Friday 26 June 2020

බ්‍රිතාන්‍යයේ ආසියානුන් තුන්වන පන්තියේද?


මගේ හොඳ මිතුරකු සහ වරෙක සහෘද බ්ලොග් ලියන්නකුද වූ ජිවන ප්‍රනාන්දු ඔහුගේ ෆේස්බුක් වෝලයේ මෙසේ ලියා තිබුණි. එය ඔහු ලියා තිබුනේ ඔහුගේ මිතුරෙකු වන කොලින් නමැති ලන්ඩනයේ ජීවත් වන මහතෙකුටය.
"ඔබ මට වඩා හොඳින් දන්නවා ආසියානුන්  ඔය රටේ ජීවත් වන්නේ තුන්වන පන්තියේ පුරවැසියන් ලෙස බව "
//'You know more than me, being in a country where most of the Asians are living as third class citizens.'/

ප්‍රථමයෙන්ම කිව යුත්තේ සංචාරක ක්‍ෂේත්‍රයේ වැදගත් රැකියාවක නියුතු මහත්මයෙකු ලෙස ජීවන  විසින් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ යෝජනා ඉදිරිපත් කිරීම මා  අගය කරන බවයි. එසේම ලංකාවට අගෝස්තු පලමුවැනිදායින් පසුව එන සංචාරකයන් ගුවන් තොටුපලේදී වරක්ද , දවස් හතකින් පසු නැවත  වරක්ද  පරික්ෂා  කිරීමේ වරදක්ද  නැත. ඒ අතරතුර සංචාරකයන්ට තමන් කැමති පෙදෙස් නැරඹීමට යා හැකිය. බ්‍රිතාන්‍යයේ දින 14 ස්වයං නිරෝධායනය වීමේ ක්‍රමය සාර්ථක නොවන්නේ මේ නිසාය. කිසිම සංචාරකයෙකු තමන්ගේ සීමිත සංචාරක දින ගණන එක තැනකට කොටුවී  ගත කිරීමට  කැමති වන්නේ නැත. 

නමුත් ඒ අදහස් දැක්වීමේදී ආසියානුන් තුන්වන පන්තියේ පුරවැසියන් ලෙසද හැදින්වීම කොතෙක් දුරට නිවැරදි දැයි විමසීම මෙම ලිපියේ අරමුණයි. 

මගේ පෞද්ගලික අදහස නම් යුරෝපයේ ජාතිවාදී සැලකීම්  අඩුම රටක් වන්නේ එක්සත් රාජධානිය බවයි. මින් අදහස්වන්නේ සුදු ජාතිවාදීන් නැති බව නොවේ. බොහොමයක් උන් තමන්  ජාතිවාදී නම් අවම වශයෙන් ඒ බවක් හඟවන්නේ නැත. බීඑන්පි (බ්‍රිතාන්‍ය ජාතික පක්ෂය)  වැනි පක්ෂ බ්‍රිතාන්‍යයයේ තිබේ. සමහර පක්ෂ හැදී ඇත්තේද  ලංකාවේ මෙන් බොහෝවිට  මුස්ලිම් ආගමිකයන්ට විරුද්ධවය.

එක්සත් රාජධානිය යුරෝපයේ ජාතිවාදය අඩුම රටක් කීවද,එක වතාවක හෝ දෙවතාවක  හැරෙන්නට ජාතිවාදී හැසිරීමකින් මා  ජර්මනියේ දී වුව පීඩා විඳ  නැත. පසුගිය විසිපස් වසර පුරාවට මම සෑම   වසරකටම දෙවතාවක් ජර්මනියේ නිවාඩු යන්නෙමි. ඒ මගේ ජර්මන් ජාතික බිරිඳ ගේ නෑදෑයින් බැලීමට හා නත්තලටය. 
වරෙක 1997 වසරේ ජර්මන් ලුෆ්තන්සා ගුවන් යානයකදී ගුවන් සේවිකාවක්  තෙවතාවක්ම පැමිණ මගේ  බිරිඳ ගෙන් ඇයට වෙනත් අසුනක හිඳ ගැනීමට  අවශ්‍ය දැයි ඇසුවාය. සුදු, රන්වන් හිසකේ හා නිල් ඇස් ඇති යුවතියක් මා  අසල අසුනක හිඳ ගැනීම නුසුදුසු යයි ඈ සිතුවා වෙන්නට පුළුවන. 
ඈ අප අසලට පැමිණි  
ඈ අප අසලට පැමිණි තුන්වන අවස්ථාවේ මගේ බිරිඳ මා දෙසට හැරී  මට කෑමට යමක් අවශ්‍ය  දැයි විමසා ඇගේ  බෑගයෙන් චොකලටයක් මා අත තබා මගේ අත දැඩිව අල්ලාගෙන සිටියාය. අර කාන්තාව නැවත අප අසලට පැමිණියේ නැත. අප ලුෆ්තන්සා ගුවන් යානයකින් අද වෙනතුරුත් කිසිදු ගමනක් ඉන්පසු ගොස් නැත. 







එක්සත් රාජධානියේ ආයතනගත සුදු ජාතිවාදය මෙන්ම තවත් වෙනත් ආකාරයේ ප්‍රශ්නද තිබේ. මම එය ප්‍රතික්ෂේප නොකරමි. විශේෂයන්ම අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයන්, බංග්ලාදේශ සහ පකිස්තානු සම්භවයක් ඇති අයට  හොඳ රැකියාවක් ලැබීමට අනිත් ජන වර්ගයන්ට වඩා අඩු  සම්භාවිතාවක් ඇති බව ට සමීක්ෂණ වලින් සොයාගෙන තිබේ. 
(ඉතා ලාබාල සුදු තරුණියන් සමූහ  වශයෙන් දූෂණය ට බඳුන් කිරීමේ සිද්දීන් කිහිපයක් ප්‍රබල ලෙස වාර්තා වීම  නිසා පකිස්තානු ජාතිකයන් ගේ තත්වය තවත් අසීරු වී තිබේ.)

එය එසේ නමුදු එවැනි අඩුවෙන් සැලකීමේ ක්‍රියාකාරකම් යුරෝපයේ විශේෂයෙන් ප්‍රංශය හා ඉතාලිය වැනි රටවල බහුලය. ඒවායේ හොඳ රැකියාවන් බොහොමයක් සඳහා සුදු ජාතීන්ට ප්‍රමුඛත්වය දෙන බවට සමීක්ෂණ වාර්තා තිබේ.  (මෙය ඒ රටවල සංචාරයේදී මා අත්දුටු තත්වයකි). ජර්මනියේ ඉන්දීය පරිගණක ඉංජිනේරුවන්ට රැකියා ලබාදීම පසුගිය දස වස තුල ඇරඹුණු අතර ජර්මානු  භෂාව කතා කරන ඕනෑම විජාතිකයෙකුට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව දී තිබේ.  

ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන්ට රැකියා ලබා ගැනීමේදී අවහිරතා හා අසාධාරණයන් සිදුවන බවට වාර්තා වී තිබේ.  එසේම ජාතිකත්වය හා කුලයද ඇතැම් අවස්ථාවල රැකියාවේ ඉහලට යාමට බලපාන බව සඳහන්ය.  

 වරෙක 2003 දී පමණ මා  අසලින් කාරයක ගමන් කරමින් සිටි සුදු කොල්ලන් සමූහයක් කියා "පකි " යන වචනයෙන් මා අමතමින් සමච්චල් කළහ.  "පකි " යන වචනය එංගලන්තයේ ආසියාතිකයන් නින්දාවට භාජනය කිරීම සඳහා භාවිතා වන පදයකි. ඒ ගැටවරයන්  ඉංග්‍රිසි ජාතිකයන්ද නැගෙනහිර යුරෝපීයයන්ද යන්න පැහැදිලි නැති අතර ඔවුන් පැමිණියේ අසල තිබුණු රජයට අයත්  (කවුන්සිල් හවුසස් ) නිවාස  පෙළකිනි. මේ  රජයේ තට්ටු නිවාස බොහෝවිට ලබා දෙන්නේ අඩු අදායම් ඇති අයටය. මට සිතෙන්නේ ඔවුන්ට මට තරම්  වරප්‍රසාද නැත්තන් යයි සිතා ඉරිසියාව   ප්‍රමුඛ හැඟීමකින් අපහාස කළ බවය. එවැනි දේ සමහරවිට සිදුවේ.  

මෙය ලිවීමෙන් මේ දිනවල තිබෙන "කළු ජාතිකයන්ගේ ජීවිත වලටද වැදගත් කමක් ඇත " (black lives matter ) ව්‍යාපාරය අවතක්සේරුවට ලක් කිරීමේ අදහසක් මසිත නැත.   කළු ජාතිකයන් ආයතනගත සුදු ජාතිවාදයේ (පොලිසිය වැනි ) ගොදුරු බවට නිරායාසයෙන්ම පත්වන බව රහසක් නොවේ. නමුත් මේ ප්‍රශ්නයේද දෙපැත්තක් තිබේ. 
බ්‍රිතාන්‍යයේ කළු ජාතිකයන් බොහොමයක් අන්ත දුගී බැවින් යුතුව ජීවත් වන්නේ නැත. අප ජිවත්වන එන්ෆිල්ඩ් නගරයේ  ටවර් බ්ලොක්ස් යනුවෙන් හඳුන්වන උස තට්ටු නිවාස රාශියක් ඇත. මේවා අයිති නගර සභාවට හෙවත් ප්‍රාදේශීය කවුන්සිලයටය. ඒ කියන්නේ රජයේ නිවාසය. මේවායේ  කුලිය ඉතාම අඩුය.  කාමර තුනක ගෙයක්  සතියකට පවුම් අසූවක් (මසකට පවුම් 346) පමණ වේ. සමහරවිට ඔබ අඩු ආදායම් ලබන රැකියාවක් ඇත්නම් එයත් ගෙවන්නේ රජයෙන්ය.  ඒ වර්ගයේම පෞද්ගලික නිවාසයක මසක කුලී මුදල පවුම් 1200 පමණ වේ. වෙනස ඔබට වැටහේද? ඒ අතරේම මේ බොහොමයක් නිවාස  අසල 4x 4 ජීප්, ලේක්සස්, BMW, ජගුවාර් වැනි මිල අධික වාහනද දැකිය හැකිය. ඒ කියන්නේ නිත්‍යානුකුල නොවන රැකියා කරන ගමන්, රජයේ ආධාරද ලබා ගැනීමෙන් මොවුන් වැඩි හරියක් ජිවත් වේ. අප වැනි විදේශයකින් පැමිණ මෙහි පදිංචි වී සිටින  බදු ගෙවන්නන් එය ප්‍රශ්නයක්  කර නොගත්තත් මේ රටේ ඉපදුනු සුද්දන්ට එය ප්‍රශ්නයකි. ඔවුහු එය නොඉවසති. ඒ එක පැත්තකි. 
 
එසේම කළු ජාතික ගුරුවරු, වෛද්‍යවරු, විනිසුරුවරු, අධික ලෙස පොහොසත් ගායකයන් හා ෆුට්බෝල් ක්‍රීඩකයන්ද සිටිති. එසේ නම් ඔවුන් කියන ඔවුන්ට එරෙහි  මේ සුදු ජාතික ජාතිවාදය කුමක්ද? අතිශයින්ම පොහොසත් ෆොර්මියුලා එක වේග ධාවන රියදුරු බ්‍රිතාන්‍ය ජාතික ලෙවිස් හැමිල්ටන් තමන්ට ව්‍යංගයෙන් දක්වන ලද  සුදු ජාතිවාදය ගැන මේ ලිපියේ කියා තිබේ. එවැනි දේ තිබේ. දැන් මේවා ලංකාවේ හෝ වෙනත් රටක මිනිසුන්ට සිදුවන අසාධාරනකම් හා සංසන්දනය කර බලන්න.

මා දන්නා පරිදි නම් එක්සත් රාජධානියේ ඇත්තේ පන්ති දෙකකි. පළමුවැන්න නම් විශාල වෙළඳ ව්‍යාපාර හිමි, ඉඩම් සහ ප්‍රාග්ධනය සහිත පන්තියයි. ඔවුන්ට රට පාලනය කිරීම සඳහා සියයට 70 ක පමණ බලයක්ද තිබේ. බොහෝ කොන්සර්වේටිව් මන්ත්‍රීවරු ව්‍යාපාර හිමියන් වෙති. (සමහර කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන්ද ව්‍යාපාර හිමියන්ය)  එසේ නැමති නම් ව්‍යාපාරයක් හෝ රදළයන් හා  සම්බන්ධතාවයක් කොහෙන් හෝ ඇත. එනිසා මේ පන්තියට බ්‍රිතාන්‍යයේ වෙසෙන රැජින , ඇගේ නෑයන්  හා රදළ පෙළන්තියද අයත්ය. 

ඉතිරිව සිටින ජනතාව සිටින්නේ මේ ධනය, බලය 
සහිත පෙළන්තියට අයත් නැති පංතියේය. දකුණු ආසියානු වේවා හෝ නොවේවා අප  සිටින්නේ මේ පංතියේය. ජීවනට වැරදුන තැන මෙය විය හැකිය.  මට මෙයට නිර්ධන පන්තිය  හෝ කම්කරු පන්තිය කියා නමක් පැටලවීමද කල නොහැකිය. බ්‍රිතාන්‍යයේ මේ පන්තියට හොඳ රැකියා වලින් මුදල් උපයා ගත් , හෝ සුළු ව්‍යාපාර මගින් යම් මුදලක් උපයාගෙන රජයත් සමාජයටත් බරක් නොවී ජීවත් වන ජනතාවද  ඇතුලත්ය. මේ අයට තමන්ගේ නිවසක් දෙකක්ද හිමිය.  මෙසේ නිවෙස් හිමි, වාහන කිහිපයක් හිමි හොඳ ආදායමක් ඇති සමාජවාදීන් ද (වාමාංශික යන්ද) බ්‍රිතාන්‍යයේ  ජිවත් වෙති. මේ පන්තියේ පහල ස්ථරයට  ලඟදි රටට සංක්‍රමණය වී දේශපාලන අනාථ භාවය  ලද අය , වීසා නොමැතිව ජිවත් වන  අය හා , සුළු රැකියා කරන ලංකාව වැනි රටවලින් පැමිණි සිසුන්ද, සංචාරක  වීසා වලින් මාස හයකට හෝ අවුරුද්දකට ලංකාව , ඉන්දියාව වැනි රටවලින් පැමිණ හොරෙන් රැකියා කරණ අයද ඇතුලත්ය.
ඉදින් මේ සියල්ලෝම ජීවනගේ ආසියානු තුන්වන  පන්තියට දැමිය හැකිද?

නැතිනම් ජීවනට අර සංචාරක වීසා වලින් පැමිණ හොරෙන් වැඩ කර, කෝවිඩ් වසංගතය නිසා  ලක් රජයේ පිහිටෙන් ලංකාවට  පැනගත් අයෙකු හමුවීද ?

මා සිතන්නේ ජීවන ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයට පැමිණ සුදු ජාතික (බහුතරය ඉංග්‍රීසි ) කම්කරු පන්තියේ ජනතාව වෙසෙන පෙදෙස් වල සුළු සංචාරයක් කල යුතු බවයි. ඔවුන් ගෙන් බහුතරයක් ජීවත් වන්නේද අර මා කලින් සඳහන් කල පන්නයේ රජයට අයත් නිවාස  වලය. ඔවුන්ට ඇති  රැකියා අවස්ථා ද අවමය. බොහෝ අය හොඳින් ඉගෙන ගෙන නැති නිසා හෝ එක දක්ෂතාවක් ඇති රැකියාවක පමණක් නිරත වීම නිසා හෝ බොහෝ විට රැකියා විරහිතවූවන්ය.   අසූ ගණන් වල අගමැතිනි මාග්‍රට් තැචර් විසින් ගල් අඟුරු ආකාර වසා දැමීමේදී , බොහෝ රාජ්‍ය ආයතන (ජලය, විදුලිය , දුම්රිය) පෞද්ගලික ව්‍යවසායකයන්ට භර දීමේදී රැකියා අහිමි වුනු පිරිස් ද මෙයටම ඇතුලත් කරමි.  (ඔවුන් නම් දැන් වයස්ගතය) සමහරුන් බ්‍රිතාන්‍ය  කම්කරු පක්ෂයේ යාවජීව  සාමාජිකයන්, හිතවතුන් සහ ආධාරකරුවන්ය. නැගෙනහිර යුරෝපීයයන් රැකියා ලබා ගන්නවාට  විරුද්ධව යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ඡන්දය දුන් අයගෙන් බහුතරයක් ද මොවුන්ය. මා එසේ කීවද බ්‍රිතාන්‍යය යුරෝපයේ  අඩුම රැකියා විරහිතයන් සංඛ්‍යාවක් ඇති රටකි. (එම සංඛ්‍යාව සියයට 4.5 කි)

අවංකවම මා මිතුරු ජීවන සිතන්නේ ලංකාවේ පන්ති පරතරයක් හෝ වෙනයම් පරතරයන් නැතැයි කියාද ?

ශ්‍රී ලාංකිකයෙකුට අවම වශයෙන් සාමාන්‍යයෙන්  හොඳ  තත්වයේ   වාහනයක් මිලදී  ගැනීමට පවා නොහැකිය.  ඔවුන්ට  ලක්ෂ 15 සිට 30 දක්වා   මුදලක් වියදම් කලත් මිලදී ගත හැක්කේ  ඉතා පරණ වාහන පමණි. නමුත් ආසියාතික අපට හෝ වෙන ඕනෑම අයෙකුට සුඛෝපභෝගී වාහනයක් අර මුදලට ගත හැකිය. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්, රදළයන් ලෙස හැසිරෙන  රාජ්‍ය නිලධාරීන්, රජයේ ඉංජිනේරුවන් , දොස්තරවරු , පලාත් සභා මන්ත්‍රීන්, පූජක පක්ෂයේ ඇතැමුන් හට පර්මිට් එකකට වාහන අඩු මුදලට අඩු බදු ගෙවා ගෙන්විය හැකිය. ඉන්පසු අධික  ලාභයක් උපයා  ගනිමින් ඒවා සාමාන්‍ය දෙවන පන්තියේ අප්පුහාමිලා ට විකිණීමද කළ හැකිය.   මේ කෙතරම් අසාධාරනයක්ද? එක්සත් රාජධානියේ සුදු ජාතිකයෙකු හෝ රජය ආසියානුන් හොඳ  වාහනයක් ගත්තාට , නිවසක් මිලදී ගන්නවාට  , නිවාඩුවක් යනවාට  විරුද්ධ වන්නේ නැත.  

නිවාස,වාහන, රැකියා,  මුදල් ඉපයීමම  පමණක් නොවේ. මේ රටවල ආසියානුන්ගේ සංස්කෘතික ජිවිතයට සුද්දන්ගෙන් ප්‍රශ්න තිබේද? මෙහි ඇති පන්සල්වල කටින පින්කම් පෙරහැර යන්නේ සුදු හෝ  කළු හෝ දුඹුරු  හෝ වේවා බෞද්ධ නොවන මිනිසුන්ගේ ගෙවල් පසු කරගෙනය. කවුරුන් හෝ ගලක් ගසා  තිබේද? සීක් මිනිසුන්ගේ උත්සව, ඊස්ට් හැම් වැනි පැතිවල දෙමළ  රදම් සැණකෙළි පෙරහැර නිදහසේ යන්නේ කෙසේද? සමහර විට පාරවල් වසාගෙන ඒ මිනිසුන්ගේ දෛනික ජිවිතයටද බාධා කරගෙනය. මේ මිනිසුන්  ඒවා ඉවසති.   
මගේ සමහර ඉංග්‍රීසි ජාතික මිතුරන් 2004 සුනාමි අවස්ථාවේ ලංකාවට  උදව් කල අයුරුද මට තවමත් මතකය. 

නමුත් ආයතනගත ජාතිවාදය නැතැයි මා කියන්නේ නැත. බොහෝවිට එතරම් අත්දැකීම් නොමැති  තරුණ වියේ නොමේරූ සුදු ජාතිකයන් ආසියානුන්ට පමණක් නොව කළු අප්‍රිකානු ජාතිකයන්ටද අපවාද කරන අවස්ථා තිබේ. සමහර විට සුදු ජාතිකයන් පහසුවෙන් එන රැකියාවකට ආසියාතිකයෙකුට වැඩි සහතික ප්‍රමාණයක්, අධ්‍යාපන සුදුසුකම් ප්‍රමාණයක් පෙන්වීමට අවශ්‍ය වෙන අවස්ථා  තිබේ. සුදු ජාතිකයන් ජ්‍යෙෂ්ඨයන් වී සිටින තැන්වල කළමණාකරන හා අධ්‍යක්ෂක  ශ්‍රේණියේ  ස්ථාන සුළු ජාතීන්ට දීමට මැලිවන අවස්ථා තිබේ. මේ වැනි අවස්ථා වලට මුහුණ දුන් බොහොමයක් සුළු ජාතීන්  කම්කරු අධිකරණයට ගොස් රැකියා ආයතන වලට එරෙහිව නඩු දමා  වන්දි ඉල්ලති. එවැනි සාධාරණ අයිතීන් ඉල්ලා සටන් කිරීමට ඉඩ ප්‍රස්තා තිබේ. ශ්‍රී ලංකාවේ එවැනි තත්වයක් තිබේදැයි මම නොදනිමි. ඕනෑම දේශපාලකයෙකුට රැකියා සඳහා බලපෑම් කළ හැකි රටක එවැන්නකට හැකියාවක් ඇත්දැයි නොදනිමි.

මා මිතුරු නන්දන වීරරත්න මහතා බිබීසී ආයතනයේ ආයතනගත ත්‍රස්තවාදයට විරුද්ධ නඩු දැමූ අයෙකි. ඔහු නඩුවෙන් දිනුවේ නැත. ඒ සුදු ජාතිකයන්ගේ පාර්ශ්වීය ගතිය නිසාදැයි නොදනිමි. එහෙත් එවැනි නඩු වලින් ජයගෙන වන්දි මුදල් ලැබූ බොහෝ අය සිටිති.  අවසාන වශයෙන් කිව යුත්තේ ප්‍රශ්න තිබුනද ආසියානුන් සිටින්නේ  ජීවන තමන්ගේ සිතේ මවාගත් තුන්වන පන්තියක පමණි. එය සැබෑ තත්වය නොවේ. 

කාටුනය - අවන්ත  ආටිගල 
https://quantumchecks.blogspot.com/2020/06/are-we-in-uk-third-class-citizens.html

ජිවනගේ කොමෙන්ටුව;
Collins Delwita, ඔබ වැන්නකු  මාගේ පාසල් සගයකු වීම සම්බන්දව   මට මා ගැනම ලැජ්ජාවක් ඇති බව පලමුව කිව යුතුයි. 
කොරෝනා වසංගත තත්වයට මුහුන පා මාස තුනක පමන කාලයක් මුළුල්ලේ විනාශවූ අප රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කර, මේ වනවිට අවදානමට ලක්වී ඇති සංචාරක ක්ශේත්‍රයේ ඍජු සහ වක්‍ර රැකියා සහ ආදායම් නැවත ප්‍රථිස්ථාපනය මේ වනවිට අපගේ මූලික අරමුන බවට පත්ව ඇත. නමුත් අප රටේ වෙසෙනා සාමාන්‍ය ජනයාගේ සෞඛ්‍යය සහ ආරක්ශාව සංචාරක කර්මාන්තය වෙනුවෙන් පාවාදීමට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කිසි ලෙසකින් වත් අප කටයුතු කරන්නේ නැත. ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය තවමත් මැඩ පවත්වා නොමැති සංදර්භයක් තුල ශ්‍රී ලංකාවට පැමිනෙන සංචාරකයන් සඳහා දැඩි මෙහෙයුම් මාලාවන් සංචාරක බලධාරීන් සහ රජය මගින් හඳුන්වා දී තිබෙනුයේ රටේ ජනතාවගේ  ආරක්ශාවට බව කිව යුතුය. ආසියානුතිකයෙන් බොහෝමයක් තුන්වන පන්තියේ පුරවැසියෙකු ලෙස ජීවත් වන රටක වෙසෙන ඔබ, එරටට විදේශීය රටවලින් පැමිනෙන පුද්ගලයින් දින 14 ක කොරන්ටයින් කාලයකට යටත් බව අනිවාර්යයෙන් දන්නේ යැයි සිතමි. නමුත් එවන් රෙගුලාසි අප රටෙන් පනවා නැත. නමුදු අප විසින්, සංචාරකයන් සාමාන්‍ය ජනතාව සමග මුහුවීම වැලැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතය  සංචාරකයන්ට වලක්වා ඇත.  සංචාරකයන් මගින් කොවිඩ් අවදානමක් ඇතිවුවහොත් අදාල සමූහයන්  (Clusters) හඳුනාගැනීමේ අත්‍යාවශ්‍යතාව මත එම තීරනය  සංචාරක බල්ධාරීන් ගෙන ඇත. ඔබ විසින් හාස්‍යයට ලක් කර දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරන්නේ  රටේ ජනතාව  වෙනුවෙන් අප රටේ රජය විසින් ගත්තාවූ එම ධනාත්මක තීරනයටයි. ‍ ඔබගෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටිනුයේ ඔබගේ දේශපාලන මතය කුමක් වුවද අභිමානවත් ශ්‍රී ලාංකිකයකු ලෙස සිතීමට නැවතත් උත්සහයක් දරනා ලෙසයි. තවද ශ්‍රී ලංකාවේ වෙසෙනා කිසිවකුගේ බලල් අතක් නොවෙනා ලෙසද ඉල්ලා සිටිමි. ස්තූතියි.  තෑංක්‍යූ. නංඩ්‍රෙයි
 මගේ ප්‍රතිචාරය 
Ajith Dharmakeerthi
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ යෝජනා ඉතා හොඳ බවයි මගේ පෞද්ගලික අදහස. ලංකාවේ මුදල් ගෙවා කෝවිඩ් පරීක්ෂණය කර යන්න දෙනවා ඕන තැනකට. දවස් 7 කට පස්සේ නැවතත් එකක් කරන්න ඕනේ. ඒකෙ වරදක් මටනම් පේන්නේ නෑ. එසේම කෝවිඩ් සම්බන්ධයෙන් ක්‍රියා කරපු විධිහ විශිෂ්ටයි සෞඛ්‍ය සේවය සහ හැමෝම. බොරිස් ජොන්සන් ගේ බ්‍රිතාන්‍ය රජය නම් නාගෙන ඉන්නේ කොවිඩ් 19 නිසා. දවස් 14 ස්වයං නිරෝධායනය ගෙදර ඉඳන්. හැබැයි ක්‍රියාත්මක කරන්නේ ඇප් එකකින්. ඉතින් ඇප් එකේ ගෙදර ඉන්නවා කියල දාල මොබෞයිල් එක ගෙදර තියල ඕන තැනක ගියහැකි. අන්තිම අසාර්ථකයි. හැබැයි ඉතින් මේ දකුණු ආසියාතික යෝ තුන්වන පන්තියේ හැටියට ඉන්න එක ඇත්තද මන්ද? මෙහෙ අභ්‍යන්තර හා පොලිස් කටයුතු ඇමති ප්‍රීති පටෙල් ඉන්දියානු සම්භවයක් ඇති කෙනෙක්. එතකොට ආලෝක ශර්මා වෙළඳ ඇමති ඉන්දියන්. ඒ පැත්තෙන් ජිවන ලංකාවේ පන්ති භේදය මිට වඩා දරුණු නැත්ද? මෙහෙ නැහැයි කියන්නේ නැහැ. නමුත් සාපේක්ෂව යුරෝපයේ හොඳම රටක් ඒ පැත්තෙන්.


Jeevana Fernando
ප්‍රීති පටෙල් ට වඩා ගොඩක් ලොකුයි නේද බැරක් ඔබාමා.
 
Ajith Dharmakeerthi
ඉතින් ඒකෙන් මොකද්ද ඔයා කියන්න හදන්නේ . ඇමරිකාවේ වහල් ක්‍රමය නිසා ඇතිවුන ප්‍රශ්න තවම තියනවා. ඒවා නිරාකරණය වෙලා නැහැ. නමුත් ඇමරිකාවේ හැම කළු ජාතිකයෙකුටම එහෙම සලකනවද නැත්නම් කළු ජාතිකයන් හා පොලිසිය සමග ප්‍රශ්නයක්ද? ලංකාවෙත් දෙමල හා මුස්ලිම් මිනිසුන් සම්බන්ධව එහෙම ප්‍රශ්න තියෙනවා. නමුත්ලංකාවේ හැම සිංහලයෙක්ම ජාතිවාදීද ස? බ්‍රිතාන්‍යයේ රැකියා සම්බන්ධව ප්‍රශ්න තියනවා, පකිස්තානු හා කළු ජාතිකයන්ට අවස්ථා අඩුයි. හැබැයි එක වෙනම ක්ලාස් එකක් කියන්න සාක්ෂි නැහැ.


එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග සම්බන්ධතාවයක් නැත. එහෙත් බොහෝ අය නොදන්නවා වූවාට හෝ ඕනෑ කමින් අමතක කළාට  පෙරටුගාමී නම් මුලින්ම භාවිතා කලේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයයි.

43 comments:

  1. සංචාරකයෙක් වශයෙන් විවිධ අවස්ථාවල ඉන්ගලන්තයේ, ස්කොට්ලන්තයේ සහ වේල්සයේ (මුලු එකතුව මාස 6ක් විතර) ගතකරපු හා බ්‍රිතාන්‍ය ජාතිකයින් එක්ක සෑහෙන්න කතා කරපු කෙනෙක් විදිහට මට නම් පෙනුනෙ බොහෝ අවස්ථාවල ඔය ප්‍රශ්නයට භාජනයවෙන්නා සහ එය ඇතිකරන්නා ගේ මානසිකත්වය, ආර්ථික මට්ටම, අධ්‍යාපනය හා මානසික සෞඛ්‍යය මත වෙන දෙයක් මිස දේශපාලන, සමාජයීය හෝ ආයතනික දෙයක් නොවන බව.

    ලංකාවෙත් තග්ස්ලගෙන්, බීපු මිනිස්සුන්ගෙන්, හෝ ඊරිසියාකාරයින්ගෙන් ඔවුන්ට වෙනස් මිනිස්සුන්ට හිරිහැරවෙනවා, විශේෂයින්ම ඔවුන්ට නැති දේ ලබා ගන්නා අයට.

    අනිත් එක පාරෙ යනකොට වීඅයිපී වාහනවලින්, උත්සවවලදී දේශපාලකයින්ගේ සගයින්ගෙන්, රජයේ කාර්‍යාලවලදී අපිට තුන්වන පංතියේ සැලකිලි ඕනෙ තරම් ලැබිල තියනව. ඒවා ආයතනික, සමාජයීය මට්ටමේ භේදවාදයක්නෙ, ඉන්ගලන්තෙ බේබද්දෙක්ගෙන් හෝ මුඩුක්කුකාරයෙක්ගෙන් වෙන නින්දාවලට වඩා දරුණුයි ඒ තත්වය.

    (ප.ලි. පුද්ගලිකව අත්දැකපු හා හිතුනු දේ කිව්වෙ. මං සමාජ විද්‍යාඥයෙක් නෙමෙයි. )

    ReplyDelete
    Replies
    1. සමාජ විද්‍යාඥයෙකු වෙන්නම ඕනේ නැහැ. ඔයා ඇවිත් මෙගේ ගෙදර නතර වෙලත් හිටියනේ. මම එහෙම තුන්වන පන්තියක ඉන්නවා වගේ පෙනුනද? රැකියා ස්ථානයටත් ආවනේ ? ඒ වගේම වෙන තැන්වලත් නතර වුනා නේ. ඔබේ අදහසට මම එකඟයි

      Delete
    2. නතරවෙන තැන්වලටත් වඩා තනියම නගරවල පොඩි පාරවල්වල, ෆාම්වල, ගම්වල ඇවිදල කතාකරනකොට තේරෙනවා සාමාන්‍ය බහුතරය බොහොම ආචාරශීලී කියල. අනිත් එක කලු දුඹුරු අයගෙන් සමහරක් බොහොම වර්ණ හා වර්ග බේදවාදීයි සුද්දන්ට ඒ ගැන බනින ගමන්. කහ අය ගැන මට පුද්ගලික අත්දැකීම් නෑ

      Delete
    3. කහ කිව්වේ චයිනිස් අයටද

      Delete
  2. //බංග්ලාදේශ සහ පකිස්තානු සම්භවයක් ඇති අයට හොඳ රැකියාවක් ලැබීමට අනිත් ජන වර්ගයන්ට වඩා අඩු සම්භාවිතාවක් ඇති බව ට සමීක්ෂණ වලින් සොයාගෙන තිබේ//

    ලින්ක් එකක් දමන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. https://www.ethnicity-facts-figures.service.gov.uk/work-pay-and-benefits/employment/employment-by-occupation/latest

      Delete
    2. මේක දැම්ම එක හොඳයි. පින්තුරයකුත් දැම්ම

      Delete
    3. සොරි ඇහුව එක හොඳයි

      Delete
    4. //එක්සත් ජනපදයේ ආයතනගත සුදු ජාතිවාදය මෙන්ම තවත් වෙනත් ආකාරයේ ප්‍රශ්නද තිබේ. මම එය ප්‍රතික්ෂේප නොකරමි. විශේෂයන්ම අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයන්, බංග්ලාදේශ සහ පකිස්තානු සම්භවයක් ඇති අයට හොඳ රැකියාවක් ලැබීමට අනිත් ජන වර්ගයන්ට වඩා අඩු සම්භාවිතාවක් ඇති බව ට සමීක්ෂණ වලින් සොයාගෙන තිබේ. (ඉතා ලාබාල සුදු තරුණියන් සමූහ වශයෙන් දූෂණය ට බඳුන් කිරීමේ සිද්දීන් කිහිපයක් ප්‍රබල ලෙස වාර්තා වීම නිසා පකිස්තානු ජාතිකයන් ගේ තත්වය තවත් අසීරු වී තිබේ.)//

      උඩ ලින්ක් දමා තිබෙන සමීක්ෂණ සියල්ල එක්සත් රාජධානිය හා අදාළ ඒවානේ. එක්සත් රාජධානිය හා අදාළව මෙවැනි තත්ත්වයක් තිබෙන බව මම දන්නවා. නමුත්, ඔබ ලියලා තියෙන්නේ එක්සත් ජනපදය ගැනනේ. මම දන්නා තරමින්නම් බංග්ලාදේශ සහ පකිස්තානු සම්භවයක් ඇති අය හා අදාළව එක්සත් රාජධානියේ ඇති ආකාරයේ ප්‍රශ්නයක් එක්සත් ජනපදයේ නැහැ. පොදුවේ ආසියානු ඇමරිකානුවන්ගේ විරැකියා අනුපාත සුදු ඇමරිකානුවන්ගේ මට්ටමටත් වඩා ගොඩක් අඩුයි. සාමාන්‍ය ආදායම් මට්ටම වැඩියි. දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රතිශතය සුදු ඇමරිකානුවන්ගේ මට්ටමට අඩුයි. මම එක්සත් රාජධානියේ වගේම එක්සත් ජනපදයේත් විරැකියා අනුපාත ඇතුළු ශ්‍රම වෙළඳපොල සමීක්ෂණ දත්ත සෑහෙන තරමකින් අධ්‍යයනය කර තිබෙන නිසා මට මේ ගැන කුතුහලයක් තිබෙන නිසයි ඇහුවේ. ඔබ එක්සත් ජනපදයේ වාසය කරන බංග්ලාදේශ සහ පකිස්තානු සම්භවයක් ඇති අය පිළිබඳ සමීක්ෂණ දත්ත පරිශීලනය කරලා තියෙනවද? එසේනම් ඒ කවර සමීක්ෂණද? එසේ නැත්නම් එක්සත් ජනපදය කියා ලියා තිබෙන්නේ වැරදීමකින්ද?

      Delete
    5. සමාවෙන්න වැරදීමක්. මම එක්සත් රාජධානිය කියල ලියන්න ගිය එක ලියවිලා තියෙන්නේ එහම. ඇමෙරිකාවේ දත්ත මම බලල නැහැ

      Delete
    6. ඒක වහාම හැදුව. නිරීක්ෂණය කලාට ස්තුතියි

      Delete
    7. BTW this is the American data it seems. 2.7% Anyway I was not talking about USA here at all.
      https://www.bls.gov/web/empsit/cpsee_e16.htm

      Delete
    8. No problem. Yes, BLS data are correct and official. The unemployment rate among Asian Americans, as a fact, is consistently lower than the rate for all other ethnic groups living in the US. This doesn't necessarily mean a favorable racial bias but the higher average education level. For the same reason, higher unemployment rates among some other groups also do not necessarily imply any unfavorable racial bias but the lower average education level. Thanks for correcting the mistake.

      Delete
    9. මේකත් කියවන්න. මම දායක උන අධ්‍යයනයක්. අවුරුදු 10 ක් පරණයි ඒ උනත් ගොඩක් දේවල් අදටත් වලංගුයි.
      https://mafiadoc.com/download/closing-the-ethnic-employment-gap-in-the-north-_5b87c0bf097c4723588b4769.html

      http://usir.salford.ac.uk/id/eprint/1948/2/Pages_from_ECE_book_V9-2.pdf

      Delete
    10. Thanks, Kandyan! Looks interesting. I'll read leisurely.

      Delete
    11. කැන්ඩියන් ඔබේ යොමුවට බොහොම ස්තූතියි .මා එය කියෙව්වා. හොඳ පර්යේෂණාත්මක ලිපියක්. සමස්තයක් වශයෙන් BAME අයට, සුදු අයට වඩා දෙගුණයක් අපහසුයි හොඳ රැකියාවක් හොයා ගන්න . ඒක අඇත්තක් හැටියට මමත් හිතනවා. ඒ වගේම අපට උපාධිය අවශ්‍ය වෙන විට සුදු අය උපාධි නැතිව experience එකෙන් පමණක් රස්සාවට එන අවස්ථා තිබෙනවා. එසේම රැකියා අවස්තා බැලීමේදී අපට තිබෙන්නේ වෙනත් ස්කිල් සෙට් එකක් නම් අපට රැකියාව ලැබෙන්න තිබෙන අවස්ථා වැඩියි. කොටිනම් හැමෝම කරන එක කරලා වැඩක් නැහැ. අපේ කොම්පැනියේ ප්රෝග්රමින් රැකියා වලට ලංකාවේ බ්‍රාන්ච් එකේ 25 ඉන්නවා. හේතුව මෙහෙ එවැනි ස්කිල් සෙට් ලෙහෙසියන් හොයා ගන්න නැති නිසා. මට වුන අසාධාරණයක් තමා නම දිග වැඩි වීමෙන් ඉන්ටවිව් වලට කතා නොකිරීම. මම නම ධර්ම කියල කොට කරලා සීවී යවන්න ගත්තට පස්සේ ඉන්ටවිව් ප්‍රමාණය හතර ගුණයකින් වැඩිවුනා. ඒ වගේ දේත් බලපානවා.

      Delete
    12. බොහොම ස්තුතියි comment එකට. මෙවැනි පර්යේෂණ අධ්‍යයන කිහිපයක්ම කරලා තියෙනවා පහුගිය කාලෙ. එක් හොඳක් තියෙන්නෙ, ඒ කරපු අධ්‍යයන වල යෝජනා ඒ වකවානු වල රජයේ සහ අදාල ආයතන වල ප්‍රතිපත්ති වලට ඇතුලත් කරලා ක්‍රියාත්මක කලා. විශේෂයෙන්ම factor intensity matrix (traffic light method) එක EU එකේ සමහර ආයතන යොදගෙන තිබුනා. අනික මේ රිසර්ච් කරද්දි හැම ජාතින් වල අය ඉන්ටර්විව් කරලා ගත්ත තොරතුරු ඇතුලත් කරලා තියෙනවා.

      ඉකොනොමැට්ටා Economatta - Thanks. I hope you will find these papers interesting!

      Delete
    13. ඒක කොච්චර දෙයක්ද? අනන් ඒකත් වැදගත්. මේ රටේ ආයතන වලින් ප්‍රශ්නයක් පෙන්වල දුන්නහම යට ගහන්නේ නැතිකම. යුරෝපය වුනත් ඔයතරම් ජාතිවාදී කියල මම හිතන්නේ නැහැ. රැකියා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට වැඩ ඔවුන් දැඩියි. තම රටේ භාෂා ව කතා කරන්නේ නැත්නම් රස්සා ලැබෙනවා අඩුයි . ඔබේ නම් මා ලින්ක්ඩ් ඉන් එකෙන් දුටුවා. ඉදිරි කටයුතු වලට ජය පතනවා

      Delete
    14. ඇත්ත. භාෂාව හරියට දන්නෙ නැත්නම් කවුද රස්සාවක් දෙන්නෙ? හැම රටේම එක එක අන්තගාමී නිනිස්සු ඉන්නවා. ඒක කොයි රටටත් පොදුයි. ලංකාව ගත්තහම මිනිස්සු ප්‍රසිද්ධියේම ජාතිය, කුලය, ආගම, පාට, ඉගෙන ගත්ත පාසැල, විශ්ව විද්‍යාලයට ගිය අය නොගිය අය, අවුරුදු තුනේ ඩිග්‍රිය 4 ඩිග්‍රිය, පිටරට ඩිග්‍රිය ලංකාවේ ඩිග්‍රිය, රස්සාව, තව බොහොමයක් පුහු දේවල් මත එකිනෙකාට ගරහන අවස්ථාවන් එමටයි.
      ඔව් ඔබ ඇවිත් ගිය බව දුටුවා. ආවටත් ඒවගේම සුභපැතුමටත් ස්තුතියි. ඔබටත් ජය...තවත් කාලයක් ලිවීමට ධෛර්යය ශක්තිය ලැබේවා...

      Delete
    15. ස්තුතියි ඔබට

      Delete
  3. එවකට සෝවියට් රුසියාවේ මෙවැනි බේදයක් තිබුනද අජිත්? දැන් නම් එවැන්නක් තියෙනවා කියලා මා බිබිසි වාර්තාවක දුටුවා.

    ReplyDelete
    Replies
    1. මම සෝවියට් දේශයේ දෙවතාවක් ජාතිවාදය වැනි යමක් අත්දැක තිබෙනවා. මොස්කව් වලින් ඈත ගමක රුසියානු තරුණියක (පන්තියේ උගත්) ගේ නිවසකට ගොස් එමින් ගමනක දී බී මත් රුසියානුවන් දෙදෙනෙක් කෑ ගහගෙන ගහන්න ආව. අර උද ප්‍රගීත් ලියල තියනවා වගේ ඒකනම් . දෙවැන්න ජෝර්ජියාවේදී . ඒ රටේ ජෝර්ජියාවේ මිනිස්සු අපේ සිසුන්ට හොඳින් සැලකුවා . නමුත් ඔවුන්ගේ කෙල්ලක් දිහා හරි බැලුවොත් , ගහනවා , මරනවා. කළු හම ඇති අප්‍රිකානු සිසුන් යවපු වෙලේ ඔවුන්ගෙන් කෙනෙක් ජෝර්ජියන් කෙල්ලෙක් එක්ක යද්දී මරල සෝවියට් ආණ්ඩුව ඉන්පසු කළු අය යැව්වේ නැහැ ජෝර්ජියාවට. අපේ සිසුන්ට අර්මෙනියාවේ ඉරිවාන් නගරයේදී කෙළ ගහල තිබෙනවා. ඒ නොදත් කමට වගේ මටනම් හිතෙන්නේ. නමුත් පොලිසියට ගියොත් සිසුන්ට සහය වැඩියි. මොස්කව් සහ රුසියානු නගරවල් තිබ්බෙම නැහැ. මම රෑ එකට අන්තිම දුම්රියේ නවාතැනට ඇවිත් තිබෙනවා. නමුත් රුසියානුන් යුදෙව්වන්ට සහ චිචෙන් වැනි මුස්ලිම් සමුහාණ්ඩු වලින් ආපු අයට කැමති නැහැ, මගේ ප්‍රථම ප්‍රේමය පොත කියෙව්වා නම් ඔබට තේරෙයි ඇයි කියල. රුසියානු තරුණියන් ඔවුන් නිතරම පැහැර ගන්නා තත්වයක් තිබුන. යුදෙව් සෝවියට් අය හුඟක් බිස්නස් කරපු අය හොරෙන් පවා. ඊට අමතරව යුදෙව් විද්‍යාඥයන් ව නිතරම් සැක කළා කියලත් හිතනවා. සෝවියට් දේශය වැටෙන කොට මුලින්ම රටින් ගියේ සෝවියට් යුදෙව්වන්.

      Delete
    2. දැන් නොව සෝවියට් දේශය වැටුණු අවධියේ රුසියානුන් දැඩි දිළිඳු භාවයකට ඇද වැටුන. එවිට වෙනත් සෝවියට් සමුහාණ්ඩු වලින් පැමිණි අය පහර දීම් වලට ලක්වෙලා තිබෙනවා. කළු අය සමගම. මටත් වරක් රුසියානුවෙක් කෑ ගහගෙන පැමිණිය 1994 ගිය වෙලේ. පසුව ශ්‍රී ලංකාවේ කියා දැනගත් පසු හිතවත් වුනා. දැන්නම් එතරම්ම නැති වුනත් කළු අයට කැමති නැති බවක් පේනවා. මම 2016 ගියවෙලේ කළු හම ඇති කිහිප දෙනෙක් දුටුවා. නමුත් එතරම් නැහැ. ඔවුන් එන්න දෙන්නේ ඉගෙන ගන්න අයට පමණයි. රටේ පාලනය තද නිසා වෙන්න ඕනේ අපටනම් ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ. පූටින් ට බයයි.

      Delete
  4. විමුක්ති සන්නන්ධ අරගලයකින් කළු ජාතිකයන් තමන්ගේ සටන ජය ගත යුතුයි. ඇමරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තය සන්නද්ධ අරගලයකින් අත්පත් කරගත යුතුයි. වෙනම රටක් ලෙස ප්‍රකාශ කර යුතුයි. විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ පුහුණුව සහිත කාඩර්වරුන් ඒ සදහා සිය සහය කළු ජාතියකයන්ගේ අරගලයට ලබා දිය යුතුයි.ඉන්දීය හමුදාවේ මර්ධනයට එරෙහිව සටන් වදිනා කාශ්මීර විමුක්ති සන්නන්ධ අරගලයේ විමුක්තිකාමීන්ද මේ මොහොතේ සිය සහය කළු ජාතිකයන්ට ලබා දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකාව වැටෙන්නේ ඇතුළෙන්ම තමයි

      Delete
  5. එක්සත් රාජධානියේ තියෙන පංති වෙනසත් ජාතින් අතර ඇති වෙනසත් දැනගන්න ඒ සමාජයේ ඇතුලාන්තයේ ජීවත් වෙන ඕන.

    ReplyDelete
  6. මම දැනට ජීවත් වෙන්නේ නුවර අවට උප නඟරයක මෙහි තවම යටින් දුවන කුළ බේදය කියනවා, පහත් කුලයේ යයි සම්මත ගමත ජීවත් වන ඉතා දක්ෂ විදුහල්පතිවරයකුට මෙහි ප්‍රධාන පාසලේ ලද මාරුවට විරුද්ධව උද්ගොෂණයක් සංවිධානය කලේ නම්බුකාර වාසගම් ඇති ගුරුවරුන්, එවැනිම දෙමාපිය පිරිසක් එයටම එක්වූ අතර පංසලේ හාමුදුරුවෝ එය උසිගන්වා තිබූ නේ අඩු කුලේ උන්ට අපේ දරුවන්ට ගහන්න ඉඩ හරන්න බෑ කියා, දේශපාලන සහය ඇතිව ඔහුගේ පත්වීම නවත්වන තුරු ලොග් පොතේ අත්සන් කර වැඩ බාර ගැනීම වැලැක්වීමට ලොග් පොත සඟවා තැබීමට මුල්වී තිබුනේ ප්‍රදේශයේ අධ්‍යන්ෂක වරයා, මා දන්නා තරමින් නම්බුකාරයය සම්මත ලස්සන වාසගම් නැති විදායක මට්ටමේ කිසිදු රජයේ නිළධාරියකු මෙම උප නඟරයේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇණයා මම ඔන්න ඕක මතක් කලේ ඒකයි . තවමත් තමන්ගේම රටේ මිනිසුන්ට මෙහම සලකන තත්වයක් තියෙද්දී පිටරටවලට ඇඟිල්ල දිගු කරන එක සාධාරණ නැහැ. ඕකට දේශපාලන සහයත් ලැබෙන එක තමයි දරුණුම තත්වය

      Delete
  7. මම මොස්කව් වල හොස්ටල් එකක් කිට්ටුව පාළු පාරකදී වරක් ලේ හැලෙන තුරු ගුටි කෑවා, ගහ ගහ බක්ස් ඉල්ලුවා, ඊට සතියකට පසු බීපු මිලිෂියා කාරයෝ ජීප් එකකට බලෙන් නංගගන ඩොලර් ඉල්ලුවා, ඒ යෙල්සින් ගේ කාලයේ. ඊට පෙර වෙනත් තනියම හෝ කෙල්ලන් සමඟ රෑ පාළු පාර වල බොහෝ වරක් ගොස් ඇති නිසා සැකයක් තිබුනේම නෑ. පුංචි පහේ බිස්නස් එකක් කරගෙන නවතින්න කරපු සැලසුම් අතහැර ලංකාවට ඒමට ඒය බොහෝ දුරුට බලපෑවා.

    ReplyDelete
    Replies
    1. ඔබ මේක කලිනුත් කියා තිබුනනේ. නමුත් මට පේන විධිහට ඔබ සෝවියට් දේශයේ ඉඳල නැහැ. නැත්නම් වැටෙන්න අවසාන කාලයේ ගිහින් තියෙන්නේ . එතකොට සෝවියට් පාලනයක් නැහැ. යෙල්ට්සින් ගේ ධනවාදී පාලනයක් තිබුනේ. මමත් 1994 ගිය වෙලේ මිලිශියා වුන් කාරෙකට දාල මගෙන් සල්ලි ඉල්ලුව. මම දුන්නේ නැහැ, රෂියන් වලින් හොඳට කතා කරලා බ්‍රිටිෂ් විසා එකත් පෙන්නුවට පස්සේ බැස්සුවා. නමුත් මගේ මල්ලි ගෙන් අර්බත්ස්කයා වල පොලිසියෙන් අල්ලලා එයාගේ අතේ තිබුන සල්ලි ඔක්කොම අරන් තිබුන. වීස නැහැ කියල. එයාට වීස තිබ්බට හරියට රුසියානු භාෂාව බැහැ . ඔබට ගැහුව එක ගැන කිවොත් සෝවියට් දේශය වැටුනට පස්සේ මොස්කව් අර නමසිය විසි ගණන්වල චිකාගෝ වගේ වුනේ. යෙල්සින් රට පාලනය කලේ නැහැ. නීතියක් නැහැ. රුසියානුවෝ දුප්පත්. ඉතින් එතකොට මොකද වෙන්නේ ? උන් මධ්‍යම ආසියානු සමුහාණ්ඩු වලින් ආපු උන්ට නිතරම ගහනවා ඒ කාලේ නේද? නමුත් හිටිය අය සමන් වීරසිංහ, අජිත් මල්වත්ත, ගාමිණී, කැලේ නිශාන්ත හෙම දැන් කෝටිපතියෝ නේද? මට රුසියානුන් ගැන දුකයි. ඉරාකෙට කලා වගේම ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය රුසියාව අමතක කරලා දැම්ම. (ජ්රමනිය හැර ) අන්තිමට රුස්සට වැටහුනා ඇරිය නේද කියල. ඊට පස්සේ පරණ සෙට් එක පුටින් ගෙනාවේ ඒකයි. මම පුටින්ට තරමක් සහයෝගය දක්වන්නේ රට ගොඩ නගල ගත්ත නිසා. මම 2016 දී ඒක හොඳට දැක්ක.ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. ඒක වෙනම කතාවක්

      Delete
  8. අජිත් මහත්තයෝ. 1996න් පසු මම එංගලන්තයට ඇවිත් නැහැ. ඒ නිසා දැන් තත්ත්වය දන්නේ නැහැ.
    නමුත් ඒ කාලේ සවුත්හෝල් පැත්තේ මහ පාරේ මිනිස් අසූචි ගොඩවල් නිතර දැකිය හැකි වුනා. (ඒ හරියේ එවක වැඩියම හිටියේ ඉන්දියානුවන්).
    ජාතිවාදී හැසිරීම් තිබුනේ ගැටවර කල්ලි අතර බවයි පෙනුනේ. එහෙම දේවල් මට නම් අත් විඳින්නට වුනේ නැහැ.

    බ්‍රිටිෂ් අය අතරේ වුනත් ලොකු අභිමානයක් තියෙන බවයි මට පෙනුනේ. වරින්-වර මගේ බ්ලොගයේත් ඒවා ලියවුනා. අපේ අම්මා විවාහවී හිටි සැසිල් ෆ්‍රෙඩ්රික් ශ්‍රෝඩර් එහෙම තද ආඩම්බරකාරයෙක්. ඒ වතාවේ මම ආපහු ලංකාවට එන්න හදද්දී ඔලුව පීරන ප්ලාස්ටික් පනා පවා බාගයට එබුවා..."මේවා Made in England" උඹලගේ පනාවලින් ඔලුව පීරන්න පුලුවන්ද කියමින්.

    මට නම් දැනුනේ කළු හම ඇත්තන්ට දෙවෙනි පෙළ පුරවැසියන්ට ලෙස සලකන බවක්. විශේෂයෙන් ඒ කාලේ ඉන්දියානු- පකිස්තානු අයගේ දඩබ්බර හැසිරීම් නිසා. එතකොට නම් මට හමුවුණු ගොඩ දෙනා ලංකාව ගැන දන්නෙත් නැහැ.... අපිවත් ගණන් ගත්තේ ඉන්දීය ගොඩටම දාලා.

    ඔයා කියලා තිබුණු 'පකි' නමත් පකිස්තානුවන් නිසා නේද හැදිලා තියෙන්නේ?

    හැබැයි, ලංකාවේ රාජ්‍ය ආයතන ගොඩකට ගියාම අපට සලකන විදිහ එක්ක බැලුවොත් නම් එතනදීම හරාකිරි කරගන්න හිතෙනවා..... එව්වයේ ඉන්න සේරමලා වගේ මහා බ්‍රහ්මයාගේ මුඛෙන් උපන් එවුන්! අපි.....

    ReplyDelete
    Replies
    1. නිදි , මම ඉස්සෙල්ලම ලන්ඩන් ආවේ 1985. ඒත් ඔය අසූචි කතාව ඇහුවෙත් අදමයි. හැබැයි අදත් ඒ පැත්තේ වැඩිපුර ඉන්නේ ඉන්දියන් කාරයෝ තමා . ගැටවර කල්ලි අතරේ පකි කතා තවම තියනවා. ඒ අකාලයේ අසූ ගණන්වල බංගලි දේශේ උන්ට සුද්දෝ ගහනවා. මොකද ආණ්ඩුව උන්ට ගෙවල් දෙනවා (නොමිලේ ගෙවල්) අවුරුදු ගණන් ඉන්න සුද්දන්ට දෙන්නේ නැහැ. . අරුන්ට දෙන්නේ චන්ද ගන්න. ඒවාට වලි . බංගලා දේශේ එවුන්ට ඉංග්‍රීසි බැහැ . පකිස්තානු අයට බැහැ . මෙහාට 83 පස්සේ ආපු ගොඩක් දෙමල අයට බැහැ . සුද්දෝ කියන ඒවා තේරෙන්නේ නැහැ. ඔතැන දී ආපු ප්‍රශ්න ගොඩක් තියනවා. අනික අපි ලංකාවේදී කතා කරපු ඉංග්‍රීසි මෙහෙ කතා කරන්න බැහැ ඊට අමතරව මචං හැසිරීම අන්තිමයි. මගේ බිරිඳ නිතර කියන කතාවක් තමයි සෝවියට් දේශයේ ඉඳල ආපු නිසා මිසක් ලංකාවේ ඉඳන් කෙලින්ම ආවනම් ඔයා එක්ක මම යාලු වෙන්නේ තිබ්බ අවස්ථාව අවමයි කියල. ඒකෙන් එයා අදහස් කලේ කෙලින්ම මෙහෙට එන කට්ටිය බැගේජ් එකක් අරන් එනවා ඒක එකපාරට බිම තියන්නේ නැහැ. සුද්දව සුද්ද කරනවා නෙමේ මේ. . අර "ධරණී" පොතේ සුදු ජාතිවාදය ගැන ලියපු එක මම කත්යානා අමරසිංහ ගෙන් ඇහුවම එයා කිව්වා ලන්ඩන් වල ඉන්න දෙමළ කෙනෙක් හොඳට විස්තර කිව්වා. එයා හොයල බලල ඒ විස්තර ලිව්වේ කියල. දෙමල අය ගැන ගොඩක් කිව්ව හැකි ලංකාවේ වගේම මෙහෙදිත් තමන්ගේ සමහර ගතිගුණ අත හරින්නේ නැහැ උගත් නැති අය . සිංහල සහ දෙමල උගත් අය මෙතැනදී වෙනස්. තවම බුලත් කාල පාරේ කෙල ගහන දෙමල අය ඊස්ට් හැම් වල ඉන්නවා. සුද්දට නෙමේ මටත් පෙන්නන්න බැහැ . ඊට පස්සේ සුද්ද ජාතිවාදී කියල අඬල වැඩක් නැහැ. දැන් අවුරුද්දකට කලින් ලංකාවේ ඉඳන් ආපු ප්‍රසිද්ධ පුද්ගලයෝ දෙතුන් දෙනෙක් මගේ කාරෙකෙන් ගිහින් බැස්සුවා උත්සවයකට අපස්සේ. ඉන් එක්කෙනෙක් හොඳට කාරලා සේම ගුලියක් ගැහුවා පදික වේදිකාවේ අයිනකට. සුද්දෙක් දැක්ක නම් ඌ අනිවාර්යයෙන් ජාතිවාදී වෙනවා . හැබැයි ඒ වගේම සවුත්තු සුද්දොත් ඉන්නවා අර බෙනිෆිට් ගණන් රැකියා නැති සෙට් එක. උන් රුසියාවේ ලංකාවේ නෙමේ අනිත් ඕන රටක හිටියත් ජාතිවාදියි . උන්ගේ රස්සා ගන්නේ අපියි කියල හිතන නිසා

      Delete
    2. පකිස්තානු කේස් ඒක ඊට එහා. ඔවුන් ගොඩක් අය ඔවුන්ගේ ජාතික ඇඳුම අත හරින්නේ නැහැ . සිංහල අය වගේ නෙමේ දුවල අවුරුදු 15, 16 වෙනකොට බැඳලා දෙනවා පකිස්තානෙන් මස්සිනවා ගෙන්නලා. ඒ පවුල් විවාහ නිසා අබාධිත ළමයි වැඩිම මෙහෙ පකිස්ථානුවන් අතරේ. සෝමාලි, ඉතියෝපියන් එවුන් තවම ගැහැණු දරුවන් සුන්නත් කරනවා. ආණ්ඩුව දැනට අවුරුදු 5 ට කලින් ඒවා තහනම් කරන නීති ගේනවා. ගැහැණු ළමයි විවාහ කරන්න අරන් යන එක තහනම් කලා . ඉන්දියන් කාරයන්ට මෙහෙ බිරිඳ ගැබ්බර වුනහම ස්කෑන් කරන කොට ළමයාගේ ලිංගය කියන්නේ නැහැ. මට කීවෙත් නැහැ. නර්ස් සමාව ඉල්ලලම කීව ආසියාතික අයට කියන්නේ නැහැ කියල. මොකද ගැහැණු ළමයෙක් කියල දැනගත්ත ගමන් ගබ්සා කරනවා. අපෙ මිනිස්සු රත්තරන් ඒ පැත්තෙන්. මුන් කරන්නේ ප්‍රයිවෙට් ගිහින් බලල ගබ්සා කරන එක. සුද්දෝ මේවා ඉවසගෙන ඉන්නවා නේද.
      /බ්‍රිටිෂ් අය අතරේ වුනත් ලොකු අභිමානයක් තියෙන බවයි මට පෙනුනේ. වරින්-වර මගේ බ්ලොගයේත් ඒවා ලියවුනා. අපේ අම්මා විවාහවී හිටි සැසිල් ෆ්‍රෙඩ්රික් ශ්‍රෝඩර් එහෙම තද ආඩම්බරකාරයෙක්. ඒ වතාවේ මම ආපහු ලංකාවට එන්න හදද්දී ඔලුව පීරන ප්ලාස්ටික් පනා පවා බාගයට එබුවා..."මේවා Made in England" උඹලගේ පනාවලින් ඔලුව පීරන්න පුලුවන්ද කියමින්.// මේකනම් මට ටිකක් පෙනෙන්නේ සුළු පියා කෙරෙහි ඇති විරෝධය වගේ

      Delete
    3. //මට නම් දැනුනේ කළු හම ඇත්තන්ට දෙවෙනි පෙළ පුරවැසියන්ට ලෙස සලකන බවක්.//ඔයා ඇවිත් ගිය නිසා එහෙම දැනෙනවා ඇති. මගේ යහළුවෝ එහෙම ඇවිත් යනකොට ඒ අයත් ඔය කතාවම කිව්වා. උමන් දුම්රියේදී බලනවලු සුද්දෝ. මට එහෙම දැනිල නැහැ. දැනුනත් මම ගණන් ගන්නේ නැහැ. එක පාරක් 1986 විතර එක සුද්දෙක් මට කීව (කඩේකදී බඩුවක් ඉල්ලනකොට ) ප්ලීස් කියපන් කියල. අපට ප්ලීස් කියල පුරුද්දක් නැහැනේ. මගේ වැඩ කරන තැන සුද්දෙක් බයිබෝස් දාන්න ඇවිත් මම ඌ ට බැන්න 2002 විතර. පස්සේ මම දැන ගත්තේ ඌ ඉන්දියාවේ ඉපදුන සුද්දෙක්. ඌ ට වැඩකාරයෝ හිටියලු. ඒක දැනගත්ත ගමන් ඌ අහපු රිපෝර්ට් වගයක් ගහන එක මම ප්‍රතික්ෂේප කළා . ඌ බොස්ට කොම්ප්ලේන් කලහම බොසා ඌට කිව්වා තනියම කර ගනින් කියල. මචං මෙහෙ බොස් ලට සර් කියලවත් කියන්නේ නැහැනේ. මුල් නමින් නේ කතා කරන්නේ . හැබැයි ඉතින් මම කම්පැනි එකේ සුද්දෝ යි හැම එකා එක්කමයි පබ් ගිහින් බීල , නටල පිස්සු කෙලලා තියෙන නිසා වෙන්නත් ඇති. එහෙම නැති වුනහම පොඩ්ඩක් වෙන්න කට්ටියෙන් කැපෙනවා. පහුගිය කාලේ බ්‍රෙක්සිට් ප්‍රශ්නෙදි ඕක තදින් දැනුන. බ්රෙක්සිට් එකට පක්ෂ නැතිවුන් දිහා බැලුවේ අප්සෙට් විධිහට. ඒකෙන් මෙහෙ ජාතිවාදයක් ආව , හැබැයි ඒක ආවේ මුස්ලිම් විරෝධයක් එක්ක

      Delete
  9. ඔයාටයි ඔයාගේ බිරිඳටයි දෙන්නටම ඉංග්‍රිසීන්ගෙන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා.

    ඔයාගේ දරුවෝ සිංහලයෝ වෙන්නේ නෑ. අඩුගානේ එයාලා ජර්මානුවෝ වෙන්නෙත් නෑ.
    ඔවුන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට යටවෙනවා.
    ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ තියෙන වසඟකාරීත්වය සහ හැමදෙයක් දිහාම ආර්ථික සාධක ඔස්සේ බලන කොමියුනිස්ට් හැදියාව නිසා ඔයාලට ඒ විනාශය තේරෙන්නේ නෑ.
    ඔයාලාගේ තත්වය ගැන මට හරි දුකයි.

    ReplyDelete
    Replies
    1. මගේ දරුවන්ට ජර්මන්, බ්‍රිතාන්‍ය පොත් දෙකම තියනවා, උන් ඉංග්‍රීසි කතා කරන්නෙත් මවු බස වගේ ජර්මන් කතා කරන්නෙත් මවු බස වගේ. දෙන්නගෙන් එක්කෙනක් බුද්ධාගම අදහනවා . අනික මම වගේ අදේවවාදී , පොඩ්ඩක් නිරාගමික පැත්තට බරයි. ඉංග්‍රීසින් අසාධාරණ වෙනවා කියා කියා මෙහෙ එන්නේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්

      Delete
    2. දුක් වෙන්න එපා ජගත් සින්හලයට කාලයක් එයි තව අවුරුදු 3000 කින් විතර

      Delete
  10. ඉතා හොඳ විග්‍රහයක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ත..., මම නම කියන්නේ නැහැ. අපහාසයක් කියල හිතුවොත් හෙම

      Delete
  11. හැමෝම නොවෙයි නමුත්:

    ලංකාවේ සමහර අයගේ පොඩි මානසික තත්වයක් තියෙනවා පිටරට පදිංචියට ගිය අය එක්ක. මං මේ කියන පිරිසෙන් සමහරු එක්කෝ මේ සිංහල අපෙ රටයි, මුළු ලොව මේ රටට යටයි ආකාරයේ නොදන්නා කම නිසා ඒ මානසික තත්වයට බඳුන්වුණු අය.

    නමුත් බොහෝ දෙනෙකු තමන්ට තරුණ කාලේ විදේශයකට යන්න අවස්ථාව ලැබී පුද්ගලික බැඳීම් නිසා එඒ තීරණය ගන්න බැරිවුණු හෝ බියවුණු අය.

    ReplyDelete
    Replies
    1. තණමල්විල කොල්ලෙක් එකේ ගැම්ම ඒක කියල හිතුනේ නැත්ද , හැමෝටම දුකයි කොලුවා ගැන

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .