Tuesday 28 June 2022

කාම්බෝජයේ පොල්පොට් 'ස' - කාම්බෝජ සංචාරය 2

පොල්පොට් පිළිබඳව මුලින්ම දැනගත්තේ 1976 නොබැඳි සමුළුව කාලයේ බව මගේ මතකයේ රැඳී ඇත. එවකට එකොළොස්වන වියේ සිටි මා ද විදේශීය නායකයන් පැමිණි රථ පෙරහැර බලන්නට ගියා මතකය. සමහරුන් තමන්ගේම  රථ ගෙනා අතර බොහෝ අය සෝවියට් දේශයෙන් සැපයු නිල් පාට ලාඩා කාර් වල ගියහ. ඒ කාර් වලට මක් වුනාද යන්න නොදනිමි.  ඉතා හොඳට මතකයේ රැඳුනේ යුගෝස්ලාවියාවේ ටිටෝ හා ලිබියාවේ ගඩාෆි ය. ඒ  කාලයේ පුවත්පත් වල  ඔවුන් වර්ණනා කළ නිසා වන්නට ඇත.  පොල්පොට් සහ ඉයන් සාරි දෙදෙනාද නොබැදි සමුළුවට කෙමර් රූජ් රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණියහ.  ඉන්පසු කලක වියට්නාමයේ හෝචිමින් ගේ කතා ද උතුරු කොරියාවේ කිම් ඉල් සුන්  ගේ වීරකම් ද පොත් වලින් කියවූ මට පොල්පොට් ද ඒ හා සමාන වීරයෙකු විය. ඒ 1982-82 ශ්‍රී ලංකාවේ සිටි කාලයේ තිබූ  පොත් පත් කියවීමෙනි. ඇමෙරිකා  එක්සත් ජනපදය, ප්‍රංශය හා එක්ව  වියට්නාමයට ට හා කාම්බෝජයට කරන ලද අමානුෂික  බෝම්බ දැමීම් වලින් කෝපයට පත්වුවද  පසුව උතුරු කොරියාව හා වියට්නාමය ඒ ආක්‍රමණිකයන් පරාජය කිරීම ආශ්වාදජනක දෙයක් විය. වසර 1975 දී පොල්පොට් ගේ හමුදා ඇමෙරිකානු ගැති  ලොන්නොල් ගේ රජය පරදවා  නොම්පෙන් නගරයට විජයග්‍රාහී ලෙස ඇතුළු විය. තරුණ තරුණියන් මෙන්ම ළමා සොල්දාදුවන් ගෙන්ද සැදුම් ලත් ඒ  කෙමර් රූජ් හමුදාව සියල්ලෝම අත් පොලසන් නගා පිළිගත්හ. ඒ අතර මගේ යහළුවා එන්ග් වෙන්ග් න්ගුයෙන් ද   විය. ඔහුගේ වයස දොළහකි. 

සෝවියට් දේශයේ මා උගත් කාලයේ උතුරු කොරියානු සිසුන් සිටියේ අනිත් සිසුන්ගෙන් බොහෝ ඈත්වය. ඔවුන්ට අප හා කතා කිරීමට පවා එතරම් අවසරයක් නොවීය. ඔවුන් අතර කොරියානු රජයට සම්බන්ධ සිසුන් සිටි අතර ඔවුන් සියලුම සිසුන් පාලනය කළහ. කාම්බෝජ සිසුන්ට එවැනි ප්‍රශ්නයක් තිබුනේ නැත. ඔවුන් නිදහස්ය. කාම්බෝජ ජාතික එන්ග් වෙන් න්ගුයෙන් සිටියේ අපේ  කණ්ඩායමේය. ඔහුගේ කාමරය අප සිටි නේවාසිකාගාරයේ උඩම තට්ටුවේ තිබු අතර ඔහු සිටියේ නේරංජන නම් තවත් සිංහල සිසුවකු සමගය. 


වරෙක ඔහුගේ කාමරයට මම හදිසියේ ඇතුළු වූයේ නෙරංජන් සොයමින්ය. ඇඳේ නිදා සිටි එන්ග් එක්වරම නැගිට්ටේ පිහියක් ඇඳ  විට්ටමින් අදිමිනි. මම ""උඹට පිස්සු දැයි ඇසුවා" මතකය. ඔය කතාව කී  විට නේරංජන කීවේ එන්ග්  කොට්ටය  යට මෙන්ම ඇඳ පැත්තේද අනම්  මනම් තබාගෙන සිටින බවය. එන්ග් ට තරහ ගියද මම ඔහු ගේ කොට්ටය පෙරලා බැලුවෙමි. එහි විදුලි පන්දමක් හා කුඩා පිහියක් විය. මේ ගැන හාරා ඇවිස්සිමේදී එන්ග් කීවේ අමුතු කතාවකි. කලෙක විප්ලවීය වීරයෙකු ලෙස මා සිතා  සිටි පොල්පොට් හා ඔහුගේ  ඔහුගේ බලාධිකාරයේ සිටි කියූ සම්පන්, ඉයන් සාරි ආදින් මා සිතු අන්දමේ  හොඳ මිනිසුන් හෝ විප්ලවවාදීන් නොවේ. 

පහල ඇත්තේ මා කාම්බෝජයට 2019 දී  ගිය අවස්ථාවේ එන්ග් සමග හා පසුව ව ලුමුම්බා සරසවියේ උගත් තවත් මිතුරෙකු සමගත් ගත්  පින්තුරය. 


අප ගියේ රසවත් ලෙස බාබෙකිව් කල මස් සමග නොයෙකුත් සුප් ජාති ද ෆ්‍රයිඩ් රයිස් ද විකුණන අවන්හලකටය. 



කෙමර් රූජ් හමුදාප්නොම් පෙන් නගරයට ඇතුළු වුනේ 1975 අප්‍රේල් 17 දාය. පැය කිහිපයකට පසු සියලුම ජනතාවට නගරයෙන් තමන් උපන් ගම ප්‍රදේශ බලා යන ලෙස ඔවුහු නියෝග කළහ. එසේ අණ  දුන්නේ අමෙරිකානුන් බෝම්බ දමන බව පවසමිනි. (අමෙරිකානුන් වියට්නාම් දේශ සීමාව අසල කාම්බෝජ ගම්වලට ඊට පෙර  කාපට් බෝම්බ  දැමු බව සත්‍යයකි. ඒ ප්‍රංශයට හා ඇමෙරිකාවට එරෙහිවුණු සිහනුක් රජුට පාඩමක් ඉගැන්වීමටත් එක්කය )  . නගරවාසීන් සිතුවේ මේ ගමන දෙතුන් දිනක තාවකාලික එකක් ලෙසය.    ඒ වෙනුවට ඔවුන්ට අවුරුදු තුනකට වඩා ඉතා අසීරු තත්ව යටතේ ගම් ප්‍රදේශ වල වසන්නට සිදු විය. එන්ග් ගේ පවුලද කිලෝ මීටර හැටක් පයින්ම ගමන් කර ඔවුන්ගේ ගමට ගියහ.

එසේ ගිය ඔවුන්ද දැඩි ලෙස දුක් වින්දහ. වාහන තිබුනේ නැත. තිබුන වාහනත් ඉන්ධනත් අයත්ව තිබුනේ පොල්පොට් ගේ කෙමර් රූජ් හමුදාවටය.  ඒ කාලයේ මිලියන් තුනක පමණ ජනතාවක් සමාජවාදී රාජ්‍යයක් වසර බින්දුවේ සිට නිර්මාණය කිරීම උදෙසා  දිවි පිදුවහ. මෙයින් මිලියන් දෙකක් පමණ  නොයෙකුත් හේතුන් මත  මරා දැමු අයයි. ඒ මරා දැමූ ස්ථාන කිලින් ෆිල්ඩ්ස් (මරණයේ නිම්න) ලෙස හැඳින්වෙන අතර ඒවා බොහොමයක් කෞතුකාගාර ලෙස රට පුරා විසිර  තිබේ. 

සිරකරුවන් දහ අට දහස් එකසිය තිස් තුනක් මරා දැමුණු ටුඕල් ස්ලෙන් නමැති භීෂණයේ කෞතුකාගාරයට මම එන්ග් සමග ගියෙමි. එය කෙමර් රූජ් වරු හැඳින්වුයේ ආරක්ෂක සේවා සිර කඳවුර,  නොම්මර 21 නමිනි. 

ඉන් එක තැනකදී බත් පොඩ්ඩක් දමා වතුර, හතු හා ලුණු දැමූ කැඳක් මිනිසුන්ට කඳවුරු වලදී දුන් බව කි එන්ග් කැඳ  හදන විශාල බඳුනක් මට පෙන්වීය. ඉන්  මොහොතකට පසු ඉතා සංවේදී වුනු ඔහු ගොඩනැගිල්ලෙන් ඉවතට ගියේය. පහත ඇත්තේ ඒ බඳුනයි.



මේ පහල පින්තුරයේ සිටින ළමයින් වැඩ කළ ආකාරයට එන්ග් ද වැඩ කර තිබේ. සියල්ලෝම ගම්වලට යැවු අතර සියල්ලෝම ගොවි තැනේ යෙදිය යුතු විය. පොහොර තිබුනේ නැති අතර ඒ වෙනුවට භාවිතා වුනේ මිනිස් අපද්‍රව්‍යය හා සත්ව අපද්‍රව්‍යය. මිනිසුන් සිටින කාමරවල බාල්දියක මළපහ කලයුතු අතර උදේ වනවිට අයෙක් ඒවා රැගෙන වගා බිම් වලට යෙදිය යුතුවිය. වගා බිම් වල ගමන් කරන විට නැගෙන්නේ අධික දුර්ගන්ධයකි. කඳවුරු වල ජීවිතය  අතිශය දුෂ්කර එකක් විය. බොහෝ අය කුස ගින්නේ මිය ගියහ. 



පොල්පොට් ගේ කණ්ඩායම බලයට පත්වීමට හේතු කිහිපයක් තිබේ. එකක් ඇමෙරිකාව විසින්  තිරශ්චින ලෙස වියට්නාමයට බෝම්බ දැමීමයි. වියට්කොන් ගරිල්ලන් කාම්බෝජ දේශ සිමාවේ සැඟවුණු විට ඇමෙරිකාව ඒ ප්‍රදේශ  වලටද බෝම්බ දැමූ අතර සාමාන්‍ය වැසියන් බොහොමයක් මිය ගියහ. සිහනුක් කුමරා  ඇමෙරිකාවට  විරුද්ධව සෝවියට් හා චීන ආධාර පැතූ  අතර පරණ කොමියුනිස්ට් පක්ෂ පරදා පොල්පොට් ගේ බලය වැඩි වීමට ඇමෙරිකන් ප්‍රංශ හමුදා ක්‍රියා කාරකම් ප්‍රබල හේතුවක් විය. මුලදී වියට්නාම් කොමියුනිස්ට් වරු  හමුදා සමග සම්බන්ධකම් තිබුනත් පොල්පොට් පසුව ඔවුන් මග හැරීය. බොහෝ දෙන නොදන්නා  කාරණයක් නම් පොල්පොට් ට සිහනුක් කුමරු සමග ඥාති සම්බන්ධයක් තිබූ බවයි. එනම් ඔහුට රජ පවුලට  ඥාතිත්වයක් තිබූ බවයි. 

පහත  පින්තූර වල සිර කඳවුර 21 හිදී  මියගිය සමහර අයගේ පින්තුර තිබේ.


















- අජිත් ධර්මකීර්ති 

Wednesday 15 June 2022

අදානිගේ සුළං විදුලිය , ක්‍රෙඩිට් ලයින් එක සහ මෝඩ මෝඩි


පෙසපේ පුබුදු ජයගොඩ වගේම ජවිපෙ ත් අදානි දාන්න හදන සුළං බලාගාරයට විරුද්ධව කතා කරන නිසා මට දැන ගන්න අවශ්ය වුනා එයාලගේ ස්ථාවරය සහ විරුද්ධ වෙනවට අමතරව එයාල යෝජනා කරන්නේ මොකක්ද කියල දැන ගන්න . මේක ජවිපෙ බහුතරයක් ඉන්න වට්සැප් ගෘප් එකක් ඇහුව. කවුරුත් පිළිතුරක් දුන්නේ නැහැ. වෙන තැනක් ලින්ක් එකක් හොයන්න ඇහුවම පරල වෙලා. ටෙන්ඩර් පටිපාටියට විරුද්ධව ගෝටා දුන් බව හෙලි වෙලා ඉවරයි. ඒකට ගෝටා ට දඬුවම් කරමු. එයා එලවන ප්රොජෙක්ට් එකේ නේ හැමෝම ඉන්නේ. රනිලුත් එලවමු. අවුලක් නැහැ. අදානි ගේ ප්රොජෙක්ට් එක ලංකාවට ගේන එක හොඳ නැත්ද ?
මේ වෙලාවේ ඩොලර් නැහැ බෙහෙත් වලට, කන්න බොන්න ගන්න මුදල් නැහැ. රටේ අපනයන අදායම දෙන ගාමන්ට් ඇතුළු කර්මාන්ත කරගෙන යන්න වත් විදුලිය නැහැ. තෙල් නැව් එන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව කොහොමත් දැන් අත දාලා ඉවරයි.
අදානි ගේ ප්රොජෙක්ට් එක ගත්තොත් ඒකෙන් අවශ්ය ය කරන ඩොලර් ටිකක් හම්බ වෙනවා. රුසියාවෙන් තෙල් ගන්න පුළුවන් ඒකෙන්. විදුලිය එක පාරටම ලැබෙන්නේ නැහැ. මාස ගානක් යනවා තමයි. නමුත් ලංකාවට සල්ලි නැහැ හදන්න. ඉන්දියාවට බැරිනම් රුසියාවට කීවත් කමක් නැහැ . රුසියාව කීව ගමන් ඇවිලෙන පැත්තක් තියෙන නිසා ඒකත් අමාරුයි. ඇමෙරිකාව එන්නේ නැහැ දැන්ම. චීනේ සල්ලි දෙන්න බැහැ කියනව. එහෙම නැත්නම් ඔය කියන පක්ෂ දෙක 43 සේනාංකයේ කට්ටියත් එක්ක එකතු වෙලා බලය අතට ගන්න නොපමාව. මොකද තනියම ඔය කාටවත් බලයට එන්න බැරි සයිස් එකක් තියෙන්නේ කියල පේනවනේ දැනට.
මේ ප්රශ්න වලට කවුරු හරි පිළිතුරු දන්නවද?
අදානි ගේ ප්රොජෙක්ට් එක කොපමණ මිල වැඩිද? ඒකෙ යුනිට් එකක් කීයට විකුණනවද CEB එකට? ඒක ඩිසල් බලාගාර විකුණන ගානට වඩා අඩුද?
මේ ප්රොජෙක්ට් එකේ වෙන අය බිඩ් කලාද?
ඒ දෙවැනි හා තුන්වැනි තේරීම් තිබෙන ආයෝජකයන් සිටිනවාද? ඒ අයට මේ ප්රොජෙක්ට් එක අදානි ගෙන් අරගෙන දෙන්න බැරිද? (පිළිතුරු ඉන්බොක්ස් කලත් කමක් නැහැ.)

මම අහපු ප්‍රශ්න වලට විදුලි ඉංජිනේරුවකු වන බුද්ධික විජේවර්ධන මහතා පිළිතුරු දීල තිබුනා. ඒ මහතාට ස්තුතියි.
ඒකෙන් තව ප්‍රශ්න ටිකක් මතු වුනා.
මේ මම අහපු ප්‍රශ්න:
//අදානි ගේ ප්රොජෙක්ට් එක කොපමණ මිල වැඩිද? ඒකෙ යුනිට් එකක් කීයට විකුණනවද CEB එකට? ඒක ඩිසල් බලාගාර විකුණන ගානට වඩා අඩුද?
මේ ප්රොජෙක්ට් එකේ වෙන අය බිඩ් කලාද?
ඒ දෙවැනි හා තුන්වැනි තේරීම් තිබෙන ආයෝජකයන් සිටිනවාද? ඒ අයට මේ ප්රොජෙක්ට් එක අදානි ගෙන් අරගෙන දෙන්න බැරිද?//
මේ ඔහුගේ පිලිතුරු
//
අදානි ටෙන්ඩරයක් ඉදිරිපත් තරල නැහැ. මේක unsolicited proposal එකක් විදියට හෝ නැතිනම් G to G proposal එකක් හැටියට එන්නෙ. තරඟකාරීත්වයක් නැතිව මේවගේ විශාල පරිමාණයේ ව්‍යාපෘතියක් දෙන්න විදුලිබල පනතෙන් ප්‍රතිපාදන නැති නිසයි පනත සංශෝදනය කරන්න ඕන වෙලා තියෙන්නෙ. මේ පනත් සංශෝධනය දූෂණයට දොර විවෘත කිරීමක් විදියට තමයි CEB ebgineersල දකින්නෙ.
දැනට wind power unit එකක production cost එක ඉන්දියාවෙ නම් INR 3 කට අඩුයි. මෑතක CEB එක ADB funds වලින් කරපු 100MW Mannar plant එකේ cost එක unit එකට USD cents 4ට අඩුයි. අදානිට දෙන්න හදන්නෙ USD cents 7.55ට. පැහැදිලිවටම industry standard එක වගේ දෙගුණයක මිළකට අනවශ්‍ය තරම් wind resource ප්‍රමාණයක් දෙනව.//

මගේ පිළිතුර :
මේ කමෙන්ට් දෙකටම ස්තූතියි . අදානි ටෙන්ඩරයක් ඉදිරිපත් කරලා නැහැ කියල දැනුයි දැන ගත්තේ.  G to G proposal අමුතු දේවල් නෙමෙයි නේ. 
// මේ පනත් සංශෝධනය දූෂණයට දොර විවෘත කිරීමක් විදියට තමයි CEB ebgineersල දකින්නෙ.// මෙතැන ප්‍රශ්නේ තියෙන්නේ - (සමාවෙන්න මේක ලියනවට. මගේ යහළුවෝ කිහප දෙනෙකුත් CEB ඉන්නවා.) ටෙන්ඩර් අවශ්‍ය තැනත් සමාගම් පිහිටුවන් ඉන්න  CEB ඉංජිනේරුවෝ සහ බිස්නස් යහළුවන්ට ඒ ටෙන්ඩර් වලට අයැදුම් කරන්න කියල එයාලට ප්‍රමුඛතාව දෙනවා කියන චෝදනාව. එතැනත් දුෂණ වෙලා තියෙනවා කියන එක තමා ඔය කිහිප දෙනෙක්ම පහල කියන්නේ.
//INR 3 කට අඩුයි. මෑතක CEB එක ADB funds වලින් කරපු 100MW Mannar plant එකේ cost එක unit එකට USD cents 4ට අඩුයි. අදානිට දෙන්න හදන්නෙ USD cents 7.55ට. පැ// මේක තමයි මම හොයා හොයා හිටියේ, එතකොට අදානිට දෙන්නේ වැඩි ගානට. එතකොට ඔයා දන්නවද ඩිසල් බලාගාර වලට ගෙවන මුදල? 
 ඔයා දන්නවද ඩිසල් බලාගාර වලින් ඒකකයක් ගන්න ගාන , මේ තියෙන්නේ ඩිසල් තියෙන කාලේ 2020 ඒකකයකට ගෙවල තියෙනවා  රුපියල් 40 වගේ . මේ දිවයින වාර්තාවක්. 

//2021 රජයේ විගණන වාර්තාවලට අනුව මෙරට පෞද්ගලික ඞීසල් බලාගාරයකින් 2020 වසරේ ලංවිමට ලබාගත් විදුලිය සඳහා ඒකකයකට රුපියල් 39.52, 36.84, 28.30 ආදී වශයෙන් ගෙවීම් සිදුකර තිබෙන අතර ඒ සඳහා එම වසරේ පමණක් රුපියල් කෝටි 400ක් ලංවිම එම සමාගමට ගෙවා ඇත// එක සමාගමකට පමණක් . 

දැන් ඩිසල් ගණන් නිසා තුන් ගුණයක් විතර මේ ගාන වැඩි වෙන්න ඕනේ නේ . 
එතකොට අදානි  USD cents 7.55  කට ගන්නවා කියන්නේ  ඩොලරයකට රුපියල් 357 ගානෙ ගත්තත් රුපියල් 27යි.  ඒ කියන්නේ ඩිසල් 2020 දී ගත්ත  ගානටත්  වඩා අදානිත් අඩුයි.

// industry standard එක වගේ දෙගුණයක මිළකට අනවශ්‍ය තරම් wind resource ප්‍රමාණයක් දෙනව.// ඒ කියන්නේ පැහැදිලිවම industry standard එක වගේ තුන් ගුණයක මිලක් ඩීසල් බලාගාරවලට ගෙවනවා. දැන් කියන්න බලන්න කාටද මේ ඩිසල් බලාගාර වැඩිපුරම  අයිති කියල. විගණනයක් කරලා බලමුද?

ඊළඟ පොයින්ට් එක තමා - ඉන්දියාව ඔය ක්‍රෙඩිට් ලයින් එක දීලා තියෙන්නේ නිකන් නෙමේ. පෙනෙන්නේ නිකන් වගේ. මොකද ලංකාවට ඩොලර් සංචිත නැහැ. වෙන රටක් තියා IMF එක දෙන්නෙත් නැහැ. ඉන්දියාව තෙල් ගන්න පවා සල්ලි දෙනවා. අපට ඒකට ගෙවන්න බැහැ කියල ඉන්දීයාව  දන්නවා. ඒත් දෙනවා. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ .  අදානිට  ලාභයක් යනව. (බුද්ධික ගේ පිළිතුරට අනුව ඒක පැහැදිලියි) ඒ කියන්නේ BJP පක්ෂයට චන්දෙ ඉල්ලන්න  මුදල් ලැබෙනවා.. රනිල බැදුම්කර වික්ක වගේ එජාපයට චන්ද වලට දාන්න,   ඒක ඉන්දියාව පැත්තෙන් පට්ට දුෂිතයි. රාහුල ගාන්ධි හරි. ඉතින් අපට මොකද? ඉන්දියාව ඔයිට වැඩිය කැත වැඩ ලංකාවට  කරලා තියෙන එකේ . මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු  ජිවත් කරවන්න නම් මේ තෙල් ටිකයි ඉන්දියන් කෑම ටිකයි ඕනේ නැත්ද? මේ ක්‍රෙඩිට් ලයින් එකටත් දැන් කෙලවේගන යනවා නේද?  මේක තමා මගේ සිම්පල් ප්‍රශ්නේ. මොකද මට අවුලක්  නැහැ. මම ඉන්නේ එංගලන්තේ. 

ඉතා ඉක්මනින් ලංකාවේ රජය සම්පුර්ණයෙන්ම වෙනස් විය යුතු බව තමා මට හිතෙන්නේ. 

මේ ඩිල් එකට කෙලින්ම විරුද්ධ 43 සේනාංකය, ජවිපෙ සහ පෙසප ත් අනිකුත් අයත්  එකතු වෙලා  රජයක් පිහිටුවන්න. 

පහල මගේ වෝල් එකේ අනිකුත් මත ඇති. 
-අජිත් ධර්මකීර්ති 

අනිකුත් මත 

විදුලිබල මාෆියාව
⛔මන්නාරම සහ පුනරීන් වල මෙගාවොට් 500 බැගින් වූ සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න යනවා.
😊 ඉතිං හොඳයිනෙ.
⛔ ඔව්. සුළං බලයෙන් විදුලිය නිපදවන එක හොඳයි. දැනටමත් ලංකා විදුලිබල මණ්ඩලයට අයිති සුළං විදුලිබලාගාරයක් තියෙනවා මන්නාරමේ. ඒකෙ නම් තම්බපන්නී. ඒකෙන් මෙගාවොට් 100 ක පමණ ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එකතු කරනවා.
😮එහෙනම් ඇයි. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති රටම අඳුරෙ තියන්න හැදුවෙ.
⛔ ලංකාවේ නීතිය අනුව මෙගා වොට් 25 ට වැඩි විදුලි බලාගාරයක් හදනවනම් ඒකට ටෙන්ඩර් කැඳවලා අඩුම මුදලකට විදුලි ඒකකයක් සපයන්න පුළුවන් කෙනාට තමයි ඒ ව්‍යාපෘතිය භාර දෙන්න ඕන.
😮 ඉතිං දැන් එහෙම නෙමෙයිද ඔය අදානි සමාගමට කොන්ත්‍රාත් එක දීලා තියෙන්නෙ.
⛔ නෑ. ටෙන්ඩර් කැඳවීමක් කරනවා වෙනුවට විදුලිබල පනත වෙනස් කරන එක තමයි ඊයෙ පාර්ලිමේන්තුවේ කරේ. දැන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදානි සමාගමට වැඩේ භාරදෙන්න පුළුවන්. ඒ පනත වෙනස් කරන එකට එරෙහිව තමයි විදුලි සේවකයො වර්ජනය කරේ. ටෙන්ඩර් කැඳවලා අඩුම මුදලකටවිදුලිය සපයන්න පුළුවන් අයට ව්‍යාපෘති භාරදෙන්න පුළුවන් විදියට පනත වෙනස් කරන්න කියලා තමයි වෘත්තීය සමිතිවල ඉල්ලීම වුනේ.
😮 එතකොට දැන් ඔය අදානි සමාගම විදුලිය සපයන්න එකඟ වෙලා තියෙන්නෙ අඩු මිලකට නෙමෙයිද ?
⛔ දැනට ලංකා විදුලිබල මණ්ඩලයට අයිති මන්නාරමේ තියෙන තම්බපණ්නි විදුලි බලාගාරය මගින් සුළං බලයෙන් නිපදවන විදුඉ ඒකකයක පිරිවැය ඩොලර් ශත තුනකටත් වඩා අඩුයි. ඒක මෙගාවොට් 100 ක බලාගාරයක්. අදානි සමාගමට භාරදෙන්න යන්නෙ මෙගාවොට් 500 ක ධාරිතාවයක් තියෙන බලාගාරයක් හදන්න. සාමාන්‍යයෙන් ධාරිතාවය වැඩියෙන් නිපදවද්දි පිරිවැය අඩුවෙනවනෙ. ඒත් අදානි සමාගම එකඟ වෙලා තියෙන්නෙ ඩොලර ශත 755 කට විදුලි ඒකකයක් සපයන්න.
😌 හැබැයි මේ වෙලාවෙ විදේශ ආයෝජන ඕන නේද ? අපිට ඩොලර් ඕන නේද ?
⛔ ඔව් මේ ව්‍යාපෘතිය සඳහා අදානි සමාගම ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතිය වසර 30 ක ව්‍යාපෘතියක්. මේ සඳහා ආයෝජනය කරන මුදල ඔවුන් වසර 03 කින් උපයගන්න බලාපොරොත්තු වෙන්වා. ඒ කියන්නෙ ඉතුරු අවුරුදු 27 පුරාවටම ඔවුන් අපේ රටෙන් ඒ වගේ විශාල ගුණයක ඩොලර් එළියට අරගෙන යනවා.
😮 කවුද මේ අදානි සමාගම ?
⛔ අදානි සමාගම තමයි ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් යොදවන්නෙ. මෝදි අගමැතිඋනාටපස්සෙ 2018 දී ඉන්දියවේ ගුවන් තොටුපොළවල් 06 ක් පෞද්ගලීකරණය කරන්න තීරණය කරනවා. ඒ ගුවන් තොටුපොළවල් 06 ම මිලදී ගන්නෙ අදානි සමාගම. ඒ වගේම අදානි සමාගම තමයි දැනට ඉන්දියාවෙ ඉන්න විශාලතම පෞද්ගලික වරාය මෙහෙයුම්කරුවා. ඒ වගේම විශාලතම ගල් අඟුරු බලශක්ති සැපයුම්කරුවා. මෝදි අගමැති වූවායින් පසුව අදානි සමාගමේ හිමිකරු ගෞතම් අදානිගේ දළ වත්කම් 230% කින් ඉහළ ගොස් තිබෙන අතර, ඇමරිකන් ඩොලර් බිලියන 26 ක පමණ රජයේ ව්‍යාපෘති ඔහු විසින් ලබාගෙන තිබෙනවා. කොළඹ වරායේ බටහිර ජැටිය දෙන්න ගියෙත් මේ අදානි සමාගමටම තමයි.
😮 ඒ කියන්නෙ මෙතන වෙන මොකක් හරි ගේමක් තියෙනවා
⛔ ඔව්. පසුගිය කාලෙ ඉන්දියාව දිගටම ලංකාවට ණයට තෙල් දුන්නා. ඒ අපට ආදරේට නෙමෙයි. ඔවුන් මේ අර්බුදය හරහා ලංකාවේ බලශක්තිය පිළිබඳ ඒකාධිකාරී බලය ඉන්දියාවට ලබාගන්න හදන්නෙ. ඒ හරහා ඉදිරියේදී එන ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් පාලනය කරන්න ඉන්දියාවට බලයක් ලැබෙනවා. ලංකාවේ දැන් ඉන්න ගෝඨා, රනිල් පාලකයන්ට ඒවා වැඩක් නෑ. ඔවුන්ට ඕන මේ වෙලාවේ බලය තමන්ගෙ අතේ තියාගන්න විතරයි.
- රොෂාන් අක්මීමන

ලංකාව සතු ජලය, ගල් අඟුරු සහ සුළං විදුලි උත්පාදන බලාගාර මගින් විදුලි බලය සඳහා ඇති දෛනික ඉල්ලුම සැපයීමට බැරි අවස්ථාවක මෙවැනි විදෙස් ව්‍යාපෘතියක් ඉතා වැදගත් වන්නේ ලංකාවේ රජයට හෝ සමාගමකට මෙවැන්නක් ඉදිකිරීමට කිසිසේත්ම මුදල් නොමැති නිසයි.
නමුත් මෙම ව්‍යාපෘතියෙන් ලංකාවට ඩොලර් ලැබෙනවා කියන එක නම් කෙලින් ම සිදු වෙන දෙයක් නොවේ. මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර මෙන්ම මිනිස් ශ්‍රමය ද අදානි සමාගමට ඉන්දියාවෙන් ගෙන එන්නට හැකියි. ඒ කිසිවක් ලංකාවට ඩොලර් ලැබීමක් නොවේ.
දේශීයව මිලට ගන්නා භාණ්ඩ සඳහා සහ දේශීය ශ්‍රමය සඳහා රුපියල් වලින් ගෙවීමට අදානි සමාගමට ඩොලර් හෝ ඉන්දියානු රුපියල් ලංකාවට ගෙන ඒමට සිදු වෙනු ඇති. නමුත් ඒ සඳහා අදානි සමාගම ලංකාවේ බැංකුවකින් ණයක් ගත්තොත් පුදුම වෙන්න එපා. එය කළ හැකියි.
මට හිතෙන විදිහට මෙම ව්‍යාපෘතියෙන් ලංකාවට ඩොලර් ලැබෙනු ඇත්තේ අනියම් ආකාරයටයි. එනම් මෙම විදුලි බලාගාරය නිපදවා එයින් උත්පාදනය කරන විදුලිය ජාතික බෙදාහැරීමේ පද්ධතියට එකතු කළ විට අද කෙරෙන ඩීසල් පිච්චීම අවශ්‍ය නොවෙන නිසා සිදුවන ඉතිරියයි.
නමුත් ඒ ඩීසල් විදුලි බලාගාර ද තනිකරම වසා දැමීමට හැකි වෙතැයි මා සිතන්නේ නෑ එයට හේතුව සුළං බලාගාරය බිඳ වැටීමක් හෝ උත්පාදන කරන ජවයේ අඩුවීමක් හෝ සිදුවුණු විට ප්‍රයෝජනයට ගැනීම සඳහා තබාගත යුතු බැවිනි.

- රසික සුරිය ආරච්චි 

Thilak Hettiarachchi
තමන්ට ජනතාව අතර බෙදාහරින්න මාතෘකාවක් ලැබෙනවා නම් මෙයාලාට ඒක තමයි වැදගත්. රටට බලශක්තිය ගන්න වෙනත් උපක්‍රම හෝ ක්‍රියාමාර්ග ඇහුවොත් දෙසා බානවා අර සාම්ප්‍රදායික ටෙන්ඩර් පටිපාටි කතන්දරය. නමුත් ටෙන්ඩර් දාන උන් ඩීසල් මාෆියාව එක්ක එකතුවෙලා ගහන ගේම දැන් නිරුවත් වෙලා ඉවරයි නේ. එහෙම ටෙන්ඩර් දාන්න කියනවා නම් සුරැකුම් විදිහට ටෙන්ඩර් වටිනාකමින් ආපසු ගෙවන වත්කමක් හැටියට අවම 35% විතර තැන්පත් කරන්න කිව්වොත් එකෙක් දාන්නෙ නෑ ටෙන්ඩර්. අනික බංකොළොත් රටක ව්‍යාපෘති කරන්න එයිද කිසි කෙනෙක් වෙනත් යටි අරමුණු නැතුව. යටි අරමුණු අපිට උවමනා විදියට කළමනාකරණය කරගන්නයි ඕනේ. නැත්නම් ඉතින් හැමදාම 120/130 විතර අරගෙන 20 විකුණලා වැඩ කරන උන්ට අහස උසට පඩිත් ගෙවලා මහජන මුදල් කාබාසිනියා කරන ක්‍රමයට යමු. එතකොට සනීපයි නේ ඔය තියන අමාරු.

Ajith Priyankara
 මචං අජිත්දැන් අපි නොබැඳි පිළිවෙතක් නෙමේ අනුගමනය කරන්නේ, ගැති පිළිවෙතක්, ඒකෙ අවසානය ukraine අර්බුදය වගේ, මහා ව්‍යසනයක් කරා යන්නත් පුළුවන්, දැන් මේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු විසිපහකට තිහකට ආසන්න ව බලය දෙපැත්තට දෝලනය වෙනවා රනිල් අගමැති 6 මහින්ද ජනාධිපති මහින්දගේ සහෝදරයෝ ජනාධිපති, කනගාටුයි කියන්න , කෝ අපේ රටේ තිබ්බ අර දේශීය නිෂ්පාදන ටික තුල්හිරිය vetex වැල්ලවත්ත රෙදි මෝලේ වානේ සංස්ථාව කඩදාසි කම්හල පැලවත්ත සීනි සමාගම තව ගොඩක් අමතකයි සාමාන්‍ය පවුල් ජීවිත ගැටගහ ගත්තෙ ඒවයින් මුන් සම්පූර්ණයෙන්ම රටේ ජනතාව විනාශ කරා, මම අර උඩින් දැම්ම පෝස්ට් එක මතක තියා ගනින් කවද හරි ලංකාවෙ මිනිස්සුන්ගෙ වකුගඩුවට මිල නියමකරනවා අනිවාර්යයි

Wmk Samarasekara
 ටෙංඩර් කරනවා කියන්නෙ හොඳ එකක්. ඒකෙ තර්කයක් නෑ. නමුත් අපේ රටේ උන් ඒක අල කරනන්නෙ මෙහෙමයි. උන් ටෙංඩර් කීපයක්ම දාල අර නියම ටෙංඩර් කරු මකල දානව. උන් මේ වැඩේ කරන්නෙත් නෑ. කරන එකාට කරන්න ඉඩ දෙන්නෙත් නෑ.

ඇණයා රාජවිපක්ෂ
සාමාන්‍යෙයන් ලංකාවේ පලදායී නැති රජයේ විධායක නිළධාරීන් ගේ (පිදුරු කන්නෙත් නැති කන ගොනාට දෙන්නෙත් නැති) ස්තාවරය තමයි ජවිපේ ස්තාවරය, විදුලි ඉංජිනේර්වෝ එක්ක වැඩ කරලා අත්දැකීම් නෑ, වාරිමාර්ග ඉංජිනේර්වෝ ගැන දන්නවා, ජිවිතේටම අවුරුදු දෙකක් පන දාගෙන වැඩ කරනවා ඊට පස්සේ පඩ අර අර බුදියගන්නවා, ලංකාවේ ජල කළමණාකරණ ප්‍රතිපත්තියක් හදන්න ලොකුම බාධාව ඔවුන් තමයි.
කෘෂිකර්මයට බාවිත කරන ජලයට ප්මා‍රණය අනුව බදු අයකල යුතුයි, එය කිරීමට ප්‍රධාන බාදාව රජය වතුර බහු ජාතික සමාගම් වලට විකුනනවා කියා ගොවීන් අවුලවන ඉංජිනේරුවන්,

Tuesday 7 June 2022

ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් හා අභිනිෂ්ක්‍රමණයක්

දමිත
දමිත  චන්ද්‍රසිරි 


ක්‍රිස් මැක්කැන්ඩ්ල්ස්

සමහර කතා අපට දැන  ගන්න ලැබෙන්නේ හුඟක් පරක්කු වෙලා. මේ එහෙම කතාවක්. පසුබිම කියන්න කලින් ලියන්න ඕනේ මෙහෙම. මමත් කාලයක් වහන් වෙලා හිටිය ලෝකෙන්. අනූ ගණන් වල මුල භාගයේ. හරියටම මොකද්ද කරන්නේ කියල දන්නේ නැතිව. ජිවිතයේ  එල්ලයක් නැති වෙලා ගිය මොහොතක. ඊට පස්සේ   පසු  කලෙක  මගේ බිරිඳ වුන ඇය  මුණ ගැසුන. මම  ලෝකෙන් වහන්  වෙලා හිටි කාලේ අවසන්  වුනා.
අපි තවමත් යනව නිවාඩු, හිටපු ගමන් වේල්ස් පැත්තේ ගම්මාන වලට. කඳු වලින් වටවෙච්චි පහත් තැනිතලා බිම්වල. ඉන්ටනෙට් නැහැ. මොබයිල් දුරකථන වැඩ කරන්නේ නැහැ. ෆේස්බුක්, වට්ස්ඇප් මුකුත් නැහැ.  සුමානයක් දෙකක්  ලෝකෙන් අයින් වෙලා ඉන්න. ජිවිතේට සමහර වෙලාවට ඒ නිදහස ඕනේ. ඒ සැනසීම ඕනේ. 

හැබැයි සම්පුර්ණයෙන්ම හැමදේම එපා වෙලා යන්න හිතුනොත්. අපි ඒකට  අභිනිෂ්ක්‍රමණය කියල නම් කරනවා. එහෙම ගිය එක්කෙනෙක් පසු කලෙක බුද්ධත්වයටත් පත් වුනා.

මේ ටික මතක් වුනේ පහුගිය දිනෙක හමුවුණු තුමිඳු දොඩන්තැන්න කියපු කතාවක් නිසා. තුමිඳු රඟපෑව, බොහොමයක්  අපි ඉතා කැමත්තෙන් නරඹපු කුඹියෝ ටෙලි නාට්‍යය ලියපු දෙන්න තමයි ලක්මාල් ධර්මරත්න සහ  දමිත චන්ද්‍රසිරි. ඒ ගොල්ලෝ මාස ගාණක් පුරාවට ස්ක්‍රිප්ට් එක ලීවට පස්සේ තුමිඳු ට කතා කරල කියල, මෙහම කතාවක් තියනවා කියල.. තුමිඳු එවන්න  කීවම එදා රෑම ෆයිල් කිහිපයක් හැටියට මෙසෙන්ජර් එකෙන් එවල තියෙන්නේ. තුමිඳු ඒක කියවල  රඟපාන්න කැමති වෙලත් ඕස්ට්‍රේලියාවේ යන්න තියෙන නිසා ඒ වෙලාවේ කියලා තියෙනවා වෙන කෙනක් ගන්න කියල. . නමුත් දමිත සහ ලක්මාල් දෙන්නම තුමිඳු ඕස්ට්‍රේලියාවේ ඉඳන් එනකන් ඉන්න කැමති වෙලා තියනවා. මොකද ඒ දෙන්නගෙම අදහස් වෙලා තියෙන්නේ ජෙහාන් ගේ චරිතයට ගැලපෙන්නෙම  තුමිඳු බව. දමිත කියල තියෙනව තුමිඳු හිතේ තියාගෙනමයි කතාව ලීවෙ කියලත්.  පෞද්ගලික මොහොතක් වුනත් මම ඉහත පින්තූරය දැම්මේ තුමිඳු ඒ කතාව අපට කී දවස නිසා. හැබැයි එතකොට වෙනත් නිෂ්පාදකයෙක් ඉඳල තියෙන්නේ.
තුමිඳු ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ ඒ නිෂ්පාදකයා නාට්‍යය ව්‍යාපෘතියෙන් අයින් වෙලා. ඒ අවස්ථාවේ තමයි තුමිඳු ගේ අයියා කතාව කියවල කැමැති වෙලා තියෙන්නේ. ඉතිරි හරිය හැමෝම දන්නවා. 

ඊට පස්සේ මම නොදන්නා  කතාව තමයි  (ලංකාවේ හිටිය අය නිව්ස් වලින් දකින්න ඇති මේක) දමිත චන්ද්‍රසිරි අතුරුදහන් වුනු බව.  අනුරාධපුරේ ඈත ගමකින් කොළඹ ආපු දමිත නැවතිලා හිටියේ නාවල. තුමිඳු කියන විධිහට තමන්ගේ නවාතැනේ බිල් ඔක්කොම ගෙවල, බැංකු කාඩ් පත් ආදිය ඉවත් කරගෙන, ලැප්ටොප් එක මේස උඩ තියල කාමරයත් අස් කරල දමිත් ගිහින්.. හරිම ලස්සන හිතක්  තිබුණු සංවේදී වගේම අසාමාන්‍ය චරිතයක්. 

මුලදී හැමෝම දමිත හොයල තියනවා. නමුත් පස්සේ ලක්මාල් කියල තියෙනව දමිත නිතර බලපු චිත්‍රපටයක් තියෙනව. ඒකෙ විධිහට නම් දමිත ට අවශ්‍ය නැහැ අපි එයාව හොයා ගන්නවට කියල. තුමිඳු, ලක්මාල්, අසංග  ඇතුළු යහළුවෝ ඒ චිත්‍රපටය බලල ඉතාමත් දුකින් වුනත් දමිත ගැන සෙවීම අතහැර දාල තිබෙනවා. ඒත් තුමිඳු ඉතාමත් සංවේගයෙන් අදත් කියන්නේ  "දමිත ආපහු එනවනම් හොඳයි අයිය" කියල.  

තුමිඳු මේ විස්තරය කීව දාට පහුවදාම මම ඒ චිත්‍රපටය බැලුව. "ඉන් ටුද වයිල්ඩ්" - වනයට අභිනිෂ්ක්‍රමණයක් කියල පරිවර්තනය  කළ හැකි ඒ නම.   මට චිත්‍රපටය බලන්න  හිතුනේ මට මතක් වුනා හර්මන් හෙස ලියපු "සිද්ධාර්ථ" නමැති කතාව. සිද්ධාර්තත් කිසියම්  සත්‍යයක් සොයාගෙන යනවා හැමදේම අත හැරලා. ඒ යන ගමනේ ගෝවින්ද කියල යහළුවෙක් හම්බ වෙනව. ඉන්පසු ගෞතම බුදුන් වහන්සේ  මුණ ගැසෙනවා දෙන්නටම, ගෝවින්ද බුදුන් සරණ යද්දී සිද්ධාර්ථ තමන්ගේ  විමුක්තිය තමන්ම හොයා ගන්න ඕනේ කියල යනවා. ඒ කතාව තවත් දුරට යනවා.

මේ වනයට අභිනිෂ්ක්‍රමණය කරන ඇමෙරිකානු තරුණයා, ක්‍රිස්ටෝපර්  විශ්ව විද්‍යාල අධ්‍යාපනය  හොඳින් අවසන් කළ, ක්‍රීඩා වලට දක්ෂ කොටින්ම ඉදිරි ජිවිතය "සාර්ථක වීම" සඳහා  සම්ප්‍රදායානුකුල අර්ථයෙන් ගත්තොත් සුදුසුකම් සම්පූර්ණ කළ අයෙක්. මව සහ පියා ඔහුට හොඳ කාරයක් අරන් දෙන්න උත්සාහ කරනවා. පළමුවෙනි ගැටුම පෙනෙන්නේ එතනින්.  ක්‍රිස් අහනවා "ඇයි මගේ පරණ හොන්ඩා කාරෙකේ වැරැද්ද මොකක්ද?" කියල. කාරෙක යනවනම් පාරේ, අවශ්‍ය ප්‍රධාන දේ කෙරෙනවා නම් අලුත් එකක් ගන්න අවශ්‍ය නැහැ.
නමුත් අපට සමාජයෙන් හොඳ කාරයක්, ගෙයක් දොරක් හෙම තියනවා නම් එන තත්වයක් තියෙනවනේ. මවගේ සහ පියාගේ අදහස වුනේ ඒ තත්වය රැක ගන්න එක. 

අපට ඒ දවස්වල තිබුන හොඳ හුරු බුහුටි ෆෝඩ් ෆියෙස්ටා කාරෙකක්. ජර්මනියෙන් ගෙනාපු නිසා වමෙන් පදවන්නේ. ඒකෙ සර්විස් මට තනියම කරන්න පුළුවන් විධියට හරි සරලයි. මේ වන්ඩියට අපි කොච්චර කැමති වුනත් යන යන තැන යාළුවෝ කියන්න ගත්ත "අජිත් මොකද්ද බං , හොඳ කාරෙකක් ගනින්කෝ , ලැජ්ජා නැත්ද  ඕකේ  යන්න" මේ සුපිරියට යන වාහනේ.  අන්තිමට ඔෆිස් එකේ උනුත් කියන්න ගත්ත වමෙන් යන කාර් එකකින් යන්නේ ඇයි වගේ කතා. අන්තිමට බොහොම අකමැත්තෙන් ඒක දෙන්න වුන. සමාජයේ ජිවත් වෙනවා නම් කිසියම් පීඩනයක් , තෙරපුමක් එනවා කිසියම් හට පද්ධතියක් යටතේ ජිවත් වෙන්න. ඒකෙන් ගැලවෙන්න ටිකක් අමාරුයි.
 
ක්‍රිස් ගේ   සොයුරිය පවසාගෙන යන කතාවේ ඉක්මවා පෙන්වන තව දෙයක් තමා ලෝකයට පෙන්වන ඔවුන්ගේ දෙමව්පියන් ගේ විවාහ ජීවිතය  ඇත්තටම බොරුවක් බව. පියාට තිබ්බ වෙනත් අනියම් බඳතාවකින්  තව පුතෙක් සිටිනවා.  ක්‍රිස් මෙය දැනගත්තත් සොයුරිය ගෙන් ඉල්ලා සිටිනවා ඔවුන් ඒ රහස දන්නා බව හෙළි නොකරන ලෙසට. මව හා පියා කරන ව්‍යාපාර වලදී එකමුතුව සිටියත් නිවසේදී දැඩි ලෙස වාද කළා, රණ්ඩු කළා. ආඩම්බරකාර පියා   කෝපාවිෂ්ට ලෙස මවට තර්ජනය කරනවා වගේම පහරදීමත් කර තිබුන.  

ක්‍රිස් අභිනිෂ්ක්‍රමණය කරන්න තීරණය කරන්නේ මේ වටාපිටාව තුල. තමනට තමන්ව හොයා ගන්න නැත්නම් සියළුම බැඳීම් වලින් මිදිලා වනගත දිවියකට යන්න. ඒ ගමන යන්නේ තාවකාලිකාවද නැත්ද  කියන එක  එයාම දන්නේ නැහැ. තමන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ට ලද මුදල් ඩොලර් විසි පන්දාහක් ඔහු පුණ්‍ය කටයුතු වලට බැර කරනවා. තමන්ගේ හැඳුනුම් පත, ගමන් බලපත්‍රය , ක්‍රෙඩිට් කාඩ් ඔක්කොම විනාශ කරල දානවා. දාලා ඔහු බටහිර පැත්තට යනවා. ඒ යන ගමනේදී බොහෝ දෙනා මුණ ගැහෙනවා. අළුත් සබඳතා හදා ගන්නවා. නමුත් ඔහු කිසි තැනෙක රැඳෙන්නේ නැහැ. මෙක්සිකෝවට යන ඔහු නැවැත ඇමෙරිකාවට පැමිණ හැඳුනුම් පතක් ගන්න යනවා අනාථයන් පිලි ගන්න තැනකට. එතනදී තමන්ගේ නම දෙන්න  ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රෑම්ප් කියල. "සුපිරි හිඟන්නා" කියන වාසගම සහිතව.

හිපි යුවලක් වන රෙයිනි සහ ජෑන් ඔහුට මගදී මුණ ගැහෙනවා. ඔවුන්ටත්  පුතෙක් ඉඳල වෙන්වෙලා ගිහින්.  ඔවුන් ක්‍රිස් ට ආදරය  කරනවා වගේම නවතින්නත් ආරාධනා කරනවා. හිපි දිවියේ නිදහස ගැන කියල.  එසේම ගොවියකු වන වෙයින් ඔහුට උදව් කරනවා, මුදල් සොයන්න. ගොවිපළවල වැඩ කරන්න. ඒ කිසිම තැනක ක්‍රිස් බැඳී හිටින්නේ නැහැ. ඒ හැම තැනම  නිදහස තිබුනත් ඔහුගේ අවසාන බලාපොරොත්තුව උනේ ඇලස්කාවට යාම නිසා.

 පසු කලෙක ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ රඟපාන කර්ස්ටන් ස්ටුවර්ට් ආරම්භක නිලියක් වශයෙන් මේ චිත්‍රපටයේ ළාබාල හිපි තරුණියක් ලෙස රඟ පානවා. සුන්දර ප්‍රථම ප්‍රේමයක් ලෙස ඈ සමග නවතින්න පුළුවන් වුනත් වරෙක ඈ  සමග එකතුව ගිටාරය වයමින් ගීතයක් ගැයූවත්,   ඔහු ඇයත් හැරදා  යනව.   



එසේම ඔහුට හමුවන තවත් චරිතයක් තමයි හදිසි අනතුරකින් තමන්ගේ බිරිඳ සහ  පුතා මියගිය පසු තනිව ජීවත්  වෙන රොන්. රොන් ට අවශ්‍ය වෙනවා ක්‍රිස් ව තමන්ගේ මුණුපුරා ලෙස තබා ගන්න. රොන්ව කන්දක් මුදුනට රැගෙන  යන ක්‍රිස් ඔහුගේ ගමනාන්තය ඇලස්කාව බව පවසන ගමන්,  ලොව සියල්ල දැක තිබුනා  කියා හිතාගෙන සිටින  රොන් වැරදි බවත් නිදහස සොයා ක්ෂිතිජයේ ඉමට යන ගමන මනරම් බවත් පහදා  දෙනවා. රොන් පිලි ගන්නව ඔහුට ඒ කන්ද නගින්න අමාරු වගේම එවැනි ගමනක්  යන්නත් අමාරු බව. තමන්ගේ හිම සපත්තු හා තුවක්කුව  ක්‍රිස් ට දෙන රොන් ඔහුව ඇලස්කාව ට හැරලනව. එසේ කරන්නේ නැවත ඔහු සමග ජීවත් වන්නට එන ලෙසට ඉල්ලීමක් කරමින්.

හිම වලින් පිරිණු සුන්දර ඇලස්කාව ක්‍රිස් ව  මන්මත් කළත් එය ඉතා අසීරු ජිවිතයක්  බව ඔහු ජර්නලයක  නිති  පතා සටහන් කරනවා. ඔහු සිටින්නේ සතුටින්. නමුත් බාධක බොහොමයක් හමුවෙනවා.  දඩයම් කිරීම ලෙහෙසි නැහැ, වෙඩි තබා මැරූ ගෝනා ගේ මස් කල් තබා ගන්න ඔහුට අපහසු වෙනවා. කෑම හොයන්න බොහෝ දුර ඇවිදින්න වෙනවා. 

මේ අතරවාරයේ ක්‍රිස් නැතිව දැඩිව සොවින් තැවෙන දෙමාපියන් ඔහුව සොයනවා. අවසානයේදී ක්‍රිස් ගේ නික්ම  යාම තුල දෙමාපියන් තමන් කල වැරදි වටහා ගන්නවා. 

ක්‍රිස් අත් හැර දැමූ පරණ  බසයක් හොයාගෙන එහි ජිවත් වන්නට උත්සාහ කරනවා. .  ඔහුට ඉතා හොඳ මිනිසුන් ගෙන උදව් මුලදී ලැබුනත්, මිතුරන්ගේ සොයුරිය ගේ උදව් ලැබුනත්,  ඇලස්කාවේ ඔහුගේ තනිවීම තුල, ඔහු ජීවිතය නැවත ආවර්ජනය කරන්නේ අප හැමට යහළුවන් සහ පවුල සමහර විට අවශ්‍ය වෙනවා නොවේද යන්න පසක් කරමින්. අපි කෙතරම් ආත්මීය ලෙස, මේ ලෝකය  මායාවෙන් පිරුනක් ලෙස  හැර යන්නට උත්සාහ කලත් එය හැම විටම සාර්ථක වන්නේ නැහැ . ඒ තරමට මේ සාමාන්‍ය  යයි අප සලකන ලෝකය අපට හුරු පුරුදුයි.

තරුණ තරුණියන්  කැරලි ගසන්නේද , අරගල කරන්නේද  තමන් ජිවත් වන සමාජයේ දෙබිඩි බව දකින විට. එහි දුකින් හෝ කෝප ගැනීමකින් තොර ජීවිතයක් ගෙවීමට නම් පවතින ක්‍රමයට අනුගතව රොබෝවක් මෙන් ජිවත් වන්නට සිදුවන බව වැටහෙන විට.  සමහරු කැරලි හා අරගල අතහැර තම නිදහස හා විමුක්තිය සොයා යනව. හැත්තෑ එකේ කැරැල්ලෙන් පස්සේ ජී අයි ඩි ධර්මසේකර හා තවත් එවැනි අය සමාජය අතහැර වනගතව ජීවත් වූ බව මම අසා තිබෙනවා. 

ක්‍රිස් ට මිය යාමට කිසි සේත් අවශ්‍ය වන්නේ නැහැ, ඒ වෙනුවට ඔහු ජිවත් වීමට දරන වෙහෙස අප්‍රමාණයි. දඩයමක් කර ගැනීමට නොහැකිව, ගෙනා සහල් අවසන් වුනු පසු ගඩා ගෙඩි හා පැළෑටි අනුභව කරන්න ඔහු පෙළඹෙනවා. නිවැරදිව තම පොතේ සඳහන් වුවත් විෂ බව හනුනා නොගෙන පැළෑටිය ක ගෙඩි සහ කොළ  අනුභව කිරීමෙන් ඔහු ලෙඩ වෙනවා. නැවත පොත බැලීමේදී ඔහු දැන  ගන්නවා තමන් අනුභව කලේ විෂ සහිත ශාකයක් සහ එහි ඵල බව. ක්‍රිස් අවාසනාවන්ත ලෙස, වේදනාකාරී ලෙස ජිවිතයෙන් සමු ගන්නවා.

පසුව දඩයක්කරුවෙකුට ක්‍රිස් ගේ සිරුර බසයක් තුලදී හමුවෙනවා. ඔහුගේ සොහොයුරියට  ක්‍රිස් ගේ බෑගය සහ දිනපොත හමුවීම තුලින් ක්‍රිස් ගතකල කාලය පිළිබඳව ලෝකයා දැන  ගන්නවා. නමුත් ඒ වනවිට ඔහුගේ පවුලටත් මිතුරු මිතුරියන් ටත් ක්‍රිස් අහිමි වී හමාරයි.   

මටත් වෙලාවකට හිතෙනව සමාජ ජාලා වල ගිණුම්  අකර්මන්‍ය කරලා  බ්ලොග් ලිවිල්ලත් නවත්වල AWOL හෝ MIA වෙන්න. ෆේස්බුක් එක යහළු වන ප්‍රමාණය නම් සීග්‍රයෙන් අඩු කරමින් ඉන්නේ. ඒත් ක්‍රිස් වගේ සම්පුර්ණයෙන්ම සමාජයෙන් අහක් වෙන්න බැරි  තරමේ බැඳීම් හුඟක් අපි හැමෝටම තියනවා. ඉතින් ඒක කරන්න අමාරුයි. නමුත් බැඳියාවන්  අඩු වෙනකොට නිදහස වැඩි වෙන එකනම් සත්‍යයක්. 

තුමිඳුලා හිතන් ඉන්නවා දමිත කවද හරි ආයේ එයි කියල. ඔහුගේ කැමතිම චිත්‍රපටය නරඹල තියෙන නිසා  ඔවුන්  නැවත ඔහුව හොයන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ මේ අප ගත කරන්නේ  ඔහු වැන්නන් අවශ්‍යම කාලයක් බව. නැවත පැමිණ ඔහුගේ අත්දැකිම් තුලින් සාර්ථක නිර්මාණයක්, සාමාන්‍ය එකක් නොව ලොවට වෙනස් යමක් පහදා දෙන නිර්මාණයක් කරන්නට  හැකිනම් අගෙයි.  ක්‍රිස් අභිනිෂ්ක්‍රමණය කළේ ජිවිතය එපාවී නොවෙයි ජිවිතයට ආදරය කළ නිසා. 

හැම දිනකම නොනැවතී  වෙනස් වෙන ක්ෂිතිජයක්ද නව සහ වෙනස් සුර්යයා  ද  දැකීම තරම් වෙනත් සතුටක් නැත.  - ක්‍රිස් මැක්කැන්ඩ්ල් 



Thursday 19 May 2022

රට ගිනි ගනිද්දී වීණා වැයූ හයවන මිහිඳු


පරණ කථාව: අද උදෑසන රැකියාව ඇරඹීමට පෙර සුපුරුදු ලෙස ප්‍රවෘත්ති නැරඹුවෙමි. මහින්ද ඉවත්ව යනවා යයි කී  දිනය අදය. (මැයි නමය, 2022).  ගෝටාගම ආක්‍රමණය දුටුවේ එවිටය.ඒ ආක්‍රමණය  දුටු විගසම මට සිතුනේ මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ අදහසක් නොතිබූ බවයි. ප්‍රථමයෙන් මහින්ද රාජපක්ෂ සහයට කරන කථා සහ උද්ඝෝෂණ තිබුනද ඉන්පසු දෙදහසක පමණ පිරිසක් බස් රථවලින් බැස පැමිණියේ පොලු මුගුරු, කඩු , මන්නා පිහි ආදිය සමගය. ඒ බව වීඩියෝ වල මැනවින් සටහන් වී ඇත. ප්‍රශ්නය වූයේ බොහෝ අවස්ථා වල අන්තරය ඇතුළු අනිකුත් පිරිස් වලට ජල ප්‍රහාර, කඳුළු ගෑස් අදින් පහර දුන් පොලිසිය මේ මහින්ද ආධාරකරුවන් ආයුධ සමග එන බව පෙනි පෙනී ඉවත බලා ගැනීමයි. ඔවුන් ගෝටාගෝ ගම ආධාරකරුවන් අසලට ගියේ පොලිසිය "නිර්පාක්ෂිකව" බලා  සිටියදීය. 


එතැනදී මේ මැරවරයන් සියලු කුඩාරම්  කඩා බිඳ දමන්නටත් ගිනි තියන්නටත් විය. ඉහත වීඩියෝවේ පෙනෙන පරිදි ප්‍රියංග විශ්වජිත් මහතාට එළව එළවා පහර දෙන අයුරුත් කළු ඇඳගත් තැනැත්තෙක් හා පොලිස් නිලධරයන් කිහිප දෙනෙක් ඔහු බේරා ගනුත් දැකිය හැකිය. එසේම ගෝටාගෝගම තාවකාලිකව තනා තිබූ පුස්තකාලයේ පොත් ද ගිනිබත් කෙරිණි.
මේ බව ඉතා සීග්‍රයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිර යන්නට විය. වඩාත්  සොඳුරු දර්ශනය අපට පෙනෙන්නේ  ඉන් පසුවය. අවට කාර්යාල වල රැකියාවන්  කරන ජනතාව ,කොළඹ අවට  රෝහල් වල  හෙද, හෙදියන්, සුව සේවකයන්, කඩ හිමියන්, සිසු සිසුවියන් ගෝල්ෆේස් භූමියට ඇදී ඒම එයයි. රාජපක්ෂ වාදීන් සිතා  සිටියේ ගෝල්ෆේස් වල සිටින්නේ පිටරටින් සල්ලි ගෙන අරගල කරනා ටික දෙනෙකු බවයි.රටේ බහුතරය අරගලකරුවන් පසුපස සිටින බව, අරගලය ඔවුන්ගේත් අරගලය බව  ඔවුහු වටහා ගත්තේම  නැත. 

ඉන්පසු සිදු වූයේ රට පුරා ගිනි ඇවිලීමය.  රට පුරා ගිනි ඇවිලීම හා නිවස ගිනි තැබීම ගැන මම මේ සටහන ෆේස්බුක් හි මගේ වෝලයේ මැයි නම වනදා  පළ කෙරුවෙමි.

"අරලිය ගහ මන්දිරයේ ඉදිරිපස ගිනි තබා ඇත. දැඩි රැකවල් ලා ඇති මෙහි ගිනි තබා ඇත්තේ ඇතුළතින් බව මගේ හැඟීමයි. මෙය කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් මිස වෙන කිසිවක් නොවේ. මෙය මුග්ධ ක්‍රියාවකි. අරලිය ගහ මන්දිරය ශ්‍රී ලංකා රජයේ දේපලක් හෙවත් මහජනයාගේ දේපළකි. ඒවා රැක  ගත යුතුය. අගමැතිවරු එති. යති. අරගලයේ නෝනාවරුනි මහත්වරුනි, ගිනි තැබීම් නවත්වන්න. රජයේ ඇමතිවරයෙකුගේ, මන්ත්‍රීවරයෙකුගේ නිවසක් අනීතිකව ඉදි කර ඇත්නම්,  ඔබ ඒවාට අකමැති නම් ඒවා රාජ සන්තක කළ හැකිය. ඉන්පසු ඒවා ආබාධිත ළමා නිවාස  කළ හැකිය. පුස්තකාල කළ හැකිය.   පාසැල් භුමි කළ හැකිය. ඔබ ගිනි තබන්නේ එය සෑදු ගෘහ නිර්මාණ ශිල්පියාගේ, බාසුන්නැහේ ගේ, කම්කරුවාගේ ශ්‍රමයට මිස අර තැනැත්තාට නොවේ. ඔවුන්ට රක්ෂණ වන්දි ලැබෙනු ඇත. බස් රථයක් ගිනි තබනවාට වඩා රාජ සන්තක කරන්න. ඒවා පාසැල් බස් රථ කළ හැකිය. රථ වාහන අත් අඩංගුවට ගන්න. ගිනි නොතබන්න. ඒවා ඇම්බියුලන්ස් කළ හැකිය.   ඔබේ අති සාධාරණ  කෝපය මට වැටහේ. ඔවුන් එය ඇවුළුවේ ඒ නිසාමය. නොනවතින අරගලය මිස ගිනි තැබීම අරගලය නොවේ.  අරගලයට ජය.! 

බොහෝ ගිනි තැබීම් හා දේශපාලන විනාශවීම් සිදුවූ අතර මහින්ද රාජපක්ෂ  මහතා ඇතුළු පොහොට්ටුවාදීන්  පිරිසක් මේ විනාශය ඇරඹීමට මූලිකව වගකිව යුතු බව පෙනේ. සාමකාමී අරගලයකට පහර දෙමින් ජනතාව අවුස්සා ගත්තේ ඔවුන් වන බැවිනි. ගිනිතැබීම් හා සාපරාධි මනුෂ ඝාතන අපට කිසි විටෙක අනුමත කළ නොහැකිය. නමුත් පරිණත දේශපාලනඥයෙකු වන මහින්ද මහතා එවැන්නක් අපේක්ෂා නොකලා යයි මට සිතිය නොහැකිය. ගෝල්ෆේස් කොල්ලන්ට කෙල්ලන්ට ගහන බව අසා  පැමිණි මහ ජනතාව නොවන්නට මහින්ද උපක්‍රමය ජය ගන්නට ඉඩ තිබුණි. ඒ අතර අනවශ්‍ය මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම දෙපාර්ශවය අතින්ම  සිදුවිය. 
නමුත් සිදුවූ සියල්ල දැන් ආපසු හැරවිය නොහැක. 
අරගලය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව දේශපාල හා ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය සහමුලින්ම වෙනස් කර ඇත.

අළුත් කතාව: රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාබය රාජපක්ෂ මහතාට ඇති හොඳම විකල්පය වන්නේ මේ සන්දර්භය තුලය.
දෙවියන් අතර සටනේ ජය කාටද  නමින් මා ලියූ ලිපියේ ශ්‍රී ලංකාව ඉදිරියේ ඇත්තේ මාර්ග දෙකක් පමණක් යයි ලියුවෙමි. 

ණය දීමට කැමැති බටහිර රටවලින් තව දුරටත් ණය ගැනීමත්, අන්තර් ජාතික මුල්‍ය අරමුදල හරහා ණය ප්‍රති ව්‍යුහගත කිරීමත්, සහනාධාර හා රාජ්‍ය සේවය කප්පාදු කිරීමත් ඒ අතර වේ. ඒවා සඳහා හොඳම තේරීම රනිල් විය හැකිය. හැබැයි සජිත් , පාඨලී ඇතුළු කණ්ඩායමටද එය කළ හැකිය. එසේනම් සජිත් අගමැතිකම භාර නොගත්තේ ඇයි ? ඔහුට පොහොට්ටුවන්ගේ චන්ද ලැබෙන්නේ නැති බව ඇත්තය. නමුත් ගෝඨාභය මහතා ඉල්ලා සිටිද්දී සජිත් කීවේ ගෝටා නොයන තුරු ඔහු රජය භාර නොගන්න බවය. අනුර කුමාර දිසානායක ගේ  ස්ථාවරයද එයම විය. නමුත් ගෝඨාභය දෝෂාභියෝගයකින් හෝ බලවත් මහජන නැගිටිමකින් තොරව ඉවත් කළ නොහැකිය. මේ අනුව සජිත් සහ අනුර කල් මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.  මගේ අදහස නම් එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ යටතේ රාජ්‍ය බලය ලබා ගත්තත් එය හරියට මයිත්‍රී යටතේ රනිල් සිටියාක් මෙන් පාණ්ඩු ආණ්ඩුවක් වනු ඇත බවයි. මේ නිසා සජිත් මෙන්ම අනුර ගේද ද ඉවත්වී සිටීමේ න්‍යාය නිවැරදිය. 

කාදිනල් තුමා රනිල් ගේ පත්වීමට එරෙහි වූයේ ඇයි ද යන්න සිතා බලන්න.
මා 2018 අප්‍රේල් 02 දා ලියූ මේ ලිපිය ( සෝවියට් විවාහ ගැන නොවේ - 5)  අවසන් කළේ අල්ලාහු අක්බර් කියාය.  ශ්‍රී ලංකාවේ දේශපාලන බල තුලනය වෙනස් කිරීමට කිසියම් රටක් අන්තවාදය උපයෝගී කරගනු ඇත යන අනතුරු ඇඟවීම කළේ ඒ ලිපියෙන්ය. ඉන්පසු "සිරිසේන සිරකරුවෙක්ද - පල්ලියේ ඛේදවාචකය හා රෝහණ විජේවීරගේ පුනරාගමනය " යන ලිපියෙන් පාස්කු ප්‍රහාරය කෙරුනේ කෙසේද යන්න ගැන හැඟවීමක් කලෙමි.  පාස්කු ප්‍රහාරය කල අය අත් අඩංගුවට නොගැනීම ගැන රනිල් ට චෝදනා කරන අය ගෝඨාභය ද එසේම කරන බව නොදුටුවේද?  ප්‍රශ්නය නම් හිටපු ජනාධිපතිවරයකු අත් අඩංගුවට ගන්නවාද , බලවත් වෙමින් පවතින රටක අගමැති වරයෙකු අත් අඩංගුවට ගන්නවාද යන්නය. ඒ දෙකම වෙන්නේ නැති නිසා ඊට පහලින් සිටි කවුරුන් හෝ ඇතුළට හෙවත් රන්ජන් ගේ නවාතැනට යැවීමෙන් පමණක් සැනහෙන්නට පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලන්නන්ට සිදු වනු ඇත.

 ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් වැටුනේ ඇයිද යන්න ගැන බොහෝ අය ලියා තිබෙන නිසා ඒ ගැන ලිවීමෙන් පලක් නැත. රනිල් පත්වුනේ කෙසේද යන්න පැහැදිලි කර ගමු.
රටේ අරගලය දිගටම පැවතුනා නම් සජබ (සජිත්) හෝ ජාජබ (අනුර) බලයට පත් වීමට වඩා අරාජික තත්වයක් මතුවීමටද හමුදා ආණ්ඩුවක් හෝ සමාජවාදී ආණ්ඩුවක් කැරැල්ලක් හරහා බලයට පත්වීමේ අනතුරක් ද  පැවතුනි. (මා එය අනතුරක් යයි කියන්නේ රටවල් දෙකක් ගැන  සිතාය.) සජිත් කෙසේ වෙතත්  නව ලිබරල්වාදියෙකු වන රනිල් ගේ කැමැත්තක් එයට නැත.   ඔහුගේ මාමා වන ජේ ආර් '71 කැරැල්ලේදී සිරිමා රජයට සහය පල කලේ දේශපාලන භේද නොතකමිනි. 

මා ඉහත සඳහන් කල පාස්කු මැදිහත් වීමට සම්බන්ධ යයි මා සිතන රටේ  රහස් ඔත්තු සේවය ශ්‍රී ලංකාවේ තදින් ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ අදහස් මත  ක්‍රියාත්මක වුනු එම රටේ රජය හා ඇමෙරිකා එකසත් ජනපදයේ බල කිරීම,  රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්වීමේ ක්‍රියාදාමය පසුපස තිබෙන බව පැහැදිලිය.

අන්තර්  ජාතික මුල්‍ය අරමුදලට නොයා, සහනාධාර කප්පාදු නොකර මේ දිනවල පත්වන රජයකට පැවතීමක් නැත. දෙවන ක්‍රියා  මාර්ගය වන රට ආනයන වලට සම්පුර්ණයෙන් වසා  දමා  දේශීය  නිෂ්පාදනය හා කෘෂිකර්මය  දියුණු කිරීමේ ක්‍රමයකට යාම සඳහා තරමක් දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් අවශ්‍යය. එසේම එවැන්නක් තරමක් දුරට සිරිමාවෝ කාලයේ පැවති ක්‍රමය හා සම විය හැකිය. ඒලෙසට  ආචාර්ය එන්  එම් පෙරේරා මහතා  කලාක් මෙන්  රටේ ණය  සෑහෙන දුරකට අවසන් කර නිමි ඇඳුම් , සංචාරක ව්‍යාපාරය ආදිය හරහා නැවත සෙමෙන් සෙමෙන්  රට ගොඩ නැගිය හැකිය. නමුත් ඒ ක්‍රමය දැඩි දුෂ්කරතා සහිත එකකි. ඉන් එසේ නොකළ හැකියයි අදහස් වන්නේ නැත. 

ඉහත කී ප්‍රබල රටවල් දෙකේ බලපෑම මත රනිල් ගේ ආගමනය සිදුවීමට සැලසෙද්දී මැයි 09 ප්‍රහාරය සිදු විය. රනිල් ආගමනයට මෙන්ම අර රටවල් දෙකටද  මහින්ද රාජපක්ෂ ගේ තදබල විරුද්ධත්වයක් තිබී  ඇත.  ඉල්ලා අස් නොවීම සඳහා තම බාල සහෝදරයාට එරෙහිව එම ප්‍රහාරය කිරීම  හැර වෙනත් තේරීමක් මහින්ද මහතාට  තිබුනේද නැත.

එයට හේතුව කුමක්ද? රනිල් ගෝටා සමග ඇති කරගත් සම්මුතියේ ඇත්තේ මොනවාද යන්න අපි නොදනිමු. නමුත් අරගල කරන ජනතාව රාජපක්ෂලා හොරුන් ලෙස සලකන නිසාත්  රට පත්ව ඇති තත්වයට ඔවුන් වග කිව යුතු යයි උද්ඝෝෂණ කරන නිසාත් පාලක පක්ෂයේ යම් කිසිවෙකු ඒ වෙනුවෙන් කුරුසය උස්සා ගෙන යාමට සැරසී සිටිය  යුතුය. ඒ සඳහා වඩා වැදගත් නැති රාජපක්ෂවරුන් කිහිප දෙනෙක් බිල්ලට දීමට සිදුවනු ඇත. උදයංග වීරතුංග හදිසියේම ජනපතිට එරෙහිව හඬ නගන්නේ,  විවේචන කරන්නේ ඒ ඉව ඔහුට දැනී විය යුතුය.



මේ සම්මුතියට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට "ගෝටාගෝහෝම්" යන අදහසේ පරිදිම නිදහසේ ඇමෙරිකා  එක්සත් ජනපදයට යාමට ඉඩ දීමට  අගමැති රනිල් මහතා  එකඟ වන්නට ඇත්ද? එවිට ජනාධිපති වන්නේ රනිල්ය. යුධ අපරාද වලට ඇමෙරිකාවේදී ගෝඨාභය මහතා අත් අඩංගුවට පත් නොවන්නට ගැරන්ටියක් දිය හැකි එකම තැනැත්තා ද අමෙරිකාවේ සුවච කීකරු හිතවතෙකු වන රනිල්ට  පමණය.  මේ ලඟදි ඇමෙරිකනු තානාපතිනිය හා රනිල් අතර හමුවක් තිබුණාද?

රට රතු වෙනවාට හෝ චීන පසට යනවාට අකමැති බලගතු රටවල් දෙකටද  රනිල්ට සහය දීම හැර වෙන විකල්පයක් ද නැත.  ඇමෙරිකානු තානාපතිනිය අනුර කුමාර දිසානායක මුණ ගැසීමට ගියේද  සමහරවිට ඒ නිසා විය හැකිය. බෝට්ටුව චීන පැත්තට  පෙරලීම ශ්‍රී ලංකාවට ආසන්න යේ ඇති  බලවත් රටට මෙන්ම ඇමෙරිකාවටද ආරක්ෂක හා විදේශ ප්‍රතිපත්ති පැත්තෙන්හා නිදායකය. 

අරගලයේ ගිනි ගැනීම් සියල්ල අහඹු ලෙස සිදු වූයේද යන ප්‍රශ්නයද පැන නගී. පොලිසියට අත් අඩංගුවට ගත හැක්කේ දේපල සොරා කෑ අය මිස ගිනි තැබූ අය නොවේ.  මන්ත්‍රී නිපුන රණවක ගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් ඔහුගේම සමාජ මාධ්‍ය ජාලා මෙහෙයුම්කරු හා සජබ කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
එසේම ඒ පිළිබඳව හෙවත් රට ගිනි තැබීමට කටයුතු කළ සමාජ ජාලා ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීමේ සුදානමක් ඇත.  පොලිසිය එසේ කරන්නේ කෙසේද යන්න මට අදහසක් නැත. අරගලයට කැඳවීමක් මිස රට ගිනි තියන්නට යයි කවුරුන් හෝ කියනමා  මා දුටුවේ නැත. කිසියම් අන්දමක සංවිධානාත්මක පහර දීමක් ඇතැම් තැන්වල සිදුවී ඇතත් ඒවාට ගෝල්ෆේස් අරගලයේ යෙදුනු අයගේ සම්බන්ධයක් තිබුන බවට සාක්ෂි දැනට කිසිවෙකු සපයා ඇති බවක් නොපෙනේ.

රනිල් වික්‍රමසිංහ මහතාට යා හැකි මාර්ගයක් තිබේ. ව්‍යවස්ථා සංශෝධනයකට ගොස් අගමැති බලතල 19 සංශෝධනයේ පරිදි වැඩි කර ගැනීමය. අන්තර් ජාතික මුල්‍ය අරමුදල  පවසන පරිදි සහනාධාර කප්පාදුවකට ඔහු දැනට සූදානම් නැත. ජපාන ණය ඔහු සිතන ලෙසට ලැබුනොත් ඔහුට සහනාධාර (තෙල් සහ පොහොර  සහනාධාර වල සිට  සිට සෞඛ්‍ය සේවා දක්වා )  තව කාලයක් පවත්වා ගෙන යා හැකිය. ඒ අතරතුර ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉවත් කිරීමේ කටයුත්තට අත ගැසිය යුතුය. ඒ සඳහා අරගලය පවත්වාගෙන යා යුතුය.  අවුරුද්දක් පමණ කාලයක් තුල රාජ්‍ය සේවය තුනී කිරීම හා  රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම ද  කල යුතුව ඇත .
සමාජවාදීන් මොනවා කීවත් ශ්‍රී ලංකා ගුවන් සේවය පෞද්ගලිකරණය කල යුතුව ඇත. දැනට එය ගොඩ ගැනීමට කිසිදු ක්‍රමයක් නැත.  මැතිවරණයක් පවත්වන තත්වයට රට ගෙන ආ යුතුය.  මේ ටික රනිල්ට ඉටු කර ගත හැකි වුවහොත් රට අසීරු අඩියකදී බේරා ගත නායකයෙකු වශයෙන් ඔහු ඉතිහාසගත වනු ඇත. 

ගෝඨාභය රාජපක්ෂ පාලනයට යටත්ව මේ අවලංගු ජනාධිපතිවරයා  බේරා ගැනීමට කටයුතු කළහොත් රනිල් රටේ අනාගතය සදහටම පාවා දුන් අයෙකු ලෙස ඉතිහාස ගත වනු ඇත.


පිත්ත දැනට ඇත්තේ රනිල් ගාවය. බෝලය අරගලකරුවන්  අතට ගත යුතුය.  බෝලය  දැනට ඇත්තේ ගෝඨාභය මහතාට මීටර කිහිපයක් ඈතිනි. 

අරගලකරුවන් තමන්ගේ අරගලය දිගටම ගෙන යා යුත්තේ මේ නිසාය. ඔවුන්ට, සජබ,  ජවිපෙ මෙන්ම පෙසපේ ද, අන්තාරයේද  සිවිල් සංවිධාන වල සහයද, නීතිඥ ප්‍රජාවේ සහයද   තව දුරටත් ලැබිය යුතුය. විපක්ෂ  දේශපාලන පක්ෂ අරගලය තුලට අනවශ්‍ය ලෙසට මැදිහත් නොවී එය මුලින්ම නිර්පාක්ෂික ලෙස තබා ගෙන සිටි තරුණ තරුණියන්ටම ජාති, ආගම් , පක්ෂ භේදයකින් තොරව එය පවත්වා ගෙන යාමට අනුබල දිය යුතුය. ඒ අතර තම තමන්ගේ දේශපාලන ක්‍රියාදාමයන් හා රට රැක ගැනීමේ සැලැස්මවල් ජනතාවට අවංකවම ඉදිරිපත් කළ යුතුය. ජනතාව අවශ්‍ය අවස්ථාවේ නිවැරදි විපක්ෂ දේශපාලන පක්ෂය තෝරා ගනු ඇතැයි විශ්වාස  කරමි. 
පෙර නොවූ විරූ ලෙස මෙවැනි අරගල එකමුතුවක් දක්නට ලැබෙන අවස්ථාවේ පටු දේශපාලන වුවමනාවෙන් ගෙන්  මිදී ක්‍රියා කරන ඕනෑම නායකයෙකුට ඉදිරියට ඒමට හැකිවනු ඇත.

සාමකාමී අරගලයට ජයවේවා!

අරගලය එක්වන්නට  දමිළ ගීතයක් 

මැයි නමය 



Saturday 7 May 2022

ඇතීනා, රූබි සමග බුද්ධිකා එරන්දි ගේ යුගල බන්ධනය


මම  මානසික උපදේශන සම්බන්ධ පොත් කියවල තිබුනත් ඒ  හා සම්බන්ධ ආදර  කතාවක් අළලා ලියූ පොතක්  කියවල නැහැ. මේ ලඟදි ෆ්‍රොයිඩ් ගේ ජිවිත කතාව අනුසාරයෙන් කරපු ප්‍රබන්ධාත්මක රුපවාහිනී කථා මාලාවක්  බැලුවා. ෆ්‍රොයිඩ් අපරාධ පරීක්ෂකයෙක් වන මේ කතා මාලාවේ ඔහු  ගේ ආදර කතාව හරහා මනෝ  විශ්ලේෂණයන් ඉදිරිපත් කිරීමක් ඒකෙ තිබුනේ. තනිකරම ඓතිහාසික ප්‍රබන්ධයක්, හැබැයි මනෝ විශ්ලේෂණය ට අදාළ කරුණු නොදැනෙන්න සාකච්ඡා වෙනවා. 

  සාමාන්‍යයෙන්  "මං එරන්දී"  වශයෙන් අපි හැමෝම දන්න බුද්ධිකා එරන්දි ජයසිංහ  ලිව්ව "ඇතීනා " පොත මම දැක්කේ ඒ විධිහට. ඒක  ලියල තියෙන්නේ ප්‍රබන්ධයක් වගේ. හැබැයි පොත ගැන වන ෆේස්බුක් සාකච්ඡා වලදී වගේම හඳුන්වාදීම කරපු සැන්දෑවේ දීත් බුද්ධිකා  එරන්දි කිව්වේ ඒක  සැබෑ කතාවක් කියල.  එයා සැබවින්ම  මනෝ උපදේශන සායනයක් කරපු  යුවලක් ගැන. තේරෙන භාෂාවෙන් කියනවනම් "කපල් තෙරපි" එකක් ගැන. 

දැන් පොත කියවනකොට අපට හිතෙන දේ  තමයි ඇත්තටම මොකක්ද මේ රූබි සහ ඇතීනා ට තිබුන ප්‍රශ්නේ බුද්ධිකා එරන්දි  මනෝ වෛද්‍ය උපදේශිකාව හමුවන්න. මේ දෙන්නම දෙන්නට දෙන්නා හුඟක් ආදරෙන් ඉන්න යුවලක් නේ මේ පොතේ හැටියට.  පොතේ තියන විධිහට රෝමියෝ ජූලියට් , සාලිය අසෝකමාලා, මුම්ටාස් ශා ජෙහාන් සාගා වලටත් එහා ගිය එකක් වගේ දැනුනේ. එතකොට පැන නගින ප්‍රශ්නය තමයි  මෙහෙම "සුවපත් වීමේ " උපදේශන ගන්න අවශ්‍යතාවයක් ඇත්තටම තිබුනද? 

එරන්දී තිස් පස් වන පිටුවේ කියනවා මෙහෙම. 
"පිරිමි නොයෙකුත් චර්යාවන්ට හුරු වෙනවා. " ටිඅක් දුරින් ගිහින් කියනවා බාධාකාරී නින්ද ගැන. මමත් වැඩිය නින්ද යන්නේ නැති කෙනෙක්. පොඩි ශබ්දයකට  වුනත් ඇහැරෙනවා.  එරන්දි කියනව 
" මෙන්න මේ වගේ කරන වලදී තමයි සොබාදහම ගැන පුදුමයක් දැනෙන්නේ. මිනිස්සු නිර්මාණය වෙලා තියෙන්නේ නින්දේදී තව කෙනෙකුගේ උනුහුමින් උණුසුම් වෙන්න." 

සමහාර විට මුල් අවධියේදී ගෑස්, තෙල්, විදුලිය භාවිතා කරලා නිවෙස් උණුසුම් කර ගැනීම බැරි කාලවල ඔක්කොම එකට ගුලි වෙලා ඉන්න ඇති. පස්සේ ඒක පරිණාමය වෙන්න ඇති  අපට එකිනෙකාගේ උණුසුම අවශ්‍ය  වෙන. හැබැයි එරන්දි කතා කරන්නේ ප්‍රේමය දනවන  රසායනිකය හවත් හෝමෝනය ගැන. අර කියපු නින්ද නොයන ප්‍රශ්නය මටත් තිබ්බට රූබිට සහ ඇතීනට ඒකත් නැහැ.  

රූබි එයාගේ ඇතීනට කවි නිසඳැස් පවා ලියනවා. (පි. 36, 41)

ඇතීනා එක්ක එරන්දි කතා කරද්දී  වුනත් එයා රූබි ගේ කිසිම වැරැද්දක් කියන්නේ නැහැ.  වැරැද්දක් නැති හබියෙක් එක්ක එරන්දි ගාවට ආවේ ඇයි කියන එක මගේ හිතට වද  දෙන්න ගත්ත.

පොත දෙවන වර බලාගෙන  යද්දී තමා මට "යුරේකා" මොහොත ආවේ.  හතලිස් දෙවන පිටුවේ රූබි කියනවා මෙහෙම.

"එයාගේ රැකියාව විශේෂ  එකක්. හරිම වෙහෙසකර එකක්. (එයා වෛද්‍යවරියක් කන්සල්ටන්ට්ද කෙනෙක්ද  ප්‍රයිවෙට් ප්‍රක්ටිස් එකක් කරන?) ඒත් එයා නවතින්න  ලෑස්ති නැහැ. මට එයාව  නවත්වන්න ඕනෙත් නැහැ. එයා ඒ තරමටම එයාගේ ජොබ් එකට ආදරෙයි" ඔය තියෙන්නේ  හේතුව.

මගේ බිරිඳට කෝවිඩ් හැදුනේ   මුල් කාලෙම වගේ. ලොකු දුව යාලුවෙක් ගේ ගෙදර නැවතුනා එයාගේ වැඩ පාළුවෙන නිසා. මම කීව පොඩි දුවට ඔයා කාමරේට වෙලා පාඩම් කරන්න මම අම්මාව බලා ගන්නම් කියල. ඉතින් මම බලා ගත්ත. දන්නා විධිහට ඉව්ව. ගේ අස් කළා. එයා වැඩියෙන්ම ඉල්ලුවේ සුප්. ඉඟුරු , දෙහි දාපු තේ, නැත්නම් කොත්තමල්ලි. ඒවත් හදල කාමරේ දොර ගාවින් තියල ආව. 

මට කෝවිඩ් හැදුන නම් මම එයාගෙන් ඒ සැලකිළිම බලා පොරොත්තු වෙනවද?  එහෙම සැලකුවේ නැත්නම් මගේ හිත රිදෙයිද? මම දන්නවා හැබැයි එයා එහෙම කරන එකක් නැහැ කියල.

මට හිතන්නේ එරන්දි ලියපු කතාවේ තියෙන විධිහට රූබි ඇතීන ට කෝවිඩ් හැදුනු වෙලේ ඉතාමත් ආදරයෙන්  රැක බලාගෙන තියනවා. ඒක ඇතීනත් කියනවා. හැබැයි ඒක අනිත පැත්තට වෙලා නැහැ කියන අදහස මට ආව. 
එරන්දි බොහොම පරිස්සමින් මෙහෙම ලියනවා (පි.48)

//"මැණික ..අපි  එරන්දී එක්ක කතා කරමුද?"

පුදුමයක්! අඳුරු වලාවන් පහවෙලා ඇය ඔහුට අවනත වෙනවා. නිහඬවම  ඇය  කෝවිඩ් නිසා තම  පවුලට සිදුවූ රිදුම් දරා ගනිමින් සිටින ලකුණු ඇගේ හැසිරීමෙන් ප්‍රකට වුණා. //

දැන් මෙතන තත්වය පැහැදිලියි. රූබි ඉතාමත් ආදරෙන් ඇතීන රැක බලා ගත්ත. නමුත් ඇතීන කළේ මොකද්ද? ළමයි දෙන්නව තමන්ගේ අම්මල ගාවට ගිහින් දැම්ම. රූබි ට කීව "ඔයාට තනියම  ඉන්න පුළුවන්නේ" කියල එයාගේ "ඉතාම වැදගත් " රස්සාවට ගියා. රූබි කියනවනම් ඒ රස්සාව එපමණ වැදගත් කියල යන්නම වෙනවා. හැබැයි එහෙම රස්සා තිබෙන්නේ ඉතින් එක්කෝ රෝහල් වල. නැතිනම් රාජ්‍ය ආරක්ෂක අංශ වල. වෙන තැනක් ගැන මට හිතන්න අමාරුයි.  එහෙම තැනකදී රැකියාවට යන්න වෙනවම තමයි. අත්‍යවශ්‍ය සේවා වල ඉන්නවනම් ඒත් එහෙමයි. නමුත් අපි දන්නා විධිහට ගෙදර කෙනෙකුට කෝවිඩ් හැදුනොත් මුළු නිවසම නිරෝධායනය කළා ඒ දිනවල. එහෙමනම් ඇතීන ඒක පාවිච්චි කරලා රූබි බලා ගන්න නිවසේ නවතින්න තිබ්බ නේද?

එයා කළේ වෙන දෙයක් ළමයි අම්මලාගේ ගෙදර දාල එයා අර "වටිනා " රැකියාවට ගියා. රූබි කෝවිඩ් හදාගෙන තනියම ගෙදර.  මට මෙහෙම වුනානම් මම ටිකක් අප්සෙට් වෙයි. ඇයි මම මගේ බිරිඳව බලා ගත්තනම් කෝවිඩ් හැදිලා ඉන්දෙද්දී එයාට බැරි මොකද ඒ කැපවීමම මට කරන්න. අපි අනිත් අයට උදව් කරනකොට  මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ තමයි. සැමියා, සහ බිරිඳ පැත්තෙන් ගත්තත් සැබෑ ආදරය තියෙනවනම් එහෙම බලා පොරොත්තු වෙන එක වැරදියි කියමු. ඒත් ඇත්තටම ඒක එහෙමද? මම නම්,එයා  මාව පොඩ්ඩක් බලා ගනීවි කියල බලා පොරොත්තු වෙනවා. 

ඉතින් මට හිතෙන විධිහට පවුලේ අවුල පටන් ගන්න ඇත්තේ මෙතන. ඇතීනා කෘර විධිහට රූබි තනි කරලා එයාගේ රස්සාවට ගියා. අර කොවිඩ් හැදුනු මනුස්සයව. එයාට කොපමණ අමාරු වුනාද කියල එරන්දි ඉඟියක් දෙන්නේ නැහැ.

වෙනත් රටක ඉන්න  මගේ ඥාති දියණියකට පහුගිය දවසක කෝවිඩ් හැදිලා හොඳටම අසනීප වුනා. මම එයාට හැම වෙලේම පණිවිඩ දුරකතනයට යව යව හොයල බැලුව. ඒ දරුවා  ඉගෙන ගන්න ගිය කෙනෙක්.අම්ම තාත්ත ළඟ නැතිව අසරණ වුන වෙලාවක්. වෙලාවකට  නැගිටලා වතුර කෝප්පයක් බොන්න තරම් ශක්තියක් නැති තත්වෙට එයා පත්වෙලා හිටිය. ඒ වෙලාවට කවුරුහරි ළඟින් හිටියනම් කියල එයාට හිතිච්ච  වාර අනන්තයි කියල මට කීව. ආදරණිය කවුරුත් නොදැකම  මැරෙන්න වෙයි කියලත් බය වුණාලු. මම එයාට තව අමාරු වුනොත් එයා බලන්න යනව කියල හිතන් හිටියේ. ඈත රටක වුනත්. කොහොම හරි එයාට හොඳ වුනා. ඉතින් මේ කෝවිඩ් හැදුන වෙලාවෙත් ඊට පසුවත්  එන මානසික තත්වයන්  ටිකක් හොඳ නැහැ. ආතතිය වගේ තත්වයකුත් ඇති වෙනවා.

අනිත් පැත්තට රූබි කියන්නෙත් තමන් ගැන ටිකක් පොරත්වයෙන් ඉහලට දාල හිතන් ඉන්න කෙනෙක් වගේ . එයා හිතන්නේ මෙහෙම. (පි. 85) 

"බිරිඳක් හැටියට එයා සාර්ථකයි. වගේම අදටත් හැමදාටත්  එයා මගේ පෙම්වතිය. පිරිමියෙකුගේ හිත දිනාගන්න එක ලේසි වැඩක් නවෙයි." -  හපොයි. 

ඒත් එයාට ඇතිවුණු පාළුව ලස්සනට අකුරු  කරලා තිබෙනවා.  

"මොහොතකුත්  අත නොහැර
වහ වහා පැමිණෙන්න 
පමාවත් දරුණු විඳ වීමක්ය 
දුරස් වී ගෙවන නුඹ අතැර 
සීතලයි පාළුයි හවස 
ඊයේ වගේමයි අදත්" ....(පි. 126)..

ඉතින් මම වගේ කෙනෙක් හිටියනම් ඔතන රූබියි , ඇතීනයි දෙන්න මෙලහට දික්කසාද වෙලා. හොඳ වෙලාවට කාගේවත් වරදක් නොදකින , හැමෝටම හුරතලේට හෙමින් ඇදල කතා කරන බුද්ධිකා  එරන්දි හිටියේ. බුද්ධිකා ගෙන් කවදාවත් විවේචනයක් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද? (යහළු යෙහෙලියන් කියන්න බලන්න.) 
  එයාලට සායනයක් අනිවාර්යයෙන්ම ඕන වෙලා වෙන්න ඕන , බුද්ධිකා ගාවට ආවේ.

පොත පුරාවට තියෙන්නේ බුද්ධිකා එරන්දි ඒ දෙන්නාට ඒ දෙන්නව අගය කරන්න මිසක් දෙන්නට දෙන්නගේ වැරදි කියන්න ඉඩ නොදෙනවා වගේ දෙයක්. මේක බුද්ධිකාම හොයා ගත්ත සායනික ක්‍රමයක් වෙන්න ඕනේ.
 මොකද අපිත් දෙපාරක් විතර මේ රටේ කවුන්සලින් කියල හඳුන්වන සායන දෙකකට ගිහින් තියනවා. ඒ දෙකම එක වාරයෙන් අවසන් වුනා. දෙතැනදීම අපි දෙදෙනාගේ වැරදි එකිනෙකාට කියා ගත්ත එකයි කළේ.  අපි දෙන්නටම තේරුම් ගියා ඒවා එපමණ වැදගත් නැහැ බිග් ස්කීම් එක ගත්තම. ඒ කියන්නේ ජිවිතේ සම්පුර්ණයෙන්ම ගත්තම පොඩි දේවල් මකා ගන්න පුළුවන් කියන එක. අපට මේ දෙවරේදීම   සායනය කරපු උපදේශිකාව සහ උපදේශක තැන කීවේ අපට අපේ දේවල් බේරා ගන්න පුළුවන් කියල. තව දුරටත් සායනයන්ට ඒම අනවශ්‍යයි. කැමතිනම් විතරක් එන්න කියල. 

බුද්ධිකා අනුගමනය කරන්නේ: අඹුසැමි දෙන්නටම අනිත් කෙනාගේ අගය, කෙනෙක් අනික් සහකරුට සහකාරියට කොපමණ ආදරය කරනවද , සලකනවද වගේ දේ,  ගෞරව කරනවද වගේ දේ ගැන  කතා කරන්න අනුබල දෙන එක. මට හිතුනේ එහෙමයි. දෙන්නට දෙන්නගේ වටිනාකම ඉබේම දැන ගැනීමට සැලැස්වීම වගේ දෙයක්. මේ අවස්ථාවේදී ඒ සායනික ක්‍රමය සාර්ථක වෙලා තියෙනවා. 

මම  ඔෆිස් එකට අරන් ගිහිල්ල ලන්ච් වෙලාවේදී  පොත නැවතත් කියවන්න ගත්ත. පොතේ හුඟක් තැන්වල ඉංග්‍රීසි වචන භාවිතා වෙනවා. සමහර තැන්වල පරිවර්තනය එක්ක.  සාමාන්‍යයෙන් ලංකාවේ උගත්, ඉදිරි පෙළක රැකියා කරන බහුතරයකගේ කතා විලාසිතාව ඒක කියල මම දැකල තියෙනවා. නමුත් ඒකම පොතකට ආදේශ කරන එක අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නේ. අතරින් පතර අමාරු සිංහල වචනයකට ඉංග්‍රීසි වචනයත් භාවිතා කරන එක සිරිතක්. හැබැයි මේ පොතේ  ඒක ටිකාක් වෙන්න වැඩියි වගේ ගතියක් දැනුන.  මේ ලිපිය ලියද්දිත් පොත අනුකරණය කරලා  සමහර  තැන්වල මම ඉංග්‍රීසි වචන දැම්ම. 
 

එක කවියක් තියෙනවා තේරෙන්නෙම නැති . 

"හිම අත්ලක් ඝනකර 
, කළු කෝපි  මුහු කර
, මධු විතින් නාවා 
හතරකොන් ගිනි ලා 
හැදූ නිමැයුම 
ඇතීනා --"
හරි හිම ටික අතට ගොනු කර ගත්ත.කළු කෝපි  දැම්ම , ඇල්කොහොල් වත් කරා, ගිනි තිබ්බ - එතකොට පට පට ගාලා ගිනි ගන්නවා. ඒ ඇතීනාලු . ඒ කියන්නේ එළියෙන් පිපිරුවට ඇතුල   සීතලෙන් ගල් වෙච්ච  ගැහැනියක්?? එහෙම නැත්නම් එළියෙන් ගිනි ගන්නව වගේ පෙනුන්නට ඇතුළෙන් සීතල නිවිච්ච කෙනෙක්. - මම අත ඇරලා දැම්ම  ඒක විසංයෝජනය  කරගන්න එක. 

අඹුසැමි ප්‍රශ්න ඇතිවන නිවසක මේ වගේ පොතක් අරන් කියවන එක හොඳයි. මොකද යුගල සායනික ක්‍රමයක් (Couple therapy)  ගැන කීවත් ඒක හුගක් සරල විධිහට හොඳ උපමාවකින්  පැහැදිලි කරලා දෙන නිසා. අනික මේ වගේ ක්‍රමයක් තමා CBT (Cognitive behavioral  therapy ) කියන්නෙත්. ඒ ක්‍රමයේදී වැඩි අවධානයක්  දෙන්නේ හිතන විධිහෙන්  හැසිරීමට මොන වගේ බලපෑමක් දෙනවද කියන එක ගැන. ඉතින් අපි සහකරු හෝ සහකාරිය ගැන ආදරයෙන් හිතෙනවා නම් , ආදරයෙන් රැක බලා ගන්නවා නම් එතනම සිතයි ගතයි   සුවපත් වෙන්න මාර්ගය හැදෙනවා නේ.  මම හිතන්නේ මට තේරුනා. 

බුද්ධිකා  එරන්දිගේ කුළුඳුල් පොතට  හද පිරි සුභ පැතුම්.  
  
  



Tuesday 3 May 2022

ගෝටා ගෝ ගම ලන්ඩනය , ගෝල්ෆේස් සටනට සහය පිණිස


පසුගියදා  ලන්ඩනයේ ගෝටාගෝගම පිහිටුවන ලද්දේ අගෝරා කළා කවයේ සොයුරන් පිරිසක් විසිනි.  ශ්‍රී ලංකාවේ ගෝල්ෆේස් හිදී මෙන්ම මුළු ශ්‍රී ලංකාව ට පුරාම පැවැත්වෙන අරගලයන්ට සමගාමිව ඒවාට සහයක් ලෙසින් මෙය පිහිටුවන ලදී. මේ ලන්ඩන් ගෝටාගෝගම සංකේතාත්මක විරෝධය දෙසතියක් පුරා පැවැත්වීමට සංවිධායකයන් බලා  පොරොත්තු වේ.  


ශ්‍රී ලංකාවේ පවතින තත්වයන්ට අනුකුලව මේ අරගල ඉබේ පැන නැගුනු බව සැබෑවකි. ඇතැම් දේශපාලන පක්ෂ ඒවා අසංවිධානාත්මක අරගලයන් බවට නිර්වචනය කරන ලද්දේ එබැවිනි. ඒ අදහස  ජනතා ජන බලවේගයේ ටිල්වින් සහෝදරයා  විසිනි. ඉන්පසු ඔවූහු එයට නායකත්වය දීමට සුදානම් බවද ප්‍රකාශ කළේය. එයට ගෝල්ෆේස් විරෝධතාකරුවන්ගෙන් දැඩි ප්‍රතිචාරයක් ලැබුණි.


සමගි ජන බලවේගය වුවද මුලදී විරෝධතාකරුවන් සමග සිටි බවක් නොපෙනුණි. සමාජ ජාලා  ක්‍රියාකාරීන්, නිදහස් මාධ්‍යවේදීන්, නීතිඥ සංගම් ඇතුළත්වුනු අරගලය මුලින්ම පැන නැගුනේ ආර්ථික ප්‍රශ්න වැඩිවීමත් සමගය. ඉන්පසු විදුලිය කැපීම, ගෑස්, භූමිතෙල්, පෙට්රෝල් වැඩිවීමත් මෙන්ම  අධික ලෙස පරිභෝජන භාණ්ඩ මිල වැඩිවීමත් රට පුරා අරගල පොඩි ගැසීමට  බලපෑවේය.

අන්තර්  විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (පෙසපේ බලය ඇති) අරගලයට සම්බන්ධ වුනේ සංවිධානාත්මකවය. එසේම 43 සේනාංකයද මුල සිටම අරගලයට සහය දෙන බව දක්නට ලැබුණි.






සමබිම පක්ෂය ඇතුළු කොටසක් මෙය දකින්නේ මධ්‍යම පන්තියේ අරගලයක් ලෙසිනි. ගෝල්ෆේස් හි සම්බන්ධ වන බොහෝ දෙනා  විදුලිය නැතිකමින් ෆේස්බුක් යාමට නොහැකිව එන අයසේ මුලදී පෙනුනද එය සැබෑවක් නොවේ.  ති විශාල කර්මාන්ත ශාලා නොමැති අර්ධ කෘෂිකාර්මික රටක කම්කරු පන්තිය මෙහෙයවන අරගල තිබිය නොහැකි බව රටේ පවතී 1980 වර්ජනය, 1971 සහ 1988 තරුණ නැගිටීම්ය වලින් පැහැදිලි විය.  ආචිර්ණකල්පික මාක්ස්වාදී මතවාදයෙන් බැලුවහොත්  මධ්‍යම පාන්තික අරගලයක් සේ පෙනෙන මෙයට පශ්චාත් නුතනවාදී හා පශ්චාත් මාක්ස්වාදී පක්ෂ විරුද්ධ වන්නේ කෙසේද යන්න වටහා ගත නොහැකිය. හොඳින් විමසා බැලුවහොත් උඩරට වතු කම්කරුවන්ගේ සිට නිදහස් වෙළඳ කලාපයේ ශ්‍රමිකයන් දක්වාම සටන පැතිරී ඇති බැව් නිරීක්ෂණය කළ හැකිය. එසේම ගෝල්ෆේස් හි මෙන්ම අනිකුත් ප්‍රධාන නගරවල දෛනික පඩියට රැකියා කරනවා ජනකායක් ද අරගලයට එක්වෙමින් සිටිති. එනිසා මධ්‍යම පන්තියක නායකත්වයෙන් පටන් ගැනුණ අරගලයේ විභවය මුළුමහත් ශ්‍රී ලංකික සමාජය හරහා විහිද යමින් එය අවුළුවා ඇත.

දේශපාලන පක්ෂ විසින් කල යුත්තේ මහජන අරගලයක් තුල දියවී යාම මිස එයට බාහිරින් නායකත්වය සැපයීමක් නෙවේ. මහජන අරගලයක් තුලින් සාර්වාදී රාජාණ්ඩුවක් පලවා හැරී 1918 පෙබරවාරියේ නායකත්වයක් තිබුනේ නැත. එය පැමිණියේ පසුවය.  අරගලයේ දියවෙන සවිඥානක බලයන් අතුරින් නිසි නායකත්වයන් බිහිවෙනු ඇත. 

 ශ්‍රී ලංකාවේ විදේශ සංචිත හිඟවීම නිසා  මෙන්ම ගෝඨාභය පාලනය විසින් ගත්  නොයෙකුත් වැරදි සහගත  තීරණ නිසාද ලංකාවේ ආර්ථිකඅර්බුදය උග්‍ර වී ඇත. අර්බුදය විසඳීම  සඳහා මුලික වශයෙන් මාවත් දෙකක් යෝජනා වී ඇත. 
ඒ නම් අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් ණය  සහනයක් ලබා ගැනීම , ඉන්පසු ණය ප්‍රති ව්‍යුහගත කිරීම, රාජ්‍ය  සේවය කප්පාදු කිරීම, සහනාධාර කප්පාදු කිරීම ආදිය එක් විසඳුමකි. දුෂන් හා වංචා අවම කිරීමද, පළාත්සභා වැනි සුදු අලි අහෝසි ක්රිමද, මැති ඇමති හා පරිපාලන නිලධාරීන් පමණක් භුක්ති විඳින අනවශ්‍ය වරප්‍රසාද කප්පාදු කිරීමද මේ අතර වේ.

එයට ප්‍රතිවිරුද්ධව අන්තර්ජාතික මුල්‍ය අරමුදලට නොයා ජාතික දළ  දේශීය නිෂ්පාදනය වැඩි කිරීම , ආනයන තව දුරටත් සිමා කිරීම, චීන පන්නයේ ක්‍රමයකට ආගමනය වීම යන දෑ යෝජනා වේ.  මේ යෝජනාව බොහෝ දුරට  අසාර්ථකවූ  හැත්තෑව දශකයේ මුල පවතී සිරිමා  පාලන  ක්‍රමයේ පිළිඹුවක් සේ ඇතැමුන්ට පෙනී යා හැක. නමුත් මේ ක්‍රමය තුල ලාභ ලබන ආයතන ජනසතු කිරීමේ සුදානමක් නැත. ඒ වනුවට  ඒවාට  චීනයේ මෙන් දිරි ගැන්වීමක් කරනු ලබයි.   

ඒ කෙසේ වුවද මේ ක්‍රම දෙකෙන්ම සෑහෙන පමණක පීඩනයක් ජනතාවට දරා සිටීමට සිදුවේ.  මේ නිසා ඒ ක්‍රම දෙකෙන් කුමට වුවද මහජන අනුමැතිය ලබා ගත යුතුමය. 
මගේ අදහස නම් වර්තමාන රාජ්‍ය පාලකයන් මුලින්ම ඉවත් විය යුතු/කලයුතු බවය. ඉන්පසු පැමිණෙන තාවකාලික රජයක්ඉහත  විසඳුම් දෙකම ජනතාව ඉදිරියට පමුණුවා ජනතාවගේ  බහුතරයේ කැමැත්ත මත ක්‍රියා කළ යුතුය. 

ගෝල්ෆේස් අරගලය ශ්‍රී ලංකාවේ  ඉතිහාසයට දැනටමත් එක්වී හමාරය.  එයට සහය දැක්වීමක් වශයෙන් ලෝකය පුරා  ජීවත්වෙන ශ්‍රී ලාංකික  සම්භවයක් සහිත ජනතාව  එක්ව උද්ඝෝෂණය කරති. 2022 අප්‍රේල් 30 පිහිටවූ ලන්ඩනයේ ගෝටාගෝගම මෙන්ම  මැයි පළමුවෙනිදා සියලුම පක්ෂ හා ජනතාවන් එක්ව  කල ප්‍රබල උද්ඝෝෂණය  සහ රැලියටද සහභාගී වුනෙමි.  ප්‍රථම වරට සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ජාතීන් වශයෙන් එකතුව  සමගී ජන බලවේගය, ජාතික ජන බලවේග, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වෙනත් කළා සංවිධාන වල එකමුතු සංවිධායකත්වයෙන් මේ උද්ඝෝෂණය පැවැත්වීමද ,ආස්වාදජනකය. ඔවුනොවුන් අතර ඇති භේද තාවකාලිකව හෝ  පසෙක ලා දුර්දාන්ත රාජපක්ෂ පාලනය අවසන් කිරීමට සියල්ලෝම එකාවන්ව සමගිව උද්ඝෝෂණය  කළහ.

මේ එහි අවස්ථා කිහිපයකි.  







අවසන් වශයෙන් ඕස්ට්‍රේලියාවේ ජිවත් වන මගේ යහළුවෙකු ෆෙස්බුක්හි ඇසූ ප්‍රශ්නයක් සහ මගේ පිළිතුරත් මෙහි උපුටා දක්වමි. 
: අවුරුදු 20-30 කට කලින් ලංකාවේ ජීවත් වෙන්න බැහැ කියලා වෙන රටකට ගිහින්, ඒ රටේ පුරවැසි භාවය අරගෙන, ළමයින්ට හොදට උගන්නලා, වැඩිදුර ඉගෙනගෙන රස්සාවක් කරලා සල්ලි ටිකක් හම්බ කරගෙන, වෙන වැඩක් නැති කමට කරන අරගලය.
I think all these people should be protesting against those members of British parliament who watch porn inside their own Parliament.
!
හිනා වෙන්නේ මොන කටෙන්ද කියලා හිතෙනවා.

මගේ පිළිතුර වූයේ මෙයයි: 

1. මම  ලංකාවේ ජිවත් වෙන්න බැහැ කියල ලන්ඩනයේ  ජිවත් වෙන්නේ නැහැ. මට ඉන්න වුනේ වෙනත් පෞද්ගලික  හේතුවක් නිසා. (මේ හේතුව පොල්කට්ටෙන් එපිටට පොතේ ලියා ඇත. බ්ලොගයේ මුල් ලිපිවල සඳහන් වේ)

2.  මට ඕන තරම් වැඩ තියනවා කරන්න . ලියන්න ගත්ත බ්ලොග් ලිපි, පොත්, අතරමග. පටන් ගත්ත පාඨමාලා අතරමග. මම මේ අරගලයට සහභාගී වෙන්නේ මට හරි ගිය හින්ද නෙමේ. මට කන්න තියෙන නිසා නෙමේ. මගේ දරුවෝමෙහෙ තියෙන හොඳ යුනිවසිටි වල ඉගෙන ගන්න හින්දත් නෙමේ. මට හොඳ රස්සාවක් තියෙන බවත් අනිකුත් නිවාස  වාහන වැනි භෞතික දේ තියෙන බවත් අවුරුද්දට දෙතුන් වතාවක් නිවාඩු යන එකත් මේ ඔක්කොම ඇත්ත. 
ඉතින් ඒවා ලංකාවේ මිනිසුන්ට අකැපද? ඒ මිනිසුන්ගෙන් කාලක් හරි එහෙම ජිවත් වුනේ නැත්ද කලින්? දැන් හැමෝටම අමාරුයි රාජපක්ෂලා ඇර.
මම අරගලයට ආවේ මේ වෙලාවේ ලංකාවේ ජිවත් වෙන අයට උඹල උදව් කරලා පත් කරපු 'ස' ගේ ආණ්ඩුව මෝඩ කමින් කෙළවල තියෙන නිසා.
රෝහල් වල බෙහෙත් නැති නිසා, එළවලු ගණන් නිසා. කෑම ගණන් නිසා.  සල්ලි අතේ නැති, පිටරට කවුරුත් නෑදෑයො නැති අය  එක වේලක් කාල යන්තන් ඉන්න නිසා. ගෑස් නැති නිසා. පෝලිම් නිසා. 
මමත් ඒ තත්වේ ඉඳල  බැට කාල තියනවා අවුරුදු හතළිහකට කලින්. ලංකාවේ මිනිස්සු නැවතත් ඒවගේ තත්වේකට පත් කරනවා කියන්නේ මොන කාළකන්නි  කමක්ද?
හොඳට හිටි මධ්‍යම පන්තිය පහලට දාල. ඊට යටින් හිටි එවුන් තවත් පහලට දාලා නිසා. උන් වෙනුවෙන්.  මම මෙතනට සජිත් වෙනුවෙන් ආවේත් නැහැ. ෆොන්සේකා, පාඨලී වෙනුවෙන් ආවේත් නැහැ. අනුර කුමාර වෙනුවෙන් ආවේත් නැහැ. කුමාර්  හෝ දීප්ති වෙනුවෙන් ආවේත් නැහැ. මම ආවේ ලංකාවේ මගේ  සහෝදරයෝ, සහෝදරියෝ, යාලුවෝ, යෙහෙළියෝ ඇතුළු ලංකාවේ හැමෝම වෙනුවෙන්. 
මේකෙන් මේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නැති වෙයි, නමුත් විරෝධය පල කරන එක වැදගත්, දැනටමත් පාරවල් වල පිඹගෙන ලයිට්  දාගෙන යන ඌරෝ ටික ඒව නවත්වල. රඹුක්කන පොලිසියෙන් වෙඩි තියපු අය අල්ලලා. කැබිනට්  එක අස් වෙලා. මිනිස්සු ජාතිවාදෙට රැවටෙන්නේ නැහැ, එනිසා හොඳ දේවල් වෙනව. 

ගෝටාගෝගම ලන්ඩන් විරෝධතාවය මැයි 13 දක්වා පැවැත්වේ. මේ එහි ෆෙස්බුක්පිටුවයි. 

අද අනුරකුමාර දිසානායක මහතා ෆයිල් වගයක් එලි දක්වා තිබේ. මේ ආණ්ඩුවේ පමණක් නොව පසුගිය ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ෆයිල් ඒ අතර තිබෙන බව සඳහන්ය.  එයඉතා  ප්‍රවණතාවයකි.  හැමදාම සිදුවූ එක්  කට්ටියක් වෙනුවට එවැනිම වූ තව පිරිසක්  පත් කිරීමේ තත්වයෙන් ශ්‍රී ලංකාව මිදිය යුතුමය. මේ අරගලය තුලින් එය මතු වේවා යයි පතමි. 


2022 මැයි 06 හර්තාලය


හර්තාලය පැවැත්වෙන්නේමැයි හය වනදාය. සුභ පැතුම්.


අරගලය සම්බන්ධ මුල් ලිපි: