ඊට කලින් මම 2015 දී වගේ ලියුව මේ ලිපි දෙකත් බලන්න.
කැමැතිනම් මේකත් කියවන්න.
පළමුවෙනි ලිපියේ සෑහෙන විස්තර ප්‍රමාණයක් තිබෙන නිසා මම නැවත ඒවා ලියන්න යන්නේ නැහැ. මගේ දුරේක්ෂය හෙවත් ටෙලස්කෝපය සෙලෙස්ට්‍රෝන් 127 නෙක්ස්ට් ස්ටාර් කියන වර්ගයේ. ඒක වර්තක (refractor) වර්ගයේ කියල කියන්න පුළුවන් තරමක් දුරට. වඩා හොඳ අර්ථ දැක්වීම මක්සුටෝව් කැසග්‍රෙන් වර්ගයේ කියන එක.
නම ඇවිල්ල තියෙන්නේ රුසියානු ආධුනික තාරකා විද්‍යාඥයෙකු හා අක්ෂි විශේෂඥයෙකු වන දිමිත්‍රි දිමිත්‍රියෙවිච් මක්සුටෝව් ගේ මුල් නමින් හා ලොරෙන්ට් කැසග්‍රෙන් කියන කතෝලික දේවගැතිවරයාගේ වාසගමින්. ලොරෙන්ට් කැසග්‍රෙන් පරාවර්තක (reflective) ටෙලස්කෝප් එකක් හැදුව එක්දාස් හයසිය ගණන්වල. ඒක භාවිතා කරලා 1931 දී බනාර්ඩ් ෂ්මිද්ට් තමන්ගේ ප්ලේට් එකක් Schmidt corrector plate දාල හදපු ටෙලස්කෝප් වර්ගයට කියන්නේ ශ්මිද්ට් කැසග්‍රෙන් කියල. ඒකෙන් අර ආකාශ වස්තුවෙන් එන ආලෝකයෙන් හැදෙන ප්‍රතිබිම්බය තැන දෙකක් නාභිගතවිම වළක්වනවා. (Spherical aberration )
දිමිත්‍රි මක්සුටෝව් ඉපදුනේ 1896 ඔඩෙස්සා කියන නාවික නගරයට ළඟ ගමක. ඔහුගේ මුත්තා පීටර් මක්සුටොව් නමැති කුමාරයෙක්. ඒ රදළකම සාර් දීල තියෙන්නේ යුද්ධයේ පෑව දක්ෂකම් නිසා. ඔහුගේ සීයා තමා රුසියානු අධිරාජ්‍යයට අයත්ව තිබූ රුසියානු ඇලස්කාවේ අවසාන ආණ්ඩුකාරයා. ඉන්පසු ඇමෙරිකා එක්සත් ජනපදය ඇලස්කාව මිලදී ගත්ත අවුරුදු 99 බද්දට.
පොඩි කාලෙම පරාවර්තක දුරේක්ෂයක් තෑගි ලැබිල තිබෙනවා දිමිත්‍රි ට. වයස වඅවුරුදු 15දී වගේ අඟල් 10 ක විශ්කම්භයක් ඇති කාචයක් එක්ක දුරේක්ෂයක් එයාම හදල තියනවා. ඒ කාලෙම වගේ රුසියානු තාරකා සංගමයේ සාමාජිකත්වය පවා දීල තිබෙනවා. පෙට්‍රොග්‍රාඩ් නිකොලායෙව් ඉංජිනේරු විද්‍යාලය (පසුව ලෙනින්ග්‍රාද් යුධ තාක්ෂණ විශ්ව විද්‍යාලය) අවසන් කරලා අභ්‍යවකාශ දෘෂ්ටි විද්‍යා පර්යේෂණ කරන්න ගිහින් තියනවා ඔඩෙස්සා විශ්ව විද්‍යාලයට. 1930 දී මක්සුටොව් අභ්‍යවකාශ දෘෂ්ටි විද්‍යා පර්යේෂණ ලැබ් එකක් පිහිටුවනවා ලෙනින්ග්‍රාද් වලම රාජ්‍ය දෘෂ්ටි විද්‍යා විශ්ව විද්‍යාලයේ. ස්ටාලින් පදක්කම සහ ලෙනින් පදක්කම් දෙකක්ම ලැබිලත් තිබෙනවා ඒ වැඩ වලට.
මක්සුටොව් 1941 දී මූලික කාචය ඉදිරියේ Spherical aberration තවත් නිවැරදි කිරීමට තවත් කාචයක් තිබ්බ. මුලදී මේ ක්‍රමය භාවිතා කලේ සෝවියට් දේශයේ පමණයි. නමුත් පසුව ළඟ ආකාශ වස්තුන් නිරික්ෂනය කරන්න හොඳයි කියල තේරුම් ගත්තම සෙලෙස්ට්‍රෝන්, මීඩ් ,ක්වෙස්ටර් වගේ කොම්පැනි මේ ක්‍රම භාවිතා කරලා දුරේක්ෂ හැදුව. මගේ ළඟ තිබෙන්නේ ඒ වගේ එකක්.
මක්ස්ටෝව් කැසග්‍රෙන් දුරේක්ෂ වලින් හොඳටම බලන්න පුළුවන් අභ්‍යවකාශ භාෂාවෙන් කියන විධිහට ළඟ වස්තූන් දිහා. ඒ කියන්නේ හඳ , අඟහරු , බ්‍රහස්පති, යුරේනස් වගේ ග්‍රහ වස්තු දිහා. මගේ ගේ පිටිපස්සේ කෘතීම ආලෝකයන් බාධා කරනවා වැඩියි. (light polution) එහෙම තියෙද්දිත් බ්‍රහස්පති ග්‍රහයා වටා යන හඳවල් හතර පහක් බලන්න පුළුවන්. ඔරායන් නෙබුලාවේ තාරකා සහ හත්දින්නත් තරු බලන්නත් අමාරුවක් නැහැ.
ශ්මිද්ට් කැසග්‍රෙන් වර්ගය හොඳ ඈත වස්තූන් (deep sky objects) බලන්න සහ ඒවා ඡායාරූප ගත කරන්න.
ඉතින් මගේ වීඩියෝවේ තියෙන උපදේශය තමා මුලන්ම දවල් වෙලාවක ටෙලස්කෝප් එක අරගෙන ඈත තියෙන වස්තුවකට ෆෝකස් කරන්න. (focus) ඒක හරියට කාචයට වැදුනම ස්ටාර් ෆයින්ඩර් කියන ගැජට් එක ඒකට පෙළ ගස්වන්න (align) . ඇල්ටට්සිමත් (alt - azimuth ) කියන මවුන්ට් එක තිබෙන නිසා වමට දකුණට සහ ඉහලට පහලට ටෙලස්කොපය හසුරවමින් මේ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් රෑ වෙලාවක කෙලින්ම අර ස්ටාර් ෆයින්ඩර් එකඟ තාරකාව හෝ ග්‍රහ ලෝකය හොයාගෙන ටෙලස්කෝප් එක එතනට හරවන්න.