Sunday, 23 March 2014

ප්‍රාග්ධනය - භාණ්ඩ කෙරෙහි විකෘති ඇල්ම හා එහි රහස (අංක 3)

මේ මාතෘකාව ගොඩක් තැන වල කතා කරපු දෙයක් නිසා වැඩි මනත් යමක් ලියන්න නැහැ. මාක්ස් ගේ මේ කුඩා පරිච්චේදය "The Fetishism of Commodities and the Secret Thereof" කියන එක මම පරිවර්තනය කෙරුවේ භාණ්ඩ කෙරෙහි ඇතිවන විකෘති ඇල්ම හෝ ආලය හා එහි රහස යනුවෙන්.
භාණ්ඩයක් කියන්නේ ගුප්තමය දෙයක්. හේතුව එහි (භාණ්ඩයේ)  ගැබ් වෙලා ඇති මිනිස්සුන්ගේ  ශ්‍රමයේ  සමාජමය ගුණය  එම මිනිසුන්ටම පෙනෙන්නේ  ද්‍රව්‍යාත්මක ගුණයක් වශයෙන් , ඒ මොකද ඔවුන්ගේ  ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩයටම  එය  කාවැදී  ඇති නිසා. එතකොට භාණ්ඩ නිෂ්පාදකයාට තමන් අතර තියෙන සමාජ සම්බන්ධතාවය පෙනෙන්නෙත්  තමන් නිෂ්පාදනය කරන භාණ්ඩයේම  සම්බන්ධතාවන් හැටියට.
මේ නිසා තමයි මිනිස් ශ්‍රමයෙන් නිපදවුම් දේ වෙළෙඳ භාණ්ඩ බවට පත් වන්නේත් සමාජීය දේ වල ගති ලක්ෂණ එකම වේලාවකදී  අපේ සංවේදනයන්ට හසු  වන්නේ හා හසු නොවන්නේ. මාක්ස් මෙතැනදී මෙය සමාන කරනවා මෙයට. කිසියම් ද්‍රව්‍යකින් අපට එන ආලෝකය අපේ අක්ෂි ස්නායු සමග ඇති වන උත්තේජනයක  ප්‍රතිඵලයක් ලෙස ගත හැකි  උවත්  අප එය ගන්නේ අපේ ඇසට බාහිරින් ඇති ද්‍රව්‍යාත්මක හැඩයක් (ආකාරයක් - form ) වශයෙන්. 
  භෞතික දේවල් අතර භෞතික සම්බන්ධතාවන් පැවතුනත් භාණ්ඩ වලට මෙය අදාල නැහැ. ශ්‍රමයේ ප්‍රතිඵල (products of labour ) ලෙස අප දකින වටිනාකම් අතර  සම්බන්දතා , භාණ්ඩ යයි  අපට දැඩිව ඒත්තු ගන්වන දෙයකි. භාණ්ඩ වශයෙන් ඇත්තටම පවතින දෙයත්    (the existence of the things quâ commodities) ඉහත සඳහන් ශ්‍රමයෙන් නිපදවූ දෙයත් අතර කිසිම භෞතික සම්භන්ධතාවයක් ඇත්තේ නැත. 
මිනිසුන් එකිනෙකා  අතර අනිවාර්යයෙන්ම ඇති සමාජීය සම්බන්ධතාවය මිනිසුන් ඔවුන් ගේ  ඇසින්ම දකිමින් උපකල්පනය කරන්නේ ද්‍රව්‍ය අතර මේ සිත්ගන්නා  සුළු සම්බන්ධයක් ඇති බවයි. 

මාක්ස් මෙහිදී කියනව මෙය හඳුනා ගැනීමට ආගමේ මිදුම් වලාවෙන් වැසි ඇති ලෝකයේ ප්‍රදේශ ගැන සිතන්න කියල. එවැනි ප්‍රදේශවල මිනිස් මොලයෙන් නිපදවූ දේ ජීවයේ ලකුණු ඇති ස්වාධින දේ හැටියට ගණන් ගන්නා බවත් එවැනි දේ එකිනෙක අතරත මිනිස් වර්ගයා  සමගත්  සම්බන්ධයකට එළඹේ. මෙය මාක්ස්  Fetishism හැටියට හදුන්වයි. ද්‍රව්‍ය නිෂ්පාදනයේදී මේ සැඟවුණු ඇල්ම භාණ්ඩය නිෂ්පාදිත මොහෙතේ පටන් එයට ඈඳී තිබේ.
උදාහරණ කීපයක් ගනිමු. ඇපල්  iPhone වලට ගොඩක් අය  කැමතියි. මටත් එකක් තිබෙනවා . මගේ mobile දුරකථන ගිවිසුමට අනුව මට නිකම් ලැබෙනවා එකක්. හැබැයි මම ඒ එකක් ලැබෙනකම් නිදි මරාගෙන බල සිටිනවාද? හම්බ වුනේ නැතිනම් වෙන එකක් අර ගන්නවා. නමුත් මමවත් ඔබවත් වගේ නොවන පිරිසක් ඉන්නවා,  එය (අලුත්ම version එක ) වෙළඳ පොලට ඉදිරිපත් කරන දිනය ඇඟිලි ගනිමින්. සමහරු කුඩාරම් හදාගෙන සාප්පුව ඉදිරි පිට පෝලිම් ගැහිලා ඉන්නවා. මේ ගොල්ල අර දුරකථන වර්ගයට ජිවයක් ලබා දීල තමන්ගේ ජිවිතයට අවශ්‍යම භාණ්ඩයක් කර ගෙන. ඒගොල්ල ඒකට fetish එකක් ඇති කර ගෙන. 
මේක x -box , Sony Play Station ආදියටත් තියෙනවා. මරා  ගන්නවා පෝලිම් වල ඊළඟ අලුත්ම version එක එලියට දාන  දවසට . 
ඊළඟට බලමු 2011 ඇති වුන ලන්ඩන් කලබල පිළිබඳව ? "http://en.wikipedia.org/wiki/2011_England_riots"
මෙය ඇතිවුනේ පොලිසිය මාක්  duggan  නැමැත්තා  මැරුව  නිසා . ඔහු දන්නා මත්  ද්‍රව්‍ය  ප්‍රවාහකයෙක් . ඔහු ළඟ  ආයුධ  තිබුනද නැත්ද මම දන්නේ නැහැ . නමුත් ඔහු ඒ වගේ අනිකුත්  තරුණයන් (වැඩි පිරිස ) මේ මත්  ද්‍රව්‍ය  ප්‍රවාහක වැඩේට බහින්නේ ළමයින්ට කන්න දෙන්න නෙමේ.  තමන්ට අවශ්‍ය භාණ්ඩ ගන්න . ඒ භාණ්ඩත් අපට ඔබට අවශ්‍ය දේම නෙමේ. nike , adidas සපත්තු , mobile phone , ralph lauren වගේ නාමික භාණ්ඩ ගන්න. මේවා හුඟක් ගණන් . මේවා fashion නම්. Brand names . මේවා නැතුව මේ ගොල්ලන්ට එලියට බහින්න බැහැ . අපටත් මේ ප්‍රශ්නය ටිකක් තියෙනවා. හොඳ french connection වගේ label එකක් තියෙන කන්නාඩි දෙකක පැළඳුවේ නැත්නම් office එකෙත් ගණන් ගන්නේ නැහැ.
එතකොට මේ ලන්ඩන් riot එක. එකේදී මාර්ක් වෙනුවෙන් මිනිස්සු කලේ කඩ කඩපු  එක.  කඩ කඩලා  ඒ වලින් අර Brand names භාණ්ඩ තමා  ඉස්සුවේ. ඔන්න මේ "Fetish " එක යන දුර. මේ කිසිම තැනක ඔය භ්නද හදපු ශ්‍රමිකය හා භාණ්ඩය අතර සම්බන්ධතාවක් ගැන කවුරුත් හිතනවාද ? නැහැ . පොලිසියටත්  ගහල අර භාණ්ඩ වලට ඇති ඇල්ම නිසා කෝලාහල කරනවා විතරයි. මේක තමයි ධනවාදයට ඕනේ .
හැබැයි මේ ධනවාදී සමාජයේම තව පැත්තක් තිබෙනවා. එක තම දැන් Sainsbury වගේ විශාල supermarket වල විකුනන්න තිබෙන "සාධාරණ වෙළඳාම fair  trade  " කියන ලේබලය ගහපු භාණ්ඩ. තේ කොළ , කෝපි , කෙහෙල් ගෙඩි වගේ දේ. මෙතන මොකද වෙන්නේ. පාරිභෝගිකයාට බල කරනවා භාණ්ඩ අතර සම්බන්ධතාවයෙන් එපිට බලන්න. එයාලම කියනවා මේ සාධාරණ වෙළෙඳ භාණ්ඩ නිපදවා  තියෙන්නේ නිපදවන ලද ශ්‍රමිකයට ශ්‍රමයට සරි ලන පරිදි මුදලක් ගෙවල අඩු ලාභයක් අරගෙන කියල. ඉතින් අපත් සවිඥානකව ඒවා මිලදී ගන්නවා. මෙතැනදී කවුරු සුරා කෑම කියල දෙයක් නැහැයි කියල උඩ  පැන්නත් මේ 
fair  trade තේ කොළ ආදිය විකිනිමෙන්ම පේනවා ඒ ගොල්ල එහෙම දෙයක් තියෙන බව පිලි ගන්නවා කියන එක. 



No comments:

Post a Comment

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.