Saturday, 19 July 2014

අගෝරාවට හෙළි කල රත්න ශ්‍රි ගේ විරහ ගීතය

අගෝරා කියන්නේ ලන්ඩනයේ අපේ හිතවතුන් පිරිසක් පිහිටුවා ගත්ත සංස්කෘතික කලා  කවයක්. මේ ලඟදි තිබ්බ මුහුරත් උළෙලට  මමත් සහයෝගයක් දුන්න. ඒකෙ වැදගත්ම අංගය වුනේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් ලබා දුන්න සම්මුඛ සාකච්චාව. ඒක ඉතාම රසවත්. ළඟදීම ඒක  යුටියුබයට ඇතුලත් කරන්න බලා  පොරොත්තු වෙනවා.  

දැන් මේ සාකච්චාවේ අග හරිය විතරක් මම ලියන්න තීරණය කලා . ඒකට  හේතුව අපි යථාර්තවාදී කලාව ගැන කොච්චර කිව්වත් කලා කරුවෙක් යථාර්තය අත්  විදින්නේ නැත්නම් ඒ යථාර්තය හරි හැටි නිර්මාණයෙන්   පිළිබිඹු වෙන්නේ නැහැ කියන අදහස ඉස්මතු කරන්න මට අවශ්‍ය නිසා.
රත්න ශ්‍රී කියන සංවේදී කලාකරුව, ගීත රචකයා  කියනවා  මෙන්න මෙහෙම. 

මං ලිව්ව දේවල් මමම වර්ණනා කරන එක සදාචාරාත්මක නැහැනේ . නමුත් මට ලිව්වේ ඇයි කියල කිව්ව හැකි. විශ්වනාත කියල භාරතීය විචාරකයෙක් කියනවා මෙහෙම එයාගේ දර්පනය කියන පොතේ . "බලන්න අර තණ  පිටිය දිහා. තණ පිටියේ තියෙනවා තැන කොළ , කටු පඳුරු , ලැහැබ් හැම දෙයක්ම තියෙනවා. එතන එළ  දෙනක් බැඳලා ඉන්නවා. ඒ එළදෙන අර ඔක්කොම තෘණ සහ කටු ඇතුළු හැම දෙයක්මත් අනුභව කරලා සුදු පාට  කිරි ලෝකෙට දෙනවා. නිර්මාණත් හරියට මේ කිරි වගේ. නිර්මාණ වල තණකොළ නෑ . කටු නෑ . මොනවත් නෑ . හැබැයි මේ එළදෙන කිරි විතරක් නෙමේ සමහර විට ගොමත් පිට කරනවා. නිර්මාණත් ගොම වගේ ඒවා තිබෙනවා. ගොම වලින් ටිකක් හරි ප්‍රයෝජනයක් තියෙනව, ගහකට පොළොවකට වුනත් දාන්න  පුලුවන් .  ඒ වගේම එළදෙන  තව වැඩක් කරනවා. දවල් තිස්සේ කාපුවා  රෑට ඔක්කාරය කරනවා. නිර්මාණත් ඔක්කාරය වගේ ඒවා තියෙනෙවා. ඒ නිසා මම ලියපු දේවල් කිරිද, ගොමද , ඔක්කාරයද කියල තීරණය කරන්න ඕනේ අහන අය මිසක් මම නෙමේ. නමුත් මට අර තණ පිටිය නැත්නම් ගෝචර භුමිය ගැන කියන්න පුළුවන් කම තියෙනවා. ඒ අත්දැකීම් තමයි කිරි වෙන්නේ , ගොම වෙන්නේ. "

මින්පසු රත්න ශ්‍රී එනවා තමන්ගේ ම වූ අත්  දැකීමකට. 

අවසන් වශයෙන් එකම එක අත්දැකීමක් මම කියන්නම්.  මානව ජිවිත වල තියෙන මානව සම්බන්ධතා වල තිබෙන ප්‍රබල කම තේරුම් ගන්න.  මේකත් මේ මම රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් වැඩ කරන කාලේ මුහුණ දීපු අත්දැකීමක්. මට එක සැරයක් යන්න තිබුන නිල කටයුත්තකට දඹුල්ල අනුරාධපුර මාර්ගයේ සිවලාකුලම හන්දියෙන් හැරිලා තෝඩ  මඩුව කියන ගමට. ගමට යන පාර වැටිලා තිබුනේ වැව් බැම්ම උඩින්.  ඒ ගියපු කාර්යය  ප්‍රජා  ශාලාවේ සිද්ධ වෙන අතරේ ලොකු වතුර තිබහක් දැනුනා. අපි ගියා  කිට්ටුව ගෙයක් හොයාගෙන වතුර ටිකක් බොන්න. මේ මධ්‍යම පාන්තික ගෙදරක්. ලොකු මිදුලක් තියෙනව. ගේ ඇතුලේ සාලේ  ගොඩ ගහල තියනවා ලොකු ලුණු,  මිරිස් අස්වැන්න නෙළල. මිදුලේ කෙලවරේ නුග  ගහක් තියෙනවා. නුග ගහ වටේට මල් වවල ලස්සනට. පාන් පැලක්  තියෙනවා එතන . එතන අවුරුදු අසුවක විතර කෙනෙක් මිදුල අතු ගානවා ඉදලකින් වටේට . එයා  සරම උඩ  අමුණ ගෙන කොන්ඩෙත් බැඳලා , කොණ්ඩේ  ඉදිලා , රැවුල ඉදිලා. අපි ගිහින් අහනවා මාමණ්ඩි  වතුර ටිකක් බොන්නෙ කොහොමද  කියල.  ඉන්ඩ  මහත්තැන් කියල ඉදල හේත්තු කරලා ගෙට ගිහින් ජෝගුවට අපට වතුර ගෙනත් දෙනවා බොන්න. බොන ගමන් අහනවා මේ "මහත්තය බුන්නද ඇති වෙන්න " කියල එයාගේ භාෂාවෙන් අහනව. බොහොම ආදරෙන් . ඉතින් මන් ඇහුව මාමණ්ඩි අර ළුණු එහෙම ගන්න පුලුවන්ද අපට කියල. ඉන්ඩ මහත්තැන් කියල ගෙට ගිහිල්ල බෑග් දෙකකට පුරවල ගෙනල්ල දුන්න. සල්ලි දෙන්න හැදුවම කියනවා "චී  මහත්තය සල්ලි වලට දෙන්නේ නැහැ . මට සල්ලි තියෙනවා. මගේ පුතාල දෙන්නට බස් දෙකක් තියෙනවා දකුණු අනුරාධ පුරේ වැඩ කරන." මේ  මාමණ්ඩිගේ නම මුතු බණ්ඩා.

දැන් මේ අවුරුදු දහයකට විතර කලින් වෙච්ච සිද්ධියක් මං මේ කියන්නේ. මං එන ගමන්, කඩුල්ල පැත්තට යන ගමන් අහනවා මාමණ්ඩි ඇයි මෙතන මේ ලස්සනට මල් වවලා. මේ පාන් පැලක් හෙම හදල, මේ ලස්සනට මේ තියන් ඉන්නේ මොකද කියල. එයාගේ මූන වෙනස් වුනා  එක පාරටම. මගේ දිහා විනාඩියක්  විතර කතා නොකර බලන් ඉඳලා කියනවා "මහත්තැන් මේ මගේ පවුල නිදා ගන්න  තැන. එයාගේ නම සුදු බන්ඩි . එයාගේ සොහොන මේ. එහෙම කියල කවියක් කියනවා.

"කපා  කොටා බටු තිබ්බටු සිඟිත්තෙ
රන් මැණිකා  අද නිදිදෝ කනත්තේ "

කියලා.
අන්තිමට  මේ මුතු බණ්ඩා මාම  කියනවා "මහත්තැන් දැන් මං  මේ කරන වැඩේ මට හෙට අනිද්දට කරන්න හම්බ වෙන්නේ නැහැ."  මං ඇහුව ඇයි  මොකද වෙලා තියෙන්නේ . "දැන් මගේ මලය" -එහා පැත්තේ ඉඩමක් පෙන්නලා කියනවා- "අර හේරත් බණ්ඩා මේකට නඩුවක් දාල  මේ ඉඩමට. නඩු තීන්දුවත් ලැබිලා තියෙන්නේ. " තීන්දුව විධිහට තියෙන්නේ අර සොහොන එහා පැත්තට යන විදියට තමයි මේ මායිම වැටෙන්නේ . දැන් මේ මායිම හරහා වැටක් ගැහුවොත්, කම්බි ගැහුවොත්, තාප්පයක් බැන්දොත් එහෙම මේ මුතු බණ්ඩා මාමණ්ඩිට බැරි වෙනවා තමන් මේ දිනපතා  කරන මේ චාරිත්‍රය කරන්න.  එයා  හරි දුකෙන් කිව්වේ. මං  දැන් මේ කල්පනා කරන්නේ මේ අසු හැවිරිදි මහල්ලා මේ මනුස්සය තාම කොච්චර තමන්ගේ මියගිය බිරිඳට ආදරේද? දැන් ඉඩම් කියන්නේ සීමාකාරී සාධකයක්. ඔය මහවැලි කලාප වල ඒවා බෙදිලා බෙදිලා යන කොට කැඩෙනවා මේවා. ඒකත්  වලක්වන්න බැරි කාරණයක්. ඉතින් මේක ලියන්න මන් කල්පනා කලේ. මේක දැන් කෙනෙකුට පුළුවන් තව තොරතුරු එකතු කරගෙන කෙටි කතාවකට ලියන්න. කවියකටත් හොඳයි. නමුත් මේ හැඟීම හරි ප්‍රබලයිනේ. මේක වඩාත්ම ගැලපෙන්නේ ගීතයකට කියල මන් තීරණය   කරනවා.

ගීතය-
ඒ නිසා මන් තීරණය කරනවා මේක පටන් ගන්නේ කොහෙන්ද? දැන් මට මතක් වෙනවා තාම  මේකේ සිද්ධ වෙච්ච නැති දෙයක් තියනව . ඒ තමයි කවද හරි දවසක  දැන් නඩු තීන්දුව දීල තියෙන්නේ. දැන් මිනිදෝරු කන්තෝරුවෙන් ඇවිල්ල ජීප් එකේ තිරිංග තද කරලා නවත්තල සද්ද කරලා සපත්තු අඩි  වලින් මල්  පැල පාගල එහාට මෙහාට ඇවිදලා දම්වැල අල්ලලා ලකුණු කරලා මායිම ලකුණු කරන වෙලාව. තවම වෙලා නැහැ . කවද හරි වෙනව  ඒක හැබැයි. එතකොට මේ මුතු බණ්ඩා මාමා මොනවා කරනවා  ඇත්ද ? මුකුත්ම  කර කියා ගන්න දෙයක් නැතිව අන්ත අසරණ විධිහට බලා  ගෙන ඇති . එතනිං පටන් ගන්න මම තීරණය කරනව.

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන
තරහ අවසරයි යනවද දංවැල් අරගෙන

පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන
හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට

දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට

සංගීතවත් කලේ එච් එම් ජයවර්ධන දිවුල්ගනේ ගායනා කලේ. හැබැයි මේක ලියන කාලේ මගේ බිරිඳ හිටිය. දැන් කල්පනා  කරන කොට හිතෙනවා මේක මගෙත් කතාව තමයි කියල ඇත්තටම.  මමත් ඒ මුතු බණ්ඩා මාමාගේ තත්වෙට ඇවිල්ල කියල මට හිතෙනවා. 

(සාකච්චාව මෙතනින්  අවසාන වෙනවා. )

දැන් මෙතන රත්න ශ්‍රිට මේ සින්දුව කීප විදියකින් ලියන්න තිබුන.  එකක් තමයි නිලධාරිවාදී කෑල්ල. ඒ කියන්නේ සපත්තු වලින් මල පාගන කතාව. නමුත් සියුම්ව මග හැරෙන ඒ කොටස ඔහු දම්වැල්  වලින් නතර කරනවා. අනික තමයි මහවැලි කලාපයේ ඉඩම් ප්‍රශ්න. නමුත් ඒක ලීවොත් මේ ගීතය නීරස වෙනවා ඒක දේශපාලනිකයි . අනික මධ්‍යම පන්තික පවුලක්නේ. ඕක වෙන පන්තියකට අදාළත්  නැහැ.  ඒක  නිසා අපට  තීරණය  කරන්න සිද්ධ වෙනව  මේක ආදර  විරහ ගීතයක් කියල. 

හැබැයි මේ කියන කොටසේ වඩාත්ම සංවේදී කොටස තමා මේ සින්දුවේ කියන කතාවේ මුතු බණ්ඩා මාමණ්ඩි ගේ තැන රත්න ශ්‍රී විසින් ගැනීම. හංසයන් යුවලක් තම ජිවිත කාලය පුරා එක යුවලක් වශයෙන් ආදරෙන් බැඳිලා ඉන්නවා කියල අපි දන්නවා. එක පුරුෂයකුගේ හංස ගීතය (මෙහි හංස ගීතය යනු  - අවසන් ගීතය යන අරුතින් ලියුවක් නොවේ, විරහ ආදර ගීතය යන අරුතෙන් ලියුවකි).  උදෑසන  පාන් පැල  අවට නමදින විටත් කල කරුවාගේ හංස ගීතය ගීතයක් ලෙසත් අප හා මුසු වෙනවා. මේ ගීතය යථාර්තවාදී වෙන්නේ එතන.  තවත් දෙයක් තිබෙනවා.  
අර මල්  පැල පාගයි,  දම්වැලෙන්  මනියි කියල රත්න ශ්‍රි උපකල්පනය කරන  මිනින්දෝරු මහත්තුරු  , මහවැලියේ ඉඩම් දෙන කට්ටිය දැන් නියෝජනය කරන්නේ  සින්දුව ගයන දිවුල්ගනේ ආණ්ඩුකාර තුමා. 

රත්න ශ්‍රිට ස්තුතියි. 

මේ සින්දුවේ පදමාලාව සම්පුර්ණයෙන් මෙතන තිබෙනවා.  මම ලිව්වට පස්සේ සින්දුව හොයන කොට දැක්කේ . ඒ නිසා කොපි කලේ නැති වුනත් යොමුව දාන එක හොඳයි කියල හිතුන. 

http://geepadura.blogspot.co.uk/2012/11/minindoru-kanthoruwe-karunarathna.html

සින්දුව මෙතන තිබෙනවා. Youtube 

-අජිත් 

15 comments:

  1. Dear Ajith,
    May I humbly suggest you to amend the topic. HANSA GEETHAYA is the Last song. Our earnest wish is Rathnasri to continue his lyrical work at least another decade,isn't it?

    ReplyDelete
  2. මේ පොස්ට් එකත් ගීතයක්.
    ලස්සනයි

    ReplyDelete
  3. චවිත් , ඔබේ අදහස මම පිලි ගත්ත. ඒක ලියුවේ ආදර ගීතය යන අදහසින්. විරහ ගීතය කියල වෙනස් කලා.

    ජිවන පොස්ට් එක ලස්සන ඒකේ කතා කරන්නේ රත්න ශ්‍රී නිසා. ඔහුගේ වචන වැල. ඔබට ස්තුතියි.

    ReplyDelete
  4. බොක්කටම වැදුනා.... රත්න ශ්‍රී නම් තාම එහෙමයි. ඒත් දිවුල්ගනේ.

    ReplyDelete
  5. ගීත වල පසුබිම් කතා ඇත්තටම රසවත්

    ReplyDelete
  6. මාතලන් මටත් එහෙම හැඟීමක් තම ආවේ අහන කොට. දිවුල්ගනේ ගැන අපි කතා නොකර ඉමු කියල හිතෙනවා. අපිට දිවුල්ගනේ කියල හොඳ ගායකයෙක් හිටිය.

    ReplyDelete
  7. ශෂී ඒක ඇත්ත. මේ සාකච්චාවේ තව ගීත කීපයක් ගැනත් කතා වෙනවා. මුළු සාකච්චාවම ලැබුනම යු ටියුබ් එකට දාන්න බල පොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. හරිම ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නව ඒක දානකම් අජී සහෝ

      Delete
    2. https://www.youtube.com/watch?v=wM7av2IDOiQ

      Delete
  8. හරිම ආදරණීය සටහනක්. රත්න ශ්‍රී වගේම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . දැක්කේ නැති කොමෙන්ටුවක්

      Delete
  9. හිත් ඇදගන්නා සටහනක්.. රසවින්දා හොදටම..

    ReplyDelete
  10. මට නම් ඔහුගේ ජීවිතයම කවියක් .....


    රත්නේ අපි සංසාරය බෙදා ගනිමු
    දුක වැඩිපුර මගෙ කොටසට
    කෙට්ටු අතට එක මිටකට
    ඕනෙ බරක් සෑහෙයි මට
    පුංචි දුවට බත් දෙකටට
    මගේ සතුට..

    රත්න ශ්‍රී විජේසිංහ - වස්සානේ කාව්‍ය සංග්‍රහය - 1985
    (අස්වැන්න ලියන දයාත් රත්න ශ්‍රී ගැන හොඳ විස්තරයක් ලියලා තියනවා .ගිහින් බලන්න.http://aswanna.blogspot.com/2013/06/blog-post.html)

    ReplyDelete
  11. සින්දු ඇනෝ ස්තුතියි ලින්ක් එකට හා කොමෙන්ටුවට. ඔබේ බ්ලොග් අඩවිය ඇතුලත් කල මගේ ලිස්ට් එකටත්.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .