එසේම ජයතිස්ස මහතා සෙල්ෆි කරුවන් සමග වමට, දකුණට , ඉහළට පහළට යාමක් කෙසේ වෙතත් ඔහු එම අයගෙන් මෑත් වී ඇවිදගොස් අනිකුත් අයට කතා කිරීමට ගත් උත්සාහය මම දුටුවෙමි. කිසියම් පාක්ෂිකයන් පිරිසක් සමහ සුහද කතා බහකට සැරසුණු වහාම ඔහු නැවත නැවතත් සෙල්ෆි කරුවන්ගේ ග්‍රහණයට හසු වෙමින් වටේ යයි. එය ලිවීමෙන් මා අදහස් කලේ වර්තමාන ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ තත්වයයි. ඔවුන් ගේ පාක්ෂිකයන් සහ ආධාරකරුවන් විසින් එම බලවේගය නොයෙකුත් දිශානති වලට වමට, වඩා වමට , දකුණට, ප්‍රතිසංස්කරණ පැත්තට ඇදගෙන යාමක් පෙන්නුම් කරන්නේ නැතිද? ඉතා ඉක්මනින් ඔවුන්ට එය තමන්ට අවශ්‍ය දිශානතියට හසුරුවා ගැනීම නොවැළක්විය හැකි වනු ඇත.
ටිල්වින් සහෝදරයා සමග වීඩියෝවට ප්‍රථම කළ කතාබහේදී 1960 ගණන්වල අග භාගයේ සිට හැත්තෑවේ දශකයේ අග දක්වා කාලයේ සෝවියට් දේශයේ ස්වර්ණමය යුගය ලෙස ඔවුන් සලකන බව මට පැවසීය. සමරවිට ජවිපෙ නායක රෝහණ විජේවීර ඒ කාලයේ වසරක් දෙකක් සෝවියට් දේශයේ ගත කළ නිසාද යන්න නොදනිමි. කෙසේ වෙතත් ඒ කාලය ගැන නිවැරදිව පෙන්වන චිත්‍රපටයක් මම තෝරා ගතිමි. ඒ "මොස්කව් කඳුළු මත විශ්වාසය තබන්නේ නැත " යන චිත්‍රපටයයි (රුසියන් වලින් මොස්ක්වා ස්ල්යෝසම් න්යේ වේරිත් "Moscow Does Not Believe in Tears")
මේ චිත්‍රපටය ඉංග්‍රීසි උප සිරැසි සමග මෙහි නැරඹිය හැකිය.
එය පිටවූයේ 1979 දී වන අතර අධ්‍යක්ෂක වරයා වුයේ ප්‍රසිද්ධියක් ඉසිලූ ව්ලැඩිමීර් මෙන්ශෝව්ය. තිර රචනය එලසේම ප්‍රසිද්ධ වැලන්ටින් චෙර්නික් ගේය. මේ චිත්‍රපටය ට 1981 දී අමෙරිකාවේ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි ඇකඩමි අවෝඩ් සම්මානය ද ලැබුණි.
මුල් කොටසේ කතාව පටන් ගන්නේ 1958 වසරේ ජීවත් වූ කම්කරු කෙල්ලන් තිදෙනෙක් වටාය. ගාමන්ට් කෙල්ලන් ගැන කතා කිහිපයක්ම මම ලියා තිබේ. රුසියාවේ පෙබරවාරි විප්ලවයට මුල් වූයේද ඔවුන්ගේ පෙළපාලියක් වුවත් ඉතිහාසය විසින් එය වසා දමා තිබේ. කැතරිනා හෙවත් කේට්, ලුද්මිලා හෙවත් ලූදා සහ ඇන්තොනිනා ජිවත් වන්නේ කම්හලක රැකියාව කරමින් කම්හල විසින් සපයන ලද නේවාසිකාගාරයකය. මෙවැනි රබෝචි දොම් හෙවත් ශ්‍රම දායකයන් සඳහා නේවාසිකාගාර අප උගත් කාලයේද තිබුණි. ඒ කියන්නේ ලංකාවේ මෙන් අඩු පහසුකම් සහිත ගෙවල් හිමියන්ට අධික මුදල් දෙමින් හුන්ඩු වැනි කාමර වල තෙරපෙමින් බැනුම් අසමින් සිටින තැන් නොවේ. ඇත්තටම මේ කාමර පොඩි ඒවා නොවේ. ඔවුන්ට පොදුවේ භාවිතා කරණ කුස්සිද, නාන කාමර ද තිබුණි. චිත්‍රපටයේ පෙන්වන්නේ එවැනි සැබෑ තැනකි.
අධ්‍යක්ෂකවරයා සූක්ෂම ලෙස කපන කතුරෙන් මිදී සැබෑ තත්වය පෙන්වන තැන කිහිපයක් තිබේ. අසූ ගණන්වල එදවස වාමාංශික ට්‍රොස්ට්කි වාදියෙකු වූ ආචාර්ය නලින්ද සිල්වා මහතා "දිවයිනේ" පළ කල ලිපි පෙලකදී සෝවියට් දේශයේ "සමාජවාදී පංතියක්" ගැන ලීවා ටිල්වින් සහෝදරයාට මතක ඇතැයි සිතමි. මේ කෙල්ලන් තමන් සිටිනා කම්කරු නිවස්නය ගැන කියන්නට කැමැත්තක් දක්වන්නේ නැත. දෙතුන් වතාවක් ම ලුදා තමන් ගේ අත පතා එන පිරිමින්ට කියන්නේ ඇය වැදගත් පවුලක කෙල්ලක් බවත් ඔවුන් සිටින්නේ ලස්සන නිවසක බවත් පවුලේ අය සමග ආහාර ගන්නා බවත් ආදී වශයෙනි. නමුත් නේවාසිකාගාර යේ පිළිගැනීමේ තැන රැකවලේ සිටින මහලු කාන්තාවට එය සැම විටම වැරදෙයි.
ඔය අතරේදී කැතරිනා ගේ මාමා කෙනෙකුට කළු මුහුදේ නිවාඩුවකට යාමට ලැබේ. (මමද කළු මුහුදේ නිවාඩුවකට ගිය අතර එය කලේ විශ්ව විද්‍යාලයට හොරෙනි.) රජයේ වියදමින් කළු මුහුදේ නිවාඩු යාමට වරම් ලැබෙන්නේ පක්ෂයේ නිලධාරීන්ට, ඉහල රජයේ සේවකයන්ට, ප්‍රසිද්ධ නළු නිළියන්ට , අඅධ්‍යක්ෂක වරුන්ට ගත් කතුවරුන් සහ පිටරට වලින් පැමිණෙන මොස්කව් වලට හිතවත් රාජ්‍ය තාන්ත්‍රිකයන්හටය. ඉතින් නලින් ද සිල්වා ගේ අර "සමාජවාදී පන්තියේ" මාමා නිවසේ යතුර කැතරිනා ට භාර දී යන්නේ සුරතල් බල්ලාද බලා ගන්නට දීමෙනි. ලුද්මිලා සහ කැතරිනා මේ අවස්ථාව යොදා ගන්නේ තමන්ට හොඳ ඉහල "සමාජවාදී පන්තියේ " පිරිමියෙකු හොයා ගන්නටය. ඔවුන් ආරාධනා කරන අය අතර විශ්ව විද්‍යාල මහාචාර්ය වරු, කථිකාචාර්යවරයෙක්, කතු වරයෙක්, ,උසස් රජයේ නිලධාරියෙක්, රුපවාහිනී කැමරාකරුවෙකු වන රුඩොල්ෆ් හා නිෂ්පාදකයෙක් හා පදක්කම් දිනූ සෝවියට් හොකි ක්‍රීඩකයෙක් වන සෙර්ගේයි ආදීන් සිටිති.
චිත්‍රපටය නරඹනවිට රජයේ නිලධාරියා පෝලිම් වල නොයිඳ පන්නාගෙන එන කෑම බෑගයෙන් එලියට ගන්නා අයුරු නිරීක්ෂණය කරන්න. ඉතින් මේ පාටියේ දී වංචාකාරී ලෙස කතා කරන රුපවාහිනී කැමරාකරු රුඩොල්ෆ් ට රැවටෙන කැතරිනා ඔහු සමග සංවාසයේ යෙදෙයි. රුඩොල්ෆ් කැතරිනාට තම නිවසට ආරාධනා කරන අතර "ඉහල සමාජ තත්වයක්" ඇති කැතරිනාට ඔහුගේ මවද කැමති වෙයි. ඒ අතරේ කැතරිනා වැඩ කරන කම්හලට එන රුඩොල්ෆ් දකින්නේ තමන් "ඉහල සමාජවාදී පන්තියේ " යයි මවා පෑමක් කළ කැතරිනා සැබැවින්ම කම්කරු කාන්තාවක බවයි. ඒ අතරේ කැතරිනා ගේ යෙහෙළිය ලූදා ද ප්‍රසිද්ධ හොකි ක්‍රීඩකයා සමග යහළු වෙයි.
අවාසනාවකට මෙන් කැතරිනා රුඩොල්ෆ් නිසා ගැබ්බර වෙයි. ඒ දිනවල කාන්තාව විසින් පියා නම් කරන්නේ නම් ඔහු තමන් ගැබ් කළ කාන්තාව විවාහ කර ගත්ත යුතුය. කැතරිනා සොයා එන රුඩොල්ෆ් ගේ මව කැතරිනා ට බැන වදින්නේ තම නිවසේ තවත් දෙදෙනෙකුට ඉඩ නැති බවද තමන් ඇති තරම් කාලයක් කොමියුනාල්ක වල ජීවත්වූ බවද පවසමිනි.
සාර් රජ කාලයේ තිබූ ධනවතුන්ගේ විශාල නිවාස, මාලිගා, ධනපතියන් ගේ කම්හල් , සාප්පු ආදිය විප්ලවයෙන් පසු ජනසතු කරන ලදී. මේවා සාමාන්‍ය ජනතාවට ලබාදීම මගින් දිළින්දන් ගේ නිවාස ප්‍රශ්නය මදක් දුරට විසඳන ලදී. ඒවායේ කාමරයක් හෝ දෙකක් පවුලේ විශාලත්වය අනුව ලැබේ. වැසිකිලි, නාන කාමර සහ කුස්සිය තවත් පවුල් හතරක් පහක් සමග පොදුවේ භාවිතා කළ යුතුය. කොමුනාල්ක කියන්නේ ඒවාටය. ඒවායේ ජිවත් වීමට බොහෝ මොස්කව් වාසීන් අකැමතිය. තමන්ගේම නිවසක් මහල් නිවාස පද්ධතියකින් ලබා ගැනීමට පෝලිමේ සිටිය යුතුය. ඒ අතරේ පක්ෂ හැඳුනුම් කමක් හෝ වෙනත් ක්‍රමයකින් මහල් නිවසක් කලින් ලබා ගත හැකිය. පක්ෂයේ වැඩ කරන අයට සහ සයිබීරියාවේ පතල් වල වැඩ කරන කම්කරුවන්ට නිවෙස් ඉක්මනින් ලැබේ. රුඩොල්ෆ් කැතරිනා සමග විවාහ වන්නට අකමැති වන්නේ ඔහුට අනාගතය ගැන වෙනත් සිහින තිබෙන බව කියමිනි.
මේ තිදෙනා අතරින් අන්තොනිනා යහළු වී සිටින්නේ සෙර්ගෙයි සමගය. සෙර්ගෙයි මහන්සි වී වැඩ කරන අයෙකි. ඔහු ගේ දෙමාපියන්ට මොස්කව් වලින් පිටත ප්‍රදේශයක දාචාවක් තිබේ. දාචා යනුවෙන් ග්‍රීෂ්ම සමය ගත කරන නිවෙස් බොහෝ මොස්කව් වාසීන්ට තිබේ. ඒවායේ ඔවුන් නොයෙකුත් වගාවන් කරති. සීත කාලයට අවශ්‍ය අර්තාපල්, තක්කාලි වෙනත් එළවලු ආදිය වගාකර ගබඩා කර ගනිති. ඒවායින් අඩුපාඩුවක් නැති බව චිත්‍රපටයේ පෙන්වයි. අප සිටි කාලයේදී ද මේ තත්වය එලෙසේමය. ඔවුන් සති අන්තය ගත කරන්නට තෝරා ගන්නේ මෙවැනි දාචා නිවෙස්ය, සමහර විට ඒවායේ නළ ජලය නැති අතර ජලය අසල ළිඳකින් සපයා ගත යුතුය.
කැතරිනා ට කම්කරු ජිවිතයේ දිගටම සිටින්නට අදහසක් නැත. එනිසා ඇය රසායනික විද්‍යාව පිලිබඳ උපාධියක් කිරීමට අදහස් කරගෙන සිටියාය. එසේ වුවත් ඇය තම දරුවා තනියම හදා වඩා ගැනීමට තීරණය කරයි. බොහෝ අපහසුතා මධ්‍යයේ ඇය මහන්සිවී ඉගෙන ගනී.
කතාවේ දෙවන කොටස අවුරුදු විස්සකට පසු සෝවියට් දේශයේ හැත්තෑවේ කාලය නිරූපණය කරයි. කැතරිනා ගේ දියණිය ඇලෙක්සන්ද්‍රා පියකරු යොවුන් වියේ පසුවන්නීය.කැතරිනා දැන් එම කම්හලේම අධ්‍යක්ෂක වරියයි. ඇයට තමන්ගේම විශාල මහල් නිවසක් තිබේ. ඇයට නැත්තේ ආදරයක් පමණි. මහන්සිවී ඉගෙන ගත්තොත් සෝවියට් රජයේ ඉහල තැනකට පැමිණිය හැකි බවට පෙන්වන සෝවියට් පරමාදර්ශයක් වන්නේ කැතරිනාය. අන්තෝනිනා තමන්ගේ සරල පැවතුම් ඇති සෙර්ගෙයි සමග විවාහ වී දරුවන් සමග සතුටින් ජිවත් වෙයි. එයද සෝවියට් පරමාදර්ශයට සමගාමී වේ. ඔවුන්ගේ මොස්කව වලින් එපිට දාචාවද එලෙසම තිබේ. සති අන්තයට යෙහෙලියන් තිදෙනා එහි ප්‍රීතියෙන් සහ අතිතානුස්මරණයෙන් ගත කරති.
ප්‍රසිද්ධිය සහිත සැමියෙක් හඹා ගිය ලුදා ප්‍රසිද්ධ හොකී ක්‍රීඩකයා විවාහ කර ගනී. නමුත් ඔහු මත්පැන් ලෝලියෙකි. ඔවුන් දික්කසාද වී ඇත. සෝවියට් දේශයේ පිරිමින් ගේ මධ්‍යසාර භාවිතය ඉහල මට්ටමක තිබු අතර වොඩ්කා මිල අඩු නිසා මත්පැන් ලෝලීන් ද වැඩිය. ඒ ප්‍රශ්නය පසුව ගොර්බචෝව් ටද හිසරදයක් විය.
දාචා නිවසට ආපසු එනා කැතරිනා ට දුම්රියේදී ගෝෂා හමුවේ. විශ්වවිද්‍යාල පර්යේෂණාගරයක උපකරණ නිපදවන නුවණැති අයෙකු වූ ගෝෂා සමග කැතරිනා පෙමින් බැඳේ. ඔය අතරේ එම කම්හලේ අධ්‍යක්ෂකවරිය සමහ සම්මුඛ සාකච්චාවක් කිරිමට එන රුපවාහිනී කණ්ඩායමේ රුඩොල්ෆ් තමන් අත්හැර දැමු පෙම්වතිය දැන් අධ්‍යක්ෂිකාවක් බවද ඔහුට දියණියක් සිටින බවද දැන ගනී. කැතරිනා ප්‍රතික්ෂේප කරයි, දියණිය අලෙක්සන්ද්‍රා ගේ පෙම් හබයකට මැදිහත් වන ගෝෂා සමග කැතරිනා විරසක වෙයි. නමුත් ඇය පසුව වටහා ගන්නේ තමන්ට සුදුසු තැනැත්තා නිහතමානී මිනිසකු වන ගෝෂා බවය.
මම මේ සිනමා පටය දෙතුන් වරක් නරඹා තිබේ. ඒ හැම වතාවකම කලින් හරියට නුදුටු දේ නිරීක්ෂණය වේ. සෝවියට් දේශයේ විද්‍යාඥයන් , අජටාකාශගාමින් මහාචාර්ය, ආචාර්ය වරුන්, කතුවරුන්, ඇතැම් කලාකරුවන්, සංගීත වේදීන් පක්ෂ බලධාරීන් ආදීන් ඉන්ටෙලිජෙන්සියාව ලෙස හැඳින්වුනි. ඔවුන්ට කිසියම් වරප්‍රසාද සහිත ජිවිතයක් තිබුණි. කැතරිනා ගෝෂා හමුවීමට කලින් අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගියේද එවැනි විවාහකයෙකු සමගය. එවැනි සම්බන්ධතා බොහොමයක් සෝවියට් දේශයේ තිබුණි. කාන්තාවන් බොහෝ විට පිරිමින් තරම්ම නිදහස් නිසා විය හැකිය.
චිත්‍රපටයේ ඉතා සියුම් ලෙස පක්ෂ නිලධාරීන්, ඉන්ටෙලිජෙන්සියාව සහ සාමාන්‍ය මිනිසුන් අතර වෙනස පෙන්වයි. නමුත් චිත්‍රපටය සෝවියට් දේශයේ එදවස තිබූ තත්වයේ සොඳුරු බව ද පෙන්වයි. "සෝවියට් සිර මැදිරියේ සිට" නවකතාව ලියූ ඔරුවල බන්දු සිටියේද මේ කාලයේමය. එය සිර මැදිරියක් වූයේ මිනිසුන්ට වෙනත් රටවලට යාමට නිදහස නොතිබූ නිසාද නැතිනම් බන්දුට ආචාර්ය උපාධිය කිරීමට ඉඩ නොදීම නිසාද යන්න පැහැදිලි නැත.
නැගෙනහිර ජර්මනියේ උපත ලද මගේ බිරිඳද මේ චිත්‍රපටය මා සමග නැරඹුවාය. ඇය කියන්නේ සෝවියට් දේශයේ තිබූ තරම් නිදහසක් නැගෙනහිර ජර්මනියේ නොතිබූ බවය. ඇගේ දෙමාපියන් ඇයව පල්ලියේ භෞතිස්ම කළ නිසා ඇයට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට අවසර නොදුන් බව ඇය කීවාය. ඇයට ඉගෙනීමට ලැබුනේ දෙමාපියන් දියණියන් සමග බටහිරට ආ පසුවය. මා උගත් විශ්ව විද්‍යාලයට පිට ගම් හා නගර වලින් පැමිණි බොහෝ සිසුන් කොම්සොමෝල් සාමාජිකයන්ය.
ජවිපෙ ගැන කියනවානම් මට හැඟෙන්නේ කලින් ජාතිවාදී, ජාතිවාදී විරෝධී හා මධ්‍යස්ථ ඔලු තුනේ මකරෙකු සිටි එය තුනට කැඩුනේ විමල් විරවංශ ජාතිවාදී පැත්තට ගොස් කුමාර් ගේ පැත්ත ජාතිවාදී විරෝධි, න්‍යායවාදී ලෙසත් අනුරගේ පැත්ත මධ්‍යස්ථ ප්‍රතිසංස්කරණවාදී ලෙස බෙදිමෙන් යයි මට සිතේ. ඔවුන් පිහිටුවන රජයක් වඩා ලිබරල්වාදී එකක් වේවිද නැත්නම් සමාජවාදී එකක් වේවිද යන්න කීම තවම අපහසුය. බොහෝ විට සමාජවාදයට වඩා බර ප්‍රතිසංස්කරණ වාදී රජයක් වීමට බොහෝවිට අවකාශයක් තිබේ.
-අජිත් ධර්මකීර්ති 26/02/2023
චිත්‍රපටය: