Tuesday 11 October 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - හත්වන කොටස

මුල් ලිපි:

හයවන කොටස 
ලැසී පීටර්සන් 

මේ ලිපි පෙළ ගැන කිසියම් වරදවා වටහා ගැනීම් බොහොමයක් ඇති වී තිබෙන බව ප්‍රතිචාර වලින් පැහැදිලි වී ඇත.මළවුන් සමග කතා කිරීම යමෙකුට කළ හැකි ද යන්න හෝ එවැන්නක් පිළි ගත  හැකිද යන්න, මා පිළි ගන්නේ යයි හෝ විශ්වාස කරන්නේ යයි මෙයින් ඇඟවෙන්නේ නැත. මා ඉදිරිපත් කරන්නේ වසර 2002 සිට 2010 පමණ කාලයක් මා නිරතුරුව සෙවීමක් කළ සංසිද්ධීන්  කිහිපයක් හා ඒ හා සම්බන්ධ මාතෘකාවන් ගැන මගේ අත්දැකීම් කිහිපයක වාර්තාවකි .  ඒවා විශ්වාස කරන්නන්ට මෙන්ම නොකරන්නන්ටද අපහාස උපහාස කිරීමකින් තොරව මගේ අදහස් වලට සමාන්තරව ඔවුන්ගේ ප්‍රතිචාර ඉදිරිපත් කළ හැකිය. මේවා ලියා තැබිය යුතුය යන අදහස මට කලක් තිස්සේ තිබුණි. මේ එය ක්‍රියාවට නැගීමකි.

 ලිපි පෙළ අවසානයේ මම එළඹුණු තීරණයන් කිහිපයක් ගැනද සඳහන් කරමි. ඒ තීරණ බොහොමයක්ම මළවුන්ගේ කියැවීම් පිලිබඳ විශ්වාස වලට එරෙහි ඒවා  බවද සඳහන් කරමි. නමුත් මා සමග කටයුතු කළ මීඩියම් වරුන්ට කරන සාධාරණයක් ලෙස මට විග්‍රහ කර ගැනීමට නොහැකි වූ සිද්ධීන් අවංකවම ලියා තැබීමට මා ගත්  තීරණයට ඒවා විමසීමකින් තොරව අසත්‍ය යයි කියන අයට පිළිතුරු දීම මට කළ නොහැකිය.

ලවුලෙන් ගේ ඊළඟ "කියවීමට-reading" යාමට ප්‍රථම අප අතර ඇතිවූ විවාද කිහිපයක්  ගැන සඳහන්  කිරීම වටී. පළමුවැන්න  නම් ලැසී පීටර්සන් ගේ මරණය සම්බන්ධවය. ලැසී අතුරුදහන්  වුනු අවස්ථාවේ ලවුලින් ම අභියෝගයක් ගෙනාවාය. ඒ ලැසී සොයා ගැනීමට උදව් කරන ලෙසයි. නොයෙකුත් සයිකික් (psychic) පේන කියන්නන්  මාධ්‍ය මගින් නොයෙකුත් දේ  කීහ. අපේ කණ්ඩායමේද නොයෙක් උත්සාහයන් විය. මිඩියම් කෙනෙකු නොවූ මා කළේ ඇමෙරිකාවේ එවැනි අතුරුදහන් වීම් කිහිපයක් ගැන අන්තර් ජාලයේ සොයා බැලීමයි. පිරිමින් විසින් වයස අඩු ගැහැණු ළමයි පැහැරගෙන ගොස් ගරාජ් වල, පොළොවේ යට තට්ටුවල තබා ගැනීම් කෙරුණත් වැඩුණු ගැහැනුන් ගැන එසේ කෙරෙන්නේ අඩුවෙන් බව පෙනුනි. එසේම ලැසී  මාස අටක ගැබිණියකව  සිටියාය. එනිසා මගේ අදහස් වුයේ කවුරුන් හෝ ඇය මරා දමන්නට ඇති බවත් ඒ බොහෝ විට ස්වාමියා හෝ ඇය දන්නා කෙනෙකු අතින්  බවත්ය.

මා  එසේ කීවේ බොහෝ ගැහැණු සම්බන්ධ අපරාධවලදී පවුලේ ලඟම  තැනැත්තෙකු හෝ අසල්වැසියෙකු   එය කිරීම පිලිබඳ සංඛ්‍යාලේඛන වැඩි බැවිනි.

බොහෝ අය ඇගේ සැමියා මුලදී විශ්වාස කර ඇය ජිවත්ව සිටින බව කීහ. සැමියා ස්කොට් ද දැඩි රඟපෑමක් කළේය. නමුත් මාසයකට පමණ පසු ලවුලන් කීවේ ඇය මියගොස් ඇති බවයි.  මේ පිලිබඳ ව ඇය ද මා මෙන්ම සිතු බව මිස මළවුන්ගෙන් නෑසු බවට මට සැක  ඇතිවිය. ඇයට මළවුන්ට කතා කිරීමට හැකි මළගිය තැනැත්තා ගේ ලඟම නෑදෑයෙක් උපන් දිනය දෙන්නේ නම් පමණක් බව ඇය මට වරක් කියා තිබුනාය. මේ අනුව මේ කිසිම මිඩියම්  කෙනෙකුට මෙවැනි හදිසි මරණ, අතුරුදහන් වීම්  ගැන සොයා ගැනීමට නොහැකිය යන නිගමනයට එළඹුනෙමි. එසේ කළේ තවත් එවැනි සිද්ධීන් ගැන පොලිස්  වාර්තා ද කියවීමෙන් පසුවය.
ඩෙරෙන් බ්‍රවුන් 

ඩෙරෙන් බ්‍රවුන් හා ඩේවිඩ් බ්ලේන් සම්බන්ධව අප අතර කතා බහ ඇති වූයේද මින් වසර ගණනකට පසුය.  ඩෙරෙන් බ්‍රවුන් අනාවැකි කියන  එක්තරා ක්‍රමයක් මෙහිදී සෑහෙන වැදගත් කමක් ගනී.  මිනිසුන් ඔහුගේ මැජික් දේශන වලට පැමිණෙන විට ඔහු තැන්  තැන් වල කිසියම් සලකුණු තබයි. ඒවා මිනිසුන්ගේ යටි සිතේ තැන්පත් වේ. ඇතැම් වෙළඳ දැන්වීම් සඳහා ද මෙවැනි පැසිව් ක්‍රම භාවිතා කරති. අපේ ඇස ගැටී මොළයේ සටහන්  වුවද උඩු සිතින් කිසියම් හඳුනා ගැනීමක් කළ බව අපම නොදනී. මෙවැනි සැඟවූ සලකුණු මාර්ගයෙන් ඩෙරෙන් මිනිසුන් ගේ සිතේ ඇති දේ කියයි. ඔහු ඉතා දක්ෂ  ලෙස මිනිසුන් වේදිකාවේ මෙහෙයවයි. මෝහනයට පත් කර විස්තර අසා ගනී.

ඩේවිඩ් බ්ලේන් ට අහසේ මිනිත්තු භාගයක් සමග පාවී සිටීමට හැකිය. මෙය දෘෂ්ටි මායාවකි. එසේම නැති දේ ඇති කර පෙන්වයි (කිසියම් සැඟවීම් කිහිපයක්  කර). මිනිසුන්ගේ සිතේ ඇති කිසියම් දෙයක් ගැන කීමටද ඔහුට හැකිය.

මොවුන්ගේ ක්‍රියා මෙන්ම පෝල් මැකෙන්නා ගේ මෝහනය කරීම් ද මෙහිදී වැදගත්ය. වෛද්‍ය බ්‍රයන් වයිස් ට මෝහනයේ කෙළවර ළමා කාලයටත් ඉන් පසුවත් ගොස් පුනර්ජන්ම පිලිබඳ තොරතුරු  ලබා ගත්තා  නම් අනිකුත් මෝහනයට දක්ෂ අය එසේ නොකරන්නේ මන්ද යන ප්‍රශ්නය මට ඇතිවිය.

මේ ප්‍රශ්න යන අතර තුර වසර 2008 එළඹුණි. ලවුලෙන් මෙන්ම අනිකුත්   සිය දිවි නසා ගත්  අයගේ නෑදෑයින්ට කියවීම් කිරීම  දිගටම කරගෙන ගියහ. මළවුන් ගෙන්වන අය අපාය සංකල්පයට විරුද්ධය. අපාය වැනි දෙයක් නැත යයි ඔවුහු කියති. (මමත් අපායක් ඇතැයි කියා විශ්වාස නොකරමි.) ඔවුන්ට අනුව  මියගිය ඕනෑම කෙනෙකු  ආලෝකය දෙසට නොගියේ නම් සම්බන්ධ කර ගත හැකිය.

මයිසඩෙක් නම් ඕස්ට්‍රේලියාවේ සිට අප කණ්ඩායමට එන (ලොගින් වෙන) අයෙක් සිටියේය. ඔහු වරක් මගේ නෑදෑයෙක් (ගැහැණු) ඒදණ්ඩකින් එගොඩ වෙන තැනක ජිවත්ව සිටි බව කිවේය. ඇය  තරමක් දැඩි අයෙක් බවද කීවේය. මට එවැනි මිත්තණියක් සිටි නිසා මම එය අනුමත කලෙමි. නමුත් මට පසුව සිතුනේ  මා ආසියාවේ සිට පැමිණි අයෙකු නිසා ඔහු අනුමාන  කර කියන්නට ඇති බවයි. ලවුලෙන් මුදල් ගත්තේ නැති වුවත් මොහු හා අනිකුත් අය මුදල් සඳහා කියවීම් කළහ. ජොඅනා නමින් (ඇමෙරිකාවේ මුල් පදිංචි  කරු) නේටිව් ඇමෙරිකන් කාන්තාවක්ද සිටියාය. ඇය මෙන්ම මයිසඩෙක්ද  රූපවාහිනී චැනලවල  පවා පෙනී සිටියහ. ඔහුගේ කියවීම් එතරම් දක්ෂ ඒවා නොවන බවත් හොඳ අවධානයක් යොමු කළ හොත්  මටද එවැනි දේ කිව හැකි බවත් මට පසක් විය. මගේ විශ්මයට ලවුලන් මෙහිදී මගේ අදහස  අනුමත කළාය.

මයිසදෙක් ගේ සත්‍ය නම ඇන්තනි ග්‍රසේල්කා ය. මේ ඔහුගේ වෙබ් අඩවියයි. මේ ඕස්ට්‍රේලියානු ජාතිකයා මෙන්ම තවත් කිහිප දෙනෙකුම මෙහි සිටියේ ලවුලන් හා අපෙන් මීඩියම් ක්‍රම ගැන අප කරන සාකච්චා වලින් ඉගෙන  ගැනීමටය. ඉන්පසු හිමින් සීරුවේ ඉවත්වී තමන්ගේ ව්‍යාපාර පිහිටුවීම හා ඉන් මුදල් ඉපැයීම ඔවුන්ගේ අදහස බව මට පසුව පැහැදිලි විනි.

උදාහරණයක් වශයෙන් මළවුන් ඔබ අසල ගැවසේ නම් දැන  ගන්නේ කෙසේද යන්න එක ප්‍රශ්නයකි. ලවුලන් ආදීන්ගේ පිළිතුර වූයේ සුළඟක් නැති වේලාවක හීන් මදනල මුහුණ හරහා, කන් පෙත්තක්  හරහා හෝ මුහුණේ පැත්තකින් යන බවයි. එසේත් නැතිනම් එම මියගිය තැනැත්තාගේ සුවඳ (ඇය හෝ ඔහු භාවිතා කළ සෙන්ට් සුවඳක්, සිගාර් එකක, සිගරටයක මෙන්ම රැකියාවේ විධිහට - හම් භාණ්ඩ වෙළඳ සලක වැඩ කළේ නම්) දැනෙන බවයි. මගේ පියා භාවිතා කල සුරුට්ටු වර්ගයේ සුවඳ ඇය මට දැන  ගැනීමට සැලස්වූවාය. එය කිසියම් විධිහකින් මගේ සිතේ ගැඹුරු කොනක ගබඩා වී තිබූ  ඒ සුවඳ ඇය උලුප්පා  මතුපිටට ගත් සෙයක් මට දැනුනි. වෙන පැහැදිලි කිරීමක් මට සිතා ගත නොහැකිය.

එසේම මළවුන් ලඟින් සිටි අවස්ථාවක ඉතා දහදිය දමන දවසක් වුවද  ශීතල යමක් ගැටුනක් වැනි තත්වයක් දැනෙන බව හෝ ඇඟේ , අතේ (විශේෂයෙන්ම අතේ මැද කොටසේ ) හීගඩු පිපෙන බවද ඔවුන් පැවසූහ.

ලවුලින් 
එසේම මයිසදෙක් හෙවත් ඇන්තනී හා ජෝන් එඩ්වර්ඩ් වැනි රුපවාහිනියේ පෙනී සිටින මළවුන් ගෙන්වන්නන් ගැන සැක ඇතිවීමට මෙවැනි කාරණාවක්ද විය. ඒ මේ වැදගත් නිරීක්ෂණයයි.බෞද්ධාගම වැළඳ ගත් පසුව  ලංකාවට පැමිණි  බ්ලවට්ස්කි  මැතිණියගේ කියවීම් හා වෙනත් ප්‍රසිද්ධ පරීක්ෂණ වළ මළවුන් වැහෙන තැනැත්තා  මළගිය තැනැත්තා මෙන් හැසිරෙන බව හා කතා කරන බවයි. සමර විට වමනය යෑම වැනි දේද වේ. (කටින් යම් ශ්‍රාවයක් වැගිරීම)  මේ මීඩියම් ලාට එසේ මළවුන් වැහෙන්නේ නැත. නමුත් සමහරු මිය ගියේ හෘදයාබාධයකින් නම් පපු පෙදෙස රිදෙන බවත් මිය ගියේ හදිසි අනතුරකින් නම්  ශරීරයේ අදාල කොටස වේදනා ගෙන දෙන බවත් ලවුලන් පැවසුවාය. එසේම එක කියවීමකින් පසු ඇයට හති දමන තරම් තද මහන්සියක් දැනෙන බවද කීවාය. එනිසා ඇය කියවීම් අතරේ විවේකයන් ගත්තාය..

රුපවාහිනියේ දර්ශන කරන අය හෝ මුදලට කරන අයට එවැනි මහන්සියක් හෝ මැරුණ අය ගෙන් පෙන්නුම් කරන වේදනාවන්  හෝ වෙනත් හැඟීම් පෙන්වන්නේ නැත. මෙනිසා ඔවුන් යම් රඟපෑමක් කරන බව පැහැදිලි විය. නමුත් ලවුලන් පත්වන තත්වය  මානසික විශාධි තත්වයක්ද නැතහොත් ඇය සැබවින්ම එවැනි අපහසුතාවයන්ට ලක්වෙනවා ද යන්න කීමට මට නොහැකි විය.

ලවුලින් ද මින්පසු මුදලට කියවීම් කිරීමට  පටන් ගත්තාය.  නමුත් මේ ත්‍යාගය (ගිෆ්‍ට් ) මුදල සඳහා භාවිතා කිරීම හොඳ දෙයක් නොවේ යයිද ඇය පැවසුවාය. (තමන්ට මළවුන් සමග සම්බන්ධ වීමට ඇති හැකියාව තමන්ට ලැබුණු  ත්‍යාගයක් ලෙස මේ අය හඳුන්වති)

මම මිනිස් මොලයේ ක්‍රියාකාරීත්වය  සෙවීමට පටන් ගතිමි. රිචර්ඩ් තොම්ප්සන් ගේ ෆවුන්ඩේෂන් ඔෆ් ෆිසියලොගිකල් සයිකොලොජි (Foundation of Physiological Psychology - Richard Thompson) පොතින් පටන් ගතිමි. මෙහිදී මගේ වැඩි අවධානය ලැබුනේ 15 වන හා 16 වන පරිච්ඡේද වලටය. මේ සේරේබ්‍රල් කොර්ටෙක්ස්, හයිපොතැලමස් සහ ලිම්බික් පෙදෙස, හැසිරීම් සහ සම්බන්ධතා ගැන ලියා ඇති සටහන්ය.  "Cerebral Cortex: Association Areas and Behavioral Relations, Chapter 15" සහ "Hypothalamus and Limbic System: The neural substrates of emotion and motivation (Chapter 16)" . එසේම මොළයේ ඇමිග්ඩලා (Amygdala) පෙදෙස ගැන වැඩි අවධානයක් යොමු කලෙමි. (අපේ මිත්‍ර වෛද්‍ය රුවන් ජයතුංගට මේ ගැන යමක් කිව හැකි යයි සිතමි)

මා වෛද්‍ය විද්‍යාව පැත්තෙන් අධ්‍යාපනයක් ලබා නොතිබූ නිසා තේරුම් ගැනීමට අපහසු වුවද මොළයේ  ක්‍රියාකාරිත්වයන් ගැන කියවීම අත් නොහලෙමි. ඊට හේතුව වූයේ සමහර මිනිසුන් හා ගැහැනුන් ගේ මොළයන් සාමාන්‍ය ක්‍රමයෙන් වෙනස්  විධිහට ක්‍රියා කරන්නේ යයි සිතුනු බැවිනි. නැත්නම් අප හැමෝම මිඩියම් ලා විය යුතුය. එසේ සිතුනේ බලෙන් ඉගෙන මීඩියම් කෙනෙක් වන්නටද බැරි බව මයිසඩෙක් ලා නිසා වටහා ගත් බැවිනි.

~ මතු සම්බන්ධයි

ලවුලන් (ජැමී විල්සන් හල්)  ගේ වෙබ් අඩවිය - http://www.allaboutyoupsychicreadings.com/
ඩෙරෙන්  බ්‍රවුන් - https://en.wikipedia.org/wiki/Derren_Brown
ඩෙරෙන් බ්‍රවුන් ගේ සිත් කියවීම පිළිබඳ පොත් (ඔහු ලියු ඒවා නොවේ) - http://highexistence.com/25-psychology-books-from-derren-brown-you-must-read-before-you-die/
ඩේවිඩ්  බ්ලෙන් - http://www.davidblaine.com/
-https://en.wikipedia.org/wiki/David_Blaine
අහසේ පාවීම - https://www.youtube.com/watch?v=pVhJ8pXKaKQ
ඕස්ට්‍රේලියාවේ මයිසදෙක් හෙවත් ඇන්තනි - http://www.whispersfrombeyond.com.au/

47 comments:

  1. කියවා තේරුම් ගැනීම කෙසේ වෙතත් මෙසේ කොමෙන්ටුවක් තබා කියවීම මැනවැයි සිතූවෙමි....

    ReplyDelete
  2. ලංකාවේද මෙවැනි හැකියාවන්ගෙන් යුක්ත වෙදදුරන් සිටින බව මා අසා තියෙනවා. නමුත් ඒවා විශ්වාස නොකිරීම හේතුවෙන් එවැනි තැන වලට මා නොයෑම ඉතා නොවටනා දෙයක් බව වැටහේ. මන්ද, ඒ සම්බන්ධ නිසි අවබෝදයක් ලබා ගැනීමටනම් එවැනි තැන් කරා යාම අත්‍යවශ්‍යයය

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් සොයා බලලා පිලි ගන්න නොපිලි ගන්න එක හොඳයි. කාලාම සුත්‍රයේ තියෙන්නෙත් එහෙමනේ.

      Delete
    2. කාලාම සූත්‍රය ආගම්වාදියොයි, බව්තිකවාදියෝයි හැමෝම තමන්ගේ වාසියට අපහරණය කරන එකක් වෙලා නේද? ඔය කියන කාලාම සූත්‍රයේ ඔය කියන තරම් තාර්කික දෙයක් නැහැ නේද? ඒකෙ පැහැදිලිවම කියල තියෙනවා නේද තමන්ගේ තර්කයට ගෝචර උනත් පිළිගන්න එපා. ධර්මය කියන දේ විතරයි හරි කියල? හරියට දෙවියෝ කිවනම් බඩුම තමා වගේ එකේ බුද්ධාගම වර්ෂන් එක නේද ඕක?

      Delete
    3. ඇනෝ මිත්‍රයා,
      ඔබ කාලාම සූත්‍රය් කියවා නැති හැඩයි. කවුරුන් හෝ කියූ දෙයක් මත පිහිටා විවේචන ඉදිරිපත් කිරීම සුදුසු නැහැ. කාලාම සූත්‍රය ත්‍රකය මත පිහිටා යමක් පිළිගන්නත් එපා කියනවා තමයි ඒකට හේතුව තර්කය තුලින් සත්‍යය මතු නොවනා නිසා. ඒ වගේම බුදුන් දෙසූ දහම බුදුන් දෙසූ නිසා පිළිගතයුතු බවක් එහි කියැවෙන්නේ නැහැ. ඒ වෙනුවට අවබෝධයෙන් හා පූර්ව නිගමන වලින් තොරව විමසා බලා යමක් පිළිගන්නා ලෙසයි එහි කියැවෙන්නේ. ඒ වගේම විඤ්ඤූන් (බුද්ධිමතුන් උගතුන් නොවෙයි )විසින් අගය කරනු ලබන දෙය සලකන්න කියාත් එහි කියැවෙනවා.

      Delete
    4. ඇනෝ කියන එක පොඉන්ට් එකක් තියනවා මෙහෙම. එතැන් ධර්මය යනුවෙඅන් අදහස් කරන්නේ බුද්ධ ධර්මය විතරක් නම්. නමුත් පාලි ධම්ම කියන අචනේ තේරුම ඊට වඩා වැඩි එකක්. ධර්මය කියල කියන්නේ හැම දනුමටම. සමස්ථ සත්‍ය දැනුම් සම්භාරයකට - එක තේරුමකින්. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය කියන එකට එතන එන්නේ වෙන තේරුමක්.

      Delete
    5. ගූගල් තේරුම: (in Indian religion) the eternal law of the cosmos, inherent in the very nature of things.
      //Dharma ([dʱəɾmə]; Sanskrit: धर्म dharma, About this sound listen (help·info); Pali: धम्म dhamma) is a key concept with multiple meanings in the Indian religions-Hinduism, Buddhism, Sikhism and Jainism.[8] There is no single word translation for dharma in western languages.[9]
      In Hinduism, dharma signifies behaviours that are considered to be in accord with rta, the order that makes life and universe possible,[10][note 1] and includes duties, rights, laws, conduct, virtues and ‘‘right way of living’’.[7] In Buddhism dharma means "cosmic law and order",[10] but is also applied to the teachings of the Buddha.[10] In Buddhist philosophy, dhamma/dharma is also the term for "phenomena".[11][note 2] Dharma in Jainism refers to the teachings of tirthankara (Jina)[10] and the body of doctrine pertaining to the purification and moral transformation of human beings. For Sikhs, the word dharm means the "path of righteousness".//

      Delete
    6. //ඇනෝ මිත්‍රයා,
      ඔබ කාලාම සූත්‍රය් කියවා නැති හැඩයි. කවුරුන් හෝ කියූ දෙයක් මත පිහිටා විවේචන ඉදිරිපත් කිරීම සුදුසු නැහැ. කාලාම සූත්‍රය ත්‍රකය මත පිහිටා යමක් පිළිගන්නත් එපා කියනවා තමයි ඒකට හේතුව තර්කය තුලින් සත්‍යය මතු නොවනා නිසා. ඒ වගේම බුදුන් දෙසූ දහම බුදුන් දෙසූ නිසා පිළිගතයුතු බවක් එහි කියැවෙන්නේ නැහැ. ඒ වෙනුවට අවබෝධයෙන් හා පූර්ව නිගමන වලින් තොරව විමසා බලා යමක් පිළිගන්නා ලෙසයි එහි කියැවෙන්නේ. ඒ වගේම විඤ්ඤූන් (බුද්ධිමතුන් උගතුන් නොවෙයි )විසින් අගය කරනු ලබන දෙය සලකන්න කියාත් එහි කියැවෙනවා.//
      ඇත්තටම ඔය කතාව තේරුමක් නැති දෙයක්නේ. නුවනින් විමසනවා කියන්නේ මොකක්ද? තර්කය, අත්දැකීම්, කවුරුහරි (යම් ක්ෂේත්‍රයක දැනුම තියෙන අය) කියන ඒවා නැතිව මිනිහෙකුට නුවනින් විමසන්න පුලුවන්ද? අනික විඤ්ඤූන් තෝරා ගන්නේ කොහොමද? තර්කය තුලින් සත්‍යය මතු වෙන්නේ නැතිනිසා ඔබ දැන් යමක් තේරුම් ගන්න තර්ක කරන්නෙම නැතිද?
      අනික ඔය කාලාම සූත්‍රය හැම එකාම තමාට පහසු ආකරෙට පාවිච්චි කරනවානේ ඕන තරම්. මේ ඊයේ පෙරේද අලුත් පාර්ලිමේන්තුව කියන වැඩසටහනේදී ගොම්මන්පිලය කියනවා බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ කවුරුවත් කියනවට විශ්වාස කරන්න එපා . තර්කයට බුද්ධියට ගලපෙනවානම් විතරක් පිළිගන්නලු. සිංහලයෝ පැවත එන්නේ එහෙම සංස්ක්රුතියකින්ලු. අනේ හුකේ තමයි ඉතින්.

      Delete
    7. බුද්ධාගමේ තියෙන පට්ට මෝඩම දේශනාවක් තමයි කාලාම සූත්‍රය කියන්නේ. කර්මය ,පුනරුප්පත්තිය වගේ ඒවා ඇරුනම

      Delete
    8. //තර්කය, අත්දැකීම්, කවුරුහරි (යම් ක්ෂේත්‍රයක දැනුම තියෙන අය) කියන ඒවා නැතිව මිනිහෙකුට නුවනින් විමසන්න පුලුවන්ද?// මම හිතන්නේ නම් අනිත් අය කිව්වා පලියට අහන් එපා කියන එකයි කියන්නේ කියල. දැන් සමහර මහාචාර්යවරු කියන දේ ඔබ පිලි ගන්නවද? උදාහරණයක් වශයෙන් මහාච්රය නලිද සිල්වා මහාචාර්ය කෙනෙක් නිසා ඔබ පිලි ගන්නවද? ඔහුට ගණිත ක්ෂේත්‍රය ගැන හොඳ දැනුමක් තිබෙනවා. එහෙම නැත්නම් මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි කියන දේ අන්ත්නම් ආචර්ය නිර්මල් දෙවසිටි කියන දේ? නැත්නම් ඔබට අනුව ඔබේ දෘස්ටිවාදයට අනුව නුවනින් විමසා බලා තීරණයක් ගන්නවද?

      Delete
    9. ගන්නම්පිලටත් ඔය වගේ දේවල් කියනන් පුළුවන්. අපාට් තහනම් කරන්න බැහැනේ. අනික එයා කියනවා වගේ සිංහලයෝ තර්ක බුද්ධියෙන් හිතලා වෙන්නැති ජනවාරි 8 එයා නියෝජනය කළ ආණ්ඩුව පරාද කලේ.

      Delete
    10. //නැත්නම් ඔබට අනුව ඔබේ දෘස්ටිවාදයට අනුව නුවනින් විමසා බලා තීරණයක් ගන්නවද?//
      දැන් මේකයි තර්කයට අනුව පිළිගන්න එකෙයි වෙනස මොකක්ද? තර්ක කරන්නේ දෘෂ්ටිවාදයට අනුව නෙමෙයිද? මමනම් කවුරුවත් කිව්ව පලියට පිළිගන්නේ නැහැ. හැබැයි මගේ තර්ක බුද්ධියට, අත්දැකීම් වලට සහ අහන දකින දේ අනුව තමයි නිගමනෙට බහින්නේ. කාලාම සූත්‍රය අනුව එහෙම කරන්න බැහැනේ. ඒකෙ පැහැදිලිවම කියල තියෙනවා තර්කය බාවිතා කරන්න එපා. අත්දැකීම් භාවීතා කරන්න එපා. පොතේ පතේ දැනුම පාවිච්චි කරන්න එපා. න්‍යායන් පාවිච්චි කරන්න එපා.
      දැන් එතකොට ඔය එකක්වත් භාවිතා නොකර කොහොමද දෙයියනේ නුවනින් විමසන්නේ
      //කාලාමයෙනි, යමක් ඇසු පමණින් භාර නොගනිව්: පරම්පරාවේ පැවත එන නිසාවත්: එය එසේය යන ආරංචියෙන්වත්: ආගමික පොත්පත්වල තිබුණු පමණින්වත්: තර්කය නිසා හෝ න්‍යායය නිසාවත්: මේ කාරණය කියා තිබෙන හැටි මැනවැයි සිතාවත්: තමන් කලින් සිතූ අදහසට ගැළපුණු පමණින්වත්: මේ පුද්ගලයා සෑහෙන කෙනෙකැ, ඔහු කියන දෙය පිළිගත යුතුය සිතාවත්: මේ තැනැත්තා මාගේ ආචාර්යයන් වහන්සේය කියාවත් යමක් භාර නොගනිව්. නමුත් කාලාමයෙනි, මේ අයහපතැයි යම් දිනක තොපටම වැටහුණොත්, එදින එය හැර දමව්: එසේම මේ යහපතැයි තොපටම වැටහුණොත් එය පිළිපදිව්.//

      තර්කය,න්‍යාය, අත්දැකීම් තුලින් සත්‍යය මතු වෙන්නේ නැතිනිසා ඔබ දැන් යමක් තේරුම් ගන්න ඒවා භාවිතා කරන්නෙම නැතිද?

      Delete
    11. ඔබ ඔය කියන දෙය හරි. නමුත් මට හිතෙනවා සිංහල පරිවර්තනයේ කිසියම් වැරැද්දක් තිබෙනවා කියල.
      මෙන්න ඉංග්‍රීසි එක.
      http://www.sobhana.net/meditation/english/reading/med003.pdf
      //තර්කය නිසා හෝ න්‍යායය නිසාවත්// දැන් මේ කෑල්ල විරුද්ධයි මහායාන තර්ක ක්‍රමයට , තර්කනුකුලාව සොයා බැලීම වටිනාම දෙයක් උධ්ද දශනයේ නෙමේ වෙන ඕනෑම තැන.
      //තර්කය,න්‍යාය, අත්දැකීම් තුලින් සත්‍යය මතු වෙන්නේ නැතිනිසා ඔබ දැන් යමක් තේරුම් ගන්න ඒවා භාවිතා කරන්නෙම නැතිද?// අනිවාර්යයෙන්ම. මම මේ හැම තමන පරීක්ෂණ , නිරීක්ෂණ, තර්ක නේ කරන්නේ.

      Delete
  3. ඇස් බැන්දුම්,
    කන් බැන්දුම්,
    සිත් බැන්දුම්.

    ReplyDelete
    Replies
    1. මන බැන්දුම්.
      හැමදේම ඇස් බැන්දුම් ම නොවේ.

      Delete
  4. ඕනම දෙයක් විහිළුවට ගන්න අය නම් අමු මෝඩයෝ.. මොකෝ ඔය වැද්දෝ කොල අතු ඇඳගෙන ගිනි ගොඩක් ගහලා ඕයේ ඔජායේ කියන එකට් හිනාවෙන අය. පොල්තෙල් ලාම්පුවක් පත්තු කරලා බෝ ගස් වලට වඳිනවා බුද්ධං සරණං කිය කිය. එතකොට වැද්දෝ ඒ දිහා බලලා හිනා වෙනවා ඇති.

    උඹ කියනවා වගේම සාස්තරේ කියන එකාගේ (මීඩියම්) ඇඟපත රිඳුම් දෙනවා අහන්න යන එකාට සාපේක්ෂව. අපේ තාත්තා වැටිලා රිබ්ස් කඩාගෙන උන්න වෙලාවක මම ඔහොම පොරක් ගාවට ගියාම මූ ඉල ඇට කූඩුව අල්ලගෙන ඇහුවා තාත්තගේ මේ පැත්තේ මොකක් හරි ලෙඩක් තියෙනවද කියලා. එහෙම දෙයක් කියන්න බෑ නේ.. ජීවිතේට එදා දැකපු එකෙක්ට. උන්ගෙන් ඇහුවාම නම් කියන්නේ ගොඩාක් වෙලාවට මියගිය කෙනා අපේ පස්සෙන් ඉන්නවා කියලා. එතකොට සාස්තර කියන වැඩේ ලේසියි. ඒත් එහෙම නැතෙයි කියලා අවුලක් නෑලූ. මොකෝ මළ ගිය සෙට් එකක්ම පෝලිමේ එනවලු වැඩ කාරයා වෙන්න. ඉතින් ඔයින් හොඳම එකා තෝරගෙන කන පැලෙන්න හම්බ කරන එක තමයි කරන්නේ. බූතයෝ බැඳගෙන වැඩ කරනවා කියන්නේ ඕක තමයි.

    කොහොම හරි එයාලට කරන්න පුළුවන් දෙයක් නෑ කියන එකත් එයාලම කියනවා. ඒ වගේම තමන්ගේ සිත ශක්තිමත් නම් කාටවත් මක්කත් කරන්නත් බෑ. ඔය මේකට කින්ඩිය දාන අය ඉන්නවා නේද? එයාලා තමයි වැඩියෙන්ම මේවා පිලිගන්න කස්ටිය. පිලිගැනීමේ වැඩිකමට ඉල්ලන දේ ලැබිලා නෑ. ඉතින් ඒවත් එක්ක මල. ඔය සමහර අය ධනපතියන්ට, සැප කාර් වලට වෛර බඳින්නේ ආන් එහෙම දෙයක්.

    ReplyDelete
    Replies
    1. http://www.charismamag.com/blogs/the-plumb-line/17355-why-are-so-many-christians-practicing-witchcraft

      Delete
    2. //ඉතින් ඔයින් හොඳම එකා තෝරගෙන කන පැලෙන්න හම්බ කරන එක තමයි කරන්නේ. බූතයෝ බැඳගෙන වැඩ කරනවා කියන්නේ ඕක තමයි.// මේක මමත් කල්පනා කළා. එහෙම එකෙක් හොයාගෙන සල්ලි හම්බ කරගන්න එකද මේ මීඩියම් ලා කරන්නේ කියල. ප්‍රා ක්‍රිස්ටියන්ලා විතරක් නෙමේ.

      Delete
  5. සමහර වෙලාවට එක පාරටම ඔය සුවඳ එහෙම දැනී නොදැනී යන්නේ එතකොට මළ ගිය කෙනෙක් අහල පහල ඉන්නකොට ද? හැබැයි ඔය වගේ කතා ඔය අපේ වයසක අයත් කියනවා නේද? ඒ කියන්නේ එහෙම අදහස් කාලයක් තිස්සේ ලෝකයේ තිබිල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මේ ගොල්ලෝ කියන්නේ. වැඩේ කියන්නේ මට එහෙම අනන්ත වෙලා තියනව. ඒත් ඔප්පු කර ගන්නේ කොහොමද?

      Delete
  6. සමහරක් දේ නැ කියල බැහැර කරන්න බැ

    ReplyDelete
  7. සමහරක් දේ තේරුම් ගන්න බැරි උනාට නැහැයි කියල බැහැර කරන්න බැ

    ReplyDelete
    Replies
    1. ඔප්පු කර ගන්න වැඩේ තමා අමාරු.

      Delete
  8. ලිපිපෙල ආසාවෙන් කියවන මා බලාසිටින්නේ අජිත්ගේ නිගමන දෙසය. සංශයවාදියෙකු උගතෙකු බුද්ධිමතකු ලෙස මෙවන් සාක්ෂි තිබියදීත් මලවුන් කියවීම සත්‍ය නොවේය කියන්නේනම් එය සිතා බැලිය යුත්තකි.
    සිත් කියවීමේ යම් භෞතික ක්‍රමවේදයක් තියනවා විය නොහැකිද. වැනි මොළයේ කොටසක අධික්‍රියාකාරීත්වය මත අනුන්ගේ සිත් කියවීම වැනි පරාමනෝවිද්‍යාත්මක අත්දැකීම් ලැබෙනවා ත් විය හැක.http://mindsetup16.blogspot.com/2016/10/blog-post_11.html
    pineal gland

    ඇතැම්විට ඇත්තටම මලවුන්ගේ ලෝකයක් තිබෙනවා විය හැක. නමුත් ආගම්වල කියන අපායවල් දිව්‍යලෝකනම් අමු බොරුය.
    අපායවල් වධකාගාර ලෙස පවතින අතර දිව්යලෝකවල ඊනියා සැප ඇත. මොනවාද මේ සැප?
    දිව බොජුන් ( මිනිසාට ආහාර අවශ්‍ය ශරීරය පෝෂනයටය ,ශරීරය වර්ධනයටය, ශක්තිය නිපදවීමටය. දෙවිවරුන්ට්ය එවැණි අවශ්‍යතවායක් නැත.
    දිව්‍යාංගනාවන් දහස් ගනනින් සිටිති.
    ( මනුලොව ස්ත්‍රී පුරුෂ භේදය ලිංගික ප්‍රජනනයටය. දෙවියන්ට එවැනි අවශ්‍යතාවයක් නැත.)
    බෞද්ධ දෙවිවරු අශ්ව කරත්තවල ගමන් කරති. අඩුගානෙ ඩීමෝ බට්ටෙක්වත් අරගෙන නැත.
    මුස්ලිම් දෙව්ලොවේ පලතුරු ඇත. පිරිසිදු ජලය ඇත. කන්‍යාවන් ඇත.
    කිතුනු දෙව් ලොවද එසේමය.

    මේ අනුව පංචේන්ද්‍රියන් පිනවීම සැප ලෙස සලකා දෙව් ලොව යන සංකල්පය ගොඩ නගා ඇත.

    මීඩියම්ලා අපාය හා දිව්යලෝකය ප්‍රතික්ශේප කිරීම තර්කානුකූලය. එසේනම් මලවුන් යම් අකාරයක ශක්තියක් බදු ජීවී ස්වරූපයක් විය හැක. විනිශ්චය මතු පර්යේශනවලට බාරය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. විශේෂණ පද වලට ගොඩක් ස්තූතියි . යොමුවටත් ස්තුතියි. කියවා බැලුවා. මම මෙහිදී මළවුන් ගේ කියවීම් කෙලින්ම සත්‍ය නොවේ යයි කියන සාහසික ප්‍රකාශය නොකරමි. මා ලවුලන් ට මෙන්ම මගේ යහළු ජූඩ් සහ අනිකුත් අයටද කීවේ විද්‍යාත්මක ඔප්පු කිරීමකින් තොරව මට මෙය පිළිගත නොහැකි බවයි. එනම් කවදා හෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් එනතුරු බලා සිටින බවයි. එතෙක් මේ සිදුවීම් "හඳුනා ගත නොහැකි" anomalous ඒවා මෙන් අර්ථ දැක්වීමක් කරන බවයි. දෙවියන් සිටී යයි ඔප්පු කළ නොහැකි බැවින් මා එසේ විශ්වාස නොකරන්නේ නම් මෙවැනි සත්‍ය සිදුවීම් සිදුවී ඇතත් එය පිලි ගැනීම අපහසු බවයි. සත්‍යය සෙවීමේ සියලුම මාර්ග පිළිබඳව සොයා බලා මිස අපට තීරණයකට එළඹිය හැකිද?
      //එසේනම් මලවුන් යම් අකාරයක ශක්තියක් බදු ජීවී ස්වරූපයක් විය හැක. // තරමක් දුරට මෙයට සමාන නිගමනයකට මා එළඹෙන බව ඔබට ඉදිරියේදී පෙනේවි. මා අදටත් ඔවුන්ට මා අන්තර්ජාලයේ කියවන පර්යේෂණාත්මක ලිපි යවමි. ඒවා ගැන ඉදිරියේදී දක්වමි.

      Delete
  9. http://www.charismamag.com/blogs/the-plumb-line/24566-5-clear-signs-witchcraft-is-attacking-you-right-now

    ReplyDelete
  10. // මළවුන් ඔබ අසල ගැවසේ නම් දැන ගන්නේ කෙසේද යන්න එක ප්‍රශ්නයකි. ලවුලන් ආදීන්ගේ පිළිතුර වූයේ සුළඟක් නැති වේලාවක හීන් මදනල මුහුණ හරහා, කන් පෙත්තක් හරහා හෝ මුහුණේ පැත්තකින් යන බවයි. එසේත් නැතිනම් එම මියගිය තැනැත්තාගේ සුවඳ (ඇය හෝ ඔහු භාවිතා කළ සෙන්ට් සුවඳක්, සිගාර් එකක, සිගරටයක මෙන්ම රැකියාවේ විධිහට - හම් භාණ්ඩ වෙළඳ සලක වැඩ කළේ නම්) දැනෙන බවයි//

    :O අද රෑ නිදාගන්නේ කොහොමද?

    ලිපි පෙල එක දිගට කියවගෙන ගියා. හරිම රසවත් ඒ වගේම ප්‍රයෝජනවත් කියලා හිතනවා මේ ඔස්සේ කරුණු හොයන අයට.

    ReplyDelete
    Replies
    1. //අද රෑ නිදාගන්නේ කොහොමද?// මුලිකම දේ තමයි බය අත් හැර ගැනීම.
      ස්තූතියි. ඔය මදනල සුලඟ නැති වෙලාවල් මට ඕනෑතරම් දැනිල තිබෙනවා.

      Delete
  11. අජිත්, මේ ලිපි පෙල වඩ වඩා ගැඹුරට විහිදෙමින් යනවා.ඔබගේ ඉදිරිපත් කිරීමත් කල අධ්‍යයනය වගේම අපූරුයි.

    මීඩියම් ලාට අනුව අපාය දිව්‍ය ලෝකය නැති බවත්, මලවුන්ගෙන් ආලෝකය දෙසට නොගිය උන් හා සාකච්චා කල හැකි බවත් ඔබ කියා තිබෙනවා.
    එතකොට අර කලින් කී මාස්ටර් ලා ආලෝකයට ගිය උදවියද?
    නැතිද?
    අනෙක මේ මල පසු කථාවට එන්නේත්, ආලෝකයට නොයා ගැවසෙන්නේත්, ආලෝකය දෙසට යන්නේත් මිනිසුන්ම පමණක්ද?
    සතුන් සම්බන්ධව මීඩියම්ලාගේ මතය ගැන ඔබට දැනුමක් තියෙනවාද?
    ඒ වගේම ත්ම ආදරණීය බල්ලා මැරුණු විට බල්ලා තමන් අසල ගැවසුනා වැනි අත්දැකීම් ඇතැමුන් ලබා ඇති බව මා අසා තියෙනවා.
    මගේ ගෙදර උන් තඩි ඇල්ශේශන් බල්ලා හදා ගැනීමට මිතුරෙකුට දුන් පසු මට ගෙමිදුලේ ඌ දුව පනිනවා අනන්තවත් තනියම ඉන්න විට දැනී තියෙනවා.හැබැයි ඌ හොඳ යහතින් තවම ඉන්නවා

    ReplyDelete
    Replies
    1. //එතකොට අර කලින් කී මාස්ටර් ලා ආලෝකයට ගිය උදවියද?// මා දන්නා පරිදි එසේය. අර තලයන් 7 හෝ (31) තිබෙනවා කියන්නේ. මේ මාස්ටර්ලා යනු ඒ තලයන් ගෙන් එන අයයි.
      //අනෙක මේ මල පසු කථාවට එන්නේත්, ආලෝකයට නොයා ගැවසෙන්නේත්, ආලෝකය දෙසට යන්නේත් මිනිසුන්ම පමණක්ද?// නැහැ මැරෙන සියලුම ජීවින්.
      //සතුන් සම්බන්ධව මීඩියම්ලාගේ මතය ගැන ඔබට දැනුමක් තියෙනවාද?// ඔවුන් සතුන් සමග සම්බන්ධ වන්නේ මලගිය වුන් සමගයි. බොහෝ විට බල්ලන් පරණ ස්වාමියා හෝ ස්වාමියාගේ ගේ මිතුරකු සමග එන අබ්වයි ඔවුන් කියන්නේ. එසේම මැරුණු බලල ගැවසෙන බවත් කියනවා. අශ්වයා ගැනත් එසේයි. නමුත් මෙහිදී පූසන් කවදාවත් පෙනෙන්නේ නැහැ.
      හැබැයි මේවා කියන කොට විශ්වාස කිරීමේ අපහසු බවක් දැනෙනවා නේද?

      Delete
    2. ඔව් අජිත් මේවා විශ්වාස කිරීම වගේම අවිශ්වාස කිරීමත් වැරදියි. විශ්වාසය හෝ අවිශ්වාශය බැහැර කොට මේ දැනුම ගැනත් විමසීම තමයි හරිම දේ.
      මම ප්‍රශ්නය ඇහැව්වේ සතුන් පිළිබඳ ඔවුන් දක්වන මතය වඩා හොඳින් ඔවුන්ගේ දැක්ම පහදවා ගැනීමට උදව් වන නිසායි.

      තව එක ප්‍රශ්නයක් තියෙනවා. ආලෝකය දෙසට නොගිය ඕනෑම කෙනෙකු මෙසේ සම්බන්ද කරගත හැකි බව ඔවුන් කියනවාද?

      Delete
    3. //ආලෝකය දෙසට නොගිය ඕනෑම කෙනෙකු මෙසේ සම්බන්ද කරගත හැකි බව ඔවුන් කියනවාද?// කට්ටිය එනකොට පෝලිමේ එනවා කතා කරන්න කියල තමා ඒ ගොල්ල කියන්නේ. ගොඩක්ම හදිසි අනතුරු වලින් මැරුණ අය . සාමාන්‍ය විධිහට මැරුණ අය වඩා ඉක්මනින් යනවලු ආලෝකය දිහාවට. හදිදි අනතුරු වලින් මැරුණ අය මනුශයේ ලෝකේ වර්ෂ වලින් හුඟක් කල් ගන්නවලු.

      Delete
  12. මේ ලිපි පෙළ දිගටම කියෙව්වා ...
    අන්තිම ලිපිය එනකං ඉන්නෙ මගේ අත්දැකීම් ටික කියන්ඩ ..

    ReplyDelete
    Replies
    1. මගේ අන්තිම නිගමන ගැන කල්පනා නොකර ඒවා ලියන්න.

      Delete
  13. මමත් මේ ලිපි පෙළ දිගටම කියෙව්වා.අදහසක් දක්වන්න තරම් ලොකු වැටහීමක් මේ ගැන නැහැ.

    ReplyDelete
    Replies
    1. අදහසක් දෙන්න තමා ලියන්නේ. ස්තූතියි.

      Delete
  14. කාලාම සුත්‍රය ගැන කියන කොට සිංහල පරිවර්තනය (අර ඇනෝ දාපු 0 පොඩි වැරැද්දක් තියනවා කියල හිතෙනවා. මේ ඉංග්‍රීසි පරිවර්තනය.
    Translator's note: Although this discourse is often cited as the Buddha's carte blanche for following one's own sense of right and wrong, it actually says something much more rigorous than that. Traditions are not to be followed simply because they are traditions. Reports (such as historical accounts or news) are not to be followed simply because the source seems reliable. One's own preferences are not to be followed simply because they seem logical or resonate with one's feelings. Instead, any view or belief must be tested by the results it yields when put into practice; and — to guard against the possibility of any bias or limitations in one's understanding of those results — they must further be checked against the experience of people who are wise. The ability to question and test one's beliefs in an appropriate way is called appropriate attention. The ability to recognize and choose wise people as mentors is called having admirable friends. According to Iti 16-17, these are, respectively, the most important internal and external factors for attaining the goal of the practice. For further thoughts on how to test a belief in practice, see MN 61, MN 95, AN 7.79, and AN 8.53. For thoughts on how to judge whether another person is wise, see MN 110, AN 4.192, and AN 8.54.

    ReplyDelete
  15. "Of course you are uncertain, Kalamas. Of course you are in doubt. When there are reasons for doubt, uncertainty is born. So in this case, Kalamas, don't go by reports, by legends, by traditions, by scripture, by logical conjecture, by inference, by analogies, by agreement through pondering views, by probability, or by the thought, 'This contemplative is our teacher.' When you know for yourselves that, 'These qualities are unskillful; these qualities are blameworthy; these qualities are criticized by the wise; these qualities, when adopted & carried out, lead to harm & to suffering' — then you should abandon them.

    ReplyDelete
    Replies
    1. http://www.accesstoinsight.org/tipitaka/an/an03/an03.065.than.html

      Delete
    2. logical conjecture - තේරුම: It's a word to use when you are not sure of something and have to "guess or surmise." You can see how the word conjecture means that you create a theory or opinion about something without basing it in fact because the original definition of conjecture, from Old French, is "interpretation of signs and omens."

      conjecture - 1. Opinion or judgment based on inconclusive or incomplete evidence; guesswork.

      Delete
    3. ලොජිකල් කොන්ජෙක්චර් කියන්නේ භාග පරීක්ෂණ , මතවාද , අනුමාන කිරීම් තර්කනයේදී යොදාගෙන ඒවා භාවිතා කර නිගමනයකට එන්න එපා කියන එක තම කියන්නේ. තර්ක හා න්යය්වලින් කියන ඒවා අහන්න නෙමෙයි. ඔය සමහර සිංහල පරිවර්තන කොහොමත් ඔහොම තමයි.

      Delete
  16. ජාතිකවාදය 'සිංහළයා සිතීම ගැන සාධාරණ වන්නේද?නොවන්නේද?'වාදයෙ' මුල්ම අරටුව හටගන්නෙ අනෙකුත් 'වාදයන්ට' වඩා මිනිසාට ප්‍රායෝගිකව දැනෙන සුලු බවක් නිසා සාධාරණද?

    ReplyDelete
  17. කාර්ය බහුල අවස්ථාවල සිටි බැවින් ලිපි පෙළ කියවීම මදකට නවතා මේ මොහොතේ සිට ආරම්භ කළෙමි. ලියා ඇති විෂයය නොව ලියූ පුද්ගලයාගේ ආකල්ප මොනවාදැයි සොයන්නට උත්සාහ ගැනීම පාඨකයන්ගේ පොදු දුබලතාවක් යි සිතමි. එහෙයින් ඔබ මුල ඡේදයේ පවසන තත්ත්ව නිසා අධෛර්ය වී ලිපි පෙළ අතරමග නවතා නොදමන ලෙස ඉල්ලමි

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීම හා දිරි දෙන වදන් දැකීම ඉමහත් සතුටකි. ලිපි පෙළ දොළහ දක්වා ගෙන ගොස් තාවකාලිකව නතර කිරීමට තීරණය කලෙමි.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .