Tuesday, 14 January 2025

අපේ අසල්වැසියා බ්‍රයන් 8- ෆ්‍රී මේසන් විත්ති




වසර 2003 දී අපේ කණිටු  දියණිය උපන්නාය.  එනිසා අපට බොහෝ වැඩ තිබුණි .  ඒ වනවිට  ලොකු දුවට යන්තම් මාස  දහ  අටකි .  මට ඉඳහිට බ්‍රයන්ගේ පරිගණකයේ ප්‍රශ්නයක් විසඳීම හැර වෙන වෙලාවක් තිබුනේ නැත. මා දුටු දෙයක් නම්,  ඔහුගේ නිවසේ පූසන්  දෙදෙනෙකු සිටියත් ඔහු උන්ට එළියට  යාමට ඉඩ දුන්නේ නැති බවය.  උන් දෙදෙනාම ස්පින්ක්ස් වර්ගයේ ලෝම නැති උන්ය .  වටිනාකම වැඩි නිසා එලියට යවන්නේ නැති බව බ්‍රයන් කීවේ  ය . ඒ මම කැනඩාවේ මුල් උපන් බිම වූ  ඒවැනි පූසන්  දුටු මුල්ම වතාවය . ඔවුන් ඊජිප්තු ස්පින්ක්ස් නැමැති  පුරාණ මිත්‍යා සතෙකු ගේ ප්‍රතිමාවට සමාන නිසා ඒ නම ලැබී ඇත .   අහිංසක පූසන්  ට මස් මාළු නොදී වියලි ආහාර  පමණක් දුන්නේ උන් වසුරු හෙලන්නේ ගෙයි ඇති ලිටර්  පෙට්ටියට නිසා බව මට වැටහුණි . 



එකෙකුගේ නම ට්‍රොට්ස්කිය .  කුතුහලයට එවැනි නමක් දැම්මේ ඇයි  දැයි ඇසුවෙමි .  බ්‍රයන් මම හොඳින් දන්නා ලියොන් ට්‍රොට්ස්කි ගේ ඉතිහාසය කීවේය . ඔහු ස්ටාලින් විසින් යැවූ  කොමියුනිස්ට් ඝාතකයෙකු විසින් අයිස් පොරවකින් මරා දැමූ  බවද මට කීවේය . ට්‍රොට්ස්කි ගේ මතවාදයන් මම හොඳින් දන්නා බව බ්‍රයන්ට පැවසුවෙමි ,  නමුත් මම පුදුම වූවේ  එවැනි වාමාංශික යෙකු ගේ  නම  බ්‍රයන් වැනි ටෝරි  පාක්ෂිකයෙකු පූසා  ට දැමීම බව කීවෙමි.   බ්‍රයන් ගේ අදහස ට්‍රොට්ස්කි කොමියුනිස්ට් විරෝධියෙකු බවය .  අනිත් පූසා  ගේ නම චර්චිල් ය . 

මම බ්‍රයන් ෆ්‍රී මේසන් කෙනෙකු බව මම කාර්යලයේ සගයන්ට කීවෙමි .  ස්ටුවට් ඒ ගැන දීර්ඝ විස්තරයක් කළේය .  සයිමන් ඔවුන් බඳවා ගැනීමේදී කරන විහිළු සහගත සම්ප්‍රදායන් උපහාසයට ලක් කළේය .  

ෆ්‍රී මේසන් වරු කතෝලික පල්ලියට ගරහන බවද නොයෙකුත් කලාකරුවන්ට ,  මාධ්‍යවේදීන් ට චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ට ඒවා  කිරීම සඳහා මුදල් වියදම් කරන බවද ස්ටුවට් කීවේය . උදාහරණ වශයෙන් මැඩෝනා කරලියට ගෙනාවේ ඔවුන් බවද (පසුව ලේඩි  ගාගා  ට මුදල් වියදම් කලෙත් ඔවුන් බව ස්ටුවට් හා නයිජල් කීහ .)  ඇය  මුලින් කතෝලික බවද ඔවුන් කීහ .

ඒ ගැන සොයා බලද්දී ෆ්‍රී මේසන් වරු 1783 දී පමණ කතෝලික පල්ලියෙන් වෙන්වී ඇති බව දැන  ගතිමි.  ඒ එදා සිටි පාප්  වහන්සේ පෝප්  ක්ලෙමෙන්ට් xii  ගේ නියෝගයක් මතය. ඉන්පසු සියලු පෝප්  වරු ෆ්‍රී මේසන් කතෝලික දහමට නොගැලපෙන බව පවසා එයට ඇතුළත්  වන අය  නෙරපා දමන බවට (ex - communication) නීතියක් ඇතුළත්  කළහ .   මැඩෝනා ගේ 'ලයික් අ ප්‍රේය like a preyar  නමැති ගීතය මා කැමති එකකි .  නමුත් එහි සැඟවුණු ලෙස කතෝලික පල්ලියේ අපයෝජන ගැන සඳහන් වේ යැයි  කියති .  එසේම මැඩෝනා ගේ සෝල් ටුවර් එක පල්ලියට විරුද්ධව කල එකක් බවද සංවිධානය ඇමෙරිකන් ෆ්‍රී මේසන්වරුන් ගෙන් බවද දැන  ගතිමි . 
ඇමෙරිකාවේ ෆ්‍රී මේසන් වරු තවමත් බලවත් බව දැන  ගන්නට ලැබුණි .  කිසියම් ප්‍රසිද්ධ නඩු විභාග කිහිපයකම  ෆ්‍රී මේසන් සම්බන්ධය නිසා විත්තිකරු නිදහස් වුනු බව බ්‍රයන් පිලි ගත්තේය.  එක්  අයෙකු ප්‍රසිද්ධ කළු ජාතිකයෙකි. 

බ්‍රයන් තවත් කතාවක් කීවේය . ඒ පූටින්  ගැනය .  කිසිවෙකු නොදැන සිටි පූටින්  පිටර්ස්බර්ග් නුවර ලිබරල් දේශපාලකයෙකුට වැඩ කළේය .  ඔහු මිතුරන් සමග බොහෝ වෙළඳ අධිකාරයන් පාලනය කල බවට සාක්ෂි තිබේ .  හදිසියේම ඔහුගේ තත්වය උසස්වී යෙල්ට්සින් ඔහු අගමැති කළේය .  බ්‍රයන් කීවේ  සෝවියට් දේශය වැටුණු පසු සාර්  කාලයේ තිබූ  ෆ්‍රී මේසන් ලොජ් නැවත පටන් ගත්  බවත් පූටින්  එහි සාමාජිකයෙකු වූ බවත්ය . 
එලිසබත් රැජින ෆ්‍රී මේසන් හි පැට්‍රොන් කෙනෙකි .  ඇගේ  පියා සාමාජිකයකුව සිටියේය .  ඇගේ  ස්වාමියා වූ පිලිප් කුමරු ද මිය යන තුරුම සාමාජිකයෙකි .  ඔහු 1995 ජූලි  වල රුසියාවේ සංචාරය කළේය .  1996 දී යෙල්ට්සින් පූටින්  ව මොස්කව් කැඳවා රුසියානු රහස් ඔත්තු සේවය භාර දුන්නේය .  රැජින ගේ ආරාධනයෙන් පූටින්  ලන්ඩන් පැමිණියේ 2003 දීය . වර්තමාන රුසියාවේ ලොජ් 33ක් තිබෙන අතර ඒවා පූටින්ට යටත් යයි සිතමි.

සෝවියට් දේශය පිහිටවූ  1922 දී ෆ්‍රී මේසන් සංවිධානය තහනම් කල අතර සාමාජිකයන් ශ්‍රම කඳවුරු වලට පිටුවහල් කරන ලදී .  
මා ලඟදි කියැවූ  පූටින්  පිලිබඳ පොතක මේ සම්බන්ධය දක්වා නැත.

ස්ටුවට් මට කී  තවත් දෙයක් වූයේ  ඇතැම් චිත්‍රපටි , රුපවාහිනී නාට්‍ය දෙබස් වල මෙන්ම සමහර පුවත්පත් වලද ෆ්‍රී මේසන් පණිවුඩ ඔබ්බන බවය .  මා එය විශ්වාස නොකළ මුත් ඔහු පසුව එවැනි තැන්  කිහිපයක් මට පෙන්වූයේය . 

බ්‍රයන් සහ ස්ටුවට් ඇතුළු අයගේ කතා මම මුලදී ගණන් නොගත්තත් මගේ අදහස වෙනස් වුනේ ටෝනි බ්ලෙයාර් ගේ කම්කරු පක්ෂ රජය විනිශ්චයකාර  වරුන්ට ෆ්‍රී මේසන් වීම තහනම් කිරීමත් සමගය .  එසේම ඕනෑම මන්ත්‍රීවරයෙක් එම සම්බන්ධකමක් ඇත්නම් පාර්ලිමේන්තුවේ එම විස්තර වසන් නොකර ඇතුලත් කල යුතු බවට ද බ්ලෙයාර් නීතියක් පැනවූයේය . බ්ලෙයාර් තම බිරිඳ අනුව  යමින් කතෝලිකයෙකු වූ බවද මතක් කල යුතුය .  

[අමතර කතාවක් වශයෙන් මෙයද ලියමි .  මම මෙගන් හා හැරී  ගැන ලිව්වා මතකද ? සමහරු එකඟ නොවුනද ඇතැම් පුවත්පත් ඔවුන්ට පැන  පැන  පහර දෙන බව ලීවෙමි. මට ඇත්තටම ඔවුන් දෙදෙනා ගැන අමුතු ලෙන්ගතුකමක් නැත. මෙගන් ගේ වැරදි තිබෙන්නට පුළුවන .  නමුත් හොඳින් බැලුවොත් මේ බව පැහැදිලි වේ . සති දෙක තුනකට කලින් 'මෙගන් ගේ කුස්සිය' නමින් මෙගන් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තාය . ඩේලි මේල් ඇතුළු පුවත් පත් දෙක තුනක් ඇය  අනුන්ගෙන් කොපි කල බව කියමින් පහර  දුන්නේය .  ඊට කලින් සුමානේ  කේට්  කුමරියට ප්‍රසංශා කරමින් ලිපි කිහිපයක් පල විය.  මෙහිදී ඇත්ත වශයෙන් කේට්  කුමරිය මෙන්ම විලියම් කුමරුද අසරණය .  ඒවා ඔවුන් කරන දේවල් නොවේ.
 
කෙන්ට් හි ආදිපාද වරයා වන එලිසබත් රැජිනගේ ළඟම  ඥාතියා වන මයිකල් කුමරු ෆ්‍රී මේසන් හි ප්‍රධානියෙකි. මෙගන් හා හැරී  ද සහභාගී වූ රැජින විසින් පිරි නමන සාදය ට කෙන්ට් ආදිපාද  වරයාගේ බිරිද වන ආදිපාදවරිය පැමිණ ඇත්තේ ඇගේ  ගවුමේ රත්රන් කටුව ලෙස කළු වහල් කොල්ලෙකු ගේ  කුඩා ප්‍රතිමාවක් පැළඳ ගනිමිනි. මෙය ප්‍රසිද්ධ කටුවක් වුවත් කවුරුත් ප්‍රසිද්ධියේ පළඳින්නේ නැත .  මෙය තමන් පහත හෙළීමක්  ලෙස මෙගන් සහ හැරී  සැළකු  බව සඳහන් වේ .  ඔවුන් රැජිනට පැමිණිලි කල බවත් රැජින එය පිළිගෙන කටුව ඉවත් කරන්නට අණ  කල බවත් කියැවේ.(කාල වකවානු වෙනස් බව සලකන්න)  මෙගන් ගේ හා හැරීගේ ප්‍රශ්න පටන් ගත්තේ එතැන් සිටය. ඔවුන් කරන බොහෝ දේට විවේචන එල්ල වන්නට විය .  අවාසනාවට විලියම්  කුමරු මෙන්ම හැරී  ද තමන්ගේ සීයා  මෙන් ෆ්‍රී  මේසන් සංවිධානයට නොබැඳුනු අතර ඔවුන්ගේ පියා වන චාල්ස් කුමරුද බැඳුනේ  නැත .  එයද පරහට සිටින්නට ඇතැයි  සිතමි. මේ ආදිපාද  කුමරිය 2004 දී අප්‍රිකානු ඇමෙරිකානුවන් ආපන ශාලාවක ශබ්ද නගා කතා කිරීමේදී තමන්ගේ කොලනි වලට යන්නැයි  කියා සිටිය බව පුවත් පත් වල පළවුණි . ]

ෆ්‍රී මේසන් සංවිධානයට බැඳිය හැක්කේ ඥාතිත්වය අනුව පමණි .  පියාගෙන් පුතාට ,  මාමා ගෙන් බෑනා ට , සීයා  ගෙන් මුණුපුරාට  ආදී වශයෙනි .  බ්‍රයන් තම දෙටු දියණිය ජැකී ෆ්‍රී මේසන් හි ගැහැණු සංවිධානයට බඳවා තිබුණි . 

මේ කාලයේ අපි ජර්මනියට නිවාඩු යන විට නිවස බලා ගැනීමට යතුර දී ගියේ බ්‍රයන්ටය .  ඔහු කුණු වෙලාවට විසි කර ,  තැපෑලෙන් ලැබුණු ලිපි තෝරා බේරා ,  බොයිලරය  වෙලාවට ක්‍රියාත්මක කර තැබුවේය .  (රේඩියටර  වතුර හීතලෙන්  මිදීම වැළකීමට ) 

බ්‍රයන් ගේ නිවසේ පරිගණක වැඩක  යෙදී  සිටියදී බ්‍රයන් ගුණ්ඩුව අත  හැරියේය . 

"උඹ දන්නවානේ මට පුතාලා නැහැ .  දුවල දෙන්න විතරයි කියල .  මගේ බෑනා  පොලිසියේ නිසා ෆ්‍රී මේසන් එන්න කැමති නැහැ .  උඹ කැමති නම් මම දෙවෙනි දුවගේ හස්බන්ඩ් හැටියට උඹව ෆ්‍රී මේසන් එකට දාන්නම් . දෙන්නෙක් ඕනේ යෝජනා ස්ථිර කරන්න .  මයිකල් කැමති වුනා . "
මම වැටුනේ ලොකු අමාරුවකය .  මේකා ගෙන් උදව් නොගෙන සිටියානම් හොඳ යයි සිතුනි . ඒ මදිවාට  අර ස්ට්‍රක්චරල් ඉංජිනේරුවා මයිකල් ද ෆ්‍රී මේසන් වරයෙකි . 

ඔවුන් දෙදෙනා සුදු කමිස හා කළු කාලිසාම් ඇඳ  කළු ටයි බැඳ රැස්වීම්  වලට යනු මා නිරික්ෂණය  කර තිබූ  බව මට මතාක් වුනි . 

මම කල්පනා  කර කියන්නම් යයි පවසා බ්‍රයන් ගෙන් ඉසිඹුවක් ලබා ගත්තෙමි .  

කොළඹ ගමයා 14/01/2025

 

 

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .