Sunday, 26 January 2025

අපේ අසල්වැසියා බ්‍රයන් 9 - සුනාමිය

අපේ අසල්වැසියා බ්‍රයන් 9 - සුනාමිය 
*********************************************


ඉනෙස් ගේ දෙමාපියන් වෙසෙන්නේ ජර්මනියේ බවේරියා  ප්‍රාන්තයේ කෝබග්  නගරයේය ,  ජර්මනියේ කඳු මුදුනේ හෝටලය යනුවෙන් බ්ලොග් ලිපියක් කාලයකට ඉහත ලීවෙමි .  අපි ගිම්හාන නිවාඩුවටත් ක්‍රිස්මස් නිවාඩුවටත් ජර්මනියට යාම පුරුදක් කර ගත්තේ අපි දෙදෙනාටත් දරුවන් දෙදෙනා,  මිත්තණිය ඇනෙට් ට හා සීයා  ගුන්තර් ට භාරදී ටිකක් නිදහසක් ගැනීමටය .  ඔවුන් දෙදෙනා ඒ දිනවල පනස් ගණන් වල අග භාගයේ  'තරුණ වියේ '  උන්හ .  

2004 දෙසැම්බර් වල ආහාර  ගෙන අලසව සිටිද්දී එක දිගට ජර්මනියේ නොයෙකුත් නෑදෑයන් ගෙන් දුරකථන ඇමැතුම්  ගලා එන්නට විය ,  සාමාන්‍යයෙන් මේ අහවලා , මේ අහවලා යනුවෙන් ඇනෙට්  පහදා දෙන මුත් මේ අවස්ථාවේ මුහුණ බැරෑරුම් කරගෙන රූපවාහිනියේ  චැනල වෙනස් කරන්නට කීවාය . ලංකාවට මුහුද ගොඩ ගැලූ  විත්තිය ප්‍රධාන සිරස්තල වලය .  ලංකාවට ආධාර කිරීම ජර්මන් ඥාතීන් ගෙන්ද ලැබුණු මුදල් ඇතුව ජනවාරියේ ලංකාවට ආ පසු යහළු යෙහෙළියන්  කිහිප දෙනෙකු ඇමතීමි .  
මුලින් එකතු වූ යහළුවන් අතර සාගර ,  ශාන්ත ,  ශ්‍රීනාත් ,  නීල් , ආශා ,  සුමුදු , සුසුජි, ප්‍රශාන් , නීත් , මංගල  ආදීන්  විය .  අපි කන්ටේනර් දෙකක් පමණ ඇඳුම් හා අවශ්‍ය භාණ්ඩ යැව්වෙමු . ඉන්පසු ෂෙයාර් ඇන්ඩ්  කෙයාර් යනුවෙන් චැරිටි  සංවිධානයක් පිහිටුවාගෙන ළමුන් සඳහා ආධාර කරන්නට පටන් ගතිමු .  මා හඳුනන දම්මදේශ අම්බලම්පිටිය නමැති ගුරුතුමෙකු ළමා සංවිධානයක් බොහෝ  කලෙක සිට  පිහිටුවාගෙන තිබුණි ,  ඒ හරහා මාතර හා හම්බන්තොට පාසැල්  සිසුන්ට , පොත පත ,  සපත්තු සහ පාසැල්  උපකරණ බෙදා දුන්නෙමු .  ඒ සඳහා සහභාගී වූ නිකි කින්ච් මහත්මිය තවමත් එක දරුවෙකු සඳහා ශිෂ්‍යාධාර  ගෙවන්නීය.  

අපි මාපිය දෙදෙනාම හෝ එක දෙමාපියකු නැතිවූ දරුවන්  විසි පස් දෙනෙකුට පමණ ශිෂ්‍යධාරය ලබා දුන්නෙමු .  අපේ ඉහත කි යහළුවන්ට අමතරව වෙනත් බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන්ද මෙයට ආධාර  කළ අතර ශාන්ත හා මොනිකා ශෆේ නමැති කීව් උද්‍යානය සම්බන්ධව රැකියා කල ජර්මන් උද්භිද විද්‍යාව මහාචාර්ය වරියක් වසර විස්සක් තිස්සේ තවමත් ආධාර කරති .  ජෑන් සහ කීත් නෝට්ලි  යන බ්‍රිතාන්‍ය වැසියන් දෙදෙනා සහ ඔවුන්ගේ පියා  මේ  වසර  වනතුරු උදව් කලත් අලින්  රැක  බලා  ගැනීමේ පදනමකට උදව් කිරීම සඳහා  ඔවුන් ශිෂ්‍යාධාර නැවත්වූහ. ඒ ආධාර කල දරුවන් දැන් වැඩිමහල් වියේය. දැන් මා ළමුන් පස් දෙනෙකුට පමණක් ආධාර කරමි .  ඉදිරි වසර දෙක තුල බොහෝ විට එය අවසන් වූ පසු චැරිටිය වසා දැමීම මගේ බල පොරොත්තුවයි .  
 මාතර දී  අපේ ආධාර බෙදා හැරීමට උදව් කල පන්සලේ ගත්  පහත  පින්තුරයේ සිටින්නේ  නිකි හා දම්මදේශ මහතාය. කීත් සහ ජෑන් යුවල ළමයි පිරිසක් සමග තෙවෙනි පින්තූරයේ සිටිති .  



මට මතක විධිහට අපි රාගම කමාන්ඩෝ මුලස්ථානයට තුවාල ලැබූ යුධ භටයන් සඳහා කිහිලිකරු ආදී භාණ්ඩ කන්ටේනරයක් ද යැව්වෙමු .  මම මේ සියල්ල ලීවේ බ්‍රයන් ලාද උදව් කල හෙයිනි . 

අපේ චැරිටි වැඩ දෙස උනන්දුවෙන්  බලා සිටි බ්‍රයන් ෆ්‍රී මේසන් කතාව නැවත ඇද්දේය .  ලන්ඩන් ෆ්‍රී  මේසන් සංවිධානය  ලංකාවට පවුම් ලක්ෂයක් (දැන් මුදලින් රුපියල් මිලියන් 37 පමණ )  ප්‍රදානය කල බව ඔහු පවසා සිටියේය .   එම ප්‍රදානය කරන  ලද්දේ ශ්‍රී ලංකාවේ ෆ්ෆ්‍රී  මේසන් ලොජ් එකකට  බව ඔහු පැවසීය. ෆ්‍රී මේසන් හි  ප්‍රධාන ප්‍රතිපත්ති තුන සහෝදරාත්මක භාවය ,  උදව් කිරීම (චැරිටි) සහ සත්‍යවාදී බව යයි ඔහු කීවේය. ( The Three Grand Principles of Freemasonry are Brotherly Love (friendship), Relief (charity) and Truth (integrity). Charity is therefore one of the three great pillars which support the fraternity.)  මෙසනික් වරු කරන නොයෙකුත් චැරිටි වැඩ ගැන බ්‍රයන් ලොකු විස්තරයක් ද කළේය .  මේ සියල්ල ම බඳවා ගැනීමට ඔහුගේ ප්‍රයත්න බව තේරුණු නිසා මම ඒවා මග හැරියෙමි.  

මෙසනික් ටෙම්පල් මෙහි හැඳින්වෙන්නේ ලොජ් කියාය .    ලංකාවේ එවැනි ටෙම්පල් එකක් ගැන ප්‍රා ජේ මෙවැනි යොමුවක්  පෝස්ට් කර තිබුණි . ලංකාවේ පළමු මෙසනික් විහාරය 

බ්‍රයන් ඉන්පසු  හොඳ නිලයක් සොයා ගත්තේය .  ඒ ඉනෙස්ට රෝයල් මෙසනික් ස්කුල් ෆො ගර්ල්ස් නමැති පාසැල ගැන කීමෙනි .  ගැහැණු ළමුන් සඳහා රාජකීය මෙසනික් කාන්තා පාසැල නම්වූ එය අප සිටින  හට්ෆඩ්ශයර් ප්‍රාන්තයේ පිහිටා  තිබුණි .  පාසැල් සෙවීම අමාරු නිසා මා ෆ්‍රී මේසන් වුවහොත් ළමයි එයට දැමිය හැකි යයි ඉනේස්ට බ්‍රයන් කියා තිබුණි .  මේ නිසා මා ෆ්‍රී මේසන් වරයෙකු වීම පිළිබඳව ඉනෙස් ගේ අකැමැත්තක් නොතිබුණි .  ඇය වැඩි දුරටත් මට කීවේ එය හොබියක් ලෙස සලකන්න යයි කියාය .  

බ්‍රයන් සහ මයිකල් මේ කාලයේ අප ආසියාතිකයන්ව  දැඩි ලෙස විවේචනය කරමින් උන්හ. ඒ හතේ පන්තියේ තරඟ විභාගයට (ශිෂ්‍යත්ව විභාගය වැනි)  ළමයි ටියුෂන් යැවීම පිලිබඳවය. මගේ දියණියන් ළඳරු වයසේ  නිසා මම ඒ ගැන කල්පනා නොකළ මුත් පසු කලෙකදී ඔවුන්  කි දේ ඇත්ත බව වැටහුණි .  මේ ටියුෂන් වසංගතය ලන්ඩනයට පුරුදු කලේ  ශ්‍රී ලාංකික  දෙමළ ජාතිකයන්, ඉන්දියානුන් කොටසක්  සහ චීනුන් ය. ඔවුන් අනුව යමින් සිංහලයන් සහ අනිකුත් ජාතීන් ද එය කරන්න පටන් ගත්හ .  දැන් ඉංග්‍රීසි පවුල්ද දරුවන් ටියුෂන් යවති .  ගුරුවරුන් ගුරු සේවයෙන් ඉවත් වෙති .  අපේ ලොකු දුවට පාසල් සොයන්නට ගිය වෙලේ  බානට් ප්‍රදේශයේ  ගැහැණු ළමුන්ගේ ග්‍රමර් (ඉහළ බුද්ධි මට්ටමේ දරුවන් සඳහා වූ රජයේ පාසල්) පාසැලක සිටි තිස් දෙනාගෙන්  28ක්ම  දෙමළ ළමයින් ද එක අයෙක් චීන හා අනෙක් අයෙක් ග්‍රීක් ද විය . එක ඉංග්‍රීසි හෝ අයිරිෂ්  ළමයෙක් සිටියේ නැත .     
බ්‍රයන් ලා කී කතාවම  එක විදුහලක විදුහල්පති (මෙහි කියන්නේ අධ්‍යක්‍ෂක කියාය )  කීවේ මෙලෙසය .  කරුණාකරලා ඔබලාගේ ළමයින්  ඉංජිනේරු සහ විද්‍යා (වෛද්‍ය) විෂයයන්ට අමතරව අනිකුත් දේවලුත් ඉගෙන  ගන්න කියන්න .  අපට (එංගලන්තයට)  ඒ පැති වලිනුත් උගතුන් අවශ්‍යයි .  එසේ කීවේ කරුණාවෙන් මිස තරහකින් නොවේ .  වෙනත් විෂයන් සඳහාද දක්ෂතා ඇති සිසුන් අවශ්‍ය බවය ඔහු පැවසුවේ .  

අපි පසු කලෙක වසර 2011 දී දියණියන් ඇතුලත් කලේ වෙනත් ජාතිකයන් බහුලව ජිවත් වෙන පෙදෙසක මිශ්‍ර පාසැලකටය .  

ඉහත කී හේතු කිහිපය නිසා මම අවසානයේ ෆ්‍රී මේසන් සංවිධානයට බැඳීමට කැමැත්ත  දුන්නෙමි .  එයට තවත් හේතුවක් දෙකක්ද  විය .  මයිකල් ගේ පෙම්වතිය (ඔහු වැඩිමහල් පිරිමි දරුවෙක් සිටින දික්කසාද වූ අයෙකු විය.)  මයිකල්ට  ඇය සමග ජීවත්වන්නට ආරාධනා කලාය. එනිසා මයිකල් බ්‍රයන් ගේ නිවසින් ඉවත්ව යාමට තීරණය කර තිබුණි .  අප බොහෝ විට අසා ඇත්තේ සුදු මිනිසුන්ගේ විවාහ බිඳී යන බව හා ඔවුන් සෙනහස ඇති සම්බන්ධතා වලට නොයන බවය .  නමුත් මා දුටු දෙයක් වන්නේ  අප දන් දීම යනුවෙන් කරන දේ ඔවුන්ද  චැරිටි යනුවෙන් හඳුන්වා ගනිමින් කරන බවය .  එසේම තමා කැමති සහකරු හමුවනතුරු නොගැළපෙන අය ඉවත් කිරීමට දෙවරක් නොසිතන බවය .  එසේම ඒ තෝරාගත් හරිම සහකරුට දිවි හිමියෙන් කැප වෙන බවය. ඉනෙස් ගේ ආච්චි සහ සීයා ගේ විවාහ ජීවිතය වසර පනහකි .  
 මයිකල් ගේ පෙම්වතිය ඔහුට ඇගේ නිවසට ආරාධනා කලේ මයිකල් පිළිකාවකින් මිය යන බව දැන  ගෙනය. ඔහුගේ අවසන් කාලය සතුටෙන් තබන්නට හා ඔහුට ඇප උපස්ථාන කිරීමට ඇයට අවශ්‍ය විය .  බ්‍රයන්ට ෆ්‍රී මේසන්  හමුවීම් වලට යාමට අයෙක්ද මේ නිසා අහිමි විය . 

මෙහිදී එක බාධකයක්  වූයේ මගේ අදේවවාදී ස්ථාවරයයි .  ෆ්‍රී මේසන් සංවිධානයට  බැඳෙන අයෙක් අනිවාර්යයෙන්  දෙවි කෙනෙක් ඇදහිය යුතුය. බ්‍රයන් සොයාගත් විසඳුම නම් සියලුම් දිවුරුම දීම් ආදියට මම ලෝඩ් වෙනුවට ලෝඩ් බුද්ධා කිව යුතු බවය .  මා  එතරම් ආගමික නොවූ බව කී විට බ්‍රයන් ඊට විරුද්ධ විය .  ඒ දිනවල ලන්ඩන් පැමිණ සිටි මගේ මව සමග කින්ස්බරි පන්සලේ මගේ පියා වෙනුවෙන් අපි දානයක් දුන්නෙමු .  බ්‍රයන්ටද දානයෙන් කොටසක් ලැබුණි . එසේම අපේ කුඩා ගෙවත්තේ මෙන්ම ගේ ඇතුළෙද බුදු පිළිම දෙකක් තිබුණි. 
"උඹ පිළිම තියන් ඉන්නව කියන්නේ, පන්සල් යන්නේ,  බුද්ධා ව අදහන්නේ දෙවියෙක්  වගේ කියන එකයි". යයි බ්‍රයන් කී ඊට   
"දෙවියන්ට පිළිම නැහැනේ." යනුවෙන් පිළිතුරු දුනිමි .  
"ඒකෙන් අවුලක් නැහැ .  උඹ ලොජ් එකේදී දිව්රුම් දෙනකොට විතරක් ලෝඩ් බුද්ධ කියල කීවම හරි .  අපි සළකන්නම් එය දෙවියන් වෙනුවට ආදේශයක් කියල "  බ්‍රයන් ට ද හැම තර්කයටම ප්‍රති  තර්කයක් තිබුණි . 
අනිත් හේතුව වූයේ මගේම කුතුහලයයි . මා යහළුවන්ගෙන්  දැනගත් හා කියවා  තිබු දේවල අනුව මේ අපූරු සංවිධානය ගැන දැන  ගැනීමට නම් ඇතුළට යා යුතු බව මටද  සිතුනි . 

ප . ලි . - මේ කතාවේ ලියන බ්‍රයන්ගේ අදහස් මා ඇසූ ලෙසින්ම ලියන අතර ඒවා මගේ අදහස් හා මතවාද සමග සමහර විට නොගැලපිය හැකිය .  
-- මතු සම්බන්ධයි.

කොළඹ ගමයා 26/01/2025


61 comments:

  1. තම ව්‍යාපාරයට බඳවාගැනීමට මෙතරම් උත්සාහ දරන්නේ සාමාජික සංඛ්‍යාව වැඩිකර ගැනීමට පමණක්මද?

    ReplyDelete
    Replies
    1. මම මුලදී හිතුවේ එහෙමයි . මේ කතාව කියව ගෙන යද්දී බලන්නකෝ ඉවර වෙන්නේ කොහොමද කියල . ෆ්‍රී මේසන් එකට දැන් ඉංග්‍රීසි අය වුනත් එකතු වෙනවා අඩුයි . නව පරපුරේ අයනම් කොහොමත් අමාරුයි කියල මම හිතන්නේ . නමුත් හමුදව , පොලිසිය වගේ තැන වල ජනප්‍රියයි . ඒ වගේම බිල්ඩින් සයිඩ් එකේ රැකියාවල

      Delete
  2. කරුණාකරලා ඔබලාගේ ළමයින් ඉංජිනේරු සහ විද්‍යා (වෛද්‍ය) විෂයයන්ට අමතරව අනිකුත් දේවලුත් ඉගෙන ගන්න කියන්න . අපට (එංගලන්තයට) ඒ පැති වලිනුත් උගතුන් අවශ්‍යයි . //මේ කතාව ඇත්ත ආසියාතිකයෝ ගෝත්‍රවාදී නොවිය යුතුයි තමන් ජීවත්වන රටේ සංස්කෘතියට මීටවඩා ගරුකල යුතුයි. නැතිනම් මහජාතියේ අයට කේන්යන්න පුලුවන්. එක අතකට ඒ කේන්තිය සාධාරණයි. මම ඒ ගැන මොකුත් කියන්න යන්නේ නෑ.

    මම83 කලුජූලිය ඇස්දෙකෙන්ම දැක්කා. ඒක තනිකරම සිංහලයන්ගේ වරද. ඒ ගැනනම් මම මොනවහරි කියනවා

    ReplyDelete
    Replies
    1. මම අසූ තුනේ කළු ජුලිය අහිං දැකපු කෙනෙක් . ඒක විතරක් නෙමේ 1957 තඅනිකරම සිංහලයන්ගේ වරද . ඒ ගැන ලොකු සාකච්ඡාවක් මේ බ්ලොගයේ හුඟක් තැන්වල ගිහින් තියනවා .

      Delete
    2. https://kolambagamaya.blogspot.com/2018/09/blog-post.html

      Delete
    3. ඔබ මහාචාර්ය වරයෙකු නිසා මේ රටේ උගන්වන්නට ඇති කියා සිතනවා . මම හිතන්නේ මම ටිකක් වැරදියට ලිව්වා කියල . එසේ කීවේ කරුණාවෙන් මිස තරහකින් නොවේ . වෙනත් විෂයන් සඳහාද දක්ෂතා ඇති සිසුන් අවශ්‍ය බවය ඔහු පැවසුවේ. විද්‍යා හා ගණිත අංශයට දක්ෂ ආසියාතික සිසුන් වැඩි දෙන යන බවත් ඒ නිසා අනිකුත් විෂයන් වලට අඩුපාඩු ඇති වන බවක් ඔහු කීවේ . මගේ දියණියන් දෙදෙනා ඉගෙන ගනිද්දී එක එක ගුරුවරුන් තමන්ගේ විෂයන් සඳහා උන් දෙන්නා බඳවා ගන්නට පොර බැදු හැටි මට මතකයි . කොහොමත් ඔබ කියන එකේ මද ඇත්තක් තිබෙනවා . ෆ්‍රී මේසන් විදුහලට මගේ දියණියන් ගන්නට අනිත් අය කැමති වෙලා නැහැ . ඔවුන් කොහොමත් දක්ෂ නිසා අවශ්‍ය නැහැ කියල බ්‍රයන්ට කියා තිබෙනවා මම හිතන්නේ . අපට ප්‍රශ්නයක් වුනේ නම් නැහැ . ඔවුන් දෙදෙනාම අවශ්‍ය විදුහල් වලට ගියා .

      Delete
    4. සංස්කෘතිය යම් යම් අය හදන්න ගිහින් මගේ බිරිඳගේ රටේ ඇතැම් ප්‍රාන්ත වලට යන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙන්නේ . ඒ ගැන ලියන්න හිතන් ඉන්නවා .

      Delete
    5. මගේ බිරිඳ ලැටිමර් කියන ග්‍රමර් ස්කොලේ උගන්නපු නිසා ඒ ඉස්කෝලේ වැඩිපුරම හිටි දෙමළ දරුවන්ටත් ජර්මන් ටියුෂන් දුන්න . ඒ දෙමළ මිනිස්සු හරි හොඳයි . ඒකෙ විවාදයක් නැහැ . ඇයට හොඳින් සැලකුවා . මමත් වරක් ඒ ළමයෙකුගේ පාසැල් බෙර වාදනයක් බලන්න ගියා . නමුත් ඇය කියු විධිහට ඒ ළමයින්ට ළමා කාලයක් තිබ්බේ නැහැ . සතියේ දවස් හයම ටියුෂන් . සෙනසුරාදා වෙනත් ටියුෂන් . බෙර , නැටීම් , ඉරිදා තවත් මාතර පාසලක් හෝ කෝවිල් යාම . ඔවුන් පාටි වලට යන්නෙත් තමන්ගේම අය එක්ක විතරයි . පිට සමාජයක් එක්ක ගනුදෙනුවක් නැහැ . මේවා LTTE අවසන් කාලයේ පුපුරා ගියේ දෙමල දෙමල ගැන් වෝ ලෙස .

      Delete
  3. //අප දන් දීම යනුවෙන් කරන දේ ඔවුන්ද චැරිටි යනුවෙන් හඳුන්වා ගනිමින් කරන බවය// නස්රුදීන් කිව්ව 'ඒ ගමේ අය වගෙ තමයි මේ ගමේ අයත්' කතාව මතක් උනා. මිනිස්සු කියන්නෙ එක කුලකයක් නෙ. සංස්කෘති, ආචාරවිදි, සිරිත්විරිත්, දේශගුණ ආදී තත්ත්වයන් යටතේ තමා වෙනස්කම්වල පරතර ඇති වෙන්නෙ... කියල තමා මටනං හිතෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත . ලංකාවේ මිනිස්සු දන් දෙන්න කැමතියි . ඒ වගේම සුනාමි කාලේදී අපි දැක්ක ඉංග්‍රීසි මිනිස්සු ලංකාවට කැමති බව . ඒ කැමැත්ත ආවේ මෙහෙ පත්තර වලින් යුද්ධය ගැනත් ගොඩක් කියද්දීම තමා .

      Delete
  4. කරුණුත් රසවත්
    වගේම හරවත්
    දිගට කියෙව්වොත්
    වෙනවා දැනුවත්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි , මේක ඔය ලියන ලන්ඩන් විස්තරයට වඩා වෙනස් එකක් හැටියට මම ලියන්නේ . ඉංග්‍රීසි මිනිසුන්ගේ පැත්තෙනුත් එක්ක

      Delete
    2. ඒක වඩාත් හොඳයි අජිත් මහත්තයෝ.
      එතකොට ආදරණීය පාඨක සහෘදයන්ට වඩා හොඳ චිත්රයක් මවා ගන්න පුළුවන් නෙව.

      Delete
    3. මම මේ ලියන්නේ මම මා ගැනම විචාරශීලිව බැලීමක් කියල මට හිතෙනවා. e ඒ දිනවල් හිතපු විධිහයි දැන් හිතන විධිහයි

      Delete
  5. +++++++++++++++++++++++++++++

    ReplyDelete
  6. බටහිර සමාජය සහ ලාංකික ඩයස්පෝරාව ගැන හොඳ නිරීක්ෂණයක්. ඔහොම යං.👌🙏👌

    ReplyDelete
    Replies
    1. මම මේ ඒත් බැලුව නියෝජ්‍ය සාමාන්‍යධිකාරී බසු තුමා මොකද පරක්කු කියල . පක්ෂියෙක් නිසා හිම කුණාටුවකට වත් අහු වුනාද දන්නේ නැහැ කියලත් හිතුන. ලංකික ඩයස්පෝරාව විතරක් නෙමේ හැම ඉමිග්‍රේෂන් කරන ජන කොට්ඨාශයක්ම කියන එක මේ රටට හොඳ වගේම නරක පුරුදුත් බෝ කරනව කියන එකයි මගේ අදහස. හැබැයි ඉතින් ඉංග්‍රීසින් අනිත් රටවල් වලට ගිහින් කරපු දේ බැලුවහම මේවා නතින් කියලත් ආගිව් කල හැකියි

      Delete
    2. ඔය ටියුස්ෂන් ගැන කියන කොට ලොකු දුව භෞතික විද්‍යාවෙන් පහල ගිය නිසා මම ඒකයි ගණිතයයි රසායන විද්‍යාවයි ඉගැන්නුවා . ඒක දැනගෙන තව ලංකාවේ ළමයි දෙතුන් දෙනෙකුත් ආව . ඒ ගොල්ලෝ ඔක්කොම හොඳට පාස් . දුව ඊට පස්සේ කීව තාත්තා මම කැමති නැහැ විද්‍යාව කරන්න , ඔයා නිසා ගොඩ දැම්මේ , මම වෙන සබ්ජෙක්ට් එකකට යනවා කියල . Law and Finance කළා . අපේ ඉයන් නුත් පොඩි බලපෑමක් කළා ඒ පැත්තෙන් . එයා දැන් ඒ පැත්තේම රස්සාවක් කරනවා .

      Delete
    3. ඊට පස්සෙත් මම ටියුෂන් දුන්න දෙතුන් දෙනෙකුට පාස් වෙනකල් ඒ ළමයි ලෙවල් දැම්මට පස්සේ මම නැවැත්වුවා ටියුෂන් දෙන එක . සල්ලි හම්බ වෙනවා තමයි . ඒත් මම වැඩිය කැමති නැහැ වැඩේට . පොඩි දුව A ප්ලස් නමයයි. මගෙන් ටියුෂන් ගත්තේ නැහැ. තනියම ඉගෙන ගත්තේ. ඉස්කෝලේ ඇත්තටම හොඳයි. ලැටිමර් ග්‍රමර් එක . ලොක්ක වගේ එයත් ජර්මන් කළා ඒ ලෙවල් වලටත් . ගණිතයට හෙන දක්ෂයි . ඒ ලෙවල් වලට maths , further maths , ෆිසික්ස් , කෙමිස්ට්‍රි , ජර්මන් , ඔක්කොට ම A. එයාම කිංග්ස් කොලේජ් , කේම්බ්‍රිජ් සහ ශේෆිල්ඩ් යුනි වලට දැම්ම, ටොප් 7 තියන් ඒවා.. ෆස්ට් චොයිස් එක වන කිංග්ස් කොලේජ් එක ලැබුන . ළමය අවුරුද්දක් ඉගෙන ගත්ත ජෙනරල් ඉංජිනියරින් . මොකද එයාට හිතා ගන්න බැරිවුනා මොනවාද කරන්නේ කියල . ඒකෙ වැඩිපුරම තිබ්බේ කම්පියුටර් සයන්ස් සහ AI . එයා කැමතිම නැහැ . AI වැඩකට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඕන වෙලා මමත් උදව් කළා. හැන්ඩ්ස් ඔන් ඉන්ජිනියර් කෙනෙක් එයා. පොඩි කාලේ ඉදන්ම ඉන්ස්ට්රුමන්ට් පෙට්ටියක් තියනවා. කඩනවා හදනවා. . අර "මම කරපු හැටි වගේ" බ්ලොගයක් කල ලංකාවේ ඉන්ජිනේරුව වගේ . විමලසුරිය වගේ නමක්. අන්තිමට දුව කෝස් එක අත ඇරියා. මට කීවේ අම්ම එක්ක එකතු වෙලා නිවාඩු ගිහින් ඉන්න වෙලාවක , මට තරහ යයි කියල වෙන්න ඇති. මට දුකයි , ඔයාට හොඳ ඉංජිනේරුවෙක් වෙන්න තිබුනනේ කියලත් කීව. සෑහෙන කාලෙකට පස්සේ අහම්බෙන් දැන ගත්තේ මේ ටික. අර කම්පියුටර් සයන්ස් වැඩ මෙයාල ඒ ලෙවල් වලට කලේ නැහැ. මෙහෙ වෙනම ඒ ලෙවල් වලට කම්පියුටර් සයන්ස් සබ්ජෙක්ට් තියනවා. කලේ නැති නිසා මෙයාලට ආපහු මුල ඉඳන්ම ඒව කරන්න වෙලා. මෙයාල ඒකට කතා කරලත් තියනවා යුනි එකේ ඩිපාට්මන්ට් එකත් එක්ක..කෝස් එකේ වැඩිපුරම ඉඳල තියෙන්නේ පිරිමි ළමයි. වැඩි කතා බහක් නැති වැඩිපුරම ආසියානු පැත්තෙන්. මහාචාර්ය වරු දෙන්නෙක් . ඒත් ඒ රටවල් වලින්මයි. ඒ ගොල්ලෝ මෙයාලට කියල තියනව අර පිරිමි ළමයින්ගේ කෝස් වර්ක් කොපි කරලා සබ්මිට් කරන්න. දන්නැති දේ එයාලගෙන් අහ ගන්න කියල. එයාල ඒකට කැමති වුනේ නැහැ. හොඳට ඉගෙන ගත්ත ළමයි නේ. එයාලා වාද කරලා තියනව එපමණ කොම්පියුටර් සබ්ජෙක්ට්ස් දෙන එක වැරදියි. පිරිමි ළමයින්ගෙන් අහගෙන සබ්මිට් කරන්න කියපු එකත් වැරදියි කියල. එයාලට කාලය දුන්නොත් ඉඑගෙන් ගන්න එක ලොකු කජ්ජක් නෙමේ කියල. . මහාචාර්ය වරු ඇරියෙත් නැහැ. අන්තිමට ගැහැණු ළමයි පස් දෙනෙක්ම ප්‍රොටෙස්ට් එකට කෝස් එක අත ඇරලා ගිහින්. මෙයත් එක්කෙනක්. දැන් Law and Accounts , ඩබල් එකක් කරනවා. එයාලට ටක් ගාල දාපු යුනි ටිකත් ලැබුන. මම දැන ගත්තේ කිංග්ස් එකෙන් ලිපි වගයක් ආවහම. වෙන කෝස් වගයක් සජෙස්ට් කරලා. . මගේ එකම තර්කය - අපි මේ රටවල් අපේ දුවලට ස්වාධිනව හිතන්න වැඩ කරන්න පුරුදු කරල තියෙන්නේ. පිට රටින් ආවහම ඒ රටවල තියන සමහර පුරුදුත් ගේන්නම ඕනෙද? ඒ දවස් වල බ්‍රයන් වැරදි කියල මට හිතුනට මම දැන් මාවම ප්‍රශ්න කරනවා.

      Delete
    4. මම මේක ලිව්වේ ළමයාගේ දස්සකම් ගැන කියන්න නයා අරින්න හෙම නෙමේ හොඳද . උන වැඩේ පැහැදිලි කරන්න .

      Delete
    5. නැහැ කොහමවත් නයා ඇරීමක් කියල හිතුනෙ නෑ. හොඳ පැහැදිලි කිරීමක්. මට මේ ලමයි ගැන ආවෙ කණගාටුවක්. තමන් ආසාවෙන් කරන රැකියාවක් කියන්නෙ, ආශිර්වාදයක්. ඒත් මෙහෙම එකකුත් තියනවා:

      Everyone works in jobs they hate, then use money to do what they love

      Delete
    6. ඔව් . මම අවංකවම එයාලට ඉංජිනියරින් කරන්න් කීවේ නැහැ . මම භෞතික විද්‍යාවට ආසයි කියල එයාල දන්නවා . නමුත් රස්සාවට කරන්න ලීගල් සොෆ්ට්වෙයාර් . ඉතින් එයාල දෙන්නම් පොඩි කාලේ සහ වර්ක් එක්ස්පිරියන්ස් වලටත් ගියේ මම දන්නා කම්පැනි වලට . එනිසා law කරන්න තොර ගත්ත එකේ අවුලක් නැහැ . එයාල සතුටින් නම් එච්චරයි

      Delete
  7. https://sudukukula.blogspot.com/2025/01/blog-post.html

    ReplyDelete
  8. @ Ajith

    Is this news true?

    //

    එංගලන්තයෙන් වීසා නොලැබුනු ආණ්ඩුවේ මන්ත්‍රී

    CPA එක හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ UK ශාඛාව විසින් සංවිධානය කරන “AI in Security” වැඩමුළුවක් අද ඉදලා දවස් තුනක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත් වෙනවා. ඒ සදහා ශ්‍රී ලංකාව ඇතුළු තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තියනවා. සෑම වසරකම වගේ CPA එක මෙවැනි වැඩසටහන් සංවිධානය කරනවා. ඒ හැම වෙලාවකම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් ඒ ආරාධනාව යවනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමානව ඒ ආරාධනාව ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් බෙදලා දෙනවා.

    මෙවර වැඩමුළුව විපක්ෂයේ අවස්ථාව හිමි වෙන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්තිට. ඔහු කොහොමත් පරිඝණක තාක්ෂන ඉංජිනේරුවෙක් නිසා විපක්ෂනායකවරයා ඔහුව නම් කරලා තියනවා. චතුර අද ඉදලා ඒ වැඩසටහනට සහභාගී වෙනවා. ආණ්ඩු පක්ෂයේ අවස්ථාව හිමිවෙලා තිබුනේ ඡන්ද පෝස්ටරයට විතරක් තොරතුරු තාක්ෂන ඉංජිනේරුවෙක් වෙච්ච නුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට. පෝස්ටරයට විතරක් කියලා කියන්නේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය බැලුවම මිනිහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් යටතේ මුකුත් නෑ. අඩුම ගානේ OL ගැනවත් සදහනක් නෑ. හැබැයි පෝස්ටරේ ඉංජිනේරු

    කොහොම හරි මේ පෝස්ටර් ඉංජිනේරුවා පක්ෂයෙන් නම් කරාට බ්‍රිතාන්‍යය ඔහුව පිලි අරන් නෑ. ඒ නිසා වීසා දීලා නෑ. නිකමට හිතහංකෝ ඩිප්ලොමැටික් පාස්පෝට් වල සුවදටත් රටවල් වීසා දෙනවා. එහෙව් එකේ බ්‍රිතාන්‍යයම සංවිධානය කරලා, බ්‍රිතාන්‍යයම ආරාධනා කරලා, බ්‍රිතාන්‍යයම සම්පූර්ණ වියදම් දරලා වැඩක් කරද්දිත් ඒකට මිනිහෙක්ට වීසා දෙන්නෑ කියන්නේ. මං මේ නිකමට අහන්නේ 157 ක්ද කොහේද ඉන්නවනේ. හරිහමං මිනිහෙක් නැද්ද මේ වගේ වැඩකටවත් එවන්න. අපරාදේ ලංකාවට හම්බෙච්ච වටිනා චාන්ස් දෙකෙන් එකක් අපතේ.//

    Source:

    https://www.facebook.com/share/p/1DjfNJCyUT/

    ReplyDelete
    Replies
    1. මම පරිගණක ඉංජිනේරුවෙක් . මම මුන්ට සපෝර්ට් . ඔය මගුලට එක ආවත් එකයි නැතත් එකයි . මොකද චරිත ආවයි කියල මගුලක් කරයිද දැන් ගිහිල්ල ? ඕව වැඩිපුර කරන්නේ මන්ත්රිලා ගේන්නයි කොමන්වෙල්ත් එකේ සල්ලි ටික කන්නයි . අපි නොදන්න ලයීව් . චතුර මොනවාද ඉගෙන ගත්තේ කියල දාන්න කියන්න .

      Delete
  9. අජිත්

    මම දන්න විදිහට ලංකාවට Freemasonry ආගමිකත්වය ආවේ ලන්දේසීන් විසින් අවුරුදු තුන්සියයකට පමණ පෙර, පසුව බ්‍රිතාන්‍ය යුගයේත් එය සරුවට පැතිරිලා තියෙනවා.

    බලාගෙන ගියාම Freemasons කියලා කියන්නේ වෙනමම කල්ට් එකක්, වෙනම සුවිශේෂ ආගමික සමාජ දේශපාලන කණ්ඩායමක් නේද?

    හරියට භාරතය තුල පවතින බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්‍ර සහ වෙනත් පංචම කුල ආදී කුලවල හැසිරීම වගේම ලංකාවේ පැරණි සිංහල බෞද්ධ සංස්කෘතිය තුල මහනුවර යුගයේ පැතිරුණ කුල අනන්‍යතාවට යම් තරමකට සමානත්වයක් තියෙනවා නේද?

    Freemasonry සමග බැඳෙන සාහිත්‍ය නිර්මාණ ගැන විස්තර කියන්න පුළුවන්ද?

    මම නම් ලංකාවේ පවතින විෂම කුලවාදය කියන එක පිළිගන්නේ නැහැ නමුත් ඉහත කී කරුණට අදාලව සහ එෛතිහාසික සමාජ සංකල්පයක් විදියට කතා කලොත් ලංකාවේ සම්ප්‍රදායික කර්මාන්තවලදී වහුම්පුර නොහොත් හකුරු නිෂ්පාදනය කරන ජන කොටස අයත්වන කුලයට සම්බන්ධ නිර්මාණකරුවන් බොහෝ සිටිනවා

    ඒ වගේම ලංකාවේ රට පුරා විසිරුණු ඇතැම් කුල ප්‍රජාවන් ඉන්නවා. ඔවුන් කුල වශයෙන් සංවිධානය වෙලා ඉන්නේ ඒ කුල අනන්‍යතාව වැදගත් නිසා. ඒ කුල වලින් ප්‍රධානතම දෙකක් තමයි වහුම්පුර සහ නවන්දන්නා කියන කුල. මේ කුලවල ජනගහනය ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයන් වුණත්, එම පදනම්වලින් ඔවුන්ට ප්‍රමාණවත් මහජන නියෝජනයක් නැහැ.

    මේ වගේ කුල නියෝජනය කරලා බලයට පත්වන ඇතැම් කපටි දේශපාලනඥයන් ජනාධිපති, අගමැති වැනි බලාධිකාරීන් වෙත ළංවෙන්නට තම කුල අනන්‍යතා ඔස්සේ තමන්ට එම ජනතාව නියෝජනය කළ හැකි බව පෙන්වනවා. උදාහරණ ලෙස සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ අය එවැනි කුලවල අනන්‍යතා භාවිතා කර දේශපාලන බලය තුල ඉදිරියට ආපු අය. ඒ වගේම සිල්වලා සහ 'ද සිල්වා'ලාත් වර්ග දෙකක්ලු. කොයි එකාද උසස් කියල නම් මම දන්නෙ නෑ. මොකද දැන් අපි දන්නෙ නෑනෙ නලින් ද සිල්වද මර්වින් සිල්වද උසස් කියලා. දෙන්නම එක වගේ වැඩනෙ කළේ. හැබැයි වහුම්පුර කුලය නියෝජනය කරපු එම කුලයේ පවුලක උපන් දක්ෂ නිර්මාණකරුවෙක්, මාධ්‍යවේදියෙක් විදියට අපට දිනමිණ, දිවයින, රිවිර, සිළුමිණ ඇතුළු පුවත්පත් ගණනාවක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදී නන්දසේන සූරියආරච්චි හඳුන්වා දිය හැකියි.

    මීට වසර දෙකකට පමණ පෙර අභාවප්‍රාප්ත වුණ එස් ඒ නන්දසේන මියයන විට 78 වැනි වියෙහි පසු වූ ග්‍රන්ථ 55 ක කතුවරයෙක් ලෙස 1945 මාර්තු 27 දකුණු පළාතේ බද්දේගම, උනන්විටියේදී උපන් ඔහු වැලිවිටිය මහා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලය සහ හොරණ විද්‍යාරතන විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූවා. වහුම්පුර කුලයට ආභරණයක් වුණ ආචාර්ය නන්දසේන සූරියාරච්චි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් විදියට කැලණිය විශ්වවිද්‍යාලයටත් ආභරණයක් වුණා. මේ සූරියආරච්චි කියන පරපුරම වහුම්පුර කුලය නියෝජනය කරන දක්ෂ නිර්මාණකරුවන් පිරිසක්. හරියට පණ්ඩිතරත්න කියන පරපුර කුඹල් කර්මාන්තයේ නිරත කුල අනන්‍යතාව රැකගෙන නිර්මාණ හරහා එම පරපුරට ආභරණයක් වුණා වගේ. සුරියආරච්චි කියන පරපුරම වහුම්පුර කුලය නියෝජනය කරන දක්ෂ සාහිත්‍ය නිර්මාණකරුවන් රංගනයේදී ගත්කතුවරුන් රාශියක් බිහිකර තිබෙනවා. නන්දසේන සූරිය ආරච්චි වගේම වහුම්පුර කුලය නියෝජනය කරන කරුණාදාස සූරියආරච්චි, මේඝ සූරියආරච්චි, නන්දන සූරිය ආරච්චි, නන්දිත/ චන්දන වගේම ළමා කතා සාහිත්‍ය නිර්මාණ වලට අතිදක්ෂ ජානකී සූරිය ආරච්චිත් අමතක කරන්න බෑ. මෙයාලත් හරියට පණ්ඩිතරත්න කියන පරපුර වලං කර්මාන්තයට සම්බන්ධ බඩහැල කුලයට අභිමානයක් එක්කලා වගේ අතිදක්ෂ පරපුරක් රටට නිර්මාණය කර තිබෙන බව අප එය අගය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ තුමෝ ෆ්‍රොම් මේසන් එක ලංකාවට ආවේ කොයි කලේද කියල දන්නේ නැහැ . නමුත් කුලවාදයට ඉඳුර පටහැනි දෙයක් . ඉදිරියට ලියන්නම් ෆ්රිමේසන් එක අඩුම ගානේ සමානාත්මතාවය තියනව . ඒක ඇතුලට ගියහම් තත්වය බලන්නේ නැහැ . හැමෝම ගෞරවනීය සහෝදරයා (worshipful brother ). හැබැයි ඉදිරියට ලියන්නම් ලොජ් අතර වෙනස්කම් තියනව රැකියාව අනුව . ඉදිරියට දැන ගන්න ලැබේවි . ඩැන් බ්‍රවුන් ගේ සහ රොබට් ලෝමස් ගේ පොත් ෆ්‍රී මේසන් එක ටච් කරගෙන යනවා . මේ ලිස්ට් එක බලන්න . https://freemasonry.bcy.ca/fiction/20.html

      Delete
  10. "කරුණාකරලා ඔබලාගේ ළමයින් ඉංජිනේරු සහ විද්‍යා (වෛද්‍ය) විෂයයන්ට අමතරව අනිකුත් දේවලුත් ඉගෙන ගන්න කියන්න . අපට (එංගලන්තයට) ඒ පැති වලිනුත් උගතුන් අවශ්‍යයි"

    I'm in US, not UK. But there might be similarities. It's easy for them to say it, but when you enter the work force the class system is clearly reflected through the pay gap.

    Doctors, engineers, investment bankers make lot more money compared to teacher, social workers, etc... The issue should be fixed from that end. Once the salaries are equal among all the fields, kids would learn to pick a field they love.

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      Same here in Australia, however, the observation that Asian immigrants in Australia often occupy high-responsibility professions such as doctors, engineers, and managers, while many local European Australians work in lower-responsibility roles with fixed hours, such as labor or security jobs, can be explained through a combination of historical, cultural, economic, and policy-driven factors.

      In my opinion the workforce distribution between Asian immigrants and European Australians is shaped by immigration policies, cultural attitudes, economic incentives, and labor market preferences.

      Asian immigrants, often arriving under skilled migration programs, pursue high-responsibility careers due to cultural emphasis on education, economic necessity, and professional barriers in lower-skill jobs which are artificially fixed for euro Australians by the Australian politicians to secure their vote base.

      That is the main reason why Aussie government is trying hard to deprive immigrants outside their so called bloody stupid skilled migration bulshit which made easy labour jobs like golden opportunities for useless lazy euro Aussie morons.

      European Australians, benefiting from political and generational stability and unionized job markets, tend to prioritize work-life balance by working less and charging extremely higher wages which not worth for what they really did and secure employment over high-stress, high-responsibility roles.

      This pattern is not a reflection of inherent ability but rather a result of structural, cultural, and economic factors shaping career choices and labor market dynamics in Australia which is highly vulnerable and challenging in the near future for a severe collapse of the economy as most of the experts have elaborated. Hope the policymakers will think rationale and do the needful ASAP.

      Delete
    2. ඇනෝ 18.38 , කතාව ඇත්ත . ඒ රැකියා වල පඩි වැඩියි . ඒ තර්කයට අනුව සාධාරණ කමක් තියනවා . මමත් මුලදී අර කමෙන්ට් එක දාල තියන මහාචාර්ය තුමා චන්දිම ගෝමෙස් අනුව වගේ තමා හිතුවේ . මටත් මළ පැන්න ටිකක් . නමුත් ඊයේ පෙරේද කතා කළා මලිමාවට චන්දෙ දුන්න යාළුවෙක් එක්ක . එයා පෙන්නල දුන්නේ මෙහෙ සුපර්මාකට් ඇතුලේ දාල තියෙන ටියුෂන් කඩ ගැන . ඒවා අයිති ඉන්දියන් කම්පැනි එකකට . හැරෝව් පැත්තේ ඒවා දෙමල කෙනෙකුට අයිති කම්පැනි එකකට . බඩු ගන්න යන ගමන් ළමයි ටියුෂන් දාන්න . මේක නැත්තේ ඉංග්‍රීසින් වද්දීපුර ඉන්න පැතිවල විතරයි . යුදෙව්වෝ පවා දැන් ටියුෂන් බරට යනවා , කරනවා . මේ රටේ ලන්ඩන් වල විශේෂයෙන් හොඳ ඉගෙනීමක් තිබ්බේ . නමුත් මට බ්‍රයන් කියපු එක දැන් තේරෙනවා . හැමෝටම සාධාරණව තිබ්බ ක්‍රමයක් අපි ඇවිල්ල වෙනස් කළා . මම කතා කරන්නේ රජයේ විද්‍යාල ගැන විතරයි .

      Delete
    3. ඇනෝ 2.49 - ඔස්ට්‍රේලියාව සෑහෙන්න හොඳ රටක් කියල තමා මෙහ පිලි ගැනීම . ඒත් ආදිවාසීන් ට ස්සලකනවා හරි නැහැ නේද . එකම පාට අසියතිකයෝ හොඳින් ඉන්න කොට ආදිවාසී තත්වය ගොඩක් සවුත්තුයි නේද ? මෙහෙ මෝටර්වේ හදන වැඩ හෙමවෙන අයට දුන්නේ නැහැ අයිරිෂ් අය විතරයි . දැන් තත්වය වෙනස් වේගෙන යනවා , ට්‍රක් ඩ්‍රයිවර් ලා හැටියට දැන් අපේ අයත් වැඩ කරනවා ,

      Delete
    4. මෙහෙ කළු අය ළමයි ටියුෂන් හෙම යවනවා අඩුයි ඉතින් එයාලගේ නියෝජනය අඩුයි ඉහලට යන කොට . ඒ නිසා ඔවුන් ආසියාතිකයන් කෙරෙහි කිසියම් විරෝධතාවයක් සහ 9(ඉරිසියාවක් ) එක්ක හැසිරෙනවා කියල මට හිතෙනවා .

      Delete
    5. ඇනෝ 2.49 නියම ඇත්ත කියල තියනවා.
      //European Australians, benefiting from political and generational stability and unionized job markets......charging extremely higher wages which not worth for what they really did and secure employment over high-stress, high-responsibility roles.

      This pattern is not a reflection of inherent ability but rather a result of structural, cultural, and economic factors shaping career choices and labor market dynamics in Australia which is highly vulnerable and challenging in the near future for a severe collapse of the economy as most of the experts have elaborated. Hope the policymakers will think rationale and do the needful ASAP//

      මේක තමයි බොහෝ සුදු ජාතික රටවල තත්ත්වෙ. ඇමරිකාවෙ ට්‍රම්පුවාගෙ MAGA අන්තිම ප්‍රතිපලය සුදු-දුඹුරු වර්ණවාදය කියලයි හිතෙන්නෙ.

      Delete
    6. මේ ප්‍රශ්නය වැඩිපුරම තියෙන්නේ ඕස්ට්‍රේලියව , නවසීලන්තය , කැනඩාව වගේ රටවල නේද

      Delete
    7. ඇයි අජිත් මේ බ්‍රයන්ගෙ කතාවෙ මුල් ලිපිවල ලිව්ව නේද නම දැක්කාම ඉන්ටවීව්වත් කෝල් කලේ නෑ කියලා. වර්ණ්භේද වාදය බටහිර යහමින් වැජඹෙනවා. නීතීයෙ නැති වුනාට, යටින් ගේම යනවා. ඉතිං ඔය ලමයින්ව ටියුෂන් යවලා හරි යුනි යවන එක, ආසියාතිකයින් හොයාගත්ත ස'වයිවල් මැකැනිසම් එකක්.

      Delete
    8. එහෙම තමා මටත් හිතුනේ මුලදී . චන්දිම ගෝමෙස් මහතා ගේ සාධාරණ තරහත් බ්‍රයන් ගේ ප්‍රකාශයට මගේ හිතෙත් නැගුන . නමුත් මම අර කිව්වා වගේ මේ 'හැරී බලන' ව්‍යායාමයේ පැහැදිලි වෙන්නේ වෙනත් දෙයක් . අර ඇනෝ තුමා ඔස්ට්‍රේලියාව පිලිබඳ සත්‍ය වන්නේ හැමෝම මයිග්‍රන්ට් ස්කිල්ඩ් වීස යටතේ එන නිසා . වැඩි හරිය . එංගලන්තේ වැඩි හරිය දේශපාලන අනාථයන් . අනික් එක තමයි ළමයින්ව යුනි යවන එක ටියුෂන් නොගිහින් කරන්න පුළුවන් . බ්‍රයන් කීවේ ඒක . අපේ ළමයින්ට ටියුෂන් නොගිහින් යන්න පුළුවන් . උන් දක්ෂයි . මෙතන අපේ උන් අපේ උන්ට එරෙහිව ටියුෂන් යන්නේ . තේරුනාද මන්ද . අපේ දුවල ලැටිමර් ග්‍රමර් එකට තේරුනට පස්සේ වයිෆ් විරුද්ධ වුනා දාන්න . ඊට පස්සේ අල්ලපු ප්‍රාන්තයේ හොඳම රජයේ ඉස්කෝලයට තරඟ විභාගයෙන් ගියා . මම රෝයල් එකට ගියේ එහෙම . ශිෂ්‍යත්වේ ආවේ ආනන්දෙට . හේ හේ . වයිෆ් ගේ ප්‍රධාන තර්කයක් වුනේ (එයා උගන්වන නිසාත් ඒ පාසැලේ ) මේ ආසියා ළමයි එකිනෙකා ට ඉරිසියයි . තරඟයක් තියෙන්නේ . කියල එයා කීවා . එකිනෙකාට උදව්වක් වත් කරන්නේ නැහැ . සාපේක්ෂව සිය දිවි නසා ගැනීම් වැඩියි . ඉස්කෝලෙන් වැහුවට එයා ටීචර් කෙනෙක් නිසා අපි දැනන් හිටියා . ළමයින්ට ළමා කාලය අහිමි කරන ඇබියුස් එකක් ගානට මේක වැටිලා තියෙන්නේ නේද ,

      Delete
    9. නමේ ප්‍රශ්නය වර්ණ භේද වාදය නෙමේ කියන එක මට පස්සේ තේරුනා . මම නම කොට කලේ අජිත් ධර්ම කියල . ඒත් එංගලන්ත නමක් නෙමේනේ . ඒ නමට ජොබ ලැබුන . දැන් ඉන්න කම්පැනි එකේ නම් කොට කරන්න දෙන්නේ නැහැ . ඒ දවස් වලම දැක්ක නම දිග ග්‍රීක , පෝලිෂ් සුදුඑ වුන්ටත් රස්සා නොලැබී යනවා . ඊට පස්සේ තවත් පට්ට සොයා ගැනීමක් කළා . ඇයි යුදෙව්වෝ යන යන හැම රටේම විධිහට නම් වෙනස් කරන්නේ . ජර්මන් යුදෙව්වෝ ඔක්කොටම ජරම්න් නම් තියෙන්නේ . පොලිෂ් අයට පෝලිෂ් . යූකේ අයට ඉංග්‍රීසි නම් . මුල් නම් පට ගාල වෙනස් කරනවා . නම තමන්ගේ නොවේ නම් inhererent බයස් එකක් එන බව ඔවුන් දන්නවා . එඩ් මිලිබැන්ඩ් සහෝදරයෝ දෙන්නම් යුදෙව් . අර ලංකාවටත් ආවේ එකෙක් යුද්දේ නවත්වන්න . මතකද ? ඒ නම් ප්‍රශ්නය නැති වෙන්න ගත්තේ පිටරටට outsourcing කරන්න පටන් ගත්ත නිසා කියල මම හිතන්නේ .

      Delete
    10. අනික බසු වර්ණභේදවාදය අනිත් පැත්තටත් තියනව . මගේ බිරින්දෑ සුදු ගැහැනියක් නිසා ඒක මම හොඳට දන්නවා . - තව කතාවක් මතක් වුනා . අපේ කම්පනියේ ඒ කාලේ හිටිය vb ප්රෝග්‍රමර් කෙනෙක් . ඒ කාලේ ඒක තමා භාෂාව . මිනිහට ආචාර්ය උපාධියක් තියෙන වයස 27 වගේ පොරක් . වැඩේ කියන්නේ මෙච්චර මේ රටේ ඉඳලත් ඩ්‍රයිවින් බැහැ . අම්මයි තාත්තයි උදේට ගෙනත් දානවා . හවසට අරන් යන්න එනවා . මේක මුලදී අපට හිතුනේ කොපමණ අදරණිය දෙමාපියන්ද කියල . පස්සේ මට තේරුනා පොර ඕන කමින් රෑ වෙනකන් වැඩ කරනවා , ඒත් අර දෙන්න ඇවිත් කාරෙකේ ඉඳගෙන ඉන්නවා . මුලදී මාත් එක්ක හොඳට කතා කරනවා දෙන්නම . එක දවසක් මම කාරෙක දාලා ඇවිත් හෝ වෙනත් හේතුවකට ඉනෙස් මාව ගන්න ආවා ඔෆිස් එකට . එදා ඉඳන් අර දෙමාපියෝ මවා වර්ජනය කළා .

      Delete
    11. ඒකෙ දුකම කෑල්ල තමා අපේ කම්පැනි එකෙන් සිකුරාදාට බිමව් වලට ගෙවනවා . පොර එන්නේ නැහැ . පාටි වලට නැහැ . එක පාරක් ක්‍රිස්මස් පාටි එකකට ඇවිත් කලින් ගියා . අම්මල කාරෙකේ ඉඳගෙන ඉන්නව අරන් යන්න . අස් වෙලා ගියා පස්සේ . මොන ජිවිතයක්ද ඒ ? අම්ම තාත්තගේ හිර කාරයෙක් නේ හදල තියෙන්නේ ? මගේ දෙමාපියෝ බුදු වෙන්න ඕනේ . මෙහෙම නිදහස දුන්නට .

      Delete
    12. ලියන්න අමතක වුනා . අර දෙමාපියෝ මුල් සංක්‍රමණික දෙමල . පුතා එහෙ ඉපදිලා ඉගෙනේ ගෙන් තියෙන්න මෙහෙ .

      Delete
    13. ආන්න ජංසං. මම ඒක අහන්නමයි හිටියෙ.

      මගේ අත්දැකීම් ඔයිට වෙනස්. මම "වර්ක් එක්ස්පීරියන්ස්" ගන්න ගිය තැන් වල හිටපු සුද්දො අහලත් තියනවා " හා, උඹ ආවෙ අපේ රස්සා ගන්නද?" කියලත්. ඇමරිකන් කම්පැණියක්, ඒත් යූනියන් දාගෙන වැඩි හරියක් ඉන්නෙ සුද්දො , අනිත් ජාතිකයින්ට එන්න දෙන්නෙ නෑ. වර්ක්ෂොප් එකේ ඉන්න සුදු නොවන අය වැඩ කරනවා, අරක අහපු එකා සතපහක වැඩක් නොකර වටේම රවුම් ගහන එකෙක්.

      Delete
    14. ඒක හරි . සුද්දන්ට වඩා අපි අවංකව වැඩ කරනවා මේ රටවල . හැබැයි මනන්සි වෙලා වැඩ කරන සුද්දොත් ඉන්නව . ජර්මන් වරු හෙම පට්ට මහන්සි වෙලා වැඩ කරන්නේ . කැනඩාවේ ඉංග්‍රීසි සුද්ද්දන්ට වඩා නැගනහිර යුරෝපිය සුද්දෝ නේද ඉන්නේ . ෆ්‍රෙන්ච් කියන්නෙම් යුනියන් තියෙන කම්මලිම ජාතියක් . ඉතාලි සහ ස්පාඤ්ඤ උනුත් එහෙමයි . මම මුලින්ම වැඩට ගිය වෙලේ එකෙක් කීව උඹ ෆාස්ට් වැඩියි ෆේස් කරපන් කියල . මට පස්සේ තේරුනේ හිමින් වැඩ කරන්න කිව්වේ කියල .

      Delete
  11. මේ පේජ් එකේ චැරිටි කතව දැකල ආයාචනාවක් ඇවිත් තියනව . පියා සැක කටයුතු හදිසි මරණයකින් නැති වෙලා . දුවල දෙන්නම යුනි වල ඉගෙන ගන්නවා . එක අයෙකුට සුව කල නොහැකි ලෙඩක් . මව ඇඳුම් මහනවා අමාරුවෙන් අපේ චරිටි එකෙන් ශිෂ්‍යත්ව ආධාර ඉල්ලිඋව . අපි අවුරුදු 18 ඉහලට දෙන්නේ නැහැ . කවුරුහරි කැමතිනම් ආධාර කරන්න මම සම්බන්ධ කරලා දෙන්නම් .

    ReplyDelete
  12. Replies
    1. ඒක පට්ට ලිපියක් . බස්සා දන්නවද මම අනුර -හරිනි ඩබලට සහය දෙන්න පටන් ගත්තේ මොකද කියල . ඔන්න ඔය ලිපියේ තියෙන විධිහටම අනුර අතික්‍රමණය කරපු නිසා . ජවිපෙ විසින් දයා පතිරණ මරනවා . ආණ්ඩුව රිචර්ඩ් මරණවා . අදටත් සමහර ජෙපි යාලුවෝ දයා මරපු එක සාධාරණීකරණ කරනවා . එයාලාට තවමත් 'පේන්නේ ' නැහැ . ඉතින් හඳයා මෙහෙම සිනමාවක් හදල තියනවනම් ඒක පට්ට .

      Delete
    2. මේවා අපේ සමාජයේ ඇස්පනාපිට සිදුවුන, නිකං ටැබූ වගේ මාතෘකා. කවුරුත් කතාකරන්න කැමති වුනේ නෑ. හරිනිලා වගේ මධ්‍යස්ත අය නිසා හෝ අනුර ප්‍රතිපත්ති වෙනස් කල එක අගය කරන්න ඕනෙ.

      සටන් සගයෙකුගේ නික්ම යාම -දයා පතිරණ ඝාතනය

      රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

      Delete
    3. @ බස්සා මමත් රාණි බැලුවා, ඇත්තටම ඒකට මූලික හේතුව වුනේ රාණි තේමාගීතය මා අතිශය කම්පනයට පත්කළ නිසා, චිත්‍රපටය ඊටත් එහා කම්පනයක් ගෙනෙයි කියා හිතාගෙන හිටියත් එහෙම වුනේ නෑ. (මම ඔයගොල්ලන්ට වඩා ගොඩක් සංවේදී කෙනෙක් නීසා ටිකක් විතර sentimental වෙයි මේ කමෙන්ට් එක ඒත් ගණන් ගන්න එපා හරිද?)

      මට නම් රාණි චිත්‍රපටය බැලුවාම අපේ ආදරණීය මාධ්‍යේදී රිචඩ් ද සොයිසාගේ අමානුෂික ඝාතනය ගැන කියැවෙන ඉතාම හෘර්දයාංගම ලස්සන නිර්මාණයක් බව අවංකවම දැනුනේ නෑ,කොටින්ම රිචර්ඩ් මරපු බවක්වත් දැනුනේ නෑ...
      ඊට වඩා කම්පනයක් ඔහුගේ මිතුරු ගයාන් (සජිත ඇන්තනි)ව මහමග පැහැර ගැනිමේ තත්පර කිහිපයක රූපරාමුවෙන් ඇති කළා...

      එතනිනුත් නොනැවති
      ගයාන් 'රාණිගේ නිවසින්' අවසන් වරට පිටව ගිය මොහොත සහ ඔහු ගිටාරය වාදනය කරමින් රංගනයක යෙදුනු අවස්ථාව මතකයට නැගී සමීපතම අයෙකුගෙ අහිමිවීමක් වන් දුකක් දැණුනා... ඒත් අවංකවම කිව්වොත් නම් මට මොහොතකටවත්,
      මේ නම් රිචර්ඩ්ගෙ කතාව කියලා දැනුනෙ නෑ...

      එතකොට රාණිගෙ කතාව?

      සිගරට් බීම, විස්කි බීම ඇරුණාම ‍රාණි තමන්ගෙ දරුවා වෙනුවෙන් කම්පාවීමක් රූපරාමුවලින් මට දැනුනේ නෑ...

      තමන්ගෙ එකම දරුවගේ වියෝව අම්මා කෙනෙකුට ඒ විදිහට විස්කි ශොට් එකකින් දරාගන්න පුලුවන්ද? මට නම් එහෙම හිතන්න අමාරුයි

      ඒ වගේම තමන්ගෙ මිතුරු ලලිත්ගෙ ඝාතනය සැලවීමෙන්, රාණි ඊට වඩා දුක්වෙන බවක් මට දැනුනා...
      කාමරයේ දොරවසාගෙන කාටවත් මුහුණ නොදි ඇය මහ හඬින් හඬා වැටෙනවා...
      තවත් තැනක ඇය අනියම් ආදරයක් සිහිකර ඒ ගැන සතුටින් කතාකරනවා...
      ඒ දර්ශනයේ හිටියෙ රාණිමද කියලා මම තවමත් හිතනවා..අපි තිරයෙන් පිටතදි දකින ව්‍යක්ත ලෙස කතාකරන මුඛරි කටකාර රංගවේදිනිය ස්වර්ණා මිසක් වෛද්‍ය මනෝරානි කෙනෙකු නම් මට එයින් පෙනුනේම නෑ.

      රාණිගෙ චරිතය, දඩයමේ රන්මලි ගෙ චරිතයට දෙවැනි වනවා කියා ස්වර්ණා මාධ්‍ය වලට කිව්වාට දඩයමේ දී නම් ඇත්තටම රන්මලි මිසක් ස්වර්ණාව නොදැකපු මම, රාණි චරිතයෙන් නම් වැඩිහරියක් දුටුවේ ස්වර්ණා මිසක් රාණි නම් නෙවෙයි..

      රාණි චිත්‍රපටය බලන්න යනවා නම්, රිචර්ඩ් කියන්නේ කව්ද කියලා කලින් හොයාගෙන යන්න..

      මොකද මේක ඇතුලේ රිචඩ් නෑ..

      එතකොට රාණී?

      අනේ මන්දා.. මට නං හිතෙන්නේ රාණිත් නෑ!

      සෙසු රංගන ශිල්පීන් අතරින් අශාන්ගෙ රංගනය ඉහලම තැනක තිබුණා..
      මංගල මිසක අශාන්ව නම් පෙනුනේම නෑ...ඒ තරමට ඔහුගේ රංගනය විශිෂ්ටයි.

      ලලිත්ගෙ චරිතයේ වේශනිරූපනයෙන් ලලිත් බව පෙනුනට,
      රංගනය නම් අර ඕලාරික සනත්ම තමයි...

      තවත් වැදගත් දෙයක්, දැන් වසර විස්සකට ආසන්න කාලයක් පුරාවට අපේ දේශපාලන ලෝකයේ සුපුරුදු දුෂ්ටයා වන මැදමුලන නාකි මයිනා... පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ සුහුඹුල්විය නියෝජනය වන ආකාරය ගැනත් ලොකු අවුලක් තියෙනවා.. ඇත්තටම එවකට ඉතාම ජනකාන්ත දේශපාලනයක නිරත වුණ තරුණ මහින්දගේ සුවිශේෂී චරිතය වෙනුවට දැන් අපි දකින අතපය වලින් කතා කරන නාකි මහින්දව නැවත රඟදක්වන්න ගිහින් බිමල් ඇණගෙන...
      ඒකට නම් හරිම දුකයි.

      බිමල්ගෙන් විශිෂ්ට රංගනයක් දකින්න බලාපොරොත්තුවෙන් ගියේ..😪 නමුත් අවාසනාවකට ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා

      රොනි ගුණසිංහගෙ චරිතය නම්, අපට පොලිසිය එපාකරවන තරමටම රඟදක්වනවා. නියමම පොලිස්කාරයා!
      (ඒ නලුවා කවුද කියලා දන්නෙ නෑ. දන්නවානම් කියන්න පුළුවන්ද?)

      අන්තිමට, අධ්‍යක්ෂවරයා විසින්, රිචර්ඩ්ගේ ඝාතනය කලේ අපි කවුරුත් දන්න කෙනාගෙ අනුදැනුමකින් නොවන බව නොකියා කියනවා කියලයි මට හිතුනේ...

      එතනදි නම් අනේ අපොයි කියලා හිතුණා...

      බීමත් පොලිස්කාරයෝ කිහිපදෙනෙක් සමලිංගික කොල්ලෙකුව මොහොතක විනෝදයක් ගන්න අල්ලගෙන ඇවිත්, පසුව කරපු ඝාතනයක් බව හඟවන්න දරපු උත්සහයක් බව තමයි අන්තිමට දැණුනේ... චිත්‍රපට නිෂ්පාදනය කරපු ලයිකා අලිරාජාලට පොඩි ප්‍රේමදාසට චරිත සහතික දෙන්න ඕන වෙලාද කියලත් හිතෙනවා ඒත් ඒකෙන් වැඩක් වෙන එකක් නම් නෑ ඉතින්

      කොහොම වුනත් ටිකට් එකක් අරන් බැලුවට පාඩු නැති චිත්‍රපටයක් කියලා අන්තිමට කියන්න පුළුවන්.

      Delete
    4. රොම්බ තෑන්ක්ස් ඇනෝ, මේ දීර්ඝ විස්තරයට. එහෙම නං මම දන්න කතාව හිතේ තියාගෙන ෆිලුම නොබලම ඉන්නවා. කතාවෙ ඔබ කියන අඩුපාඩු තියනවා නං, ඒක අවාසනාවන්ත තත්ත්වයක්. හඳයා වගේ දක්සයෙකුට, ව්‍යංගයෙන් හරි ඇත්ත කියල දාන්න තිබුනා. ඒත් ඔහුට මොන බලපෑම් ආවද දන්නෙත් නැති නිසා, අඩුම තරමේ සමාජ කතිකාවකට මුල පුරයි හිතලා, මේ මතභේදාත්මක සබ්ජෙක්ට් එකට අත ගැහැව්වාට හඳයට මගේ ස්තූතිය හිමි වෙනවා.

      Delete
    5. මම බැලුවොත් විචාරයක් ලියන්නම් . ඇනෝ 7.39 චිත්‍රපටයේ නමම රාණි නේ . රිචඩ් ගැන මොකටදදාන්නේ . එහෙමනම් රිචර්ඩ් කියල ෆිල්ම් එකක් කරන්න පුළුවන් . ඒක කියෙව්වට පස්සේ මට හිතුනා ඇත්තටම බලන්න . හඳගම ගේ ලකුණත් ඒකම තමයි . අපිට පේන විධිහටම ඕනේ නම් ඒක සිනමා නිර්මාණයක් වෙන්නේ නැහැ . රිචඩ් ගේ ආදරණිය චරිතය හෝ දේශපාලන චරිතය ඕන විධිකට කියව ගන්න හැම තැනම තියෙනව . හඳයා ඒක අයින් කරලනම් මරු . මේකෙදි කතා දෙකක් මතක් වුනා . අල්ලන කෙනා අනුව බේරා ගන්න බහ . මට අසූ ගණන් වල මල්ලි කෙනෙක් බේරා ගන්න අක්ක කෙනෙක් කීව . හොයල බලපු කනෙක්ෂන් එක කීවේ - එයාව උස්සලා දීල තියන් තැනට අත ගහන්න බැහැ කියල . ඉවරයි කියල හිතා ගන්න කියල . මම ඒක යෙහෙළියට කීවේ නැහැ . කිවේ ඇත්තටම සුමාන දෙක තුනකට කලින් .

      Delete
    6. තව දන්න කේස් එකක් . ප්‍රේමදාස ජනාධිපති තුමා දන්නා කෙනෙක් ගේ ළමයෙක් ගත්ත . ඒ කෙනත් වෙනත් දේශපාලන පක්ෂයක කට්ටිය අඳුනන ප්‍රබලයෙක් . ප්‍රේමදාස අර මනුස්සය එක්ක තැන දෙක තුනකට ගිහින් තියනවා බලන්න . ඒත් හොයා ගන්න බැරි වුනා . ලංකාවේ ඩීප් ස්ටේට් එක හිතනවට වඩා ගැඹුරුයි . අනුර වුනත් පරිස්සමින් අඩිය තියන්නේ කියල පේනවා . බසු දන්නවද ඕකේ නිර්මාතෘ කවුද කියල .

      Delete
    7. අර කුප්‍රකට ඔප්ස්-කම්බයින් එකේ නිර්මාතෘ ද. රවි ජයවර්ධනවත්ද?

      හඳගම වෙනස්ම කලාකරුවෙක් බව ඇත්ත. ඒත් රිචඩ්ගෙ, මනෝරාණිගේ පොටෝ දාලා ඉතිහාසය විකෘති කලා නං ඒක වැරදියි.ප්‍රේමදාස අපේ දේශපාලන ඉතිහාසයේ හිටිය "හක්කෙ බුදුරැස්. බොක්කෙ දඩමස්" මිනීමරුව. මැරුවෙ නෑ මැරෙව්වා. ජේවීපී පොලිටි බියුරෝ එකත් කලේ ඒකක තමයි.

      //රිචඩ් ගේ ආදරණිය චරිතය හෝ දේශපාලන චරිතය ඕන විධිකට කියව ගන්න හැම තැනම තියෙනව//

      රිචඩ් ටිකක් තේරුම්ගන්න අමාරු චරිතයක්. ඉහලම සමාජ පැලැන්තියේ. ඔහුට තම පන්තියට විරුද්ධ ජේවීපී එකත් එක්ක තිබ්බ සම්බන්ධය වෙන්න තිබ්බ අවශ්‍යයතාවය මොකක්ද, ආණ්ඩුවට ඔහුව "ඉවත් කරන්න" තිබ්බ අවශ්‍යයතාවය මොකක්ද කියල පැහැදිලි නෑ.

      Delete
    8. https://youtu.be/Mp5WlBKRCJ0?t=1085

      Delete
    9. @ ඇනෝ 7.39 & බස්සා

      ඔය අසෝක හඳගමගෙ රාණි චිත්‍රපටය ආපු දවස්වල ලොකු උත්කර්ෂයක් නැගුනා මතකයි. ඒක හඳගමගෙ පසුකාලීන අනික් චිත්‍රපටිවලට වඩා තරමක් කෘතිම විදියට වැඩි එකක් කියලයි මටනම් පෙනුනෙ.

      ඔයා කියනවා වගේම මමත් දැක්කා එහෙන් මෙහෙන් ගොඩක් ආඩපාලි කියැවෙනවා. "අයි ඈම් ඩිසපොයින්ටඩ්" කියන එක ගොඩක් තැන්වල ඇහෙනවා.

      මම චිත්‍රපටිය නම් බැලුවෙ නෑ. නමුත් මේ ආඩපාලි වල ශෛලිය අනුව නම් පෙනෙන්නෙ චිත්‍රපටියට වඩා ඔවුන් බලාපොරොත්තු වුන දේශපාලනික කියැවීම චිත්‍රපටයේ දක්නට නොලැබීම නිසා ඇති වුන ඉච්ඡා භංගත්වයක් බවයි.

      ඔය චිත්‍රපටය සමගම රිචඩ් ද සොයිසා ගැන මේ දවස්වල කතා වෙන නිසා මතක් වුන දෙයක්.

      රිචඩ් ද සොයිසා සමලිංගිකයෙක්. ඒ අවධියේ ලංකාවේ සමලිංගිකයෝ විවෘතව පෙනී සිටියෙ නෑ.

      මට මතකයි අපි පොඩි කාලේ 90 ගණන්වල සුගතපාල ද සිල්වා සහ පරාක්‍රම නිරිඇල්ල අතරේ පුවත්පත් වලින් විසාල වාදයක් ගියා. පරාක්‍රම නිරිඇල්ල ඒ වෙලාවෙ සුගතපාල ද සිල්වාට චෝදනා කළේ ඔහු රිචඩ් ද සොයිසා ජීවත්ව සිටින කාලයේ සමලිංගිකයකු යැයි (පොන්ටික්ස්) කියා අපහාස කොට ඔහුව ඝාතනය කළ පසු ඒ ඝාතනය කිරීමට විරුද්ධව උද්ඝෝෂන පෙළපාලි ගිය බව. රිචඩ් ද සොයිසා ඉංගිරිසි නාට්‍ය වේදිකාවෙ හිටිය කෙනෙක්. සුගතපාලද සිල්වා ඊට සමගාමීව සිංහල නාට්‍ය කළා.

      මම දැක්කා වර්තමාන එන්පීපී වහල් පුනරුද ප්‍රජාව චිත්‍රපටයේ රිචඩ් ද සොයිසා සමලිංගිකයකු ලෙස පෙන්වා ඔහුගේ චරිතය ඝාතනය කර ඇති බව චෝදනා කර තියෙනවා.

      චිත්‍රපටය බලන වත්මන් පුනරුද ප්‍රජාව රිචඩ් ද සොයිසා ව දන්නෙත් නෑ. 87-89 වුනේ මොකද දන්නෙත් නෑ. ඔවුන්ට අවශ්‍ය එකම දේ 87-89 සම්බන්ධයෙන් ජවිපෙ මත තැවරී ඇති ලේ පුළුවන් ආකාරයෙන් හෝදන්න අසාර්ථක උත්සාහයක යෙදෙන එක.

      ඔවුන් චිත්‍රපට සාලාවට ගිහින් බලාපොරොත්තු වෙලා තියෙන්නේ ප්‍රේමදාස නම් දාම ඝාතකයා විසින් රිචඩ් ද සොයිසා නම් අහිංසක මාධ්‍යවේදියා ඝාතනය කිරීමේ 'ඔවුන් දැන සිටි පුවත' චිත්‍රපටි සාලාව ඇතුළතදී එතෙක් නොදත් පුවතක් ලෙස අලුතෙන් දැන ගැනීමෙන් කම්පනයක් ලබා ගෙන එය මාධ්‍ය සමාජමාධ්‍ය ජාල වල වපුරා ඉන් උපරිම දේශපාලන වාසි ලබාගෙන දැනටමත් ජනතාවට එපා වී ඇති තම පක්ෂයට යම් හුස්මක් පිඹ බලය ගිලිහී යාම අඩු කර ගැනීමට උත්සාහකිරීම වගේ දෙයක් බවයි පේන්න තියෙන්නේ.

      පේන විදියට හඳයා මේ චිත්‍රපටිය රිචඩ් ද සොයිසා ගැන හදපු එකක් නෙවෙයි, ඔහුගේ මව ගැන හදපු එකක්. ඇගේ චරිතය නිරූපණය කිරීමත් කතාව සැබෑවට වඩා නිර්මාණාත්මක ලෙස හඳයාට හිතෙන කතාවක් කියන්න උත්සාහයක නිරත වීමක් වෙන්නත් ඉඩ තියෙනවා, හැබැයි ඔය චිත්‍රපටය සම්බන්ධයෙන් පුනරුද ප්‍රජාව ඉච්ඡාභංගත්වයට පත් වීම නම් පුදුමයක් නෙවෙයි. ඔවුන් මේ දවස්වල දැඩි ලෙස ආතතියට ලක්ව තිබෙන නිසා මේ වගේ එල්ලෙන්න පිදුරු ගස් පවා හොයාගන්න ඕන කියලත් කියන්න ඕන.

      Delete
    10. @ ඇනෝ 7:58

      ස්තූතියි සාකච්චාවට හිතන්න යමක් එක්කලාට. බොහෝ දුරට එකඟයි. හඳයාට අයිතිය තියෙනවා මනෝරාණීගෙ චරිතය අරගෙන කතාවක් නිර්මාණය කරන්න. ඒත් මේ කතාවෙ චරිත ලාංකික දේශපාලනයෙ බලකණු. ඇනෝ 7.39ගෙ තර්කයම ගමු. මයිනත් එක්ක අපේ කොච්චර ඇරියස් තිබ්බත්, 89 හිටිය මහින්දව විකෘති කලා නං ඒකත් වැරදියි. හැමෝගෙම කිල්ලෝටවල හුණු ටික ටික හරි තියනවා. රාණි නැමති සම්මතයෙන් ඔබ්බට ගිය චරිතය මඟින්, අපේ මෑත ඉතිහාසයේ අඳුරුම යුගය ගැන විච්චේදනයක් වගේ එකක් තමයි මම නං බලාපොරොත්තු වුනේ.

      Delete
    11. අකාලයේ ජීවිතයෙන් සමුගත් යුගාන්තයේ අයියා නගෝ දෙන්න ගැන කියන්න ඕන

      සිංහල නවකතා සාහිත්‍යයයේ එන ප්‍රබලතම සොයුරු බැඳීමක් වන චමරී කබලාන හා මාලින් කබලාන අතර තිබූ සොයුරු බැඳීම පිළිබඳව යුගාන්තයේ එක් පරිච්ඡේදයක මෙසේ සටහන් ව ඇත.

      "වඩාත් බියගත් නාලිකා කබලාන, චමරී මාලින්‍ ගෙන්‍ වෙන් කළ නොහැකියයි සිතුවා ය. ඔවුන් දෙදෙනා කුඩා කල පටන් වැඩුණේ ඔවුනොවුන් නිසා හටගත් දැඩි ඇල්මක් ඇතිවයි. පොත පත උගැන්මෙහිදී චමරී මාලින් ද සමාජයෙහිදී මාලින් චමරී ද අනුකරණය කළෝය."

      1983දී තිරගත වූ යුගාන්තය චිත්‍රපටියේ මාලින් කබලානගේ චරිතය රිචඩ් ද සොයිසා විසින් ද චමරී කබලානගේ චරිතය රමණී බර්තොලමියුස් විසින් ද රඟ දක්වන ලදී.

      යුගාන්තය තිරගත වීමෙන් වසර තුනකුත් සය මසක් ගෙවුනු තැන රමණී ටද, එයින් වසර තුනක් ගෙවීමට මත්තෙන් රිචඩ් ටද ජීවිතයෙන් නික්ම යන්නට සිදු විය.

      චමරී සහ මාලින් යුග අන්තයකදී ද එක්ව හිඳීමට වරම් ලද මුත් තිරය මතදී ඔවුන්ගේ චරිතයන්ට ජීවය දුන් රමණී බර්තොලමියුස් සහ රිචඩ් ද සොයිසා ස්වකීය ජීවිතයන්හිදී එතරම් වාසනාවන්ත නොවූවෝ ය.

      Delete
    12. වාණිජ සිනමාව තුල චිත්‍රපටි වලට ඇඩ්ස් මාකටින් සීන් විදියට එකතු කරන්න ඕනේ තමයි මොකද ඒකත් කර්මාන්තයක් නිසා ඒත්, එහෙම එකතු කරන්නේ සෞඛ්‍යමය වශයෙන් ඉතාම හානිකර මත්ද්‍රව්‍ය වගේ දේවල් නම් ඒක කොච්චර සදාචාර සම්පන්න ද? ඇත්තටම රාණි කියන්නේ හඳගමගේ සිගරට් සහ අරක්කු ගැන හදපු තවත් ඇඩි එකක් ද ?

      මේ චිත්‍රපටිය පුරාවටම හඳගමගේ තනි තටුව වගේම සිගරට් බොන ඒක ඇල්කොහොල් බීමට prominent තැනක් දීලා තියවනවා. සිගරට් වල නම් බ්‍රැන්ඩ් නේම් ඒකේ ඉදලම හයිලයිට් කරනවා. තනි තටුවෙත් මේ වගමේ ගෙමක් ගියා. මාර්කටින් වල product placement කියන්නේ strategy එකක්. අපි ආස දේවල් බලන කොට අපේ ඔලුව ඇතුලේ බ්‍රැන්ඩ්ස් හඳනවා. මට හිතෙන්නේ මෙ ෆිල්ම් එක ඇතුලෙත් හඳගම ඒ වැඩේ කරනවා. ලෝකයේ ඇති තරම් සාක්ෂි තියනවා ටුබැකෝ ඉන්ඩස්ට්‍රි එක චිත්‍රපටි අස්සේ කොහොමද සිගරට් ප්‍රමෝට් කරන්නේ කියලා. තමන්ගේ ප්‍රෙක්ෂකයන් සමාගම් වලට විකුණන අය කලාව තුළ ඉන්නවා. හැබැයි ඒ අය කියන්නේ “අපි කරන්නේ නිර්මාණ” කියලා. නිර්මාණ ඇතුලේ චරිත පෙන්නන්න නිර්මාණශිලි ක්‍රම ඔනේ තරම් තිබුණත්, සල්ලි වලට ප්‍රෙක්ෂයන් පවා දෙන අය කියන්නේ ඔය උත්තරේ තමයි ඉතින්.

      Delete
    13. ඇනෝ 7.58 මගේ අදහසත් ඕකමයි . බසුට කියන්න තියෙන්නේ රාණි කියන්නේ චරිත කතාවක් වගේ ලියපු එකක් නම් ඉතිහාසය විකෘති කරන්න බැහැ තමයි . නමුත් මේක එහෙම එකක්ද ? මේ මගේ මිතුරු නන්දන කියන දේ රිචඩ් ගැන ජවිපෙ සහ පෙරටුගාමී කියවීම ව්ර්නස් . මාලිමා කියවීම වෙනස් . හඳය ගේ කියවීම වෙනස් . මම බලන් ඉන්නේ දීප්ති මොකක්ද කියන්නේ කියල . මොකද සමලිංගික වනස් සහ ඒ ප්‍රජාව ගැන මුලින්ම හඬ නැගුවේ ඔවුන් . දැන් ඔය අනිත් අය අල්ලාගෙන ගියාට . ජවිපෙ දෙකොටසම වෝය ඇනෝ කීව වගේ විරුද්ධයි . සුනිලා අබේසේකර බිකිනි ඇන්දට ප්‍රශ්න කරපු පක්ෂයක අයට රාණි දිරවන්නේ නැති එක අහම්බයක් නෙමෙයි . නමුත් දැන් තත්වය විසින් උගන්වාගෙන යනවා ටොලරන්ට් කරන්නේ කොහොමද කියල . -https://www.youtube.com/watch?si=qlmL3_yIy3cmbPjv&v=tC2cTwltHuw&feature=youtu.be

      Delete
    14. බසු තරිඳු උඩුවරගෙදර ගේ අදහසුත් හොඳයි . political sattire එකක් වෙන්නත් පුළුවන් . මේක අන්තිමට රාණි විචාරයක් වුනා නේද

      Delete
    15. මේ වගේ සබ්ජෙක්ට් එකක් කතා කරන්න හැමතැනම බැහැ. පරස්පර මත ගැටීම්, සංයමයකින් කතා කල හැකි තැන් අල්පයි.🫡🙏

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .