Saturday 8 May 2021

කෝවිඩ් තර්ජනය මැද ලංකාවට ගිය ගමන

මම පසුගිය මාර්තු 14 වනදා ශ්‍රී ලංකාවට පැමිණියේ මගේ මවට හදිසියේ හෘදයාබාධයක් වැළඳීම නිසාය. ඇස්ට්‍රසෙනෙකා පළමු එන්නත පමණක් විද තිබු නිසා දින දහ  හතරක් නිරෝධායනය  වූයේ බේරුවල සිනමන් බේ නැමැති හෝටල් සංකීර්ණයෙහිය.  ශ්‍රී ලංකාවට ඒමට ප්‍රථම මම බ්‍රිතාන්‍ය ස්ටර්ලින්  149 (රුපියල් හතලිස් දහසක් පමණ) ගෙවා පිසීඅර් පරීක්ෂණයක් කර ගතිමි. පරීක්ෂණය  නෙගටිව් වුනු පසු පමණක් අපට ගුවන් යානයට ගොඩ විය හැකිය.  කටාර් ගුවන් සේවයේ ඩෝහා වලට පැමිණ එතනින් ශ්‍රී ලංකාවට පැමිණෙන යානයකට ගොඩ වුනෙමි. මේ යානා දෙකෙහිම සෙනග සිටියේ ඉතාමත් අඩුවෙනි. මගේ ඉදිරිපස සහ පිටුපස ආසන පේලි හිස්ව පැවතුනි.

  මේ පීසීආර්  සහතිකය  හීත්‍රෝ ගුවන් තොටේදී තදබල ලෙස හා  ලංකාවේදී ද පරික්ෂාවට ලක් කෙරුණි. ලංකාවේදී ෆෝම් එකක් ද පුරවන්නට  තිබේ. හැබැයි ලංකාවේ ආරක්ෂක නිලධරයා පරික්ෂා සහතිකය තේරුම්  ගත්තාද කියා නොදනිමි. ඔහු කිසිදු ප්‍රශ්නයක් පරීක්ෂණය ගැන ඇසුවේද  නැත. (වරදක් කියනවා නොවේ).

මා පැමිණියේ පෞද්ගලිකව නිසා ගුවන් තොටුපලින් එවෙලේම වාගේ පිට වුනෙමි. ඒ අතරේ හමුදා නිලධාරීන් මගීන් ලියා පදිංචි කරමින් බොහෝ අය එක තැනක පෝලිමට ගොනු කරනු දුටිමි. ඒ පෝලිමේ මීටරයේ දුරනම් තිබුනේ නැත.

සිනමන් බේ හෝටලයේදී පළමු දින, හත්වන දින සහ දහතුන් වන දිනයේදී රුපියල්  8775 ගණනේ    තවත් පීසීආර් ටෙස්ට්  තුනක් කල යුතුවිය.  එහිදී පීසීආර් පොසිටිව් වුනු දෙතුන් දෙනෙකු තම කාමරවලම  නිරෝධායනය කර තිබෙනු දුටුවෙමි. ට්‍රැවල්  බබ්ල් (සංචාරක බුබුල) නිසා කොවිඩ් බෝ වෙනු ඇතැයි  බොහෝ අය සංචාරකයන් ගෙන්වීම විවේචනය කළද ඒ සම්බන්ධයෙන් මගේ එදා පැවතුනු  අදහස නම් දැන් වෙනස් වී ඇත. 

  කසක්ස්ථානයෙන්, රුසියාවෙන් සහ යුක්රේනයෙන් පැමිණි සංචාරකයන් සියලු දෙනා එම රටවල දී පීසීආර් පරික්ෂාවක් කර පැමිණෙන අතර ඔවුන් සංචාරක නිකේතන වල රැඳී සිටින දින 7 දී තවත් දෙකක්ද කරති. තම රටේ දී  පොසිටිව් නම් ලංකාවට එන්නට ලැබෙන්නේ නැත.  එසේම ඒ කිසිවෙකුටත් සංචාරක හෝටලයෙන් එළියට යන්නට අවස්ථාවක්  ලැබුනේද නැත. කලින් එක්තරා  පිරිසක් එසේ සංචාරය සඳහා ලංකාවේ යම් ස්ථාන වලට රැගෙන ගිය බව දැනගත්තද අප සිටි සංචාරක නිකේතනයේ එසේ කළේ නැත. කලින් සිද්ධියේදී කළ විවේචන දේශපාලනය මත පදනම්ව සිදුවූවක් යයි සිතමි. පීසීආර් පරීක්ෂණය නෙගටිව් නම් එසේ කිරීමේ වරදක් තිබේද?






දෙවන කාරණය  නම්  මෙම සංචාරක නිකේතනයේ  වැඩ කරන සුළු සේවකයන් මට පැවසූ දේවල්ය. ඔවුන්ගේ මූලික  වැටුප මසකට රුපියල් දොළොස්දහසක් පමණ වේ. (මා  කියන්නේ සාමාන්‍ය  වේටර් වරුන්, කාමර පිරිසිදු කරන්නන් ආදීන් ගැනය)  ඊට අමතරව සංචාරකයන්  වියදම් කළහොත් බිලට එකතුවන සන්තෝෂම් (ටිප්) වලින්ද ඔවුන්ට මුදලක් ලැබේ. ඇත්තම කියන්නේ නම් එවැනි අඩු පඩි තවමත් ලංකාවේ තිබෙන බව මා දන සිටියේ නැත. ඇඟළුම් කම්හල් සේවිකාවන්ට ද   රුපියල් හතලිස්පන්දහකට  වඩා පඩි ලැබෙන බව මට දැන  ගන්නට ලැබී තිබුණි.  සංචාරකයන් විසින් ටිප් දෙන අවස්ථා ඇතත් බොහෝ සේවකයන්  පැවසුවේ එසේ ලැබෙන්නේ බටහිරින් පැමිණෙන සංචාරකයන්ගෙන් බවය. නැගෙනහිර යුරෝපයේ අය ටිප් දීම දුලබ බව ඔවුහු පැවසූහ. සේවකයන්ට  කෑම බිම එම නිකේතනයෙන්ම සැපයේ.මාස  හත අටක් රැකියා නොමැතිව  සිටි ඔවුහු තම ජිවිත  ගැට ගහ ගත්තේ  බොහෝ අමාරුවෙන් බව කියූහ. ඔවුන් ණය බරින් මිරිකී සිටිති. ඔවුන් දින 14 හෝ දින 28ක්  එම නිකේතනයේම නිරෝධායනය විය යුතුය. එනිසා ඔවුන්ගෙන් කෝවිඩ් රටට ව්‍යාප්ත වුනායයි ද  කිව නොහැකිය. 

මා දුටු තවත්දෙ යක්නම් වෙරළ ආශ්‍රිතව ජිවත්වන්නන් බොහොමයක්ද සංචාරක ව්‍යාපාරය නැතිකමින් පීඩා විඳින බවය. සංචාරකයන් රැගෙන මුහුදට යාම , බෙල්ලන් හා වෙනත් භාණ්ඩ අලෙවි කිරීමද ඔවුන්ට කළ නොහැකිය. අප සමග  සිටි සංචාරකයන් දෙදෙනෙකු රුපියල් හතලිස් දහසකට  රහසේ වැටෙන්  පන්නාගෙන ගැඹුරු මුහුදේ කොරල් පෙන්වන්නට ගොස් ඒ ගමේ දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට පත්වී තිබුණි. ඉතිරි අය නොයෙකුත් පලතුරු, ෂැම්පු වර්ග, ආයුර්වේද බෙහෙත් ආදිය ගෙනැවිත් ඈතින් සිට විකිණීමට තැත් කරති, සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම නවත්වන්නට කලින් මේ මිනිසුන් ජිවත් වන්නේ කෙසේ දැයි ද සළකා බැලිය යුතුය. 

සංචාරක  බුබුල යටතේ හෝ සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ නම් ඔවුන් කැමතිය. ආණ්ඩුවේ ලොක්කන් හෝ හිතවතුන්ට මුදල් ලැබේද නැත්ද යන්න මම නොදනිමි. නමුත් සංචාරක මණ්ඩලය ඒ සඳහා සුදුසුකම් සපුරාගත් සංචාරක හෝටල් වල නම් වෙබ් අඩවියට ඇතුලත් කර සංචාරකයන් ගෙන්වීමේ වැඩ පිලිවෙලට විරුද්ධ වීමට මට නම් නොහැකිය. එයින් යැපෙන්නන් බොහොමයක් සිටින බැවිනි.

මට සිනමන් බේ නිකේතනයේ දී ලෙබනන් ජාතිකයෙකු, ඉරාන ජාතිකයෙකු සහ ඉන්දියානුවකු මුණ  ගැසුන අතර ඔවුන් තිදෙනාම තම රටින් කරගත්  පීසීආර් පරීක්ෂණ හැඳුනුම්කම් මාර්ගයෙන් කරගත් බව  පිළිගත්හ. හොඳ  වෙලාවට සිනමන් බේ හිදී කරන ලද ඒවා නෙගටිව් විය. ඔවුන් පැමිණ තිබුනේ, සවුදි අරාබිය, බ්‍රිතාන්‍යය වැනි රටවල් ඉන්දියාව, ඉරානය, ලෙබනනය ආදී රටවල් වල සිට තමන්ගේ රටවලට  පැමිණීම තහනම් කර ඇති නිසා ලංකාවේ නිරෝධායනය වී එමගින් ඉහතකී රටවලට  පැන ගැනීමටය. බොහෝවිට මේ නිසාම බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවේ සිට පැමිණීම් ද තහනම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. 

එසේම මෙවැනි අයගෙන් කටුනායක ගුවන් තොටුපලේදීම කොවිඩ් පැතිරීම සිදුවිය හැකිය. කෝවිඩ් 19 වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය මා ලංකාවට  එනවිටත් රටවල් 60 කට පැමිණ පැතිරී තිබුණි. ඒ අතර බොහෝ මැද පෙරදිග රටවල්ද විය. (ලෙබනනය, ග්‍රීසිය හා සයිප්‍රසයද  ඇතුළුව) මේ රටවලින් ලංකාවට  එන බොහෝ දෙනෙක් පැමිණෙන්නේ පීසීආර් නොකර බව නොරහසකි. කිසියම් ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේදී පොසිටිව් ලෙස හඳුනාගන්නා ලද බවත් එසේම නොරහසකි. 


මගේ වැරැද්ද ඒ දෙවෙනි රැල්ල ලෙස හඳුනාගැනීමයි. මේ යන්නේ ඇත්තටම තෙවන කෝවිඩ් රැල්ලයි. ඉන්දියාව තවම උච්ච (පීක්) තත්වයට පැමිණ නොමැති නිසා ශ්‍රී ලංකාව ප්‍රවේශම් විය යුතු වන්නේ ඉදිරි මාස දෙක, තුන තුලදී බව දත්ත විශ්ලේෂණය කරන විට පෙනේ. කොපමණ  පුවත්පත් සහ සමාජ ජාලා මගින්  හඬ නැගුවත් මගේ අදහස නම් සාපේක්ෂව තවමත්  දරුණු තත්වයකට ශ්‍රී ලංකාව  පැමිණ නොමැති බවයි. දරුණු තත්වය එන්නේ තව ,මාසයකින් දෙකකින් ඉන්දියානු ප්‍රභේදය ද ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසුවය. රට සම්පුර්ණ ලොක් ඩවුන් කිරීමට යාමක්සි දුවිය හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථික අවපාතය එන්න එන්නම දරුණු වෙමින් පවතින අතර එයින් මිදිය හැක්කේ වෙළඳාම, තේ නිෂ්පාදනය , ඉදි කිරීම්  හා සංචාරක ව්‍යාපාරය පවත්වා ගෙන යාමෙන්ය. එනිසා ලොක්ඩවුන් කිරීමේදී ඒ පිලිබඳ වද  සිතීම වැදගත්ය. මේ සඳහා කුමන සැලසුමක් පවතින රජය ක්‍රියාත්මක කරන්නට යන්නේද යන්න පැහැදිලි නැත.

කටාර් ගුවන් සේවය විසින් හොර පීසීආර් සහතික හරි හැටි හඳුනා නොගත් නිසා බ්‍රිතාන්‍ය රජය එම ගුවන් සේවයට රටට ඒම තහනම් කරන ලදී. එනිසා මම ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නව ප්‍රවේශ පත්‍රයක් මිලදී ගතිමි.  ශ්‍රී ලංකන් ගුවන් යානයේ තත්වය නම් අබලන්ය. (පින්තුරය බලන්න) හිඳගත් ආසන දෙක තුනෙහිම ඉන්ෆ්ලයිට් එන්ටටේන්මන්ට් හි පෙන්වන චිත්‍රපට භාගයකින් නතර වෙයි. සමහර ආසනවල හෙඩ්ෆෝන් එක ගහන්නට බැරි ලෙස කැඩී ඇත. යුඑස්බී වැඩ කරන්නේ නැත. ලොකුම ෂොක් එක එය නොවේ. සාමාන්‍යයෙන් ඉතා  උසස් තත්වයෙන් දෙන ශ්‍රී ලන්කන් සේවයේ එකොනොමි පන්තියේ කෑම වේල දුටුවිට දුක හිතුනි.  මට එකොනොමි  ආසනය බිස්නස් පන්තියට ප්‍රතිශතයක් ගෙවා  අප්ග්‍රේඩ් කිරීමට ඇරයුමක් ලැබුනත් එසේ නොකළේ යානය බොහෝ විට හිස්ව යන බව දන්නා හෙයිනි. එම ඔෆර් එක කාටත් ලැබෙන එකකි. බිස්නස් පන්තිය කටාර් යානයේ මෙන්ම පිරී  පැවතුනි. කොවිඩ් වලින් බේරෙන්නට සිතා  බිස්නස් පන්තියේ යන අය ගැන දුක හිතුනේ එකොනොමි  පංතියේ මා ඉදිරිපස හා පසුපස පේලි දෙක තුනක්ම  හිස්ව යන බව දැකීමෙනි.


මේ යානයේ තේ දුන්නේ නැත. වතර බෝතලයක් හැර වෙන බීමක් (සාමාන්‍යයෙන් වයින්, විස්කි. කොකා කොලා , ලෙමනේඩ් හෝ දොඩම් යුෂ ලැබේ) දුන්නේ ද  නැත. නිදිමත නිසා තේ නොඉල්ලුවෙමි. මදක් සීතල දැනුන නිසා පොරවනයක්  ඉල්ලු මුත් ඒවා  කොවිඩ් නිසා දෙන්නේ නැතැයි කියූහ. වාසනාවකට  මෙන් යානය උණුසුම් වූයේ මධ්‍යම ආසියාවට  ඉහලින් යන බැවිනි. කටාර් යානයේ දී මේ සියල්ල ලැබුන බව මම ගුවන් සේවක මහතාට කීවෙමි. "ඔවුන්ට" මුදල් ඇති බව ඔහුගේ පිලිතුර විය. මුදල් ඇති කතාව ගැන හිතමින් සිටියේදී මට නින්ද ගියේය. ලන්ඩනය  ලඟා වීමට ප්‍රථම උදේ ආහාරය ලැබුණි. ඔම්ලටයේ කියන්නට  වරදක් නැති  මුත් ඊට වඩා හොඳ උදය ආහාර එමිරේට් හෝ කටාර් යානයේ ලැබේ. 


උදය ආහාරයෙන් පසුවද තේ නැත. ගුවන්ගමනට ගෙවූ  මුදල පෙර  වාර වලට වඩා වැඩි වීම  වීම නිසා මේ සැලකිල්ල නම් මගේ  සිත් නොගත්තේය. මම ගුවන් සේවක මහතා කැඳවා තේ ඉල්ලුවෙමි. ඔහු පැවසුවේ තේ දෙන්නේ බිස්නස් පන්තියට බවය. මගේ මුහුණේ කෝප සහගත ස්වරූපය ඔහුට වැටහෙන්නට ඇත. 

"මම අරන් එන්නම් මහත්මයා " කිවූ ඔහු තේ රැගෙන පැමිණියේය. ඉන්පසු බ්‍රෙඩ් රෝල කන්නට බටර් පමණක් තිබූ බැවින්  ජෑම් ඉල්ලුවෙමි.  ජෑම් දෙන්නේද බිස්නස් පන්තියට පමණක් බව ඔහු කීවේය. එවර නම් මට තරහ වෙනුවට හිනා ගියේය. 

"බිස්නස්  පන්තියට තේයි ජෑම් නුයි දෙන එක හොඳයි. අපරාදේ නේ නැත්නම් වැඩිපුර ගෙවපු  සල්ලි. අනික පිරිලත් වගේ නේද. හොඳ වෙලාවට මම ඔෆර් එක ගත්තේ නැත්තේ". 

 සිනාසුනු සේවක මහතා මදෙසට මදක් නැමී කිවේ "සල්ලි නැහැ සර්. කොස්ට් කටින් නේ. " එවිට මම ආසනයේ ඉරුණු තැන් (ඉහල පින්තූරය ) පෙන්වා   මට තේරුණ බවත් සීට් දෙක තුනේම In-flight entertainment (IFE) වැඩ නොකරන බවද කීවෙමි. ඒ වනවිට   මම හතරවෙන ආසනයට මාරු වී සිටියෙමි. සේවක මහතා කටාර් වලට සල්ලි ඇති බව කියුවේ මන්දැයි මට වැටහුනේ එවිටය. 
 ශ්‍රී ලංකන් යානයේ කැබිනය තුල සේවාව කවදත් ඉහළ මට්ටමේ විය. තනිවම ගමන් ගත්  මහළු ද්‍රවිඩ කාන්තාවකට භාෂා අපහසුතා මැද ඔවුන්ම හත් ආදරයෙන් උපස්ථාන කරනු දුටුවෙමි.

හැබැයි ශ්‍රී ලංකන් ගුවන්සේවාව නම් ඇත්තේ  කඩා වැටෙන තැනකය. එනිසා සංචාරක බුබුළු ලෙස හෝ සංචාරකයන් ගෙන්වීමට විරුද්ධ වීමට පෙර ඒ ගැනත් සිතා බැලිය යුතු වේ. හොඳට හෝ නරකට ශ්‍රී ලංකාවට ඇත්තේ මේ ගුවන් සේවාව පමණකි. මිහින් ලංකා ගොඩබිම් ගතව බොහෝ කල් යයි සිතමි.

හීත්‍රෝ ගුවන් තොටේ ලොකු  පෝලිමක් තිබුනේ නැත. නමුත් මට තවත් පීසීආර් දෙකකට පවුම් 169 ක් ගෙවා මුදල් බැඳිය යුතු විය. දවස් දහයක් නිරෝධායනය  වෙමින් සිටියදී ඒවාද නෙගටිව් ලෙසට දන්වා තිබුණි. 
 
  මේ මා ශ්‍රී ලංකාවට මා  ගිය අපූරුම ගමනක් විය. ගිය වියදම එතරම් ප්‍රශ්නයක් නොවුනේ මව තරමක් සුව වූ හෙයිනි. සති හයෙන් සති හතරක්ම ලංකාවේ සිටියදී රැකියාව කිරීමටද සිදු වුනි. මට නිවාඩු තිබුනේ සති දෙකක් පමණි. ලංකාවේ අත්දැකීම් කිහිපයක්ද ලිවීමට ඉඩ තබාගෙන නවතිමි.  

26 comments:

  1. කනගාටු හිතුනා. ඒත් මේ අර්බුද සමයෙ, ඔහොම හරි ඇදගෙන යනවා මඳෑ කියල, හිත හදාගත්තා.පෝස්ට් එක නං පංකාදුයි.

    මාත් ඕකෙ මාස 6 වැඩ කලා. ඒ "ඉතිං අවුල් වන්නට පෙර". නිකං ටිකට් එක ගන්නයි කුරුමානං ඇල්ලුවෙ, ඒත් වැරදුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔව් කෝවිඩ් නිසා අමාරුයි තමා කාටත්. බස්සා වැඩ නොකරපු තැනක් නැහැනේ බලාගෙන ගියහම.

      Delete
  2. ඔයා මොනවද මේ කියන්නේ? අපි තමයි හොඳටම කරේ.. ඔයාටත් එයා මයිල් දුන්නේ නැති උනාම වැරදිමයි පේන්නේ නෙහ්?

    මේ.. ඕව වැඩක් නෑ. ඇත්තද ඔයා ලංකාවට ආවේ නිකවැරටිය පැත්තේ ගංජා හේනක් කරන්න කියන්නේ? :)))

    ReplyDelete
    Replies
    1. තවමත් ඒවා මතකයි නේ. එයා මයිල් ලැබෙනවා මේ ගමනින්. නිකවැරටිය කොහෙද තියෙන්නේ කියලවත් දන්නේ නැහැ. ගංජා නම් වගා කරන්න දෙනවලු නේද ? එකතු වෙලා කරමුද

      Delete
  3. PCR එකට පවුම් 149 ක් ගෙවන්නේ ඇයි? NHS එක නොමිලේ කරන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පිටරට යනවා නම් බැහැ. ගිහිල්ල ආවොත් ඒත් බැහැ . designated ඒවා වලින් විතරයි.

      Delete
  4. හමුවී කථා කරණ්නට බොහෝ කැමැත්තක් තිබුනත් හැමදා සේම, හැම අවස්ථාවක දී වාගේම, සියළු හමු වලදී මෙන්ම අවස්ථාවක් නොලදිමි.
    මොනවා කරණ්නද?
    ඔහොම තමයි කිරෙන් බාල උනාම!

    ReplyDelete
    Replies
    1. මල්ලි ඔයා ආව නේද මගේ පොත එළි දැක්වීමට. ඒත් ඇවිල්ල ටක් ගාල ගියා නේද? මට ෂුවර් එකක් තිබ්බේ නැහැ ඔයයි තරිඳු ලොකුගමගේ වයි. දෙන්නම එක වගේ. මේ සැරේ මම කොහෙවත් කිසිම රැස්විමක්ටවත් සහභාගී වුනේ නැහැනේ. අම්මා අසනීප නිසා ළඟම නෑදෑයෝ කිහිප දෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් ගෙදරට ගෙන්නුවේ නැහැ. කොහොමත් බ්ලොග් යාලුවෝ කිසි කෙනෙක් මගේ ගෙදර ඇවිත් නැහැ. හමුවෙන්න හිතන් හිටි ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, දීප්ති, තේනුවර, නිදි, කොලොම් පුරේ ආදී කිසි කෙනෙක් හම්බ වුනේ නැහැ. හැබැයි ඔය උඩ කොමෙන්ට් දාපු කලනේ, සහ ඉවාන් පව්ලුෂා , ප්‍රා සහ රවිය හම්බ වුනා ගෙදර නොව වෙනත් තැනකදී. ඒක සංවිධානය කලේ මම නෙමේ. දම්මිකා කියල වෙන යාළුවෙක්. ඊළඟ සැරේ අනිවාර්යයෙන්ම හමු වෙන්නම්.

      Delete
    2. මටත් තට්ටයා මහත්තයව ඉස්සෙල්ලාම හමු වුණේ ඒ පොත් එළි දැක්වීමේදී තමයි. මාවත් පටවගෙන ගියේ Pra Jay යි, ඉවාන් පවුලූෂායි දෙන්නා. තරුරසී වගේ තව බ්ලොග් රචකයන් ගොඩකුත් එදා හඳුනා ගත්තා, අජිත් ඔයාටයි, කොළොම්පුරේ අසංගටයි Pra Jayටයි පිං සිද්ද වෙන්න. ඉවාන් හිටියේ stage එකට හිර වෙලානේ.

      Delete
    3. ඉවානයා කරන්නෙම ආපු ගමන් ස්ටේජ් එකට පනින එකනේ හේ හේ

      Delete
  5. හොරාකාපු තරම ප්ලෙන් වල තත්වයෙන් ගරු සත්කාර වලින් හොදහැටි පෙනෙනවා නේද? එයාලා තර උනා නඩු ලොස් උනා.. අපිට කෙල උනා.....

    ReplyDelete
    Replies
    1. මට ඒ ගැනත් හිතුන.

      Delete
  6. මමත් ඔය අත්දැකීමම ලැබුවා මාඅ දෙකකකට කලින්. මැන්චෙස්ටර් දෝහා කොළඹ. අපේ රටේ සේවයෙන් හම්බ උන සැලකිලි නම් අජූවයි. තේ එකක් දෙන්න වත් සල්ලි නැති එයාර් ලයින් එකක්. ඒ උනාට ගාන කපන එක නම් කරනවා නියමෙට. දෝහා වලින් රෑ 11ට ටේක් ඕෆ් කරලා ටික වෙලාවකින් දුන්න සරල කෑම එකෙන් පස්සෙ ආය මුකුත් නෑ. ඇවිත් සුමාන දෙකක් හිටපු සංචාරක හෝටලලය නම් හරිම හොඳයි. කාරිය මණ්ඩලයත් ඒ වගේමයි. කොවිඩ් නිසා හැමෝගෙම ජීවිත ඉතාම අසරණ වෙලා. බීච් එකේ හොරෙන් බඩු විකුනන හැටි දැක්කාම දුකත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. කෝවිඩ් නිසා වුනත් තේ අපනයනය කරන රටක් හැටියට තේකක් දෙන්න බැහැ කියන්නේ විහිළුවක් තමයි. තේ කපල සල්ලි හොයන්න පුදුම කොස්ට් කටින් එකක් ඒක. උඩ මැනේජර් ල ටික අයින් කලානම් හරිනේ

      Delete
    2. කුහුඹි යන ගුල් වසති
      පතරංග මං සදති
      හැමදාම බලයෙ ඇති
      උන්-උන්ම ගසා කති

      Delete
    3. කාව්‍ය විශාරද නිදි මහතා ගෙන් පිළිතුර ලැබී තිබේ.

      Delete
  7. කොවිඩ් නිසා ලෝකෙම ෆ්ලයිට් වල බෙවරේජ් ඔක්කොම නතර කරලා කියලයි එයාල නං කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක බොරුවක් වෙන්නේ මෙන්න ම නිසයි මහත්මය
      1. එහෙම නම් බිස්නස් ක්ලාස් එකට දෙන්නේ ඇයි (මේ අවස්ථාවේදී කරුණාවන්ත කැබින් කෘ එකෙන් මට තේ ලැබුන බව කිව යුතුයි)
      2. කටාර් එයාර්වේස් එකේ ඇල්කොහොල් හැර අනිත් බිම තිබුණි.
      3. එතකොඅට් පොඩි ජෑම් මල්ල, ඒකත් තහනම්ද (මට එයද කැබින් කෘ එකෙන් ලැබුණි.)

      Delete
  8. මේ තරම් මහන්සිවෙලා අම්මා බලන්න ගියා කියලා අහන එකත් inspiring. (මම හිතන්නෙ අජිත්ගෙ wifeටත් ඒකෙ යම් ගෞව්රවයක් ලැබෙන්න ඕනෙ සමහර wifeල එහෙම කරන්න ඉඩ දෙන්නෙ නැති නිසා).

    අපිත් එක්ක වැඩ කරන දකුනු ආසියානු සම්භවය සහිත දෙන්නෙකුටම තමන්ගෙ අම්මා/තාත්තා අසනීප වෙලා නැති වුනා මේ කාලෙ. ඒගොල්ලන්ට යන්න තියා හිතන්නවත් බැරි වුනා. මෙහේ තියෙන compassionate leave අරගෙන ඒගොල්ලො ගෙදරට වෙලා හිටියා ටික දවසක් හිත හැදෙනකම්. මටනම් හිතාගන්නවත් බැහැ කොහොම ඒගොල්ල ඒකට මුහුන දුන්නද කියලා. නමුත් මේ වගේ කාලවල මිනිස්සුන්ට හිත් තදකරගෙන හැම දේම ඉවසන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ලෝටස් මගේ පියා අසනීප වෙලා ඉන්න කොට මම ගියේ නැහැ. මරණයට විතරයි ගියේ. ඒනිසා මම මොන කෙහල්මල්ක් හරි කියල හිතාගෙන ගියා, මගේ බිරිඳ ගෙන් අවුලක් නැහැ. එයා ජර්මන් නිසාම නොවේ. එයාගේ අච්චි සීය දෙන්නම අසනීප වෙනකොට එයා ජර්මනි ගියා. මම ගියේ අම්මව බේරා ගන්න. ඒක කරගත්ත. ඒ ගැන අනිවාර්යයෙන්ම ලියනවා.

      Delete
  9. බොහොම හොද ලිපියක්. ෆේස්බුක් ඔස්සේ ෂෙයාර් කරන්න කැමතියි. ඒත් මගේ රැකියාවට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබෙන නිසා එසේ කරන්නට විදියක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල රැකියාව බේරා ගන්න එක වැදගත්.

      Delete
  10. Good to clarify some misinformation about travel during COVID.

    Airlanka was sent to graveyard by Emirates by grabbing landing slots using partnership agreement. Airlanka/AirCeylon had landing slots in all best airports around the world. I was working in Singapore and flying to Europe regularly via Colombo (use the excuse to go home)After Emirates deal, I could only fly to London directly, all other slots were taken by Emirates. Yes, they say Airlanka made profits under Emirates. (lot of middle east companies cook the books)

    I guess current chairmen do not need Airlanka money (he has enough)I worked with him at John Keells IT dept in early 80s. (WSJ)

    ReplyDelete
    Replies
    1. thanks. I did not know that. I never suggested that current chairman is doing anything wrong I don't know who that is anyway. I think they should (all the top officials) should take a pay cut and [perhaps remove expensive offices in UK and Europe. You can run these operations remotely now. Even BBC(News Organisation) and BA is doing it.

      Delete
  11. අපේ ස ඕක වැටෙන්න දෙන්නෑ අජිත් මහත්මයා!
    - සුපුං චමින්ද

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .