මගේ සොහොයුරා කොළඹ කොටුවේ පිපිරුණු එල්ටීටීඊ සියදිවි නසාගන්නා බෝම්බ කරුවෙකු ගේ ප්‍රහාරයකදී තුවාල ලැබ කකුලක් බිඳී යාම නිසා කකුලේ වානේ (යකඩ) කූරක් දමා ඇති අයෙකි. ඒ නිසා ඔහු ඇවිදින්නේ කිහිලි කරුවක ආධාරයෙනි. ඔහු සෙමෙන් වාහනයෙන් බැස කිහිලි කරුවේ ආධාරයෙන් වාහනයේ මැද දොරටුවට එන විට මම වහාම බැස සිලින්ඩරය ගත්තෙමි. අප එය රැගෙන වෙළඳ සල ඉදිරියට ගොස් බලා සිටියෙමු. කඩයේ මුදලාලි කවුදෝ ගැහැණියක සමග බර කතාවකය. ඔහු අපේ පැත්ත බැලූ මුත් අර "නෝනා " සමග කතාව නතර කලේ නැත. "නෝනා ද " කතා කලේ මහත් උජාරු ස්වරූපයකිනි. කඩයේ සේවකයෙකු ද සිටි මුත් ඔහු වෙනත් "බර" වැඩක්ය. කඩ හිමියා මේ වැදගත් කතාව කරන කාන්තාව කවුද යයි මම සහෝදරයා ගෙන් විමසීමි. ඇය ප්‍රාදේශීය සභාවක වැඩකරන ටිකක් වෙන්නට ඔලුව උදුම්මාගෙන සිටින තැනැත්තියක බව සහෝදරයා පැවසුවේය. ඉවසීමෙන් විනාඩි පහකටත් වඩා බලා සිටි පසු, මොන කෙහෙල්මලකටද මෙතන ඉන්නේ වෙන කඩ නැත්දැයි මම සහෝදරයා ගෙන් ගෙන් විමසීමි. මේ වෙලාවේ ඇරලා තිබෙන්නේ මුස්ලිම් කඩයක් විතරයි කී ඔහු තමන් මුස්ලිම් කඩ වලට නොයන බවද කිවේය. මෙතන බඩු ගන්නට ඇවිත් මුන්ගේ ආඩම්බර බලනවාට වඩා මුස්ලිම් කඩයට යමු යයි මම කීවෙමි.
අකමැත්තෙන් වුවද සොයුරා සිලින්ඩරය නැවත පටවාගෙන රථය හරවා ගත්තේය. මුස්ලිම් කඩයේ මුදලාලි ද කඩය වසන්නට ළඟ බැවින් දෙතුන් දෙනෙකු සමග කතා කරමින්, කවුන්ටරය අස් කරමින්ද උන්නේය. වාහනය නතර කල සැනින් සිනාමුසු මුහුණින් ඔහු එදෙස බැලිය. සොහොයුරා රථයෙන් බැස ගෑස් සිලින්ඩර් තියෙනවා දැයි ඇසීය. වහාම සේවකයෙකුට කතා කළ ඔහු සිලින්ඩරයක් රැගෙන එන ලෙස දැන්විය. සේවකයා වහා පැමිණ රථයෙන් අපේ හිස් සිලින්ඩරය රැගෙන කඩයේ තබා අලුත් එකක් රථයට පැටවීය.
අපට එය ඔසවා ගෙන ගොස් කඩය ඉදිරිපිට බලා සිටීමට සිදු නොවිණි. සේවකයා ඉන්පසු සොයුරා ගෙන් මුදල් රැගෙන මුදලාලිට දී ඉතිරිය ද ගෙනත් දුන්නේය. මුදලාලි අප නික්ම යනවිට අප හොඳින් දන්නා අඳුනන කෙනෙකු පරිද්දෙන් අතද වැනීය. සියල්ලටම ගතවුයේ විනාඩි කීපයකි. ඒ පාරිභෝගිකයාට සළකන වෙළඳාම යි.
සිංහල වෙළෙන්දා වෙළඳම් කරන්නේ තමන් කඩය ගෙනි යන්නේ පාරිභෝගිකයාගේ ලාභයෙන් නොවන ආකාරයටය. මෙවැනිම ආඩම්බර කමක් මා දුටුවේ සෝවියට් දේශයේ වෙළඳ සල් වලය.
සෝවියට් දේශයේ වෙළඳ සල්වල බොහෝ දේවල් මිල ඉතා අඩුය. ඒ නිසා භාණ්ඩයක් හෝ දෙකක් ගන්නවා වෙනුවට කීපයක් ම මිලදී ගැනීම බොහෝ අයගේ සිරිතය. මේ නිසා කෘතීම භාණ්ඩ හිඟයන්ද එහි නිතර ඇති වුනි. වෙළඳ සල් අයිති රජයට නිසා ඒවයේ වැඩ කරන අයද රජයේ සේවකයන්ය. රජය කියන්නේ ජනතාව කියා කොතෙකුත් කීවද සැබෑ ලෝකයේදී එය එසේ නොවේ. සැබෑ ලෝකයේ රජය ජනතාවගේ නියෝජිතයා ම නොවේ. සෝවියට් දේශයේ ජනතාවට රජය තමන් ගේ යයි කියා තිබුනද ඔවුන් සිතුවේ රජය යනු කොමියුනිස්ට් පක්ෂය හා රාජ්‍ය නිලධාරීන් බවයි. සාමාන්‍ය වෙළඳ සල් හා විශාල සුපර් මාර්කට් වල සේවකයන් සිතුවේ තමන් රජයේ සේවකයන් මිස ජනතාවගේ සේවකයන් නොවන බවයි. ජනතාවට හොඳ සේවයක් සැපයුවා කියා ලැබෙන දෙයක් නැත. ඒ නිසා තියෙන ටික හොරකම් කිරීමටත් ඉතිරිය යහළුවන්ට දීමටත් ඔවුන් පෙළඹුණි.
කෝබින් සමහර විට ජයග්‍රහණය කලොත් මේ වැනි තත්වයක් ඇති වේ යයි බොහෝ දක්ෂිණාංශික පුවත් පත් බිය පල කරනු ලබයි. කෝබින් දැනට එවැනි දෙයක් කරන්නේ යයි කියා නැත. දුම්රිය සේවය එංගලන්තයේ අතිශය අසාර්ථක නිසා එය යුරෝපීය ක්‍රමයට සාමුහික අයිතියට ගෙන එම පිළිබඳව පමණක් ඔහු කතා කරන බැවින් ඉහත ප්‍රශ්නය ගැන ඔහුට අවබෝධයක් ඇති බව සිතිය හැකිය. කෙසේ වතුදු එංගලන්තය වැනි පාරිභෝගිකයාට සලකන වෙළඳ සල් හා සේවා තිබෙන රටක සියල්ල රාජ්‍යයට අයිති කර ගැනීමට කෝබින් නොයනු ඇත යන්න මගේ විශ්වාසයයි. එසේම එංගලන්තයේ හෝ යුරෝපයේ වෙනත් රටවල රාජ්‍ය ආයතන වල සේවකයන් (නගර කවුන්සිල් හැර - මෙය වෙනම කතාවකි) තමන් ගේ සේවය ලබාගෙන එන ජනයා ට හොඳින් සලකති.
තමන් මේවායේ අයිතිකරුවන් බව ජනතාවට ඇති දැනුම මෙයට හේතුව යයි සිතමි.
උපුටා ගත්තේ ෆේස්බුක් හි එස්එල් බුවා ප්‍රෝෆයිලයෙනි. |
මත්තල ගුවන් තොටුපලට ගිය වියදම ඉදිරියට දරන්නේද ඒ ණයට පොලිය ගෙවන්නේද ශ්‍රී ලංකාවේ ජනතාවය. ඒ ගුවන් තොටුපල ශක්‍යතාවය පිලිබඳ වර්තාවකදී උපයෝගිතාව අතින් ඉතාම හොඳ තැනක් බවට සඳහන් වූ බව මිතුරෙකු පැවසිය. ඔහුට අනුව මාගම්පුර වරාය ද එවැනිම වැදගත් මර්මස්ථානයක පිහිටා තිබේ. නමුත් මේ දෙකම ආර්ථික වශයෙන් ලාභ ගෙන දෙන ඉදි කිරීම් නොවේ. මොන සමාජක්‍රමය යටතේ වේවා පලප්‍රයෝජනයක් නැත්නම් එය කුමට ඉදි කලේද යන ප්‍රශ්නය මතුවේ. අවුරුද්දට වරක් දෙවරක් ගුවන් යානයක් පැමිණි විට එයත් ප්‍රවෘත්තියක් බව ෆේස්බුක් හි ඇති උපහාස පින්තුරයක සඳහන් විය. මේ සඳහා ණයට ගත් මුදල් රාජපක්ෂ මහතා හෝ ඒ රජයේ ඇමතිවරුන් විසින් ගෙවන්නේ නැත. ඔහුගේ නම ඒවාට යෙදිය යුත්තේද ඔහු ගේ රජයකින් නොව ඉන්පසු එන වෙනත් රජයකින් හා ජනතාව ගේ අනුමැතියෙන් ඔහු ගේ සේවය අගැයීමට පමණය.
මහින්දෝදය විද්‍යාගාර හා අධි වේගී පාරවල් ගැන කිව යුත්තේද මේ ටිකමය. මහින්ද රජ සමයේ ඉදි කලේ රජු ගේ භාණ්ඩාගාරයේ ගොඩ කරගෙන තිබූ මුදලින් නොව රටවැසියාගේ බදු හා ආදායම් උකසට තබා ණයට ගත් මුදල් වලිනි. යෝජනාව දේශපාලකයෙකු ගෙන් විය හැකිය. ජනතාව ඔවුන් පත් කලේද එයටමය. ඒ නිසා ඒවායේ අයිති කරුවන්ද ඔවුන්ය. මෛත්‍රී උදාව , වික්‍රමසිංහ පුර වැනි ඉදිකිරීම් ඉදිරියට පැමිණේදැයි නොදනිමි.
මෑතකදී විවෘත කරන ලද අධිවේගී මාර්ගයේ පීත්ත පටියක් කාන්තාවන් දෙදෙනෙකු විසින් බලෙන් කපා තිබුණි. හරියටම හරිය. අමාත්‍ය කිරිඇල්ල ඔහුගේ මුදලින් ඒවා හැදුවේ නැත. ප්‍රශ්නය නම් මේ කාන්තාවන් දෙදෙනා එය බැර කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට වීමය. ඒ මදිවට ප්‍රසන්න රණතුංග ඒ දෙදෙනා බැලීමට ද ගොස් (ගියා ද දන්නේ නැත ) ඇත. ඔවුන් කල ක්‍රියාව අගය කිරීමටය. ඔව්, ඔවුන් ජනතාවට අයිති දෙයක් ලෙස ජනතාවගේ නාමයෙන් පීත්ත පටිය කැපුවා නම් ප්‍රශ්නයක් නැත. ප්‍රසන්න රණතුංග යන්නේ ඔවුන් මහින්ද වෙනුවෙන් හෝ ඔහු වෙනුවෙන් එය කළ නිසා ස්තුති කරන්නටය. දැන් ප්‍රසන්න හිතන් ඉන්නේ මේ එයාගේ බුදලයෙන් හැදූ එකක් කියාද? ඔහුගේ පියා වන රෙජි රණතුංග වත් එහෙම මුදලක් භාණ්ඩාගාරයට ප්‍රදානය කල කියාවත් අපි දන්නේ නැත.
මා සිතන්නේ මේ සෑම විවෘත කිරිමකම දැක්වෙන "අහවලා විසින් ජනතා අයිතියට පවරන ලදී" වෙනුවට "ජනතාව ගෙවා සෑදූ අධිවේගී මාර්ගය ජනතාව විසින් අහවලාට කියා විවෘත කර ගන්නා ලදී " යනුවෙන් වෙනස් කල යුතු බවයි. ජනතාවට අයිති දෙයක් ජනතාවට නැවතත් පවරන්නේ කුමටද?
දැන් නැවතත් ලාභ පාඩු වෙළඳාමට යමු. මේ පැත්තේ ඇති දෙමළ කඩයේ අය ඉතා හොඳය . වල් ඌරු මසක්, මුව මසක් ගෙන ආ විගස අපට දුරකතනයෙන් කතා කර දන්වති. ගිය විට සිංහලෙන් කතා කිරීමට යත්න දරති. (මට නම් එහි වැදගත් කමක් නොපෙනේ. නමුත් ඒ ඔවුන් ගේ කැමැත්තය) හොඳ සැළකිල්ලක් දක්වති. ඒ නිසා මම එතනට යාමට කැමතිය. පහත වරකා කෑල්ල එහි විකිණීමට තිබුනේ පවුම් 4.50 කට හෙවත් රුපියල් 990 කටය.. (දැන් ඇති අනුපාතයට අනුව ) හොඳින් බැලූ විට එය වරකා ගෙඩියෙන් 1/16 කි. ඒ අනුව මුළු වරකා ගෙඩිය පවුම් 72කි (රුපියන් 15400කි) . ප්‍රවාහන වියදම් වශයෙන් පවුම් දහයක් හා බදු සඳහා පවුම් 2 කක් අයින් කලොත් ලාභය පවුම් 50-60 වේ. අපි අර 1/16 කෑල්ල රැගෙන සතුටු වෙමු.
දැන් කල්පනා කර බලමු සෝවියට් දේශයේ කඩ ගැන. ලාභයක් නැති නිසා භාණ්ඩ වල මිල අඩුය. සේවිකාවන් අපට හොඳින් සලකන්නේ යාප්පුවෙන් යමක් විකුණන්නේ නැත. නමුත් මිලදී ගත හැකි නිසා අපි පෙරේත කමට එකම වර්ගයේ භාණ්ඩ කීපයක් රැගෙන් ගොඩ ගසා ගත්තෙමු. නැත්නම් සේවික සේවිකාවන් ඒවා සඟවා (අර ආණ්ඩුවේ සමුපකාර මෙන්) පස්ස දොරෙන් වීකුණුහ .
සෝවියට් දේශයේ වැරැද්ද වුයේ මිනිසුන් රජය තමන්ට පිටතින් ඇති දෙයක් බව සැලකීමයි. මාක්ස් කි අහෝසි වී යන රාජ්‍යය වෙනුවට සෝවියට් රජය බලසම්පන්න එකක් විය. (නැතහොත් අප එසේ සිතා සිටියෙමු) එය ඇද වැටුනේ ගිණිකුරු වලින් සෑදූ මාලිගයක් වැටෙන ආකාරයටය. ඇද වැටී ගොඩ නැගුනේ මිල අධික භාණ්ඩ ඇති, ඩොලර් මිලියන් ගණන් වත් පොහොසත්කම් ඇති රුසියානුන් සිටින අර්ධ ඒකාධිකාරී රාජ්‍යයක් ය. වැඩි ගණන් දී තත්වයෙන් උසස් භාණ්ඩ ගැනීමට එහි වැසියන් කැමතිය.
මේ අප කැමති ජිවන රටාවයි.