Wednesday, 14 July 2021

ජිවිතයේ ඔයිල් පැල්ලම් නැත්තෙක් සිටීද


ඔයිල් පැල්ලම් ගැන ලිවීමට පටන් ගන්නේ කොතැනින් දැයි මාසයක්ම කල්පනා කළෙමි. අවසන සිතුනේ පොතකට කළහැකි හොඳම උපහාරය වන්නේ මගේ ජිවිතයේ ඔයිල් පැල්ලම් වලින්ම පටන් ගැනීමෙන් කියාය. වසර විස්සකට මත්තෙන් මගේත්  වෙන්ඩ බිරින්දෑ ගේත් සංචාර සඳහා ප්‍රියතම ක්‍රමයක වූයේ දුම්රියයි.  දුම්රිය කාල වේලාවට යන නිසාත් අපි නිතරම අන්තිම මොහොතේ දුව පැමිණ එල්ලෙන නිසාත් ඉන්පසු ගමන් යාමට බොහෝ  විට නිසාන් මයික්‍රා කාරයක් කුලියට ගතිමු. අප මිලයට ගත් පළමු කාරය වූයේ  මිනි කූපරයකි. ඉන්  අපි දීර්ඝ සංචාර  හතර පහක් ගිය මුත් එය  නිතර අතර මග නවතින්නට විය. ඒ බැටරිය බැසීම නිසාය. අලුත් බැටරි දැම්මද එය ට්‍රැෆික් ලයිට් ළඟ නැවැත්වුව හොත්  නැවත පණ ගැන්වීම අසීරු විය. වාහන හදන දෙතුන් දෙනෙකු ගෙන් විමසුවත් ඔවුන්ට ප්‍රශ්නය සොයා ගත නොහැකි විය. අන්තිමේදී දී එය අප සිටි නිවස ඉදිරිපිට  ගාල් කර තැබුවෙමු. දවසක ගරාජ් හිමියකු පැමිණ එය   පවුම් 25 කට එනම්  දැන් කාලයේ මුදලින් රුපියල්  පන්දාහකට පමණ රැගෙන ගියේය.

මාස දෙක තුනකින් පමණ ලන්ඩනයේ ටල්ස් හිල් පෙදෙසේ ඔහුගේ ගරාජය අසලින් යන විට එය අලුත්වැඩියා කර පවුම් 1800 කට විකිණීමට තබා තිබෙනු දුටුවෙමු. (රු ලක්ෂ පහකට පමණ). මේ අවුරුදු  25 කට පමණ පෙරය. මම ගරාජ හිමියාගෙන් කාරයේ තිබූ වැරැද්ද කුමක් දැයි විමසුවෙමි. මිනි කූපරයේ බොඩිය හරහා  විදුලි පරිපථය සම්බන්ධ වන බවත් එක තැනකින් එම බිඳුණු පරිපථය වෙල්ඩින් කල පසු ප්‍රශ්නයක් ඇති නොවූ බවත්ය. ඔහු කීවේ ඇත්තද බොරුද යන්න අදටත් නොදනිමි. විදුලි පරිපථ  සටහන් වල එවැන්නක්  නොදුටුවෙමි.

ඉන්පසු වෙන්ඩ බිරින්දෑ ඒ දිනවල රැකියාව  කල ඩෙල්ටා ගුවන් සේවයේ ජර්මන් ජාතිකයෙකු ජර්මනියේ දී  සම්පූර්ණයෙන් ම වගේ නිමවන  ලද වමෙන් පදවන ෆෝඩ් ෆියෙස්ටා එකක් අඩුවට විකුණා ගියේය.  ෆියෙස්ටා එකට මම බොහෝ සේ ඇළුම් කලෙමි. එහි එන්ජම ඉතා සරල එහෙත් හොඳින් වැඩ කළ එකකි. පස් දෙනෙකුට යා හැකි  එම කුඩා කාරය අප දෙදෙනා බොහෝ තැන්වල විශ්වාසනීය ලෙස රැගෙන ගියේය. මගේ මලයා  බෙල්ජියමේ සිටින විට ඔහු බැලීමට බෙල්ජියමටද  ඔහු සමග ප්‍රංශයටද  ගිය ගමන එයින් ගිය දිගම ගමනයි. 

එහි තෙර්මොස්ටාටය වැඩ නොකර එන්ජිමේ උණුසුම වැඩි වුනු විට එය ගලවා අලුත් එකක් සවි කිරීමට  මෙන්ම කාරයේ  ඔයිල් මාරු කිරීම, ස්පාක්  ෆ්ලග් මාරු කිරීම ඇතුළු සර්විස් එකකදී කරන වැඩද මට කළ හැකි විය. 
කළු පැහැ පරණ ෆෝඩ්  ෆියෙස්ටා එකේ පින්තූරය පහල තිබේ. 


වරෙක සති අන්තයේ හෙඩ් ගෑස්කට් එක ගලවා අලුත් එකක් සවි කරන විට අසල නිවසක චීන කාන්තාවක් පැමිණ ඇගේ කාරයේ ප්‍රශ්නයක් පවසා  හදා දෙන්නට කීවාය. මම වාහන රෙපයාර් කරන්නේ නැති බවත් මගේ කාරයේ  පමණක් ආසාවට වැඩ කරන බවත් මගේ ළඟ තිබූ මැනුවල් පෙන්වා කීවෙමි. ඒ දවස් වල යූ බටය තිබුනේද නැත.  "උඹ  රන්වන් හිස කේ තියෙන සුදු ගැහැණුන් ගේ කාර් පමණක් හදන වර්ණවාදියෙකු බව" පවසා ඇය ඉවත ගියාය. මේ මොන කුණුහරපයක් දැයි කල්පනා කරන විට මට මතක් වුනේ ඇය, මා  වෙන්ඩ බිරින්දෑ සමග කාරයේ  යනවා දකින්නට ඇති බවයි.  ඒ දවස් පරණ මළකඩ කෑ එහෙත්  ක්ලැසික් බෙන්ස් එකක්  භාවිතා කල  මිනි කූපරය මට තල්ලු කළ මගේ මිතුරකු  නිතර කීවේ දකුණෙන් පදවන  හොඳ කාරයක් ගන්නා  ලෙසය. මට මේ කියමන තේරුනේ නැත්තේ ෆියෙස්ටා එකේ වරදක් මා නොදුටු බැවිනි.  මේ පරණ කාරය පසුව තුර්කි ජාතිකයෙකුට ගත් ගණනටම  වාගේ  විකුණා දැමුවෙමි. අවුරුදු 20කට පසු  එය තවමත් තුර්කියේ නෑදෑයෙක් භාවිතා කරන බව ඔහු පැවසුවේය.   ඉන්පසු වොක්සොල් ඇස්ට්‍රා (ඕපල්) එකක් , හා ෆෝර්ඩ් එස්කෝට් කාර්  දෙකක් ද අප සතුව විය. එස්කෝට් එක කාරයක් වුවද ලොරියක් මෙන් බර අදින වාහනයකි.  අප වරක නිවසකින් නිවසකට  බඩු ඇද්දේද ඒවායිනි. 

 ඉන්පසු වඩාත් සුවපහසු කාරයක් වන එන්ගලන්තයේම  බොඩිය ගැසූ රෝවර් 416  SLI වාහනයක් ගතිමු. මෙහි සුවිශේෂත්වය වූයේ එහි තිබුනේ හොන්ඩා ස්පෝර්ට් එන්ජිමක් වීමයි.  ඒ කියන්නේ ට්‍රැෆික් ලයිට් එකක නැවැත්වූ පසු ඇදලා යා හැකි කවදාවත් කැඩුනේ නැති වාහනයකි. එනිසාම මේ පරණ කාරයට තවමත් එංගලන්තයේ ඉල්ලුමක් තිබේ.  මේ නිසාම මගේ ඊළඟ කාරය වූයේ හොන්ඩා සිවික් එස්ටේට් එකකි.  මේ කාලය වන විට මා ළඟ තිබූ  තරු බලන දුරේක්ෂය මෙන්ම දරු දෙදෙනෙකු සිටින නිසා සංචාරයන් හි යනවිට ගෙනයන  බඩු  බාහිරාදිය වැඩි වීමද එස්ටේට් එකක් ගැනීමට හේතුවක් විය.  මේ වනවිට බිරිඳ බවට පත්වී  උන් වෙන්ඩ  බිරින්දෑ  දරු දෙදෙනා ද සිටි නිසා වෙනම කාරයක්  භාවිතා කල අතර ෆෝඩ් එස්කෝට්  එකෙන් පසු ඇය දිගටම  ගත්තේ ජර්මනියේ නිෂ්පාදිත  වොක්ස්වැගන් ගොල්ෆ් කාර්ය.  හොන්ඩා එකෙන් පසු BMW 320 ටර්බෝ ඩීසල් එස්ටේට් එකක් සෑහෙන කාලයක් පාවිච්චි කර බෙන්ස් C180 කොම්ප්‍රෙසර්  එස්ටේට් කාරයක් ගත්තෙමි.  එයද ට්‍රැෆික් කණුවක අසල  නැවත්වූ පසු ඉක්මනින් රේස් කර යා හැකි එකකි. වොක්සෝල් එකෙන් පසු මම කාර් හදන්නට නොගියෙමි. ඒවා වඩා සංකීර්ණ වූ අතර වෙලාවක ද ඉතා සීමිත වීමද හේතුවකි. මට පුළුවන් වූයේ හදිසියේ කැඩුණු ලයිට් එකක් මාරු කිරීම පමණය.

හැබැයි මම පරණ කාර් වල කුඩා ආකෘති එකතු කිරීම  නම් දිගටම කරගෙන යමි. 
 
එන්ෆිල්ඩ් නගරයේ එන්ෆිල්ඩ් අජිත් නමින් හැඳින්වෙන සුප්‍රසිද්ධ පුද්ගලයෙක් වාසය කරයි. වෘත්තියෙන් ගණකාධිවරයෙක් වන ඔහු විනෝදයට කරන්නේ ගෙය පිටුපස ඇති ගරාජයක කාර් හැදීමය. ඒවායින් ලැබෙන අතිරේක මුදලින් ඔහු ලොව වටා සංචාරය කරයි.  අපේ කාර් වල සර්විස්  එකේ සිට ඕනෑම වැඩක් කර දෙන්නේ මේ කාර් හදන්නට ලෙජෙන්ඩ් එකක්වූ අජිත් ජ.  අයියාය. "කොල්ලන්" කියන්නේ වාහනයක් ඔහුගේ ගරාජය පැත්තට එනවිට ඔහුට සද්දෙන් වාහනයේ වර්ගය කියත හැකි බවයි. මම එය ඔහුගෙන් කවදාවත් අසා නැත.

මගේ  ඔයිල් පැල්ලම් කතාව ඉතා කෙටියෙන් ඕකය. තව රස කතා තිබුනත් ලිපිය දිග වැඩි වනු ඇත.  තරිඳු ශ්‍රී ලොකු ගමගේ ගේ "ජිවිතයේ ඔයිල් පැල්ලම් " මම කලකින් කියවූ වෙනස්ම අන්දමේ කුතුහලය, හාස්‍ය රසය, දුක සතුට දනවන හඟවන ලියැවිල්ලකි. 

තරිඳු ශ්‍රී ලොකුගමගේ මා  හඳුනන්නේ බ්ලොග්කරුවෙකු ලෙසය. ඔහුගේ කාර් පිස්සුව බ්ලොගය නිසා  රසවත් ලිපි ලියන්නෙකු බව මෙන්ම තරිඳුවා යනු  හොස්ස ළඟින් මැස්සා ගියොත් බොනට්ටුව නැතිව ගෙදර යවන ජාතියේ එකෙකු බවද දැන ගතිමි. ඒ කාලයේ දරුවන් ගැන කතා කළොත් තරිඳු ඉන්නේ වැරදි පැත්තේ බව ඉක්මණින්ම අවබෝධ වුවත් ප්‍රග්යාන් ගේ ආගමනයෙන් පසු ඒ සුන්දර කොලු පැටියා නැති ෆේස්බුක් පොස්ට් එකක් හොයා ගැනීමට අමාරු තරමට තරිඳු ශ්‍රී ලොකු ගමගේ දැන් පරණ බෙලෙක්කයක් මෙන් මෙළෙක්  වෙලාය.

පොත එක හුස්මට කියැවිය හැකි විටෙක රහස් පරීක්ෂක නවකතාවක මෙන් ත්‍රාසය දනවන එකකි. කතුවරයා ශ්‍රී  ලංකාවේ  පැවති  දේශපාලන ප්‍රචණ්ඩ අවධිය මෙන්ම බොහෝ විට අප අසා ඇති වාහන සම්බන්ධ අපරාධ සිද්ධීන් ද කාටත් නොදැනෙන්නට කතාවේ ගලායාමට ස්පාක් ප්ලග් මෙන් අටවන්නේය.
  
මේ නවකතාවේ මා දුටු විශේෂිතම ලක්ෂණය නම් කතුවරයාගේ උපමා භාවිතයයි. මේ තරම්ම උපමාවන්  හාස්‍ය රසය දනවමින් භාවිතා කල පොතක් මා කවදාවත්කි යවා  නැත. අන්තිමේදී මට සිතුනේ මෙහි හොඳම උපමාව හා නරකම උපමාව සොයා ගැනීමට පාඨක තරඟයක් පැවැත්විය යුතු බවයි. තේරුමක් නැතිම  උපමාව ලෙස මට හිතෙන්නේ  "ඩෙංගු හැදෙන්නට කලින් වේලිච්ච බුලත් අතක් මෙන් සිටි කපිලයා දැන් වේලිච්ච දුන්කොල නැට්ටක් මෙනි." (පි. 160)  බුලත් කන්නේ නැති මට ඔය දෙකේ වෙනස් තේරුම් ගැනීමටද බැරිය. හැබැයි මේ උපමා වලින් අවස්ථාව පහදා  දෙන්නට කතුවරයා දරන වෑයම ඉතා සාර්ථකය. අපට සිද්ධිය  මැවී පෙනෙන්නට ඒවා ප්‍රමාණවත්ය.

"කපිලයා  දොර පැත්තට හැරුනේ විද්‍යා ප්‍රබන්ධ ජාතියේ චිත්‍රපටි වල රහස් ගබඩා දොරවල් ඇරෙන තරමට සෙමිනි" (පි 163) මේ උපමා දීමේ උත්කර්ශවත් තැනක් නම් තරිඳු ඔස්ටින් ඇට්ලන්ටික් කාරය  හඳුන්වා දෙන අන්දමය. එය කියවාම  බැලිය යුතුය. මම එය මෙහි උපුටා නොදක්වමි. 
ඔස්ටින් අට්ලන්ටික් A 90


මට අල්ලන්නෙම නැති උපමාව "ගස්ලබු ගෙඩියකට දිවුල් ගෙඩියක් මුහු කළා වගේ බැන්දට මුහුවෙන හෙඩ් ලයිට් දෙක" යන යෙදුමය. කොහොම බැලුවත් ඔස්ටින් ඇට්ලන්ටික් A නයින්ටියේ එහෙම  දෙයක් පේන්නේ නැත. (උඩ පින්තූරය) මේ කාර් පිස්සුව හොඳටම මෝරා ගොස් අවුල්  වූ මොහොතක ලියුවක් විය යුතුය.
 
කෙසේ වුවත්  මට සැබෑවටම හොඳම උපමාව හොයා ගත නොහැකිය. "පන්තියේ කෙල්ලෙකුගේ හෙයා බෑන්ඩ් එක කඩා මට්ටු වූ කොල්ලෙකු ටීචර් දෙස බලන්නාක් වැනි බැල්මක්" (පි 153) යෙදුම නම් අත්දැකීමෙන් ම කියවන්නාගේ ඔළුවට රින්ගනු ඇත.  "අට ලෝ දහමට ඔරොත්තු දෙන්නට කාර් හදන්නට දැනගෙන හිටි ලෝකයක් ලෝකයක්, වතුර බින්දුවක් ගිය විට උස්ස ගෙන ගොස් ස්කෑන් කරන තැන හොයන්නට වෙන වාහන හදන මට්ටමකට වැටුනේ කෙසේද " යන ප්‍රශ්නයට අන්තරේ එකෙක් උත්තර දී තිබුනේ ධනවාදය කියාය. මට නම් උත්තරය හැටියට දෙන්න වෙන්නේ  වර්ගයාගේ දියුණුව කියාය. සමාජවාදී ලෝකයේ සිටි සමයේ වොල්ගා කාරය හෝ ලාඩා වක්  දැඩි ශීතයට හසුව හිම අයිස් වී  ගල් මෙන් බොනට්ටුවේ මිදී තිබියදී කාරයේ එන්ජිම යට ගිනි මැලයක් ගසා එන්ජිම රත් කර  ස්ටාට් කරන රුස්සන් දැක ඇති මට මේ ප්‍රශ්නය නම් තේරුම් ගත හැකිය. 

ඇන්ටනි අයියා දවසක හමුවීමට ඇත්නම් හොඳ  යයි මටත් සිතේ. කොපමණ ඇන්ටනි අයියලා  අපේ ජිවිතයේ හමු වන්නට ඇත්ද? එහෙත් හැමටම  එවැනි අපුර්ව චරිත වදන් වලට පෙරලා සිත්  සතන් වල ජීවමාන කිරීමට නොහැකිය. 

මේ පොත ඔබේ සුපුරුදු වට්ටෝරුවේ පොත ක් නොවේ. එනිසාම හා තරිඳු ශ්‍රී ලොකු ගමගේ යනු පොත් සම්මාන දෙන කුලක වල නැති කතුවරයෙක් නිසා මේ පොතට සම්මානයක් නම් සමහර විට ලැබෙන්නේ නැති වනු ඇත. ලැබෙන්නේ නම් වඩාත් සතුටු වන්නේ මමය. එසේ  කුලකයකට අයත්  නැති පිටින් ඉන්න ග්‍රන්ථ කතුවරයන් මම හඳුන්වන්නේ වෙඩිවර්ධන කුලකයට අයත් අය  කියාය.   ඉතින් සමහර විට හිටි හැටියේ සම්මාන උත්සව කරන්නට ගොස් ඇණගත් ලැජ්ජා නැති එකෙකු නිසා මම  ගමයා පොත් සම්මාන යනුවෙන් විකල්ප  උළෙලක් පටන් ගත්තොත් හොඳම විකල්ප නවකතාවට හිමි සම්මානය  පිදෙන්නේ තරිඳු ශ්‍රී ලොකු ගමගේ ගේ "ජිවිතයේ ඔයිල් පැල්ලම් " පොතටය.

තරිඳු  ශ්‍රී ලොකු ගමගේ වෙනුවෙන් ඔස්ටින් හීලියක පින්තුරයක් සමග මේ ලිපිය අවසන් කරමි.




   

21 comments:

  1. Nicely written.

    එන්ෆීල්ඩ් අජිත්ල දෙන්නෙක් !

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ අජිත් සහ අප්‍රසිද්ධ අජිත්

      Delete
  2. මෙන්න බොලේ අජිතුත් තරගෙට බැහැලා
    තෙල් පැල්ලම් කියල වාහන ගැන ලියලා
    ඇහැකිද ලියන්නට 'තට්ටය' පරද්දලා
    තට්ටය නං තට්ටෙන් ඔබ පරද්දලා!

    ReplyDelete
    Replies
    1. මෙව්වනේ කවි

      Delete
    2. නිදියා මේ කියන්නේ මොනවාද
      හොඳ හැටි ලියන්නට හැකි තට්ටයන්ටය
      ඔයිල් පැල්ලම් මගේ ලීවෙ උපහාරෙටය
      ඇන්ටනි ලවා ගස්සමි කන්කුන් නිදියාට

      Delete
    3. ඇහුවම ප්‍රශ්නයක් තරහා ගන්න එක
      නරකයි මහත්තයො, ඇන්ටනි එවන එක
      ස්ටාලිනුත් කොටු කරලා කඳවුරක
      පොඩි දෙයක්ය සීසර් එව්වත් ඒක

      දැන් දැන් අපේ රට ඇත්තට හරි දියුණුයි
      උස මිටි භේද වගෙ දේවල් නැති ගණනයි
      නීතියෙ තරාදිය මළකඩ කාල වගෙයි
      ඒත් මොකද, සමහර විට එක දෙක වෙයි

      Delete
  3. බොහොම අපූරුයි, එක හුස්මට කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. // "උඹ රන්වන් හිස කේ තියෙන සුදු ගැහැණුන් ගේ කාර් පමණක් හදන වර්ණවාදියෙකු බව" පවසා ඇය ඉවත ගියාය.//

      හ්ම්....🤔 මේ කතාවෙ, වෙනම තේරුමක් තියෙන්නත් පුළුවන්, කන්නකො මෙයා අපේ චීන නූඩ්ල්ස්/ අනේ මගේ Chery QQ එකත් පදින්නකෝ වගේ තේරුමක් තිබ්බද දන්නෙ නෑ නෙව?

      Delete
    2. ඕක නම් එදා වෙන්ඩ බිරින්දෑ ත්‍ කිව්වා හිටන් . ඒකිට ඉරිසියාව කියලා

      Delete
  4. අජ්ජා,

    // "උඹ රන්වන් හිස කේ තියෙන සුදු ගැහැණුන් ගේ කාර් පමණක් හදන වර්ණවාදියෙකු බව" පවසා ඇය ඉවත ගියාය.//

    හේ හේ, මේ කතාවට අදාළ වන සීන් එකක් තමයි මේ. ඒ යුනයිටඩ් කිංඩම් හෙවත් මහා බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළකරමින් චීනය විසින් සකස් කළ ඒකාබද්ධ ප්‍රකාශයකට ලංකාවත් අත්සන් තබා තිබෙනවා කියල මේ දවස්වල ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

    ඒ අනුව මේ ඒකාබද්ධ ප්‍රකාශය ජිනීවා වල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මේ වන විට පැවැත්වෙන 47 වන සැසිවාරය හමුවට ඉදිරිපත් කරලා තියෙනවා.

    “රටවල් සමූහයක් වෙනුවෙන් කතා කිරීමට ලැබීම අපට මහත් ශක්තියක් සහ ගෞරවයක්. මේ බ්‍රිතාන්‍ය එක්සත් රාජධානිය නමැති නොදියුණු ගෝත්‍රික රටේ තියෙන අශිෂ්ට පහත් මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අපගේ ගැඹුරු කනස්සල්ල ප්‍රකාශ කරමු. බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් පතුරවන ගෝත්‍රික වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, වෛරී කථාව (Hate speech), භීතිකා රෝගී තත්ත්වය (Xenophobia) සහ ඒ හා සම්බන්ධ ගෝත්‍රික වර්ගවාදී ප්‍රචණ්ඩත්වය එක්සත් රාජධානියේ බොහෝ කලක සිට පවත්වාගෙන යන ඉතාමත් අශික්ෂිත අශිෂ්ට පහත් සංස්කෘතික අංගයක්” බව ජිනීවා වල චීන දූත පිරිස ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව පවසා තිබුණේ.

    ඒ සමගම යටත් විජිතකරණය හරහා අන්තිම අශික්ෂිත වහල් මෙහෙය නිත්‍යානුකූලභාවයක තබාගෙන අප්‍රිකානුවන් මිනිස් වෙළඳාම් ජාවාරමේ සිටම එක්සත් රාජධානියේ ඉතිහාසය පුරා අද දක්වාම මේ වාර්ගික වෙනස්කොට සැලකීම් දක්නට ලැබෙන බවද චීන දූත පිරිස එහිදී අවධාරණය කරමින් ප්‍රකාශ කළා.

    මේ වගේම එක්සත් රාජධානියේ හමුදා සේවයේ නියුතු පිරිස් විදේශ රටවල් අත්පත් කරගැනීම සඳහා ආක්‍රමණශීලී මෙහෙයුම් වලදී නිරායුධ අහිංසක සිවිල් වැසියන් බුරුතු පිටින් විශාල වශයෙන් ඝාතනය කර ඇති අතර නව නීති සම්පාදනය මගින් නිසි වගවීමකින් තොරව අදාළ ඝාතකයන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ බවට එක්සත් රාජධානියට චෝදනා එල්ල වී තිබෙන බවද මෙහිදී ඉතාමත්ම පැහැදිලි ලෙස සියලු සාධක සහිතව පෙන්වාදීලා තියෙනවා.

    මේ වගේම එක්සත් රාජධානිය තමන්ට කිසිසේත්ම අදාල නොවන වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට බලහත්කාරයෙන් ඇඟිලි ගැසීමට මානව හිමිකම් යන වැදගත් අදහස කඩතුරාවක් ලෙස යොදා ගනිමින් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට මානව හිමිකම් ගණිකා වෘත්තියේ යෙදවීමට කටයුතු කරන බවටද චීනය වැඩිදුරටත් චෝදනා කර තිබෙන අතර මේ චෝදනා මීටත් වඩා ගොඩාක් බරපතළ ලෙස ඇමරිකානු එක්සත් ජනපදයට අදාළවන බව පේනවා නේද? හේ හේ, මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද මචන් අජ්ජා?

    ReplyDelete
    Replies
    1. ඇනෝ , මට හිතෙනවා ඉතා දීර්ඝ පිළිතුරක් දෙන්න වෙනව කියල . එකඟ වෙන්න පුළුවන් තැන් දෙකක් තියනවා එකක්‌ වහල් වෙළඳම

      Delete
    2. අනිත් එක තමා යටත් විජිත කරණය , අයර්ලන්තේ වුන දේවලට සමහර ඒවාට සමාව ඉල්ලා ශේප් වුන .සමහර යුධ නිලධාරීන් හා පොලිසිය හිරේ . සමහර ඒවා අයි ආර් ඒ එකත් එක්ක ගිවිසුම් ගහල දෙපැත්තම අයට සමාව දීල ශේප් වුණා . ඇෆ්ගනිස්තානේ ඇර ලඟදි ගිය රටවල් මොනවද? ඉරාකේ හා සිරියාව ගැන මම එකඟ නැහැ . ඒවා මම බ්ලොග් එකේ ලියල තියනවා . හැබැයි මේක ඇතුලේ ඉස්සර වගේ ලොකු වර්ණ භේදයක් තියනවා කියන එක නම් බොරුවක් . දැන් තත්වය සැහෙන්න වෙනස් . චීන මිනිස්සු කළු මිනිසුන්ට හොඳට සලකන්නේ නැහැ කියල එකනම් ඇහින්ම දැක්ක . ලියන්නම් වෙලාවක

      Delete
  5. කාර් පිස්සාගේ ලිවීම නම් නියමයි තමා. ලංකාවට ගියාම පොත් ටික ගන්න ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක නියම ලියැවිල්ලක්

      Delete
  6. මට හිතා සිටි කොටසක් ලියන්නට අමතක වී ඇත. මේ පොතේ පරණ කාර් පමණක් නිවා කාර් මිලදී ගැනීමේ කේවල් කිරීමේ හොයා යාමේ සිද්ධි හා ක්‍රියාවලියන් සමග බැඳුනු උප සංස්කෘතියක් තිබෙන එය මේ පොතේ ඉතා දක්ෂ හා විචිත්‍ර ලෙස නිරූපණය කර තිබෙන

    ReplyDelete
  7. ඔහු අපූරූ ලියන්නෙක්...

    ReplyDelete
    Replies
    1. අද මාතලන් ගේ ලිපියත් කියෙව්වා. ඒක මරු

      Delete
  8. මම කියවා අවසන් කළේ අද. ඒක මරු කතාවක්... අපි පොඩි කාලෙ තිබුණා මතකයි ගෙදර කොන්සල් කියල එකක්. අනේ මන්දා මං කාර් ගැන දන්නෙ නෑ... පස්සෙ ලාන්සර් එකක්. ඒක මතකයි... මේ වගේ කාර් පිස්සො ඉන්නවද කියලත් පුදුම හිතුණා.

    අමුතු නවකතාවක් හරිම දුර්ලභයි... අතින් බිම නොතියා කියවන්න හිතුණත් වරින් වර කියෙව්වෙ.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .