Tuesday 27 July 2021

රන් කහවණු සොයන්නියෝ


අලුත්ම රුසියානු රුපවාහිනී කතා මාලාවක් නැරඹුවෙමි. එය පෙන්වුයේ 
බ්‍රිතාන්‍ය රුපවාහිනියේය. මුළු කතා මාලාව පුරා  ප්‍රසිද්ධ  සුරූපී රුසියානු නිලියන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායකත්වය දෙන අතර රුසියානු භාෂාවෙන් නිමකළ කතා මාලාවක් වුවද   ඉංග්‍රීසි හා ජර්මන් භාෂා  උප සිරැසි සමග නැරඹිය හැකිය.  මොස්කව්  නුවර  ධනවත්  ඉහළ පෙලන්තිය සම්බන්ධ කතා  පුවතක් වන මෙහි ඒ පෙලන්තිය බටහිර ධනවාදයේ ජිවන ක්‍රමය එලෙසින්ම අනුගමනය කරන බවද පෙන්වයි. 




කතාවේ තේමාව අනුව සෝවියට් සමයේ  සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ හා ගැස්ප්‍රොම් ගෑස් සමාගම  වැනි සමාගම් වල ඉහල අධ්‍යක්ෂකවරුන්ගේ ජිවන රටාවම වෙනසක් නැතිව වර්තමාන  රුසියානු ධනපතියන් අනුගමනය  කරන බවක් පෙනේ.  කොමියුනිස්ට් පක්ෂ නිලධරයන්  බිරිඳන් සමග  හොඳ තට්ටු නිවාස වල සිටිමින් අනියම් පෙම්වතියන්ට කුඩා තට්ටු නිවාස මොස්කව්  අසබඩ නගරවල ලබාදී තිබුණි. එසේම අනියම් පෙම්වතියන් රැගෙන දාචා හෙවත් ගිම්හාන නිවෙස් වලට සති අන්තයට යාමේ පුරුද්දක්ද ඔවුන්ට විය. 

කොටස් අටකින් සමන්විත කතා මාලාවේ ඉංග්‍රීසි නම "රන් කහවණු සොයන්නියන්" යන අදහස දෙන්නකි. නමුත් රුසියානු භාෂාවෙන්  සදෙර්ශංකා (содершанка)" රඳවාගන්නීය" යන අදහස ගෙන දෙයි. ජර්මන් භාෂාවෙන් කතා මාලාව හඳුන්වන්නේ "රුසියානු සම්බන්ධතා" යනුවෙනි. 

දැන් වෙනස් වී ඇත්තේ මෙසේය . පසුගිය වසර විසිපහ තුල ඇතිවූ නව ධනවත් රුසියානු ඉහල පෙළන්තිය ඉතා දැකුම්කළු නිවාස  මොස්කව් නගරාසන්නයේ  ගොඩ නගාගෙන  තිබේ . කලින් දාචා හෙවත් ගිම්හාන නිවෙස් තිබූ  පැතිවල පවා මෙම දර්ශනීය විශාල  නිවෙස් ගොඩ නැගී ඇත. මොස්කව් නගරය තුල මේව අයත්  ධනපති පිරිමින් ගේ අනියම් පෙම්වතියන් පියකරු අපාට්මන්ට් බ්ලොක් වල (තට්ටු නිවාස)  ජිවත් වෙති.  මේ ධනපති පිරිමින්ට හෝ මාෆියා බොස්ලාට හා  කළු සල්ලි සුදු කරන පදනම් පිහිටුවා ගෙන සිටින්නන්ට කෙනෙකු මරා දමා නීතියෙන් ගැලවී සිටින්නටද හැකියාව තිබේ. ඒ රුසියානු අපරාධ පරීක්ෂණ කොමිටියේ පරීක්ෂකයන් ඔවුන්ගේ සාක්කුවේ බැවිනි.

වසර 2019 දී ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ "නංගියා සංකල්පය" නමින් මම ලිපියක් ලීවෙමි. මෙය ත්‍රිමාණ සනගරවෙහි පළවිය.  (මෙහි පෙරටුගාමින් යනුවෙන් සඳහන් කරන ලද්දේ වර්තමාන "සමබි"ම පක්ෂයයි) . සෝවියට්  නංගිලා ගෙන් ඇතැම් කොටසක් කටයුතු කළ ආකාරය ගැන එම ලිපියේ සංවාදයට බඳුන් විය. 

මේ අනියම් බිරින්දන් ගේ අභිලාශය  තම ධනවත් පිරිමියා විසින් තමන්ට ජිවත්වීමට හොඳ   තට්ටු නිවසක් ලබා ගැනීම, වියදමට මුදල් හා හොඳ  ඇඳුම්  පැළඳුම් පමණි. මෙම ඉතා සුරූපී කාන්තාවන් බොහෝ විට පැමිණෙන්නේ මොස්කව් අසබඩ නගර වලින් හෝ ගම්වලිනි.  මේ පිරිමින් ගේ නිත්‍යානුකුල බිරින්දන්ද ප්‍රංශ සමාජය අනුගමනය කරමින් තමන්ට අනියම් පෙම්වතුන් ප්‍රමාණයක් නඩත්තු කරති.  මේ ක්‍රමයට ලෝකයට පෙනෙන්නට තමන්ගේ විවාහයද රැක  ගනිති. අර අනියම් පෙම්වතියන් රඳවා ගන්නියන් වන්නේ එබැවිනි. 

නමුත් මේ කතාවේ මේ සාමකාමී සහජීවනය බිඳීයන සිදුවීමක් වේ . ඒ මරීනා නමැති එවන්  අනියම් පෙම්වතියක්  ඝාතනය වීමෙනි.  කතාව අපරාධයක් පිලිබඳ  රහස් පරීක්ෂක කතාවක් බවට පත්වේ. 

මෙහි අධ්‍යක්ෂණය, පිටපත් රචකයා සහ සියලු නළු නිලියන් රුසියානුන් වන අතර එය නිමවා ඇත්තේද මොස්කව් නගරයේය. රුසියානු ජනාධිපති   පූටින් මෙවැනි කතාවක් නිදහසේ පෙන්වීමට ඉඩ දී ඇත්තේ කෙසේද? රුසියානු නව ධනපති පන්තිය ගොඩ නැංවූ ඔහුම එහි සදාචාරමය පරිහානිය පෙන්වන කතා මාලාවක් පිළිබඳ ව නොදත්තේද ? මට නම් හිතෙන්නේ එම කතා මාලාව  ඔහු මිට දශකයකට ප්‍රථම කළාක් මෙන් ධනපති පන්තියේ මාෆියා ආකාරයට කටයුතු කරන ඇතැමුන් ට දුන් අනතුරු  ඇඟවීමක් කියාය. මොස්කව් හා රුසියානු වාසීන්ගේ පිළිකුල එල්ලවන ක්‍රියා කිරීමෙන් වැලකි සිටීමට බල කරන  හිටි හැටියේ එන පිරිසිදු කිරීමකට (cleaning operation ) ඔහු සැරසෙනවා විය හැකිය. 

අවවාදයයි: ගෙදර ළමුන් සමග එකට නැරඹිය හැකි කතා මාලාවක් නොවේ. 

Gold Diggers 

10 comments:

  1. හ්ම්....හොඳ විචාරයක්. කතාව බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. බස්සා බලන්න ,කැමති වෙයි , අනික් ඩුප්ලිකේට් බස්සල ඕව බලල නරක වෙන්න වශය නැහැ. මම කිව්වේ හ්ම්ම් බස්සට

      Delete
    2. මට නං මේ තරුණියන් ගැන තියෙන්නෙ, ඇත්තටම කනගාටුවක්. ඔවුන් අහිංසක නෑ කියලත් මම දන්නවා. ඒත්, ඔවුන් චූදිතයන්ට වඩා සිස්ටම් එකේ වින්දිතයන්.

      Delete
  2. ඩ්රැකී, Pra Jay, Sam, බස්සා ගොඩට අජිතුත් එකතු වීලා
    ලණු දෙනව, හරි රසයි කෑවම- යනව දවසම ඔහේ ගෙවිලා
    බ්ලොග ලියන එක අඩු වුණොත් හෙම, ඔන්න හේතුව- තියමි ලියලා
    එහෙම නැතිනං දෙන්න දවසේ විසි හතර හතළිහක් කරලා

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ නිදි
      අපිද දැන් වැරදී
      බ්ලොග් වැල් ගේ නිදී
      පටලා ඇත හොන්දටම් අපී

      Delete
    2. නොවෙනු මැන ඔරොප්පූ
      කතාවට කියාපූ
      ඇත්තමයි දවස මදි
      වැඩත් මදි කරාපූ

      ගෙටම හිරවෙලා මං
      ඒත් මදි කාලෙ නං
      ඔයාලගෙ උදව්වෙන්
      ඉගිලෙනව දවස නං!

      Delete
    3. මටත් එහෙමයි බ්‍රෝ
      දවස යන්නේ නොකියම බ්‍රෝ

      Delete
  3. https://www.slnewsmirror.com/2021/08/02/රන්-කහවණු-සොයන්නියෝ/

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි , සිරානේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .