ගෙදරින් එලියට බැස්ස මම ඉබාගාතේ ඇවිද්දෙමි . මෙහම සවුත්තු කාලයක් කවදාවත් තිබුනේ නැත . අනේ මාමේ , ඔයා මච්චර කලින් ගියේ ඇයි ? ඔය අපිට කොච්චර ආලෝකයක් වුනාද ? දුක වැඩි කමට මට ඇඬුනි . "අනේ සඳුනි..................."
මම නොදැනුවත්වම අතුරුගිරවාව පැත්තට බඩ ගෑවී ගොස් තිබුණි . ඒ වෙලාවේ ඇර තිබූ බාර් එකක ට ගොඩ වීම හැර වෙන විකල්පයක් මට තිබුනේ නැත .
ගල් බාගයක් ඕඩර් කල මම එය පරණ රටකජු ටිකක් බයිටට ගෙන බොන්නට ගතිමි ගල් වීදුරුව ටික ටික හිස් වෙද්දී මට නැවතත් හැඬේ.
"අනේ සඳුනි කෙල්ලේ , ඔයා අරයල ඔක්කොම දාල මා ගාවට ආව . මාත් හිතුවා මාමගේ සප් එකෙන් ගොඩ තමා කියල . අනේ අපිට මේ මොකද වුනේ"
එහා පැත්තේ මේසේ තඩියෝ දෙන්නෙක් විස්කි බෝතලයක් අහවර කරන්නේ තඩි මස් බයිට් එකක් එක්කය .මට හීල්ලුනි. මාමා අපිව කොච්චර සිරා තැන් වලට එක්ක ගියාද? මාමට ලැබෙන පිටරට බෝතල් කන්දරාව ? සඳුනි ටයි මටයි කොච්චර සැළකුවද? අනේ.......
"මොකද ඩෝ මේ පැත්තම බලන්නේ" විස්කි බිබී හිටි මරුමුස් දෙන්නාගෙන් එකෙක් මා දිහා බලා ඇසුවේය. උගේ උඩු රැවුල කරකවා තිබුණි. මට චූ ගියේ නැති ටික විතරය .
" අනේ නැහැ මහත්තයෝ , ඔය විස්කි බෝතලේ දිහා බැලුවේ , කවද බීපුවද?"
(මම බොරුවක් ඇද බෑවෙමි.)
"ඔන්න ඔහේ අත ඇරලා දාන්න , නිකන් බොන්න ට්‍රයි කරන අපතයෙක්" මදක් ලාබාල අනෙකා කීවෙය.
ඒ වුනාට මරුමුස් එකා ඇරියේ නැත . ඌ විස්කි බෝතලේ රැගෙන මගේ මේසයට ආවේය . අනිත් තරුණ එකා නොමනාපයෙන් අප දෙදෙනා මැදින් ඉඳ ගත්තේය .
හපොයි, වෙච්චි දෙයක් , කොරේ පිටට මරේ වෙන්න නේ යන්නේ.
"මේ මහත්තයෝ මම මේ විහිළුවට කීවේ, මට විස්කි ඕනේ නැහැ . ඔයිට වැඩිය ඒවා බීල තියනවා මාමණ්ඩි එක්ක" .
මම වහාම කීවේ මේ මරාලයෙන් ගැලවීමටය.
"ඒකෙන් වැඩක් නැහැ. උඹ අඬනව අපි බලන් හිටියේ. උඹටත් ටැක්ස් වැඩිය ගහනවද?ණය ගෙවා ගන්න බැරිද ? ගෑණි ඩුබායි යන්න හදනවද? අපි ළඟ බෙහෙතක් තියනවා . කෙළින්ම ඒරොප්පෙට දාල දෙනවා"
මරුමුස් එකා කීවේය .
මුන් දෙන්නාගෙන් මගේ ප්‍රශ්නෙට උදව්වක් ගන්න පුළුවන් වුනොත් කියා මටත් හිතුනි.
"මහත්තේලා කොහෙන්ද? ආගමන විගමනෙන්ද? සුමිතුරෝ එකෙන්ද? වෙලේ සුදා ගෙන්ද? මාලිමාවෙන්ද " මම ඇසුවේ බය පොඩ්ඩක් අඩුවූ නිසාය .
"අපි පොලීසියේ යකෝ. " ඒ ගර්ජනාවට පාර හිල් කරන්න ජල සම්පාදෙනෙන් ගහන ඩ්‍රිල් එක වැදුනාක් මෙන් මට වෙව්ලිල්ලක් හැදුනි.
"හරි හරි සර් , සර්ලා උදව් කරන්නේ කොහොමද කීවොත්?"
"අපේ තියනවා පැකේජ්. පැට් එක කියන්නේ පොලිටිකල් අසයිලම් ට්‍රැක් එක . ඒ කියන්නේ දේශපාලන අනාතභාවය ගන්න අපි මෙහෙන් සප් එක දෙනවා." මරුමුසා කීවේය.
"ඒ කිව්වේ සර්"
"ඒ කිව්වේ ඉස්සර අපේ දෙමළ යාලුවෝ හෙම ඉන්නේ ඔය කොළඹ පැත්තේ, උතුරු යුද්ධේ අහලකටවත් නොගිය උන්. උන් ඇසයිලම් ඉල්ලුව කියමු යුරෝපේ හරි එංගලන්තේ හරි. අපි සාක්කි හදල දීල තමා යවන්නේ. දවස් දෙකකට හොඳටම ගහල කූඩුවට දානවා. ඇඟ නිල් වෙන්න දෙන්නේ. ෆොටෝස් ගහල දෙනවා. ගහපු රාළහාමිලා ගේ නම් හැටියට ඔය මැරිච්ච, ඉන්ටඩික් කරපු කට්ටියගේ නම් දෙන්නත් පුළුවන් . පොලිසියෙන් අල්ලන් ගියා කියල බී වාර්තාවක් හදල දෙනවා." මරුමුස් එකා කීවේය.
"අනේ ඔව් සාජන් මහත්තයා ඇසයිලම් එක හරි ගිහින් එංගලන්තෙන් එනකොට විස්කි බෝතල්, චොකලට් අරන් ආවේ අපට. ගතමන්ට් එකට අමතරව නේද?අපේ අර නිව්ටන් මතකද , දෙමළ එක්කෙනා." තරුණ එකා කීවේය.
එතකොට අනිත් එකා සාජන්, මූ කොස්තාපල්, මම හිතා ගතිමි .
"අපට උඹට වෙඩි තියන්නත් පුළුවන්. වදින්නේ නැති වෙන්න. උස්සලා අතුරුදහන් කරල පාරක් අයිනේ දාල යන්න පුළුවන් . යකෝ ඉස්සර අපි කොටි පොලිසියෙන් ගැහුවා කියලත් හදල දීල තියනව." මරුමුස් සාජන් ආපහු මහා හඬින් සිනා සුනේය .
"දැන් ටිකක් දෙමළ අයට අමාරුයි නේද සාජන් මහත්තයා . දැන් දෙමල අයට මෙහෙ ප්‍රශ්නයක් නැහැ කියල සුද්දෝ කියනවලු ." තරුණ කොස්තාපල් කීවේය .
"ඔව් ඔව්, ඒ නිසා අපි තව පැකේජ් එකක් පටන් ගත්ත , මේකනම් ෂුවර් ඇන්ඩ් ෂොට් ඇසයිලම් වදිනවා . " මරුමුසා ඇරියේ නැත .
"ඒ මොකක්ද?" මම ඇසුවෙමි .
"ඒක ගැට් . ගේ අසයිලම් ට්‍රැක් . සමරිසි දේශපාලන අනාත සීන් එක. දැන් යුරෝපේ අලුතින්ම දෙන්නේ ඒක . හි හී " එවර කතා කලේ තරුණ එකාය.
"අපි ඔයාට මෙහෙන් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් හොයල දෙනවා . ඔයාල බස් හෝල්ට් එකක මුකුළු කර කර ඉන්න . අපි අල්ලන් ගහින් කූඩුවේ දාල නෙලනවා . අර පැට් එක වගේ තමයි . ඇසයිලම් දාන්න ඔක්කොම සාක්කි අපි හදල දෙනවා" ඌ වැඩේ පැහැදිලි කළේය .
"එහෙම කොහොමද නිකන් අල්ලලා හිරේ දාන්නේ " මම ඇසුවේ බැරිම තැනය .
"මේකා මුකුත් දන්නේ නැහැනේ රාජන් මහත්තය" තරුණ එකා කීවේ කෝචොක් එකටය .
මරුමුසා ඒ ගමන කතා කලේ චාටුවෙනි .
"මෙහෙමයි , මහත්තයා, අර සුද්දගේ කාලේ නීතියනේ තවම. ඒක කලින් ආණ්ඩුවෙන් වෙනස් කළා කීවට අපිට ඉතින් තවම පරණ එක තමා . අයාලේ ගියා කියල අල්ලලා කූඩුවට දැම්ම හැකි . ඒ වුනාට අපි ගහනවා . ඇයි නවත්තන්නද? අනික මේ වැඩේට පින්තූර තිබ්බහම බඩු ෂුවර් . ඕනේ නම් වෙබ් සයිට් එකක හරි බුකියේ පේජ් එකක හරිත් දාල දෙන්නම් . සාක්කි වැඩි වෙන්න වැඩි වෙන්න ගාන සැරයි ."
"ඒ වුනාට මට ඔය දෙකෙන්ම වැඩක් නැහැ. මට පිටරට යන්න ඕනේ නැහැ . අපේ මාමණ්ඩි හිටි කාලේ මට ඕන තරම් යන්න තිබුන. මට ඕනේ ප්‍රසිද්ධ වෙන්න . මම පොත් පත් ලියපු ලෝකෙම දැන ගතයුතු ගත් කතුවරයෙක් , අසමසම කිවියෙක් , නළුවෙක් , නාට්‍ය රචකයෙක්, සොකරි ගුරෙක් . අර'කුඩු කෑ එකාගේ විත්තිය ' පොත ලිව්වෙත් මම " මම ඇදලා ඇරියෙමි .
"යකෝ මූගේ ඝනකම, අනික මාමණ්ඩි යෙක් ගැනමනේ කතාව . කව්ද ඔය ලොකු මාමණ්ඩිය.පොඩ්ඩක් ඉඳපන් මම ලොකු ඕ අයි සී මහත්තයට කතා කරලා අහන්න " මරුමුසා කීවේ තරහෙනි .
"හුහ් , අපේ මාමණ්ඩිට නාට්‍ය , සිනමා ඔක්කොම වලින් සම්මාන රාශියක් ලැබුණු "පාත්තයෝ ඉගිලෙති" එකේ ඉඳන් හොඳම නාට්‍ය වල හිටපු අහවලා . එතුමා සංගීතඥයෙක් , අධ්‍යක්ෂක කෙනෙක් , ඔහෙලා මේ මොනවා කියනවද ? " මට ඉබේම කෑ ගැසුණි .
"එහෙම කියන්න එපැයි . එතුමාව අපි දන්නවා . අප්පේ හරි දක්ෂයෙක් තමා . මහා රජතුමාවත් ඇන්දුවනේ නේද පර්සියාවේ රජතුමා ගේ ඥාතියෙක් කියල. එහෙනම් ඉතින් කොහොම හරි උදව් කරන්න ඕනේ "තරුණ රාළහාමි මෙල්ලවූ බව පෙනුනි .
"හරි ලොකු මහත්තයා කීව ඔහෙට අපි එෆ් ඒ ටි ෆැට් FAT පැකේජ් එක දෙන්න කියල . ෆේමස් ඇසයිලම් ට්‍රැක් එක "මරුමුසාගේ වදන් කනට මීපැණි වත් කරන්න වගේය.
"ඒ කිව්වේ " මම ඇසුවෙමි . වැඩේ හරියන පාටය .
"ඔහෙට ෆේමස් වෙන්නනේ ඕනේ. අපිටත් පොලිසියේ ක්‍රමයක් ඇරෙන්න වෙන ඒවා පුරුදු නැහැ . තමුසේ යනවා හෙට ජොකා පිටින් එලියට. කඩේට යනවකෝ . අපි ඇවිල්ල අහනව උඹ කවුද කියල . ඉල්ලනවා අයිඩෙන්ටිටි එක කවුද කියල හොයන්න . "
"එහෙම ජොකා පිටින් යන්න පුලුවන්ද ? ඔහෙලා මම කවුරු කියලද හිතන්නේ " මටත් නප්පියට තදවුනි . සඳුනිටත් ලැජ්ජයිනේ. මම ජොකා පිටින් ගියොත්. අර මැරිච්ච මාමණ්ඩි ටත් ලැජ්ජාවක් ".
"හරි හරි , එහෙනම් යනවකෝ සරමක් ඇඳන් . සාක්කු නැති ටී ෂර්ට් එක්ක වත් ඇඳන් යනව . තමුසේ වැරදිලාවත් අයිඩෙන්ටිටි හරි ඩ්‍රයිවින් ලයිසන් එක අරං ගියොත් හෙම කියල කීවේ ? අඩුම ගානේ වොලට් එකවත් ගෙනියන්න එපා තේරුනාද ? " තරුණ යකා කීවේය.
"මේ තදින් ගහන්න එපා හරිද? මට ගුටි කාල පුරුදු නෑ. අනික මාව එහෙම අල්ලන්නේ මොන නීතියටද? " මම පින්සෙන්ඩු වුනෙමි .
" හරි හරි ඕයි, අපි පාර හිටින්න අත් දෙකෙන් අල්ලන් ගිහින් පස්සට විතරක් ගහන්නම් , ෆොටෝ එකක්වත් ගහ ගන්න නීතිය නම් තවම ඉතින් පීටීඒ එක තමයි මේ ආණ්ඩුවටත් . ෆේස්බුක් , බ්ලොග් , වෙබ් ඒවාට මේවාට දාන්නත් ඕනෙද ? ඒවා ඇඩිෂනල් හරිද? හා ඇඩ්වාන්ස් පනස්දාහක් ගන්නවා "
"හරි මට ෆුල් පැකේජ් එකම දෙන්න . දැන්ම සල්ලි ඕනෙද ? වැඩේ වුනහම දෙන්නම් "
"මේ ඒ බයිලා බෑ , අර ටික්ටොක් නංගි පේනවා නේද මොබයිල් එකයි පැරබොලික් මයික් එකකුයි තියන් ඉන්නේ . එයා ඔක්කම වීඩියෝ කරලා තින්නේ . මේ අපි කතා කරන ඒවත් ඇහෙනවා එයාට . " මරුමුසා
පෙන්නුවේය .
දෙයියෝ සාක්කිය. රවුමක් වගේ මගුලක් මොබයිල් එකේ ගහගෙන හිටි ඉටි කිරිස් කෑල්ල මම දැක්කේ එවිටය .
මුන් මට ප්ලෑන් කරලාම අන්නවා ඇත .
"හරි එහෙනම් හෙට නාමයට මම සරමක් ගහන් යන්නම් බේකරියට."
*************************************************************************
disclaimer - මෙය සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ කතාවක් වන අතර කිසිදු පණ ඇති ජීවියෙකුට මොනම විධිහක හෝ සම්බන්ධයක් නැත .
සියලු දෙනාට ලබන්නාවූ 2025 අඹේවෙල කිරියෙන්, සහල් වලින්, පොල් වලින් , බිත්තර වලින් , පැණි වලින්, දී කිරි වලින්, බොම්බයි ළුනූ වලින් පිරි ඉතිරි යන සුබම සුබ වසරක් වේවා .
කොළඹ ගමයා - 29/12/2024
ඇන්තන් චෙකොෆ්ගෙ 'තුන් අවුරුද්ද' නවකතාව ඉවරවෙන හැටි මතක් උනා. "අපි ඉඳල බලමු යි ඔහු සිතුවේය."
ReplyDeletelet us live and, and we shall see - මට මතක නැති නිසා ආයේ ගිහින් බැලුව . පස්සේ මතක් වුනා සිංහල පොත මං ළඟ තියෙනවනේ කියල . මගේ මුල්ම රුසියානු ගුරුතුමියගේ නම් නිණා ෆෙදරෝව්නා https://www.online-literature.com/anton_chekhov/1277/
Deleteහෙහ්, හෙහ් නියම කතාව. සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!.
ReplyDeleteඑහෙම කිව්වට අඹේවෙලන් නිකම්ම කිරි උතුරන්නෙ නැති බව දන්නවා. මට තිලකෙ ලියපු ඔස්ට්‍රේලියන් කිරි හරක් කතාව සහ විජේබාහුගේ කමෙන්ට් මතක් වුනා. සමහර වෙලාවට මිස්සුන්ගෙ අහේනිය, දුප්පත්කම පාලකයින්ගෙ අවශ්‍යතාවයක්දෝ කියලත් හිතෙනවා.
ස්තුතියි , අඹේවෙල මේ සැරේ කිරි නිෂ්පාදනය රෙකෝඩ් කලා කියල දැක්ක . දුප්පත්කම් තියෙන කොට පොරොන්දු දෙන්න ලෙහෙසියි . මේ ආණ්ඩුව පෞද්ගලික ආයෝජක ල සීමා කරන්න ගියොත් ඇන ගනී . හැබැයි ඇමෙරිකාව කරනවා වගේ ඩඩ්ලි ල වගේ මොනොපොලි කාරයන්ව කඩන්න වෙයි .
Deleteඑංගලන්තයටත්, පතන්නාවූ අඩුම කුඩුම රාශියකින් ඉතිරෙන්නා වූ සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteමාම ගැන කියද්දි හාංකවිසියක් මතක් උනේ නෑනෙ...
ස්තූතියි , මෙහෙත් දැන් සුභ පැතුවේ නැත්නම් කෙලවෙන සීන් එකක් තියෙන්නේ . හේ හේ මාම නේද ? හරි කැමති කෙනෙක් හැබැයි
Deleteමාම නං ඉතිං අර කිව්ව වගේ මහා සයිරස්ගෙ ඥාතිත්වය අපට කියා දුන්න කෙනානෙ... ඔය වගේ ම පැකේජ් එකක් තමයි කැනඩාවට පැන්න අපේ බඩඉරිගු මන්ත්‍රීටත් කරල දුන්නෙ, පොඩ්ඩක් ලීක් උනාට.
Deleteඔව් නේ . මම ඔය තුවක්කු කතාව ලීවට ඒක මතකෙට ආවේ නැහැනේ .
Deleteඇත්තටම එහෙම කතාවකුත් තියනවද? රස්සාවකට රට යන එක වෙනම දෙයක්. ඒත් මේක අවාසනාවන්ත තත්ත්වයක්.
ReplyDeleteමේක ප්‍රබන්ධයක් නේ . ඔයා අහන්නේ ගැට් එක ගැන නම් ඔව් , ඒක අලුත්ම ක්‍රමයක් . අපේ කට්ටියත් ඉන්නව ඕසෙට
Deleteවිවාදපන්න සිදුවීමක්!
ReplyDeleteමාම නම් මමත් බොහොම ආස කරන වැඩ්ඩෙක්. පස්සෙ දේසපාලන පස්සවල් පස්සෙ ලැගල කිච වෙලා මරණෙට දක්වාම ඒක අදුන නෙ. දැන් ආයෙම වලෙන් ගොඩ අරං ඒ මනුස්සයට සාමයෙන් සැතපෙන්නවත් විදිහක්වත් දෙන්නෙ නෑ මුන්දල.
මාම කතා දෙකක් නැහැ වැඩ්ඩෙක්. (මම මේ ප්‍රබන්ධ මාම ගැන කතා කරන්නේ ඈ ). ඇත්තටම සාමයෙන් සැතපෙන්න දෙන එක තමා හොඳ
Deleteඇත්තටම හිතාගන්න බැරි විදිහේ එක එක උපයාගැනීමේ මාර්ග නිර්මාණය කරගන්න මේ ආසියාකරේ මිනිස්සු හරි දස්සයිද මන්ද 😅
ReplyDeleteමතකද අර ලෝක බැංකුවෙන් කොන්දොස්තර ලට හොර කරන්න බැරි ටිකට් මැෂින් එකක් එවපු කතාව . දක්ෂයෝ ඉන්නේ . දක්ෂයෝ
Deleteදක්ෂ හොරුන් අඳුනාගෙන අල්ලගෙන
ReplyDeleteඋන්ගේ මොළෙන් පලවත් ලෙස වැඩ ගන්න
ක්‍රමයක් යොදන නුවණැත්තන් මතු වෙන්න
කල්ප ගණන් කල් යා යුතුමද ඉතින
දක්ෂ හොරුන් හිටියා නෙව කලක්ම දැන්
Deleteයැව්වා නේද ඒ අය පැන්ෂන් එකට ඉතින්
අලුත් අයට කියාදීම දැහැමෙන් සෙමෙන්
පටන් ගනියි හෙටානිද්ද අපේ එවුන්
කවුරුහරි මට බලල් පැටියෙක් අහසින් එවල තිබුන ....කළු බෑග් එකක දාල
ReplyDeleteමම අතේ දුරින් ඌව බලා ගන්නවා.....ඌට කිරි allergy ...පිටි කිරි බිව්වෙම නැහැ
දවසක් එළකිරි දුන්නම බිව්වා. ඉතින් fresh milk දීල බැලුවම බොන්නේ අඹේවෙල විතරයි
දැන් අපිත් ගේන්නේ අඹේවල විතරයි.
අඹේවෙල කිරි සැබෑ ඕගනික් එකක් කියල මම හිතන්නේ . ඔය පූසන්ට හොඳට තේරෙනවා හොඳ දේවල් . අපේ හැම්, චීස් හෝ මාළු වග දෙයක් පරනයි නම් නමුත් හොඳට තියනව වගේ නම් අපි පූසි කිකීට දෙනවා . ඌ කෑවේ නැත්නම් කෙලින් විසි කරනවා . කිකී පිටිකිරි දුන්නට බොන්නේ නැහැ . ඌ දන්නවා ඒ කිරි නෙමේ කියල . හා හා
Delete