Friday, 29 November 2024

ලෙනින් පරිත්‍යාග කළ කුරානය


මගේ අදේවවාදීකම ගැන හෝ නිරාගමිකත්වය  ගැන බොහෝවිට මා සඳහන් නොකරන මුත්  මෑතකදී මාලන් රොෂාන් විසින් නිරාගමිකත්වය ගැන ලියූ  වියමනට  ප්‍රතිචාරයක් දැමීමට මට අවශ්‍ය වුනි .   ඔහු බ්ලොග් ලියන්නෙකු නොවන නිසා එම ලිපියට යොමුවක්  දැමීමට නොහැකිය. අදේවවාදිත්වය කොවූර්  ගේ පොත් හා වාමාංශික දේශපාලන බලපෑමෙන් ඇති වුවද නිරාගමිකත්වයට  බලපෑවේ පුහුල්වැල්ලේ විමලවංශ නම් යතිවරයාන කෙනෙකි .  උන්වහන්සේ ගැන ලිපියක් බොහෝ කලකට පෙර ලියා ඇත ,  මාලන් සඳහන් කරන ලෙසටම නොවුවද ඇලීම අතහැරීම  නිරාගමිකත්වය ලෙසට වටහා ගතිමි .  

රිචර්ඩ් ඩෝකින්ස් ගේ පොත් කියවීමෙන්ද පසු, පසු කාලයක මම ලන්ඩනයේ අදේවවාදීන් ගේ  සංගමයකට බැඳුනෙමි. ඒ ඔවුන් බොහෝ වටිනා  සංවාද පැවැත්වීම මෙන්ම වැදගත් කථිකයන් ගෙන්වා දේශන පැවැත්වීම ආදිය  ද නිසාය .  මෙහි සාමාන්‍ය ඉංග්‍රීසි වැනි සුදු ජාතිකයන් හැරුණු කොට යුරෝපීයයන් මෙන්ම මා වැනි ආසියානු සම්භවය ඇති අයද  අප්‍රිකානු සම්භවය ඇති අයද  සිටියහ .  හින්දු ,  මුස්ලිම්, කතෝලික  වැනි ආගම්  වලට අයත්ව සිට එම භක්තිකයන්ගෙන් , පවුලෙන් , සමාජයෙන් පීඩා  විඳි අය  ඉහත කී   ආගම් නිර්දය ලෙස විවේචනය කල බව පෙනුනි .  එසේම මෙහි අයගේ මුස්ලිම් විරෝධය සමානුපාතික ලෙස ඉහල අගයක තිබුණි .  
සමහරු කෙතරම් අන්තවාදී වීද  යත් මම ආයුර්වේදයේ සමහර බෙහෙත් ගැන කියද්දී හෝ , කහ දියර වල විෂබීජ නාශක ගුණයක් ගැන කියද්දී වුව ඒවාටද විරෝධය පෑ  අය  සිටියහ ,  කොටින්ම විවෘත මනසකින් ප්‍රශ්නයක් දෙස බලන්නට ඔවුන්ට නුපුරුදු බව මට පෙනුනි . 

එසේම මේ අය  ගෙන් සමහරු හයිඩ් පාක් ගොස්  කථිකයන්ගේ කොනේ මුස්ලිම් දේශකයන් සමග පැය  ගණන් වාද  කළහ .  මුස්ලිම් දේශකයන් හා ක්‍රිස්තියානි දේශයකයන් ද එලෙසින්ම අන්තවාදී විය .  වරෙක හිසේ සිට සිරුර වසා නිකාබ  පැළඳි  කාන්තාවන් කිහිප දෙනෙකු එක්තරා තැනකදී සුදු ගැහැණුන්ට  දරුණු අන්දමින් පරිභව කරමින් කතා කළහ .  මා සමග සිටි ආසියානු කාන්තාවක් ඔවුන් සමග පැටලුනු විට ඔවුන් ඇයටද  ගණිකාවක් කියා පරිභව කළහ. මද කලකට පසු මම සංගමයෙන් ඉවත්  වුනේ අනවශ්‍ය ආතතියක් ජිවිතයට ලැබෙන හෙයිනි .  සංවිධානයද වැඩිකල් පැවතුනේ නැත . 

සෝවියට් දේශයේ අදේවවාදය වැඩියෙන්ම ප්‍රචලිත වූයේ  ස්ටාලින් ගේ කාලයේය .  ඔහු බොහෝ පල්ලි සමතලා කළේය .  නැතහොත් ඒවායේ කෞතුකාගාර පිහිටුවේය .  සෙන්ට් පිටර්ස්බර්ග් නගරයේ ශාන්ත ඉසාක් පල්ලිය කෞතුකාගාරයක් කර කොපර්නිකස් ගේ පෘථිවියේ භ්‍රමණය පිලිබඳ නියමය ඔප්පු කිරීමට බුබ්බුලාකාර වහලේ ෆුකෝ ගේ පෙන්ඩුලම සැදුවේය .   මොස්කව් වල ප්‍රසිද්ධ (ක්‍රිස්තු ගැලවුම් කරු ගේ පල්ලිය )   පල්ලියක් කඩා මහජන නාන  තටාකයක් කළේය .  රුසියානු රජය අවසර දීමෙන් පසු එය නැවත පල්ලියට භාර දෙන  ලදින් දැන්  පෞරාණික දේවස්ථානය ලෙසටම ගොඩ නගා ඇත .  රුසියාවට 2016 දී  ගිය අවස්ථාවේ එහි පින්තුරයක් ගතිමි .  දකුණු පස් ඇත්තේ පරණ නාන  තටකයයි .  




පසුගිය සැප්තැම්බරයේ කල උස්බෙකිස්ථාන සංචාරයේදී ලෝකයේ පැරණිතම කුරානය  නැරඹීමට ගියෙමු .  ඕනෑම ආගමක කෙනෙකුට එය නැරඹිය හැකි වුවත් පින්තූර  ගැනීම තහනම්ය .  ඉහත ඇති මුල් පින්තුරය එම කුරානයේම ආකාරයෙන් නිමවන ලද ආකෘතියකි. එහි පින්තූර ගැනීමට  තහනමක් නැත .    

කුෆික් හෙවත් ඔත්මන් ශුද්ධ වූ කුරානය නමින් හඳුන්වන එම ග්‍රන්ථය ක්‍රි ව 755-855 අතර කාලයේ මුව හම්  පිරිවද්දා ඒවායේ  ලියන ලද්දකි .  දැනට ඉතිරිව ඇත්තේ පිටු 250 පමණ ප්‍රමාණයකි .  ඔත්මන් මෙය කරවා ඇත්තේ වසර 651 දී යයි කියති .  ඔහු ඝාතනය කිරීම නිසා ෂියා  - සුන්නි භේදය ඇතිවී තිබේ .  ඔහුගෙන් පසු මේ ඓතිහාසික කුරානය ටමර්ලෙන් නමැති  තුර්කි මොන්ගොල් අධිරාජයා සතුව සමර්කන්ඩ් නගරයේ තිබී ඇත. 1816 දී රුසියානුන් එම ප්‍රදේශ යටත් කරගත් පසු රුසියානු අධිරාජයාට යවන ලදුව පිටර්ස්බර්ග් නගරයේ අධිරාජයාගේ පුස්තකාලයේ තැන්පත් කර තිබී ඇත . 
අන්තර්ජාලයේ තිබී පින්තුරයක් සොයා ගතිමි . 


බොල්ෂෙවික්  වරු බලය අල්ලාගත් පසු ව්ලදිමීර් ඉලිච් ලෙනින් එය ටශ්කෙන්ට් වල මුස්ලිම් වරුන්ට භාර දී තිබේ .  අපේ සංචාරක මාර්ගෝපදේශක තැන පැවසූ පරිදි අදත් උස්බෙක්වරු ලෙනින්ට ඒ පිළිබඳව ඉමහත් සේ ගරු කරති .  අපට ඉගැන්වූ ස්ටාලින් ගේ සමාජවාදී ඉතිහාසය  තුල මෙවැනි කාරණා සඳහන් කෙරුනේ නැත .  මෙයින් පහැදිලි වන්නේ ලෙනින් ගේ ළඳරු සෝවියට් රාජ්‍යය අනවශ්‍ය ලෙස බලෙන් මිනිස්සුන් අදේවවාදී කිරීමට තැත්  නොකළ බවයි .  එම දරුණු පහර දීම්  හා ආගමික සිද්ධස්ථාන විනාශ කිරීම් ඇරඹුණේ ස්ටාලින් - මාවෝ - පොල්පොට් සමයන් හිදී ඒ ඒ රටවලය .  

උස්බෙකිස්ථානයේදී මම නිකාබ හෝ බුර්කා පැළඳි කාන්තාවන් නුදුටුවෙමි .  හිජාබය හෝ චඩොර පැළඳි කාන්තාවන් නම් සිටියහ .  මෙය මට කුතුහලය  දනවන්නක් වූයේ ශ්‍රී ලංකාවේද දැන් නිකාබ ඇඳි කාන්තාවන් දක්නට ලැබෙන හෙයිනි .  දැඩි ආගමික රටක් වන උස්බෙකිස්තානයේ සොරකම් සිදුවන්නේ කළාතුරකින් යයි අසා ඇත .  එය අපේ සංචාරක මාර්ගෝපදේශකයන් සහ රියදුරු මහතාද සනාථ කළහ .  මත්පැන් හෝටල තුල විකිණීම තහනම්ය .  ඒවා පිටතින් වැඩි ගණනට ගෙන අ හැක .  ටෂ්කන්ට්හි  කුඩා ළමුන් පවා නිදහසේ සෙල්ලම් කරනු හෝ පාරේ  ගමන් කරනු දුටුවෙමි. හරියට ආදි කාලයේ ශ්‍රී ලංකාවේ මෙනි .  සමර්කන්ඩ් හිදී අපගේ තජික් ජාතික  සංචාරක   මාර්ගෝපදෙශිකාව ගෙන් ඒ ගැන විමසීමි .  පින්තූරයේ ඈතින් ලෝගුවක් පැළඳ සිටින්නේ  ඇයයි . 


                                        

ඇය කීවේ  , ආගම නිවැරදිව අදහන්නට වස්ත්‍ර බල නොපාන බවත් ඇය යාඥා කරන අතර කිසිදු මත්පැන් පානයක්  නොකරන බවත්ය .  මම ඉන්පසු ඇඳුම් වල නිදහස ගැන විමසා, බ්‍රිතාන්‍යයේ ලිබරල් සහ වාමාංශික සගයන් කාන්තාවන්ට නිකාබ ආදිය ඇඳීමේ අයිතිය පිළිගන්නා  බව කීවෙමි .  එයට ඇගේ ප්‍රශ්නය  වූයේ එසේ කියන අයගේ බිරින්දන් හා දියණියන් එසේ එම ඇඳුම් අඳින්නේද යන්නය .  එසේ නොවන බවත් කාන්තාවන්ට ඇති එම අයිතිය ඔවුන්  පිලි ගන්නා බව පමණක් බවත් මම කීවෙමි.  
එහිදී ඇය නැවතත් ඇසුවේ ' ඔබ කොහොද  දන්නේ ඒ අය කැමැත්තෙන් අඳිනවා ද , බල කරලද කියල." මම එය නොදන්නා බව කීවෙමි .  නමුත් මා ලන්ඩනයේ උගත් ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේ සිසුවියන් සමහරක් ස්ව කැමැත්තන් අඳින බවත්ය .  
එයාට ඇය කිවේ "උස්බෙකිස්තානයේ  විශ්ව විද්‍යාල වල  තරුණ සිසුවියන් කණ්ඩායම් කිහිපයක් අඳින්න ගත්ත.  ප්‍රශ්නේ වුනේ ඔවුන් අනිත් අයටත් අඳින්න බල කරපු එක සහ අපි කලේ නැත්නම් අපට නිග්‍රහ කරපු එක .  ප්‍රශ්න ඇති වෙන්න ගත්ත නිසා බලධාරීන් ඒවා පැළඳීම අයින්  කළා .  අපේ සුපුරුදු හිජාබය (හිස වසා පළඳින සැහැල්ලු වස්ත්‍රය ) හොඳයි අපට."   මට ලන්ඩනයේ වූ විවාද මතක් වූයෙන් ඇය කියන දේ අත්දැකීමෙන්ම දන්නා බව පැවසීමි .  මගේ දියණියන් ද පල්ලි නැරඹීමට යනවිට හිජාබ  පැළඳුහ.

උස්බෙකිස්තානයේ  හින්දු සහ බෞද්ධ ආගමික  ඉතිහාසයක් තිබී ඇති මුත් ඒවායේ කිසිම සලකුණක් නටබුන් ප්‍රමාණයක් ඉතිරිව නැත .  රජය විසින් අපහසුවෙන්  සොයා ගන්නා ලද චිත්‍ර දෙකක් බුකාරා හි කෞතුකාගාරයක දුටුවෙමි .  ඒවායේ මුහුණු කටුගා ඇත්තේ එය ආගමට විරුද්ධ නිසාය . පින්තුර වල ඇත්තේ ඒවාය.


කෙසේ වෙතත් උස්බෙකිස්ථානයේ පවතින ආගමික  සංහිදියාව අගය කරමි . 

අජිත් ධර්ම 29/12/2024


  




Sunday, 17 November 2024

අහවල් ස්වයංනිර්ණනේ සහ උස්බෙක් විසඳුම

ටශ්කෙන්ට් හි තිමුර් ප්‍රතිමාව 


දෙමසකට ඉහතදී අප උස්බෙකිස්තානයේ සංචාරයක යෙදුනෙමු .  එම සංචාරය පිළිබඳ  ව ලිවීමට බොහෝ දේ ඇතත් මෙය වර්තමාන ශ්‍රී ලාංකික   දේශපාලන සන්දර්භයේදී වැදගත් යයි සිතමි .  මම ,  අපේ සංචාරක මාර්ගෝපදේශක ලෙස සිටි උස්බෙක් ජාතිකයා සහ වෑන්  රථයේ රියැදුරු  වන කොරියන් ජාතිකයා සමග කෝපි  එකක් බොමින්  සංවාදයේ යෙදුනෙමු .  උස්බෙක් ජාතිකයා කී  දෙයක් මගේ අවධානයට යොමු වුනි . "අපට හරියටම ස්වයන් නිර්ණන  අයිතිය ලැබුනේ 1991 දී .  සෝවියට් සංගමයෙන් වෙන් වුනාට පස්සේ.  අපේ නිදහස් දිනය 1991 සැප්තැම්බර් එක ට යෙදෙන්නේ ඒ නිසා. " සෝවියට් සංගමය බිඳ වැටුනේ එදාය .  උස්බෙකිස්ථානයයේ නිදහස් දිනයද එදාය .  

මෙහිදී රුසියන් නමක් ඇති කොරියන් රියදුරු කීවේ "මෙයාලට  නිදහස ලැබුන .  එතකොට අපිට මොකද වුනේ?  අපි කැමති සෝවියට් දේශයේ ඉන්න. හැමෝම එක තත්වයේ එතකොට. අපි දැන් අතරමං ". කොරියානුවා ඉපදුනේ ටශ්කෙන්ට් වල සෝවියට් උස්බෙක් සමුහාණ්ඩුව තුලය .  ඔහුගේ සීයා ස්ටාලින් විසින් ඒ පැත්තේ පදිංචි කරණ ලද සුළු ජාතීන්ගෙන් පැවත එයි. ඔහුගේ කැමැත්ත පරණ සෝවියට් දේශයටය . කොරියන් වරු ගෙන්නුවේ මේ පළාත්වල වැසියන්ට සහල් නිෂ්පාදනය (කුඹුරු කිරීම )  කියා දීමටය. 
කොරියානු (සෝවියට් )  රියදුරු මහතා
සෝවියට් දේශයේ උපන් කොරියානු රියදුරු මහතා 


ටිමුර්ලේන් යනු ටටාර් මොන්ගොලියන් යුධ සෙනෙවියකි .  ඔහු ඉපදුනේ වත්මන් උස්බෙකිස්තානයේ ට්‍රාන්සොකිසියනා නම් පෙදෙසේ 1320 ගණන් වලය .  ඔහු ඇෆ්ඝනිස්ථානයේ සිට දකුණු රුසියාව, කොකේසස් පෙදෙස් ,  මධ්‍යම ආසියාව, ඊජිප්තුව , සිරියාව හා ඉන්දියාවේ කොටසක් ද සමග මහා අධිරාජ්‍යයක් ගොඩ නැගුවේය.  ඔහුගේ ප්‍රතිමාව ටශ්කෙන්ට් වල තිබේ (ඉහටැහැ රූපය). පසු කලෙක අති බලවත්  ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය බිහිවූයේ ඔහුගෙනි.එක්දාස්  හත්සිය සහ අටසිය ගණන් වල ,  රුසියානු අධිරාජයා වන පළමුවන පීටර් මෙන්ම මහා කැතරින් අධිරාජනිය ද ඔටෝමන් වරු සමග සටන් කර මේ  මධ්‍යම ආසියානු ප්‍රදේශ යටත් කර ගත්හ. 1771දී  ක්‍රිමියාව මහා කැතරින් අධිරාජනිය විසින් අල්ල ගන්නා ලදී. 

සෝවියට් දේශය පිහිටුවීමේදී මේ අති විශාල තුර්ක්මෙන්වරුන්ගේ ප්‍රදේශය අනාගත තර්ජනයක් බව ලෙනින් සහ ට්‍රොට්ස්කි වටහා ගත්හ .  ඒ වන විටත් සෝවියට් රතු හමුදා ඒ පෙදෙස් වල සටන් කරමින් යටත් කර ගනිමින් තිබුණි. ස්‌ථාන යනු සංස්කෘත වචනයකි .  හින්දුස්ථාන් යනු හින්දුන්ගේ දේශය හෝ පෙදෙසයි .  මේ අනුව සෝවියට් කොමියුනිස්ට් පක්ෂය උස්බෙක් වරුන් ගේ පෙදෙස උස්බෙකිස්තාන් ලෙසත් ,  කිර්ගිස් පෙදෙස කිර්ගිස්තාන් ,  ලෙසත් අසේරි වරුන් ගේ පෙදෙස අසර්බයිජාන් ලෙසත් ,  තුර්ක්මෙන් වරුන්ගේ පෙදෙස්  තුර්ක්මෙනිස්තාන් ලෙසත් කසාක් වරුන්ගේ පෙදෙස් කසාක්ස්තාන් ලෙසත්, තජික් වරුන් ගේ පෙදෙස තජිකිස්තාන් ලෙසත්  නම් කර ඔවුන්ගේ භාෂා හා ජිවත්වූ පෙදෙස් මත රටවල් පහක් නිර්මාණය කලහ. කසාක්ස්නයේ අනවශ්‍ය ලෙස භුමි ප්‍රමාණයක් කුඩා  ජන සමුහයකට ලැබුණි .  ඒ සඳහා ඒ ඒ ජනතාවට ස්වයං නිර්ණය අයිතිය හිමි බවද සඳහන් කළහ .  නව ස්වයං නිර්ණය හා තමන්ගේ ම රටක් ලත් ඒ පෙදෙස් වල නොමැඩික් ජනතාව ඉතා උද්දාමයට පත් වූහ. නමුත් ඔවුන් සෝවියට් සංගමය තුල අනිවාර්යයෙන්ම සිටිය යුතුය.  රූබලය ඔවුන්ගේ මුදල් ඒකකය විය.  රුසියානු හෝඩිය ඔවුන්ගේ ද හෝඩිය විය . කොටින්ම ලෙනින් කලේ බලවත් රජයක් ඇති වීම වලක්වා මේ ජනතාව බෙදා වෙන් කිරීමයි. භාෂාව,  ආගම ආදිය පිටුවහල් කරගෙන බෙදා වෙන් කර පාලනය කිරීම අධිරාජ්‍යවාදීන් ගේ ද උපක්‍රමයක් විය. එය ඉන්දියානු උප මහාද්වීපයේ අප හොඳින් දනිමු .     

ෆින්ලන්තයට නිදහස ලැබුනේ ෆින්ලන්ත  රතු හමුදා පරාජය  වීම නිසාය .  පෝලන්තය රඳවා ගැනීමට ළඳරු සෝවියට් රාජ්‍යයට නොහැකි විය .  
  
සෝවියට් දේශය යනුවෙන් අප නිතර සඳහන්  කලද එහි නියම නම සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමයය.( යුනියන් ඔෆ් සෝවියට් සොෂලිස්ට් රිපබ්ලික්ස්). ස්වයං නිර්ණය ලත් රටවල් පහලවක එකතුවක් වුවද පාලනය මධ්‍යගත එකක් විය. එහි ආර්ථික ක්‍රමය සමාජවාදී එක් වූ අතර පාලනය කලේ ඒ ඒ සමුහාණ්ඩු වල කොමියුනිස්ට් පක්ෂ මගිනි . 

එසේම හංගේරියාව සහ චෙකොස්ලොවැකියාව සෝවියට් ආර්ථික පද්ධතියෙන් මිදීමට ගත් උත්සාහයන් හමුදා මැදිහත්වීම් මගින් පරාජය කරන ලදී. 

අප දැන් යුරෝපා සංගමය විමසා බලමු ,  එය සෝවියට් සංගමයට වෙනස්ව එහි බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටවල් සිය කැමැත්තෙන් එක්වී පිහිටුවා ගත් එකක් විය. අවසන් වරට  ස්වයන් නිර්ණය ප්‍රකාශයට පත් කල රට වූයේ චෙකොස්ලොවැකියාවය ,.  එය චෙක් සහ ස්ලොවැක් රටවල් දෙක ලෙස බෙදී වෙන් වූයේ භාෂා මත වුවත්  ඒ භාෂා දෙකම ස්ලැවික් මූලයක් සහිත සමාන ඒවාය. චෙක් වරු රෝමානු අධිරාජ්‍යයට  යටත්ව සිටි අතර ස්ලෝවක් වරු හංගේරියානු අධිරාජ්‍යය ට යටත්ව සිටියහ .  මේ රටවල් යුරෝපා සංගමයේ සිටින බැවින් දේශ සීමා නැත .  භාවිතය යුරෝ නිසා  ඇත්තේ එකම මුදල් ක්‍රමයකි .  යුරෝපා සංගමය තුල ඇති නිදහස්  ලිබරල්  ආර්ථිකය ඒ රටවල ද  එසේමය. කොටින්ම ස්වයන් නිර්ණය ලබා  ඇත්තේ එක පාලන ක්‍රමයක් තුලය . 

උදාහරණයක් වශයෙන් ස්ලෝවක් වරුන්ට ඉන් ඉවත්වී රුසියානු කොමෙන්වෙල්ත් එකට එකතු වන්නට ඕනෑ යයි සිතන්න .  ඔබ හිතන්නේ ඊට ඉඩක් ලැබේ කියාද? හොඳ හැටි ගුටි කන්නට සිදු වේවි . 
උස්බෙකිස්ථානය සහ අසල  මධ්‍යම ආසියානු රටවල් ලිහිල් ලෙස කොමන්වෙල්ත් ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ට් ස්ටේට් නමැති සංගමයකට  බැඳී සිටිති . 

 යුගෝස්ලාවියාව බිඳී විසිර ගිය අතර එය රටවල් පහක් ලෙස වෙන් වුනද  බොස්නියා හර්සගොවිනා වෙනුවෙන් සර්බියන් වරු ජාතිවාදී යුද්ධයක් දියත් කළහ .  නේටෝව සර්බියාවට බෝම්බ දමා බොස්නියා වේ ස්වයං නිර්ණන අයිතිය තහවුරු කර දුන්හ .  සර්බියානු ජාතිවාදයට එරෙහිව  හා බොස්නියාවට එරෙහි සමුල ඝාතක යුද්දයට විරුද්ධව  එය කල නිසා නිසා බොහෝ රටවල් වලින් එම බලහත්කාරකමට විරුද්ධත්වයක් ඇති නොවීය.  නමුත් කොසෝවා රාජ්‍යය ඇල්බේනියන් බහුතරයට ලබා දීමේදී නේටෝව මේ උපක්‍රමය ම   භාවිතා කළේය.  සර්බියානු රාජ්‍යය වඩාත් දුර්වල විය.  එය දැන් යුරෝපා සංගමයට එක්  වීමට බලාපොරොත්තුවෙන් සිටි . 

කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තය වෙන්වීමට චන්දයක් පැවත්වූ  අතර එය පරාජය විය ,  වෙනත් රටවල ස්වයං නිර්ණය සඳහා උද්ඝෝෂණ කරන බ්‍රිතාන්‍ය ,  ඇමෙරිකා එක්සත් ජනපදය ආදී රටවල් ක්විබෙක් ප්‍රශ්නයේදී ගත්තේ කැනඩා වේ පැත්තයි . 
ස්පාඤ්ඤයේ බාස්ක්  නම් බෙදුම් වාදීන්ට යුරෝපා සංගමයේ සහය නොලැබේ .  ඔවුන්ගේ සහය කොසෝවා වලට ලැබුණි . 

පලස්තීනය ඉල්ලන්නේ ස්වයං  නිර්ණයක් නොව තමන්ගේ රටේ කොටසක නිදහසේ ජිවත් වීමටය .  ඒ ප්‍රශ්නයේ විසඳුම පේන  තෙක් මානයක නැත . 


මේ පාඩම්  සියල්ල සිතට ගත් රුසියාව ජෝර්ජියාවේ අභහාසියා පෙදෙස ආක්‍රමණය කර බලෙන්  ස්වයන් නිර්ණයක් ලබා දුන්නේය .  ඒ ජෝර්ජියාව යුරෝපා සංගමයට හා නේටෝ වට  එකතු වීම වැළැක්වීමටය .  රුසියාව මේ විධි ක්‍රමයම  මොල්දෝවා වලට එරෙහිව භාවිතා කර ට්‍රාන්ස් ද්නිස්තර් නම් කුඩා රාජ්‍යයක් පිහිටුවිය . 

උක්රයිනය නෙටෝවට එකතු වීම වැළැක්වීමට රුසියාව පටන් ගත් විශේෂ යුධ මෙහෙයුම තවමත් ක්‍රියාත්මක වන අතර දනියෙත්ස්ක් සහ ලුහාන්ස්ක් පෙදෙස් වලට ස්වයං නිර්ණන අයිතිය ලබා දී ඇත්තේ රුසියානු රජයේ ආරක්ෂාවට යටත්වය . 

"දෙමල ඊලම් අරගලයට විසඳුම කුමක්ද? " පොතේ රෝහණ විජේවීර මෙසේ ලියා තිබේ .     
"සමාජවාදී රාජ්‍යයන් තුල ජාතික වෙන්වීමේ ව්‍යාපාරයන් පැන නැගී නැද්ද ?  සෝවියට් උක්රයිනය  සෝවියට් සංගමයෙන් වෙන් කර ගැනීම සඳහා ප්‍රතිගාමී ව්‍යාපාරයන් යළිත් එක්දාස් නමසිය තිස් ගණන්වලදී රාඩා සංගමය නමින් පැන නැගිණි. එය  අධිරාජ්‍යවාදයේ බළල් අන්ඩක් විය. දෙවැනි ලෝක මහා යුද්ධ සමයේදී ‍මේ ව්‍යාපාරයේ ඉතිරි කොටස් ආක්‍රමණකාරී ජර්මන් නාසි හමුදාව සමග සහයෝගයෙන් ක්‍රියා කළහ.  සෝවියට්  සංගමය එක්දාස් නමසිය තිස් ගණන්වලදී ඉතා නිවැරදිව එය මර්ධනය කරනු ලැබීය. එසේ  නොවුණි නම් දෙවැනි ලෝක මහා යුද්ධයේදී ඔවුන් විසින් සෝවියට්  ජනතාවට විශාල හානි කළ හැකිව තිබිණි. යුගෝස්ලාවියාවේ ක්‍රෝෂියානු ජාතික ව්‍යාපාරය ද මර්දනය එලෙසින්ම කරනු ලැබීය." පිටුව 139. 

උක්රයිනයේ පිහිටි චෙර්නෝබලයේ පිපිරිම සෝවියට් සංගමයේ කඩා වැටීම ඉක්මන් කරන ලදී . රුසියාව සහ  ජර්මනිය අතර නව තෙල් නල මාර්ගය 2022 දී පුපුරුව හරින ලදී . 
  
අද සිදුවන්නේ ද මෙයමය.  එක්කෝ රුසියානු  ක්‍රමයට  අනුගත වීම හෝ නිදහස් රටක් වශයෙන් වෙනත් ක්‍රමයකට අනුගත වීමට යුක්රේනයට බල කෙරී ඇත. නිදහස තීරණය වනු ඇත්තේ ඒ අනුවය .  රට බෙදෙනු ඇත   
මේ අනුව වැටහෙන්නේ කුමක්ද ?  ස්වයන් නිර්ණන අයිතිය මොන දේශපාලන ආර්ථික ක්‍රමයකට  වුවත් භාවිතා කරන්නේ තමන්ට අනුමත පරිදි රටවල් බෙදා වෙන් කිරීමට සහ ඒවා දුර්වල කිරීමට බවයි .     

මේ ලිපියේ මුලික අරමුණ දැන් පැහැදිලි වන්නේ නම් හොඳය .  පසුගියදා පැවති  මහා මැතිවරණයේදී මඩකලපු දිස්ත්‍රික්කයේ පමණක්  දෙවන තැනට පත්වුණු ජාතික තලයේ දේශපාලන ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගය ඉතිරි  දිස්ත්‍රික්ක විසි එකම දිනා තිබේ .  මෙයට යාපනය සහ වන්නි දිස්ත්‍රික්කයද  ඇතුළත්ය. කඳුකරයේ ශ්‍රී ලාංකික දෙමල ජනතාව  තොණ්ඩමන් සාධකය බිඳ දමා තිබේ .  වරක් තොණ්ඩමන්  දිළිඳු වතු කම්කරු ළඳුන්ට  තමන්ගේ කෙස්වලු මහා පාරේ ඇතිරවන්නට සලස්වා  ඔහු ඒවා පාගමින්  උත්සවයකට පැමිණ තිබේ. එවැනි තත්වයක ජීවත්  වු  ජනතාවක් ඒ රදළ බැමි බිඳ දමා තිබේ .   ඔවුන්ගේ අභිලාෂය මලයනාඩුවක් නොව සියලු ජනතාව සමග තමන්ට හිමි අධ්‍යපනික ,  රැකියා හා ජිවත් වීමේ අයිතිය දිනා ගැනීමයි .  

දැන් දැන්ම යුස්ෆුල් ඉඩියට් ලා ඒ ගැන ඝෝෂා කරන්නට පටන් ගෙන තිබේ . යුස්ෆුල් ඉඩියට් හෙවත් අත්‍යවශ්‍ය මෝඩයන් යනු සෝවියට් සහ බටහිර රහස් ඔත්තු සේවා ක්‍රියාත්මක කරන උපක්‍රමයකි .  දැන  හෝ නොදැන දේශපාලන ව්‍යාපාර ,  රටවල් හෝ පුද්ගලයන්  තමන්ගේ අරමුණ සඳහා  සූක්ෂම ලෙස යෙදවීම මෙනයින් හැඟවේ. බොහෝ විට ඒ අය ඒ ගැන දැනුවත් නැත.

  ජාතික තලයේ පක්ෂයකට ජනතාව චන්දය දෙන්නේ ස්වයං නිර්ණයක්  තීරණය කිරීමට නොවේ .  යාපනයේ දක්ෂ ගොවියාට තමන්ගේ අස්වැන්න  විකුණා ගත හැකි විශාලම වෙළඳපල ඇත්තේ දකුණේය .  යාපනේ කම්කරුවාට හෝ මධ්‍යම පන්තියට රැකියා අවස්ථා ඇතිවන්නේ දකුණ සමග සම්බන්ධතා තර කර ගත්  විටය .  මාලිමාවේ ජයග්‍රහණය පසුපස ඇත්තේ  උතුරු නැගෙනහිර ජනයාගේ එම  බලාපොරොත්තුව මිස අනිකක් නොවේ.  

ඒ වෙනුවට රාජ්‍යය දුර්වල කිරීමට ස්වයං නිර්ණ බිල්ලා  ඉදිරිපත් කිරීමට සැරසෙන බලවත් රාජ්‍යයන් සහ ඒවායේ බලල්  අත් ලෙස දැන හෝ නොදැන දේශපාලන ව්‍යාපර ඉදිරිපත් විය හැකිය .   ශ්‍රී  ලංකාවේ නව රජය ඉදිරි ක්‍රියා මාර්ග සැකසිය යුත්තේ ඉතා  පරිස්සම් සහගතවය .  

මේ ගැන කලින් ලියූ  ලිපිය : 

Tuesday, 12 November 2024

බණ්ඩාර අයියාගේ සිහිනය


බණ්ඩාර අයියාගේ සිහිනය

*****************************************

මට බණ්ඩාර අයියාව මුලින්ම මතකයට නැගෙන්නේ ඔහු අපට බාල  දක්ෂ ව්‍යාපාරයට එක්වන්නට කළ ආරාධනය නිසාය. ඒ මම හතේ හෝ අටේ පන්තියේ සිටි කාලයේය. ඔහු නාලන්දා විද්‍යාලයේ කැඩෙට්  කණ්ඩායමේ සිටි බවට මට මතක ඇත.  එසේම ඔහු අපේ  බාලදක්ෂ ගුරුවරයා හෙවත් ස්කවුට් මාස්ටර්  විය. අප ඔහු කී පරිදි දාහත් වන බාල දක්ෂ කණ්ඩායමට බැඳුනෙමු. එය   තිබුණේ කොල්ලූපිටියේ ඇන්ග්ලිකන් පල්ලිය සම්බන්ධවය.


 වරක් එහි වත්තේ ගස් දෙකක් අතර  කඹයක් දමා එක ගසක සිට අනෙක් ගසට බඩගා යාමට අභියෝගයක් විය. මට කල හැකි වුයේ භාගයක් දුර යාමට පමණි. මම භාගයක් දුර බඩ ගා ගොස් වැටුනෙමි . ජයග්‍රහණය කලේ ප්‍රතිපක්ෂ කාණ්ඩයයි . බණ්ඩාර අයියා කීවේ, භාගයක් හෝ යාම ජයග්‍රහණයක් බවත් අවශ්‍ය නම් ඉතිරි ටික ප්‍රක්ටිස් කර ගිය හැකි බවත්ය. ඔහු අනිකුන් මෙන් අසමත් වීම ගැන උසුළු විසුළු කර  සිනා සුනේ නැත.  


මට කොහොමත් ඒ කාලේ සිටම යම් යම් දේවල්  කැඩීමේ ගැලවීමේ ඇටවීමේ පුරුද්දක් තිබුණි.  බණ්ඩාර අයියා වරක් ඔහු ළඟ තිබී බේඩන් පවල් සාමි වරයාගේ , scouting for Boys පොත කියවීමට දුන්නේය. එහි වදන් ලෙහෙසි වුනත් ඒ කාලයේ මට කියවීම අමාරු  නිසා ඔහු ළඟ තිබූ ඉංග්‍රීසි සිංහල ඩික්ෂනරිය ද දුන්නේය.

chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/http://www.thedump.scoutscan.com/yarns00-28.pdf


පොතේ තිබෙන දේවල් මෙන්ම වෙනත් පොත් වල තිබුණු දේද කිරීමට මම උත්සාහ  කලෙමි .  ඒ කාලයේ කෝස්ටික් සෝඩා  මිලදී ගෙන සබන් හැදීම වැනි දේ කෙරුවෙමි. බිත්තරයක් විනාකිරි වල දමා දවස් කිහිපයක් තබා පිට්ටනියේ වලලා හූ  හඬ අසේදැයි  සෙව්වෙමි .   .  

මට හිතෙන්නේ මා තවමත් කැඩුණු බිඳුණු දේවල් අටවන්නේද ඒ නිසා කියාය. මගේ පොඩි දියණියටද අටවන ටූල් සෙට් එකක් තිබේ. ඇයද එවැනි දේට දක්ෂය.


ජනාධිපති පදක්කම හෝ එවැනි දෙයක් සඳහා අපි ඇතුගල්පුර කන්ද නැගීමට කොළඹ සිට බයිසිකල් වලින් ගියෙමු . එය සංවිධානය කලේ බණ්ඩාර අයියාය . දහවල් කන්ද මුදුනට ළඟාවූ අපට බත් පාර්සල් රැගෙන ආවේ ඔහුය. අපොස සාමාන්‍ය පෙළ විභාගය නිසා මම බාලදක්ෂ වැඩ වලට යාම අත් හැරියෙමි . ජනාධිපති පදක්කම ලැබීමට මොකද්දෝ එක කාර්යයක් පමණක් කිරීමට මට ඉතිරිව තිබුණි .

ඒ ගැන මේ ලිපියේද ලියා ඇත .

අපේ ගෙවල් පැත්තේ තිබූ බාස්කට් බෝල් පිට්ටනිය කෙටි සුදු බැම්මක් විය . මේ පිට්ටනියේ සිටින විට හවස් වන විට හිරු රත් පැහැයෙන් බටහිර අහසේ බැස යනු නැරඹිය හැකිය. එසේම මුහුද හා බේරේ වැව පැත්තෙන් මදනලක් ද හමයි. ඒ සිසිලස නිසා සැන්දෑ යාමයේ එහි හිඳ කතා බහ කිරීම බොහෝ අයගේ සිරිත විය. බණ්ඩාර අයියා හොඳින් හැඩ වැඩ දා හැඳ පැළඳ මෙහි පැමිණ යහළුවන් සමග කතා කරයි . ඒ ගැන සමහරු ඔහුට විහිළුවක් දෙකක් කරනුද මට ඇසී තිබේ . මෙවැනි එක දවසක ඔහු තමන් ගේ අනාගත බලාපොරොත්තුවක් ගැන කීවේය.


"මම පොලිසියට බැඳෙනවා. පොලිස් පරීක්ෂක කෙනෙක් වුනහම ඈත ගමක පොලිස් ස්ථානාධිපතිකමක් අරන් යනව. ඒ පැත්තෙන්ම කසාද බැඳලා වැවක් , දොළක් හෝ කුඹුරක් ගාව හොඳට හුළං වදින නිදහස් තැනක ගෙයක් හදල ජීවත් වෙනවා . ගම්වල පොලිසියේ ස්ථානාධිතිට පොඩි තැනක් තියනව . මට පුළුවන් බාලදක්ෂ වැඩේ කරන්න . පාසැල ට , දහම් පාසැලට උදව් කරන්න. අලුත් අවුරුදු උත්සව වලට හෙම කතා කරණ නිසා සහභාගී වෙන ගමන් ගම පළාත හදන්න උදව් වෙන්න පුළුවන්. " මට නම් ඒ හීනයට වැඩිය හිත ගියේ නැත .


"මම නම් ගම් පැති වලට කීයට වත් යන්නේ නැහැ." කවුරු හරි පිළිතුරක් දුන්නේය . අනිත් කොල්ලන් සමච්චලයට සිනා සුනහ .

" ඒ වුනාට කුඹුරක් හෝ වත්තක් වගේ අරගෙන වගා කරන්නත් මගේ අදහසක් තියනව . නිස්කලංකව කරදරයක් නැතිව ජීවත්වෙන්න පුළුවන්, හොඳ ලස්සන තැනක් වෙන්නත් ඕනේ . " බණ්ඩාර අයියා පිළිතුරු දුන්නේය .


මට ඒ හීනයට වැඩි කැමැත්තක් තිබුනේ නැතත් ගමක සුන්දරත්වය දැන සිටි නිසා ඒ අදහසේ අමුතු අරුමයක් නොදිටිමි . අපොස උසස් පෙළ අවසන් කරන කාලයේ මා බණ්ඩාර අයියා දුටුවේ තව එක වරක් පමණකි . ඒ ඔහු කිසියම් දෙයකට තාත්තා හමුවීමට පැමිණ කතා කර ගිය දවසේය . ඉන්පසු මම වැඩිදුර ඉගෙනීම සඳහා සෝවියට් දේශයට ගියෙමි . බණ්ඩාර අයියා පොලිසියට බැඳී තිබුණි . ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස නැගෙනහිර පළාතේ සේවය කළේය .


එක්දාස් නමසිය අසූ හතේ හෝ අසූ අටේ මට ගෙදරින් ලිපියක් ලැබුණි . එහි මගේ පියා ඉතා කණගාටුවෙන් ලියා තිබුනේ බණ්ඩාර අයියා හදිසියේ මිය ගිය පුවතය . පොලිස් උත්තමාචාර මැද ඔහු අවසන් ගමන් ගිය බවද පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස උසස් කරන ලද බවද ලියා තිබුණි .


බණ්ඩාර අයියා ගමන් කල ජීප් රථය නැගෙන හිර පළාතේ දී කොටි බෝම්බයකට හසුව තිබුණි .

මා ලංකාවට ගිය විටක් ඔහුගේ නිවසට ගියෙමි . බණ්ඩාර අයියා ගේ මවත් නැගණියත් දැඩි ලෙස හඬා වැළපුණේ මම බාල දක්ෂයකු වූ කාලයේ නිතර එහි ගොස් බණ්ඩාර අයියා සමග කතා බස් කල බව ඔවුන්ද දැන සිටි නිසාය . මට ඔවුන් ගේ වැළපීම වාවා ගත නොහැකි වුනි .


මාස  කිහිපයකට පෙර මගේ මිතුරු ප්‍රොෆා යනුවෙන් මා ආදරයෙන් හඳුන්වන මහාචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මුණ ගැසුණු විට ඔහු තවත් ශෝචනීය හෙළි දරව්වක් කළේය . බණ්ඩාර අයියා ගේ මව හා පියා ඔහුගේ මරණයෙන් නොබෝ කළකට පසු දිවි මං අවසන් කළ බවත් ඔහුගේ නැගණිය වසර කිහිපයකට පෙර පිළිකාවක් හේතුවෙන් ලොව හැර ගිය බවත්ය . එසේම ඉතිරි වුනු එකම ඥාතියා වන ඔහුගේ මළනුවන් ටද ළඟදී කරදරයක් සිදු වුනු බවත්ය . අප දෙදෙනා අතීත කතා වල මදක් ගැලී සිටියෙමු .


මම නිකවැරටිය පැත්තේ ගමක දින කිහිපයක් නැවතී සිටියෙමි . අසල නිවසක ගැමියෙකු ගෙන් එදාම දොවන ලද කිරි බෝතලයක් ලැබී තිබුණු බැවින් යහමින් කිරි දමා සාදා ගත් තේ කෝප්පයක් ඇතැතිව ගෙවත්තේ නිවස ඉදිරිපස පුටුවක ඈඳී ගෙන විවේක ගතිමි . ඉදිරිපසින් තිබුනේ වැවය . වම් පැත්තේ පහලට වෙන්නට කුඹුරු යායකි . වැව පැත්තෙන් කුරුල්ලන් විටින් විට ඉගිල ගියහ . වැව පිස හමන මදනල හේතුවෙන් දැඩි අව් රශ්මියෙන් පීඩාවක් දැනුනේ නැත .


ඉඳහිට වරක් ගැමියෙකු හෝ තුරුණ ගොවියෙකු මෝටර් සයිකලයකින් නිවස පසු කර ගියහ . ඒ හැරෙන්නට පළාතම දැඩි නිහඬතාවකින් පෙළුණි . ලොකු දඬු ලේනකු පොල් ගසකට නගිනු බලා සිටියෙමි . ඌ එළවන්නට මට සිතුනේ නැත .


තලගොයකු ඉව අල්ලමින් පැමිණ නැවත හැරී බඩ ගා ගියේය . මොණරෙකු ගේ කෑ ගැසිමක් ඈතින් ඇසුණි . අන්තර්ජාල පහසුකම් වලට ගෙවා තිබුනද එය වැඩ කලේ නැත . සිම් කාඩ් එකක් සම්බන්ධ නොකළ නිසා මගේ විදේශ ජංගම දුර කථනයට ඇමතුම් ලැබෙන්නේද නැත .

කියවමින් තිබූ පොතද පසෙකින් තබා මම වැව දෙස හා අවට පරිසරය ද නරඹමින් තේ කෝප්පය තොල ගෑවෙමි . ඒ නිහඬ නිස්කලංක බව තුල සිතට දැනුනේ මහත් සහනයකි . සාමකාමී බවකි .

මට ඒ මොහොතේ සිහි වුනේ බණ්ඩාර අයියාය . ඔහුගේ සිහිනය වූයේ මෙවැන්නක්ද? තමන්ගේ සිහිනය සාක්ෂාත් වන්නට පෙර ඔහු දිවි හැර ගියේය . ඒ වෙනුවට පිටරට සිට පැමිණි මම ඒ නිස්කලංකය විඳිමින් සිටිමි . මට ඇති වූයේ පසුතැවිල්ලක් හා වරදකාරී හැඟීමක් ය . බණ්ඩාර අය්යා පැවසූ ගමක අසිරිය මෙය යයි මම වටහා ගතිමි . ගම්වල නොයෙකුත් ප්‍රශ්න , මිනිසුන් ගේ කුඩුකේඩු කම් ආදිය තිබෙන බව සැබෑය . ඒ අතරේ තමන්ට අවශ්‍ය නම් හුදෙකලා සුන්දරත්වය විඳීමට ගමෙන් බාධාවක් නැත . තෝරා ගැනීම ඇත්තේ අප වෙතය .


මට බණ්ඩාර අයියා ට සමු දීමට අවස්ථාවක් තිබුනේ නැත . ඔහු දුටු අනාගත සිහිනයේ එක කොටසක හවුල්කාරයෙකු වීමට මට හැකිවිය . ඒ මොහොත වෙනුවෙන් මම ඔහුට ස්තූති වන්ත වෙමි .

එනිසා වසර විසි ගණනකට පසුව හෝ මෙසේ ලියමි .


බණ්ඩාර අයියේ සුභ ගමන් .

-- අජිත් 12/11/2024