Sunday 26 February 2023

ටිල්වින් සිල්වා සහෝදරයාට චිත්‍රපටයක්



මා ජවිපෙ යාවජිව ලේකම් ටිල්වින් සහෝදරයා සමග කල සාකච්ඡාවේදී යම් චිත්‍රපටයක්  ගැන සඳහනක් කළෙමි. සාකච්චාවේ  යූ ටියුබ් වීඩියෝවට මේ යොමුවෙන් යන්න. පසුව ජාතික ජන බලවේගයේ ලනඩනයේ පැවති සමුළුවට සහභාගිවී ෂාරුක් ඛාන් ජයතිස්ස මැයෙන්  ලිපියක්ද ලීවෙමි. එම ලිපියේ ඇතැම් කරුණු ගැන සමහර මිත්‍රශීලි අදහස් එතරම් නිවැරදි නොවන බව මගේ හැඟීමයි. උදාහරණයක් වශයෙන්  "ෂාරුක් ඛාන් ජයතිස්ස"  කියා ලියුවේ ඒ මහතා ෂා රුක් ඛාන් වැනියයි කීමට නොවේ. (එසේ කියා නලින්ද මහතා අපහසුතාවයකට ලක් කිරීමටද නොවේ) . ජාතික ජන බලවේගය කිසියම් ප්‍රමාණයක ජනප්‍රියවාදී වාම දේශපාලනයකට හසු වී  ( left-wing  populism ) ඇති බව කීමටය. 

 එසේම ජයතිස්ස මහතා සෙල්ෆි කරුවන් සමග වමට, දකුණට , ඉහළට පහළට යාමක් කෙසේ වෙතත් ඔහු එම අයගෙන් මෑත් වී ඇවිදගොස් අනිකුත් අයට කතා කිරීමට ගත් උත්සාහය මම දුටුවෙමි.  කිසියම් පාක්ෂිකයන් පිරිසක් සමහ සුහද කතා බහකට සැරසුණු වහාම ඔහු නැවත නැවතත් සෙල්ෆි කරුවන්ගේ ග්‍රහණයට හසු වෙමින් වටේ යයි. එය ලිවීමෙන් මා අදහස් කලේ වර්තමාන ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ තත්වයයි. ඔවුන් ගේ පාක්ෂිකයන් සහ ආධාරකරුවන් විසින් එම බලවේගය නොයෙකුත් දිශානති  වලට වමට, වඩා වමට , දකුණට, ප්‍රතිසංස්කරණ පැත්තට  ඇදගෙන යාමක් පෙන්නුම් කරන්නේ නැතිද? ඉතා ඉක්මනින් ඔවුන්ට එය තමන්ට අවශ්‍ය දිශානතියට හසුරුවා ගැනීම නොවැළක්විය හැකි වනු ඇත.  

ටිල්වින් සහෝදරයා සමග වීඩියෝවට ප්‍රථම කළ කතාබහේදී 1960 ගණන්වල අග භාගයේ සිට හැත්තෑවේ දශකයේ අග දක්වා කාලයේ සෝවියට් දේශයේ ස්වර්ණමය යුගය ලෙස ඔවුන් සලකන බව මට පැවසීය. සමරවිට ජවිපෙ නායක රෝහණ විජේවීර ඒ කාලයේ වසරක් දෙකක් සෝවියට් දේශයේ ගත කළ නිසාද යන්න නොදනිමි.  කෙසේ වෙතත්  ඒ කාලය ගැන නිවැරදිව  පෙන්වන චිත්‍රපටයක්  මම තෝරා ගතිමි. ඒ "මොස්කව් කඳුළු මත විශ්වාසය තබන්නේ නැත "  යන චිත්‍රපටයයි  (රුසියන් වලින් මොස්ක්වා  ස්ල්යෝසම් න්යේ  වේරිත් "Moscow Does Not Believe in Tears")


එය පිටවූයේ 1979 දී  වන අතර අධ්‍යක්ෂක වරයා වුයේ ප්‍රසිද්ධියක් ඉසිලූ  ව්ලැඩිමීර් මෙන්ශෝව්ය. තිර රචනය එලසේම  ප්‍රසිද්ධ වැලන්ටින් චෙර්නික් ගේය.  මේ චිත්‍රපටය ට 1981 දී අමෙරිකාවේ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි ඇකඩමි අවෝඩ් සම්මානය ද ලැබුණි. 

මුල් කොටසේ කතාව පටන් ගන්නේ 1958 වසරේ ජීවත් වූ කම්කරු කෙල්ලන් තිදෙනෙක් වටාය. ගාමන්ට් කෙල්ලන් ගැන කතා කිහිපයක්ම මම ලියා තිබේ. රුසියාවේ පෙබරවාරි විප්ලවයට මුල් වූයේද ඔවුන්ගේ පෙළපාලියක් වුවත් ඉතිහාසය විසින් එය වසා දමා තිබේ. කැතරිනා හෙවත් කේට්, ලුද්මිලා හෙවත් ලූදා සහ ඇන්තොනිනා ජිවත් වන්නේ කම්හලක රැකියාව කරමින් කම්හල විසින් සපයන ලද නේවාසිකාගාරයකය. මෙවැනි රබෝචි දොම් හෙවත් ශ්‍රම දායකයන් සඳහා නේවාසිකාගාර අප උගත් කාලයේද තිබුණි. ඒ කියන්නේ ලංකාවේ  මෙන් අඩු පහසුකම් සහිත ගෙවල් හිමියන්ට අධික මුදල් දෙමින් හුන්ඩු වැනි කාමර වල තෙරපෙමින්  බැනුම් අසමින් සිටින තැන් නොවේ. ඇත්තටම මේ කාමර පොඩි ඒවා නොවේ. ඔවුන්ට පොදුවේ භාවිතා කරණ කුස්සිද, නාන කාමර ද තිබුණි. චිත්‍රපටයේ පෙන්වන්නේ එවැනි සැබෑ තැනකි. 

අධ්‍යක්ෂකවරයා සූක්ෂම ලෙස කපන කතුරෙන් මිදී සැබෑ තත්වය පෙන්වන තැන කිහිපයක් තිබේ. අසූ ගණන්වල එදවස වාමාංශික ට්‍රොස්ට්කි වාදියෙකු වූ ආචාර්ය නලින්ද  සිල්වා මහතා "දිවයිනේ" පළ කල  ලිපි පෙලකදී සෝවියට් දේශයේ "සමාජවාදී පංතියක්" ගැන ලීවා ටිල්වින් සහෝදරයාට මතක ඇතැයි සිතමි.  මේ කෙල්ලන් තමන් සිටිනා කම්කරු නිවස්නය ගැන කියන්නට කැමැත්තක් දක්වන්නේ නැත.  දෙතුන් වතාවක් ම ලුදා තමන් ගේ අත පතා එන පිරිමින්ට කියන්නේ ඇය වැදගත් පවුලක කෙල්ලක් බවත් ඔවුන් සිටින්නේ ලස්සන නිවසක බවත් පවුලේ අය සමග ආහාර ගන්නා බවත් ආදී වශයෙනි. නමුත් නේවාසිකාගාර යේ පිළිගැනීමේ තැන රැකවලේ සිටින මහලු කාන්තාවට එය සැම විටම වැරදෙයි.

ඔය අතරේදී කැතරිනා ගේ මාමා කෙනෙකුට කළු මුහුදේ නිවාඩුවකට යාමට ලැබේ. (මමද  කළු  මුහුදේ නිවාඩුවකට  ගිය අතර එය කලේ විශ්ව විද්‍යාලයට හොරෙනි.) රජයේ වියදමින් කළු මුහුදේ නිවාඩු යාමට වරම් ලැබෙන්නේ පක්ෂයේ නිලධාරීන්ට, ඉහල රජයේ සේවකයන්ට, ප්‍රසිද්ධ නළු නිළියන්ට , අඅධ්‍යක්ෂක වරුන්ට ගත් කතුවරුන් සහ පිටරට වලින් පැමිණෙන මොස්කව් වලට හිතවත් රාජ්‍ය තාන්ත්‍රිකයන්හටය.  ඉතින් නලින් ද සිල්වා ගේ අර "සමාජවාදී පන්තියේ" මාමා නිවසේ යතුර කැතරිනා ට භාර දී යන්නේ සුරතල් බල්ලාද බලා ගන්නට දීමෙනි. ලුද්මිලා සහ කැතරිනා මේ අවස්ථාව යොදා ගන්නේ  තමන්ට හොඳ ඉහල  "සමාජවාදී  පන්තියේ " පිරිමියෙකු හොයා ගන්නටය. ඔවුන් ආරාධනා කරන අය අතර විශ්ව විද්‍යාල මහාචාර්ය වරු, කථිකාචාර්යවරයෙක්, කතු වරයෙක්,  ,උසස් රජයේ නිලධාරියෙක්, රුපවාහිනී කැමරාකරුවෙකු වන රුඩොල්ෆ් හා    නිෂ්පාදකයෙක් හා පදක්කම් දිනූ  සෝවියට් හොකි ක්‍රීඩකයෙක් වන සෙර්ගේයි  ආදීන් සිටිති. 

චිත්‍රපටය නරඹනවිට  රජයේ නිලධාරියා පෝලිම් වල නොයිඳ පන්නාගෙන  එන කෑම බෑගයෙන් එලියට ගන්නා අයුරු නිරීක්ෂණය කරන්න. ඉතින් මේ පාටියේ දී වංචාකාරී ලෙස කතා කරන රුපවාහිනී කැමරාකරු රුඩොල්ෆ්  ට රැවටෙන කැතරිනා ඔහු සමග සංවාසයේ යෙදෙයි.  රුඩොල්ෆ් කැතරිනාට  තම නිවසට ආරාධනා කරන අතර "ඉහල සමාජ  තත්වයක්"  ඇති කැතරිනාට ඔහුගේ මවද කැමති වෙයි.  ඒ අතරේ කැතරිනා වැඩ කරන කම්හලට එන රුඩොල්ෆ් දකින්නේ තමන් "ඉහල සමාජවාදී පන්තියේ " යයි මවා පෑමක් කළ කැතරිනා සැබැවින්ම  කම්කරු කාන්තාවක බවයි.  ඒ අතරේ  කැතරිනා ගේ යෙහෙළිය ලූදා ද ප්‍රසිද්ධ හොකි ක්‍රීඩකයා සමග යහළු වෙයි. 

අවාසනාවකට මෙන් කැතරිනා රුඩොල්ෆ් නිසා ගැබ්බර වෙයි.  ඒ දිනවල කාන්තාව විසින්  පියා නම් කරන්නේ නම් ඔහු තමන් ගැබ් කළ කාන්තාව විවාහ කර ගත්ත යුතුය. කැතරිනා සොයා එන රුඩොල්ෆ් ගේ මව කැතරිනා ට බැන වදින්නේ තම නිවසේ තවත් දෙදෙනෙකුට ඉඩ නැති බවද තමන් ඇති තරම් කාලයක් කොමියුනාල්ක වල ජීවත්වූ බවද පවසමිනි. 

සාර් රජ කාලයේ  තිබූ ධනවතුන්ගේ විශාල නිවාස, මාලිගා, ධනපතියන් ගේ කම්හල් , සාප්පු  ආදිය විප්ලවයෙන් පසු ජනසතු කරන ලදී. මේවා  සාමාන්‍ය ජනතාවට ලබාදීම මගින් දිළින්දන් ගේ නිවාස  ප්‍රශ්නය මදක් දුරට විසඳන ලදී. ඒවායේ කාමරයක්  හෝ දෙකක්  පවුලේ විශාලත්වය අනුව ලැබේ. වැසිකිලි, නාන කාමර සහ කුස්සිය තවත් පවුල් හතරක් පහක්  සමග පොදුවේ භාවිතා කළ යුතුය. කොමුනාල්ක කියන්නේ ඒවාටය. ඒවායේ ජිවත් වීමට බොහෝ මොස්කව් වාසීන් අකැමතිය. තමන්ගේම නිවසක් මහල් නිවාස  පද්ධතියකින් ලබා  ගැනීමට පෝලිමේ සිටිය යුතුය. ඒ අතරේ පක්ෂ හැඳුනුම් කමක් හෝ වෙනත් ක්‍රමයකින් මහල්  නිවසක් කලින් ලබා ගත හැකිය. පක්ෂයේ වැඩ කරන අයට සහ සයිබීරියාවේ පතල් වල වැඩ කරන කම්කරුවන්ට නිවෙස් ඉක්මනින් ලැබේ.  රුඩොල්ෆ්  කැතරිනා සමග විවාහ  වන්නට අකමැති වන්නේ ඔහුට  අනාගතය ගැන වෙනත් සිහින තිබෙන බව කියමිනි.    

මේ තිදෙනා අතරින් අන්තොනිනා යහළු වී සිටින්නේ සෙර්ගෙයි සමගය. සෙර්ගෙයි මහන්සි වී වැඩ කරන අයෙකි. ඔහු ගේ දෙමාපියන්ට මොස්කව් වලින් පිටත ප්‍රදේශයක දාචාවක් තිබේ. දාචා යනුවෙන් ග්‍රීෂ්ම සමය ගත කරන නිවෙස් බොහෝ මොස්කව් වාසීන්ට තිබේ. ඒවායේ ඔවුන් නොයෙකුත් වගාවන් කරති. සීත කාලයට අවශ්‍ය අර්තාපල්, තක්කාලි වෙනත් එළවලු ආදිය  වගාකර ගබඩා කර ගනිති. ඒවායින් අඩුපාඩුවක් නැති බව චිත්‍රපටයේ පෙන්වයි. අප සිටි කාලයේදී ද මේ තත්වය එලෙසේමය. ඔවුන් සති අන්තය ගත කරන්නට තෝරා ගන්නේ මෙවැනි  දාචා නිවෙස්ය, සමහර විට ඒවායේ නළ ජලය නැති අතර ජලය අසල ළිඳකින් සපයා ගත යුතුය. 

කැතරිනා ට කම්කරු ජිවිතයේ දිගටම සිටින්නට අදහසක් නැත. එනිසා ඇය  රසායනික විද්‍යාව පිලිබඳ උපාධියක් කිරීමට අදහස් කරගෙන සිටියාය. එසේ වුවත් ඇය තම දරුවා තනියම හදා වඩා ගැනීමට තීරණය කරයි. බොහෝ  අපහසුතා මධ්‍යයේ ඇය මහන්සිවී ඉගෙන ගනී.

කතාවේ දෙවන කොටස අවුරුදු විස්සකට පසු සෝවියට් දේශයේ හැත්තෑවේ කාලය නිරූපණය කරයි. කැතරිනා ගේ දියණිය  ඇලෙක්සන්ද්‍රා පියකරු යොවුන් වියේ පසුවන්නීය.කැතරිනා  දැන් එම  කම්හලේම අධ්‍යක්ෂක වරියයි.  ඇයට තමන්ගේම විශාල මහල් නිවසක් තිබේ. ඇයට නැත්තේ ආදරයක් පමණි. මහන්සිවී ඉගෙන ගත්තොත් සෝවියට් රජයේ ඉහල තැනකට පැමිණිය හැකි බවට පෙන්වන සෝවියට් පරමාදර්ශයක් වන්නේ කැතරිනාය.  අන්තෝනිනා තමන්ගේ සරල පැවතුම්  ඇති සෙර්ගෙයි සමග විවාහ වී දරුවන් සමග සතුටින් ජිවත් වෙයි. එයද සෝවියට් පරමාදර්ශයට සමගාමී වේ. ඔවුන්ගේ මොස්කව වලින් එපිට දාචාවද   එලෙසම තිබේ. සති අන්තයට යෙහෙලියන් තිදෙනා එහි ප්‍රීතියෙන් සහ අතිතානුස්මරණයෙන් ගත  කරති.  

ප්‍රසිද්ධිය සහිත සැමියෙක් හඹා ගිය ලුදා ප්‍රසිද්ධ හොකී ක්‍රීඩකයා  විවාහ කර ගනී. නමුත් ඔහු මත්පැන් ලෝලියෙකි. ඔවුන් දික්කසාද වී ඇත. සෝවියට් දේශයේ පිරිමින්  ගේ මධ්‍යසාර භාවිතය ඉහල මට්ටමක  තිබු අතර වොඩ්කා මිල අඩු නිසා  මත්පැන් ලෝලීන් ද වැඩිය. ඒ ප්‍රශ්නය පසුව ගොර්බචෝව් ටද  හිසරදයක් විය.  

දාචා නිවසට  ආපසු එනා කැතරිනා ට දුම්රියේදී  ගෝෂා හමුවේ. විශ්වවිද්‍යාල පර්යේෂණාගරයක උපකරණ නිපදවන නුවණැති අයෙකු වූ ගෝෂා  සමග කැතරිනා පෙමින් බැඳේ. ඔය අතරේ එම කම්හලේ  අධ්‍යක්ෂකවරිය සමහ සම්මුඛ සාකච්චාවක් කිරිමට එන රුපවාහිනී කණ්ඩායමේ රුඩොල්ෆ් තමන්  අත්හැර දැමු පෙම්වතිය දැන් අධ්‍යක්ෂිකාවක් බවද ඔහුට දියණියක් සිටින බවද දැන ගනී. කැතරිනා  ප්‍රතික්ෂේප කරයි,  දියණිය අලෙක්සන්ද්‍රා ගේ පෙම් හබයකට මැදිහත් වන ගෝෂා සමග කැතරිනා  විරසක වෙයි. නමුත් ඇය පසුව වටහා ගන්නේ තමන්ට සුදුසු තැනැත්තා නිහතමානී මිනිසකු වන ගෝෂා බවය. 

මම මේ සිනමා පටය දෙතුන් වරක් නරඹා තිබේ. ඒ හැම වතාවකම කලින් හරියට නුදුටු දේ නිරීක්ෂණය වේ. සෝවියට් දේශයේ  විද්‍යාඥයන් , අජටාකාශගාමින් මහාචාර්ය, ආචාර්ය  වරුන්, කතුවරුන්, ඇතැම් කලාකරුවන්, සංගීත වේදීන්  පක්ෂ බලධාරීන්  ආදීන් ඉන්ටෙලිජෙන්සියාව  ලෙස  හැඳින්වුනි. ඔවුන්ට කිසියම්  වරප්‍රසාද සහිත ජිවිතයක් තිබුණි. කැතරිනා ගෝෂා හමුවීමට කලින්  අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගියේද එවැනි විවාහකයෙකු සමගය. එවැනි සම්බන්ධතා බොහොමයක් සෝවියට් දේශයේ තිබුණි. කාන්තාවන් බොහෝ විට පිරිමින් තරම්ම නිදහස් නිසා විය හැකිය.    

චිත්‍රපටයේ ඉතා සියුම් ලෙස පක්ෂ නිලධාරීන්, ඉන්ටෙලිජෙන්සියාව සහ සාමාන්‍ය මිනිසුන් අතර පෙන්වයි. නමුත් චිත්‍රපටය සෝවියට් දේශයේ එදවස තිබූ තත්වයේ සොඳුරු බවක්ද පෙන්වයි. "සෝවියට් සිර මැදිරියේ සිට" නවකතාව  ලියූ ඔරුවල බන්දු  සිටියේද මේ කාලයේමය.    එය සිර මැදිරියක් වූයේ මිනිසුන්ට වෙනත් රටවලට යාමට නිදහස නොතිබූ නිසාද නැතිනම් බන්දුට ආචාර්ය උපාධිය  කිරීමට ඉඩ නොදීම නිසාද යන්න පැහැදිලි නැත.

නැගෙනහිර ජර්මනියේ උපත ලද මගේ බිරිඳද මේ චිත්‍රපටය මා සමග නැරඹුවාය. ඇය කියන්නේ සෝවියට් දේශයේ තිබූ තරම් නිදහසක් නැගෙනහිර ජර්මනියේ නොතිබූ බවය. ඇගේ දෙමාපියන් ඇයව පල්ලියේ  භෞතිස්ම කළ නිසා  ඇයට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට අවසර නොදුන් බව ඇය කීවාය. ඇයට ඉගෙනීමට ලැබුනේ දෙමාපියන් දියණියන් සමග බටහිරට ආ පසුවය.  මා උගත් විශ්ව විද්‍යාලයට පිට ගම් හා නගර වලින් පැමිණි බොහෝ සිසුන් කොම්සොමෝල් සාමාජිකයන්ය. 

ජවිපෙ  ගැන කියනවානම් මට හැඟෙන්නේ  කලින් ජාතිවාදී, ජාතිවාදී විරෝධී හා මධ්‍යස්ථ ඔලු තුනේ මකරෙකු සිටි  එය තුනට කැඩුනේ විරවංශ ජාතිවාදී පැත්තට ගොස්  කුමාර් ගේ පැත්ත ජාතිවාදී විරෝධි හා අනුරගේ පැත්ත මධ්‍යස්ථ ප්‍රතිසංස්කරණවාදී   ලෙස බෙදිමෙන්ය.    ඔවුන් පිහිටුවන රජයක් වඩා ලිබරල්වාදී එකක්  වේවිද නැත්නම් සමාජවාදී එකක් වේවිද යන්න කීම තවම අපහසුය.  බොහෝ විට සමාජවාදයට වඩා බර ප්‍රතිසංස්කරණ වාදී රජයක් වීමට බොහෝවිට අවකාශයක් තිබේ. 

-අජිත් ධර්මකීර්ති 26/02/2023

චිත්‍රපටය:



Saturday 18 February 2023

අර මැරිලි සහ මේ මැරිලි


ශ්‍රී ලංකාව හිටපු ගමන් අවදි වෙලා කියල පේනවා තරුණ වියට එළැඹෙන ළමයි තුන් දෙනෙක් ගුරුවරියකගේ ස්වාමි පුරුෂයාට ගහල මරපු එකට.  ඒ අතරේ ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කියනව වගේ තව කට්ටියලක්  රැඩිකල් අයට බනිනවා. අරගලේට බනිනවා. මානව හිමිකම් නිසාලු ඔක්කොම. එහෙමනම් ඉතින්  මානව හිමිකම් තියන,  ළමයින්ට ගහල හදන්නේ නැති ඔක්කොම රටවල කොල්ලෝ කෙල්ලෝ දිගට හරහට මිනිසුන්ව මරනවා ඇතිනේ. 

එහෙම නැහැ. බ්‍රිතාන්‍යයේ එහෙම සිද්ධි කිහිපයක් වාර්තා වුනා. පහුගිය කාලවල. ගෙයින් එලියට බැහැල කෑ කොස්සන්  ගහන කොලු රැලකට බනින්න ගිය පියෙක් මැරුම් කෑව කාලෙකට ඉහත කිංග්ස් ක්‍රොස් වල . සංචාරක තරුණියක් කිංග්ස් ක්‍රොස් පැත්තේ  ඇවිදින්න ගිහින් දූෂණය වුනා. අවස්ථා දෙකේදීම කරපු කොලුවන්ගෙන්   භාගයක්ම බ්‍රිතාන්‍යයට කාලයකට ඉහතදී සංක්‍රමණය වුනු  අයගේ දරුවන්. ඒ හැමෝගෙම පොදු සාධකයක් තිබ්බ. අම්ම තාත්ත දෙන්නම රැකියා වල .නිවෙස් වලට එන්නේ රෑ වෙලා. ඉස්කෝලේ ඇරිලා දඩාවතේ යන කොලු රෑනවල් ඒ පැත්තේ පිරිලා. හවසට ගෙදරට දෙමාපියෝ ඇවිත් රෑ කෑම හදනකන්  කරන්න වැඩක් නැතිව, ඉගෙන ගන්නෙත් නැතිව හිටපු  සෙට් එකක්. හැබැයි අර අහිංසක මව්පියන් අරන් දීල තියෙනවා හැමදේම. වටින ඇඳුම් පැළඳුම්, වටිනා මොබයිල්, මොපෙඩ් කියන පොඩි මෝටර් සයිකල් වගේ දේත් උන්ට තිබ්බ. 
කිංග්ස් ක්‍රොස් වල  ලොකු දුම්රිය පළක් තිබුනත් නීමට ඇවිදින්න යන්න බැරි පළාතක් වෙලා තිබුනේ. ගණිකාවෝ, මත්ද්‍රව්‍ය ගන්න අය වැහි වැහැල. පරණ හෝටල් හෙම අබලන් වෙලා ගිහින්. පරිසරය හිතා ගත්තේ හැකිනේ. 

ඔය වගේම මොපෙඩ් බයික් සෙට් එකක් අපේ පැත්තෙත් හිටිය . වැඩියෙන්ම ගැවසුණේ මැක් ඩොනල්ඩ්ස් එක ගාව. සුදු කළු මිශ්‍ර සෙට් එකක් එතන හිටියේ අර වගේම.  උන් හැබැයි මිනී මැරුවේ නැහැ. නමුත් උන් ඉන්න වෙලාවට ඒ පැත්තෙන් යන එක ටිකක් අවදානම්. 

බ්‍රිතාන්‍ය රජය මේ සිද්ධීන් වලට මුහුණ දුන් විධිහට මම කැමතියි. 

මුලින්ම සෙන්ට් මාර්ටින්ස් කියන කලා සහ මෝස්‌තර නිර්මාණ පිලිබඳ විද්‍යාලය ගේනවා මුලින් තිබුණු තැන ඉඳල කිංග්ස් ක්‍රොස් වලට.  එතකොට ඒ පැත්තේ ඉගෙන ගන්න එන ශිෂ්‍යයෝ නවාතැන් ගන්න පටන් ගන්නවා. 
 ඒ හදපු බිල්ඩිම මාර ලස්සනයි.  ඒ එක්කම මුළු පැත්තටම හොඳ ආයෝජනයක් කරලා. වෙනස් කරනවා 
පළාතේ මිනිසුන්ට අලුත් ආදායම් මාර්ග සහ රැකියා නිර්මාණය වෙනවා. 
අද ගූගල්  ඔෆිස් එකත් එතන. ලංකාවේ කෑම තියන අවන්හලක් තියනවා. ලෝකේ වටේම තියන රටවල කෑම ගන්න පුළුවන් ස්ථාන විරුටැහැ කරලා. අපි ලඟදි ගියා කොරියන් අවන්හලකට. හදල තියෙන විවෘත  මාකට් එකේ තමන්ගේ නිෂ්පාදන විකුනන්න පුළුවන් . අලුත් නිවාස හදල. හෝටල් අලුත්වැඩියා කරනන්  මුදල් ණයට දීලා . නැත්නම්  අලුත් ඒවා හදල. දැන් අපරාධ අඩුම පළාතක්. ඉස්කෝලේ ඇරිලා එන ළමයින්ට යන්න තැන් තියනව. කරන්න දේවල් තියනව. 
කිංග්ස් ක්රෝස්ස් වලම තමයි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ අලුත් ගොඩ නැගිල්ල  තියෙන්නෙත්. 




අපේ පැත්තේ මොකද වුනේ කියනවනම් ලන්ඩන් වලට ඔලිම්පික් එනකොට මේ පැත්තේ ලිවැලි කියන හරිය සම්පුර්ණයෙන්ම  වෙනස් කරලා වයිට් වෝටර්  සෙන්ටර් කියල එකක් හැදුව. ඔලිම්පික් තරඟ  පවා එතැන පැවැත්වුවා  දැන් එතන ගිහිල්ල ඉඳගෙන කන්න බොන්න තැනක් වගේම බෝට්ටු පදින්නත් පුළුවන්. වටේ තිබ්බ පොඩි පරණ පුස්තකාල වහල අලුත් විශාල ඒවා දෙකක් හැදුව. ඒවල එක එක ක්‍රියාකාරකම් කරන්න පහසුකම් දුන්න. අලුත් නිවාස  යෝජනා ක්‍රම ආව. කොටින්ම රජය ආයෙත් ආයෝජනය  කළා. අර මොපෙඩ් ගැන්සි අඩුවුනා.



මේකෙන් අදහස් වෙන්නේ  නැහැ. ප්‍රශ්න ඇත්තෙම නැහැ කියල. තියනව. සාපේක්ෂව අඩුයි. 

අපට  හැම වෙලේම ළමයින්ට, වැඩෙන තරුණයන්ට බනින එක ලෙහෙසියි. ඒ ළමයි කරපු වැඩේ වැරදියි. ඒකෙ දෙකක් නැහැ. දඬුවම් කරන්නත් ඕනේ. ඒකත් හරි. හැබැයි කතා  කරන්න ඕනේ ඉදිරියට එන දෙයක් වලක්වා ගන්නේ කොහොමද කියන එක.  ලංකාවේ දැනට එහෙම ආයෝජන කරන්න  පුළුවන් තත්වෙක නෙමේ ඉන්නේ.  අපි ළමයින්ට උගන්වන්න ඕනේ ජිවිතයකට ආදරය කරන්න. ඒක හරියට වෙනවාද කියන්න  මම දන්නේ නැහැ.  

අනිත් එක තමා මොන රටේ හිටියත් විශේෂයෙන් ලන්ඩන් වල පාරක යද්දී තරුණ කොල්ලෝ කෙල්ලෝ කෑ ගහගෙන එනවනම් මම අනිත් පැත්තට මාරු වෙලා යනව. උන් කාට හරි ගහන්න යනවනම් පොලිසියට කෝල් එකක් දෙනවා.  එක පාරක් එහෙම කළා. හැබැයි කවදාවත් උන්ව හදන්න ගිහිල්ල නැහැ. මගේ පාඩුවේ පැත්තකින් යනව මිසක්. මොකද  නාහෙට නාහන කාලයක් අපි හැමෝටම  තිබ්බ.

- අජිත් ධර්මකීර්ති 18/02/2023



Monday 6 February 2023

ෂාරුක් ඛාන් ජයතිස්ස


ගූගල් එකේ රෙජිස්ටර් වෙන්න කීව නිසා මම හිතුවේ ජාජබේ රැස්වීමේ පුටුවක් තිබේය කියාය. රැස්වීම පටන් ගන්නේ හවස 2.00 ට කිවූ නිසාත්  ශ්‍රී ලංකා ජාතික  සම්ප්‍රදාය අනුව අනිත් එවුන් ප්‍රමාද වී එයි කියා හිතුන නිසාත් මම පරක්කු නොවී ඇල්පටන් දුම්රිය ස්ථානයෙන් බැස ගුගලයා දමාගෙන රැස්වීම් භුමිය හෙව්වෙමි. තාම  වෙලාව දෙකය. දර්ශන හෙට්ටි ආරච්චි එවූ මෙසේජයේ තිබුනේද දෙකට කියාය. කිසි බයක් නොවී වමට හැරෙන  කොටම ලංකාවේ වගේ කෙනෙක් හිටං ඉන්නවාය. (සිරිසේන නොවේ).

"මම මේ අර ජාජබේ .."
"ආ මෙතන තමා. ඔහොම ඇතුළට යන්න. "

මදක්  ඇතුලට ගිය විට එම්ඕටී සෙන්ටර් එකක් වගේ  කාර් පාක් එකේ කාර් පිරිලාය. 
"ශික්, අර සිසිරයා කීවේ මෙට්‍රෝ එකේ එන්න කියලනේ. ආතල් එකේ කාරෙකේ එන්න තිබ්බ." හිතින් ඌ ටද බනිමින් රැස්වීම් ශාලාව තිබෙන දෙසට ගියෙමි.  එළියේ දොර අසලත්  යන මග පෙන්වන්නට සැරසුණු අය ඉන්නවාය.  ඇතුළට ගිය සැණින් එතැන පිලි ගැනීමේ කට්ටියකි. මාර සංවිධානයක්ය.
මුළු රට වටේ එක දවසේ පෝස්ටර් ගහන කතාව නිකම්ම ඔළුවට ආවේය. 

දම්පාට ඇඳුමින් සැරසුණු සෙට් එකක් නම ලියා ගන්නවාය. ඒ කාලේ විජයගේ පක්ෂයේ පාට ජජබේ ගත්තේ ඇයිද කියාත් හිතුනි. 
 එතැන රෙසිප්ෂන් එක  හයි ටෙක්ය.ස්කෑන් කර නම බැලීමටද පුළුවන. දි සොලියුෂන් එක කියා සුවනියර්  එකක් ද දෙනවාය. ඒකෙ නායක තුමාගේ පණිවිඩය එක්ක දැන්වීම් ගොඩ ගහලාය. බ්ලොග් සම්මාන උළෙලේ සුවනියර් එකේ දැන්වීම් දැමීම නිසා  ඒ කාලේ ජෙප්පෙක් ගෙන් බැණුම් ඇසූ සැටිද මතක් වුනෙමි. ඒ උනාට මේ වෙනස හොඳය.

  ටීකාක් එහායින්   කඩදාසි උර වල දැමූ  කෑම පාර්සල් තොගයකි. පසුව මටද  ඒ කෑම එකක්  ලැබුනු නිසා එහි තිබුනේ රෝල්ස් එකක්, කේක් කෑල්ලක් , සැන්ඩ්විච් එකක් ,වඩයක්  සහ වතුර බෝතලයක් බව දන්නෙමි. ඒක දුන්නේ නිකන්ය. දැන් නම්  මට හොඳටම අවුල්ය.  (එළියට යනකොට ආධාර කරන්න කියූ බව අමතක කරමු.)
ඒ අස්සේ ඒ දොරින් ඇතුළට යන්න හදන විටම ගම්පහ පැත්තේ හිටි හද්ද යුඇන්පී කාරයෙකු වන ජයන්ත ඉන්නවාය. මම මේ වැරදිලා ආවේ සජබේ සමුළුවකට  කියා හිතුවෙමි. 

"නෑ නෑ මේ මාලිමාවේ එක " ජයන්ත මාව අස්වැසුවේය.
 "තේකක් අරගෙනම යමුද "
අම්මට සිරි තේ ද නිකන්ය. පෝලිමේ ඉඳ තේ එක ගනිද්දී කිරි දමා නිසා එය එපා කීවෙමි. එතන  හිටි කාරුණික නංගි තේ   පැකට් එකක් හොයා ගෙනම ගෙනත් දුන්නාය.

ඒකත් අරගෙන  ජයන්තයා එක්ක ඇතුලට ගියෙමි. මම සිරාවටම ගල් ගැහුනේ එතනය. ලංකාවේ උන් ටික ජාතික ප්‍රතිපත්තිය ඇත්තටම කඩ කරලාය. පුටු ඔක්කොම පිරිලා වටේ පිටේත් සෙනගය. දෙක පසුවී විනාඩි දහයක් යද්දී සභාව පටන් අරගෙන කතාවකුත් යනවාය. දැන්නම් අවුල් නොව හොල්මන්ය. වෙලාවට රැස්වීම් පටන් ගන්න මුන්ට අමු කැවිලාද?   මේ හිස් ගොඩේ එතැන හම්බ වෙනවා කී සිසිරයා හා චමී ද  ආශා  හා නීල් ද හොයනවා බොරුය.  උන් පාන්දරම ඇවිත් ඉස්සරහය. අපි පාටියකට හෙම එන්න කීවොත් සාමාන්‍යයෙන්මු න් එන්නේ ඒක ඉවර එන කොටය. නැත්නම්  පොල්ලක් තියනවාය.

 පුටු අතරේ හිදැසේ හිටගෙන  ඉන්නා මේ සුවබර සැන්දෑවේ  පෝට්ටුවේ හිටපු සපෝටර් ලා  දෙතුන් දෙනෙකුද ළඟින් යද්දී හැප්පුනේය. උන්  කරන්නේම ඔය වගේ නොසන්ඩාල වැඩය. 

කෙසේ වෙතත් මේ   මොන අරුමයක්දැයි හිතමින් තේ බොද්දී  කොණ්ඩේ  කළු කරගත් අවුරුදු හැත්තෑවක් පමණ වන ජවිපෙ, සොරි ජාජබ තරුණයෙක් 
 "අයියාහ්, මෙතැන  හිට ගෙන්න එපාහ්, සෙනග ෆ්ලො එකට ඩිස්ටර්බ් වෙනවා. උඩට යන්න කීවේය. "  කොණ්ඩේ කළු නොකරන නිසා ඕක මට සාමාන්‍යයෙන් වෙන ඇබැද්දියකි. ලන්ඩන් වල,  කොණ්ඩය කළු කරගත් හැත්තෑ පහේ නංගිලා ඉඳහිට "හෙලෝ අයියා කොහොමද " කියා අසා පුරුදු නිසා ඒ කතාව  ගණන් නොගෙන වුවද ජයන්තයා සමග උඩට ගියෙමි. එතැනද සෙනග පිරිලා විතරක් නොව කොට භාවය නිසා උඩ වීදුරු තාප්පයෙන්  ඔලුව උස්සා ගෙන බලන්නටද  වන හෙයින් මම හෙමින් සීරුවේ පහලට ඇදුනෙමි. 

පැය එකහමාරක් පමණ හිටගෙනම මම දැන් කතා අහනවාය. කෝබින් ගේ රැස්විමකවත් හිටගෙන කතා අසා නැති නිසා ඒ කකුලෙන් මේ කකුලට මාරු කරගෙන බිත්තියකට හේත්තු වුනෙමි. නංගි කෙනෙක් හිනාවක් පෑවාය. 
"කොහොමද, මේ  අජිත් නේද?"
"ඔව්, ඔයාවත් දැකලා පුරුදුයි. "
"මම නිශ්, ෆේස්බුක් එකේ හෙම ඉන්නේ. අරගලයේදී හම්බ වුනේ". මට ටක් ගාලා මීටර් වුනේ ලන්ඩන් අරගලයට පැමිණි ෆේස්බුක් හිතවතියක වන නිශ් ජයා බවය.

"අජිත්, අපි ඉන්න තැන සීට් තියනවා එන්න " කියා සීට් එක්ක ගාවටම රැගෙන  ගොස් ඉන්දෙව්වාය. ෆේස්බුක් එකේ යාළුකම් බොරු බවට මිනිස්සු කියන දේවල් විශ්වාස කරන්නට එපාය.  පුළුවන්නම් මාව පින්තුරයෙන් හොයා ගත හැකිය. 

රැස්වීමේ වෙච්චි කතා ගැන කලින් ලිපියේ ලිව්ව නිසා ඒවා ආයෙත් ලියන්නට බැරිය.
මම කියන්නට යන්නේ රැස්වීම අවසානයේ වෙච්චි  දේ ගැනය.

පද්මි ට යවන්නට  පොඩි පාර්සලයක් සුදානම් කරගෙන තිබුනේ ඇය කී "නලින්ද ජයතිස්ස මල්ලිට"  දෙන්නටය.  මා හඳුනන සර් කෙනකුට විටමින්  වගයක්ද එහි තිබුනේය. මම නිශ්ට හා සොහොයුරාට පස්සේ කතා කරමු කියා වේදිකාව දෙසට වහ  වහා ගියේ ඒක  දෙන්නය. ඒ එක්කම කට්ටියම  සීරුවෙන් හිටගත්හ. සහෝදරියක් හා කට්ටියක් පැමිණිජාත්‍යන්තර ගීතය ගැයුහ.  ඇස් කොනින් යන්තම් හිස හරවා බලන විට යුඇන්පී කට්ටියද ජාත්‍යන්තරයේ ගීතය ගයනවාය.හරිනි  දුන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ටෝක් එකක් ය.  ජයතිස්ස දුන්නේ සමාජවාදී විප්ලව පන්නයේ  ටෝක් එකක්ය. ජාත්‍යන්තරයේ ගීතයෙන් ඒ ඔක්කොම සමබර වී ගියේය.


ඒක ඉවර වන විටම වාගේ , ප්‍රියන්ජිත්, හරිනි සහ නලින්දව සෙල්ෆි සොම්බි බලකායක් වට කර ගත්තේය. මම ඉස්සෙල්ලා හිතුවේ ජනතාව වට කර ගන්නා නිසා ජවිපෙ සෙකියුරිටි ඩීටෙල් එක ඒ ගොල්ලව නිරුපද්‍රිතව එලියට අරන් යනවා කියාය. මොන පිස්සුද ඔවුන් සෙල්ෆි ගන්නවාය. වඩා ඩිමාන්ඩ් එක ශාරුක් ඛාන් ජය... සොරි නලින්ද  ජයතිස්සටය. මම ටෙස්කෝ බෑගය උස්සාගෙන ඒ පස්සේ ඉදිරියට දුවනවාය. ජයතිස්ස සමග සෙල්ෆි සොම්බින් පස්සට යනවාය . මම පස්සට දුවනවාය. කට්ටිය  දකුණට ඇදෙනවාය. ඒ ගමන පෙරටුගාමී පක්ෂය මෙන්ම තවත් වමටම යනවාය.  එක සෙල්ෆි කස්ටියක් හැලෙද්දී තව කට්ටියක් සෙට් වෙනවාය. ශාරුක්ඛාන් සුදු දත් ටික එලියට දමා  අසරණ ලෙස සිනා සුනේය. දැන් ඔහුත් සමග කට්ටිය තවත් වමටම  ඇදෙනවාය. මම පුටු උඩින් පැන වේදිකාවේ පස්සෙන් දුවා යන්තම් දර්ශන හෙට්ටි ආරච්චි හොයා ගතිමි.




"දර්ශන ඔයා මේක දෙනවාද " බොහෝ අසරණ ලෙස කීවෙමි. 
"කෝ ඉන්ඩකෝ , යං අපි. මේක ඔයාම දෙන්න." දර්ශන කරුණාවන්ත ලෙස සිනාසුනේය. 
ඒ අතරේ මට මතක් වුනේ පද්මි කී කතාවය. 
"ඔන්න ඔයා, අර අහන්න ඉන්නවයි කියපු ප්‍රශ්න ටික අහන්න හොඳද? පොඩි ඉන්ටවිව් එකක් ගන්න. ඔයා හැමදාම අපට බනින ඒවා අහන්න ඔන්න. " 
මම හිතට දහිරිය ගෙන දර්ශන ගේ පිටි පස්සෙන් ඇදුනෙමි. දර්ශන නැවතුනේය. අසරණ ලෙස මා දෙස බැලුවේය. දැන් ෂාරුක් ඛාන් පේන්නේ නැත. ඔහු හිස් ගොඩට වැහිලාය.     
"කමක් නැහැ. මම දෙන්නම් කෝ"  මම නැවතත් පාර්සලේ ගතිමි.

දෙතුන් දෙනෙක් හැලුනේය. දර්ශන ගේ සහායට සිටින සගයන් දැන් පුටු එකතු කරනවාය. තැන අස් කරනවාය. මම පුටු අතරින් රිංගා ෂාරුක් ඛාන් පැත්තට පැන්නෙමි. තව දෙන්නෙක්  ඉස්සර වුනේය. ප්‍රශ්න අහන ගමන් ආයෙත් සෙල්ෆි පෝලිමකි. නලින්ද ජයතිස්ස අනුර සහෝ ට අභියෝග කරන්න හදනවා වත්ද  යයි  සිතුනි.

 ඒ අතරේ නීල් කතා කළේය. "ඒයි වරෙන් බං . අපි කාරෙකේ යන්න ලැහැස්ති "
"පොඩ්ඩක් ඉඳපන් සෙල්ෆි බළකාය අඩු වෙනකන්. මේක දෙන්නේ නැතිව එන්න බැහැ."
තවත් විනාඩි දහයක් පැන්නේය. මම පොඩ්ඩක් එහෙ මෙහෙ කැරකී  නිශ් ජයාට හා අයියාට පින්තූරයක් අරන් දුන්නෙමි. හදිසියේම  ඒ බලා සිටි ක්ෂණය උදා විය . සෙල්ෆි සෙට් දෙකක් මැද්දෙන් පරමාණුවේ න්‍යෂ්ටියට  ඇල්ෆා පාටිකල් යැව්වාක් මෙන් මාර්ගයක් විවර වුනේය. මම පුටුවකුත් පෙරලාගෙන ෂාරුක් ඛාන් ජයතිස්ස අසලට පැන්නෙමි.
"මේ නලින්ද , මම මේ අජිත්. පද්මි ගේ යාළුවෙක්. මේ පාර්සලේ දෙන්න පුළුවන්ද?"
"හා දෙන්නම්" ඔහු අසරණ ලෙස සිනාවී ටෙස්කෝ බෑගය ගත්තේය. දැන් මටත් අවුල්ය? මම ඔහුගෙන් කොහොමද කියාවත් ඇහුවේ නැත. මම ස්තූතියක් යන්තම්  කළෙමි. තවත් සෙල්ෆි මල්ලි කෙනෙක් වම් පැත්තෙන් ද අනික් සෙල්ෆි අයියා දකුණෙන්ද සෙල්ෆි නංගි කෙනෙක් ඉස්සරහින්ද  මතු වුනේය. මම හීන් සීරුවේ එතැනින් ලිස්සුවෙමි.

ඒ දෛවෝපගත මොහොතේ කොරිඩෝරය අසල තබා තිබෙන කුණු කූඩ අසලින් යද්දී මම ඒ සුවිසේෂි දසුන දුටුවෙමි.  ඒ කාලයේ පටන් දුයිෂෙන් පරපුරෙන් ආවා වූද, ෆේස් බුක් බලකායේ කවි වලින් නිසඳැස් වලින් කියවෙන්නා වූද බොහෝ  පුවත්පත් කලාවේදීන් නිතර මතක් කර දෙන්නා වූද පොතේ පතේ ලියැවුණු ජවිපෙ සාමාජිකාවක් හා සාමාජිකයෙක් මා ඉදිරියේ විරජමාන වූහ. ඇය නිහඬවම රූපාන්තරණය වුනු  පෝට්ටු කාරයන්  හා ජවිපෙ යාළුවන් බිම දමා ගිය  නිකන් ලැබුණු  තේ කෝප්ප ටිකද සොලියුෂන් අඩංගු පොත් ද , යුඇන්පී කාරයන් හා සජබයන්, සැඟවුණු අමුත්තන් මෙන් සිටි ජවිපෙ සාමාජිකයන් ද  විසින්  අච්චර කුණු  බාල්දි තිබියදී බිම පුටු අතර දමා ගිය කෑම බෑග හා  ප්ලාස්ටික් බෝතල් ද එකතු කරමින්  සිටියාය. ඔහු, කෙට්ටු මා වැනිම වූ  ඔහු  සෙල්ෆි ගැනීම පැත්තක තිබියදී කුණු පිරුණු කළු බෑග් එකතු කරමින්  විශාල ට්‍රොලියකට දමමින් සිටියේය. ඔවුන්  සමග සෙල්ෆි එකක්  ගනිම්දෝ නොගනිම්දෝ වැනි දයලෙක්තික උභතෝකෝටිකයකට  මැදිව තත්පරයක් සිටි මම වහා සිහි  එළවාගෙන ඒ පැත්තෙන් එලියට පැන ගතිමි.

නීල් කාරයේ දොර ඇරගෙන කෑ  ගැසුවේය. "ඉඳ ගනින් ඉක්මනට යමු මෙතැනින්". එළියේ තිබූ ටෙස්ලා, බෙන්ස් , බිඑම්බ්ලිව්, ෆෝ වීල් ඩ්‍රයිව් දුටු මට සිතුනේ මාලිමාවට චන්දය දෙන්නට පොඩ්ඩක් වත් බිය වෙන්නට එපා කියා ලංකාවේ යාළුවන්ට කියන්නටය. ඔයාලගේ ප්‍රොපර්ටි සේෆ් ය.  පිටි පස්සේ කාරයේ  චමිලා , සිසිරයාවත් දමාගෙන හැල්මේ එනවාය. 
"මචං දැන් සිසිරයා එක්සෙකටිව් කොමිටියේ නිසා ඌ ට එම්බසියේ ඇම්බසඩර් කම වත් ලැබෙයි නේද?" නීල් ඇසුවේය .
"පිස්සුද බන්, ඒ කාලේ ඉඳන් ජේවීපී කරපු දර්ශන ලා  වගේ අය ඉන්දෙද්දී . මූට සෙකන්ඩ් සෙකට්‍රි වගේ එකක් හම්බ වෙයි" මම කීවෙමි.

"තොපිල ට පිස්සුද යකෝ. මේක මේ පොහොට්ටුව, යූ ඇන් පී එක , සජබේ වගේ දේශපාලන පත්වීම් දීල ලන්ඩන් එවන සභාගයක් කියල හිතුවද" ආශා පිටුපස සීට් එකේ සිට සුන්දර  මධුර ස්වරයෙන් ගිරිය උළුප්පා ඉතා ආදරෙන් අප දෙදෙනා ඇමතුවාය.
"ඔය කිව්වට .." කියා මට ඒකට යමක් කියන්න හිතුනු මුත් කට පියා ගතිමි.  
ආශා අවුස්සා ගන්නවාට වඩා කොත්තු , තෝසේ  කන එක හොඳ යයි සිතා නීල් පාම්බිච් රෙස්ටුරන්ට් එක ගාව කාරය  නතර කලේය.
   
පසු සටහන:  පාර්සලය රැගෙන ගොස් පද්මිණි ට භාර දීම ගැන නලින්ද ජයතිස්ස ට ස්තුතියි.

අවවාදයයි: පරණ ගිලෙන නැව් වලින් පනින මීයන් ගෙන් ප්‍රවේසම් වන්න. උන් අලුත් නැව්ද හිල් කරන්නට ඉඩ තිබේ.   

-- අජිත් ධ. 
 

Wednesday 1 February 2023

දීප්ති කුමාර ගුණරත්න සහ රුවන් ජයතුංග ප්‍රශ්නය

මගේ නුදුටු බ්ලොග්  මිතුරකු වන ට්‍රාන්සිල්වේනියා බ්ලොගය ලියන  රුවන් ජයතුංග  දීප්ති දීප්ති කුමාර ගුණරත්න  මහතාට චෝදනාවක් කරනවා . ඉංග්‍රීසි කතා කරන්න බැරි බය ගුල්ලෙක් කියල. ඒ මේ ලිපියේ. දීප්ති කුමාර ගුණරත්න ; වැඩේ නම් බාලයි

ප්‍රශ්නේ  පටන් ගත්තේ මෙහෙමයි. රුවන් ජයතුංග ෆේස්බුක් මෙසේන්ජර් එක හරහා මට පණිවිඩයක් එවල තිබුන දීප්ති ව සම්බන්ධ කරලා දෙන්න ඉන්ටවිව් එකකට කියල. (මගේ සාකච්චාව දැකල වෙන්න ඇති.)

මම ඊට කාලෙකට කලින් දීප්තිගේ දුරකථන නොම්මරේ හෝ  ඊමේල් ලිපිනය රුවන් ට ලබා දී තිබුන නිසා (රුවන්ම ගේම ඉල්ලීමක්ම පරිදි) මම  කීව එයාටම අහන්න කියල. නමුත් රුවන් ඊට පස්සේ, මට ජනවාරි 24 දා ඊමේල් කරලා තිබ්බ අර ඉල්ලිමම. මම පිළිතුරක් යැව්වේ නැහැ. 

ඔය අතරේ දීප්ති සමග වෙනත් දෙයක් ගැන කතා කරද්දී  මම ඕක නිකමට මතක් කළා. එහිදී දීප්ති මට කිව්වා රුවන් ට   කිසියම් චෝදනාවක් තියනව. ඔහු සමහර  කාන්තාවන් සමග මෙසේන්ජර් එකේ කතා කරද්දී  ලිංගික ලෙස හැඟවෙන ඉල්ලීම් කරලා තිබෙනවා  කියල චෝදනාවක්  තිබෙනවා. ඒක නිසා ඔහු සමග ඉන්ටවිව් එකක් කිරීමේ අපහසුතාවයක්  තියනව කියල. දීප්ති තවත් අයෙකුට ඒ වගේම  දෙයක් ගැන  (තවත් දර්ශනවාදී ලිපි ලියන අයෙක් පිළිබඳව ) විවේචනයක් කරලා තියෙනවා කියල.
 මේ කතාබහේ කිසිම තැනක රුවන් ලියන පරිදි දීප්ති රුවන් ට චෝදනාවක් එල්ල කලේ නැහැ.
// මට විශ්මයක් ගෙන දෙමින් දීප්ති කුමාර ගුණරත්න ඉන්ටවිව් එක දීම ප්‍රත්ක්ශේප කරලා තිබ්බා ; හේතුව ලෙස මට අභූත චෝදනාවක් දාලා.// මේ කතාව වැරදියි.
  දීප්ති කැමති වුනේ නැහැ රුවන්ට  මුකුත්ම කියන්න. "අපි එයාගේ ලිපි එහෙම ත්‍රිමාණ සඟරාවේ දාල තියනව. යහළු  කමක් තියෙන නිසා ඕව කියන්න බැහැනේ" කියන එකයි දීප්ති කිවේ.  චෝදනා කලෙත් නැහැ.වෙනත් තැනකින්  චෝදනාවක්  තිබෙනවා කියල පමණයි කීවේ. ඒ ඔහුගේ යහළුවෙක් ගේ හිටපු පෙම්වතියක් කියල.  රුවන් මම බ්ලොග් කිරීම  නිසා කාලයක් සිට අඳුනන බැවින්  යහළුවෙක් වශයෙන් ඔහුට මේ ගැන දැන්වීම හොඳයි කියල මම හිතුව, මම දැන් දන්නවා ඒක නොකර ඉන්න තිබ්බ කියල. මම රුවන්ගේ ඊමේල් එකට පිළිතුරක් දුන්න. ඒකෙදි  මම කිවේ නැහැ රුවන් ට  දීප්ති චෝදනා කරා කියල. මම චෝදනා කලෙත් නැහැ. ඊමේල් දෙක යට පින්තූරයේ.
රුවන් ඊමේල්

මම ලිව්වේ මෙච්චරයි. Hi Ruwan,

Although I replied to you on facebook to connect him it seems you are persistent.  He is ok with you but there are some  concerns as he is a party leader now. There are some allegations against you from some women that you have done some suggestions to them albeit in a sexual nature.
One of those was , ex-girlfriend of one of his friends. 
Therefore, he is not comfortable doing an interview.

Hope you understand

regards
Ajith

නමුත්  රුවන් දුන්න පිළිතුර ටිකක් ප්‍රශ්නකාරියි. මේ ඒක .රුවන් කියනවා මට පිස්සු කියල. එයා දීප්තිට සහ මට චැලේන්ජ් කරනවා කියල. මම ඒකටත් පිළිතුරු දුන්න. මේ අවස්ථාවේදී දීප්ති නම් කීව ඔන්න  ඕක අත ඇරලා දාන්න කියල. නමුත් රුවන් මගේ ඊමේල් එක දීප්තිට යොමු කරලා දීප්ති ගෙන් ඇහුව මේක ඇත්තද කියල. දීප්ති නිහඬ වුනා. ඒක සාධාරණයි කියල මම හිතනවා. ඊට පස්සේ රුවන් දිගින් දිගටම මට චෝදනා කළා මම බොරු කාරයෙක් . මම බොරු කියනව කියල. දීප්ති පිළිතුරක් දුන්නේ නැති නිසා.


මම දන්නේ නැහැ රුවන් ජයතුංගට තියෙන   චෝදනාව  ඇත්තද බොරුද  කියල. මම කලේ ඇයි දීප්ති ඉන්ටවිව් එකකට එන්නේ නැත්තේ කියන හේතුව රුවන් ට  කියන එක විතරයි. රුවන් ගේ හිත රිද්දන්න දීප්ති කැමති නැහැ කියල හිතුන නිසා ඒක කළේ. 

ඉතින් රුවන්ට මේකට තරහා ගිහිල්ල දිප්තිටත් චෝදනාවක් කරලා ලිපියක් ලියල. නමුත් ඇත්තට වුන සිද්ධිය ඕක. 

නමුත් දීප්තිට ඉංග්‍රීසි බැරි නිසා රුවන්ට කතා කලේ නැහැ කියන එකත් පිලි ගන්න අමාරුයි. මොකද මම දැන් අවුරුදු ගණනක සිට දීප්තිට ලන්ඩන් වලින් යන කොට පොත් කිහිපයක් ගෙනිහින්  තෑගි කරන නිසා.  ඒ ඔහු ඉල්ලන පොත්. කියවන්න  බැරිව මිනිස්සු පොත් ඉල්ලන්නේ නැහැනේ.

- අජිත් 
 

Monday 30 January 2023

ටිල්වින් සිල්වා සහෝදරයා ට ප්‍රශ්න කිහිපයක් සමග ජාජබේ ඇට් ලන්ඩන්


මේ දිනවල පළාත්පාලන චන්දය පිළිබඳ උණුසුමක් ශ්‍රී ලංකාවේ පැතිර තිබේ. පසුගිය වසරේ ලංකාවට සංචාරයකට ගිය අවස්ථාවක ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග සුහද කතා බහක නිරත වීමට මට අවස්ථාව ලැබුණි . එහිදී මට දැන  ගන්නට ලැබුනේ ජවිපෙ  සෝවියට් දේශයේ ස්වර්ණමය සමය වශයෙන් සලකන්නේ හැටේ දශකය  සහ හැත්තෑවේ දශකයේ මුල් භාගය බවයි. හිටපු නායකයා ඒ කාලයේ එහි ඉගෙන ගැනීම අහම්බයක් දැයි නොදනිමි.  මා සෝවියට් දේශයේ සිටියේ 1985 සිට 1991 දක්වාය. ඒ කාලය සෝවියට් දේශය පරිවර්තනය වෙමින් පැවති කාලයයි. ඒ පරිවර්තනය අවසන් වූයේ ඒ මහා රාජ්‍යයේ බිඳ වැටීමෙනි.  එදා එම සාකච්ඡාව දිගට ගෙනියන්නට ඔහුට වේලාවක් නොමැති විය.
 නමුත් ජාතික ජන බලවේගය ප්‍රවෘත්ති මවන මේ අවස්ථාවේ මට එම සාකච්ඡාවේ ඉතිරි කොටස අවසන් කිරීමට අවශ්‍ය වුනි, ඒ සඳහා සහයෝගය ලබා දුන්නේ පද්මිණි මාතරගේ සොයුරියයි.

මා  ඇසූ ප්‍රශ්න කලින් සූදානම් කළ ඒවා නොවන අතර අසන ප්‍රශ්න  ගැන මම ඔහුට කලින් දැනුවත් කිරීමක්ද නොකෙළෙමි.

මා ඇසූ එක ප්‍රශ්නයක් වූයේ 2005 දී රාජපක්ෂවරු  බලයට ගෙන එම පිළිබඳව පසු තැවෙන්නේ නැත්ද කියාය.  යුද්ධයක් නොවී සාමකාමිව විසඳා ගැනීමට හැකියාවක් තිබුණු බව මගේ විශ්වාසය බවද කීවෙමි. ඔහුගේ අදහස ජවිපෙ ඒ කාලයේ පැවති ස්ථාවරයට  වඩා වෙනස් එකක් නොවුනි. රට බෙදීම වළක්වා ගැනීමටහැකිවුනු බව ඔහු පැවසුවේය. නමුත් වැරදි සිදුවුණු බවද ඔහු පිලි ගත්තේය. සමහර විට එය මදක් ඉදිරියට යාමක් යැයි සිතමු.

ඊයේ මම ජාතික ජන බලවේගයේ ලන්ඩන් සමුළුවට  සහභාගී වුනේ දර්ශන හෙට්ටි ආරච්චි මහතා එවූ පණිවුඩයක් අනුවය. මගේ හිත මිතුරන් කිහිප දෙනෙකුද එහි පැමිණුන බැවින් මම ද  නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගී වුනෙමි. සමුළුවේ  මුල් හරිය හරියට ලංකාවේ චන්ද රැස්වීමක් මෙන් විය. ලන්ඩනයේ ජිවත්වන  යුඇන්පී දේශපාලනය කරමින් පළාත් සභා මන්ත්‍රී කෙනෙකු වූ ,  උපතිස්ස ගමනායක සමග විශ්ව විද්‍යාලයේ සිටි අයෙකු ජාජබ රජයකට සහය පළ කළේය.  

ඉන්පසු පොහොට්ටුවේ දේශපාලනය කල ආරච්චි කට්ටුවේ සනත් නිශාන්ත සමග පළාත් සභාවේ සිට සනත් ගෙන් ඔක්සිජන් ගුටි කෑ අයෙකුද සහය පළ කළේය. සනත් නිශාන්ත ගේ නම සඳහන් කිරීමත් සමග නැගුනු අත් පොළසන්, හු හඬ ආදිය නිසා ඔහු එංගලන්තයේ ඉතා ජනප්‍රිය බව සිතා ගත හැකිවිය. 

 ප්‍රසන්ජිත්  විජේසූරිය කළ කතාවේදී ඔහු සමග  විශ්ව  විද්‍යාලයේ මෙන්ම කලාලෝකයේ  සිට පසුව වෙනත් දේශපාලන ගමනකට පිවිසි  (පොහොට්ටු)  අයෙකුද පිලි ගත්තේය. ඒ කියන්නේ එලෙස "හැරුණු" බොහෝ දෙනෙකු එහි සිටින බව පෙන්වන්නට සංවිධාකයන් සෑහෙන උත්සහයක් ගත් බවය. 

 ඒ චන්ද කතා අතර මම දුටුවේ එක්සත් ජාතික පක්ෂයට කාලයකට ඉහත දී සහය පල කල අය මෙන්ම පොහොට්ටු හෝ රාජපක්ෂ වාදීන් යයි මා සිතා  සිටි හෝ දැන සිටි  කිහිප දෙනෙකුද එහි සිටින බවය.  එසේම මම පෙරටුගාමීන් යයි සිතා සිටි බොහෝ දෙනෙකුද එහි විය. සමහරවිට එය හොඳ ප්‍රවණතාවයක් විය හැකිය. 

සිංහලෙන් ,  දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් කතා පැවැත්වීම අගය කරමි. ඒ අතර සිංහල හා ද්‍රවිඩ භාෂා වලින් ගැයුණු ගී  කිහිපයක්ද විය.

ආචාර්ය  හරිනි අමරසූරියගේ දේශනය  මගේ සිත් ගත්තේ ඇය ඉදිරිපත් කල කරුණු නිසාය. එසේම ඇගේ කතාවෙන් බොහෝ විට සිතුනේ  ඉදිරියේ දී එන ජාජබ රජයක් බොහෝ විට ටෙක්නොක්‍රටික් එකක් වනු ඇත කියාය.  එහි හොඳ හා නරක දෙකම තිබිය හැකිය. නමුත් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවාදී මැතිවරණයක් හරහා  බලය පත්වීම ගැන විශ්වාස කරයි.


 අවසානයට  කතා කළ වෛද්‍ය නලින්ද  ජයතිස්ස පැවසුවේ පළාත් පාලන මැතිවරණ නොපවත්වා ආණ්ඩුව උද්දච්ඡ ලෙස මහජන සහයෝගයක් නැතිව රජයක් ගෙන යන්නේ නම් එයට විරුද්ධව ක්‍රියා කරන  බවයි. බොහෝවිට ජාජබ නායකත්වයෙන් යුතු අරගලයක් විය හැකිය.  ඔහු කිවූ වැදගත් කරුණක් වන්නේ විධිමත් රජයක්, දූෂණ කොමිස් නොඉල්ලන දේශපාලකයන් සිටින රජයක් යටතේ ආයෝජකයන් නැවත එනු ඇත කියාය. ඔහු උදාහරණයකට ගත්තේ වියට්නාමයයි. ඒ අදහසට මට එකඟ විය හැකිය. 

ඉංග්‍රීසි භාෂාවේ rabble-rousing කියා යෙදුමක් තිබේ. ඒ දේශපාලනඥයෙකු ජනතාව ඇවිස්සෙන ලෙස  කතා කිරීමක් හැඳින්වීමටය . අවසාන කතාව නලින්දට දුන්නේ  ඒ නිසා විය හැකිය,. ඔහු ඉතා ශුර ලෙස කතාව අවසන් කලේ බොහෝ ආධාරකරුවන් පුටුවෙන් නැගිට්ටවා ජාජබ ට ජයවේවා ලෙස කල ප්‍රීති ඝෝෂා කිරීම් මධ්‍යයේය.

එහි සිටි පිරිසේ විවිධත්වය නිසා මෙන්ම ලංකාවේ සිට ලැබෙන ආරංචි  අනුවද  පළාත් පාලන මැතිවරණයකදී ජාතික ජන බලවේගයට සජබට හෝ පොහොට්ටුවට  වඩා චන්ද ගත හැකි බවක් පෙනී යයි. (මේ අනාවැකිය බිමේ තත්වයන් අනුව ඉදිරියේදී  වෙනස් විය හැකිය.) 

ටිල්වින් සිල්වා "සහෝදරයා" ගෙන් ඇසූ ප්‍රශ්න සහ ඔහුගේ පිළිතුරු සඳහා මේ යූටියුබ් වීඩියෝව බලන්න. 

- අජිත් ධර්මකීර්ති 

වීඩියෝව සඳහා සම්බන්ධීකරණය කළ පද්මිණි මාතරගේ ට ස්තූතියි.

පසු  සටහන: මේ ලිපිය ගිය වසරේ අප අතරින් වෙන්ව ගිය මගේ  ආදරණිය මිතුරියක වූ  විපුලි පලිහක්කාර වෙනුවෙනි. ඇය හැම විටම චෝදනා කළේ
 "අජිත්, ඔයා ජවිපෙ ගැන මුකුත් ලියන්නේ නැහැ. ලිව්වොත් විවේචනයක් මයි." කියාය.
 එසේ නොවන බව කියා  ජවිපෙ ගැන ලියූ ලිපියක් යොමු කලෙමි. එයට ඇය චෝදනා කළේ 
"මේකේ, හොඳක් කියල පේන්න වත් නැහැනේ කියාය."  
ඔන්න විපුලී පමාවී හෝ මම ලිපියක් ලියා පමණක් නොව, සමුළුවකටත් සහභාගී වී ඔයාගේ සහ පද්මිණි ගේ ටිල්වින් අයියා සමග සාකච්චාවක් යූ බටයේ ද දැමුවෙමි. 

 

Tuesday 24 January 2023

ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරය


 අපේ ඊළඟ  වැදගත් සංචාරක ස්ථාන දෙකක් වූයේ සැන්ටෝරිනි වල පිහිටි කෞතුකාගාරයක් හා පුරා විද්‍යා කැණීම් කරන ලද ස්ථානයකි. පුරා විද්‍යා කැණීම් කරන ලද ස්ථානය හැඳින්වුණේ අක්‍රෝතිරි  යන නමිනි. කෞතුකාගාරය තිබුනේ හෙරක්ලියොන් වලය. මේවායේ තිබුනේ අවුරුදු 3600 කට පෙර ග්‍රීක දූපත් වල තිබුණු අතිශයින් දියුණු ශිෂ්ටාචාරයක විස්තරය.මිනෝඅන් පිපිරුම ලෙසින් හඳුන්වන ගිනිකඳු පිපිරීමෙන් පසු එම ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම  වාගේ  විනාශ වී ගියේය. 

මේ ශිෂ්ටාචාර ගොඩ නැගුවන් සුදු මිනිසුන් නොවේ. දුඹුරු හෝ අඳුරු පැහැ  මිනිසුන් වර්ගයකි. ඔවුන් ඊජිප්තුවන් ට එතරම් සමාන කමක් දක්වන්නේද නැත. මේ කරුණ ඉතා වැදගත්ය. මේ පුරාවිද්‍යා නටබුන් සොයාගත් ඉංග්‍රීසි ජාතිකයාගේ පටන් එහි කැණීම් කළ ප්‍රන්ශුවන් සහ ජර්මන් වරුන්ට සුදු නොවන ජාතියක දියුණු ශිෂ්ටාචාරයක් ගැන මුලදී සිතා ගැනීමට නොහැකි විය.  ක්‍රීට දූපතේ සහඒජියන් මුහුදේ දූපත්වල ශිෂ්ටාචාරය පිලිබඳ නටබුන් මුලින්ම සොයාගත්තේ ආතර් එවන්ස් නමැති ඉංග්‍රීසි නයිට්වරයාය.මිනොඅන් වරුන්ගේ විශාල මාලිගා, තනි කාමරයේ නිවාස වල  ජිවත්වූ ග්‍රීකයන්ට  අදහාගත නොහැකි විය. එනිසා ඔවුන් වංකගිරියක ජිවත්වූ මිනොටවුර් නමැති අද්භූත සතාගේ කතාවක් මවා  තමන්ගේ ක්‍රීට වීරයෙකු වන තිසියස්  එම සතා මරා දමා වැසියන් බේරා ගත් බවට ප්‍රබන්ධ කතාවක් ගොඩ නැගුහ. පළ කර ඇත්තේ  ක්නොසස්  නමැති පෙදෙසේ විශාල  මිනොඅන්  මාළිගාවේ පුරාවිද්‍යාත්මක නටබුන් වල මා ගත් පින්තූරය.  

 ග්‍රීකයන් මවිත කල වංකගිරිය මෙයයි.
ග්‍රීක දේව  කතා බැහැර කළ  යුරෝපීයයන් ඉන්දු යුරෝපීය ශිෂ්ටාචාරයක්  මගින් මෙය ගොඩ නැගු බවට සැක පහල කළහ.  විල්හෙල්ම් ගයිගර් සහ තවත් නාසි ජර්මනියට සම්බන්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට සහ ටිබෙටයට පැමිණියේ මේ ගැන තව දුරටත්  සොයා බැලීමටය. එසේම බ්‍රිතාන්‍ය සහ තවත් ප්‍රංශ කණ්ඩායම් ගියේ ඉන්දියාවටය. හිට්ලර්ට අවශ්‍ය වූයේ ඔහුගේ පිරිසිදු ආර්ය මූලයන් ජනතාවක් පිළිබඳ  අදහසට ඉන්දියාවෙන් සාක්ෂි සෙවීමටය.  ඔවුන්ටද හිට්ලර් ටද වැරදුනු තැනක් තිබේ.

ඔවුන්ට වැරදුනේ ලපිස් ලද්සුලි නමැති නිල්  පැහැති පාෂාණය ගැන සෙවීම නිසාය. එම පාෂාණය ලැබෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ බඩක්ෂන් ප්‍රන්තයෙනි . මෝහන්ජදරෝ හරප්පා නමැති ක්‍රි.පූර්ව  4000-3500  තිබුණු ඉන්දු නිම්න ශිෂ්ටචාරයේද පාරාවෝ වරුන් රජකළ ඊජිප්තුවේද  මෙම පාෂාණය ආභරණ  සැදීමට, මාළිගාවල  සහ ආරාම වල විසිතුරු කිරිමට  භාවිතා කරන ලදී. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය , ඉන්දු යුරෝපිය එකක් ලෙස සැලකෙන නිසා එම ශිෂ්ටාචාරය ආර්ය ලෙස නම් කල නිසාත්  ආර්ය වරුන් මිනොඅන් ශිෂ්ටාචාරය ගොඩ නැගු බවට මිත්‍යා මතයක් ගොඩ නැගුණි. ඉහත  කී පුරා  විද්‍යාඥයන් ලංකාවට, ඉන්දියාවට  හා ටිබෙටයට පුරා විද්‍යා පර්යේෂණයන්  ආවේ ගියේ එහෙයිනි. 

ඉන්පසු පැමිණි දෙවන ලෝක යුද්ධය නිසා ආර්ය සංකල්පය මිහිදන් වූ අතර ඉතිහාසය වැළලී ගියේය. ග්‍රීක දුපත් වලට හා මිනොඅන් ශිෂ්ටාචාරය සොයා ගිය  තවත් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණියහ. මම අධි මානසික විද්‍යාවන් ගැන ලියූ ලිපි පෙලේ පරම විඥාණාර්ථ සංගමයට අදාළව  මේ තැනැත්තිය ගැන ලියා තිබේ. ඒ ජර්මන් සම්භවයක් ඇති රැසියානු ආදිපාදවරියක වූ  යෙලේනා පෙට්‍රොව්නා බ්ලවට්ස්කි ගැනය. ඇය, කර්නල් ඕල්කොට් සමග ශ්‍රී ලංකාවේ  බෞද්ධ පාසැල් පිහිටුවිමටද  පුරෝගාමී වූවාය.  බ්‍රිතාන්‍ය පාලනය ඇයට මෙන්ම ජර්මන් වරුන්ටද ඔවුන්ගේ පර්යේෂණය කිරීමට අවසර දුන්නේ නැත. ඇයද ඒ දිනවල ජනප්‍රියව තිබූ ආර්ය කතාව විශ්වාස කළ බවට පිළි ගත හැකිය.  බ්ලවැට්ස්කි ගැන  ලියුවේ මම  අධිමානසික විද්‍යාවන් පිලිබඳ 2000 දශකයේ මුල භාගයේ කළ පර්යේෂණයක් සඳහාය. බ්ලවැට්ස්කි ග්‍රීසියට පැමිණ මිනොඅන් ශිෂ්ටාචාරය ගැන සොයා බලා  ලංකාවට ගිය බව දැන  ගැනීමෙන් මට ඇතිවූ මහත් පුදුමයකි. 

බලන්ගොඩ මානවයා සිටියා යයි සැලකෙන්නේ වසර තිස් අට දහසකට පෙරය. මේ ගැන කලින් ලියූ බ්ලොග් ලිපියක මෙසේ සඳහන්  කලෙමි.

 වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් හෝ හෝමෝ සේපියන් පුර්වජ  මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (සමහරු එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරති.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා  ගේ අස්ථි මෙන්ම වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා වාස භුමි, භාවිතා කළ උපකරණ වලට අනුව  ශ්‍රී ලංකාවේ ආදී කාලීන ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය. එනම්  ලංකාව ඉන්දියාවට භූගෝලීය වශයෙන් සම්බන්ධව තිබු  කාලයේ සිට ලංකා භුමිය ජනාවාසව  පැවතුන බවත් ලංකාවේ මුල් පදිංචි කරුවන් ඉන්දියාවේ තමිල්නාඩුවට, කර්ණාටක ආදී ප්‍රදේශ වලටද   පොලිනිසියාවට, ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට මෙන්ම ඉන්දියන් අන්දමන් දුපත්වලටත් විසිරි ගිය බවත්ය. ලංකාව හා ඉන්දියාව ආදම්ගේ පාලම මගින් සම්බන්ධව තිබුනේ වසර 7000 කට පමණ පෙරය. ඒ සම්බන්ධය සම්පුර්ණයෙන් ම නැති වුනේ 15 ශතවර්ෂය   වැනි සාපේක්ෂව ඉතා මෑත කාලයකය. 

උඩ  තිබෙන මිනොඅන් තරුණියගේ චිත්‍රය බලන්න. එහි මාලිගාවක ඇඳ තිබෙන චිත්‍රය සීගිරි අප්සරාවන්ට සමානය. සීගිරිය ඇත්ත වශයෙන්ම කාශ්‍යප රජු විසින් කරවන ලද්දක්ද? නැතිනම් සාදා තිබුණු බල කොටුවකට පැමිණ එහි ඔහු ලැගුම් ගත්තාද යන්න අපට කිව හැකිද? එය කාශ්‍යප ලෙසින් කරවන ලද බවට සාක්ෂි තිබේ නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි.  කාශ්‍යප රජු  මුලින් තිබූ චිත්‍ර අනුසාරයෙන් ඒවා නැවත අඳින ලද්දේද? 

මේ  පහල ක්නොසස් මාළිගාවේ සිතුවම් අතර ගැහැණුන් වඩා පැහැපත් ලෙස පෙන්වා දෙන අතර පිරිමින් දුඹුරු  රත් පැහැයකින්  ඇඳ තිබේ.  වඳුරන් ගේ චිත්‍ර සහ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් නිරීක්ෂණය කරන්න.





මුතු මාලයක් වැනි දෙයක් එක කාන්තාවක් අත තිබේ. මුතු භාවිතා කර ඇති පුරාණ ඊජිප්තුවේ වන අතර ටොලමි විසින් තැප්‍රෝබේන් නමින් ලෝක සිතියමක ලංකාව  ලකුණු කලේ  ක්‍රිව. දෙවන  සිය වසේදීය. ඒවා බොහෝ විට  පැමිණයේ ලංකාවේ මුතු පර වලින් බව කිව හැක්කේ දෙවන සියවස වන විටත් ලංකාවේ මුතු ජනප්‍රියව තිබූ නිසාය.  ක්‍රිස්තු පූර්ව 3500 දී මිනොඅන් වරු භාවිතා කලේ ලංකාවේ මුතුද?

අපට කියා දී ඇත්තේ යුරෝපයේ විශිෂ්ටතම  මාර්ග මුලින්ම තැනුවේ රෝමන් වරුන්  බවය. ඒ කතාව භාග සත්‍යයකි. රෝම හමුදා ප්‍රවාහනය කිරීමට හා අශ්ව  කරත්ත සඳහා සාදන ලද රෝමන් පාරවල් විශිෂ්ටය. නමුත් ඊට කලින් හොඳ මංමාවත් සමූහයක් මිනොඅන් වරු සාදා තිබේ. පහළ පෙන්වා ඇත්තේ එම මාර්ගයක කොටසකි. (ක්)නොස්  මාලිගාවට යන මාර්ගය ඔවුන් ගල් අල්ලා සකස් කර ඇත. මෙය රෝමන් මර්ගයක් නොවන බව බව පැවසූ   අපේ සංචාරක මාර්ගෝපදේශිකාව,  මෙය යුරෝපයේ මුලින්ම ගල් අල්ලා  සකස් කල මාවත බවත් එය  යුරෝපීයයන් ගේ කාර්යයක් නොවන බවත් පැහැදිලි කළාය. ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත ඇගෙන්  මා මේ පිළිබඳව තව දුරටත් විමසූ පසු  යුරෝපීය ග්‍රීකයන් පිරිසක් නොව වෙනත් ජන කණ්ඩායමක් එනම් මිනොඅන් වරු මේවා සාදා ඇති බවත් ඒ ශිෂ්ටාචාරයේ නටබුන් පිළිබඳව  වත්මන් ග්‍රීක විද්‍යාඥයන්  වඩා සූක්ෂමව, පූර්ව නිගමන වලින් තොරව  සොයා බලන බවත් පවසා සිටියාය. යුරේකා නමින් හඳුන්වන විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳ කෞතුකාගාරයට යන ලෙස ඇය අපට යෝජනා කළාය.  ඒ ගැන තවත් ලිපියක් ඉදිරියේදී ලියමි. 


 
බලංගොඩ මානවයාගේ පරපුරෙන් පැවත එන  යක්ෂ, නාග සහ දේව ගෝත්‍රික රාජධානි තුනක් ශ්‍රී ලංකාවේ තිබුනා යයි සිතමු. ඔවුන් සියල්ලෝම එක රටක ජිවත් වූ බවත් ඔවුන් ඉන්දියානු අර්ධ ද්වීපයට සේතු සමුද්‍ර  මාවත දිගේ  ඇවිද යන්නට ඇති බවත් උපකල්පනය කළ හැකිය. 

විජය කුමරු සමග ලකාවේ මැද හා  දකුණු පලාතට සේන්දු වූ පිරිස නිසා  එම පළාත් වල භාෂාව සිංහල ලෙස දියුණු වන්නට ඇති බවත්  එළාර වැනි රජවරුන්ගේ දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා  උතුරු පළාතේ වත්මන් දෙමළ  බස බව දියුණු වෙන්නට ඇති බවත් උපකල්පනය කළ නොහැකිද?  එසේ නම් දෙමල හා සිංහල ලෙස බෙදී ඇත්තේ එකම රටක ජිවත් වූ එකම ජන සමූහයක් විය නොහැකිද?

   වසර 3500 කට ප්‍රථම මිනොඅන් ශිෂ්ටාචාරය ද ඔවුන්ගේ විය හැකිද? 

ඊලම් හෙවත් ඊලමයිට් වරු ජිවත්ව ඇත්තේ ඉරානයේය. ඒද ක්‍රිස්තු පූර්ව 4000 සිට ක්‍රිපූ 1500 දක්වා වන අතීතයකය. ඊලම් ශිෂ්ටාචාරය තිබුනේ ආර්යයන් ඉරානයට  පැමිණීමට පෙරය. ඊළම ලංකාවේ තිබුනේ නැත. ඔවුන් සුමේරියන් වරු හා දකුණු ඉන්දියානු ද්‍රවිඩයන්ට සමාන බවක් දක්වයි. අවුරුදු 3500 ක පමණ කාලයකට පෙර ඔවුන් මුහුදු මාර්ගයෙන් පැමිණ ඇතැයි පුරා විද්‍යාඥයන් අනුමාන කරති.  බැබිලෝනියන් වරු හා සටනකින් පැරදෙන තුරු ඊලමයිට් වරු ක්‍රිස්තු පූර්ව 750 දක්වා ජිවත්ව ඇත. 

මේ සියල්ලන්ගේම මූලාශ්‍රය බලන්ගොඩ මානවයාගේ පරම්පරාව විය නොහැකිද? මධ්‍ය ප්ලේයිස්ටෝසින යුගයේ (වසර 200,000 සිට 500,000 දක්වා ) සිට ඉන්දියානු අර්ධද්වීපයේ හෝමෝ ඉරෙක්ටස් ජනාවාස තිබී ඇත. කර්ණාටක ප්‍රදේශයේ මෑතකදී අස්ථි ප්‍රමාණයක් සොයාගෙන තිබේ. මෙසොලිතික් යුගයේ (අවුරුදු 25000-30000) ආදිතමයා මේ අනුව හමුවන්නේ ලංකාවේදී ය.

මා කාම්බෝජයට ගිය අවස්ථාවේ එහි ඇති නාග ප්‍රතිමා දැක ඒ ගැන විමසුවෙමි. . ඔවුන්  ගේ අතීත කතාවකට අනුව කාම්බෝජ කුමරකු වන තොන්  නාග ගෝත්‍රික කුමරියක වන වාසුකී  (ලිව්යේ)  සමග වූ විවාහ වී  චම්පා හි කාම්බෝජ  රාජධානිය ගොඩ නගා ඇත.  හිස්  නවයක නාග ප්‍රතිමා අන්කර් වට් හා නොම්පෙන් (සුදු පැහැ ප්‍රතිමාව) නගරවල දක්නට ඇත. 


තවත් අපූරු චිත්‍රයක් අපට හමුවුණි. ඒ ක්‍රිපූ 3500-3600 මහා පිපිරුමට කලින් මිනොඅන් වරු කිසයම් යුද්ධයක් ගැන ඇඳ  තිබෙන සිතුවම්ය. මුදුදෙන් පැමිණෙන විශාල නාවික හමුදාවක් මිනොඅන් නාවික හමුදා සමග සටන් කරන මේ සිතුවම් ඇඳ ඇත්තේ කුමන යුද්ධයක් ගැනද කියා පුරා විද්‍යාඥයන් තවමත් නොදනිති. ඔවුන් සිතන්නේ අප්‍රිකානුන් සමග ඇතිවූ සටනක් කියාය.



වසර 10000 කට පෙර සිටියේ දඩයම් කරුවන් සහ ආහාර එකතු කරන්නන් (hunter - gatherers)  බවට ඇති මතය බිඳී යමින් පවතී. තුර්කියේ ගොබෙල්කි ටෙපේ ආරාමය වන ගොඩනැගිල්ල  සාමාන්‍ය දඩයම්කාර සමාජයකට  නිම කළ නොහැකිය. මෙය වසර දෙදහසකට අඩු නටබුන් ගොඩක් බවට මුස්ලිම් මුල්ලා  වරුන් පවසන අදහස නිසා මුලදී කැණීම් නොකර තිබුණි. බටහිර පුරා  විද්‍යාඥයන් එයට වසර 2000-3000 කට පෙර ගොඩ නගන්නට ඇති පැවැසුහ. තුර්කි සහ නව යුරෝපීය සොයා ගැනීම් වලට අනුව එය වසර 12000-13000 පමණ පැරණිය.  (පින්තූරය අන්තර් ජාලයෙනි) 

ඒ කාලයේ භාවිත කරන ලද උපකරණ ද එයට යාබද නගරයක පොලොව යට තැනු විශාල කාමර සහිත ගොඩ නැගිල්ලක්ද සොයා ගෙන ඇත. 

බුදුන් ශ්‍රී ලකාවට සේතු සමුද්‍ර සන්ධිය හරවා පයින් වැඩම කර යක්ෂ - නාග යුද්ධය සමථයකට  පත් කලාද? එසේත් නැතිනම් ලංකාවේ ඉපදුනු බුදුන් වහන්සේ (නමක්) ඒ යුද්ධය  නැවත් වූවාද? මේ ප්‍රශ්නය සොයා බැලීම සඳහා ලන්ඩනයේ මගේ මිතුරු නීතිඥයෙකු වන වජිර ධනපාල සමග බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති පුස්කොලපත් පිරික්සන්නටත් වෙනත් සාධක සොයා ගැනීමටත් වසර දෙක තුනකට පමණ පෙර තීරණය කලෙමි. වජිර ඒ අදහසට පක්ෂව ඇත්තේ ඒ ගැන සොයා බලා බව මට පැවසීය.  කෝවිඩ් වසංගතය  එන්නට පෙරාතුව දෙරණ රූපවාහිනියේ වසන්ති නානායක්කාර මහත්මිය හා  ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදිනියක  වන පද්මිණි මාතරගේ සමග එකතුව මේ පිළිබඳව ව්‍යාපෘතියක් කිරීමට  අප අදහස් කරගෙන සිටියෙමු. එය කෝවිඩ් සමග ඇතිවූ තත්වය නිසා වැලකි ගියේය.  තවම එවැනි අදහසකට පක්ෂපාතිත්වයක් නැති මුත් ග්‍රීසියේ දී මා  දුටු, කියැවූ , ඇසූ දේවල්  අනුව ඒ ගැන සොයා බැලීමට අදහස් කරගෙන සිටිමි. 

ග්‍රීක වාසීන්ට  හෙලනික් වරු යන නාමය ලැබුනේ කෙසේද යයි මම කෞතුකාගාරයේ භාරකරුගෙන් විමසුවෙමි. ඔහු කීවේ හෙලස් යනු ග්‍රීක මුල් නම බවයි. හෙලස් යන නමින් හෙලනික් යන නම සැදී ඇත. ග්‍රීක ආණ්ඩුව හෙලනික් රිපබ්ලික් ය. ඔවුන්ගේ භුමිය හෙලස් ය. ඔහු තව දුරටත් මා සමග කතා කල අතර ඒ සාකච්ඡාව ඉදිරියේදී පල කරමි. //The Greeks called their land Hellas and themselves Hellenes. It was the Romans who called them Greeks- (Graeci ) and that is the name by which we know them. The Greek historian Herodotus wrote that “ Egypt is the gift of the Nile ” but he never came up with an expression so memorable to describe his own country.-wikipedia-google-//

 මේ පිලිබඳ ඉදිරියේදී පල කරන ලිපි පෙලට සමගාමිව මිනෝඅන් ශිෂ්ඨාචාරය සමග ලංකාවේ  ඇති සම්බන්ධතාවය සොයා බැලීමට තීරණය කලෙමි. අප පටන් ගත යුත්තේ බ්ලවස්ට්කි , ගයිගර් ආදීන්ට වැරදුනු තැනිනි. එනම් ආර්ය මිත්‍යාව ඉවත් කරය. දේශපාලන හා ජාතිවාදී අරමුණු වලින් තොර සැබෑ සාක්ෂි සොයන කිසියම් ව්‍යාපෘතියක් ඇරඹීම ගැන ඔබේ අදහස් පල කරන්න.  (බ්ලොග් අඩවියේ පළ කිරීම වඩා හොඳය.)

- මතු සම්බන්ධයි 

- අජිත් ධර්මකීර්ති 


Lapis lazuli

ග්‍රීසියේ ගිනි කන්ද කරා ගිය ගමන - ග්‍රීසියේ සංචාරය 5

ලංකා ඉතිහාසය - ජාන විද්‍යාවේ ද්‍රවිඩ සිංහල තියරිය හා බුදුන් උපන් ලංකාව

Greece vs Hellas: The Semantics Behind the Country with Many Names

ගොබෙල්කි ටෙපේ 

Helena Blavatsky

Nazi Scientists Who Wanted To Find The Origins Of The Aryan Race Came To Sri Lanka


Sunday 15 January 2023

නේස් නෝනලා ගේ කතා වස්තුව

                                    
ලලා අයියා ලලක්කා ට හොරෙන් අහවල් වචනය ලැප් එකේ ගහන්නට මාන බලමින් උන්නේය. අහවල් වචනේ වැඩියෙන්ම හොයන්නේ ලංකාවේ උන් කියා ගුගලයා ද කියන බැවින් ලලයියා  හිටියේ මොකද කරන්නේ කියා හිතා ගත නොහැකිවය. ඉඳහිට ඉතාලියේ ඉන්න නෑයින් ට හා පිටරට  ඉගෙන ගන්නා දෝණිට ෆේස්බුක් එකෙන් ලලක්කා කතා කරන නිසා ලලක්කා ද ඉඳහිට ලැපය භාවිතා කරයි.

ඔය අව් අස්සේ පිටරටින් කෝල් එකක් ආවේය. ඒ කෝල් එක ආවේ පස්සයේ  හඩුන්නෙට්ටි  ඩොක්ට්‍රින් එකට සපෝර්ට් කරනා අයෙකු ගෙනි. හඩුන්නෙට්ටි  ඩොක්ට්‍රින් එක ගැන නොදන්නා කෙනෙක් නැතිය. ඒකට අනුව ඕනෑම හිතවතෙකුගේ ගෙදරට ගිහින් එයාගේ අලුත් කමිසය දාගෙන සපත්තු හෝ සෙරෙප්පු දෙකත් ඇත්නම් ඒකත් අරගෙන එලියට බැසිය හැකිය. හඩුන් අයියා පස්සයේ ලොකු  අයෙක් නිසා හිතවතා මුකුත් කියන්නේ නැත. කියලා  සවුත්තු වෙන්නටද  බැරිය. අනිත් එවුන් විප්ලවයට ද්‍රෝහී වුනා යයි කියනු ඇත. විප්ලවය  පාර්ලිමේන්තුව ඇතුලේ වෙන්නේද පිටත වෙන්නේද නොදන්නා නමුත් හිතවතා  කරබාගෙන  ඉන්නේය.

මේ නිසා ලලයියා බය නැතුව පිටරට හිතවතා ට සිද්දිය කිව්වේය.

"අයියෝ ඕක මොකද්ද  ලලයියේ. අපි ඉන්නේ ඕවටනේ. කෙලින්ම ගහන්න පෝං හබ් කියල. ලලයියට ඕනෑ මොකද්ද ඕනෑ ජාතියක් එනවා " හිතවතා ටිපක් දුන්නේය.

"ඒ වුනාට මලේ ලැපේ අක්කත් බලනවනේ. ඕවා බලල  අහු වෙලා දික්කසාද වෙන්න බැහැ මේ නහින දෙහින කාලේ " ලලා අයියා සෑඩ් එකෙන් කීවේය.


"අය්යෝ අයියේ අපි ඉන්නේ ඒකටනේ" . පිටරට හිතවතා ආයෙත් ඇද්දේය. මූ නම් හොඳ එකෙකි . හඩුන්නෙට්ටි ඩොක්ට්‍රින් එකට අනුව මේ හිතවතා  ලලයියාගේ ඉන්ටනෙට් බිලද ගෙවන්නේය.

"ආ එහෙනම් කියමුකෝ බලන්න. "

"ලලයියේ ගූගල් ක්‍රෝම් එකේ උඩ ඉංකොග් නිටෝ කියල එකක් තියෙනවා. ඒ කියන්නේ අහුවෙන්නේ නැතිව ඉතිහාසෙට යන්නේ නැතිව පෝං හබ් එක බලන්න පුළුවන්. ඕං වැඩේ කොරනවනම්" හිතවතා දුන් උපදෙස මසුරන් ය.

ඒ කාලේ ඉඳන්ම නේස් නෝනලා ගැන ලලයියා ගේ හිතේ ලෙන්ගතු පොජ්ජක් තිබුනේය.  එක පාරක් අහිංසකම අහිංසක නේස් නංගි කෙනෙක් ගැන ආලවන්ත සිතක් ද තිබුන නමුත් පස්සයේ වැඩ නිසා අහවලාට  සීගිරි යන්නට බැරි වුනාසේ ඒකටත් කෙළ වුනේය.  

පිටරට හිතවතා ගේ උපදේශය නම් මරුය. අර සයිට් එකේ නේස් නෝනලා ගොඩකි. එක එක විධියේය. මේ ගොල්ලෝ ඇත්ත නේස් නෝනලා ද නැත්නම් නේස් නෝනා ලාට ඇඳගත්ත උදවිය දැයි පොඩි විචිකිච්චාවක් ද ආවේය. 

ඕන සේපාල් ගේ ලබ්බක් කියා ලාලයියා රෑ වෙනකන් සයිට් එකේ හිටියේය. ලලක්කා ඉඳහිට කාමරයට එබෙන නිසා මුකුත් කර ගන්නට ද බැරිවුණි. 

ඉතින් ඔහොම ඉඳිද්දී ලලයියා ට නින්ද ගියේය.

ලලයියා  දැක්කේ මාර හීනයකි. මැතිවරණයෙන් අපේස්සා  කල පරිදිම පස්සය  ඉහළින්ම ජය ගෙන තිබුනේය.

ලලයියා ට කිඹුලේ මහත්තයා කරපු අමාත්‍යංශය ලැබී තිබුනේය.

ලලයියා කෙලින්ම  ගියේ මහා ඉස්පිටිතාලේ ටය. ලලයියා ගේ ඒ  දවස්  වල කස්සෙක දැන් වැඩ කරන්නේද ඒකේය.

 අමටිවරයා වසයෙන් කළ මුල්ම  කතාවේ ලලයියා කීවේ නේස් නෝනලා සුනිල්  ප්‍රේරා  මල්ලි  වැනි විද්වතුන්  පෙන්වා දුන් පරිදි ලස්සනට ඇඳිය යුතු බවය. පිටරට නේස් නෝනලා මෙන් ඇස්සයිස් කළ යුතු බවය. බඩවල් වෙබ්සයිට් වල නංගිලාට මෙන්  මෙන් පැතලියට තිබිය යුතු බය. නේස් නෝනලා ද හිකි හිකි ගගා අසා සිටියෝය. මිනිසුන් සදෙව් ලියන්  වන්  නේස්ත් නෝනලා දැක චිත්ත  ප්‍රීතියෙන් පිනා ගොස් ඉබේම සනීප වෙන්නේය. රටට අවුසද ඉතිරි වන්නේය. නේස් නෝනලාට පඩි වැඩි කරන්නට ඕනෑ නැත. නේස් නෝනලා බලන්නට දොස්තර ලා එන හෙයින් දොස්තර සංගමේ වැඩ වර්ජනද නැවතිලා ය.

ලාලයියා ඇමටිවරයා ලෙස  කල නිහඬ විප්ලවේට චූන් ගොස් අලුත් ජනොධිපති උතුමා වන අනුරායියා ද කෝල් එකක් දී සුභ පැතුවේය.

ඒ අස්සේ  ලලක්කා මහා හයියෙන් කෑ ගහන හඬ ඇසී ලලයියා හොඳටම තෙමී  ගෙන ඇහැරුනේය.

තෙමිච්ච සරම හෙමින්ම රෙදි කූඩයට ඔබා ලලයියා නාගෙන ආවේය.

ලලක්කා පෝං එක අරගෙන ආවේ එවිටය.

"මජ්ජිම කාරක සභාවෙන් කතා කරනවා . ඔයා පරක්කු නොවී යන්න."

ලලයියා පෝං එකට කන තිබ්බා විතරය. අරෙහං කෑ ගහනවාය.

"මොකඩ්ඩ ශාහෝදරයා චන්ද කඩන්න කොන්තරත්තුවක් වත් ගත්තද  ලංඩන් වලින්  "

-ඔබලාගේ හුදු විනෝදය සඳහා පමණි. සියලුම නම් ගම් මනහ්කල්පිතය. 




- අජිත් මල්ලි