Friday, 31 October 2025

ෆින්ලන්ත ගමන 2 - සුවොමන්ලීනා



සුවොමන්ලීනා (Suomenlinna) යනු දහටවන ශතවර්ෂයේ ඉදි කරන ලද දූපත් බලකොටුවකි . අප එය නරඹන්න යයි කියා ෆින්ලන්තයේ වසන මගේ සොයුරියගේ දියණි මදාරා කීවාය. "ලොකු මාමා ඒක ලස්සන දුපතක් " ඒ අතරේ දසයා (සඳුන් දසනායක)  ට කතා  කල විටද ඔහුද  "අයියේ සුවොමන්ලීනා මරු යන්න" කියා කීවේය. මේ ලීනා හෝ ලින්නා කියා කියන්නේ මොකද්ද කියා ඔහුගෙන් විමසුවෙමි .  දසයා කිව්වේ ලින්නා කියන්නේ බලකොටුව බවත් , දූපතේ බලකොටුවක් ඇති බවත්ය. බලාගෙන යනවිට අප නතරවී සිටි පෙදෙසේ නමේ අගද  ලින්නා තිබීමෙන් ඒ අසලද බලකොටුවක් තිබුණු බව දැනගතිමි .   සුවොමන්ලීනා වචනයේ තේරුම "පින්ලන්තයේ බලකොටුව" බව ගුගල් අයියා ලියා තිබුණි .  

කලින් දිනයේ හෙල්සින්කි හිදී අපේ ටුවර් ගයිඩ් මහතා අපුරු කතාවක් කීවේය.   සුවොමන්ලීනා යනු මුහුදු බලකොටුවක් බවත් එය දූපත් අටකින් සමන්විත බවත්ය .  දහ අටවන ශත වර්ෂයේදී (1748) ස්වීඩනයේ රජු මේ බලකොටු සාදා ඇත්තේ රුසියානු  අධිරාජ්‍යයෙන් ආරක්ෂා වීමටය .  එක්දාස් අටසිය  ගණන් වල මුල රුසියානුවන් ෆින්ලන්තය ආක්‍රමණය කලද ඔවුන්ට එය යටත් කර ගැනීමට නොහැකි වූයේ සුවොමන්ලීනා බලකොටු නිසා  බව වටහා ගත්හ.  එනිසා 1808 පළමු ෆින්ලන්ත යුද්ධයේදී  ඔවුහු මේ දුපත් වට කර මාස දෙකක බ්ලොකේඩයකින් පසු අත්පත් කරගති.  ඉන්පසු හෙල්සින්කිය නිකම්ම් වගේ රුසියානුන් අතට ගියේය .  රුසියාවේ විසින් ෆින්ලන්තය ග්‍රහණය කර ගත්තේ 1809 දීය. එය ඔවුන් ග්‍රෑන්ඩ් ඩචි ඔෆ් ෆින්ලන්ඩ් යනුවෙන් නම් කර ස්වායත්ත රජයක් පිහිටුවිය.

පළමුවන ලෝක යුද්ධ සමයේ රුසියානුවන්ගේ බෝල්ටික් නාවික හමුදාවේ මුලස්ථානය වූයේ මේ බලකොටුවයි. ලෙනින් ෆින්ලන්ත ස්වයං නිර්ණන අයිතිය පිලි ගැනීමෙන් පසු 1917 දී රුසියානු හමුදා ඉවත් විය.    1991 දී සුවොමන්ලීනා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී . 

හෙල්සින්කි සිට පැය භාගයක  ගමනකින් සුවොමොන්ලිනා ප්‍රධාන දූපතට ගිය හැකිය. එයට විශේෂ ගෙවීමක් නැති අතර සාමාන්‍ය බසයකට හෝ ට්‍රෑම් එකකට ගෙවන ගෙවිමෙන් එහි ගිය හැකිය.   පළමුවෙනි ස්ලයිඩ් එකේ  පින්තුර ඇතුළත් කලෙමි.  නමුත් මේ පින්තුරය දමන්නේ මෙහි ඇති ගෙවල්  බොහොමයක් රුසියානු පන්නයේ ඒවා බව කීමටය.   රුසියාවේ දී මේ ආකාරයේම ලීයෙන් සෑදු නිවාස බොහොමයක් මොස්කව්  වලින් එපිටට වෙන්නට දැකිය හැකිය . 

මෙහි ඇති දහනව වන ශත වර්ෂයේ සාදන ලද රුසියානු ඔර්තොඩොක්ස් පල්ලියේ හැඩය මදක් වෙනස් කොට ෆින්ලන්ත වරුන් අදහන  ලුතරෙන් ආගමට අනුව වෙනස්  කර තිබේ . 

 මේ තිබෙන්නේ මගේ පින්තූර ගොන්නයි. පින්තූර බලා ප්‍රශ්න තිබේ නම් අසන්න .    

 INSERT HERE :****************  


මිට අමතරව එන ගමනේදී ගත් වීඩියෝ දෙකක් මගේ යුටියුබ් චැනලයේ ඇත . 


මේ දිනවල නොයෙකුත් වැඩ නිසා බ්ලොග් පෝස්ට් එක කෙටි කිරීම ගැන කණගාටුයි .  
කොළඹ ගමයා 31/10/2025

මේ ගුගල් වලින් සොයාගත් විස්තරයකි  :  

සුවොමන්ලීනා බලකොටුවේ ඉතිහාසය

(History of the Suomenlinna Fortress)

සුවොමන්ලීනා (Suomenlinna) යනු විශාල හා නාටකාකාර ඉතිහාසයක් ඇති, ජාතීන් තුනක් යටතේ සේවය කර ඇති, සුවිශේෂී ස්ථානයකි.

ස්වීඩන් යුගය (1748–1808): ආරක්ෂක ව්‍යූහයක් ගොඩනැගීම

මෙම බලකොටුව මුලින්ම ස්වීඩන් රාජධානිය විසින් ගොඩනඟන ලද්දේ ව්‍යාප්ත වෙමින් පැවති රුසියානු අධිරාජ්‍යයෙන් ආරක්ෂා වීම සඳහාය. ඉදිකිරීම් කටයුතු 1748 දී හෙල්සින්කි වෙරළට ඔබ්බෙන් වූ දූපත් සමූහයක් මත ආරම්භ විය. එය 18 වන සියවසේදී ස්වීඩන් රාජ්‍යයේ විශාලතම ඉදිකිරීම් ව්‍යාපෘතියක් විය.

 එය මුලින්ම ස්වීඩන් භාෂාවෙන් ස්වේබෝර්ග් (Sveaborg - "ස්වීඩනයේ බලකොටුව") ලෙස හෝ ෆින්ලන්ත භාෂාවෙන් වියාපෝරි (Viapori) ලෙස හැඳින්විණි. එහි සැලසුම ප්‍රංශ හමුදා ඉංජිනේරු වරයෙකු වූ වෝබන්ගේ (Vauban) බලපෑමට ලක් වූ අතර, පාෂාණමය දූපත් වලට අනුවර්තනය වෙමින් විශ්මිත බලකොටුවක් නිර්මාණය විය.

රුසියානු යුගය (1808–1918): යටත් කර ගැනීම සහ ශක්තිමත් කිරීම

 පළමු ෆින්ලන්ත යුද්ධය (1808–1809) අතරතුර, මෙම බලකොටුව රුසියානු හමුදා විසින් වටලනු ලැබූ අතර, මාස දෙකක අවහිරයකින් (blockade) පසුව 1808 දී යටත් විය. මෙම අලාභය නිසා, 1809 දී රුසියාව විසින් ෆින්ලන්තය ඈඳා ගෙන ෆින්ලන්තයේ මහා ආදිපාද ප්‍රදේශය (Grand Duchy of Finland) පිහිටුවන ලදී.

 රුසියානු පාලනය යටතේ, එය තීරණාත්මක හමුදා කඳවුරක් ලෙස පැවති අතර, බෝල්ටික් බලඇණියට මූලස්ථානයක් විය. ක්‍රිමියානු යුද්ධයේදී (1855) ඇංග්ලෝ-ප්‍රංශ බලඇණිවල බෝම්බ ප්‍රහාරයකින් එයට දැඩි හානි සිදුවිය. පසුව රුසියානුවන් බලකොටුව ප්‍රතිසංස්කරණය කර නවීන කාලතුවක්කු වලින් ශක්තිමත් කළහ.

 පළමු ලෝක යුද්ධය සමයේදී, එය රුසියානු අගනුවර වූ ශාන්ත පීටර්ස්බර්ග් ආරක්ෂා කිරීම සඳහා වූ "මහා පීටර්ගේ නාවික බලකොටුව" නම් විශාල ආරක්ෂක පද්ධතියක කොටසක් ලෙස ක්‍රියාත්මක විය.

ෆින්ලන්ත යුගය (1918–වර්තමානය): නිදහස සහ ලෝක උරුමය

 1917 දී ෆින්ලන්තය රුසියාවෙන් නිදහස ප්‍රකාශ කිරීමෙන් පසු, අලුතින් පිහිටුවන ලද ෆින්ලන්ත රාජ්‍යය 1918 දී බලකොටුව භාර ගත්තේය. රටේ නව නිදහස් තත්ත්වය පිළිබිඹු කරමින් එය නිල වශයෙන් සුවොමන්ලීනා ("ෆින්ලන්තයේ මාලිගාව/බලකොටුව") ලෙස නම් කරන ලදී.

දශක ගණනාවක් තිස්සේ ෆින්ලන්ත හමුදා කඳවුරක් ලෙස සේවය කළ මෙහි හමුදා භූමිකාව දෙවන ලෝක යුද්ධයෙන් පසු ක්‍රමයෙන් අඩු විය. 1973 දී, මෙම බලකොටුව සිවිල් පරිපාලනයට පවරා දෙන ලදී.

 හමුදා ගෘහනිර්මාණ ශිල්පයේ කැපී පෙනෙන උදාහරණයක් ලෙස සලකන සුවොමන්ලීනා 1991 දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරන ලදී. අද වන විට එය ෆින්ලන්තයේ ජනප්‍රියම සංචාරක ආකර්ෂණයක් මෙන්ම හෙල්සින්කි හි නේවාසික ප්‍රදේශයක් ද වේ.


Sunday, 19 October 2025

ලන්ඩන් නුවර වේදිකා ගත වුනු පටාචාරා ගීත නාට්‍යය


මට පටාචරා නමැති නාට්‍යයක් ගැන දැන ගන්නට ලැබුනේ හදිසියේය. නම ඇසූ සැනින්ම වාගේ මට එය දැක ගැනීමේ එපමණ  ආශාවක් ඇතිනොවුනේ  "තවත් ජාතක පන්නයේ කතාවක්" ලෙස  හිතේ කෙටුනු බැවිනි. නමුත් දර්ශන හෙට්ටි ආරච්චි සහෝදරයාත් සහ ගාමිණී මුතු කුමාරණ සහෝදරයාත් පැවසුවේ කතාව වෙනස් කර පවසන එකක් ලෙස දැනගන්නට ලැබුණු බවයි.  ඒ නිසා සුගත් සෙනෙවිරත්න සොයුරා අපට ප්‍රවේශ පත්‍ර ද ඇණවුම් කල හෙයින් නරඹන්නට ගියෙමි. සම්ප්‍රදායික  පොල්තෙල් පහන් දැල්වීමක් බෙර හඬ මධ්‍යයේ පැවැත්මට සූදානම් කර තිබුණි. නමුත් සිදුවුනේ ආරාධිතයන්  ඉටිපන්දම් වගයක්  පත්තු නොකර පහනේ තැබීමකි .   ඒ එංගලන්තයේ ශාලාවක පහන් දැල්වීම තහනම් හෙයිනි.  මේ නාට්‍යය  ප්‍රදර්ශනයට සහය දුන් අයට ගරු කිරීමක් ලෙස නාට්‍යය "ඇරඹීම" සඳහා ආරාධනයක් ලෙස යයි සිතුවෙමි. එනමුත්  වෙනුවට බැටරි බලයෙන් ක්‍රියා කරන පුංචි විදුලි ලාම්පුවක් ආරාධිතයන් ට දෙන්නට තිබුණි. දේසේ හැටියට බාසේ කියන්නේ නිකමට නොවේ.            

නාට්‍යය පටන් ගන්නේ  පටාචරා ගේ දෙමාපියන් ගේ විවාහය හා ඔවුන්ට දරුවන් ලැබීමත් අපට පෙන්වීමෙනි .  පටාචාරා ඉපදුනු අවස්ථාව, පිය සිටුවරයාගේ හා මව් දේවියගේ සතුටු කඳුළු ,  බ්‍රාහ්මණයෙකු විසින් හඳහන් බලා ඇගේ අනාගතය හොඳ  එනමුත් විවාහය අඳුරු යයි පැවසීම ආදිය  නාට්‍යානුසාරයෙන් නරඹන්නට ලැබුණි. මට හිතුනේ මෙහෙම ගියොත් ඉඳුල් කට ගෑමද පෙන්වා නාට්‍යය පසුද එළිවන යාමයේ ඉවර විය හැකි බවය.  

පටාචාරා ගේ මුල් නම රුපවතී යයි මා  අසා  ඇති මුත් නාට්‍ය යේ  ඇය හඳුන්වනුයේ චන්දා කුමරිය කියාය.  මා දන්නා පරිදි ඒ පටාචාරා භික්ෂුණිය සමග සිටි වෙනත් මෙහෙනියකි .  නමුත් රූපවතී ට වඩා චන්දා වත්මන් කාලයට උචිත යයි සිතමි. ඉන්පසු පෙන්වූයේ සිටු කුමාර සොහොයුරා හා කුමරියගේ ළමා කාලයයි .  මෙහිදී මට ඇත්තටම කම්මැලි කමක් දැනුනු අතර දර්ශනට හා ගාමිණීට හිතෙන්  දොස් පැවරුවෙමි . තත්වය වඩාත් උග්‍ර වූයේ "එළුවන් කන්නට මං ආවේ " යන පුංචි සමයේ සෙල්ලමක් නාට්‍යනුසාරයෙන් ඉදිරිපත් කිරීමයි. එළුවන් කෑමේ සෙල්ලම බුදුන් දවසේ භාරත දේශයේ තිබුනා දැයි නොදනිමි. බ්‍රහ්ම ජාල සුත්‍රයේ අස්තපාද, දසපාද (දාම් ), චතුරංග , කැට දැමීම ,  ඔලිඳ කෙලිය, ඛෝ-කෝ සහ කබඩි ඒ කාලේ තිබූ සෙල්ලම්ය .     මා පැමිණියේ ළමා නාට්‍යයක් නරඹන්නට දෝ යැයි සිතුනි .  එක අතකට එංගලන්තයේ ජිවත් වන අයට ලංකාවට ඇති නොස්ටල්ජීය සබඳතාවය නිසා එවැන්නක්  ඇතුලත් කරන්නට ඇතැයි සිතුවෙමි .       

හැබැයි ඒ දරුවන්ගේ උද්යෝගය හා හැකියාවන් දකින විට මගේ අදහස් වෙනස් වන්නට විය.  අපේ දරුවන් කුඩා  කාලයේ   පාසැලේ නොයෙක් උත්සව වලට පුරුදු පුහුණු වෙද්දී කෙතරම් ආඩම්බරයෙන් හා ආදරයෙන් ඒවා රූපගත කළේ දැයි සිතුවෙමි. මේ දරුවන්  උපන්නේ එංගලන්තයේය .  ඔවුන්ට හරි හැටි හෙළ බසද හැසිරවීමට නොහැකිය .  එසේම ඔවුන් ජීවත්වන්නේ එකිනෙකාට ඉතා ඈත නගර වලය .  ඒ සියලු බාධක මධ්‍යයේ දරුවන් ද ඔවුන්ගේ දෙමාපියන්ද කරන මේ කැපවීම අගය කල යුතුමය. 


ඉන්පසු නාට්‍යය ඇත්තටම ගීත නාට්‍යයක් (මියුසිකල් )  බවට රූපාන්තරණය වුනි .  ඒ චන්දා කුමරිය නව යොවුන් යුවතියක් බවට පරිවර්තනය වෙමින් පවතින කාලයයි .  ඇය සහ සොහොයුරා ද ,   සේවක සේවිකාවන්  සහ ඔවුන්ගේ ළමයින් සමග ගත කරණ ප්‍රීතිමත් කාලය නොයෙකුත් ගීත ජවනිකා මගින් රඟපෑවෝය. එහිදී ඒන්ජල්  මාරසිංහ ගේ රංගනය විශිෂ්ට යයි සිතමි .  ඇය රඟ  පෑවේ යොවුන් (ටීනේජ් ) චන්දා කුමරිය (පටාචාරා ) ගේ චරිතය බව සිතමි. ඇන්ජලා පමණක් නොව ඇය සමග අන්ර්තනයන් ඉදිරිපත් කල යොවුන් වියේ දරුවන් ඉතා හොඳින් තම රංගනයන් ඉදිරිපත් කළහ .  ඇත්තටම ඔවුන් ගැන අපට ආඩම්බර විය හැකිය .    

ගීත නාටකයේ අධ්‍යක්ෂිකා මධුකා ෆර්ඩිනන්ඩ්ස් ඉතා සුක්ෂම ලෙස සිටු මැදුරේ සේවකයන්ගේ විවාහයක් නිර්මාණය කරමින් දෙසවන්පි, දෙනෙත් පිනවන සාර්ථක  ගීත ජවනිකා කිහිපයක්ද  නිර්මාණය කර තිබුණි.

සේවකයන් දෙදෙනකු  ලෙස රඟ පෑ දෙදෙනෙකුගේ විකට ජවනිකා කිහිපයක් තිබුනද ඒවා එතරම් සාර්ථක යයි මට හැඟුනේ නැත .  එහෙත් යොවුන් චන්දා කුමරියට රෑ පානේ විවාහ උළෙල ට යාමට මව ඉඩ නොදීම නිසා ඇතිවුන වාග් සංග්‍රාමයේදී සිටු දේවිය ඉංග්‍රීසියෙන් "නෝ No -ඔයාට යන්න දෙන්නේ නැහැ " යයි පැවසීම නරඹන්නන් සිනා සයුරේ ගිල්වීම ට සමත්විය.

මේ නිසා විවේක කාල සීමාව එනතුරු කාලය ගතවීමක් නොදැනුනි .  විවේක කාලයෙන් පසු අපගේ දෘෂ්‍ය හා ශබ්ද රසයන් තීව්‍ර කරන රංගනයන් ඉදිරිපත් කිරීමට නාට්‍ය කණ්ඩායමට හැකිවුණි .  වැඩිවියපත් චන්දා හෙවත් පටාචාරා කුමරියගේ භූමිකාවට පන පෙවුයේ සඳුනි විජේසින්හයි .  ඇයගේ අත ගන්නට සැරසී සිටින රෞද්‍ර පෙනුමෙන් යුතු සිටු කුමරා (ඔහුගේ නම නොදිමි )  සභාවට හඳුන්වා දෙන අතර සිටු දෙමාපියන් ඒ මගුල සැලසුම් කරන්නට සැරසේ .  ඒ අතරේ භානු නම් මෘදු පෙනුමැති  දර කපන්නා  සමග කුමරිය ආදරයෙන් බැඳේ. භානු ගේ චරිතයට පන පෙවුයේ රංගජිත් අබේසුරියයි. මේ දෙදෙනාගේම රංගනයන් අති සාර්ථක යයි හඟිමි .  එයිනුත් සඳුනි විජේසිංහ රංගන ප්‍රතිභාව සමස්ථ ගීත නාට්‍යයම  නව තලයකට ඔසවා තැබීමට හැකි වුනි . 

චන්දා කුමරියගේ සහ භානු ගේ ආදරය දන්වන ගීතයක් මධුකා විසින්  නිර්මාණය කර තිබූ අතර නෘත්‍ය  කණ්ඩායම එයට උපරිම ලෙස හැඟීම් දනවමින් ඉදිරිපත් කලහ.





චන්දා කුමරිය භානු සමග පැන යාමෙන් අනතුරු කතාව අප අසා තිබෙන නිසා ඒ ගැන නැවත නොලියමි . ඔවුන් අචිරවති නදිය තරණය කිරීම නීල පැහැ වස්ත්‍රයෙන්  සැරසුන නාටිකාන්ගනාවන් අලංකාර ලෙස ඉදිරිපත් කරති.  ඒ නැටුම ඇත්තටම දෙනෙත් පිනවන මියුරු එකකි. නමුත් කලකට පසු ගැබ්බර චන්දා (පටාචාරා) පිරිමි දරුවා රැගෙන අචිරවති නදිය තරණය කරන්නී දෙමාපියන් ගේ මාලිගයට යාමටය.    මහා මේඝයකට ,  කුණාටුවකට දෙදෙනා හසුවෙති.  බිරිඳ හා දරුවා සොයා එන භානු ඔවුන් දෙදෙනා ට මුණ ගැසේ. මොර සූරන මහා වැස්සේ ඔවුන්ට සෙවනක් සදන්නට දර කපා එන්නට යන භානු නාගයෙක් දෂ්ට කර  මිය යයි .  සැමියා සොයා යන සිටු කුමරියට පණ සුන් භානු ගේ සිරුර මුණ ගැසෙන අතර ඇය, හඬා වැළපුන ඇය දරුවා සමග අවසන් විසඳුම ට යාමට සැරසෙන්නීය .  ඒ  දෙමාපියන් හා සොයුරා  මුණ ගැසීමටය .  ඒ තාක් දක්වා වන කතාවේ දරුවාගේ ,  පටාචාරා (සඳුනි )  හා භානු (රන්ගජිත් )  ගේ රඟපෑම්  ප්‍රේක්ෂකයා ගේ මන ඇද බැඳ තැබීමට සමත් වේ .  සිත දුකින් පිරි යන මොහොතේ ඈ දරුවා කැටුව අචිරවති නදිය  තරණය කරන්නීය.  මෙතෙක් අලංකාර ලෙස රඟපෑ නදී නාටිකාව බිහිසුණු වෙයි .  නැටුම් වේගවත් වෙයි.  ඈ අපහසුවෙන් තරණය කරමින්  කුඩා බිලිඳා වතුරට උඩින් ඔසවද්දී රාජාලියෙකු දරුවා පැහැර  ගනී. ඇය දරුවා ගැනීමට දෑත් ඔසවමින් වෙහෙසෙද්දී පිරිමි දරුවා මව කතා කරන්නේ යයි සිතා ගඟට බසී .  රුදුරු ජල කඳ  ඔහුත් රැගෙනම වේදිකාවෙන් පහළටබැස යයි .  මේ වනාහි උඩට  ඇදගත් හුස්ම පහලට නොහෙළා බලා හුන් ජවනිකා කිහිපයකි.  

    ශෝකයෙන් උමතු වන චන්දා කුමරිය ළමුන් සොයා  දිව යද්දී සැවැත්  නුවර ගම් වැසියෙකුට මුණ ගැසේ .  ඔහු දෙමාපියන් සහ සොහොයුරා ගින්නට හසුව මිය ගිය බව දැනුම් දෙයි.  රත් පැහැ  කොඩි වනමින් අචිරවතී නාටිකාවන් වේදිකාවේ වේගයෙන් රඟයි.  අපට දැනෙන්නේ පටාචාරාවගේ ව්‍යාකූල වූ මනසත් ,  ගින්නේ දැවුනු මාලිගයත් වේගයෙන් ගලන ගඟත් පමණක්ම නොවේ .  ඒ අවස්ථාවේ බිහිසුණු කමත් ,  ඇගේ ශෝකයත් වේදිකාවේ මොනවට රඟ දැක්වෙයි . 

සිහි  විකල් වෙන පටාචාරා ලුහු බැඳ නිලියක්  ශාලාවේ මැදින් වේදිකාවට දුවන 'අතර ගලේ බණ්ඩාර දෙවියනේ '  කියමින් කෑ  ගසමින් බැන වදී.  ගලේ බණ්ඩාර දෙවියන් හිටියේ ලංකාවේ නිසා පටාචාරා ලංකාවේ යයි ඇය සිතුවා දැයි නොදනිමි.  (සිදුහත් කුමාරයා  ලංකාවේ උපන් බවත් බුදුන් සිටියේ ලංකවේ බවටත් කියන්නන් සිටින නිසා). කතාවට උචිත වුවද ප‍ටාචාරා නම පට බැඳුනේ ඇඳුම් උනමින් දිවයනනිසා (ඇඳුම් උනා දැමීමක් කල නොහැකි නිසාත් )   සමහර විට වැරහැලි ඇඳුම් ටිකක් අන්දවා වේදිකාවේ දිව්වා නම් වඩා උචිත විය හැකිව තිබුණි.  

ඉනික්බිතිව මුලික කතාවෙන් බැහැරව ප්‍රවීණ සිනමා හා වේදිකා නළුවෙකු හා ගායකයෙකු ද වන නිශ්ශංක දිද්දෙණිය මහතා ආගමික යතිවරයෙකුගේ වෙස් ගෙන ධර්ම දේශනාවක් කරන  අතර පටාචාරා වේදිකාවේ බංකුවක්  උඩ නිසලව බලා සිටියාය .  ඒ ජවනිකාව එතනට අවශ්‍යද  යන්න මගේ සිතට නැගුණි .  එංගලන්තයේ දර්ශනය කරන ලද නාට්‍යයකට සමහර විට මිට වඩා  රැඩිකල් විය හැකිව තිබුනාදෝ කියාත් සිතුනි.    බුදුන් වහන්සේ පෙන්වීමට නොහැකි නම් තිරයක්  පිටුපසින් හඬ ඇසීමට සලස්වා උන් වහන්සේ පටාචාරා වට  බණ වදාළ බව දැක්විය හැකිය.  එසේම පටාචාරා මෙහෙණිය ජලය බැසයන අයුරුත් ඉන් කොටසක් වියලි පොලොවට උරා ගන්න බවත් දැක සෝවාන් වීම පෙන්වා නාට්‍යය අවසන්  කළා නම් මැනවයි යන අදහස මගේ මනසට නැගුනේය.  සඳුනි විජේසිංහ ගේ රඟපෑමේ ආහ්ලාදජනක බවත් ඇගේ  ප්‍රතිභාපුර්ණ රංගනයත් නාට්‍යයට  සැපයූ ජීවය නොනසාම  අවසන් කල හැකිව තිබුණි . 
 
නාට්‍යයේ පොතේ ගුරු ලෙස රඟ පෑවේ ප්‍රවීන වේදිකා නාට්‍ය නළුවෙකු හා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය  ප්‍රසන්නජිත් අබේසුරිය මහතායි . ඔහුට සහ නිශ්ශංක දිද්දෙණිය මහතාට නාට්‍ය සන්විධාකයෙන් ගෙන් නාට්‍ය කලාවට කල  විශිෂ්ඨ මෙහෙවර උදෙසා  සම්මාන ද්වයක් ද  පිරිනැමුණි . 

නාට්‍යයේ නිර්මාණාත්මක අධ්‍යක්ෂණය වෙනුවෙන් මධුකා ෆර්ඩිනන්ඩ්ස් මහත්මියට මගේ ආශින්ෂන සමග මහත්වු  ස්තුතිය පිරි නමමි. එසේම ඇයට උදව් කල අනිකුත් මහත්ම මහත්මීන්ටත් දරුවන්ටත් ,  දෙමාපියන්ටත් අපගේ ප්‍රණාමය හිමි වේ .  ඉතා හොඳින් නැටුම් ඉදිරිපත් කල සියලුම ළමා හා යොවුන් වියේ දරුවන්ට සම්මානයක් වත් පිදුවා නම් හොඳ යයි සිතේ .  මෙවැනි වේදිකා ගීත නාට්‍යයක් එංගලන්තයේ වැනි රටක මෙසේ  විශිෂ්ට ලෙස නිර්මාණය කිරීම  හා රඟ දැක්වීම පහසු කරුණක් නොවේ .  

කනගාටුවට කරුණ නම් මෙය අවසන් අවස්ථාව බවට කළ දැන්වීමයි. ප්‍රසන්නජිත් මහතා පැවසුවේ මේ නිකම්ම නාට්‍යයක් නොවේ මහා සංස්කෘතික අංගයක්, සිංහල  සංස්කෘතියේ නිරූපණයක් බවයි .  එයට මම එකඟ වෙමි .      
අජිත් ධර්මකීර්ති (කොළඹ ගමයා ) 08/10/2025




  
   

Friday, 10 October 2025

ෆින්ලන්ත ගමන 1- හෙල්සින්කිය

අප හෙල්සින්කි නගරයට ගියේ සැප්තැම්බර් හය වනදාය .  හය වෙනදා  සහ හත්වනදා අපි නගරයේ සැරි සැරුවෙමු. මෙවර හෝටලයක නොව Air bnb එකෙන් කුලියට ගත් තට්ටු නිවසක නවාතැන් ගත්තෙමු. එහි බිල්ඩිම පිහිටියේ ගේට්ටුවකින් ඇතුලතය. සුපුරුදු ගතියක් දැනුනු බැවින් ඒ බව ඉනේස්ට හා දියණියට කීවද ඔවුන්ට එය වැටහුනේ නැත .  නමුත් අප එලියට පැමිණ අසල සුපර්මාකට් එකට යාමේදී මට පසක් වූයේ ගොඩ නැගිලි හා තට්ටුනිවාස මා සිටි රුසියාවේ  මොස්කව්  නගරයට හෝ සෙන්ට් පිටර්ස්බර්ග් නගරයට සමාන බවය .  එහි පින්තූර පහල ස්ලයිඩ් එකේ තිබේ.  

කහ පාට බනිස් එකක් වැනි පින්තුරයේ ඇත්තේ අල වලින් හදන ලද  කෑමකි. උදයට හෝ දවල්ට කෑ හැකිය .  අප සිටින හරියේ එලියට ඇවිදින විට ෆින්ලන්තයේ අප දුටු පළමු දූපත වෙරලට ඉතා ළඟින්  පිහිටා තිබුණි.  ෆින්ලන්තය විල් රාජ්‍යයකි. වර්ග මීටර් පන්සීයට වඩා විශාල විල්  187888ක්  තිබේ .  ඒ හැම එකකම වාගේ දුපතක් ද ඇත . මද දුරක් ඇවිදින විට පරණ කාර් ප්‍රදර්ශනයක් ද නැරඹීමට හැකිවිය .  බිරින්දෑ ගේ කණු කුණුව මධ්‍යයේ පින්තූර කිහිපයක් ගතිමි .  ලිප්ටන්  තේ පැකට් රුසියානු අර්ල් ග්‍රේ කියා විකිනීමට තිබීම කුහුලක් දැනවූයේ රුසියාවේ එවැනි තේ වැවෙන්නේ නැති නිසාය .  

.    

      පහුවදා අපි හෙල්සින්කි නගරය හඳුන්වා දෙන ටුවර් ගයිඩ් කෙනෙකුට එකතු වුනෙමු .  ඔහු ගේ මව ස්පාඤ්ඤ හා පියා ෆින්ලන්ත ජාතිකයෙක් බව පැවසිය .  ශීත සමයට ඔහු ස්පාඤ්ඤ යට ගොස් වාසය කරයි.   ඔහු පැවසූ පරිදි ස්වීඩන  පාලනය යටතේ වසර 300කට ආසන්න කාලයක් හෙල්සින්කි තිබුණේ පුංචි ගමක් ලෙසටය . ඔවුන් හෙල්සින්කි වල ගමක් ස්ථාපිත කරන ලද්දේ ඒ අසලින් යන නෞකා , බෝට්ටු ආදියෙන් බදු ගැනීමටය .  එය එතරම් සාර්ථක නොවූ නිසා ඔවුන් හෙල්සින්කි හැර දමා තිබුණි .  නමුත් 19 වැනි ශතවර්ෂයේදී රුසියානුවන් එය තමන්ගේ පාලනයට නතු කර ගත් පසු සියල්ල වෙනස් වුනි . සාර් ඇලෙක්සැන්ඩර් II, ශාන්ත පීටර්ස්බර්ග්හි ගොඩනැගිලි ඉදි කල ජර්මානු ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ කාල් ලුඩ්විග් එංගල්ටම, හෙල්සින්කි නගරය සැලසුම් කිරීමට සහ නිර්මාණය කිරීමට උපදෙස් දුන්නේය. පෙරදා  ගමක් ව තිබූ හෙල්සින්කිය සෙන්ට් පිටර්ස්බර්ග් මෙන් විශාල නගරයක් වූයේ එලෙසය .   

හෙල්සින්කි වැසියන් කෘත ගුණ දැක්වීම සඳහා  සාර්  රොමානොව්  ගේ ප්‍රතිමාවක් නගර මධ්‍යයයේ සාදා තිබේ. මට සිතුනේ   මේ දිනවල ඔවුන් ගරු කරන එකම රුසියානුවා ඔහු විය හැකි බවය .  නමුත් අපේ ගයිඩ් මහතා අප පුදුමයට පත් කලේ  ලෙනින් ගැනද පැවසීමෙනි .  ෆින්ලන්තවාසීන් ගරු කරන අනිත් රුසියානුවා වන ලෙනින් 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු ගින්ලන්තයට නිදහස ලබා දීමේ ගිවිසුමට අත්සන් කළේය. (ෆින්ලන්තය රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ රටකි . )  සාර්  පාලනයෙන් පලා ගිය හැම විටම ලෙනින්ට මුලින්ම රැකවරණය දුන්නේ ෆින්ලන්තයයි .  ලෙනින් නතර වී සිටි නිවස තිබෙන්නේ  සොර්නන්ස්ටන් රන්ටටි නමැති විදියේය . එසේම ඔහු සහ ට්‍රොට්ස්කි ඔවුලුන්කිලා දිස්ත්‍රික්කයේද සැඟවී සිටි අතර ලෙනින් ඩොක්ටර්  ම්යුලර් නම් අන්වර්ථ නාමයක්ද භාවිතා කළේය . 

මේ නගර දෙක අතර ඇති සෘජු සම්බන්ධය සහ ශතවර්ෂයක ඉතිහාසය මෙම ගොඩනැගිලිවලින් පිළිබිඹු වන ආකාරය දැකීම ඇත්තටම පුදුම සහගතය. මේ ප්‍රතිමාව ළඟ සිටින්නේ අපේ ගයිඩ් මහතාය. ප්‍රතිමාවේ සටහන් ලියා ඇත්තේ ස්වීඩිෂ් භාෂාවෙනි .  එය කතා කරන්නේ 3% පමණ ජනතාවක්  වුවද එය රාජ්‍ය භාෂාවක් හෙවත් දෙවැනි භාෂාවයි .  එනිසා සෑම  පුවරුවක්ම පාහේ   ස්වීඩන භාෂාවට පරිවර්තන කර තිබෙනු  දැකිය හැකිය . 

හෙල්සින්කි වල නග්න  දිය කිඳුරියකගේ ප්‍රතිමාවක් එහි මාකට් එක ආසන්නයේ ඇත. එය නම්කර ඇත්තේ හවිස් අමන්දා  යනුවෙනි .  එය වල්ග්‍රෙන් පැරිසියන් නම් කලාකරුවාගේ නිර්මාණයක් වන එය විවෘත කර ඇත්තේ 1908 වසරේදීය. ඇය සාගරයෙන් මතුවන සෙයක් දක්වා ඇති හෙයින් එය හෙල්සින්කි නගරයේ නව උපත සංකේතවත් කරන බවට ෆින් වරු විශ්වාස කරති .  


 මාකට් චතුරශ්‍රයේ වැඩිපුර තිබුනේ මාළු බැද විකුණන පොඩි අවන්හල්ය.  ඒ අතරේ නොයෙකුත් සුකුරුත්තම් විකුණන කඩ ද තිබුණි .  එක තැනක සිටි රුසියානුවෙකු අපි කොහි  සිට දැයි ඇසුවේය .  බොහෝ තැන්වලදී  ලන්ඩන් වලින් යයි කී පසු ඔවුන් මගින් නමුත් ඔබ ඇත්තටම කොහි  සිට දැයි අසයි .  එංගලන්තයේ එවැනි ප්‍රශ්නයක් ඇසුවොත් එය වර්ණවාදී හෝ ජාතිභේදවාදී  ප්‍රශ්නයක් ලෙස සලකති .   නමුත් ලෙහෙසියට මම නිතරම මා උපන්නේ  ශ්‍රී ලංකාවේ යයි පිළිතුරු දෙමි .  මෙහිදී රුසියානුවා කීවේ ඔබේ රටේ කෙනෙකුත් මෙහි සිටිනවා කියා ඒ කඩය පෙන්වීය. ලංකාවෙන් ගෙන්වන, දැවයෙන්  සෑදු ළමා සෙල්ලම් බඩු  හා අධ්‍යාපන අංග විකුනන එහි කඩ හිමියා ශ්‍රී ලංකාවේ සිට වසර හතළිහකට පමණ පෙර පැමිණියෙකි .  අවාසනාවට මට ඔහුගේ නම අමතකය . 

 එහි ඇති විශාල පුස්තකාලයට සහ රොක් කොන්සර්ට් හලටද ගිය අපි කොෆි බිමට  නැවතුනෙමු .  ඉතා රහ කේක් ජාති දෙක තුනක්  අරගෙන ඒවාට ගෙව්වත් කෝපි හා තේ වලට මුදල් අයකළේ නැත .  සොයා බලනවිට ඒවා නොමිලේය. පුස්තකාලයේ හා ඒ අවට පින්තුර දෙවන ස්ලයිඩයේ ඇත .  පුස්තකාලයේ සිංහල  පොත් නොතිබුනත් රුසියානු සහ වෙනත් භාෂාවල පොත් තිබේ. රුසියානු පොත් ගැන විශේෂයෙන් සඳහන් කලේ පසුගියදා යුක්‍රේනයේ රුසියානු සාහිත්‍ය පොත් බොහොමයක් ගිනිබත් කළ හෙයිනි .  මෙහි බොහෝ ෆින්වරු  හොඳින් ඉංග්‍රීසි කතා කරන බවද නිරීක්ෂණය කෙරුවෙමු.

සමහර ගොඩනැගිලි හා තට්ටුනිවාස අසල සතෙකුගේ පින්තුරයක් කොටා තිබේ .  බොහෝ ෆින්ලන්ත වාසීන්ට අකුරු කියවීමේ හැකියාවක් තිබී නැත .  එනිසා ස්වීඩන පාලන කාලයේ ඔවුන් ලිපින හෝ ඉන්න ස්ථානය හඳුනාගෙන ඇත්තේ සතුන්ගේ නම් වලිනි .  "අපි ඉන්නේ වලහා ගේ බිල්ඩිම ගාවින් හැරී ගොස් අලියාගේ බිල්ඩිම අසලම තිබෙන ඌරාගේ බිල්ඩිමේ යයි" ඒ දවස් වල සාමාන්‍ය ලිපිනය කීමේ විලාසයකි. 

 

දවස අවසානයේ අපි අවන්හලකට ගියේ රාත්‍රී ආහාරය සඳහාය .  එහි රැකියාව කල බොහෝ අය ෆින්ලන්තයේ  නොව වෙනත් ජාතිකයන් ය .  එහි විශ්ව විද්‍යාලයක උගන්නා සිංහල ශිෂ්‍යවක්ද  අපට මුන  ගැසුණි .  ෆින්ලන්ත වරු තමන්ගේ ගොවිබිම්  සහ ට්‍රැක්ටර් වැනි ඒවාට භාවිතා කරන වාහන ගැන ඇති උනන්දුව මහත්ය .  මේ "ගොවි ආපන ශාලාවේ "  ට්‍රැක්ටර් කිහිපයක් ඇතුලේ තබා තිබුණි . අපි පිසූ විවිධ මාළු සහිත  බඳුනක් , බ්ලිනි සහ පිනි මුවන් (reindeer soup)  සුප් එකක් ඇණවුම් කළෙමු .  ඒවායේ රහ බොහෝ රුසියානු සහ ජර්මන් කෑම වලට සමානය. ජර්මනියේ ශීත සමයට ඉනෙස් ගේ මව ගෝන මස් වලින් හදන  සුප් එක ඒ වගේමය .  අවසන් පින්තූරයේ ඇති අළු පැහැති නිවස අවුරුදු 250 ක පමණ පැරණි  එකකි .  








මේ ට්‍රෑම් කාර් වීඩියෝ දෙක සහට්‍රේන්  වීඩියෝ අප්ලෝඩ් කරන්න අමතක වුනා .  



ෆින්ලන්ත ගමන ගැන තව ලිපි  දෙක තුනක් ලියවෙනු ඇත . 

කොලඹ  ගමයා 10/10/2025