මෙතෙක් කතාව කියවන්න ඕනේ නම් මේ ලින්ක් වලට යන්න.
ලන්ඩනයේ ගෙවතු වැඩට අවශ්‍ය උපකරන ගබඩා කිරීමට කුඩා ෂෙඩ් එකක් හැම ගෙවත්තකම තිබේ . බ්‍රයන් ටද එවැන්නක් තිබුණි. අපේ ගෙවත්තේ අපට නිතර අවශ්‍ය නොවෙන වගයක්ද තණකොළ කපන මැෂිමද , ඉනෙස් මල් පැල සිටුවීමට කපන කුඩා උපකරණ හා පොහොරද තිබුනේ එහිය .
බ්‍රයන් හා මයිකල් දෙදෙනා අලුත් ෂෙඩ් එකක් හැදීමට පටන් ගත්හ. ඒ සඳහා බී ඇන්ඩ් කිව් එකෙන් අලුත්ම ලෑලි ආදියද ගෙන ඔහුගේ වත්තේ ගොඩ ගසා තිබුණි . දිනකින් සැකිල්ල සාදා දෙවෙනි දින එය ගොඩ නගා තිබුණි. බ්‍රයන් කීවේ ඒ ටී රූම් එකක් බවය . ඉහත ඇත්තේ තවමත් තිබෙන එහි පින්තූරයයයි. දැන්නම් එය ඉතා පරණය . අල්ලපු ගෙදර බෝඩ් වී සිටින ලිතුවේනියන් කාන්තාවන් දෙදෙනා සහ තවත් අයෙකුගේ බඩු බාහිරාදිය දැන් එහි ගබඩා කර ඇත .
බ්‍රයන් ගේ ටයරයේ කතාව (එය මෙහි ලියා ඇත ) මෙන් මේ ඉදි කිරීමද දැන් වෙනත් අය භුක්ති විඳිති .
පුංච් ගෙයක් මෙන් වූ එහි සැකැස්ම මයිකල් ගේ ය . අපේ ගෙවත්තේ මම ඉඳහිට පොතක් කියවීමට හෝ යහළුවන් සමග කයියක් ගැසීමට හෝ සින්දුවක් නිදහසේ ඇසීමට සාදා ඇති ටී රූම් එක ගැන මුල් අදහස ආවේද මෙයිනි . ඔවුන් මට එවැන්නක් සැදීමේදී අවශ්‍ය කරන ඇණ මුරිච්ච්චියේ සිට උපකරණ ගැන කියා දුන්හ . අළු පාටට තිබෙන්නේ අපේ ගෙවත්තේ සෑදූ එකය . අල්ලපු ගෙදරට පසුව පදිංචියට පැමිණි රුමේනියානු ජාතිකයකු එය සාදා දුන්නේය .
මයිකල් තීන්ත ගාන අතරේ බ්‍රයන් ඔහුට කොම්පියුටර් ප්‍රශ්නයක් ඇති බවත් එය නිරාකරණය කර ගත යුතු බවත් දැන්වීය . මේ ඔහු බොයිලරය සවි කර දීමේ උපකාරයට ප්‍රති - උපකාරයක් ලෙසය .
අපේ ගෙවල් ළඟ ජේම්ස් කියා සුද්දෙක් සිටියේය . ඔහු ජිවත්වූයේ තනියමය . ඔහු බ්‍රයන් හමුවීමට නොයෙකුත් උදව් ගැනීමට එයි . ඔහු වරක් මා පාරේදී හමුවූ විට මෙසේ ඇසුවේය .
"ඔයා බැඳලා ඉන්නේ බ්‍රයන් ගේ පොඩි දුවද ?" මම නැතැයි පැවසුවත් ඒ ප්‍රශ්නය කුතුහලය දැනවූ හෙයින් , පොලිස් පරීක්ෂක ජැකී ඇර බ්‍රයන්ට තවත් දුවලා ඉන්නවද යයි ඇසුවෙමි .
"ඔව් , මම හිතුවේ ඔයාගේ බිරිඳ , දෙවෙනි දුව කියල . එක උසමයි . එයත් බ්ලොන්ඩ් (රන් හිසකේ ඇති අය ) ." ජේම්ස් පැවසුවේය . මම හැරෙන තැපෑලෙන් ඉනෙස් ට ඒ බව පවසා පසු දවසක අල්ලපු ගෙදර ආච්චි බලන්නට එන දියණිය ගෙන් ඒ ගොසිප ගැන ඇසුවෙමි.
ඇය කීවේ බ්‍රයන් ගේ පළමු කසාදයේ දියණියන් දෙදෙනාගෙන් කණිටු දියණිය ඉනෙස් මෙන් නිසා ඇයද අප කතා කරන තුරු එසේ සිතූ බවයි . ඇයට අනුව බ්‍රයන් ගේ දියණිය මොරොක්කෝ හෝ ඊජිප්තු ජාතිකයකු කසාද බැන්ද පසු ඇය ට ගෙදරට පා තැබීම පවා බ්‍රයන් තහනම් කර ඇත.
ගෙවත්තේ මයිකල් තීන්ත ගාමින් සිටියේය . මම බ්‍රයන් කතාවට ගත්තේ ඔහු ගේ මුස්ලිම් විරෝධය ගැන කියමිනි . බ්‍රයන් දේශපාලන කතාවට අනිවාර්යයෙන් අහුවෙයි .
අපේ තුර්කි යහළුවන් වන බුලන්ට් මෙන්ම ඉන්දියන් මුස්ලිම් ඉම්තියාස් ද හොඳ මුස්ලිම් යහළුවන් බව ඔහුට පැවසීමි .
"උන් මුස්ලිම් නෙමේ . " ඔහු ගත් කටටම පැවසිය . මම ඔහු හා තර්ක කලේ එසේ කියන්නේ කෙසේදැයි අසමිනි . බ්‍රයන්ට අනුව තුර්කි ජාතිකයන් සමහරක් මත්පැන් බොන හරියට යාඥා නොකරන අයයි . මගේ යහළුවන් දෙදෙනා යාඥා කරනු දැක නැති නිසා මට කිසිත් කීමට නොහැකිය . ඊළඟට බ්‍රයන් මටද දමා ඇරියේය .
"උඹ බුද්ධාගමේ නෙමේ."
" එහෙම කොහොමද කියන්නේ" , මම ඇසුවෙමි .
"උඹ යාලුවෝ එක්ක වොඩ්ක බොන්නේ නැත්ද ? උඹ මස් කන්නේ නැත්ද? උඹ බුද්දාගම් කාරයෙක් නෙමේ ".
ඒකට නම් මට හිනා ගියේය.
"බ්‍රයන් ඔය බොන්න එපා කියන ඒවා හෙම කලින් බුදුන් දෙසපු ආගමේ තිබ්බේ නැහැ . පස්සේ ඉන්දියාවේ මුල් ආගමක් වන ජෛන ආගමින් එකතු කර ගත් දෙයක් . " බ්‍රයන් මගේ කීම විශ්වාස කලේ නැත. දෙවෙනි කරුණ ගැන ඇසීමට හොඳ වෙලාව යයි සිතා , ජේම්ස් අපට රැවටුණු අයුරු කීවෙමි .
"අහා, ජේම්ස් හොඳ මනුස්සය . නෑදෑයෝ කවුරුත් නැහැ . මට හිටියත් ගෙන්වන්නේ නැති එක ගැන මට ආඩපාලි කියනවා . අජිත් මම ඒකිට මගේ මළගම ටත් එන්න එපා කියල තියෙන්නේ. "
බ්‍රයන් ඉන්පසු කවදාවත් ඒ දියණිය ගැන කතා කළේත් මා ඇසුවේත් නැත .
"වරෙන් යන්න මගේ කොම්පියුටරේ බලන්න". ඔහු මා කැඳවා ගෙන නිවස තුලට ගියේය . ඔහු ගෙය විශාල කර තිබුනේ පිටු පස කොටසේ විශාල කුස්සියක් සෑදීමෙනි. ගේ මැදින් ඇතුලට ගොස් පැත්තෙන් දෙවෙනි තට්ටුවට ය හැකිය . දකුණු පැත්තේ මාස්ටර් බෙඩ් රූම් එක සහ අනිත් කුඩා කාමරයක්ද අනිත් පැත්තේ කාමර ද වශයෙන් ඔහු ගෙය වෙනස් කර හදා තිබුණි . මයිකල් සමග පමණක් එකතුවී ගේ වෙනස් කල නිසා එය නිමාවීමට තරමක කාලයක් වැයවී තිබේ . පළමු බිරිඳ වෙන්ව ගොස් ඇත්තේ එයට විරෝධය පල කරම්නි .
බ්‍රයන් තාක්ෂනය ගැන හොඳ අවබෝධයකින් සිටියේය . අලුතින්ම එන ඉන්ටෙල් ප්‍රොසෙසර් එක සහිත පරිගණකය හෝ අලුත්ම වින්ඩෝස් සිස්ටම් එක ඔහු මිලදී ගත්තේය . පසු කලෙක ඔහු පරණ ඒවා මට දුන්නේ ලංකාවට යැවීමටය .
බ්‍රයන් ගේ කම්පියුටරයට පිවිසි මට තේරුනේ ඔහුට වෙනම ඩේටාබේස් (දත්ත ගබඩාවක් ) සහිත ප්‍රෝග්‍රෑම් එකක් කවුදෝ ලියා දී ඇති බවය . එයට යා හැක්කේ
කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙනි. (ඒ ගැන නොදන්නා අයට . වින්ඩෝස් ඔපරේටින් සිස්ටම් එක එන්නට කලින් තිබ්බේ ඩොස් disk operating system කියා එකකි , ඒකෙන් අපට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එකක් රන් කල හැකි විය . එසේම ෆයිල් කොපි කලේ , ඩිලීට් කලේ ඒ හරහාය . වින්ඩෝස් හැදුවත් බිට් 16 සිට 32 දක්වා යන අතරතුරත් මේ ඩොස් කමාන්ඩ් අපට වශ්‍ය විය . හැම කම්පියුටරයකම බේස් ෆයිල් ඇක්සෙස් කරන්නට මේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක තිබේ . ලිනක්ස් ආදිය භාවිතා කරන අය මෙය කොහොමත් දනී . )
ඉතින් මම කලේ අර ප්‍රෝග්‍රෑම් එක පරණ කම්පියුටරයෙන් රන් කර අවශ්‍ය දත්ත ඩීබේස් ෆොර්මැට් එකට ගැනීමයි . ඉන්පසු බ්‍රයන්ගේ අලුත් කම්පියුටරයට ඒවා දමා එක්සෙල් වලින් ඇර බැලීමට කියා දුන්නෙමි . එසේම එම ප්‍රෝග්‍රෑම් එකද සම්පූර්ණයෙන් කොපි කර අලුත් කම්පියුටරයටද ඇතුළු කලෙමි .
"මගේ පවුම් දෙසීයක් විතර උඹ ඉතුරු කරා." බ්‍රයන් කීවේය . මෙහිදී මට තේරුනේ යුරෝපියානු දක්ෂිණාංශික යන්ගේ එක ගතියකි . ඔවුන් නිකන් කිසිවෙකුට උදව් කරන්නේ නැත . ඒ සඳහා ගෙවීමක් නොකරන්නේ නම් වෙන උදව්වක් හෝ ඔවුන් අපේක්ෂා කරති. නමුත් සම්බන්ධය හොඳින් පවත්වා ගනිති . දේශපාලනය නැති යහළුවන් බොහෝ විට උදව්වට උදව්වක් අපේක්ෂා නොකරති . යුරෝපයේ වෙසෙන වාමාංශික පක්ෂයක කෙනෙකුට නම් අපි බොහෝවිට කොන්දේසි විරහිතව උදව් කිරීමට බැඳී සිටිය යුතුය . ඒ ඔවුන් ලෝකය ගලවා ගැනීමට සටන් කරන හෙයිනි . (මේකනම් ලීවේ විහිළුවටය. අවශ්‍ය නම් උදව් නොකර හිටිය හැකිය .😀 )
"මීට පස්සේ උඹ මට කම්පියුටර් වැඩ වලට උදව් කරපන් . මම උඹට බොයිලර් එක හෝ ගාඩ්න් වැඩ , වැට ගහන්න , ප්ලම්බින් (පයිප්ප ) වැඩ වැලට හෙම උදව් කරන්නම් .
එංගලන්තයේ මේවා මිල අධික සර්විස් ය . පයිප්ප බාස් ගෙදරකට පය තබන්න පවුම් පනහක් විතර ගනිති . ඒ නිසා වැඩේ මටත් ලාභය.
බ්‍රයන් ගේ ෆයිල් කොපි කිරීමේදී මම ලිපි මයික්‍රොසොෆ්ට් වඩ් (ලිපි ලියනය ) එකට දමා දුනිමි . එහිදී මම අමුතු ආකාරයේ සංකේත හා නම් ලිස්ට් ද වර්ශිප්ෆුල් බ්‍රදර් (ගෞරවණීය සහෝදරයා) වැනි වදන් ද දුටිමි.
උඹ සැඟවුණු වාමාංශික පක්ෂයක් සහෝදරයෙක් යැයි දැයි මම ඇසුවෙමි .
"මට පිස්සු කියල උඹ හිතුවද , මේ ෆ්‍රී මේසන් වැඩ" බ්‍රයන් පැවසුවේය .
"මොකද්ද ඒ, අර ඉලුමිනාටි කියන රහස් සංවිධානය නේද?" මා අසා තිබුනේ එපරිදිය .
"පිස්සුද? අපේ සංවිධානය රහස් එකක් නෙමේ . නමුත් අපට රහස් තියනව . බ්‍රයන් එසේ කියා ෆ්‍රී මේසන් සංවිධානය ගැන සඟරාවක් මට බැලීමට දුන්නේය.
බ්‍රයන් ගේ මුස්ලිම් විරෝධයට හේතුව මට හදිසියේ පසක් විය . එක ලිපියක හෙඩිම වූයේ නයිට්ස් ටෙම්ප්ලර් එකය . ඒ කුමක්ද යන්න ඉතිහාස පොත් කියවා මම දැන සිටියෙමි . කුරුස යුද්ධයේදී සලවුදින් සුල්තාන් ගේ හමුදාවට ශුද්ධවූ ජෙරුසලම බේරා ගැනීමට සටන් කල නයිට්වරුන් ගේ ඔර්ඩර් එකක් හෙවත් සාමූහිකයකි . ඔවුන් පසු කලෙක දැන් ඉස්තාන්බුල් නමින් හඳුන්වන කොන්ස්තන්තිනොපල් නගරය සඳහාද සටන් කලද පසුව තුර්කි ඔටෝමන් හමුදා වලට පරාජය විය. මට මතක විධිහට අයිවන් හෝ නැමැති , රිචර්ඩ් රජු (රිචඩ් ද ලයන් හාට් ) ගැන සඳහන් පොතේද මේ නයිට්වරුන් ගැන සඳහනක් එයි .
"උඹ නියම මුස්ලිම් වරු කියන්නේ උඹල එක්ක සටන් කරපු අන්තවාදී අයටද ? " ටෙම්ප්ලර් සංකේත පෙන්වා විහිළුවට මෙන් මම ඇසුවෙමි .
"අන්න උඹට තේරුනා."
මගේ පිටට තට්ටුවක් දමමින් බ්‍රයන් කීවේය .
මම ෆ්‍රී මේසන් වරුන් ගැන තිබූ පොතත් සමග නිවසට පැමිණියෙමි .
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් සහ සුභ නත්තලක් වේවා.
කොළඹ ගමයා 23/12/2024
මේක දැක්ක ගමන් ඇවිත් මේකයි, ටයරයේ කතාවයි දෙකම කියෙව්වා. හරිම රසවල් ලිපියක්. කියන්න දේවල් වැඩි නිසා, සැරින් සැරේ ඇවිත් යන්නං.👌🙏
ReplyDeleteස්තුතියි . මම හිතුවේ ටයරයේ කතාව කලින් කියවන්න ඇති කියල .
Deleteකමෙන්ට් එකක් නෑ කියන්නෙ කියවල නෑ
Deleteඔව් ඔව් . බ්‍රයන් ගැන ලියන්න අදහස ආවේ ඔය ටයර් කතාවෙන් පස්සේ
Deleteසෙටිපිකැට් ඇත්ත. බුදු දහමේ එහෙම එකක් කියලා නෑ නෙව. කරන දේ හා එහි විපාක පෙන්වල එය තේරුම්ගෙන යතා පරිදි ජීවත් වෙන්ට නෙ කිව්වෙ.
ReplyDeleteඔය මස් කතාව එක්ක මතක් උනෙ ආමගන්ධ කියන සූත්‍රය. එකෙනුත් පේනව මස් කන්න එපාමයි කියල පැනවීමක් නැහැ.
ඒක තමා මගෙත් අදහස . අනික කොහොමත් බොරු කීම හොරකම් කිරීම කරන දෙක නොකර ඉන්න ඇඟට ගුණයිනේ . තුන්වෙනි එක නොකරම බැරිනම් පොඩි කොටුවක් පැනල කෙහෙළිය වගේ තට්ටුවෙන් නොවැටී ඉන්න ඕනේ
Delete😉😁🙈
Delete//වඩා කැමති කලින් ලියන 'කතා කිරීමේ ' ආරයට ද නැත්නම් මෙයට දැ// කොහොම ලීවත් අපි කියවනව නෙව.
ReplyDeleteකතාව පටාන් ගද්දීම හිතට එන ටයිප් එකට ලියන්න. ඒක තමා කතාවට හොඳම විදිහ කියලයි මට හිතෙන්නෙ. මොකද කතාව විහින්ම ලියැවෙන විදිහ තෝරන හන්ද ඒ ක්‍රමය වඩා උචිත වේවි කියලයි මට හිතෙන්නෙ.
ඒක ඇත්ත . ඒ නිසා මම ඒ කොටස අයින් කළා
Deleteඅහා! පයිප්ප බාස්, බොයිලර් ඉන්ජා, ෆ්‍රී මේසන් බාස්, ට්‍රැෆිල් පොලිස් අසල්වැසියෙක් කියන්නෙ අහඹු සිදුවීමක්.
ReplyDelete//මම හැරෙන තැපෑලෙන් ඉනෙස් ට ඒ බව පවසා .......ආච්චි බලන්නට එන දියණිය ගෙන් ඒ ගොසිප ගැන ඇසුවෙමි// හෙහ්,හෙහ් ප්‍රීතියි,ප්‍රීතියි , ඔබ නියම හැලයක්පුත්‍රයෙක්.😋
මේකා ඉකන් සර්වලෝක පුට්ටුව වගේ නේද ? මම නියම හෙළයෙක් වශයෙන් ගොසිප විමසුවා . අත අරින්න පුළුවන එහෙම එකක්
Deleteඉලුමිනාටි සංවිධානය, පල්ලිය සහ විද්වතුන් අතර ගැටුම, ඉන්වර්ටඩ් පිරමිඩ්, ඕල් සීන් අයි. වගේම, නයිට්ස් ටෙම්ප්ලර්-දුප්පත් නයිට්වරු, එක අස්පය පිටේ දෙන්නා යන ලෝගො එක. ප්‍රථම ටෙම්ප්ලර් බැංකු ක්‍රමය. ධනවත් නයිට්ස් ටෙම්ප්ලර් සහ රාජ්‍ය මර්ධනය වගේ විස්තර අතුරු කතාවක් ලෙස ලියන්න වටිනව කියල හිතෙන්නෙ නැද්ද? මට නෙමෙයි, මගේ අසල්වාසීන්ගේ දැණුම පිණිස. 😁
ReplyDeleteමේ කතා පෙලට අනිවාර්යයෙන්ම මද පමණින් හෝ ඇතුලත් වෙන දේවල් හැටියට සාඩම්බරයෙන් කියන්න කැමතියි . අතුරු කතාවක් ලෙස නොව කතාවේ කොටසක් ලෙස . ප්‍රීති ද බසු රජ
Deleteසන්තෝසයි වැන්දබෝනා!
Deleteමලයාලි ඉලුමිනාටි 😅
Deleteඒ මොකක්ද ? සින්දුවක් කියල නම් දැක්ක
Deleteකතාව ගැන අවධානය වැඩිවන විට ශෛලිය ගැන හිත යන්නෙම නැති තරම්. පසුව තමයි ඒ ගැන හිතන්න වෙන්නේ.
ReplyDeleteඑහෙමනම් වඩා හොඳයි . ඒක හිතේ තියාගෙන වැඩේ කරමු .
Deleteරුදුරු කතෝලික ආධිපත්‍යෙයන් සිංහල සංගීතය බේරාගත් සූරියසේන වීරයට ජයවේවා
ReplyDeleteඑසේම වේවා
Delete'සුදු පරෙවි රෑන සේ ' ඔයා යෙහෙළියෝ එක්ක එනව මන් බලන් හිටිය හෝල්ට් එකේ කොනකට වෙලා. ඒ පරෙවි රෑන ස්කුල් බස්සෙකේ යනකොටත් හරිම ලස්සනයි. ඉතින් මම ඔයාගේ 'හදවත ඉල්ලා නොලැබුන විටදී ' හිතින් හැඬුවා . අපි කොල්ලන්ට අඬන්න බැහැ කියල තමයි පුරුදු කරල තිබ්බේ. ඒත් ඉතින් "මේ මොහොතක සුව දෙන චංචල ලෝකේ" මම රුපිකාවන් පැතුවේ නැහැ. මට ඕන වුනේ 'මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න" විතරයි. පුංචි කාලේ අපි "මේ කැකුණ කැලේ, ලන්දේ එහා කොනේ' අපි සෙල්ලම් කරපු හැටි ඔයාට අමතක වුනත් මට අමතක වුනේ නැහැ. ඉතින් 'ඇසුරින් මිදීලා ඔබගේ ලොවේ තනිවී හිඳින්' නට මම සිහින මවපු එකමයි කලේ . 'තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ' හැමදාම හිටියේ ඔයා, 'හිරුද මුවාවී ලැසි ගමන'මමත් බලන් හිටිය. 'ලිහිණි රෑන පියා' සලන සැන්දෑවක අපි හමු වුනා. 'සඳ තාරකා හඬාවි රළු මීදුමෙන් එහා' , ඒත් ඔයා කිව්වා ඒ අන්තිම දවස කියල.'මුළු මුහුදම හඬද්දී මම වෙරළේ නිසසලව තනි වුනා. ඔයා 'රටකින් එහා ඉගිලී ගියේ ' හරියට 'අඳුර අඳුර මගේ, සොඳුර සොඳුර මගේ ' මට උරුම කර දීල. ඒත් 'ආදරණිය නේරංජනා' ඔයාට මව අමතක කරන්න බැහැ කියල ඔයා එවපු පළමු ලිපියෙන්ම මට තේරුනා. 'හෙට දවසේ අප දෙදෙනා අද වගේම හමු විය යුතු වේ ' කියල මට හිතුන . මමත් ගුවන් ටිකට් පතක් අමාරුවෙන් හොයාගෙන වීසා ගහගෙන ඔයාගේ පස්සෙන් ආව .'සරතැස නිවා දිවි කතරේ මට හමු වුනා ඔබ ' යලි සොඳුරේ කියල මට හිතෙන්න ගත්ත. ඉතින් 'ගෙල වට බැන්දා වූ මුතු පොටක්' එක්ක අපි අතිනත ගත්ත . 'ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී ' ඔයා මගේ තුරුලට ආයෙත් පිය මැන්න . 'මේ පාලු මාවතේ' තනි වෙන්න හිටි මට 'මල්සර හිනාව පෙම්බර කතාව' ගෙනාවේ ඔයා . ඉතින් 'ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී ' අපි මේ ගමන යමු.
Deleteප්‍රියා සුරියසේන සොඳුරු ගායකයානන්ටත් ඔහුට ගීත ලියූ සැමටත්, වාදනය සැපයූ සැමටත් අපේ යොවුන් විය, තරුණ විය මෙන්ම සැන්දෑ සමයත් මනහර ගීතයෙන් ආලෝකමත් කළාට ස්තූතියි. සුභ ගමන් සොඳුරු ගායකයාණනි. ඔබ දෙව්ලොවත් සුවෙන් සතපන්න.!
අජිත් ධර්ම 25/12/2024
පුලුවන් නම් විදේශිකයන් කීප දෙනෙක්ට ප්‍රියා සූරියසේනගේ ගීතයක් අහන්න දීලා ලැබුනු ප්‍රතිචාර ගැන විස්තරයක් දාන්න. ඇසුරින් මිදිලා, ඈත රන් විමන් ගිත දෙකෙන් එකක් වැඩේට හොඳයි කියලා හිතෙනවා.
Deleteසිංහල මිනිස්සු අතර අතිශය ජනප්‍රියවන ගීත (උදාහරණයක් විදියට ඩයස්ගේ නංගි) අසිංහලයන් අතර ජනප්‍රිය නොවන තත්වයක් දැකලා තියෙනවා. හේතුව දැනගන්න එක වාසියි.
ඒකට වැදගත් වෙන්නේ මියුසික් එක . වාදනය නැගල යන ටියුන් එකක් නම් සින්දුව ජනප්‍රියයි . උදාහරණයක් වශයෙන් - අහංකාර නගරේ ගීතය අසිංහල හෝ විදේශිකයන් අතර ජනප්‍රියයි . ඩයස් ගේ නංගිගේ කතාව අසින්හලයන්ට වැටහෙන්න අවශ්‍ය නැහැ සහ ඒක ජනප්‍රිය නොවන්නේ එය කොපියක් නිසා . එහෙම ඉංග්‍රීසි ගීතයක් තියෙනවනේ - කවුද බොලේ ඇලිස් ශානරයෙන් ලියුවක් නේ
Deleteඒ කියන්නේ සෑහෙන කාලයක් මේ ගෙදර ඉඳලා තියෙනවා නේද?
ReplyDeleteමාත් මේ ඉන්න ගෙදරින් (හැදුවේ 2012) ආයේ කොහෙවත් යන එකක් නෑ, නර්සිං හෝම් එකකට ගියොත් මිස.
ඔව් අපි මුලින් හිටියේ ෆ්ලැට් එකක . ඊට පස්සේ මේක ගත්තේ . දැන් අවුරුදුම විසි හතරක්
Deleteමම නම් මේ ලියපු ස්ටයිල් එකට කැමතියි. අජිත් අයියා ලියාපු පොත් ටික තාම ගන්න උනේ නෑනේ. සල්ලි දැම්මොත් පාර්සල් කරලා එවන්න බැරිද?
ReplyDeleteටෙම්පල් නයිට්ස්ලා ගැන කියවලා තියෙනවා. හැබැයි පේන විදියට අජිත් අයියා ඊට වඩා විස්තර දන්නවා වගේ. මම හිතන්නේ ටෙම්පල් නයිට්ස්ලා ගැන වෙනම ලිපියක් ලිව්වා නම් හොදයි. පොඩ්ඩක් අර ලයිෆි ස්ටයිල් එකට වගේ ලිව්වා නම් හොදයි.
අවුරුදු විසි හතරක්? පේන විදියට අවුරුදු 30ට වඩා දුරු රට....
පාර්සල් කරලා එවන්න පුළුවන් . මම බිරින්දෑ ගෙන් අහල බලන්නම් කියක් වෙයිද කියල තැපැල් ගාස්තු
Deleteමම කොපමණ විස්තර දන්නවද කියන එක කියන්න අමාරුයි . දන්නා ටික ලියන්නම් . ඔව් අවුරුදු 18 දී ලංකාවෙන් පිටවුනේ .
Deleteවැඩ වැඩි නිසයි මෙහි එන්නට පමා වුණේ
ReplyDeleteඒත් මොකෝ එහෙමම හරි ආවානේ
රසබර තතුයි පෝස්ටුවෙන් කියවෙන්නේ
comments ටිකත් ඒ විත්තිය කියනවනේ
better late than never
Deleteකියා කියමනක් තිබේ
කෙටුවාම කොමෙන්ටුවකුත්
වැඩේ හොඳටම සාර්ථකමය
අජිත් මම ඔය ෆ්‍රී මේසන් වරුන්ගේ දේශපාලනය ගැන එච්චරම දන්නේ නෑ ඒත් ඉතිහාසය දෙස බලද්දී 1452 කොස්තන්තිනෝපලේ වැටුනත් එක්කම කුරුස යුද්ධේ ප්‍රධාන අධියර ඉවර වුනාට කුරුස යුද්ධයේ සීතල අවධ්ය තාම ක්‍රියාත්මකයි. මෑතකාලීනව මැද පෙරදිග යුද්ධ නිසා අවතැත් වෙච්ච පිරිස් මිලියන ගණන් යුරෝපෙට සංක්‍රමණය වුනා. එතකොට යුරෝපා රටවල් සහජිවන දෑත් දිගු කරලා ඒ අයව බාර ගත්තට එයාලා කවදාකවත් යුරෝපා සංස්කෘතියට අනුගත වෙන්න අදහසක් තිබ්බේ නෑ.එයාලට ඕන වුනේ එයාලගේ මතවාදය.ඒ රටවල ස්ථාපිත කරන්න.
ReplyDeleteඒකටම හරියන්න යුරෝපා රටවල්වල අලුත් පරම්පරාවත් දේශප්‍රේමිත්වය තමන්ගේ පාරම්පරික ආගම වගේ දේවල් හණමිටි අදහස් විදියට බැහැර කරලා විප්ලවවාදි රැඩිකල් අදහස් කරපින්න ගත්ත එක සංක්‍රමණික පිරිස්වලට තමන්ගේ මතවාද ඒ රටවල පැල කරන්න උදවු වුනා.. ඩොයිස්ච්ලන්ඩ් වලට මිලියනයක සිරියානු සරණාගතයන් ගෙන්වාගත් අන්ගිලා මෙයාකල් (ඇන්ජෙලා මර්කල්?) මක්හෝං (මැකරෝන්?) වගේ බලයට කෑදර බලලෝභී අපත බලකාමී දේශපාලනඥයන් තමන්ගේ දේශපාලන බලය මොන ජාතියෙන් හරි තියා ගන්න ගහපු පාදඩ යටිකූට්ටු ගේම් නිසා තත්‍වේ තවත් ව්‍යාකූල වුනා..දැං ඔය රටවල් වල ඉන්න දේශප්‍රේමි කොටස්වලට තර්ජනේ තේරිල ඔලුව උස්සන්න හැදුවට දැං අස්පයා ගිහිං ඉවරයි. ඉලෝං මස්ක්ලා ට්‍රම්ස් එක්ක යුරෝපීය රටවලත් ජාතිකවාදීන්ට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ජාතිකවාදීන්ට බලය ලබාගන්න උත්සාහ කරනව ඒත් ඒක ඇත්තටම කරන්න ලේසි නෑ පවතින සංකීර්ණ සමාජ දේශපාලන පසුබිම මත බලමු. ඕං ඔය ගිනිගෙඩියම තමා ලංකාවටත් පත්තු වෙන්නේ...!
මැද පෙරදිග යුද්ධ ඇතිකළේ ඉතින් බටහිර මනේ . ඇන්ජෙලා ඒ අය ගෙනාවේ ජර්මනියේ ජනගහනය සීග්‍රයෙන් නාකි වෙන නිසා . වැඩ කරන්න මිනිස්සු අඩුයි . කෙන්යාවෙනුත් ගෙන්වන්න හදන්නේ . හබැයි ඒක නිසා ඇතිවුණු ප්‍රශ්න වැඩියි . දක්ෂිනංශයට බලය ගන්න ලෙහෙසියි මේ තත්වය උඩ
Deleteඉංග්‍රීසි භාෂාව නිසා යුරෝපයට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනලා තියෙනවා. එහෙට එන සංක්‍රමණිකයෝ රටේ භාෂාව වෙනුවට ඉංග්‍රීසි කතා කරනවා.
Deleteනියමයිනේ
Deleteමගේ අසල් වැසි ගනුදෙනු නම් බිංදුවයි .. සමහරවිට ඒ මම තාම ඉන්නේ මගේම තැනක නොවන හින්ද වෙන්න ඇති .. හායි බායි ලෙවල් එකෙන් එහාට යමක් දන්නේ නැහැ .. :|
ReplyDeleteදැන් අපේ එක පැත්තක බ්‍රසිල් පවුලක් . මුලදී අපි එක්ක හුඟක් හොඳයි . පස්සේ ඈත් වුනා . අනිත් පැත්ත තනි මිනිස්සු ගොඩකට කුලියට දීල . එක කෙල්ලෙක් විතරක් අපට කතා කරනවා . ඊට දෙපැත්තේම කුර්දි හෝ තුර්කි . උන් උන් එක්ක විතරයි . අයිරිෂ් සහ ස්කොටිෂ් පවුල් දෙකක් විතරයි දැන් කතා කරන්නේ . මට ඇත්තටම හිතෙනවා ඉංග්‍රීසි මිනිස්සු හිටියනම් හොඳයි කියල .
Delete