1917 පෙබරවාරි මාසයේ රුසියානු කාන්තාවෝ Photograph: Fototeca Storica
ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය යන මාතෘකාව අනුව මේ ලියන්නේ නිදහස් වෙළඳ කලාපය සම්බන්ධව යයි ඔබට සිතෙන්නට ඇත. මාර්තු අට වනදාට එළඹෙන කාන්තා දිනය සැමරීමට මීට වඩා වෙන මාතෘකාවක් සොයා ගැනීමට මට අපහසුය. නමුත් මා පවසන්නට යන්නේ ඊට වඩා වෙනස්, ඉතිහාසයෙන් එම භූමිකාව අමතක කෙරුණු විප්ලවයක් ගැනය. ඒ විප්ලවය ඇරඹුණේ වසර 1917 දී පෙබරවාරි මාසයේ රුසියානු අධිරාජ්‍යය ලෙසින් නම් කෙරුණු එවකට තිබූ බලවත් රාජ්‍යයකය. පෙබරවාරි මාසයේ රුසියාවේ සිදු වුනු දේ ධනපති හෝ සුළු ධනේශ්වර විප්ලවයක් යයි ඊට පසුව නොවැම්බරයේ සිදුවුණ විප්ලවයක පුරෝගාමියෝ අපට කීහ. මමද එය ඒ ලෙසින්ම විශ්වාස කළෙමි.
නමුදු ඒ අදහස වෙනස් වුනු හේතුව මෙසේ පැහැදිලි කරමි. පලමුවැන්න නම් මනෝරාජික සමාජවාදියෙකු (utopian socialist) ලෙස සැලකිය හැකි නීතිඥ ඇලෙක්සැන්ඩර් ෆෙදොරෝවිච් කෙරෙන්ස්කි ගැන සෙවීමේදී ය. ඔහු 1917 පෙබරවාරි විප්ලවයෙන් පසු පිහිටවුනු රුසියානු භාරකාර ආණ්ඩුවේ අගමැතිය. පළමුව අධිකරණ ඇමැතිද , ඉන්පසු යුද්ධය භාර ඇමතිවරයා වශයෙන්ද කටයුතු කල ඔහු සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ (තෘදවික් කාණ්ඩය - තෘදවික් යනු කම්කරුවා යන තේරුම එන රුසියානු පදයකි) නායකයාය. ඔහු බලවත් පෙත්‍රෝග්‍රාඩ් (පසුව ලෙනින්ග්‍රාද් ) සෝවියට් සභාවේ උප සභාපතිය. පැරණි දින දර්ශනයට අනුව 1917 ඔක්තෝබර් (හෙවත් නොවැම්බර්) විප්ලවයෙන් පසු බලයෙන් පහ කෙරුනේ ඔහුගේ තාවකාලික රජයයි.
මනෝරාජික සමාජවාදීන් යනු දියුණු ධනවාදයෙන් පසු කොමියුනිස්ට්වාදී හෙවත් පූර්ණ සමාජවාදී සමාජයක් එළඹෙන්නේය යන විශ්වාසයෙන් කටයුතු කරන්නෝ වෙති. ඔවුන් පන්ති අරගලයකින් බලය ලැබීමේ අවශ්‍යතාවයක් නැති බවට ද විශ්වාස කරති. ලිපිය ඔවුන් ගැන නොවන නිසාත් විකියේ බොහෝ විස්තර ඇති නිසාත් මෙයින් නවතිමි.
ලෝකයේ බලවත් රාජ්‍ය කිහිපයක් 1917 වන විට යුද්ධයක පැටලී සිටියහ. මිත්‍ර පක්ෂයේ රුසියානු අධිරාජ්‍යය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, ප්‍රංශ අධිරාජ්‍යය හා කුඩා රටවල් වූ යුගෝස්ලෝවියානු රාජධානිය හා ග්‍රීසිය ද වූ අතර විරුද්ධ (අක්ෂ) පක්ෂයේ සිටියේ ජර්මන් අධිරාජ්‍යය, ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍යය හා තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයයි.
ඇමෙරිකා එක්සත් ජනපදය සුපුරුදු පරිදි දිනන පක්ෂයට එකතු වුනද යුද්ධය ආරම්භයේ දෙපසටම අවි ආයුධ සැපයීය. ඔස්ට්‍රේලියාව එකතු වූයේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව පැවති නිසාය. යුද්ධ කාලයක පොදු සාධකයක් වන ආර්ථිකයේ ඇද වැටීමත්, යුද්ධයට යන පිරිමින් ගේ මිය යාමත්, රටවල වැසියන්ගේ නිදහස සීමා වීමත් ආදී කරුණු නිසා සාමාජිය වශයෙන් මේ රටවල් වල තත්වය යහපත් වූයේ නැත. විප්ලව ඇතිවන්නේ මේ කාලවලදී වන්නේ එබැවිනි.
වැදගත් කරුණක් සඳහන් කරමි. ඒ රුසියානු අධිරාජ්‍යයේ සිම්බිර්ස්ක් ප්‍රදේශයේ උපන් කෙරෙන්ස්කි ගේ පියා කවුද යන්නය. සිම්බිර්ස්ක් හි උපන් අනිත් වැදගත් තැනැත්තා පසු කලකදී ලෙනින් නමින් හැඳින්වුණු ව්ලැදිමීර් ඉලිච් උල්යානොව්ය. කෙරෙන්ස්කි ගේ පියා මේ කියන ව්ලැදිමීර් ඉලිච් හෙවත් ලෙනින් උගත් පාසලේ විදුහල්පතිවරයාය. (රුසියාවේ ඔවුන් හැඳින්වුණේ පාසැල් අධ්‍යක්ෂක වරුන් ලෙසය. ව්ලැදිමීර් ඉලිච් ගේ පියා ද පාසැල් කිහිපයක අධ්‍යක්ෂකවරයෙකු විය.) කෙරෙන්ස්කිගේ පියා ෆෙයෝදෝර් කෙරෙන්ස්කි, ව්ලැදිමීර් ඉලිච් නමැති තීක්ෂණ නුවණැති තරුණයාට බොහෝ සේ උදව් කළේය. එයට හේතූන් වන්නට ඇත්තේ ව්ලැඩිමීර් ගේ පියාගේ මරණයත්, ඉන්පසු සහෝදරයා ඇලෙක්සැන්ඩර් උල්යානොව් දෙකාබ්‍රිස්ට් සමූහය සමග එකතුවී සාර් ඝාතනය කිරීමට තැත් කිරීමේ හේතුවෙන් සාර් පාලනය විසින් එල්ලා ඔහුව මරා දැමීමෙන් පසු උල්යානොව් පවුල කෙරෙහි උපන් අනුකම්පාවත් විය හැකිය. උද්ඝෝෂණ වලට සම්බන්ධ වීම නිසා ව්ලැදිමීර් ඉලිච් කසාන් විශ්ව විද්‍යාලයෙන් නෙරපද්දී ඔහු වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට හා පොලිසියට කෙරෙන්ස්කි පියා ලිපිද ලීවේය.
මේ කරුණු මතක තබාගෙන දැන් නැවතත් මාතෘකාවට යමු. ඒ දිනවල ජාත්‍යන්තර කාන්තා දිනය වුයේ පෙබරවාරි 23 වනදාය. මැයි අට වනදාට වැටෙන කාන්තා දිනය රුසියාවේ දින දර්ශනයට අනුව යෙදුනේ පෙබරවාරි 23 ය. (නොවැම්බර් විප්ලවය ඔක්තෝබර් වුනේත් එලෙසය). 1905 දී වරක් රුසියාවේ ජනතාව සාර් රජුගේ දෘඩ පාලනයට එරෙහිව නැගී සිටියහ. සාර් ගේ මාලිගා හමුදාව (palace guards) එය මැඩ පැවැත්වූවේ දහසක් පමණ මිනිසුන් මරා දමමිනි.
ඉන්පසු 1917 දක්වා පැවති කාලය තුල මෙන්ශේවිකයන්, බෝල්ෂෙවිකයන් , ප්‍රජාතන්ත්‍රවාදීන් ස්විට්සර්ලන්තය , එංගලන්තය, ජර්මනිය ආදී රටවලට විප්‍රවාසී වෙමින් දේශපාලනය කල බව කවුරුත් දනිති. ඒ කාලයේ කාන්තා ශ්‍රමිකයන් සඳහාද නොයෙකුත් සඟරා මුද්‍රණය කරන ලදී. ඉන් එකක් නම් 1914 දී සෙන්ට් පීටර්ස්බර්ග් හි ඇරඹුණු රබෝට්නිට්සා (කම්කරු යුවතිය) සඟරාවය. එය පලකිරීමට මුල්වී ක්‍රියා කලේ ලෙනින්ගේ බිරිඳ වූ නදේශ්දා කෘප්ස්කයා , ලෙනින් ගේ පෙම්වතිය (mistress) වූ ඉනෙස්සා ආර්මන්ඩ් සහ කොන්කොදියා සමයිලෝවා ය. ඉනෙස්සා අර්මන්ඩ් ගැන සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1 නමැති ලිපියේ සඳහනක් කලෙමි. ඔවුන්ට අමතරව අලෙක්සන්ද්‍රා කොලොන්තායි ද මේ විරෝධතාවයන් සංවිධානය කල ප්‍රමුඛ විප්ලවකාරියක වුනි.
මේ සඟරා පළ කළ බොල්ෂෙවික හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වල තරුණියන් ද රුසියානු අධිරාජ්‍යය ලෝක යුද්ධයක පැටලීම නිසා සැමියන් හා පෙම්වතුන් අහිමි වීමෙන් එක්වූ වැන්දඹු බිරියන්ද , ආර්ථිකය කඩා වැටීම නිසා දරුවන්ට කෑමට යමක් දීමට දෛනික අරගලයක් කරන ගෘහණියන්ද එවකට සෙන්ට් පිටර්ස්බර්ග් නගරයේ තිබූ නිමි ඇඳුම් කම්හල් වල ඉතා අඩු වැටුපකට රැකියා කළ කාන්තාවන්ද පෙරමුණ ගත් ඉතා සක්‍රීය විරෝධතා ව්‍යාපාරයක් 1917 වන විට ගොඩ නැගී තිබුණි.
මේ රෙදිපිළි කම්හල් වල රැකියා කළ කාන්තාවන් ගෙන් බොහොමයක් දෙනා පිට නගර හා ගම්වලින් පැමිණි අය වූහ. යුද්ධයට යන සාර් ගේ භටයන්ද මේ පළාත්වලින් ම පැමිණි අය වූහ. සාන්ත පිතර්බුර්ගයේදී ගහට ගහක් සුප්‍රසිද්ධ නෙව්ස්කි විදියේ දී මුණ ගැසුණි. මේ දෙගොල්ල එකතු වූයේ ප්‍රේමාලිංගන රංග දක්වන්නටම නොවේ. ඔවුන් දෙගොල්ලටම පොදු ප්‍රශ්න ගැන අදහස්ද හුවමාරු කර ගන්නටය. ගැහැණුන්ට අඩු පඩියත් පිරිමින්ට යුද්ධයට යාම හා අනිවාර්ය මිය යාමත් උරුම වී තිබුණි.
එසේම අවිවාහක තරුණියන් පිරිසක් තවත් අපූරු උපක්‍රමයක් යොදා ගත්හ. සාර්ගේ හමුදා බැරැක්ක වලින් නගරයට එන සොල්දාදුවන් සමග ඕනෑ කමින්ම සම්බන්ධකම් ඇති කර ගැනීමයි. මේ නිසා එම සොල්දාදුවන් අතරද කාන්තාවන් ගේ අඩු වැටුප් සහ ඔවුන්ගේ ප්‍රශ්න ගැන සෑහෙන අවබෝධයක් ද විය. එසේම සොල්දාදු බිරියන් සමග සබඳතා ඇති සමූහයක් ගොඩ නැගීමට කාන්තා නායිකාවක් වූ අනස්ටසීයා දිව්යාත්කිනා සමත් වූවාය. මෙහි ප්‍රතිඵලය වූයේ 1905 දී වූ ජනතා නැගිටීමේදී මෙන් නොව මේ විරෝධතාවයන්ට එලි බසින කාන්තාවන්ට වෙඩි තැබීම රජුගේ බැරැක්ක සොල්දාදුවන් ප්‍රතික්ෂේප කිරීමයි. කෙටියෙන් කියනවා නම් කෙල්ලන් ගේ විප්ලවයට ආයුධ සන්නද්ධ හමුදා ආරක්ෂාවක් සහතික විය.
පැරණි පුරුෂ පක්ෂයේ සමාජවාදීන් ද, විප්ලවකාරී සංවිධානද , විප්ලවකාරී පක්ෂද (බොල්ෂෙවිකයන් ඇතුළුව) මේ ගාමන්ට් ෆැක්ටරි කෙල්ලන්ගේ, විවාහක ගැහැනුන් ගේ, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් ගේ විරෝධතා ව්‍යාපාරයට වැඩි තැනක් දුන්නේ නැත. ඔවුන් කතා කළේ මේ නැගිටීම ව්‍යවර්ථ කරන්නටය. නමුත් ඒ දිනවල රැකියාවල යෙදෙන ගැහැණු ප්‍රතිශතය 43% පමණ වූ අතර ඉන් සීයට 3ක් ලෝහ සම්බන්ධ සම්ප්‍රදායික පිරිමි රැකියා ක්ෂේත්‍රයේ නිරතව සිටියහ. මේ ගැහැණුන් ගේ වර්ජනයන්ට ගම්වල සිටින ගොවි කාන්තාවන් ද සහය දැක්වූහ. වැඩිපුරම යුද්ධයට ගියේ ඔවුන්ගේ පුතුන් සහ සැමියන් නිසා ඔවුන්ද විරෝධතා ව්‍යාපාරයන්ට එක්වුනි.
පරණ රුසියානු කැලැන්ඩරයට අනුව 1917 පෙබරවාරි 23 *(මේ දිනය දැන් රුසියානු දවසය) හෙවත් මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනයේදී උදෑසන නමය වන විට විලොග් පෙදෙසේ රෙදිපිළි (ටෙක්ස්ටයිල් ෆැක්ටරි) කම්හලක ගාමන්ට් කෙල්ලන් වර්ජනයට පාරට බැස්සහ. පීටර්ස්බර්ග් නගරයේ නෙව්ස්කි විදියේ චතුරශ්‍රය අසල එක්ලක්ෂ පනස් දහසක් පමණ කාන්තාවන් "පාන් දියව්", රට රකින සොල්දාදුවන්ගේ දරුවන් ට ආහාර දියව් , "සොල්දාදු සලාකය හා ශ්‍රමික සලාකය වැඩි කරව් ", "(ගාමන්ට්) රෙදිපිළි කම්හල් වල කෙල්ලන්ට පැය අටේ වැඩ දිනයක් දියව් " ලෙසින් හඬ නැගූහ. මධ්‍යහ්නය වන විට සියලුම රෙදිපිළි කම්හල් වල තරුණියන් වර්ජනයකට එක්ව සිටි අතර සොල්දාදු බිරියන්ද ඈත පෙදෙස් වලින් පැමිණි ගොවි බිරියන්ද නගරයට එක් රැස් වුනි. බැරැක්ක සොල්දාදුවන් මේ කාන්තාවන් ඉදිරියේ අවි නොඑසවූ නිසා සාර් රජු තරුණ කොසැක් භටයන් ඔවුන් ඉදිරියට එවූ නමුත් ජනගහණය පාලනය කල නොහැකිව ඔවුන් පසු බැස ගියහ.
මේ තරුණියන් ඉන්පසු කළේ නගරයේ පිරිමින් හෙවත් විප්ලවවාදී පක්ෂ වලට අනුව "විප්ලවීය සවිඥානය " ඇති කාර්මික පුහුණුව ඇති ශ්‍රමිකයන් එක් කර ගැනීමට ඒ කම්හල් වලට ගමන් කිරීමයි. ඔවුන් ඒවායේ විදුරු වලට ගල් පහර දෙමින් , ඒවාට කඩා වදිමින් පිරිමින්ට එළියට බසින්නට උද්ඝෝෂණය කලහ.
හවස් වන විට හමුදා භටයන් ඇතුළුව බොහෝ පිරිමි ශ්‍රමිකයන්ද රැළිවලට එකතු වුනි.
අලෙක්සන්ද්‍රා කොලොන්තායි සහ විප්ලවවාදිනියන් හා සමහරුන්ගේ දරුවන්
කාන්තාවන් ගේ විරෝධත්වය ඉබේ පැන නැගුනක් ලෙස බොහෝ සෝවියට් ඉතිහාසන්ඥයන් වැරදි ලෙස අර්ථකථනය කළද එය 1905 න් පටන් ගෙන 1912 සිට වඩා සංවිධානය වුනු ව්‍යාපාරයක් විය. ඔවුන් මාර්තු 8 වනදා එළි බැස්සේද ඉතාමත් හොඳින් සැලසුම් කරය. කෙටියෙන් කියනවානම් 1917 දී සාර් පාලනය බිඳ දැමුවේ මේ ගාමන්ට් කෙල්ලන් ප්‍රමුඛ කරගත් කාන්තාවන්ගේ විරෝධතාවයයි. ලෙනින්ට සාධාරණය ඉටු කිරීම සඳහා කිව යුත්තේ මෙහිදී ලෙනින් සිටියේ කෘප්ස්කයා , ඉනෙස්සා අර්මන්ඩ් හා කොලොන්තායි ට පක්ෂවය. (ඔහු හැර ඔහුගේ පක්ෂයේ පොලිටි බියුරෝව මේ විප්ලවකාරී ගැහැනුන්ට කෙලින්ම සහයක් දැක්වූයේ කීමට සාක්ෂි නැත.)
පෙබරවාරි 24 දා (මාර්තු 9) වන විට සාර් රජුට බලයක් නොමැති බව පසක් වුනු පසු හමුදා ප්‍රධානීන් ඉවත්ව සිටියහ. ඉන්පසු පිහිටවුනු පරිවාස රජයේ ඇමති වරයෙකු වූ ඉහත සඳහන් සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ කෙරෙන්ස්කි පසුව අගමැතිද විය. ඔහුගේ මුඛ්‍ය අදහස වූයේ මහා පීටර් රජු මෙන් රුසියාවට බටහිර යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒම සහ යුද්ධය සාර්ථක අවසානයකට ගෙන ඒමයි. සෙන්ට් පිටර්ස්බර්ග් සිට පෙට්‍රොගාඩ් ලෙස නම වෙනස් වුනු නගරයේ සෝවියට් සභාව බහුතර බලය තිබුනේ මෙන්ශේවිකයන් හෙවත් රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටය.
නමුත් කෙරෙන්ස්කි ගේ රජය මේ කාන්තාවන් සඳහා කිසිවක් නොකළ අතර රජයේද අවට දෙපාර්තමේන්තු වලද ප්‍රධාන නිලතල දැරූ සාර් රජයේ නිලධාරීන් වෙනස් කිරීමටද කටයුතු නොකළේය. ඒ අතර සැබෑ රාජ්‍ය බලය අත ඇති කිසිවෙක් නොවූ අතර කෙරෙන්ස්කි රජයට බලය රඳවා ගැනීමට මහත් වෙහෙසක් දරන්නට විය.
සැප්තැම්බරයේදී පෙට්‍රොගාඩ් සෝවියට් සභාවේ බහුතරය වූයේ බෝල්ෂෙවිකයන් වන අතර ලෙනින් ගේ නායකත්වයෙන් බලය අල්ලා ගැනීම කෙරුනේ නොවැම්බර් හත් වනදාය. ලෙනින් මේ සඳහා සැරසුනේ 1905 කැරැල්ලේ සිටය. "කල යුත්තේ කුමක්ද" නමැති පොතින් අදහස් කල ලෙසින්ම ඔහු ඉතාමත් විනයගරුක කණ්ඩායමක් පක්ෂයක් ලෙස සංවිධානය කල අතර 1917 පෙබරවාරි සිට ලෙනින් රුසියාවට පැමිණි අප්‍රේල් මාසය දක්වා ලෙනින් ගේ කණ්ඩායමේ මුළු රුසියාවේම සිටියේ පනස්දහසකට අඩු ප්‍රමාණයකි. මුළු රුසියාවේ ජනගනය මිලියන 90 කට මදක් අඩුවෙනි. නමුත් ඔවුන් ලෙනින් සිට ගන්නට කීවිට හිට ගන්නටත්, ඉඳ ගන්නට කීවිට හිඳ ගන්නටත් සැදී පැහැදී සිටි හමුදා විනයක් සහිත කණ්ඩායමක් විය. අහසේ යන බැලුමක් මෙන් 1917 ඔක්තෝබර් වන විට රුසියානු අහසේ පාවෙමින් තිබූ බලය ලබා ගත්තේ මේ කණ්ඩායමයි. නමුත් ඒ වන විට ඔවුන් ලක්ෂයක් දක්වා සාමාජික සංඛ්‍යාවකට වැඩි වූ තිබුණි. ප්‍රතිශතයක් වශයෙන් 0.1 පමණය. ( මේ නිසා කලබල සහිත ආර්ථික අවපාත කාලයක 3% කට හෝ දස දහසකට ඔච්චම් කිරීම අවදානම් සහගත බවද සඳහන් කරමි. අවශ්‍ය වන්නේ තීක්ෂණ නායකයෙකු හා අණට කීකරු වන සාමාජිකයන් සංඛ්‍යාවක් පමණකි. )
මේ අනුව ඉතා පැහැදිලිවම සාර් පාලනය පෙරලුනේ රෙදිප්ලි කම්හල් වල කාන්තාවන් කල වර්ජනයත් ඔවුන් ප්‍රමුඛ අනිකුත් පිඩිත කාන්තාවන්ගේ වීදි බැසීමෙනුත් බව සාක්ෂි සහිතව කිව හැකිය. නමුත් 1917 ඔක්තෝබර් වල බලයට පත්වූ ලෙනින් ගේ රජයේ ලෙනින් හැර අනිකුන් කාන්තාවන්ට වෙනම දෙපාර්තමන්තුවක් දීමට ක්‍රියා නොකළහ. ඒ වෙනුවට, දික්කසාද අයිතිය, දේපල අයිතිය හා චන්ද අයිතියෙන් පමණක් සෑහීමකට පත්වන්නට ඔවුනට සිදු විය.
මේ කාන්තා විප්ලවය ඉතිහාසයෙන් මකා දැමුනේ කෙසේද යන්න ඊළඟ ලිපියකින් පැහැදිලි කරමි.
ජාත්‍යන්තර කාන්තා දිනයකට අපගේ සියලු එඩිතර කාන්තාවනට සුභ පතමි.
මූලාශ්‍ර - ජකොබින් වෙබ් අඩවිය, ගාඩියන්, ඩිමිට්‍රි වොල්කගොනොව් - රුසියානු රජයේ ආරක්‍ෂිත ලේඛන
-කොළඹ ගමයා (අජිත් ධර්මකීර්ති)