ඔබ මේ සංඛ්‍යා බලා කලබල වෙන හෝ ආවේගී වන අයෙකු නම් මෙය කියවීම නොකළ යුතුය.
එම මුල් ලිපියේ මා සඳහන් කළ අගයන් මේවාය .
//මේ නිසා ශ්‍රී ලංකාවේ එකවරම රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇත්තේ අප්‍රේල් 2 හා 4 අතරය. එනම් බොහෝ විට රෝගීන් සංඛ්‍යාව 1126 සිට 4198 දක්වා වැඩිවිය හැකිය.
මේ ගණනට එනවිට හතළිහක පමණ පිරිසකට එය මාරාන්තික විය හැකිය.මතක තබාගන්න මේවා ගණිතමය වශයෙන් එන සංඛ්‍යා මිස රටේ ඇඳිරි නිතිය පැවතීම වැනි සාධක සලකා බලා කරන පුරෝකථන නොවේ.ඒ කියන්නේ ශ්‍රී ලංකාව හා එහි වැසියන් ගන්නා ක්‍රියා මාර්ග මත වාසනාවන්ත ලෙස එසේ සිදු නොවීමට ඉඩකඩ තිබේ.
බ්‍රිතාන්‍ය හෝ ඉතාලිය වැනි රටවල මෙන් වසංගත තත්වය ගැන නොසලකා හිටියොත් අවුරුදු සමය වනවිට මේ රෝගීන් සංඛ්‍යාව අටදහස දක්වා වැඩිවිය හැකිය. මරණ සංඛ්‍යාවද සීයත් දෙසීයත් අතර වනු ඇත..//
ශ්‍රී ලංකාවේ රජයේත් , සෞඛ්‍ය සේවාවන්ගේ ත් ජනතාව විසින් covid-19 සම්බන්ධ නීති රීති පිලි පැදීමත් නිසා මේ අගය අඩුවී ඇති බව පැහැදිලිවම පෙනේ.
එම නිසා නැවත ගණනය කිරීමක් කරන ලදී. මේ අනුව අප්‍රියෙල් 2 හා 4 අතර ආසාදිතයන් ගේ ගණන 275 (1126 වෙනුවට ) සහ 620 අතර වනු ඇත (ඇඳිරි නිතිය නොසලකා හැර ගණනය කර ඇත)., ප්‍රතිජනන අගය 2.2 ලෙස ගණනය කල හෙයින් මෙය සාධනීය අගයකි. නමුත් මේ අගයන් අනුව පුරෝකථනය කළහොත් නැවතත් අප්‍රේල් 8 වනවිටආසාදිතයන් ගණන හය දහසක් දක්වා වැඩිවේ. අප්‍රේල් 15 වනවිට එය ඉතා ඉහල අගයක් ගනී. ඒ ගණන මම නොලියමි. එයට හේතුව ඇඳිරි නීතිය හා වෙනත් ක්‍රියා මාර්ගද සමාජීය පරතරය තබා ගැනීම වැනි ක්‍රියා මාර්ගද ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන බැවිනි. එසේම එවැනි ගණනක් ගැන මට සිතීමටද නොහැකිය. ඒ එය ලක්ෂ හයකට ආසන්න වීමය. පැතිරීමට බලපාන සියලු කරුණු සලකා බැලුවහොත් එවැනි ආසාදිතයන් ගණනක් ඇති වීමට සම්භාවතාවක් නැත.
දැන් අපි ප්‍රතිජනන අගය R0 =1.5 ලෙස ගනිමු. ඒ කියන්නේ මේ සංඛ්‍යාවේ අවම අගයයි. එහිදී අප්‍රේල් 2 හා 4 අතර අගයන් වන්නේ 220 සිට 400 කි. අප්‍රියෙල් 8 වනවිට මුළු ආසාදිතයන් ගණන වන්නේ 1700 කි. මා මුල් ලිපියෙන් කීවේ අවුරුදු සමය වනවිට රෝගින් ගණන අටදහසකින් වැඩි වෙතියි කියාය.මේ ගණනයට අනුවද එය එසේමය. එනිසා අප්‍රේල් 15 වනවිට මුළු ආසාදිතයන් ගණන වනුයේ 27000 කි.
මේ අප්‍රියෙල් 15 දක්වා ගණනය කළහොත් ලැබෙන අංක දෙක අතර ඇත්තේ (ප්‍රතිජනන අගය 2.2 ලෙස ගෙන හා එම අගය 1.5 ලෙස ගෙන ) අති විශාල වෙනසකි.
එනිසා මම ලංකාවේ තත්වය ජර්මනියට සමාන කලෙමි. එයට හේතුව ශ්‍රී ලංකාවේ මෙන් ජර්මනියේ ද සෑම රෝගියෙකුම පරීක්ෂණයට ලක් කරන අතර ඒ හැම අයෙකුම වෙන් කර ප්‍රතිකාර කරනු ලැබේ.
ආසාදිතයන් හා මරණ අඩුවීමට මෙය ප්‍රධානම සාධකයක් බව පෙනේ.
ජර්මනියේ මෙන් ශ්‍රී ලංකාවේද වෙනත් නගර වලට යාමට අවසර නොමැත. ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව තවම ඇත්තේ මෙම වසංගතයේ මූලික අවධියේ වීමයි. එනිසා මේ සංඛ්‍යා සැබවින්ම එලෙස වීමේ සම්භාවිතාව වන්නේ අඩු අගයකි.
ජර්මනියේ ආසාදිතයන් ගණන 100 සිට මුල් දින දහයට 1296 දක්වා වැඩිවීමක්ද ඊළඟ දින 10 තුල 18,323 දක්වා වැඩිවීමක්ද තිබුණි. ඊළඟ එළඹෙන දින 11 තුල එය71,000 දක්වා වැඩිවුණි.
ශ්‍රී ලංකාවේ 31 දා වනවිට ආසාදිතයන් ගණන 143 කි. ප්‍රතිජනන අගය 2.2 නම් ඊළඟ දින දහයේදී (අප්‍රේල් 10) එය 21,000 දක්වා වැඩිවේ. ප්‍රතිජනන අගය 1.5 නම් එය 1210 කි. එනම් ජර්මනියේ සංඛ්‍යාවට සමානය. ඊළඟ දින දහයේදී එනම් අප්‍රේල් 20 වනවිට ප්‍රතිජනන අගය 2.2 නම් අසම්භාව්‍ය ලෙස වැඩිවෙන අගයක් ලැබේ (මුළු ශ්‍රී ලංකාවේම ජනගහනය). එය විය හැක්කක් නොවේ. එහෙත් ප්‍රතිජනන අගය 1.5 නම් මේ ගණන ලක්ෂ දෙකකට සීමා වේ. නමුත් ඔබ බැලිය යුත්තේ ජර්මනිය දෙසය. දින විස්සේදී ජර්මනියේ එම ආසාදිතයන් ප්‍රමාණය හැත්තෑදහසක් පමණ වේ. ශ්‍රී ලංකාවේ එය අසූදහසත් අනූ දහසත් අතර අගයක් වනු ඇත. ජර්මනියේ මේ ආසාදිතයන් ගණනට සාපේක්ෂව මියගිය ප්‍රමාණය 682 කි. මේ අනුව ප්‍රතිජනන අගය 1.5ටත් වඩා අඩු අගයකි. පහත සඳහන් ඉම්පීරියල් කොලේජ් වාර්තාවෙන් කියවෙන්නේ යයි. එනම් ප්‍රතිජනන අගය, රටක් ගන්නා ක්‍රියා මාර්ග අනුව අවම අගය වන 1.5 ටත් වඩා අඩුවිය හැකිය.
ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ප්‍රමාණයද අප්‍රේල් 20 වනවිට ජර්මනියේ දැනට ඇති ප්‍රමාණය ට වඩා දාහක හෝ දෙදාහකට වැඩි අගයක් ගනු ඇතැයි සිතිය හැකිය.
(එංගලන්තයේ දැනට කිසිම ලෙඩ රෝගයක් කලින් නොතිබූ වයස 19 සිට 45 දක්වා වූ රෝගීන් 13ක් මිය ගොස් ඇත, එක අයෙක් මා හඳුනන අයෙකි.)
මගේ යෝජනාව නම් ශ්‍රී ලංකාව ඉන්දියාවට, මාල දිවයින සහ බංගලා දේශයට දොර වැසිය යුතු බවයි. (සංචාරකයන්ට) දෙවන රැල්ල එන්නේ ඒ පැති වලිනි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර යාත්‍රාව ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගත හැකිය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආදිය ඉක්මනින් ඇඳන් යොදා පිළියෙළ කළ හැකිය. එසේ නොමැති නම් පන්සල් සහ පල්ලි වල ඇති ශාලා රජයට පවරා ගත යුතුය.
මේ දේශපාලන භේද , ආගම් භේද නොතකා එක්වියයුතු අවස්ථාවකි.
එසේම මේ තත්වයට එන්නට නොදී නිවසේ සිටිමින් වෛරසය පැතිරීම වලකා ගත්තොත් මේ කිසිවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් එළඹෙන්නේ ද නැත.
මේ ලිපිය සකස් කිරීමේදී මුලික ලිපි දෙකක් උපයෝගී කර ගතිමි. ඉන් එකක් බේසියන් මොඩලය යොදාගත් ලන්ඩන් ඉම්පීරියල් කොල්ජ් වාර්තාවකි. මේ ලිපි දෙකම මෙහි තිබේ.
-කොළඹ ගමයා