Sunday, 28 June 2015

සියාමා 2 - ආදරණිය සොයුරියේ


එතැන් පටන් දෙසතියක් පමණ යනතුරු අප දේශනාවලදී හමුවී කතා කලත් ඇගේ දෙමාපියන් ගැන මම නොවිමසුවෙමි.  කතා කලේ විෂයන්ට අදාළ දේ පමණි. ඇයට තීසිසය  සඳහා අවශ්‍ය වුයේ එක්ස්පෝ - ප්ලනට් හෙවත් වෙනත් සුර්ය ග්‍රහ මණ්ඩල වල ග්‍රහ ලෝක ගැන සෙවීමටය. මේ වන විට එවැනි ග්‍රහ ලෝක 600 ක් පමණ සොයාගෙන තිබු අතර තාරකා විද්‍යාව හදාරණ අයට මේ පිළිබඳව දැඩි උනන්දුවක් තිබුණි. හැමෝම උද්යෝගයෙන් කතා කලේ ඒ ගැනයි. අපත් කතා කලේ ඒ ගැන පමණි. ඇය හැඬු ඒ දවස ගැන අමතක කළ මම  ඇයට අවශ්‍ය වෙලාවක, ඇය  විඳවන වේදනාබර මතකයකින් ඇගේ සිත නිදහස් කර ගැනීමට  මා ආමන්ත්‍රණය කරනු තුරු බලා සිටියෙමි.

 මයිල් එන්ඩ් උමං  දුම්රිය පළින් එලියට පැමිණ වමට හැරී විශ්ව විද්‍යාලය පැත්තට එන අයෙකුට මයිල් එන්ඩ් උද්‍යානය හමුවේ. පාර යන්නේ උද්‍යානය දෙකට බෙදමිනි. මේ උද්‍යානයේ පියකරු වතුර මල් තිබෙන පැත්තක්ද කුඩා පොකුණක් තිබෙන පැත්තක්ද ඇත. කලින් පැමිණෙන වේලාවට මේ උද්‍යානයේ ඇති බංකුවක වාඩිවී  පොතක් කියවීමට හෝ තේ එකක් බීමට  මම පුරුදුව සිටියෙමි. සියාමාද මා අනුවම එම පුරුද්දට වැටුනාය. අප බොහෝ විට දේශන වලට යාමට ප්‍රථම හමු වූයේ එතනය.

ඒ දවස උදාවිය. හැබැයි එය මෙතරම් දරුණු ලෙස මගේ සිත දුකින් මෙන්ම මිනිසුන් කෙරෙහි වෛරයකිනුත්,  සියාමා පිලිබඳ දැඩිම දැඩි අනුකම්පාවකිනුත් පිරි යාවි යයි මම නොසිතුවෙමි. මා පැමිණියේ පැය එකහමාරකටත් කලින්ය. රැකියා ආයතනයේ කෑම පැය  මග හැර දිගටම වැඩ කිරීමෙන් පසු මට කලින් පිටව යා හැකිය.  එදින ඇයද සුපුරුදු බංකුවේ තාරකා ගැන කියවමින් සිටියාය. මගේ අතේ තිබු තේ දෙකින් එකක් ඇයට  දුන් මම මා  ගෙනා බිත්තර සුදු මදයෙන් හා කස්ටඩ් සීනි වලින්  සාදන ප්‍රනීත මෙරැන් (meringue)  වලින් එකක්ද දුනිමි. ඇය ඒවා කෑමට කැමති බව දැන  සිටියෙමි.
සෙමින් සෙමින් එය කඩා ගෙන කමින් කට හඬ අවදි කළ ඈ,
" මගේ තාත්තා ගණිතය ගැන දේශණ කල විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක්. බ. දේශයේ  ජාතික විශ්ව විද්‍යාලයේ  ඉගැන්වුයේ.  අපි හිටියේ කශිම්පුරය  ළඟ ගමක.  බොන්ෂයි ගඟටත් ලඟයි  ඒ හරිය. තාත්තා හිටපු ගමන් අපිව එක්කන් යනවා ගඟ දිගේ ඇවිදින්න හරි,  බෝට්ටු සවාරි හරි. හරිම සුන්දරයි ගඟ දෙපැත්ත. අක්කයි මමයි පුංචි මල්ලියි හරිම ආසයි ඒ ගමන් වලට. "

"ඔයා දෙවැන්න නේද පවුලේ " මම ඇසුවෙමි.

"ඔව්. අපේ තාත්තා හරියට පොත් කියවනවා. තාරකා විද්‍යාව, අභ්‍යවකාශය ගැන. මං  හිතන්නේ තාත්තත් අදේවවාදියෙක් වෙන්න ඇති"
"ඔයාට කියල නැත්ද?" මා ඇසුවෙමි.
"නැහැ. තාත්ත ළඟ තිබුන පොත් අතර අර රැවුල් තියෙන අයගේ පොතුත් තිබුන. අනේ මං  හිතුවේ කවුරුහරි වැදගත් ඉස්ලාමික මුල්ලා කට්ටිය  කියල පිටරට ඉන්න. මෙහෙට ආවමයි දැන ගත්තේ ඒ කවුද කියල. අපේ ඉස්ලාමික ගුරුවරු ඔක්කොම රැවුල් වවාගෙන නේ ඉන්නේ" ඇය ලජ්ජාවෙන් මෙන් පැවසුවාය.

"ඔයා කියන්නේ මාක්ස්, එංගල්ස් ගැන නේද? සමහරවිට කැස්ත්‍රෝ ත්. තාත්ත හොඳ වාමාංශිකයෙක්ද?"

"වෙන්න ඇති. හැබැයි ඒකම ප්‍රශ්නයකුත් ඇති කරන්න ඇති."

"ඒ කිව්වේ" මා  ඇසුවෙමි.
"තාත්තා  ආගමට ගරු කරන්නේ නැහැ කියල විශ්ව විද්‍යාලේ පැතිරිලා තිබුන මම හිතන්නේ. ඒ විශ්ව විද්‍යාලෙම  වැඩ කරන සුළු සේවකයෙකුත් නිලධාරියෙකුත් ගමේ හිටිය. ඒ ගොල්ල ඒක  ගමෙත් පතුරුවල තිබුන මම හිතන්නේ. අනික ගමේ හුඟක් අය  අප ගැන ඉරිසියයි වගේ තේරුණා. අපි සතුටෙන් හිටියේ. තාත්තට සීය, ආච්චිත් මුදලින්උදව් කරලා ගත් පරණ කාරෙකකුත් තිබුන. තාත්තගේ නංගි, මගේ නැන්ද  එංගලන්තේ ඉඳන් උදව්කලා අපට අමාරු වෙන කොට.  අම්මත් තාත්තත් හමු වී තිබුනේ විශ්ව විද්‍යාලයේ. ආදර සම්බන්ධයක්. ඒකත් සම්ප්‍රදායට අනුව නෙමේ. අම්ම ලිපිකාරිණියක් වුනත් රස්සාවකට යන්නේ නැතුව අපව බලා ගන්න  ගෙදර හිටිය. ඒත් මං  හිතන්නේ නෑදෑයන්ගේ හා අසල්වාසීන්ගේ කතාවලට එහෙම කලා කියල.  අපි දෙන්න ඉස්කෝලේ යනවාටත් කට්ටිය විරුද්ධ වුනා. අක්කයි මමයි.  සමහර ගැහැණු ළමයි ඉස්කෝලේ ගියේ නැහැ. එහෙම නැත්නම් යන්තන් ලියන්න කියන්න ඉගෙන ගත්තම ගෙදර නැවතුනා.  "
"හරියට 1920 ගණන් වල ශ්‍රී ලංකාව වගේනේ. දැන් ලංකාවේ එහෙම ඔහොම නැහැ.  නමුත් දැන් බ. වල ගැහැණු ඕන තරම් වැඩ කරනවා නේද? බංගලා දේශය  ඔයිට වැඩිය  දියුණුයි කියල මම හිතුවේ. "
"ඔව් ගාමන්ට් වල අඩු පඩියට කෙල්ලෝ වැඩ ක‍රනවා. අනික  ප්‍රියාන්  මම මේ කියන්නේ අවුරුදු 15 කට විතර කලින් තත්වේ. මගේ දැන් වයස කීයද?"
"ඔව් හරි හරි. ඒක ඇත්ත." ඇයගේ කතාවට බාධා කිරීමට මගේ සිත් නොදේ.
"මගේ අක්කා හරිම ලස්සනයි ප්‍රියාන්. අක්කාගේ ඇස් ළා දුඹුරු පාටයි.ඉර එලියට ඒවා කොළ පාට වගේ වෙනවා. අක්කට මායා කාරී කියල ගමෙයි ඉස්කෝලෙයි කෙල්ලෝ කිව්වේ. අක්කගේ හම  ඇත් දල පාටයි. මගේ වගේ දුඹුරු නැහැ. මන් හිතන්නේ  ගමේම හිටි ලස්සන කෙල්ල එයා."
"දුඹුරු කියන්නේ කැතයි වගේනේ ඔයා කතා කරන්නේ. මෙහෙ කෙල්ලෝ දුඹුරු පාට  වෙන්න කොච්චර උත්සාහ කරනවද? ඔයා  කොච්චර ලස්සනද ? එතකොට ඔයාට වැඩිය කලුයි මම. ලැජ්ජා නැත්ද කැත මිනිහෙක් එක්ක කතා කරන්න" මම සිනා වෙමින් කියුවෙමි.
"ඒ මෙහෙනේ ප්‍රී. බ  දේශයේ  ටිකක් සුදු වෙන තරමට මනාලයෝ වැඩියි. හැබැයි කැමැති වුනේ නැත්නම් මූණට  ඇසිඩ් ගහන එකත් එහෙමම තමයි. "
"මාත් ඒක නම් අහලා තියෙනවා. දැන් මං ප්‍රී ද සියා ? " මා සිනාසෙමින්  කීවෙමි.
"හි හී හී හා හා "අතින් මුව වසමින් ඈ සිනා සුනාය. එදා හැඬු දිනයෙන් පසු ඇය සිනාසුනේ අද විය යුතුය. නමුත් ඒ සිනාව පසු පස තවත් කඳුළු ගඟක් ගලා එන බව මට ඉවෙන් මෙන් දැනිණි.
මදක් නිහඬව  සිටි ඈ නැවතත් කතා කරන්නට පටන් ගත්තාය.
"ඔයා දන්නවද ?...." ඈ නැවතත් පැකිලිමකින් මෙන් පටන් ගත්තාය.
"නෑ " මම මැදට පැන්නෙමි. ඇය  නැවතත් සිනාසුනාය. කිසියම් සිනහවක් හා සතුටක් රැඳුනු  ඒ මොහොත අද කල්පයක් වටින බව සිතමි.
"හ්ම් ඔයා  දන්නවද මේ මේ .."ඇය නැවතත් පැකිලුනාය.
"හිතා ගන්න  බැහැ ඔයාම කියන්න"  කීමි.
"මේ ගැහැණු ළමයි  පාවිච්චි කරන සනීපාරක්ෂක තුවා  හෙම"
"මම පාවිච්චි කරන්නේ හෙම නැහැ. මගේ අනිත් පළුවට ගෙනත් දීල තියෙනවා. එහෙම ලැජ්ජාවක් නම් නැහැ දැන්. ඇයි ඇහුවේ?"
"අනිත් පළුව  කීවේ. ආ තේරුණා. බ.  දේශයේ  හුඟක් ගැහැණු අය දුප්පත් වගේ අය පාවිච්චි කරන්නේ පරණ රෙදි , ගවුම් කෑලි හෙම. ඒවා හෝදනවා වරින් වර"

"ඇත්තද? පරණ කාලේ. දැන්නම් එහෙම නැහැ." කතාව  අපහසු පැත්තකට යන සෙයක් පෙනුනින් මම කෙටි පිළිතුරක් දුනිමි.

"ප්‍රියාන්  එහෙ ගම්  පැතිවල තවත් එහෙමයි.  අපේ තාත්ත අම්මටයි අක්කටයි කඩේ ඔසු සල් වල විකුණන ඒවා ගෙනත් දීල තිබුන. ඒක නවිනයි.  හොඳයි කියල. තාත්ත ඒවාට ලජ්ජා වුනේ නැහැ. එයාට  ඕනේ වුනේ අපි නවීන  විධිහට ජිවත් වෙනවා දකින්න.  ඒවා වත්තේ පහල වලක තව කුණු සමග ගිනි තැබීම කලේ තාත්ත. අපිට කුණු විසි කරන්න ක්‍රමයක් නැහැ. අවශ්‍යනම් වෙනම තැනක්  තිබ්බ කුණු ගෙනිහින් දාන්න. "

"ඒක  නම් ලංකාවෙත් එහෙමයි. මුළු ආසියාවේම ප්‍රශ්නයක්". ඇය මෙවැනි කතාවක් අපි අතරට ගෙනාවේ මන්දැයි මට එකවර වැටහුනේ නැත.

"එක දවසක් මොකක් හරි දේකින් ගිනි ගනිල නැහැ. තාත්ත ගිනි තියල ඇවිත් වෙන වැඩකට. ඉතුරු එකක් බල්ලෙක් ඇදගෙන ගිහින් වෙන වත්තකට. හෙන රණ්ඩුවක්. මාස්  ශුද්ධිය වෙන වෙලාව අපලයි කියල විශ්වාසයක් තියෙනවා. ගැහැණු රෙදි කෑලි හෝදන වැඩ පවා කරන්නේ හොරෙන්.  එළදෙන්නු  දීහා බැලුවොත් උන්ට කිරි එරෙන්නේ නැහැලු. පිරිමියෙක් කොල්ලෙක් දිහා බැලුවොත් උන්ට උණ හැදෙනවලු. ඒකට  නම් මං  කැමතියි. කොහොමද අපේ බලේ. හික් හික්. " අස්වාභාවික අන්දමට ඇය සිනා සුනාය.
"අපිට යාඥා කරන්නත් තහනම් ඒ කාලෙට ."

"අපේ රටෙත් බෞද්ධ පන්සල් ඇතුළට යන්න බැහැ  මා දන්නා විධිහට. කිළි  කියල එකක් විශ්වාස කරනවා. කෝවිල් වලට යන්නත් බැහැ. ඕවා නම් මහා  මිථ්‍යා  විශ්වාස. මුළු මනුෂ්‍ය ජිවිතයම පටන් ගන්නේ ඔය ස්වභාවික ක්‍රියාවලිය  තුලනේ.  තවමත්  මේ මැට්ටෝ මේවා විශ්වාස කරන එකනේ පුදුමේ.  " මම ඇයට  කියන්නට තැතනුවේ පසුගාමී ලෙස සිතන ආසියාතික මිනිසුන් සැම  රටකම සිටින බව කියන්නයි.

"ඒ සනීපාරක්ෂක තුවාය ගැන මහා ජරා කට කතා පැතිරෙව්වා ගමේ. අක්කට අකැමැති ගෑණු ටික මුලින්ම. ඕව ගණිකා වෘත්තියේ යෙදෙන සුදු ගෑණු අඳින  ඒවලු. අපේ තාත්ත අක්කව අරන් ගිහින් අගනුවර  සුද්දන්ට විකුනණවලු. අපට සල්ලි තියෙන්නේ ඒකලු"
"මහා ජරා මිනිස්සුනේ"

"ඔය කතාව වැඩිපුරම ප්‍රචාරය කලේ අෂ්රෆ් ගේ පුතා. අක්බාල්. අක්බාල් අක්කට වැඩිය අවුරුදු 10-15 විතර වැඩිමහල් මිනිහෙක්. අක්කා  වැඩි විය පැමිනුණ හම ඌ කසාද බඳින්න ඇහුව. අපේ ගෙදරින් කියා තිබෙනවා අක්ක ඉගෙන ගන්න බවත් ඇය තවම ලාබාල බවත්. නමුත් අවුරුදු කීපයක් ම අක්බාල් පස්සෙන් ආව අක්කගේ. ඇසිඩ් ගහනවා කියලත් කීව. මං  හිතන්නේ ඒක නොකෙරුවේ අක්ක වෙන කෙනෙක් එක්ක යාලු වුනෙ නැති නිසාත් , අපේ ගෙදරින් ඇයව බන්දලා  දුන්නෙ නැති නිසාත් වෙන්න ඕනේ.  අක්බාල් ජමාල් - අල් ....පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක්. අන්තවාදී පක්ෂයක්. ගමේ පිරිමි වැඩි දෙනෙක් උන්ට පක්ෂයි. තාත්ත උන්ට භය වුනේ නැහැ.  නමුත් තාත්ත ට අම්මට ඕන වුනේ අපට හොඳට උගන් වන්න. "

"සාමාන්‍යයෙන් අඩු වයසින් දුවලා බඳින එක බ. රටේ  කට්ටිය  මෙහෙත් කරනවා කියල මම දන්නවා. හැබැයි නීතියට අනුකූ ලව.  වයස පරතරය සාමාන්‍යයෙන්  අනිත් විවාහ වලට වැඩියි. නමුත් ඒක  නීතියට විරුද්ධ නැහැ. ඔය පක්ෂය මම අහල තියෙනවා. කෝලාහල ගොඩක් ඇති කරපු එකක්. "මම කීවෙමි.

"එදා මට ඉස්සෙල්ලම බඩේ අමාරුව හැදුනේ ඉස්කෝලෙදි. ටීචර් මාව  තව ගෑණු  ළමයෙක් එක්ක කලින් ගෙදර යැව්වා"
"බෙහෙතක් දුන්නේ නැත්ද? මෙහෙත් තහනම් නම් තමා ටීචර් ලට බෙහෙත් දෙන්න" මා කිවේ මෝඩ කතාවක්  බව වැටහුනේ ඇගේ  සමච්චල් සිනාවෙන් පසුවය.
"මම වැඩි වියට පත් වුනේ එදා බබෝ"
"සමාවෙන්න. මෝඩයි තාම "
"සාමාන්‍යයෙන් එහෙම වුණාම මිලාඩ් එකක් තියනවා. ඒ කියන්නේ උත්සවයක්. යාඥ කරන්න දෙවියන්ට, ගැහැණු ළමයාගේ අනාගතය හොඳ වෙන්න කියල. ඊට කලින් මඩුවක ඉන්න ඕනේ. කහ දාපු බත් විතරයි කන්න දෙන්නේ. ඊට පස්සේ ආච්චි ගාවට යවනවා හොඳට බිරිඳක් වගේ ඉන්නේ කොහොමද කියල ඉගෙන ගන්න.නෑදෑයින්ගෙන් තෑගි හෙම ලැබෙනවා. ඒ වගේම විවාහ යෝජනාත් එනවා.  කිරි වලට මී  පැණි දාල බොන්න ඕනේ හම ලස්සන වෙන්න. ගෑණු ළමයට දෙමව්පියන් දෙනවා ලස්සන කාශ්මිරි වගේ රෙද්දක්. ඒකෙන් දෙතනයි ඔළුවයි වහ ගන්න ඕනේ ඉන් පස්සේ පහු. මාස්  ශුද්ධිය දවසට යකඩ කෑල්ලක්  අතේ තියන් ඉන්න ඕනේ ආරක්ෂාවට. නැත්නම් නරක ආත්ම  එනවලු. "  ඈ ලොකු විස්තරයක් කළාය.

"ලංකාවෙත් මන් දන්නා විධිහට එහෙමයි සියා. දවස් හතක් ගේ ඇතුලේ කාමරේක තම්බුම් හොදි එක්ක බත් කන්න ඕනේ. ඒ කියන්නේ  සුදුළුණු වලින් හදන සුප් එකක්. පිරිමි මුණ ගැහෙන්න බැහැ. තමන්ගේම පියා  හෝ සහෝදරයෝ වුනත්. රෙදි නැන්ද හරි ඒ කියන්නේ ඩ්‍රයි  ක්ලීනින් කරන කෙනෙක් හරි  වෙන වයසක කෙනෙක් හරි නාවන්න ඕනේ හත් වෙනි දවසේ . දවස් හතක් නාන්නේ නැතිව ඉන්නේ. ඊට පස්සේ ඔය වගේම ලොකු උත්සවයක් ගන්නවා. හුඟක් අය කියනවා එහෙම ගන්නේ ඊට පස්සේ ගෑණු  ළමය පැනල යයිද කියල දන්නේ නැති නිසාලු. මේ රටේ හෙම ලංකාවේ කට්ටිය වුනත් ඕව නම් කරන්නේ නැහැ. එකක්  ඒවා කරන්නත්  බැහැ ඇත්තෙන්ම. පාටිය විතරයි ගන්නේ " මම විස්තර කලෙමි.
"ප්‍රියාන්, අපේ කට්ටිය නම් මෙහෙත් කරනවා. "
"මම ගෙදර ළඟ  මඩුවක ආච්චි එක්ක හිටින කොට තමා ආරංචිය ආවේ. අක්ක ගෙදර ඇවිත්  නැහැ.  මම නැති නිසා එයා තනියම එන්න ඕනේ"
"අනේ ප්‍රියාන් "
ඇය හඬන්නට ආසන්න බව මට වැටහුණි. මම ඇගේ අතක් අල්ලා ගතිමි.
"අමාරු නම් නොකිය ඉන්න "
"නැහැ මට කියන්න ඕනේ. තාත්ත අක්කව  හොයල හොයල ගෙදර ඇවිල්ල. තාත්ත හිටියේ පිස්සුවෙන් වගේ. කවුරුත් කෑවේ නැහැ එදා රෑ. මල්ලිට විතරක් අම්ම කවල. දෙවෙනි දවසෙත් අක්ක නැහැ. අම්ම ඔක්කොම චාරිත්‍ර පැත්තකට දාල මාව ගෙට ගත්ත. ආච්චියි මායි මල්ලියි ගෙදර තියල අම්මයි තාත්තයි පොලිසියටයි දන්නා  හැම තැනටමයි ගිහින්  අක්කව හොයන්න "
"තුන්වන  දවසේ  උදේ .............."
ඇයට තද ඉක්කාවක් ගියේය. මම වහා බෑගයෙන්  වතුර බෝතලය ඇද  ඇගේ හිස පිටුපස ඇල කොට වතුර ටිකක් පෙවීමි .  ඇය දරුණු වේදනාවක් යටපත් කිරීමට තතනන බව මට දැනුනි.
හිස දණහිස් අතර රුවා  ගත්  ඈ හඩන්නට වූවාය.

https://www.youtube.com/watch?v=lcH0AjUvwCQ

(මේ දෙවන කොටසයි. මෙය ප්‍රබන්ධයකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)

තුන්වන කොටස  




  

26 comments:

  1. කතාවනම් හරිම සිත්ගන්නා සුළු විදිහට ගොඩ නඟලා තියෙනවා. (අනිත් පළුව අල්ලලා යන වචනයක්!) ඔය අවුරුදු පහළොවකට කලින් කාලේ මාත් ටික කලක් බංග්ලාදේශයේ ජීවත්වුණා. මගේ අත්දැකීම් අනුවනම් බංග්ලාදේශ කාන්තාවන්ගේ තත්ත්වය ලංකාවේ තත්ත්වයට වඩා පැහැදිලිවම පිටුපසින් වුණත් පරතරය ගොඩාක්ම විශාල නොවූ බවයි. ගොඩක්ම ප්‍රශ්න තිබුනේ සමාජයේ මැද ස්ථර වලයි. ඉහළ ස්ථර වලනම් පිරිමි සමඟ හරි හරියට මත්පැන් බොන කාන්තාවෝ පවා (හිතන්ඩ අමාරු වුනත්) මට ඕනෑ තරම් හමු වී තිබෙනවා. ආසියානු සංස්කෘතිය සහ මුස්ලිම් සංස්කෘතිය යන දෙකම කාන්තාවන්ට එරෙහිව එකඟ වන තැන් වලදී තත්ත්වය දරුණුයි. නැත්නම් මට තේරෙන හැටියට බංග්ලාදේශයේ මුස්ලිම් ලක්ෂණ වලට වඩා ආසියානු ලක්ෂණ ප්‍රබලයි. (පිරිමි අනිත් පළුවට ටිකක් බයයි.) කොහොම වුනත් ධාකා, චිතගොං වගේ ප්‍රධාන නගර දිහා බලලා ගම් වල තත්ත්වය තේරුම් ගන්න බෑනේ. ගම් ඔය වගේ ඇති. (ඔය වගේ සිදුවීම් ලංකාවෙත් අඩු නෑනේ.) අනිත් අතට වෙනස්වීම් කොයි අතටත් සිදුවිය හැකියි. 1975 ඉරානය සහ අද ඉරානය වගේ.

    ReplyDelete
    Replies
    1. සමාජයේ ස්ත්‍ර දිහා බලල හැම තැනටම ඒක පොදු කරන්න බැහැ. ලංකාවේ මේ දේ නොවෙනවා කියල කොහෙවත් කියන්න උත්සාහ කරලා නැහැ. එංගලන්තය හුඟක් දියුණුයි කියල හිතන් හිටියට සමහර දෙමාපියෝ හොරෙන් ගෑණු ළමයි අරන් උපන් රටට යනවා "සුන්නත්" කරන්න . (female genital mutilation) මෙහෙ රට ඇතුලෙත් කරනවා. ඒවා වලක්වා දඬුවම් දෙන නීති ආවේ ගිය අවුරුද්දේ.

      Delete
  2. අය්යෝ
    මක්කැයි වුණේ කතාව නං ශෝකාන්තයක් වෙන්න වගේ යන්නෙ..
    හුගක් මුස්ලිම් ජාතිකයන් ඉන්න රටවල ඔය සිදුවීම තියෙනව විසේසයෙන් දකුණු ආසියාවෙ...
    මගෙ යාළුවෙක් ඉන්නව කුවේට් වල ඌ වැඩ කන්නෙ ගෙදරක ඩ්‍රයිවර් කෙනෙක් විදියට පොර මට කීව ඒ ගෙදර මහ දෙන්න අය්යයි නංගියි බැන්දුවල දේපල පිට යනව කියල ඒක සාමාණ්‍ය දෙයක්ලු.. ඒ විතරක්යැ නීතියෙන් ප්‍රශ්න නෑ කියලත් කීව...
    මහ තුච්ඡ වැඩ

    ReplyDelete
  3. ලංකාවෙත් පළාත් වල තාම රෙදි භාවිතා කරන අය ඉන්නවා.. සංස්කෘතින් දෙකක අන්තයන් පේනවා මේ කතාවෙන්. සියාම ගේ තුනත් එනවා නේද?? ජය

    ReplyDelete
    Replies
    1. තව කොටස් හතරක් විතර එනවා.

      Delete
    2. අර කට්ටිය කිව්වත් වගේ හැක් හැක්.. ඒකත් හොදා.. මල විකාර කියවනවට වඩා.. ඔව් ඉදගෙන..

      Delete
  4. ලොකු වෙනසක් පේන්නෙ නෑ බංග්ලාදේශෙත් අපෙත්.
    බොහොම රසවත් කතාවක් වෙයි කියලා හිතුවා පළමු කොටසෙදි. ඒත්...

    ReplyDelete
    Replies
    1. ආදර අන්දරයක් වෙයි කියල හිතුව නම් එහෙම එකක් නොවේ.

      Delete
    2. මධු, අපේ සහ එහේ ලොකු වෙනසක් තියනව බං. බොරුවට අපි නරකයි කියල රවට්ටාගන්න ඕන නෑ. දකුණු ආසියාවෙ අනෙක් රටවල් එක්ක බලද්දි අපිට ඔහොම දේවල් නෑනෙ.

      Delete
    3. අජිත්, අපෝ නෑ... ආදර අන්දරයක් නොවුනට රසවත් වාග් රටාව ගැන මම කිව්වෙ. මොකද අජිත් අයිය මෙහෙම සරල දෙයක් ලියන්නෙ කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බැලූ සඳ වගේනෙ.
      රාජ්, මම කිව්වෙ අර මල්වර චාරිත්තර සැට් එක ගැන. අපේ වගේ නෙමෙයිද හා...? අඩු වයසෙන් බංදලා දෙන ඒවානං වෙනස් තමා.

      Delete
    4. //කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බැලූ සඳ // - නියමයි

      Delete
  5. අජියෝ මේක හරි බරයි. ඇත්තටම මිනිස්සු මෙච්චර ම්ලේච්ඡද කියල හිතාගන්න බෑ. මේක කියවද්දි මෙහෙම නං මේක අහද්දි කොච්චර වේදනාවක් දැනෙන්න ඇද්ද කියලයි කල්පනා කලේ

    ReplyDelete
    Replies
    1. අපි වෙන්නේ නැහැයි කියල හිතන දේවල් අපේ ඇස් ඉදිරිපිට වෙන කොට අපි කරන්නේ ඇස් වහ ගන්න එක.

      Delete
  6. මං දකින විදිහට මුස්ලිම් අයගෙ තමයි ගැහැණු අයට වැඩියෙන්ම තහන්චි දාල තියෙනෙ... ඒකෙන් කියවෙන්නෙ ගැහැනු විශ්වාස කරන්න අමාරුයි කියන එකද?

    ReplyDelete
    Replies
    1. පිරිමි විශ්වාස කරන්න පුලුවන්ද?

      Delete
    2. ඒකම තමයි මටත් තියෙන ගැටලුව...

      Delete
  7. අපෙත් මෙහෙමයි කියල නං මට හිතෙන්නෙම නෑ.. කලාතුරකින් හුදෙකලා සිද්ධි තියෙනවා.නමුත් ඒවා ලෝකෙටම පොදුයි.කාන්තාවන් කලිසම් අඳින නිසා භූමිකම්පා වෙනවා කියන අය මෙහෙ නෑ.
    අජිත් අයිය සියාමා එක්ක කියන්න හදන්නෙ මහම මහ අමුතු කතාවක් වගේ.අමු අමුවේ න්‍යායාත්මක දේශපාලනය ගැන කියනවාට වඩා මේක ගැඹුරටම වදිනවා.බලාගෙන ඉන්නෙ ඉතිරි කොටස් එනකන්... පොඩි දෙයක් ඉල්ලන්නම්.දිග වැඩි වෙයි කියල හිතලා කොට කරන්න නම් එපා.එයාට ඔහේ කතා කරන්න දෙන්න.අපි අහගෙන ඉමු.
    ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. දිග වැඩි වෙන නිසා දෙවන කතාවෙම සමහර කොටස් කපන්න උනා. මට හිතෙනවා ඒක නොකලානම් හොඳයි කියල . දැන් පරක්කු වැඩියි.

      Delete
  8. මේකනම් ප්‍රබන්ධයක් වෙන්න කොහොමටත් බෑ

    ReplyDelete
  9. අර අහිංසකාවි හිතේ අමාරුවට කතා කරනකොට කියන කියන හැම කාරණයක් මද්දටම පැනල අපේ ප්‍රියාන් කොළුවා අනේ අපේ රටේ නම් මෙහෙමයි කියන එක හරිම කරදරයක් මෙයා.

    දුක කියන වෙලාවට ඒකට බාධා නොකර අහගෙන හිටිය නම් තමයි හොඳ. ඒ ඇත්ත ලෝකෙදි.

    කතාවක් ලියනකොට මේ මැද්දට පැනිල්ල කියවන අයට කරදරයක් වගේම කථා රසය අඩු කිරීමක්.

    තව කොටස් කීපයක් තියනවා කිව්වා නේ...

    ReplyDelete
    Replies
    1. //දුක කියන වෙලාවට ඒකට බාධා නොකර අහගෙන හිටිය නම් තමයි හොඳ. ඒ ඇත්ත ලෝකෙදි.// සමහරවිට සිද්ධ වෙච්ච් දේවල් ප්‍රමාණය අඩු කරන කොට ප්‍රියාන් කොලුවා මැදට පනිනවා වගේ පෙනෙනවා ඇති. ආවට ස්තුතියි.

      Delete
  10. කලින් කොටසත් එක්ක දැනුයි කියෙවුවේ.. මේකේ තව කොටස් තියෙනවා නේද?

    ReplyDelete
  11. ඇත්ත කතාවක් කියල තමයි හිතෙන්නේ.. Honor killings, Stoning to death වගේ අමානුෂික , ගෝත්‍රික මට්ටමේ දේවල් ක්‍රියාත්මක කරන මිනිස්සු ඉන්න ලෝකෙක අපිත් ඉන්නවා.
    http://www.rawa.org/index.php

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .