදිරිපත් කල යොවුන් වියේ දරුවන් ඉතා හොඳින් තම රංගනයන් ඉදිරිපත් කළහ .  ඇත්තටම ඔවුන් ගැන අපට ආඩම්බර විය හැකිය .    

ගීත නාටකයේ අධ්‍යක්ෂිකා මධුකා ෆර්ඩිනන්ඩ්ස් ඉතා සුක්ෂම ලෙස සිටු මැදුරේ සේවකයන්ගේ විවාහයක් නිර්මාණය කරමින් දෙසවන්පි, දෙනෙත් පිනවන සාර්ථක  ගීත ජවනිකා කිහිපයක්ද  නිර්මාණය කර තිබුණි.

සේවකයන් දෙදෙනකු  ලෙස රඟ පෑ දෙදෙනෙකුගේ විකට ජවනිකා කිහිපයක් තිබුනද ඒවා එතරම් සාර්ථක යයි මට හැඟුනේ නැත .  එහෙත් යොවුන් චන්දා කුමරියට රෑ පානේ විවාහ උළෙල ට යාමට මව ඉඩ නොදීම නිසා ඇතිවුන වාග් සංග්‍රාමයේදී සිටු දේවිය ඉංග්‍රීසියෙන් "නෝ No -ඔයාට යන්න දෙන්නේ නැහැ " යයි පැවසීම නරඹන්නන් සිනා සයුරේ ගිල්වීම ට සමත්විය.

මේ නිසා විවේක කාල සීමාව එනතුරු කාලය ගතවීමක් නොදැනුනි .  විවේක කාලයෙන් පසු අපගේ දෘෂ්‍ය හා ශබ්ද රසයන් තීව්‍ර කරන රංගනයන් ඉදිරිපත් කිරීමට නාට්‍ය කණ්ඩායමට හැකිවුණි .  වැඩිවියපත් චන්දා හෙවත් පටාචාරා කුමරියගේ භූමිකාවට පන පෙවුයේ සඳුනි විජේසින්හයි .  ඇයගේ අත ගන්නට සැරසී සිටින රෞද්‍ර පෙනුමෙන් යුතු සිටු කුමරා (ඔහුගේ නම නොදිමි )  සභාවට හඳුන්වා දෙන අතර සිටු දෙමාපියන් ඒ මගුල සැලසුම් කරන්නට සැරසේ .  ඒ අතරේ භානු නම් මෘදු පෙනුමැති  දර කපන්නා  සමග කුමරිය ආදරයෙන් බැඳේ. භානු ගේ චරිතයට පන පෙවුයේ රංගජිත් අබේසුරියයි. මේ දෙදෙනාගේම රංගනයන් අති සාර්ථක යයි හඟිමි .  එයිනුත් සඳුනි විජේසිංහ රංගන ප්‍රතිභාව සමස්ථ ගීත නාට්‍යයම  නව තලයකට ඔසවා තැබීමට හැකි වුනි . 

චන්දා කුමරියගේ සහ භානු ගේ ආදරය දන්වන ගීතයක් මධුකා විසින්  නිර්මාණය කර තිබූ අතර නෘත්‍ය  කණ්ඩායම එයට උපරිම ලෙස හැඟීම් දනවමින් ඉදිරිපත් කලහ.





චන්දා කුමරිය භානු සමග පැන යාමෙන් අනතුරු කතාව අප අසා තිබෙන නිසා ඒ ගැන නැවත නොලියමි . ඔවුන් අචිරවති නදිය තරණය කිරීම නීල පැහැ වස්ත්‍රයෙන්  සැරසුන නාටිකාන්ගනාවන් අලංකාර ලෙස ඉදිරිපත් කරති.  ඒ නැටුම ඇත්තටම දෙනෙත් පිනවන මියුරු එකකි. නමුත් කලකට පසු ගැබ්බර චන්දා (පටාචාරා) පිරිමි දරුවා රැගෙන අචිරවති නදිය තරණය කරන්නී දෙමාපියන් ගේ මාලිගයට යාමටය.    මහා මේඝයකට ,  කුණාටුවකට දෙදෙනා හසුවෙති.  බිරිඳ හා දරුවා සොයා එන භානු ඔවුන් දෙදෙනා ට මුණ ගැසේ. මොර සූරන මහා වැස්සේ ඔවුන්ට සෙවනක් සදන්නට දර කපා එන්නට යන භානු නාගයෙක් දෂ්ට කර  මිය යයි .  සැමියා සොයා යන සිටු කුමරියට පණ සුන් භානු ගේ සිරුර මුණ ගැසෙන අතර ඇය, හඬා වැළපුන ඇය දරුවා සමග අවසන් විසඳුම ට යාමට සැරසෙන්නීය .  ඒ  දෙමාපියන් හා සොයුරා  මුණ ගැසීමටය .  ඒ තාක් දක්වා වන කතාවේ දරුවාගේ ,  පටාචාරා (සඳුනි )  හා භානු (රන්ගජිත් )  ගේ රඟපෑම්  ප්‍රේක්ෂකයා ගේ මන ඇද බැඳ තැබීමට සමත් වේ .  සිත දුකින් පිරි යන මොහොතේ ඈ දරුවා කැටුව අචිරවති නදිය  තරණය කරන්නීය.  මෙතෙක් අලංකාර ලෙස රඟපෑ නදී නාටිකාව බිහිසුණු වෙයි .  නැටුම් වේගවත් වෙයි.  ඈ අපහසුවෙන් තරණය කරමින්  කුඩා බිලිඳා වතුරට උඩින් ඔසවද්දී රාජාලියෙකු දරුවා පැහැර  ගනී. ඇය දරුවා ගැනීමට දෑත් ඔසවමින් වෙහෙසෙද්දී පිරිමි දරුවා මව කතා කරන්නේ යයි සිතා ගඟට බසී .  රුදුරු ජල කඳ  ඔහුත් රැගෙනම වේදිකාවෙන් පහළටබැස යයි .  මේ වනාහි උඩට  ඇදගත් හුස්ම පහලට නොහෙළා බලා හුන් ජවනිකා කිහිපයකි.  

    ශෝකයෙන් උමතු වන චන්දා කුමරිය ළමුන් සොයා  දිව යද්දී සැවැත්  නුවර ගම් වැසියෙකුට මුණ ගැසේ .  ඔහු දෙමාපියන් සහ සොහොයුරා ගින්නට හසුව මිය ගිය බව දැනුම් දෙයි.  රත් පැහැ  කොඩි වනමින් අචිරවතී නාටිකාවන් වේදිකාවේ වේගයෙන් රඟයි.  අපට දැනෙන්නේ පටාචාරාවගේ ව්‍යාකූල වූ මනසත් ,  ගින්නේ දැවුනු මාලිගයත් වේගයෙන් ගලන ගඟත් පමණක්ම නොවේ .  ඒ අවස්ථාවේ බිහිසුණු කමත් ,  ඇගේ ශෝකයත් වේදිකාවේ මොනවට රඟ දැක්වෙයි . 

සිහි  විකල් වෙන පටාචාරා ලුහු බැඳ නිලියක්  ශාලාවේ මැදින් වේදිකාවට දුවන 'අතර ගලේ බණ්ඩාර දෙවියනේ '  කියමින් කෑ  ගසමින් බැන වදී.  ගලේ බණ්ඩාර දෙවියන් හිටියේ ලංකාවේ නිසා පටාචාරා ලංකාවේ යයි ඇය සිතුවා දැයි නොදනිමි.  (සිදුහත් කුමාරයා  ලංකාවේ උපන් බවත් බුදුන් සිටියේ ලංකවේ බවටත් කියන්නන් සිටින නිසා). කතාවට උචිත වුවද ප‍ටාචාරා නම පට බැඳුනේ ඇඳුම් උනමින් දිවයනනිසා (ඇඳුම් උනා දැමීමක් කල නොහැකි නිසාත් )   සමහර විට වැරහැලි ඇඳුම් ටිකක් අන්දවා වේදිකාවේ දිව්වා නම් වඩා උචිත විය හැකිව තිබුණි.  

ඉනික්බිතිව මුලික කතාවෙන් බැහැරව ප්‍රවීණ සිනමා හා වේදිකා නළුවෙකු හා ගායකයෙකු ද වන නිශ්ශංක දිද්දෙණිය මහතා ආගමික යතිවරයෙකුගේ වෙස් ගෙන ධර්ම දේශනාවක් කරන  අතර පටාචාරා වේදිකාවේ බංකුවක්  උඩ නිසලව බලා සිටියාය .  ඒ ජවනිකාව එතනට අවශ්‍යද  යන්න මගේ සිතට නැගුණි .  එංගලන්තයේ දර්ශනය කරන ලද නාට්‍යයකට සමහර විට මිට වඩා  රැඩිකල් විය හැකිව තිබුනාදෝ කියාත් සිතුනි.    බුදුන් වහන්සේ පෙන්වීමට නොහැකි නම් තිරයක්  පිටුපසින් හඬ ඇසීමට සලස්වා උන් වහන්සේ පටාචාරා වට  බණ වදාළ බව දැක්විය හැකිය.  එසේම පටාචාරා මෙහෙණිය ජලය බැසයන අයුරුත් ඉන් කොටසක් වියලි පොලොවට උරා ගන්න බවත් දැක සෝවාන් වීම පෙන්වා නාට්‍යය අවසන්  කළා නම් මැනවයි යන අදහස මගේ මනසට නැගුනේය.  සඳුනි විජේසිංහ ගේ රඟපෑමේ ආහ්ලාදජනක බවත් ඇගේ  ප්‍රතිභාපුර්ණ රංගනයත් නාට්‍යයට  සැපයූ ජීවය නොනසාම  අවසන් කල හැකිව තිබුණි . 
 
නාට්‍යයේ පොතේ ගුරු ලෙස රඟ පෑවේ ප්‍රවීන වේදිකා නාට්‍ය නළුවෙකු හා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය  ප්‍රසන්නජිත් අබේසුරිය මහතායි . ඔහුට සහ නිශ්ශංක දිද්දෙණිය මහතාට නාට්‍ය සන්විධාකයෙන් ගෙන් නාට්‍ය කලාවට කල  විශිෂ්ඨ මෙහෙවර උදෙසා  සම්මාන ද්වයක් ද  පිරිනැමුණි . 

නාට්‍යයේ නිර්මාණාත්මක අධ්‍යක්ෂණය වෙනුවෙන් මධුකා ෆර්ඩිනන්ඩ්ස් මහත්මියට මගේ ආශින්ෂන සමග මහත්වු  ස්තුතිය පිරි නමමි. එසේම ඇයට උදව් කල අනිකුත් මහත්ම මහත්මීන්ටත් දරුවන්ටත් ,  දෙමාපියන්ටත් අපගේ ප්‍රණාමය හිමි වේ .  ඉතා හොඳින් නැටුම් ඉදිරිපත් කල සියලුම ළමා හා යොවුන් වියේ දරුවන්ට සම්මානයක් වත් පිදුවා නම් හොඳ යයි සිතේ .  මෙවැනි වේදිකා ගීත නාට්‍යයක් එංගලන්තයේ වැනි රටක මෙසේ  විශිෂ්ට ලෙස නිර්මාණය කිරීම  හා රඟ දැක්වීම පහසු කරුණක් නොවේ .  

කනගාටුවට කරුණ නම් මෙය අවසන් අවස්ථාව බවට කළ දැන්වීමයි. ප්‍රසන්නජිත් මහතා පැවසුවේ මේ නිකම්ම නාට්‍යයක් නොවේ මහා සංස්කෘතික අංගයක්, සිංහල  සංස්කෘතියේ නිරූපණයක් බවයි .  එයට මම එකඟ වෙමි .      
අජිත් ධර්මකීර්ති (කොළඹ ගමයා ) 08/10/2025